Wednesday, 13 November 2019

ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය"

මේ  ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" ලිපිය ලියන ලද්දේ 2014 වසරේදී පමණය. ඒ ත්‍රිමාණ සඟරාවේ පලවූ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙනි. වැදගත් නිසා පල කරමි. පහත කී චර්යාවන් තිබුණ ප්‍රධාන නගරවල විසු තරුණියන්ට මිස ගම්බද තරුණියනට නොවේ. ප්‍රධාන නගරවලද කොටසකට පමණි. නමුත් ඔවුන් ඇතිකළ බලපෑම විශාල විය.
ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය"  -
පෙරටුගාමීන් විසින් වැදගත් වැඩක් පටන් ගෙන තිබේ. ඒ නංගිලා වගුගත කිරීමය. බැලූ බැලුමට සොමි වැඩක් සේ පෙනුනද මෙය දීර්ඝ ලෙස කතා කල යුතු දෙයකි. මීට කලින් මා පල කල කොමෙන්ටුවකට නිරංජලා ගේ සිතිවිලි ලෙස කපා දමා  තිබුනද මට ඒ ගැන  තරහ විය නොහැක. එය පල කලේ මවාගත් දීප්ති  කුමාර් ගුණරත්නම් චරිතයක් ගැන හෙවත් පෙරටුගාමී  හා පෙරටුගාමී සමාජවාදී අවුල නිරාකරණය කර ගැනීමටය. දැන් එය අවසාන නිසා ඒ ගැන කතා කර පලක් නැත. සිඳු  විය යුත්ත ඒ වෙලාවට දයලෙක්තිකවාදීව සිදුවනු ඇත.





මේ නංගියා සංකල්පය වැදගත් යැයි  සිතෙන්නේ මේ නිසාය  - සෝවියට් දේශයේ සෝවියට් තරුණියන් ගැන මෙවැනිම මතවාදයක් අප සාකච්චා  කළෙමු   . මේ පිළිබඳව වටහා ගැනීමට   "ඉන්ටෙර්දේවෝච්කා " හෙවත් "Inter Girl" නම්   චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/   නරඹන ලෙස ඉල්ලා සිටිමි.
ඉන්තර් ද්යෙවුච්කා හි කතාව  සැකෙවින් මෙසේය.
ලෙනින්ග්‍රාද් නගරයේ ජිවත්වන හෙදියක වන තාන්යා සයිට්සේවා උදයේ හෙදියක ලෙස කටයුතු කරන අතරව රාත්‍රියේ පැය කිහිපයක් විදේශිකයන් සඳහා  මුදලට ලිංගික පහස සපයන්නියක් වෙයි. මෙසේ කරන්නේ ඇයට අවශ්‍ය ය නිදහස සෙවීම උදෙසාය. මව හා පියා සිතන්නේ ඇය හෙදියක් ලෙස රැකියාව කරණ බවය . ඇයට හමුවෙන ස්වීඩන විදේශිකයෙක් ඇය හා පෙමින්  බැඳේ. ඇය ස්වීඩනයට යනමුත් එහි ජිවිතය අප්‍රිය වන්නේ ස්වීඩන සැමියා ඇගේ අතීතය ඉඳහිට මතක් කරන නිසාය.  ඒ අතර ඇගේ පෙර ලෙනින්ග්‍රාද් ජීවිතය ගැන ඇගේ  මවට දැන  ගන්නට ලැබී මව සිය දිවි හානි කර ගනියි.
ස්වීඩනය එපාවී නැවත  රුසියාවට යාමට පිටත්වෙන හෙදිය වාහන අනතුරකට ලක්ව මියයයි.

සෝවියට්  ආණ්ඩුවේ හා පක්ෂයේ ඇතැම් මර්දනකාරී පිළිවෙත්  හා බටහිර සුඛෝපභෝගී  භාණ්ඩ හිඟ කම නිසා බොහෝ සෝවියට්  තරුණියන්  විදේශිකයන්  ඇසුරු කිරීමට  පටන් ගති. මෙයින්  බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත්,  සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ නියෝජිතයන්  සමගත් ලිංගිකව ඇසුරුකිරීමට   පෙළඹුණි. මෙසේ කල සෝවියට් නංගිලා ගෙන් බොහෝ දෙනෙක්  නිදා ගත් තැනැත්තා සමග ආදරයෙන් පෙලුනේ  නැත.  එසේ කල අයද බොහෝ සිටි මුත් ඒ අය ගැන කතා ලියවෙන්නේ නැත.

ඔවුන්ට අවශ්‍ය වුයේ ලිංගික ඇසුර තුලින්   හෝ අවශ්‍ය බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkmans  etc) එසේ නැති නම්
සෝවියට්  ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට පැන ගැනීමටය. ශ්‍රී ලංකාවෙන්  පැමිණි පිරිමි ශිෂ්‍යයනුත්  මේ ගැටේට අසු වුයේ සැබෑ  භක්තියෙනි. 
බොහෝ අය අවසානයේ මෙය වටහා ගෙන නන්ගිලාව UK, Germany වැනි රට වලට ගෙනත් දැම්මහ. තවත් අය ඔවුන් සිංගප්පුරුව වැනි රට වලට ගෙන ගොස් විකිණුහ.

 සමහර නංගිලා මුදල් රස්සා හොයා   ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට හා මෝරුන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට නැවත කෙසේ හෝ පැන ගත්හ.  සෝවියට්  දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන  විදිහකට Dating Agencies  හෙවත් මනමාලයන් සොයන ඒජන්සි හරහා ක්‍රියාත්මක වේ. 
මට නංගියා සංකල්පය වැදගත් වන්නේ  මෙතනය.  අපි එදා කතා කලේ තමන්ට පමණක් ආදරය කරන, කොල්ලන්ට ආදරය පෙන්නන , තම වැඩේ කෙසේ හෝ කර ගන්න, ඒ ගමන්ම රති රමණය කරද සතුටු වන සෝවියට්  නංගිලා පිරිසක් බිහි වුනු හා එමගින් අසූව  දශකය අග භාගයේ සිට සෝවියට්  සමාජයේ පිරිහීම හා අවසානයේ බිඳ වැටීමය.

පෙරටුගාමින්ගේ (පෙරටුගාමී සමාජවාදීන් නොවේ) මේ සංකල්පයේ වැදගත්කමත් එයයි  . 2003 විතර  X කණඩායම පල කල (London සඟරාව) බුද්ධික බණ්ඩාර නමැති අය ලිවූ "පාලු සුසානයක  මල සිරුරක් සමග රමණය කිරීම හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය " කියවූ බව මට මතකය.  එය වැදගත් මාතෘකාවක් වුනත් එයට ලැබුණු ප්‍රතිචාරය  මද යයි සිතේ . නංගියා සංකල්පය එයට එහා යන දෙයක් බව මගේ හැඟීමයි. ලාංකික  සමාජයේ බිඳ වැටීම මේ  ලිපි පෙළ මගින් පෙන්වන අතර  මෙය විවේචනය කරන්නේ නංගිලාට  අහුවී අතරමන් වුන අය්යලා  විය හැකිය. ඒ අය  මෙතනට අනවශ්‍ය  අතර සංකල්පය අදට අවශ්‍ය දෙයක් බව පිලිගනිමි.    

පින්තූරය : https://englishrussia.com/2016/03/08/girls-of-soviet-union/

Monday, 11 November 2019

සන්නාගේ පොට් එක දක්වා ගිය ත්‍රාසජනක ත්‍රීවිල් ගමන සහ අතුරු කතා

මම පහු ගිය සැප්තැම්බරයේ  ලංකාවට ආවේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත දොරට වැඩුමට සහ පොත් ප්‍රදර්ශනේට යන්න කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්නේ. ඔය අතරේ දවසක තැප්‍රෝබේන් එකටයි , ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියේ නව  කාර්යාලට යන්නයි හවසක් දාගත්ත. එදා දවල්  විහාර මහා දෙවි පාක් එක පැත්තේ ලක්සල එක ගාව කලින්  කතා කරගත් විධිහට  ගෑනු ළමයි දෙන්නෙක්ව හම්බ වුනා. (අර ඒ දවස් වල ඒ ලෙවල් වලට  පාඩම් කරන්න ගිය කාලේ  වගේ නෙමේ ඉතින් දැන් වයසයි නේ. එනිසා ගෑණු ළමයි වගේ තමයි පෙනුනේ). ලංකා නිව්ස් වෙබ් එකේ උපුල් නිශාන්තය කිව්වා ආකේඩ් එකද මොකක්ද ලබ්බකට එන්න කියල. දැන් එතනට යන්න තමා අර දෙන්න එක්ක ත්‍රීවීල්  එකකට  නැග්ගේ. ඉතින් යන ගමන් එක කාන්තා  රත්නයක් කියනවා අනේ ඉතින් අපි "ඉඟ සුඟ ගත හැකි මිටින"  වගේ නිසා හොඳයි කියල. ත්‍රීවිල් එක ආකේඩ් එක ගාවින් නවත්තල මමත් එලියට විසි වුනාට පස්සේ ත්‍රීවිල් එක පදවපු අයිය කියනවා "මම මේ  බැලුව  අර ඉඟ සුඟ ගත හැකි මිටින " කීව අය නැග්ගට  පස්සේ ත්‍රීවිල් එක එක පාරටම පොළොවට  ගෑවෙන්න ම යටට ගියේ ඇයි කියල.  හරියට ඇද්දුවෙත් නැහැ පාරේ. දැනුයි තේරුනේ කියල. "
"මටත් ඇත්තටම මතක නැහැ ත්‍රීවිල් එකේ මම ඉඳගෙනද ආවේ කියලත් ".

ඔන්න ඉතින් අපි එතන අසයිලම් කියල තැනකට ගියා. මම හිතුවේ මෙන්ටල්   හොස්පිටල් එකක් කියල  උපුලයත් හිටිය නිසා. ඒකෙ වාඩි වෙලා කෑ ගහල සද්දෙන් කයිය දාගෙන ඉන්න කොට  පොෂ් වගේ ලුක් එකකින් මහ දවල් බියර් බිබී හිටිය දෙතුන් දෙනෙක් මාරු වුනා. මේ මොන ගමයොද කියල හිතන්න ඇති.

ඉතින් කාල බීල ඉවර වෙලා ගෑණු දැරිවියෝ දෙන්න අහල පහල සෙල්ෆි එහෙමත් ගත්තට පස්සේ අපි එයාලට සමු දීලා එන්න ආවා. ඊට පස්සේ අර සන්නගේ  ගේ  තැප්‍රෝබේන් එකට ඉස්සෙල්ලම යන්න හිතාගෙන ත්‍රීවිල් එකක් නවත්ත ගත්ත. අර ත්‍රීවිල් අයියා වගේ නෙමේ මේ ත්‍රීවීල් මල්ලි. රැවුල වවාගෙන මහා භයංකර අයිසිස් කාරයෙක් වගේ. "හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරඟෙටා " වගේ තමයි පොර මේක එළවන්නේ. වෙන ත්‍රීවිල් එක්ක නෙමේ මෙයා රේස් යන්නේ 4 x 4 එක්ක.

එක තැනකදී ත්‍රීවිල් මල්ලි දැම්ම ලොකු ලොරියකුයි බස් එකකුයි මැද්දට. පොඩි වෙලා කරපට්ටන් වෙලා මැරෙන්න කලින් ගහන අන්තිම පින්තූරය කියල හිතාගෙන තමා ඔය උඩ තියෙන පින්තූරේ  ගැහුවේ. ඒ වුනාට එහෙම වුනේ නැහැ. පොර බස් එකයි ලොරියයි මැදින්ම ත්‍රීවීල් එක අරන් ගියා. අම්මප පොඩ්ඩක් හරි එකෙක් වමට හරි දකුණට හරි කැපුවා නම් හිරවෙනවා එතනම.  ඊළඟ මාරෙකේ  ආවේ අර පාරවල් වහන්න දාල  තියන ට්‍රැෆික් කෝන් එක්ක. ඒ පැත්තෙන් වාහන එනවා. මේ පැත්තෙන් වාහන යනවා. පාරෙ කෑල්ලක් කෝන් වලින් වහල. මම මේ වන්ඩිය දාන එකක්  නැහැ කියල හිතුවත් මේ යකා දැම්මනේ ට්‍රැෆික් එන ඉස්සරහට අර  කෝන්  අස්සෙන් අට ලකුණ ගහල. මම සපත්තු දෙක ත්‍රි විල් එකේ බිමට තද කරගෙන අනිත් අතින් සයිඩ් එකේ තියන පොඩි දොර වගේ එක අල්ලගෙන. දෙයියෝ අදහන්නේ නැති නිසා දෙයියන්ට කියන්නද? දෙයියෝ අහයි උඹට දැන්ද මාව මතක් වුනේ කියල.  මූ මේක හරවන්නේ යමහා XT 1200 සුපර් ටෙනරේ  එකක් වගේ නේ. පරණ රේසින්ග් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ  දන්නේ නැහැ කියලත් හිතුන. එහම නැත්නම් අයිසිස් කාරයෙක් මරාගෙන මැරෙන මිෂන් එකක අපි දෙන්නත් එක්ක.

ඔය ඔක්කොම වෙන අතරේ උපුලය යනව කිසිම ගණනක්  නැතිව හරියට ශොඋෆෙර් ඩ්‍රිවෙන් රෝල්ස් රොයිස් එහෙක යනවා වගේ . අර පොර ෆේස්බුක් එකේ ක්‍රිකට් ගැන දාන බොරු, පම්පෝරි වලට අලුතෙන් දාන්නේ මොකක්ද කියල හිතනවද කොහෙද? මට එතකොට  පෙනුන මෑන් ඉඳ ගෙන ඉන්නේ අර දොර නැති පැත්තේ නේද කියල. මේක මේ ඉඳගෙන තියෙන්නේ  වීල් එක පෙරලෙන්න කලින් පැන ගන්න පුළුවන් පැත්තේ ඉඳගෙනනේ. ඒ නිසා  ආතල් එකේ යනවා.  මාධ්‍යවේදියෝ සත පහකට විශ්වාස කරන්න බැහැ කියන්නේ ඕන්න ඕකයි.

ඉතින් කොහොම හරි තැප්‍රෝබේන් එකට ගියා. සන්නා  මහතා කල්ල වස වසා ඉදිරියට ආව. සරමක් කැහැපට ගහල වගෙයි දැක්කේ.  මට නිකන් මොකක්ද වගේ අතට අත දෙන්නත් . ඒ නිසා අත  දුන්නේ නැහැ. සන්නා මහතාට මම  මාවම අඳුන්වල දුන්නේ මෙහම. මම තමයි අර ඔයාට ලන්ඩන් ඉඳන් කතා කරලා සුචරිත ගම්ලත් ගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය පොත් දෙක ගෙන්න ගත්ත එක්කෙනා. (ඒක මම ගෙන්න ගත්තේ අජිත් පැරකුම් හෙවත් පැරා ගේ ලිපියක් දැකල). ඒ එක්කම  කිව්වා  "මේ ආරංචියක් ආව හොඳ පොත්  තියනවා" කියල. (ඒකත් දහ දොළොස් දෙනෙක් කීව. තරුරසි හෙමේ කිව්වේ යන්න අනේ රෝයල් තැප්‍රෝබේන් හොඳම හොඳ පොත් ලාබෙට තියනව කියල.)

දයා පතිරණ මරණය ගැන මට කියවන්න ඕනෙම පොතකුත් තිබ්බ. සන්න කීව විකුනන්න බැහැ . හෙට එන්න. හෙට තමා විකුණන්න පටන් ගන්නේ කියල. දැන් මොකෑ කරන්නේ. දණ ගැහුවේ නම් නැහැ. ඒත් දෙතුන් පාරක්ම බැගෑපත් වුනා  , අනේ ආයි එන්න වෙලාවක් නැහැ. කොහොම හරි අද පොත් දෙක තුනක් දෙන්න. සල්ලි අඩු කරන්න  ඕනෙත් නැහැ. ඒ ගානම  දෙන්නම් කියල. කොහෙද බෑම කිව්ව.
"හෙට තමයි පටන් ගන්නේ විකුනන්න. තවම හදල නැහැ, හෙට එන්න".

මම මේ ලන්ඩන් ඉඳන් දවස් 22 නිවාඩුවට ආවේ. ආපු ගමන් මගුල් ගෙදරක යන්නත් වුනා. ඊට පස්සේ පොත එලි දක්වන වැඩේට දඟලන්න ඕනේ. ඒක සැප්තැම්බර් 21 ඉවර වුනහම දවස් තුනකින් අපහු යනවා.
සන්නස්ගල තුමා  ඩෝන්ට් කෙයාර් ඒ වගේ දේවල් වලට. ඉතින් බැහැල එන්න ආව.
උපුල් මලය ඒත් මගේ හිත හදන්න වගේ කීව. එයා හැමෝටම එහෙම තමයි කියල.

ඒක නම් වෙන්නම බැහැ . මොකද මම දැක්ක ලන්ඩන් ගිහින් ආවට පස්සේ අර පෙරටුගාමී සමාජවාදී ෆේස්බුක් බලඇණියේ ඕස්ට්‍රේලියානු අංශයේ  ඉස්සරහින්ම ඉඳන් හැමෝටම ගල් පෙරලන කනිෂ්ක ජයලත් එක්ක ෆොටෝ එකක් (සෙල්ෆි වගේ ) අරන් තිබ්බ. ඊට අමතරව ආදී කාලීන බ්ලොග් ලියන්නකු වන ඔසී රටේම රසික සූරියආරච්චිත් පොත් මිටි දෙකක් අරන් ෆොටෝ එකක් දාල තිබ්බ. ඔසීලට වැඩි සැලකිල්ලක් තියනවා වගේ.

මොකද්ද හේතුව? මම කල්පනා කළා. ඔළුවට ආපු ළඟම  හේතුව - අර දීප්ති කුමාර  ගුණරත්න මගේ "සියාමා " පොත එලි දක්වපු වෙලාවේ කියපු හීනි විවේචනයද මන්ද? ඒ වීඩියෝ එක මගේ බ්ලොගේ දැම්මා  ඉතින් මගේ බුක් ලෝන්ච් එකනේකියල. කවුදෝ එකෙක් අමු කුණුහරපෙන් ඇවිල්ල බැනල තිබ්බ  මගේ  අහිංසක මව් තුමියත් මතක් කරලා. පව් ඒ උන්දැ. (ඒ කොමෙන්ට් එක පල කලේ නැහැ) ඒත් ඉතින් සන්න වගේ යෝධ පුරුෂයෙක් අපි වගේ ඇටිකිච්චන්ගේ බ්ලොග් වලට එයිද? ඒක නම් වෙන්න බැහැ.

මම යාළුවෙක් ගෙන්   ඇහුව ඇයි මේ රෝයල් කෑල්ලක් ඉස්සරහින් දාගෙන තියෙන්නේ කියල. මේ රෝයල් ගිය යාළුව  කිව්වා,
"ඔය මචන් රෝයල් යන්න බැරි ඕන කෙනෙක් ගෙදර නමට ඉස්සරිහිනුත්  රෝයල් කියල දානවාලු .නැත්නම් රෝයල් එකේ අපි මෙහෙමයි අරමයි කියල කුප්ප කතාවක් දෙකක් අපි සම්බන්ධව   කියනවලු.".

හැබැයි මට වුනේ ඕකෙ  අනිත් පැත්ත? මම රෝයල් එකට ගියේ එන්ට්‍රන්ස් විභාගෙන් පාස් වෙලා. ඒ කතාව මෙතැන ලියල ඇති. ශිෂ්‍යත්වෙන් ආවේ ආනන්දෙට. ආනන්දෙටත් සුමානයක් විතර ගියා.  අර රෝයල් ප්‍රයිමරියයි (ප්‍රාථමිකේ)  කොලේජ් එකයි  අපේ කාලේ තමා එකතු කලේ. එතකොට ප්‍රයිමරි එවුන් ටිකක් අලි පු*. උන් තමයි නියම රෝයල් කියල. හයේ පන්තියෙන් රෝයල් ගිය අපි උන්ව පඩේකට ගණන් ගත්තේ නැහැ. හිටිය එවුන්ට මතක ඇති ඒ කාලේ වලිය.

දැනට අවුරුදු දහයකට විතර කලින් මගේ ඇඳුනුම් කමක් තිබ්බ  නුවර පැත්තේ පොරක් එක්ක. ලන්ඩන් වල. මෙයා මට කියනවා අජිත් මම කවදාවත් හිතුවේ නැහැ උඹ රෝයල් ගිය එකෙක් කියල. (රෝයල් කතාවක්  ඇදිලා ආපු වෙලාවක) මම ඇහුව බුවාගෙන්  ඒ මොකෝ කියල. ඌ කියනවා,
"උඹ මම දන්නා  රෝයල්  ගිය එවුන් වගේ නෙමේ හැසිරෙන්නේ "ලු. මම කිව්වා "මචන්,ම ම නම් එහෙම  එකක් දැනගෙන හිටියේ නැහැ කියල. මගේ රෝයල් යාලුවෝ නම් මං වගේම බෝතල් භාගයක් හිස් කරන්න පුළුවන් පොඩ්ඩක් නටන්න දන්න සොමිය ට බර  පොරවල්. " මට හිතුනේ මුගේ ඔලුවේ තියන මනස්ගාත කියාල.

හැබැයි ඊට පස්සේ ඔය රෝයල් කතාව  ආවේ බීබීසී එකේ වැඩ කරණ යාලුවෙක් ගෙන්. එයාගේ ඒ දවස් වල බිබිසි බොස් ඇහුවලු
"අජිත් ඇත්තටම රෝයල් ගිහින් තියනවද කියලා " යාලුව කිව්වලු එහෙම තමයි එයා දන්නේ.
"වෙන්න බැහැ පොළොන්නරුවේ රෝයල් වෙන්නැති " කියල කීවලු. මේ මැනේජර් මට අවුරුදු හතරක් විතර සීනියර්. මම අර යාළුවට කීව
 "මම මේ පලවෙනි වතාවට රෝයල් ගිය එකෙක් ගෙන් ඔය කතාව ඇහුවේ. අනිවාර්යයෙන්ම  මම හැසිරෙන්නේ ඌ හැසිරෙන විධිහට  නෙමේ වෙන්න ඇති කියල."

මම දැනට  අවුරුදු දෙකකට විතර කලින් ලංකාවට  ගිය වෙලේ අපි ඉවර කරපු අවුරුද්දේ එවුන් සංවිධානය කරන ඩිනර් එකකට ගියා ජයික් හිල්ටන් එකේ. හොඳට සංවිධානය කරලා තිබුන. එතන හිටපු ලස්සන ගැහැණු ළමයි දෙතුන් දෙනෙක් එක්ක ඩාන්ස් කළා.
"පස්සේ දැන  ගත්තේ උන් කුලියට ඩාන්ස් කරන්න ආපු එවුන් කියල " අර උපුල හත්තිකේ කියනවා වගේ මොන මිත්තණියගේ වස්ත්‍රයක්ද  යකෝ මේක. ලන්ඩන් වල අපේ එවුන්ට කීවනම් හිනා වෙලා මැරෙයි. අර කෙල්ලෝ ඇවිත් ඉන්නේ නටන්නේ නැති අය ෆ්ලෝර් එකට ගන්නලු. මම එහෙම්ම ෂේප් වුනා.

ඔය අස්සේ, ඒ කාලේ ඉස්කෝලේ ඇරුනම ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගහපු එකෙක් හිටිය. එයාට මම දැකල කතා කලා. ආ මචන් කොහොමද ඉතින් කියල. පොර මං දිහා නිකන් අඟහරු ලෝකෙන් ආපු කුරුමිට්ටෙක් දිහා බලන බැල්මක් දාල කට කොනකින් කින්ඩි හිනාවක  දාල වෙන සෙට් එකක් ගාවට ගියා. මම ළඟ හිටපු ඒ ලෙවල් පන්තියේ යාළුවෙකුට කීවාම  ඌ කිව්වා ආ  මේ අර බ්‍රිගේඩියර් අහවලානේ කියල. ඒ බ්‍රිගේඩියර් තුමා ඊයේ පෙරේද මේජර් ජනරාල් තුමෙක් වෙලා  කියල ආරංචියක් ආව. හොඳයි ඉතින්.  හැබැයි  මට දැනුයි  තේරෙන්නේ. මේ මන් වගේ ලන්ඩන් වල පරිගණක ඉන්ජිනේරුවක් ලෙසට  විධායක ශ්‍රේණියේ නොවන රැකියාවක් කරන එවුන් එක්ක මොන කතාද ඒ අයට? ඒ කියන්නේ රෝයල් තැප්‍රෝබේන් අයිතිකාරයා කතා කලේ නොකලෙත් ඩෝන්ට් කෙයාර් ලෙසට හිටියේ  ඒක නිසා වෙන්නැති.

හැබැයි මම ආයේ දවසක ගියා ඔය තැප්‍රෝබේන් එකට මගේ පොත දොරට වැඩුම ඉවර වුනාට පස්සේ . ඒ කතාව ඊළඟට කියන්නම් හේතුව තමා මම ලන්ඩන් ඇවිත් සන්නගේ පොත් මොනවාද මං ළඟ තියෙන්නේ කියල හෙව්ව . භික්ෂු පරිච්චේදය, අම්මා.

මම මගේ අම්මට හුඟක් ආදරෙයි. මගේ පලමු පොත වගේම තුන්වෙනි පොතත් අම්මට තමයි ඉස්සෙල්ලම පිදුවේ. සියාමා පොත අම්මටයි  තාත්ත ටයි.

සන්නට එයාගේ අම්ම මග හැරිලා. මට මග හැරුනේ මගේ තාත්තා. තාත්ත එක්ක මුහුදු වෙරළ අයිනේ හෝටලේකට යන්න, බීර  වීදුරුවක් අරන් දෙන්න. දේශපාලනේ ගැන කතා කරන්න, ඒ හීන  ඔක්කොම නැති වුනා. ඒක වුනේ  එකම එක  මෝඩ තීරණයක් නිසා. මගේ දුප්පත් තාත්ත මාව නොදැකම අවසන් ගමන් ගියේ. මම ගියේ මරණෙට. දරුවෝ බලන්න ලන්ඩන් ආවේ අම්ම විතරයි.

මම සන්නගේ "අම්මට " ආදරෙයි.
ඊළඟට ලියන්නේ ඒ ගැන. ඒ පොතේ තිබෙන විස්තර වගයක් ගැන.

~~~~~මතු සම්බන්ධයි ~~~~~~~~~~~~~~~~~~~~~





Tuesday, 5 November 2019

දැති කියත - එච් ඒ අයි ගුණතිලක

දැති කියත - එච් ඒ අයි ගුණතිලක (විචාරයක්)
විජිත ගුණරත්න ගේ "දැති කියත " ගැන ලියු මේ අපූරු විචාරය ක්‍රිස්ටියන් වර්කර් (ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය ) නමැති සඟරාවේ 1981 පලවූවක්. එහි ඇති  භාෂා ශෛලිය ඉතාමත් බැරෑරුම් එහෙත් රසවත් එකක් . ඒ කාලයේ කොළඹ ඉංග්‍රීසි කතා කරන මැද පන්තිය හැර වෙන අයෙකු මේ ලිපිය කියෙව්වාද යන්න සැක සහිතයි. එනිසා මම ඒ ලිපිය පරිවර්තනය කළෙමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සම්ප්‍රදායික නාට්‍ය කලාවේදී අව්‍යාජ මිනිස් හඬක් ඇසීමත් අපහසු දෙයකි. නාට්‍යය නරඹා නික්මෙන අයෙකු ගේ දැක්ම වනුයේ නාට්‍යය ජීවිතයේ පිළිඹිබුවක් නොව ජීවිතය නාට්‍යයයේ පිළිඹිබුවක් යන්නය. බෙර්ටෝල්ට් බ්‍රෙෂ්ට් තමන්ගේ මුළු ජිවිත කාලය පුරාවටම යත්න දැරුවේ   තත්සම්‍ය නාට්‍යකලාව යථාර්තවාදී මායාව නැමැති  ව්‍යාජ කලා  භාවිතාවෙන් මුදවාගෙන විකල්ප මාදිලියක් හඳුන්වා දීමටය. ප්‍රේක්ෂකයන් නාට්‍යාගාරයේ හිඳගෙන සිටිති. නළු නිලි සමූහයක් ලෙස  එකතු වී කළකට පෙර වූ සිදුවීමක් කථාවක් ලෙස  ගොඩ නගති. වේදිකාව යථාර්තය අප ඉදිරියේ  ප්‍රක්ෂේපණය කරද්දී  ප්‍රේක්ෂකාගාරයේ අප, කතාවෙන් වියුක්තව ඔහේ බලා සිටින්නන් පමණක් වෙමු.  කථා සාරයට නොව කථනයට, අවධාරණය දී ඇති අතර,  වේදිකාවේ ගොඩ නගා ඇති අංග, නාට්‍යමය ඇඳුම් ආයිත්තම්, වේදිකා සැලසුම   සහ ආලෝක සැපයුම ආදිය යොදා ඇත්තේ සැරසිලිකාර මායාවකට නම් නොවේ.  හැම දසුනක්ම. අදහසක්ම, කොටසක්ම එකිනෙකට වියුක්තවම  වැදගත් වන'තර අපේ අවධානය  දිනා ගන්නා පරිදි සාමූහික පන්නයකට ගොනුකර ඇත. ශෘන්ගාර උද්වේගාත්මක හැඟීම් වලින් අප වියවුලට පත් නොකරන අතරම පරමෝත්කර්ෂයන් දුර්භික්ෂයන්  සේ ඉවත් කර ඇත.   ප්‍රසිද්ධ "පරාරෝපණයේ විපාකය" (අත්හැර දැමීමේ ප්‍රතිඵලය ) නම් සිද්ධාන්තයේ එල්ලය නම් සංවේදී සංඥානනය (තදාත්මීකරණය ) වැළැක්වීම හෝ නිෂ්ප්‍රභා කිරීමයි. අපගේ උදාසීන සංවේදනයන්ට බ්‍රෙෂ්ට් ඉතා සරල හා අව්‍යාජ යථාර්තයක් ඉදිරිපත් කරයි. තරු පහේ අවන්හලක තෙආකාර භෝජන පටිපාටිය වෙනුවට ඔහු  පාන් සහ කැඳ ප්‍රදානය කරයි.

විජිත  ගුණරත්නගේ ගේ "දැති කියත" සම්භාව්‍ය බ්‍රෙෂ්ටියානු  සමීකරණයක් වූ   මෙම සම්ප්‍රදායික මෙන්ම  න්‍යායික නාට්‍යය  නිර්භය සහ උත්කර්ෂවත් උත්සාහයකින් අපට ප්‍රති නිෂ්පාදනය කර   ප්‍රදානය කරයි. මධ්‍යතන යුගයේ ස්වීඩනයේ  නගරයක පංති විරෝධතාවය සහ  කාර්මික සටන් මධ්‍යයේ   ධනපති ආරක්ෂක යාන්ත්‍රනය සහ රාජ්‍ය යන්ත්‍රය  දුෂිත ව්‍යාපාර සමග වන සන්ධානයේ  සිදුවීම් (නාට්‍යයේ)  පෙළ ගස්වයි. වෙස් මුහුණු, සංගීතය, විචිත්‍ර වෙස් ගැන්වීම්, නිවේදක නිවේදිකාවන්  වේදිකාවේ තීක්ෂණ සැකසුම්   වල සංයෝජනයෙන් සංතෘප්ත වන මොහොතක  නළුවේ  සෑම සාමාජිකයෙක්ම  තම උපරිමයෙන් ප්‍රබල රංගනයන් ඉදිරිපත් කරති. රටා මිශ්‍රණය අපූර්ව ව ඇති රංගනයේ වදන් හසුරුවනුයේ සැහැල්ලු එහෙත් ක්‍ෂණික හා සවිමත්ව පැටලිමකින් තොරවය.  ඉතාමත් සුළු අංග චලනයක් පවා තද විනයකින් හසුරුවනුයේ වැඩි අතිශයෝක්තියකින් තොරවය. මෘදු  මුඛරියේ සිට රළු කවටකම් දක්වා භාෂාව ගලා යනුයේ නාට්‍යකරුගේ අභිලාෂයන් එපරිද්දෙන්ම ඉටු කරමිනි. සංගීතය සහ ගීත ගායනාවන් නාට්‍යයේ සන්ඝටනීය  අංගයන් වනවා  සේම බුද්ධිමත් ලෙස සංවාදයට අනුකූල ප්‍රතිචාරයද සපයයි. එසේ වන අතරතුර සැඟවුණු චරිත සහ නොසැඟවුණු චරිත, හුවමාරු වන අනවරත දයලෙක්තිකය හා   සමාජ සම්බන්ධතාවයන්ගේ හා මානුෂික තත්වයන්ගේ ප්‍රතිවිරෝධය ද තුල උත්සවකාරී ලෙස හැසිරෙනුයේ අපගේ කාලය සිහිකරවමිනි. කුඩා හා විසල් කණ්ඩායම් ලෙස  හැඩ ගැස්වූ චරිතයන්හි චලනයන්  සහ නාට්‍යය තුල සංස්ථාපනයන්  විචිත්‍රවත් සංවේදීතාවයක් මනෝහර භාවයක්   දනවන අතර   බාහිර ආයිත්තම් වල ස්වභාවය වේශ නිරූපණයන්  ගෙන් හෙළිදරව් වේ.

මේ සියල්ල සලකා බැලූ කළ අප විජිත  ගුණරත්නට  සුභ පැතිය  යුත්තේ ශෝකාන්තය හා ප්‍රහසනය අද්දර  දෝලනය වෙමින්, එහෙත්  සියලු අර්ථයන්ගෙන් සමන්විත කාලෝචිත නළුවක්  කාලයට අනුකූල ලෙස අපට පිරි නැමීම නිමිත්තෙනි.  සංවේදී ප්‍රේක්ෂකයන් අගය කළ යුත්තේ, නාට්‍යය විසින්  ප්‍රහසනයට ලක් කරන ලද වර්තමාන  ප්‍රශ්නය සහ සම්පුර්ණ නාටකය ලෙසට ගත්  කල අපට  වඩාත් හුරු පුරුදු සංවේදිතාවන් හා සංකීර්ණයන් වලින් නැවුම් ලෙස වියුක්ත වීමත්ය.
සෘජු දේශපාලන ප්‍රචාරයන් ගෙන් තොරවුවත් නරඹන්නාට  සිද්ධීන් අවලෝකනය කරන්නට හා ඉන් ඉදිරියට සිතන්නට පෙළඹවීමක් තිබේ. සුළුවෙන් හෝ   විනයානුකූල චින්තනමය එක්සත්කමක් සහ ක්‍රියාකාරිත්වයක්  ප්‍රේක්ෂකයන් සහ නාට්‍යයට  සහභාගිවන්නන් ගෙන්   හදිසි අයැදුමක් ලෙස ඉදිරිපත් වේ. මේ නරඹන්නාට ඔහුගේ නාට්‍යමය අත්දැකීමේ ප්‍රමුඛ  සුරතාන්තය වූයේ  බ්‍රෙෂ්ට් ගේ මරණය  සිදුවූ 1956 වසරේ බර්ලින් වෘන්දය ලන්ඩනයේ ඉදිරිපත් කල අපූර්ව සංදර්ශනයයි.

 තරුණ  ශ්‍රී ලංකික නාට්‍ය කරුගේ උපදින දක්ෂතාවයන් තුලින් හෙළි දැක්වූ  අන්තර්ගතය,  රංගන සම්ප්‍රදාය සහ භාවතිශමය චෛතසිකය මේ මූලික බලවත්  ශෛලිය ට ඇති මගේ අතීතකාමයට (නොස්ටල්ජාවට )   අවුරුදු 25 කට පසු නව පණක් දුනි.
එච් ඒ අයි ගුණතිලක  - ක්‍රිස්ටියන් කම්කරුව සහෝදරත්වය  සඟරාව 1981 (christian worker 1981)

පරිවර්තනය - අජිත් ධර්මකීර්ති
අවශ්‍යනම්   කියවීම සඳහා ඉංග්‍රීසි ලිපිය

Thursday, 31 October 2019

සනීපාරක්ෂක තුවා සහ පෑඩ් මෑන්

ලක්මාල් කුලසේකර සහෘදය ලියල තිබ්බ,  පහළ මම ෂෙයාර් කරපු දේට එකඟ වෙන ගමන් මේ ටිකත් ලියන්න හිතුන. මේ මම මුලින්ම ලියපු  "සියාමා " පොතට දෙන තල්ලුවක් නම් නෙමේ. මම වැඩි හරියක්ම පොත  දුන්නේ නොමිලේ. සජිත් ප්‍රේමදාස දේශපාලන යෝජනාවක්  හැටියට කතා කරපු  පෑඩ් යෝජනාව  ලංකාසිනිව්ස් වෙබ් අඩවියේ සහ එහි ප්‍රතිචාර දක්වන්නන් ගේ අපහාසයට ලක්වෙලා තිබෙනවා දැක්කා. සජිත් ඒක දේශපාලන යෝජනාවක් හැටියට ගෙනාව එක හරිද වැරදිද කියන්න මම යන්නේ නැහැ. නමුත් මම කැමැතියි  මේක දේශපාලන ෆුට්බෝලයක් කර ගන්නේ නැතිව ප්‍රධාන අපේක්ෂකයෝ හැමෝම ජාතික ප්‍රතිපත්තියක් හැටියට ගන්නවා නම්. ගෝඨාභය කියන්නේ ඇමෙරිකාවේ පවා ජීවත්වුණ නවීනත්වය දන්නා  කෙනෙක්. අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානයක, දුමින්ද නාගමුව වැනි අපේක්ෂකයන්ට  තමන්ගේ යෝජනාවලට ඇතුලත් කරලා නොදියුණු මිනිසුන්ට කියන්න  පුළුවන් මේක හිනා වෙන්න දෙයක් නෙමේ කියල..

"සියාමා" කතාවේ මුළු පවුලක්ම විනාශ වෙලා ගැහැණු ළමයෙක් අනාථ වෙන්නේ නවීන සනීපාරක්ෂක තුවා හෙවත් පෑඩ් ගැන  ගමේ මිනිසුන්ගේ තිබුණු නොදැනුවත්කම නිසා.  නොයෙකුත් ආගමික හේතුන් පවා මුල්වුණා. වර්තමානයේ ලංකාවේ  හෝ වෙනත් ආසියානු රටක මෙහෙම වෙන්න තියන අවස්ථාව අඩු වුනත් නවකතාවට  පාදක කරගත් මේ  සිද්ධිය සත්‍ය එකක් (පස්සේ තියෙන ඒවා මොනවා වුනත්). ඒක මට කියපු තරුණ කාන්තාවට විනාඩි හතලිස් පහක්  පමණ වත් ගතවුනා ධෛර්ය අරගෙන ඒ කතාව  කියන්න .අදටත් හදවත දුකින් මිරිකෙන්න ගන්නවා මතක් වෙනකොට. කරුණාකරලා මේ වගේ ප්‍රශ්න ගැන අපහාස කරන්න එපා.  සජිත් කියන මනුස්සයට ගහන්න වෙන ඕන තරම් දේවල් තියනවා. මම ආයෙත් කියන්නේ අපේක්ෂකයෝ එකතුවෙලා මේක ජාතික තලයට අරගෙන එක යෝජනාවක් හැටියට ගේන්න දියුණු රටවල් වගේ.
මේ තියෙන්නේ පොතේ ඒ කොටස:
"ප්‍රියාන්  එහෙ ගම්  පැතිවල තවත් එහෙමයි.  අපේ තාත්ත අම්මටයි අක්කටයි  ඔසු සල් වල විකුණන ඒවා ගෙනත් දීල තිබුන. ඒක නවීනයි.  හොඳයි කියල. තාත්ත ඒවාට ලජ්ජා වුනේ නැහැ. එයාට  ඕනේ වුනේ අපි නවීන  විධිහට ජිවත් වෙනවා දකින්න.  ඒවා වත්තේ පහල වලක තව කුණු සමග ගිනි තැබීම කලේ තාත්ත. අපිට කුණු විසි කරන්න ක්‍රමයක් නැහැ. අවශ්‍යම  නම් වෙනම තැනක්  තිබ්බ කුණු ගෙනිහින් දාන්න. "

"ඒක  නම් ලංකාවෙත් එහෙමයි. මුළු ආසියාවේම ප්‍රශ්නයක්". ඇය මෙවැනි කතාවක් අපි අතරට ගෙනාවේ මන්දැයි මට එකවර වැටහුනේ නැත.

"එක දවසක් මොකක් හරි දේකින් ගිනි ඇවිලිලා  නැහැ කුණු කොටසකට. තාත්ත ගිනි තියල වෙන වැඩක් කරන්න ගිහින්. පිච්චිලා  නැතිව  ඉතුරු උන එකක් බල්ලෙක් ඇදගෙන ගිහින් වෙන වත්තකට. දරුණු  රණ්ඩුවක් ඇති වුනා ඒකට . මාස්  ශුද්ධිය වෙන වෙලාව අපලයි කියල විශ්වාසයක් තියෙනවා. ගැහැණු පාවිච්චි කරන රෙදි කෑලි පවා හෝදන්නේ හොරෙන්.  ඒ කාලෙට ගැහැණියක් එළදෙන්නු දිහා  බැලුවොත් උන්ට කිරි එරෙන්නේ නැහැලු. පිරිමියෙක් හරි කොල්ලෙක් හරි  දිහා බැලුවොත් උන්ට උණ හැදෙනවලු. ඒකට  නම් මං  කැමතියි. කොහොමද අපේ බලේ. හික් හික්. " අස්වාභාවික අන්දමට ඇය සිනා සුනාය.

---අජිත්

ආදරණීය දෙපක්ෂයේම මිත්‍රවරුනි,

මට නම් මේ යෝජනාව ඉදිරිගාමීය. දුප්පත් ග්‍රාමීය පාසල්වල දැරියන්ට, ඇඟලුම් කර්මාන්තශාලාවට මේවා නොමිලයේ හෝ අඩුමුදලට ලබාගත හැකි මැෂින් සවිකර හැකි නම් අගනේය. දුප්පත් පවුලක දියණියකට අම්මා කෙනෙකුට ඇත්තටම සනීපාරක්ෂක තුවා සඳහා යන වියදම දරන්නට අසීරු බව ඇත්තය.

එය පිළිගැනීම දේශපාලන වශයෙන් අනිත් පාර්ශ්වයට වාසිදායක යැයි සිතන මානසිකත්වය අප වෙනස් කර ගත යුතුය. ඒ වාගේම එය විහිලුවකට ලක් කිරීම වැදගත් ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක් යැයි මා සිතන්නේ නැත. ඒ වාගේම මේ යෝජනාව ගෙන ආවා කියා යම් අපේක්ෂයෙකුට පට්ට ඉදිරිගාමී ලිබරල් සලුපිලි අන්දන්නට යාමද උගුරට හොරා බෙහෙත් කෑමක් බව එය කරන මගේ උගත් මිත්‍රයන් තේරුම් ගත යුතුය.

මේ සම්පූර්ණ සනීපාරක්ෂක තුවා කතිකාව තුල මා නම් දකින්නේ දේශපාලනය උග්‍ර ලෙස ධ්‍රැවීකරණය වීමේ අර්බුදය පමණි. මෙය ලංකාවට මතු නොව ලෝකයේ සමහර රටවලටද ඇත්තය. ඇමරිකාවේ පවා මේ තත්ත්වය එසේය. තමන් සහය පළ කරන අපේක්ෂකයා කරන ඕනෑම වැරැද්දක් සාධාරණීකරණය කරන්නටත් ඔහු දේවත්වයට නංවන්නටත් ප්‍රතිපාර්ශ්වය කරන හෝ කියන ඕනෑම දෙයක් ගර්හාවට ලක්කරන්නටත් ඔවුන් පහත හෙලන්නටත් අප තුළ තියෙන පුරුද්ද කැතය. වෙනස් කරගත යුතුය.

සියයට සියයක් හරි හෝ වැරදි කිසිවක් නැති මිනිස්සු නැත. මමද ඔබද එසේ නැත. එසේ හෙයින් තමන් සහාය දෙන අපේක්ෂකයාද එවැන්නෙක් යැයි සිතා ගැනීම ප්‍රඥාගෝචර නොවේ. එලෙස යම් අයෙකුට ආරෝපණය කරන්නට යාමද නුවණැති වැඩක් නොවේ. දැන දැන එසේ කිරීම ආත්ම වංචාවකි. අප මේ ඇත්තට මුහුණ දෙන්නට පුරුදු විය යුතුය. ඒ අතරම පවතින 'හොඳ ප්‍රමාණය' ක්‍රම ක්‍රමයෙන් වැඩිකරන්නට වැඩ කළ යුතුය. ඒකට උත්තරය සාපේක්ෂව හොඳ මිනිස්සු දේශපාලනයට එකතු වෙන එකය. 'ඊයා' කියන එක නොවේ.

රටක් දියුණු කරන්නට නම් දියුණු ශිෂ්ඨසම්පන්න මනැස් ඇති ඕනෑම ප්‍රශ්නයක් වැදගත්ව කතා කරන්නට පුලුවන් මිනිස්සු සිටින්නට ඕනෑය. එහෙම මිනිස්සු ගෝඨාභය පාර්ශ්වයටත්, සජිත් පාර්ශ්වයටත්, අනුර පාර්ශ්වයටත් කියන තුන්ගොල්ලටම සිටින්නට ඕනෑය. රට හොඳ තැනක් වන්නේ එතකොටය.

ලක්මාල් කුලසේකර

Sunday, 27 October 2019

ඉතින් රැවටෙන්න - කවරයේ කතාව සහ අතුරු කතා

දියණිය ඇඳි මුල් කවරය 
මගේ දෙවන නවකතාවේ  කවරය ගැන සෑහෙන සාකච්චාවක් සහ අදහස් හුවමාරුවක් ගිය නිසා මේ ලිපිය ලියන්න   තීරණය කළේ. මම මේ කෘතිය ලියන්න පටන් ගත්තේ සෑහෙන කාලෙක ඉඳන්. ඒ කියන්නේ 2015 වගේ ඈත කාලෙක පටන් ගත්තේ. ඉවර වෙනකොට 2019 මුල. මුලින් හිතන් හිටිය මගේ දෙවෙනි පොත "සියාමා " මුද්‍රණය කළ අහස ප්‍රකාශකයන් මේ පොතත් භාර ගනී කියල මුද්‍රණය කරන්න. එහෙම වුනේ නැහැ. "සියාමා" මුද්‍රණය ගැන මගේ කිසියම්  විවේචනයක් තිබ්බ නිසා එහෙම වුණා  වෙන්නත් පුළුවන්.

ඊට පස්සේ චූලානන්ද සමරනායක සහෘදයා සහ පද්මිණි මාතරගේ නංගි පොතේ කොපි ඉල්ලා ගෙන සෑහෙන වෙහෙසක් දැරුවා. මම සංහිඳ එකේ සන්නස්ගල මහත්මයටත් කතා කළා. මම සුචරිත ගම්ලත් ගේ ශබ්දකෝෂය මිලදී ගන්න ගිය වෙලේ ඇහුවේ.  මට මතක විධිහට  ඔහු පොත් ප්‍රකාශ කරන වැඩෙන්  ඉවත් වෙලා කියල තමා කිව්වේ. අර දෙන්නගේ වෙහෙස පල දැරුවෙත්  නැහැ. පිළිකෙව් කිරීමට එක හේතුවක් ලෙස දැන ගන්නට ලැබුනේ පොත අත්දැකීම් ගැන ලිව්ව එකක් කියල. (ඇත්තටම එහෙම කල්පනා කෙරුවොත් මැක්සිම් ගෝර්කි ගේ වත්, නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ වත් බොරිස් පලේවොයි ගේ වත් අපි ආදරය කරපු පොත් කිසිවක් පලවෙන්න ඉඩක් නැහැ කියලත් හිතුන.)
මම ඇත්තටම පොත ලිව්වේ ඩොස්ටයෙව්ස්කි ගේ ෆන්ටස්ටික් රියලිස්ම් (fantastic realism ) කියන ශෛලියෙන්.  මම ඒ ශෛලිය ගැන කල්පනා කලේ  විජිත ගුණරත්න භාවිතා කළ බ්‍රෙෂ්ට් ගේ එපික් තියරිය නිසා  කියලයි මම හිතන්නේ. ඒ ලිපිය මෙතැන. එදා ඒ සාකච්චාවේදී නන්දන වීරරත්න සහ විජිත අතරත් සංවාදයක් ගියා. නන්දන කීවේ නිර්මාණයකට සෞන්දර්යය අත්‍යවශ්‍යයය  කියල. නැත්නම් වාර්තාවක් වගේ එහෙම  නැත්නම්  උදාසීන බවක් ඇතිවෙනවා කියල. මගේ මුල් නවකතාව  "සියාමා" ලීවේ මේ සෞන්දර්යය කියන කොටස අමතක කරලා "පණිවිඩය" දෙන්නේ කොහොමද කියල හිතල.

සිදුවුණ දේ තමයි "සියාමා "පිළිබඳව වාමාංශික කඳවුරකින්ම ආපු විවේචනය තමා ඒක ටිකක් වාර්තාකරණයක්  වගේය  කියලා . තව වටේට ආලවට්ට්ම් දාල ලස්සනට නවකතාවක් කරලා ලියන්න තිබුන කියල. ඒ වගේ කතාවකට ආලවට්ටම් දාන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන්  මම  තැවුණ. සියාමා ගේ සොඳුරු හදවත ගීතයක් වුනේ නැති නිසා. එදා සංවාදය කරපු නිස්සංක විජේමාන්න සහෘදයා නම් ඒක කීවේ නැහැ. හැබැයි එයා කීවේ  මම නිහඬව ඉඳල පාඨකයාට කතා  කරන්න ඉඩ  දෙන්න කියල. නමුත් ලිව්වේ මොන හේතුවටද  කියල පාඨකයා දැනුවත් නැත්නම්?

සරද සමරසිංහ සහෘදයා ගේ  ගේ පොත ගැන කල සංවාදයේදී මම හෛඩගර් සහ ඔහුගේ   "කලා  කෘතියක මූලාශ්‍රය" (the origin of the Work of Art) කියන  ලිපිය ගැන  කතා කළා. ඒ ලිපියට මෙතනින් යන්න. හෛඩගර්  හරියටම අඳුන ගත්තේ දීප්ති කුමාර ගුණරත්න ගේ ලිපි වලින්.
  හෛඩගර්  කියනවා ඔහු  වර්තමාන දර්ශනවාදී සෞන්දර්යය නම් සම්ප්‍රදායට විරුද්ධව සත්‍යය පිළිඹිබු කරන  කලා කෘති සඳහා පෙනී හිටිනවා කියල. ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා  කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic විරෝධාලංකාරය ) එකක් කියල. ඔහු අහනවා සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද කියල ඒ එක්කම ? දර්ශනවාදී හෛඩගර් ගේ ජීවිතයත් නාසිවාදී වීම නිසා අඳුරු වූවක්.

ඉතින් දෙවෙනි පොතට හෛඩගර් හා නන්දන වීරරත්න කියපු විධිහට සෞන්දර්යය ඇතුළු කළා. ඒ කියන්නේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කෘතියේ  මුල හරිය කියවන කොට  ඒක තේරෙයි. ඩොස්ටයෙව්ස්කි ගේ ෆන්ටස්ටික් රියලිස්ම් එකටත් මදක් අනුගත වෙන්න.

බ්ලොග් සහෝදරයෙකු ගේ  ගේ මාර්ගයෙන් හඳුනාගත්තා ගුරුගොඩ සීලවිමල හාමුදුරුවෝ. මේ දිනවල   බුකියේ හෙම සෑහෙන ප්‍රසිද්ධ අයෙක්.  සීලවිමල හාමුදුරුවෝ  හඳුන්වල  දුන්න තැන ආයෝජකයන්ගේ මුදල්  වෙන් කරලා ඉවරය කිව්වා.  නිකම් නිහඬ නොවී හේතුවක් කීව එක අගය කරනවා. නමුත් ඉතින් මට වුනත් ආයෝජනය කරන්න තිබුන.
 ඉතින් මම තීරණය  කලා කර්තෘ ප්‍රකාශනයක්  ලෙස පළ කරන්න.  එහිදී පොත විකිණීම සහ බෙදා හැරීම  පිලිබඳ ප්‍රශ්නය  එනවා. මගේ මුල් පොත වන "පොල්කට්ටෙන්  එපිටට" පොත ගැන එම ප්‍රශ්නය ආව එංගලන්තයේ ඉඳගෙන කරන්න ලෙහෙසි දෙයක් නෙමේ. මම මේ ගැන පොත මට ප්‍රින්ට් කරන්න හදල දෙන හිරුලින් එකේ මිලානි නංගි එක්කත් නිකමට කතා කළා.

එයා මගේ පොතේ පොතේ පිටපතක් දෙකක් දීල තිබුන ප්‍රකාශක  සමාගම් දෙක තුනකට .  මම දැනගෙන හිටියේ නැහැ එම ප්‍රකාශකයන්ව.  හැබැයි එහෙම දුන්නට කමක් නැහැ කියල මම කියල තිබ්බේ.   ඒ දුන් කෙනෙක් තමා සංඛ  ප්‍රකාශකයෝ හි අධිපති එම් ඩී සෝමරත්න මහත්මයා.  පොත කියවල එයා මට කතා කරන්න කියල තිබ්බ. කොන්දේසි සහිතව පොත පල කරන්න කැමති වෙලා. ඇතුලේ තියෙන සමහර  ඒවා අයින් කරන්න. අවසානය වෙනස් කරන්න වගේ කොන්දේසි. එසේම මගේ දුව මාසයක් විතර තිස්සේ ඇඳපු  පිටකවරය අයින් කරන්න කියල. ඔය උඩ තියෙන්නේ ඒක.  ඒ කවරේ එක්ක  ලංකාවේ විකිණීම අපහසු  බව ඔහු කීවා . දැන් ආවේ වෙළඳපල පිලිබඳ ප්‍රශ්නය. වෙළඳපල ඉල්ලීමට යට වෙනවද ?

මගේ යහළුවෝ දෙන්නෙකුට කතා කලා. විජිත සහ විතානගේ.  ඔවුන්ගේ අදහස මගේ අදහසට සමපාත වුනේ මෙහෙම. පොත් ටික විකුණා ගැනීම, බෙදා හැරීම  විතරක් ම නෙමේ අපහසු. තර්කයම පමණක්  නොව සම්මුති(compromise) මාර්ගයෙන් ප්‍රශ්න  විසඳා ගැනීම මම එංගලන්තයේ දී ඉගෙන ගත් එක දෙයක්. යාලුවෝ කීවෙත් බෙදා හැරීමේ ප්‍රශ්නයක් එනවා නේද කියල. කේ බුක්ස් එකේ භාර ගන්නෙත් පොත් 100 කියල මම දැනන් හිටිය. සංඛ ප්‍රකාශකයන් ගේ පිට කවර වල හැම එකකම  වගේ තරුණියන් ගේ ජීවමාන පින්තූර තියෙන්නේ. ඒ ගොල්ලන්ගෙන් පොත් ගන්න එන පාඨකයෝ කැමති ඒකට. මගේ යහළුවන්ගේ අදහස වුනෙත් කවුරුහරි කියවන්න ඒක ගන්නවා නම් පිට කවරය ගැන මම කරදර වෙන්නේ ඇයි කියන එක.  පිටකවරය ඒ මහත්මයට තෝරා  ගන්න දීල මම අන්තර්ගතය වෙනස් නොකරන්න එකඟ කර ගත්ත. ඒකට තව හේතුවකුත් තිබ්බ.

අපට යුද්ධය විකුනන්නේ කොහොමද ? සීතාම්බර සළු පිළි අන්දවලා එන යුද්ධයේ  සැබෑව මම දැක්කේ නැහැ? ටෙලිවිෂන් ස්ටුඩියෝ ඉස්සරහ අපි පෙළපාලි ගියා . සමහර වෙලාවට වැස්සේ තෙමීගෙන. ලන්ඩන් වල අපේ යාළුවන්ට ඒවා මතක ඇති. සල්ලි යැව්ව.  අපි දැක්කේ වීරත්වය , ආශ්වාදය, අහෝ යුද්ධයේ උතුම්  වූ පිවිතුරු වූ මුදා ගැනීම.මගේ  මේ "යුධ පිටියේ සවාරිය "   ලිපියේ ඇරබෙල් ගේ එනමින් තිබෙන නාට්‍යය ගැන කතා කරන කොට මම හෙමිංවේ සහ ගෙල්හොර්න් ගැනත් ලීව  මෙහෙම.

//හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වාර්තාකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්" බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී" යනුවෙන් ලියන මොහොතේ ජෙනරාල්  ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති. මේ අතිශයෝක්තියෙන් ඔප වැටුණු අධිතාත්වික රංගනය ම  අරබෙල්ගේ   "යුද සවාරිය" තුලින් මතු කරන යථාර්තයම වෙයි.//

ඉතින් ඉරාක ජනතාව සදාම් ගේ දරුණු ඒකාධිපති පාලනයෙන් මුදා ගන්න කරපු  ශුද්ධ වූ පිවිතුරු වූ යුද්ධය ඉවර වෙන කොට සුයිසයිඩ් බෝම්බ වලින්ම ඉරක් ජාතිකයන් දහස් ගනනක් මැරිලා. බලනකොට සදාම්වත් එපමණ  මරල නැහැ ගණන් බැලුවොත්. තවම උන්  මැරෙනවා. ඕක වුනේ  මුල්ලිවයික්කාල් වලද සිරියාවේද කියන එක අදාළ නැහැ. ඇත්ත  දැන  ගන්නකොට  මරියානා අගාධය වගේ අඳුරු කුහරයක් ඇතුලට  හිත වැටෙන්න ගන්නවා . බෝධිනී සමරතුංග ගේ "අනිත් කොන" කියවන කොට තේරෙන්න පටන් ගන්නවා ඒ පැත්තේ මිනිස්සු හිටිය විධිහ. යොමුව මෙතන. ඊට පස්සේ ලංකාවේ දකුණේ  රෝහලක පිළිකාව හැදිලා මැරෙන කොටි සෙබළියක් වන තමිලිනී  ඒ කතාව අවසන් කරල දෙනවා .

කියන්න අමතක වුණා. මම දන්නා කෙනෙක්  නොවන ප්‍රකාශක මහත්මයෙකුට  පොතේ ඊ පිටපතක්  ගිහින් තිබුන කියල කියනවා. පද්මිණි මාතරගේ එක්ක ගිය මාසේ තිබ්බ පොත්  ප්‍රදර්ශනේට ගිය වෙලේ ඔහුගේ සම්භාව්‍ය කෘති තිබ්බ  කුටියටත් ගොඩ වැදුන. ප්‍රසිද්ධ කතුවරියන් කිහිප දෙනෙක් සිටිනා අතරේ අපි වගේ අලුක්කාල් මොනවා කරන්නද කියල හිතල  ශේප් එකේ  සයිඩ් එකෙන් ඉන්න කොට  පද්මිණි මාව ඒ තුමාට   අඳුන්වල දුන්න මේ අර පොත එව්ව එක්කෙනා කියල. එයා කිව්වා "ආ  මේ සිහින පොත  නේද" කියල. එහෙම කියල එයාගේ පොත් කුටියෙන් එලියටම ගියා.

මට කියන්න හිතුන "සෝවියට් දේශය " නම් ඉතින් සමහරුන් ට හීනයක්ම  තමයි. හැබැයි අපි ඒ හීනෙ හොඳ කොටසක අපිත් ජිවත් වුනා කියල. සැබෑ කරගත් ඒ හීනේ තියා ගන්න  බැරි වෙච්ච  හෙනේ  තමයි රුස්සන්ට වැදුනේ. මම ඒක කිව්වේ නැත්ද කොහෙද.
බ්ලොග් එකේ ගැහැණු ළමයා 
දැන් කවරය 

ඒ නිසා හිතවතුනි හිතවතියනි මම තීරණය කලා අපේ ප්‍රකාශක මහත්මය නිවැරදියි කියල. මම ඔයාලට ලස්සන ගැහැණු ළමයෙක් ගේ පින්තුරයක් කවරයට දාල පොතක් ලිව්වා. මගේ බ්ලොග් එකේ දෙවෙනි පරිච්ඡේදය පළවුණේ 2015 දෙසැම්බර් 3. ඒකට දාපු රුසියානු යුවතියගේ පින්තූරය තමයි ඔය තියෙන්නේ. කවරය විතරක් බලල පොත ගැන තීරණය කරනවා නම් එහෙම කරන්න.  මොකද මමත් කරන්නේ උඹලව රවට්ටන එක. ශානිකා සශිප්‍රියා ඒක දන්නේ නැතිව පොත අරගෙන රැවටුනා. අහුවෙච්ච  හැටි මෙතන ලියල තියනවා. පොත අරගෙන රැවටෙන්න ඉන්නව නම් කියවන්න එපා ඒක. ධම්මිකා චාන්දනී අහු වුනා අනුරුද්ධ  වැලිගමගේ එක්ක. ඒවා මෙතන ලියල තියනවා. ඉතින් රැවටෙන්න  සහෘදයෙනි.

Thursday, 17 October 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පිළිබඳව ආදරණිය වියමනක් - ධම්මිකා චාන්දනී

මොහොතකට පෙර අජිත් අයියා ගේ පොත කියවා හමාර කලෙමි. ඒ සැනින් ඒ ගැන සටහනක් තැබීමට සිතුවේ පොත ගැන හිතට දැනුනු උනුසුම මැකී ගිය හොත් එය වදන් වලට ගොනු කිරීම අපහසු වන  බැවිනි. හොඳ පොතක් කියවූ විට,එයින් අප තුල කිසියම් වූ කම්පනයක් ඇති කරන බවත්, ටික දිනක් යනතුරු ඒ මතකයන් අපේ සිත් තුලින් බැහැර නොයන බවත් මා අත් දැකීමෙන් දන්නා දෙයකි. අජිත් අයියා ගේ මෙම පොතත් මා කම්පනයට පත් කල බව මුලින්ම කිව යුතුය .

එහි කියවෙන සියලු දෑ මමද , සැබෑවට අත්විඳි  කෙනෙක් ලෙස එම කතාව,පාඨකයාට දැනෙන අයුරින් ලිවීමට ඔහු ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇතැයි මට හැගේ .

කතාවේ අග භාගය වඩාත් රසවත් බව මගේ හැගීමයි.

එය කෙතරම් මගේ අවධානය ඒ වෙත ඇද ගෙන තිබුණේ දැයි කියතොත් , පොත කියවමින් සිටින අතර තුර මා හමුවිමට කෙනෙක් මා අසලට ම පැමිණි කිහිප වරක් මා අමතන තුරු මා ඔහු පැමිණි බව නොදත් අතර, එකවර ඔහු දකිද්දී මම  තිගැස්සී ගියෙමි.. ඒ තරමට ම මා ගිහාන්  ගේ ලෝකයේ ගිලී සිටි සෙයකි .

ජීවත් වෙන සෑම මොහොතක ම අප සැම නොදැනුවත් වම වුවත් කරනුයේ මතක පොදි බැදීම නොවේදැයි පොත කියවා හමාර කල පසු මට සිතුනි. පසු කලෙක ආපසු හැරී බලද්දී සුන්දර සහා ලෙන්ගතු මතක සමුදායක් ගිහාන් වෙත ඉතිරි වුනේ ඒ නිසා ම නොවේද.

කාලය ගලා යද්දි ඊට සමගාමිව අපේ ජීවිතත් වෙනස් වේ. කාලයත් සමග අපේ සිතුම් පැතුම් වෙනස් වේ . අපේ හැගීම් වෙනස් වේ . අපේ වටපිටාව වෙනස් වේ. මේ සියලු වෙනස් වීම් මැද අපේ හිත්, අපිට කෙදිනක හෝ මහත් ආශ්වාදයක් ගෙනදුන් සහා අපේ ජීවිත වලට ලෙන්ගතු මතක අමතක නොකරම ඒ සියල්ල පොදි බැදන් ජීවිතය ඉදිරියට තල්ලු කරවයි.

ආදරය යන හැගීම ඉදිරියේ එකිනෙකා අතර ඇතිවන බැදීමට ජාතිය හෝ දුරස්ථ බව අදාල නොවන බවත්, එකිනෙකා වටහා ගැනීම හා එකිනෙකා හට කෙතරම් අවංක ද යන්න මත අප බැදීම් නොනැසී පවතින බවත් මෙම පොත අපිට අවධාරණය කරන සෙයක් මට දැනේ.

තාන්යා හට සාධාරනයක් ඉටු කල යුතු යැයි හැම මොහොතකම සිතන ගිහාන් , තම මව ගැන නොතකා අතුරුදන් වූවකු සේ වෙනත් රටක, රහසේ ජීවත් වීම නිසා මා සිටිනුයේ ගිහාන් සමග තරහිනි .

පුරා අවුරුදු පහකට මට නවාතැන් දුන් මගේ නේවාසිකාගාරය ගැන මෙන්ම ඒ අසල ඇති මා දිනපතා ගමන් ගිය උමන් දුම්රිය ස්ථානය  ගැන මෙහි ඇති සඳහන  දැක මුවගට සිනහවක් නැගුනි.

අවසාන වශයෙන් , ඔබ දක්ෂ ලෙස පොත ලියා ඇති බවත්, එහි අවසන් පරිච්ඡේද කිහිපයේ බොහොමයක් වැකි මගේ මතකයේ තදින් සනිටුහන් වූ බවත්, සෙනෙහසින් මෙසේ ලියා තබමි.

Wednesday, 9 October 2019

කස ඇට දාපු අයිස් සරුවත් කතා 2

කස ඇට දාපු අයිස් සරුවත් කතා 1


මගේ දයාබර මිතුරිය වසන්තිගේ සරුවත් දොලදුක එක්ක මට අතීත සුන්දර මතක සටහන් ගණනාවක් මතක් වෙනවා. 2008 දී විතර තමයි මම මුලින්ම ඉන්දියාවට මාධ්‍ය කටයුත්තකට ගියේ. ස්වර්ණාවාහිනියේ නදීක මල්ලි (නදීක කරුණානායක )ටීඑන්එල් ගයාන් මල්ලි තව ටීවී චැනල් කීපයක මාධ්‍ය සහෝදරයෝ හිටියා.හැමෝගෙම එකම සහෝදරිය මමයි.

ලංකාවේ සරුවත් වගේම ඉන්දියාවේ චෙන්නායි තව තැන් ගණනාවකයි ඉතාම ජයට විකිණෙන පානය වුනේ අඩියක් විතර උස ලොකු වීදුරුවක් පිරෙන්න කට කපලා දෙන දෙළුම් ඩ්‍රින්ක් එක. අපේ කට්ටිය ඇවිදපු හැම තැනකදීම තලු මර මරා මේ දෙළුම් ඩ්‍රින්ක් එක ගහල අරින්න අමතක කලේ නෑ. මටත් ඒක රසවිදින්න ලොකු ආසාවක් තිබුනා. ඒත් ආසාවටවත් බිදක් වත් කටේ තිබ්බේ නැත්තේ නදීක මල්ලිගේ අණසක හින්දයි.මැස්සෝ පිරිල ඉතිරුනු , දෙලුම් බීම හදන කඩමැස්ස දිහා විතරක් නෙමෙයි ඒවා හදන මනුස්සයාගේ ඇදුම ඒකේ පාට ,ඇදුමේ කාල වකවානුව පවා නදීකගෙ විශෙශ්ෂ අවධානයට ලක් වුණා. නදීකගේ අණසක නිසා මට දෙලුම් බිඳක් තොලගාන්න ලැබුනේ නෑ .ඒ හින්දම නදීක අනික් අයගෙන් අහපු බැනුමුත් කෙලවරක් නෑ .නදීක බොහෝ සහෝදර සෙනෙහසින් මාව එහෙදි බලාගත්තේ කෑමට බීමට පවා සීමාමායිම් පනවලයි.ඇත්තටම කෑමබීම වලදි ඒ තරම් පිරිසිදුකම ගැන සැලකිල්ලක් දක්වපු චරිතයක් මට මුණ ගැසිලත් නෑ. ඉතින් ඒක වෙනම කතාවක්.

ඊටත් කාලෙකට පස්සේ මම ඉන්දියාවට යන්නේ වසන්තිත්, තවත් මාධ්‍යවේදීන් කීපදෙනෙක් එක්කයි. ඒත් මාධ්‍ය කටයුත්තකට . එග්මෝර් දුම්රිය පොලේ විතරක් නෙමෙයි චෙන්නායි ,ටීනගර් වගේ අපි ආගිය හැමතැනකදීම වසන්ති හෙව්ව බීමක් තිබුනා ඒ තමයි සරුවත් . මහ වැස්සේ ,තෙතබරියම් වුනු වීදී දිගේ දෙපස තියෙන කඩවල්වල සරුවත් තිබුනේ නැත්තේ වසන්තිගේ අවාසනාවට වඩා මගේ වාසනාවකට කියලා මට හිතුනේ .

ආයේ කාලෙකදි අපි දෙන්නා යාපනේ ඇතුලු උතුරේ තැන් කීපයකට ගියේ බිම් බෝම්බ ඉවත් කිරිම, එහි ජනජීවිතය ගැන අධ්‍යානයක් කරන්න. එහෙදිත් වසන්ති ගේ සරුවත් දොලදුක උපන්නා .අපි ඇවිදින හැමතැනකදීම වසන්ති ගේ ඇස්දෙක සතුටින් හෙව්වේ සරුවත් කියලා මම දැනන් උන්නා . දෙයියන්ගේ නාමෙට සරුවත් හම්බුවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කලා. කොහොම හරි මේ සරුවත් දොලදුක ආරංචි වුන බූ ඔය කෑම්ප් එකේ හමුදා නිලධාරියෙක් වසන්තිට විතරක් නෙමෙයි මටත් සරුවත් බෝතලයක් ලැබෙන්න සලස්වලා තිබුනා .

මේ ගමන පොත් සල්පිලේදි ආයෙත් සරුවත් කතාවක් ඇදිලා ආවේ, ලන්ඩනයේ හිටපු කොළඹ ගමයා අජිත් නිසයි. ලන්ඩනයේ විතරක් නෙමෙයි රුසියාවෙත් අවුරුදු ගානක් ජීවත් වුනු , ජින්, විස්කි බ්‍රැන්ඩි වොඩ්කා රහබලපු අජිත්ට කස ඇට දාපු අයිස් සරුවත් බොන්න බොහෝම ප්‍රේමනීය ආසාවක් ඉපදිලා. පොත් සල්පිල පුරා අතින් කටින් පොත් එල්ලගෙන මහ වෙහෙසකින් මගේ පොතුත් උස්සගෙන ආපු වසන්තිගේ ඇස් දෙක තරු දෙකක් වගේ දිදුළනවා . පාට පාට ,මේ සරුවත් බොන්න මගේ හිත නම් පැකිලුනා .ඉතින් වසන්ති කිව්වා වගේම උණුම උනු බතල පොල් ලුණුමිරිස් එක්ක බතල පිගානක් හිස්කරල සරුවත් බිව්වා ඒ ගැලපීම නම් මට හිතා ගන්න බෑ. හරියට බෝල්ට් ඇණයි අයිස් ක්‍රීම්‍ වගෙ. නොගැලපෙන දහසක් අතරේ ගැලපෙන දේවල් හමු වෙන විදිය...

- පද්මිණි මාතරගේ 

කස ඇට දාපු අයිස් සරුවත් කතා 1


සරුවත්......
පොත් ප්‍රදර්ශනය බලන්න මෙදා සැරේ තරම් උනන්දු වුණු අවුරුද්දක් නැති තරම්. පොත් ගත්ත ප්‍රමානෙත් එතරම්. දවස් දෙකක්ම සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් වෙන් කළා.

පොත් ගොඩ උස්සගෙන ඇවිදින එක තමයි අමාරුම වුණේ. පොත් ප්‍රදර්ශනේට ගිය එක දවසක් වෙන් වුණේ මගේ මිතුරිය වෙනුවෙන් (පද්මිනී මාතරගේ) ඒ එක්කම තවත් යාළුවෙක් එක් වුණා.
ඇවිදලා ඇවිදලා මහන්සි වුණ තැන පොත් මිටි එක්ක තවත් දුර යා ගන්න බැරිවුණා.
" අපි යමු මොනවා හරි බොන්න." යාළුවන්ගේ යෝජනාව වුණා. ලන්ඩනයේ ⁣වෙසෙන මගේ අනිත් මිත්‍රයා ( කලකට පෙර ලංකාවේ ) යෝජනා කළේ සරුවත් බොන්න යන්නයි.
"සරුවත් බොන්න." මම පුදුමෙන් ඇහුවා.
"ඔව්....මගේ ප්‍රියතම පානයක් සරුවත්. ඇයි?" ඔහු මගෙන් ප්‍රශ්ණ කළා.
"මමත් හරිම ආසයි සරුවත් වලට. " මම කිව්වා.
" එහෙනම් අපි යමු. මම උදේ පොත් ප්‍රදර්ශනේට එනකොට තැනක තියෙනවා දැක්කා." මට පුදුම හිතුණේ ලන්ඩනයේ අවුරුදු ගාණක් ජීවත් වුණු ඔහුට මට වගේ සරුවත් ආසාවක් ඇතිවුණේ කොහොමද කියලා. කොහොම හරි ඔහුගේ යෝජනාවට අනුව සරුවත් බොන්න තීරණය කළා.

ඊලඟට ඇතිවුණ ප්‍රශ්ණය තමයි කොහෙද සරුවත් කඩේ තියෙන්නේ? මගේ මිත්‍රයා ට ලංකාව නුහුරුයි වගේම පොත් ප්‍රදර්ශනේ විවිධ ඉසව් ගැනත් නිච්චියක් නැහැ. මගේ මිත්‍රයා කියන, කියන ඉසව් වලට ගිහින් සරුවත් කඩේ හෙව්වා.අවසානයේ අපි පොත් ප්‍රදර්ශනේ පුරා ඇවිදලා, අැවිදලා සෑහෙන පරිශ්‍රමයක් දරලා තැන හොයා ගත්තා.
අපිත් එක්ක සංඛ පොත් ප්‍රකාශන ආයතනයේ හිමිකරුත් එකතු වුණා.

ඔන්න ඉතින් අපි ක⁣ඩේ හොයා ගත්තා කියමුකෝ.
එතන පෝලිමක්. බලනකොට අපි වගේම සරුවත් වලට කැමති තව හුගාක් අය පොත් ප්‍රදර්ශනේට ඇවිත්නේ.

ටිකක් පෝලිම දිගයි. අපි පෝලිමේ ඉදන් අපේ වාරේ එනකන් බලන් හිටියා.
"අනේ මේ සරුවත් නෙවෙයි." සරුවත් එක දැකපු ගමන් මම කිව්වා.පද්මි කිව්වේ ඔය සරුවත් තමයි කියලා. ලන්ඩන් මිත්‍රයට නම් ඒකේ වගක් නෑ. මොකද රතු පාට බීම එකේ කස කසා ඇට දාලා තිබුණු නිසා ඔහු හිතුවේ ඒ තමයි සරුවත් කියලා. මොකද අවුරුදු ගාණකින් ඔහු ලංකාවේ සරුවත් බීලා තිබුණේ නෑ.
"හද්දා පිටිසර ගමක ඉපදුනු මට කියලා දෙන්න එනවද සරුවත් ගැන." මම මගේ සගයින්ට සරුවත් හදන නියම ක්‍රමය කියලා දුන්නේ ලඟ තිබුණු බංකුවක වාඩිවෙලා. ඒ එක්කම අපි අලුත් අත්හදා බැලීමකුත් කළා..ඒ තමයි බතල සමග සරුවත්.
නරකමත් නෑ කියලා හිතුණා කාලා ඉවරවුණාම.
මේ සටහන ලියන්න හිතුණේ අපිත් එක්ක සරුවත් බීලා ලන්ඩන් ගිය කොළඹ ගමයා (අජිත් ධර්මකීර්ති) ලන්ඩන් ගිහින් සරුවත් එක්ක තවත් මොනවද එකතු කරලා (?) බිව්වලු.
හැබැයි ඒ අමුතු ජාතියේ අලුත් බීම එක ගැන නම් අපි කියන්න දන්නෙ නෑ.
බතල බයිට් 

සරුවත් සෙල්ෆිය  

ලංකාවේ  සරුවත් 

වසන්ති නානායක්කාර
2019/10/08

ඒ බීම  ජාතිය තමා සරුවත් සමග ජින් පොඩ්ඩක් කලවම් කරන ලද  සරුවත් කොක්ටේල් එක.
ලන්ඩන් සරුවත් 

සරුවත් සමග ජින් 

Thursday, 3 October 2019

පරිවර්තනයක් වගේ ඒත් පරිවර්තනයක් නොවේ

H 197 කුටියේ 
මගේ ඥාති දියණියක් "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කියෙව්වලු එක හුස්මට (ඒ කියන්නේ දවස් දෙක තුනක් ගිහින් මිනිත්තුවට හුස්ම 16 විතර අරගෙන). හරි දුකයිලු. ඇයි දෙන්න අන්තිමට .......(ප්‍රකාශක මහත්මය කිව්ව එකම අහනව). මම කිව්වා හැම කතාවෙම එහෙම වෙන්නේ නැහැ කියල. පෙරේද කෝල් එකක් ආව ලංකාවෙන්. කතා කලේ ජානක. එයාගේ ආදරණිය බිරින්දෑ පොත කියෙව්වාලු එක හුස්මට. හරිම අසාවෙන්ලු කියෙව්වේ. පරිවර්තනයක් වගේ ලු. ජානක කියනවා වසර 30 ආපස්සට ගියා කියල. සෝවියට් කාලෙටබොහොම ස්තූතියි ජානක කෝල් එකට.

ඒක කිව්වහම මතක් වුනේ පාලිත සේනාරත්න හමුවෙලා කතා කළා මහින්ද සෙනරත් ගමගේ ගේ H 197 කුටිය ගාව. ඒකෙ මහින්ද කරපු පරිවර්තන ගොඩක් තිබුන. ඒ අතරම කුටියේ  රාදුගා , ප්‍රගති ප්‍රකාශක ලගේ පොත් දැදිගම  වී රුද්‍රිගු ගේ පරිවර්තන හෙම හුඟක් තිබුන.

 පාලිත මාව මහින්ද ගාවට යොමු කළා . මේ ඉන්නේ අර "ප්‍රථම ප්‍රේමය ලියපු කෙනා " කියල.
මහින්ද කියවමින් හිටි පොත (ජෙනරල් ගේ කතාව ) දිහා බලාගෙන ම ඇහුව.
"ආ හොඳයි කවුද ලීවේ "
මම කෙටියෙන් පිළිතුරු දුන්න "මම " කියල.
මහින්ද අහනව ආයිත්
" නෑ කවුද ලේඛකයා "
මම ආයිත් කියනව "මම තමා "

එතකොට තමා මහින්ද ඔලුව උස්සල බැලුවේ. උපැස් යුවල උඩටත් ගත්ත. ටිකක් වෙලා ගිහිල්ල කියනවා.
"ආ මේ පොල්කට්ටෙන් එපිටට " ලියපු කොළඹ ගමයා නේ කියල.

මම මහින්දව කවදාවත් දැකල තිබ්බේ නැහැ ඊට කලින්. මහින්ද දිගටම කියව ගෙන ගියා "කියුබාව සමාජවාදී ද " , "යුගොස්ලාවියානු කෙල්ලෝ තුන් දෙනා ගැන " ආදී ඒ පොතේ තිබූ ලිපි ගැන.
එයා හිතල තියෙන්නේ මම රුසියානු ලේඛකයෙක් ගේ පොතක් පරිවර්තනය කරලා කියල මේ පාර. ඒකෙ හේතුව මම පොතේ නම පිට කවරයේ රුසියානු භාෂාවෙනුත් ලියපු නිසා කියල මට හිතුනේ.

කොහොම වුනත් මාර සතුටක් දැනුන හිතට, අවුරුදු තුනකට කලින් ලියපු පොතක දේවල් මහින්ද සෙනරත් ගමගේ වගේ වගේ ප්‍රසිද්ධ පරිවර්තකයෙකු හා ලේඛකයෙකු ගෙන් අහන්න ලැබීම ගැන.(ඉහල පින්තුරය H කුටියෙන් )
එදා හැන්දෑව 

Saturday, 28 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර 3 -ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක - පද්මිණී මාතරගේ

ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක ,සැන්දෑවක ,මිහිර හිතට එක් කලේ කොළඹ ගමයා (අජිත් ධර්ම ) ගේ ප්‍රථම ප්‍රේමය ඔබ නෙවේ නිසයි.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදි තිබුනු ඒ පොත් දොරට වැඩුම සුවිශේෂී අංග කීපයක් නිසාම වඩාත් රසවත් හෝරාවක් වුනා කියලයි මට හිතෙන්නේ.

ලන්ඩනයේ ජීවත් වෙන, පරිගණක  මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන අජිත් තුල මේතරම් සුන්දර සාහිත්‍යවේදියෙක් ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුනා. කොළඹ ගමයා බ්ලොග් එක ඒ දවස්වල ආසවෙන් කියෙව්වට ඒක ලියපු අජිත්ව මම මුලින්ම දැක්කේ මීට අවුරුදු කීපයකට කලින් ,විපුලි ලංකාවට ඇවිත් , සුන්දර රාත්‍රියක , රෑ පින්නේ ..මීගමුවේ කෝටේජ් එකක එළිමහනේ අපි හැමෝම වෙනුවෙන් තිබ්බ උත්සවයකදී යි. ඒ කතා ගොඩාක් දිගයි. .. ආදරණීයයි ... ඒක එහෙමයි .

කොහොම වුනත් පහුගිය දවසක රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදි අපි නැවත හමුවුනා. අපි කිව්වට අජිත්, මම , වසන්ති , ප්‍රියා, සිසිර යාපා ඇතුලු තව බොහෝ දෙනා ඒ හමුව ඇතුලේ හිටියා. අජිත්ගේ වැඩේ වුණාට මගේ යාලුවොත් කීප දෙනෙක්ම ඇවිත් හිටියේ, මට වගේම අජිත්ගේ කොළඹ ගමයට පෙම් බැන්ද අය නිසයි . ඇත්තටම ඒක අතිශය සොදුරු සැන්දෑවක්.

මීට කළින් දවසක අපේ සිසිර යාපා ෆ්බී එකට ලියල තිබුණා වගේම සෝවියට් සමූහාණ්ඩුව ගැන මටත් තියෙන්නේත් අතීත කාමයක්. ඒ අතීත කාමය නිසාම කොහේ කොතැනක පොත් සම්බන්ධ වැඩක් තිබුනොත් තාමත් රුසියානු පොත් සෙවීමේ ,පොත් ගැනීමේ ආශාව නැති වෙලා නෑ.

මගේ ලෝකේ අදටත් ආදරෙන් ඉන්න චරිත අතර පාවෙල් කොර්චාගින්, සෂෙන්කා, සුන්දර නතාෂා,ආල්කා, දුයිෂෙන්, අල්තිනායි,ඉසෙර්ගිල් මැහැල්ල මේ හැමෝම තාමත් මා එක්ක ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නේ .

විප්ලවයේ කැඩපත කියලා ලෙනින් කිව්ව ටෝලස්ටෝයි වගේම මැක්සිම් ගෝර්කි, දොස්තයෙව්ස්කි තව ගොඩාක් දෙනාත් ඒ හිතේම බොහෝම ආදරෙන් ඉන්නවා .

සෝවියට් දේශයේ සමාජවාදී කඳවුර බිඳ වැටීම, ස්ටාලින්ගේ පාලනය වගේම විප්ලවීය ජනතා අරගලත්,සැබෑ මිනිසෙකු ගේ කතාවක්, ගුරු ගීතය,වානේ පන්නරය ලැබු හැටි මේ වගේ පත පොත ඒවායේ ජීවමාන චරිතත් මගෙ හිතේ තාමත් ජීවත් වෙනවා කියලා මට වැඩියෙන්ම දැනුනේ අජිත්ගෙ පොත් වැඩෙත් එක්ක ගතකල ඒ සොදුරු හෝරා කිහිපය නිසයි .

මගේ රුසියානු ප්‍රේමය කොයි තරම් ආදරණීය විදියට හිතේ තාමත් තියෙනවාද කියලා තේරුනේ අජිත් පොත එළිදැක්වීම සංවිධානය කරලා තිබුනු විදියටයි. උත්සවය මෙහෙය වූයේ චූලා අයියා . චූලානන්ද සමරසේකර ලියු කියූ කවි කෙටිකතා විචාර විග්‍රහ ආසවෙන් කියෙව්වට ලස්සනට උත්සවයක් මෙහෙයවනවා දැක්කම හිත සතුටින් පිරුණා .

ආචාර්ය සුනිල් සිරිවර්ධනගේ කවි කෙටිකතා කියවා තිබුනා . ඔහු ගැන ලක්බිම පත්තරේට මම ලිපි ලියලා තිබුනා . ඒත් ඔහු මේ තරම් ම්හිරට, අතිශය හැඟීම්බරව ගිටාරයක් වයමින් රුසියානු ගීතයක් ගායනා කරනවා දැක්කේ මුල්ම වතාවටයි. ඒ ගී හඬත් එක්ක මගේ හිත ස්ටෙප්ස් තණ බිම පුරා දිව ගියා. දොන් නදිය දිගේ පාවුණා. බීරියොසා ගස් අතරින් වගේ රිබීන කුරුල්ලන්ගේ පියාපත් අතරින් දිවගියා.

චන්ද්‍රගුප්ත තේනුවර ඔවුන් රුසියාවේ ගතකල ජීවිතේ ගැන කියද්දී , දෑස් පියාගෙන අහන් උන්නේ,ඒ ආදරණීය සුන්දර පරිසරය හිතින් මවා ගෙන. රුසියානු නර්තනයන්, රුසියානු ගීත මේ සියල්ලම කියන්න බැරි තරම් මිහිරක් හිතට ගෙනාවා.

ඒ සොඳුරු හෝරාවේ මිහිරෙන් සියල්ලන් ඒකාත්මික කරන්න ඔයා ගත් වෙහෙසට ගොඩාක් ස්තූතියි ආදරණීය අජිත්..

ඉතින්..අජිත්ගේ එහෙම නැත්නම් ආදරණීය "කොළඹ ගමයාගෙ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ කෘතිය ,මගේ රුසියානු සාහිත්‍යයට තියෙන අසීමිත ප්‍රේමයත් එක්ක මිහිරට රසවින්දා. ආදරය, දේශපාලනය , ශෘංගාරය මේ සියල්ල ගිහාන් තාන්‍යා ආදර කතාව තුල සනිටුහන් වෙලා තිබුනා. එක හුස්මට කියවන්න පුලුවන් රසවත් පොතක්. පිටු 360 ක් පුරා මේ ආදර කතාව එක්ක නිලධාරිවාදය , ඔත්තු සේවා..මේ සියල්ල අපූරුවට පෙළ ගස්වා තිබුන.පොත හුඟාක් ලස්සනයි .

පොතේ පිටකවරය ගැන ඔයාගේ මිතුරු මිතුරියන් විවිධ දේ ලියා තිබුනා . එහි පාඨක ආකර්ශනය සම්බන්ධයෙන් ගැටලු තියෙන බවයි බොහෝ දෙනා පෙන්වා දී තිබුනේ. ඒත් මම ඒ ගැන කිසිවක්ම කියන්නේ නෑ. මේ පොත කරද්දී මුහුණ දෙන්න වුනු කටුක දේ අප්‍රමාණයි කියලා මට හිතෙන්නේ . ඒක අජිත්ටත් දැනුනද කියන එක සැකයි. ඒත් මගේ නම් හිත රිදුනා. හිත සැලුනා.

ලන්ඩන් සහ කටුනායක ඉදල එහාට මෙහාට කාලයක් තිස්සේ ගිය දුරකථන සංවාද, මෙසෙන්ජර් මගින් හුවමාරු වුනු පණිවිඩ අප්‍රමාණයි . සිත් රිදවීම් මෙන්ම ඒකපාර්ශ්විය තරහවීම් 😃😃😃අප්‍රමාණයි. තරහ වෙන්න දෙන්නෙක් නැති වීම කොච්චර අඩුවක් ද කියලා මට හිතුනා .

අත්පිටපත නොකියවාම එය සීනිබෝල පොතක් කියල ප්‍රතික්ෂේප කරපු, තමන් මහ දැවන්ත ප්‍රකාශකයින් කියල අධිතක්සේරුවක සිටි ඇතම් ප්‍රකාශකයින් නිසා ඇතිවුනු සිත් රිදවිම් මේ සියල්ල මැද අජිත් මේ පොත කිරීම ගැන , ඒඅභියෝගයට ඉතාම සැහැල්ලු වෙන් මුහුණ දීම ගැන අප්‍රමාණ සතුටක් මට තියෙනවා .ඉතින් පොතටම එහෙම වෙද්දී පොතේ පිටකවරය ගැන මම මුකුත්ම කියන්නේ නෑ.

මම පොතක් කරන්නේ නෑ කියල ලවක්දෙවක් නැතිව බණින  මිත්‍ර නඩේ ලොක්කි තමයි වසන්ති. වෙලාවකට ආදරණීය යාලුවෙක් නොකිව යුතු දේත් ඒ අතර තිබුනා . පොත් මාතෘකාව නිසාම තරහ වුනු වාරත් අනන්තයි.

ඊලගට කවි පොතක් හරි කරන්නකෝ පද්මි කියල ඇවිටිලි කරන්නේ සුජි. එයා කැම්පස් යනකාලේ ඉදන් බොහෝම සෙනෙහසින් කරන ඉල්ලීමක් ඒක. දැන් දරු 3 දෙනෙකු ගෙ අම්මා කෙනෙක්. ඊ ලගට සුනේත්‍රා .ලක්බ්මේ ඉදිද්දි වගේම දැන් ස්විස්ටර්ලන්තයේ ඉදල වචන 100ක් කතා කලොත් 95 ක් ම පොත ගැන ඒ හැරුනම සිසිර ,ගයාන් මල්ලි.. විමුක්ති මල්ලී ඔය විදියට පරපුරක්ම ඉන්නවා. ලිස්ට් එක තව ගොඩාක් දිගයි. ඒ හැරුනම පොත් කතන්දරේදි අමතක කරන්නම බැරි අනික් චරිතය ආදරණීය ප්‍රියා නංගී ..දැනුත් කතා කලේ ඒ ගැන .

ඉතින් තවමත් පොතක් ලිව්වේ නෑ . ප්‍රකාශන ගැටලුව බොහෝම කටුක නිසා මම දිගින් දිගටම අත් හැරලා තියෙනවා . ඒක අතුරු කතාවක් .

අජිත් මේ සියල්ලටම නොසැලී මුහුණ දෙමින් සුන්දර කතාවක් අපිට තිළිණ කරලා තියෙනවා. ඒ ධෛර්යයට මම ගරු කරනවා .

ඔයා අතින් තව තවත් අරුත්බර සුන්දර නිර්මාණ බිහිවේවා !!!

-පද්මිණී මාතරගේ

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ,   බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග 

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " -විචාර 2 - සිසිර යාපා 

Friday, 27 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " -විචාර 2 - සිසිර යාපා

මුල්  කවරය 


ධනවාදී වෙළඳ පොලේ සාර්ථකත්වය උදෙසා 

මෙහි සඳහන් කවරයේ කතාව සඳහා පැහැදිලි කිරීමක් වෙනත් බ්ලොග් ලිපියක කරමි. - අජිත්

සිසීර යාපා සහෝදරයාගේ සටහන-

පහුගිය දවසක අජිත් ධර්මකීර්තිගේ ' ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' පොත ගත්තා. හුඟ කාලෙකට පස්සේ පොතක පෙරවදනින්ම කියවන්න ගත්තා. පටන් ගන්න කොටම ෆෲෆ් බලලා නැති එක අහුවුනා. ඒත් ඒ පෙරවදන සෝවියට් සමූහාණ්ඩුවට මගේ ඇති අතීතකාමය නිසා ආසාවෙන් කියෙව්වා. ඒ පෙරවදන USSR ඉදලා රුසියාව දක්වා පෙරළුණු ඉතිහාස කථාවේ සංක්ෂිප්ත සටහනක් නිසා පෙරේත කමින් කියෙව්වා.
අජිත්ගේ බස මටනම් බුහුටි බහක්. කියවන්න හිතෙන බසක්.
ඒ නිසාම මුලු පොතම එක හුස්මට කියවන්න පුළුවන් වුනා. ඒක යෞවන ආදරය, දේශපාලනය, ශෘංගාරය එකට තියෙන ලස්සන කතාවක්.
ගිහාන් සහ තාන්‍යා ආදර කතාව පිටු 360ක් පුරා ගලන්නේ ලෝක දේශපාලන මතකයන් එක්ක. කේජිබී ඔත්තු සේවය, පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිලාභ, නිලධාරිවාදයේ අනිටු ඵල. හැම දෙයක්ම අත්දැකීම් ඔස්සේ ලියවුණු රහැති පොතක්.
ඒත් ඒ රහ මැකෙන තැන් පොතේ බහුලයි. පළවෙනි දේ වැරදි අක්ෂර වින්‍යාශය. දෙක හොදින් සංස්කරණය නොකිරීම. ඒ දෙකම කළ යුත්තේ ලේඛකයා නෙමෙයි. ඒත් අපේ අය ඒ දෙකම හරියට කරගන්නේ නැහැ. මේ පොතෙත් එහෙමයි.


මම දැක්ක ලොකුම අවුල පොතේ කවරය.
ඒක පොතේ රහට ලංවෙන්නවත් බැරි දුප්පත් කවරයක්.

ලංකාවෙන් ගිහින් සෝවියට් දේශයේ ඉගෙන ගෙන, ජර්මන් තරුණියක් විවාහ කරගෙන, එක්සත් රාජධානියේ ජීවත්වෙන 'කොළඹ ගමයට' තමන්ගේ අලුත් පොතට ආකර්ෂණීය කවරයක් හදාගත්තේ නැති එක ලොකු වරදක්. මම හිතන්නේ පොතක කවරය තමයි පාඨක අපිව ඇදලා ගන්නේ. ඒක අනාකර්ශණීය නම් අලෙවිය අසමත්. ඒ අතින් අජිත්ගේම 'පොල්කට්ටෙන් එපිටට' පොතේ කවරය ලස්සනයි.
පොතේ දෙවන මුද්‍රණයක් කළොත් මේ කරුණු ටික ගොඩදාගත්තොත් මරු.

මේ අවුල් අතහැරලා පොත කියවන්න ගන්න. මොකද අජිත් ධර්මකීර්තිගේ 'ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' එක්තරා විදිහක 'සමාජවාදී' රාෂ්ඨ පාලනයේ කතාව කියන සුන්දර නවකතාවක්.

~~~~~~~~~~සිසිර යාපා

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ,   බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග 

Thursday, 26 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ, බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග





ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ!

කොළඹ ගමයා නොහොත් Ajith Dharmakeerthi මා කලක සිට බෙහෙවින් ප්‍රිය කල බ්ලොග් රචකයෙකි.
කලකට පසු සහෘද බ්ලොග්කරුවන් සමඟ අජිත් අයියාගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" දොරට වැඩුමට සහභාගී වන්නට ලැබීම මහත් සතුටකි.

මේ එහි එන එක් පරිච්ඡේදයකින් කොටසකි.

[ තාන්‍යා ඇගේ නිල් පැහැති දෙනෙත් රවුම් කරමින් ඔහු දෙස බලා සිටියාය.
" ඔයත් මාව දාලා යයි. කලින් මට ඒක කමක් නැහැ කියලා හිතුනත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ." ඇය කීවාය]

තවම පොත කියවා අවසන් නොකළ මුත් ප්‍රේමයේ සියුම් රිදීමක හැඟීමක් දැනෙන මේ සටහන ම පොත කියවන්නට මහත් උත්තේජයක් වූ බව නොකියාම බැරිය.

එන්න ඔබත් කියවන්න
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ"

ඔබට ආරාධනා කරන්න
මං
එරන්දී

--බුද්ධිකා එරන්දි ජයසිංහ

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඊයේ හවස අජිත් අයියගේ පොතට දුවගෙන ආවේ හසිනි භාග්‍යා නංගිගේ කවිපොතේ කතාව අහවර කරලා... නොසිතූ පරිදි මුලින්ම ඒ කවිපොත ගැන කතා කරන්නට ලැබීමත් මුල්ම කතාව ලැබීමත් නිසා randika එක්ක මට අජිත් අයියාගේ පොතට දුවගෙන එන්න හැකි වුණා.
රුසියාවේ ප්‍රේම කතාව ජනගත කළ සැඳෑවත් හරිම අපූරු උත්සවයක් !

සුනිල් විජේසිරිවර්ධන මහත්මයාගේ කතාව, චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයාගේ කතාව රුසියාවේ ඔවුන් ගත කළ කාලය ගැන එකල සිදුවීම් ගැන අපූර්වතම විචිත්‍රවත් රූප පෙළක් අප හමුවට ගෙන ආවා.
සෝවියට් සමූහාණ්ඩුව ගැන කතා අසා කියවා තිබුනාට එහි ඇවිද ගොස් ජීවත් වූ ඔවුන්ගේ කතා අහන්න ලැබීමත් මේ පොත දොරටවැඩුමට වටිනාකමක් එක් කළා.

චූලානන්ද සමරනායක මහතා බොහොම සීරුවට උත්සවය මෙහෙයවූයේ පමාවී ආරම්භ කළ ද හරි වෙලාවටත් කලින් උත්සවය අවසන් කරන්නට ඔහුගේ මෙහෙයවීම ඉවහල් වුණා කීවොත් නිවැරදියි.
අතරින් පතර පොත කියැවීමට තරු අක්කත් මමත් ඉවාන් පවුලුශාත් වේදිකාවට නැග්ගා.

රුසියානු නැටුම් අපව අමන්දානන්දයට පත් කළා.
අජිත් අයියා සහ අපි හැමෝම හමුවෙන්නේ බ්ලොග් නිසා. කොළඹ ගමයා ලෙස බ්ලොග් එක ලියූ අජිත් අයියා ලියූ පොල්කට්ටෙන් එපිටට සහ සියාමා පොත් එළි දක්වන අවස්ථාවේදීත් අපි මෙලෙසම පැමිණියා මතක ය.

මීට අවුරුදු 10 කට කලින් ලියන්නට යෙදුනු බ්ලොග් පිටු අතරේ ලියැලුණු සහෝදරත්වයට දැන් බොහොම කාලයක්.
උතුරු කොනේ ඉඳන් බ්ලොග් එක කීව මට මේ හැමෝම හමුවෙන්න ලැබුනේ කාලයකට පස්සේ. අපේ නිර්මාණ එළි දක්වන්න එකල බ්ලොග් අඩවි හොඳම වේදිකාව තනා දුන්නා කීවොත් නොවැරදියි.

මට අපි හැමෝගෙම පින්තූර ගන්න බැරි වුනාට. Buddhika Erandi Jayasinghe ගේ සොඳුරු කාචයට මේ හැම හමුවෙලා තිබුණා. Prasanna Mudunkotuwa ගේ කාච සටහන් ලැබෙන තුරු මෙලෙසින් අකුරු කරමි.

බෝධිනී සමරතුංග
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මලගිය ඇත්තෝ හී දෙවොන්දාරෝ සං නොරිකා සං ගේ ප්‍රේම කතාව සේම ඔරුවල බන්දුගේ පස් අවුරුද්ද සේ අලුතින් ලියවෙන දේශ දීපාන්තර දෙකක දෙදෙනෙකුගේ ආත්මීය බැදීම අජිත් අයියාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ නවකතාව ජනගත කලා. ස්තුතියි අජිත් අයියේ ඔබේ පොතේ පිටු අතර මා නමත් රැදෙව්වාට.

අසංග රණසිංහ ආරච්චි (කොලොම්පුරේ)

Friday, 6 September 2019

විජිත ගුණරත්න ගේ ප්‍රථම ප්‍රේමය ගැන නොවේ

මුල් පිට කවරය 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ "පරාරෝපණයේ විපාකය" (Alienation effect) සිද්ධාන්තය අනුගමනය කරමින් නාට්‍ය නිර්මාණයේ  යෙදෙන ප්‍රවීණ  නාට්‍යවේදියෙක්  හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු  වන විජිත ගුණරත්නයන් ට  "ප්‍රථම  ප්‍රේමය  ඔබ නොවේ " කෘතිය ගැන ලිවීම  සමහර විට  අපහසු කාර්යයක් වන්නට ඇත. නමුත් ඔහු එය කියවා ඇතැම් වෙනස් කම් පවා යෝජනා කර, දුරකතනයෙන් පැය ගණන් සාකච්ඡා කරමින් දුන් උපදෙස්  කෘතිය පරිපුර්ණ කිරීමට ඉමහත් සහයක්  වුනු බව මතක් කරමි. වෙළඳපොළ ට නිකුත්වන ප්‍රකාශනයක්  සමබර කර ගැනීමට ඒ අදහස් පිටුවහලක් වුනු බව නොකියා  බැරිය. මා එම සමබරතාවය ආරක්ෂා කර ගත්තාද යන්න නිර්ණය කිරීම ආදරණිය පාඨකයන්ට භාර කරන්නෙමි.


විජිත ගුණරත්නයන්  "ප්‍රථම ප්‍රේමය ඔබ  නොවේ " කෘතිය පිළිබඳව පළ කළ අදහස්. 

පසුගිය වකවාණු වලදී සෝවියට් රුසියාව  ගැන ලියවුනු ලිපි මෙන්ම, සිංහලට පරිවර්තනය කෙරුණු රුසියානු සාහිත්‍යය සමග ලෝක සාහිත්‍යය වෙත අපව යොමු කිරීමද කෙරුණ බව ඇත්තය. වර්තමානයේ වේගයෙන් ප්‍රචලිත වෙමින් තිබෙන බ්ලොග් ලේඛන රටාව නිර්මාණාත්මක ලෙස හසුරුවා ගනිමින්, සෝවියට් දේශයේ විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස මෑත ඉතිහාසයේ කතුවරයා විසින් අත්විඳින ලද කරුණු කාරණා සංයමයෙන් තෝරා බේරා ගනිමින්, කරන විමර්ශනය සමග බොහොමයක් පරිවර්තන කෘතිවලින් කියවන්නට නොලැබුණ, නව මානයක් ඔහු විසින් මේ කෘතියෙන් විවර කර තිබේ.

චරිත මුහුණ දෙන විවිධ අත්දැකීම් සහ සංසිද්ධීන් එකින් එක වාර්තා කිරීම වෙනුවට අවස්ථානුකූලව තෝරාගත් සිද්ධි නාට්‍යමය ආකාරයකට ගලපාගනිමින් මතුවෙන අනුභූතිය එක්වරම වින්ද අදරා ගැනීමට ඉඩ නොදී , සිද්ධිය සහ සිදුවීම පසුපසම නොගොස්, ඒ අවස්ථා යලි යළිත් පරිසරය සමග ගලපා කල්පනා කළයුතු තැනට පාඨකයා යොමු කිරීමට ඔහු වෙර දරයි. කතුවරයා ගන්නා එම වෙහෙස අපතේ ගොස් නැත. සරල භාෂා විලාසය ඒ සඳහා හොඳ  අත්වැලක් සපයා තිබේ.


දූපත් මනසිකත්වයෙන් යුතු සම්ප්‍රදායික සංස්කෘතික රාමුව තුල සිරවුණ පුද්ගලයන් එයින් මිදෙන්නට ඉඩක් ලැබෙන පළමු තත්පරයේදීම එයට බාහිරව හැසිරෙන අතර, සමහර අය ඒ කාරිය සඳහා ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට වැඩි කාලයක් ගනියි.   මෙම සත්‍යයට සමගාමීව අප අතපත නොගා සිටි සෝවියට් සමාජය සංස්කෘතියේ සීමාන්තික දෘෂ්ඨින් වල ඇති ධනාත්මක සහ සෘණාත්මක ලක්ෂණ විප්ලවයෙන් පසුව ඉතිරිවුණ පොදු දෙයක් ලෙස දකින කතුවරයා, විවිධ සංස්කෘතීන් අතර ඇති ගැටුම ඉදිරියට ගනිමින් ඒවා ලාංකීය සමාජය මත තබා, ස්වාධීනව ඒ ගැන යළි යළිත් සිතීමට අපට අනුබල දෙයි. යම් යම් සිද්ධීන් වලට චරිත දක්වන සම්බන්ධය සහ ප්‍රතික්‍රියා වල අනුපාතය අනුව සංකීර්ණතාවයන් ද විද්‍යාමාන වන බව අප වටහා ගත යුතුය. ඒවා සර්වකාලීන ලක්ෂණ නොවේ. සිද්ධි සහ අවස්ථාව විසින් යෝජනාකරන ගති ස්වභාවයන්ය.

ඒ ඒ චරිත සුසංවාදී වූ ද පරිපූර්ණ ජිවිත සොයා දිවි  අරගලයේ නිරත වූවෝ වෙති. එහෙත් ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්තය විසින්ම විටින් විට ඒ පැතුමට බාධා පමුණුවයි. ජීවිතය ඉදිරියට ඇදෙන්නේ ස්වභාවිකව පරිසරය විසින් යෝජනා කරනු ලබන මනුෂ්‍ය උවමනාවන් ගලපාගැනීමෙන් මිස, සම්ප්‍රදාය හෝ නීතියේ අනසකට යටත්වම නොවේ. ඒ අනුව සමාජය තුළින් උපුටා ගන්නා ලද වස්තු විෂය සහ තේමාව, ප්‍රබල සංස්කෘතික ගැටුමකට මුහුණ දෙමින් සිටි පුද්ගලයන්ගේ ජිවිත වල අධ්‍යාත්මය බිඳ, අධිෂ්ඨාන ශක්තිය හීන  කරවන අයුරු  අපට  මෙහිදී පැහැදිලිව දකින්නට තිබේ.

සම්මත සදාචාර සීමා  මායිම් වලින් පරිබාහිරව ප්‍රේමය, ලිංගිකත්වය සමග ජීවිතය නිදහසේ විඳ  ගැනීමේ අවශ්‍යතාවය සමග පොර බදන මානවයා   බේරා ගැනීමට වෙර දරන ප්‍රථම ප්‍රේමය කුමක්ද? "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " සම්ප්‍රදායානුකූල නවකතා  ගොනුවට එකතු කිරීමට ඇතැමුන් අකමැති විය හැකි නමුත්, නවකතාවක් ලෙස රස විඳීමටද ද අපහසුවක් නැති බොහොමයක් ලක්ෂණ මුසු වුනු නිර්මාණයක්  ලෙස සැලකිය හැකිය.


සාර්ථක නිර්මාණයක් හැමවිටම නවතාවයකින් යුතු රටාවක්ද නිපදවා ගන්නා බව ඇත්තය. නමුත් අප අමතක නොකළ යුත්තේ රටාව පමණක් නොව අන්තර්ගතය ද නිර්මාණයේ පරිපූර්ණ වීමෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කරන බවය. මේ දෙකරුණම සමබර කර ගනිමින් නිර්මාණ කරණයේ යෙදීම පහසු නොවේ. අජිත් ධර්මකීර්ති සිය කෘතියේදී එම සමබරතාවය  රැක  ගැනීමට වෙහෙසෙයි.  සමාජ දේශපාලන  සහ සංස්කෘතික  වශයෙන්  සමකාලීන  ජිවිතයේ ලැබූ අත්දැකීම් මතින්, වස්තු විෂය සහ තේමාව උපුටා ඉදිරිපත් කිරීම සහ නිරීක්ෂණය මත  පදනම් කරගත් සමීප සත්‍යය ප්‍රවේශමින් ගොණු කර ගැනීමටද ඔහු සමත් වෙන අයුරු අගය කළ යුතුය.


- විජිත ගුණරත්න
ස්වීඩන්

 .
මතක් කිරීමක්:

අජිත් ධර්ම විසින් රචිත 

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ"

ты не моя первая любовь

කෘතිය එළි දැක්වීම

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී

2019 සැප්තැම්බර් 21

සවස 3.30 ට

සුනිල් විජේසිරිවර්ධනයන් ගෙන්  හැඳින්වීමක්  සමග 

චන්ද්‍රගුප්ත තේනුවරයන් ගේ මොස්කව් මතකයන්

මෙහෙයවීම 

චූලානන්ද සමරනායක විසින් 

රුසියානු සහ සිංහල ගීත කිහිපයක් සහ රුසියානු නැටුමක්ද සමගින්



නො 10 ඉන්ඩිපෙන්ඩන්ට් මාවත කොළඹ 7

Sunday, 1 September 2019

ස්වතන්ත්‍ර නිර්මාණ

සමහර ප්‍රකාශක නෝනලා, මහත්තුරු කියනව මේ ස්වතන්ත්‍ර නිර්මාණ නිකන් අත්දැකීම් වගේනේ. වැඩක් නැහැ කියල.
(ඒ කියන්නේ  අපට ලියන්න බැහැ. හැබැයි ඉතින් අපේ  සමහර යාළුවොත් එහෙමයි කියන්නේ . ඒ ගොල්ලන්ට අනුව සම්භාව්‍ය කට්ටියට විතරයි ලියන්න පුළුවන්)
මම මේ නිකමට අහන්නේ නිකොලායි ඔස්ත්‍රෝව්ස්කි "වානේ පන්නරය ලැබූ හැටි " එකේ ලියල තියෙන්නේ  එයාගේ මිත්තණියගේ වස්ත්‍රයෙන් තේ සමොවාර් එක අල්ලපු හැටිද කියල. මිත්තණියගේ වස්ත්‍රය තමයි ඉතින්.

"වසර 1932 දී "තරුණ ආරක්ෂකයා " සඟරාව "වානේ පන්නරය ලැබූ හැටි " කොටස් වශයෙන් පල කිරීමට පටන් ගති. මෙම නවකතාව සෝවියට් සිවිල් යුධ සමයේ ජීවත්වූ පාවෙල් කොර්චාගින් නමැති තරුණ විප්ලවවාදියෙකු වටා ගෙතුනකි. විචාරකයන් විශ්වාස කරන්නේ නවකතාවට පදනම් ව ඇත්තේ   ඔස්ට්‍රොව්ස්කි ගේ ජීවිතය  හා අත්දැකීම් බවයි.  

In April 1932 “Molodaya Gvardia” magazine began to publish “How the Steel was Tempered.” The novel is about a young revolutionary named Pavel Korchagin who supports the Soviets during the Civil War. Critics believe that the plot of the novel is based on Ostrovsky’s own life and experience.

මතක තියා ගන්න සැප්තැම්බර් 21 හවස 3.0 ට (3.00 ට විතර එන්න) රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී හමුවෙන්න.

ප.ලි
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කර්තෘගේ අත්දැකීමක් නොවේ.  එය ඔබගේ අත්දැකීමක් වීමට හොඳ සම්භාවිතාවක් තිබිය හැකිය.

https://russiapedia.rt.com/prominent-russians/literature/nikolay-ostrovsky/