Sunday 9 June 2019

71, ප්‍රේමපාල හා සිරිසේන - නන්දන වීරරත්න

ප්‍රේමපාල හේවාබටගේ '71 කැරැල්ලට හසුව සිට ඉන් නිදහස් ලැබූ අයෙකි. ජවිපෙ පන්ති පහ ශ්‍රී ලංකාවේ පතුරුවන්නට ක්‍රියා කළ අයෙකි. ඔහු පිළිබඳව වෙබ් අඩවි වල සහ බ්ලොග් වල ලියවී තිබේ. ඔහු  '71 හා ඉන්පසුව විජේවීර මහතාගේ හා ජවිපෙ විකාශනය හැදෑරීමේ දී වැදගත්ම චරිතයක් බව වටහා ගත්තේ මේ ලියවිලි තුලිනි. එනිසා නන්දන වීරරත්න  ගේ මේ ලිපිය ඔහුගේ අවසරය ඇතිව පළ කරමි. 

අජිත් පැරකුම් ජයසින්හ විසින් ලියා ඇති ලිපිය: ප්‍රේමපාල හේවාබටගේ නම් විප්ලවවාදී සන්නාලියා . අජිත් පැරකුම් තම ලිපිය අවසාන කරන්නේ මෙලෙසය.  ප්‍රේමපාල හේවාබටගේ වැදගත්කම ඔහු අපුරුවට දක්වයි.
"ප්‍රේමපාල හේවාබටගේ යනු පත්තරවල කොටස් වශයෙන් කතා ලියැවුණ, පොත්පත්වල විග්‍රහ වුණ චරිතයක් නොවුණත්, ඔහු ලංකා ඉතිහාසය නම් සළුව මහන විට එහි ඔහු එහි වැදගත් නූල් පොටකැයි මම සිතමි."- අජිත් පැරකුම් 

වෛද්‍ය රුවන් ජයතුංග විසින් ලියා ඇති  ලිපිය: ප්‍රේමපාල හේවාබටගේ - අපරාජිත කැරලිකරුවා


71, ප්‍රේමපාල හා සිරිසේන - නන්දන වීරරත්න 

1971 තරුණ නැඟිටීමේ එක් නායකයෙක් වූ ප්‍රේමපාල හේවාබටගේ අද අවසන් ගමන් යන්නේ එම කැරැල්ලේම සැකකරුවෙකු වී සිරගතවී සිටි සිරිසේන කෙනෙක් රටේ ජනාධිපතිව සිටිද්දීය. 1971 අප්‍රියෙල් තරුණ නැඟිටීම දහස් ගණනක් ජාතික මට්ටමේ හා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් බිහි කලේය. මහැදුරන්ගේ පටන් ගුරුවරුන් දක්වා උගතුන්ද වැදුවේය. නමුත් ටේලර් හෙවත් සන්නාලි  රස්සාවෙන් දේශපාලනය පැමිනි ප්‍රේම් අනාගතය දැකීමෙන්ද භාවිතයෙන්ද මේ සියලු දෙනා පරදා නැඟී සිටියේය.

ඔහු දේශපාලනය පටන් ගත්තේ සනා හෙවත් ශන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පක්ශයෙනි. ශන් යනු ලංකාට අමතකවූ බලවත් දේශපාලන චරිතයකි. ලංකාවේ බහුතර සිංහලයන් සමඟ එක්වී කොමියුනිස්ට් විප්ලවයක් කරන්නට පක්ෂයක්  හැදූ මුල්ම දෙමලා ශන්ය. එහිදී කුමාර් ගුනරත්නම් ශන්ට දෙවෙනි වෙයි. යාපනයේ කුලවාදී දේවාලවලට කුල පීඩිතයන් සමඟ කඩා වැදුනු මුල්ම වෙල්ලාල කුලවතාද ශන්ය. එහෙවි ශන් ගේ ගෝලයෙකු වූ ප්‍රේම් ජීවිත කාලයේ කිසිම දිනක ජනප්‍රිය දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය වෙත  හැරුනේ නැත. ඔහුගේ දෙවැනි නායකයා රෝහණ විජේවීර පවා 1966 දී සෙසු වාමාංශික නායකයන් සමඟ මසල වඩේ පෙලපාලියේ ගියත් ප්‍රේම් මේ උපක්‍රමික ජාතිවාදී ගමන ප්‍රතික්ශේප කලේය.

ඔහුගේ මේ යකඩ ප්‍රතිපත්ති කොතෙක් ශක්තිමත් වූවේද යත් 1988/89 දී ජනතා සංගමයේ කොටසක් ජවිපේ විනාශ කිරීමට ප්‍රේමදාස ආන්ඩුවේ ආයුධ  ගෙන හමුදා වලට එකතු වෙද්දී ද  ඔහු මේ ප්‍රතිවාදි ගමන ප්‍රතික්ශේප කලේය. ධනපති ආන්ඩුවක් සමඟ ජවිපේ මර්ධනය කිරීමට වඩා සැඟවී ජීවිතය බේරා ගැනීම උතුම් යයි ඔහු ව්ශ්වාස කලේය.

1971 කැරැල්ල ගැන තවමත් අප නිම නොකල වාර්තා චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේම් සමඟ කතාකරන්නට ගිය අපට අසාගන්නට සිදුවුයේ ඔහුගේ කැරලිකාර ජීවිතයට වඩා එම යුගයේ දේශපාල පසුබිමය. මේ වෙනුවෙන් අප හමුවූ බොහෝ නායකයන්ට තිබූ එකම ප්‍රශ්ණය සටන තමන්ට පටන් ගැනීමට නොහැකිවී රෝහන විජේවීර පටන් ගැනීමය. නමුත් ප්‍රේම්ට රෝහන විජේවීරට ගෞරවය දෙද්දී කිසිම මමංකාරයක් හෝ ලෝභ කමක් තිබුනේ නැත. ඔහු හැමදාමත් රෝහන විජේවීරගේ දේශපාලනය විවේචනය කලත් ඒ හැමතැනදීම විජේවීර සහෝදරයා නමින් පැරණි සගයාට ගෞරව කිරීමට මතක නොකලේය.

ඉතින් 1971 දී හිරේ යාමත් ඉංදියානු නිදහස් සටනේදී වගේමය. ඉංදියානුවෝ දුම්රිය  මාර්ගවල විරෝධය පා වාඩිලා ගත්විට පොලිස් අත් අඩංගුවට පත්වූවන් අතරේ වැසිකිලියාමට රේල් පාරට ගිය එවුන්ද විශාල පිරිසක්ද පොලිස් අත් අඩංගුවට පත්වුනේය. මේ නිසා හිරේ ගිය ඉංදියන් නිදහස් සටනේ වීරයන් සොයද්දී කක්කුස්සි ගිය එකා හා සටනට  ගිය එකා තෝරා බේරා ගැනීම අපහසු වුනේය. මේ ගැටළුවම 71 සිරගතවූවන්ටත් තිබේ. එකල සිරිමාගේ සමඟි පෙරමුන පුද්ගලික හතුරන්ද හොරපොල් කැඩූවන්ද කෙසෙල් කැන් කැපූවන්ද පෙත්සම් හා ඔත්තුනිසා හිරේ දැමුවේය. මේ අනුව බලද්දී ප්‍රේම් හා සිරිසේන ල අතරේ තිබූ වෙනසත් එබඳු එකක්දැයි අපිට දැන් දැන් සැක ඇති කරන්නේය.

හිරෙන් පැමිණි ප්‍රේම් ජීවත් වීමට නොයෙකුත් රැකියා කලේය අවසාන ඔහු පරිසර ව්‍යාපාරවලට එකතුවී වැඩ කලේය. ඔහුට අපේ පරම්පරාව හෝ ඉන්පසු පරම්පරා සමඟ පෑහීමට කිසියම්  භාදකයක් තිබුනේය ඔහුගේ විප්ලවීය මතත් හැසිරීමත් ඔහු සදාකාලික තරුණයෙක් බවට පත් කලේය. ප්‍රේම් ගේ මතකය අප තුල හැමදාමත්ම ඉතිරිවන්නේ ඔහුගේ මේ දුර්ලභ ගුණය නිසාය.
-නන්දන වීරරත්න 

8 comments:

  1. මට අද උදේ අහපු ප්‍රවෘත්තියක් නිසා මනෝගනේශන් ගැන විශාල කලකිරීමක් ඇතිවුනා.

    එයා අරාබි අකුරු තියෙන නාම පුවරු ඉවත්කරන්න නියෝග කරලා.


    දෙමළ බසටත් සිංහල බස හා සම තැනක් ලැබිය යුතුයැයි කියන මනෝු ගනේශන්ට. ජාත්‍යන්තර බාශාවක් වූ අරාබි බසට ඒ තැන ලැබීෘමට විරුද්ධ වෙන්න අයිතියක්නෑ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාශාව කිරීමට පමණක් දෙවැනි මෙම අපරාධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේක පැරඩියක් වගේ කොමෙන්ට් එකක්. මම හිතන්නේ මනෝ ගනේෂන් හරි . ලංකාවේ භාෂා තුනක් තියනවා, සිංහල. දෙමල සහ ඉංග්‍රීසි . තුනම දැනට රාජ්‍ය භාෂා. වෙන ඒවා අවශ්‍ය නැහැ. අරාබි භාෂාව ලංකාවේ එත්නික් භාෂාවක් නෙමේ. මුස්ලිම් අය කතා කරන්නේ ඒ භාෂා තුන. අරාබි භාෂාව සමහරවිට තව අවුරුදු 100 ඔය තැනට එයි ඒ ගොල්ල කතා කරන්න පටන් ගත්තොත්. එතකොට බලමුනේහ් .

      Delete
    2. Jagath Pathirana15 June 2019 at 07:03

      එහෙනම් දෙමලත් අවශ්‍ය නෑනේ සිංහල විතරක් තිබුනාම ඇතිනේ. අනිත් අතට දෙමළ ජාතිවාදියා බාශාව පාවිච්චි කරන්නේ සිංහල විරෝධී ආයුධයක් හැටියට මිසක් සාධාරණ අවශ්‍යතා වෙනුවෙන් නෙමෙයි.
      මේ කාරනාම මාක්ස් වාදීන්ට සහ ක්‍රිස්තියානි කාරයින්ට තේරෙන් නැති වුනාට වෙනත් ඕනේ ගොනෙක්ට තේරෙනවා.

      Delete
    3. දෙමළ අවශ්‍ය නැහැයි කියන්න බැහැ. දෙමළ උතුරේ, නැගෙනහිර උඅ උඩරට වතුකරයේ භාවිතා වන ප්‍රධාන භාෂාවක්. මුස්ලිම් අයගෙනුත් භාගයකගේ මව් භාෂා දෙමළ , ඒක එත්නික් භාහවක් ලංකාවේ . ඕනේ ගොනෙක්ට ඒක තේරෙන්න ඕනේ. දෙමළ ජාතිවාදියා හෝ සිංහල ජාතිවාදියා භාෂාව පවිච්හි කරන ආකාරය ඒකට අදාළ නැහැ. නැචුරල් ජස්ටිස් කියල එකක් ලෝකේ තියනවා. ජාතිවාදී පිස්සන්ට ඕනේ හැටියට නටන්න දුන්නහම වෙන්නේ රටක් විනාශ වෙන එක. දැන් පේන්නේ නැත්ද බ්‍රිතාන්‍යය ට වෙන්න යන දේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .