Wednesday 6 May 2020

එක්සත් රාජධානියේ ප්‍රශ්න හා ලංකාවේ එක්සත් රාජධානිය ගැන කියන ප්‍රශ්න



එක්සත් රාජධානියේ කෝවිඩ් 19 සෑදී මිය ගිය සංඛ්‍යාව 30,000 ක් පමණ වේ. මෙහිදී රෝගයට ගොදුරු වුන 
ආසාදිත සංඛ්‍යාව ලක්ෂ දෙකකට මදක් වැඩිය. ලංකාවේ පුවත්පත් හා රුපවාහිනිය ශ්‍රී ලංකාවේ තත්වය ගැන 
ලියන විධිහට මේ ප්‍රවෘත්තිය කීවොත් මෙසේය. 


අග්‍රාමාත්‍ය ජොන්සන් වසංගත තත්වය මැනවින් පාලනය කරගෙන තිබේ. මිලියන එකකුත් හාර ලක්ෂයකට පරීක්ෂණ කර ඇත. 
(සැබෑ තොරතුරු බව සලකන්න) ආසාදිතයන් ගේ ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ වේ. මින් 89.5 සුවය ලබා පිටව ගොස් ඇත.
 කොරෝනාවෙන් (කෝවිඩ් 19) යය සිතිය හැකි මරණ සංඛ්‍යාව තිස් දාහක් පමණ වේ. මුළු ජන අනුපාතයෙන් 
(බ්‍රිතාන්‍යයේ ජනගහනය මිලියන් 66.65 කි) මිය ගිය ප්‍රමාණය 0.45% කි. 


මේ අපට කලබල වෙන්නට තරම් ගානක්ද ? 


එසේනම් මෙපමන ප්‍රමාණයක් මිය යනවා යයි අප කලබල වන්නේ ඇයි ? මරණය අපට කවදා හෝ එන දෙයකි. එහෙත් චීනය 
පැත්තෙන් එන 
අනතුරු හැඟවීම මිට කලින් ගණන් ගත්තා නම් මරණ ප්‍රමාණය අඩු කර ගත හැකිව තිබුණි. ලොක් ඩවුන් කිරිල්ල කලින් 
කරන්නට තිබුණි. 


මේ තත්වය එසේ වුවත් බ්‍රිතාන්‍ය රජය දක්ෂිණාංශික එකක් වුවත් තම සීමාව ඉක්මවා වාමවාදී රජයක් කටයුතු කරන ආකාරයෙන් 
ඇතැම් ක්‍රියාමාර්ග ගත්හ. 


පුද්ගලික ව්‍යාපාර වැසීමේදී හෝ සේවකයන් නිවෙස් වලට යැවීමේදී ඔවුන්ට අනවශ්‍ය සේවකයන් ඉවත් කිරීමට සිදුවේ. 
ඔවුන්ව රැකියා වලින් අස් කිරීම වෙනුවට බ්‍රිතාන්‍ය රජය එම සේවකයන් ගේ වැටුප් ගෙවීම් තමන් විසින් භාර ගෙන තිබේ.
රජය විසින් මුළු මාසික පඩියෙන් 80% වැටුපක් (එනම් පවුම් 2000 පඩි ගන්නෙකුට පවුම් 1600 ගෙවීම) ගෙවනු ලැබේ. 
මේ අනුව මා වැනි අය තවමත් රැකියාව නිවසේ සිට කරන මුත් මගේ ආයතනයේ විස්සක් පමණ දෙනා රැකියාව කරන්නේ නැත. 
ඔවුන්ගේ මාසික වැටුප රජයෙන් හෙවත් අප ගෙවන බදු මුදලින් ගෙවනු ලැබේ. 


ඊළඟට ස්වයං රැකියා තිබෙන අය බලමු. ඔවුන් කෝවිඩ් 19 වසංගතයට කලින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට බදු ගෙවද්දී 
ඉදිරිපත් කළ අදායමෙන් 80% ද ඔවුන්ට දෙන අතර පොලි රහිත ණයක්ද ව්‍යාපාරය ගෙන යාම සඳහා ලබා දෙති. 


එසේම රැකියා නැති අයට නිවෙස් කුලියට අමතරව පවුම් 94 සතියට (මසකට රුපියල් 86000 පමණ) ගෙවනු ලැබේ. 


ණය ගත් අයට මාස තුනක ණය සහනයක් දී ඇත. 


අපේ කාර් වලට ගහන බද්ද , මෝටර් රථ දුම් පරීක්ෂණ ආදිය මාස හයකට කල් දමා ඇත. 


සියලුම සුපර්මාකට් , සාමාන්‍ය වෙළඳ හල් (කෑම හා වෙනත් බඩු , ගෙවතු බඩු විකුණන ආයතන ) ඇර තබා තිබේ. 


ගමනගමන පහසුකම් එලෙසමය. ලන්ඩන් වැනි නගරවල මේ දිනවල පොදු ගමනාගමනය නොමිළේය. 


ජාතික සෞඛ්‍ය සේවය උපරිම අන්දමින් කටයුතු කරති. 


මෙහි පැවති දක්ෂිණාංශික ටෝරි රජයන් ජාතික සෞඛ්‍ය සේවයට ඇති තරම් මුදල් වෙන් කලේ නැත. 
ඒවායේ ප්‍රතිපල අපි භුක්ති විදින්නේ අඩු වෛද්‍යවරු සංඛ්‍යාවක් සිටීම , ඇතැම් ආරක්ෂණ උපකරණවල මදකම ආදී දේ තුලිනි. 


එසේ වුවද අපට දොස්තරලා තුන් ලක්ෂ දහදාහක් සිටිති. ඒ කියන්නේ මිනිසුන් 1000 කට දොස්තරලා 2.8 දෙනෙක් පමනය. (දහදාහට 28)
යුරෝපයේ මධ්‍ය අගය 3.4 කි. ජර්මනියේ දහදාහට වෛද්‍යවරුන් 43 ක් සිටිති. බොහෝ අය ලංකාවට යන්නට හැදුවත් 
ලංකාවේ මිනිසුන් 1000 කට දොස්තරවරු සිටින්නේ 0.96 කි. දහදාහකට නම දෙනෙකි. 


(සමාජවාදී කියුබාව ලෝකයෙන්ම ඉදිරියේ සිටින අතර එහි දාහකට 6.7 සිටිති. දහදාහකට 67ක් ) 


ඔබලාට දොස්තරලා ඇතිවෙන්න සිටිතැයි හිතෙන්නේ පෞද්ගලික සේවය නිසාය. බ්‍රිතාන්‍යයේ විශේෂඥ වෛද්‍යවරුන්ට හැර 
අනිත් අයට පෞද්ගලික වෙදකම් තහනම්ය. ඒ තිබුනත් පවුලේ වෛද්‍යවරයාගෙන් (GP ) ලියුමක් රැගෙන මිස පෞද්ගලික 
රෝහලට යාමට නොහැකිය. 


කොවිඩ්-19 වෛරසය ඔබට වැළඳී ඇත්නම් මුල් දින හත තුල ශ්වසන කිරීමේ අපහසු තාවයක් නැත්නම් මේ රටේදී රෝහලට යාමට 
අවශ්‍යතාවයක් නැත. අමාරුනම් 111 ට කතා කර හෝ 999 ට කතාකළ විට ඇම්බියුලන්ස් එක එවනුලැබේ. (සේවාව ඉල්ලන 
සෙනග වැඩිනම් ප්‍රමාද වීමක් ඇතිවේ. නමුත් සුවසැරියට විරුද්ධ වූ පිරිසක් ශ්‍රී ලංකාවේ සිටි බවද අමතක නොකරන්න) 


පිටරටවලින් සංචාරයට පැමිණි අය මුදල් ගෙවා බෙහෙත් ගත යුතු වුවත් මේ දිනවල නොමිලයේ ප්‍රතිකාර කරති. 


මේ රටේ සිටි ඇතැම් සිසුන් හා වෛද්‍ය පුහුණුවට යාමට ආ පුඟුලන් ලංකාවට යාමට බොරු ආරංචි පැතිරවූ බව අපි දැන් දනිමු. 


මේ රටේ සෞඛ්‍ය සේවය ඔතරම් හොඳ නැත්නම් ලංකාවේ වෛද්‍යවරු විශේෂන්ඥයන් වීමේ සීමා වාසික පුහුණුව සඳහා 
මෙහි එන්නේ මොන ලබ්බකටද? එහෙම පැමිණ මේ රටේ නතරවූ අයද මම දනිමි. ලංකාවේම ඒ විශේෂඥ පුහුණුව කරගන්නට 
තිබුනා නොවේද? 
(දොස්තර (consultant)  පුහුණුවට පැමිණි වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍ය  රජයෙන් වසරකට පවුම් 13000 වැටුපක් ගෙවනු ලැබේ.  ඒ ලංකාවෙන්  ලැබෙන පඩියට අමතරවය ශ්‍රී ලංකාවේ වැටුප ලබා ගන්නේ නැතිනම් එය 30,000 බවක් යහළුවෙක් මට  පැවසීය (වැරදිනම් නිවැරදි කරන්න))

මේ බොරු ආරංචි පැතිරවූ තත්වයට බ්‍රිතාන්‍යයේ යේ වෙසෙන ඇතැම් වාමන්ශිකයන් ද වගකිවයුතු බව සිතමි. තමන්ට ලංකාවේ 
දේශපාලනය රැක ගන්නට ධනවාදයේ දුර්වලකම් උලුප්පා පෙන්විය යුතුය. එහිදී තමන් මේ ජිවත් වන්නේ දියුණු ධනවාදී රටක 
බව ඔවුන් අමතක කරති. 


මේ ධනවාදයේ දුර්වලකම් බොහෝය. එසේනම් අර්ධ ධනවාදී අර්ධ සමාජවාදී ශ්‍රී ලංකාවේද එම දුර්වලකම් එසේම පවතී. සෝවියට් 
දේශයේද ජිවත් වූ මම සමාජවාදයේ දුර්වලකම්ද ධනවාදයේ දුර්වලකම් ද හොදින් දනිමි. එනිසා මේ වාමාංශිකයන් ට මෙසේ කියමි. 
ඔබලා ලංකාවේ අයට තොරතුරු සපයන්නේ නම් ඔබලා භාවිතා කරන 4x4 වාහනවල විස්තරද ඔබලාට අයත් පවුම් ලක්ෂ තුන 
හතර වටිනා නිවෙස් ගැනද ඔබලා ගන්නා ආහාර ගැනද ඔබලා බොන විස්කි, වයින්, ජින් හා වොඩ්කා වල මිල ගණන්ද ඒ සමගම 
 ඒ සහෝදරවරුන්ට දන්වන්න. ඔවුන් නියම ජිජැකියානු අර්ථයෙන් සමාජවාදය වටහා ගනු ඇත. 


(මෙය ලියුවේ ඉරිසියාවට නොවේ. ඔබ හොඳින් ජිවත් වනවාට මම උදක්ම කැමතිය. මේ රටේ සුරාකෑම ප්‍රබලව පවතී. නමුත් 
එසේ සූරා කවාගන්නට පෝලිම් සෑදී එන පිරිසක්ද සිටින බව අමතක නොකරන්න.) 


එසේම මේ පින්තුර වලට කලබල නොවන්න. මේ මම වසර තුනකට පමණ පෙර අසනීපව ලන්ඩනයේ රෝහලක ඇඳක සිටියදී ගත් 
ඡායාරූප කිහිපයකි. ශ්‍රී ලංකාවේ සිටින මගේ පවුලේ උදවිය වත් ලන්ඩනයේ සිටින කිසිවෙක් වත් ඒ දිනවල මා අසනීපව සිටියා යයි 
දැන සිටියේ නැත. මම කිසිවෙකුට කීවේද නැත. මා මේ පින්තූර ගත්තේ ජර්මනියේ සිටින බිරිඳගේ දෙමාපියන්ට හා සොයුරියට 
(මගේ නැන්දා හා මාමා ) යවන්නටය. ඔවුන් බ්‍රිතාන්‍යයේ පහසුකම් පෙන්වන්නටය. ඒ ජර්මනියේ සෞඛ්‍ය සේවා පහසුකම් 
අපටත් වඩා ඉහල නිසාය. බිරිඳගේ මිත්තනිය රෝහලක් දිගු කාලයක් සිටි නිසා මම ඒ බව දනිමි. 


මේ පින්තූර පල කරන්නේ ශ්‍රී ලංකාවේ මේ දිනවල සමහරු ෆේස්බුක් හි පල කරන ෆේක් නිව්ස් එකක් නිසාය. එනම් 
එංගලන්තයේ අප වැනි ආසියානු ජාතිකයන්ට රෝහල් වල ඇඳන් දෙන්නේ නැති යයි ද ඒවා දෙන්නේ සුදු ජාතිකයන්ට පමණක් බවද 
කියන ප්‍රවෘත්තියක් ශ්‍රී ලංකාවේ පතුරවන බැවිනි. මගේ ඥාතියෙක් විස්සෝප වෙමින් මට ආදරයට කිවේ "අනේ පුතේ දැන්වත් ඔය රට 
දාල එන්න. ඇඳක් වත් දෙන්න නැත්නම් " කියාය. එහෙම දෙයක් නැත. ඇඳන් මදි කියා මේ රටේ බිම නිදාගෙන සිටින අය මම 
තවම දැක නැත. අලුත හැදූ නයිටිංගේල් රෝහලේද ඇඳන් තවම හිස්ව පවතී. 


කොළඹ ගමයා 









Please don`t worry. I am not ill. These photos are old ones. I am posting 
this to show that we Asians can have beds in UK hospitals. Unfortunately 
some racist elements in Sri lanka are spreading malicious rumours. They 
say in UK only white people will get the hospital beds. Not Asians.I am 
trying to make a point here.

8 comments:

  1. අජිත් මහත්තයෝ, ඔයා සී.ඒ. චන්ද්‍රප්‍රේම මහත්තයා ලියු 'කොළ පාට සමාජය' පොත කියවලා තියෙනවද? එකේ එයා කියනවා රට දියුණු වෙන්න නම් සූරාකන ධනපතියන් වැඩි-වැඩියෙන් සූරා කෑමේ (කම්හල්- ව්‍යාපාර) ඇති කල යුතු බව.

    ReplyDelete
    Replies
    1. මම කියවල නැහැ. මම තරමක සමාජවාදියෙක් ඒත් ධනවාදය දියුණු වෙලා එන එකකට

      Delete
  2. මෙම බ්ලොග් අඩවියේ යම්කිසි ගැටළුවක් ඇතිව තිබෙන බව පෙනේ. අකුරු එක මත එක ගොස් ඇත. ලංකාඊනිවුස් වෙබ්අඩවියට ප්‍රහාර එල්ල කෙරු හැකරුන් මෙම බ්ලොග් අඩවියටද ගැජටුවක් ඇතුලත් කර පාඨකයන්ගේ සහ කොමෙන්ට් දමන්නන්ගේ විස්තර එකතු කරනවාදැයි කියා සැක සිතේ.

    ස්ක්‍රීන් ෂොට් එකක් පහල ඇත.

    https://postimg.cc/sM2v3VBW

    ReplyDelete
    Replies
    1. මටත් එය දැනුනා. ඊයේ අර පාර්ලිමේන්තු කමෙන්ට් එකකට මිනිහෝ කියා උත්තර දුන් නිසා වෙන්න ඇති. ඔබ තුමාට ස්තුතියි . සෙටින්ග් බලනවා මේ වෙලාවේ.

      Delete
    2. තරමක් දුරට හැදුව අකුරු පොඩි කරලා. බ්ලොගර් ලාගේ වරදක් වගේ

      Delete
  3. ඔය විශේෂඥ පුහුණුවට ආපු අය කිව්වේ දොස්තර හිඟ නිසා ඒ අයව frontline එකට දානවා ඒ නිසා ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න කියලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමයි කිව්වේ.දැන් ඔය දොස්තර (consultant) පුහුණුවට පැමිණි වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍ය රජයෙන් වසරකට පවුම් 13000 වැටුපක් ගෙවනවා. ඒ ලංකාවෙන් ලැබෙන පඩියට අමතරව. ශ්‍රී ලංකාවේ වැටුප ලබා ගන්නේ නැතිනම් එය 30,000 බවක් යහළුවෙක් මට පැවසුවා. (වැරදිනම් නිවැරදි කරන්න) ..මෙහෙ රිසර්ච් ඩිග්රි වගේ කරන ඔක්කොටම ඕක දෙනවා. ඒ කියන්නේ දවස් භාගයක් හරි වෝඩ් එකක ඉන්න ඕනි මම හිතන්නේ. කෝවිඩ් වෝඩ් එකකට දැම්මොත් මැරෙයි කියන බයට තමා යන්නේ . මෙහෙ දොස්තරවරු මැරුණා නේ 20 විතර. නමුත් ඉතින් ඔය සොක්‍රටීස් දිවුරුම හෙම ගන්නේ ඕන කෙනකුට බෙහෙත් කරනවා කියල නෙමෙයිද? මෙහෙ ලොක් ඩවුන් පරක්කු වීම පිලිබඳ ප්‍රශ්නයක් තියනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ.ජර්මනියේ විධිහට යන්න තිබ්බ. නමුත් රජය ගණන් ගත්තේ නැහැ මුලදී.

      Delete
  4. If believing fake news is an art our people are it's Piccaso.

    All incidents about arrivals from UK at BIA is now proved to be fake news.

    However one thing is clear, most people(not all)living in SL have a big problems with wealthy and educated and think they are the source of all problems. Wijebahu

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .