Saturday 15 March 2014

1971 ගැන මතකයක්

1971 කාලයේ මට අවුරුදු 6ට ලඟයි. මට මතක දේවල් අතරින් 71 අරගලය පිලිබඳ දැකපු දෙයක් හො ඳට මතකයි.කම්පනය නිසා කියල හිතෙන්නේ. අපි හිටියේ නිවස තිබුනේ පොලිසිය පිටි පස්සේ. පොලිසියට ගහනවා කියල ආරංචි වුනහම තාත්තයි තවත් (ඒ දවස් වල අපි පොලිසියේ රාළහාමිළ ට අන්කල් කියල කිවේ ) අන්කල් කෙනෙකුයි එයාගේ පවුලත් එක්ක අපව තැපැල් මහතාගේ නිවසට අරන් ගියා. ලොකු පිරිමි කට්ටිය හෙම ඇඳන් යට හිටියේ. මට මතකයි අපේ පුංචි අම්ම බයටම වැසිකිළියට දහ පාරක් විතර ගියා කියල. ඒ වගේම  මතකයි මම  ජනේලය තුලින් පල්ලහ පාර දිහා බලන් හිටියා . පොල්ගහවෙල පොලිසිය තිබ්බේ මහා වෙලක් ගාව. අපට ගෙවල් වල ඉඳන් බැලුවහම යෝගමුවේ කන්ද පේනවා කියල මතකයි. මන් දැක්ක පොඩි කොල්ලෝ රංචුවක් පාර දිගේ යනවා පොලිසියට ගහන්න. අපේ අම්ම කිවේ අනේ පුංචි ළමයි කියල. කොල්ලන්ගේ අතේ මොනවාද ටින් ජාතියක් තිබුන. අපේ තාත්ත පස්සේ කියල දුන්න ඒ ටින් බෝම්බ කියල. ඒවා වැඩිය හොඳ ඒවා නෙමෙයි. කොහොම හරි පොලිසියට ගහල ඒ ගොල්ල ගියා . අපි පස්සේ දවස් කීපයක් හිටිය කුරුණෑගල හෝ කෑගල්ලේ හමුදා කඳවුරක. අපි ආපහු ආවේ හමුදාවයි පොලිසියයි ප්‍රදේශය නැවත අල්ල ගත්තට පස්සේ.

ඊට පස්සේ නොයෙකුත් හිර කරුවන් පොලිසියට අල්ලාගෙන ආව. ළඟ නිවාස වල හිටි නිසා අපි බලන්න යනවා. මේ සිරකරුවන්ට ගහන හඬ ඔවුන් වේදනාවෙන් කෑ ගහන හඬ ඈතට ඇහෙනවා. අපේ අම්ම එක්කෝ බනිනවා මොකට ගහනවද මන්ද අල්ල ගත්තට පස්සේ කියල. එහෙම නැත්නම් කන් වහ ගන්නවා.

මේ එක සිඳුවිමක් තවමත් හිතේ හොඳට ඇඳිලා තියෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගෙනාව. එයා නායකයෙක් කියල කිවේ. ඒ පැත්තේ ම තරුණයෙක්. ඉතින් අනිත් අයට පේන්න මෙයාට ගැහුවේ එළියේ තියෙලා . අපි පුංචි ළමයි වෙලත් කවුරුත් මුකුත් කිවේ නැහැ අපි බලන් හිටියාට. මං දැන් දන්නවා ඒක කොච්චර වැරදිද කියල. පොල්ගහවෙල පරණ පොලිසියේ ඉස්සරහ කාණුවක් වගේ දෙයක් තිබ්බේ. පොලිසිය ඉස්සරහ තාප්පෙකුත් තිබ්බ. ඒ තාප්පයේ කුලුන උඩට හිරකරුවාව නග්ගනවා. ඊට පස්සේ පොලිසියේ දෙදෙනෙක් දෙපැත්තෙන් ගහනවා. නොකා නොබී ඇති තරම් ගුටි කාල හිටි හිර කරුවා මේ ගහන ගහන පාරට වැටුන කාණුවට. ආයි උඩට අරගෙන ගහනවා. ඔලුවද කොහෙද පැලිලා ලේත් ගලනවා. එහෙම එක පාරකදී වැටුනට පස්සේ හිරකරු නැගිට්ටේ නැහැ . ඒ ගමන එක පොලිස් නිලධාරියෙක් වතුර එකක් ගෙනත් ගැහුවා . හිරකරු නැවත නැගිටින්න හැදුවත් නැගිට්ටේ නැහැ. පස්සේ කකුල් දෙකෙන් ඇදගෙන ගියා ඇතුලට. මට මතක විධිහට පොලිසියේ පඩියේ ඔලුව වැදි වැදී ඇදන් ගියේ.

මිට කලින් අපට කියල තිබ්බ මේ "ත්‍රස්තවාදීන්" අහිංසක දරු පවුලක් ඉන්න පොලිසියේ නිලධාරියෙක් අල්ලලා (වැඩේ තදින් ගිය මුල් දවස් වල) ඇණ  තියෙන ගෝනියක දාල වටේටම කට්ටිය එකතුවෙලා පොලු වලින් ගහල වධ දීල මැරුවලු . ඒකෙ පලියත් මුන් හැමෝගෙන්ම ගන්නවා කියල තමා පොලිසිය ගහන ගමනුත් කිවේ. මේ හිරකාරය අනික් අය සමග මා ඔයේ පාලම උඩ  තියල වෙඩි තබා මරා දැමූ බව පසුව ආරංචි වුනා.

 ඊට පස්සේ දවසක ගෙනාව හාමුදුරු නමක්. පොල්ගහවෙල පන්සලක. අපේ අම්මල ඇතුළු ඒ පැත්තේ හිටපු බවලත් උදවියත් ගෙනල්ල බලාගෙන ඉන්න සැලැස්සුව පොලිසියේ ලොක්ක. ඒකට හේතුව ඒ අය මේ පන්සලට දානේ දුන්න නිසාලු. ඊට පස්සේ හාමුදුරුවන්ට කුණු මළකඩ කෑ බ්ලේඩ් තලයක් දීල කොන්ඩේ කපන්න කීව එයාටම. මට පස්සේ තේරුණා වැඩේ. කොන්ඩේ කපන පාරට අර හාමුදුරුවන්ගේ තට්ටය ඇති හිස කැපුනා  කැපී කැපී ලේ ගලනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට අණ කලා දන ගහල අර වටේ හිටි ගැහැනුන්ට වඳින්න කියල. ඒ වගේ "පව්කාරයෙකුට" දානේ දුන්නට. ඊට පස්සේ ඇතුලට ඇද ගෙන ගියා ගගහ. අපේ අම්ම මාව අතින් ඇදගෙන ගෙදර ගියා.

 Narodnism වලට යොමුවී ලෙනින් ගේ සහෝදරයා එල්ල දැමු හැටි මේ යොමුවේ තියෙනවා. http://www.socialistreview.org.uk/article.php?articlenumber=11228

 ලෙනින් නරෝද්නික් ලා  ගැන ලිවූ එක මෙතන: https://www.marxists.org/archive/lenin/works/1894/narodniks/ch02.htm

 මේ මැරුන සහෝදරයන් ඉතා පිරිසිදු විප්ලව වාදී හිතින් ඔවුන් හිතා  ගෙන හිටි විප්ලවය කියන දෙයක් සඳහා ජීවිතය පුජ කල බව ඇත්ත . නමුත් මිනිස්සුන්ට අවශ්‍ය නැති විප්ලවයක් ඒ මිනිස්සු වෙනුවෙන් කරලා පලක් තියෙනවද? ඒ මිනිස්සු වත් දන්නේ නැහැ (ගම්  වල ) මේ අහිංසකයන් සටන් කලේ ඔවුන් වෙනුවෙන් කියල. අනික පොලිසියට ගැහුවම රටක් ආණ්ඩුවක් පෙරලෙනවද? එත් නැහැ? මේ අරගලය මක්ස්වාදීද ? ඒත් නැහැ. අපි හුඟක් වෙලාවට බටහිර රටවල ඉඳගෙන නොයෙකුත් චැරිටි වැඩ කරනවා. නැති බැරි අයට උදව් කරන්න කියලා. එහෙම කරන්නේ අනිත් අය ගැන හිතලා. නමුත් මිනිස්සුන්ට ඕනේ මේකය කියල උපකල්පනය කරලා සමාජ වෙනසක් හදන්න ජීවිතය දෙන එක වැටෙන්නේ චැරිටි එකක්  ගණයට නෙමේ ත්‍රස්තවාදයක් හැටියට. නමුත් ඒක තමයි ලොකුම චැරිටි එක  හැබැයි. 

3 comments:

  1. අවුරුදු එකහමාරක් ගිහින් කියවුවේ.. අර බරසාර වචනෙට දීපු උත්තරේට තෑන්ක්ස්... ඔයා හරියටම අපේ අම්මගේ වයසේ හි හි

    ReplyDelete
  2. මේකට වැටිච්ච එකම කොමෙන්ට් එක. ඒ කියන්නේ ඔයාගේ අම්මත් තවම තරුණයි නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඔයා වගේම තමයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .