Friday 1 January 2021

සම්ප්‍රදායික ජර්මන් කෑම වේලක්

සම්ප්‍රදායික ජර්මන් කෑම වේලක් 
**********************************
(ඔබ මස් නොකන අයෙකුනම් මේ ලිපිය කියවන්න එපා.)
මේ අවුරුද්දේ මුල්ම බ්ලොග් පෝස්ට් එක කෑම ගැන ලියන්න වෙන් කළා. වැඩිය ලියල නැති මාතෘකාවක්. බිරින්දෑ ගැනත් ලියනවා කියල පොරොන්දු වුන නිසා මේකෙන්ම පටන් ගත්ත. නැත්නම් දැන් එන්න එන්නම වෙලාව හොයා ගන්න අමාරුයි. ඇයි පහුගිය මාස දහයම ගෙදර ඉඳන් වැඩ කළ නිසා වෙලාව හරියන කොට කෑ ගහනව. "දැන් වැඩ ඉවරයි නේද. තවත් ඉන්න ඕනෙද කොම්පියුටරේ ලැග ගෙන කියල". මම කරන්නේ ඉතින් ඔෆිස් එකෙන් ගෙදර එකට  මාරු වෙන එක විතරයිනේ. 

 සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිමට ජර්මනියට ගියහම රෙස්ටුරන්ට් දෙක තුනකට යන එක සිරිතක්. හේතුව මේකයි. මේ සීත කාලෙට ගොඩක් තැන්වල කන්න දෙන්නේ මස් වර්ග විතරයි.සීත සමයේ  බැවේරියාවේ ආපන ශාලා වල් පාත්තයෝ (wild geese) , (ෆාම් වල හදන්නේ හොඳ පාත්තයෝ), වල් ගෝන්නු (wild stags) සහ වල් ඌරෝ (wild boar) තමා කෑමට තියෙන්නේ වැඩිපුරම. ඒව තමා ජනප්‍රිය. මාළු කන අයට ටිකක් අපලයි මේ කාලේ. අවුරුදු දෙක තුනකට කලින් අපි ගිය එක ආපන ශාලාවක තිබ්බේ එකම එක මාළු වර්ගයයි. ඒකත් කිරි මිශ්‍ර සෝස් එකක් එක්ක .මට කොහොමටවත් කන්න බැහැ.  වෙජිටේරියන් කට්ටියටත් ගෙදර තමයි කෑම හදන්න වෙන්නේ. 

ලන්ඩන් වල ක්‍රිස්මස් එකට කළුකුම් මස් (turkey) තමා හදන්නේ. කන්න නම් ටිකක් අමාරුයි. ලොකු රහක් නැහැ. මේ අවුරුද්දේ කෝවිඩ් නිසා ඔෆිස් පාටි එකත් නැහැ.      
ඉතින් ක්‍රිස්මස් දවසට කලින් දවසේ බිරිඳ සාමාන්‍යයෙන් හදන්නේ මාළු. මොකක් හරි සම්බන්ධයක් තියනවා ජේසු කතාවට. ක්‍රිස්මස් දවසට කළුකුම් හෝ කුකුළු මස්. නැත්නම් ෆාම් වල හැදුනු කීකරු පාත්තයෙක්. නමුත් මේ සැරේ අල්ලපු ගෙදරත් එක්ක මස් පලහාපු නිසා පාත්තයා සෙට් වුනේ පරණ අවුරුද්දේ රෑ ඒ කියන්නේ 31 රෑට.








 පාත්තයා රෝස්ට් කර ගන්නේ හිස කරපු මැදට ඇපල්, වියලි අප්රිකොට් ආදිය දාල. ලුණු, ගම්මිරිස් අතුරලා සමහර විට සොයි සෝස් වටේට ගානවා. පැය දෙකක් විතර අවන් එකේ තියල ගන්නේ. බෝංචි ඇට වර්ගයක් සහ කෝන් වලින් හදපු කෑමක් තිබෙනවා. 
එසේම මේ ආහාර වෙලට්  රතු ගෝවා ( කැබේජ්) සයිඩ් එකෙන් තියෙන්නම  ඕනේ. රතු කීවට ඒවා ඇත්තටම දම් පාටයි. රතු   ගෝව බැදලා ඊට පස්සේ උයල තියෙන්නේ වයින් සෝස්  දාල. ඒකට වේලිච්ච මිදිත් දානවා. 

බත් වෙනුවට තියෙන්නේ අල ඩම්ප්ලින්ස් (dumplings). කර්ටෝෆෙල්ක්ලුසෙ කියල ජර්මන් වලින් කියන්නේ.  ඒවා හදන්නේ අල පොඩි කරලා, කෝන් පිටි ටිකක්, බිත්තරයක් හෙම දාල ඊට පස්සේ තම්බල අරගෙන. අර පාත්තයා බැදුණු වතුරෙන්ම සෝස් එකකුත් හදනව. ඔපමණයි. 

මේ පින්තුරේ තියෙන්නේ අල්ලපු ගෙදර උදවියගේ කෑම. ඔවුන් ඉතාලියන්/ඇමෙරිකන් සහ බ්‍රසීල යුවලක්. වැඩිපුරම මස් පලහා කෑම තමා කරන්නේ. මම ඉතින් කරි හැදුවම හෝ කරියක් ලැබුනොත් එයාලටත් දෙනවා. ඒකට සෑහෙන්න පෙරේතයි. මෑන්ස් හදන්නෙම හරක් මස්  සහ ඌරු මස්. 
මම නම් මේ අවුරුද්දේ ඉඳන් මස් කෑම අඩු කරලා තියෙන්නේ. මොකද ඒක අවශ්‍යම නැති නිසා. එළවලු තමයි වැඩි පුරාම කන්නේ. ඒත් ඉතින් මේ වගේ දවසක අනුගත වෙන්න වෙනවා. උයල දෙන දේ එපැයි කන්න. මේ කෑම කිසි දෙයක් තුනපහ දැම්මේ නැහැ කියල මටනම් රසින් අඩුවක් නැහැ. 

සාමාන්‍යයෙන් ලංකාවට කතා කළාම අම්ම අහනවා මොනවාද කෑවේ කියල. හැබැයි මේ කෑම වේල ගැන  අපේ අම්මට කීවහම කියන්නේ 
"අනේ මේ දරුවට හරියට කන්නත් නැහැනේ." කියල.  මට ඉතින් හොල්මන්. මේ තියෙන්නේ  කන්න නෙමෙයිද? අම්මගේ අදහස බත් තිබ්බේ නැත්නම්, අර පාත්තයට මිරිස් තුනපහ දාල තිබ්බේ නැත්නම් මම බඩ ගින්නේ කියල. 
චිකන් ඵහිටා


එක පාරක් අම්ම එක්ක ගියා  චිකිටෝ  කියන මෙක්සිකන් රෙස්ටුරන්ට්  එකට. එයා චිකන් විතරයි කන්නේ. ඉතින් අරන් දුන්න ෆහිටා එකක් ටෝටිලා එක්ක. (මෙක්සිකන් රොටි)
අපේ  මව්තුමී චිකන් කෑල්ලක් කෑව , රොටියෙන් කෑල්ලක් කෑව. චිකන් හරියට හදල නැහැ අමුයි, රොටිය හරියට දාල නැහැ, එළවලු හැදිලා නැහැ කීව. 
මටයි ඉනෙස් ටයි කියනව  "ඇයි ළමයෝ ඔය අමුවට උයපුව කාල බඩේ අමාරුව හැදෙන්නේ නැත්ද කියල. තුනපහ පෙන්නලාවත් නැහැනේ." මම කිව්වා  මෙක්සිකන් කාරයන්ට ඒ කාලේ තුනපහ තිබ්බේ නැහැ කියල.  ඉන්දියන් තැනකට ගියොත් මිසක්  ඊට පස්සේ නම් කන්න ගියේ නැහැ වෙන තැන්වලට.  

ඉතින් මේ තමයි 31 දා අපි අනුභව කරපු ජර්මන් කෑම වේල. 

ඉතින් මේ බ්ලොගයට පටන්ගත් දවසේ ඉඳන් ගොඩ වෙච්ච ඔබ හැම දෙනාටම සුභ නව වසරක්. කොවිඩ් ප්‍රශ්නය අවසන් වී ,ඒ එන්නත් ලැබී, රැකියා වලට  යාමට ලැබී , රැකියා නොමැති අයට රැකියාවන් ලැබී වඩා සුභ පල ගෙන දෙන සෞඛ්‍ය සම්පන්න   නව වසරක් වෙන්නය කියලත්  පතනවා. 



18 comments:

  1. ආපෝ ඔය රටේ හරියට කන්නවත් නෑනෙ. හැක්..

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බඩ ගින්නේ තමයි , පේන්නේ නැත්ද හැටි . කලිසම බඩට ඇලිලා.
      කෑමෙන් බීමෙන් සහ පැණියෙන් පිරි සුභ නව වසරක් වේවා

      Delete
  2. සුභ නවවසරක් වේවා කොළඹ ගමයා තුමනි, ඔබටත් ඉනෙස් මැතිණියටත්, දියණියන් හටත්, අල්ලපු ගෙදර වැසියන්ටත්, සකල ලෝක... (එක්කො එච්චර ඕනෙ නෑ...)

    අර වල් සත්තුංගෙ මස් වලට දාන විශේෂණය වයිල්ඩ් ද? මං හිතාගෙන උනේ "සෙක්සි පෝක්" වගේ දෙයක් කියල...

    ReplyDelete
    Replies
    1. තුමනි කියන කොට නිකම් මොකක්ද වගේ. මන්තිරි කෙනක් වගේ ගතියක් දැනෙනවා කවුන්ට් තුමනි. ඒක තමයි වල් සත්තුන්ට එහෙම කිව්වේ නැත්තේ කියල. ඒත් ඉතින් , she went wild with his touch කියලත් කියනවනේ

      Delete
  3. අජිත් මහත්මා සුබ නව වසරක් වේවා, ඔබටත් දරු පවුලටත්! කාරණා කිහිපයක් ඉතාමත් කෙටියෙන් ලියමි.

    1. නත්තලට මාළු උයන එක කිතුණුවන්ගේ සිරිතක්. රෝම පීඩන සමයේ,කිතුණුවන් තමන්ගේ ආගමික සංකේතය ලෙස යොදා ගත්තේ මාළුවාවයි.(කුරුසිය ආවේ පසුවට.) ක්‍රිස්තුන්වහන්සේ සහ මාළු/ධීවරයන් අතර ඇත්තේ සමීප බැදීමක්. ක්‍රිස්තුන්වහන්සේගේ වැඩ බිම වූ ගලීලය මුහුද අසබඩ  නාසරෙතය යනු ධීවර බිමක්.ලෙල්ලමක්. නව ගිවිසුමේ සඳහන් වන ලෙසට ක්‍රිස්තුන්වහන්සේගේ බහුතර මිතුරන්/apostles  වුනේ ධීවරයන්. උන්වහන්සේ ධීවරයන් දිනා ගත්තේත් ධීවරයන්ට ප්‍රාතිහාර්යයන් දක්වලා. පසුව ඔවුන් දැල් ආම්පන්න බෝට්ටු දාලා ක්‍රිස්තුන් පසුපස ගියේ මැරෙන්න හරි එනවා..යං කියලා. (ක්‍රිස්තුන්වහන්සේගේ ප්‍රධාන මිතුරන් 12 දෙනාගෙන් 10 දෙනකුවම මරා දැමුණා)  ඒ වාගේම පලමු පාප්වරයාත් ධීවරයෙක්. (St. Peter).ක්‍රිස්තුන්වහන්සේ ඔවුන්ට කීවේ
    " මින්පසු ඔබ අල්ලන්නේ මසුන් නොවේ; මිනිසුන් "..කියලා. (සිංහලෙන් නොවේ ඇරමයික් භාෂාවෙන්)

    ක්‍රිස්තුන්වහන්සේට විසින් සිදුකල 5000 දෙනාට කෑම දීමේ ප්‍රාතිහාර්ය /miracle වේලාවේදී යොදා ගත්තේ කුඩා මසුන් දෙදෙනෙක් සහ රොටි තුනක්.

    ඒ විතරක් නොවේ ක්‍රිස්තුන්වහන්සේගේ 'පුියතම ආහාරයත්' මාළු වෙන්න ඇති. ඒ නිකං උයපු මාළුත් නොවේ ; වෙරලේ තියාගෙන barbecue  කරපු මාළු. (මේ අවධාරණය මාගේය) ක්‍රිස්තුන්වහන්සේ මරණය පරාජය කොට උත්ථාන වූ ශරීරයක් සහිතව/resurrected Christ body සිටින විටත් යාළුවන්ට මාළු බාබක්‍යු කරලා කන්න දීලා, තමන්වහන්සේත් කෑවා කියලා තමයි බයිබලයේ නව ගිවිසුමේ තියෙන්නේ.

    ක්‍රිස්තු සමය තුලත් , ඊට පසුවත්  මාළු යනු දුගියාගේ සහ පීඩිතයාගේ  ආහාරයක්. වහලාගේ ආහාරයක්. එදා මස් කෑවේ, පූජකයෝ, සිටුවරු, රජවරු,  සල්ලි කාරයෝ. බදු එකතු කරන්නෝ/tax collectors වාගේ අය.. ඉතින්  නත්තල යනු වහලාගේ, දුගියාගේ , පීඩිතයාගේ විමුක්තිවාදීයාගේ උපත සිහිකිරීමක් නිසා ඔබේ බිරිඳත් අවිඤ්ඤානිකව හෝ ඇයගේ මුතුන් මිත්තන්ගේ ක්‍රිස්තියානි ආභාසය තුල හෝ නත්තලට පෙරදා මාළු ව්‍යංජනයක් හදන්න ඇති! ඇයගෙන්ම අසා බලන්න.

    CP-C

    ReplyDelete
    Replies
    1. CP-C , බොහොම ස්තූතියි. මේ තරම් දීර්ඝව නැතත් ජේසුස් වහන්සේ හා ධීවරයන් සම්බන්ධ කතාව මම දන්නවා. ඉනෙස් මාළු උයන්නේ ඒනිසා කියලත් දනනවා. මට හැබැයි ඒක විස්තර කරන්න හිතුනේ නැහැ. මිෂන්රින් ඉන්දියාවේ මුහුදුබඩ ජනතාවට ජීසස් ගැන ක්ජියන් කොට ඔය සම්බන්ධතාවය භාවිතා කියල මම අහල තියනවා. දැන් හැමෝටම ඔබේ ප්‍රතිචාරයෙන් වැඩි දැනුමක් ලැබෙනවා.

      Delete
  4. 2. අවුරුදු 98 ආයු වලඳා බ්‍රිතාන්‍ය MI6 විසින් පුහණු,කරපු  ඔත්තුසේවා ඒජන්තයකු වන George Blake (GB) (1922-2020) මොස්කව්වලදී  දෙසැම්බර් 26 වැනිදා මිය ගිය බව වාර්තා වුනා. ඔහුගේ,දේහයට අවසාන ගෞරවය දක්වන්නට ආ පිරිස අතර  බලගතු පුතින් පවා සිටි බව සඳහන්,වුනා.පුතින් ඔහු ගැන මුව නොසෑහෙන්න වර්ණනා කර ප්‍රශංසා කල බවටත්, පූර්ණ හමුදා ආචාර මැද ඔහුව මිහිදන් කල බවත් Guardian පුවත් පත වාර්තා කලා.

    GB, KGB එකට වැඩ කලා MI6 එකට වඩා හොදට!  බ්‍රිතාන්‍යයට සහ බටහිර ලෝකයට ඔහු මහා පාවා දෙන්නකු වුනත් /The great traitor ever මුළු හදවතින්ම ඔහු සෝවියට් දේශපාලනයට සහ එහි මතවාදයට එකග වුනා. ඒ වෙනුවෙන් පෙනී සිටියේ මුදලට හෝ වාසියට වඩා SOVIET ideology  එක වෙනුවෙන්.

    හොඳ නැද්ද මේ ගැන ඔබ අනාගතයේදී හෝ ලිපියක් ලියන එක?

    CP-C

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා බ්ලේක් ගැන කියවද්දී. කලින් දැනන් හිටියත් වැඩි විස්තර දැන ගත්තේ මේ ලඟදි. මේ CP-C කියන්නේ මොකද්ද communist party ඔෆ් china ??

      Delete
  5. 3.ධනවාදය තුල ඇති කාර්යක්ෂමතාවයට ප්‍රධානම හේතුව එය තරඟයට ඉඩ දීමයි. SARS-COV-2  වෛරසයට එරෙහිව පැමිණි එන්නත් අනුසාරයෙන් ඉකොනො මෙය ඉතා ප්‍රබලව සහ සාර්ථකව  ගෙන හැර දක්වනවා, මාක්ස්-ලෙනින්වාදීන්ට ඇප නැති වෙන්නම! නව නිර්මාණයන් ධනවාදය තුල වැඩි වැඩියෙන් බිහි වන්නටත් එය හේතුවක් ලෙසට ඔහු කදිමට පෙන්වා දෙනවා. රුසියානු  SPUTNIC -V එන්නත පරදා PfIZER -BioNtech , Moderna , AstraZeneca  පෙරට පැමීණීමෙන් පෙන්වන්නේත් ඇත්තටම එයම නොවේද?

    දැන් එතකොට ඔබ දකින විධියට සෝවියට් ක්‍රමය ඇතුලේ inventions, innovations, discovery  සිදු වුවේම නැද්ද? සමස්තයක් ලෙසට මේ ගැන යමක් කිව හැකිද?

    CP-C

    ReplyDelete
    Replies
    1. ඒවා හුඟක් සිදුවුනා. නමුත් පක්ෂ රෙඩ් ටේප් එක සහ ඉරිසියාව ඕව නවත්වන්නට සෑහෙන්න බලපෑවා . අනිත් එක තමා සෝවියට් දේශයේ හොයාගත් බෙහෙත් සහ රිසර්ච් හොරෙන් බටහිරට විකුණුව. අසූව දශකයේදී එහෙම සොයා ගත් පොඩි පොඩි දේවල් බටහිරට විකුනපු ශ්‍රී ලාංකික අයෙකුත් සිටියා. බොහෝ විට එම Transaction සිදු වුනේ බර්ලිනයේදී. දවසක ලියන්න හිතේ තියන් ඉන්නව. අර මගේ ප්‍රථම ප්‍රේමය පොතේ ලියපු සමහර දේවල් ප්‍රබන්ධම නෙමෙයි. ෆ්‍රිද්මන් කියන්නේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය ගණිතමය ලෙස පැහැදිලි කල කෙනා . පස්සේ මෙරිකාවට ගියා. එතකොට ජෝර්ජ් ගැමොව් බින්ග් බැන් තියරිය ගැන හෙව්වා කෙනා. සෙල්දෝවිච්, න්‍යෂ්ටික බලාගාර තාක්ෂනය, මුලින්ම මිනිසෙකු අභ්‍යවකාශයට යැවීම. සිවිල් ඉංජිනේරු විද්‍යාවේ මුලධර්ම (හොඳම පාලම් සහ ටනල් සෑදීම ) , කලශ්නිකොව්, එතකොට රොකට් තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටියේ ඔවුන්. රුසියාවේ ස්පුට්නික් එන්නත හොඳයි කියන මගේ විශ්වාසය තියනවා. බටහිර පුවත්පත් බිල්ලෙක් මවා පෑවට . ඔතන තියෙන්නේ තරඟය ලොකු කම්පැනි වල. ඉකොන් ට වුනත් ඒක නැහැයි කියන්න බැහැ . සෝවියට් දේශය තමන්ගේ නිපැයුම් කරුවන්ට සැලකුව මදි කියල මම හිතන්නේ. සෝවියට් දේශයේ වීරයා කියල පදක්කමක් ගැහුවට ඇති වැඩක් තියෙනවද.

      Delete
  6. ජර්මන් නැවක සේවයේදි සෑම සෙනසුරාදා දිනයකම දවල්ට තිබුනේ Eintopf විතරයි. බොහොම අමාරුවෙන් ලංකාවේ අයට කන්න බත් වලට මාරුකරගත්තා.

    කොළඹ ගමයා මහතාටත් එතුමාගේ සොදුරු පවුලේ සැමටත් 2021 රෝ බියෙන් තොර නීරෝගිමත් යස ඉසුරින් සපිරුනු වසරක් වේවායි පතනවා.....

    ReplyDelete
    Replies
    1. Eintopf විතරයි - ඕක නිරෝගී වෙන්න දෙන්නේ. එලවලු හෙම හොන්දට් දාල . අපේ ගෙදර කවුරුහරි අසනීප වුනහම ඉනෙස් හදනවා මොකද ප්‍රටිෂක්තිය සහ සිරුරේ ශක්තිය වැඩි කරන්න ඕනේ නිසා. රුසියානුවන් කුකුළු සුප් හදන්නෙත් ඒකට. කොහෙද හොඳ දෙයක් දුන්නත් කන්නේ නැහැනේ. බත්ම ගිලපන්ය. හේ හේ ඔබතුමාටත් පවුලේ සැමටත් සුභ නව වසරක්

      Delete
  7. අජිත් මහතාණෙනි
    දන්වමි දයාවෙනි

    රැඩිකල් ගති ඇතත්
    බටහිර දනෝ නුවණැති
    හැම දේ ඉවත නොදමති;
    අකුරට සිරිත් සුරකිති!

    අපි ඊට ඉහළයි
    දරුණුයි, විසේකාරයි
    හොඳ හරිය තෝරලා
    වීසි කරනව හරි උජාරුයි!

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ සමහර දයලෙක්තික භෞතිකවාදී අය මට කියනවා ඔයා වගේ කෙනෙක් අලුත් අවුරුද්ද සැමරීම කරන්නේ කොහොමද කියල. පවුලේ සාමාජිකයෝ තවත් සතුටෙන් ඉන්න දවසක්. මම එච්චරයි කීවේ. හැමදේම පමණට තිබ්බහම ඇති

      Delete
  8. මං හිතන් හිටියෙ, ජර්මානු කෑම වේලකට පාං අනිවාර්‍යයි කියලයි. ඔබටත්, පවුලේ සැමටත් නීරෝගිමත් යස ඉසුරින් සපිරුනු වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. පාන් කන්නේ උදේට සහ රෑට විතරයි නේ . ඔබටත් පවුලේ අයටත් එසේම සෞභාග්‍යමත් වසරක්

      Delete
  9. පාත්තයයි තාරාවයි කියන්නේ දෙන්නෙක් නේද, මං තාරා මස් කාල තියෙනවා වියට්නාමයේදී,,මෙලෝ රහක් නෑ ,,, මිරිස් තුනපහ නැතත් සුදුළුනු ඉගුරු මිශ්‍රණය යි සොයා සෝස් දාල සීසන් කලා නම් කම රසයි..
    ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් වේවා......

    ReplyDelete
    Replies
    1. තාරා මස් කනකොට සෝයා සෝස් දාලා සීසන් කරන්න ඕනේ. චයිනිස් කෑම කඩ වල තියෙන්නේ. Roast duck with black bean source.පාත්තයා හා තාරාව සත්තු දෙන්නෙක්. පාත්තයට ඉඟුරු සුදුළුනු මිශ්නයත් දානවා සමහර අය .
      සුභනව වසරක්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .