අද ලියන්න යන්නේ ටෙනරිෆ් ගිහින් දෙවෙනි දවසේ අපි ගියේ කොහෙද කියල . ටෙනෙරිෆ් (Tenerife) කියන්නේ අප්‍රිකාවේ වයඹදිග වෙරළට ඔබ්බෙන් තියෙන, ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් සමූහයේ (Canary Islands) විශාලතම සහ වැඩිම ජනගහනයක් සහිත දූපත. මේ දූපතේ මුළු වර්ගප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,034 ක් පමණ වෙනවා . මම හඳ ගමන ලිපියේ ලිව්වා වගේ දූපතේ උසම ස්ථානය ටෙයිඩේ ගිනි කන්ද මීටර් 3,715 පමණ උසයි . මෙය ස්පාඤ්ඤයේ උසම කඳු මුදුන. ඒ වගේම දූපතේ කාලගුණය සහ භූමි ප්‍රදේශ දෙකකට උතුරු සහ දකුණු කියා බෙදන්නෙත් මේ කන්දෙන් .
එතකොට මේ දුපතේ උතුරු ප්‍රදේශය, වැඩි තෙතමනයක් සහ වඩා ස්වාභාවික ලස්සනක් ඇති පළාතක්.දැඩි සුළඟ නිසා සිසිල්, තෙතමනය සහිත කාලගුණයක් උතුරු පැත්තේ තියෙන්නේ . සරුසාර පයින් වනාන්තර, කෙසෙල් වගාවන් සහ කළු වැලි සහිත ගිනිකඳු වෙරළ තීරයන් බලන්න පුළුවන් . සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සහ ඓතිහාසික නගර , ලා ලගුනා සහ පුවෙර්ටෝ ද ලා කෲස් වැනි ආදිය ඇත්තේත් උතුරු පැත්තේ .
අපි නතර වෙලා හිටි හෝටලය තිබ්බේ දකුණු ප්‍රදේශයේ අව් රශ්මිය වැඩි පැත්තේ ප්ලායා ඩෙ ලාස් අමෙරිකාස් නගරයේ ප්‍රධාන සංචාරක නිවාඩු නිකේතනයක . යුරෝපීයයන් පැමිණීමට කලින් , මෙහි 'ගුවාන්චේ' නම් ආදිවාසී ජන කොටසක් ජීවත් තමා ජිවත් වුනේ. ඔවුහු ගුහාවල ජීවත් වෙලා තියෙන්නේ . ඒ වගේම දූපත ගෝත්‍රික රාජධානි නමය කට බෙදා පාලනය කරගෙන හිටියේ .ස්පාඤ්ඤ ආක්‍රමණය සිදුවෙලා තියෙන්නේ 1494–1496 කාලයේ . ස්පාඤ්ඤයේ කැස්ටිල් කිරුළට යටත් වූ අවසාන කැනරි දූපත තමා ටෙනෙරිෆ්. ගුවාන්චේ වැසියන් දැඩි ලෙස සටන් කළ නමුත් අවසානයේ ස්පාඤ්ඤයට යටත් වීමට ඔවුන්ට සිදු වෙලා තියෙනවා .
අත්ලාන්තික් නාවික මාර්ගයේ පිහිටා තිබීම නිසා, ටෙනෙරිෆ් වයින් සහ සීනි අපනයනය කරන ප්‍රධාන වරායක් බවට පත් වුනා කාලෙකට පස්සේ. මේ නිසා මුහුදු කොල්ලකරුවන්ගේ සහ විදේශීය නාවික හමුදාවල ප්රහාරයන්ටත් නිතර ලක් වුනා . 1797 දී බ්‍රිතාන්‍ය අද්මිරාල් හොරේෂියෝ නෙල්සන්ගේ අත අහිමි වූයේ ටෙනරිෆ් සමග යුද්ධයකදී .
අපි ගියේ සීතල උතුරු ප්‍රදේශයේ තියන අනාගා ග්‍රාමීය උද්‍යානය බලන්න. ප්‍රධානම කාරණය තමා ටෙනරිෆ් වලට වහින්නේ නැහැ සිරස් වැස්සක් (vertical ) . දන්නා තරමින් කවදාවත් වැහලත් නැහැ ලු ඒ විධිහට . එහෙමනම් කොහෙන්ද වතුර ? ඔන්න ඔය ප්‍රශ්නයට පිළිතුරු හොයන්න වෙන්නේ මේ ගමනින් .
අපේ සංචාරක ගයිඩ් මහත්මය යුක්රේනියානු ජාතිකයෙක් . මිනිහ ඉංජිනේරුවෙක් යුක්රේනයේ . යුද්ධය පටන් ගත්තට පස්සේ මුළු පවුල් පිටින් මෙහෙ ඇවිත්. මිනිහා යුද්ධය ගැන විවේචනයක් හෙම කරලා තමා ගමන් පටන් ගත්තේ. මට වැඩිය දිරෙව්වෙ නැත්තේ මිනිහ සෑහෙන්න උස නිසා මගේ උස පිළිබඳව විහිළුවක් දෙකක් කියන්න ගැනීම. නමුත් ප්‍රධාන හයික් එක වෙලේ මම ඇවිදින ඇවිදිල්ලට මෑන් මාව ටාගට් කරන අදහස පස්සේ වෙනස් කර ගත්ත කියල තේරුණා 😆. එයාව අපි තෝරා ගත්තේ ඇයි කියල ඊළඟ ලිපියෙන් පැහැදිලි වෙයි,
අපි ඉස්සෙල්ලම ගියේ මැජික් වනාන්තරය (Bosque Encantado / El Pijaral) බලන්න . මේ වනාන්තරය වසර මිලියන ගණනක් පැරණි, අද්භූත ස්භාවයක් ගන්නා "ලෝරසිල්වා " (Laurisilva) වර්ගයේ වනාන්තරයක් . ඒ කියන්නේ අයිස් යුගයට කලින් , වසර මිලියන් විස්සකට කලින් වගේ හැදුනු ෆොසිල මේ වනාන්තරයේ තියෙනවා . මේකේ විශේෂත්වය තමා වෙරළෙන් එන ජල වාෂ්ප සහ මීදුම නිසා මෙහි නිතරම තෙතමනය සහිත පෝෂණීය පරිසරයක් පැවතීම. වනාන්තරය නිතරම වගේ තෙතමනය සහිත වලාකුලින් වැහිලා තියෙන්නේ . මුහුදෙන් එන සුළං සහ වාෂ්ප සහ සැදෙන මිදුම නිසා සමාන්තර වර්ෂාව කියන සංසිද්ධිය ඇති වෙනවා. ජල බින්දු ගස් අතරින් ගලා එනවා . නමුත් අපි නිතර දෙවේලේ දකින වැස්ස නොව තිරස් වැස්සක් හෙවත් වතුර බිංදු සුළඟ එක්ක ඇවිත් ගස් වලට වැටෙන එකක් වෙන්නේ . ඒ කියන්න ගංගා ඇළ දොළ නැහැ මේ දූපතේ.. විශාල මීවන (Ferns) ශාක, ගස් මත බැඳී ඇති පාසි සහ මීදුම නිසා මෙහි ඇවිදින විට යම්කිසි මායාකාරී හෝ චිත්‍රපටයක දර්ශනයක් අර මායාකාරී වනයක් (Enchanted Forest ) මැද සිටිනවා වැනි හැඟීමක් දැනෙනවා . මෙය ස්වාභාවිකව ජලය එක්රැස්වන ක්‍රියාවලියක්. පින්තූර දැක්කහම පෙනෙයි පෙඳ බැඳුනු ගස් .
මේ ගස් කපන්න තහනම් . හානියක් කලොත් යුරෝ තුන්දහේ සිට ලක්ෂ තුන දක්වා දඩ ගහනව. පෞද්ගලික නිවසක ගෙවත්තක වුනත් ගහක් කපන්න තහනම් විශේෂ අවසරයක් නැතිව .
හැබැයි පුදුම හිතලක් දැනුනේ . ටෙනරිෆ් සාමාන්‍යයෙන් රස්නේ නිසා මම ජැකට් එකක් දාගෙන ගියේ නැහැ . වෙව්ල වෙව්ල හිටිය සීත ගඟුලේ නානවා වගේ .
*******************************************************************************************************
එතන සිට අපි ගියේ "ඉංග්‍රීසි ජාතිකයාගේ නැරඹුම් ස්ථානය" කියන තැනට. ස්පාඤ්ඤ බසින් මිරාඩෝ පිකෝ දෙ ඉංග්ලීස් Mirador Pico del Inglés කියල කියන්නේ . මේ ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 960 කට වඩා උසින් පිහිටි හරිම දර්ශනීය තැනක් . 'Pico del Inglés' යන්නෙහි තේරුම, ඉංග්‍රීසි ජාතිකයාගේ ශිඛරය "Englishman's Peak" යන්නයි. අතීතයේ මෙම කඳු මුදුනේදී ඉංග්‍රීසි ජාතික නාවිකයෙකු සිර කරගෙන සිටිය බවක් කියවෙනවා. ඔහු බේරා ගැනීමට ඉංග්‍රීසි කොල්ලකරුවන්ගේ පැමිණීම පදනම් කරගෙන මෙම නම පටබැඳී ඇති බව තමා අපේ ගයිඩ් මහත්මයා කීවේ. මෙතැන සිට මුළු අනාගා කඳු පන්තිය, උතුරු සහ දකුණු වෙරළ තීරයන් මෙන්ම පැහැදිලි කාලගුණයක් ඇති දිනවල ටෙයිඩේ (Teide) ගිනි කන්ද පවා අංශක 360 ක වටපිටාවකින් එකවර නරඹන්න හැකියි.
**************************************************************************
ලිපිය දිග වැඩි වෙන නිසා ගමනේ ඊළඟ කොටස ඊලඟ ලිපියට එකතු කරනවා .
අපි ටෙනරිෆ් ගියේ 2025 අවුරුද්දේ දෙසැම්බර් වල .
අජිත් ධර්මකීර්ති 04/09/2026
මේ චාරිකා ගමන් කතා කොහොමත් හොඳයි. ආයෙ එන්නම් පස්සෙ.👌
ReplyDeleteස්තූතියි බසු තුමා . එන්න එන්න
Deleteඑක්කං යෑම අපිවත් ටෙනරිෆ්වලට
ReplyDeleteඅජිත් ධර්ම කරලා ඇත පිළිවෙලට
සත්කාරය foto ඇත හරි ලස්සනට
බලා හිඳිමි දෙවෙනි කොටස කියවන්ට
ඒ ආදිවාසීන් වඳවෙලා ගියාද, පැවතගෙන එන්නන් තාම ඉන්නවද?
ReplyDeletehttps://www.dnagenics.com/spotlights/guanche-of-the-canary-islands?srsltid=AfmBOorkdtRnuWJAf9DOgSGPrWJ0QfZJkZNfVqZYdQDbRs_1EqN65IcB
Deleteස්තූතියි ප්‍රා ලින්ක් එකට . ලිට් ඒ මිනිස්සු දුඹුරු පාටට හුරුයි . තවම ඉන්නවා අතරින් පතර . මිනොඅන් ශිෂ්ටාචාරය වගේම මේවත් එහෙමමයි . අපේම උගතුන් පවා පිලි ගන්නේ නැති අමිහිරි සත්‍යය
Deletehttps://en.wikipedia.org/wiki/Amaro_Pargo
ReplyDeleteමැජික් වනාන්තරය වසර මිලියන ගණනක් පැරණී... 👏
ReplyDeleteහුම්: අපෙ සිංහරාජ එහෙම කොයි කාලවලට අයිතිද සහ පැරණිම වානාන්තරය මොකක්ද දන්නෙ නෑ. හොයලා බලන්ට වටිනව.
හොඳ ප්‍රශ්නයක් නමි , ගොන්ඩ්වනා කියල මේ ඔක්කොම මහද්වීප එකතු වෙච්චි භ්මු භ්ගයක් වුන කලේ හෝ ජුරාසික් ඩයිනොසර් යුගයේ සිට . වසර මිලියන් 200 විතර පැරණියි . මුලින්ම ඒ බව හැඳිනගෙන රක්කවන්න් කටයුතු කලේ කොලොනියල් සුද්ද 1875 දී . ඒ නිසා සිංහරාජ කියන්නේ ලෝකයේ අතිශයින් පැරණිතම වනාන්තරයක් . අපේ ගොබ්බ සේනලා හෝටල් හදනවා .
Delete👍👍👍
Deleteමෙව්ව මොන වනාන්තරද අජිත් මහත්මයා. නිකං ලඳු කැලෑ වගේනෙ.
ReplyDeleteලංකාවේ සිංහරාජය වගේ ලොකු ගස් වත් ආවේණික ශාඛා සමුහයක් වත් නැහැ තමා . නමුත් ඒ දූපතට විශේෂයි . ජලය නැතිව ජිවත් වෙන්න බැහැනේ
Deleteරසවත් ලිපියක් . ඉතිරි කොටස් දෙකත් මට මිස් වෙලා .. ඒවත් කියවන්නම් . සාමාන්‍ය වැස්ස නොලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවද
ReplyDeleteරටේ පිහිටීම අනුව සහ ගිනි කන්ද නිසා කියලයි කියන්නේ . අහසේ ඝනීභවනය වෙන වලාකුළු කවදාවත් දුපත උඩ රැඳෙන්නේ නැහැ . හොයල බලන්න ඕනේ දෙයක් . ඔන්න පැතුම්ට ට සහ AI ට වැඩක්
Delete// මුහුදෙන් එන සුළං සහ වාෂ්ප සහ සැදෙන මිදුම නිසා සමාන්තර වර්ෂාව කියන සංසිද්ධිය ඇති වෙනවා// හ්ම්ම් ලවන ගතිය වැඩි ඇති? සාමාන්‍යයෙන් මුහුදු අද්දර එහෙමනේ.
ReplyDeleteවතුරේ එහෙමට දැනෙන ලුණු රැසක් නැහැ . ගස් වල වැදී වැටෙන වතුර බින්දු සාමාන්‍ය බොන වතුර වගේ . ඔවුන් පෙරලා බොන්නේ
Deleteරස කතා අයියේ. මේ ටිකේ ලිපි ගොඩක් මිස් උනා.
ReplyDeleteස්තූතියි නංගි . අවිත යන්න වෙලා තියෙන වෙලාවට . භද්‍රජි ගැන කරපු කතාව හොඳයි
Deleteස්තූතියි අජිත් මේ චාරිකා සටහන් බෙදා හදා ගැනීම ගැන. ඒ වගේම අපෙ සහෝදර කමෙන්ට් කරුවන්ගෙ ප්‍රශ්න/පිළිතුරු වලිනුත් ලිපියට එලියක් ලැබිල තියෙනව.
ReplyDeleteස්තූතියි කෞශල්‍ය තුමා . ලංකාවේ ටුවර් එකකට ගිහින් අද තමා ආවේ . ඔව් , අනිත් බ්ලොග් සහෘදයන්ගේ ප්‍රශ්න ඉතා වැදගත් . මටත් හිතන්න , තව හොයන්න බල කරනවා . ඒකට මම කැමැතියි
Deleteඔබ තුමා නිතර එක එක ප්‍රදෙශ වල ගිහිල්ල ඒ ගැන විස්තර ලිවිම නම් ඉතා අපුරුයි. සමහර විට අපටත් යන්න පුළුවන් වෙයි දවසක. බැරි උනත් ඉතින් ගියා වගේම තමයි. ලිපු කියවන කොට දැනෙන්නේ
ReplyDeleteබොහොම ස්තූතියි ලියෝනි නංගී , මම හිතන්නේ හැමෝටම යන්න අවස්ථාව හදා ගන්න පුළුවන් විශේෂයෙන් පිට රටවල් ඉන්න අයට . සැලසුම් කර ගන්නයි ඕනේ
Delete