Friday 23 August 2024

අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද

සති කිහිපයකට පෙර ලන්ඩනයේ පැවැති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගේ ලන්ඩන් හමුව මා සහභාගී වූ දෙවන මාලිමා සමුළුවයි .  පළමුවැන්න  වූයේ හරිනි  - නලින්ද ජයතිස්ස හමුවය .  මේ දෙකම හරියට වෙලාවට පටන් ගැනීමට සමුළු සංවිධායකයෝ සමත්  වූහ.
 
   මේ සමුළුවේ අනුර දිසානායක මහතා  පිළිගැනීමේ කතාව ඉංග්‍රීසියෙන්  කළේ තුෂාරා දසනායකය. ඇගේ පියා හිටපු ජවිපෙ සාමාජිකයකු බව ඇය පැවසුවාය.

 බොහෝ කලකට ඉහත මම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සාමාජිකයෙකුව සිටියෙමි.  ඉන්පසු ජෙරෙමි කෝබින් එහි නායකයා බවට පත්වූ පසු මම සක්‍රියව එහි කටයුතු වලට සහභාගී වූවෙමි. එහිදී සවුත්ගේට් පැත්තේ සිට මොමෙන්ටම් නමැති දේශපාලන ව්‍යාපාරයේ රැස්වීම් වලට සහභාගිවුණු තුෂාරා  මට හමුවුණි .  කෝබින් සිටි අවසාන අවුරුද්දේ එන්ෆිල්ඩ් නගරයේ සිට ගිය මැයි පෙළපාලියේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ධජය එන්ෆිල්ඩ් සිට ට්‍රෆල්ගාර් චතුරශ්‍රය දක්වා ඔසවා ගෙන ගියේ  අප දෙදෙනාය. ට්‍රෆල්ගාර් චතුරශ්‍රය අසල දී ඇය දර්ශන හෙට්ටි ආරච්චි ඇතුළු ජවිපෙ  සාමාජිකයන් සමග එක්වුණු අතර මම ඒ දිනවල සබඳතා පැවැත් වූ පෙසප මැයි රැලියට පැමිණි සාමාජිකයන් සමග එක්වුනිමි .  ඉන්පසු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මීටිමකදී මට තුෂාරා ගේ ආදරණිය සැමියා වන අසන්ගද (ඒ දිනවලද ජවිපෙ ආධාරකරුවෙකි )   මුණ ගැසුණි.

 මම එන්ෆිල්ඩ් උතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන  ජෝන් රයන් සමග හොඳින් කටයුතු කල කෙනෙකි .  ඇය වරක් අප පාර්ලිමේන්තුවට නැරඹීමට ද රැගෙන ගියාය. නමුත්  අපේ  කෝබින් කණ්ඩායම විසින්  සාර්ථකව එන්ෆිල්ඩ් උතුරු සභාවෙන් ජෝන් රයන් මන්ත්‍රීවරිය ජයග්‍රාහීව ඉවත් කරන ලදී .  ඉන්පසු පැවති කාරක සභා නිලවරණයේදී  මා  භාණ්ඩාගාරික පදවියට අති විශාල චන්ද සංඛ්‍යාවකින් තේරී පත්වුණි. ඒ අනිත් සියලුම අය නොයෙක් නිල වලට වෙන වෙනම  ගත් ඡන්ද සංඛ්‍යාවට වැඩි ගණනකි.  ඉන්පසු සිදු වුනේ අමුතුම දෙයකි .  ලේකම් කමට පත්වුණු කාන්තාව ජෝන් රයන් හා කියර ස්ටර්මර් (දැන් අගමැති) කණ්ඩායම හා එක්ව බලය බෙදා ගැනීමට අපට හොරෙන් සාකච්චා පැවැත් වූවාය. තවත් තුර්කි ජාතික කාන්තාවක වන හිටපු (පැරදුනු )  භාණ්ඩාගාරිකවරිය  කාරක සභාවට පත් කල යුතු බවත් සාමාන්‍යයෙන් භාණ්ඩාගාරික වන්නේ කාන්තාවක් බවටත් රීතියක් මතු කොට මා ඉවත් කර පැරදුනු කණ්ඩායමේ ඇයටම  එම තනතුර ලබා දුන්හ. මුලදී මා එයට එකඟ වූයේ තනතුරු බදා ගැනීමේ අපේක්ෂාවක් මට කොහෙත්ම  නොතිබූ බැවිනි .  පසුව එළිවුනේ වෙනත් කතාවකි. 

හේතුව නම්, ඉන්පසු ජෝන් රයන් ඉවත් කිරීම නිසා ඇතිවුණු මන්ත්‍රී පුරප්පාඩුවට  නොමිනේෂන් දීමට කම්කරු පක්ෂයෙන් දැනුම් දීමක් කෙරුණි. මා  හැර අර කණ්ඩායම් දෙකේම අය ඉල්ලුම් පත් යවා තිබුණි .  යැව්වේ නැත්තේ මා  පමණකි.  අවසානයේදී ඒ කිසිවකුට නොදී  පක්ෂ කමිටුව වෙනත් පෙදෙසක සිටි තුර්කි සම්භවයක් ඇති කාන්තාවකට (පැරචුට්)  නොමිනේෂන් දුන්හ .  (ඇය දැන් අපේ මන්ත්‍රීවරියයි )  මේ වෝඩ් එක සම්ප්‍රදායික කම්කරු පක්ෂ එකක් නිසා ඕනෑම අයෙකු දිනන "සේෆ් සීට්" එකකි.   පසුව කණ්ඩායමේ මට හිතවත් අයෙකු පැවසූ පරිදි ඔවුන් සිතා ඇත්තේ මා නොමිනේෂන් ඉල්ලයි කියාය.   මට ලැබුණු චන්ද සංඛ්‍යාවට මෙන්ම  සුදුසු කම් වඩාත් තිබුණු මට නොමිනේෂන් ලැබෙතැයි ඔවුන් බියවුහ. තේරීම් කමිටුව සිතා ඇත්තේද මා  ඉල්ලයි කියාය. මම නොමිනේෂන් යවනවාට බිරිඳ සහ දූවරුන් එක හෙලා විරුද්ධ වූහ.  

නමුත් ඔවුන් මගෙන් කෙළින්ම ඇහුවානම් ඉවරය .  වාමාංශික සොහොයුරන් ලෙසින් පෙනී සිටින අය  තමන්ගේම එවුන්ට කට්ට ගසන්නේ එලෙසය. පක්ෂ කොටසට බලය ගැනීමට වඩා පිලේ එකට වැඩ කරන එකෙකුට බලය ලැබේ යයි ඇති බියය. ඉන් මද කලකට පසු මම කම්කරු පක්ෂයෙන් ඉවත් වුනෙමි .  මට පසුව තුෂාරා හමුවුණු වෙලේ ඈ කී පරිදි  ඇයද ඉවත්ව සිටියාය.  එනිසා මේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කළ ඇය දුටු විට මට ඉමහත් ප්‍රීතියක්  දැනුනි.
 
ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාවේ  සංවිධාන  ශක්තිය උසස්ය .  අනුරගේ කතාවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.  එසේම අකුදි සාමාන්‍ය දේශපාලකයකු කරන්නාක්  මෙන් ගිරිය පුප්පා  කෑ ගැසුවේද නැත. ඔහු තමන්ගේ කරුණු සාවධානව කියා පෑවේය.

නමුත් මේ කතාවේ එකම තැනක හෝ ඔහු සමාජවාදය යන වදන භාවිතා කරනවා මට ඇසුනේ නැත.
නලින් - හරිනි සමුළුවේදී ව්‍යවස්ථා සංශෝධන 13 යට එරෙහිව කෑ ගසන ජවිපෙ පොඩියන් ලා  සිටියද මේ සමුළුවේ එවැනි  අයද  සිටියේ නැත .  කැනඩාවෙන් පැමිණි ද්‍රවිඩ ජාතික මනෝහරන් ගේ කතාවට හොඳ පිළි  ගැනුමක් ලැබුණි.  එසේම ළමා ආරක්ෂාව ගැන කතාකළ වික්‍රමනායක මහත්මියටද එවැනිම හොඳ ප්‍රතිචාරයක් ලැබුණි . 

ප්‍රශ්න කිරීම් සියල්ල කිසියම්  විධිහකට කලින් පාලනය කර තිබූ සෙයක් පෙනුනි .  එනිසා මා සූදානම් කරගෙන සිටි ප්‍රශ්න අසන්නට ඉඩක් නොලැබුණි.

නමුත් මට නැවතත් යහළුවෙකු ගේ නිවසේදී අනුර කුමාර දිසානායක මහතා නැවතත් මුණ ගැසුණි .  එනිසා  මගේ යහළුවෙකු එවූ ප්‍රශ්න හා මගේ ප්‍රශ්නයක් ද ඔහුට යොමු කලෙමි .  මේ යහළුවා පවසන පරිදි ඔහු  87 / 89 කාලයේ ජවිපෙට සම්බන්ධව සිටි හා සමහර ප්‍රහාර වලටද සම්බන්ධ වූ අයෙකි.  

 මේ මගේ යහළුවා  විසින් එවූ ප්‍රශ්නයි . 

1.  ඔබ ECTA ගිවිසුමට එකඟද (කොටසකට හෝ සම්පුර්ණයෙන්ම )  , කොටසකට නම් ඒ මොනවාද?

2. ලංකාව ණය බරින් මුදවා ගැනීමට ඔබේ සැලසුම කුමක්ද?

3. ඔබ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සළකන්නේද?

4. දෙමළ ජනතාව ඝාතනය කිරීමට ඔබ මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේ ඇයි?

5. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම පිළිබඳව  ජවිපේ ස්ථාවරය කුමක්ද?

6. ජවිපෙ තවමත් මාක්ස්වාදී පක්‍ෂයක්ද? (ජාතික ජන බලවේගය මාක්ස්වාදී නොවන බව මම සිතමි .)

7. වර්තමාන ජවිපෙ ප්‍රතිපත්ති රෝහණ විජේවීරයන්ගේ ජවිපෙ ප්‍රතිපත්ති සමඟ වෙනස් වන්නේ කෙසේද ? ඔබ රෝහණ විජේවීර ජාතිවාදියෙකු ලෙස සලකනවා ද? එසේ නොසලකන්නේ නම් ඒ ඇයි?

8. මම  යුටියුබයේ ඔබේ කතා අසමි.  මගේ ප්‍රධාන ප්‍රශ්නය මට ඔබ විශ්වාස කළ හැකිද ඔබ ජාතිවාදියෙකු නොවේද යන්නය . හේතුව ලංකාවේ ජන වාර්ගික යුද්ධය පැවති අවධියේ ඔබ කටයුතු කළේ ජාතිවාදියෙකු ලෙසින් යයි මා සිතන බැවිනි.

9. එක්ටා ගිවිසුමේ ප්‍රධාන අරමුණ නම් ඉන්දියාව හා ලංකාව අතර සේවා සහ භාණ්ඩ වෙළඳාම පහසු කිරීමත් ලිබරල්කරණය කිරීමත්ය . කෙටියෙන් කියනවා නම්දෙරට අතර පැන නගිනවෙළඳ ආරවුල් නිරාකරණය හා නිදහස් වෙළඳ කලාප පිහිටුවීමද මෙහි අරමුණයි. ලංකාවට මේවා වාසිදායක වන්නේ කෙසේද?

 ඉහත ප්‍රශ්න එංගලන්ත ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතාට භාර දෙන මෙන් අනුර සහෝදරයා ඉල්ලා සිටියේය. එසේ කළමුත් ඒවාට තවම පිළිතුරු ලැබුණේ නැත. තව මසකින් ඡන්දය තිබෙන නිසාත් දර්ශන සහෝදරයා ලංකාවට ගොස් සිටින නිසාත් පිළිතුරු ලැබෙන එකක් නැත . ජවිපෙ සම්බන්ධකම් ඇති අයට ඒවාට පිළිතුරු දිය හැකිය .

මගේ එක ප්‍රශ්නයක් වූයේ නලින් හේවගේ මහතාගේ ප්‍රකාශයයි.  ඔහු පැවසුවේ අසූ හත - අසූ නමයේදී ගම් මට්ටමින් මරා දමන ලද්දේ ස්ත්‍රී දූෂකයන් සහ සොරුන් බවය. බොහෝ අය මේ කතාවට සමාජ ජාලා ඔස්සේ විරෝධය පළ කළ බව දුටිමි.  මගේ මිතුරෙකු වූ විතානගේ මහතාගේ පියාවන  හොරණ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු වූ මෙන්ම  එසේම ජූලි වර්ජකයෙකු ද වූ උපාලි විතානගේ මහතා එවැන්නෙකු නොවේ. මේ පරණ බ්ලොග් සටහනේ වැඩි විස්තර ඇත . යුඇන්පී වෙනුවෙන් කතා කල තම ඥාතියෙකු වන ගම්පහ විදුහල්පතිවරයෙකුද මරා දැමූ බව ලඟදි මිතුරකු මා හා පැවසීය. ඒ අතර ගෝනවල සුනිල් වැනි දූෂකයන් සහ සොරුන්ද සිටින්නට ඇත. ප්‍රශ්නය වන්නේ කැලෑ නීතියකට කිසිවකුට එකඟ විය නොහැකි බවයි . නිතිය ක්‍රියාත්මක කල යුත්තේ අධිකරණ හරහාය.

අසූ හතේ මුල් කාලයේ සිට යටිබිම්  ගත ජවිපෙ සම්බන්ධ  දේ.ජ ව්‍යාපාරය පරණ වමේ නායකයන් කිහිප දෙනෙක්ද යුඇන්පී නායකයන් මෙන්ම ප්‍රාදේශීය අයද මරා දමා තිබුණි.  නන්දන මාරසිංහ වැනි තම පැරණි සගයන් මෙන්ම, දයා පතිරණ වැනි සිසු නායකයන්ද මේ අතර වේ . සුනීල් විජේසිරිවර්ධන ට මෙන්ම සුනිලා අබේසේකරට ද තර්ජන එල්ලවී තිබුණි . ජේ ආර් පක්ෂය තහනම් කරමින් මුලදී මර්දනයක් මුදා හල බව සැබෑය. නමුත් එයට පිළිතුර නරෝද්නික වාදය නොවේ යයි අපි බොහෝ තැන්වල මතක් කර දුනිමු . ඒ අනාදරයකට නොවේ . .

ලෙනින්, සාර් ගෙන් කුමන පීඩනය එල්ල වුවද එවැනි මගක් ගත්තේ නැත. ඒ වෙනුවට 1905 සිටම ගත්තේ අරගලයේ මග පමණි .

එසේම ප්‍රේමදාස රජය එකට දහයක් වශයෙන් මරා දමමින් දරුණු භිෂණයක් දියත් කළ බවද සැබෑය. රජය, තරුණයන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට අතුරුදහන් කිරීම තෝරා ගත්හ .

මාලිමා කථිකයන් බොහෝ තැන වලදී 88-89 ගැන කතා නොකරන මෙන් ඉල්ලා සිටීම මට තේරුම් ගත හැකිය .  නමුත් ප්‍රශ්නය වන්නේ එසේ කියන ඔවුන්ම ඒ ගැන කතා කිරීමය . ලඟදි මම ෆේස්බුක් ජලයේ වික්‍රමබාහු කරුණාරත්න මහතා වෙනුවෙන් කුඩා සටහනක් ලියා ඔහුගේ මරණය වෙනුවෙන් පල කළෙමි. ඔහු සැඟවී සිටියදී මගේ එදවස මිතුරු විතානගේ සමග කොම්පඤ්ඤ විදියේ අමරදිසි හෝටලයේ සිටියදී ඔහුව දුටුවෙමි . මා ගරු ක‍රන වාමාංශික නායකයෙක් වන ඔහු පිළිබඳව මාලිමාවට සහයෝගය දෙන මහත්මයෙකු ලියා තිබුනේ වික්‍රමබාහු ආයුධ රැගෙන 88-89 මර්දනයට සහභාගී වූ අයෙකු ලෙසිනි .


මේ නරෝද්නික පොල්පොට් වාදයට තවමත් සහය දක්වන්නන් අතර පෙරටුගාමී සමාජවාදී ආධාරකරුවන් සිටින බව ලන්ඩනයේ දී සිදුවූ එක්තරා හමුවකදී මට පැහැදිලි වුනි . ඒ අසූව දශකයේදී , දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙනත් තැනක නායකයෙකු තවත් දිස්ත්‍රික්කයට එවන පණිවුඩයකින් කිසියම් පක්ෂ විරෝධියෙකු හෝ පොලිස් ඔත්තුකරුවෙක් යයි සැක කරන අයකු මරා දමන බවත් ඒ මරා දමන තැනැත්තා හා මරා දැමීමට එන තැනැත්තා එකිනෙකා නොහඳුනන බවත් කියා පෑමයි . ඒ පිලිබඳව කිසියම් තර්ජනාත්මක බවක් පෙනෙන හැඟීමක් තවමත් ඔවුන් තුල තිබේ. ලන්ඩනය වැනි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුව ඒ අදහස් නොනැසී පැවතීම කණගාටුදායකය. එනිසා ලංකාවේ අය ගැන කියනුම කවරේද?


මෙහිදී ප්‍රශ්නය වන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, උපුල් සන්නස්ගල වැනි දැන් මාලිමාවට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන අයද ඔය බෝට්ටුවේ සිටියා නොවේද යන්නය. ජවිපෙ පොඩියන් ලාට මෙන්ම නලින් වැනි ලොකු තැන්වලටද මාලිමාව යන්නේ වෙනස් මගක බව තවමත් පැහැදිලි වී නැත . අනුර - හරිනි ගේ මාලිමාවට විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් මෙන්ම ගුරු භවතුන් , හෙදියන් , වෙදැදුරන් වැනි බොහෝ දෙනා එක්වී තිබේ . මම එය ලන්ඩනයේදී හොඳින් දුටුවෙමි . ඒ අතරින් බොහෝ අය 88-89 දී ජවිපෙට විරුද්ධව සිටින්නට ඇත. නමුත් ඔබට ලක්ෂ හැත්තෑවක ඡන්දය අවශ්‍ය නම් නම්‍යශීලී විය යුත්තේ ඔබය .


ලියන්නට අමතක වුනු තව කරුණු කිහිපයක්  තිබේ .  එකක් නම්  ලංකාවේ දැනට පවතින ප්‍රශ්න වලට මුලික හේතුවක් වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ඇති ජාතිවාදය බවය .  එයට ආගම එකතුවූ කල තවත් භයානක විය. සිංහලය යනු අති උසස් භාෂාවක් බව මම අද දනිමි. එහෙත්  සිංහලය එකම භාෂාව කිරීම බරපතල ඛේදවාචකයක් වුනු බවද මම අද දනිමි. අද අනුර දිසානායකට  සහයෝගය දෙන්නන් අතර  එක  තර්කයක් වනුයේ ඉංග්‍රීසි කතා කරන පෙලන්තියට එරෙහිව  තම බස කතා කරන අයෙකු එන බවය .  ඒ ඇත්තය .  එහෙත් අනුර හා හරිනි යනු එතරම් පටු දැක්මක් ඇති අය නොවන බවද මාලිමාවට පිට රටින් එකතු වෙන ඇත්තන් ඊට වඩා මුහුකුරා  ගිය අය බවද සිතීමට මම කැමතිය. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක  නොබෙල් සම ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ ජාජබේ බලශක්තිය පිලිබඳ ප්‍රතිපත්තියේ නියමුවා ලෙස පසුගියදා හඳුන්වා දෙන ලදී. ඔහු 1982-1987 ජේ ආර්  ජයවර්ධන රජයේ බලශක්තිය  පිලිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකයෙකුව සිටි බව බොහෝ ජවිපෙ පාක්ෂිකයන් දැන සිටින්නේද යන්න සැක  සහිතය.

        

     ඒ අතරේ සුළං බලයෙන් ගිගා බයිට් හැට පහක (ගිගා වොට් නොවේ )   විදුලිය නිපදවන බවද සුළං  බලාගාර හතරක් මුහුදේ පිහිටුවා තව හයක් පිහිටෙව්වොත් ඉන්දියාවට හා ඩුබායි වලට  විදුලිය අපනයනය කළ  හැකි බවද කියන සජබේ දේශපාලකයකු දුටිමු .  ඔහුට සාවධානව සවන් දෙන ජනතාවක් ද දුටිමි .  මහාචාර්ය මොහාන් මුණසිංහ මාලිමාවට එකතු වූයේ මෙවැනි අය නිසා විය හැකිය . 


අනුර කුමාර දිසානායකට බොහෝ විට උතුරේ වැඩි ඡන්ද නොලැබෙනු ඇත .  ජවිපෙ සහ සජබේ පාඨලීලා රාජපක්ෂ සමග එකතුව යුද්ධයේ ප්‍රධාන කාර්යයක් කල ඔවුන් දන්නා හෙයිනි. නමුත් අනුර කුමාර දිසානායක පිළිබඳව පැහැදීමක් දෙමළ ජනයා අතර  ඇති වෙමින් පවතින බවද දුටුවෙමි. මුස්ලිම් ජනතාව අතරද මාලිමාවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී . මේවා සම්ප්‍රදායික සජබ / යූඇන්පී ඡන්දය. මුස්ලිම් ජනතාව ,මාලිමාව වෙළඳාම ට දැන් හිතවත් බවට විශ්වාස කරතියි මුස්ලිම් මිතුරකු මා සමග පැවසීය.


පසුගියදා, යුධ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුධ ආරක්ෂක මණ්ඩලයට උපදෙස් සැපයූ,  ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබටික්ස් සහ  කෘත්‍රිම බුද්ධිය පිලිබඳ මහාචාර්ය මා මිතුරු  ත්‍රිශාන්ත නානායක්කාර මහතාද  මාලිමාවට සහයෝගය දෙන ප්‍රකාශයක් ෆේස්බුක් හි කර තිබුණි .   ත්‍රිශාන්ත ලංකාව ගැන ඉමහත් කැක්කුමකින් කතා කරන අයෙකි. මාලිමාවට සහයෝගය දීම විනා වෙන විසඳුමක් අද නැති බව ඔහුගේ අදහසයි.      


නමුත් ලන්ඩනයේදී මට  හමුවුණු ලංකාවේ මාධ්‍යවේදියෙකු සමග කතාවේදී  ඔහුත් බිරිඳත් දෙදෙනාම 71-77 සිරිමාවෝ අවදිය ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කළහ. ඔවුන් ගේ සහයද  මාලිමාවටය .    ඒ කාලයේ පැවති වානේ කම්හල,  ටයර් කම්හල,  පේෂ කර්මාන්ත ශාලාව ආදිය ගැන ඔවුන් භක්තිමත් ලෙස කතා කළහ . ඒවා දුන්නේ සෝවියට් දේශයෙන් බව අඔවුන් දන්නේ නැත.   ඔවුන් ඒ කාලයේ ඉපදී සිටියා දැයි මම ඇසීමි .  ඔවුන් ඉපදී තිබුනේ ඊට පසුය.  මම ඒ කාලයේ කුඩා ළමයෙකු ලෙසින් පාන් පෝලිමේ සිටි බව කීවෙමි. හැත්තෑ හතේදී ජේ ආර් ට හයෙන් පහක බලයක් ලැබුනේද ඒ නිසා බව කීවෙමි . නමුත් ඒ කාලයට යාමට සිහින දකින පිරිසක්ද සිටිති.        


මේ තිබෙන්නේ  මා මිත්‍ර සරෝජ් පතිරණ බීබීසී  සංදේශය සඳහා   අනුර කුමාර දිසානායක සමග කළ සකච්චාවයි. ඔහු තම පක්ෂයේ වැරදි වලට සමාව අයදින  අතරම ඒ පිළිබඳව ජනතා අධිකරණයක් පත් කරන බව කියයි . 



 ශ්‍රී ලංකාවට අවශ්‍ය  වන්නේ දකුණු අප්‍රිකාවේ මෙන් සංහිඳියා කොමිසමකි .  


මෙහිදී තවත් අයෙකු තම භක්තිය හා සම්බන්ධ කරුණක් නිසා සමරිසි පනතට විරුද්ධය. ඔහුගේ අදහසේ සමහර කොටස් මම ඉවත් කලෙමි . මාලිමා නායකයන් ඒ ගැන කතා නොකලද කිසියම් ප්‍රමාණයකට ඔවුන් ගේ මතවාදය වඩා ලිබරල් බව පෙනේ. එසේ වෙද්දී සාමාජිකත්වය යන්නේ වෙනත් මගකය .


අනුර කුමාර දිසානායක මේ බොහෝ කරුණු පිලිබඳ ගන්නා  ස්ථාවරය එතරම්  පැහැදිලි නොවූවද ඔහු වඩා  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක සිටින බව පෙනී යයි .  නමුත් ජාතික ජන බලවේගය වෙනුවෙන් කටයුතු කරන බොහෝ ජවිපෙ හිතවාදීන් ගේ අදහස අනුර කුමාර  දිසානායක සමාජවාදී පාලනයක් පිහිටුවීමට සැරසෙන බවකි.  ජාතික  ජන බලවේගය පිටරටවල  ප්‍රකාශ   කරන අදහස් වල හැටියට හෝ ඔවුන්ගේ ප්‍රකාශන  වලට අනුව මට තේරෙන්නේ වෙනස් දෙයකි.  

එසේම ලාල් කාන්ත මහතා පවසන පරිදි මාලිමා  / ජවිපෙ සාමාජිකයන් ගෙන් සමන්විත   කැන්ගරූ  උසාවි වලට යුක්තිය පසිඳිලිමට යාමට බොහෝ දෙනා එකඟ නොවනු ඇත.     අනුර කුමාර දිසානායක මහතා කොට්ටාශ ක්‍රමයක් පිහිටුවන බව කියයි .  එසේනම් එය පුළුල් සාමාජිකත්වයක් ඇති ජාතික  ජන බලවේගයේ ආධාරකරුවන් ගෙන් සමන්විත විය යුතු අතර නීතිමය භාවයක් තිබීම අනිවාර්යය. ජවිපෙ  සාමාජිකයන් ගෙන්  එවැනි සභාවක්  සමන්විත වීම කියන්නේ පලි ගැනීමේ වේදිකාවක් නිර්මාණය වීමක් විය හැකිය.  ලක්ෂ හැත්තෑවක් ඡන්ද ගැනීමට නම් ජවිපෙන් එහා ගිය ඡන්දයක් අවශ්‍යය .  ඒ සඳහා යම් පරිත්‍යාගයක් කිරීමට ඔවුන් සුදානම් නැත්නම් ඉදිරි දින කිහිපය තුල තත්වය වෙනස් විය හැකිය . 

අති වාමාංශික ඡන්ද බොහොමයක් බෙදීයන තවත් අපේක්ෂකයන් සිටිති .  පිටරට පක්ෂ සංවිධාන වලින් මුදල් ආධාර ලබන මේ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලන්නේ නැත්නම් එම ආධාර නොලැබී යා හැකිය .  නුවන් බෝපගේ ,  සිරිතුංග ජයසූරිය , මහින්ද දේවගේ, පානි  සිරිවර්ධන මේ අතරින් සමහරෙකි .  සිරිතුංග ජයසූරිය හා මහින්දදේවගේ  එකට වාමාංශික දේශපාලනය කළ අය බව 'වම සහ ජීවිතය '  නමැති ජයසුරිය මහතා ලියූ පොතින් දැන  ගතිමි.    

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන් සමග ඡන්දයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ විට විරුද්ධ නොවූ කුමාර් ගුණරත්නම් මහතා තමා කලින් සිටි පක්ෂයේ පැරණි සගයකුට විරුද්ධව නුවන් බෝපගේ ඉදිරිපත් කලේ මන්දැයි යන්න තවත් ගැටලුවකි . එය ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒවා ක්‍රියාත්මක වූ වකවානුවේ ඔහුද එම පක්ෂය තුල සිටිය බැවිනි. ඔවුන්ගේ බලපෑම නිසා කිසියම් ඡන්ද ප්‍රමාණයක් ගිලිහෙයි නම් එහි වාසිය යන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය .

නුවන් බෝපගේ මහතා තවත් දෙදෙනෙකු සමග ජෙරෙමි කෝබින් මුණ ගැසී සාකච්චා කරනු මම දුටුවෙමි . කෝබින් මාක්ස්වාදියෙකු නොවන බව බෝපගේ මහතා දන්නේද යන්න මම නොදනිමි. නමුත් මාලිමාව මාක්ස්වාදී නොවීම නම් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් බව පෙනේ. කෝබින් ට කම්කරු නායකයෙකුට ලැබෙන වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබුණු නමුත් ඔහු ඡන්දය දිනුවේ නැත. ඊට අඩුවෙන් ඡන්ද ලැබූ ස්ටර්මර් මේ ඡන්ද ක්‍රමයේ විකෘතිය නිසා දිනුවේය. පැරණි එංගලන්ත පන්නයේ මනෝරාජික සමාජවාදියෙකු වන කොබින් ජනාධිපති ක්‍රමයක් තිබුනා නම් දිනන්නේය .

අනුර හරිනි ටිකට්ටුවට වැඩිපුරම බවුන්සර් එන්නේ තමන්ගේම පක්ෂයේ අයගෙන් හා අනිකුත් වාමාංශිකයන් ගෙන් බව මට සිතීම වැරැද්දක්ද?

අර පෞද්ගලික හමුවේදී අනුර කුමාර දිසානායක මහත් මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය .

"අපි දිනුවොත් කරන්න ඕන දේ අපි දන්නවා . සියල්ල සූදානම් කරගෙන ඉන්නේ . (කැබිනට්ටුව වැනි ) . නමුත් පැරදුනොත් මොකද්ද වෙන්නේ?"

ඔහු අදහස් කලේ මේ අන්තිම අවස්ථාව විය හැකි බවය .

පැරදුනොත් ජවිපෙ නැවත වරක් දෙකඩ වනු ඇත . සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ මාලිමාවේ බහුතරය හා විජේවීර / පොල්පොට් වාදයට පක්ෂ ජවිපෙ සුළුතරය ලෙසය .
අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නට ඇත්තේ පැරදුනොත් තවත් අවුරුදු හැටක් විපක්ෂයේ සිටීමට වීම ගැන විය යුතුය.

කලින් පොහොට්ටුවට ඡන්දය දුන් ලක්ෂ හැට නමයෙන් වැඩි පිරිසක් සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාට පක්ෂව බව පැහැදිලිය . ඉතිරි කොටසින් වැඩි හරියක් ජනාධිපති රනිල් ට හා නාමල්ට බෙදී යනු ඇත . සජිත් ප්‍රේමදාස මහතාට ඔහුගේම ලක්ෂ තිහක හතලිහක බ්ලොක් වෝට් එකක් තිබේ .

මේ නිසා මේ ඡන්දය තවමත් විවෘත එකකි . එය තුන් කොන් සටනකි .







- අජිත් 24/08/2024
 


Sunday 11 August 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 4 - ලී වැට

කතාවේ කලින් කොටස් තුන  මෙතන 



ගිය වතාවේ මෙහෙම ලීව මතකනේ - බ්‍රයන්ට ඕනේ අපි ලව්වා ලී  වැට අලුත් වැඩියා කරන්න. දකුණු පැත්තේ එක මගෙලු. මට අලුත් පැනෙල් දාන්නලු. මම පොරොන්දු වුනා හොයල බලල කරන්නම් කියල. ඉතින් ඔෆිස් එකේදී සුද්දෝ කට්ටිය මට කීව, ඒ කතාව ඇත්ත කියල  .  ගේ ගන්නකොට දෙන ඉඩමේ සහ නිවසේ අයිතිය දෙන ලියකියවිලි වල ඇති බලන්න කියල.  මම ඇවිත් බැලුව,  හරි කතාව .  දකුණු පැත්තේ බ්‍රයන් සමග තියන වැට මම අලුත් වැඩියා කරන්න ඕනේ .  බ්‍රයන් එයාගේ දකුණු පැත්තේ එක .  ඒකෙන් හැමෝගෙම වැටවල් අලුත්වැඩියා වෙලා තියෙන්නේ.  අසල්වැසියෙක් අලුත්වැඩියාව  කරන්නේ නැතිනම් නිත්‍යානුකුලව පැමිණිලි කරන්න පුළුවන් නගර කවුන්සිල් එකට.  මේවට එංගලන්තයේ කියන්නේ බයිලෝ Byelaws කියල .  (බයියන්ගේ ලෝ වගේ තමා ටිකක් .  ලෝකල් නිසා) . එංගලන්තෙට අලුතින් එන අය හෝ කුලියට ඉන්න අය මේවා නොදන්නා නිසා ගෙවතු හොඳින් තියා ගන්නේ නැහැ.  එනිසා අසල්වැසියෙක් පැමිණිලි කලොත් උන් ජාතිවාදී, වර්ණවාදී  අරව මේවා කියල ඉතින් බනිනව.  

මම එංගලන්තෙට ආපු මුල්ම කාලේ (රුසියාවේ ඉගෙන ගන්න කොට )  එක දවසක කෙන්සින්ටන් වල ඔය චොකලට්  සිගරැට්  විකුණන පොඩි පෙට්ටි  කඩේකින් චොක්ලට් එකක් ගන්න ගියා .  ඉන්දියන් කාරයෙක් තමා වෙළෙඳම් කලේ .  මම චොකලට් එකට  සල්ලි දීල ඉල්ලුවහම එයා වික්කේ නැහැ. මට අවුල් නිසා මම එතනින් යන්න හැදුවම වෙළෙන්දා  ආයේ මට කතා කළා . උඹ ළඟ දී ද මෙහෙට ආවේ කියල ඇහුව.  මම ඔව් කිව්වා. කොහෙන්ද කිව්වහම , ශ්‍රී ලංකාවෙන් කිව්වා . මිනිහ මට හොඳ පාඩමක් කියා දුන්න.
"මෙහෙමයි මේ රටේ මොනවා හරි ඉල්ලන කොට අපේ රටේ වගේ කෑ ගහන්න ඕනේ නැහැ .  ප්ලීස් කියන වචනය කීවහම ඇති .  දුන්නහම තෑන්ක් යූ කියපන්. " 
මම කීවා, 
"මම නිකන් ඉල්ලුවේ නැහැනේ . උඹෙන් සල්ලි දීලනේ ඉල්ලුවේ" කියල.  එතකොට එයාම  කිව්වා
 "නැහැ. උඹ සල්ලි දුන්නත් ප්ලීස් කියල තැන්ක් යූ" කියන්න ඕනේ. ඒක හොඳ සිරිතක් මේ මිනිස්සුන්ගේ  කියල.  ඒකහොඳ  අවවාදයක්.  දැන් ඉන්න කම්පැනි එකේ අපේ කන්ට්‍රැක්ට් ගත්ත  ඉන්දියන් කම්පැනි වලින් අයිටී කට්ටිය  කතා කරන  කොට ප්ලීස් කියල කියන්නේ නැහැ .  එතකොට ඒක නිකන් අණ දීමක් වගේ කියල තේරෙනවා.  මම ඕක වරක් මට වැඩේ භාර දුන්න ටීම් ලීඩර් කෙනෙකුට මෙන්ෂන් කලහම ඒකි ගත් කටටම කිව්වා "සවුත් ආසියානු පැත්තේ ප්ලීස් වචනය හෙම වැඩිය භාවිතා වෙන්නේ නැහැ .  මටත් මළ පනිනවා . නමුත් ඒ එහෙ හැටි.  ගණන් ගන්න එපා කියල ." 
 ජර්මනියේත් මොකක් හරි ඉල්ලන කොට හෙම බිට (bítte) හෙවත් ප්ලීස් කියන කෑල්ල කියනවා .  එහෙම කීවේ නැත්නම් ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයත් වෙනස්.  මොකකට හරි ස්තුති කලහම යූ වෙල්කම් හෝ බිට ෂෝන් කියල කියන්න ඕනේ .      

අපේ ඔෆිස් එක පිටි පස්සේ තමා බී ඇන්ඩ් කිව් (B & Q) කියන ගොඩනැගිලි අලුත්වැඩියා වට වගේම වෙන ඕනෑම අලුත්වැඩියාවකට අවශ්‍ය අටවන භාණ්ඩ ගන්න පුළුවන් DIY  (do it yourself හෙවත්  අටවන) කඩේ තියෙන්නේ.  මම එතැනින් පැනෙල්  හතරක් ගත්ත වටේ හතරක් තමා කැඩිලා තිබ්බේ. බ්‍රයන් අයිරිෂ් කාරයන්ට බනින එකත් සාධාරණයි.  උන් ගේ වික්කේ මේවා හදන්නේ නැතිව.  අපි බැලුවෙත් නැහැ.  අයිරිෂ් කාරයට පෙනුනේ බ්‍රයන් ගේ ජාතිවාදී කම විතරයි . 


පැනෙල් හයි කරලා තියෙන්නේ සිමෙන්ති කණු දෙකක් මැද. ඔය ෆොටෝ වල තියෙන්නේ පැනෙල්  අපේ ගෙවත්තේ දෙපැත්තේ . 



 මගේ පැත්තේ ඒවා (සුදු මල් තියෙන )   ආයේ දාන්න ඕනේ .  අල්ලපු පැත්තේ එකා ගණන් ගන්නෙත් නැහැ. කුලියට ඉන්න බ්‍රසීල කට්ටියක් .  
 පරණ එක අරන් අලුත් එක දාන එක ලෙහෙසි වැඩක්.  මම පැනෙල් දාන්න යන කොටම බ්‍රයන් කඩන් පැන්න. 

"හා හා ඕවට තීන්ත ගාන්න ඕනේ මිනිහෝ .  නැත්නම් වැස්සට  දියබත් වෙලා කැඩිලා යනවා." 

"මල මගුලක් නේ මේක. මට කලින් කියන්න එපැයි දැන් ආපහු යන්න ඕනේ තීන්ත ගන්න" මමත් කඩන් පැන්න.

එතකොට බ්‍රයන් කියනව "වරෙන් යන්න ගැරේජ් එකට. මගේ ළඟ ඉතුරු තීන්ත වගයක් තියෙනව. ඒක ගාමු. උඹ පස්සෙ ගෙනල්ල දීපන් මට ඕනේ වෙලාවට. ඔෆිස් එක ළඟ නේ කඩේ තියෙන්නේ" කියල. අපි ගේ ඉස්සරහ පැත්තට ගියා. ගැරේජ් එකේ දොර ඉස්සරහ තියෙන්නේ .

ඔන්න ඔය වෙලේ බ්‍රයන්ගේ ගර්ල්ෆ්රෙන්ඩ් එනවා අපේ දිහාවට. බ්‍රයන් මට හඳුනල දුන්නා මේ මගේ ගර්ල්ෆ්‍රන්ඩ් පවුලින්. අවුරුදු හැට පහක හැත්තෑවක විතර ලංකාවේ විදිහට කියනවනම් ආච්චි කෙනෙක්. ඒවුනාට ඇත්තටම එයා ලස්සනයි. ලස්සනට ඩෙනිමක් ඇඳලා එනකොට මට තේරුනා එයා කකුලක් ඇද ඇද එන්නේ කියලා. පුංචි කාලේ පෝලියෝ හැදිලා ඒ කකුල ඇද වෙලා තියෙන්නේ. බ්‍රයන් ටෝක දාල තියෙන්නේ ජීපී හෙවත් දොස්තර ගේ ඔෆිස් එකේ ඉන්න කොට . බ්‍රයන් යන තැනක හැමෝටම කතා කරනවා හැබැයි. මේ බ්‍රයන් ගේ හතරවෙනි හෝ පස්වෙනි කාන්තාව. ඉනෙස් හිටියා එළියේ. පෞලින් ඉනෙස්ට කියනවා

"අනේ මටත් ඒෂියන් කොල්ලෙක් එක්ක යාළුවෙන්න ඕන කමක් තිබ්බා. අපේ ඔෆිස් එකේ හිටිය. හරි ගියේ නෑනේ" කියල. එහෙම කියල ඇවිත් මගේ වම් අතේ උඩ හරියෙන් මිරිකුවා. බ්‍රයන් කාරයා හැක හැක ගාලා හිනාවෙනවා.

"උඹ පරිස්සම් වෙයන් ඕකි ගෙන්" කියල. පෞලින් දැන් බොරු තරහක් අරගෙන . මම ඇහුව ඉතින් ඉන්දියන් කොල්ලට මොකද වුනේ කියල .

"අපොයි ඌ ඉන්දියාවට ගිහිල්ලා කසාදයක් කරන ආවනේ. උගේ අම්ම කීවලු."

" මම කිව්වා ඒවානම් එහෙම තමයි. මෙහෙ ඉන්න අය එහෙ ගිහින් බැඳලා එනවා . අපේ ටැමිල් අයත් එහෙමයි කියල ."

එතකොට තමයි බ්‍රයන් කීවේ "මේ අජිත් ලංකාවේ කොල්ලෙක්. ලංකාවේ උන් හොඳයි." කියලා. එහෙම කීවේ ඇයි කියල මට තේරුනේ නම් නැහැ.


 ගොඩක් වයසයි කියලා අපිට හිතුනට එංගලන්තෙ මේ වගේ කපල් හුඟක් ඉන්නවා. සැමියා හෝ බිරිඳ මියගිහිල්ල නං තව කවුරුහරි කෙනෙක් එක්ක යාළු වෙනව. ඇවිදින්න යන්න, පික්නික් එකක් යන්න, සෙනසුරාදා ඉරිදට බියර් බොන්න පබ් එකට යන්න වගේ වගේ දේවල් එකට කරනවා . එහෙම ජිවිතේට සහකාරියක් හෝ සහකරුවෙක් එකතු කර ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේ දෙන්න තියන් ඉන්න නිදහස. බ්‍රයන්ට ලොකු ගෙදරක් තිබ්බට පෞලින් ඇවිත් ඉන්නේ දවස් දෙකයි . පෞලින් එයාගේ ගෙදර දුවත් එක්ක ඉන්නේ . නැත්නම් අර මටත් වැඩිය වයස දුව උයන් කන්නෙවත් නැතිලු .


තීන්ත අරන් එලියට එනකොට තව කෙනෙක් එකතු උනා. මයිකල් කියන්නේ බ්‍රයන්ගේ ලොජර් . වැඩිය අපිත් එක්ක මුලදී කතාවට ආවේ නෑ. ඒ වෙලාවේ එලියට ඇවිල්ල අපිට වැට ගහන්න උදව් කරන්න. මම පස්සේ දැනගත්ත විදියට මයිකල් කියන්නේ සිවිල් ඉංජිනේරුවෙක් . බ්‍රයන් තනියම තමයි එයාගේ ගේ අලුත්වැඩියා කරන්න පටන් අරන් තියෙන්නේ . මුලදී අපේ ගේ වගේ කාමර තුනේ එකක් . දකුණු පැත්තේ ඉඳන් ගරාජයක් හදල ඒක උඩ තව කාමරයක් හදල කුස්සිය පිටි පස්සට අරගෙන කාමර හතරක ලොකු ගෙයක් කරලා. වහලත් උඩ වෙනස් කරලා, මොකද දික් කරන්න ඕනේ කාමර වෙනස් කරනකොට . එතකොට මයිකල් තමයි structural engineering කෑල්ල කියලා දීලා තියෙන්නේ. බාල්ක හරියට දාන්නේ කොහෙටද වගේ දේ.මොකද නැත්නම් වහළවල් කඩා වැටෙන්න පුළුවන් . ඔය ගෙවල් හදන වැඩේට විරසක වෙලා තමයි බ්‍රයන් ගේ දෙවෙනි බිරිඳ අත හැරලා ගිහින් තියෙන්නේ. නිමක් නැති ගෙවල් හැදිල්ලක් කියල.

වැඩ ඔක්කොම කලාට පස්සේ මයිකල් කාමරයක් කුලියට අරගෙන නතර වෙලා. එයත් දික්කසාද වෙච්ච කෙනෙක්. ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කෙනෙක් ඉන්නව ටිකක් ඈත ඉල්ෆොර්ඩ් පැත්තේ . මට එතකොට වයස තිස් ගණනක්නේ. මයික් ට පනස් ස් ගානක් වගේ. බ්‍රයන් තමයි වැඩිමලා.


 අන්තිමට උනේ සුද්දො දෙන්නා එකතුවෙලාවේ මගේ පැනල් ටිකට තීන්ත ගාලා දුන්නෙ එක. උන්ට තේරුණා.මම ජීවිතේට හරියට තීන්ත ගාපු කෙනෙක් නෙවෙයි කියලා. බ්‍රයන් කියල දුන්නා මුලින් බේස් කෝට් එකක් ගාලා  දෙවැනි පාර ආයේ හරියට ගාන්න ඕන කියල. එතකොට තමයි පැනල්  වැස්සට තෙමුනට මුකුත් වෙන්නෙ නැත්තේ. පින්සල හරියට අල්ලන හැටි හෙමත් කියල දුන්න . වැඩේ කියන්නේ ඉනෙස් තීන්ත ගාන්න දන්නවා හොඳට. එයාලගේ දෙමාපියන් ගේ ගමේ ගෙයක් තියනවා නිවාඩුවට ඉන්න. ඒකෙ පවුලේ කට්ටිය එකතු වෙලා කැඩුණු තැන් පිළිසකර කරලා තීන්ත ගාන නිසා එයත් ඉගෙන ගෙන. මම රුසියාවේ ඉන්න කොට තේරුන දෙයක් තමයි රුසියානුන්ට උනත් මේ DIY වැඩ හොඳට පුළුවන් කියන එක .


  පැනෙල් ටික හයි කරහම ඇත්තටම ලස්සනයි.  අපි කට්ටියටම තේ හදලා දුන්න.  ඉනෙස් හදපු  ඇපල් ස්ට්රුඩල් කියන ජර්මන් අතුරුපස එක්ක . කොළ පාට ඇපල් පොඩියට කපල සෝස්පැන් එකකට දාල වතුර, කුරුඳු , වැනිලා වගේ දේ සහ සීනි දාල තම්බනවා. හොඳ ජෑම් වගේ දෙයක් හැදෙනවා . ඊට පස්සේ අපි ඔය පේස්ට්‍රි හෙම හදන පිටි වලින් හදපු පිටත ෂිට් තියෙන්නේ . ඒවා ඇතුලට දාල කිචන් ෆොයිල් වලින් වහල බේක් කරනවා. ඔය මැක්ඩොනල්ඩ් එකේ ඇපල් පයි කියල විකුනන්නෙත් ඒ වගේ එකක්. ඉනෙස්ගෙන් තමයි මම ඒ අතුරුපස එක ගැන ඉස්සෙල්ලම දැන ගත්තේ. උඩට අයිසින් සීනි දාල කස්ටඩ් හරි අයිස් ක්‍රීම් උඩට දාගත්ත්තම හරිම රසයි.


පැනල් දැම්මට පස්සේ අපි කට්ටිය එකිනෙකාට වඩා හිතවත් වුනා කියලයි මට තේරුනේ .


අපේ අහල පහල අයනම් බ්‍රයන් එක්ක වැඩි ඇයි හොඳයියක් නැහැ. ස්කොට්ලන්ත කපල් එකක් ඉන්නවා අපට ගෙවල් හයකට එහායින් . තවම ඉන්නවා දැන් අවුරුදු 25 ට වැඩියි මේ චතුරශ්‍රයේ . එයාලා ඉනෙස් එක්ක කියල තියෙනවා

"බ්‍රයන් නාහෙට නාහන එකෙක්. අනිත් අයට උගන්නන්නමයි එන්නෙ. අපට පුදුමයි ඔයාල බ්‍රයන් එක්ක ඔළුව ගහගෙන ඉන්න ඉන්න එක නම්" කියල . ඉනෙස් කියල තියනව අජිත් බ්‍රයන් එක්ක යාලුයි . දෙන්න තකට තක කියල .

ස්කොට්ලන්ත දෙන්න දැන් වුනත් පාරේදී හම්බ වෙලා කතා කලාට එතනින් එහාට සම්බන්ධයක් නැහැ. අපිත් දැන් මේ චතුරශ්‍රයට විත් අවුරුදු 25 වෙන්න ළඟයි.


අජිත් ධර්ම - 11/08/2024


Monday 29 July 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 3 - අළුත් නිවසට



කතාවේ කලින් කොටස් දෙක මෙතන 

අපි ලේටන්  වල ඉඳන් අලුත් නිවසට බඩු ඇද්දේ  වෑන් එකක් කුලියට අරගෙන. ඉතුරු බඩු  ටික ෆෝඩ් ෆියෙස්ටා එකේ. පොඩි කාර් එක වුනාට බඩු ගොඩක් ඒකෙ පටවන්න පුළුවන්. ඇල්බටා තරිඳුවා ගේ ඔයිල් පැල්ලම් පොත  ගැන මම ලියද්දි ඒ කාරෙක ගැන ලීවා මෙතන.  මට දැන් පේනවා බ්‍රයන් නලියනවා කාරෙක ගැන මොකද්ද කියන්න.

"උඹ පරණ කාර් වලට කැමතිද" 
"එහෙම එකක් නැහැ. අපට අතේ වැඩිය සල්ලි නැති නිසාත් මේක අඩුවට ලැබුන නිසා ගත්ත එකක. රන් කරන්න ලාභයි ." මම  කිව්වා.
"ජර්මනියේ හදන ඕන කාර් එකක් හොඳයි." බ්‍රයන් නිකන් යාලු කමට වගේ කීවේ ඒකනම්.  බ්‍රයන් ට තිබ්බේ  ක්ලැසික් Mazda කාර්  එකක්. මට ඒකෙ  හෙඩ්  ලයිට් වහල දල ස්ටාර්ට් කරන කොට ඇරෙන එක නම් නෝටිස් වුනා ටක් ගාල. 

අපි ඇවිත් තුන්වෙනි දවසේ වගේ මම වැඩ ඇරිලා ගෙදර එනවා.  ගේ ඉස්සරහ පොලිස් කාර් දෙකක්. මම බැලුව බ්‍රයන් කාරයට කවුරුහරි පිහියෙන් ඇනල වත්ද කියල. නැහැ මෑන් එළියේ හිනා වෙවී කතා කර කර ඉන්නව.

මට ලියන්න අමතක වුනා කලින් ලිපි දෙකේම. අපට ගේ වික්ක අයිරිෂ් යුවල කියල තිබ්බ බ්‍රයන් පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් කියල. ඉතින් මම හිතුව පරණ  සෙට් එක වෙන්න  ඇති කියල.

මම කාර් එක පාක්  කරලා හිනාවක්  දාගෙන ගෙට  යන්න හදන කොට බ්‍රයන් කතා කළා.
"අජිත් මේ මගේ දුව ජැකී"  . බ්‍රයන්ට වැඩිය උස, අඩි හයක විතර පොලිස් කෙල්ල අත ඔසවලා හෙලෝ කියන්න සංඥාවක් කළා. ඊට පස්සේ බ්‍රයන් අනිත් පොලිස් කාරයා  පෙන්නල කීව,
  
"මේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් බැරී. මගේ දුව බ්‍රිටිෂ් ට්‍රාන්ස්පෝර්ට් පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මාව බලන්න එනවා සතියකට සැරයක් වගේ"

"කොච්චර හොඳද" කියල මම ගෙට ගියා. මොකද උන්  දෙන්න අතට අත දෙන්න ආවේ නැහැ, සාමාන්‍ය  සුද්දෝ කරන විධිහට. නිකම් විමසුම් බැල්මක් දාගෙන හිටිය විතරයි.

ඉනෙස් ආවහම මම කතාව කීව. අපට නිකන් පාට් එක්ක දාන්න පොලිස්  දුවව ගෙනාවද කියන අදහසත් හිතට ආව . ඉනෙස් කීව එයාගේ දුව තාත්ත බලන්න එන එක සාමාන්‍ය දෙයක් නේ කියල. ඉනෙස් ගේ රීසනින් හුඟක් වෙලාවට හොඳයි ඒ වගේ.  
ඊට පස්සෙම දවසේ බ්‍රයන් ගාඩ්න් එක පැත්තෙන් හම්බ වුනා. අපි දෙගොල්ලගෙ ගේ පිටිපස්සේ ගාඩ්න් දෙක  වෙන්වෙන්නේ කොට ලී පැනෙල් ගහපු වැටකින්.  බ්‍රයන්  ගේ ගාඩ්න් එක ලොකුයි. මොකද ඒක කාමර  හතරේ පළල්  ගෙයක්. අපේ ගේ කාමර තුනේ ගෙයක්. බ්‍රයන් ගේ කෙලවරේ එකක් නිසා තව ඉඩ තිබ්බ. එයා ඒකට ඉදිරි දොර ගාව ඉඳන් ගේ පිටි පස්සට වෙනකන් ගරාජ් එකක් හදල තිබ්බ. හැබැයි ඒකට කාරෙක දාන්නේ නැහැ. මිනිහගේ වඩු වැඩ ආම්පන්න, ප්‍රෙෂර් වොෂර් , තව අඩුම කුඩුම වගයක් තමා තිබුනේ. බ්‍රයන්ට ඕනේ ලී  වැට අලුත් වැඩියා කරන්න. දකුණු පැත්තේ එක මගෙලු. මට අලුත් පැනෙල් දාන්නලු. මම පොරොන්දු වුනා හොයල බලල කරන්නම් කියල. 

මම වැඩ කරන ඩිපිඑස් මෘදුකාංග ආයතනයේ වැඩත් හොඳින් ගලාගෙන යනව, ගිහින් අවුරුද්දකට හමාරකට පස්සේ මම මගේ කම්පැනි එක වහල දැම්ම. මොකද එංගලන්ත නීතියට අනුව වසරකට සැරයක් ආදායම් වියදම් යවන්න ඕනේ කම්පැනි හවුස් එකට. ඒ වෙනකොට ඒ බිස්නස් එක නිවාඩු වෙලාවේ  හෝ සෙනසුරාදා, ඉරිදා  කරන එකත් මම අත ඇරිය. හිටිය ක්ලයන්ට්ස් ලාටත් වෙන අතක් බලා ගන්න කියල. ස්කොට් මට උදේට පරක්කු වෙලා එන්න ඉඩ දීල තිබ්බේ. flexible ටයිම් කියල. ඔෆිස් එකේ ඉඳන් ගෙට එන  A 10 පාරේ දකුණු පැත්තේ ලොකු තණ පිට්ටනියක්  තියනවා ෆුට්බෝල් ස්ටේඩියම් එකක් එක්ක.  වැඩ කරන සෙට් එක ඔතනට ෆුට්බෝල් ගහන්න යනවා සතියකට දින දෙක තුනක්. . මමත් කැමතිම ගේමක් නිසා මමත් එකතු වුනා. එතන ඉඳන් ගෙදෙට්ට පයින් එන්න පුළුවන්. ඒ දවස් වල ෆුට්බෝල් ගහපු කම්පැනි එකේ උන්  ගෙන් පොඩි රොබට් හෙවත් රොබට් කුක් තවමත් දැන් ඉන්න කම්පැනි එකේ වැඩ කරනවා. ඉතින් එතන ෆුට්බෝල් ගහල ඒ ළඟම  තියෙන පබ් එකේ බියර්  එකක් දෙකක් බිල  කට්ටිය ගෙවල් බලා යන්නේ. බියර් වලට හුඟක් වෙලාවට කම්පැනි එකෙන් ගෙව්වා. ඒ කාලේ හැම  සිකුරාදාම හවසට බියර් (හෝ වෙනත බීමක් උනත් ගන්න  පුළුවන්)  බොන්න යනවා කම්පැනි එක ගානේ.  පොඩි බොසා  ස්කොට් (ඔපෙරේෂන් ඩිරෙක්ටර) සහ ලොකු බොසා ඔස්මනුත් ඉඳල හිටලා එනව. හවසට ගෙදර ආවම  මම නිදහස්. සෙනසුරාදා ඉරිදා අපි දෙන්න ඇවිදින්න කොහේ හරි යනවා. මේ නිසා මට හිතුන තමන්ගේ බිස්නස් එකක් කරනවට වඩා මේක ආතල් කියල ජිවිතේට. ඉනෙස් ගේ අදහස වුනෙත් ඒකයි.

 ස්කොට් මට එන්ජියරින් පූල් එකේ තිබ්බ කම්පැනි කාරෙකක් අඩු ගානට ගන්න කීව, මොකද කම්පැනි එකට අලුත් ඒවා ගන්න නිසා. සාමාන්‍යයෙන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් කාර් විකුණන කම්පැනි එකකින් ඇවිත් අරන් යනව. මේක ෆෝර්ඩ් එස්කෝට් එකක්.. මම ඒක  අරගෙන ආවහම බ්‍රයන් බලන් ඉන්නවා ගේ ඉස්සරහ.

"උඹලට දැන් කාර් දෙකක් තියනවනේ. උඹට පයින් යන්න පුළුවන් නේද "
මම කිව්වා 
"මම දාඩිය දාගෙන යන්න කැමති නැහැ ඔෆිස් එකට. මේක ලෙහෙසියි. විනාඩි පහයි. මට අට වෙනකන් බුදිය ගත්ත හැකි. " කියල. 
ටිකක් නම් මනම් කතා කරල  බ්‍රයන් කියනව - "මම උඹල දෙන්නට කැමතියි. උඹල අපේ බදු සල්ලි වලින් ජිවත් වෙන උන් නෙමේ. තමන් මහන්සි වෙලා වැඩ කරලා බදු ගෙවල ජිවත් වෙන උන්ට මම කැමතියි " 
 
  මම හිතුව මෙයා  මේ සංක්‍රමණික විධිහට ඇවිත් දේශපාලන අනාථ භාවය ඉල්ලන අය ගැන කියන්නේ කියල. ඒ නිසා මම  කිව්වා, "බ්‍රයන් සමහර වෙලාවට අනාථයෝ විධිහට එන අයට මුලදී අමාරු නිසා රජය උදව් කරන්නනේ".
 කියල පොරව තරහ කරගෙනත් බැහැනේ.
බ්‍රයන් කියනවා. "නැහැ මම ඒ ගැන නෙමේ කිව්වේ. අපේ සමහර එවුන් (ඉංග්‍රීසි හෝ බ්‍රිතාන්‍ය ජාතික) උපන්දා  ඉඳන්න්  රස්සා නොකර ආණ්ඩුවෙන් කකා ඉන්නවනේ. ඒකට මම අකමැතියි. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ දුවට  අවුරදු හදහඅටේ ඉඳන්  ආණ්ඩුවෙන් ගෙවනවා. රස්සාවකට යන්නෙත් නැහැ. මහතයි, අරකයි මේකයි, හයියෙන්  ඇවිදින්න බැහැ වගේ  මගුල් කියල සල්ලි ගන්නවා ආණ්ඩුවෙන්. අපේ ගොබ්බ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ.  රස්සාවක් නම්, ඕකි  මම දන්නා කාලෙක  ඉඳන් කරන්නේ නැහැ"

"හැමෝම රස්සා කල  යුතු බව නම් මමත් පිලි ගන්නවා බ්‍රයන්. එංගලන්තේ ඔය විධිහට සහනාධාර  දෙන්න පටන් ගත්තේ සෝවියට් දේශය නිසා. මෙහෙ දුප්පත් මිනිස්සුත් කැරලි ගහයි කියල"
 
"අපොයි ඒ ඒකාධිපති රාජ්ජේ  ඉවර වෙච්චි  එක හොඳයි. අපි උන්ට වැඩේ දුන්න."
කියල බ්‍රයන් මහා හඬින් හිනා වුනා.

මටත් පොඩ්ඩක් තදවුනා කියපු කතාවට. සෝවියට් බයස් නේ මම. නමුත් මම පෙන්නුවෙ නැහැ . 
බ්‍රයන්, කොමියුනිස්ට් වාදයේදී හැමෝම වැඩ කරන්නේ තමන්ගේ හැකියාවට අනුව, අවශ්‍ය තරමට. නමුත් හැමෝම රැකියා කරනවා. නොකර ඉන්න බැහැ. සෝවියට් දේශයේත් ඒක එහෙමයි."
 බ්‍රයන් මං දිහා බැලුවේ ටිකක් විමතියෙන්. මම රුසියාවේ හිටිය කියල මෙයාට තවම කියල නැහැ. එහෙම කියල මම මාරු වුනා ගේ ඇතුලට.

ඉනේස්ට කීව බ්‍රයන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල. බ්‍රයන් ගේ වයස හැත්තෑවක් විතර ඇති ඒ වෙනකොට. ඉතින් අර විධිහට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කීවහම පොඩ්ඩක් විතර හිනා ගියා මට. වැරදියි තමා. දැන් දන්නවා හීනවීම අනවශ්‍යයි කියල. 

මම ලීවනේ අනිත් පැත්තේ ගෙදර වයස අසූවක විතර අච්චියෙක් ඉන්නේ කියා. එයාගේ හැට වියැති දුව හා බෑනා එනව එයාව බලන්න හැමදාම වගේ. ඇවිත් ගාඩ්න් එකේ වැඩ කරලා මල්වලට වතුර දාල වල් පැල උදුරලා හෙම යන්නේ. තමන්ගේ පුංචි ගාඩ්න් මල් වවල හෙම ලස්සනට තියා ගන්න එක යුරෝපීය  මිනිසුන්ගේ හොඳ සිරිතක්. ඒ වගේම  පොඩි පර්චස් දෙකේ වගේ ඉඩම් කෑලි ආණ්ඩුවෙන් අරගෙන ග්‍රීෂ්ම කාලෙට එළවලු වවන එකත් මේ අය කරනවා. ඒවාට අලොට්මන්ට්  කියල කියන්නේ. ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඒ වගේ  ඉඩම් හරි අඩුයි  දැන්නම්.  මෙහෙ ඉන්න ඒ වගේ වග කරන  කරන අපේ යාලුවෝ  ඉන්නව. අපේ යෙහෙළියක් වන ටෙක්ලා  ඒක හොඳටම කරන කෙනෙක්. අපටත් හොඳ එළවලු  හම්බ වෙනවා  එයාගෙන් සමහර වෙලාවට.  සුජිත්  සහ ඩිලානි  කියල යුවලක් ඉන්නව ඒ වගේ ගෙදර තරමක් ලොකු ගාඩ්න් එකක් තියෙන නිසා ඒකෙ  එළවලු වවල  යාළුවන්ටත් දෙනවා.   අපේ පුංචි ගෙවත්තෙත් ඉනෙස් තක්කාලි, සුහිනි , බෙරි වර්ග (මාදං වගේ) දාල තියනව. 

මේ ආච්චි දුවල ගාවට යන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. මේ දදුවයි බෑනයි දෙන්න   ඉනෙස්ට ඕපාදුප කියනව. ඉතින් ඉනෙස් මට ඇවිත් ඕපාදුප ටික කියනව.

බ්‍රයන් ට්‍රැෆික් පොලිස් කාරයෙක්. කසාද ගැහැණු දෙන්නයි. දෙන්නම නීතියෙන් දික්කසාද වෙලා. දුවල දෙන්නයි. දෙන්නම මුල් බිරිඳ ගෙන්. ජැකී හෙවත් ලොකු දුව වීතරයි තාත්ත බලන්න එන්නේ . දෙවෙනි  දුව එන්නේ නැහැ. එතකොට බ්‍රයන් එයාගේ  අල්ලපු ගෙදර හිටිය ගැහැණු කෙනා එක්කත් සම්බන්ධයක් තිබිල තියෙනවා. ඒ ගැහැණු කෙනා ඒ සම්බන්ධය නිසා හෝ වෙනත් හේතුවක් නිසා අධික ලෙස මත්පැන් පානය කරලා තියනවා  ජිවිතේ නැතිවෙලා තියෙන්නෙත් ඒකෙන්මයි . එතකොට ඒ ගෙදර ඉංග්‍රීසි ජාතික මනුස්සය එයාගේ පුතා ඩේවිඩ් එක්ක ඉන්නේ. ඇක්සිඩන්ට් වෙලා කකුලකුත් තුවාල වෙලා  තියෙන්නේ.

හැබැයි බ්‍රයන් ඒ මනුස්සයට උදව් කරනවා මම දැකල තියනවා. මට හිතෙන්න ගත්තේ ඇත්තටම මේ මිනිස්සු බ්‍රයන්ට අකමැති, බ්‍රයන් මුණට හැමදේම කියන නිසා කියල. මමත් එහෙමයි නේ. මට හිතුන හැබැයි ඒක  අවංකයි නේද කියල. එතකොට අපි දන්නවා අපි ඉන්නේ කා  සමගද , වැඩ කරන්නේ කා එක්කද කියල. මූණට හොඳට හිනාවෙලා ඊට පසේ පිහියෙන් අනින වැඩ කරන අය අප අතර ඕන තරම් ඉන්නවනේ. මේ යකා  සුදු ජාතිවාදියෙක් වෙන්න පුළුවන්. දක්ෂිණාංශිකයෙක් වෙනත් පුළුවන්. නමුත් ඒ බව සඟවන්නේ නැහැ. එක්තරා  විධිහකට ඩිල් කරන්න ලෙහෙසියි.

ඊළඟ සතියට යමු. බ්ලොග් ලිපි ෂෝට් කරන්නත්  එපැයි, අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව.

අජිත් 29/07/2024



Sunday 21 July 2024

සුන්දරත්වයෙන් පසු කලාව "කන්නද"


කලාව කන්නද යැයි ඇසුවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ජේ ආර් ජයවර්ධනය. ඔහු එසේ පැවසුවේ කලා මාධ්‍යයෙන් අධ්‍යනය කරන සිසුන් වැඩි නිසාද එසේ නොමැති නම් සරච්චන්ද්‍ර මහතාට ඔහුගේ මැරයන්  කළ ප්‍රහාරයෙන් පසුවද යන්න මට මතක නැත. ජේ අර ජයවර්ධන ඇත්තටම කලාව ගැන නොදැන සිටියේද? 
කිසියම් කලා කෘතියක්, චිත්‍රයක් , ගීතයක් රස විඳීමට නම් ඒ ගැන උගත යුතුද? ගීතයක්, චිත්‍රයක පසුබිම් කතාවක් ඇත්නම් එහි අගය වැඩි වේද? විචාරයක්   කිරීමට නම් කලින් කලා කෘති හැදෑරිය යුතුද? මේ අදහස් පැන නගින්නේ "සුන්දරත්වයන් පසු කලාව" කෘතිය පරිශීලනය කරද්දීය. 

මම මුලින්ම චිත්‍ර ප්‍රදර්ශනයක් බැලීමට ගියේ මගේ සහෝදරියක්  සමග විනී හෙට්ටිගොඩ මහතා ගේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයටය. ඔහු විසින් අත්සන් කල කාටූන් චිත්ර ඇඳි පොතද මිලයට ගත්තෙමු. ඉන්පසු සෝවියට් දේශයේදී බොහෝ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ගියෙමි.  පළමු අවුරුද්දේ බරෝදින් නැමැති පෙදෙසේ නැපෝලියන් පරාජය කල සටන දැක්වෙන කෞතුකාගාරයකට රුසියානු ගුරුතුමිය අප රැගෙන ගියාය. ඇය විස්තර කර දුන් නිසා ඒ චිත්‍රවල ඉතිහාසය දැන  ගත්තෙමු. ඉන්පසු ලෙනින්ග්‍රාද් නගරයේ මෙන්ම මොස්කව් වල බොහෝ කෞතුකාගාර වල චිත්‍ර ප්‍රදර්ශන මෙන්ම පල්ලිවල චිත්‍රද නැරඹීමට ගියෙමි. චිත්‍ර ප්‍රදර්ශනයකට යාමේදී හෝ පොතක් කියැවීමේදී ඔපෙරාවක් නාට්‍යයක් බැලීමට යද්දී  ඒ පිලිබඳව කිසියම් තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමට උත්සුක වීමි.   

මා රැකියාව  කල ආයතනයේ ඇලන් ෆිස්ක් නමැති මහතෙකු අපේ මෘදුකාංග සඳහා තාක්ෂණික උපදෙස් පොත් (මැනුවල්) ලිවීමේ රැකියාවේ යෙදුනි. බීබීසි හා වෙනත් මාධ්‍ය වල සේවය කල ජනමාධ්‍යය වේදියෙකු වූ රොබට් ෆිස්ක් ගේ සහෝදරයා ඔහුය.  මේ දෙදෙනාම ගත් කතුවරුය.  ඇලන් ෆිස්ක් ඉතාලියේ  පුනරුද සමයේ නිර්මාණය වූ චිත්‍රයක් පිළිබඳව "මල්සරා  සහ නිහඬ දෙවඟන" (Cupid and the silent goddess) නමින්, ලියූ  පොතක් මට කියවීමට දුන්නේය. ෆ්ලොරන්ස් නගරයේ මෙදිචි ආදිපාදවරයා 1544 දී ඇග්නොලෝ බ්‍රොන්ට්සිනෝ නැමැති කලාකරුවාට "වීනස් සමග කියුපිඩ්" පිලිබඳ උපමා සිතුවමක් (Allegory)  නිර්මාණය කිරීමට අණ කළේය.  මේ පොතේ ඒ ගැනය.
  
ඇලන් ෆිස්ක් ලියූ  මේ පොතින් මා උගත්  දේවල් බොහෝය. ඒ වකවානුවේ ඇතැම් කලාකරුවන්ට ිත්‍ර කලාව ඉගෙනීමට පැමිණිස උදව් කරුවන් සිටියහ. ඔවුන් පොහෝ විට තරුණ පිරිමි දරුවන් විය. මාස්ටර් ළඟ නැවතී චිත්‍ර කලාව ඉගෙන ගන්නා ඔවුන්ට තම මාස්ටර් වෙනුවෙන් බොහෝ දේ කරන්නට සිදුවිණි. අත් උදව් දීමට අමතරව කෑම බීම උයා දීමද, බදු ගෙන ඒමට කඩ පිලට යාමද මෙන්ම රාත්‍රියට බිරිඳක වීමටද පිරිමි ළමුන් වන ඔවුන්ට සිදු වුනි. මෙසේ සිතුවමට පාදක වුනු මූලික කතාවට අමතරව අතුරු කතාවක්ද මේ පොතේ ලියැවෙයි. එදාසිට මම තව දුරටත් චිත්‍රයක් දෙස  සැහැල්ලුවෙන් නොබලමි.

මේරි ඇක්ටන් විසින් සිතුවමක් හඳුනා ගන්නේ කෙසේද යන්න ගැන "Learning to look at paintings " නමින් පොතක් ලියා තිබේ. දීප්ති කුමාර ගුණරත්න "සුන්දරත්වයට පසු කලාව" පොතේ gaze යන වදන විපරම් කරද්දී ඇය භාවිතා කරන්නේ looking යන වචනයයි. සිතුවමක් බලන්නට ඉගෙන ගනිද්දී සෞන්දර්ය හා කලාත්මක පැත්ත ගැන සිතීම ඒ ගැන විචක්ෂණශීලිව බැලීම තරම් වැදගත් බව ඇය කියයි. ඇයට අනුව කලා කෘති පිලිබඳ ඉතිහාසය ඉගෙන ගැනීම බොහෝ සෙයින් වෙනස් වී ඇත්තේ විචාරාත්මක න්‍යාය (critical theory) විවිධ මතවාදයන්ට ඉඩ දීම නිසාය. ඒ මතවාදයන් අතර මාක්ස්වාදය, මනෝ විශ්ලේෂණය, ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, විසංයෝජනය මෙන්ම ස්ත්‍රීවාදයද වෙයි.

කලා විචාරක ක්ලෙමන්ට් ග්‍රීන්බර්ග් පවසන්නේ වියුක්ත කළා කෘතියක් දෙස විධිමත්ව බැලීම (formalist looking ) හරහා අපට දෘෂ්‍ය වස්තූන් කෙරෙහි ගැඹුරු රසඥතාවයක් ඇති කරගන්නට උගන්වයි, යනුවෙනි. මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ බසින් අමුර්ත කලාව (abstract art) හෙවත් වියුක්ත කලාව 'දැකීමට' අප පුහුණු කරන අතර , අපේ ඇසට , සංයුක්ත කලාව අගය කිරීමට ඉඩ සලසයි.

ප්‍රසන්න විතානයන් ගේ "අනන්ත රාත්‍රිය" ගැන විචාරයක් ලියන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙසේ පවසයි.

"ඕනෑම කලා කෘතියක් යථාර්ථයෙන්ම නිරූපණය කරතැයි කියනු ලැබේ. එය එසේ කරන්නේ සුවිශේෂය නිරූපණය කිරීම මගිනි. සුවිශේෂය තුළින් හා සුවිශේෂය හරහා සාමාන්‍යය නිරූපණය වෙයි.


  මේ විනා කලාකරුවාට යථාර්ථයන් නිරූපණය කිරීමට ෙනත් ක්‍රමයක් තිබේද? 


කලාව සාමාන්‍යය නිරූපණය නොකරයි නම් අධ්‍යාත්මයන් අතරින් පාලම් බඳින්නේ,‍ අන්තර් සන්නිවේදනාත් වන්නේ කෙසේ ද? කලාව ගැන මා කියන දේ  ඔබට තේරෙන්නේත් කෙසේද?


 කලාව යථාර්ථය නිරූපණය කිරීම මගින් අපගේම ඇතුළු හතට ආලෝක ධාරා විහිදුවයි.


  කලා කෘතියක් සැඳුම් ලබන්නේ අපගේම බාහිර ආධ්‍යාත්මික මූලද්‍රව්‍ය වලිනි.  එය විශ්ලේෂණය කළ කල්හි අපට දිස්වන්නේ අපම මුහුණ පා සිටින ගොරතර තතුය. කලාව හරහා අපි ඒවායෙහි පරප්‍රාප්ත වෙමු. ඒ අප්‍රිය වූ අමනාප වූ වෛරී වූ තතු පෙරළා දැමීම සඳහා, වඩා  සුසංවාදී,  සුපුෂ්පිත ජීවිතයක් පැතීමද ලැබීමද සඳහා අප එසේ ලබන ඥානික හා භාවික ඥානය පූර්ව කොන්දේසි වෙයි." (උපුටාගැනීම මගෙනි)

සිතුවමක් අඳින , නිමවන විධික්‍රම බොහොමයක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය කළ හැකිය. කලාකරුවා මුලින්ම කෘතිය සංවිධානය කරමින් එය තුලට ගන්නේ මොනවාද ඉවත් කරන්නේ මොනවාද යන්න නිර්ණය කරයි. මෙය composition ලෙස හැඳින්වේ. දහ හත්වන සියවසේදී එනම් බැරොක් සමයේදී අවකාශය (හා පරිසරය) නිරුපණය කිරීම වැදගත් විය. මේ චිත්‍ර පල්ලි වල ඉහල සීලිම් වල, බිත්ති වල , මාළිගාවල අදත් දැකිය හැකිය. බෙනිනි, බෝරෝමිනි, පියේට්‍රෝ දා කොටෝනා, රෝමයේ කරවාගියෝ වන සිත්තරුන් බැරොක් අනුගමනය ශිල්පින් ලෙස මෙහිදී නම් කල හැකිය. එල් ග්‍රේරෝ ගේ "ඔර්ගස් කවුන්ට් වරයා ගේ භූමදානය" නම් චිත්‍රයද බැරොක් ශෛලියේ එකකි. මෙහිදී සැබවින්ම සිදු කලේ යථාර්තය පිළිබඳ මායාවක් නිර්මාණය කිරීමය.

දහ අටවන සියවස වන විට පැබ්ලෝ පිකාසෝ ත්‍රිමාණ ව්‍යුහයන් චිත්‍ර වලට රැගෙන ආවේය. මෙය හැඳින්වුණේ cubism නමිනි. ඔහු මනුෂ්‍ය රූපය පිළිබඳව හොඳින් හදාරා විවිධ තල මත ඒවා නිරූපණය කළේය. එහිදී එම රූප මනුෂ්‍ය ව්‍යුහයේ ඒකාග්‍රතාවයට හානියක් සිදු කලේ නැත. මයිකල් ඇන්ජෙලෝ ගේ "ජෝනා වක්තෘවරයා" නම් චිත්‍රය ත්‍රිමාණ මානයන් හොඳින් පැහැදිලි කර පෙන්වයි. මෙහිදී වස්තුවේ දිග වෙනස් කරමින් නරඹන්නා ඉදිරියට පැමිණෙන අතර සමහර වස්තුන් නරඹන්නා ගෙන්ඉ වත්ව යයි. ත්‍රිමාණ මානයන් සාදන්නේ ඒ මගිනි.

"දක්ෂ චිත්‍ර ශිල්පියකු යනු ‘ත්‍රිමාණ  ලෝකය’ උත්කර්ෂණය නොකොට පැතලි පෘෂ්ඨයකට රැගෙන එන්නාය. චින්තනයේ අමු ස්වරූපය යනු, වචනයි. එවිට, චිත්‍රය යනු, ත්‍රිමාණ ලෝකය සහ වචනය අතර මැද පවතින අවකාශයයි. චිත්‍රයක් නරඹන කෙනෙකු එය අවබෝධ කරගන්නවා යනු මෙම පැතලි  යථාර්ථය වචනවලට පෙරලීමයි. පැබ්ලෝ පිකාසෝ වැනි චිත්‍ර ශිල්පියකු ට තමා අවට පවතින ත්‍රිමාණ  ජ්‍යාමිතික වස්තුන් ද්විමාන පැතලි පෘෂ්ඨයකට අවශෝෂණය කරන ලදි. එයට චිත්‍ර කලා ඉතිහාසය තුළ ලැබුණු නම වූයේ ඝනික වාදයයි. (cubism) පිකාසෝට අනුව ත්‍රිමාණ  ලෝකය නිශේධනය කළ යුත්තේ යථාර්ථය ත්‍රිමාණ නිසාත් එය පලා යෑමක් නිසාත්ය. ත්‍රිමාණ  වස්තූන් පැහැදිලි පෘෂ්ඨයක් මතට ඌණනය කරන විටදී, වර්ණයට  වඩා රේඛාව සහ ආකෘතිය අධිනිශ්චය වෙයි. පොළොක්ට බලපෑවේ මෙම පැතලි ඝනික වාදයයි."- (සුන්දරත්වයට පසු කලාව -පිටුව 201)

සරේලිස්ම් හෙවත් අධි යථාර්තවාදී සිත්තම් කලාව විසි වන ශත වර්ෂයේ සිට ප්‍රසිද්ධ විය. ශාන්ත පිටර්බර්ග් නුවරදී මා ගිය එවැනි කෘතීන් පිරි කලාගාරයක සිත්තම් මේ ලිපියේ දැක්වේ. සාන්ත පිතර්බුර්ගයේ එර්මිතාෂ් (Hermitage) කෞතුකාගාරයේ "අධි-යථාර්ථවාදය" චිත්‍ර ප්‍රදර්ශනය එම ලිපියේ මම මෙසේද සඳහන් කළෙමි.

"විසිවන සියවසේ යථාර්ථවාදයේ ස්වරූප බොහොමයකි. හයිපර් - හෙවති අධිතාත්විකවාදය (Hyper-realism), සර් හෙවත් අතාත්විකවාදය (surrealism), ඡායා-යථාර්තවාදය (Photo-realism), සමාජ යථාර්ථවාදය (Social-realism) හා මායාවී යථාර්ථවාදය (magical-realism) මේ අතරින් කිහිපයකි. මේ සියවස අගභාගයේ සිට තාත්විකවාදී නැඹුරුව වඩා උනන්දුවට මෙන්ම සාකච්චාවට බඳුන්වී තිබේ."
වර්තමානයට එනවිට, ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ චිත්‍ර ප්‍රදර්ශන කරන චන්ද්‍රගුප්ත තේනුවරගේ බැරලිස්ම් අපට සම්මුඛ වෙයි. බටහිරදී තේනුවරගේ බැරලිස්ම් අපට ආඩම්බර විය හැකි පරිදි චිත්‍රකලාවේ නවතම ශෛලියකි.

දීප්ති ගුණරත්න, "සුන්දරත්වයෙන් පසු කලාව " ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.

"චන්ද්‍රගුප්ත  තේනුවරගේ බැරල්වාදය (1997) තුළදී  ලංකාවේ දෘශ්‍ය කලා ඓතිහාසයේ මංසන්ධියක් සලකුණු වෙයි. මාෂල් ඩුෂම් ගේ   පිරිනිමියක් (readymade) මෙන් තේනුවරගේ  බැරල් ද  දෛනික ජීවිතයේ හමුවන විවෘත වස්තුවකි. බැරලයක්  මීට පෙර චිත්‍ර ශිල්පියකු ප්‍රදර්ශනයකට රැගෙන විත් නැති නිසා ලංකා චිත්‍ර ඉතිහාසය තුළ කලාගාරයක 1997 වනතුරු එවැන්නක් තැන්පත් කර නැත. චිත්‍ර  කලා නිර්ණායකවලට අනුව ගැලරියක කලින් පෙන්වා නැති දෙයක් පෙන්වූ විට එය අලුත් දෙයක් බවට පත්වෙයි. ලංකාවේ චිත්‍ර කලා විචාරකයන් බැරල්වාදය  පිළිබඳ පළ කරන්නේ විචාරයක් නොව විස්තරයකි. ඔවුන්ට අනුව බැරැල්වාදය මගින් ප්‍රකාශ වන්නේ පොදු අවකාශයන් බිලීටරීකරණය වීමයි. එම නිසා එය මහජනයාට සුලභ දර්ශනයකි."

ශ්‍රී ලංකාවේ දී තේනුවර ගේ ජයග්‍රහණ සැළකෙන්නේ නැති තරම්ය යන්න මගේ අදහසයි. ඔහු සහ තවත් අය ලක්වන චෝදනාවක් නම් රනිල් වික්‍රමසිංහ වැනි අය ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට පැමිණීමය. රනිල් සහ මෛත්‍රී ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනය බැලීමට පැමිණීම විවේචනයට බඳුන් වුයේ බොහෝ විට රනිල් සහ සාහිත්‍ය කලාව කන්නද යයි ඇසූ දේශපාලන නායකයාට අතර ඇති ඥාති සම්බන්ධය නිසා විය යුතුය. එසේම ජනතාවට එරෙහිව බැරල් යෙදවීමේ ප්‍රයෝගික අත්දැකීම් රනිල්ට ඇති නිසාද විය හැකිය.මාර්ටින් හෛඩගර් නාසි පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටියද ප්‍රංශ හමුදාව ඔහු නිදහස් කල බවත් ඔහුගේ දර්ශනවාදය පිළිබඳ හැදෑරීම් අදටත් භාවිතා වෙන බවත් අමතක කල නොහැකිය.

දීප්ති කුමාර ගුණරත්න , සුන්දරත්වයෙන් පසු කලාවෙහි (පි.203) කියන්නේ මෙසේය.
"‘සෞන්දර්යීය’  ඉන්ද්‍රියගෝචර ලෝකයෙන් කලාවට සහ සංස්කෘතියට ඒ නයින් දේශපාලනයට ඇතුළුවනවා යනු මිනිසාගේ අතාර්කික පැවැත්ම ව්‍යුහගත වන අඩවියක් ලෙස කලාව සහ දේශපාලනය අභිෂේක වීම.යි බෙන්ජමින්ට අනුව සුසමාදර්ශී විතැන්වීමකිි.  නූතන මිනිසාට පැරණි  මිනිසාට එරෙහිව උභය ජීවී පැවැත්මක් ඇති අතර එය ඉන්ද්‍රිය ගෝචර ඥාණයට විසඳිය  නොහැකි ගැටලුවකි. නූතන කලාවට දාර්ශනික අදහසක් අවශ්‍ය වන්නේ මේ නිසාය."

ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ ග්‍රන්ථයේ කතුවරයා ඉහත කී රනිල් වික්‍රමසිංහට රෙදි නැතිව කඩේ යන්නකු ලෙස ඇති පිළි ගැනීමයි. මට අනුර කුමාර දිසානායක සහභාගී වුනු ලන්ඩන් සමුළුවේ කිසියම් තෝරාගත් ප්‍රකාශයක් කල අයෙකු හමුවිය. ඔහු ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය සඳහා වූ ස්ථානයක ඉහළ තනතුරක් හෙබවූ අයෙකු ලෙස හඳුන්වා ගත්තේය. අවාසනාවකට ලන්ඩනයේ ජීවත්වූ හා වන නිසා මම ඔහුව දන්නේ නැත. ඔහු කීවේ දීප්ති යනු ආත්මයක් නැති අපතයෙකු බවත් දීප්ති කල දෙයක් නැති බවත් රනිල්ගේ කුණු සෝදන තැනැත්තෙකු පමණක් බවත්ය. සමහරුන්ට අනුව එය එසේද විය හැකිය. මා දන්නා පරිදි දීප්ති සිතන්නේ ශ්‍රී ලංකාව ධනවාදය යටතේ දියුණු විය යුතු බවත් ලාංකිකයාගේ මිනිස් චර්යාවන් වෙනස් විය යුතු බවටත්ය.

මේ තැනැත්තා ඉන්පසු හෙළිදරව් කලේ අමුතුම දෙයකි. ඔහු 2010 ජනාධිපතිවරණයේදී සහය දුන්නේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ට නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බවය. ෆොන්සේකා යනු මිනි මරුවෙකු මෙන්ම රාජ්‍ය බලය ලැබීමට නුසුදුසු අයෙකු ලෙස ඔහුගේ ජනතාව සිතන බැවින් ඒ පියවර ගත් බව ඔහු තව දුරටත් පැවසිය. එසේනම් මහින්ද රාජපක්ෂ ගැන ඔහු සිතුවේ කෙසේද? ෆොන්සේකා ගේ නායකයා වූයේ රාජපක්ෂ නොවේද? ඔහු දැන් සහය දීමට සිතන්නේ අනුර කුමාර දිසානායකටය. 2010 මැතිවරණයේදී අනුර ඇතුළු ජවිපෙ සහය දුන්නේ ෆොන්සේකා ටය.

මා කීවේ දීප්ති සමහර විට රනිල් විසින් රාජපක්ෂ බේරා ගැනීම නොව ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වලක්වාලු අයෙකු ලෙස උදව් කරනවා විය හැකි බවය. නමුත් අපට අමතක කළ නොහැකි කාරණය නම් රනිල් රාජපක්ෂලා බේරා ගත් බවය. ඒ අතින් ඒ අනුව ඔහු හා දීප්ති අතර වෙනස කුමක්දැයි මම ඇසුවෙමි.

මට ඇත්තටම වැදගත් දීප්ති සංස්කරණය කළ හිස්ටිරියා ව, ලියූ පොත් වන කලාව සහ විසංයෝජනය , ඇසිඩ් වැස්ස විනෝදය ආදී දේ මිස ඔහු රැකියාවට කරන දේ නොවේ. මම ආචාර්ය දයාන් ගේ පියා වන මර්වින් සිල්වාගේ ලංකා ගාඩියන් සඟරාව කොල්ලා කාලයේ මිලදී ගෙන කියවූ අයෙකි. ලන්ඩන් සඟරාවේ කොපිද මා ළඟ තිබේ. මේවා ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන දර්ශනය වෙනස් කල ඒවාය.

මගේ පොතක් එලි දක්වන වෙලේ මා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට ආරාධනා කළෙමි. නමුත් දීප්ති එන්නේ නම් ඔහු සහභාගී නොවන බව පැවසීය. මම දීප්තිට ඒ බව පැවසීමි. මා දීප්තිට කීවේ සුනිල් විජේසිරිවර්ධන සෝවියට් දේශයේ උගත් අයෙකු වශයෙන් මට මේ අවස්ථාවේදී ඔහුව වඩා වැදගත් බවයි. දීප්ති එය පිළි ගත්තේය. ඔහු විසින් පෙර කලෙක කළ විවේචනයක් නිසා එම තත්වය උද්ගතව ඇති බව ඔහු කීය.
දීප්ති සමග අජිත් පැරකුම් මෙන්ම චන්ද්‍රගුප්ත තේනුවරටද ඒ කාලේ ප්‍රශ්න තිබුණි. දැන් ඒවා සමනය වී ඇත්දැයි මම නොදනිමි. ඒ බවක් පෙනී යයි. මිනිසා යනු දේශපාලන සත්වයෙකි.

සමහරවිට පහත ඡේදයෙන් පසු නැවතත් තේනුවර දීප්ති සමග  කතා කරයිද යන ප්‍රශ්නය මගේ පෘථග්ජන සිතට නැගේ. 

“එමෙන්ම කාන්ට් සිය තෙවන විචාරයේදී (Critique of judgement) සොබා දහම පිළිබඳ කුතුහලයට තුඩුදෙන උදාහරණයක් දක්වයි. ඔහු  ප්‍රංශ ගැමියකුගේ මහන්තත්වයෙන් යුතු ප්‍රකාශයක් අතිශයෝක්තියට නඟන ලදී.  ගැමියා මෙසේ ප්‍රකාශ කරයි.  අතෘප්තියෙන් කුල්මත් වූ බුර්ෂුවා  සංචාරකයෙක් හැර වෙන ඕනෑම කෙනෙක් හිමෙන් වැසී ගිය කඳු පද්ධතියක් නිසා මෝහයට පත් වන්නේ නම් ඒකා මෝඩයෙක්. බැ රල්වාදයට එන විටදී තේනුවර විසින් කරන්නේ ත්‍රිමාණ ලෝකයක පැවති ඉන්ද්‍රීය ගෝචර අත්දැකීම් අත්හිටවීම නොව එම අත්දැකීම උත්කර්ෂයට නැංවීමයි. එම නිසා තේනුවරද රටේ ජහමනයකු පරිදිම බැරල් දකින්නේ ත්‍රිමාණ ලෝකයක් තුළදීය. ගැටලුව වන්නේ ඝනිකවාදයේ දී සහ ක්‍රියාකාරී චිත්‍රවලදී මෙන් තම සංවේදනය පැතැලි කැන්වසයකට ගෙන ඒමයි. තේනුවර ඉන්ද්‍රියගෝචරත්වයට නැතහොත් සංවේදනයට ප්‍රමුඛ තැන දෙන අතර සංකල්පීයතාවයට දෙවැනි තැන ලබාදෙයි. එය චිත්‍ර  කලාව  සංකල්පවලින් ජ්‍යාමිතියට ගොදුරු කිරීමකි.” (පිටුව 206)


මහාචාර්ය සුචරිත ගම්ලත් කලාව ගැන මෙසේ සඳහන් කරයි.

"කලාව යනු සමාජයේ දෘෂ්ටිවාදාත්මක උපරි ව්‍යුහයේ කොටසකි. ඒ නිසා කලාවත් දර්ශනවාදයේ දේශපාලනය ආගම යනාදී උපරි ව්‍යුහයේ අනික් කොටසුත් අතර අන්තර් සම්බන්ධය පවතී. කලාකරුවෝ වනාහී සමාජ සම්බන්ධතාවලට උඩින් එක්ටැම් ගෙවල වසන්නා වූ සුප්‍රසිද්ධ වූ සුවිශේෂ සත්ව විශේෂයක් නොවෙති්. ඔවුන් ජිවත් වන්නේ සමාජ සම්බන්ධතා තුළය. එහෙයින් සමාජයේ පවතින දෘෂ්ටිවාද ඔවුන්ගේ අධ්‍යාත්මයන් විනිවිද යයි. අනතුරුව ඒවා ඔවුන්ගේ කලා කෘතිවලට ඇතුළු වෙයි." (සති සිතුමිණි 3. පිටුව 55)


"වෑන් ගෝ ගේ “තරු පිරි අහස’ වැනි චිත්‍රයක ඔහු මතු කරන්නේ, වර්ණ නොව කොබෝල්ට්, සින්ක් වන ලෝහ වර්ගයන් ය. මෙය, අර්ථය වෙනුවට හැඟවුම්කාරකය භාතික කරන යථකි. (දීප්ති  කුමාර ගුණරතන)  

පහත  ඇත්තේ මගේ දෙටු දියණිය ශනායා විසින් වයස දහයේදී පමණ නැවත ඇඳි එම චිත්‍රය මය. ඇයට වැන් ගෝ ගේ තරු සියල්ල පෙනුනේ සූර්යයන් ලෙසය. එහි වැරැද්දක්ද නැත. 



එසේම සැල්වදෝර් ඩාලි ගේ චිත්‍රද දීප්තිගේ පොත කියවා විමසන්නට උත්සාහ කරන්න.
ලෙනින් ගේ උද්දීපනය -1931

සිහිනය - ඩාලි 
1931



දීප්ති කුමාර ගුණරත්න ගේ පොතේ මිල රුපියල් හාර දහස් පන්සීයක් පමණ වේ. මම එය මිලදී ගත්තා මිස නිකන් දුන් පොතක් නොවේ. එය කොෆී ටේබල් වර්ගයේ පොතකි. කෝපි කෝප්පයක් හෝ තේ කෝප්පයක් මිලදී ගන්නා ගමන් වරින් වර ගොස් කියවන්නට, නරඹන්නට හොඳ පොතකි කොෆි ටේබල් පොත් ගැන හොඳ ලිපියක් නිදි ගේ පංචතන්ත්‍රය බ්ලොග් අඩවියේ ලියා තිබේ. එයට මෙතැනින් යා හැකිය.

- අජිත් ධර්මකීර්ති 21/07/2024

මූලාශ්‍ර:
Learning to Look at paintings - Mary Acton
සති සිතුමිණි 3 - මහාචාර්ය සුචරිත ගම්ලත්
Dali - Robert Descharnes, Gilles Neret

(මහාචාර්ය ගම්ලත් ගේ සති සිතුමිණි 1 සහ 2 තිබෙන අයෙකු ගෙන් ඒවා මිලදී ගැනීමට මම කැමතිය.)

ප.ලි. මෙම ලිපියේ ඇතැම් කොටස් ලිවීමට මූකලන් යායේ මහා බසු තුමා සඳහන් කල ස්පිච් ටු ටෙක්ස්ට් භාවිතා කළෙමි. ඒගැන ඔහුට මගේ ස්තූතිය හිමිවේ.

Tuesday 9 July 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 2 - අළුත් රස්සාව



පළමුවන කොටස -අපේ අසල්වැසියා බ්‍රයන් - 1

පළමු කොටසින් මම අලුත් රැකියාවට යන බව කීවනේ DPS එකේ. ඊට කලින් කතාවක් මතක් වුනා. ඉනෙස් ඩෙල්ටා එයාලයින්  එකෙන් අයින් වෙලා වෙන රස්සාවකට ඇප්ලයි කළා. එයාටත් ඕන වුනා තොරතුරු තාක්ෂනය ( IT) පැත්තටම එන්න. ඒ දවස් වල තිබ්බ  සීගේට් කියන කොම්පැනි එක මතකද? අපි කම්පියුටර් වලට දාන හාඩ් ඩිස්ක්  හැදුව එක කම්පැනි එකක් තමා සීගේට් කියන්නේ.  මේ සමාගම තවම තියනවා. සීගේට් වලින් ඒ කාලේ ක්‍රිස්ටල් රිපොර්ට්ස් කියල මෘදුකාංගයකුත් වික්ක. ඒකෙන් කලේ දත්ත විශ්ලේෂණය (data analysis) කරන්න  උදව් කරන එක රිපෝට් මගින්.  රිපෝට් වලට දත්ත ගන්න මුලාශ්‍ර හෙවත් ඩේටාබේස් කිහිප ජාතියක් තිබ්බ. ඩිබේස් (dBase) කියන්නේ එකක්. මම ඕක දන්නා නිසා ඉනෙස් ට පොඩි ලෙසන් ටිකක් දුන්න. ජර්මන් කතා කරන ටෙක්සපෝර්ට්  (technical support - තාක්ෂණ සහය ) ජොබ්  එකකට- . එයාට රස්සාව ලැබුන. ඉතින් එයා කිව්වා මටත් ඒ ජොබ් එකටම ඇප්ලයි කරන්න. වේකන්සි ගොඩක් තියනව කියල. මම දැම්මා. ආවේ නැහැ.  

ඊට කලිනුත් රස්සා විස්සකට තිහකට දාලත් ආවේ නැති නිසා මම කීව සුදු අයගේ වර්ගවාදය  හෝ ජාතිවාදය නිසා තමා මට රස්සා ලැබෙන්නේ නැත්තේ කියල. ඔයාගේ කොණ්ඩේ රන්වන්, නිල ඇස් , සුදුයි , ලස්සනයි මම වගේ ද කියල.  ඉනෙස් ඔය කතාවට  විරුද්ද වුනා. ඉතින් මම කලේ මගේ සීවී CV  (ඕගොල්ල බයෝ ඩේටා කියන එකට) එකට එයාගේ නම දාල යැව්වා. හැරෙන තැපෑලෙන් ඉන්ටවිව් එන්න කියල ආව සීගේට් එකෙන් . (දැන්නම් සීගේට් වගේ කම්පැනි එකකට ඒ  වගේ දේ කරන්න බැහැ. නඩු යන්න පුළුවන්.)  

අපි ඔය  කතාව කීව අපේ කාර් රක්ෂණ නියෝජිතයාට. ඒ කාලේ දැන් වගේ ඔන්ලයින් ගිහින් රක්ෂණ දාන්න බැහැ  ලෙහෙසියෙන්. නියෝජිතයා ගෙදර ඇවිත් ෆෝම් පුරවල අපෙන් සල්ලි අරන් දාල දෙනවා. ඒකට  එයාට කොමිෂන් එකක් ලැබෙනවා. ඒ රස්සාව නම්  දැන් නැහැ. මිනිහ අයිරිෂ් ජාතිකයෙක්. එයා කිව්වා උඹේ නම පතරංග දිග වැඩි එකක්. පිස්සුද ඔහොම දාන්න. එංගලන්තේ ඔය විධිහට නම් දාන්නේ නැහැ කියලා. 

ඔන්න මම සීවී එකේ නම වෙනස් කළා. අජිත් ධර්ම කියල. ඔය දැන් තියෙන නම ආවේ එහෙම. (ඔන්න දැන් ටිපර් පාක් කරන්න එපා අපේ ඕස්ටේලියාවේ එහෙම නැහැ. අපේ දිග නමින් අපි වැඩ අකරන්නේ වගේ කියල. එහෙට ලකුණු ක්‍රමේට යනකොට ජොබ් හොයාගෙන ඔය අවුල එන්නේ නැහැ. අනික අනූවේ අග අපි දෙන්නම ඕස්ට්‍රේලියා වීසා දැම්ම ලකුණු ක්‍රමේට. දෙන්නටම් ආව. ඉනෙස් ගේ අම්මල කීව ආයේ යුරෝපෙට එන එකක් නැහැ. දුර වැඩි කියල. වැඩේ අත ඇරිය)

නම වෙනස් කලාට පස්සේ නම් ඔන්න  ඉන්ටවිව් හෝ ගාල එන්න ගත්ත. මට මතකයි ඉන් එකක මට මෘදුකාංග ටෙස්ට් එකක් දුන්න. C කියන භාෂාව වගේ මතක. මම 90% ස්කෝ කළා ඒකෙ. නමුත් ඉන්ටවීව් කරන එකා කීව දෙවෙනි ඉන්ටවිව් එකත් අදම තියනව. එයාට ෂුවර් නැහැ මම කතා කරන විධිහ කියල්ල. ඇක්සෙන්ට් එක වැඩියි. ඊළඟට ඉන්ටවිව් කරපු එවුන් තරුණ සුද්දෝ දෙන්නෙක්. මම කතා කරන කරන  තාලෙට උන් හිනා වුනා. මට හෙන ලැජ්ජයි. ඒ වගේම මල පැනලා. ජොබ ලැබුනේ නැහැ.

දැන්  ඇත්තටම ඒ වගේ දේවල් කරන්න දෙන්නේ නැහැ. ඒ අතින් සෑහෙන්න හොඳයි.  මගේ ලියපු ලෝ පැකේජ් එක ඉමිග්‍රේෂන් (ආගමන විගමන ෆෝම් දාපු) විකිණෙන්නෙත් නැහැ. ඉතින් ඔහොම වැටිලා ඉන්දෙද්දී තමා DPS එකේ  ඉන්ටවිව් එක ආවේ. ඒකෙ  ඔෆිස් එක එතකොට තිබුනේ සවුත්ගේට් කියන පැත්තේ. ලොකු තට්ටු තුනක ගෙයක් වගේ එකක්. යටම තට්ටුවේ තමා ඩේටබේස් තියෙන සර්වර් තිබුනේ.  ස්කොට් රිඩ්ලි තමා ඒකෙ ඔපරේෂන්ස්  ඩිරෙක්ටර්. එයා තමා මාව ඉන්ටවිව් කළේ සහ මම ලියපු ඉමිග්‍රේෂන් සිස්ටම්  එක ගැන ඇහුවේ. ඊට පස්සේ ප්‍රශ්න දෙක තුනක් අහල මිනිහට සැටිස් . එයා කීව මම නෙමේ කම්පැනි එකේ අයිතිකාරයා. ඔස්මන් කියල කෙනෙක්. ඉන්න මම එයාට කියල එන්නම් කියල. පැය භාගෙකට විතර පස්සේ ඔස්මන් ඇවිත් කාමරේට ඔලුව දාල කම්පැනි එක ගැන විස්තරයක් කියල ගියා. එයා ආවේ මාව බලල යන්න කියල මට තේරුනා.  මට රස්සාව එදාම හම්බ වුනා. ස්කොට් මට කීව  එයාල අලුත් ඔෆිස් එකකට යනව කට්ටිය වැඩි නිසා. ඒක එන්ෆිල්ඩ් වල තියෙන්නේ. මම තමා එහෙ ඉස්සෙල්ලම පටන් ගන්න අළුතෙන්  කියල. 

ඔස්මන් හෙවත් කම්පැනි  එකේ අයිතිකරු එයාගේ නංගි ජාන්  එක්ක තමා ඒක කලේ. නංගිට වෙනම නීතිඥ සමාගමක් තිබුන. එයා ඔස්මන්ගේ පරිගණක මෘදුකාංග ටෙස්ට් කලේ තමන්ගේම නීතිඥ සමාගමේ. මගේ එක හරියට අර රන්ජිත් ගේ කම්පනියේ ටෙස්ට් කළා  වගේ. මේගොල්ල එංගලන්තයේ ඉපදුනු තුර්කි සම්භවයක් තියෙන කට්ටියක්. සයිප්‍රසයේ තුර්කි කොටසින් තමා ඇවිත් තියෙන්නේ එයාලගේ දෙමව්පියෝ. (එහෙ වර්ගවාදී යුද්ධයක් තිබ්බ ඒ කාලේ ) 
ඔස්මන් වෙන මෘදුකාංග ඉංජිනේරුවෙක් භාගෙට  C ++ සහ කෝඩ් බේස් වලින් ලියපු සිස්ටම් එකක්  තමා  සල්ලි වලට අරගෙන වැඩි දියුණු කරල කම්පැනි එක දාල තියෙන්නේ. මාව දැම්මේ ඩිවොලොමන්ට් කියන ටීම් එකට.  C ++  ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හිටිය බැක්එන්ඩ් ප්‍රෝග්‍රෑම් එකට මාක් පෙරී කියල. තවමත් ඉන්නව අලුත් කම්පැනි එකේ.  අපි තමා වර්ක්ෆ්ලොව් (workflow) හෙවත් කේස් මැනේජ්මන්ට් කරන විධිහ හදන්න ඕනේ සහ ටෙම්ප්ලේට් ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ.  මාව එතෙන්ට දැම්මේ මම ඉමිග්‍රේෂන් සිස්ටම් එකක් හදපු නිසා සහ නීතිඥ සමාගමක වැඩ කරපු නිසා  කියල මට තේරුනා. ටීම් එකේ  එංගලන්තේ ඉපදුනු ඉන්දීය සීක් සම්භවයක් තිබෙන  අර්ජුන් සහ ඉංග්‍රීසින් දෙන්නෙක් හිටිය නයිජල් සහ සයිමන් කියල.  නයිජල් මාත් එක්ක දැන් ඉන්න කම්පැනි එකේ තවම වැඩ. මම වැඩ පටන් ගත්තේ 1999 ජුලි 15.  හෙට අනිද්දට අවුරුදු විසි පහ පිරෙනවා. 
 
මට ප්‍රශ්න ආවේ ටෙක්නිකල් සපෝර්ට් හෙවත් ටෙලිෆෝන් කෝල් අරගෙන මෘදුකාංග වල ප්‍රශ්න වලට උත්තර දෙන ටීම් එකේ ඉන්දියන් කොල්ලෙක් ගෙන් සහ ඉංජිනියරින් ටීම් එකේ පකිස්තාන්දෙන්නෙක් ගෙන්. තව ඉංග්‍රීසි කාරයෙක් හිටිය ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ. එයත් වලි ඇද්ද. ඉන්දියන් , පකිස්තාන් එවුන් ඇද්දේ මාව කෙලින්ම අර ටීම්  දෙව් එකට ගත්ත නිසා කියල මම පස්සේ  දැන ගත්ත. මොකද  එතැන හිටිය නයිජල් සහ සයිමන් මුලින් හිටියේ ඉන්ජිනියරින් ටීම් එකේ. ඒකට තමා ඉස්සෙල්ලම ගන්නේ. කම්පියුටර් උස්සගෙන නිතිඥ සමාගම් වලට ස්කොට් එක්ක ගිහින් ඒවා දාන්න ඕනේ. නෙට්වර්ක් හදන්න ඕනේ.  නිතරම එළියේ වැඩ. එතනින් ප්‍රොමෝෂන් ලැබෙනවා ටෙක්නිකල් සපෝර්ට් ටීම් එකට. කෝල් වලට ආන්සර් කරන්න හෙම.  ඔෆිස් එක ඇතුලේ. එතැනින් ප්‍රමෝෂන් ලැබිල තමා  නයිජල් හා සයිමන් මං ඉන්න ටීම් එකේ හිටියේ. මට වගේම IT  ඩිග්රි එකක් තිබ්බ අර්ජුන් කෙලින්ම ඇවිත් තියෙන්නේ දෙව් ටීම් එකට. අර්ජුන් තමා පර්සනල් ඉන්ජරි කියන සිස්ටම්  එක  බලන් ගමන් ඩේට ඇනලයිස් වලට ක්‍රිස්ටල් රිපෝර්ට් කලේ. 

මුළු කම්පනියේම  හිටියේ විස්සක් වගේ. තව කිහිප දෙනෙක් මැන්චෙස්ටර් පැත්තේ කමිෂන් බේස් වැඩ කළා. සිස්ටම් එක විකුනන්න. ඉතින් එයාල මාව ගත්ත තව හේතුවක් කම්පෙටිෂන් එක මග හරින්න කියල මට තේරුනේ  පස්සේ  කාලෙක. එකවුන්ට් සිස්ටම්  එකක්  තනියම  හදපු කෙනෙක් ටත් මෙයාල ජොබ් එක දුන්නට පස්සේ. දැන් මම ඉන්න කම්පැනි එක ඇක්සෙස්. ඒක විසින්  අපිත් එක්කම DPS කම්පැනි එක කෝවිඩ් කාලේ සල්ලි වලට ගත්ත.ලංකාවේ ඉන්න ටීම් එකත් එක්කම. හැබැයි ඒකෙන් තරඟකාරීත්වය  නැති වෙනවා.

මම එනකොට ඩිවෝස් හෙවත් දික්කසාද ගැන එක ඇප් එකයි තිබුනේ. මට තේරුනා ඒක  මදි කියල. ඉතින් නීති පොත් අරගෙන කියවල (අපරාදේ කියන්න බැහැ , මගේ බොස් වන ස්කොට් උදව් කළා) ඒක වැඩි දියුණු කළා. මම ඩිවෝස් ඇප් එකේ නම විවාහ හෙවත් මැට්‍රිමෝනියල් කියල වෙනස් කලා. ඔස්මන් කැමති වුනා ඒ නමට. එයා අකමැති නොවී කරන්න බැහැනේ. ඒකට  මම ළමයි ගේ භාරකාරත්වයට (foster care and adoption) තියෙන කෙයා පැකේජ්, එතකොට ගෘහ  හිංසා කිරීම (domestic violence)  වගේ කෑලි ගොඩක් එකතු කරා.  කෙනෙක් මැරුණහම එයාගේ වත්කම් බෙදල දෙන එකට කියන්නේ ප්‍රොබේට් කියල. ඒ සිස්ටම් එක තනිකරම අංජබජල්  කරලා ලියල තිබ්බේ වේල්ස් කියන පළාතේ ගොවියෙක් මැරුණොත් කොහොමද  කරන්නේ කියල බලල. ගැලපෙන්නේ නැහැ ලන්ඩන් වලට. පස්සේ ස්කොට් මට ප්‍රොබේට් නීති  පොත් අරන් දුන්න. ඒව කියවල  ඒකත් හැදුව. ඒ ඇප් දෙකම තවමත් අපේ කම්පැනි එකෙන්වි කුණනවා.ප්‍රොබේට්  පොත් ටික එන්ෆිල්ඩ් ඔෆිස් එක  ගිය අවුරුද්දේ  වැහුවම මම මතක් වෙන්න ගෙදර අරන් ආව.

මේවා ඉතින් පැරැණි මතක.මම  එන්ෆිල්ඩ් වලට, නැගෙනහිර ලන්ඩනයේ ලේටන් වල අපේ ෆ්ලැට් එක තිබුන තැන ඉඳන් කාර් එකේ එනවා. ඉනෙස් ගේ ඔෆිස් එක බටහිර ලන්ඩනයේ හැන්ගර් ලේන් වල තිබුනේ. එය  උමන් දුම්රිය (මෙට්‍රෝ) එකේ වැඩට ගියේ.  ලන්ඩන් වල වට රවුම් මාර්ග දෙකක්  තියනවා. එකක් ඇතුලේ (inner එක) A 406-205 කියන එක.  ඒක හයි වේ එකක්, ලේන් හතරක් තියන. ලන්ඩනයේ පිට රවුම් මාර්ගය   M 25 කියන්නේ මෝටර් වේ එක. එන්ෆිල්ඩ් තියෙන්නේ  M25 එක ගාව . රේඩියල් පාරක් තියනව A 10 කියල කේම්බ්‍රිජ් නගරයට යන. ඇතුලේ වටරවුම් පාරේ A 406 එකෙන් ඇවිත් A 10 එකට දාලා තමා මම උඩහට එන්නේ ලන්ඩන් ඇතුලේ ඉඳන්. විනාඩි 45 යනව ගමනට. ඉනෙස් ට පැයක්  යනව A 406 භාගයක් දුර ගියහම තියෙන ඔෆිස් එකට යන්න.

ඉතින් අපි කල්පනා කරා මැද හරියෙන් ගෙයක් ගන්න. අපි එන්ෆිල්ඩ් වල ගෙවල් හොයන්න ගත්ත.  එක පාරක් අපට බැංකුවෙන්ලැ බුණු ණයේ ගානටම වගේ කාමර පහක ලොකු ගෙයක් බැලුව. එළියේ මාළු පොකුනකුත් තියනව. මම එක පයින් කැමති වුනා . ඉනෙස් බැහැ කිව්වා. මට බැහැ ඔය ලොකු ගෙවල් නඩත්තු කරන්න, හෝදන්න, මෝප් කරන්න. පොඩි ගෙයක් ඕනේ. පොඩි බංගලාවක් වුනත් කමක් නැහැ කියල. බංගලා බැලුවට මට ඇල්ලුවේ නැහැ. ඉනෙස් ලොකු ගෙවල් වලට කැමති නැහැ. අර අමං කීව A10 මාර්ගයේ දකුණු පැත්තේ තැනක කාමර තුනේ ගෙයක්  තිබ්බ. පහල තට්ටුවේ රිසිප්ෂන් දෙකයි, කුස්සියයි. උද බාත් රූම් එක සහ කාමර තුන. අයිරිෂ් කපල් එක්ක ළමයි දෙන්නෙක් එක්ක හිටියේ. අපි ඇහුවා ඇයි විකුණන්නේ කියල එයාල කාමර හතරක ලොකු වත්තක් එක්ක ගෙයක් අරන් යනව (දකුණු ) අයර්ලන්තේ. ලන්ඩන් වල ගෙවල් කොහොමත් ගණන් වැඩී පොඩි ගෙයක් වුනත්. ඒ මුදලින් වෙන ඈත තැන්වල ලොකු ගෙවල් ගත හැකියි. පස්සේ තමා දැන ගත්තේ (මේක කිවේ සයිමන්) මේ A10 මගේ දකුණු පැත්තේ තමා සුදු ජාතික ඉංග්‍රීසි උන් හෙම වැඩිපුර ඉන්නේ සහ වඩා පොෂ් පැත්ත කියල. අපි ගේ ගත්තේ තුර්කි ජාතිකයෝ සහ සයිප්‍රස් ග්‍රීක් ජාතිකයෝ වැඩිපුර ඉන්න පොෂ් අඩු පැත්තේ කියල කවද කාපු ටකරන්ද)

මේ ගේ මගේ ඔෆිස් එකට කිලෝ මීටර් දෙකක් තරම් දුරින් තියෙන්නේ.  විනාඩි පහේ ගමන. ගේ ඉස්සරහ පොඩි  තණ පිට්ටනියක් තියනව. ඉනෙස් කුස්සිය බලල කීව ආ ජර්මන් කුස්සියක්. එයා ගෙට කැමතියි කියල. ළමයි හම්බ වුනොත් ඉස්සරහ තණ පිට්ටනියේ සෙල්ලම් කරන්නත් පුළුවන් කියල එතකන් මම ළමයෙක් ගැන තුන් හිතකින් වත් හිතල තිබුනේ නැහැ. ගැහැණු හිතන දුර.  ඉතින් වෙන දේවල් හෙව්වේ නැහැ ගත්ත. 

ගෙට මුහුණ ලා හිට ගත්තම වම් පැත්තේ ඉංග්‍රීසි ආච්චි කෙනෙක් හිටියේ  . වයස  අසූවක් විතර ඇති. තනියම. එයාගේ අවුරුදු හැටක  විතර වයස දුවයි බෑනායි  ඇවිත්, අඩුම කුඩුම අමල් දුමල් ගෙනත් දීල බලල යනවා. ඔය ලංකාවේ අදහසක් තියනවනේ මේ රටවල මව් පියන් තනියම දාල යනව. වැඩිහිටි නිවාස  වලට දානවා වගේ කතා. ඇත්තටම කිවොත් මෙහෙ වැඩිහිටියෝ නිදහසේ තනියම ඉන්න කැමතියි. ළමයින්ට කරදර කරන්න කැමැති නැහැ වගේම තමන්ගේ නිදහසත් අගය කරනවා. 

එතකොට දකුණු පැත්තේ හිටියේ අවුරුදු හැත්තෑවක විතර වයසක් ඉංග්‍රීසි ජාතිකයෙක්. පොර අපිට වැඩිය කැමති නැහැ කියල හිතුනේ ආපු දවසේ  ඔරවාගෙන බලන් හිටි නිසා. එතකොට තමයි අපි අර අයිරිෂ් අයගෙන් ඇහුවේ අසල්වැසියෝ කොහොමද කියල. උන් කියනව ඔය බ්‍රයන් හරිම නරකයි. අපිට ත්‍රස්තවාදීන් කියල කියන්නේ. අපට එපා වෙලා හිටියේ කියල. උතුරු අයර්ලන්තේ කතෝලිකයෝ  අයිආර්ඒ සංවිධානෙට සපෝර්ට් කියල සුද්දෝ හිතනවා. රෙපරමාදු උන් එංගලන්තෙට සපෝර්ට්.  අයර්ලන්ත යුද්ධේ එතකොටත් යනවා.  දැන් ඉතින් මොනව කරනනද ? ගේ අරන් ඉවරයි නේ. 

අපි බඩු අදින කොට බ්‍රයන් එළියේ හිටියේ.  මමයි ඉනෙසුයි  කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියල බ්‍රයන්ට තේරුනා. මම තනියම එළියට එනකොට මෑන් ඇවිත් අතට අත දුන්න.

"අයි ඈම් බ්‍රයන්.බ්‍රයන් ට්‍රෙන්ඩ්." ( මම බ්‍රයන්. බ්‍රයන් ට්‍රෙන්ඩ්. )

මම කිව්වා . "අයි ඈම් අජිත් -අජිත් බොන්ඩ්" (මම අජිත්. අජිත් බොන්ඩ්)

ජේම්ස් බොන්ඩ් ෆිල්ම් බලපු අය දන්නවා ජෝක් එක. කොහොමත් මගේ  දිග නම කියල පොරව අවුල් කරන්න මම කැමති වුනේ නැහැ. 
බ්‍රයන් ට පොඩි හිනාවක් ගියා. අපි අතරේ අයිස් කුට්ටිය බිඳුන කියල මට තේරුනා.

පොර කියනවා "උඹේ පෙම්වතිය ලස්සන පොඩි කෙල්ලක් නේ" කියල. මම කීව තෑන්ක් යූ කියල. ඉනෙස් එලියට ආවහම මූ එයාටත් කියපි. 

"කොහොමද මෙයා ඔයා  වගේ ලස්සන කෙල්ලක් යාළු වුනේ" කියල ඉනෙස් ගෙන්  ඇහුව. 
ඉනෙස් කීව  "අපොයි මම පළවෙනියා නෙමේ " කියල. 
බ්‍රයන් ට ආයෙත් හිනා ගියා. 
බ්‍රයන් අහනව "ඔයා ඉංග්‍රීසි නෙමේ නේද. ඇක්සෙන්ට් එක ජර්මන් වගේ "
ඉනෙස් කිව්වා. "ඕව මම ජර්මන්."
බ්‍රයන් ඒ පාරනම්  ලොකු හිනාවක් ගියා. 
"හප්පේ , ඇති යන්තන්. මම හිතුවේ නැගෙනහිර යුරෝපෙන් හොරෙන් ආව කියල " මූ කියපි.

මට එවෙලේ හිතුන මූ නම් හෙන දක්ෂිණාංශික අමාරු කාරයෙක් කියල. 

"මගේ පරම්පරාවේ ජර්මන් අය ඉන්නව." බ්‍රයන් කීව.

මම කිව්වා "ඔව් ඉතින් උඹල ආවේ නෝර්මන් - සැක්සන්  වරුන් ගෙන් නේ කියල " 
ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිය පටන් ගත්තේ ජර්මනියේ සැක්සන්  ප්‍රදේශයේ සිට සංක්‍රමණය වුනු සැක්සන් වරුන්  සහ ප්‍රංශයේ නෝර්මන් වරුන් ගේ එකතුවකින්. පස්සේ කෝන්වෝල් සුද්දෝ, රෝමන් සහ වයිකින් උනුත් එකතු වුනා.  

බ්‍රයන් මගේ කතාවට  එකඟ වුනා විතරක් නෙමේ. මොනවහරි උදව්වක් ඕනේ නම් කියන්න කියල ගේ ඇතුලට ගියා.

පහු කාලෙක අන්ත දක්ෂිණාංශික , ටෝරි පක්ෂයට  ඡන්දේ දෙන, අන්ත වර්ණවාදී , සුදු වර්ගවාදී කියල මම දැන ගත්තු බ්‍රයන් ට්‍රෙන්ඩ් අපව පිලි ගත්තේ එහෙමයි.

- ~~~~~~~~~~~~~~මතු  සම්බන්ධයි 

(බස්සා නමැති බ්ලොග් නොලියන බ්ලොග් කරුවෙකුගේ දැඩි කරදරය මත ලියා නිම කරණ ලද බව කරුණාවෙන් සලකන්නැ. එනිසා වැරදි තිබ්බොත් පසුව හදමි. )

   කවදාහරි දවසක ඔයාලා ගැනත් ලියන බව දැනගෙන ආශ්‍රය කරන්න