මේ සිදුවීම් මීට දශක තුනකට පමණ පෙර සිද්ධ වූ ඒවාය . ලන්ඩන් වලට තම සබැටිකල් එක ගත කිරීමට ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙකු පැමිණියේය . ඔහු තමන් හඳුන්වා දුන්නේ අහවල් ෆැකල්ටියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුමෙකු හැටියටය . තමාට තුමා කියා ගන්නා පුද්ගලයෙකු මා දුටු ප්‍රථම වතාව එයයි .
සබැටිකල් යනු විශ්වවිද්‍යාලයකින් පඩි සහිතව දෙන නිවාඩු කාලයකි. ඒවා දෙන්නේ තම විෂයට අදාලව පර්යේෂණ කිරීමට හෝ වැඩිදුර ඉගෙනීම සඳහාය. ඔහු ලන්ඩනයට පැමිණ කල පර්යේෂණයක් නැත . ඉඳහිට ලන්ඩන් විශ්ව විද්‍යාලයට නම දමා එන්නට ගිය බව දනිමි . මෙසේ පැමිණ රැකියාව කල අය බොහෝ විය . වරක් බේස් වෝටර් වල පලතුරු කඩයක වැඩ කල ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් වරයෙකු මට මුලිච්චි වුනි . ලන්ඩනයේ ඉගෙන ගන්නා දියණිය බලන්නට පැමිණි ඔහු, වීසා වැදුණු නිසා ඒ කාලයේ මේ පොඩි රස්සාවක් කරන බව කීවේය. ඉන්පසු හමුදාවේ අය හමු නොවුණු නිසා රජය ඔවුන්ගේ පඩි වැඩි කරන්නට ඇත .
මේ අපේ කතානායක ආචාරි මහාචාරිට ලන්ඩනයේ අපූරු යහළුවන් දෙදෙනෙකුද සිටියේය . එක් අයෙකු පැමිණ සිටියේ 88-90 අවුරුදු වල ලංකාවේ පැවති භීෂණය නිසා නීතිඥවරුන් තිස් හතලිස් දෙනෙකුට එංගලන්තය ලබා දුන් දේශපාලන රැකවරණ වීසා වලින්ය. ඔහු දැන් ජිවතුන් අතර නැත . අනිත් යහළුවා වර්තමාන ප්‍රකට වෙබ් අඩවියකටද ලිපි ලියන ප්‍රසිද්ධ මාක්ස්වාදී මහාචාර්ය කෙනෙකි . ඒ දිනවල ඔහුද මහාචාර්ය කෙනෙකු නොවේ .
වරෙක එම හොටෙල් පද්ධතියේ ප්‍රධාන හෝටලයේ (රැකියාව කරන හැමටම එහි ආහාර ගත හැකිය ) අර යහළුවන් දෙදෙනා සමග ආහාර ගෙන කතා කරමින් සිටියේය . එවෙලේ මමද එහි වැඩකළ මිතුරෙකු වූ ජයන්ත හමුවීමට තවත් මිතුරෙකු සමග ගියෙමි . ඔහු මා නොහඳුනන ලෙස හැසිරුණේය.
පසුව මා ඔහු රැකියාව කරන හෝටලයට ගිය විට (මා නතර වී සිටියේ එහි කාමරයකය ) ඔහු පැවසුවේ මෙවන් කතාවකි .
"අජිත්, අප හෙන වැදගත් දේවල් කතා කලේ, ලෝක දේශපාලනය, ලංකාවේ දේශපාලනය , සාහිත්‍ය කෘතීන් ගැන හෙම . ඔයාලට ඒවා තේරෙන්නේ නැති නිසා තමා මම ඔයාලාට අපේ මේසයට කතා කලේ නැත්තේ . "
"එහෙමත් නැතිනම් අපි එයාගේ පටි රෝල් කියයි කියල හිතන්න ඇති යාලුවෝ දෙන්නා ඉස්සරහ ." මේ බව ඇසු යහළුවෙකු කීවේය.
කථිකාචාර්ය තැන පසු දිනෙක තමා ජනාධිපති ප්‍රේමදාසගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු බව මට පැවසීය. මට ඒ වෙලේ සිතුනේ අර දෙදෙනාට මොහු වැනි කෙනෙකු සමග ඇති සම්බන්ධය කුමක්ද යන්නය. එසේම මෙවැන්නෙකුගෙන් විදේශ සම්බන්ධතා ගැනීම නිසා ප්‍රේමදාස මහතාගේ රජයට තවත් කෙළ වී යා හැකි බවය .
ඔහු මුදල් වියදම් කලේ ඉතා අර පරිස්සමිනි . යහළුවෙකු කීවේ "මචන් අසූචි ගොඩක පවුමක් තිබුනොත් ඔහු දිවෙන් එය ගනීවි" යනුවෙනි . මම පිටින් මිලදී ගෙන විවිධ කෑම කන බව දැක ඒවා වියදම් අධික බව කීය . ඔහු මට සැමන් ටින් එකක් රැගෙන ආවොත් බත් උයා දිය හැකි බව කීවේය . හාල් කිලෝ පහක් පවුම් දෙක තුනක් විය. සැමන් ටින් කීවේ පිල්චාර්ඩ් වැනි ලොකු මාළු දැමූ ටින් වලටය. ඒවා ඒ කාලයේ පැන්ස ගණනකි . ඔහු මට ළුණු කපා කෑලි මිරිස් දමා ඒවා උයන හැටි කියා දුන්නේය . ඇත්තටම ඒ කෑම රසය . ඔහු මගේ යහළුවන්ට කියා තිබුනේ " මම අජිත්ව නියමට ඇන්දුවා . මිනිහ සැමන් ටින් හෙම අරන් එනවා . මම උයලා දීල මමත් දවස් දෙක තුනක් තියාගෙන කනවා. මගේ සල්ලි ඉතුරුයි . " යනුවෙනි . අපි බඩ අල්ලාගෙන සිනා සුනෙමු . යාළුවන් කීවේ "උඹ නොදන්නා විධිහට ඇට් කරපන් අපිත් එන්නම් කන්න " යනුවෙනි .
මා ආචාර්ය උපාධියට (ඒ දිනවල ) හෝ ලන්ඩනයේ උපාධියක් කිරීමට මුදල් එකතු කරන බව දැනගත් පසු ඔහු තවත් යෝජනාවක් කළේය . ඔහුට මට ශ්‍රී ලංකාවේ ආචාර්ය උපාධියක් ලබා ගත හැකි බව පැවසීය. එය ඉතාම ලෙහෙසියෙන් කළ හැකි බවද කීවේය. කුමන ආචාර්ය උපාධියක්ද , ලන්ඩනයේ සිට ඉගෙන ගත හැක්කේ කෙසේද ? තැපැල් මගින් කරන උපාධියක්ද ? සුපර්වයිසර් කෙනෙකු මුණ ගැසෙන්නේ කෙසේද වැනි ප්‍රශ්න රාශියක් නැගුවෙමි . ඔහු කොක් හඬලා සිනා සුනේය .
"අපොයි ඔයා බබෙක්නේ . මම ඔය ගෑණු ළමයෙකු ලව්වා නිබන්ධනයක් ලියවල දෙන්නම් . ඒවාට අවශ්‍ය කරන කරුණු අරව, මේවා ළමයින් ගෙන්ම ගන්න පුළුවන් . ඔයා ගේ ඇටෙන්ඩන්ස් එකත් දාල දෙන්නම් එහෙ ගිය විධිහට . හැමදාම යන්න ඕනෙත් නැහැනේ . හැබැයි සාහිත්‍ය , ඉතිහාසය පැත්තෙන් තමයි . " ඔහු පැහැදිලි කළේය .
මට ඇත්තේ විදුලි ඉංජිනේරු උපාධියක් නිසා එසේ කල නොහැකි බව කීවෙමි .
"අයියෝ අජිත් ඒකට කමක් නැහැ. කවුරුත් ඕව හොයන්නේ නැහැ . ඔයාට ඩොක්ටර් කියල නමට ඉස්සරහින් දාගත්ත හැකි . කිසි අවුලක් නැහැ . "
"මම නම් කැමැති මොනව හරි ඉගෙන ගෙන රිසර්ච් එකක් කරලා ගන්න . නැතිව වැඩක් නැහැ . මම කරන්න යන එකත් ඒ වගේ දෙයක්. " මම ඔහුට කීමි.
" අරහෙම නිකන් පීඑච්ඩි ගන්න අයත් ඉන්නවද ? " යයි මා ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ
"අපෝ ඕන තරම් . " යන්නය .
ඒ දිනවල අපි රුසියාවේ සිටි පෙම්වතියන් ගැන කතා බහ කිරීමත්සා කළෙමු . මේවා දැන් හංගන්නට දේවල් නොවන නිසා ලියමි . මා ළඟ මෙන්ම තවත් අය ළඟ පින්තුර ආදියද තිබුණු අතර රුසියානු හෝ උකරයින පෙම්වතියන් සිටි කිහිප දෙනෙක්ද සිටියහ . මේවා ආචාරි තුමාත් දුටු අතර ඔහු ට කිසියම් ලිංගික මාත්සර්යයක් ඇතිවූ බව අපට පෙනුනි . ඔහු,
"අපටත් ඔය වගේ කේස් ඕන තරම් තියනවා . මේ දැනුත් එහෙමයි " යනුවෙන් වගඩාඩම්බරයක් ද තෙපළේය. අපිද ඔහු උනන්දු කළෙමු . මා සිටියේ විසි ගණන් වල අග භාගයේය . අනිත් යහළුවකු දෙදෙනෙකු ඊට වඩා ලාබාලය. අපි සිනා සෙමින් ඔහුගේ කතා අ සිටියෙමු . නමුත් ඔහු විස්තර කල දේ ඉමහත් ජුගුප්සාජනක විය .
ඔහු කීවේ විශ්ව විද්‍යාලයේ ගැහැණු ළමුන්ට ලකුණු දෙන ආකාරයක් ගැනය . ඒ සඳහා භාවිතා කල වදන්ද අප ලංකාවේ කොලු කාලයේ භාවිතා කළ ඒවාය . තද පාෂාණ වර්ග වලට කියන නමක් මතක් කොට ඒවා හොඳ නම් පුරුෂ අවයවය ඇතිල්ලීම අඩුම ලකුණු දෙන ක්‍රමයකි . ඉන්පසු හස්තෝපක්‍රම භාවිතය සඳහා ලකුණු වැඩියෙන් ලැබේ . ඔහුට සැළකීම වේගවත් කීරීම හා අයිස් ක්‍රීම් කෑම වැනි දෙයින් ලකුණු වැඩි වැඩියෙන් ලැබීමට හේතු වේ . ඇතුළු දොර හැර ගැනීම ඔහුගේ විජයග්‍රහණයක් වන අතර ඒවා කිහිපයක් ද ඔහුගේ මල්ලේ වෙයි .
මේ මා ලීවෙ හැකි තරම් සංයමයෙන්ය. ඔහු අමු කුණුහරුප භාවිතා කළේය . අප ඒ වෙලේ සිනා සුනද පසුව වෙනම කතා කිරීමේදී ඔහු කී දෑ අපරාධ වශයෙන් හැඟෙන්නට විය . ඉන්පසු අපි අපිම ඔහුට සමාව දීමට තීරණය කලේ වැරැද්ද අපට පටවා ගෙනය . ඔහු කීවේ බොරු යයි අපි තීරණය කළෙමු . අපි රුසියාවේදී ගත් පින්තූර නිසා උද්දාමයට පත්ව අප හා සම වීමට මුසා බස් කී බව අපේ නිගමනය විය .
නමුත් ඔහු සැබවින්ම ඒ දේ කළා නම්, ලන්ඩනයේ ටෙලිපෝන් බූත් වල එස්කෝට් කෙල්ලකුට මුදල් ගෙවා ආශාවන් පිනවා ගැනීම ඊට වඩා නම්බුකාර යයි සිතුවෙමි . පවක් වුවත් නම්බුකාර පවකි .
ඔහුගේ බිරිඳ පැමිණෙන බැවින් හෝටලයට ඒ සුමාන දෙකේම අපට පැමිණීම ඔහු තහනම් කළේය . එයට හේතුව වශයෙන් ඔහු කීවේ මෙවැන්නකි . "මගේ ගෑනි තැඹිලි ගෙඩියක් වගේ ලස්සනයි . උඹල තරුණ කොල්ලෝ ෂුවර් නැහැ " යනුවෙනි . මට දැන් සිතෙන්නේ මේ පුද්ගලයාට කොපමණ ලිංගික ඉරිසියාවක් තිබෙන්නට ඇත්ද කියාය .
ඔහුට ප්‍රයිවෙට් බස් කිහිපයක් තිබුණි . එකල තිබූ රජයට සහය දැක්වීමක් වශයෙන් රූට් පර්මිට් ලැබුණු බව ඔහු පැවසිය .
"මම සමහර වෙලාවට බස් එකක් මම එලවාගෙන යනවා . පොලිස් කාරයෝ නතර කරහම මම ඕකුන්ට කුණු හරපෙන් බනින්නේ . කට ගහගෙන ආවොත් මම සුචරිතේට කෝල් එකක් දෙනවා කීවම නැට්ට *කේ ගහගෙන යනව. මට ඕකුන්ව පෙන්නන්න බැහැ . " ජනධිපති තුමා මේවා දැන සිටියා යයි කිව නොහැකිය . ඔහුගේ මේ කතා වලට අප අතර වැඩි ප්‍රසාදයක් තිබුනේ නැත . පොලිසිය සමග සම්බන්ධකම් ඇති අයද සිටි නිසාය . ඉන්පසු ඔහු එනවිට 'ආචාර්ය ප්‍රයිවෙට් බස්සෙක' එනවා යනුවෙන් කාඩ් එකක්ද වැදුනි .
ඔහුගේ වසර අවසානයේ ලංකාවට ගියේය . මම ඉන්පසු ඔහුගේ ගේ ලිපි දිවයිනේ ප්‍රධාන පුවත් පත් වල දුටුවෙමි . එසේම රාජපක්ෂ සමයේදී ඔහු ඒ ආණ්ඩුවට හේත්තු වී තිබුණි . පත්තර ලිපි වල මහාචාර්ය ලෙස හැඳින්වුණු නිසා නිසා එම පදවියද ලැබෙන්නට ඇත . ඔහුගේ ලිපි වල එතරම් ගත යුත්තක් නොතිබුණද මැද පිටු පුරා පළවීමෙන් පෙනී ගියේ ඔහු කතුවරුන් ඇසුරු කරන බවය .
දැනට අවුරුදු කිහිපයකට පෙර බිබීසී පුවත් සේවයේ සේවය කල ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු මා ඇමතුවේය .
"අජිත් අර ඔයා දවසක් කිව්ව මහාචාරියා මතකද ? නඩුවක් ගියොත්ස සාක්කි දෙන්න පුලුවන්ද " කියා විමසීය. මම විස්තර වීමසුවෙමි . අර ආචාරි මහාචාරියා කාන්තාවකට උසස්වීමකට හා පිටරට ශිෂ්‍යත්වයකට යාමට අවහිර කරන බවත් දොළ (ස්ත්‍රී මාංශ ) පිදේනියක් ඉල්වන බවත් ඔහු පැවසිය . ඇය ඔහුගේ ශිෂ්‍යාවක් ලෙස සිටි නිසා ඔහුගේ රෙකමදාරුව අත්‍යවශ්‍ය එකකි . ඇය නඩු යාමට සූදානම්ව සිටියාය .
හිටි හැටියේම ඔහු ඒ කාලයේ කිවූ දේ සියල්ල ඇත්ත බව අපට වැටහුණි . මම සාක්ෂි දෙන්නට කැමති වීමි . ඒ කතා ඇසූ තවත් යහළුවෙකුගෙන් සාක්ෂි සඳහා විමසන බවටද මාධ්‍ය සගයාට පොරොන්දු වුනෙමි . නමුත් මාධ්‍යවේදී සගයා සති කිහිපයකට පසු කතා කර කීවේ , එය අනවශ්‍ය බවත් ඔවුන් කිසියම් සමාදානයකට එළඹුන බවත්ය .
මේ තැනැත්තා නැවතත් ලන්ඩනයට පැමිණි විටෙක මා සොයා තිබුණි . යහළුවෙකු මගෙන් ඇසූ විට මා කීවේ මා ඔහු හමුවීමට අකමැති බවය . යහළුවා ඔහුට පවසා තිබුනේ මට හදිසි වැඩ වගයක් නිසා හමුවීමට නොහැකි බවය .
ඔබ මෙය කියවන්නේ නම් ඔබ වැනි අයෙකු මට හමුවීම ගැන ,මා ලජ්ජා වෙන අතරම හමු නොවුයේ නම් හොඳ යයි සිතන බව කරුණාකර දැන ගන්න .
මේ අපයෝජන ගැන කියා මම කොහේදෝ බ්ලොගයක ප්‍රතිචාරයක් දැමූ අතර රසික සූරියආරච්චි මහතා ලියා තිබුනේ එවැනි දේ සිදු නොවිය හැකි බවත් , සිදුවේ නම් ඔවුන් දැන ගන්නා බවත්ය . ඒ බොහෝ පසු කාලයකය. මෙවැනි දේ සිදු වේ නම් ගැන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය යමක් කරන්නේ දැයි ඇසූ පැනයකට ඒවා රන් කරන පක්ෂයක සහෝදරයෙකු පැවසුවේ ඔවුන් ක්‍රියා කරන්නේ ශිෂ්‍ය සුභ සාධනය , නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම, ජනතාවට මාර්ගය කියා දීම ආදියට බවය . ඔහුට අනුව පෞද්ගලික ප්‍රශ්න පාලනාධිකාරිය සමග බේරා ගත යුතුය. මේ කතාව ඇසූ යුඇන්පී යහළුවෙකු කීවේ අන්තරේ එම ගුරුන් සමග සම්බන්ධ නිසා ඒවාට එරෙහිව කතා නොකරන බවය .
දැනට වසර දෙක තුනකට පමණ හදිසි අනතුරකින් මියගිය මගේ රැඩිකල් මිතුරියක සිටියේය , ඇයට මේ කතාව වරක් කීවේ විශ්ව විද්‍යාල ගැන කතාවකදීය . "අනේ අජිත් , මම දන්නා ගැහැණු ළමයෙක් හිටියා . ටිකක් දුප්පත් . තාත්තා හදිසියේ නැති වුනා මම හිතන්නේ . ලෙච්චර් කෙනෙක් හිටිය ටිකක් සැරයි . මෙයා ගාමන්ට් එකකත් පොඩි රස්සාවක් කළා මම හිතන්නේ , දේශන වලට එනවත් හොරයි . අර ලෙච්ච්ර ගේ විභාගෙන් ගැලවෙන්න බෑ . ගෑනි කොහොම හරි අරයව දැලේ දාගෙන ගොඩ ගියා . දැන් බැඳලා ද කොහෙද , රස්සාවකුත් කරනවා හොඳ . ඕවා කතා කරල වැඩක් නෑ . දෙපැත්තම සමහර විට ". ඒ ඇගේ අදහස විය . මා මෙය ලිවිම නිවැරදි දැයි නොදනිමි .
රන්වල තමන්ට නැති උපාධියක් තිබුනා කියා පෙන්වීම වැරදිය . ඉන්ජිනේරුවෙකුට එංගලන්තයේ නම් උපාධියක් අවශ්‍ය නැත . ඉංජිනේරු වෘත්තියක නිරත වීම පමණක් සෑහේ. නැති උපාධි පෙන්වීම වැරදි අතර හොරට ලියා ගැනීමද වැරදිය. අර ආචාරියා කී දේ නිවැරදි නම් හොරට ආචාර්ය උපාධි කිහිප දෙනෙකු හෝ සිටිනවා විය යුතුය . රන්වල ගේ බොරු කීම මෙන්ම විශ්ව විද්‍යාල වල මේ ප්‍රශ්නද ආණ්ඩුව මැදිහත්ව බේරා දිය යුතු බව මගේ අදහසයි .
ප්‍රමිතිකරණය පැමිණි කාලයේ යාපනයේ මෙන්ම කොළඹද ඉතා ඉහලින් ලකුණු ලබා ගත් අයට විශ්ව විද්‍යාල වරම් අහිමි විය . ඒ වෙනුවට ලකුණු 180, 190 ට වෛද්‍ය, ඉංජිනේරු කිරීමට විශ්ව විද්‍යාල වලට පැමිණි අය සිටියහ. ඉන් සමහරු කොළඹ , ගම්පහ ගාල්ල වැනි ප්‍රදේශ වලට ටියුෂන් පැමිණි අයයයි . . නැත්නම් ගෙවල් තිබූ නිසා උසස් පෙළ පමණක් ඒ පැති වල ලියූ යයි . ඉන්පසු ඒ අය ආචාර්ය මහාචාර්ය පවා වෙද්දී වඩා උසස් ලකුණු තිබුණු අයට සිදු වූයේ කාර්මික විද්‍යාල වලට යාමටය . නැතහොත් පිටරට යාමටය . රන්වල වැන්නවුන් ගැන ප්‍රශ්න කිරීමට මොවුන්ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද ?
හැදෙන්නට තව බොහෝ දේ තිබේ .
කොළඹ ගමයා 15/12/2024