අපේ අසල්වැසියා බ්‍රයන් 9 - සුනාමිය
*********************************************
2004 දෙසැම්බර් වල ආහාර ගෙන අලසව සිටිද්දී එක දිගට ජර්මනියේ නොයෙකුත් නෑදෑයන් ගෙන් දුරකථන ඇමැතුම් ගලා එන්නට විය , සාමාන්‍යයෙන් මේ අහවලා , මේ අහවලා යනුවෙන් ඇනෙට් පහදා දෙන මුත් මේ අවස්ථාවේ මුහුණ බැරෑරුම් කරගෙන රූපවාහිනියේ චැනල වෙනස් කරන්නට කීවාය . ලංකාවට මුහුද ගොඩ ගැලූ විත්තිය ප්‍රධාන සිරස්තල වලය . ලංකාවට ආධාර කිරීම ජර්මන් ඥාතීන් ගෙන්ද ලැබුණු මුදල් ඇතුව ජනවාරියේ ලංකාවට ආ පසු යහළු යෙහෙළියන් කිහිප දෙනෙකු ඇමතීමි .
මුලින් එකතු වූ යහළුවන් අතර සාගර , ශාන්ත , ශ්‍රීනාත් , නීල් , ආශා , සුමුදු , සුසුජි, ප්‍රශාන් , නීත් , මංගල ආදීන් විය . අපි කන්ටේනර් දෙකක් පමණ ඇඳුම් හා අවශ්‍ය භාණ්ඩ යැව්වෙමු . ඉන්පසු ෂෙයාර් ඇන්ඩ් කෙයාර් යනුවෙන් චැරිටි සංවිධානයක් පිහිටුවාගෙන ළමුන් සඳහා ආධාර කරන්නට පටන් ගතිමු . මා හඳුනන දම්මදේශ අම්බලම්පිටිය නමැති ගුරුතුමෙකු ළමා සංවිධානයක් බොහෝ කලෙක සිට පිහිටුවාගෙන තිබුණි , ඒ හරහා මාතර හා හම්බන්තොට පාසැල් සිසුන්ට , පොත පත , සපත්තු සහ පාසැල් උපකරණ බෙදා දුන්නෙමු . ඒ සඳහා සහභාගී වූ නිකි කින්ච් මහත්මිය තවමත් එක දරුවෙකු සඳහා ශිෂ්‍යාධාර ගෙවන්නීය.
අපි මාපිය දෙදෙනාම හෝ එක දෙමාපියකු නැතිවූ දරුවන් විසි පස් දෙනෙකුට පමණ ශිෂ්‍යධාරය ලබා දුන්නෙමු . අපේ ඉහත කි යහළුවන්ට අමතරව වෙනත් බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ද මෙයට ආධාර කළ අතර ශාන්ත හා මොනිකා ශෆේ නමැති කීව් උද්‍යානය සම්බන්ධව රැකියා කල ජර්මන් උද්භිද විද්‍යාව මහාචාර්ය වරියක් වසර විස්සක් තිස්සේ තවමත් ආධාර කරති . ජෑන් සහ කීත් නෝට්ලි යන බ්‍රිතාන්‍ය වැසියන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා මේ වසර වනතුරු උදව් කලත් අලින් රැක බලා ගැනීමේ පදනමකට උදව් කිරීම සඳහා ඔවුන් ශිෂ්‍යාධාර නැවත්වූහ. ඒ ආධාර කල දරුවන් දැන් වැඩිමහල් වියේය. දැන් මා ළමුන් පස් දෙනෙකුට පමණක් ආධාර කරමි . ඉදිරි වසර දෙක තුල බොහෝ විට එය අවසන් වූ පසු චැරිටිය වසා දැමීම මගේ බල පොරොත්තුවයි .
මාතර දී අපේ ආධාර බෙදා හැරීමට උදව් කල පන්සලේ ගත් පහත පින්තුරයේ සිටින්නේ නිකි හා දම්මදේශ මහතාය. කීත් සහ ජෑන් යුවල ළමයි පිරිසක් සමග තෙවෙනි පින්තූරයේ සිටිති .
අපේ චැරිටි වැඩ දෙස උනන්දුවෙන් බලා සිටි බ්‍රයන් ෆ්‍රී මේසන් කතාව නැවත ඇද්දේය . ලන්ඩන් ෆ්‍රී මේසන් සංවිධානය ලංකාවට පවුම් ලක්ෂයක් (දැන් මුදලින් රුපියල් මිලියන් 37 පමණ ) ප්රදානය කල බව ඔහු පවසා සිටියේය . එම ප්රදානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ෆ්ෆ්රී මේසන් ලොජ් එකකට බව ඔහු පැවසීය. ෆ්‍රී මේසන් හි ප්‍රධාන ප්‍රතිපත්ති තුන සහෝදරාත්මක භාවය , උදව් කිරීම (චැරිටි) සහ සත්‍යවාදී බව යයි ඔහු කීවේය. ( The Three Grand Principles of Freemasonry are Brotherly Love (friendship), Relief (charity) and Truth (integrity). Charity is therefore one of the three great pillars which support the fraternity.) මෙසනික් වරු කරන නොයෙකුත් චැරිටි වැඩ ගැන බ්‍රයන් ලොකු විස්තරයක් ද කළේය . මේ සියල්ල ම බඳවා ගැනීමට ඔහුගේ ප්රයත්න බව තේරුණු නිසා මම ඒවා මග හැරියෙමි.
මෙසනික් ටෙම්පල් මෙහි හැඳින්වෙන්නේ ලොජ් කියාය . ලංකාවේ එවැනි ටෙම්පල් එකක් ගැන ප්‍රා ජේ මෙවැනි යොමුවක් පෝස්ට් කර තිබුණි . ලංකාවේ පළමු මෙසනික් විහාරය .
බ්‍රයන් ඉන්පසු හොඳ නිලයක් සොයා ගත්තේය . ඒ ඉනෙස්ට රෝයල් මෙසනික් ස්කුල් ෆො ගර්ල්ස් නමැති පාසැල ගැන කීමෙනි . ගැහැණු ළමුන් සඳහා රාජකීය මෙසනික් කාන්තා පාසැල නම්වූ එය අප සිටින හට්ෆඩ්ශයර් ප්‍රාන්තයේ පිහිටා තිබුණි . පාසැල් සෙවීම අමාරු නිසා මා ෆ්‍රී මේසන් වුවහොත් ළමයි එයට දැමිය හැකි යයි ඉනේස්ට බ්‍රයන් කියා තිබුණි . මේ නිසා මා ෆ්‍රී මේසන් වරයෙකු වීම පිළිබඳව ඉනෙස් ගේ අකැමැත්තක් නොතිබුණි . ඇය වැඩි දුරටත් මට කීවේ එය හොබියක් ලෙස සලකන්න යයි කියාය .
බ්‍රයන් සහ මයිකල් මේ කාලයේ අප ආසියාතිකයන්ව දැඩි ලෙස විවේචනය කරමින් උන්හ. ඒ හතේ පන්තියේ තරඟ විභාගයට (ශිෂ්‍යත්ව විභාගය වැනි) ළමයි ටියුෂන් යැවීම පිලිබඳවය. මගේ දියණියන් ළඳරු වයසේ නිසා මම ඒ ගැන කල්පනා නොකළ මුත් පසු කලෙකදී ඔවුන් කි දේ ඇත්ත බව වැටහුණි . මේ ටියුෂන් වසංගතය ලන්ඩනයට පුරුදු කලේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්, ඉන්දියානුන් කොටසක් සහ චීනුන් ය. ඔවුන් අනුව යමින් සිංහලයන් සහ අනිකුත් ජාතීන් ද එය කරන්න පටන් ගත්හ . දැන් ඉංග්‍රීසි පවුල්ද දරුවන් ටියුෂන් යවති . ගුරුවරුන් ගුරු සේවයෙන් ඉවත් වෙති . අපේ ලොකු දුවට පාසල් සොයන්නට ගිය වෙලේ බානට් ප්‍රදේශයේ ගැහැණු ළමුන්ගේ ග්‍රමර් (ඉහළ බුද්ධි මට්ටමේ දරුවන් සඳහා වූ රජයේ පාසල්) පාසැලක සිටි තිස් දෙනාගෙන් 28ක්ම දෙමළ ළමයින් ද එක අයෙක් චීන හා අනෙක් අයෙක් ග්‍රීක් ද විය . එක ඉංග්‍රීසි හෝ අයිරිෂ් ළමයෙක් සිටියේ නැත .
බ්‍රයන් ලා කී කතාවම එක විදුහලක විදුහල්පති (මෙහි කියන්නේ අධ්‍යක්ෂක කියාය ) කීවේ මෙලෙසය . කරුණාකරලා ඔබලාගේ ළමයින් ඉංජිනේරු සහ විද්‍යා (වෛද්‍ය) විෂයයන්ට අමතරව අනිකුත් දේවලුත් ඉගෙන ගන්න කියන්න . අපට (එංගලන්තයට) ඒ පැති වලිනුත් උගතුන් අවශ්‍යයි . එසේ කීවේ කරුණාවෙන් මිස තරහකින් නොවේ . වෙනත් විෂයන් සඳහාද දක්ෂතා ඇති සිසුන් අවශ්‍ය බවය ඔහු පැවසුවේ .
අපි පසු කලෙක වසර 2011 දී දියණියන් ඇතුලත් කලේ වෙනත් ජාතිකයන් බහුලව ජිවත් වෙන පෙදෙසක මිශ්‍ර පාසැලකටය .
ඉහත කී හේතු කිහිපය නිසා මම අවසානයේ ෆ්‍රී මේසන් සංවිධානයට බැඳීමට කැමැත්ත දුන්නෙමි . එයට තවත් හේතුවක් දෙකක්ද විය . මයිකල් ගේ පෙම්වතිය (ඔහු වැඩිමහල් පිරිමි දරුවෙක් සිටින දික්කසාද වූ අයෙකු විය.) මයිකල්ට ඇය සමග ජීවත්වන්නට ආරාධනා කලාය. එනිසා මයිකල් බ්‍රයන් ගේ නිවසින් ඉවත්ව යාමට තීරණය කර තිබුණි . අප බොහෝ විට අසා ඇත්තේ සුදු මිනිසුන්ගේ විවාහ බිඳී යන බව හා ඔවුන් සෙනහස ඇති සම්බන්ධතා වලට නොයන බවය . නමුත් මා දුටු දෙයක් වන්නේ අප දන් දීම යනුවෙන් කරන දේ ඔවුන්ද චැරිටි යනුවෙන් හඳුන්වා ගනිමින් කරන බවය . එසේම තමා කැමති සහකරු හමුවනතුරු නොගැළපෙන අය ඉවත් කිරීමට දෙවරක් නොසිතන බවය . එසේම ඒ තෝරාගත් හරිම සහකරුට දිවි හිමියෙන් කැප වෙන බවය. ඉනෙස් ගේ ආච්චි සහ සීයා ගේ විවාහ ජීවිතය වසර පනහකි .
මයිකල් ගේ පෙම්වතිය ඔහුට ඇගේ නිවසට ආරාධනා කලේ මයිකල් පිළිකාවකින් මිය යන බව දැන ගෙනය. ඔහුගේ අවසන් කාලය සතුටෙන් තබන්නට හා ඔහුට ඇප උපස්ථාන කිරීමට ඇයට අවශ්‍ය විය . බ්‍රයන්ට ෆ්‍රී මේසන් හමුවීම් වලට යාමට අයෙක්ද මේ නිසා අහිමි විය .
මෙහිදී එක බාධකයක් වූයේ මගේ අදේවවාදී ස්ථාවරයයි . ෆ්‍රී මේසන් සංවිධානයට බැඳෙන අයෙක් අනිවාර්යයෙන් දෙවි කෙනෙක් ඇදහිය යුතුය. බ්‍රයන් සොයාගත් විසඳුම නම් සියලුම් දිවුරුම දීම් ආදියට මම ලෝඩ් වෙනුවට ලෝඩ් බුද්ධා කිව යුතු බවය . මා එතරම් ආගමික නොවූ බව කී විට බ්‍රයන් ඊට විරුද්ධ විය . ඒ දිනවල ලන්ඩන් පැමිණ සිටි මගේ මව සමග කින්ස්බරි පන්සලේ මගේ පියා වෙනුවෙන් අපි දානයක් දුන්නෙමු . බ්‍රයන්ටද දානයෙන් කොටසක් ලැබුණි . එසේම අපේ කුඩා ගෙවත්තේ මෙන්ම ගේ ඇතුළෙද බුදු පිළිම දෙකක් තිබුණි.
"උඹ පිළිම තියන් ඉන්නව කියන්නේ, පන්සල් යන්නේ, බුද්ධා ව අදහන්නේ දෙවියෙක් වගේ කියන එකයි". යයි බ්‍රයන් කී ඊට
"දෙවියන්ට පිළිම නැහැනේ." යනුවෙන් පිළිතුරු දුනිමි .
"ඒකෙන් අවුලක් නැහැ . උඹ ලොජ් එකේදී දිව්රුම් දෙනකොට විතරක් ලෝඩ් බුද්ධ කියල කීවම හරි . අපි සළකන්නම් එය දෙවියන් වෙනුවට ආදේශයක් කියල " බ්‍රයන් ට ද හැම තර්කයටම ප්‍රති තර්කයක් තිබුණි .
අනිත් හේතුව වූයේ මගේම කුතුහලයයි . මා යහළුවන්ගෙන් දැනගත් හා කියවා තිබු දේවල අනුව මේ අපූරු සංවිධානය ගැන දැන ගැනීමට නම් ඇතුළට යා යුතු බව මටද සිතුනි .
ප . ලි . - මේ කතාවේ ලියන බ්‍රයන්ගේ අදහස් මා ඇසූ ලෙසින්ම ලියන අතර ඒවා මගේ අදහස් හා මතවාද සමග සමහර විට නොගැලපිය හැකිය .
-- මතු සම්බන්ධයි.
කොළඹ ගමයා 26/01/2025