කලින් ලිපියේ ලීවේ මා ලංකාවට ගියේ මවට හෘදයාබාධයක් වැළඳීම නිසා කියාය. නමුත් සත්‍යය ඊට වඩා මදක් වෙනස් එකකි. හෘදයාබාධය වැළඳෙන විට ඇය රැගෙන ගොස් තිබුනේ ළඟම තිබු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතය. එහි කල ඊසීජී පරීක්ෂාවකින් පසු ඇය **** දිස්ත්‍රික් රෝහලේ අයිසීයූ යුනිට් එකටද එතැනින් රෝහලේ ප්‍රසිද්ධ * වන වාට්ටුව ටද ඇතුලත් කරන ලදී. මේ වාට්ටුවේ වෛද්‍යවරුන් ද හෙදියන්ද කරුණාවෙන් කටයුතු කරන බවටත් බොහෝ ලෙඩුන් එතැනින් පණ බේරාගෙන එන බවත් කියති.මාද දුටුවේ එම වාට්ටු ඉතාමත් පිරිසිදු බවත්ය හොඳින් පාලනය වන බවත්ය. එසේම *** වාට්ටුවද එවැනි පිරිසිදු එකකි. එහි වැසිකිලි පවා පිරිසිදුය. ඇත්තටම රෝහලද හොඳින් ක්‍රියාත්මක වන බව කිව යුතුය.
හෘදයාබාධය වැළඳුන මවට ICU යුනිට් එකේදී රුපියල් අසූදහසක් වටිනා එන්නතක් විද්ද බවට එහි සිටි තරුණ වෛද්‍යවරයා කී බව මව මට පැවසුවාය. හෘදයබාධයක දී රුධිරය කැටි ගැසීම වළකාලන්නට බෙහෙතක් දෙන්නට ඇති මම අනුමාන කළෙමි. බොහෝ විට මේවා එන්නත් වශයෙන් දෙන ත්‍රෝම්බෝලයිටික් හෝ ෆ්‍රිබ්රිනොලයිටික් වර්ගයේ බෙහෙතක් වන්නට ඇත.ඒවා දෙන්නේ රුධිරය කැටි ගැසීමට හේතුවන ෆිබ්‍රින් නම් ප්‍රෝටීනය විනාශ කරන්නට බව සඳහන් වේ.
රෝහලින් සුවය ලබා මව නිවසට පැමිණ පසුව ඇය යලිත් රෝගාතුර වූවාය. රෝග ලක්ෂණ ඇය ට හෘදයාබාධය ට කලින් තිබූ සමහර රෝග ලක්ෂණ බව මට පසක් වුනි. බොහෝ අය මට කිවේ පෞද්ගලික රෝහලකට වහා ඇතුලත් කරන ලෙසය. මගේ පියාගේ අසනීපය සහ හදිසි අභාවය නිසා මට ඒ පැත්තෙන් ප්‍රශ්නයක් තිබේ. ඒ ගැන මෙහි ලියා ඇත එසේම මවටද එවැනි ප්‍රශ්නයක් දෙකක් තිබුණි. වසර ගණනකට පෙර පෞද්ගලික රෝහලකට පරික්ෂාවකට ඇතුලත් කර තිබියදී ඇයට කිසියම් බෙහෙතකට අසාත්මිකතාවයක් ඇතිව තිබේ. ඇය හදිසි අනතුරු කාමරයට ගෙන (ICU) ප්‍රතිකාර කළ වෛද්‍යවරු ඇය මෙලොවට නැවත ගෙනාහ. රෝහලේ පරිපාලනය සිදුවූ කිසිවක් එතන සිටි ඥාතීන් ට පැහැදිලි කලේ නැත. ඔවුන් කළේ අසාමාන්‍ය මුනිවතක් රැකීමය. අප සිදුවූයේ කුමක්ද කියා දැන ගත්තේ හඳුනන හෙද සොයුරියක් මාර්ගයෙනි. එනිසාම පෞද්ගලික රෝහලකට ඇතුළු වීමට ඇය තදින් අකැමැත්ත දක්වන්නීය.
