Friday, 4 September 2026

ටෙනරිෆ් දූපතේ උතුරු පෙදෙසේ මැජික් වනාන්තරය




මුලින් ලියූ ලිපි :  


අද ලියන්න යන්නේ ටෙනරිෆ් ගිහින් දෙවෙනි දවසේ අපි ගියේ කොහෙද කියල .  ටෙනෙරිෆ් (Tenerife) කියන්නේ අප්‍රිකාවේ වයඹදිග වෙරළට ඔබ්බෙන් තියෙන, ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් සමූහයේ (Canary Islands) විශාලතම සහ වැඩිම ජනගහනයක් සහිත දූපතයි. මේ දූපතේ මුළු වර්ගප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,034 ක්  පමණ වෙනවා .  මම හඳ ගමන් ලිපියේ ලිව්වා වගේ සම ස්ථානය  ටෙයිඩේ ගිනි කන්ද මීටර් 3,715 පමණ උසයි . මෙය ස්පාඤ්ඤයේ උසම කඳු මුදුන වගේම  දූපතේ කාලගුණය සහ භූමි ප්‍රදේශ දෙකකට උතුරු සහ දකුණු කියා බෙදන්නෙත් මේ කන්දෙන්.

එතකොට මේ දුපතේ තුරු ප්‍රදේශය, වැඩි තෙතමනයක් සහ වඩා ස්වාභාවික ලස්සනක් ඇති පළාතක්.  සුළඟ හේතුවෙන් සිසිල්, තෙතමනය සහිත කාලගුණයක් තියෙන්නේ .  සරුසාර පයින් වනාන්තර, කෙසෙල් වගාවන් සහ කළු වැලි සහිත ගිනිකඳු වෙරළ තීරයන් බලන්න පුළුවන් .  සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සහ ඓතිහාසික නගර , ලා ලගුනා සහ පුවෙර්ටෝ ද ලා කෲස් වැනි ආදිය ඇත්තේත් උතුරු පැත්තේ . 

අපි නතර වෙලා හිටි හෝටලය තිබ්බේ දකුණු ප්‍රදේශයේ අව් රශ්මිය වැඩි පැත්තේ ප්ලායා ඩෙ ලාස් අමෙරිකාස් නගරයේ ප්‍රධාන සංචාරක නිවාඩු නිකේතනයක .  යුරෝපීයයන් පැමිණීමට කලින් , මෙහි 'ගුවාන්චේ' නම් ආදිවාසී ජන කොටසක් ජීවත් තමා ජිවත් වුනේ.  ඔවුහු ගුහාවල ජීවත් වෙලා තියෙන්නේ . ඒ වගේම දූපත ගෝත්‍රික රාජධානි 9 කට බෙදා පාලනය කරගෙන හිටියේ .ස්පාඤ්ඤ ආක්‍රමණය සිදුවෙලා තියෙන්නේ 1494–1496 කාලයේ .   ස්පාඤ්ඤයේ කැස්ටිල් කිරුළට යටත් වූ අවසාන කැනරි දූපත තමා ටෙනෙරිෆ්. ගුවාන්චේ වැසියන් දැඩි ලෙස සටන් කළ නමුත් අවසානයේ ස්පාඤ්ඤයට යටත් වීමට ඔවුන්ට සිදු වුනා .  

අත්ලාන්තික් නාවික මාර්ගයේ පිහිටා තිබීම නිසා, ටෙනෙරිෆ් වයින් සහ සීනි අපනයනය කරන ප්‍රධාන වරායක් බවට පත් වුනා කාලෙකට පස්සේ. මේ නිසා මුහුදු කොල්ලකරුවන්ගේ සහ විදේශීය නාවික හමුදාවල ප්‍රහාරයන්ටත්  නිතර ලක් වුනා .  1797 දී බ්‍රිතාන්‍ය අද්මිරාල් හොරේෂියෝ නෙල්සන්ගේ අත අහිමි වූයේ ටෙනරිෆ් සමග යුද්ධයකදී .  

අපි ගියේ සීතල උතුරු ප්‍රදේශයේ තියන අනාගා ග්‍රාමීය උද්‍යානය බලන්න. ප්‍රධානම  කාරණය තමා ටෙනරිෆ් වලට වහින්නේ නැහැ .  කවදාවත් වැහලත් නැහැ .  එහෙමනම් කොහෙන්ද වතුර ?  ඔන්න ඔය ප්‍රශ්නයට පිළිතුරු හොයන්න වෙන්නේ මේ ගමනින් .   
අපේ සංචාරක ගයිඩ් මහත්මය යුක්‍රේනියානු ජාතිකයෙක් .  මිනිහ ඉංජිනේරුවෙක් යුක්රේනයේ .  යුද්ධය පටන් ගත්තට පස්සේ මුළු පවුල් පිටින් මෙහෙ ඇවිත්. මිනිහා  යුද්ධය ගැන විවේචනයක් හෙම කරලා තමා ගමන් පටන් ගත්තේ. මට වැඩිය දිරෙව්වෙ නැත්තේ මිනිහ සෑහෙන්න උස නිසා මගේ උස පිළිබඳව විහිළුවක් දෙකක් කියන්න ගැනීම.  නමුත් ප්‍රධාන හයික් එක වෙලේ මම ඇවිදින ඇවිදිල්ලට මෑන් අදහස පස්සේ වෙනස් කර ගත්ත කියල තේරුණා .  එයාව අපි තෝරා  ගත්තේ ඇයි කියල ඊළඟ ලිපියෙන් පැහැදිලි වෙයි,




අපි ඉස්සෙල්ලම ගියේ  මැජික් වනාන්තරය (Bosque Encantado / El Pijaral) බලන්න .  මේ වනාන්තරය වසර මිලියන ගණනක් පැරණි, අද්භූත ස්භාවයක් ගන්නා "ලෝරසිල්වා " (Laurisilva) වර්ගයේ වනාන්තරයක් .  ඒ කියන්නේ අයිස් යුගයට කලින් ,  වසර මිලියන් විස්සකට කලින් වගේ හැදුනු ෆොසිල මේ වනාන්තරයේ තියෙනවා .  මේකේ විශේෂත්වය තමා  වෙරළෙන් එන ජල වාෂ්ප සහ මීදුම නිසා මෙහි නිතරම තෙතමනය සහිත පෝෂණීය පරිසරයක් පැවතීම. මේක නිතරම වගේ තෙතමනය සහිත වලාකුලින් වැහිලා තියෙන්නේ .  මුහුදෙන් එන සුළං සහ වාෂ්ප සහ සැදෙන මිදුම නිසා සමාන්තර වර්ෂාව කියන සංසිද්ධිය ඇති වෙනවා.   ජල බින්දු ගස් අතරින් ගලා එනවා .  නමුත් අපි නිතර දෙවෙල දකින වැස්ස නැහැ .  විශාල මීවන (Ferns) ශාක, ගස් මත බැඳී ඇති පාසි සහ මීදුම නිසා මෙහි ඇවිදින විට යම්කිසි මායාකාරී හෝ චිත්‍රපටයක දර්ශනයක් අර Enchanted Forest (මායාකාරී වනයක් )   මැද සිටිනවා වැනි හැඟීමක් දැනෙනවා .  මෙය ස්වාභාවිකව ජලය එක්රැස්වන ක්‍රියාවලියක්. පින්තූර දැක්කහම පෙනෙයි  පෙඳ බැඳුනු ගස් . 
මේ ගස්  කපන්න තහනම් .  හානියක් කලොත් යුරෝ තුන්දහේ  සිට ලක්ෂ තුන දක්වා දඩ ගහනව. පෞද්ගලික නිවසක ගෙවත්තක වුනත් ගහක් කපන්න තහනම් විශේෂ අවසරයක් නැතිව .   

හැබැයි පුදුම හිතලක් දැනුනේ .  ටෙනරිෆ් සාමාන්‍යයෙන් රස්නේ නිසා මම ජැකට් එකක් දාගෙන ගියේ නැහැ .  වෙව්ල වෙව්ල හිටිය සීත ගඟුලේ නානවා වගේ . 

*******************************************************************************************************

එතන සිට අපි ගියේ  "ඉංග්‍රීසි ජාතිකයාගේ නැරඹුම් ස්ථානය"  නැරඹුම් ස්ථානය කියන තැනට. ස්පාඤ්ඤ බසින් මිරාඩෝ පිකෝ දෙ ඉංග්ලීස් Mirador Pico del Inglés කියල කියන්නේ . මේ ස්ථානය  මුහුදු මට්ටමේ සිට මීටර් 960 කට වඩා උසින් පිහිටි හරිම දර්ශනීය තැනක් . 'Pico del Inglés' යන්නෙහි තේරුම, ඉංග්‍රීසි ජාතිකයාගේ ශිඛරය "Englishman's Peak" යන්නයි. අතීතයේ මෙම කඳු මුදුනේදී ඉංග්‍රීසි ජාතික නාවිකයෙකු සිර කරගෙන සිටිය බවක් කියවෙනවා. ඔහු බේරා ගැනීමට  ඉංග්‍රීසි කොල්ලකරුවන්ගේ පැමිණීම පදනම් කරගෙන මෙම නම පටබැඳී ඇති බව තමා අපේ ගයිඩ් මහත්මයා කීවේ. මෙතැන සිට මුළු අනාගා කඳු පන්තිය, උතුරු සහ දකුණු වෙරළ තීරයන් මෙන්ම පැහැදිලි කාලගුණයක් ඇති දිනවල ටෙයිඩේ (Teide) ගිනි  කන්ද පවා අංශක 360 ක වටපිටාවකින් එකවර නරඹන්න හැකියි.

**************************************************************************

 
ලිපිය දිග වැඩි වෙන නිසා ගමනේ ඊළඟ කොටස ඊලඟ ලිපියට එකතු කරනවා . 
අපි ටෙනරිෆ් ගියේ 2025 අවුරුද්දේ දෙසැම්බර් වල . 

අජිත් ධර්මකීර්ති 04/09/2026

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .