Friday 23 August 2024

අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද

සති කිහිපයකට පෙර ලන්ඩනයේ පැවැති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගේ ලන්ඩන් හමුව මා සහභාගී වූ දෙවන මාලිමා සමුළුවයි .  පළමුවැන්න  වූයේ හරිනි  - නලින්ද ජයතිස්ස හමුවය .  මේ දෙකම හරියට වෙලාවට පටන් ගැනීමට සමුළු සංවිධායකයෝ සමත්  වූහ.
 
   මේ සමුළුවේ අනුර දිසානායක මහතා  පිළිගැනීමේ කතාව ඉංග්‍රීසියෙන්  කළේ තුෂාරා දසනායකය. ඇගේ පියා හිටපු ජවිපෙ සාමාජිකයකු බව ඇය පැවසුවාය.

 බොහෝ කලකට ඉහත මම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සාමාජිකයෙකුව සිටියෙමි.  ඉන්පසු ජෙරෙමි කෝබින් එහි නායකයා බවට පත්වූ පසු මම සක්‍රියව එහි කටයුතු වලට සහභාගී වූවෙමි. එහිදී සවුත්ගේට් පැත්තේ සිට මොමෙන්ටම් නමැති දේශපාලන ව්‍යාපාරයේ රැස්වීම් වලට සහභාගිවුණු තුෂාරා  මට හමුවුණි .  කෝබින් සිටි අවසාන අවුරුද්දේ එන්ෆිල්ඩ් නගරයේ සිට ගිය මැයි පෙළපාලියේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ධජය එන්ෆිල්ඩ් සිට ට්‍රෆල්ගාර් චතුරශ්‍රය දක්වා ඔසවා ගෙන ගියේ  අප දෙදෙනාය. ට්‍රෆල්ගාර් චතුරශ්‍රය අසල දී ඇය දර්ශන හෙට්ටි ආරච්චි ඇතුළු ජවිපෙ  සාමාජිකයන් සමග එක්වුණු අතර මම ඒ දිනවල සබඳතා පැවැත් වූ පෙසප මැයි රැලියට පැමිණි සාමාජිකයන් සමග එක්වුනිමි .  ඉන්පසු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මීටිමකදී මට තුෂාරා ගේ ආදරණිය සැමියා වන අසන්ගද (ඒ දිනවලද ජවිපෙ ආධාරකරුවෙකි )   මුණ ගැසුණි.

 මම එන්ෆිල්ඩ් උතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන  ජෝන් රයන් සමග හොඳින් කටයුතු කල කෙනෙකි .  ඇය වරක් අප පාර්ලිමේන්තුවට නැරඹීමට ද රැගෙන ගියාය. නමුත්  අපේ  කෝබින් කණ්ඩායම විසින්  සාර්ථකව එන්ෆිල්ඩ් උතුරු සභාවෙන් ජෝන් රයන් මන්ත්‍රීවරිය ජයග්‍රාහීව ඉවත් කරන ලදී .  ඉන්පසු පැවති කාරක සභා නිලවරණයේදී  මා  භාණ්ඩාගාරික පදවියට අති විශාල චන්ද සංඛ්‍යාවකින් තේරී පත්වුණි. ඒ අනිත් සියලුම අය නොයෙක් නිල වලට වෙන වෙනම  ගත් ඡන්ද සංඛ්‍යාවට වැඩි ගණනකි.  ඉන්පසු සිදු වුනේ අමුතුම දෙයකි .  ලේකම් කමට පත්වුණු කාන්තාව ජෝන් රයන් හා කියර ස්ටර්මර් (දැන් අගමැති) කණ්ඩායම හා එක්ව බලය බෙදා ගැනීමට අපට හොරෙන් සාකච්චා පැවැත් වූවාය. තවත් තුර්කි ජාතික කාන්තාවක වන හිටපු (පැරදුනු )  භාණ්ඩාගාරිකවරිය  කාරක සභාවට පත් කල යුතු බවත් සාමාන්‍යයෙන් භාණ්ඩාගාරික වන්නේ කාන්තාවක් බවටත් රීතියක් මතු කොට මා ඉවත් කර පැරදුනු කණ්ඩායමේ ඇයටම  එම තනතුර ලබා දුන්හ. මුලදී මා එයට එකඟ වූයේ තනතුරු බදා ගැනීමේ අපේක්ෂාවක් මට කොහෙත්ම  නොතිබූ බැවිනි .  පසුව එළිවුනේ වෙනත් කතාවකි. 

හේතුව නම්, ඉන්පසු ජෝන් රයන් ඉවත් කිරීම නිසා ඇතිවුණු මන්ත්‍රී පුරප්පාඩුවට  නොමිනේෂන් දීමට කම්කරු පක්ෂයෙන් දැනුම් දීමක් කෙරුණි. මා  හැර අර කණ්ඩායම් දෙකේම අය ඉල්ලුම් පත් යවා තිබුණි .  යැව්වේ නැත්තේ මා  පමණකි.  අවසානයේදී ඒ කිසිවකුට නොදී  පක්ෂ කමිටුව වෙනත් පෙදෙසක සිටි තුර්කි සම්භවයක් ඇති කාන්තාවකට (පැරචුට්)  නොමිනේෂන් දුන්හ .  (ඇය දැන් අපේ මන්ත්‍රීවරියයි )  මේ වෝඩ් එක සම්ප්‍රදායික කම්කරු පක්ෂ එකක් නිසා ඕනෑම අයෙකු දිනන "සේෆ් සීට්" එකකි.   පසුව කණ්ඩායමේ මට හිතවත් අයෙකු පැවසූ පරිදි ඔවුන් සිතා ඇත්තේ මා නොමිනේෂන් ඉල්ලයි කියාය.   මට ලැබුණු චන්ද සංඛ්‍යාවට මෙන්ම  සුදුසු කම් වඩාත් තිබුණු මට නොමිනේෂන් ලැබෙතැයි ඔවුන් බියවුහ. තේරීම් කමිටුව සිතා ඇත්තේද මා  ඉල්ලයි කියාය. මම නොමිනේෂන් යවනවාට බිරිඳ සහ දූවරුන් එක හෙලා විරුද්ධ වූහ.  

නමුත් ඔවුන් මගෙන් කෙළින්ම ඇහුවානම් ඉවරය .  වාමාංශික සොහොයුරන් ලෙසින් පෙනී සිටින අය  තමන්ගේම එවුන්ට කට්ට ගසන්නේ එලෙසය. පක්ෂ කොටසට බලය ගැනීමට වඩා පිලේ එකට වැඩ කරන එකෙකුට බලය ලැබේ යයි ඇති බියය. ඉන් මද කලකට පසු මම කම්කරු පක්ෂයෙන් ඉවත් වුනෙමි .  මට පසුව තුෂාරා හමුවුණු වෙලේ ඈ කී පරිදි  ඇයද ඉවත්ව සිටියාය.  එනිසා මේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කළ ඇය දුටු විට මට ඉමහත් ප්‍රීතියක්  දැනුනි.
 
ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාවේ  සංවිධාන  ශක්තිය උසස්ය .  අනුරගේ කතාවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.  එසේම අකුදි සාමාන්‍ය දේශපාලකයකු කරන්නාක්  මෙන් ගිරිය පුප්පා  කෑ ගැසුවේද නැත. ඔහු තමන්ගේ කරුණු සාවධානව කියා පෑවේය.

නමුත් මේ කතාවේ එකම තැනක හෝ ඔහු සමාජවාදය යන වදන භාවිතා කරනවා මට ඇසුනේ නැත.
නලින් - හරිනි සමුළුවේදී ව්‍යවස්ථා සංශෝධන 13 යට එරෙහිව කෑ ගසන ජවිපෙ පොඩියන් ලා  සිටියද මේ සමුළුවේ එවැනි  අයද  සිටියේ නැත .  කැනඩාවෙන් පැමිණි ද්‍රවිඩ ජාතික මනෝහරන් ගේ කතාවට හොඳ පිළි  ගැනුමක් ලැබුණි.  එසේම ළමා ආරක්ෂාව ගැන කතාකළ වික්‍රමනායක මහත්මියටද එවැනිම හොඳ ප්‍රතිචාරයක් ලැබුණි . 

ප්‍රශ්න කිරීම් සියල්ල කිසියම්  විධිහකට කලින් පාලනය කර තිබූ සෙයක් පෙනුනි .  එනිසා මා සූදානම් කරගෙන සිටි ප්‍රශ්න අසන්නට ඉඩක් නොලැබුණි.

නමුත් මට නැවතත් යහළුවෙකු ගේ නිවසේදී අනුර කුමාර දිසානායක මහතා නැවතත් මුණ ගැසුණි .  එනිසා  මගේ යහළුවෙකු එවූ ප්‍රශ්න හා මගේ ප්‍රශ්නයක් ද ඔහුට යොමු කලෙමි .  මේ යහළුවා පවසන පරිදි ඔහු  87 / 89 කාලයේ ජවිපෙට සම්බන්ධව සිටි හා සමහර ප්‍රහාර වලටද සම්බන්ධ වූ අයෙකි.  

 මේ මගේ යහළුවා  විසින් එවූ ප්‍රශ්නයි . 

1.  ඔබ ECTA ගිවිසුමට එකඟද (කොටසකට හෝ සම්පුර්ණයෙන්ම )  , කොටසකට නම් ඒ මොනවාද?

2. ලංකාව ණය බරින් මුදවා ගැනීමට ඔබේ සැලසුම කුමක්ද?

3. ඔබ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සළකන්නේද?

4. දෙමළ ජනතාව ඝාතනය කිරීමට ඔබ මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේ ඇයි?

5. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම පිළිබඳව  ජවිපේ ස්ථාවරය කුමක්ද?

6. ජවිපෙ තවමත් මාක්ස්වාදී පක්‍ෂයක්ද? (ජාතික ජන බලවේගය මාක්ස්වාදී නොවන බව මම සිතමි .)

7. වර්තමාන ජවිපෙ ප්‍රතිපත්ති රෝහණ විජේවීරයන්ගේ ජවිපෙ ප්‍රතිපත්ති සමඟ වෙනස් වන්නේ කෙසේද ? ඔබ රෝහණ විජේවීර ජාතිවාදියෙකු ලෙස සලකනවා ද? එසේ නොසලකන්නේ නම් ඒ ඇයි?

8. මම  යුටියුබයේ ඔබේ කතා අසමි.  මගේ ප්‍රධාන ප්‍රශ්නය මට ඔබ විශ්වාස කළ හැකිද ඔබ ජාතිවාදියෙකු නොවේද යන්නය . හේතුව ලංකාවේ ජන වාර්ගික යුද්ධය පැවති අවධියේ ඔබ කටයුතු කළේ ජාතිවාදියෙකු ලෙසින් යයි මා සිතන බැවිනි.

9. එක්ටා ගිවිසුමේ ප්‍රධාන අරමුණ නම් ඉන්දියාව හා ලංකාව අතර සේවා සහ භාණ්ඩ වෙළඳාම පහසු කිරීමත් ලිබරල්කරණය කිරීමත්ය . කෙටියෙන් කියනවා නම්දෙරට අතර පැන නගිනවෙළඳ ආරවුල් නිරාකරණය හා නිදහස් වෙළඳ කලාප පිහිටුවීමද මෙහි අරමුණයි. ලංකාවට මේවා වාසිදායක වන්නේ කෙසේද?

 ඉහත ප්‍රශ්න එංගලන්ත ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතාට භාර දෙන මෙන් අනුර සහෝදරයා ඉල්ලා සිටියේය. එසේ කළමුත් ඒවාට තවම පිළිතුරු ලැබුණේ නැත. තව මසකින් ඡන්දය තිබෙන නිසාත් දර්ශන සහෝදරයා ලංකාවට ගොස් සිටින නිසාත් පිළිතුරු ලැබෙන එකක් නැත . ජවිපෙ සම්බන්ධකම් ඇති අයට ඒවාට පිළිතුරු දිය හැකිය .

මගේ එක ප්‍රශ්නයක් වූයේ නලින් හේවගේ මහතාගේ ප්‍රකාශයයි.  ඔහු පැවසුවේ අසූ හත - අසූ නමයේදී ගම් මට්ටමින් මරා දමන ලද්දේ ස්ත්‍රී දූෂකයන් සහ සොරුන් බවය. බොහෝ අය මේ කතාවට සමාජ ජාලා ඔස්සේ විරෝධය පළ කළ බව දුටිමි.  මගේ මිතුරෙකු වූ විතානගේ මහතාගේ පියාවන  හොරණ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු වූ මෙන්ම  එසේම ජූලි වර්ජකයෙකු ද වූ උපාලි විතානගේ මහතා එවැන්නෙකු නොවේ. මේ පරණ බ්ලොග් සටහනේ වැඩි විස්තර ඇත . යුඇන්පී වෙනුවෙන් කතා කල තම ඥාතියෙකු වන ගම්පහ විදුහල්පතිවරයෙකුද මරා දැමූ බව ලඟදි මිතුරකු මා හා පැවසීය. ඒ අතර ගෝනවල සුනිල් වැනි දූෂකයන් සහ සොරුන්ද සිටින්නට ඇත. ප්‍රශ්නය වන්නේ කැලෑ නීතියකට කිසිවකුට එකඟ විය නොහැකි බවයි . නිතිය ක්‍රියාත්මක කල යුත්තේ අධිකරණ හරහාය.

අසූ හතේ මුල් කාලයේ සිට යටිබිම්  ගත ජවිපෙ සම්බන්ධ  දේ.ජ ව්‍යාපාරය පරණ වමේ නායකයන් කිහිප දෙනෙක්ද යුඇන්පී නායකයන් මෙන්ම ප්‍රාදේශීය අයද මරා දමා තිබුණි.  නන්දන මාරසිංහ වැනි තම පැරණි සගයන් මෙන්ම, දයා පතිරණ වැනි සිසු නායකයන්ද මේ අතර වේ . සුනීල් විජේසිරිවර්ධන ට මෙන්ම සුනිලා අබේසේකරට ද තර්ජන එල්ලවී තිබුණි . ජේ ආර් පක්ෂය තහනම් කරමින් මුලදී මර්දනයක් මුදා හල බව සැබෑය. නමුත් එයට පිළිතුර නරෝද්නික වාදය නොවේ යයි අපි බොහෝ තැන්වල මතක් කර දුනිමු . ඒ අනාදරයකට නොවේ . .

ලෙනින්, සාර් ගෙන් කුමන පීඩනය එල්ල වුවද එවැනි මගක් ගත්තේ නැත. ඒ වෙනුවට 1905 සිටම ගත්තේ අරගලයේ මග පමණි .

එසේම ප්‍රේමදාස රජය එකට දහයක් වශයෙන් මරා දමමින් දරුණු භිෂණයක් දියත් කළ බවද සැබෑය. රජය, තරුණයන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට අතුරුදහන් කිරීම තෝරා ගත්හ .

මාලිමා කථිකයන් බොහෝ තැන වලදී 88-89 ගැන කතා නොකරන මෙන් ඉල්ලා සිටීම මට තේරුම් ගත හැකිය .  නමුත් ප්‍රශ්නය වන්නේ එසේ කියන ඔවුන්ම ඒ ගැන කතා කිරීමය . ලඟදි මම ෆේස්බුක් ජලයේ වික්‍රමබාහු කරුණාරත්න මහතා වෙනුවෙන් කුඩා සටහනක් ලියා ඔහුගේ මරණය වෙනුවෙන් පල කළෙමි. ඔහු සැඟවී සිටියදී මගේ එදවස මිතුරු විතානගේ සමග කොම්පඤ්ඤ විදියේ අමරදිසි හෝටලයේ සිටියදී ඔහුව දුටුවෙමි . මා ගරු ක‍රන වාමාංශික නායකයෙක් වන ඔහු පිළිබඳව මාලිමාවට සහයෝගය දෙන මහත්මයෙකු ලියා තිබුනේ වික්‍රමබාහු ආයුධ රැගෙන 88-89 මර්දනයට සහභාගී වූ අයෙකු ලෙසිනි .


මේ නරෝද්නික පොල්පොට් වාදයට තවමත් සහය දක්වන්නන් අතර පෙරටුගාමී සමාජවාදී ආධාරකරුවන් සිටින බව ලන්ඩනයේ දී සිදුවූ එක්තරා හමුවකදී මට පැහැදිලි වුනි . ඒ අසූව දශකයේදී , දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙනත් තැනක නායකයෙකු තවත් දිස්ත්‍රික්කයට එවන පණිවුඩයකින් කිසියම් පක්ෂ විරෝධියෙකු හෝ පොලිස් ඔත්තුකරුවෙක් යයි සැක කරන අයකු මරා දමන බවත් ඒ මරා දමන තැනැත්තා හා මරා දැමීමට එන තැනැත්තා එකිනෙකා නොහඳුනන බවත් කියා පෑමයි . ඒ පිලිබඳව කිසියම් තර්ජනාත්මක බවක් පෙනෙන හැඟීමක් තවමත් ඔවුන් තුල තිබේ. ලන්ඩනය වැනි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුව ඒ අදහස් නොනැසී පැවතීම කණගාටුදායකය. එනිසා ලංකාවේ අය ගැන කියනුම කවරේද?


මෙහිදී ප්‍රශ්නය වන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, උපුල් සන්නස්ගල වැනි දැන් මාලිමාවට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන අයද ඔය බෝට්ටුවේ සිටියා නොවේද යන්නය. ජවිපෙ පොඩියන් ලාට මෙන්ම නලින් වැනි ලොකු තැන්වලටද මාලිමාව යන්නේ වෙනස් මගක බව තවමත් පැහැදිලි වී නැත . අනුර - හරිනි ගේ මාලිමාවට විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් මෙන්ම ගුරු භවතුන් , හෙදියන් , වෙදැදුරන් වැනි බොහෝ දෙනා එක්වී තිබේ . මම එය ලන්ඩනයේදී හොඳින් දුටුවෙමි . ඒ අතරින් බොහෝ අය 88-89 දී ජවිපෙට විරුද්ධව සිටින්නට ඇත. නමුත් ඔබට ලක්ෂ හැත්තෑවක ඡන්දය අවශ්‍ය නම් නම්‍යශීලී විය යුත්තේ ඔබය .


ලියන්නට අමතක වුනු තව කරුණු කිහිපයක්  තිබේ .  එකක් නම්  ලංකාවේ දැනට පවතින ප්‍රශ්න වලට මුලික හේතුවක් වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ඇති ජාතිවාදය බවය .  එයට ආගම එකතුවූ කල තවත් භයානක විය. සිංහලය යනු අති උසස් භාෂාවක් බව මම අද දනිමි. එහෙත්  සිංහලය එකම භාෂාව කිරීම බරපතල ඛේදවාචකයක් වුනු බවද මම අද දනිමි. අද අනුර දිසානායකට  සහයෝගය දෙන්නන් අතර  එක  තර්කයක් වනුයේ ඉංග්‍රීසි කතා කරන පෙලන්තියට එරෙහිව  තම බස කතා කරන අයෙකු එන බවය .  ඒ ඇත්තය .  එහෙත් අනුර හා හරිනි යනු එතරම් පටු දැක්මක් ඇති අය නොවන බවද මාලිමාවට පිට රටින් එකතු වෙන ඇත්තන් ඊට වඩා මුහුකුරා  ගිය අය බවද සිතීමට මම කැමතිය. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක  නොබෙල් සම ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ ජාජබේ බලශක්තිය පිලිබඳ ප්‍රතිපත්තියේ නියමුවා ලෙස පසුගියදා හඳුන්වා දෙන ලදී. ඔහු 1982-1987 ජේ ආර්  ජයවර්ධන රජයේ බලශක්තිය  පිලිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකයෙකුව සිටි බව බොහෝ ජවිපෙ පාක්ෂිකයන් දැන සිටින්නේද යන්න සැක  සහිතය.

        

     ඒ අතරේ සුළං බලයෙන් ගිගා බයිට් හැට පහක (ගිගා වොට් නොවේ )   විදුලිය නිපදවන බවද සුළං  බලාගාර හතරක් මුහුදේ පිහිටුවා තව හයක් පිහිටෙව්වොත් ඉන්දියාවට හා ඩුබායි වලට  විදුලිය අපනයනය කළ  හැකි බවද කියන සජබේ දේශපාලකයකු දුටිමු .  ඔහුට සාවධානව සවන් දෙන ජනතාවක් ද දුටිමි .  මහාචාර්ය මොහාන් මුණසිංහ මාලිමාවට එකතු වූයේ මෙවැනි අය නිසා විය හැකිය . 


අනුර කුමාර දිසානායකට බොහෝ විට උතුරේ වැඩි ඡන්ද නොලැබෙනු ඇත .  ජවිපෙ සහ සජබේ පාඨලීලා රාජපක්ෂ සමග එකතුව යුද්ධයේ ප්‍රධාන කාර්යයක් කල ඔවුන් දන්නා හෙයිනි. නමුත් අනුර කුමාර දිසානායක පිළිබඳව පැහැදීමක් දෙමළ ජනයා අතර  ඇති වෙමින් පවතින බවද දුටුවෙමි. මුස්ලිම් ජනතාව අතරද මාලිමාවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී . මේවා සම්ප්‍රදායික සජබ / යූඇන්පී ඡන්දය. මුස්ලිම් ජනතාව ,මාලිමාව වෙළඳාම ට දැන් හිතවත් බවට විශ්වාස කරතියි මුස්ලිම් මිතුරකු මා සමග පැවසීය.


පසුගියදා, යුධ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුධ ආරක්ෂක මණ්ඩලයට උපදෙස් සැපයූ,  ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබටික්ස් සහ  කෘත්‍රිම බුද්ධිය පිලිබඳ මහාචාර්ය මා මිතුරු  ත්‍රිශාන්ත නානායක්කාර මහතාද  මාලිමාවට සහයෝගය දෙන ප්‍රකාශයක් ෆේස්බුක් හි කර තිබුණි .   ත්‍රිශාන්ත ලංකාව ගැන ඉමහත් කැක්කුමකින් කතා කරන අයෙකි. මාලිමාවට සහයෝගය දීම විනා වෙන විසඳුමක් අද නැති බව ඔහුගේ අදහසයි.      


නමුත් ලන්ඩනයේදී මට  හමුවුණු ලංකාවේ මාධ්‍යවේදියෙකු සමග කතාවේදී  ඔහුත් බිරිඳත් දෙදෙනාම 71-77 සිරිමාවෝ අවදිය ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කළහ. ඔවුන් ගේ සහයද  මාලිමාවටය .    ඒ කාලයේ පැවති වානේ කම්හල,  ටයර් කම්හල,  පේෂ කර්මාන්ත ශාලාව ආදිය ගැන ඔවුන් භක්තිමත් ලෙස කතා කළහ . ඒවා දුන්නේ සෝවියට් දේශයෙන් බව අඔවුන් දන්නේ නැත.   ඔවුන් ඒ කාලයේ ඉපදී සිටියා දැයි මම ඇසීමි .  ඔවුන් ඉපදී තිබුනේ ඊට පසුය.  මම ඒ කාලයේ කුඩා ළමයෙකු ලෙසින් පාන් පෝලිමේ සිටි බව කීවෙමි. හැත්තෑ හතේදී ජේ ආර් ට හයෙන් පහක බලයක් ලැබුනේද ඒ නිසා බව කීවෙමි . නමුත් ඒ කාලයට යාමට සිහින දකින පිරිසක්ද සිටිති.        


මේ තිබෙන්නේ  මා මිත්‍ර සරෝජ් පතිරණ බීබීසී  සංදේශය සඳහා   අනුර කුමාර දිසානායක සමග කළ සකච්චාවයි. ඔහු තම පක්ෂයේ වැරදි වලට සමාව අයදින  අතරම ඒ පිළිබඳව ජනතා අධිකරණයක් පත් කරන බව කියයි . 



 ශ්‍රී ලංකාවට අවශ්‍ය  වන්නේ දකුණු අප්‍රිකාවේ මෙන් සංහිඳියා කොමිසමකි .  


මෙහිදී තවත් අයෙකු තම භක්තිය හා සම්බන්ධ කරුණක් නිසා සමරිසි පනතට විරුද්ධය. ඔහුගේ අදහසේ සමහර කොටස් මම ඉවත් කලෙමි . මාලිමා නායකයන් ඒ ගැන කතා නොකලද කිසියම් ප්‍රමාණයකට ඔවුන් ගේ මතවාදය වඩා ලිබරල් බව පෙනේ. එසේ වෙද්දී සාමාජිකත්වය යන්නේ වෙනත් මගකය .


අනුර කුමාර දිසානායක මේ බොහෝ කරුණු පිලිබඳ ගන්නා  ස්ථාවරය එතරම්  පැහැදිලි නොවූවද ඔහු වඩා  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක සිටින බව පෙනී යයි .  නමුත් ජාතික ජන බලවේගය වෙනුවෙන් කටයුතු කරන බොහෝ ජවිපෙ හිතවාදීන් ගේ අදහස අනුර කුමාර  දිසානායක සමාජවාදී පාලනයක් පිහිටුවීමට සැරසෙන බවකි.  ජාතික  ජන බලවේගය පිටරටවල  ප්‍රකාශ   කරන අදහස් වල හැටියට හෝ ඔවුන්ගේ ප්‍රකාශන  වලට අනුව මට තේරෙන්නේ වෙනස් දෙයකි.  

එසේම ලාල් කාන්ත මහතා පවසන පරිදි මාලිමා  / ජවිපෙ සාමාජිකයන් ගෙන් සමන්විත   කැන්ගරූ  උසාවි වලට යුක්තිය පසිඳිලිමට යාමට බොහෝ දෙනා එකඟ නොවනු ඇත.     අනුර කුමාර දිසානායක මහතා කොට්ටාශ ක්‍රමයක් පිහිටුවන බව කියයි .  එසේනම් එය පුළුල් සාමාජිකත්වයක් ඇති ජාතික  ජන බලවේගයේ ආධාරකරුවන් ගෙන් සමන්විත විය යුතු අතර නීතිමය භාවයක් තිබීම අනිවාර්යය. ජවිපෙ  සාමාජිකයන් ගෙන්  එවැනි සභාවක්  සමන්විත වීම කියන්නේ පලි ගැනීමේ වේදිකාවක් නිර්මාණය වීමක් විය හැකිය.  ලක්ෂ හැත්තෑවක් ඡන්ද ගැනීමට නම් ජවිපෙන් එහා ගිය ඡන්දයක් අවශ්‍යය .  ඒ සඳහා යම් පරිත්‍යාගයක් කිරීමට ඔවුන් සුදානම් නැත්නම් ඉදිරි දින කිහිපය තුල තත්වය වෙනස් විය හැකිය . 

අති වාමාංශික ඡන්ද බොහොමයක් බෙදීයන තවත් අපේක්ෂකයන් සිටිති .  පිටරට පක්ෂ සංවිධාන වලින් මුදල් ආධාර ලබන මේ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලන්නේ නැත්නම් එම ආධාර නොලැබී යා හැකිය .  නුවන් බෝපගේ ,  සිරිතුංග ජයසූරිය , මහින්ද දේවගේ, පානි  සිරිවර්ධන මේ අතරින් සමහරෙකි .  සිරිතුංග ජයසූරිය හා මහින්දදේවගේ  එකට වාමාංශික දේශපාලනය කළ අය බව 'වම සහ ජීවිතය '  නමැති ජයසුරිය මහතා ලියූ පොතින් දැන  ගතිමි.    

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන් සමග ඡන්දයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ විට විරුද්ධ නොවූ කුමාර් ගුණරත්නම් මහතා තමා කලින් සිටි පක්ෂයේ පැරණි සගයකුට විරුද්ධව නුවන් බෝපගේ ඉදිරිපත් කලේ මන්දැයි යන්න තවත් ගැටලුවකි . එය ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒවා ක්‍රියාත්මක වූ වකවානුවේ ඔහුද එම පක්ෂය තුල සිටිය බැවිනි. ඔවුන්ගේ බලපෑම නිසා කිසියම් ඡන්ද ප්‍රමාණයක් ගිලිහෙයි නම් එහි වාසිය යන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය .

නුවන් බෝපගේ මහතා තවත් දෙදෙනෙකු සමග ජෙරෙමි කෝබින් මුණ ගැසී සාකච්චා කරනු මම දුටුවෙමි . කෝබින් මාක්ස්වාදියෙකු නොවන බව බෝපගේ මහතා දන්නේද යන්න මම නොදනිමි. නමුත් මාලිමාව මාක්ස්වාදී නොවීම නම් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් බව පෙනේ. කෝබින් ට කම්කරු නායකයෙකුට ලැබෙන වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබුණු නමුත් ඔහු ඡන්දය දිනුවේ නැත. ඊට අඩුවෙන් ඡන්ද ලැබූ ස්ටර්මර් මේ ඡන්ද ක්‍රමයේ විකෘතිය නිසා දිනුවේය. පැරණි එංගලන්ත පන්නයේ මනෝරාජික සමාජවාදියෙකු වන කොබින් ජනාධිපති ක්‍රමයක් තිබුනා නම් දිනන්නේය .

අනුර හරිනි ටිකට්ටුවට වැඩිපුරම බවුන්සර් එන්නේ තමන්ගේම පක්ෂයේ අයගෙන් හා අනිකුත් වාමාංශිකයන් ගෙන් බව මට සිතීම වැරැද්දක්ද?

අර පෞද්ගලික හමුවේදී අනුර කුමාර දිසානායක මහත් මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය .

"අපි දිනුවොත් කරන්න ඕන දේ අපි දන්නවා . සියල්ල සූදානම් කරගෙන ඉන්නේ . (කැබිනට්ටුව වැනි ) . නමුත් පැරදුනොත් මොකද්ද වෙන්නේ?"

ඔහු අදහස් කලේ මේ අන්තිම අවස්ථාව විය හැකි බවය .

පැරදුනොත් ජවිපෙ නැවත වරක් දෙකඩ වනු ඇත . සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ මාලිමාවේ බහුතරය හා විජේවීර / පොල්පොට් වාදයට පක්ෂ ජවිපෙ සුළුතරය ලෙසය .
අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නට ඇත්තේ පැරදුනොත් තවත් අවුරුදු හැටක් විපක්ෂයේ සිටීමට වීම ගැන විය යුතුය.

කලින් පොහොට්ටුවට ඡන්දය දුන් ලක්ෂ හැට නමයෙන් වැඩි පිරිසක් සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාට පක්ෂව බව පැහැදිලිය . ඉතිරි කොටසින් වැඩි හරියක් ජනාධිපති රනිල් ට හා නාමල්ට බෙදී යනු ඇත . සජිත් ප්‍රේමදාස මහතාට ඔහුගේම ලක්ෂ තිහක හතලිහක බ්ලොක් වෝට් එකක් තිබේ .

මේ නිසා මේ ඡන්දය තවමත් විවෘත එකකි . එය තුන් කොන් සටනකි .







- අජිත් 24/08/2024
 


37 comments:

  1. ස්තුතියි අජිත් විග්‍රහ කෙරුවාට
    යටගිය විත්ති යළි මතුකොට ලිව්වාට
    මං නං කැමති 'රට අනුරට' දෙනවාට
    නීලාකාස හොරු ටික පරදිනවාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදි නැවතත් මෙහි ආවාට
      බොහෝ දෙනගේ 'පොරොත්තුව එයමයි නේද

      Delete
  2. සාම්ප්‍රධායිකව ජවිපෙට අවශ්‍ය වුනේ "තුවක්කුවෙන්" බලය අල්ලන්න. ටික දෙනෙක්ගෙ(පාක්ෂිකයො) වුවමනාවට, බලය පැහැරගෙන, අනික් අයට හොම්බට ඇන-ඇන සමාජවාදය පොවන්න. දැන් දාගෙන ඉන්න ප්‍රජාත්ත්‍රවාදී වෙස්මූණ ජවිපෙට, ආගන්තුක ඒක නිසා වෙන්න ඇති. පරණ වැරදි වලට සමාව ගන්නවා තියා, වැරදි වුනා කියලවත් හිතට එකඟව පිළිගන්නව කියල හිතෙන්නෙ නෑ. ඒවා සාධාරනීකරණය කරන්න, රටේ නැති බොරු කියන්නෙත්. කෙලින් උත්තර නොදී මඟ හරින්නෙත් ඒ නිසා වෙන්නත් ඇති. අපි තමයි ඔක්කොම දන්නෙ, අපිට වැරදුනෙත් නෑ, වැරදින්නෙත් නෑ වගේ මානසිකත්වයක ඉන්නව කියල තමයි හිතෙන්නෙ. ඒ වෙනුවෙන් කිසිම පැකිලීමක් නැතුව, ඕන බොරුවක් කියන්න විශිෂ්ඨ හැකියාවක් තියනවා. අදටත් මට හිතෙන්නෙ, ජවිපෙ බඩේ බිත්තර තියාගෙන, කොලේ වහල කාඩ් එක ගහනවා කියලයි.

    ReplyDelete
  3. බලය ගත්තට පාසෙ කරන්න හදන දේ අනුරගෙ කටින් පැන්නා අර මොනවද සභා වගයකට සාමය පවත්වාගෙන යන්න දෙනවා කියලා.. මේ අනියමින් කියන්නෙ පොලීසියට නිවාඩු දෙනවා කියල ද? ඔය කියන සභා වල ( ජවිපේ කැති පොලු හමුදාව ) කෙරුවාව හොඳටම පෙන්නපු දවසක් තමා මැයි නවය කියන්නෙ.. මොකක් හරි ජවිපෙට විරුද්ද අදහසක් සමාජ මාධ්‍ය වල දැම්මම ලැබෙන කුණුහරුප වරුසාවෙන් හිතා ගත්තෑකි බලය ලැබුනාම වෙන සන්තෑසිය..ලංකාව ආසියාවේ දෙවෙනි කාම්බෝජය වෙන්නත් ඉඩ තියනවා.. පරිස්සමින්...

    ReplyDelete
    Replies
    1. ඒක මම මේ ලිපියේ මතක් කළා

      Delete
    2. https://kolambagamaya.blogspot.com/2022/06/blog-post_28.html

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2022/07/3-21.html

      Delete
  4. Jagath Pathirana24 August 2024 at 02:36

    අපේ බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා.
    කත පුඤ්ඤොඤෝ උභයත්ථ නන්දති කියලා.
    එහි සිංහල තේරුම පිංවන්තයෙක් දෙපස ඉන්නා අයටත් ඔහුගේ පිං ලීක්වෙලා ඔවුනුත් සතුටු වන බව.

    රනිල් කියන්නේ පිංවන්තයෙක් අපි ඔහුව නායකයා කරගත යුතුයි. ඔහු රජවීම තමයි අල්ලාහුගේ තීරණය. අපි ඒ තීරණය වෙනස් කලොත් විශාල විනාසයක් වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ගෝඨාබය ගේ කොටසක් රනිල්ට

      Delete
    2. රනිල් කියන්නෙ පිං(කරන) පියෙක්.

      Delete
  5. Jagath Pathirana24 August 2024 at 02:39

    මම ජීවිතේට අලියට කතිරේ ගහලා නෑ.
    මේපාරත් අලියට කතිරෙ ගහන්නෙ නෑ. මම කතිරේ ගහන්නේ ගෑස් සිලින්ඩරේට.

    ReplyDelete
    Replies
    1. මම කාටවත් ගහල නැහැ . මේ පාර ගහන්නෙත් නැහැ

      Delete
    2. ඔබ කිසිදා ඡන්දය පාවිච්චි කරනැතිනම් සහ මෙවරත් නොකරන්නේ නම් ලංකාවේ දේශපාලනය ගැන විග්‍රහ කරමින් කාලය නාස්ති කිරීමෙන් වලකින්න

      Delete
    3. ඔන්න කිව්වා කතාවක් . ඡන්දය පාවිච්චි කරන්න බැරි අනිත් රටවල් වගේ නැතිව ලංකාව ටරට ඉන්න අයට චන්ද භාවිත කරන්න පහසුකම් දීල නැති නිසා නොවෙයිද ? රටක උපන් කෙනෙකුට ඒ උපන් රට ගැන කතා කරන්න අයිතියක් , නැහැ කියල කවුරු හරි ඔයාට කීවද ? ඇමරිකාව වගේ රටක ඡන්ද ගැන කතා කරන්න අපට බැරිද ? රුසියාවට අපි චන්දෙ දාන්න යන්නේ නැති නිසා ඒ රට ගැන ලියන්න බැරිද ? - අනික තමයි මටලීවහම තමං ජිවය ලැබෙන්නේ . ඒක මරු

      Delete
  6. ලියන්නට අමතක වුනු තව කරුණු කිහිපයක් තිබේ . එකක් නම් ලංකාවේ දැනට පවතින ප්‍රශ්න වලට මුලික හේතුවක් වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ඇති ජාතිවාදය බවය . එයට ආගම එකතුවූ කල තවත් භයානක විය. සිංහලය යනු අති උසස් භාෂාවක් බව මම අද දනිමි. එහෙත් සිංහලය එකම භාෂාව කිරීම බරපතල ඛේදවාචකයක් වුනු බවද මම අද දනිමි. අද අනුර දිසානායක සහ යෝගය දෙන්නන් අතර එක තර්කයක් වනුයේ ඉංග්‍රීසි කතා කරන පෙලන්තියට එරෙහිව තම බස කතා කරන අයෙකු එන බවය . ඒ ඇත්තය . එහෙත් අනුර හා හරිනි යනු එතරම් පටු දැක්මක් ඇති අය නොවන බවද මාලිමාවට පිට රටින් එකතු වෙන ඇත්තන් ඊට වඩා මුහුකුරා ගිය අය බවද සිතීමට මම කැමතිය. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක නොබෙල් සම ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ ජාජබේ බලශක්තිය පිලිබඳ ප්‍රතිපත්තියේ නියමුවා ලෙස පසුගියදා හඳුන්වා දෙන ලදී. ඔහු 1982-1987 ජේ ආර් ජයවර්ධන රජයේ බලශක්තිය පිලිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකයෙකුව සිටි බව බොහෝ ජවිපෙ පාක්ෂිකයන් දැන සිටින්නේද යන්න සැක සහිතය .

    ඒ අතරේ සුලන් බලයෙන් ගිගා බයිට් හැට පහක (ගිගා වොට් නොවේ ) විදුලිය නිපදවන බවද ඉන් සුලන් බලාගාර හතරක් මුහුදේ පිහිටුවා තව හයක් පිහිටෙව්වොත් ඉන්දියාවට විදුලිය දිය හැකි බවද කියන සජබේ දේශපාලකයකු දුටිමු . ඔහුට සාවධානව සවන් දෙන ජනතාවක් ද දුටිමි . මහාචාර්ය මොහාන් මුණසිංහ මාලිමාවට එකතු වූයේ මෙවැනි අය නිසා විය හැකිය .



    අනුර කුමාර දිසානායකට බොහෝ විට උතුරේ වැඩි ඡන්ද නොලැබෙනු ඇත . ජවිපෙ සහ සජබේ පාඨලීලා රාජපක්ෂ සමග එකතුව යුද්ධයේ ප්‍රධාන කාර්යයක් කල ඔවුන් දන්නා හෙයිනි. නමුත් අනුර කුමාර දිසානායක පිළිබඳව පැහැදීමක් දෙමළ ජනයා අතර ඇති වෙමින් පවතින බවද දුටුවෙමි. මුස්ලිම් ජනතාව අතරද මාලිමවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී . ම සම්ප්‍රදායික සජබ / යූඇන්පී ඡන්දය. මුස්ලිම් ජනතාව මාලිමාව වෙළඳාම ට දැන් හිතවත් බවට විශ්වාස කරතියි මුස්ලිම් මිතුරකු මා සමග පැවසීය.



    පසුගියදා, යුධ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුධ ආරක්ෂක මණ්ඩලයට උපදෙස් සැපයූ, ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබටික්ස් සහ කෘත්‍රිම බුද්ධිය පිලිබඳ මහාචාර්ය ම මිතුරු ත්‍රිශාන්ත නානායක්කාර මහතාද මාලිමාවට සහයෝගය දෙන ප්‍රකාශයක් කර තිබුණි . ත්‍රිශාන්ත ලංකාව ගැන ඉමහත් කැක්කුමකින් කතා කරන අයෙකි. මාලිමාවට සහයෝගය දීම විනා වෙන විසඳුමක් අද නැටි බව ඔහුගේද අදහසයි .

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana24 August 2024 at 04:19

      //මුස්ලිම් ජනතාව මාලිමාව වෙළඳාම ට දැන් හිතවත් බවට විශ්වාස කරතියි මුස්ලිම් මිතුරකු මා සමග පැවසීය.// මුස්ලිම් මිතුරෝ කියන දේ ගැන විශ්වාස කරන්න එපා.

      උතුරේ චන්ද ගැන මගේ මතය, මේ වනවිට උතුරු සහ නැගෙනහිර බෙදීම ක්‍රමයෙන් වැඩිවීගෙන යනබව පේනවා. උතුරේ චන්දවැටුන රටාව අනුව පේන්නේ මෙතෙක් කලක් එය විධායක ජනපති ක්‍රමයට (පුද්ගලයට නොවෙයි) විරුද්ධව චන්ද වැටීමක් බවයි. උතුරෙන් අනුරට ලොකු චන්දයක් ලැබෙන එකක් නෑ. බොහෝවිට වැඩිදෙනා චන්දේ නොදා ඉඳයි.

      Delete
  7. නමුත් ලන්ඩනයේදී මට හමුවුණු ලංකාවේ මාධ්‍යවේදියෙකු සමග කතාවේදී ඔහුත් බිරිඳත් දෙදෙනාම 71-77 අවදිය ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කළහ. ඔවුන් ගේ සහය මාලිමාවටය . ඒ කාලයේ පැවති වානේ කම්හල , ටයර් කම්හල , පේෂ කර්මාන්ත ශාලාව ආදිය ගැනය . ඔවුන් ඒ කාලයේ ඉපදී සිටියා දැයි මම ඇසීමි . ඔවුන් ඉපදී තිබුනේ ඊට පසුය . මම ඒ කාලයේ කුඩා ළමයෙකු ලෙසින් පාන් පෝලිමේ සිටි බව කීවෙමි. හැත්තෑ හතේදී ජේ ආර් ට හයෙන් පහක බලයක් ලැබුනේද ඒ නිසා බව කීවෙමි . නමුත් ඒ කාලයට යාමට සිහින් දකින පිරිසක්ද සිටිති .

    ReplyDelete
  8. Jagath Pathirana

    ReplyDelete
  9. Jagath Pathirana24 August 2024 at 06:26

    එපා රනිල්ට ඉඩක් දෙන්නට දුන්නොතින් පුක පැලෙනවා
    එපා අනුරට චන්දෙ දෙන්නට මැරෙනවා අපි මැරෙනවා

    මුල් පද දෙක තාම හිතනවා

    ReplyDelete
  10. තමවත් කුමක් සිදුවේද යන්න පිලිබදව අවිනිශ්චිතයි කෙසේ නමුත් ප්‍රදේශිය මට්ටමෙන් ජනතාව තුල ජතික ජන බලවේය පිලිබද දැඩි පිබිදීමක් දකින්න තියෙනව බොහෝ විට දේශපාලනය තුල විශ්ලේශණානාත්මක අවබෝධයක් ඇති සුලුතරයකට හැරෙන්න NPP ය තුල ඇති ප්‍රතිවිරෝධතා සහ ඝට්ටන ගැන අවබෝධයක් නැති නිසා එය සමස්ථ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් නොකරනු ඇති බව මගේ අදහසයි අජිත් අනෙක මට හමුවුනා අනුරට අකමැති උනත් සජිත් "රට ගොනෙක්" බව දන්නා නිසා ඔහු ඒම වැලැක්වීමට අනුරට චන්දය දෙන්නට නියමිත පිරිසකුත් .

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana24 August 2024 at 17:47

      ඊලාම්-නොවන සහෝදර දමිල ජනතාව සජිත්ට චන්දෙ දන බව සහතිකයි.
      ඊලාම්-නැගෙනහිර ගෝත්‍රයේ සහෝදර දමිල ජනතාව සහ ඊලාම්-උතුරු ගෝත්‍රයේ සහෝදර දමිල ජනතාව දේශපාලන මතයක නෑ. ඒ ගෝත්‍ර මොකාට චන්දෙ දෙයිද ෂුවර් නෑ.
      ඊලාම්-උතුරු ගෝත්‍රයේ සහෝදර දමිල ජනතාව චන්දේ දීමෙන් වැලකෙයි කියලා හිතෙන්නේ.
      සහෝදර මුස්ලිම් චන්ද නම් රනිල් සජිත් අතර බෙදෙයි.
      සහෝදර නොවන සිංහල බෞද්ධ චන්ද ගැනනම් හරියට හිතාගන්න බෑ. බාගයක් විතර වත් අනුරට වැටෙයි.
      සහෝදර සිංහල කතෝලික නම් රනිල්ට වැඩිපුර වැටෙයි.
      එකෙක්වත් බහුතරය නොගන්න ඉඩ තියෙනවා.
      (මටත් සහෝදරයෙක් ඉන්නවා. ඒ බල්ලා ඉපදුනේ නැතිනම් මම ගොඩක් සතුටු වෙනවා)

      Delete
    2. //ප්‍රදේශිය මට්ටමෙන් ජනතාව තුල ජතික ජන බලවේය පිලිබද දැඩි පිබිදීමක් දකින්න තියෙන// ඒක හරි . නමුත් ලංකාවේ අති විශාල පාවෙන ඡන්ද සංඛ්‍යාවක් දකින්නට තියෙනවා . අනුරට බ්ලොක් වෝට් එකක් නැහැ . ඔවුන්ට හැම ඡන්දයක්ම වැදගත් . // මට හමුවුනා අනුරට අකමැති උනත් සජිත් "රට ගොනෙක්" බව දන්නා නිසා ඔහු ඒම වැලැක්වීමට අනුරට චන්දය දෙන්නට නියමිත පිරිසකුත් .// ඔව් ලන්ඩන් වල එහෙම සෙට් එකක් පිරිලා . මම සජිත් ට දෙන්න හිතන යාළුවෙකුටත් ඔය කතාව කීව . ඔය ජවිපෙ සෙට් එකක් වගේම සජිත් කට ඇරියහම ඡන්ද කැඩෙනවා . බ්ලොක් වෝට් එක විතරයි . ඒක මදි .

      Delete
  11. භාණ්ඩාගාරික තනතුර සාමාන්‍යයෙන් දෙන්නේ සල්ලි තියෙන කෙනෙකුටයි.

    ReplyDelete
    Replies
    1. ඒ ඔය මරණාධාර සමිති වගේ ඒවලට නේ . රසිකතුමා ඉතින් පේරාදෙණියේ ශිෂ්‍ය සංගම් වල හිටියනම් දන්නවා ඇති භාණ්ඩාගාරික අදායම් වියදම් හැදීම , ෆන්ක්ෂන් වලට මුදල් වෙන් කිරීම , දැන්වීම් වලින් ආදායම් හෙවිම වගේ දේ කරන්නේ කියල . මෙහෙ තුර්කි කට්ටියට කන්ට්‍රැක්ට් අරන් දෙන්න නගර කවුන්සිලේ තුර්කි බලය තහවුරු කර ගැනීමේ එක පියවරක් ලෙස ඒක වුනා කියලත් කිව්වා ඉතින් . අපේ කෝබින් ගොබබ් සෙට් එකේ හිටිය කවුන්සිල් වෙන්න දත කන එවුන් , ඊළඟ මන්ත්‍රී වෙන්න දඟලන උන් හෙම . මට ලැබිච්ච ඡන්ද සංඛ්‍යාවට බය වුනා . පිස්සෝ රැලක් කියල අන්තිමට මට හිතුනේ. මම කවදාවත් තනතුරු පස්සේ ගිහින් නැහැ .

      Delete
    2. අම්මට සිරිගජ සිනුවර පිං(කරන) පියා නොහොත් සිපිපියාත් කමෙන්ට් කරලා. ඉතින් සිපිපියො මොකෝ දැන් සද්දෙ වහල ?

      Delete
  12. පඳුරැ ටික තලාගෙ ඇවිල්ල. හදිසියෙන් ලිය උන පෝස්ටුවක් වගෙ

    ReplyDelete
    Replies
    1. නමිය මට හිතෙන්නේ ඔබ තුමා ජවිපෙ පොඩියන් කෙනෙක් බව . මේ ලිපිය පහුගිය අවුරුදු 30 තුල ලංකාවේ දේශපාලනය නිරීක්ෂණය කරල , එසේම '71 කැරැල්ල ගැන පොත් කියවල, අජිත් පැරකුම් ගේ , රෝහිත රණ සිංහ ගේ එලිය කන්ද ගැන පොත් , ධර්මන් වික්‍රමරත්න ගේ 88-89 ගැන පොත් (ප්‍රා ජේ ගෙනත් දුන්නේ ) කියවල , පහුගිය සති දෙක තුන තුල වරින්වර ලියපු එකක් . පඳුරු තලාගෙන ඇවිල්ල කියල හිතෙනවා නම් ඔබතුමාගේ හරියට කියවල නැහැ කියලයි මට හිතෙන්නේ . සමාවෙන්න එහෙම කීවට . මම අනුර දිසානායක එක්ක සෙල්ෆියක් ගැහුවා . ඒක මේකේ දැම්මේ නැහැ . ෆේස්බුක් එකේ දැම්ම . ඒකත් බොළඳයි කියල විවේචනයක් ආපු නිසා අයින් කළා .

      Delete
  13. //අසූ හත - අසූ නමයේදී ගම් මට්ටමින් මරා දමන ලද්දේ ස්ත්‍රී දූෂකයන් සහ සොරුන් බවය// ඒ වෙලාවෙ අනියමින් කීවෙ ඔහේලගෙ මැරැණ අප්පල, නෑදෑයොත් ස්ත්‍රී දුසකයොද දන්නෙ නෑ කියල ඇඟවෙන විදියටනෙ ඔය කතාව නලින් හේවගෙ කීවෙ 🤭. ඒත් කවුරැ නීතිය අතට ගත්තත් ඒක වැරැද්දක්!

    ReplyDelete
    Replies
    1. //ඔහේලගෙ මැරැණ අප්පල, නෑදෑයොත් ස්ත්‍රී දුසකයොද දන්නෙ නෑ කියල ඇඟවෙන// ඉතින් ඒක වැරදිනේ . ඒ මරා දැමීම් හරි කියල අනියමින් කීමක් නේ ඒ . එතනින් ප්‍රශ්න දෙකක් එනවා . එකක් නීතියෙන් පිටත "ආයුධ පෙන්වන්නට යාම " වගේ දේ නිත්‍යනුකුළ කිරීම , 2. තමන්ගේ නායකයා ට එරෙහිව යාම . ඒ කලේ ආණ්ඩුවෙන් ඒවගේ අනීතික මිනීමැරුම් කළා . අපි ඒවා වැරදියි කියනවනම් මේවත් වරද ඉ තම . අනුරගේ පිවිසීම හරි . ඒ පිළිබඳව සංහිඳියා කොමිසමක් දාමු කියන එක . ඊට පස්සේ ඒක ගැන කතා නොකර සිටීම

      Delete
  14. https://www.youtube.com/watch?v=s9XLftoLUPA&t=1018s

    ReplyDelete
  15. මම ජවිපෙට අකමැති , ඔවුන් ගේ බිම් මට්ටමේ සාමාජිකයින්ගේ හැසිරීම හින්ද .. දැන් රැල්ලට ඔවුන් හා එක්වන ඔය කියන උගත් බුද්ධිමත් අයට වැඩ කරන්න පුළුවන් තත්වයක් /අවස්තාවක් බලය ලැබුනම තියෙයි ද ? අනුර මහතා පෙන්වන හෝ ඔහුට උවමනා පරණ JVP නොවන සංකල්ප ක්‍රියාත්මක කරන්න තරම් නිදහසක් හෝ අවස්තාවක් ඔහුට තියෙයි ද ?

    දීල බලන්න පුළුවන් .. නමුත් ගොබ්බ තීරණ ගන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි කියල තමා මට නම් හිතෙන්නේ ..

    ඔවුන්ගේ brainwashed මනා සංවිධානාත්මක ගතියම back fire වෙන්න බොහෝ ඉඩක් තියෙයි කියල මට හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. //මම ජවිපෙට අකමැති , ඔවුන් ගේ බිම් මට්ටමේ සාමාජිකයින්ගේ හැසිරීම හින්ද .// මේක හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් . හැබැයි ලන්ඩන් වලදී මට තේරුණා දේ තමයි ඔය ප්‍රශ්නේ අනුර කුමාරටත් තියෙනවා කියන එක . හරිනි අයින් අක්රල් වෙන කෙනෙක් දායි ද කියන ප්‍රශ්නය එනවා අනිවාර්යයෙන්. එහෙම බලන් ඉන්න කොටසක් ඉන්නව කියන අදහසත් මට තියෙනවා . මේවා ලියන්නෙත් ඉතින් ඒක තමයි . ලංකාව හැමදාම හොඳක් වෙන්න එන කොට කෙලවිච්චි රටක් . 1915 කෝලාහලය , 1958 කෝලාහල, 1962, 1971, 1978, 1983, 1985-89, 1058-2009 , 2019 පාස්කු ප්‍රහාරය

      Delete
    2. ලංකාවට කෙලවුනේ 1956 . (Anonymous26 August 2024 at 05:28)

      Delete
    3. සිංහලය රාජ්‍ය භාෂාව බවට ද බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද පත් කිරීමට ඔහු පිළිණ දී තිබිණ. ඔහු දුඹුරු පැහැති සමෙන් යුත් හොඳ මහත්මයෙක් විය. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලත් ඔහු උපතින් ක්‍රිස්තියානියෙකි. ජාතිවාදියෙකු වීමට අදිටන් කළ ඔහු බුද්ධාගමට හැරී සිංහල භාෂාව සඳහා උද්ඝෝෂණය කරන වීරයකු බවට පත්ව සිටියේය. ශ්‍රී ලංකාව බිඳ වැටීමේ ආරම්භය එය විය.(Anonymous26 August 2024 at 05:28)Anonymous27 August 2024 at 07:57

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .