|
රෙකුලාසි පාලම |
ප්‍රියාන් දැන සිටියේ ඔහුගේ මිත්‍ර රුසියානුවා කීදේ පමණි. තාන්යා ගේ සොහොයුරිය ලේනා ප්‍රියාන් සමග කතාබහ කිරීම ප්‍රතික්ෂේප කළාය. ඒ වෙනුවට ඇය කළේ රුසියානුවාට යම් විස්තරයක් කීමය.
ප්‍රියාන් කියන දේ අවධානයෙන් අසාගෙන සිටියා විනා කිසිවක් නොකී ගිහාන් ගෙතුළ කරන පෙරළිය ඔහුට ඇසුනේ අවසන් නොකළ ඇමතුමේ රිසීවරය තුලිනි. අවසානයේ දුරකථනය අතට ගත්තේ නිලන්තය.
"ප්‍රියාන් ගිහාන්ට මොනවාද කීවේ " නිලන්ත ඇසීය.
"මචන් මගේ යාළු රුස්ස ලියොනිඩ් තමයි තාන්යා ගේ අක්කව හම්බ වුනේ. මට කතා කළේ නැහැ. තාන්යා මැද පෙරදිග රටකට ගිහින් තියෙනවා. කැමැත්තෙන් වෙන්න ඕනේ. මොකක් හරි මොඩෙලින් වැඩකට කියල. ගිහාම වෙලා තියෙන්නේ වෙන දෙයක්. එහෙදි බලෙන් තියාගෙන ඉඳල එන්න බැරිවෙල. හැබැයි ආවට පස්සේ මොස්කව් වල පොඩි මාෆියා ගෘප් එකක් උස්සන් ගිහින් තියාගෙන ඉඳල. ඔය ටික තමා දැනට කීවේ." ප්‍රියාන් පැවසීය.
"ගිහාන්ට දරා ගන්න බැහැ මචන් "
"මම හුඟක් දවස් කල්පනා කරලා කීවේ. රුස්ස මට කිව්ව හැම විස්තරයක්ම කිව්වෙත් නැහැ. දැන් මොකද කරන්නේ."
ප්‍රියාන් ඇසුවේ ඔහුට කිසියම් දෙයකට වැරෙන් පහර දීමක් වැන්නක් ඇසුණු හෙයිනි.
"අර කොෆී ටේබල් එකට ගහල කැඩුවා. වතුර ගුරුලේත්තුව පොළේ ගැහුවා. කබඩ් දෙක තුනකම දොරවල් පයින් ගහල කඩලා දැන් අතන විශාඛා එක්ක ඉඳගෙන ඉන්නවා ඔලුවත් බදාගෙන. මොකද කරන්නේ. මේවා ඇත්තටම වෙච්චි ඒවාද? මෙහෙත් ඔය රුසියාවේය කියන කෙල්ලො නම් ඉන්නවා. ඔය මැද පෙරදිග නම් අජූතයි මම හිතන්නේ " නිලන්ත කීවේ ගිහාන්ට නොඇසෙන්නට ය.
"මචන්, මැද පෙරදිග මිනිස්සුන්ගේම වරදක් නෙමේ. රුස්ස කියපු විධිහට මට තේරුනේ ඕව ජරා රුස්සොම කරන දේ විධිහට. මැද පෙරදිග ඉන්න එකා දන්නේ නැහැනේ කැමැත්තෙන් ගේනවද නැත්ද කියල. උන් කරන්නේ ගනුදෙනුවක්. උන් සල්ලි ගෙව්වම උන් ඒකට සර්විස් එකක් අපේක්ෂා කරනව. බටහිර ගැහැණු, මොඩෙලින් කරන සමහර එවුන් ඔය අරාබි කාරයන් ගේ යොට් වලට එහෙම කැමැත්තෙන් යන්නේ. මොනකෝ වල හෙම ඔය වගේ දේ ඕන තරම් වෙනවා. මම දන්නා විධිහට මොස්කව් වල ඉන්න සමහර ලංකාවේ බිස්නස් කරන එවුනුත් කලා. තවම කරනවා ඇති. ඉන්දියන් කාරයෝ , අප්‍රිකානු ශිෂ්‍යයෝ, රුස්සෝ එක්ක එකතු වෙලා තමන් යාළුවෙලා හිටි කෙල්ලන් පවා සිංගප්පුරුව වගේ රටවලට ගෙනල්ල හෝටල් වල තියාගෙන වික්කලු. මුන් ඔය රටවල ඉගෙන ගත්තද කියලත් වෙලාවකට හිතෙනවා. ලංකාවේ එහෙම කරපු එකෙක්ම මට කියල තියනව කෙල්ලන්ට කියලයි එක්කන් ගියේ කියල. ඇත්තද බොරුද දන්නේ නැහැ. ගිහාන් ට ඕක අනුමාන කරන්න එච්චර අමාරු නැහැ. ඌ දන්නවා " ප්‍රියාන් කීයේය.
රුසියානුවන්ට විශේෂයෙන් රුසියානු හෝ ඒ අවට පැරණි සෝවියට් සමූහාණ්ඩු වල සෝවියට් ක්‍රමය ඇතුලේ සාපේක්ෂව ආරක්ෂිතව සිටි මිනිසුන් සෝවියට් ක්‍රමය පෙරලී ලැබුණු නිදහස තුල අතරමං වූහ. නව ක්‍රමයට හරිහැටි මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන බොහෝ අයට අවබෝධයක් නොවීය.
"ඔය හොස්ටල් වල හෙම හිටපු කෙල්ලන්ගෙන් සුළු කොටසක් මාෆියා පැත්තට ගියා . අනිත් උන්ගෙන් සමහරු උස්සන්න ගත්ත බලෙන්. මම දන්නා විධිහට ඕව පත්තරවල වත් ගියේ නැහැ .මොස්කව් දැන් හැට ගණන් වල චිකාගෝ වගේ කියල සමහර රුස්සෝ කියනවා. මචන් කතාව ඉවර නැහැ. නමුත් නොකිය ඉන්න එක හොඳයි කියල මම හිතන්නේ. ගිහාන්ව ලංකාවේ නවත්ත ගනින්. යන්න දෙන්න එපා" ප්‍රියාන් තව දුරටත් පැවසුවේ ගිහාන් ගැන අනුකම්පාවෙනි . ඔහුට අවශ්‍ය වූයේ දුරකථන සංවාදය අවසන් කිරීමටය.
"ගිහාන් කියන්නේ යනවා කියලනේ. මම මොකද කරන්නේ." නිලන්ත පවසනවාත් සමගම ගිහාන් නැවත දුරකතනයට පැමිණියේය.
"ප්‍රියාන්, මට හිතා ගන්න පුළුවන් මොනවාද වුනේ කියල. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වුණා. අර හොස්ටල් එකක තියන් හිටිය කියන එක නම් මට තේරෙන්නේ නැහැ. පොලිසියෙන් ගිහිල්ල බේරා ගත්ත කිව්වේ. උන්ට එහෙම බලෙන් හිර කරන් ඉන්න පුලුවන්ද මොස්කව් වල? මට ලේනට කතා කරන්න බැරිද? බැරි වුනොත් මම යනවා මොස්කව්. මම තාන්යා ට ආදරෙයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. උඹේ යාළු රුස්ස ගිහිල්ල ලේනව හම්බ වුනේ කොහෙද, මට රුස්සව හම්බ වෙන්න බැරිද? මම කොහොම හරි තානි ව කැමති කර ගන්නම් දැන් එයා එන්න අකමැති නම්. "
"ගිහාන්" ප්‍රියාන් මදක් නැවතී දිග හුස්මක් ගත්තේය .
"තාන්යා අඳුරන ටැක්සි කාරයෙක් ඉන්නවද? ඒ අර එකපාරක් ගිහින් හිටිය එකා ද?"
"ඔව්. ඌ හොඳ මනුස්සය. එයාගෙම අම්ම එක්ක හිටියේ ෆ්ලැට් එකක. මට කෝල් කරලා තාන්යා ඉන්නව කියල එන්න කිව්වේ. ඊට පස්සේ අපිත් එක්ක සෑහෙන යාළු කමින් නේ හිටියේ"
"තාන්යා එහෙ ඉඳල තියෙන්නේ. ලේන ගේ ගෙදර නෙමේ "
ප්‍රියාන් මදක් නැවතී දීර්ඝ හුස්මක් ගත්තේය. ගිහාන් නිහඬව අසා සිටී.
නරක ආරංචියක්, කෙනෙකු හදිසි අනතුරකට මුහුණ දුන් අවස්ථාවක් , මිය ගිය අවස්ථාවක් ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැන සිටි ළඟම කෙනෙකුට කීම අපහසුය. ඔවුන් කෙසේ ක්‍රියා අකරනු ඇත්දැයි නොදන්නා බැවිනි. ප්‍රියාන් මුහුණ දුන්නේද ඒ තත්වයටමය. ඔහු තීරණය කළේ වැඩි හැඟීමක් ඇති බවක් නොදැනෙන සේ ඔහු දන්නා ආරංචිය කීමටය.
"මචන්, මට මේක ටිකක් විශ්වාස කරන්න අමාරුයි තාන්යා ව දන්නානිසා. උඹ තාන්යා ව හොයාගෙන එයි කියල නවත්වන්න කිව්වද කියල මම දන්නේ නැහැ. ලේනා කියල තියනවා තාන්යා රුස්සගේ ටැක්සිය අරගෙන ගිහින් බිල්යායෙව පැත්තේ බඩු කෝච්චි යන රේල් පාරකට ගිහිල්ල කියල " ප්‍රියාන් නැවතත් කෙටි විරාමයක් ගත්තේය.
"කෝච්චිය එන පාරේ ටැක්සියේ දොරවල් ලොක් කරලා තියන් ඉඳල."
"මොනවා".
ඉතිරිය අසා සිටියේ නිලන්තය.
"ගිහාන් දොර ඇරගෙන ගියා යන්න මචන්. මොකද්ද උඹ කීවේ"
ප්‍රියාන් ට ඔහුගේ මිතුරු රුසියානුවා කළ විස්තරයට අනුව කාරයේ සිටියේ තාන්යා බව හඳුනා ගෙන තිබෙන්නේ ගමන් බලපත්‍රයේ කොටසකින් හා අත් බෑගයෙනි. රුසියාවේ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියවල් ගමන් කරන්නේ අධික වේගයෙනි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ලුණුගල සිට බිබිල හරහා මහියංගනයට යන මහා පාර A5 ලෙස මාර්ග සිතියමේ නම් කර තිබේ. A මාර්ගයක් වුවද මේ මාර්ගය ඉතා කුඩාය. වාහන දෙකක් මාරු වෙන්නේද ඉතා අපහසුවෙනි. සමහරවිට එක වංගුවක වාහන නවතාගෙන අනිත් වාහනය එනතුරු බලා සිටිය යුතුය. මේ නිසා බොහෝ ලොරි හා බස් ගමන් කරන්නේ නැවතී නැවතීය.
මේ මාර්ගය වඩාත් අනතුරුදායක වන්නේ වැසි කාලයටය. එහිදී බොහෝවිට විට කුඩා නායයාම් ඇතිවන අතර ඉහළ කන්දේ සිට මාර්ගයට ගල් පතිත වීමද සිදුවේ. වරක් බසයක් ගමන් කරන අතරතුර කන්දේ ගල් කැඩී ඉදිරිපසින් මාර්ගයට වැටී ඇති අතර බසය පසු පසට ගනිද්දී පසු පසින්ද කඩා වැටී බසය හිරවී තිබුණි.
ලුණුගලත් බිබිලත් අතර මාර්ගයේ රෙකුලාසි පාලම නම් පාලමක් හමුවේ. මේ පාලමින් උඩ රාවණා ගුහාව නමින් ගුහාවක්ද එම ගුහාවට ඇතුළත් වීමට ලෙන් දොරක් ද තිබූ අතර එම ගුහාව තුලින් නුවර දක්වා යාමට උමගක් ඇතැයි කතාවක් වැසියන් අතර තිබුණි. (මේ උමග මහා මාර්ග සංවර්ධන ආයතනය මගින් වසා දමා ඇත. මේ මාර්ගය දැන් විශාල කරමින් ඇත - කතෘ)
වසර 1974 දී එක රාත්‍රියක වන්දනාවේ ගිය පරණ වෑන් රථයක් මේ මාර්ගයේ ගමන් කලේ කට්ට කරුවළේය. එහි විදුලි පහන් ක්‍රියා විරහිතව තිබුණි. මාර්ගය හරියට පෙනේනේද නැත. පාරේ එක පැත්තක කඳු ද අනිත් පැත්තෙන් හෙළද වේ.
රෙකුලාසි පාලමේදී දී වෑන් රථය ලිස්සා ගොස් එතැන් ඇති ගල් තලාව උඩ වැටී සුණු විසුණු වී තිබූ අතර එහි ගමන් කළ එක අයෙකු හැර අනිත් සියල්ලෝම මිය ගියහ.
නිලන්ත හදිසියේම වාගේ පළමු වතාවට ලන්ඩනයට දුරකථන ඇමැතුමක් දුන්නේ සුභ ආරංචියකට නොවේ.
"කොහොමද නිලන්ත , එදායින් පස්සේ ගිහාන් කතා කළෙම නැහැ . මමත් සද්ද නැතිව හිටියේ පොඩ්ඩක් සන්සුන් වෙන්න අරින්න. කාලය විසින් හැම තුවාලයක්ම හොඳ කරනවයි කියනවනේ."
"ප්‍රියාන්, ඒ ගැනම තමයි මම මේ කතා කළේ. ගිහාන් නැති වුනා මචන්."
"මොනවා" ප්‍රියාන් ට ඒ ආරංචිය අදහාගත නොහැකි විය.
"ඒ කොහොමද "
"එදා ඉඳන් ගිහාන් හිටියේ සෑහෙන අප්සෙට් එකෙන්. හිතා ගන්න පුලුවනිනේ උඹට. කෙල්ල මෙහෙ එක්කන් ඇවිත් අපිත් එක්ක විනෝද ගමන් යන්න වගේ හීන මව මව හිටියේ. රස්සාවට ගියෙත් නැහැ සතියක් විතර. අපි තමයි රස්සාවට යන්නත් බල කලේ. මොස්කව් යන්න එපාම කියල හැමෝම කිව්වේ."
"මට හිතා ගන්න පුළුවනි. සමාවෙයන් මචං. මට ලැබුණු ආරංචිය කියනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නැහැ. "
"ඒක මම දන්නව . මම කියන්න යන්නේ ඒ වගේම එකක්. ගිහාන් උන්ගේ සයිට් එකක වැඩකට නුවර ගිහින් එහෙම්ම රන්දෙනිගලත් ගිහිල්ල උඹල එක්ක රුසියාවේ හිටි යාළුවෙක් හම්බ වෙන්න. එතනින් මොන හේතුවකටද මන්ද ගිහාන් ට හිතෙන්න ඇති ලුණුගල හරහා එන්න. යාළුව කියල තියනවා ඉඳල යන්න කියලත්. අර අපට සම්බන්ධ සිද්ධියකුත් උනානේ ඒ පැත්තේ. ඒ හින්දද මන්ද ගිහා ට හිතුනේ යන්න. මේ කාලෙට මෙහෙ වැස්සනෙ මචන්. ඔය ඒ පැත්තට වහින්නේ ධාරාණිපාත වැහි. හිටපු ගමන් බදුල්ල, පස්සර , ලුණුගල පැති නාය යනවා. ගිහාන් ගියේ සයිට් එකෙන් ඌට දීල තියෙන ජීප් එකෙන්. රන්දෙනිගල ඉඳන් බිබිල හරහා ලුණුගල ඇවිත්. ඔය පාරේ රෑ වෙලාවට වැඩිය යන්නෙත් නැහැ. අනික හොඳටම වහිනවා. ඔය කලින් ඇක්සිඩන්ට් එකක් වෙච්ච තැනකම ජීප් එක ලිස්සල ගිහින්. පාන්දර පාරේ ගිය වාහනයක් දැකල ලුණුගල පොලිසියට කියල. හොඳටම වහින නිසා ඒ වතුර පාරත් සැරයි. මිනිය හම්බ වුනේ නැහැ මචන් "
නිලන්ත එක හුස්මට කීවේ හිතේ තිබූ මහා බරක් හෑල්ලු කරන්නට මෙනි.
"හයියෝ මචන්. මේකා ඕන කමින් කර ගත්තද. හිතා ගන්නත් බැහැ අනේ බං "
"දන්නේ නැහැ මචන්. අර 88-90 ගණන් වල ඔය හරියේ මළමිනිත් දාලා තියනවාලු. පොලිසිය උත්සාහ කරා කිව්වා හොයන්න.බැරිවුණා කියල තමයි කියන්නේ. වාහනේ නම් උඩට ගත්ත. ඉස්ස්සරහ චප්ප වෙලා තිබ්බේ. අර ගිහාන් නිතර අහන කැසට් එක තිබ්බ ඩෑෂ් බෝඩ් එක උඩ. මට හිතුන ගිහාන් අපට පණිවිඩයක් තිබ්බද කියලත් "
"ඒ කිව්වේ. "
"ඔයා කතා කරාට පස්සේ ගිහාන් විශාඛා ටයි මටයි කිය කියා හිටිය තාන්යා එක්ක මුලින්ම අහපු සින්දු ටික ඒ කැසට් පටියේ තිබ්බේ කියල. අර "ට්‍රැජඩි" කියන සින්දුවට ඉස්සෙල්ලම නැටුවේ කියල. උන් දෙන්න ඔය කැසට් එක නිතර අහනවලු. ඒක කල්පනා කර කර තව ඩිප්‍රෙස් වුනා "
"ගිහාන් ගේ අම්මලා තීරණය කරලා තියනවා පන්සලට දානයක් දෙන්න ගිහාන් වෙනුවෙන්. අපි ආයි පාරක් හොයල බලනවා. වැස්ස අඩු වුනහම. ඒත් මචන් පොලිසියෙන් කියන්නේ කබරයෝ හෙම කනවා. හොයන්න අමාරු වෙයි කියල.
"මට හිතා ගන්න බැහැ ගිහාන් එහෙම දෙයක් ඕන කමින් කෙරුව කියල. සමහර විට තාන්යා ගැන කල්පනාවෙන් යන්න ඇති. අනික් රෑත් වෙලා ඒ වගේ පාරක ගියේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. මොනවා කරන්නද මචං. එහෙම දානයක් වත් දෙන එක හොඳයි. "
ප්‍රියාන් සහ නිලන්ත ඒ කතා කළේ අවසන් වතාවටය. බොහෝ දුරට තම තමන් ගේ පවුල්, රැකියා පිළිබඳ කටයුතු නිසා ගිහාන් හා තාන්යා පිලිබඳ මතකය කෙමෙන් වියැකෙමින් තිබුණි. හුදෙකලා පෙම්වතුන් දෙදෙනෙකු ගේ ආදර අන්දරයක් බොහෝ විට පෞද්ගලික එකකි.
~~~~~~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි