Thursday 17 September 2015

සම්බන්ධන් අනුර සුසංයෝගය හෙවත් යහවිජ්ජාව


මම ටී එන් ඒ එකට විපක්ෂ නායක කම නොදිය යුත්තේ මන්ද කීමට හේතු කීපයක් ම ලිව්වෙමි. ඉන් එක හේතුවක් වූයේ 1977 න්  පසු සිදුවූ සිදුවීම් පෙළය. එම ලිපිය මෙතන තිබේ.  මේ ලිපියට අනතුරුව සම්බන්ධන් මහතාට විපක්ෂ නායක පදවිය ලැබීම සිදුවිය යුතු සාධාරණ දෙයක් හැටියට බොහෝ දෙන තර්ක කරන ලිපි පළවිනි. ඉන් සමහරක් සාධාරණ තර්ක  ඉදිරිපත් කර තිබේ.  අශාන් වීරසිංහ විකල්ප වෙබ් අඩවියේ ලියන ලද මේ ලිපිය එවැන්නකි.  එහි මෙසේ කියා තිබේ.
""මේ පාර්ලිමේන්තුවේ දැනට තිබෙන බරපතලම හා ඉක්මන්ම විසඳුමක් අපේක්ෂා කරන අර්බුදය විපක්ෂ නායකයා පත් කිරීමයි.ඒ සඳහා විවිධ නම් යෝජනා වී ඇති නමුත් ඒ හැමෙකාම පාහේ දුෂ්ට මහින්ද රෙජීමය යටතේ හිතේ හැටියට හොරා කෑ, නැතහොත් කටවාචාලකමින් පාර්ලිමේන්තුවට සහ පොදුවේ දේශපාලනය නමැති භාරදූර කාර්යයට නිගා දුන්, හාල්පාරුවන්ය."
එසේම  ඔහු මෙසේ අවධාරණය කරයි.

"එනම්, විපක්ෂ නායකකම සිංහලයා අතම රඳවා ගැනීමට ඇති දැඩි අවශ්‍යතාවයයි. මේ කාරණයම වඩා සුවිශේෂ කොට කියන්නේ නම්, විපක්ෂ නායකකම දෙමළෙකුට යාමට ඇති බියයි. ‘මහින්ද ජාතිවාදියෙක් දෙමළ මිනිස්සු පව්, අපෝ අපි නම් එහෙම නෑ’ කියන ඇතැම් පුරවැසියන්ගේ මානසික වපසරිය තුළ පවා මේ භීතිකාව පැතීරී නැතිද?"

මගේ බ්ලොග් අඩවියේ ඉහත ලිපියේ මා  පල කරන තර්කයට ඔහු ගේ ලිපියේ  පිළිතුරක්  නැත.  එනම් ජාතිවාදී වේවා හෝ නොවේවා ආණ්ඩුවට චන්දය දුන් පිරිස මෙන්ම තව ලක්ෂ 47 වෙනත් පක්ෂයකට හෝ පක්ෂ වලට චන්දය  දුන් බවත් දෙමළ  ජාතිය පමණක් නියෝජනය කරන ටී එන් ඒ එකට ලැබුනේ චන්ද පන් ලක්ෂයකට ආසන්න  සංඛ්‍යාවක්  පමණක් බවත්ය. ඔවුන්ට ආසන  16 ලැබීම චන්ද ක්‍රමයේ විකෘතියකි.

කරුණාකර මෙය වරදවා වටහා නොගන්න. දෙමළ  හෝ මුස්ලිම් ජාතිකයෙකු ලංකාවේ ජනාධිපති හෝ අගමැති වීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැත. එසේම දෙමළ  ජාතිකයෙකු විපක්ෂ නායක වීම පිළිබඳවද කිසිම විරුද්ධත්වයක්  නැත.  නමුත් ටීඑන්ඒ නමැති දෙමළ  ජාතිය නියෝජනය කරන පක්ෂයෙන් හෝ සිහල උරුමය නමැති සිංහල ජාතිය නියෝජනය කරන පක්ෂයෙන් හෝ මුස්ලිම් කොංග්‍රසයෙන් කෙනෙකු විපක්ෂ නායක වන්නේ නම් ඔවුන් නියෝජනය කරන සුළුතරය විපක්ෂය වීම වැළැක්විය නොහැකිය.  සිංහල උරුමයේ මනමේන්ද්‍ර මහතා විපක්ෂ නායක වුවහොත් ඔහුට "අපි තමා  මේ රටේ විපක්ෂය. සිංහල ජාතිය මේ ආණ්ඩුවට සම්පූර්ණයෙන් විරුද්ධයි කියා කීමට හැකියාව තිබේ."

මෙහිදී සිදුවූ සාධනීය කරුණු දෙකින් එකක් නම්  සම්බන්ධන් මහතා විපක්ෂ නායක පදවියට පත් වූ පසු තමන් සිංහල ජනතාවත් නියෝජනය කරන්නේ යයි කියා  ඒ මහතා  කල නිහතමානී ප්‍රකාශයි . එසේම ජවිපෙ  අනුර කුමාර මහතා ට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම ලබා දීමද  සාධනීය දෙයකි.

අශාන්ගේ මුල් කියමනට නම්  පිළිතුරක් රජයෙන් ලැබී තිබේ. සම්බන්ධන් "තෝරාගෙන " ප්‍රගතිශීලින් මුලා  කල රජය අර අශාන්  හාල්පාරුවන් යැයි  නම් කරන සමහරුන්  ඇමතිවරුන් ලෙස රජයට බඳවා ගෙන තිබේ.

මෙහිදී 2005 වසරේ අග භාගයේ සිදුවූ  කතා බහක් මගේ මතකයට නැගේ. මෙය බීබීසී සිංහල සේවයේ එවකට සිටි කලමනාකර මහතා සහ එම  සේවයේම රැකියාව කල ජන මාධ්‍යවේදී මිතුරකු සමග අපේ මිතුරෙකුගේ හෝටලයක පැවති  සාදයකදී ඇතිවූ සංවාදයකි. එම සංවාදයේදී ඔවුන් දෙදෙනාම වාද කලේ එල්ටීටීඊ සංවිධානය කොතරම් බල සම්පන්නද යන්නය. ඔවුන් රටෙන් තුනෙන් එකක් පාලනය කරන බවද තමන්ගේම හමුදාවක් ඇති බවද ඔවුන් පරාජය කිරීම කල නොහැකි බවද ඔවුහු කිහ. මෙයට එකඟ නොවුණු මා කිවේ එල්ටීටීඊ සංවිධානය තමන් ගැන අධිතක්සේරුවකින් සිටින බවත් ප්‍රමාණයෙන් විශාල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වලට ඔවුන් අවශ්‍ය නම් පරාජය කල හැකි බවත්ය.

මෙහිදී ඔවුන් පැවසුවේ මා  ජාතිවාදී ස්ථාවරයක් ගන්නා  බවයි. මේ කතාව කියන්නේ ජාතිවාදීන් බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම  වලක්වන්නට කරන කතාවක්  බවත් ඔවුහු කීහ.
තවත් කීප දෙනෙකුද එකතුවුන මේ සංවාදයේදී ජවිපෙ අවසන් කැරැල්ලට සිදුවූ දේ මතක් කර දුන් මා  පැවසුයේ,  හමුදාවට අවස්ථාවක් දුනහොත් එවැනිම දරුණු ආකාරයකින් පවා මේ යුද්ධය  නිමවිය හැකි බැවින් එල්ටීටීඊ සංවිධානය අඩියක් පසු පසට රැගෙන අවම වශයෙන්   තමන් නියෝජනය කරන  මිනිසුන් ගැනවත් සිතා  සාකච්චා මේසයට පැමිණ වෙනම රටක් නොව ඊට වඩා  අඩු ස්ථාවරයකට  එළැඹීම වඩා  හොඳ බවයි. ඔවුහු අප සමග එකඟ නොවූ අතර අප ජවිපෙට සම්බන්ධ ජාතිවාදීන් බවට චෝදනා කළහ.

2009 යුද්ධය අවසන් වන අවස්ථාවේ මම ඉහත සිදුවීම එම මිතුරාට මතක් කර දුන් අතර සොල්හෙයිම්  බාලසිංහම් ට කියා බැණ වැදුනා යැයි  කී  කථාව  ඔහු පැවසුවේ එවිටය. (මගේ මුල් ලිප්යේ සඳහන් කල) .

දැන් යුධ අපරාධ ගැන මතක් කරන වේලේ  වෙනත් දමිල සගයෙකුගේ වෙබ් අඩවියක මා පැවසූ කරුණ වුයේ ප්‍රභාකරන් ගේ අධි තක්සේරුව විශ්වාස කරමින් ඔහු විවේචනය නොකර එල්ටීටීඊ සංවිධානයේ ස්ථාවරය ට  සහයෝගය දුන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු හා ද්‍රවිඩ සංසදයේ අයගේ දෑත් වලද මියගිය දෙමළ ජනතාවගේ ලේ තැවරී ඇති බවයි.  ඒ ඔවුන් අඩුමගනනේ කිලිනොච්චියන් පසුව වත් සමාදානයකට එළඹෙන්නට  ප්‍රභාකරන්ට බල නොකළ නිසාය.  කිලිනොච්චිය ඇද වැටීමට කලින් ඒ කුඩා නගරය සඳහා සටන ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වූවා වැනි සටන් වලට සමාන කරමින් ඔවුන් කියූ වගඩාඩම්බර කථා වලට සිනා සීමත් ශෝක වීමත් හැර වෙන යමක් අපට කළ  නොහැකි විය.
පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න මහතා මෙන්ම නව සම සමාජයේ ආචාර්ය වික්‍රමබාහු මහතා වැනි අයගේ ස්ථාවරය  එනම් එල්ටීටීඊ සංවිධානය විමුක්ති සංවිධානයක් ලෙස ගෙන සහය  දිය යුතුය යන්නට මට එකඟ වීමට නොහැක්කේ මේ නිසාය.  ඒ සිංහල රජය තරමට ම එල්ටීටීඊ සංවිධානයද නරුම වූ නිසාය. එංගලන්තයේ කප්පම් ගැනීමේ සිට, ක්‍රෙඩි කාර්ඩ් වංචා, මත  ද්‍රව්‍ය විකිණීම හා දෙමල නොවන තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවීමත් ඔවුහු අනුදත්හ. විප්ලවවාදී සංවිධාන  එවන් දේ වල යෙදෙන්නේ නැත.

මේ සිද්ධිය ගැන මගේ තවත් මිතුරකු පැවසුයේ මේ බ්‍රිතාන්‍ය හා කැනඩා මන්ත්‍රීවරු මෙන්ම ෆ්‍රැන්සිස් හැරිසන් ආදීනුත් එවැනි  ස්ථාවරයන්  ගත්තේ මුදල් හා චන්ද වලට  බවයි. එය ඔවුන් ගේ ජිවන මාර්ගයක් විය. අදටත් එය එසේමය.

විකල්ප සඟරාවේ පලවූ මේ ලිපියේ සිටම වාමාංශික යයි කියා ගන්නා මහත්වරු  තර්ක කරන්නේ සම්බන්ධන් ට විපක්ෂ නායක ධුරය දීම නිවැරදි බවයි. මෙහි ඇත්තේ සීනි  තැවරූ  කසාය  ගුලියක් බව ඔවුන් සඟවයි. එයට විරුද්ධව ලියන ඕනෑම කෙනෙක් ජාතිවාදී ගොන්නට හෝ "ජවිපෙ" නරුම ගොන්නට දැමීමට ඔවුහු මැලි නොවෙති.

විපක්ෂ නායකයා යනු ඊළඟ  ආණ්ඩුවේ නායකයාය.  ශ්‍රීලනිප ජාතිවාදී 47ට විකල්ප කණඩායමක්  ලෙස, විපක්ෂය ලෙස පිලි අරගෙන විපක්ෂ නායක පදවිය දුන්නා  නම් ඔවුන් ව සාකච්චාවට ගෙන නැවත නැවතත් පැරදවීමට හැකියාව තිබුණි.  ශ්‍රීලනිපය දෙකඩ වීමට ඉඩ හල යුතුව තිබුණි. ජනවාරි 8 මයිත්‍රී ට සහයෝගය දුන් ටීඑන්ඒ සම්බන්ධන් මෙතනට දැමූ  විට එය මග හැරී  යන අතර විපක්ෂ නායක ලෙස දෙමල ජනතාව වෙනුවෙන් පමණක් හෝ පෙනී සිටීමේ අවස්ථාව සම්බන්ධන් ගෙන් මග හැරී යයි.  එහෙමත් නැත්නම් විපක්ෂයේ සිට ඔහු දෙමල ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා වලට විරුද්ධ වීමටද රජයට අවකාශය සැලසේ.

කවුරුන් හෝ අර විරුද්ධ මන්ත්‍රීන් 47 දෙනාට විපක්ෂ නායක පදවිය දීම නුසුදුයි කියනවා නම් පසුගිය ආණ්ඩුවේ සිටි "හොරුන්ය " යන සම්මාන නාමය ලබා ගත් උදවියට ඇමතිකම් දීමෙන් කර ඇත්තේ කුමක්ද  යන ප්‍රශ්නය මතු වේ.

කොටින්ම  මේ කර ඇත්තේ හොර වැඩකි. විපක්ෂයේ සහයෝගය ඇතුව ප්‍රශ්නය නැවතත් යටපත් කර දැමීමේ උත්සාහයකි. වම යයි කියා ගන්න අය  මේ උපක්‍රමයට මුලින්ම ගොදුරු වී ඇති අතර දෙමළ   සන්ධානය පසුව ගොදුරු වනු ඇත. දෙමල ප්‍රශ්නය විසඳුමක් නැතුව තවත් දිග් ගැස්සෙනු ඇති අතර වෙනත් තරුණ සංවිධානයක් එම හිඩැස පිරවීමට එනු ඇත .

ෆේස්බුක් යහළුවකු වන ආචාර්ය සුරේන් රාඝවන් මෙසේ ලියා  තිබේ:

//"දෙමලිච්චන්ගේ ලෝකය ( or the World of Sambandan and Seven Sisters)
දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්දැයි?
මහා අදුරු නලින් සිල්වා තැනූ  තර්කයඅද බහුතරයේ ජාතිකවාදීන්ට ව්‍යූහාත්මක බුද්ධිමය පදනමක් සපයා ඇත . මා විසින් වරින් වර අසා ඇතිත්, සම්බන්දන්ගේ පත්වීමට විරුද්ධ සමයේ යලිත් ගොඩ නැගු ප්‍රතිතාර්කික පැණය නම් :
සිංහලයාට සිංහල වීම නිසාම ඇති බිය කුමක්ද? යන්නයි.
මෙය හුදෙක් ව්‍යූහාත්මක දේශපානයට පමණක් නොව 
සමස්ථ සිංහල සමාජ/දේශපාලන/සංකෘතික සවින්ඥානයටම කිඳා බැස ඇත්තේ  දෙමළා The Paradigmatic Ontological yet ( PostBuddhist) Subaltern other ...... යන මනස තුලය.
(In critical theory and postcolonialism, subaltern refers to the populations that are socially, politically and geographically outside of the hegemonic power structure of the colony and of the colonial homeland. - wikipedia )
කදිම අත්දෙකීමක් විය :
මම දුර කතනයෙන් කොළොඹ මා අතිශියෙන් ආදරය කරනා 
(ලිබෙරල්වාදී) මිතුරෙක් ඇමතුවෙමි. මහා කුරුළු නාදයක් පසුපසින් අසින මම ඒ හඬ නගන්නේ බට්ටිච්චන්ද මලිතන්දදැයි ඇසුවෙමි 
එවිට ඔහු එකවරම " අම්මේ අර කෑ ගහන්නේ දෙමලිට්ච්චෝ නේද යි විමසීය"
ජාතිකවාදය/ජාතිවාදය සොඳුරු මිනිසුන්  පවා අන්ධ කර ඇතිබව වැටහුනේ (මා පෙන්වා දුන්) පසු ඔහු එය 'හිතා මතා' නොකළ බව මට කී නිසාය. මම පිළිගනිමි. අපි හිතා මතා මහජාතිකයන් නොවෙමු.
ජාතිවාදය බොහෝ දුරට අවින්ඥානාක සවින්ඥනයයි.
අපි තවත් බොහෝ යන්නට ඇතිබව මට සිහින් රිදුමක් සමගින් මතක් විය.  "//

සිංහලයාට සිංහලයා  වීම බියක් සපයන්නේ මිලියන් අනූවක් දෙමල ජනතාව ජිවත් වන තමිල්නාඩුවක් ඇති නිසාත් එහි පාලකයන් චන්ද හා වෙනත් දේ බලාපොරොත්තුවෙන් ලංකාවේ දමිල ප්‍රශ්නය ඔද්දල් කරන නිසාත්ය.  ඉන්දියාවට ටිඑන් ඒ  නායකයන් දිවයාම පසුපසින් සිංහලයා ගේ බියද ඇදීයයි. රඝාවන්  මහතාට කියන්නට තිබෙන්නේ  ජාතිවාදී නොවන අප වැනි කොටස් සිටින  බවත් දෙමළ ජනතාව ගේ ප්‍රශ්නය විපක්ෂ නායක පදවියකින් නොවිසඳෙන බවත්ය. හේතුව මේ විපක්ෂ නායකයා ලංකාවේ ඊළඟ පාලකයා නොවන නිසාය. අනිත් රටවල නම් චන්දය දිනුව විපක්ෂ නායකයා ඊළඟ  අගමැතිය.  මේ වෙන්නේ රාඝවන් වැනි අයද නොදනුවත්වම එක්  වී සිටින තවත් රඟ පෑමකි.

ඉතිහාසය නැවත පුනරාවර්තනය වීමට නියමිතය. 





22 comments:

  1. ඉතිහාසය පුනරාවර්තනය වෙන්නේ මුලින් තත්වයට වඩා බොහොම බිහිසුනුව

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙනවා නම් හොඳයි.

      Delete
  2. ආණ්ඩුවේ ඉන්න බැරිනම් ගිහින් විපක්ෂයේ වාඩි වෙන්න හැබැයි 'විපක්ෂ නායක කමනම්' ඉල්ලන්න එපා කියල මයිත්‍රී මහත්තය සන්ධානේ මන්ත්‍රීන් කොටසකට කියුවලු.. විපක්ෂ නායක කමත් ආණ්ඩුවේම පත්වීමක් වෙච්චි එකම පාර්ලිමේන්තුවද කොහෙද මේක.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. බලං ගියාම මහින්ද මොනවැඩ කරලා තියෙන්නේ කියලා හිතෙනවා සිරාගේ ගේම් දක්කම

      Delete
    2. ගේම මොකක්ද කියල මම මේ තං කල්පනා කරනවා ? ශ්‍රීලනිපය බෙර ගන්න කවුරුවත් මෛත්‍රිව පත් නොකරපු නිසා.

      Delete
    3. //"තං කල්පනා කරනවා"// ඒවාට එහෙමත් පුලුවන්ද :P

      Delete
    4. හා හා , මටම මතක නැහැ මොකක්ද ලිව්වේ කියල. අර වැනෙන්නේ කල්පනා කරන කොට වෙන්න ඇති.

      Delete
  3. එයට විරුද්ධව ලියන ඕනෑම කෙනෙක් ජාතිවාදී ගොන්නට හෝ "ජවිපෙ" නරුම ගොන්නට දැමීමට ඔවුහු මැලි නොවෙති.//
    මේක සිංහල දමිළ පමනක් නොව මුස්ලිම් වුවත් බහුතරයක්ගෙ තියෙන මධ්‍යස්ථව දෙයක් දෙස බැලිමේ නොහැකියාවත් තමන් විශ්වාස දේ පිළිබදවම අන්ධ භක්තියකින් මෙල් එල්බ සිටීමත් ඒ තර්කයට නැගෙන ප්‍රතිතර්කයන් ට ගරු කිරීමට තරම් මානසිකත්වයක් නොපැවතීමත් නිසා ඇතිවන ප්‍රශ්නයක්... කොටින්ම කියනව ං තමන් සහ තමන් නියෝජනය කරන දේ/ මතය / පාර්ශවය පමණයි හරි අනික් අය වැරදි කියන මතයක් තමයි මේ අයගෙ තියෙන්නෙ කිසිම සාධනීයත්වයක් සාධාරණත්වයක් නෑ...

    ලිපියෙ සමස්ත අන්තර්ගතය නොසලකා හැරියා නොවෙයි.. මං කතා කරන්න අකමැති මාතෘකාවක් - දේශපාලනය තරම්ම අකමැති මාතෘකාවක්.. ඒකයි ලිපිය කියවලා පමණක් ිකා ඉන්න හිතුවෙ

    ReplyDelete
    Replies
    1. //මේක සිංහල දමිළ පමනක් නොව මුස්ලිම් වුවත් බහුතරයක්ගෙ තියෙන මධ්‍යස්ථව දෙයක් දෙස බැලිමේ නොහැකියාවත් තමන් විශ්වාස දේ පිළිබදවම අන්ධ භක්තියකින් මෙල් එල්බ සිටීමත් ඒ තර්කයට නැගෙන ප්‍රතිතර්කයන් ට ගරු කිරීමට තරම් මානසිකත්වයක් නොපැවතීමත් නිසා ඇතිවන ප්‍රශ්නයක්.// කීප දෙනෙක් හැබැයි මේ වගේ මතයකට පක්ෂව කතා කරලා තියනව මම දැක්ක.

      Delete
  4. මධ්‍යස්ත මතයකින් මේ දෙස බැලීම යහපතකි එයින් කිසිවෙකුට අවැඩක් සිදු නොවේවි කොහොම උණත් ඔය විපක්ෂනායක කම සම්බන්ධන්ට යනවට මා මුලින් තදබල ලෙස මගේ සිතත් එක්ක තර්ක කර ගත්තා, අහෝ ලංකාවට මොනවද මේ වෙන්න යන්නෙ කියල, ඇත්තටම අර පසුගිය මැතිවරණ කාලෙ විදේශ අත පෙවීම් ගැන නිතර නිතර කියෙවුණා මතක ඇති, එහි ආලෝක ධාරවක්ද මේ,
    ඔබ සමහර විට දන්නවද දන්නෑ මම එක්තරා දේශණයකට ගිය විට (දේශක මහාචාර වරයා) පසු ගිය මැතිවරයේදී බටහිර බලවේග විසින් මෙහෙයවනු ලැබූ 35000 පමණ පිරිසක් එම දිනවලට බෝහෝ කලින් මෙහි පැමිණ දේශියත්වය බාල්දු කරණ පාලකයින් හා කණ්ඩායම් මෙල්ල කිරීමේ වැඩපිළිවලක් ගෙන ගිය බව කියැවුණා, දැන් දැන් සිදුවෙන දේවල් දිහා බැලුවහම එහි ඇත්තක් නැතුවාම නොවේ,
    කෙසේවෙතත් අවසානයේ මම සිතා ගත්ත, සිංහල වන අපට මෙවැනි දේවල් සිදු වුණොත් මෙන තරම් වෛරයක් සිත් තුල ඇති වෙයිද කියා, මොකද පාර්ලිමේන්තුවේ බහුතරය ටී එන් ඒ එකට හදල දීල ඉර නිසා,
    කරුණු මෙසේ සිදුවෙද්ධි සිංහල කම හා සිංහලය යන්න කියන්නට අපි අපිම බිය වෙන දවසක් දුක් වෙන දවසක් අපගේ අවශ්ථාවාදී දේශපාලුවන් සකසා දෙනු නොඅනු මානයි. එහෙත් එවන් දෙයක් සිදු කළ අපේම අවශ්තාවාදීන් අපිටම ගරහමින් ජාතිවාදීන් යැයි හංවඩු ගසමින් ඔවුන් සමඟ සතුටු වේවි හරියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා දී වරදාන වරප්‍රසාද ගත්තා වගේ,
    හැබැයි දෙමළ පිරිසට දැන් කිව නොහැකියි අපට වෙනම පාළනයක් අවශ්‍යයි වෙනම රටක් අවශ්‍යයි එමෛන්ම අපිට සිංහල රටේ හරි සැලකිල්ලක් නැහැ කියා, මෙමඟින් දෙමළ ජනයා තුල පිටස්තර හැඟීමක් ඇත්නම් එය තුරන් වේවි යැයි සුබවාදීව සිතිය හැකියි,
    එහෙත් මෙහි සැඟවුණු බරපතල කරැණක් ඔබ හමුවේ තබමි, මේ ගැන වෙනම සංවාදයක් අවශ්‍යයි
    යම් හෙයකින් උතුරත් තමිල්නාඩුවත් අතර මාවතක් සකස් වුවහොත් දකුණට කේන්ද්‍රවූ සියලු දෑ උතුරට කේන්ද්‍රවීමත් උතුරද තමිල්නාඩුවේ සංස්කෘතියට හා අනෙකුත් සෑම අතින්ම සමාන ජනවර්ගයා බිහිව් ක්‍රමයෙන් ඉන්දියාව දෙසට සංක්‍රමණය වී උතුර ලංකා පාලනයෙන් මිදීම වැඩි ඈතක නොවේනු ඇත
    බලා සිටිමු බදුධිමත්ව තිරයෙ ඇතුලෙ වෙන්නෙ මොනවද කියා

    ReplyDelete
    Replies
    1. මගේ මුලික අදහස දෙමල ප්‍රශ්නය විසඳීම යනු විපක්ෂ නායක පදවිය දීම නොවේ කියන එක. සම්බන්ධන් ඒක අල්ලගත්තට මට මොකක්දෝ විචිකිච්චාවක් එතන තිබෙනවා. හැබැයි මම පැහැදිලිව ජාතිවාදයට නම් යන්නේ නැහැ. මම මාතලන් ගේ බ්ලොගයේත් මේ ගැන කිව්වා. මට බියක් නැහැ සිංහල ජාතිය ට මොකක් හරි වෙයි කියල. එක තියෙන්නේ සිංහලයන් අතේ . අපි එකට ජිවත් වෙන්නයි ඕනේ.

      Delete
  5. මම වැඩිපුරම ඔබෙ අඩවියට එන්නේ මම නොදන්නා කරැනු පිළිබදව දැනුම ඔබෙ ලිපි වලින් ලබා ගත හැකි නිසා.මට අඩුම දැනුමක් තියෙන්නේ දේශපාලන ක්ෂේත්‍රය ගැන.ඔබෙ ලිපි කියෙවිවත් ඒ ගැන සාර්ථක අදහසක් ඉදිරිපත් කරන්න හැකියාවක් නැත්තේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එහෙම කිව්වට. මම හුඟක් වෙලාවට රැල්ලට විරුද්ධව ලියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ contrarian කියල. ඒ කියන්නේ හුඟක් වෙලාවට මම සම්බන්ධන් පත් කිරීම පිළිබඳව පක්ෂ වෙන්න පුළුවන්. (යහපාලන රැල්ල) නැත්නම් විපක්ෂ වෙන්න පුළුවන් ජාතිවාදීව (නලින්, විරවංශ රැල්ල ) . නැත්නම් වෙනමම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. සංවාදයක් සඳහා.

      Delete
  6. අනේ මන්දා මේ දේවල් ගැන මොනවා කියන්නද කියලා.. තාම පටන් ගත්ත ගමන් මෙහෙම නම්, ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මුකුත් වෙන එකක් නැහැ. ප්‍රශ්නය වෙන්නේ එහෙම වුනොත්.

      Delete
  7. දේසපාලනය තාවකාලිකව එපාම වී සිටිමි.

    ReplyDelete
    Replies
    1. අපොයි ජොලිය තියෙන්නේ එතනනේ. මදුමධාවී බ්ලොගේ ඇරුනම.

      Delete
  8. අද අපේ ගමේ පාරක, කලින් දැක නැති දෙමල මිනිහෙක් ගියාට, ලොකු කලබැගෑනියක් වෙන්නේ නැහැ. මේකා කොහෙද යන්නේ කියලා නිකම් බලනවා විතරයි. කිලිනොච්චියේ ඇතුලේ තියන ගමක පාරක, ඔබ තනිව ඇවිදින්න. ටිකකින් පොලීසිය හෝ හමුදාව එනවා, කොහෙද යන්නේ කියලා අහන්න. දෙමල මිනිස්සුන්ට මේ රටේ ඕනෙම තැනක යන්න නිදහස තියනවා. ඒක ලොකු සතුටක්. යුද්ද කාලෙදිත් ඒ නිදහස තිබුණා.

    විපක්ෂ නායකට වඩාගන්න දුන්නේ එසේ මෙසේ බබෙක් නෙවෙයි. විපක්ෂ නායකකම කියන බබා හදාවඩාගැනීමේ අභියෝගය ලෝකයම නිරීක්‍ෂණය කරනවා. අන්න එහෙමයි ජාතිවාදයට උත්තර දීලා තියෙන්නේ. විපක්ෂ නායක ජාතිවාදී වුණොත්, කෝටුව අතට ගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

    ආණ්ඩුව නමැති ඉබ්බා, හෙමින් යමින් නිසි ඉලක්කයට යනු ඇති. විපක්‍ෂය හාවා වගේ දිව්වොත් ඉක්මනින් හති වැටෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. 1. //කිලිනොච්චියේ ඇතුලේ තියන ගමක පාරක, ඔබ තනිව ඇවිදින්න. ටිකකින් පොලීසිය හෝ හමුදාව එනවා, කොහෙද යන්නේ කියලා අහන්න. //
      2.දෙමල මිනිස්සුන්ට මේ රටේ ඕනෙම තැනක යන්න නිදහස තියනවා. ඒක ලොකු සතුටක්. යුද්ද කාලෙදිත් ඒ නිදහස තිබුණා. // එතකොට විචාරක මේ අංක එක සහ අංක දෙක එකිනෙකට කොන්ට්‍රඩික්ට් වෙනවනේ.

      Delete
    2. ආණ්ඩුව හෙමින් හරි ඉලක්කයට යනවා නම් හොඳයි. මම අර මාතලන්ට හෙම කිව්වා වගේ මම එක හෙලාම මේ පත්වීමට විරුද්ධත්වයක් නැහැ.මෙතන කරන්නේ වෙනත් මානයකින් බැලීමක්. අනික අපි මේ ගොල්ලන්ව විවේචනය නොකර හැම වෙලේම හොඳම කියන්න ගත්තොත් අර කලින් හිටිය කට්ටිය් වගේම complacent වෙන්න ගන්නවා. පොඩි විවේචනයක් දාගෙනම යමු.

      Delete
  9. සම්බන්ධන්ගේ පත්වීම ගැන මට තියෙන්නේ මිශ්‍ර හැඟීමක්.කොහොම වෙතත් අජිත් අයියා කියනවා වගේ දැන් යහපාලනේ විජ්ජා පෙන්වන්න වගේ අරන් තියෙන්නේ.ඉතිහාසය නැවත පුනරාවර්තනය වෙන කොට අපි වැරැද්ද ගත්ත තැන් හදාගෙන තිබ්බා නම් අවුලක් නැති වෙන්ටත් තිබ්බා.

    ReplyDelete
  10. /ඉතිහාසය නැවත පුනරාවර්තනය // තවම වෙලා නැහැනේ, එක නිකම් ඉස්සරහට වෙන්න පුළුවන් වගේ කියල කියන දෙයක්. හදා ගෙන යමු. නලවන්න ගත්තොත් කට්ටියත් එක එක සෙල්ලම් ගෙන එයි. ඔය එතනෝල් කාරයෝ මුතුහෙට්ටිල ගත්ත වගේ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .