Thursday 31 October 2019

සනීපාරක්ෂක තුවා සහ පෑඩ් මෑන්

ලක්මාල් කුලසේකර සහෘදය ලියල තිබ්බ,  පහළ මම ෂෙයාර් කරපු දේට එකඟ වෙන ගමන් මේ ටිකත් ලියන්න හිතුන. මේ මම මුලින්ම ලියපු  "සියාමා " පොතට දෙන තල්ලුවක් නම් නෙමේ. මම වැඩි හරියක්ම පොත  දුන්නේ නොමිලේ. සජිත් ප්‍රේමදාස දේශපාලන යෝජනාවක්  හැටියට කතා කරපු  පෑඩ් යෝජනාව  ලංකාසිනිව්ස් වෙබ් අඩවියේ සහ එහි ප්‍රතිචාර දක්වන්නන් ගේ අපහාසයට ලක්වෙලා තිබෙනවා දැක්කා. සජිත් ඒක දේශපාලන යෝජනාවක් හැටියට ගෙනාව එක හරිද වැරදිද කියන්න මම යන්නේ නැහැ. නමුත් මම කැමැතියි  මේක දේශපාලන ෆුට්බෝලයක් කර ගන්නේ නැතිව ප්‍රධාන අපේක්ෂකයෝ හැමෝම ජාතික ප්‍රතිපත්තියක් හැටියට ගන්නවා නම්. ගෝඨාභය කියන්නේ ඇමෙරිකාවේ පවා ජීවත්වුණ නවීනත්වය දන්නා  කෙනෙක්. අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානයක, දුමින්ද නාගමුව වැනි අපේක්ෂකයන්ට  තමන්ගේ යෝජනාවලට ඇතුලත් කරලා නොදියුණු මිනිසුන්ට කියන්න  පුළුවන් මේක හිනා වෙන්න දෙයක් නෙමේ කියල..

"සියාමා" කතාවේ මුළු පවුලක්ම විනාශ වෙලා ගැහැණු ළමයෙක් අනාථ වෙන්නේ නවීන සනීපාරක්ෂක තුවා හෙවත් පෑඩ් ගැන  ගමේ මිනිසුන්ගේ තිබුණු නොදැනුවත්කම නිසා.  නොයෙකුත් ආගමික හේතුන් පවා මුල්වුණා. වර්තමානයේ ලංකාවේ  හෝ වෙනත් ආසියානු රටක මෙහෙම වෙන්න තියන අවස්ථාව අඩු වුනත් නවකතාවට  පාදක කරගත් මේ  සිද්ධිය සත්‍ය එකක් (පස්සේ තියෙන ඒවා මොනවා වුනත්). ඒක මට කියපු තරුණ කාන්තාවට විනාඩි හතලිස් පහක්  පමණ වත් ගතවුනා ධෛර්ය අරගෙන ඒ කතාව  කියන්න .අදටත් හදවත දුකින් මිරිකෙන්න ගන්නවා මතක් වෙනකොට. කරුණාකරලා මේ වගේ ප්‍රශ්න ගැන අපහාස කරන්න එපා.  සජිත් කියන මනුස්සයට ගහන්න වෙන ඕන තරම් දේවල් තියනවා. මම ආයෙත් කියන්නේ අපේක්ෂකයෝ එකතුවෙලා මේක ජාතික තලයට අරගෙන එක යෝජනාවක් හැටියට ගේන්න දියුණු රටවල් වගේ.
මේ තියෙන්නේ පොතේ ඒ කොටස:
"ප්‍රියාන්  එහෙ ගම්  පැතිවල තවත් එහෙමයි.  අපේ තාත්ත අම්මටයි අක්කටයි  ඔසු සල් වල විකුණන ඒවා ගෙනත් දීල තිබුන. ඒක නවීනයි.  හොඳයි කියල. තාත්ත ඒවාට ලජ්ජා වුනේ නැහැ. එයාට  ඕනේ වුනේ අපි නවීන  විධිහට ජිවත් වෙනවා දකින්න.  ඒවා වත්තේ පහල වලක තව කුණු සමග ගිනි තැබීම කලේ තාත්ත. අපිට කුණු විසි කරන්න ක්‍රමයක් නැහැ. අවශ්‍යම  නම් වෙනම තැනක්  තිබ්බ කුණු ගෙනිහින් දාන්න. "

"ඒක  නම් ලංකාවෙත් එහෙමයි. මුළු ආසියාවේම ප්‍රශ්නයක්". ඇය මෙවැනි කතාවක් අපි අතරට ගෙනාවේ මන්දැයි මට එකවර වැටහුනේ නැත.

"එක දවසක් මොකක් හරි දේකින් ගිනි ඇවිලිලා  නැහැ කුණු කොටසකට. තාත්ත ගිනි තියල වෙන වැඩක් කරන්න ගිහින්. පිච්චිලා  නැතිව  ඉතුරු උන එකක් බල්ලෙක් ඇදගෙන ගිහින් වෙන වත්තකට. දරුණු  රණ්ඩුවක් ඇති වුනා ඒකට . මාස්  ශුද්ධිය වෙන වෙලාව අපලයි කියල විශ්වාසයක් තියෙනවා. ගැහැණු පාවිච්චි කරන රෙදි කෑලි පවා හෝදන්නේ හොරෙන්.  ඒ කාලෙට ගැහැණියක් එළදෙන්නු දිහා  බැලුවොත් උන්ට කිරි එරෙන්නේ නැහැලු. පිරිමියෙක් හරි කොල්ලෙක් හරි  දිහා බැලුවොත් උන්ට උණ හැදෙනවලු. ඒකට  නම් මං  කැමතියි. කොහොමද අපේ බලේ. හික් හික්. " අස්වාභාවික අන්දමට ඇය සිනා සුනාය.

---අජිත්

ආදරණීය දෙපක්ෂයේම මිත්‍රවරුනි,

මට නම් මේ යෝජනාව ඉදිරිගාමීය. දුප්පත් ග්‍රාමීය පාසල්වල දැරියන්ට, ඇඟලුම් කර්මාන්තශාලාවට මේවා නොමිලයේ හෝ අඩුමුදලට ලබාගත හැකි මැෂින් සවිකර හැකි නම් අගනේය. දුප්පත් පවුලක දියණියකට අම්මා කෙනෙකුට ඇත්තටම සනීපාරක්ෂක තුවා සඳහා යන වියදම දරන්නට අසීරු බව ඇත්තය.

එය පිළිගැනීම දේශපාලන වශයෙන් අනිත් පාර්ශ්වයට වාසිදායක යැයි සිතන මානසිකත්වය අප වෙනස් කර ගත යුතුය. ඒ වාගේම එය විහිලුවකට ලක් කිරීම වැදගත් ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක් යැයි මා සිතන්නේ නැත. ඒ වාගේම මේ යෝජනාව ගෙන ආවා කියා යම් අපේක්ෂයෙකුට පට්ට ඉදිරිගාමී ලිබරල් සලුපිලි අන්දන්නට යාමද උගුරට හොරා බෙහෙත් කෑමක් බව එය කරන මගේ උගත් මිත්‍රයන් තේරුම් ගත යුතුය.

මේ සම්පූර්ණ සනීපාරක්ෂක තුවා කතිකාව තුල මා නම් දකින්නේ දේශපාලනය උග්‍ර ලෙස ධ්‍රැවීකරණය වීමේ අර්බුදය පමණි. මෙය ලංකාවට මතු නොව ලෝකයේ සමහර රටවලටද ඇත්තය. ඇමරිකාවේ පවා මේ තත්ත්වය එසේය. තමන් සහය පළ කරන අපේක්ෂකයා කරන ඕනෑම වැරැද්දක් සාධාරණීකරණය කරන්නටත් ඔහු දේවත්වයට නංවන්නටත් ප්‍රතිපාර්ශ්වය කරන හෝ කියන ඕනෑම දෙයක් ගර්හාවට ලක්කරන්නටත් ඔවුන් පහත හෙලන්නටත් අප තුළ තියෙන පුරුද්ද කැතය. වෙනස් කරගත යුතුය.

සියයට සියයක් හරි හෝ වැරදි කිසිවක් නැති මිනිස්සු නැත. මමද ඔබද එසේ නැත. එසේ හෙයින් තමන් සහාය දෙන අපේක්ෂකයාද එවැන්නෙක් යැයි සිතා ගැනීම ප්‍රඥාගෝචර නොවේ. එලෙස යම් අයෙකුට ආරෝපණය කරන්නට යාමද නුවණැති වැඩක් නොවේ. දැන දැන එසේ කිරීම ආත්ම වංචාවකි. අප මේ ඇත්තට මුහුණ දෙන්නට පුරුදු විය යුතුය. ඒ අතරම පවතින 'හොඳ ප්‍රමාණය' ක්‍රම ක්‍රමයෙන් වැඩිකරන්නට වැඩ කළ යුතුය. ඒකට උත්තරය සාපේක්ෂව හොඳ මිනිස්සු දේශපාලනයට එකතු වෙන එකය. 'ඊයා' කියන එක නොවේ.

රටක් දියුණු කරන්නට නම් දියුණු ශිෂ්ඨසම්පන්න මනැස් ඇති ඕනෑම ප්‍රශ්නයක් වැදගත්ව කතා කරන්නට පුලුවන් මිනිස්සු සිටින්නට ඕනෑය. එහෙම මිනිස්සු ගෝඨාභය පාර්ශ්වයටත්, සජිත් පාර්ශ්වයටත්, අනුර පාර්ශ්වයටත් කියන තුන්ගොල්ලටම සිටින්නට ඕනෑය. රට හොඳ තැනක් වන්නේ එතකොටය.

ලක්මාල් කුලසේකර

26 comments:

  1. මට හිතෙන්නෙ අජිත් වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරිම තැනක් අල්ලලා තියෙනවා. ඒ තමයි පෑඩ් එක. සජිත් ඒ මාතෘකාව සමාජගත කිරීම හරහා ගෝටා අපේක්ෂාවෙ තියෙන බරපතලම අවුල් ටික එලියට එනවා. දැඩි පුරුෂ මූලිකබව, ලිංගික කාරණාවලට දක්වන බය සහ කුහකකම, කාන්තාවන් කෙරෙහි එල්ලවෙන පීඩනකාරී දෘෂ්ටිය, විවෘතබවට දක්වන බය, ග‍්‍රාම්‍යත්වය, පසුගාමීත්වය, කවර් වෙලා තිබුන මේ හැම එකක්ම එක පෑඩ් එකකින් එලියට ගලන්න ගන්නවා. ගෝටා කියන දැඩි පිරිමියා පරදින්නෙ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි. ගෑනු යටට අඳින පෑඩ් එකක් හින්ද...

    ReplyDelete
    Replies
    1. සජිත් තැපැල් චන්දෙන් පරාද බවයි කියන්නේ

      Delete
  2. කුහක සදාචාර සම්පන්න අපේ සුචරිතවාදී දෙබිඩ්ඩන්ට ගහන අතුල් පහරක් මේ!

    ReplyDelete
    Replies
    1. දෙබිඩ්ඩෝ තමා හැම තැනම

      Delete
  3. ජ්‍යෝතිර්වේදීන්ගෙ සංගමයේ සහායත් ගෝටට නිසා පෑඩ් කතා එයාට කියන්න බෑ.කිල්ලට අහුවෙනවා!

    ReplyDelete
    Replies
    1. ශේප් කර ගන්න බැරිද

      Delete
  4. සජිත්ගේ කැම්පේන් එක මේ පෑඩ් කථාව නිසා ජනප්‍රිය උනා. 'There is no such thing as 'bad publicity''

    ReplyDelete
    Replies
    1. එහෙම වුනාද ? දැන් රාවයක් යනවා නේද මහාරාජා ට සපෝර්ට් එකට කරපු කතාවක් කියල

      Delete
  5. වැදගත්ම දේ තමයි මේ වගේ කරනා ගැන කතා කරන එක taboo subject එකක් කියලා නොහිතා කතා කරන්න මිනිස්සු පෙළඹීම.

    ReplyDelete
    Replies
    1. ඔව්. කතා කරලා ඔය හිනාවෙන නරුමයන්ට පිළිතුරක් දිය යුතුයි කියන අදහස මට තිබුන. තලිබාන් එවුන් ට

      Delete
  6. පුරුෂ ආධිපත්‍යය කියන එක බිහිවන්න වගකිවයුත්තේ ස්ත්‍රීන්මයි.

    ස්ත්‍රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීමක් නෑ. එම නිසාම පුරුෂ ආධිපත්‍යය අඩු සමාජ වැඩි සමාජ හමුවේ පරාජය වනවා. එමඟින් පුරුෂ ආධිපත්‍යය තහවුරුවෙනවා.

    සමහරවිට ස්ත්‍රීන්ට සහ නපුංසකයන්ට ජාතිය ආගමට වඩා නැප්කින් එක ලොකුවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පුරුෂ ආධිපත්‍යය කියන එක බිහිවන්න වගකිවයුත්තේ ස්ත්‍රීන්මයි. - මේකට එකඟයි. සමහර ගැහැණුත් එහෙම තමයි. තමන්ගේම සහෝදරියට අපහස කරන එවුන් ඉන්නවා.

      ස්ත්‍රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීමක් නෑ. - මෝඩ කතාවක්. අපේ අම්මල, සහෝදරියෝ ගැන එහෙම කියන්න බැහැ. යුද්ධෙට ගිය පුතා වෙනුවෙන් අදත් කඳුළු සලන මව්වරු ඉන්න රටක ඒ මව්වරුන්ට කරන අපහාසයක්

      සමහරවිට ස්ත්‍රීන්ට සහ නපුංසකයන්ට ජාතිය ආගමට වඩා නැප්කින් එක ලොකුවෙන්න පුළුවන්. - මේ එහෙමේ එකක් ගැනද කියන්නේ. ආර්තව දරිද්‍රතාවය එංගලන්තෙත් තියනවා. පොඩි වෙනසකින් ඒක හදන්න පුළුවන්. ඒකෙයි ජාතිය හා ආගම අතරයි සම්බන්ධය හොයන්නේ පොන්නයෝ (ස්වභාවික නපුන්සක නොවී ෆක් කරන්න ගැනියෙක් හොයා ගන්න බැරුව ළමයි , කොල්ලෝ අපයෝජනය කරන එවුන්). ඔබ එහෙම අයෙක් නොවේනේ. (බ්ලොග් ලිපි අනුව) එහෙම කියන්නේ ඇයි.

      Delete
  7. අතිශය වැදගත් සටහනක් අජිත්.

    සජිත් ගේ ඡන්ද පොරොන්දුව සනීපාරක්‍ෂක තුවා වෙළඳ පොලේ 75% කොටසක් හිමි මහාරාජා සමාගමට වාසියක් ලබා දීම සඳහා ය කියා ඉන්දික පළ කළ ලිපියකට මා දුන් පිළිතුරු මෙන්න.

    1.
    ඔබ මතු කරන්නේ සාධාරණ සැකයකි. නමුත් පහත කරුණු සැලකිල්ලට ගන්න.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය කාලයේ ලංකාවේ ආවර්ත දරිද්‍රතාව පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඇත්තටම මා එම යෙදුම ඇසුවේත්, ඒ වැඩසටහනේ සේවය කළ අජිත් පැරකුම් ජයසිංහ තැබූ සටහන් නිසාය.
    ආවර්ත දරිද්‍රතාවය යනු දියුණුව ඇයි සම්මත බටහිර රටවල ද පවතින ප්‍රශ්නයකි.
    මේ වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතික රාජධානියේ රජය මඟින් උසස් පාසල් සිසුවියන් සඳහා සනිපාරක්ශක තුවා ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී.
    මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ද එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස විවිධ සංවිධාන වලින් මධ්‍යම රජයෙන් ඉල්ලීම් කෙරෙනු දැකිය හැක. සමහර වෙළද ආයතන තමන්ගේ සමාජ සත්කාර වැඩපිළිවෙළ යටතේ ද සනීපාරක්ශක තුවා ලබාදෙන වැඩසටහන් ආරම්භ කර ඇත.
    ඇත්තටම ගෝඨාභය ඡන්ද ව්‍යාපාරය මගින් ද කළ යුත්තේ මෙම ප්‍රතිපත්තිය තමන්ද ක්‍රියාත්මක කරන බව පැවසීම නොවේද? එසේ නැතුව එයට සහමුලින්ම විරුද්ධ වෙමින් විවිධ උසුළු විසුළු කරමින් එමගින් නූගත් කම පෙන්වමින් ගෝඨාභය supporters ලා හැසිරෙන්නේ ඇයි?
    වහල් බයිකම කියන්නේ මේකටද?
    කිසිදිනක යූඑන්පීයට ඡන්දය දී නොමැති, අනාගතයේ ඡන්දය දීමට කිසිදු අදහසක් ද නොමැති මට මෙහි ඇති වැදගත්කම දැක එය ප්‍රවර්ධනය කිරීමට හැකිනම්, දැන උගත් පුද්ගලයන් වන ඔබ ඇතුළු යම් යම් අයට එසේ කිරීමට නොහැකි ඇයි?
    නැවතත්, වහල් බයිකම කියන්නේ මේකටද?

    2.
    ඒ සමඟම මෙයට ඔබේ ගෝටාබිය කදවුරේ පිරිස මෙතරම් බය වී ඇත්තේ මේ කාරණාවේ ඇති වැදගත්කම සහ කාලීන අවශ්‍යතාවය ඒ සියලු දෙනාම හොඳින් අවබෝධ කරගන්නා නිසා බවත්, එනිසා විරුද්ධවාදියාට ඡන්ද කැඩෙතැයි බිය වන නිසා බවත් ඔබ පිළිගත යුතුයි.
    ගොවීන්ට පොහොර දෙනවා යැයි ගෝටාබිය කියූ විට උදාවුණු මෙයට සමාන අවස්ථාවේ දී පුතාණෝ කළේ එය ප්‍රතික්ෂේප කිරීම නොව, සමතික්‍රමණය කිරීම නොවේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , මා ඔබ සමග මෙහිදී එකඟයි .
      //ඇත්තටම ගෝඨාභය ඡන්ද ව්‍යාපාරය මගින් ද කළ යුත්තේ මෙම ප්‍රතිපත්තිය තමන්ද ක්‍රියාත්මක කරන බව පැවසීම නොවේද? එසේ නැතුව එයට සහමුලින්ම විරුද්ධ වෙමින් විවිධ උසුළු විසුළු කරමින් එමගින් නූගත් කම පෙන්වමින් ගෝඨාභය supporters ලා හැසිරෙන්නේ ඇයි?//මගෙත් ප්‍රශ්නේ මේක. මෙහෙ ඉන්න NHS වැඩ කරන නර්ස් ලට ලෙක්චර්ස් දෙන රේණුකා විමලරත්න නම් ගෝඨාභය මහතාට සහය දෙන මහත්මියක් මේ පෑඩ් කතාවට හිනා වෙලා තිබුන. එය දැන් වේල්ස් වල වැඩ කරන්නේ. නර්ස් කෙනෙක් වශයෙන් කොහොමද හිනා වෙන්නේ කියන එක මට ත්රුම් ගන්න බැහැ.

      Delete
  8. අනේ මන්දා ඉතින්.. වෙන පුරශ්න නැතුවටයෑ ඕක අල්ලන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මම නම් ඇල්ලුවේ නංගි දැනුන අපුල නිසා. මම දැක්ක කොමෙන්ට්. එතකොට ඔය මම ලිව්ව සියාම වගේ තෙරුනියකට අටහ්වර වෙන්නෙත් ඔය වගේම අයවලුන් ගෙන්නේ. සජිත අදාලම නැහැ. මම ඔහුගේ සපෝට් එකට නෙමේ යන්නේ.මගේ අදහස හැම අපේක්ෂකයෙක්ම හොඳ යෝජනාවකට සහයෝගය දෙන්න කියල.. එපමණයි

      Delete
    2. මං කැමති pad තහනම් කරලා Tempons හරි cups හරි නිකම් බෙදනවා නම්.. හැබැයි pad තහනම් කරන්නම ඕනා.. අන්න එතකොට පොඩ්ඩක් යල් පැන ගිය අදහස් නෑ කියලා පිලිගන්නම්..🤣🤣🤣

      Delete
    3. අයියා කියන අදහස වැරදි නැහැ හැබැයි.. මං කැමති ඉතින් pad තහනම් කරනවට..

      Delete
    4. පෑඩ් තහනම් කරන්න අවශ්‍ය නැහැ, මගේ දියණියන් පාවිච්චි කරන්නෙත් ඒවා. ටැම්පුන් හැමෝම පවිච්හි කරන්නේ නැහැ. මෙතැන් පෑඩ් කීවම ඔය ජාති ඔක්කොම චැරිටි වලින් ස්කොට්ලන්තයේ දෙන්නේ. අනික තමයි අර නෙලුම් යාය පදනම අද දාල තියෙන ලිපිය වගේ bio-degradable ඒවා තිබෙනවා නම් හොඳයි. නැත්නම් ඕව විසි කරන්න තැනක් නැහැ. විනාශ කරන්න විධිහක් නැහැ ලංකාවේ රටවල වගේ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සියාමා....ඒකත් හොයන් කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. අහස එකේ තමා තියෙන්නේ. පොත නැවත දෙවන කොටසක් වශයෙන් ලියන්න ඉන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .