Saturday, 6 February 2016

ව්‍යවස්ථාවට යෝජනා - නිතිය හා සාමය

ව්‍යවස්ථාව පිලිබඳ යෝජනා කිහිපයක්ම තිබුනත් මේ අවස්ථාවේ වඩාත් වැදගත් යයි සිතෙන මාතෘකාවක් ගැන මගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුනි. එනම් පොලිස් බල තල පිළිබඳවයි. පොලිසිය විසින් කරන ලද පහර දීම්, මිනි මැරීම් කිහිපයක් ගැන මෙන්ම අල්ලස් ගැනීම් පිලිබඳවද ලිපි කිහිපයක්ම පසුගිය කාලයේ පලවිය. එසේම ඉතාම කලාතුරකින් පොලිසියේ හොඳ වැඩ ගැනද වත්පොතේ පුවත් කිහිපයක් දුටුවෙමි.

නීතිය රැකීම මෙන්ම නීතියට යටත් වීමද, නීතියට ගරු කිරීමද එක සේ වැදගත් වන බව බොහෝ දෙනා නොසිතති. අප ධනවාදී නීතියට ගරු කරන්නේ නැතියයි කියන විප්ලව වාදීන්ට ඇත්තේ දේශපාලන හේතුවකි හෝ හේතූන්ය. ඔවුන් නීතිය කඩන්නේ දේශපාලනික හේතු මතය. නමුත් ඔවුහුද පවත්නා නිතිය යටතේ අත් අඩංගුවට ගත හැකිය. ඔවුන් සිර ගෙයට යන්නේද පවතින නිතිය යටතේ එසේ වන බව දැනගෙනය. මෙහිදී ඇත්තටම කෙරෙන්නේ පවතින සමාජ ක්‍රමයටම එල්ල කරන අභියෝගයක් නිසා ව්‍යවස්ථා වෙනස්කම් වලින් මෙයට පිළිතුරක් ලැබෙන්නේ නැත. එනිසා මෙතනදී එවන් තත්වයන් සාකච්චා කෙරෙන්නේ නැත.

 පොලිස් බලතල පළාත් වලට ලබා දීම

 1. පළාතේ ජනතාවගේ චන්දයෙන් පළාත් පොලිස් කොමසාරිස්වරයෙකු පත් කල යුතුය. ඔහු වග කියන්නේ මහා ජනතාවටය. පළාත් සභාවෙන් හෝ මධ්‍යම රජයෙන් පළාතට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ද පත්වෙන අතර ඔහුත්, පොලිස් කොමසාරිස් හා පළාත් සභාවේ මහා ඇමති හෝ නිතිය සාමය පිලිබඳ ඇමති එකතුව තම පළාතේ පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාවට වග කිව යුතුය.

2.මිනිසුන් විසින් පොලිසියට අල්ලස් දීම ආදී ක්‍රියා පිළිබඳව තදින් සිටිය යුතු අතර පොලිසියට බලපෑම් කරන දේශපාලනඥයන් අල්ලා සිර කල යුතුය. .

3. මධ්‍යම රජයෙන් ගෙවන දීමනාවට අමතරව පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් සුළු පොලිස් නිලධාරීන්ට පළාත් සභාවෙන් ද දීමනාවක්ද ලබා දිය යුතුය. වඩා පොහොසත් පළාත් සභා වලට දීමනාව වැඩි කල හැකිය.

3. ආයුධ පරිහරණය කරන පොලිස් නිලධාරීන් සඳහා වෙනම අංශයක් පිහිටුවිය යුතුය. ඔවුන්ද ඉහත කි පොලිස් කොමසාරිස්, පළාත් සභාවේ මහා ඇමති සහ නියෝජ්‍ය පොලිස්පති යන තිදෙනාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය යුතුය.

4. සන්නද්ධ හා සන්නද්ධ නොවන භටයන් හා නිලධාරීන් ගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ පාලනයට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.

5. පළාත් නමයේම මහජන චන්දයෙන් පත්වන කොමසාරිස් වරුන් විසින් ස්වාධින පොලිස් කොමිසම සමන්විය යුතුය. ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තුවට ඔවුන් පත් කිරමේ බලයක් නැත. නමුත් ඔවුන් නිසියාකාරව ක්‍රියා නොකරන්නේ නම් නීතියේ ආධිපත්‍යයට ඔවුන් යටත් අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පාරිලිමේන්තුවේ වැඩි චන්දයකින් කල හැකි විය යුතුය. නොඑසේ නම් පළාත් සභාවට තමන්ගේ කොමසාරිස් ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන් ඒමෙන් ඉවත් කල හැක. නමුත් ඒ සඳහා නැවත අයෙක් තෝරා පත් කර ගත යුත්තේ මහජන චන්දයෙන් පමණි.

6. වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතුරෙන් විනිසුරු වරුන් පත් කල යුතු අතර එම විනිසුරු වරුන්ගේ චන්දයෙන් හා ජේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් පත් කල යුතුය.

7. අග විනිසුරු පත් කල යුතු වන්නේ ජෙෂ්ඨත්වය , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ චන්දය හා අගමැති ගේ තීරක චන්දයෙනි.

මා මෙය ලිව්වේ ප්‍රවේශයක් ලෙස පමණි. වෙනත් අදහස් ද ඉදිරිපත් කර සංශෝධනයන් ට අදාලව ඉදිරිපත් කල හැකිය. (ගුගල් බ්‍රවසරයේ ප්‍රශ්නයක් නිසා කියවීම අපහසු විය හැකිය . අනිත් බ්‍රව්සර වල මේ ප්‍රශ්නය නැත.)  

Sunday, 31 January 2016

නෙළුම් යාය 2016 සම්මාන උළෙල - 2015 හොඳම බ්ලොග්කරු සඳහා නාම යෝජනා හා ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය

නෙලුම් යාය සහෘද සමූහය විසින් පවත්වන 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු 26 වන සෙනසුරාදා පස්වරු 3.00 ට පවත්වන්නට කටයුතු යොදා ඇත.

පවත්වනු ලබන ස්ථානය වන්නේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවහිය. එහි ලිපිනය නො 163, කිරුලපන මාවත, කොළඹ 5 ය.
එහිදී පහත සඳහන් සම්මාන ලාභීන් තෝරාගනු ලැබේ.

1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල - පළමුවන ස්ථානය රුපියල් 15,000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය සිංහල - රුපියල් 10,000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය සිංහල - රුපියල් 5,000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය


2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය දෙමළ - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය දෙමළ - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත.

සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.
 (පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු.

1. w3ලංකා - http://www.w3lanka.com/2016/01/blog-post_56.html, http://www.w3lanka.com/2016/01/blog-post_8.html

2. එකොනැමැට්ටා - http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html, http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html

3. නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.co.uk/2015/12/379.html, http://ranrandil.blogspot.co.uk/2015/11/366.html

4. කුරුටු ගෑ ගී පවුර - http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.html, http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html 

5. රසිකලොජි - http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html, http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html

6. ට්‍රාන්සිල්වේනියා - http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html, http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html

 7. බස්සිගේ නවාතැන - http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.html, http://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html 

8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html, http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html

 9. ඉවාන් පව්ලුෂා - http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.html, http://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html

10. විචාරක - http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html, http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html, ​

11. අසම්මතයා - https://asammathayaaa.wordpress.com/2015/11/​​, https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/​ ​

12. පින්ච්පොයින්ට් - http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html, http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html

මීට අමතරව සිංහල බ්ලොග් සඳහා පමණක් පහත සඳහන් රුපියල් 5000 තෑගි වවුචර හා සහතික පිරිනමනු ලැබේ.
මේ සඳහා යෝජනා වුන බ්ලොග් අඩවි ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු.

දේශපාලන - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කවි /නිසඳැස් පළමු (රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කාලීන සංවාද - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
 කෙටි කතා - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
 විද්‍යා හා තාක්ෂණ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 විද්‍යා ප්‍රබන්ධ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 නවකතා - (බ්ලොග් ) රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 හයිකු - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ප්‍රහසන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 අතීත කාමය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 සංගීතය රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 සංචාරය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ඉතිහාසය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ගෘහස්ත කරන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 පරිවර්තන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 18ප්ලස් - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 වීඩියෝ බ්ලොග - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය 

මෙවර 2016 වසරේ නෙළුම් යාය දුරුතු මස මාසික සම්මානය හිමි වන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වසර ගණනක් බ්ලොග්කරණයේ දී සිටින ජනප්‍රිය බ්ලොග් කරුවෙකුට. හන්තානය ගැන මෙන්ම ජෙට් එන්ජිම ගැනද ඔහු ලියූ බ්ලොග් ලිපි නෙළුම් යාය සහෘද සමුහයේ මෙන්ම අපගේ වෙබ් අඩවි කියවන බොහෝ දෙනා අගය කල නිර්මාණ. මේ බ්ලොග් කරු තමන්ගේ නිර්මාණ "තිලක සිත " නමි පොතක් වශයෙන් ද පල කර තිබෙනවා. ඔහු මහගම සේකරයන් ගේ 2016 ජනවාරි 14 වසර හතළිහක් පිරෙන ගුණ සමරු දිනය සමරා ලියු මෙම නිර්මාණය නෙළුම් යායේ පලකල පසු බොහෝ දෙනාගේ සිත් ගත් බව කිව යුතුයි.

 මේ එයින් කොටසක්.

 'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

 'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.
 'එහෙනම් ? '

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දැනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ කියා මම හඬ නගා අම්මා ඇමතීමි ."

  ජනවාරි මස බ්ලොග් සම්මානය හිමි වන්නේ තිලකසිතට.

Sunday, 24 January 2016

බ්ලොග් කරුවනි ව්‍යවස්ථාවට කෙළිමුද ? කතා කරමුද?

දුරකථන ඇමතුමක් ආව හදිසියේම වගේ. දන්නා අඳුනන කෙනෙකු ගෙන්. ඔහු එංගලන්තයේ සිටින ඉංජිනේරු අංශයක රැකියාව කරන මහත්මයෙක්.
 "අජිත් හරි වැඩේනේ වෙලා තියෙන්නේ, මෙච්චර අමාරුවෙන් රැක ගත්ත රට මුන් කඩලා දෙන්නනේ හදන්නේ. ඔක්කොම හරි දැන් රට බෙදන්න. රට අපට නැති වෙනවා."
මම ඇහුවා "කවුද කවුද එහෙම කරේ. මොකක්ද වුනේ"
"ඇයි දන්නේ නැත්ද? මේ ටෝනි බ්ලෙයාර් ලංකාවට ගිහිල්ල. අර හොරගොල්ලේ හැතිරිත් එක්ක එකතු වෙලා. උන් හොර ව්‍යවස්ථාවක් හදල."
"කවුද ඔය කතාව කිව්වේ. ඕක ඇත්ත වෙන්න බැහැ? ටෝනි බ්ලෙයාර්ට නම් මමත් කැමති නෑ. මේ ඉරාකෙට ගිහින් බුෂ් එක්ක නටපු පිස්සුව නිසා. බ්‍රිතාන්‍යයේත් සෑහෙන්න ජන-අප්‍රිය වෙලානේ ඉන්නේ. හැබැයි ලංකාවට ගියේ අර කදිරගාමර් දේශනයට මම දන්න තරමින්. බ්ලෙයාර් ගේ වැරදි තිබුනත් උතුරු අයර්ලන්තේ ප්‍රශ්නේ හරියට විසඳුනේ බ්ලෙයාර් නිසා."

"නැහැ අජිත්. කෝ ඔයාල හිටියට ලංකාවේ මොනා වෙනවද කියල බලන්නේ නැහැනේ. රට බෙදෙනවා. මේ ගොල්ලෝ හොරෙන් ව්‍යවස්ථාව හදලා. දෙමළුන්ට කෑලි තුනක් දීල. මුස්ලිම් එවුන්ට පැති දෙකක් දීල, අර බඩි උඩිය විල්පත්තුවත් කනවා. අපිට කොහෙවත් නැහැ. අපිට උන්ගේ පැතිවල ඉඩමක් ගන්න තියා ජිවත් වෙන්න වත් දෙන එකක් නැහැ. ඉතින් අප කට්ටිය කතාවෙලා මිටීන් එකක් තියනවා. වැඩි විස්තර දැනගන්න ඒකට එන්න. කොහොම හරි නවත්වමු. "

මට මෙවෙලේ කල්පනා උනේ හැම වෙලේම මේ ප්‍රශ්නේ විසඳන්න කියල කිසියම් රජයක් ලැහැස්ති වෙනකොට එරෙහි වෙන කොටසක් ඉන්නවා දෙපැත්තේම. බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ගහන්න යනකොට එජාපය විරුද්ධ වුණා . බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේම අය වුනත් විරුද්ධ වුණා. අන්තිමට එතුමාව මරා දැමුව. ඊට පස්සේ තවත් උත්සාහයන් කීපයක් තිබුන. කවුරු මොනවා කීවත් චන්ද්‍රිකා උත්සහ කලා අන්තර් පාලනයක් දීලා ප්‍රශ්නේ විසඳන්න. රනිල් විතරක් නෙමේ ජවිපෙත් විරුද්ධ වුණා.

රාජපක්ෂ මහත්මය ආපු කාලේ උත්සාහ කලා කියල තමා කියන්නේ. ඒ පාර ප්‍රභාකරන් විරුද්ධ වුණා. අන්තිමට දරුණු යුද්ධයකින් එවැනිම වූ ප්‍රචණ්ඩ ගරිල්ලා සටනක් පරාජය කලාට පස්සේ දැන් අවස්ථාව ලැබිල තියනවා ප්‍රශ්නය සාධාරණව විසඳන්න. ප්‍රභාකරන් ඇතුළු ඒ ත්‍රස්තවාදී කියා බොහෝ අය කියන කණ්ඩායම කලේ නිදහස් අරගලයක් කියල කියන කොටසකුත් සිටිනවා. ඒකෙ කිසියම් සත්‍යයක් නැතුවාම නෙමෙයි. මොකද කුල ප්‍රශ්න, දුප්පත් කම, විශ්ව විද්‍යාල වල ඉඩ නැතිවීම ගැන ඔවුන් ගේ චෝදනා , මිට අමතරව යාපනේ රජෙක් හිටිය අවධිය (ලංකාවෙන් කොටසක් පෘතුගීසින් පාලනය කල සමයේ හා ඊට පෙර) තුල තමන් ට මිට වඩා නිදහසක් තිබු බවට දෙමළ ප්‍රජාවෙන් කොටසක් විශ්වාස කරනවා.

දෙමළ බෙදුම් වාදය කියල තවත් බ්ලොගයක ලිපි පෙලකුත් යනවා.

එම ලිපි පෙළ පාක්ෂිකයි කියල චෝදනාවකුත් තියනවා. නමුත් එහි කිසියම් වැදගත් කරුණු ප්‍රමාණයක් හෙළි දරව් වෙනවා. තමන් දේශපාලනිකව මොන පැත්තේ හිටියත් ඉතිහාසයට අයත් කරුණු අපට පැති වලට බෙදල අනුයුක්ත කරන්න බැහැ. මොකද ඒවා වෙලා ඉවරයි. ඉතින්

අපි ආයේ මේ සාකච්චාව නොකර ඉමුද? දෙමළුන්ට ඇත්තටම ඔය කියන දේ දෙනවද? මේවා බොරු ප්‍රචාර වෙන්න බැරිද? ඇත්තටම ව්‍යවස්ථාව හදලද තියෙන්නේ? අපට බොරුවක් ද මේ කරන්නේ යන්නේ? ඉතිහාසයේ එන තවත් අවස්ථාවක් මුග්ධ ජාතිවාදයකට මුවා වෙලා නැවත අත හරිමුද?

 ඔය අතරේ බ්ලොග් ලියන හිතවතෙක් මෙහෙම යෝජනාවක් කලා.
"බ්ලොග් කරුවෝ විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා. මම දැක්කා අර කරු පරණවිතානත් එයාගේ සතර දිගන්තය බ්ලොගයේ ව්‍යවස්ථාව ගැන කතා කරලා තිබෙනවා. අපි ලියමුකෝ මේ ගැන. අපි අපේ යෝජනාත් දෙමු."

උදාහරණයක් ලෙස ඔහු මෙහෙම යෝජනාවක් කලා:

පොලිස් බලතල - පොලිස් රථවාහන අංශය බලතල සහිතව පළාත් වලට ගියාට කමක් නැහැ. එතකොට ගෘහස්ත හිංසන, සුළු සොරකම් වගේ දේවල් පළාත් වලට බලය බෙදපු නීති පද්ධතියක් තුලින් එම පළාත් වලම විසඳන්න කිව්ව හැකි. නමුත් පොලිසියට ආයුධ නිකුත් නොකළ යුතුයි. හැබැයි එතකොට ආයුධ නැතුව පොලිසියට ජනතාව හසුරුවන්න පුලුවන්ද?

එංගලන්තයේ නම් ආයුධ අරන් යන්නේ නැහැ පොලිසිය. ඇමෙරිකාවේ පොලිසිය නම් අරන් යනවා. ආයුධ රැගත් අපරාධකරුවකු සිටියොත්? ඒකට ඇමෙරිකාවේ වගේ ෆෙඩරල් පොලිසියක් දානවද? හමුදාව අයින් කරනවද? ඇයි අයින් කරන්නේ. රටක් වශයෙන් රටේ ඕනෑම තැනක හමුදා කඳවුරු පිහිට වීමට මධ්‍යම රජයට අවසර තිබෙනවා නේද? මිනිසුන්ට අවහිර නොවෙන ආකාරයට රටේ ආරක්ෂාවට කඳවුරක් පිහිටෙව්වම මක් වෙනවද? මේ වගේ ප්‍රශං සාකච්චා කරලා ජනතාවගේ අදහස් ඇතුව අපාට් ඉදිරිපත් කරන්න බැරිද?

ඉතින් අපි කල්පනා කලා මෙහෙම. අපි හැමෝටම ව්‍යවස්ථාවේ හැම දෙයක්ම ගැනම අදහස් දෙන්න බැහැ. අපිට වෙලාව තියෙන වෙලාවට, අපට පුළුවන් හැමෝගෙම පක්ෂ විපක්ෂ අදහස් එකතු කරලා ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට භාර දෙන්න. අපට පුළුවන් නෙලුම් යායෙන් ඒ හැම අදහසක්ම, එකතු කරලා මුද්‍රණය කරල නව ව්‍යවස්ථාව අපේ යෝජනා කියල ඉදිරිපත් කරන්න. ඒවා ගැන ඒගොල්ලෝ කතා කරනවද , නැත්නම් නිකම්ම කුණු කුඩේට දානවද කියල හොයල බලන්න පුලුවන් එතකොට. ජනතාවට නොදැනී හොර වැඩක් වෙනවා කියන චෝදනාව සත්‍යයක්ද කියලත් හොයල බලන්න පුළුවන්.

 ඔබලාගේ අදහස කුමක්ද?

Thursday, 21 January 2016

උඳුවප් මස නෙලුම් යාය බ්ලොග් සම්මානය

උඳුවප් මස බ්ලොග් සම්මානය දීම තරමක් ප්‍රමාද වුනේ මාර්තු 26 වනදාට පැවැත්වීමට නියමිත බ්ලොග් සම්මාන උළෙල පිලිබඳ සාකච්චා කටයුතු මේ දිනවල කරගෙන යන බැවින්. මෙවර පසුගිය අවුරුද්දේ අවසාන මාසය සඳහා ඉතා සුදුසු බ්ලොග් අඩවි කීපයක්ම තිබෙනව. ඒ අතරේ තවත් අලුතින් පැමිණි බ්ලොගයකට සම්මානය දීම සඳහා අප තෝරා ගත්තා. මට හිතෙන විධිහට නම් මේ බ්ලොගය ඇත්තටම පටන් ගත්තේ බ්ලොග් ලියන අනිත් යහළුවන්ගේ ඉල්ලීම් වලින් කියල.

මේ බ්ලොග්කරු හැම බ්ලොගයකටම ඇවිල්ල ගැලපෙන ගීතයකින් කොමෙන්ට් කරලා යන කෙනෙක්. තව කිහිප දෙනෙකුත් මෙසේ කලත් මේ බ්ලොග්කරු තමන් ගීත
විතරක් නෙමේ ගීත ගයන ගායක ගායිකාවන් ගැනත්, ලිවූ කලාකරුවන් ගැනත් ගීත ගැනත් සමහර විට අප කවුරුත් නොදන්නා තොරතුරු පවා ම හොයාගෙන බ්ලොග් ලෝකයට හෙළි දරව් කරනවා. ඉතින් මේ අපි කවුරුත් දන්න සින්දු ඇනෝට මෙවර බ්ලොග් සම්මානය දෙන්න අපි තීරණය කලා. ඔහු අමරදේවයන් ගේ උපන් දිනය වෙනුවෙන් ලියු මේ ලිපිය බලන්න.

  මෙතැනින් එම බ්ලොගයට යා හැකියි.

ප.ලි මට ලියන්නට අමතක වුනු වැදගත් කාරණයක්. මෙවර බ්ලොග් සම්මානය සඳහා දායක වන්නේ අපේ බ්ලොග් රසවතෙක්. ඔහුත් බ්ලොග් ලියන්නෙක්. නමුත් නම හෙළි කිරමට අකමැතියි. නෙළුම් යාය වෙනුවෙන් ඔහුට අපේ හෘදයංගම ස්තුතිය.

අමරදේවයන් ගයන මේ ගීතය මගේ ඉතාමත් හඳ බැඳි ගීතයක්.

රෑ දුරු රට මේ 

රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

 කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ
රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය -අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක  

Tuesday, 19 January 2016

ලංකාවේ ජනාධිපති නිවැරදිය. හරක් මස් ආනයනය කිරීම හොඳ වැඩකි .

අද උදේ බිරින්දෑ එක්ක පොඩි සාකච්චාවක් ගියා ලංකාවේ  ජනාධිපති කියපු කතාවක් ගැන. 
"ලංකාවේ ජනාධිපති හරක් මස් ගෙන්වන්න යනවා පිටරටින්. මහා විකාරයක්නෙ. අර බ්ලොගා කෙනෙක් විරුද්ධව ලිපියක් දාල. "
බිරිඳ කියනවා "ඇයි ඒක වැරදි එංගලන්තෙත් ගෙන්වන්නේ නවසිලන්තෙන් "
මම කියනවා  "නැහැ. මෙතන තියෙන්නේ ලංකාවේ මිනිස්සු විශේෂයෙන් ආගම පැත්තෙන් කට්ටිය විරුද්ධයි නේ හරක් මරනවට. ඉතින් පිටරටක මරලා ආනයනය කරත් ඒත් මරන්න වෙනවනේ."
 බිරිඳ අහනව "ඉතින් ලංකාව හින්දු ආගමික රටක් නොවෙයිනේ. බෞද්ධ අය නම් මුකුත් මසක් කන්නේ නැහැනේ ඔයාගේ අම්මා වගේ." (මගේ මව මස් මාළු කිසිවක් කන්නේ නැත.)
"නැහැ ලංකාවේ බෞද්ධ අයත් හරක් මස් නොකෑවට කුකුල් මස්, එළු මස්, මාළු හෙම කනවා. ඒක නේ මෙතන ප්‍රශ්නේ. මේවා ගැලරියට කියන ඒවානේ . දෙමල අය හින්දු භක්තිකයෝ නේ. ඒක නිසා පොයින්ට් ගන්න කිව්ව එකක් වෙන්න ඇති."
"එහෙනම් ලංකාවේ ජනාධිපති හරිම නුවණැති කතාවක් නේ කියල තියෙන්නේ. ලංකාවේ හරකුන් මරන්නේ නැති නිසා හින්දු කට්ටිය ගේ හොඳ හිත ලැබෙනවා. බෞද්ධ කට්ටියත් කැමති වෙයි. පිටරටින් ගෙනෙන කොට ගණන් වැඩි වෙන නිසා කන අයත් අඩුවෙයි. හරක් මස් කෑම නතර වෙයි."
"ඉතින් මස් කන අයට අසාධාරණයක් වෙනවනේ?"
"මම දන්නේ නැහැ. ඔයා ලංකාවේ දේශපාලනේ දන්නා නිසා කල්පනා කරල බලන්නකෝ. මම නම් හිතන්නේ ඕක හොඳට හිත බලා කියපු දෙයක්."

 උඩුවාගේ සටහනේ හරක් මස් පිටරටින් ගෙන්වාගැනීමේ යෝජනාව ගැන හරිම අසාධාරණ බ්ලොග් ලිපියක් දාල තිබුන. ගිය ආණ්ඩුව තිබුන නම් ඕක උඩුව ලියන්නේ නැහැ කියල හොඳටම ෂුවර්. ඊට හොඳම නුවණැති කොමෙන්ටුව දාල තිබුනේ රසිකලොජිස්ට්.

මෙන්න ඒ කොමෙන්ටුව.
 "මෙහෙමයි.
ලංකාවේ නාටු හරකුන්ට වඩා ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හරකුන් පුෂ්ථිමත්. එනිසා, ලංකාවේ හරක් දෙන්නෙක් මරන වෙලේ ඕස්ටේ‍ර්ලියාවේ, නවසීලන්තයේ එක හරකයි මරන්න වෙන්නේ. ලෝකයේ මැරෙන හරක් ගාන අඩු වෙනවා.

ඊලඟට පිටරටින් මරලා, අධිශීතකරන නැව්වල දාගෙන ලංකාවට ගෙන්න යන වියදම එකතු වුනාම හරක් මස් මිළ වෙළඳ පොලේ ඉතා ඉහල යනවා. එතකොට ඉල්ලුම අඩුවෙනවා. හරක් මැරෙන එක තවත් අඩු වෙනවා.

හරක් හැඳීම අඩුවෙන නිසා, හරක් පිට කරන එන මීතේන් නිසා සිදුවෙන පරිසර විනාශය අඩු වෙනවා.

කොහෙමද ටිකිරි මොලේ!"

ඉතින් මම ඔලුව හරව හරවා කල්පනා කරලා බැලුව? රසික විහිළුවට කිව්වද මන්දා ඒත් කතාව සම්පුර්ණ ඇත්ත නේ. ජනාධිපති තුමා හුඟක් කල්පනා කරලනේ කතා කරන්නේ කියල මට තේරුණා. අර තනපටය විසි කලේ සාමාන්‍ය මහා ජනතාව යන්නේ නැති කොළඹ කට්ටිය විතරක් යන ප්‍රසංග කියල තමා එතුමා හිතනවා ඇත්තේ. ඉතින් ඒකට විරුද්ධව කතා කරහම ලංකාවේ ඉන්න සංවර ජනතාව ගේ සිත් ප්‍රීතියෙන් උතුරා යන්න ඇති. ඒ ගොල්ලන්ගේ චන්දය වුනත් ලැබෙන්න හොඳටෝම ඉඩ තියෙයි. ඕනෑම නම් ඉතින් බස් වල ජැක් ගහන සුළුතරයක්, ඔය ස්ත්‍රී දුෂණ කරලා හිරේ යන සුළුතරයක් චන්දෙ නොදී ඉඳියි. ආ ඔය අන්තර්ජාලයේ සෙක්ස් කියන වචනය හොයන කොල්ලෝ කුරුට්ටෝ ඉතින් චන්දෙ නොදී හිටියත් මොකද?

 දැන් මේ ගව මස් පිට රටින් ගෙන්වන කතාව. ලංකාවේ ගව මස් කන්නේ වැඩිපුරම මුස්ලිම් ජනතාව. ලංකාවේ බෞද්ධ ජනතාව හරක් මස්, ඌරු මස් කන්නේ නැහැ. අනික මාළු, කුකුල්ලු කෑවට වැඩිය පව් පිරෙන්නේ නැහැ. ටිකයි පිරෙන්නේ. බලන්න හරක කියන්නේ කොච්චර ලොකු සතෙක්ද? ඉඳල හිටලා කුනිස්සෙක් ඉස්සෙක් මාලුවෙක් කෑවට කමක් නැහැ. කිසිම පවක් නැහැ. පවක් ආවත් ඕනනම් දශම ගානක් වෙයි. අනික මේ හැමදේම රටින් ගෙන්වන එකේ මස් ගෙන්නුවම මොකද වෙන්නේ? ඔය පොලොන්නරුව පැත්තේ කිරි වලට වැඩිය නවසිලන්තේ කිරි කොච්චර ගුණයෙන් රසයෙන් වැඩිද? මසුත් ඒ වගේම වෙන්න එපැයි.

අමතක වුණා කියන්න. පොලිසියටත් වැඩිය කරදරයන් නැහැනේ. නැත්නම් ඔය හොර හරක් ලොරි අල්ලන්නයි, ඒවා උසාවියට දාන්නයි මොන කරදරයක්ද?

 මම ලඟදි පුවතක් දැක්කා අපේ යාලුව දිලන්ත හෙම බිඳුණු බලේ එක්ක ජනාධිපති තුමා හමුවෙන්න ගියා හරි යනවා හරි කියල. ඒ ගොල්ල කීවද දන්නේ නැහැ මුස්ලිම් වරු තමා වැඩිපුර හරක් මස් කන්නේ. ඒ ගොල්ලන්ට සල්ලිත් තියෙන එකේ පිටරටින් ම ගෙන්වන්න. එතකොට අපේ හරක් මස් කන හොර බෞද්ධයන් මස් කන එක නතර කරනවා. ඔබතුමාටත් පින්. යෝජනා කරපු අපටත් පින් කියල. ඒ මදිවට දෙමල හින්දු භක්තිකයන්ගේ හා දැනට මහා මහින්දට තවමත් කැමැත්ත පල කරන චන්ද ගොඩෙනුත් කොටසක් ෂුවර්.

 ලංකාවේ ලඟදි චන්දයක් එහෙම එනවද? .

Thursday, 14 January 2016

හිටපු හමුදා නිලදරුවකු වීම වරදක්ද ? ඡායාරූපයක් ගැනීම නිසා අත් අඩංගුවට පත් වුනු බ්ලොග්කරුවෙකු කතාවක්

නාටකය පටන් ගත්තේ පෙරේදාය. අද මේ ලිපිය ලියන්නේ කෙළවරක් වී යයි සිතුවත් අවසන් නොවූ කතාවක් ගැන කියන්නටය. බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් සැරි සරනා සහෘදයෙක් ගෙන් පෙරේදා මට පණිවුඩයක් ලැබුණි. "හදිසියක්. කල්‍යාණ මිත්‍ර පොලිසියෙන් අල්ලලා". ඊයේ පෙරේදා ඌව පළාතේ සම්පත් මද යැයි කිව හැකි පාසලක ළමා ළපටින්ට නෙළුම් යායත් සමග එකතුව පොත් පත් උපකරණ ආදිය බෙදාදී ලංකාවේ පවසන විධිහට පින්කමක් ද කරගත් කල්‍යාණ මිත්‍ර තෙමේ මේ කුමක් නම් කරගෙනද. රාජපුරුෂයන් විසින් කුදලා ගෙන යන්නට ".

නියම විස්තරයක් සොයා ගැනීම සඳහා වහාම ලංකාවට කතා කලෙමි. සිදු වී ඇත්තේ මට නම් හිතා ගැනීමට නොහැකි දෙයකි. අතක් පයක් නිකන් තියාගෙන ඉන්නට බැරි මේ හාදයා ඡායාරූපයක් ගෙන තිබේ. එසේ මෙසේ එකක් නොව හමුදාපති තුමෙකුගේ එකකි. එයත් එසේ මෙසේ එකක් නොව ගමනක් යමින් සිටියදීම වැඩ කිඩ දා හමුදාපති වාහනය කැමරාවට හසු කරගෙන තිබේ. කැමරාව මොබයිල් එකේ ඇති කැමරාවයි. මෙය හමුදාපති මහතා ගේ ආරක්ෂාවට සිටි නිල දරුවන් ගේ උකුසු ඇසට හසු වී තිබේ. ත්‍රිවිලයකින් යමින් සිටියදී ගත් ඡායාරූපයක් පවා ඇසට හසු කරගන්නට ඔවුන් සැබවින්ම දක්ෂයන් විය යුතුය. මෙහිදී අවධාරණය කළ යුත්තේ ඔහු ගත්තේ ඡායාරුපයක් පමණක්ය යන්නය.


ලංකාවේදී ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මේ ඇබැද්දිය නිසා ඡායාරූප ගැනීම ගැන ලංකාවේ නිලදරුවන් කොතරම් සංවේදීද යන්නද මා හොඳින් දන්නා නිසා කල්‍යාණ මිත්‍ර ගේ ක්‍රියාව අනුමත කිරීමට මට නම් නොහැකිය. කොටින්ම හමුදාපතිවරයෙකු ගේ වාහනයේ ඔහු සිටියදී පින්තුර ගැනීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. මෙය සිදු වූයේ 2009 ට කලින් නම් කල්‍යාණ මිත්‍ර මාස හයක් වත් ඇතුලට යන බව විශ්වාසය. කල්‍යාණ මිත්‍ර කියන අන්දමට ඔහු එය ගත්තේ හමුදාපති වරයා ගමන් ගත් රථයේ ඔහුගේ සන්නාමය (insignia) තිබු නිසාය. ඔහු එය දැක නොතිබූ නිසා පින්තුරය ගත් බව පවසයි. ඇත්තටම වෙන හේතුවක් ගැන මටවත් සිතා ගැනීමට නොහැක. බ්‍රිතාන්‍ය වැනි රටක නම් අගමැති ගේ, රැජිනගේ හෝ ඕනෑම ඉහල අයෙකුගේ ඡායාරුප ගත හැකිය. නමුත් හමුදාව සම්බන්ධ ස්ථාන වල ඡායාරුප ගත හැකිදැයි නොදනිමි.  මා පසුගියදා එවැනි හමුදා කඳවුරක ඡායාරූප කිහිපයක් ගත්තෙමි. කඳවුර අවට ප්‍රදේශය ඉතා පියකරු බැවිනි. ඒ අහල පහලක එළදෙනුන් හා තවත් සතුන් කීප දෙනෙකු ඇරෙන්නට වෙනත් කිසිවකු නම් නොදුටිමි.

ඒ කියන්නේ එංගලන්තය වැනි රටක නම් බොහෝ විට සිදු වන්නේ මෙයයි. ඔවුන් රහසින්ම මා පසු පස කිසිවකු එවනු ඇත. මගේ ලිපිනය සොයාගෙන මා කවුදැයි සොයා ගැනීම අපහසු නැත. රහසේම ඒ විස්තර සොයාගෙන සාමාන්‍ය සිවිල් පුරවැසියකු නම් කිසිවක් නොකරති. නමුත් කිසියම් ම හෝ සැකයක් ඇති වුයේ නම් (ත්‍රස්ත සංවිධානයක සම්බන්ධකමක්) ඉන්පසු පසු පස යමින් වරදක් කරන තුරු සිට අත් අඩංගුවට ගනිති. හැබැයි ඒ හෙල්ලෙන්නට බැරි වෙන්නට සාක්ෂි සොයා ගෙනය. එතෙක් කිසිම හිරිහැරයක් කරන්නේ නැත. බොහෝ විට මුල් පැයේදීම සියලු තොරතුරු සොයා ගැනීමට ඔවුන්ට හැකිය. නමුත් ප්‍රධානම කාරණය නම් ඉහල නිලයක් ඇති පුද්ගලයෙකුගේ වාහනයක ඡායාරුපයක් ගැනීම වරදක් නොවන බවයි.

ඉතින් හිටපු නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම පදක්කම් තුනක් ලබා ගත් රණ විරුවකුද වන වන අපේ මිත්‍රයා ඡායාරුපයක් ගැනීමේ වරද කීම දැයි විමසන්නට ඇත. යුනිෆෝර්ම් හැඳි ආරක්ෂක භටයන් ගෙන් ප්‍රශ්න විමසිය යුතු නැත යන්න මම ජිවිතයේ මුල් කාලයේම ඉගෙන ගත් දෙයකි. හිටපු නාවික හමුදා නිලධාරියෙකු නිසා කල්‍යාණ මිත්‍රට අපට මෙන් ඒ ගැන විචිකිච්චාවක් තිබෙන්නට නැත. ඔහුගේ ප්‍රශ්න ඇසීමෙන් උරණවූ ගුවන් හමුදා නිලධාරීන් ඔහු පොලිසියට භාර දී ඇත.

මෙයට තවත් හේතුවකුත් තිබෙන්නට පුළුවන. ගුවන් හමුදාපති තුමාගේ ගේ දියණිය කිසියම් සංගීත සන්ධ්‍යාවකට යාම හෝ එහි දී සංගීතඥයා වැළඳ ගැනීමක් කිරීමක් පිළිබඳව කිසියම් මාධ්‍යයක් මගින් විවේචනයට ලක් වී තිබෙන බව දැනගන්නට ලැබී තිබේ. බ්‍රිතාන්‍යයේ ජිවත් වන අපට නම් මේවා මහා ලොකු දේවල් නොවේ. ඕනෑම සංගීත සන්ධ්‍යාවක එවැනි දේ කොහොමත් සිදු වන බැවිනි. අපේ කාර්යාල වල තරුණියන්ද අනන්ත මෙවැනි සංගීත සන්ධ්‍යා වලදී සංගීතඥයන් අසලට යාමට පොර කති. නමුත් මේ සිද්ධිය විවේචනය කරමින් පල කල පුවතක් නිසා භටයන් මෙහිදී මදක් සංවේදී වුවා විය හැක.

පොලිසියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇත. එහිදී කල්‍යාණ මිත්‍ර විසින් බුකියේ හෙවත් වත්පොතේ පොලිසිය සම්බන්ධව පල කල කිසියම් පුවත් ප්‍රමානයක් ගැන විමසා තිබේ. මෙය නම් කණගාටුවට කරුණකි. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේශපාලන හෝ වෙන මොනයම්ම ලිපියක් තමන්ගේ බිත්තියේ පල කිරීමට කාගේවත් අවසරයක් අවශ්‍ය නැත. බටහිර රටවල නම් ජාතිවාදී, ආගම්වාදී හෝ ත්‍රස්තවාදී හෝ පුද්ගලයෙකුට එල්ල කර මරණිය තර්ජන හා අපහාස කිරීම ආදියේදී බුකියේ හෝ වෙනයම්ම තැනක පල කරන දෙයක් පොලිසියේ අවධානයට ලක්විය හැකිය. බොහෝ විට එවැනි අයට නඩු පවරනු ලැබේ. මෙතැනදී කල්‍යාණ මිත්‍ර අතින් එවැන්නක් සිදුවී නැත.

මට දැන් ප්‍රශ්න කිහිපයක් මතු වී . එකක් නම් ශ්‍රී ලංකාව තවමත් අනාරක්ෂිතද යන්නය. නාවික හමුදාවෙන් ඉවත්ව පැමිණි රණ විරුවකු වන කල්‍යාණ මිත්‍ර ඡායාරුපයක් ගැනීමෙන් වරදක් කලාද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ත්‍රස්ත තර්ජන තිබේ යයි කි බව අප දනිමු. එය එසේ නම් ඒ ගැන හෙළි දරව් කිරීම රජයේ යුතුකමකි. සාමාන්‍ය සිවිල් වැසියන් මේවා දන්නේ නැත. ගුවන් හමුදාපති තුමා විසින් මේ සිද්ධිය පිළබඳ එතරම් තැකීමක් නොකළ බවක් අපට දැන ගන්නට ලැබී ඇත. එයට අපගේ ස්තූතිය. එසේම සිද්ධිය දැනගත් වහාම අප හා දුරකතනයෙන් සම්බන්ධවී ප්‍රශ්නය නිරාකරණය කිරීමට පොරොන්දු වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති කරණාරත්න පරණවිතාන මහතාටද නෙළුම් යාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු.

මගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ කල්‍යාණ මිත්‍ර ඇප දී පොලිසියෙන් නිදහස් කර ඇතත් පොලිසියෙන් ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් ඔහු පිළිබඳව විමසා තිබේ. ඔහුගේ බිරිඳ දැනට දරුප්‍රසුතිය සඳහා නිවසේ සිටි. කල්‍යාණ මිත්‍ර නාවික හමුදාවෙන් ඉවත්ව අවුරුදු හය හතක් වේ. එසේම ඔහු පිළිගත් ඉදිකිරීම් ආයතනයක කළමනාකරුවෙකි. නීති ශිෂ්‍යයෙකි. සමාජ සේවකයෙකි. සමාජ ජාලා ක්‍රියා කරුවෙකි. බ්ලොග් ලියන්නෙකි. මේ කිසිවක් නොව පොලිසියට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු හිටපු හමුදා නිලධාරියෙකු වීමය. මේ අව් අස්සේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු විසින් තවත් පුවතක් පල කර තිබේ. ඒ කල්‍යාණ මිත්‍ර මෙය වීඩියෝ කළා කියාය. අදාල මාධ්‍යවේදියා මෙය දුටුවා ද? ඔහුගේ මොබයිල් දුරකථනය තවම පොලිසියේය. ඔහු අත් අඩංගුවට ගත් පොලිසිය එය තමන් ගේ භාරයට ගත්තේය. පින්තුරයක් වීඩියෝවක් බවට පත් වූයේ කෙසේද? ලංකාදීප මාධ්‍යවේදියා කියන්නේ ඇත්තක් නම් කවුරුන් හෝ දුරකථනය නැවත රැගෙන ගොස් වීඩියෝ කළා දැයි අප දන්නේ නැත. කෙසේ හෝ වේවා අහිංසක ලෙස ගත් ඡායාරුපයක් නිසා කල්‍යාණ මිත්‍ර කිසියම් අන්දමකින් වරදකට හසු කරන්නට තැත් කරන්නේ යයි සැකයක් අපට මතුව තිබේ. අප පොලිසියෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ සත්‍ය තත්වය වටහා ගෙන අපේ සහෝදර බ්ලොග් කරු තේරුමක් නැති පරීක්ෂණ වලින් නිදහස් කරන ලෙසයි.

Sunday, 3 January 2016

බ්ලොග් කරුවන්ගේ ආගමනයන් හා නික්ම යාම්

පසුගිය නත්තල් කාලය ජර්මනියේ ගත කල බැවින් කලින් ලිපියේ ලියු පරිදි වැඩි පුර බ්ලොග් කියවීමට කාලයක් නොවුනි. ඒ කාලයේ තමන්ට හැකි පරිදි මා වෙනුවෙන් කාලය වැය කරමින් නෙලුම් යාය වෙබ් අඩවියේ බ්ලොග් කරුවන් ගේ ලිපි පල කල කල්‍යාණ මිත්‍රට ස්තුති කරමි. අලුත් අවුරුද්ද ආරම්භයේ දීම දුටුවේ ගිය වසරේ අපගේ බ්ලොග් සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති පරණවිතාන මහතා තමන්ගේ බ්ලොගයේ ලිපියක් පල කරමින් පුස් බැඳ තිබුණු සතර දිගන්තය බ්ලොගය නැවත යාවත්කාලීන කිරීමයි. ඔහුගේ ආගමනය අපට ද ධෛර්යයකි.

අප ගියවර බ්ලොග් සම්මාන දීමට කටයුතු කරන අවස්ථාවේ එක ප්‍රසිද්ධ නීතිඥවරයෙකු කීවේ බ්ලොග් යනු කාලය කා දමන්නට කරන හොබියක් පමණක් බවත් ඒවායේ ඇත්තේ කුණු කන්දල් පමණක් බවත්ය. අපට උදව් කිරීමට අවශ්‍ය නම් සැබෑ වෙබ් ජන මාධ්‍යවේදීන්ට උදව් කරන ලෙසත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පුහුණුවක්ද ආරම්භ කරන බව පැවසුවේය. ඔහු ආරම්භ කළ පුහුණුවක් අදටත් නැත. මම ඔහුට කිවේ බ්ලොග් යනු තවත් එක් සන්නිවේදන මාධ්‍යක් බවත් එය ලියන්නා අනුව වෙනස් විය හැකි දෙයක් (එනම් විනෝදාත්මක ලෙස, දැනුම සැපයීමට, තමන්ගේ ස්ව නිර්මාණ ඉදිරිපත් කිරීමට වැනි) බවත් බොහෝ රටවල ජන මාධ්‍ය භාවිතයේ බ්ලොග යනු ඉතා ප්‍රබල අංගයක් බවත්ය. ගාඩියන් පුවත් පතේ බොහෝ ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදීන් මුලින් ම ලියන්නේ තමන් ගේ බ්ලොගයේය.

මම නිර්නාමික නම් වලින් ලිවීම අත්හැර කොළඹ ගමයා බ්ලොගය මගේ සැබෑ නමින්ම ආරම්භ කලේ කිසියම් හේතු කිපයකටය. මුල් කාලයේ මා සමග සංවාද කල එක අයෙකු වුයේ යකා ය. ඔහු සමග ගිය සංවාදයක් මෙහි ඇත. පසුව ඔහු යකා නොව මධ්‍යස්ථ මතධාරියා විය. ඉතින් එවැන්නෙකු ගේ නික්ම යාම කණගාටුදායකය.

මධ්‍යස්ථ මතධාරියා ලියු අවසන් ලිපියේ ඇතැම් තැන්වල මා ආරම්භ කල දේ සඳහා විවේචනයක් තිබේ යයි සිතෙන නිසා එයට පිළිතුරු දීමක් කරමි. එය එසේ නොවේ නම් ඔහුට පැමිණ ඒ ගැන පැහැදිලි කල හැකිය. කවුරුන් හෝ නිදහස් අදහස් ඉදිරිපත් කරන විට වට කරගෙන පහර දෙයි නම් ඔහුට කල යුතුව තිබුනේ කොමෙන්ට් වසා දැමීම හෝ පාලනය කිරීමයි. ඒවා පල කිරීමට අවශ්‍ය නැත.

නෙලුම් යාය විසින් කඳුකරයේ පාසැල් වල දරුවන්ට පොත් පත් හා උපකරණ ප්‍රමාණයක් බෙදා දුන්නෙමු. කල්‍යාණ මිත්‍ර, කටුසු හදවත, රූපේ වැනි බ්ලොග් කරුවන් හා වෙබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මිට සහභාගී වුනි. බ්ලොග් කරුවන් දෙදෙනෙක් (පැතුම් හා ඉවාන්) මුදලින් දායක වුනි. මධ්‍යස්තයා කියන්නේ මේවා අණබෙර ගසා නොකළ යුතු බවකි. මෙය අපට චෝදනාවක් දැයි නොදනිමි. ලංකාවේ එසේ කල හැකිද? ජනතාවගේ මුදල් වලින් දේශපාලකයන් ආධාර දී පත්තර වල දා ගන්නා රටක? මමත් මගේ යහළුවන් පිරිසකුත් චැරිටියක් පිහිටුවා සුනාමියෙන් අසරණ වූ ළමුන්ට උදව් කළෙමු. මෙවැනිම සපත්තු, පොත් බෙදා දීම් ආදිය කළෙමු. ඒ 2004 සිටය. මේවා පත්තර වල දැම්මේ නැත (වෙබ් අඩවිය) .

නමුත් අපි එසේ කල දේවල් වරක් එක්තරා ඇමෙරිකානු චැරිටි පදනමක් තමන් කල දේ යයි පවසා තම වෙබ් අඩවි වල දමා අමෙරිකානුන්ගෙන් තවත් ඒ දේ කරන්නට ආධාර ඉල්ලා තිබුණි. පසුව සොයා බලන විට අප කල ඒ දේවල ඡායාරූප ආදිය ඔවුන්ට දී තිබුනේ ඒවාට සහභාගී වුනු රජයේ නිලධාරියෙකි. මවිසින් විරෝධය පල කල පසු ඔවුහු ඒවා ඉවත් කලත් සමාවක් නම් ඉල්ලුවේ නැත. අනුන් ගේ වැඩ තමන් ගේ යයි කියමින් එසේ වංචා කළ හැකි වුයේ අප ඒවා ප්‍රසිද්ධ නොකළ බැවිනි. වරක් අප විසින් යුදයෙන් ආබාධිත වූ භටයන්ට සහය උපකරණ යැව්වෙමු. ඒවා බෙදා දුන්නේ උසස් නිලධාරියෙකු ගේ බිරියකි. ඔවුන් අපේ පදනමේ නමවත් සඳහන් කලේ නැති අතර භටයන්ට හැඟවුයේ ඒවා උසස් නිලධාරියා ගෙන් බවය. ඒ නිසා ආධාර දෙද්දී ඒ ගැන විස්තරයක් පල කල යුතු බව සිතමි. නැත්නම් අපට උදව් කරන අය අප කිසිවක් නොකළා යයි සිතන්නටද ඉඩ ඇත.

කඳුකරයේ පාසල් පොත් බෙදා දීමේදී සංවිධාන ක්‍රමයේ ප්‍රශ්න කීපයක් ම ඇති වුනි. ඒ නිසා අප ගිය මාසයේ කුරු ගෑ ගී පවුර බ්ලොගය විසින් සංවිධානය කළ එවන් අවහිරතා ඇති ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමට දායක වුනෙමු. එය මුළුමනින්ම සංවිධානය කලේ හා මුලිකත්වය ගත්තේද ඔවුන්ය. දැන් ඒ අනුසාරයෙන්ම තවත් බ්ලොග්කරුවන් පිරිසක් එවැනිම සද් කාර්යයක් කරන්නට සැරසෙති. අපි එයටද දායක වෙන්නෙමු. ඒ නිසා මධ්‍යස්ත මතධාරියා එවැනි දේ ප්‍රසිද්ධ කිරීමෙන් හොඳක් මිස නරකක් වන්නේ නැත. හැකිනම් ඔබත් දායක වෙන්න.

බ්ලොග් වලට සම්මාන දීමට තීරණය කලේ මමයි. ඉන්පසු එයට මුල්‍ය ආධාර දෙමින් තමන්ගේ වෙබ් අඩවියේ වඩා වැඩි ඉඩක් සපයා දෙමින් මෙන්ම වෙනම වෙබ් අඩවියක් නෙලුම් යාය නමින් ඇති කිරීමෙන් ද මහත් සේ උදව් කල ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රධාන කර්තෘ වරයෙක්ද සිටි. අප මේවා කරන්නේ නිස්සරණාධ්‍යශයෙන්ය. ලංකාවට මෙය පුරුදු නැති දෙයක් බව අප දනිමු. සමහරු හිතන්නේ අපට ලොකු පොරවල් වීමට අවශ්‍යව ඇති බවකි. අහෝ මිතුරනි, අපි මේ උළෙලවල් සංවිධානය කරන බව හෝ සම්මාන, ත්‍යාග දෙන බව හෝ අපගේ පවුල් වල උදවිය තබා මිතුරන් වත් දන්නේ නැත.

සම්මාන දීමෙන් නිදහස් අදහස් ප්‍රමිතිකරණයට ලක්වේ යයි කීම පදනම් විරහිත දෙයකි. බස්සි වඩාත් හොඳින් තවමත් ලියන්නීය. ඒ මදිවට පොතකුත් ගැසුවාය. මාතලන් ගේ කුණුහරප වල අඩුවක් නැත. ඔහු තමන්ට ආවේණිකවූ ශෛලියෙන් තවමත් ලියයි. එක් අයෙකු දෙදෙනෙකු හැර අනිත් අය තවත් හොඳට නිර්මාණ කරති. නිදහස් සිතුවිලි ඉන් එක් බ්ලොගයකි. සම්මාන දුන්නත් නැතත් බ්ලොග් කරුවෝ ලියති. සම්මාන දෙන්නේ අප හදාගත් නිර්නායකයන්ටය. ඒවා මොනවා දැයි කීමට අප බැඳී නැත. සම්මාන දෙන්නට කලින් අපි ඒ බව බ්ලොග්කරුවන්ට දැනුම් දෙන්නෙමු. ඔවුන්ට ප්‍රතික්ෂේප කරන්නට අවස්ථාවක් ද දෙන්නෙමු. ඒවාට අකමැති කෙනෙක් තමන් ගේ සම්මාන උළෙලක් පවත්වනවාට අපෙන් බාධාවක් ද නැත. එසේ බාධා කරන්නට අප මහා ලොක්කන් ද නොවේ. බ්ලොග් උළෙල වල් වැඩි වෙන තරමට හොඳ බ්ලොග් කරුවන්ට මය.

ටික්කා මධ්‍යස්ත මතධාරියා ට අපහාස කිරීමක් ගැන දැක්කේ ඔහුගේ අවසන් ලිපියෙනි. සාමාන්‍යයෙන් ටික්කා මට විවේචන ලියා නැත. ඔහු ඉංග්‍රීසියෙන් සින්හල කොටන නිසා සාමාන්‍යයෙන් මම ඔහුගේ කොමෙන්ට් කියවන්නේ නැත. (ටික්කා අමනාප නොවන්න.) ඒ ගැන නොයෙක් වර ඔහුට පවසා දැන් ඔහු සිංහලෙන් කොමෙන්ට් කරයි. ටික්කා අපහාස කර ලියා ඇති දේ මධ්‍යස්ත මතධාරියා පල කර ඉන්පසු ඒ ගැන දුක් වෙමින් අනිත් අය ඔහු සඳහා ඉදිරි පත් නොවන්නේ යයි කියයි. මම එය ඊයේ කියවූ නිසා කියන්නට තිබෙන්නේ ටික්කා සාමන්‍යයෙන් කුණුහරුප ගොඩක් ලියන අයෙකු බව මා දැක ඇති බවයි. එය ඔහුගේ නිදහස නිසා මම කිසිවක් කීමට නොගියෙමි. මධ්‍යස්ත මතධාරියා ඒවාට අකමැති නම් ඒවා පල නොකර සිටියා නම් ඉවරය. නැත්නම් එයට සරිලන පරිද්දෙන් උත්තරයක් දීමට මධ්‍යස්ත මතධාරියා ට ද නිදහස ඇත.

මා දැක ඇති දෙයක් නම් දරුණු විවේචන ඉදිරිපත් කරන අයට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් විට "මට ගැහුවෝ" යයි කියා ඔවුන් ම ඉන්පසු අඬා වැලපෙන බවයි. මටද එවැනි දරුණු ප්‍රහාරයන් කීපයක් මගේ බ්ලොගයේ හා මාතලන්ගේ බ්ලොගයේ දී එල්ල විය. ඒ මගේ දරු පවුල ගැනය. ඒවාට ගත් හා ගන්නා ක්‍රියා මාර්ග ගැන මෙහිදී කිසිවක් නොකියමි. නමුත් මධ්‍යස්ත මතධාරියා ටික්කා ගේ ඔය කියන අපහාසයට බ්ලොග් ලිවිම නැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමන් දුර්වලයෙකු බව පමණය. ඔය කියන ලිපියේදී මා ගත්තේ මධ්‍යස්ත මතධාරියා ගේ පැත්තය. මගේ කොමෙන්ටුවෙන් එය දැක ගත හැකිය. මා කොහොමත් පාසැල් ගුරුවරුන් ළමුන්ට තලනවාට විරුද්ධ අයෙකි. එසේම විචාරක මහතාට විරුද්ධව මගේ බ්ලොගයේ පලවූ කොමෙන්ටුවක් මම පල කලේ නැත.

මා අදේවවාදියෙකු මිස නිරාගමිකයෙකු නොවන නිසා ඔහු ආගම් ගැන කියන දේ ගැන කිසිවක් නොකියමි. මම යන්නේ හින්දු දෙවියන් ගේ ප්‍රතිමා නැති පන්සල් දෙකකට පමණි. සියලු දේව ඇදහීම් වලට විරුද්ධ අයෙකු මිස අනිකාට තම ආගමක් තමන් ට ඕනෑ විධිහට ඇදහීමේ නිදහසට විරුද්ධ නොවෙමි. එසේම ඕනෑම ආගමක් විවේචනය කිරීමට හා නිදහසේ අදහසක් පළ කිරීමට මට මෙන්ම අන් අයටද අයිතියක් තිබේය යන්න විශ්වාස කරමි. බුදු දහම ගැන හැඳින්වීමේදී බුදුන් කිවේ "ඒහි පස්සිකෝ " කියාය. එනම් අන්ධ භක්තිය නොව "එව බලව" කියාය. ළමා අපචාර මෙන්ම දුෂණ කරන ඕනෑම ආගමක, ඕනෑම යතිවරයෙකුට මම නම් විරුද්ධය. තමන් අතරමන් වූ ඕනෑම අවස්ථාවක දේශපාලක තක්කඩියන් කරන්නේ ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීමයි. මධ්‍යස්ත මතධාරියා එම තත්වයට පත් නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

අවසන් වශයෙන් කිව යුත්තේ තමන් කල යුත්තේ තමන්ගේ සිතට ප්‍රීතියක් දැනෙන තමන් කැමති දේ පමණක් බවය. අකමැති දේ කිරීම සිතටද වධයකි. මධ්‍යස්ත මතධාරියා ගේ නික්ම යාම කණගාටුවට කරුණක් වුවද තමන් සිතන දේවල් බ්ලොග් වලින් ඉටු නොවේ නම් එය වදයක් කර නොගෙන ඉන් ඉවත්ව යාම යෙහෙකි. නොඑසේ නම් වෙලාව ඇති පමණට බ්ලොග් ලිවිම හෝ සංවාදයේ රැඳී සිටීම යෙහෙකි.

Friday, 1 January 2016

සුභ නව වසරක් සමග මහා තනපට යුද්ධයත් නිම කරමු

නත්තල් නිවාඩුවට ජර්මනියට ගොස් පැමිණියේ ඊයේය. නිවාඩු යනවිට මගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමට බිරිඳ දරන ප්‍රයත්නයන් පරාජය කරමින් ඊමේල් ටිකක් යවා ගත්තද බ්ලොග් කියවීම් අතපසු විය. අප ජර්මනියට යන්නේ වසරක් පාසා බිරිඳගේ දෙමව්පියන් හා නෑදෑයන් බැලීමට අප යොදා ගන්නා කාලය නත්තල නිසා මිස ආගමික සංවත්සරයක් සැමරීමට නොවේ. ඉතින් ඊයේ ලන්ඩනයට පැමිණි විට තවමත් තනපට යුද්ධය නිමා නොවී ඇදෙන බව දුටිමි. මෙහිදී මට මතක් වුනේ ජර්මනියේ විවාහ උත්සව වලදී කෙරෙන ක්‍රීඩාවක් ගැනය.


ශ්‍රී ලංකාවේදී සිදී කෙරුණු අපේ විවාහයේදී අපි සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළෙමු. ජර්මනියේදී අප අනුගමනය කලේ එහි චාරිත්‍රය. එහි විවාහ උත්සව වල නෑදෑයන් හා යහළුවන් නොයෙකුත් "ක්‍රීඩා" සංවිධානය කරනු ලබයි. පටන් ගැන්මේදී ඒවා කවි කියවීම, පරණ මතකයන් එකිනෙක ඇවිස්සීම, මනාල යුවලගේ ප්‍රේම කතා හා ඔවුන්ට විහිළු තහළු කිරීම ආදියෙන් සමන්විත වෙයි. වඩාත් රාත්‍රිය එළඹෙද්දී හා මධුපානයන් නිදහසේ ගලා යද්දී ක්‍රීඩා ද වඩා "වැඩිහිටි" වෙයි. ජර්මනියේ ළමුන්ව රාත්‍රී 9.00 පමණ වන විට නිදා ගැනීමට යවති. අවුරුදු 14ට වැඩි ළමුන්ට 10.30 පමණ වනතුරු සිටිය හැකිය. මා සහභාගී වූ විවාහ උත්සව කිහිපයකම මෙය මෙසේ සිදු විය.

ඉන්පසු කරන "වැඩිහිටි " පන්නයේ ක්‍රීඩාවක් මට මතක් වුයේ තනපට කාල ගෝට්ටිය නිසාය. සංගීත පුටු තරඟය මතකද? මෙහි වැඩිහිටි වර්ෂන් එක මෙසේය. පිරිමි ගැහැණු සියල්ලෝම සංගීතයට වටේ යති හිටි හැටියේ සංගීතය නැවතුනු පසු අප අර කුඩා කාලයේ ක්‍රීඩා කල "කන් කන් බූරු සින් සින් නෝරු " ආකාරයේ අණක් ලැබෙයි. දුවල දුවල ගිහින් අණ කරන දේ කර වහා පැමිණ හිස් පුටුවකින් වාඩි විය යුතුය. මේවා බොහෝ විට සිනහ උපදවන හා "වැඩිහිටියන්ට පමණයි" ස්වරුපයේ අණවල්ය. එකක් වන්නේ "දුවල දුවල ගිහින් තනපටක් (බ්‍රා එකක්) අරන් ඇවිත් වාඩි වෙන්න" යන්නයි. තරඟයේ කාන්තාවන් සිටී නම් ඔවුන් බොහෝ විට අත යවා තමන්ම තනපට මුදාගෙන වාඩි වෙති. ප්‍රශ්නය වන්නේ උෂ්ණ කාලයක නම් (ශිත සෘතුවේ නොවේ නම්) බොහෝ ගැහැනුන් තනපට පැළඳ නොසිටීමයි. එවිට බොහෝ අය තරඟයෙන් පරාජය වෙති. විවාහක පිරිමින් තම බිරින්දන් ගෙන් තනපටය රැගෙන දිව එන අතර තනිකඩ අයට අවට සිටින කාන්තාවන්ගෙන් තනපටය සිඟා යාමට සිදු වේ. සමහර විට මේ තනපටය මුදා ගැනීම අසීරු වෙන අතර උඩුකය වැස්ම උස්සා තනපටය අදින කාන්තාවන්ද සිටිති. එවිට නොමිලයේ ලැබෙන කලාත්මක දර්ශන වලින් සිත සතප්පවා ගත හැකිය.

පිරිමින්ටද ගැලවී යා නොහැක. ඊළඟ අවස්තාවේදී දුවල දුවල ගිහින් යට ඇඳුම හෙවත් ජොකා ගළවා ගෙන ආ යුතුය. හිල් තිබෙන අපිරිසිදු ජොකෙක් ඇඳන් ආවා නම් කාඩ් ඉවරය. මෙය කල යුත්තේද සම්පුර්ණයෙන්ම කලිසම ගැලවීමෙන් නොවේ. කලිසම එක කකුලක තිබෙද්දී හා රහස් පෙදෙස වසා ගෙන ජොකා ගැලවිය යුතුය. මා දුටු එක දසුනක කාන්තාව කලේ තමන් ඇඳ සිටි කබාය ගලවා සැමියාට පොරවා ඔහුගේ කලිසම බලෙන් මෙන් ගලවා ජොකා අරගෙන දිවිමයි. මෙහිදී තමන් සැමියා ගේ යටි කය කබායෙන් වැසූ බව අමතකව ඇය කබායද ඇඟ ලා ගත්තාය. නිරුවත්ව කෑ ගසන සැමියා දැක සියල්ලෝම පෙරලි පෙරලි සිනා සුනහ. මෙවැනි ක්‍රීඩා බොහෝ විට කරන්නේ මිනිසුන් අපහසුතාවයට පත් කර සිනහ වීමටය.

ශීත සෘතුව අවසන් වීගෙන යන විටම අපේ කාර්යාලවල තරුණියෝද තනපට හැඳීම අත හරිති. කවුරුත් එය විවේචනය කරන්නට යන්නේ නැත. මේ සියල්ලේ මේ රටවල සංස්කෘතික විඥානය අනුව සලකා බැලිය යුතු හැසිරීම් වේ. මේ රටවල තනපටයක් ගැලවීමේ හෝ නොහැඳ සිටීමේ ලොකු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වන්නේ එම සංස්කෘතික තත්වයන් නොමැති රටවල එය එසේම කල යුතුද යන්නය. මගේ අදහස වන්නේ එසේ නොකළ යුතුය යන්නයි.

අප ශ්‍රී ලංකාවට යනවිට අපේ පවුලේ ගැහැණු කිසිවෙකු කොටට අඳින්නේ ඇත. රටේ සංස්කෘතිය අනුව එසේ හැසිරිය යුතු බවට මම ඔවුන් ට කියා ඇත්තෙමි. වරක මගේ දියණිය කොටට හැඳ සිටින ශ්‍රී ලංකික තරුණ කාන්තාවන් කිහිප දෙනෙකු කොළඹ දී මට පෙන්වූවාය. මා ඇයට කිවේ ඔවුන් එසේ ගියද පිට රටින් පැමිණෙන අප දෙස මිනිසුන් වඩා තදින් විමසා බලන බවත් සමහර නෑදෑ ගෙවල එසේ හැඳ ගියොත් විවේචනයට ලක් විය හැකි බවත්ය.

තමන් සිටින රටේ සංස්කෘතිය අනුව හැකිතාක් දුරට හැසිරිය යුතු බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ තනපට හා උඩුකය වැසීම ඉංග්‍රීසින් පටන් ගත් විට එයට විරුද්ද වූවෝ කුලිනයෝය. කුලහිනයන්ට උඩුකය වැසීම තහනම් වූ හෙයිනි. ඒ නිසා එදා එය ප්‍රගතිශීලී පියවරක් විය. දැන් තනපට ගැලවීම ප්‍රගතිශීලි ද ?

පිටරටවල වුනාය කියා ශ්‍රී ලංකාවේද එසේ හැසිරීම කල යුත්තක් නොවේ. ඒ නිසා සිරිසේන මහතා තමන් ජිවත් වූ පොළොන්නරුවෙන් උකහා ගත් සංස්කෘතික හැදියාවන්ට අනුව කළ චෝදනාව මෙතරම් තදින් විවේචනය කිරීමේ තේරුමක් නැත යන්න මගේ විශ්වාසයයි. විවේචනය කල යුත්තේ ඔහුගේ පුතා, බෑනා හා ඔහුගේ ගුවන් හමුදාපතිගේ දියණියද ගිය මේ ප්‍රසංගය වැනි ඒවා ඔහු තහනම් කල යුතු යයි පැවසීමය. ඒ කියන්නේ පවුලේ අය ගියා වුනත් මම මේවා තහනම් කරනවා යයි හෝ මඩු වලිගෙන් තලනවා යයි කීමය. ඔහු පුතාට හා ගුවන් හමුදාපති තුමාගේ දියණියට එසේ කළා දැයි මම නොදනිමි. නමුත් ශ්‍රී ලංකාවේ පවුලට සැලකීමේ ප්‍රවනතාවයෙන් වෙනස් ව පවුලේ කැමැත්තද ගණන් නොගෙනෙ මෙවැනි තහනමක් යෝජනා කිරීම පිළිබඳව ඔහුට මගේ ප්‍රසාදය හිමි වේ.

තන පටයේ බලය පිළිබඳව කියවෙන මේ රුසියානු වීඩියෝවත් බලන්න.

එසේම අතිගරු ජනාධිපති උතුමාණන් එන්රිකේ සමග ගයන ගීයක් ද අද වත් පොතේ දුටුවෙමි. එයත් නරඹන්න

සියලුම බ්ලොග් කරුවනට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.

Wednesday, 16 December 2015

නෙළුම් යාය ඉල් මස ත්‍යාගය හා මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල

බ්ලොග් ලෝකයට හදිසියේ කඩා පැන්නා කියා අපට සිතුන අමුතු ශෛලියක ලියන්නෙක් නෙළුම් යාය ඉල් මස ත්‍යාගය සඳහා තෝරා ගත්තා. බොහෝ විට හාස්‍ය රසය උපදවන ලෙස තමන්ගේ නෑදෑයෙකු ගැන ලියන මේ බ්ලොග්කරුවා පසුව වන්දනා ගමන් ගැන මෙන්ම ගංවතුර ගැනද අමුතුම මානයකින් ලියා තිබුනා. බ්ලොග් ලෝකයේ බොහෝ අය දැන් දැන හඳුනන මේ බ්ලොග් කරු තමා හඳුන්වන්නේ ශ්‍රංග හෙවත් සුරංග යන නමින්. බ්ලොග් අඩවිය තමා "යාං හෑල්ල".

අපි තෝරාගත් ලිපි පෙළ තමා ඔහු ගං වතුරක් ගැන ලියු ලිපි. ඒවා ලියු අවංකත්වය මෙන්ම ලියු ශෛලියද බොහෝ අයගේ පැසසුමට ලක්වුණා. සුරංගට තවත් රසවත් ලිපි ලිවීමට සුභ පැතුම්.

 මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල

ලබන අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙල බොහෝ විට මාර්තු 26 වන සෙනසුරාදා මේ අවුරුද්දේ පැවැත්වූ ශාලාවේම නව මාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට තීරණය කර තිබෙනවා. අපට ගිය වාරයේ ජන මාධ්‍ය අමාත්‍යංශයේ ශාලාව ලබා දුන්නේද ඔහුයි. (වෙනත් ශාලාවක් ලබා දෙන්න පුලුවන්නම් කියන්න ). කල්‍යාණ මිත්‍ර ඇතුළු බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මෙය සංවිධානය කිරීමට සහය දැක්වීමට කැමැත්ත පළ කලා.

එදාට උත්සවය මෙහෙයවීම හා කවර අංගයන් ඇතුලත් කල යුතුද යන්න සඳහා යෝජනා එවන්න.

එසේම වඩා වැදගත් ලෙස අප දෙන බ්ලොග් සම්මාන සඳහා ඔබගේ යෝජනාද එවන්න. අපි ඒ එන හැම යෝජනාවක්ම සළකා බැලීමට පොරොන්දු වෙනවා. බ්ලොග් කරුවන්ට, බ්ලොග් නොලීවත් කොමෙන්ට් දමන අයටද මේ සඳහා සහභාගී විය හැකියි. වසරේ හොඳම බ්ලොග් කරු 1, 2, 3 මෙන්ම නෙළුම් යාය අඩවියේ එක් එක් අංශ සඳහාද එක ත්‍යාගය වශයෙන් පිරි නමනවා.

"මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට  අයත් වනවා. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා  ඉතිහාස   යනුවෙන්. මෙයින් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා, සංචාරක යන අංග වලට එක, දෙක, සහ  තුන ස්ථාන තෝරා ත්‍යාගයන් දීමටත් අදහසක් තිබෙනවා."

 ත්‍යාගය ට ඇතුලත් වන්නේ මුදල් හෝ පොත්, නෙලුම් යාය සම්මානය හා සහතිකයක්.

යෝජනා එවිය යුත්තේ: editor@nelumyaya.com ලිපිනයට.


ප.ලි. කොළඹ ගමයා ගේ අඩවිය මගේ පෞද්ගලික බ්ලොග් අඩවියයි. මා මේ විස්තරය මෙහි දමන්නේ දැනට නෙළුම් යාය සංස්කරණය කරන නිසා. ලබන අවුරුද්දේ නෙළුම් යාය තුලම සියලු විස්තර ඇතුලත් කරන්නටයි බලා පොරොත්තුව. දෙසැම්බර් මාසයේ මම නිවාඩු යන නිසා මේ මාසයේ බ්ලොගය තේරීම කල්‍යාණ මිත්‍ර කරනු ඇති.

Sunday, 13 December 2015

ඔබට හැකි නම් - මයකෝව්ස්කි

මට විජිත ගුණරත්නයන් හමුවූයේ පසුගියදා පැවති අගෝරා සංස්කෘතික සංදර්ශනය අවස්ථාවේය. ඔහුගේ "යුද පිටියේ සවාරිය" නරඹා ඒ ගැන බ්ලොග් ලිපියක් ද ලියුවේ ඉන්පසුවය. අප අතර පැවති සාකච්චාවේදී මට රුසියානු භාෂාවෙන් කතා කරන්නට හැකි බව දැනගත් විජිත මට යෝජනාවක් කළේය. ඒ තවමත් පරිවර්තනය වී නොමැති ව්ලැඩිමීර් මයකොව්ස්කි කවියාගේ කවි කීපයක් පරිවර්තනය කරන ලෙසය. පසුගිය දිනවල චින්ගීස් අයිත්මාතව් ඇකඩමියේ ත්‍යාගය සඳහා ලන්ඩනයට පැමිණ සිටි චුලානන්ද සමරනායකයන් මට කිවේ රන්ජිත් සේනසිංහ සහ ඔහු විසින් මයකොව්ස්කිගේ ළමයින් සඳහා ලියු කවි රුසියානු බසින් සිංහලට පරිවර්තනය කර තිබෙන බවයි. මට විජිත කිවේ ඉංග්‍රීසියෙන් සිංහලට නොව කෙලින්ම රුසියානු භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන්නටය. මෙය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන්නේ මා රුසියන් භාෂාව ඉගෙන අවුරුදු 25 ක් පමණ ගතව ඇති නිසයි. රුසියානු මිතුරන් කීපදෙනෙකු සිටියද ඔවුන් සමග වුවද වැඩිය කතා නොකරන නිසා සැක සහිතව වුවද මම කවි පෙළක් පරිවර්තනය කලෙමි.

ව්ලදිමීර් මයකොව්ස්කි අපේ වකවානුවේ අය මිස අපෙන් පසුව ආ පරම්පරාව වැඩිපුර නොදන්නා බව සිතමි. 1893 ජූලි 19 රුසියානු අධිරාජ්‍යය පැවති කාලයේ උපන් මයකොව්ස්කි "රුසියානු අනාගතවාදී" ව්‍යාපාරයේ මුලිකයෙකි. ඔහු කවි ලිවිම පමණක් නොව නාට්‍ය තිරකතා ලිවිම, චිත්‍රපට වල රඟපෑම මෙන්ම "වාමාංශික පෙරමුණේ කලාව" නම් සඟරාවේ කතුවරයා ලෙසද කටයුතු කළේය. ඔහු බොල්ෂෙවික් පක්ෂයට හා ලෙනින් ට සහය දැක්වූවෙකි. මොහුගේ මුල් කාලයේ රචනා වල මෙය දක්නට ලැබේ.

ලෙනින් 1924 දී මිය ගිය පසු බලයට පැමිණි ස්ටාලින් යටතේ සංකෘතික වාරණයක් ක්‍රියාත්මක විය. මේ වාරණය යටතේ "සමාජවාදී යථාර්ථවාදය" නමැති රාජ්‍යයේ මතවාදය අනුගමනය කිරීමට නිර්මාණ කරුවන්ට බල කරන ලදී. මෙයට දැඩි සේ විරුද්ධ වුන මයකොව්ස්කි සමග සෝවියට් රාජ්‍ය යන්තරයට තිබුනේ සංකීර්ණ හා හැල හැප්පීම් සහිත සම්බන්ධයකි. ඔහු 1926 දී "බදු අයකරන්නා සමග කවි ගැන සංවාදය" නම් කවි පෙලින්, "මකුණා ", "නාන තොටුපල" වැනි නාට්‍ය තුලින් සෝවියට් වාරණය හා ඊනියා සමාජවාදී යථාර්තවාදය යටතේ බිහිවුණ බොල් සාහිත්‍යය උපහාසයට ලක් කරන ලදී. මේ නිදහස් ලියවිල්ලට සෝවියට් බලාධිකාරය හා සාහිත්‍ය මණ්ඩලයේ අරක් ගෙන සිටි නිලධාරිවාදය දැඩි සේ විරුද්ධ වුහ. ලෙනින් සමග එකට විප්ලවය කල සගයන් එකින් එකා ස්ටාලින් විසින් විනාශ කරන අතරේ 1930 දී මයකොව්ස්කි සිය දිවි නසා ගති.

ඔහුගේ මරණයෙන් පසු නියම ස්ටාලින්වාදී ක්‍රමයට අනුව යමින් ස්ටාලින් විසින් මයකෝව්ස්කි සෝවියට් දේශයේ හොඳම කවියා ලෙස නම් කරන ලදී. ඔහුගේ නමින් මයකොව්ස්කයා නම් උමං දුම්රිය පළක් ද මොස්කව්හි තිබේ.
මයකොව්ස්කයා

පහත සඳහන් කවි පෙළ පරිවර්තනය කල පසු එය විජිතට යැව්වෙමි. මුල් පිටපත වචනයෙන් වචනයට කල පරිවර්තනයකි. ඉන්පසු අප දෙදෙනා සාකච්චා කලේ මයකොව්ස්කි සැබවින්ම කියන්නට තැත් කලේ කුමක් ද යන්නයි. මෙහිදී විජිත කිවේ බර්ට්‍රෝල්ඩ් බ්‍රෙෂ්ට් තම නාට්‍යකරණයේදී, මයකොව්ස්කිගේ දයලේක්තික ක්‍රමයේ ලියවිල්ල අනුගමනය කල බවයි. මේ ක්‍රමය හැඳින් වෙන්නේ එපික් තියෙටර් නැත්නම් එපික් නාට්‍ය යනුවෙනි. බ්‍රෙෂ්ට් මෙහිදී භාවිතා කල උපක්‍රම වලින් ප්‍රේක්ෂකයාට මතක් කර දුන්නේ නාට්‍යයක් යනු යථාර්ථයේ නියෝජනයක් මිස යථාර්තය නොවන බවයි. බ්‍රෙෂ්ට් පසුව එපික් නාට්‍ය යන නම වෙනුවට දයලෙක්තික නාට්‍ය යන නම භාවිතා කළේය. දැන් පහත කවිය අප දෙදෙනාම මයකොව්ස්කිගේ අදහස සාකච්චා කර එය පිළිඹිබු කිරීමට ලියුවකි. එනම් කවි පෙළ අප තේරුම් ගත් ආකාරය ඔබට දැක්වේ.

 මේ කවි පෙලේ ජෙලි පිගාන යනුවෙන් සඳහන් වෙන්නේ ආහාර වර්ගයකි. රුසියාවේ මෙන්ම ජර්මනියේද ජනප්‍රිය මෙම ආහාරයේ ඇත්තේ මාළු පෙති, මස් හෝ බිත්තර ජෙලි කර සෑදු කෑමකි. මේසය හෝ පිගාන සෙලවූ විට ජෙලි කෑම එකද ඒ අනුව සෙලවෙයි. මෙතැනදී තේරුම් ගැනීම පහසුවෙන්න මේකත් ලියන්න ඕනේ. කවියා ලියල තිබ්බේ ටින් කරපු මාළුවෙකු ගේ කොර පොතු ගැන අපි ටින් කටහ්ව හැලුවා.

ඉතා කෙටි කවි පේලි කිහිපයකින් මයකොව්ස්කි පළ කරන අදහස කුමක්ද?

ඔබට හැකි නම්

සතියේ කාල සටහන මත
හැලුවා තීන්ත කුඩුව මම

සසල වුනු පිඟානේ ජෙලි වලින් පල වුනේ
මුහුදු රළ පරදන සිනහවයි

මාළුවෙකුගේ කොරපොත්තෙන්
ගත හැකි නම් නැවුම් දෙතොලක පහස

ඔබට හැකිවෙයි වයන්නට
ප්‍රේමාලාපයක්  යකඩ පයිප්පයකින්


-ව්ලැඩිමීර් මයකොව්ස්කි පරිවර්තනය - අජිත් ධර්මකීර්ති /විජිත ගුණරත්න

А вы могли бы?

 Я сразу смазал карту будня,
плеснувши краску из стакана;
я показал на блюде студня
косые скулы океана.
На чешуе жестяной рыбы
прочел я зовы новых губ.
А вы
ноктюрн сыграть
могли бы
на флейте водосточных труб?

1913

Friday, 11 December 2015

හෙට එලි දකින බස්සිගේ බසු කවි හා එලි දැක්වූ නෙළුම් යායේ ප්‍රථම ප්‍රකාශනය


ඉතා කෙටි කලබල සිහින 

 අපි දුන්න බස්සිට සම්මානයක් 2014 දී නෙළුම් යායෙන්. ඒ බස්සිගේ "මොඩෙලින් කිරිල්ලී" කියන කවි පෙලට. ඒ දවස් වලම හිතුන මේ නම් හීන දකින කවි කාරියක්, කතා සාගරයක්, පොත් ලියන්නියක් (කවද හරි) කියල. කියවල තෝර ගත්තට පස්සෙත් බස්සිගේ බ්ලොගේට මමත් වහ වැටුන. මේ මොංගල් පික්සු බස්සි ලියන ඒවා නොකියවා පුලුවන්ද? අර ඉවාන් පව්ලුෂ බට කොස්සි කියල ආදරයෙන් අමතන පික්සු බස්සිට ආදරය නොකර පුලුවන්ද? (දැන් බස්සා වලියට එයිද දන්නේ නැහැ)

 ඉතින් බස්සිගේ ලියපු ඒවා එකතු කරලා බ්ලොග් නොකියවන අයටත් දෙන්න ඇත්නම් කියල කීප වාරයක් හිතුන. නමුත් හොඳ හිතින් අරඹන හැම වැඩක් ම වගේ නෙළුම් යායටත් ගල් මුල් එක්ක වෙනත් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වුනා. ඉතින් අර හිතන් හිටපු වැඩ බොහොමයක් තවම කෙරුනේ නැහැ. ඒ අතරේ තමා මේ සුභ ආරංචිය ආවේ. ඒ මේ පුංචි බස්සියා දුක් මහන්සි වෙලා වැඩක් කරලා. බසු පොතක් ගහලා. එලි දක්වන්නේ හෙට. බස්සිගේ පොත දොරට වැඩුමක් දෙසැම්බර් දොළොස්වැනි සෙනසුරාදා, පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා. මමත් ලංකාවේ හිටියා නම් යනවා. පුලුවන් නම් යන්න.


බස්සි කියන අදර නාමයෙන් තමන්ව හඳුන්වා ගන්නේ බස්සිගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානි ප්‍රේමරත්න.

නෙලුම් යායේ ප්‍රථම ප්‍රකාශනය


මේකට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න හිතුවේ නැහැ. නමුත් නෙළුම් යාය සහෘද සංසදය විසින් මේ වසරේ ඇසළ මස එළි දක්වන්නට නියමිතව තිබූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් ලියන ලදුව, මෙතෙක් පල නොවුණු  නිසඳැස් සහ කවි "නොසැලෙන් ඉන්ද්‍ර ඛීලය සේ සහ තවත් කවි" මැයින් උඳුවප් මස දහවැනි දින මහරගම යොවුන් රඟහලේදී සමාජගත කලා.  

නොවැළක්විය හේතුන් කිහිපයක් නිසා උඳුවප් මස දක්වා පමා වුනු නෙළුම් යාය සහ ශ්‍රී ලංකා බ්ලොග් සංසදය විසින් ඉදිරිපත් කරන ප්‍රථම ප්‍රකාශනය ද මෙයයි.

එදාම ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් ඔහුගේ "හද ගී පොතෙන්" නමැති ග්‍රන්ථයද එළි දැක්වුණා. එසේම ඔහු නමින් නව වෙබ් අඩවියක් ද ජනගත කෙරුණා.

ප.ලි:

 ප්‍රේමකීර්ති  ද අල්විස් 1947 ජුනි 3 වන දින  උපත ලද අතර මරදාන මහා විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනීම ලැබුවෙකි.

1967 වසරේ එවකට රේඩියෝ සිලෝන් හි නිදහස් නිවේදකයකු වශයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ලද ඔහුට එම ආයතනයේම ස්ථිර නිවේදකයකු වශයෙන් 1971 වසරේ ජුනි මස පත්වීම ලැබුණි. ඉන් පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත් රුපවාහිනී  සංස්ථාවේත් නිවේදකයෙකු මෙන්ම ජනප්‍රිය වැඩ සටහන් නිෂ්පාදකයෙකු  ලෙස කටයුතු කල ඔහු ඉතා ජනප්‍රිය වුයේ ගීත රචකයෙකු වශයෙනි.

1989 අවුරුද්දේ ජුලි 31ද හතලිස් දෙවැනි වියේ දී කිසියම් කණ්ඩායමක් අතින් ඔහු ඝාතනයට ලක් විය.

Wednesday, 9 December 2015

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (3 ) - ගැහෙන හදවත

පළමුවන කොටස 

දෙවන කොටස 

නේවාසිකාගාරයට එද්දී දන්නා කවුරුත් හමුවුනේ නැත්නම් හොඳයි සිතුනත් ඒ අදහස වැරදි විය. 'වැස්සි' යන ආදර නාමයෙන් හඳුන්වන වසන්ති මූණටම මුලිච්චි වුනි. කට ඇදකර "ප්‍රීවියත්" කියා "එයත් හරි වගේ" විශේෂනයකුත් ඈඳාගෙනම වසන්ති මාරු වුනාය. "ප්‍රීවියත්" යනු රුසියානු බසින් හෙලෝ යන්නට සමාන සුබ පතා ඇමතීමකි.

"ෂිහ්, හොඳ තේකක් බීලත් ඉවරයි" ගිහාන් කණගාටු වුනි. වසන්ති තමන්ට කිසියම් ඇඟලුම් කමක් පාන බව ගිහාන් දනී. නමුත් ඉගෙනීමේ පොත් හැර වෙන පොතක් පත්තරයක් ආත්මෙකට කියවන්නේ නැති දේශපාලනය හෝ එවැනි වෙනත් මාතෘකා ගැන මොනවත් කතා නොකරන අහිංසක සුන්දර යුවතියකි. ගිහාන්ට ඒ මදිය. නමුත් ගිහාන් ඇගේ කාමරයට යන සෑම වෙලාවකම රසට උයා තිබු දෙයක් කන්නට දී හොඳ තේකක් සාදා දීම ඇගේ සිරිතය. ඒ තේක අම්මා උදේට හදා දෙන තේ එක වාගේම රසය. ඒත් ඉතින් මේ අතේ එල්ලී සිටින වස්තුව අතහැර වසන්ති පස්සේ දුවන්න බැරිය. ඒ මදිවාට රුසියන් හා අනිකුත් කෙල්ලන් සමග යාලුවී සිටින කොල්ලන් කෙරෙහි වසන්ති එතරම් මනාප නැත. ඒ ඉරිසියාවටම නොවේ.
"උඹල මේ කෙල්ලෝ එක්ක අවුරුදු ගණන් ඉඳල උන්ව දාල යනවා. උන්ගේ හොඳ කාලේ උඹල වෙනුවෙන් ගත කරනවා. ඊට පස්සේ උන්ට වෙන්නේ හොඳ කොල්ලෙක් නෙමේ වොඩ්ක බොන බේබදු තඩි මහත රුස්සෙක්ව බඳින්න. උන්ට පව්."
මේ විවේචන නිසාම විදේශික තරුණියන් යාලුවී සිටින සිසුන් වසන්ති මග හරිති.

කාමරයට පැමිණි විට ඔහුගේ රූමා වූ සුහද සිටියේය. තාන්යා කොරිඩෝරයේ මදකට රඳවා කාමරයට ගිය ගිහාන් අවුරුදු දෙකකට පසු ආඩම්බරයෙන් තමන්ට අද කාමරය ඕනෑ බව සුහදට දැන්වීය. සාමාන්‍යයෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු කාමරයේ වාසය කරති නම් හා එක අයෙකු මිතුරියක ගෙන ආ විට අනිත් රූමා හෝ දෙදෙනා වලක් බැහීමට වෙන යහළුවෙකුගේ කාමරයට යති. පෙම්වතියක් හෝ පෙම්වතකු සිටී නම් ඒ කාමරයට යා හැකිය. ඒ යුවලට නිදහසේ පෙම්සුව විඳීමට ඉඩ දීමටය. කොල්ලන් තම රූමා ගෙන් කාමරය ඉල්ලීමට භාවිතා කළේ "වතුර මාරු කරන්න වෙලාව ඇවිල්ලා, හෝ තුවක්කු බටේ සුද්ද කරන්න ඕනේ" යනුවෙනි. කවුරු හිටියත් රූමා මෙහිදී අවශ්‍යතාවය වටහා ගනී.

සුහදයා "අම්මට හුඩු මොකෝ උඹට නිලක් වත් ලැබුනද" ඇසිය. ඔවුන්ට වීඩියෝවක් තිබුණු අතර සමහරවිට පිටරට වීඩියෝවක් ලැබුනොත් කට්ටියම නරඹති.
"නැහැ බන්. ගෑණු දරුවෙක් හම්බ වුණා. මුකුත් කරන්න නෙවෙයි. අද නයිට ගහල හෙට යන්න. ".
 "හා ඔව්, ඔව්, බොරු නැතුව ඉඳපන්. උඹත් ගේන බඩු. කීයක් කිව්වද? නැත්නම් වයසක ඇන්ටි කෙනෙක් උස්සන් එන්න ඇති ලැට්ටා වගේ." සුහද කීවේය.
ලැට්ටා යනු ලතින් ඇමෙරිකානු සිසුවෙකි. ඔහුගේ විශේෂත්වය ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවන් නිතර ඇසුරු කිරීමය. ඇසූ විට කියන්නේ ඔය බොළඳ කෙල්ලන්ට වඩා වැඩිමහලු කාන්තාවන් දෙන සැප වැඩි බවය. වරක් එකියක් ගිහාන්ගෙන් ඇගේ යෙහෙලියක් ගැන කියා හඳුනාගැනීමට කැමති දැයි විමසුවාය. ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම අනිත් සිසුන්ගේ උපහාසයට ලක්විණි. මේ අය දික්කසාද වුනු මැදිවියට එළඹෙන කාන්තාවන්ය. ළමයි බලා ගැනීම මෙන්ම රැකියාවට යාමද එක සේ කරන ඔවුන්ට ශිෂයෙකු සමග යහළු වීම වඩා පහසුය. වැඩි බලපෑමක් නැතිවම තමන්ගේ අවශ්‍යතාවය කරගෙන යා හැකිය. සමහර වැඩිමහලු කාන්තාවන් ලැට්ටා බලන්නට එනවිට හතර පස් දෙනෙකුට සෑහෙන්න සුප් හෝ වෙනත් කෑමද රැගෙන එති. එදාට හොඳ සුප් එකක් ලැට්ටා ගේ ගානේ බිව්ව හැකිය. නැතිනම් නිවසේ හදන ලද රස පිල්මේනි ටිකක රහ බැලිය හැකිය.

සෝවියට් දේශයේ තරුණියක් ගැබිණි වූ විට බොහෝ විට ළමයාගේ පියා කවුදැයි නම් කරයි. මාස තුනකට ප්‍රථම නම් ගබ්සා කිරීමට අවසර තිබේ. පියා නම් නොකර ළමයා තමන්ම බලා කියා ගන්නා තරුණියන් ද සිටිති. නමුත් බොහෝ අය කරන්නේ කසාද බැඳීමය. ඒ නිවසක් හෝ ඉවුම් පිහුම් කිරමට උදුනක්ද, වැසිකිලිය හා නාන කාමරයක් ද ඇති තනි කාමරයේ නිවසක් ලබා ගැනීමටය (මේවා ස්ටුඩියෝ ෆ්ලැට් වැනිය.) තවත් අය ජිවත් වන්නේ කොමියුනල් නිවාස වලය. කොමියුනල් නිවාස වල ලැබෙන්නේ කාමරයක් පමණි. දරුවන් දෙදෙනෙකු සිටිනම් කාමර දෙකක් ලැබේ. වැසිකිලි හා නාන කාමර සමහර හෝටල් වල මෙන් ඇත්තේ කොරිඩෝර වලය. අඩුම ගනනේ 10-15 ක් වත් ඒවා පාවිච්චි කරති. මේවා බොහෝ විට හවස් වන විට අපිරිසිදු වේ. පිරිසිදු කරන වයසක කාන්තාවන් එන්නේ උදයට පමණය. ඒ නිසා මේවා එතරම් හොඳ නිවාස සේ නොසැලකේ.  වර්ෂ 1917 විප්ලවය සිදුවූ මුල් කාලයේ මේවා සමාගම් සතු විශාල ගොඩ නැගිලි, පෞද්ගලික මාලිගා හා විශාල වෙළඳ සල් විය. විප්ලවයෙන් පසු නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා මේ සියල්ල රජයට පවරා ගෙන පොහොසත් පවුල් වලට සෑහෙන ලෙස කාමර ඉතිරි කර ගෙන දුප්පත් අයට ජිවත් වීමට ලබා දෙන ලදී. තමන්ගේම නිවසේ දුප්පතුන් ලෙස වෙනත් නිවෙස් අහිමි දුප්පතුන් සමග විසීමට නොරිසි අය බටහිර රටවලට සංක්‍රමණය විය. පසු කලෙක මොස්කව්, සාන්ත පිතර්බුර්ගය ආදී නගර වල කොමියුනල් නිවාස වූයේ මේවාය. ළමයෙක් ලැබෙන්නට සිටිනම් මේ කොමියුනල් නිවාස වලින් පැන ගැනීම පහසුය. නිවස ගත් පසු යුවල හීන් සීරුවේ දික්කසාද වෙති. ඉන්පසු ද සමහර විට ළමයාගේ පියා සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යති. ඔහු (පෙම්වතා, දික්කසාද වූ සැමියා) එවිට ජිවත් වන්නේ වෙනත් නිවසක හෝ තමන්ගේ මව හෝ පියා සමග විය හැක. නො එසේ නම් දික්කසාද වී නැවත එකට ජිවත් වෙති. ගිහාන්ට මේ අරුම පුදුම ක්‍රමයන් මුලදී වටහා ගන්නට අපහසු විය. ගැහැණු ළමයින් අඩු වයසේ නම් හෝ ලැබෙන ළමයා අබාධිත නම් බොහෝ විට රජයේ ළමා නිවාසයකට ළමයා භාරදිය හැකිය.

සුහද දොරින් හිස එලියට දමා බැලුවේය.
 "හම්මට හුඩූ ඌඋ..."
සද්දයක් දා ගෙන කාමරයට පැන්න සුහද ගිහාන් ගේ බඩට ඇන්නේය.
 "යකෝ ඉවසීමෙන් බලාගෙන ඉන්න එකාට දෙවියොත් සලකනවා කියන්නේ ඕක තමයි. මාර කෑල්ලක්නෙ බන්. බල්ශෝයි තියෙටර් එක පැත්තේ වත් ගියාද? මම යන්නම් මරියා ගේ කාමරේට. හැබයි අර ජර්මන් කෑල්ල හැනා හිටියොත් මම රෑට නිදා ගන්න එනවා. ඒකි අදිනවා වලිය. ඒකිට කොල්ලෝ පෙන්නන්න බැහැ. ඊට කලින් කරන දෙයක් කරගෙන හිටපිය."
සුහද යහළු වී සිටින්නේ පියකරු නූස් නොමිටි කියුබානු යුවතියක සමගය. බොහොමයක් සති අන්තයේ සුහදට ඉඩදී කාමරයෙන් ගොස් කොහේ හෝ රෑ ගත කිරීම ගිහාන් ගේ සිරිතයි. ඊයේ පළමු වෛද්‍ය විදුහලට ගොස් මිතුරකු හමුව අද පැමිණියේද ඒ නිසාය. සුහදගේ මරියා සිටින කාමරයේ ඉන්නා නැගෙනහිර ජර්මන් යුවතිය සුහද එහි රැය ගත කරනවාට කැමැති නැත. ඒ ඇයට වෙනත් මිතුරන් නැතිවා පමණක් නොව වෙනත් කෙනෙකුගේ කාමරයට ගොස් නිදා ගැනීම නොකරන තද නීති රීති තබාගෙන ජිවත් වන තරුණියක බැවිනි. එනිසා මේ සති අන්ත පරිප්පුව කන්නේ සුහද ය. මුල් වරට අද එළඹුණේ ගිහාන් ගේ දවසයි.
 "බල්ශෝයි තියෙටර් එකේ නටන කෙල්ලක් නෙමේ බන්. රොස්ටොව් වල. පාර්ක් කුල්තූරි වලදී හම්බ උනේ. පස්සේ විස්තර කියන්නම්"
 "තෝ ඕවල යන්නේ ඒක තමා"
 දඩ බඩ ගා පොත් කිහිපයක් පාඩම් කිරීමට රැගත් සුහද ගිහාන්ට ඇහැකුත් ගසා තාන්යා ට ප්‍රිවියත් කියා ගෙනම පිටව ගියේය. තාන්යා කාමරය තුලට ආවාය. නැත. ඇය පා වුනාය.

"මම හිතුවේ යකඩ ඇඳන් තමා තියෙන්නෙ කියල"
විමසුම් බැල්මකින් ඇය කීවාය. සාමාන්‍යයෙන් නේවාසිකාගාරවල ඇත්තේ යකඩ සැකිල්ල උඩ දමනලද විශාල මෙට්ටයක් සහිත ඇඳන්ය. විදේශික සිසුන් බොහෝවිට ඩිවාන් හෙවත් සෝෆා ඇඳවල් (sofa-bed) ගනිති. ඒවා නමා තබා සාමාන්‍ය වෙලාවට හිඳ ගැනීමටත් රැයට විවෘත කර නිදා ගැනීමටත් හැකි නිසා සැප පහසුය.
"ලස්සන කාමරේ"
කියමින් කාමරයේ ඇති ලංකාවෙන් ගෙන ආ ලීයෙන් නිමවූ පියකරු අලි ඇතුන්, සිගිරි ලලනාවියන් ගේ පින්තූර සහ පොත් රාක්ක දෙස බැලූ ඈ ඇඳේ කොනක ලැගුම් ගත්තාය.

ගිහාන් තේ දෙකක් සැදුවේය. රුසියාවේදී සීනි කියක් ඕනේ දැයි කියා ඇසීම පුරුද්දකි. තමන්ට අවශ්‍ය සුදු හෝ දුඹුරු සීනි කැට හෝ සිනි හැඳි ගණන කිව යුතුය. කිව්වේ නැත්නම් කවුරුත් සීනි දමන්නේ නැත. ලංකාවේ මෙන් තේ බලාපොරොත්තුවි නමුත් තේකක් නම් ඕනෙත් නැහැ කිවහොත් ලැබෙන තේකක් නැත. ගිහාන් මේ නිසා තේ අවශ්‍ය නම් ඔව් කියා සීනි කැට අවශ්‍ය ගනනද කලින්ම කියයි.
"ඔයාට සීනි කියද?"
"මට එපා. මම වරේන්‍යා එක්ක බොන්නේ".
වරේන්‍යා යනු බොහෝ විට කැලයෙන් කඩා ගෙන එන නොයෙකුත් රාස්ප්බෙරි, බ්ලැක්බෙරි වැනි දං වර්ග, චෙරි, ආදියෙන් සාදන ජෑම් වර්ගයකි. ජෑම් හා වරේනියා අතර වෙනස නම් වරේන්‍යා වල පලතුරු එලෙසම පෙනෙන්නට තිබීමයි. ශීත සෘතුවේ අසනීප නොසෑදී සිටීමට අවශ්‍ය විටමින් වර්ග බොහොමයක් මෙයින් ලැබේ.
"මං ළඟ එංගලන්තෙන් ගෙනාපු ස්ට්‍රොව්බෙරි ජෑම් තියනවා."
"එපා අපි මේක කමු. අම්මා ගෙදර හදපුවා. වඩා හොඳයි."
ගිහාන් ළඟ තිබූ චොකලට් එකක් කඩාගෙන කමින් දෙදෙනා නිහඬව තේ පානය කළහ. ගිහාන් කල්පනා කලේ ඊළඟට ගන්නා පියවර ගැනය.
චෙරි වරේන්‍යා

"අපි ගොඩක් ඇවිද්දනේ. මම නෑවනම් හොඳයි."
 මේ කාමරය සහ තවත් කාමරයක් එකට එක්ව එකට සැදි කාමර යුගලයේ නාන කාමරය පොදුවේ භාවිතා කළ යුතුය. ගිහාන් ඇයට නාන කාමරය පෙන්වූ පසු තම විශාල බෑගයෙන් තුවායක් හා ඇඳුම් කීපයක් ගෙන ගත් තාන්යා නෑමට ගියාය. ගිහාන් වහ වහා තම තුවාය ගෙන හැල්මේ අල්ලපු යුනිට් එකේ සිටි ලැට්ටා ගේ කාමරයට දිව ගියේය. අද හවස වෙනදාට වඩා වෙනස් එකක් වීමේ පෙරමග ලකුණු තිබේ.

නෑමෙන් පසු කාමරයට හනි හනික පැමිණ ගිහාන්ට දක්නට ලැබුනේ හැඳ සිටි පරණ ඩෙනිම හා බ්ලවුසය ඉවත් කර තරමක් කොට සැන්දෑ සාදයකට සුදුසු රතු ගවුමකින් සැරසී කකුලක් උඩ කකුලක් තබාගෙන සෝපාවේ කොනක වාඩි වී ඔහු දෙස නෙත් යොමු කරන තාන්යාය. ඇගේ පියකරු කලවා යුග්මය දෙසට නෙත් යොමු කල ගිහාන් ගේ හදවත එක වරම ගිඩි ගිඩි ගා ගැහුනි.
"අපි කොහේ හරි යනවද"
"මට නම් යන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ නම් යමු."
ඈ පිළිතුරු දුන්නාය. යුරෝපීය රුසියානුවන් තම නිවසේ රාත්‍රී භෝජනයට බොහෝ විට එළියට ඇවිදින්නට යන්නාක් මෙන් හැඳ පැළඳ සිටින බව ගිහාන් දැක තිබේ. සමහරු ටයි පටි පවා පළඳිති. ඇය සැන්දෑව තමා සමග ගත කිරීමට සෑදී පැහැදී සිටින බව ඔහුට හදිසියේම වැටහුණි.
 "අපි සින්දුවක් අහමු"
"හොඳයි, බීජීස් කැමතිද"
 "ඔව්"
එදා මේ  ට්‍රැජඩි (ඛේදාන්තය)  ගීතය පළමුවෙන්ම තෝරා ගත්තේ ඇයිදැයි ගිහාන්ට පසුව සිතුනු වාර අපමණය.

ගීතයට බදාගෙන නැටූමුත් මේ ඉංග්‍රීසි ගීත තාන්යා ට තේරෙන්නේ නැති බවට තමන් වරදවා සිතූ බව ගිහාන් දැනගත්තේ කලකට පසුය.

 "ඛේදාන්තය"

 මා  මෙතන වැතිරිලා
නගරයේ අඳුරු අනාථ තැනක
කාලය නැවතී ඇති
කඳුළැලි වල ගිලෙමින්
නිවසට යමි
මට තනිව මේ සියල්ල කල නොහැකිය
මා  ඔබ වැළඳ ගත යුතුය
වැළඳ ගත යුතුය
මා ඔබට ආදරය කළ යුතුය

ඛේදාන්තයකි
හැඟීම් වියැළී ගිය විට ඔබට තව දුරටත් යා නොහැක
එය ඛේදාන්තයකි
උදෑසනක් හඬන විට ඔබ ඇයිද නොදන්නා විට
දරා ගැනීමට අසීරුය
කිසිවෙකුගේ ආදරය නැති  විට
ඔබට යා හැකි තැනක් නැත

මම ඔබ වැළඳ ගත යුතුව තිබුණි ඔබ වැළඳ ගන්නට හැකිනම්
මම ඔබට ආදරය කළ යුතුව තිබුණි ඔබට ආදරය කරන්නට හැකිනම්

ඛේදාන්තයකි

පාලනය ඔබ'තින් ගිලිහිලා ආත්මයඔබේ නැති වෙලා
එය ඛේදාන්තයකි
උදෑසනක් හඬන විට ඔබ ඇයිද නොදන්නා විට
දරා ගැනීමට අසීරුය
ඔබ ළඟ කවුරුත්ම  නැති විට
ඔබට යා හැකි තැනක් නැත
හැඟීම් වියැළී ගිය විට ඔබට තව දුරටත් යා නොහැක

රැයේ හා දවාලේ
ඇතුලතින් ගිනිගෙන දැවෙයි මම
දැවෙන ආදරය
මේ ප්‍රාර්ථනය  මට ඉන්නට නොදෙන විට
මම පහළට  වැටෙමි
මට තනිව මෙය දරා ගැනීමට නොහැකිය
මම ඇත්තටම ඔබ වැළඳ ගත යුතුව තිබුණි වැළඳ ගත යුතුව තිබුණි
 ආදරය කළ යුතුව තිබුණි  ආදරය කළ යුතුව තිබුණි

 ඛේදාන්තයකි

~~~~~~~~~මතු සම්බන්ධයි~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. "Tragedy"
Here I lie
in a lost and lonely part of town
Held in time
In a world of tears
I slowly drown
Goin'home
I just can't make it all alone
I really should be holding you
Holding you
I really should be Loving you loving you

Tragedy
When the feeling's gone and you can't go on
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one to love you you're goin' nowhere
Tragedy
When you lose control and you got no soul
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one beside you you're goin' nowhere
When the feeling's gone and you can't go on

Night and day
there's a burning down inside of me
Burning love
With a yearning that won't let me be
Down I go and I just can't take it all alone
I really should be holding you Holding you
Loving you loving you

Tragedy
When the feeling's gone and you can't go on
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one to love you you're goin' nowhere
Tragedy
When you lose control and you got no soul
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one beside you you're goin' nowhere

Tragedy... උපුටා ගැනීම: http://www.azlyrics.com/lyrics/beegees/tragedy.html

Thursday, 3 December 2015

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (2 ) - පාක් කුල්තුරි උද්‍යානයේ සැන්දෑව


පළමුවන කොටස 

ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු හා උයන් වතු නිර්මාණයේ කෙළ පැමිණියෙකු වූ කොන්ස්ටන්ටින් මෙල්නිකොව් විසින් නිර්මාණය කරන ලද ගෝර්කි උද්‍යානය ගැන ගිහාන් පළමුවෙන් දැනගත්තේ එම නමින් ම ඇති ඇමෙරිකානු චිත්‍රපටියකිනි. ඉන්පසු පද් එක හෙවත් රුසියානු භාෂාව හා අධ්‍යයන පොදු සහතික පෙළ විභාගයේ විෂයන් නැවත පුනරීක්ෂණය කරන විශ්ව විද්‍යාලයේ පළමු භාෂා අවුරුද්දේ ඉගැන්වූ රුසියන් භාෂා ගුරුතුමිය ගෝර්කි උද්‍යානය ගැන කියා දුන්නාය. ඇය තම සිසුන් කීපදෙනාද සමග උද්‍යානයේ සංචාරයකද යෙදුනාය. ගිහාන් එම උද්‍යානයට බොහෝ සේ ඇළුම් කළේය.

ගුරුතුමිය කියා දුන් පරිදි ලෙනින් ට අවශ්‍ය වුයේ ලෝකයේ ප්‍රථම සමාජවාදී දේශය වන සෝවියට් දේශයෙහි ප්‍රධාන අග නගරය ලෝකයේ වඩාත්ම පරිසර හිතකාමී නගරය කරන්නටය. එය හරිත නගරයක් මෙන්ම ජනතාවගේ සංස්කෘතික දැක්ම පුළුල් කිරීමේ කේන්ද්‍රස්ථානයක් ද විය යුතුය. නාට්‍ය ශාලා සැම තැනම බිහි විනි. සිනමා ශාලා අලුතින් ගොඩ නැගුණි. මාර්ග වල දෙපස මෙන්ම පුළුල් මහා පාරවල් මැද ද ගස් සිටුවන ලදී. නිවාස සංකීර්ණ අතර උද්‍යාන පිහිටුවන ලදී. ගෝර්කි උද්‍යානය අක්කර තුන්සියකි. එය කොමියුනිස්ට් ශ්‍රමදාන ව්‍යාපෘතිය යටතේ මොස්කව් වාසීන් විසින් මුලින්ම ගොඩනැගිලි අපද්‍රව්‍ය ඉවත් කර, පරණ පොකුණු පිරිසිදු කර ගෘහ නිර්මාණ ශිල්පියාට භාර දී තිබේ. ඔහු රටට දායාද කලේ ඉස්තරම්ම උද්‍යානයකි. එහි සාමාන්‍ය විනෝද මේලා වල ඇති නොයෙකුත් කතුරු ඔන්චිල්ලා ආදිය මෙන්ම වර්ග අඩි 1500 ක විශාල අයිස් රින්ක් එකක්ද, ඇවිදීමට තුරු වදුලු මැදින් පටු මං ද තනා ඇත. ශීත කාලයේ අයිස් රින්ක් එකේ රුසියානුන් ස්කේටින් කරනු නැරඹීමටද ගිහාන් ප්‍රිය කළේය.

මේ දෛවෝපගත දිනයේද උමන් දුම්රියෙන් එලිය පැමිණි ගිහාන් විශාල දොරටුවෙන් උද්‍යානය ඇතුලට පිය මැන්නේය. තවමත් එතරම් සීතලක් නොදැනෙන සරත් සමයේ ගස් වල කොළ අමුතු පාටක් ගනී. කහ පැහැයට මෙන්ම ලා රත් පැහැයට ද ඇති කොළ වලින් පිරි ගස් අතරින් වැටෙන සැන්දෑ හිරු රැස් වලින් අමුතුම චමත්කාරයක් ජනිත කරයි. ඒ චමත්කාරය තුල ගිලෙන ඔහුට හිමකිරම විකුනන්නියක නෙත ගැටිණි. සෝවියට් (හෝ රුසියානු) හිමකිරම ඉතා රසවත්ය. එස්කිමෝ, ලකොම්කා වැනි වර්ග මෙන්ම අති විශාල රාජ්‍ය මධ්‍යම වෙළඳ හලේ (ගුම් නමින් හැඳින්වෙයි) හිම කිරිමද ඉතා තද ප්‍රමිතියකට සාදන ලද ඒවාය. සමහර විට ඒවා මේ උද්‍යානයේ ද විකුණති. ගිහාන් හාගෙන්-ඩස් වැනි බටහිර ප්‍රසිද්ධ හිමකිරම රස විඳ තිබුනද ඔහුට සෝවියට් හිමකිරම තරම් ඒවා සිත් ගත්තේ නැත. හිමකිරමය මිලට ගත් ගිහාන් පොකුණ අසලින් හෙමින් ඇවිද ගෙන ගියේය. එක පසෙක මල් වවා තිබුණි.

පොකුණේ පැත්තක සිට ගෙන අනිත් පස ඇති මල් පාත්ති නරඹන සුන්දර යුවතිය ගිහාන්ගේ ඇස ගැටුනේ එවිටය. ඇය සිටියේ තනියම බව ඔහු නිරීක්ෂණය කළේය. ඇය අද දවසට නොගැලපෙන ශීත කාලයට සුදුසු රවුම් හිස් වැස්මක් පැළඳ සිටියාය. දිග කබායක් පැළඳ සිටියද ඇත් දළ පැහැ දෙපා යුගල ඉදිරියට එන සේ අමුතු ආකාරයට නැවී මල් නිරීක්ෂණය කල ඇය එකවරම ගිහාන් සිටි දෙසට හැරුණාය. අතිශය සුරූපී නිල්වන් නෙත් සඟල හා ගැටුණු ගිහාන් ලජ්ජාවෙන් බර විය. වරදක් කළ අයෙකු මෙන් එක වරම වෙනතක් බලා ඔහු නැවත ඈ දෙස බැලුවේය. ඇය මද සිනාවකින් ඔහු දෙස බලා සිටියාය.

"අයිස් ක්‍රීම් කොහෙන්ද ගත්තේ, ඔය ගුම් එකේ ඒවා නේද රහ ඇති" කිවූ ඇය මුදල් ගැනීමට මෙන් තම අත්බෑගය තුලට අත දැම්මාය. සාමාන්‍යයෙන් ලජ්ජා ශීලී ගිහාන්ට මේ දහිරිය ආවේ කොහෙන්ද යයි මතකයක් නැත.
"එන්න මම පෙන්වන්න, අර පැත්තේ, මා ළඟ මාරු කාසි තියෙනවා."
හිමකිරම විකුනන්නිය වෙතට ඔවුහු නිහඬව පා නැගුහ. ඈ මිලදී ගත් හිම කිරමයට ගිහාන් මුදල් ගෙවීමට තැත් කලද ඇය අතේ ගුලි කරගෙන සිටි කොපෙක් පනහකින් එය ගෙව්වාය. ඉතිරි මුදල් ගත් ඇය හිම කිරමය සීරුවෙන් දෙතොලට තබා ගත්තාය. රත් පැහැ ගත් ඒ දෙතොලත් යාන්තමට රෝස පැහැ ගත් කම්මුල් දෙසත් කෙලින් බැලිය නොහැකිව ලජ්ජාවෙන් සිටි ගිහාන් ඉවතට යාමට සිතා ගත්තේය.
 "ඔයා විදේශ ශිෂ්‍යයෙක්ද "
 "ඔව්"
 "ඉන්දියාවේ"
"නැහැ මම ශ්‍රී ලංකාවේ"
"අහා පුංචි සුන්දර දූපතේ තැප්‍රෝබේන් " ඇය ලතාවකට කිව්වාය.
"ඔය ඒ නම දන්නා එක මට පුදුමයි." ගිහාන් සිනාසෙමින් කිවේය.
"අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. මාර්කෝ පෝලෝ කිව්වේ මිහිබට සුරපුර කියල."
"ඇත්ත තමා. ඔයා මේ හරියේද ජීවත් වෙන්නේ"
"නැහැ මම රොස්ටොව් නා දොන් වල. (දොන් නදිය අසබඩ රොස්ටොව් නගරය).
"මෙහෙ මොකද කරන්නේ."
"මම එක්කෙනෙක් එනකන් හිටියේ දැන් පැයකුත් වුණා ආවේ නැහැනේ".
ඇය කණගාටුවෙන් පැවසුවාය. ඇගේ පෙම්වතා විය හැකි යයි ගිහාන් සිතුවේය. ඒ ගැන තව දුරටත් නොඅසමි යයි සිතු ඔහු අපි ඇවිදිමුදැයි යෝජනා කළේය. ගිහාන් සහ යුවතිය පැය භාගයක් පමණ ඇවිද්දෝය. ඇගේ නම තාන්යා බවද දන්ත වෛද්‍යවරියක වීමට විශ්ව විද්‍යාලයට යාමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු දැනගත්තේය. ඇය පොත් කියවීමට ආශා කරන බවටත්, සොයුරියක සිටින බවත් ඉන්දීය හා බටහිර චිත්‍රපට නරඹන බවටත් ඔහු පවුලේ වැඩිමලා බව හා ඔහුට නැගණියක් සිටින බවටත් දෙදෙනා තොරතුරු හුවමාරු කරගත්හ.

 "මට බඩගිනි" ඇය හදිසියේම පැවසුවාය.

 රුසියානුවන් තමන්ට ඇවැසි දේ කෙලින්ම කියන බව තම කාමරයේ විටින් විට සිටි රුසියානුවන් ගෙන් ගිහාන් දැන සිටියේය.
"මට චු කරන්න යන්න ඕනේ, මට දැන් බඩ ගිනි, මම දැන් කනවා, උඹ පිස්සා" වැනි දේ දෙවරක් නොසිතාම ඔවුන් පවසති. ඒ අතරට බ්ලායත් යන වචනය බොහෝ සේ භාවිතා කළහ. එහි තේරුම බිච් (bitch) යන්න වුවද රුසියානු තරුණයන් එය එතරම් නොතැකුහ. (රුසියානු නේවාසිකාගාර වල මුල් අවුරුදු වල රුසියානු සිසුන් විදේශික ශිෂ්‍යයන් සමග කාමර වලට දැමීම සිරිතකි. බොහෝ අය ඔවුන් කේජිබි ඔත්තු කරුවන් යැයි සැක කලත් සැබවින්ම ඔවුනට අවශ්‍ය වූයේ සිසුන් ට හොඳින් භාෂාව පුරුදු කිරීමට හා රුසියානුවන්ට විදෙස් සිසුන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට පුරුදු කිරීමයි. මෙය ලෝකයේ කොමියුනිස්ට් සහයෝගිත්වය ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක කෙරුවත් බොහෝ විදේශික සිසුන් නේවාසිකාගාර පාලකවරියට අල්ලස් දී තම තමන්ගේ රටවල සිසුන් සමග කාමර බෙදා ගත්හ.)

"මම දැක්කා පිරාෂ්කි විකුණන තැනක්."
ඈ පැවසුවාය. පිරශ්කි යනු බත් සමග කුඩාවට කැබලි කල මස් (mince meat) දමා
සෑදූ රෝල්ස් වැනි කෑමකි. සමහර විට මස්, ළුණු සහ හතු දමා තිබේ.
දහවල් කෑමද නොකා සිටි ගිහාන්ට හොඳටම බඩගිනිය. පිරාෂ්කි දෙක තුනකින් බඩ පිරෙන්නේ නැත.

 "අපි චෙබුරිකි කන්න යමු. මම දන්නා තැනක් තියෙනවා. "
චෙබුරිකි යනු රුසියානු කෑමකි. මැදට මස් දමා සාදන විශාල පැටිස් වර්ගයකි. එකකින් බඩ පිරේ. තාන්යා මදක් පැකිලුනාය.

"එතන ඛචිපුරිත් තියෙනවා."
ඇය සමහරවිට චෙබුරිකි කන්න අකමැති ඇති යැයි සිතු ගිහාන් තෙපලීය. ඛචිපුරි යනු ජෝර්ජියානු කෑම විශේෂයකි. මැදට බිත්තර දමා හෝ සමහර විට නිවිති සමග බිත්තර දමා සාදන චීස් පාන් වර්ගයකි. එහි ඇති ඇඹුල් මිශ්‍ර රසයට ගිහාන් කැමතිය. ප්‍රශ්නය චෙබුරිකි හෝ ඛචිපුරි නොවන බව ඇගේ මුහුණත් අත් බෑගය තුලට අත රුවාගෙන කරන විගඩමත් දුටු ගිහාන්ට වැටහුනි. තවමත් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට බලා සිටින උසස් පාසැල අවසන් කල ඇයට ලොකු මුදලක් අත තිබෙන්නට හැකියාවක් නැත. විශ්ව විද්‍යාලයේ ගිම්හාන නිවාඩුවට එංගලන්තයට ගොස් මාස දෙකක් පමණ වැඩ කර මුදලක් සොයාගෙන එන විදේශික විශේෂයෙන්ම ශ්‍රී ලංකික, ඉන්දීය, අප්‍රිකානු සිසුන්ට එතරම් මුදල් අහේනියක් නැත. ඒ මදිවාට සෝවියට් රජයෙන් රූබල් 90ක් පමණ වන ශිෂ්‍යත්ව මුදලක් ද දෙයි.
"මම ඔයාටත් එක්ක ගෙවන්නම් ඔයා කැමති නම්." මදක් පැකිලීමෙන් මෙන් ඇය කැමැත්ත පළ කලාය. චෙබුරිකි මෙන්ම ඛචිපුරි ද කන ගමන් කල කතාබහේදී ඇයට එදින කසාන්ස්කි දුම්රිය පලින් රොස්තොව් යා හැකි බවත් නමුත් ඇය එදින නැවතීමට සිතා ගෙන පැමිණි බවත් කීවාය. ඇයට පෙම්වතකු සිටිනවා දැයි ඇසීමට ගිහාන් පැකිලුනි. ඔව් කිව්වොත් මොකද කරන්නේ. අද හවස මා සමග කතා කලාට ස්තුතියි කියා සමු දෙන්නද? මේ සුන්දර තරුණිය තමන්ගේ මුහුණ දෙස බලා කතා කරන වාරයක් පාසා ඔහු ගේ සිත අමුතු ආහ්ලාදයකින් පිනා යයි.

"ඔයාට අද යන්න අවශ්‍ය නැහැ. මම ඉන්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ. එහේ ඉන්නත් පුළුවන්. වෙලා තිබෙන නිසා ඔයා කැමති නම් අපි චිත්‍රපටියක් බලමු."
ගිහාන් වචන ඇද බර කරමින් කීවේය.
"මම කවදාවත් නේවාසිකාගාරයක ඉඳල නැහැ. ඒත් ඉස්සරහට ඉන්න වෙනවා මොස්කව් ආවොත්. අලුත් චිත්‍රපටි තියෙනවද?"
"ඔව්, අර ජෙරාර්ඩ් දෙපාර්දියු ඉන්න "න්යේ වීසුචි" (කිසි දෙයක් හරියන්නේ නැති - හෝ හැම දේම වරදින unlucky යන තේරුම දෙන වදනකි) චිත්‍රපටිය."
රුසියානුවන් මෙම ප්‍රංශ නළුවා ට කැමැති බවත් ඔහුගේ චිත්‍රපට සෝවියට් දේශයේ ඉතා ජනප්‍රිය බවත් ගිහාන් දනී. "ලා ෂෙව" (La Chèvre - knock on wood) යනු ඔහුගේ හොඳම හාස්‍යෝත්පාදක චිත්‍රපටියකි. තමන් කරන සැම දෙයක්ම කෙසේ හෝ වරද්ද ගන්නා තරුණියක් බ්‍රසීලයේ දී අතුරුදහන් වෙයි. ඇගේ ධනවත් පියා ඇය සොයා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී හොඳම රහස් පරීක්ෂකයන් යොදවයි. ඒ සියල්ල ඵල රහිත වන්නේ අන්තිම මොහොතේ ඇය කවුරුත් නොහිතන දෙයක් කරන නිසාය. අන්තිමේදී මනෝ විද්‍යාඥයෙකු නිර්දේශ කරන්නේ තවත් එවැනිම අවාසනාවන්තයෙකු ඇය සෙවීමට යවන ලෙසයි. තාන්යා ද එක පයින් එය බැලීමට කැමති වුනේ කොක් හඬලා සිනා සෙමිනි.

සිනමා හල අසලම ඇති මල් විකුනන්නියගෙන් මල් කළඹක් ගෙන තාන්යා ට පිලි ගැන්වීමට ගිහාන් අමතක කලේ නැත. රුසියානු තරුණියන් මල් කළඹවල් පිලි ගැනීමට කැමති බව ජ්‍යෙෂ්ඨ සිසුන් කියා තිබේ. ඇය මහත් කැමැත්තෙන් මල් කලඹ ගෙන සිම්බාය. ඇත් දල පැහැයෙන් දිලිසුණු ඇගේ මුහුණේ දෙකොපොල රතුවී තිබෙනු සැන්දෑ එළියෙන් ගිහාන් ගේ නෙතට හසු වුනි. එතනම ඇති කියෝස්ක් නමැති කුඩා කඩයකට ගිය ඇය ඉටිපන්දම් තුනක් මිලට ගත්තාය. ඇය රුසියානු ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි නිකායට අයත් ආගමික තැනැත්තියක් යැයි ගිහාන්ට සිතුනත් ඔහු එය ඇසුවේ නැත. විදේශිකයන් ඉදිරියේ ආගමික භාවය පෙන්වුවත් අදේවවාදී රුසියාවේ එසේ එළිපිට කරන තරුණ තරුණියන් හිඟය.

චිත්‍රපටිය පුරාවට හැමෝම හඬ නගමින් සිනා සුනහ. තාන්යා සිනාසුන වාරයක් පාසා ගිහාන්ගේ උරහිසට හේත්තු වූවාය. සිනාවක් නොමැති අවස්ථාවක හොඳට හරි බරි ගැසී ගිහාන් ගේ උරහිසට හිස තබා ගත්තාය. කල් යල් බලා ගිහාන් ඇගේ වමත තමන්ගේ සුරතට ගත්තේය. ඇය අත නැවත ගත්තේ නැත.

චිත්‍රපටිය අවසානයේ දෙදෙනාම උමන් දුම්රියට නැගුනේ ගිහාන්ගේ ශිෂ්‍ය නේවාසිකාගාරයට යාමටය. උමන් දුම්රිය පලවල විනාඩි දෙක තුනකින් දුම්රියක් පැමිණේ. ඕනෑම දුරකට යන්නේ කොපෙක් පහක් පමණි. මේ දුම්රිය පළවල් ඉතා අලංකාරව නිමවා තිබේ. අසුනක හිඳ ගන්නේ නැතුව දෙදෙනාම දොර ඇරෙන තැන මුල්ලට ගියහ. ගිහාන් අසලම තුරුළු වී මෙන් සිට ගත් තාන්යා ගේ බඳ වටා අතක් යැවු ගිහාන් ඇය වේගයෙන් යන උමන් දුම්රියේ නොවැටෙන්නට තමන්ට ලං කර ගත්තේය.
 

මොස්කව් උමන් දුම්රියේ මගීහු බොහෝ විට පොත් කියවමින් හෝ පුවත් පතක් බලමින් යති. දෙතුන් දෙනෙකු ඔවුන් දෙස නෙත් යොමනු ගිහාන්ට පෙනුනි. දුම්රිය ටිකක් වැඩි වේගයකින් හැරවුණු තැනක ඇය ඔහු කරා පැමිණ තදින් හිරවුනාය. දෙදෙනා එකිනෙකා දෙස බැලූ ඒ මොහොතේ තාන්යා ගිහාන් ගේ කම්මුලට දෙතොල තද කර චුම්බනයකින් සංග්‍රහ කළාය. ඒ චුම්බනයෙන් ගිහාන්ගේ ගතම හිරි වැටී ගිය බවක් දැනුනි. ඔහු ගේ සිත ප්‍රීතියෙන් ඉපිල ගියේය. මොස්කව් වල අවුරුදු දෙකක් පමණ පෙම්වතියක් නැතිව වේලි වේලි හිඳ පියකරු රුසියානු යුවතියක් අතේ දවටා ගෙන නේවාසිකාගාරයට එන විට යහළුවන් කෙසේ ප්‍රතිචාර දක්වාවීදැයි ඔහුට සිතුනි.

~~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~~

Monday, 30 November 2015

එර්ඩොගන් රාජපක්ෂ හා මහින්දමීර් පුටින්

මුස්තාෆා කෙමල් අටටුර්ක් (අතතුර්ක්) යනු නුතන ලෞකික (secular) තුර්කියේ නිර්මාතෘවරයාය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යවාදයට හා තුර්කි අධිරාජයාට විරුද්ධව දේශපාලනය කල කෙමල් අතතුර්ක් විප්ලවවාදියෙකි. තම මව විසින් ආගමික අධ්‍යාපනය සඳහා යැව්වද එය ප්‍රතික්ෂේප කල ඔහු ආගමික නොවන පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබා තුර්කි ඔටෝමන් ආරක්ෂක ඇකඩමියට ඇතුළු විය. රජුට විරුද්ධව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සිරභාරයට පත් වුවද පසුව නිදහස් වී ඔටෝමන් අධිරාජ්‍යය යටතේ වූ සිරියාවේ දමස්කස් නගරයේ කපිතාන් ධුරයට හා පසුව ජ්‍යෙෂ්ඨ කපිතාන් ධුරයටත් පත්විය. 1908 ජුලි මස තරුණ තුර්කින්ගේ විප්ලවය දෙවන සුල්තාන් අබ්දුල් හමීඩ් ගෙන් බලය ගෙන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පිහිටුවන ලද අතර එහි සෑහෙන වැදගත් කාර්යභාරයක් කෙමාල් විසින් ඉටු කරන ලදී.

ඉතාලි තුර්කි යුද්ධය (1911-1912), බෝල්කන් යුද්ධය (1912-1913) හා පළමුවැන් ලෝක යුද්ධය යන යුද වල සටන් කල ඔහු ඉන් පසු ලෙෆ්ටිනන්ට් කල්නල් වරයෙකු විය. මෙහිදී මතක තබා ගත යුත්තේ ඔහු ලිබියාවේ කැරැල්ලක් ද මැඩ පැවැත්වූ බවයි. ලිබියාව අයත් වුනේද තුර්කි අධිරාජ්‍යයටය. තුර්කි 7 වන හමුදාවේ අණදෙන නිලධාරී ධුරයට පත් වූ ඔහු පළමු ලෝක යුද්ධයේදී තම හමුදා පරාජයට පත් කර නොගත් එකම තුර්කි ජෙනරාල් වරයා විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් ගේ පැත්තේ සිටි තුර්කිය පරාජයට පත් වූ අතර අධිරාජ්‍යය බිඳ වැටී සිරියාව, ලිබියාව වැනි රටවල් නිදහස ලැබිය.
ජයගත් බ්‍රිතාන්‍ය, ප්‍රංශ ඇමෙරිකානු හමුදාවන්ට තුර්කිය යටත් වූ අතර කේමල් තුර්කි රජුට විරුද්ධව කටයුතු කර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන කතානායක විය. මෙහිදී මිත්‍ර පක්ෂය විසින් කැලිපෙට් නමින් හමුදාවක් සාදන ලදී. (දැනට අයිඑස්අයිඑස් ද ඉස්ලාමික කලිපෙට් රටක් බිහි කර ඇත.) විකිපෙඩියාවේ මේ විස්තර ලබා ගත හැක. වැඩි දුර නොගොස් මා කියන්නට තැත් කරන්නේ අටටුර්ක් (අතතුර්ක්) විසින් 1922 දී තුර්කි සමුහාණ්ඩුව පිහිටුවන ලද බවත් මුලදීම රජය ඉස්ලාම් ආගමින් වෙන් කල ඔහු තුර්කිය ආගමික නොවන නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බවත්ය. ඔහු විසින් තුර්කියේ සංස්කෘතික, සමාජීය විප්ලවයක් ඇති කල අතර පාසල් ගොඩ නැගීම, ප්‍රථමික අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙන්ම නිදහස් කිරීම, ගොවීන්ගේ බදු ලිහිල් කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් වත්මන් තුර්කි රාජ්‍යයේ අඩිතාලම දැමිය. තුර්කි කාන්තාවට සම අයිතිය ලබා දීම (රැකියා කිරීම ආදී), නිකාබය (මුහුණ වැසීම) තහනම් කිරීම ද නීතිගත කරන ලදී. අදද තුර්කි ජාතියේ පියා හැටියට ඔහු තුර්කි වරුන් විසින් ගෞරව කරති.

එර්ඩොගන් 2002 දී බලයට පත් වන තුරුම තුර්කිය පාලනය කලේ හමුදාවට හිතැති ආණ්ඩු මගිනි. ඔවුන් මුස්ලිම් අන්තවාදීන්ට ඉඩක් නොදුන්හ. නමුත් ඔවුන් විසින් කුර්දි වරුන්ට එරෙහිව ගෙන ගිය මර්දනයන් එතරම් ජනප්‍රිය වුයේ නැත. දුෂිත යයි කිවූ හමුදා නිලධාරීන් අයින් කරමින්, සමහරුන් හිරේ දමමින්, සමහර විට අසත්‍ය තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් තුර්කි හමුදාවෙන් ආණ්ඩුවට තිබු බලපෑම අයින් කල එර්ඩොගන් තමන්ගේ ඉස්ලාමිකකරණය පටන් ගත්තේය. එර්ඩොගන්ට වඩාතම උදව් කලේද චන්දය දුන්නේද ග්‍රාමීය තුර්කි ජනතාවයි. ඔවුන්, මුළු ලෝකයම මුස්ලිමුන්ට එරෙහි යයි පවසන එර්ඩොගන් ට මුලාව ඔහුව චන්දය දුන් අතර කාන්තාවන්ට නැවත හිස රෙද්දකින් වැසීමට අණ කරන නීති මෙන්ම අනිකුත් ඉස්ලාම්ක නීතිද පැනවීමට පටන් ගත්තේය. මෙයට විරුද්ධව නොයෙකුත් අරගල ඇති වුවද පසුගිය මැතිවරණ සියල්ලම ජය ගැනීමට ඔහු සමත් වුයේ ග්‍රාමීය ජනතාවගේ හා ඉස්ලාමික වාදීන්ගේ චන්දයෙනි. ඔහු රට ගොඩ නැගීමට තැත් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයෙන් ණය 19ක් පමණ ලබා ගනිමිනි. ඔහු විසින් නව මහාමාර්ග (motor way - high-way) බොහොමයක් සෑදු අතර ගුවන් තොටුපළවල් ද සැදිය. මේවා ගැන නොයෙකුත් දුෂණ චෝදනාද ඔහුට ඔහු ගේ පුතාට හා නෑදෑයන්ට එල්ලවී ඇත.

එර්ඩොගන්ගේ ලොකුම හීනය ලෙස ඔහු පවසන්නේ නැති වී ගිය ඔටෝමන් රාජාණ්ඩුව නැවත බිහි කිරීමයි. සිරියාව ගැන බොහෝ අය නොපවසන දෙයක් තිබේ. එනම කටාර් - තුර්කි ගෑස් නළ මාර්ගය ගැනයි. ස්වභාවික වායු එවීමට සවුදි අරාබිය, ජෝර්දානය, සිරියාව හරහා නල මාර්ගයක් යෝජනා කල අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර මෙයට කැමැත්ත පල කළහ. දෙවන නල මාර්ගය වුයේ සවුදිය මග හැර සිරියාව, ඉරානය හරහාය. එය තුර්කියට වාසිදායක නමුත් එර්ඩොගන්ගේ රජවීමේ සිහිනයට එය වැදගත් වුයේ නැත. සවුදිය සිරියාවට එරෙහිව ඇමෙරිකාවට කල චෝදනාවේ ප්‍රතිපලය වුයේ හදිසියේම සිරියානු ජනාධිපති අසාඩ් මිනිසුන් මරණ, බෝම්බ දමන ඒකාධිපතියෙකු බවට එක රැයින්ම පත්වීමයි. සවුදිය හා තුර්කිය එක්ව සිරියානු කැරලිකරුවන් පුහුණු කල අතර තමන් ගේ මිතුරන් නිසා ඇමෙරිකාව ඔවුන්ට උදව් කළේය. තම රජය බේරාගැනීමට කැරලි කරුවනට කරන ප්‍රහාර වලින් අසාද් අතින් සාමාන්‍ය මිනිසුන්ද මියගිය අතර එයට එරෙහිව ලෝක ජන මතය ගොඩ නැගිණි.

මේ අතර ඉරාකයේ ඇමෙරිකානු හමුදා ඉවත දමාගිය ආයුධ රැගෙන සිරියාවට හා ලිබියාවට එරෙහිව සටන් කිරීමට සවුදු අරාබිය පුහුණු කරන ලද කැරලි ජරුවන්, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ඉස්ලාමික අන්තවාදීන්, පුටින් අතින් පරාජයට පත්වූ චෙචේනියානුවන් දහස් ගණනින් පැමිණියහ. ඉන් පසු සිදුවූ සියල්ල දැන් හැමෝම දන්නා දෙයයි. අවසානයේ පුටින්ට සිරියාවට බෝම්බ දැමීමට සිදු වන්නේ රුසියාවේ චෙචේනියානු යුද්ධයෙන් හා අනිකුත් පැරණ සෝවියට් දේශයට අයත්ව තිබු මුස්ලිම් රටවලින් පැමිණි සිටින ඉස්ලාමික අන්තවාදීන් පසුව රුසියාවට තර්ජනයක් විය හැකි නිසා වන අතරම, තමන්ගේ මිතුරු අසාද් ව බේරා ගැනීමටත්ය. සිරියාවේ වරායවල් ද පුටින් ට උපක්‍රමශීලිව වැදගත් ඒවා වේ. ඉහත සිරියාව හරහා ගෑස් නල මාර්ගය දැමුවොත් එයත් රුසියාවට ආර්ථික වශයෙන් වාසි දායකය.

එර්ඩොගන් ට අවශ්‍ය සිරියාව හා ලිබියාව තමන්ගේ යටතට ගෙන තුර්කි අධිරාජ්‍යයක් නැවත ගොඩ නැගීමටය. පුටින් ක්‍රිමියාව තමා යටතට ගත් අතර ක්‍රිමියාව සුළු කාලයක් තුර්කි අධිරාජ්‍ය යටතේ තිබුණි. ඔවුන් රුසියන් අධිරාජ්‍යයට පරාජය වීමෙන් ක්‍රිමියාව අහිමි විනි. (බොහෝ කලකට පෙර) පුටින් තමන් ගේ විදේශ ප්‍රතිපත්තියේදී දැන් තරමක් දුරට හැසිරෙන්නේ සාර් රජු ක්‍රියා කල ආකාරයටමය. පරණ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු භූමි වල පාලනය තමන් අතට නැත්නම් අවම අශයෙන් ඒවාට බල පෑම් කිරීම ඔහුගේ පිළිවෙත වී ඇත.


පුටින් චෙචේනියානු අන්තවාදීන් පරාජය කලේ දැඩි ලෙස මර්දනය කරමිනි. ඔහු චෙචේනියාවට රුසියානු සමුහාණ්ඩුව යටතේ ස්වතන්ත්‍ර පාලන ක්‍රමයක් ලබා දුන්නද ඔහුගේ මර්දනකාරී ක්‍රියා විවේචනයට ලක්විණි. නමුත් පුටින් යෙල්ට්සින් ගේ අසමත් පාලනයෙන් රුසියාව බේරාගෙන ධනවත් රුසියාවක් නිර්මාණය කළේය. ඔහු තම දියණියන් හෝ නෑදෑයන් රාජ්‍ය පරිපාලනයට කෙලින්ම සම්බන්ධ කර ගත්තේ නැත. ඔහු විසින් අනුමත කරන අයට මිස තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ට එතරම් වෙළඳ කටයුතු වලදී අනුබල දුන්නේද නැත. එහෙත් ඔහු නව රුසියානු හමුදාව නවීකරණය කිරීම, අධ්‍යාපනයට, වැඩිහිටියන්ට මුදල් වෙන් කිරීම, ආදී ජනප්‍රිය ක්‍රියාමාර්ග බොහොමයක් ගත්තේය. ඔහු තවමත් ඉතා ජනප්‍රියය.

යුද්ධය දිනුවද යුද්ධයේ අවසන් අදියරේ සිටම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුටින් මෙන් මහත්මා ලෙස සතුරාට සැලකුවේ නැත. (පුටින් තමන්ට හිතවත් අයෙකු වන රම්සන් කදිරෝව් චෙචේනියාවේ පත් කලද ඔහුගේ පාලනයට ඇඟිලි ගසන්නට ගියේ නැත. ඒ වෙනුවට ඇති තරම් මුල්‍ය ආධාර දුන්නේය.) දෙදෙනාම යුද්ධය දිනීම නිසා ජනප්‍රිය වුවද පුටින් තමන්ගේ ජනප්‍රිය භාවය රට කරවීම පිණිස මැනවින් යොදා ගත්තේය. මට පෙනෙන්නේ මහින්ද මහතා අනුගමනය කලේ එර්ඩොගන් බවය.

දැන් එර්ඩොගන් ට සිදුවී ඇත්තේ වහ කන්නටය. මගේ තුර්කි මිතුරෙකු මට ලියා එව්වේ එර්ඩොගන් තවතවත් ජනප්‍රිය භාවයෙන් පහලට වැටෙන නිසා ඔහු ලාභ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමට රුසියානු යානයට පහර දුන් බවයි. එයට තුර්කියේ ග්‍රාමීය ජනතාව ප්‍රීතිඝෝශා කරති. නමුත් තුර්කියට වැඩියෙන්ම එන රුසියන් සංචාරකයන් ඒම මින් නවතිනු ඇත. රුසියාවේ ගොඩනැගිලි වැඩියෙන්ම සාදන්නේ තුර්කි ව්‍යාපාරයන් මගිනි. ඒවාටද දැන් රුසියාව තුල වසා දැමීමට බල කෙරී ඇත. දැන් තුර්කින්ට රුසියාව රැකියා කිරීම තහනම් කර ඇත.ජර්මනියට පසු රුසියාව වැඩියෙන්ම ආහාර හා අනිකුත් දේ ආනයනය කරන්නේ ද තුර්කියෙනි. ඒ ඩොලර් බිලියන වලිනි. දැන් එය ද නැවතී ඇත.

එර්ඩොගන් කර ඇත්තේ තමන් ගේ කකුලට තමන්ම වෙඩි තබා ගැනීමයි. මෙය හරියටම රාජපක්ෂ මහතා අවුරුදු දෙකකට කලින් මැතිවරණයක් කැඳවා ඉල්ලන් කෑවාක් මෙනි.