Tuesday, 29 May 2018

ඇය සමුගෙන ගියාය

රත්මලානේ හෙන්ට්ලි සහ මැක්සිම් යනුවෙන් ඇඟලුම් කම්හල් දෙකක් තිබුණි. මේවා නිදහස්  වෙළඳ කලාප පැමිණීමට පෙර  ශ්‍රී  ලංකාවේ පිහිටවූ එවැනි මුල්ම කම්හල්ය. ඇය හෙන්ට්ලි ආයතනයේ සුපර්වයිසර් හෙවත්, ඈ කිවූ අන්දමට "ළමයින්"  ගේ වැඩ පාලිකාවක් වූවාය . එවැන්නියන් කිහිප දෙනෙක් ශාලාවකට සිටිති. බොහෝ විට 'ලයින්' එකකට එක් අයෙකු බැගිනි. පසුව මැක්සිම් ඇඟළුම් කම්හලේ තත්ව පාලකවරියක් (quality control) ලෙස රැකියාව ලැබුවාය.

මේ ආයතන යුරෝපයට ඇඟළුම් සැපැයූ සාර්ථක කම්හල් දෙකක් විය. මේ ආයතනයන් රත්මලානේ බොහෝ අයට රැකියා සැපයූ  ස්ථානයන්ය.

මේ 1970 දශකයේ අග කාලයයි.  මැක්සිම් සහ හෙන්ට්ලි යන ආයතන දෙකෙහිම එක දිගට වර්ජන රැල්ලක් පටන් ගැනුනි. එය පටන් ගත්තේ මැක්සිම් ආයතනයේ සේවකයෙක් කිසියම් වරදකට එලියට දැමීම හා සේවකයන්ට වැසිකිලි පහසුකම් ලැබීමේ කාලය පිලිබඳ ප්‍රශ්නයකට විය යුතුය. ඒ දිනවල කුඩා ළමයෙකු වන මට ඒ පිලිබඳ හරි මතකයක් නැත.

නමුත් අප බැලීමට පැමිණෙන ඇය අත සැමවිටම හොඳ රස කැවිලි තිබුණු බව මතකය.  ඉඳ හිට ඇඳුම් පැළඳුම්  තෑගී වශයෙන් ලැබුණි.

මේ කාලයේ ඇය, පෙමින් බැඳුණේ ඇයට වඩා  රැකියාවෙන් පහළ කම්කරු ශ්‍රේණියේ කෙනෙකු සමගය. ඔහු වාමාංශික පක්ෂයක සාමාජික ගාස්තු ගෙවන ඒ දිනවල  කොළඹ කම්කරු පන්තිය මෙහෙයවූ වා...හා බා ...දෙදෙනාගේ භක්තිවන්ත සපෝටර් කෙනෙකු විය. මේ සම්බන්ධයට විරුද්ධව මගේ පියා ඇතුළු අය  කොතෙකුත් අය කරුණු කීවද සැලුනේ ඇය නොවේ. (ඔවුන් විරුද්ධ වූයේ රැකියාව ගැන නොව ඔහු නිතරම බීමතින් සිටීම නිසාය)

ඇයට දරුවෙකුද ලැබුණි. ඇය සැමියා සමග මැයි දින රැලි වලටද  ගියාය.  මේ කාලයේ සෝවියට් සඟරා  මෙන්ම සෝවියට් පොත පත කියවමින් තරමක මාක්ස්වාදී මතයක සිටි මට ඇය පෙනුනේ සම්මතයට එරෙහිව යන, මේ  පොත් පත්වල සිටින වීරවරියක ලෙසිනි.  මා ළඟ තිබූ  "අම්මා " සහ ගෝර්කිගේ පොත් පෙළ ,"ගුරු ගීතය",  "වානේ පන්නරය ලැබූ හැටි","සැබෑ මිනිසෙකුගේ කතාවක්" ආදී සියල්ල ඇය ඉල්ලාගෙන ගෙන ගොස්  කියවා  තිබුණාය . ඇයට තමන්ව පෙනුනේ "පාවෙල්" ගේ මව ලෙසය.

මැක්සිම් ආයතනය තුල පක්ෂය මෙහෙයවූ ඊළඟ වර්ජනයට නායකත්වය දුන් අයගෙන් කෙනෙක් ඇය වූවාය. ඇය රැකියාවෙන් නෙරපා දැමුණි. අසූවේ  වර්ජනයට සහභාගී වීමෙන්  ඇගේ ස්වාමියා ගේ රැකියාව ද අහිමි වුනි.

ඒ කාලයේ එක්තරා වලව්වකට  සම්බන්ධයක් ඇති වාමාංශික නායකයෙකු ගේ නිවසට ගිය විට ගේට්ටුව වත් නොඇරවුනු බව ඇය කීවාය.

වරෙක් දහවල කෑම කන වෙලාවේ පැමිණි ඇයට අප කෑමට ආරාධනා කල විට කුස ගින්නේ සිටි  පුතාට කෑම දී ඇය කෑම නොගෙනම පිටව ගියාය. ඇගේ අභිමානය නොසැලී තිබුණි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ඇන් ඇම් ගැන කොල්වින් ගැන, බ්‍රේස්ගර්ඩ්ල් ගැන මා  මුලින්ම දැනගත්තේ ඇගෙන්ය.

යුඇන්පී රෝයල් එකට පුතා ඇතුලත් කිරීම ගැන ඇය මපියාට උපහාසයෙන් සිනාසුනාය. මා  ශිෂ්‍යත්වයෙන් සමත්ව එසේ ඇතුළත් වූ බව මම ඇයට පැවසුවෙමි.

ඇගේ පුතාට හොඳ විදුහලක් සොයා වමේ නායකයන් ගේ උදව් පැතූ බව දනිමි.  ඔහු ගියේ ඇස්වාට්ටුව පැත්තේ   රජයේ  පාසැලකටය.

මා සෝවියට් දේශයට ඉගෙනුමට යන බව අසා ඈ සතුටු වූවාය. පාවෙල්ලා ඒ රටේ තව දුරටත් නොමැති බව අසා ඈ කම්පා නොවුනාය. ඒ වනවිට ඇගෙන් පළවූයේ උපේක්ෂා සහගත බැල්මක් පමණි.

ඇය ඇගේ රැකියාව අතහැර දැමීම වරදක් බව මම ඇයට නිතර කීවෙමි. වර්ජනය කිරීම ජනතාවගේ පරම අයිතියක් බව ඇය මට නිතර කීවාය.

වර්ජනය කිරීම ගැන සමාව ඉල්ලා එජාප මන්ත්‍රී කෙනෙකු හරහා ඇගේ සැමියා රැකියාව නැවත  ලබාගත්තේ නොකළ බැරිකමට බව මම  දනිමි.

 සැමියා වෙනත් ගැහැනියක සමග සම්බන්ධයක් පටන් ගනිද්දී ඇය නොසැලී සිටියාය.

ඇගේ පුතා අතුරුදහන් විය.

ඇගේ කිසිදු වාමාංශික සගයෙකු ඇය බැලීමට පසුගිය අවුරුදු 25 තුල නොපැමිණියහ. සමහර විට ඔවුන්ද  ජිවිත සටනින් පැරදී සිටිනවා විය හැකිය.

ඇගේ දෑසේ තිබු දීප්තිය  මම ඉන්පසු නොදිටිමි. ඉඳහිට මුදලින් කල සුළු උපකාරයක්, චොකලට් එකක් දීමක් හැර වෙනත් උපකාරයක් නොකෙලෙමි. 

කිහිප දෙනෙකුගේ පමණක් දෙනෙත් තුල කඳුලක් රඳවා ඈ හුදෙකලාවම නික්ම ගොස්ය.

ලංකාවට කතා කර ඇගේ අවමගුලේ වියදම් පිළිබඳ  වගකීම භාර ගතිමි.

බ්‍රිතාන්‍යයේ රැකියාව කර ලැබෙන මුදලින් එය පියවීමට සිදුවීම ගැන ඇය මට සමාව දෙනවා නිසැකය.

සමහර ෆයර් බ්‍රෑන්ඩ් සෝෂලිස්ට් (firebrand socialist) ලා එක්කෝ අවසානයේ තම සටන පාවාදෙන බවත් නැත්නම් හුදෙකලාව මිය යන බවත් මම දැන් අත්දැකීමෙන් දනිමි.

අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ)  ඔබට සුභ ගමන්.




Thursday, 17 May 2018

ජර්මන් තානාපති කාර්යාලයේ සික්කා හා සික්කි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය 
සික්කන් යනු ආරක්ෂක නිලධාරී මහතුන් ට ඔවුන් නැති තැන හඳුන්වන ගෞරවනීය නාමයයි.බොහොම අමාරුවෙන් උදේ සිට හවස් වෙනකම් හෝ රැයක් නිදි මරාගෙන දරු පවුල රැක ගැනීමට රැකියාව කරන ආරක්ෂක නිලධාරී මහතුන් සිටි. ඒ අය පාලනය කරන්නේ බොහෝවිට විශ්‍රාම ගිය උසස් පොලිස් නිලධාරියකු හෝ විශ්‍රාම ගිය උසස් හමුදා නිලධාරියෙකි. ඔවුන්ගේ තර්ජන ගර්ජන විඳිමින් රැකියා කරන මේ මහතුන් ගේ ජිවිත කතාවල්  බොහොමයක් ශෝචනීයය. එයට හේතුව ඔවුන් ගේ රැකියාවවල විටෙක   කිසිම සුරක්ෂිත භාවයක් නැති වීම මෙන්ම අඩු පඩි ද විය හැකිය.

නමුත් සමහර  සික්කන් වැඩක් කර ගැනීමට එන මිනිසුන්ට ගෝරනාඩු කරන්නේ ඔවුන් රකිනා කාර්යාලය හෝ ස්ථානයේ අයිතිකරු තමන් යයි සිතාය. ඒ සික්කන්  යුනිෆෝම් ඇන්දාම එන අමුතු උෂ්ණත්වයද නැත්නම් වෙන හේතුවක්ද යන් මට වටහා ගත නොහැකිය.

මේ කියන කතාව  සිදුවන්නේ දැනට වසර 19 පමණ ඉහත දීය.

මගේ බිරිඳට විවාහ වීමට අවශ්‍ය වූයේ සින්හල චාරිත්‍රානුකුලවය. ඒ නිසා අපි ඒ උත්සවය ගත්තේ ශ්‍රී ලංකාවේය. ඉන්පසු සිංහල විවාහ සහතිකය ඉංග්‍රීසියට පෙරලා ගැනීම මදක් අපහසු විය. උදේ වරුවේ කොටුව පැත්තේ තිබූ එම රජයේ කාර්යාලයට ගිය විට  පරිවර්තක එදා වැඩ නැති බවත්,  නිවාඩු ගොස් ඇති බවත් කියා  දින තුනකින් එන ලෙසත් දන්වන ලදී. අපට නැවත ලන්ඩන්  යාමට තිබුනේ දින  දෙකකිනි. මෙනිසා එදාම මේ වැඩය  කර ගත යුතුව තිබුණි.

මදක් එලියට පැමිණි මම බිරියට පසෙකට වී සිටින්නට කියා නැවත ඇතුළට ගොස් කාර්ය කාර්ය සහයක උත්තමයෙකු හමුවී අවශ්‍ය ප්‍රදානයන් කලෙමි.  සෝවියට් දේශයේ හිටි  කාලයේ මේවා හොඳින් පුරුදු වී තිබුණි.  නිවාඩු ගිය පරිවර්තකයා හදිසියේ නැවත කාර්යාලයට පැමිණ තිබුණි. විනාඩි  තිහකින් පමණ ඒ වැඩේ කරගෙන අප ගියේ ජර්මන් තානාපති කාර්යාලයටය. එතනින් අපට අවශ්‍ය සීල් ගසා යුරෝපයේ සහතික කර ගත යුතුව තිබුණි.

බිරිඳ ජර්මන් තානාපති කාර්යාලයට කලින් ඇමතුමක්  දුන්නාය. තානාපති කාර්යාලයේ සිවිල්  වැඩ කටයුතු භාර නිලධාරියා සවස දෙකට  අපට එන ලෙස දැන්වීය. මුහුද පැත්තේ ටිකක් ඇවිද දහවල්  ආහාරයද ගෙන හරියට දෙකට විනාඩි දහයක්  තබා අපි එහි ගියෙමු. ජර්මානුවන් හරියටම වෙලාවට වැඩ කරන නිසා අප පමා  වීමට සිතුවේ නැත.

තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙක් සහ නිලධාරිනියක් ඇර තිබුණු ගේට්ටුව ළඟ සිටියහ. අපට විවාහය සහතික කර ගැනීමට ඇතුළට යාමට අවශ්‍ය බව කීවෙමු. ඔහු අපට  යාමට දීම එකහෙලාම ප්‍රතික්ෂේප  කළේය.  මම ඔහුට කතා කලේ සිංහලෙනි. ඒ ඔහු කැඩුණු ඉංග්‍රීසියෙන් අපට කතා කළ බැවිනි. බිරිඳ ඔහු අමතා අපට අපොයින්ට්මන්ට් එකක් තිබෙන බවත් ජර්මානු  මහතාගේ නමත් කියා නැවතත් ඇතුළට  යාමට අවසර ඉල්ලුවාය .

ඔහු වහාම කිවේ ඒ මහතා කිසිවකු හමු නොවන බවත් අප බොරු කියන බවත්ය. වහා  එලියට යන ලෙසද තර්ජනාත්මකව දැන්විය.

"නෝනව  රවට්ටගෙන පනින්නද කොහෙද?" නිලධාරිනිය කීවාය.
"මම එංගලන්තේ ඉන්නේ. මට එහෙ වීසා  තියනවා. පනින්න දෙයක් නැහැ. " කියා ගමන් බලපත්‍රය පෙන්වුවත් ඔවුන් එදෙස බැලුවේ වත් නැත.

සික්කා මුස්ලිම්  ජාතිකයකු බවද සික්කිය සිංහල බවද ඔවුන්ගේ නම් ටැග් වලින් තේරුම් ගතිමි.

මා කළේ බිරිඳට මොබයිල් එක දී (ඒ දිනවල මෝටරෝලා හෝ නොකියා  මොබයිල් එකක් මා ළඟ තිබුණි. මිල අධික නිසා භාවිතා නොකළ මුත් වෙලාවේ හැටියට කල හැකි දෙයක් නොමැති විය.) ජර්මනුවාට කතා කරන්නට  කීවෙමි. බිරිඳ දුරකතනයෙන් කතා කරන විට සික්කා ගේ තර්ජනය දැඩි විය.
තානාපති භූමිය තුල මොබයිල් පාවිච්චිය තහනම් බව කී  ඔහු පොලිසිය ගෙන්වන බවට තර්ජනය කළේය.

"ගෙන්නනව  ඕයි පුලුවන්නම් " මම කීවෙමි.
කොහොමත් ඒ පැත්තේ පොලිසි දෙක තුනකම යහළුවන් කිහිප දෙනෙක් ද සිටින බව මට මතක් විය. එසේම තානාපති කාර්යාල භුමියේ පොලිසියට කරන්නට පුළුවන් දෙයක් නැති බව මම දැන සිටියෙමි.

බිරිඳ මදක් පසුබට වූවාය. ඇයට නීතියට ගරු කිරීමට උගන්වා තිබු බැවින් සික්කාට කීකරුව ඉවත්ව යාමට සුදානම්ව  සිටි බව දැන  සිටියෙමි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නා නීතිය  නවන බව ඇය දැන  සිටියේ නැත.  මා සිටියේ රතු කට්ට ආසන්නයේය.

"Go ahead and make the call. Ignore this bloody idiot.  The man is a fool with a head full of shit.  "  මම ඇයට මදක් තදින් කීවෙමි.
"මේ අර නෝනට හොඳටම බනිනවා. මොනවා හරි කරන්න ". සික්කී සික්කා  වීරයාට කීවාය.
ඉංග්‍රීසි වත් නොතේරෙන ඇය මේ රස්සාවට පැමිණියේ කෙසේදැයි මට කුතුහලයක් ඇති විය.
බිරිඳ කතා කර විස්තරය කිවේ අර නිලධරයාටමය. ජර්මන්  තානාපති කාර්යාලයේ තානාපතිට  පසුව සිටින සිවිල් කටයුතු (මිනිස්ටර් කවුන්සිලර් ) නිලධාරියා වන ඔහු නිහතමානීව කාර්යාලයෙන්  එලියට පැමිණ අප කැඳවා ගෙන ගියේය. ඔවුන් තමන්ගේ රටේ වැසියන්ට සලකන්නේ ලෙසය.

විනාඩි  පහක් තුල  සහතිකය, සහතික කරදී ඔහු එලියටම පැමිණ සමු දුන්නේය. අප ඔහුට සික්කා ගැන පැවසුවෙමු. ඔහු මද සිනහවක් පා "ගණන් ගන්නට එපා" යයි කිවේය.
අප ගේට්ටුව  අසලට එන විට සික්කා  හා සික්කිගේ මුහුනවල් චප්පවූ තක්කාලි ගෙඩි දෙකක් මෙන් විය.

"සර් කියන්න එපාය . මම හිතුවේ මේ ගයිඩ් කෙනෙක් කියල "  ඔහු යාප්පුවෙන් කීවේය.

"ගයිඩ් කේස් එකක් නෙමේ මෙතන තියෙන්නේ ඕයි . තමුසෙලාට තමන්ගේ රටේ කෙනෙකුට සලකන්න බැරි කුහක කම. අර ජර්මන් කාරය උගේ රටේ එකෙකුටත් ඒ රටේ නොවන මටත් එකම විධිහට සැලකුවට තමුසෙලට ඒවා පුරුදු නැහැ. යුනිෆෝම් දැම්මම  පොර පාට් දානවා මිනිස්සුන්ට "

සික්කා  සිටියේ නිහඬවය.
කාර්යාල නිලධාරීන් පේන්නට සිටි හෙයින් වැඩි තර්ජනයක් නැතිව මෙසේද කීවෙමි.

"තමුසේ දන්නවද ලංකාවේ  පොලිසියට මේ ගේට්ටුවෙන් ඇතුලට  එන්න බැහැ  කියල. ගේට්ටුවෙන් ඇතුලේ භුමිය අයිති ජර්මනියට. පොලිසියට  මාව  අල්ලන්න පුළුවන් ආයේ එලියට  ගියොත්  විතරයි."

 එසේ කියා පිටව ආවෙමු.

මේ කතාව  කිවූ පසු බොහෝ සිංහල මිතුරන් කීවේ  මෙවැනි දෙයකි.

බටහිර තානාපති කාර්යාලවල මෙවැනි  රැකියා  වලට ගන්නේ දෙමළ  හා මුස්ලිම් අය බවත් ඔවුන් සිංහලයන් කෙරෙහි කටයුතු කරන්නේ ද්වේශයෙන් බවත් විසා වුවත් වැඩිපුර ලැබෙන්නේ ඔවුන්ට බවත්ය .

මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි.

එසේ නම් සිංහල ආරක්ෂක නිලධාරිනිය ඔහුට උඩගෙඩි දුන්නේ  ඇයි? යන්නට පිළිතුරක් තිබුනේ නැත.

ටුවරිස්ට් ගයිඩ් තනතුර හෙවත් සංචාරක මග පෙන්වන්නන් හට හොඳ තත්වයක් එකල තිබුනේ නැත.  නමුත් දශක දෙකකට පසු දැන් තත්වය බොහෝ වෙනස්ය. මා දන්නා පරිදි සෝවියට් රුසියාවේ හා එංගලන්තයේ උපාධි ලද අයද, අවම වශයෙන් ආචාර්ය උපාධි ලද දෙදෙනෙක්ද සංචාරක මාර්ගෝපදේශකවරු  ලෙස සේවය කරති. ඔවුන් ඉහල ආදායම් ලබන අයයි.  මාසයකට රුපියල් ලක්ෂ තුන ඉක්මවා උපයන අය සිටිති.

සික්කලා තවමත් එතනය.

අජිත් ධර්මකීර්ති  


Saturday, 12 May 2018

නුතන ලාංකික කලාවන්හි අවසාන ප්‍රභූවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස්

[මැයි 13 දා ලන්ඩනයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණය කෙරෙමින් නිධානය සිනමා දැක්ම වෙනුවෙනි]

-නන්දන වීරරත්න 


ලාංකික කලාවන්හිදී අපට මුල්න්ම හමුවෙන ප්‍රභූ පංතියෙන් එන බලවත් නිර්මාණකරුවා කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත ගෞරව නාමයෙන් ඉතිහාසාය වාර්තා කරන කව්සිළුමිණ හෙවත් කුසජාතක කාව්‍යයේ කතුවරයා වූ දෙවන පැරකුම්බාවන්ය.[කැමතිනම් ඔබට මීට පෙර සීගිරි කාශ්‍යපයන්ද මුලට දමා ගැනීමට පුලුවනි] එතනින් පටන් ගැනෙන ලංකාවේ ප්‍රභූ පංතියෙ නිර්මාන පෙලහර තොටගමුවේ රාහුල, අලගියවන්න මුකවෙටි හරහා සුර්ය ශන්කර් මොල්ලිගොඩ, දේවාර් සුර්යසේන , ජොර්ජ් කීට් හා ලයනල් වෙන්ඩ් මතින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ලැබෙන්නේය. ලෙස්ටරයන් ස්වකීය මාර්ගෝපදේශකයා ලයනල් වෙන්ට්යන් බව නිතර පුනරුච්චාරනය කිරීමෙන් මේ බව තහවුරු වන්නේය.
ලෙස්ටර් 

ප්‍රභූ පංතියක කලා නිර්මාන හා පීඩිත මැද හා පහල මැද පංතිකයන්ගේ නිරමාණ අතර බලවත් වෙනසක් ඇත්තේය. මේ බව තේරුම් ගැනීමට ඇලෙක්සැන්දර් පුෂ්කින්, ලියෝ තොල්ස්තෝයි, තර්කොස්කි, තාගෝර් හෝ අල් රුමි වෙතට යායුතු නැත. ජොර්ජ් කීට් සමඟ පාල පොතුපිට්ය හෝ එස්. එච්. සරත් ගේ නිර්මාන සසඳා බලන්න. ලෙස්ටරයන් සමඟ සන්ජය පුෂ්ප කුමාර හෝ අසෝක හඳගමගේ නිර්මාන සසඳා බලන්න. මේ සියල්ලම පසෙක ලා මාර්ටින් වික්‍රමසිංහගේ අපේ ගම සමඟ ජිනදාස විජේතුන්ගගේ මා පයට තණ නිල්ල එකට කියවා බලන්න. එසේත් නැතිනම් විමලරත්න කුමාරගමගේ කවි සමඟ මහගම සේකරගේ කවි කියවන්න එවිට ප්‍රභූ පංතියේ කලාවේ බලවත් කම නිර්ප්‍රභූන් පරයා නැඟෙන අපුරුව ඔබට විඳින්නට පුලුවන.


මැද හා පහල මැද පංතික නිර්මානකාරුවන්ගේ නිර්මාණ තුල ඇති ජාතිකවාද, ආගම්වාද, ප්‍රාදේශය වාද හෝ දරිද්‍රතාවය දේවවරමක් සේ උත්කර්ශයට නැඟ්වීම ප්‍රභූ පංතියෙන් පැමිනෙන නිර්මාණ තුල නැත. ලයනල් වෙන්ට් ගේ අගනා පිංතුරද කීට් ගේ චිත්‍රද කුමාරගමගේ කවිද ආනන්ද සමරකොන්ගේ ගීතද ලෙස්ටරයන්ගේ සිනමාවද අප ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නේය. අපේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරන්නේය.


පසුගිය සියවසේදී ලාංකික කලාවට නිර්මානාත්මක දායකත්වයක් සපයන්නට පැමිනි අවසාන ප්‍රභූවරයා හැටියට ලෙස්ටරයන් නම් කරද්දී අපට පියානෝවාදක එශාන්ත පිරීස් හා වයලීනවාදක ලක්ෂ්මන් ජොසප් ඩි සේරම් අමතක කල නොහැකිය. නමුත් ඔවුන් දෙදෙනාගේම බලවත් නිර්මානයන් තවමත් අප ඉදිරියේ දර්ශනය වී නැත. එශාන්ත ලාංකික කලාව සොයා ගනිමින් සිටියත් අප මිත්‍ර ලක්ශ්මනයන්ට තවමත් එය හමුවී ඇති බවක් පෙනෙන්නට නැත. 

මේ ගැටලුවම ලෙස්ටරයන් කෙරෙන් අපට හමුවන්නේ බැද්දේගමදීය. ලෙනාඩ් වුල්ෆ් නැමැති බ්‍රිරිතානි යුදෙව් බුද්ධිමතා ඉන්ගිරිසි අධිරාජ්‍ය වෙනුවෙන් රටවල් පාලනයට හවුල්වීමට මට උවමනාවක් නැතැයි කියා යටත් විජිත සිවිල් සේවයෙන් ඉල්ලා අස්වී ගොස් රචනා කල බැද්දේගමට බතික් අමුඩ ගස්සවා සිනමාවට නැඟුවේ මන්දැයි වරක් අපි ලෙස්ටරයන්ගෙන් ඇසු විට ඔහු උපහාසයෙන් සිනාසුනේය. විමතියට පත් අපට මද වේලාවක් නිහඬව සිට දුන්නේ අපුරු පිලිතුරකි. "මගේ චිත්‍රපටවලින් වැඩිහරියක් පාඩුවුනා. මම වැඩිම මුදලක් පොතක් සිනාමාවට නැඟිම වෙනුවෙන් ගෙව්වේ බැද්දේගමට. නමුත් මම වැඩිම ආදායම්ක් ඉපයුවේ බැද්දේගම චිත්‍රපටයෙන්. මම බැද්දේගම ජපානයට, රුසියාවට හා ප්‍රංශයට ඉහලම මිලකට විකිනුව. ලංකාවේ රසිකයෝ නොබලපු එක මට දැනුනෙ නැ" 

ලෙස්ටරයන්ට ලන්ඩනය ගැන බලවත් අතීතකාමයක් තිබුනේය. ඔහු කලක් ෆ්ලීට්විදියේ පුවත්පත්වල සේවය කර තිබු නිසාම ස්ට්‍රැන්ඩය අවට බොහො මධුශාලා බොහොමයක නම් ජීවිතේ අවසානය දක්වාම මතකයේ තිබුනේය. කිසිම තැනක සඳහන් නොවෙන ඔහුගේ ප්‍රථම විවාහයද ඉන්ගිරිසි තරුනියක් සමඟ සිදුවීම මේ අමතක කිරීමට බල කෙරුනු අතීතය තුල සැඟවී තිබෙන්නට ඇත. ඔහුගේ මස්සිනාවු ලන්ඩනයේ ප්‍රකට වාම රැඩිකල් නායකයෙක්වූ කුරු ගුනවර්ධන එක්ව ජර්මානු ටෙලිවිශනය්ක් හා හතරවැනි චැනලය සමඟ දෙමස්සිනෝ දෙදෙන රොබට් නොක්ස් සිනමාවට නැඟීමට වසර පහක් තිස්සේ දැරු අසාර්ථක උත්සාහය ඔහුගේ යුරෝපා මතකය රිදවන්නට අත. නමුත් හැමදාමත් ඔහු සිටියේ නවීන යුරෝපීයෙකු වගේය. ඇන්දේ පැලන්දේත් කතාකලේත් මනසින් යුරෝපයේ ජීවත්වෙමිනි. නමුත් ඔහුගේ මේ නුතනත්වය ජනප්‍රිය ගෝලයන් වෙනුවට මිත්‍රයන් ලබා දුන්නේය තරඟකරුවන් වෙනුවට සමකාලීනයන් ලබා දුන්නේය. ඔහු සමඟ නිර්මානවලට හවුල්වූ ඒ.ජේ. ගුනවර්ධන, රෙජී සිරිවර්ධන, තිස්ස අබේසේකර මෙන්ම ජනප්‍රිය ගාමිනි ෆෝන්සේකාද ගෝලයෝ නොවුහ මිත්‍රයෝම වූහ. 


ඔහු ලාංකික ප්‍රභූ පංතියෙන් පැමිනි එකම සිනමාකරුවා වීම නිසාම වසන්ත ඔබේසේකරට, ධර්මසේන පතිරාජට මෙන් ජීවිතේ අවසාන කාලයේ ජනාධිපති උපදෙශක, සංස්ථා අධ්‍යක්ශක හෝ වෙනත් ආන්ඩුවේ හිඟන තනතුරු වලින් ජීවිතය ගැටගසා ගැනීමට සිදු නූනේය. කොළඹ හතරේ ඩික්මන් පාරේ කුලී ගෙයක සිටියත් ලාංකික සිනමාවේ ඒකායන ප්‍රභූවරයා හැටියට මරනය තෙක්ම වැජඹුනේය. ඉතින් ලාංකීය කලාවන්ට නව නිර්මානකරුවන් ප්‍රභූ පංතියෙන් දැන්දැන් නොයෙන්නේ මන්දැයි අපි සොයා බැලිය යුතු නොවේද?



[මතකය අවදිකලාට ලන්ඩනයේ වෙසෙන ලසන්ත වික්‍රමරත්න, ගාමිනි මුතුකුමාරන හා චන්ද්‍රගුප්ත මිතුරන්ට ස්තුතියි]

- නන්දන වීරරත්න 


Thursday, 10 May 2018

ගැඹුරු මුහුද සහ ඩීප් ස්ටේට්

ගැඹුරු මුහුද ඇතුලේ සිදුවන දේවල් බොහොමයක් තවම අපි දන්නේ නැහැ. ද ඩීප් රේන්ජ් කියල පොතකුත් ආතර් සී ක්ලාක් හෙම ලියල තියනවා.

මම කියන්න යන්නේ ගැඹුරු මුහුද ගැන නෙමේ . ගැඹුරු රජය ගැන. දන්නා තරමින් නම් රජයක් ගැඹුරු නැහැනේ. ලංකාව , මාල දිවයින වගේ බලපුවහම. හැබැයි ඉන්දියාව ගැන එහෙම කියන්න බැහැ. චීනය වුනත් එහෙමයි.  ඉන්දියාවේ ආණ්ඩුව පැරදුනාට සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න  වෙනම කට්ටියක් ඉන්නව.

කියුබාව, උතුරු කොරියාව වගේ රටවල පාලනය කරන උඩින් පෙනෙන පාලක  නිලධාරී  පෙලන්තිය යට තව එකක් තියනවා. හරියට අර සමහර පක්ෂ  වගේ. එළියේ කට්ටියක් පේන්න වැඩ කරන කොට   ඇතුලේ පක්ෂය මෙහෙයෙව්වේ වෙන කට්ටියක්.

ඉතින් මම මේ කියන්න හැදුවේ "ගැඹුරු රජය " කියල බටහිර කියන්නේ රජයට ම තමයි. නමුත් රජය මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක වන අපට නොපෙනෙන සැඟවුණු රාජ්‍ය බලයක් ගැන සහ  ඒ බලය ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන ආයතනික පද්ධතියට.  "ඩීප් ස්ටේට් "කියල හඳුන්වන්නේ ඒක. ඒක බොරුවක් නෙමෙයි.

සෝවියට් දේශයේ ඒක ක්‍රියාත්මක වුනේ කේජිබි එක හරහා කියල කවුරුත් දැනන් හිටිය. රුසියාවේ නම් තවම හදාගෙන යනවා.

ඉතින් ට්‍රම්ප් ඊයේ, ඉරානයට සිමිත න්‍යෂ්ටික බලයක් (ජනතා සේවා සඳහා පමණක්) භාවිතයට අවසර දීම සඳහා  එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බලවත් රටවල් අතර අත්සන් කිරීමට  නියමිත න්‍යෂ්ටික ගිවිසුමෙන් එලියට ආව. යුරෝපා සංගමය විතරක් නෙමේ බ්‍රිතාන්‍යයත් විරුද්ධයි ට්‍රම්ප් ගේ ඒ ක්‍රියාවට. ඊශ්‍රායලය විතරක් පක්ෂයි.

ට්‍රම්ප් එහෙම කලේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ රුපවාහිනී චිත්‍රපට මාලාව බැලුවොත්. අවාසනාවකට වගේ ඔවුන් ඒක හරියටම කියනවා. "ඩීප් ස්ටේට් ".

Saturday, 28 April 2018

මහාචාර්ය විවරණේ

දැන් මෙහමනේ මල්ලි, විශ්වාස භංගයක් ගෙනාව , හරි ගියේ නැහැ. මෙච්චර  පත්තර වලින් සමාජ ජාලා  වලින් කිව්වේ හරි ගියේ නැහැ. අර පොර තවම ඉන්නවනේ . අපේ නියෝජ්‍යයා හැමදාම නියෝජ්‍යම තමා. ඈ  බන්. මේක ලොකු ගාණක් ලැබෙන වැඩක්.
 ඉතින් මේකයි ප්ලෑන.
අර නාලන්දාවටත් වඩා ලෝක ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ  ලොකු විද්‍යාඥයෙක් අල්ල ගන්නවා. නිව්ටන් උනත් තමන්ගේ නියමයන්   පැත්තකට දාල දෙවියෝ විශ්වාස කලේ බං. එහෙම පොරවල් ඕනෑතරම් ඉන්නවා.
පොර ප්‍රසිද්ධියේ  කියනවා  අර ආයුධ නොමිලේ දුන් ත්‍රස්තයාම  අත හපා කාපු  උන්නැහේ දේවත්වයට පත් වෙලා කියලා.  වෙන්න පුළුවන් නේ . බණ ඇහුවා, පිරිත් කිව්වා, පන්සල්, පල්ලි, දේවාල ඕන එකකට  ගියා. පින් දහම්මනේ කළේ . බෝසත් රුක බං.
-එතකොට අයියේ අර අසූ අට අසූ නමයේ එව්වා

එව්ව බන් අනිත් එවුන්නේ කලේ , නිස්සන්කයා , බටලන්දයා කියල මිනිස්සු කියන්නේ

--ඉතින් අයියේ

ඉතින් බං ඕක ඔය කාගේ හරි වෙබ් කඩමාල්ලක දානවා. මම ඒකටත් පොරක් අල්ල ගෙන ඉන්නවා.
ලින්ක් එක හින් සීරුවේ බුකියේ කොහේ හරිත් දැම්මම කවුරුහරි අහුවෙනවා සුවර්.
 ඔය නිරාල , බුකියේ එවුන් ඇවිස්සෙනවා ඊට පස්සේ  , අපට නිකම්ම ප්‍රචාරේ

- ඉතින් අයියේ ඒකෙන් අපට වාසිය , උන් බනියිනේ මොනවා නොකියයිද

ඕකේ බන් ඔය  පව්කාර නිරාල විතරක් නෙමේනේ ඉන්නේ. දෙයියෝ බුදුන් අදහන මේ අපි වගේ හොඳ උන් කොච්චර  ඉන්නවද බන්.

-හපොයි අය්යේ මගේ කට

ඊට පස්සේ ඕක ප්‍රධාන මාධ්‍ය වල යනකොට දෙයියෝ බුදුන් අදහන මේ රටේ බුද්ධිමත් භක්තිමත් ජනතාව ඕක අනිවාර්යයෙන් පිලි ගන්නවා.
අපේ නියෝජ්‍යයට පුළුවන් කෙලින්ම තරඟයක් දෙන්න.
කල්පනා කරලා බලහන් ප්‍රියන්ත , දේවතත්වයට පත්වූ කෙනෙක් ගේ ආනුභාවය , බලය, ආශීර්වාදය තියෙන  කෙනෙක් පක්ෂ නායකත්වයට විතරක් නෙමේ බං , රටේ අගමැති කමට , ජනාධිපති කමට වුනත්  නියම සුදුස්සෙක් නේ.
ඒ දේව බලයෙන්  මේ රටේ දහසක් ප්‍රශ්න නිමා කරලා. සුඛිත මුදිත  දේශයක්, කෙලින්ම කේතුමතියක්  ගොඩ නගන්න පුළුවන්නේ බං , කාටද චන්දෙ ලැබෙන්නේ මේ රටේ බුද්ධිමත් චන්ද දායකයාගෙන්.

-අය්යේ ඒ කියන්නේ මේක 2020 බලාගෙන කරන ප්ලෑනක් ද?

අන්න උඹට ටිකක් තේරෙන්න පටන් අරන්, තව එහාට යනවා. එතකොට ඉතිරි කෑලි ටික දෙන්නම්.
ජෙහාන් අයියේ ඔයාගේ මොළේ තමා හැබෑට #!"£^*()_*$&^£%

පුවතක් 

Tuesday, 24 April 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (21) - ග්ද්යේ මොයි කෙෆීර්

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (20) - විභාගත් ඉවරයි
ස්මොල්යෙන්ස්ක් දුම්රියපළ 
විභාග අවසන්වී එංගලන්තයට යන දිනය ඉක්මනින්  එළඹුණි. ගිහාන්  සමග ඇගේ නේවාසිකාගාරයට ගිය තාන්යා  ඇඳුම් පැළඳුම් කිහිපයක්ද මව් පියන් සඳහා ඇය මිලට ගත් තෑගී කිහිපයක්ද , ගිහාන් තෑගී කල ගවුම,  කොලොම්බියන් කෝපි පැකට්, ලංකාවේ  තේ කොළ ආදියද එහි රුවා ගත්තාය.

එංගලන්ත ගමන් දවස් තුනක් පමණ ගතවන එකකි. දුම්රියේ ආපන ශාලාවක් ඇති මැදිරියක් තිබුනද මුල් දින දෙක සඳහා කොහොමටත් කෑම ගෙනියන්නේ මුදල් ඉතිරි කර ගැනීමටය. එසේම ආපන ශාලාවේ කෑම වල මිරිස් දමා සැරට  නැත. නමුත් තාන්යා සමග කෑමට මිරිස් දැමු දේවල්ම සැදීමට නොහැකිය. එනිසා ඔහු ඌරු මස් වලින් සැදූ කල්බසා, තක්කාලි, තැම්බූ බිත්තර, පිපිඤ්ඤා වැනි අගුර්සි ආදිය මිලට ගත්තේය. තාන්යා පෙල්මේනියා  සාදා පොලිතින් බෑගයකට  දැමුවාය. තවෙකෙකු අර්තාපල් කපා බැද්දේය.
රුසියන් කොල්බසා 

සුහද හා ඔවුන් සමග යන මිතුරන් සම්ප්‍රදායික ලෙස කුකුළු මස් ගෙන හොඳින්  මිරිස් තවලම් කර බැද්දහ. මේවා දින දෙක තුනක් නරක නොවී කෑ හැකිය. එසේම ගිහාන් හා සුහද දෙදෙනාම මාළු ටින් කෑම බොහොමයක් ගත්හ. ඇතැම් සිසුන්ට මෙන් දෙදෙනාටම නෑදෑයින් ලන්ඩනයේ නැත. එසේම ගෙදරින් ලොකු මුදලක් රැගෙන ආවේද නැත. ගිම්හාන (සමර්) කාලයේ රැකියාවක් ලැබෙනතුරු ලන්ඩනයේ සිටීමට මුදල් අවශ්‍ය වේ. මේ නිසා හැකි තරම් අතේ තිබෙන මුදල ඉතිරි කර ගත යුතුය.
පෙල්මේනියා 

දුම්රියෙන් දින තුනක් යන දීර්ඝ ගමනේ දවසක්ම ගත වන්නේ සෝවියට් දේශය හරහා යාමටය. සවස අටයි තිහට පමණ මොස්කව් බෙලරුස්කයා ජාත්‍යන්තර දුම්රිය පලින් පිටවන දුම්රියේ මුල හරියේ ඇත්තේ කෙලින්ම බෙල්ජියමේ ඔස්ටෙන්ඩ් දුම්රිය පල දක්වා යන ජාත්‍යන්තර මැදිරිය. දුම්රියේ පිටුපස ඇත්තේ සෝවියට් දේශයේ අවසන් නැවතුම් පල වන බෙලොරුසියානු සමුහාණ්ඩුවේ බ්‍රෙස්ට් නැවතුම් පලට පමණක් යන මැදිරිය.  බ්‍රෙස්ට් වලදී ඒවා ගලවනු ලැබේ.

දුම්රිය රුසියාව පසු කරන අවසන් නගරය ස්මොල්යෙන්ස්ක් ය. ඉන්පසු බෙලොරුසියානු අග නගරය වන මින්ස්ක් පසු කර යන දුම්රිය බ්‍රෙස්ට් නගරයට ළඟා වන්නේ දහවල් දෙකට පමණය.  තාන්යා ට යාමට අවසර ඇත්තේ එතැනට පමණය. ඉන්පසු මොස්කව්  දුම්රියකින් ඇය නැවත පැමිණ, මොස්කව්  කසාන්ස්කයා දුම්රිය පලින් ඇගේ දෙමාපියන් සිටින රොස්ටොව් නගරයට යා යුතුය. ගිහාන් මේ ගමනට අකමැති වුවත් තාන්යා ගේ දැඩි ඉල්ලීමට ඔහුට අවනත වන්නට සිදු වුනි.

සුහදගේ කියුබානු පෙම්වතිය ඔවුන් හැරලන්නට දුම්රිය පලට පැමිණියාය. ඇය සිටියේ සුහද එංගලන්තයට යනවාට සතුටිනි. සුහද ඇයට කවදාව කියුබාවේ හෝ සෝවියට් දේශයේ ලබා ගත නොහැකි  ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්,  සපත්තු  ආදිය රැගෙන එයි.  එසේම ඔහු පැමිණි  පසු ඔවුන්ට පසුව යහළුවන් සිටින වෙනත් සෝවියට් නගරයකට සංචාරයේ යා හැකිය. සිසුන්ට ඒ සඳහා විසා අවශ්‍ය  මුත් අවියර් එකේ (විසා හදන ඔෆිස් එක) කෙල්ලන් හඳුනන් නිසා සුහදට එය ප්‍රශ්නයක් නොවේ.

ගිහාන් මුලින්ම කලේ තාන්යා ගේ රුසියානු මැදිරිය සොයා යමය. වාසනාවකට එය වැඩි ඈතින් තිබුනේ නැත. ඔහු තාන්යා ගේ ඇඳුම් බෑගය තැන්පත් කරද්දී එහි සිටි රුසියානු  යුවලක් සහ තනි රුසියානුවෙක්  විමසුම් බැලුම් හෙළුහ. මෙවැනි තැන්  වලදී පුරුද්දක් ලෙස කරන අයුරින් ගිහාන් ඔවුන්ට සුභ පතා ආචාර කළේය. රුස්සන්ද ඔවුන් සමග කතා බස් කළහ. ඔවුන් දෙදෙනා විශ්ව විද්‍යාල සිසුන් බව හඳුනා ගත්  පසු වැඩිහිටි රුසියානුවන් වඩා මිත්‍රශීලී විය.ඒ දිනවල විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් රුසියානුන් තුල තිබුනේ බොහෝ ධනාත්මක කරුණාවන්ත ආකල්පයකි. ලංකාව යයි කියූ පමණින් ගිහාන් නිතර අත් දැක තිබු ආකාරයටම මදක් වැඩි මහලු රුසියානුවා  අපහසුවෙන් "සිරිමාඕ  බන්දරනයක"   නම උච්චාරණය  කළේය. ඔවුන් බොහෝ විට ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිණිය  නමින්ම දනිති.

තාන්යා ඇගේ මැදිරියේ රඳවා නැවත එන පොරොන්දුව පිට ගිහාන් ඔවුන්ගේ මැදිරියට ආවේය. ඔහු දුටු  මනතින් පිටට තට්ටුවක් කර සුහද කීවේ
"කොන්දා හොඳයි. බෝතලේ ගත්තා. තව මොනවා හරි දෙමු කියාය ".

මේ මැදිරි සෑම එකකම නියාමකවරයෙකු (conductor) සිටි.  නියාමකවරයා ගැහැණියක නම් මිත්‍ර වීම ටිකක් අසීරුය. බොහෝවිට ඔවුන් පගා ගන්නේ නැත. කැමති නිසා නොව බිය වන බැවිනි. නමුත් සමහර අවස්ථාවල ඔවුන්ද යහළු කර ගැනීමට හැකිය. බ්‍රෙස්ට් වල තමෝශ්නයා හෙවත් රේගු  නිලධාරීන් ගේ පරීක්ෂණයකට ලක්වීමට සිදු වේ. කොන්දොස්තරවරුන් හෝ වරියන් යහළුවෙන් තබා ගෙන සිටීම වැඩ දායකය. ඔවුන් සමග හොඳින් සිටින  තරමට තමොශ්නයා නිලධාරීන් ගේ අවධානය අඩු කර ගත හැකිය. එසේම මේ නියාමකට පොඩි කුටියක් දුම්රිය මැදිරියේම ඇති අතර එහි කුඩා ශීතකරණයේ චීස් ආදිය  තබා ගත හැකිය.
බෙලුගා කැවියර් (සුඛෝපභෝගී මාළු බිත්තර )

වරක් එක සිසුවෙකු කොන්දා යහළු කරගෙන ශීතකරණයේ "බෙලුගා  කැවියාර්" නමින් හඳුන්වන ස්ටර්ජන් මාළු  බිත්තර භාජනයක් රැගෙන බටහිරට රැගෙන ගියේය. එංගලන්තයේ එම භාජනයක් ඉතා අධික මිලකට විකිණිය හැකිය.

බ්‍රෙස්ට් වලින් පන්නා ගැනීමට අවශ්‍ය දෙයක් තිබේ. ඒ නිල්  කොළ හෙවත් ඩොලර් ය. මේ ඩොලර් ලැබෙන්නේ බොහෝ විට  යුදෙව්, චෙචේනියානු, අසර්බයිජාන් ජෝර්ජියන් හෝ  සමහර විට රුසියානු බ්ලැක් මාකට් වෙළෙන්දන් ගෙනි. ඔවුන්ගේ නොයෙකුත් ඇණවුම් වලට  ගෙන ආ යුතු භාණ්ඩ සඳහා මුදල් කොටසක් සිසුන්ට කලින්ම  ගෙවති. එසේත් නැතිනම් තමන්ගේ රටින් වලින් ගෙන ආ දේ විකුණා උපයා  ගත්  මුදල් රටින් එන විට දෙන කුවිතාන්සියේ නැත. ඒවාද සැඟවිය යුතුය.

ගිහාන් ට දැන් සිතෙන්නේ මේ සියලු වැඩ  වැරදි දේ නේද යයි කියාය. එදා ශිෂ්‍ය භාවයේ සිටින විට මේවායේ බරක් පතලක් දැනුනේ  නැත. නමුත් රුසියානු ජනතාවගේ පැත්තෙන් ගත්  කළ  එහි කිසියම් සාධාරණත්වයක් ද තිබුණි. ඒ ඔවුන්ට කැමති කිසිදු බටහිර පන්නයේ භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාවක් නොතිබුනත් කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ට පමණක්  ඒ සඳහා වෙනම සාප්පු පවත්වාගෙන ගිය බැවිනි. එනම් වරප්‍රසාදිත පන්තියකට පමණක් හිමි දේ සිසුන් හා සීමිත විදේශික සංචාරකයන් හරහා ලබා ගැනීමට මිනිසුන් පෙළඹුණු බැවිනි.

වරෙක අප්‍රිකානු සිසුවකුට වූ දෙයක් ඔහුගේ මතකයට නැගුණි. අප්‍රිකානු සිසුන්ගේ භාෂා විලාසය රළුය. රුසියානු භාෂාවෙන් "ග්ද්යේ" හෝ "ග්දයේ" (где)  වචනයේ තේරුම  "කොහෙද "යන්නයි.  අප්‍රිකානුවෝ ශබ්ද නගන්නේ ග්ඩයේ හෝ ගඩයේ කියාය. බ්‍රෙස්ට් වලදී දුම්රිය මැදිරි වල රෝද සෙට්  ගලවා යුරෝපිය රෝද සෙට් සවි කරනු ලබයි. මේ අතර වාරයේ  තමොශ්නයා (රේගු) පරීක්ෂණ අවසන් වේ.

අප්‍රිකානු සිසුවෙකු එසේ පරීක්ෂණ  අවසන් වූ පසු දුම්රිය වේදිකාවේ  "ග්ඩයේ මොයී කෙෆීර්" "මගේ කෙෆීර් පැකට්ටුව කොහෙද "  යනුවෙන් කෑ ගසමින් එහෙ මෙහෙ දුවයි.  සිනහ පහලවන මේ දසුන දෙස බලා සිටි අනිකුත් සිසුන්ගෙන් අයෙකුට මැදිරි පිරිසිදු කරන ගැහැණියක ගේ පොලිතීන් මල්ලේ කෙෆිර් පැකට්ටුව තිබෙනු පෙනුනි. මැදිරි වලට පැමිණෙන  මැදිවියේ කාන්තාවන් ඒවා පිරිසිදු කරති. මැදිරි වල තිබෙන විසි කරන ලද අපද්‍රව්‍ය පැහැදිලි  විශාල පොලිතීන් උරවල දමා රැගෙන යති. ඒවායේ ඇති දේ එලියට පෙනේ. කරුණාවන්ත කාන්තාව විසි කරන ලද කෙෆිර් පැකට්ටුව ඉල්ලා යදින අප්‍රිකානු සිසුවාට කරුණාවන්ත ලෙස එය දුන්නාය. එය බි අවසන් කර නොමැති බව ඔහු ඇයට අභිනයෙන්  පළ කළේය.
කෙෆිර් පැකට් (යෝගට් පානයකි)

කෙෆිර් පැකට්ටුව මැදිරියට ගෙනා සිසුවා එහි ඉතිරි ව තිබු යෝගට් පානය එලියට හලා පොලිතින් වලින් ඔතා සඟවා තිබූ ඩොලර් මිටිය ජයග්‍රාහී ලෙස එලියට ගෙන තිබේ.

දුම්රිය මැදිරියේ කරන ලද ඔපරේෂන් වලින් පසු යහළුවන් හරි බැරි ගැසී හිඳ  ගත්හ. අසුනින් නැගී  සිටි ගිහාන් දුම්රිය මැදිරි අතරින් තාන්යා සොයා ගමන් කළේය.


~මතු සම්බන්ධයි

Saturday, 14 April 2018

බ්ලොග් ගැන පොඩි කතාවක් සහ සුභ නව වසරක් ඔබ සැමට

හුඟක් දවසකින් බ්ලොගය පැත්තේ එන්න බැරි වුණා. ඒ තරමට වැඩ අධිකයි. ඒ අතරේ මම ෆේස්බුක් එකේ මගේ දත්ත කොපමණ තියනවද කියල බැලුවා. දැන් ඒක සකර්බර්ග් කාරය බාගත කරන්න  දෙන නිසා. වැඩි අවුලක් නැහැ.  යහළුවෝ මැසෙන්ජරය හරහා එවපු පණිවුඩ, කළ කතාබහ ඔක්කොම තියනවා. ඩිලීට් කරපුව නැහැ. එයාලා එවපු ඡායාරූප, වීඩියෝ වගේම මම යවපු ඒවත් තියනවා. මගේ මොබයිල් එකේ තිබ්බ හැම යහළුවෙක්ගේම දුරකථන අංකත් සකර්බර්ග් කාරයා පරිස්සමට අරන් තියල.

වෙන එකක් තබා මගේ පින්තූර හැම එකක්ම වගේ පිළිවෙලට තියනවා. අනිත් ඒවා බැලුවේ නැහැ කම්මැලියි. මම දන්නවනේ මම මොනවාද පෝස්ට් කළේ කියල. ඇත්තටම බැලුවොත්  මගේ අතේනේ පාලනය තියෙන්නේ, මම මොනවාද බුකියට දාන්නේ කියන එක. වැරදියට පාවිච්චි කළානම් ඉතින් මගෙනේ වැරැද්ද.

බ්ලොග් ලිපියක් කියෙව්වා සුජීව කොකාවල ලියපු. "ටෙක්නොක්රසිය සහ අතත්‍ය වටිනාකම්" කියල. ඔය ඉන්ස්ටග්‍රෑම් , යුටියුබ් තාරකාවෝ තාරකාවියෝ ගැන හොඳ ලිපියක් . ඒක කියවනකොට හිතුන මේක ලියන්න ඕනේ කියල.

ඇමෙරිකාව (බටහිර) සහ රුසියාව අතර සිරියාව සම්බන්ධවත්, බ්‍රිතාන්‍යය හා රුසියාව අතර අර රුසියානු ඒජන්තයාට විස දීම  පිළිබඳවත් ප්‍රශ්න ඇතිවෙලා තියන  අපහසු කාලයක් මේක. එනිසා අදාලයි ටිකක්.

 දැනට අවුරුදු හතරකට කලින් මම බ්ලොග් ලියන කෙනෙක්ට යමක් කිව්වා. මගේ ඉංග්‍රීසි බ්ලොගය ගැන. ඒකෙ මම රුසියානු දේශනයක් අහල පරිවර්තනය කරගෙන (රුසියානු භාෂාව පුළුවන් නිසා) කිසියම්  ලිපියක් ලීවා. ශෙයාර් කළේ ගූගල් ප්ලස් එකේ විතරයි. සුමානෙකට විතර පස්සේ ලියුමක් ආවා ඇනලිස්ට් රස්සාවකට එන්න කැමතිද කියල අහල. ඇත්තටම මගේ රැකියාවට අනුව මම බිස්නස් ඉන්ටෙලිජන්ස් ඇනලිස්ට් (SQL  රිපෝර්ට්ස්  ) සහ වර්ක්ෆ්ලෝ ප්‍රොග්‍රමින්ග්  කරන කෙනෙක්. ඉතින් මම හිතුවේ ඒ පැත්තෙන් කියල.

හැබැයි එවල තියෙන ඒජන්සිය මම ලියා පදිංචි එකක් නෙමේ නිසා බැලුව ටිකක් . යටම ලියල තිබුන මේකට සම්මුඛ පරීක්ෂණයට එනවනම් බිරිඳට විතරයි කියන්න  පුලුවන් කියල. පස්සේ මම දන්නා  කෙනෙකුට ඉංග්‍රීසි ජාතියෙකුට) ලියුම පෙන්නුවා. එයා ඒකෙ වෝටර් මාක් එක බලල කිව්වා සැබෑවටම ඒ ආයතනයෙන් තමයි කියල. මිනිහ නම් කිව්වේ වහාම යන්න කියල සම්මුඛ පරීක්ෂණයට රස්සාව හොඳයි කියල. මම ගියේ නැහැ. නමුත් මට දැන ගන්නට ලැබුන ඔවුන් මගේ බ්ලොග් ලිපිය කියවල කියල. (මේලය මම තියන් ඉන්නව තවම)

අර යාය දාන්න කරපු සාකච්ඡාවකදී (ඉහත  කිව්වා වගේ) ඔය කතාව  මම අර අවුල් වෙන සහෝදරයට කියල ඒ මහත්මය හොඳටම අවුල් වුන වග මතකයි. බ්ලොගයත් දින කිහිපයකට නැවැත්තුවද කොහෙද? යාය දාල කරන්න  හදන්නෙත් ඒ වගේ දෙයක් කියල ඒ මහත්මයට හිතෙන්න ඇති. නමුත් මගේ අදහස වුනේ නම් ඒක නෙමෙයි. බ්ලොග් වඩා ජනප්‍රිය කරන එක. ආරක්ෂාව තියෙන්නෙත් එතනම තමයි.කොහොමත් දැන් ගිය දේ ගියා.

ඉතින් මම ඔය සිංහල බ්ලොගයේ උනත් සිරියාව  ගැන එහෙම ලියනවා. කාලයක් නොලිය ඉඳල ඉංග්‍රීසි බ්ලොගයේ මම තවත් ලිපියක් ලීව පහු දවසක. මට කුර්දිස්ථාන් යහළුවෝ කිහිප දෙනෙක්  ඉන්නවා. සමහර අය ඔය මානව හිමිකම් පැත්තේ හෙම සෑහෙන ක්‍රියාකාරියි. තුර්කියේ එර්ඩොගන් අයියට විරුද්ධව හෙම.

මට කෙනෙක් කතා කලා. කොහොමද නොම්මරේ හොයා ගත්තේ කියල අදත් මම දන්නේ නැහැ. එයාගේ බ්ලොග් එකක් තියනව බලන්න  කියල. මැද පෙරදිග ගැන ලිපි හුඟක් තියනවා . හුඟක්  ලිපි ෆෝල්ස් ෆ්ලෑග් මෙහෙයුම් ගැන. කොමෙන්ටුවක් දෙකකුත් දැම්ම. මිනිහ ඊට පස්සේ අහනවා මම අර ලිපිය ලියන්න හේතුව මොකක්ද ? අර නගරය වැටුනොත් මොකක්ද වෙන ප්‍රශ්නය? කුර්දි මිනිස්සු මොනවාද කියන්නේ ඒ ගැන, වගේ දේ.

මම එයාට කිව්වා විස්තර හොයා ගන්න පුළුවන් තැන්  කිහිපයක්. (ලන්ඩන් වල) කතා බහ කරලා ටිකක් අඳුන ගත්තට පස්සේ කිව්වා එයා  ස්පෙෂල් ෆෝසස් වල හිටියේ. කිසියම් දෙයක් වෙලා දැන් අවුට්. බ්ලොග් ලියනවලු. ඒක තමයි රස්සාව. ඇනලිස්ට්. මගේ එක බලල ඒකෙ ලියල තියෙන කරුණු කොහොමද ලිව්වේ කියන එක මිනිහට ප්‍රශ්නයක් වුණා කියල. මම දන්නේ කොහොමද කියන එකලු එයාගේ ප්‍රශ්නේ.

අර නගරය වැටුනේ නැහැ. ඒ කිව්වේ අයිසිස් කාරයෝ ඒක ඇල්ලුවේ නැහැ. ලොකු රටකින් ආධාර (ගොඩක්) සටන් වැදී හිටි කුර්දි සේනාංක වලට ලැබිලත් තියනවා.

මේ සාකච්ඡා  වලදී හොයා ගත්ත තවත් දෙයක් තමයි ගුගල් එකෙන් හෝ වෙනත් මෘදුකාංගයකින් දවසට හිට්ස්  පනහකට සියකට  වඩා එන  ලිපි මාක් වෙනව කියන එක. ඒක අපි හැමෝම දන්නා දෙයක්නේ. නමුත් "වෙන අයත්" මේ දේම කරනවා. ඉංග්‍රීසි ඇර ඇරබික් හෝ රුසියානු හෝ වෙනත් භාෂාවල බ්ලොගයක් වුනත් ඒවා මාක් කර ගන්නවා. ඒ අතර කිසියම් ට්‍රිගර් වචන කිහිපයක් තිබෙනවා නම් ඒවා යවනවා විශ්ලේෂකයෝ (ඇනලිස්ට් ලා)  ගාවට, ඒගොල්ලෝ ළඟ ඔය ගුගල් ට්‍රාන්ස්ලේට් එකට වැඩිය දියුණු මෘදුකාංග තියනවා. ඇත්තම කියනවා නම් ඔය ජාතියේ හුඟක් මෘදුකාංග වුනත් එලියට ආවේ මුලින් ආරක්ෂක සංවිධානවල භාවිතා වුනාට පස්සෙනේ.

හැබැයි මම දන්නේ නැහැ ඒ ගොල්ලෝ සිංහල ඒවාට (බ්ලොග් හා වෙනත්)  එහෙම කරනවාද කියල. දැනට නම් හිතන්නෙත් නැහැ.

හැබැයි ඒකෙන් පස්සේ නම් මමත් අවුල් වුණා. ඉංග්‍රීසි බ්ලොගය නම් තවම නැවත  ලියන්න පටන් අරන් නැහැ. ලියන්න  හිතන් ඉන්නවා. සම්පුර්ණයෙන්ම   වෙනස් මාතෘකාවල් ගැන.

ඉතින් හොඳම වැඩේ අන්තවාදී මොනවහරි ලියන එක. හුඟක් සමාජවාදී/කොමියුනිස්ට්වාදී අන්තයට ගිය ඒවා ලියන කොට ඒ ගොල්ලන්ගේ වැඩි අවධානයක් නැහැ. ඒගොල්ලෝ  මේ  නට් කේස් කියල නිකන් ඉන්නවා. මොකද ඒවගේ  අදහස් තියන පක්ෂ ඇතුලේ ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ ගොල්ලොන්ට.  අන්ත දක්ෂිනාංශික බ්ලොග් ආදිය ගැන වුනත් එහෙමයි. ඇතුලට දාල තියෙන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. මතකද මන්ද එංගලන්තේ නාසි වගේ සංවිධානයක නායකයා වෙලා හිටියේ රට තුල රාජ්‍ය රහස් සංවිධානයක නිලධාරියෙක්. එංගලන්තේ තැනකට බෝම්බ ගහල මිනිස්සු මරන්න  නියෝගයක් දෙන්න සංවිධානේ අනුමත  වුණාම මිනිහ ඉල්ලා අස් වුණා . හෙළි දරව් වුනේ එහෙම. සංවිධානෙත් දෙකට කැඩුනද  කොහෙද?

ඉස්සර සෝවියට් කාලේ සහ  දැන් පුටින් ගේ කාලේ වුනත් රුසියානු හෝ වෙනත් ළඟ රටවල කාන්තාවෝ හරි පිරිමි හරි බටහිර රටක පදිංචි  වෙලා,  කාට හරි කෙනෙකුට ආදරේ කරලා කසාද බැඳලා අවුරුදු  ගණන් ඉන්නවා. හදිසියේ මැරිලා යන්නත් පුළුවන්. ඒ වගේම හදිසියේම අණක්  ආවොත් දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල, ඒ අණ අනුව ක්‍රියාත්මක වෙන්නත්   ඕනේ. අණ පිළිපැද්දේ නැත්නම්  ඉතින් මැරුණා වගේ තමයි ඉතින්. හැංගිලා ඉන්න වෙන්නේ.

ඔන්න ඔහොමයි තත්වේ.

ඉතින් ඒ වුනාට මේ අවුරුද්දේ බ්ලොග් ලිපි කිහිපයක්ම ලියන්න  හිතේ තියනවා. ඔය කෙහෙල්මල් කවුද ගණන් ගන්නේ. අපේ අතේ නේ යතුර තියෙන්නේ.   ඒ දවස් වල ජෝර්ජ් ඕවෙල් ගේ "1984" කියවල හෙම හිතුවේ ඒ පොතේ කියන්නේ සෝවියට් දේශය ගැන කියල. සෝවියට් ඔත්තු සේවා මොනවාද කියල හිතෙනවා දැන් තියෙන ඒවා බැලුවම. වෙලාවකට හිතෙනවා ඕවේල් ලිව්වේ වර්තමාන 2018 සමාජය ගැනද කියලවත්.  එකම වෙනස සෝවියට් දේශය බලෙන් කෙරුවට දැන්  අපේ දේශපාලන අදහස් සහ අපේ දත්ත අපි විසින්ම  කැමැත්තෙන් දෙන්නේ. ඕන කෙනෙකුට කැමති විධිහට බලා ගන්න. එකතු කර ගන්න.  විශ්ලේෂණය කරන්න.

මම කවදාවත් නැකත් බලපු එකෙක් නෙමෙයි. ජීවිතේටම. නමුත් සිංහල අවුරුද්දට (නත්තලට වගේම) කෑම මේසයක් හදල ළමයින්ට කන්න දීලා කොහේ හරි ඇවිදින්න යනවා. හාමුදුරු කෙනෙක් ඉන්නවා ළඟ පන්සලක . එයාවත් බලල එනවා ගිහින්. හුඟක් විට යහළුවෙක් වගේ තමා එතුමාව ආශ්‍රය කරන්නේ. හාමුදුරුවෝ දන්නවා මම ඔය දෙවියෝ  විශ්වාස කරන්නේ නැති, නැකත් විශ්වාස කරන්නේ නැති, පුනරුත්පත්තිය වුනත් ප්‍රශ්න කරන තාලෙ කෙනෙක් කියල. හාමුදුරුවන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
අපෙ චාම්  අවුරුදු කෑම මේසය 

සිංහල අවුරුද්දට කෑම මේසේ  පිළියෙළ කරන්නේ  සංස්කෘතික අංගයක් වශයෙන්.මගේ අදහස නම් ඒවා රැක ගන්න එක වටිනවා කියල. කිරිබත  සහ රුලන් කේක් හදන්නේ බිරිඳ . අනිත් කැවිලි කඩෙන් ගන්නේ හදන්න දන්නේ නැති නිසා.   මගෙන් පස්සේ දුරු දෙන්න නම් කරන එකක් නැහැ.  ඒත් කියන්න  බැහැ . ලොකු දුව දැනටමත් සිංහල/ඉන්දියන්  කෑම වලට පුදුම ආසයි.

සුබ පතන්න කලින් මේකත් කියල දාන්නම්. මම දන්නවා සිරියාවට  බෝම්බ ගහනවා. අප්‍රිකාවේ දිළිඳු දුවා  පුතාල කන්න නැතිව ඉන්නවා. දුප්පත් මිනිස්සු තමයි රතිඤ්ඤා හදන්නේ. යුරෝපයේ අනාථයෝ පිරිලා. ලංකාවේ දුප්පත්තු හුඟකට අවුරුද කන්න  මුදල් නැතිය කියල. (බුකිය බැලුවහම නම් එහෙම හිතෙන්නේ නැහැ) අපි ඉතින් පුළු පුළුවන් විධිහට උදව් කරනවනේ.  උත්තරය ඒ වුනාට එතන නෙමේ තියෙන්නේ.
සීතලේ ගැහෙමින් වාදනය මෙහෙයවන ශෙස්තකොවිච් 

දෙවෙනි ලෝක යුද්ධය සමයේ  ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදා තුන් පැත්තකින් වට කරගෙන සිටියදී, මිනිසුන් හාමතේ පාරේ මිය යද්දී තමයි ශේස්තොකොවිච් එයාගේ හත්වෙනි සිම්ෆනි එක ලියල වාදනය කලේ. කවුරුත් බැන්නේ  නැහැ මිනිස්සු මැරෙද්දි එයා ඒක ලියල වාදනය කලා කියල. මොකද මිනිස්සු තේරුම් ගත්ත. ජීවිතය ඉදිරියට යා යුතුයි කියල.

  ඒ අතරේම දැන ගන්න ලැබුන අපේ මාතලන් මහත්මයා  අලුත් වෙබ් අඩවියක් හදල කියල. මාතලන්ගේ පත්තරේ මෙතන  තියෙන්නේ. ගිහින් බලන්න.

මගේ බ්ලොගය කියවන්න   ආපු ප්‍රතිචාර  දමපු හැමෝටම , මගේ බ්ලොග් රසික රසිකාවියන්ට, සියලුම ඇනෝ වරුන්ට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ  සිංහල සහ හින්දු නව වසරක් උදා වේවා. අපට  තව තවත් හොඳ සාරවත් ලිපි  කතා කවි නිසඳැස්  කියවීමට ලැබේවා.




Monday, 2 April 2018

සෝවියට් විවාහ ගැන නොවේ - 5

ජෙහාන් ලෙනින්
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3
සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4

මේ ලිපිය ජෙහාන් ලෙනින්, ජෙහාන් ට්‍රොට්ස්කි ලිපි මාලාවේ අවසන් ලිපියයි. මේ ලිපිය  සඳහා ප්‍රවේශය වන්නේ මා   කලින් පළාත් පාලන  චන්දය ගැන ලියු පළාත් පාලන සභා චන්ද ප්‍රතිඵල - සුළු නිරීක්ෂණයක් - නමැති ලිපියය. 

බණ්ඩාරනායක මහතා 1956 දී ජයග්‍රහණය කරන විට චන්ද ප්‍රතිඵලය බලන්න. ඔහු විසින් කුඩා වාමාංශික පක්ෂ සහ ශ්‍රීලනිපය එක්කොට සාදන ලද සභාගයට ලැබුනේ 39.52% කි. ලංකා සමසමාජය හා කොමියුනිස්ට් පක්ෂයට 14.9% කි. එජාපයට තනි පක්ෂයක් වශයෙන් 27.9% කි. ද්‍රවිඩ අරසු කච්චියට 5.4% කි.  සභාගයකට මිස සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් මේ රටේ බලයට පත්වීමට නොහැකි බව 1956 සිට 2018 පළාත් සභා දක්වාම ඔප්පු වී තිබේ. එජාපයට තනිවම ශ්‍රී ලංකාවේ  බලය ලබා ගත හැකිව තිබුනේ සිංහල ඡන්ද වලට අමතරව බොහෝ මුස්ලිම් හා දෙමළ  ඡන්දද   ඔවුන්ට ලැබුන  නිසාවෙනි.

වාමාංශික පක්ෂ වල 15% චන්ද සංඛ්‍යාව ක්‍රමයෙන් දියාරු වී ගිය අතර ඉන් 3-4% අතර ප්‍රමාණයක් නිරන්තරව ජවිපෙට ලැබුණි.

රනිල් හා මහින්ද අතර ජනාධිපති තරඟයේදී ප්‍රභාකරන් දෙමළ ජනතාව බහුල පළාත් වල ඡන්ද වර්ජනයක් දියත් කළ  අතර පැරැණි  වාමාංශික පක්ෂ සමග සුළු සභාගයකට ගිය මහින්ද රාජපක්ෂට ජවිපෙ සහයද සන්ධානයකින් තොරව හිමි වුනි. ඔහු 2005 දී ජනාධිපතිවරණය දිනුවේ එබැවිනි. ඔහු ලැබූ චන්ද සංඛ්‍යාව  50.29% කි. එසේ නොවූ එකම අවස්ථාව වන්නේ 2010 වන අතර එම චන්දයේදී සිවිල් යුද්ධය ජය ගැනීම හේතුවෙන්  එජාප චන්ද හා මුස්ලිම් චන්ද බොහොමයක් ඔහුට ලැබුණි. (උදා: කොළඹ දිස්ත්‍රික්කය ජය ගත්තේ රාජපක්ෂ මහතායි. 52.93%). කොටින්ම  වමේ සාධකය අඩු කර දැමීමට  මහින්ද රාජපක්ෂ මහතා සමත් වුනි.

මෙවර පළාත් පාලන ඡන්දයේදී ඉහත සඳහන්  ලිපියේ මම එජාප ඡන්ද වලට ශ්‍රී ලනිප , එජනිස ඡන්දද  එක්  කල මුත් දැනට තිබෙන සලකුණු වලට අනුව එය එසේ නොවන බවට රඟ  පෑමක් යයි.  එසේ වුවද පොදු ජන පෙරමුණ, ශ්‍රී ලනිපය එක්ව ලබා ගෙන ඇත්තේද 49.5% කි.

මේ අනුව සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙක් පත් කිරීමට නම් ශ්‍රී ලංකාවේ  කිසියම් ප්‍රශ්නයක් (ජාතීන් අතර ) ඇති කල යුතුමය.  කුමන රටකට එවැනි ජනාධිපතිවරයෙක් අවශ්‍යද? කුමන රටක ආයෝජන  ඉදිරියේදී තර්ජනයකට ලක් වේද? කුමන ආසියානු රටක්  බටහිර රටවල් සමග වෙළඳ හා නාවික සම්බන්ධතා  අර්බුදයකට යයිද?

එවැනි රටකට නැගෙනහිර පැත්තේ මුස්ලිම් වරුන් සමග හෝ උතුරේ ඉතිරිවී සිටින දෙමල කණ්ඩායම් සමග සම්බන්ධතා  ඇති කර ගත හැකිය. විදේශයේ විශේෂයෙන්ම  එංගලන්තයේ හා කැනඩාවේ සිටින විසිරුන එල්ටීටීඊ කණ්ඩායම් සමග මුදල් මත  සම්බන්ධතා ගොඩ නගා  ගත හැකිය. බෝම්බයක් දෙකක් පිපිරවීම , පොඩි ප්‍රශ්නයක් ඇති කර සිංහල පෙදෙස් කුපිත කිරීම කළ හැකිය. සිංහල සංවිධාන කිහිපයකට  මුදල් පොම්ප කල හැකිය. සමහර විට පසුගියදා දිගන හා අම්පාර ප්‍රදේශයේ සිදුවුයේ ට්‍රයල් රන් එකක් විය හැකිය. මුදල් විසි කරන ප්‍රමාණය අනුව ලංකාවේ  "ප්‍රශ්න" හා "අරගල" ඇති කල හැකි බව පසුගිය කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් වලින් පැහැදිලි වේ.  ලංකාවේ ආවේගී ජනතාව මෙහෙයවිය හැකි ක්‍රම සහ විධි ගණනාවක්ම දැනටමත් අත්හදා බලා තිබෙනවාට සැකයක් නැත.

අන්තිම තුරුම්පුව වශයෙන් අරගල කිහිපයකදී පොලිස් වෙඩි තැබීම් ආදී ක්‍රියා වලින් කිහිප දෙනෙක්  මිය යාම වුවත් නොවිය හැකි දෙයක් නොවේ. ඡන්ද වර්ජන ආදිය කරලියට ඒමට ඉඩ  ඇති අතර  සිංහල බෞද්ධ අපේක්ෂකයා 51% පමණ ඡන්ද ප්‍රමාණයකින් 2020 දී ජයග්‍රහණය කරනු ඇත.
මෝඩි හා ට්‍රම්පච්චි 

මිට වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට නම්  බටහිර රටවල ට්‍රම්පච්චි  විරෝධී සන්ධානය හා ට්‍රම්පට් ට  පක්ෂ සන්ධානය ශ්‍රී ලංකාව පිලිබඳ එකඟතා ප්‍රතිපත්තියකට පැමිණිය යුතුය. දැනට සාදාගෙන  යන (manufactured)  රුසියානු විස දීම් ආදී ප්‍රශ්න මත " එසේ සිදුවීමේ ශක්‍යතාවය හෙවත් "ට්‍රම්ප්" "ඇමෙරිකානු දෙපාර්තමේන්තුවල බහුතර මතයට " හිස නැමීමේ සම්භාවිතාවක් තිබේ.  බටහිරට වඩා  හිතවාදී සිංහල බෞද්ධ නොවන ජනාධිපති වශයෙන් ඔවුන් කවුරු තෝරා  ගනීවිද?
මුහුණු වෙනස් වුනාට විදේශ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත 

රනිල්  වික්‍රමසිංහ ඇමෙරිකන් හිතවාදියෙකු බව හැම දෙනාම හොඳින් දනිති. එනිසා මොන වරද කලත් පළමු තේරීම වෙන්නේ ඔහුය. නමුත් ඔහුට සිංහල ඡන්ද බහුතරයක් ලැබෙන්නේ නැත. එහි යම් අවදානමක් පවතී. පැරචුට් ක්‍රමයට මයිත්‍රිපාල  සිරිසේන මහතා පැමිණියේ ඒ නිසාය.  ශ්‍රී ලංකාවේ බහුතරයෙන් 35% වත් නොමැතිව එජාපයට තනිව දිනීම දැන් අපහසු වී තිබේ. චන්ද්‍රිකා "ජේ ආර් ගේ බහුභූත ව්‍යවස්ථාව " නමින් ආදරයෙන් හඳුන්වනව්‍යවස්ථාවද  එක හේතුවකි.  මේ නිසා 10% කතා, ඩීල් චෝදනා කොපමණ  තිබුනත් ඔවුන්ගේ  ඊළඟ හොඳම තේරීම වන්නේ බැසිල් රාජපක්ෂ මහතාය. සමහරෙකුට අනුව යුධ අපරාධ සිද්දියේදී බටහිර හා ඉන්දියාවට අනුව "නිවැරදි  තැනක "  සිටියේද බැසිල්ය.  ආර්ථික ප්‍රශ්න නිරාකරණය කිරීමේදී බැසිල්ගේ "අප්‍රොච් " එකට ව්‍යාපාරික පන්තියේ සහ බටහිර විරෝධය අවමය.

මේ රටවල් කිහිපයේ බලපෑමට අලුතින් එක්වී ඇති මුස්ලිම් රටවල් කිහිපයක් ද වේ. ශ්‍රී ලංකාවේ  දේශපාලන තලයට මුස්ලිම් රටවලින් කවදාවත් එතරම් බලපෑමක් තිබුනේ නැත. එම තත්වයද සීග්‍රයෙන්  වෙනස් වී යමින් පවතී.

සමහර විට සිංහල කතා කරන පුටින් ගේ විදේශ ඇමතිවරයාගේ උදව් ද අවශ්‍ය වෙන අවස්ථාවක්  එළඹෙන්නටද  ඉඩ තිබේ. ඔහු පුටින්ගේ ඇතුලත  කණ්ඩායමේ (inner circle) නොවීම හොඳ දෙයකි .

රනිල් වික්‍රමසිංහ මහතා  විශ්වාස භංගයෙන් දිනුවොත් (දැන් තත්වයේ හැටියට බොහෝ විට ඔහු දිනීමට  වැඩි ඉඩක් තිබේ. නමුත් තත්වය චන්දයෙන් දෙකෙන් වෙනස් විය හැකිය. ) ඒ අනුව ඉහත  නම් සඳහන් බලවේගයන්, බැසිල් හා රනිල් අතර සිතල   යුද්ධයක් ඇති කරනු ඇත. කෘත හස්ත දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ  මහතා,  බැසිල් හා සිංහල බෞද්ධ අපේක්ෂකයා අතරින් දිනන අශ්වයා තේරීමේ තුරුම්පුව දරනු ඇත.

මීළඟ  2020 මැතිවරණයේදී ලෝකයේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකා දේශපාලන භුමියේ පාපන්දු ගැහීම නැරඹීමට විරල වාසනාවක් අපට උදාවී  තිබේ.

අර මා මිට කලින් ලිපියේ (4) සඳහන්  කල සිරිසා  පන්නයේ  බලවේගයක් බිහිවීමට  ඇති සම්භාවිතාව බොහෝ අඩු හෙයින් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටාරක්ෂාවද  සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාවද පතමු.

අල්ලාහු අක්බර්

~සමාප්තයි

ප.ලි -  ඊයේ රාත්‍රියේ සිදුවූ යම් යම් සාකච්ඡා මත හා ශ්‍රී ලංකාවේ ලැබෙන ආරංචි මාර්ග අනුව අවසන් මොහොතේ යම් ප්‍රාතිහාර්යයක් සිදු නොවුන හොත්  රනිල් වික්‍රමසිංහ මහතා  විශ්වාස  භංගයෙන් අනිවාර්යෙන්ම ජය ගනු ඇත.

~ මේ ලිපියද ලිපි අංක හතර මෙන් හිතලුවක් පමණක්  වීමට පුළුවන.




Sunday, 1 April 2018

සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4

බ්‍රෙස්ගර්ඩල් 
ජෙහාන් ලෙනින්
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3

මේ ලිපි පෙළේ සමාප්ත කිරීම  සඳහා මා පෙර ලියු ලිපියක් වැදගත් වේ.එම ලිපිය නම් "සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය "  මැයෙන් ඇන් ඇම් , කොල්වින් , පිලිප් ගුණවර්ධන ලාගේ වම ගැන ලියූවකි.  පැරණි වම ගැන කතා කිරීමේදී අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඔවුන් ගෙන ගිය අරගලයේදී සුරියමල් ව්‍යාපාරය, මැලේරිය මර්දනයට සහය දීම ආදිය  මගහැර ගිය නොහැකිය. එසේම වසර 1915දී සිදුවුණු  සිංහල මුස්ලිම්  කෝලාහලයේදී පොලිස්පති ඩව්බිගින් විසින් බොහෝ මිනිසුන් නිරපරාදේ මරා දැමීමට  එරෙහිව ඔවුන් කල අරගලය අවසන් වූයේ  ඩව්බිගින් ලංකාවෙන් එළවා ගැනීමෙනි.

මාර්ක් ඇන්තනි බ්‍රෙස්ගර්ඩල් 1936 දී ලංකාවට පැමිණි වාමාංශික ඉංග්‍රීසි ජාතිකයෙකි.  ඔහු වතු කම්කරුවන්ට සුදු  වතු පාලකයන් සලකන තිරශ්චීන  ආකාරය ප්‍රබල ලෙස විවේචනය කල අයෙකි. ලංකා සම සමාජ පක්ෂයට මුලින්ම බැඳුනු සුදු ජාතිකයා ඔහුය. නාවලපිටියේදී වතු කම්කරුවන් දෙදහසක් අභියස බ්‍රිතාන්‍ය පාලකයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කල අතර සම සමාජ පක්ෂය  ඔහු සඟවාගෙන වරෙන්තුවට එරෙහිව විරෝධතා  දියත් කළේය. 1937 මැයි  5 දා  ව්‍යවස්ථා දායක සභාවේ දී චන්ද 34 - 7 කින් බ්‍රෙස්ගර්ඩල්  පිටුවහල් කිරීමට  සුදු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් ස්ටබ්  දුන් නියෝගය පරාජය කරන ලදී. ඇන් ඇම් , ලෙස්ලි, පිලිප්, ගුණසිංහ , ජෝර්ජ් ඊ  ද සිල්වා, ඩි  එම්  රාජපක්ෂ , පෙරිම්බනායගම්, බණ්ඩාරනායක වැනි නායකයන් සමග ගෝල ෆේස් පිටියේ  පනස් දහසක පමණ ජනතාවක් සහභාගී වූ රැලියට බ්‍රෙස්ගර්ඩල් පැමිණි අතර පොලිසියට ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකි විය.

එවකට වම, ප්‍රබල අධිරාජ්‍යයක නියෝගයක් අභියෝගයට ලක් කළේ  එලෙසය.

ඩී එස් සේනානායක ඇතුළු ජන නායකයන්ට ශ්‍රී ලංකාව ට නිදහස ලබා ගැනීමට වැඩි බලපෑමක් කිරීමට අවශ්‍ය නොවුයේ එවකට පැවති  මේ ප්‍රබල වාමාංශය හේතුවෙනි.

මා පෙර ලිපියෙන් නැගූ ප්‍රශ්නය වූයේ ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද යන්නය. බණ්ඩාරනායක මහතා  නිතරඟ ගිවිසුමක් අත්සන් කරමින්  1956 දී  වාමාංශික රජයක් පිහිටවුවද එය හරයෙන්ම ජාතිවාදී වූවක් විය. අවසානයේ අන්ත ජාතිවාදී ගමනක් යෑම ප්‍රතිකෙෂේප කිරීමේ හේතුවෙන් ඔහු ජිවිතයෙන් වන්දි ගෙවීය.

 සිරිසා පන්නයේ සමාජීය බලවේගයන්ගේ ලිහිල්  එකතුවකින් මිස මේ අනවශ්‍ය අත පෙවීම් පරාජය කළ නොහැකිය.

අනුර කුමාර දිසානායක හිවලෙකු වැනි කපටි ඥාණයක් ඇත්තෙකු යැයි මට සිතේ. එවැන්නක්  එංගලන්තයේ හැඳින්වෙන්නේ දක්ෂකමක් (clever) වශයෙනි. (crook නොවේ.) ඔහුට ඩීල් කුමාර යයිද නමක්  පට බැඳී තිබේ. අනුරට වඩා ඩීල් කාරයෝ ශ්‍රී ලංකා දේශපාලනයේ එදත් අදත් සිටියහ. බොහෝ අය එසේ කලේ තම බඩ හා පවුල රැක  ගැනීමටය. ඉඳහිට ජාතිය  ගලවා ගැනීමේ කතාද එවැනි උන්  මතුරති. අනුර කුමාර මහතා  එසේ කරන්නේ යයි මම නොසිතමි.

මා ලියූ ජෙහාන්  ලෙනින් ලිපියේ අන්දමට ලෙනින් ද එක්තරා විධිහක ඩීල් කාරයෙකි. නමුත් දේශද්‍රෝහී ලේබලයෙන් ගැලවීම පිණිස ජර්මානුන් සැපයූ  දුම්රියේ ගමන් කරද්දී ජර්මානුන් ගෙන් වෙන්ව එම දුම්රිය මැදිරිය "වෙනම රටක් " මෙන් මවාගත් දේශ සිමා සහිතව ගමන් කරන බව පෙන්වීමට ඔහු වග බලා ගත්තේය. එසේම ලෙනින් තමන්ගේ බඩ වඩා ගැනීමට ගියේ ද නැත.

අනුර,  විජිත හේරත් , නලින්ද ජයතිස්ස වැනි ජවිපෙ දක්ෂිනාංශයේ ප්‍රතිගාමින් මෙන්ම බිමල් රත්නායක, සමන්ත හේරත් වැනි ජවිපෙ වාමාංශය ද මැනවින් කළමනාකරණය කරගනිමින් සිටී. එසේම  ටිල්වින්ද ඔඩොක්කුවේ තබාගෙන පළාත් පාලන ඡන්දයෙන් චන්ද ලක්ෂ හතක් පමණ ලබා ගැනීමට  පක්ෂය මෙහෙයවා නායකත්වයට අභියෝගයක් නොමැතිව සුවසේ වැජඹෙයි. ඔහු ජවිපෙට සුපුරුදු ජාතිවාදී ස්ථාවරයෙන්  මිදී සම්බන්ධන් වැන්නවුන් සමගද හොඳ  සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවක් පෙනී යයි.

සිරිසා වැනි සාමාජිය බලවේගයක නායකත්වය දැරීමට ඔහුගේ  නුසුදුසු කමක් මට පෙනෙන්නේ නැත.

අනිත් පසින් ඩීල් එකක් දම්මවා ගෙන ලංකාවට පැමිණියා යයි පැවසෙන කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂය,   ද්‍රවිඩ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය ඇතුළු ප්‍රශ්න  බොහොමයක්ද ජවිපෙ අතීත ක්‍රියාකාරකම් පිලිබඳ පැන නැගෙන විවේචන  බොහොමයකටද සාධාරණය ඉටු කරන්නේ යයි කියමින් දේශපාලනයට පිවිසියද ඒවායේ තවමත් හිරවී  සිටින බවක් පෙනී යයි.  ඔවුන්ගේ ප්‍රධානම අරගලය  සයිටම් විරෝධය හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම බවද පෙනේ.

එය එසේ වුවද කුමාර් ගුණරත්නම් ගේ සංවිධාන ශක්තිය හා ජවිපෙ හි දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් ලද අත්දැකීම් සමුහයද නිකම්ම අතහැර දැමීමට නොහැකි දේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය  තවමත් සිරවී සිටින්නේ යල්පැනගිය විජේවීර  වාදයේ හා ස්ටාලින් වාදයේ අනවශ්‍යම න්‍යායාත්මක බැඳීම් වලය. කුමාර් ගුණරත්නම් හා පුබුදු ජාගොඩට  පක්ෂයේ මූලික හර  පද්ධතීන් වෙනස් කිරීමට තව සැහෙන කාලයක් ගතවනු ඇත. එය එසේ වුවද  කුමාර් ගුණරත්නම් ගේ වේදිකා ප්‍රකාශ හා රැස්වීම්  වල දහස් දැක්වීම් අනුව "අපහසුවෙන් හෝ" ඔහු සිටින්නේ නිවැරදි ස්ථාවරයක  බව පෙනී යයි. මගේ අදහස නම් අනුරගේ නායකත්වයෙන් දියත් කළ හැකි සිරිසා පන්නයේ  සමාජීය බලවේගයක ප්‍රධාන සංවිධායකවරයා විය යුත්තේ කුමාර් ගුණරත්නම්ය.

නමුත් මේ සංවිධාන හෝ පක්ෂ දෙකෙහිම ප්‍රබල ප්‍රශ්නයක් තිබේ. ඒ මොනතරම් පුරසාරම් දෙඩුවද ඔවුන්ට වර්තමාන දේශපාලන තත්වයන් නිසි පරිදි විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාවයි. ඔවුන් සිරවී සිටින වාමාංශික න්‍යායවාදී මකුළු දැලින් මිදීමට තවමත් හැකියාවක් ලැබී නැත.

ඒ තත්වයෙන් මිදීමට වසර ගණනක් වෙහෙසෙන වාමාංශික න්‍යායධරයෙකු  ශ්‍රී ලංකාවේ සිටි. ඒ දීප්ති කුමාර ගුණරත්නය.  නමුත් දීප්ති යනු තමන්ගේම "ඇසිඩ් වැස්සක" නිරන්තරයෙන් තෙමෙමින් සිටින තැනැත්තෙකි. දීප්ති ගේ කණ්ඩායම විසින් 2004 දී  ඔවුන් හැරගිය අයට ස්ටාලින් ක්‍රමයේ හෝ,  ජවිපෙ විජේවීර ක්‍රමයේ දඬුවම් දීම වෙනුවට පක්ෂ වෙබ් අඩවි හා සමාජ ජාල වලින් ඉදිරිපත් කරන ඇතැම් විට  පුද්ගලවාදී වශයෙන් පෙනෙන  නිර්දය ඇසිඩ් විවේචන නිසා ඔවුන් සමග එක්වී කටයුතු කිරීමට බොහෝ වාමාංශික අදහස් ඇත්තන් මැලි කමක් දක්වති.

මෙය හොදින් නිරීක්ෂණය කලවිට මා දුටුවේ  වෙනත් දෙයකි. ශ්‍රී  ලංකාවේ වාමාංශය  තුල සටින ලංකාවේ  හෝ විදේශයන්හි ජිවත්වන අය  තුල  අමුතු ආකාරයේ හැසිරීම් සමුදායක් තිබේ .  දියුණු බටහිර සමාජයක ජිවත් වෙන සමහරුන්  අගයන්නේ කියුබාවේ ආර්ථිකයයි. නමුත් කියුබාවට  ගොස් ජිවත් වීමට ඔවුන්ට නොහැකි සේම ඔවුන් එසේ කරන්නේද නැත. එසේම සමහරු ගැහැනුන් ගේ සම අයිතියට සටන් කරන ගමන්  තම බිරිඳ බත් ටික බෙදා අතට  නොදුනහොත් කෑම  වර්ජනය කරන ජාතියේ අයයි.  බැදුම්කරයට විවේචනය කරන ගමන් එවැනිම මුදල් උපයන ක්‍රියා මාර්ග අනුගමනය කරන සමජවාදීන් ද සිටි. ලේඛනය තව දිගට ලිවිය හැකි වුවත් මින් නවතිමි.

දීප්තිලාගේ නිර්දය විවේචන මේවා කෙරෙහි එල්ලවන නිසාත් බොහොමයක් අයගේ දෙබිඩි හැසිරීම් ඇත්තේ එතන  නිසාත් දීප්ති තමන්ගේම ඇසිඩ් වැස්සෙන් තෙමේ.
 "90 දශකයේ සාහිත්‍ය කලා හා දේශපාලන වැඩ බිමට පැමිණි මිනිස් පරම්පරාව යනු දේශපාලනයේදී මට සම්මුඛ වූ ප්‍රමුඛ මිනිසුන්ය. පරම්පරාවක් ලෙස ඔවුන් උභයාවේගිය. ඔවුන්ගේ ආත්ම මුලිකත්වයේ මුඛ්‍ය සාධකය ආශාව හා බිය අතර දෝලනය වෙයි. දේශපාලනය යනු ඔවුන්ට ආත්ම  භාෂණයක් මිස  විප්ලවවාදී මැදිහත්වීමක් නොවේ. මෙම පරම්පරාවට මාක්ස්වාදය ගැන ඇති සාක්ෂරතාවය දුලබය.  ඔවුන් රොමැන්තිකය. සංකේත නීතියට වඩා ඔවුන් ගරු කරන්නේ හදවතේ නීතියටය . තමන්ගේ දෛවයට වඩා  වෙනත් අයගේ දෛවයට රිට් ආඥා නිකුත් කරයි.  - දීප්ති කුමාර ගුණරත්න -"ඇසිඩ්  වැස්ස " පි. 102

ලැකානියානු මනෝ විශ්ලේෂණයන්,  ජිජැකියානු මාක්ස්වාදී විග්‍රහයන් හරහා දීප්තිගේ කණ්ඩායම වාමාංශික දේශපාලන ක්ෂේත්‍රයේ කාලයක සිට පෙරලියක් ඇති කරමින් සිටියි. කුමාර් ගුණරත්නම් ද මෙය වටහාගත් බව මට පෙනුනේ කලකට පෙර පෙසපේ සාමාජිකයකු ඇමතීමෙනි.

" මේ පෙරටුගාමී කට්ටියගෙන්   හොඳ, විවේචනාත්මක දේශපාලන අදහස් වගයක් ප්‍රකාශයට පත් වෙනවා නේද? කලින් හිටිය එක්ස් කට්ටිය නේද ?"
" ආ ඔව් ඔව් ඒ අපි තමයි. එක්ස් කට්ටිය ඉන්නේ අපිත් එක්ක"
මා පසුව වටහා ගත්තේ ඔවුන් පෙරටුගාමී සමාජවාදීන් බවය. නම් පැටලී ඇත.

සිරිසා පන්නයේ හෝ පැරණි වමේ මුල කාලයේ මෙන් වන  සමාජීය බලවේගයක න්‍යායාත්මක පදනම වැටිය යුත්තේ දීප්තිගේ සහභාගිත්වය හරහාය.
සිරිසා 

මේ බලවේගයට  තනිව (පක්ෂයක් රහිතව)  දේශපාලනයේ  සිටින දයාපාල තිරාණගම, ලයනල් බෝපගේ වැන්නවුන් මෙන්ම විදේශගත රෝහිත භාෂණ කණ්ඩායමද එක්  විය යුතු බව මගේ විශ්වාසයයි. ඕනෑම  ජාතිවාදී මැදිහත්වීමක් ප්‍රබල ලෙස පරාජය කිරීමට  ඔවුන් සහය දෙනු ඇත.

නමුත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයා ගැනීම කළ නොහැක්කක් සේම සිරිසා පන්නයේ සාමාජීය බලවේගයක් ගොඩ නැංවීමට  අපරිණත නායකයන් හා සාමාජිකයන් ගෙන් සපිරුණු ලංකාවේ   වම කිසිදා සමත් නොවෙනු ඇත. මිනිසුන් වෙනුවෙන් නිතර කැප වීමට හා ජීවිතය පිදීමට වුවත් සූදානම්  යයි දෙසන  සමහරු බොහෝ විට තම පක්ෂ පුටුව අත හැරීමට මැලිවෙති. පක්ෂයේ ඇති තැන රැක  ගැනීමට පොර කති.

කොටින්ම විය නොහැක්කක් ගැන මේ ලියවිල්ල මාගේ  හිතළුවක්  පමණි.

මේ නිසා ශ්‍රී ලංකාවේ සැබවින්ම විය හැක්කේ කුමක්ද?

~ මතු සම්බන්ධයි



Thursday, 22 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2

දයලෙක්තිකය 
ළඳරු සෝවියට් රාජ්‍යයේ විවාහ ක්‍රමය ලිහිල් සහගත වුවද ඉන් යුවලක ගේ බැඳීමේ අඩුවක් ඉස්මතු නොකරන ලදී. නිදහස් ආදරය යනු කැමැති හැම අයෙකු  සමගම ලිංගිකව බැඳීම නොවේ. සෝවියට් දේශයේ නිදහස් ආදරය යනුවෙන් හඳුන්වන ලද්දේ බාහිර බැඳීම් හා වැට කඩොලු නොමැතිව දෙදෙනෙකු අතර ආදර  සම්බන්ධයන් පවත්වා ගැනීමේ හැකියාවයි. උදාහරණයක් වශයෙන් කුලය, ආගම , ජාතිය, දෑවැදි , රැකියාව ආදිය  නොසලකා ඇතිවන සම්බන්ධකම්ය. දරුවන් සඳහා කොමියුන ළඳරු පාසැල්  ආදිය ඇතිකිරීම මගින් විවාහ වී හෝ එකට වාසය කරන දෙදෙනෙකුට රැකියාව කිරීමට හා සමාජ සේවා කටයුතු වල කාලය වැය කිරීමේ හැකියාව වැඩි කරන ලදී.

ලිංගිකත්වය හා හැසිරීම් පිළිබඳව වැඩි අවදානමක් ලෙනින් හෝ අනිකුත් නායකයන් නොදක්වන ලද බව පෙනේ. ඔවුන් වඩාත් වැදගත් කොට සළකා ඇත්තේ පාලන ක්‍රමයේ හා ආර්ථික ක්‍රමයේ වෙනස් කම් ඇති කිරීම කෙරෙහිය..

පුද්ගල අවශ්‍යතා  තහනම් කිරීමේ  හා සීමා පැනවීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඒකාධිපති පන්නයේ රජයන්ටය. එසේ කිරීමෙන් හා නිදහසේ සීමාවන් පැනවීම මගින් මිනිස් සමාජය තමන් ට රිසි පරිදි හැසිරවීම පහසුය.
ස්වින්ගින් සික්ස්ටිස්

බටහිර  යුරෝපයේ මෙන්ම ඇමෙරිකා  එක්සත් ජනපදයේත් ප්‍රබල සංස්කෘතික වෙනසක් හැටේ දශකයේ සිට පටන්ගත්තේය. ස්වින්ගින් සික්ස්ටිස් (මාරු කරන හැටේ දශකය) ලෙස මාධ්‍යවේදීන් තවමත් හඳුන්වන මේ කාලය සනිටුහන්වන්නේ හිපි සංස්කෘතියේ ප්‍රචලිත වීම, ලිංගික නිදහස, ගැහැනුන්ට සමතැන පිලිබඳ ඉල්ලීම ඉදිරියට ඒම ආදිය මගිනි.  විවාහයන් පිළිබඳව දක්ෂිණාංශික පක්ෂ වල අදහස ප්‍රතිගාමී ලෙස සැලකුණි. කම්කරු හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයන් මගින් ගබ්සාව  නීතිගත කරන ලද අතර  සම ලිංගික සේවනය වරදක් ලෙස තව දුරටත්  නොසලකන ලදී.

බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ පැවති ඩේවිඩ් කැමරන් ගේ  දක්ෂිණාංශික රජය සමලිංගික විවාහ පවා නීතිගත කරන ලදී.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එස් පි ඩි පක්ෂ සමග රජය පිහිටවූ ජර්මනියේ ඇන්ජෙලා  මෙර්කල් ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්තවාදී සංගම් පක්ෂය ද මේ මාර්ගයේම ගමන් කළහ. සමලිංගික විවාහ පමණක් නොව වෙනත් රටවලින් නිදහස සොයා එන  සංක්‍රමණිකයන් වැඩි වැඩියෙන්  රටට  ගැනීමටද ඔවුන් පෙළඹුණි. එසේමේ මේ බොහෝ රටවල් වල සංක්‍රමණිකයන් සඳහා වන නීති රිතිද ලිහිල් විය.

මේ වෙනස් වීම් සමගම ලෝකයේ බල තුලනය දේශපාලනික ලෙස වෙනස් විය. රුසියාවේ ස්ටලින්වාදී පුටින් සමලිංගික විවාහ වලට විරුද්ධ අතර එම අදහස් ඉගැන්වීමද තහනම් කර ඇත. ස්ටාලින් මෙන්ම  පුටින් ද රුසියානු පවුල් ආර්ථික ඒකකයක් ලෙස ලෙස ඉස්මතු කරයි. (ඔහුගේ දික්කසාද වීම ප්‍රශ්නයක් නොවේ) පිලිපීනයේ ජනාධිපති ඩුඅර්ටේ කැරලිකාර තරුණියන්ගේ රහසඟ ප්‍රදේශ වලට වෙඩි තබන්නයි හමුදාවට අණ  කරයි. නඩු ඇසිමකින් තොරව මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ භාවිතා කිරීම කරන අය මරා දැමීමට ආරක්ෂක සේවාවන්ට අවසර දෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේද මේ අක්ෂයේය. කොතරම් ට්‍රම්ප් සමග වාද කළද උතුරු කොරියාවද ඒ පැත්තේය. (ට්‍රම්ප් තමන්ගේ ගේ ට්විටර් මෙසේජ් සටනේ  ප්‍රධානතම විරුද්ධවාදියා වන උතුරු  කොරියානු ජනාධ්පති කිම් හමුවන බවද දැන් පවසයි.)  ඔස්ට්‍රියාවේ දක්ෂිණාංශික රජයක් තේරී පත්වී ඇත. ලෝකයේ නව ලිබරල්වාදී  ධනවාදී රටවල දේශපාලනය දයලෙක්තික  ප්‍රති විරෝධයකට බඳුන්ව ඇත.

හේගල්ට අනුව දයලෙක්තික  ප්‍රතිවිරෝධයක දී  එකම ප්‍රශ්නයක (හේතුවට) තිසිසයට ඇන්ටි තීසිසයක්  හෙවත් ප්‍රතිවිරෝධයක් (ප්‍රති හේතුවක්) ඇති අතර සත්‍යය සොයා යාමේදී ඒ දෙකේ ප්‍රතිවිරෝධයෙන් නව සින්තෙසිස් එකක් හෙවත් නව අදහසක් ඉදිරිපත් වෙයි. මාක්ස් පැවසුවේ හේගල්ගේ මේ අදහස විඥාන වාදී එකක් කියායි.
In the Phenomenology of Spirit, which presents Hegel’s epistemology or philosophy of knowledge, the “opposing sides” are different definitions of consciousness and of the object that consciousness is aware of or claims to know.

 මාක්ස් මෙය ඔලුවෙන් හිටවූවා යයි කියන්නේ  එය ඔහු භෞතිකවාදයට සම්බන්ධ කළ නිසාය. මාක්ස් මේ තීසිස් , ඇන්ටි තීසිස් සහ සින්තෙසිස්  විඥානයට  සම්බන්ධ කොටස  ප්‍රතික්ෂේප කළේය. ඔහු දයලෙක්තික භෞතිකවාදය සැලකුවේ භෞතිකවාදයේම (materialism) කොටසක් ලෙසය. මාක්ස් ස්වභාව ධර්මයේ ප්‍රතිවිරෝධයන් තුලින් නව භෞතිකවාදී නිරූපණයක් අදහස් කළ අතර මාක්ස් හා එංගල්ස් ට  අනුව  ප්‍රයෝගික දේශපාලනයේ  දේශපාලනික ප්‍රතිවිරෝධයන් තුලින්  නව දේශපාලන  ක්‍රමයක් බිහිවීම වැලැක්විය නොහැකිය. එසේත් නැත්නම් සමාජ ප්‍රගමනයේදී (පරිණාමයේදී ) පෞරාණික සමාජයේ පන්තීන් අතර ප්‍රති විරෝධයෙන් නව සමාජයක් බිහිවේ. එනම් දියුණුව හට ගන්නේ භෞතිකවාදී අරගලයන් තුලිනි. එනම් තිසිසයේ හා ඇන්ටි (ප්‍රති විරෝධී) තීසිසයේ  වර්ධනයෙන් හටගන්නා සින්තෙසිසය මගින් තීසිසය  හා ඇන්ටි තීසිසය නිශේධනය වේ.  මාක්ස්ට අනුව හේගල්ගේ විඥාන වාදය ප්‍රතික්ෂේප කළවිට ඉතිරිවන්නේ, ඉතිහාසය නිර්මාණය වනුයේ  සමාජය තුල පන්තීන් අතර ප්‍රතිවිරෝධතාවය  තුලින් හටගන්නා  අරගල වලින් බව හා එය නිශ්චිත කරන සාධකය ආර්ථිකය බවත්ය.

ලෙනින් විසින් ඇතුලත් කලේ කුමක්ද?
කෘප්ස්කයා ගේ චීත්තය පිලිබඳ ලෙනින් ගේ සටහන් නොවේ 

ලෙනින් විසින් හෙගලියන් දයලෙක්තිකයේ භෞතිකවාදී  ප්‍රතිලෝමය පැහැදිලි කරන ලදී.   සදාචාරාත්මක මුලධර්ම  මත පන්ති ප්‍රතිවිරෝධයන් (අරගල) පවතින බව ලෙනින්  සඳහන් කළේය. (නරෝද්නික වාදයට හෙවත් විප්ලවය සඳහා දේශපාලන  විරුද්ධ  ගේ ඝාතනයට ලෙනින් එක හෙලාම විරුද්ධ විය. (සැ.යු: ස්ටාලින්, පොල්පොට් ගේ සිට විජේවීර  දක්වා - ලෙනින්ට එරෙහිව  යාම)

එසේම ලෙනින් විසින් භෞතික විද්‍යාවේ ප්‍රමේයයන්හි  පරිණාමය (හෙල්ම්හොල්ට්ස්) , චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය හා කාල් මාක්ස් ගේ දේශපාලන ආර්ථික විද්‍යාව එකට ගොනු කළේය. (convergence)
දැන් මෙහි පුදුමයට පත්කරවන දෙය නම්   මාක්ස් ගේ (මාක්ස්වාදයේ) දයලෙක්තික භෞතිකවාදය -  දයලෙක්තික භෞතිකවාදය  හා එංගල්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය නමින් වඩා පැහැදිලි ලෙස නිරූපණය කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේ ස්ටාලින් වීමය.

ඔක්තෝබර් (නොවැම්බර්) විප්ලවයෙන් (1917)  පසු  දෙබෝරින් ගේ නායකත්වයෙන් "දයලෙක්තිකවාදීන්" හා නිකොලායි බුහාරින්  ගේ නායකත්වයෙන් "යාන්ත්‍රිකයන්"  යනුවෙන් සෝවියට් දේශපාලන  දර්ශනවාදය දෙකොටසකට බෙදුණි.  මෙහිදී ලෙනින් ගේ නව ආර්ථික පිළිවෙතට පක්ෂව සිටි බුහාරින් ලෙනින් ගේ මරණයෙන් පසු ස්ටාලින් ගේ "තනි රටක සමාජවාදය" තියරියට එකඟ විය. මෙහි ප්‍රතිඵලය  වුයේ එයට විරෝධය පළ කල  ට්‍රොට්ස්කි,සිනොවියෙව් , කාමනෙව් (ආචාර්ය නලින් ද සිල්වා මහතා නිතර පවසන  යුදෙව් විප්ලවවාදීන් ) සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා දැමීමයි. දෙදෙනෙකු  පසුව දේශද්‍රෝහී ලේබලය යටතේ මරා  දමන ලදී (ට්‍රොට්ස්කි මරා දැමුනේ පසුවය) .
  කොසක් වරුන් හා සමුහ ගොවිපල ක්‍රමයට විරෝධය පාන ගොවීන්  මරා දමමින්, බලයෙන් සමූහ ගොවිපලවල් ඇති කිරීමේ ස්ටාලින් ගේ   ප්‍රතිපත්තියට විරෝධය පෑමේ වරදට දේශද්‍රෝහියකු ලෙස   1937 දී   ඝාතනය කරන ලදී.
ස්ටාලින් විසින් තම මිත්තනිය ගේ චිත්තය පිලිබඳව ලියු  සටහන් නොවේ 
තනි රටක සමාජවාදය ලෙස ඒකාධිපති රාජ්‍යයක් පිහිටුවීමට ස්ටාලින් දියාමත් (diamat) හෙවත් දයලෙක්තික භෞතිකවාදය ම උපයෝගී කර ගත්තේය. දයලෙක්තික  සහ ඓතිහාසික භෞතික වාදය නමින් 1938 දී ස්ටාලින් චිසින් පොතක් පළ කළේය. පසු දවසක මේ පොත ගැන විවේචනයක්   ඉදිරිපත් කරමි. කෙසේ වුවද වැදගත්ම කරණය වන්නේ ඉන්පසුව සෝවියට් විද්‍යාව, සමාජ අධ්‍යයනය හා විද්‍යාත්මකව ඉතිහාසය අධ්‍යයනය කිරීම  සඳහා එහි  වර්ධනය ට හෝ එහි සීමා සහිත බවට ස්ටාලින් ගේ ඔර්තොඩොක්ස් (පැරණි සම්මත) දර්ශනවාදය තදින් බල පෑමයි.

ට්‍රොට්ස්කි විසින් මෙක්සිකෝවේ සිට පොත් සහ පත්‍රිකා ලියමින් ඉදිරිපත් කළේ ස්ටාලින් විසින් පිටුවහල් කළ මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ දර්ශනයේ ම ස්ටාලින් වසා දැමූ කොටසය.

අද වන විට ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ  මෙන්ම බ්‍රිතාන්‍ය යේ කම්කරු පක්ෂයේ ත්  යුරෝපයේ ඇතැම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල ත් ,  ඇතැම් දක්ෂිණාංශික එහෙත් වමට බර පක්ෂ වලත්  දේශපාලන දර්ශනයට එම අදහස් දැඩි බලපෑමක් කරන ලදී. ක්ලින්ටන්, ඔබාමා, මෙර්කල්  ඇතුළු කණ්ඩායම කිසියම් ආකාරයකට  පුටින්, ට්‍රම්ප් විරෝධී වන්නේත් තමන් ලෝකයේ ඇතැම් පැතිවල අප්‍රසාදයට පත් වුවද ගඩාෆී වැනි ඒකාධිපතියන්ට විරුද්ධ වන්නේත් මේ අනුවය. බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ ඇතුළු කොන්සර්වටිව් රජයට කෙලින්ම ට්‍රම්ප් ට සහයෝගය දීමට අපහසුද මේ කාරනාව නිසාය.  ට්‍රම්ප් බොහෝ විට ආපසු හැරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ එදා සිට අද දක්වාම තම ස්ථාවරය වෙනස් නොකර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයේ දී සිටින්නේ ආචාර්ය වික්‍රමබාහු  කරුණාරත්න මහතාය. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් , කොළඹ ආනන්ද විදුහලේත් උගත් ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක්  ලත් අයෙකි. (මොස්කව් විදුලිබල තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලැබීම ගැන මම අදත් සතුටු වෙමි. සමහර විට එකම ආකාරයෙන් සිතීමට උදව්වක් වෙනවා දැයි නොදනිමි)  වික්‍රමබාහු මහතා පසුව ශිෂ්‍යත්වක්  ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තම දර්ශනවාදී උපාධිය (PhD)  ලබා ගත්තේය.

ආචාර්ය  වික්‍රමබාහු ශ්‍රී ලංකාවේ ජාතිවාදයට එරෙහි තම මතය ඉතා අපකීර්තියට පත්වූවද ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එසේම පසුගිය කාලය පුරා  නව ලිබරල් රනිල් ගේ රජයට යම් ප්‍රතිපත්තීන් සඳහා සහය දෙන අයෙකි.  ඔහු ඒකාධිපතිවාදයට විරුද්ධ නිදහස් කාමියෙකි.මේ අනුව ඔහු සිටගෙන ඇත්තේ ඔහුට වඩාත් සුදුසු තැනය . ට්‍රම්ප් /පුටින් අක්ෂය සමග ඔහුට එක්විය නොහැකිය.  ලෝක දේශපාලනයේ දයලෙක්තික ප්‍රතිවිරෝධය ගැන හොඳ අවබෝධයක් ඔහු සතුව ඇති බවට මට හොඳ විශ්වාසයක් තිබේ.
රනිල්ට දයලෙක්තිකය උගන්වන බාහු
රනිල් ගැන මා 2014 දී "දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල් " යනුවෙන් ලියූ ලිපියක් මෙතැන ඇත. රනිල් ගේ නිදහස්වාදී පරිපාලනයට කොක්ක දමන්නේ කවුද යන හොඳටම පැහැදිලි බව එකකි. රනිල් ඉතා දුර්වල නායකයෙකු බවට චෝදනාවක් තිබේ. රනිල් බැදුම් කර මගඩිය සමග සම්බන්ධ වුනු බවට චෝදනාවක් තිබේ. බැදුම්කර යනු වර්තමාන ධනවාදී ලෝකයේ ආර්ථිකය  කැරකෙන දැති රෝද  රාශියෙන්  එකකි. ඔහුට විරුද්ධව කටයුතු කරන අක්ෂය සිටින්නේ පුටින්/ට්‍රම්ප් අක්ෂයේ හෙවත් ඒකාධිපතිවාදය පසසන අක්ෂයේය.  නමුත් වික්‍රමබාහුට ඊට විරුද්ධ ස්ථාවරය ගැනීම හැර වෙන කළ හැකි දෙයක් නැත. ලෝකයේ ට්‍රොට්ස්කිවාදී බලපෑම ඇත්තේද එතනය. නව ලිබරල්වාදී ආර්ථිකයට විරුද්ද්ධ වුවද ඔවුහු ඒකාධිපතිවාදී රාජ්‍ය ධනවාදයට එලෙසින්ම විරුද්ධ වෙති. කෝබින් ගේ වර්තමාන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ට්‍රොස්කිවාදී බලපෑම ප්‍රබලය.

වර්තමාන බටහිර සමාජයේ ජිජැකියානු දර්ශනවාදය හා ලැකානියානු මනෝ විශ්ලේෂණයන් ගේ බලපෑම  අර ඉහත  සදහන් කල සෝවියට් දේශයේ රාජ්‍ය ධනවාදයේ පරාජයට බල  පෑ සංස්කෘතික බලපෑම සමග සංසන්දනය කරන්න.  (දෙවැනි ලිපිය) එය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළේ හා කරමින් සිටින්නේ දීප්ති කුමාර ගුණරත්න  ගේ කණ්ඩායමය. අනිකුත් ප්‍රධාන වාමාංශික පක්ෂ හා කණ්ඩායම් තරමක් දුරට ඒ   ගැන සංවේදී වුවද තවමත් සිටින්නේ ස්ටාලින් ගේ දයලෙක්තික යකඩ කූඩුවේය.

එසේ නම්  අනුර කුමාර, කුමාර් ගුණරත්නම්, දීප්ති කුමාර ගුණරත්න ගේ භූමිකාවන් ගේ අනාගතය කෙබඳු විය හැකිද? ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද?

මුලාශ්‍ර :Dialectical materialism
~ මතු සම්බන්ධයි 

Sunday, 11 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නැවත රුසියාවට පැමිණි එඩි හන්ටින්ටන් USSR ගීතය ගයන අයුරු පහත  වීඩියෝවේ.

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1ලිපියේ  මුලින් සඳහන් කළ හැසිරීම් සෝවියට් දේශයේ බහුල දෙයක් නොවේ. එය අද බටහිර සමාජයේ වුවද  සුළුතරයක් අනුගමනය කරන ජිවන රටාවකි. ලිපියේ මුඛ්‍ය අදහස වූයේ එවැනි නිදහසක් තිබු බව කීමට මෙන්ම ලෙනින් සහ ට්‍රොට්ස්කි ගේ සුක්ෂම මොලයෙන් විප්ලවය මෙහෙයවුවද ඔවුන් සාමාන්‍ය ලෙස ජීවත්වූ බව කියන්නටය.

සෝවියට් විවාහය පිලිබඳ ප්‍රබල වෙනස් කම් 1936න් පසුව ඇතිවුණු බව මුල් ලිපියේ සඳහන් කලෙමි. වසර 1926 ප්‍රධාන වෙනස් කම් දෙකක් කරන ලදී. විවාහය ලියා පදිංචිය රජයට අවශ්‍ය දෙයක් ලෙස සැලකුණි. එකට ජීවත්වීමට බාධාවක් නොමැත. දික්කසාදය තවත් ලිහිල් කරන ලදී. එනම් උසාවි යාමක්  නොමැතිව දික්කසාදය ලියා පදිංචිය පමණක් ප්‍රමාණවත් විය. කාන්තාවන්ගේ  විවාහ වයස 18 දක්වා දික් කරන ලදී.

ස්ටාලින් ගේ පාලන සමයේ  ගබ්සාවන් කිරීම (1936 දී)  තහනම් කරන ලදී. දික්කසාදය වඩාත් අපහසු විය. දෙපාර්ශ්වයම සිවිල් විවාහ දෙපාර්තමේන්තුවට (ශාඛා වලට)ගොස් දික්කසාදයට මුදල් ගෙවිය යුතු විය. දික්කසාද වූ බවට ගමන් බලපත්‍රයේ සටහනක් වැටුණි. මෙය සමහරවිට අවාසිදායක විය.

දෙවන ලෝක යුධ සමයේ 1944 ජුලි 8 දා සම්මත කල පනතින් රාජ්‍ය ධනවාදය වඩා තහවුරු කරමින් විවාහය ලියාපදිංචි කර නොමැති නම් කිසිම දේපලක සාමුහික අයිතිය අහිමි කරන ලදී. නිවෙස් මිලදී ගැනීමට අවසර නොතිබූ මේ කාලයේ කෙනෙකු සතුව තිබෙන ඕනෑම දෙයක අයිතියට මේ නීතිය බල පෑවේය. එකට ජිවත් වන කසාද නොබැදි අය සඳහා වූ නීති මාලාවේ  අංක 8 කොටස අහෝසි කෙරිණි.
දික්කසාද වීමට නම් ඒ සඳහා අය කරන මුදල ගෙවීමට අමතරව පුවත් පත් දැන්වීමක්ද පල කල යුතු විය. දෙපාර්ශවයේම චෝදනා විභාග කරන ලදී.

කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන්  කිසිවෙකුට දික්කසාද වීම ඉතා අපහසු විය.  පසුව පැවති  ලියොනිඩ් බ්‍රෙශ්නෙව් ගේ ( ජනාධිපති/පක්ෂ ලේකම්) සාපේක්ෂව නිදහස්  කාලයේ මෙන්ම  අප උගත් කාලයේදීත් (අසූව  දශකයේ) එය එසේම විය. සාමාන්‍ය වැසියන්ට වඩා උසස්  සමාජ දර්ශනයකින් හා උසස් විප්ලවීය මනසකින් යුත් කොමියුනිස්ට් පාක්ෂිකයන් දික්කසාද වන්නේ නැත යන මතයක් සමාජගත කර තිබුණි.  ඒ දිනවල වෙන්ව ජිවත් වන සැමියා වෙනම නිවාඩුව  ගත කිරීමට යන අතර බිරිඳ වෙනත් පෙදෙසක නිවාඩුවට තනියම යයි. බොහෝ අවස්ථාවල  දෙදෙනාම තාවකාලික පෙම්වතුන් සොයා ගනී. මෙවැනි  දේ ප්‍රසිද්ධ  රහස්ව පැවතුනි. එවැනි කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් වූ කාන්තාවන්, සැමියා ගෙන් වෙන්ව, එහෙත් එකම නිවසේ ජිවත්වන්නේ රැකියාව සහ නිවස රැක  ගැනීමටය. නමුත් ඔවුන්  විදේශික ශිෂ්‍යයන් මෙන්ම වෙනත් නගර වලින් පැමිණියවුන්  සමග ආදර සම්බන්ධතාවයන්  පවත්වාගෙන ගියහ.

සමලිංගික සේවනය තහනම් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විය. නමුත් මා වෙනත් ලිපියක සටහන් කළ පරිදි දික්කසාද අසීරු වුවත් බ්‍රෙශ්නෙව් ගේ කාලයේ දික්කසාද ක්‍රමයෙන් වැඩි විය. බොහෝ කාන්තාවන් තනි දරුවෙකු සාදාගෙන තනිව ජිවත් වීමට වඩා  කැමැත්තක් දැක්වූහ.

සෝවියට් දේශයෙන් පිටුවහල් කළ ට්‍රොට්ස්කි මුලින් තුර්කියේ ජිවත් වුනු අතර පසුව මෙක්සිකෝවට පලා ගියේය. වාමාංශික මිලිටන්ට් පන්නයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර හැර අනිකුත් ප්‍රධාන දහරාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ වඩා  ප්‍රගතිශීලි රජයන් සමග කටයුතු කිරීමට  පටන් ගති. එසේම මුලින් ට්‍රොට්ස්කිවාදිව සිටි දේශපාලන ක්‍රියාධරයන් වෙනත් ප්‍රධාන දහරාවේ දේශපාලනයන්ට එක්වන්නට විය. බොහෝ අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග එකතු විය.
බටහිර දක්ෂිණාංශික සමාජ ක්‍රමයෙන් වෙනස් වන්නට වීය.

සෝවියට් දේශයේ සිදුවුයේ කුමක්ද?
අසූව දශකය වනවිට ඇතැම් බටහිර වාදක කණ්ඩායම් සෝවියට් දේශයට ගෙන්වන ලදී. බොනි එම්  සංගීත කණ්ඩායම 1978 දී මොස්කව් වල සංදර්ශනයකට  පැමිණියහ. (ඉහත  වීඩියෝව බලන්න)  විශ්ව  විද්‍යාල ආදියේ  පැවති ඩිස්කෝ සැන්දෑ හැඳින්වුයේ ඩිස්කොටෙකා(තේකා) යන නමිනි.

සෝවියට් ඩිස්කෝ එකක්.

ඉතාලියානු ගායක  යුවලක් වන රිචී හා පොවෙරි මෙන්ම ටොටෝ කුටුඥෝ ද සෝවියට් දේශයේ ඉමහත් ජනප්‍රිය විය. පහත ඇත්තේ  ඉතාලියානු ගායිකා යුවල 1986 දී මොස්කව් හි කල ප්‍රසංගයයි.


ඉන්පසු එක දිගට ඔටාවන්, මොඩර්න් ටෝකින් , සි සී කැච් (ජර්මන් ), බනානරාමා  ආදීන්  මොස්කව් වන්දනාව කළහ.

ඔවුන්ගේ ගීත සෝවියට් ඩිස්කෝ සැන්දෑ වල ඉමහත් ජනප්‍රිය ඒවා විය. ක්‍රම ක්‍රමයෙන් ස්ටලින්වාදීන් ට නොදනුත්වම ඔවුන්ගේ දෙපය යටින් කාපට්  එක ඇදීමට සෝවියට් දේශයේ ඉතිරිව සිටි ට්‍රොට්ස්කිවාදීන් හා ලෙනින් වාදීන් සමත්වූහ. නීතියට බියව සිටි ස්ටාලින්වාදී සෝවියට් වැසියාගේ සංස්කෘතික  මනස ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන ලදී .  අප වැනි විදේශික ශිෂ්‍යයන් ලවා සෝවියට් දේශයේ තහනම් ගීත කණ්ඩායම් වන බ්ලැක් සබාත් ආදීන්ගේ ගීත තැටි පවා ගෙන්වා ඇසීමට  රුසියානුන් නිර්භීත වූහ.

දැන් මගේ මුල් ලිපිය වන බංගලි ගමයා ගේ සෝවියට් නංගි නැවත කියවන්න.  ලිපියේ සඳහන් ස්වේතා නමැති තරුණිය නොකළ එක දෙයක් විය. ඇය කිසිම විටෙක නේවාසිකාගාරයේ ස්තුඩ් සවියේත් හෙවත් ශිෂ්‍ය පාලනයේ කිසිවෙක් සමග කිසිම ඇසුරක් නොපැවැත් වූවාය. බංගලි සිසුවා  කසාද බැඳීම දක්වා ඇගේ  ගමන් මග තුල ඇය පාලනයට විරෝධය පෑවේ  ඔවුන්ගේ සදාචාර නීති කිසිවක් නොතකමිනි. ඒ ඇය විරෝධය පල කිරීමට අපහසුම තැනක විරෝධය පල කළ අයුරුයි.

දෙවන ලිපියේ දීමා වෙළඳම්  කළේ නීතියට පටහැනිවය. එසේම ඔහු විසින් බිරිඳට අමතරව  ඇසුරු කළ එක තරුණියක පළාතේ පක්ෂ ලේකම් කෙනෙකුගේ දියණියකි.  ඒ තරුණිය ඔහු සමග ගනුදෙනු කරන්නන්ට හඳුන්වා දීමටද ඔහු නොමසුරු විය. ඒ සෑම  අවස්ථාවකම  දීමා  ඇගේ පියා ගැන මතක් කිරීමට  අමතක නොකරයි. ඒ තරමක් අසාධාරණ ලෙස හෝ දීමා තම විරෝධය පල කළ අයුරුයි.

ජර්මනියේ 1800 ගණන් වල සිට පැවති දෙයක් වන  ෆ්‍රී බොඩි කල්චර් හෙවත් නිදහස් ශරීර සංස්කෘතිය නැගෙනහිර ජර්මනියේ ඉතා ප්‍රසිද්ධව අනුගමනය කරන ලදී. (Freikörperkultur (FKK) is a German movement whose name translates to Free Body Culture. It endorses a naturistic approach to sports and community living. Behind that is the joy of the experience of nature or also of being nude itself, without direct relationship to sexuality.  -wikipedia )

බටහිරට ඉතා ආසන්න  දේශ සිමාවේ නිසාම නැගෙනහිර ජර්මනියේ ස්ටාසි රහස් පොලිසිය දැඩි පාලනයක් ජර්මන් ජනතාව  අතර ගෙන ගියහ. නැගෙනහිර ජර්මනියේ  වෙරළ ආසන්නයේ, වැව් ආසන්නයේ හා තුරින්ගියා කැලෑ ප්‍රදේශයේ   නිරුවත් ජනපද (nudist colony) බොහොමයක් විය.මේ සංඛ්‍යාව බටහිර ජර්මනියට හෝ ස්වීඩනය ආදී රටවලට වඩා  වැඩිවිය. මෙය ලිංගික නිදහසට කිසිසේත් සම්බන්ධ නොවිය. මිනිසුන් වැඩිපුරම රජයට තම විරෝධය පළ  කලේ වෙරළ ආදී ප්‍රසිද්ධ ස්ථාන වල නිරුවත් වීමෙනි. තමන් අතර ස්ටාසියට සම්බන්ධ කෙනෙකු නොමැති වීමට නම් එසේ කළ  යුතු බව ඔවුන්ට වැටහී තිබුණි.

නැගෙනහිර ජර්මන් වාසීන් බොහෝවිට බටහිර රේඩියෝ සේවාවන් ශ්‍රවණය කළ අතර  බටහිර ගීත හරහා ප්‍රබල සංස්කෘතික ආක්‍රමණයක් ඇතිවිය. මේ සංස්කෘතික වෙනස ඇති කිරීමට බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ට්‍රොස්කිවාදී පක්ෂවල අනියම් සහය හිමි විය.
ට්‍රොට්ස්කි ගේ ජීවිතය ස්ටාලින් ගේ නියමයෙන් දරුණු ලෙස අවසන් කළද ට්‍රොට්ස්කිගේ සැලසුම පරාජය නොවිය.

බටහිර ගීත සමග ආ සංස්කෘතික  රැල්ල සෝවියට් දේශය  හරහා යාමට ගතවූයේ ඉතා සුළු කාලයකි.

පහත වීඩියෝවේ  ඇත්තේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු මොස්කව් වල පැවති ඩිස්කොටෙකා එකක ගීත ගයන බටහිර සංගීත කණ්ඩායම්ය. (2014)  තරුණ තරුණියන් සමග අවසාන සෝවියට් පරම්පරාවද මෙහි සිටී .

වැඩි දුර කියවන්න. 
~ මතු සම්බන්ධයි