ගිය වර ලංකාවට පැමිණි වෙලේ මිතුරන් ගේ අවවාදයන්ම නිසා මම ඇය අර්ධ පෞද්ගලික, රජයේ රෝහලකට ඇතුළත් කලෙමි. එය කිසියම් මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු රජයට අයත් රෝහලකි. ඉන්පසු ඇයට එහි සායනික සේවාවන්ට යාමට සිදුවිය. තරමක මුදලක් ගෙවා වාහනයක හෝ ත්‍රී විලයක ඉංගිරියේ සිට කොළඹ පිහිටි එම රෝහලට යාමට සෑහෙන වෙලාවක් ගතවේ. ඇය මට කීවේ එම රෝහලේ වෛද්‍යවරු ඇය කියන කිසිම අමාරුවක් ගණන් ගන්නේ නැති අතර සායනික පොතේ කළින් පිටුව බලා ඔහේ එම බෙහෙත්ම ලියා දෙන බවය. මේ නිසා ඇය නිවස අසලම සිටි පෞද්ගලික වෙදකම් කරන වෛද්‍ය වරයාගෙන් ද ඔහු නැතිනම් **** හෙල්ප් හි වෛද්‍යවරුන් (පෞද්ගලික සේවා) ගෙන්ද නොයෙකුත් අමාරු වලට බෙහෙත් ගත්තාය. ඇයට තිබුනේ මොනවාට බෙහෙත් බොනවාද යන්න නිනව්වක් නැති අන්දමේ බෙහෙත් ගොඩකි. දිය වැඩියාවට , අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල් වලට දෙන බෙහෙත් ද ඒ අතරම වීය. හෘදයාබාධය හැදුනේ මේ අතරය.
මේ **** රෝහලෙන් රෝගීන් ගේ ජීවිත හදිසි තත්වයෙන් බේරාගත් පසු පෞද්ගලික රෝහලකට ගොස් හද සැත්කමක් (ස්ටෙන්ට් දැමීම වැනි) පෝලිමකින් තොරව කර ගත හැකිය.
මගේ මවද හදිසි තත්වයෙන් සුවය ලබා මේ වාට්ටුවෙන් ගියද ඇය දිගින් දිගටම අසනීප තත්වයෙන් පසු වූවාය. හැමෝම කීවේ සුපුරුදු පරිදී මව වහාම හොඳ පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලෙසයි. බොහෝ මිතුරු මිතුරියන් මට හෘද රෝග පිලිබඳ විශේෂන්ඥ වෛද්‍යවරුන්ගේ නම් පවා එවූහ.
නමුත් මට තිබුනේ සැකයකි. මවගේ සමහර රෝග ලක්ෂණ හෘදයාබාධයකට ලක්වූවක ගේ නොවීම එයට හේතු විය. ඇයට කෑම ගැනීම අප්‍රිය වී තිබුණි. එසේම වමනය, පාචනය, හිස රදය ,ආදිය එකවර තිබුණු අතර කොහොමත් එක ඇසක් පමණක් පෙනෙන ඇයගේ එම ඇසේ පෙනීමද දුර්වල විය. එසේම නිතර සිටියේ අවුල් සහගත තත්වයෙනි. (confused state) නිතරම වමනයට (nausea)එන බවද කීවාය. (එක ඇසක් පමණක් පෙනෙන්නේ අක්ෂි රෝහලේ කරන ලද සැත්කමක වරද්ද්දක් නිසාය) හෘදයාබාධය එතරම් තද එකක් නොවූ බවත් ඇයට ස්ටෙන්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඇගේ කොලෙස්ටෙරෝල් තත්වය හා අධික රුධිර පීඩනය ඉහල යාම මිස මෙවැනි ලෙඩ තිබිය නොහැකි යයි මට සිතුනි. ඉන්පසු පළාතේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලඟට ගිය පසු ඔහු වමනය හා කෑම අරුචියට යම් බෙහෙතක් දී අනිකුත් රෝග ලක්ෂණ ඇය තමන්ට අවධානය ගන්නට කරන ඒවා බව පවසා තිබුණි. මගේ සහෝදරයා හා ඇගේ බිරිඳට මගේ මවට කිසියම් කෑමක් කැවීමද බරපතල ප්‍රශ්නයක් විය.
මට මවට දුන් බෙහෙත් ගැන සැක ඇතිවූ නිසා සහෝදරයාට වට්ස්ඇප් හරහා බෙහෙත් තුණ්ඩුව එවන ලෙස කීවෙමි. මා රැකියාව කරන සමාගමේ නයිජල් නමැති ඉංග්‍රීසි ජාතිකයා ගේ බිරිඳ ජූලියා ප්‍රධාන හෙද නිලධාරිනියකි. ඔහුට හෘදයාබාධයක් වැළඳුන මුල්ම අවස්ථාවේම එය හඳුනාගෙන රෝහලට ගෙනගොස් ජීවිතය බේරා ගත්තේ ඈය. මට බෙහෙත් තුණ්ඩුව එවන ලෙසට කී ඈ , විශේෂන්ඥ වෛද්‍යවරයෙකුට එය පෙන්වා මා අමතන බවත් කීවාය.
මට කතා කළ ජූලියා පැවසුවේ විශේෂන්ඥ වෛද්‍යවරයා බෙහෙත් වර්ග කිහිපයක් පෙන්වා මේවා එකවර රෝගියාට දීම අනවශ්‍ය විය හැකි බවත් ඩිගොක්සින් වලින් ඇතිවන අතුරු ආබාධ මගේ මව දක්වන රෝග ලක්ෂණ වලට සමාන බවත්ය. එම බෙහෙත් වර්ග තුන, බ්ලඩ් ක්ලොට් හැදීම වලක්වන ක්ලොපිඩොග්‍රෙල් (clopidogrel) (මේවා ස්ටෙන්ට් දැමූ පසු එම රෝගීන්ට ලබා දේ ) , හදවතේ අක්‍රමවත් හද ගැස්ම වැළැක්වීම සඳහා දෙන ඩිගොක්සින් (digoxin) සහ හදවතේ වේදනාව සමනයට සහ ඇන්ජයිනා (angina) තත්වයට දෙන ඖෂධයක් වූ නිකරන්ඩිල් ය. ඇන්ජයිනා යනු හෘද පේශි වලට රුධිරය සැපයීම අඩු වීම නිසා ඇතිවන වේදනා සහගත තත්වයයි. මිට අමතරව අධික රුධිර පීඩනය ට හා ඇන්ජයිනා තත්වයන්ට දෙන වෙරපමිල් (verapamil) ද විය. මේ වෙරපමිල් ඩිගොක්සින් මෙන් අක්‍රමවත් හද ගැස්ම සඳහාද දෙන ඖෂධයකි. (treat irregular heartbeats). එනොක්සපරින් නමැති ඖෂධය බ්ලඩ් ක්ලොට් වැළැක්වීමට දෙන තවත් ඖෂධයකි. එයද නියම කර තිබුණි.
මීට අමතරව කොලේටරෝල් (ඇටෝර්වස්ටටින්) , දියවැඩියාව (මෙට්ෆෝමින්) හා ඇස්පිරින් ආදී සාමාන්‍යයෙන් නියම කරන ඖෂධ ද තිබුණි. එංගලන්තයේ වෛද්‍යවරයා ජූලියා හරහා පැවසුවේ ඖෂධයක් නැවැත්වීම සුදුසු බවත් වෛද්‍යවරයා සමග කතාබස් කර එය කිරීම වඩා යෝග්‍ය බවත්ය. මා ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන් පසුවය.
බේරුවල සිනමන් බේ හි නිරෝධායනය අවසන් වූ වහාම මම මව සමග ගොස් විශේසන්ඥ වෛද්‍යවරයා හමු වුනේ ඔහු නිතර පැමිණෙන පෞද්ගලික සායනයේ දීය. මම මුලින් කතා කලේ සිංහලෙනි. ඔහු මුව ආවරණ පළඳින ලෙස මට දැන්වූයේය. එහි වරදක් නැත. නමුත් මා කීදේ නොතේරුන බවක් පෙන්වූ පසු මම මුඛ ආවරණය පහත හෙලු විට නැවතත් මුඛ ආවරණය පළඳින ලෙස කෙටි දෙසුමක් කළේය.මමත් මවත් සිටියේ ඔහුත් ඔහුගේ සහයිකාවත් අතර මීටර එකහමාරක දුරක ප්ලාස්ටික වලින් සෑදු ආවරණයක එපිටය. මුඛ ආවරණය පහත් කිරීමට මා තීරණය කලේ එබැවිනි. බෙහෙත් වලින් ප්‍රශ්න ඇතැයි මා කී පසු නියම කළ බෙහෙත් නොගෙනාවේ මන්දැයි ඔහු මදක් සැරෙන් ඇසීය. මගේ මව බෙහෙත් මල්ල ගෙන යාමට තැත් කලත් මා එය වැළකුවේ බෙහෙත් තුණ්ඩුව තිබෙන බැවිණි.
මව දැන් බියවී සිටියාය. ඇය "මම ඔයාට කීවේ බෙහෙත් පෙති ගේන්න කියල. කෝ කියන දේ ඇහුවේ නැහැනේ . දැන් යමු, දොස්තර මහත්මයා බනී දැන් " යනුවෙන් ඇවිටිලි කරන්නට ගත්තාය. මවගේ කරදරය නිසාත්, ඉවසීමෙන් පිළිතුරු දීම සඳහා මම රැජිනගේ භාෂාවට බැස්සෙමි. මා වෛද්‍යවරයාට පැවසුවේ අප ළඟ බෙහෙත් තුණ්ඩුව (prescription) තිබෙන බවත් මගේ මොබයිල් එකේද එහි පින්තුරයක් ද තිබෙන බවත් රෝහලෙන් වැරදි බෙහෙත් නොදී ඇත්නම් එයින් ඔබලා දුන් බෙහෙත් මොනවා දැයි දැනගත හැකි බවත්ය. ඔහු මදක් නිහඬ විය.
ඉන්පසු මම එංගලන්තයේ විශේෂන්ඥ වෛද්‍යවරයා පැවසූ ආකාරයට ඩිගොක්සින් හි අතුරු අබාධ මවට ඇති බව පැවසුවෙමි. ඔහු එය පිලි ගත්තේ නැත.ඔහු පැවසුවේ ඔහුගේ දශකයක ට වඩා ඇති වෛද්‍ය අත්දැකීම් වල එසේ නොදුටු බවයි. ඉන්පසු මම ඔහුගෙන් ඇසුවේ වෙරපමිල් වැනි ඒ දේම ඉටු කරන බෙහෙත් දී ඇති නිසාත් බ්ලඩ් ක්ලොට් වලටද එකම බෙහෙත්ද දී ඇති නිසාත් එසේ එකම බෙහෙත් දුන්නේ කුමක් නිසාද යන්නය. එසේම හැකිනම් එය නැවැත්වීමට හැකිද යන්නය.
බෙහෙත් ලියන්නේ ඔහු නොව කනිෂ්ඨ වෛද්‍යවරුන් බව පැවසූ ඔහු බෙහෙත් වල නම් කියා ඇසූ නිසාදෝ ඔහුගේ ටැබ් එකෙන් කිසියම් දෙයක් පරික්ෂා කළේය. මට සිතුනේ ඔහු ඩිගොක්සින් වල අතුරු ආබාධ සොයන්නට ඇති කියාය. අනතුරුව බොහෝ නිහතමානිව විශේෂන්ඥ වෛද්‍යවරයා පැවසුවේ මව පසුදාට ඔහුගේ වාට්ටුවට රැගෙන එන ලෙසය. බෙහෙත් නවතා පරීක්ෂා කර බලමු යයි ඔහු සන්සුන්ව පැවසීය.
එදා සවස මම මවට ඩිගොක්සින් නොදී සිටියෙමි. උදයේ වාට්ටුවේදී සියලු බෙහෙත් නැවත්වූ පසු දහවල් වන විට මා කෑම සහ සුප් රැගෙන යන විටත් දින ගණනාවක් කෑම නොකා සිටි මව, බඩගිනි යයි කියා වාට්ටුවෙන් දුන් සෝයා මස් සහිත බත ඇය බලා ගැනීමට සිටි කාන්තාවගේ අතින් කවා ගෙන තිබුණි.
වාට්ටු රවුමේ යන අර විශේෂන්ඥ දොස්තර මහතා පැමිණ ඇය බලා "පුතා ටිකක් කතා කරනවා වැඩි නේද" යයි විමසා තිබුණි. ඉන්පසු අම්මාගෙන් මගේ රැකියාව, ඉන්නේ කොහෙද ආදී විස්තර අසා තිබුණි. මම වාට්ටුවට යන විට හෙදියන් දෙතුන් දෙනෙක් ම සිනහ මුසු මුහුණින් කතා කළහ. නමුත් දොස්තර මහතා නම් මුහුණ වත් බැලුවේ නැත්තේ ඇයිදැයි මම නොදනිමි. කෙසේ හෝ මෙට්ෆෝමින් සහ ඩිගොක්සින් යන බෙහෙත් වර්ග දෙකම ඔවුන් නවතා තිබුණි. ඇත්තම පැවසුවොත් අඩුවෙන් කන කෙනෙකුට ලේ පරික්ෂා නොකර දිගින් දිගටම මෙට්ෆෝමින් දීමේ තේරුමක් නැත. ඔවුන් මුලින්ම කලේ ලේ පරික්ෂාව බැවින් සීනි අඩු බව වටහා ගන්නට ඇත. හොඳටම සුවවී පහුවදා ටිකට් කපාගෙන ඇය ගෙදර ගෙන ආවෙමි. බොහෝ අය කීවේ සියල්ල ලියා අවසන් වනතුරු මට පහුවද හවස් වනතුරම රෝහලේ කල් මරන්නට වනු ඇත කියාය. නමුත් වාට්ටුවේ සිටින තරුණ වෛද්‍යවරියක් දහවල් දොළහමාරට පමණම සියලු ෆයිල් ආදිය ලියා අවසන් කර මව රැගෙන යාමට ඉඩ දුන්නාය.
අප හවස හතරට පමණ රැගෙන යාමට සිටි හඳුනන ත්‍රී වීල් මල්ලි විමසුවේ "සර් මෙපමණ ඉකමනින් දොළහමාරට ආවේ කොහොමද කියාය". මා ඔහුට කිවේ රැජිනගේ භාෂාවෙන් තවමත් ලංකාවේ වැඩ කිරීම පහසු බවයි.
මේ කතාවේ අනිත් පැත්ත ලංකාවේ මිනිසුන්ගේ අසීමිත බෙහෙත් භාවිතයයි. රෝහලින් දුන් පළමු බෙහෙත් ටික අවසන් වන විට අම්මා ළඟම සිටින වෛද්‍යවරයා හමුවී බෙහෙත් ගන්නේ නැත්දැයි ඇසුවාය. මම ඇගෙන් ඇසුවේ රෝහලින් නිවැරදිව දවස් ගණනට බෙහෙත්දී ඇත්නම් තව බෙහෙත් හොයන්නේ මොන මගුලටද කියාය. දැන් ඇය ගන්නේ නියමිත් බෙහෙත් පමණි. අර අර්ධ රජයේ රෝහලින් රෝගියා නොබලා , මුදල්ද ගෙවා ලබා ගත් ඖෂධ සියල්ල විසි කරන්නට සිදු වුනි.
මේ කතාව අසු මගේ යහළුවෙකු පැවසුවේමෙවැනි දෙයකි. ඔහුගේ බිරිය අනුරාධපුර රෝහලේ රැකියාව කරද්දී කියා ඇත්තේ එහි එන මහලු රෝගීන් වැඩි දෙනෙකු එන්නේ පුරුද්දට බවය. ඇය ඔවුන්ට සමහර විට පැනඩෝල් ගන්නට බෙහෙත් ලියාදී තිබේ. ඇය වරක එසේ පැමිණි ආච්චි අම්මා කෙනෙකු ගේ නිවස දැක එහි ගොඩ වැදී තිබුණි. ආච්චි අම්මා රෝහලින් නොමිලේ දී තිබූ බෙහෙත් පඬුරු සේ රෙදි වල ගැට ගසා වත්තේ මල් පඳුරු හා ගෙයි තැන තැන එල්ලා තබා තිබු බව ඇය දැක තිබේ.
එසේම කිසියම් වෛද්‍යවරයෙකු බෙහෙත් වර්ග කිහිපයක් නොදෙන්නේ නම් ඔහු එතරම් හොඳ වෛද්‍යවරයෙකු නොවේය යන මතයද ශ්‍රී ලාංකිකයන් අතර පවතී. එවැනි වෛද්‍ය්යවරයෙකු ලඟට ඉන්පසු යන්නේද නැත. එසේම සාමාන්‍ය හෙම්බිරිස්සාවක ට ද අමොක්සිලින් වැනි ප්‍රතිජිවක ඖෂධ වෛද්‍ය උපදෙස් ඇතිව හෝ නැතිව ගන්නටද බොහෝ අය පුරුදු වී සිටිති. එංගලන්තයේ වෛද්‍යවරු ප්‍රතිජීවක ඖෂධ එකවරම නියම කරන්නේ නැත. ඒවාට පුරුදු වීමෙන් බැක්ටීරියා රෝග මර්දනයට එය බාධාවක් වන බැවිනි.
මෙයට ප්‍රථම 2010 වසරේ ලංකාවට පැමිණ ආපසු ලන්ඩන් යාමට නොහැකිව සති දෙකක් වැඩිපුර ලංකාවේ නතර වී සිටින්නට වුනේ අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා ගොස් යුරෝපය දුමාරයකින් වැසී ගිය නිසාය. අපි කටුනායක ගුවන් තොටුපල අසල මිතුරෙකුගේ නිවසක හදිසියේ නතර වුනෙමු. මිතුරාගේ නිවසේ ෆෑන් තිබුනද බොහෝ රස්නය සහිත එකක් වූයේ අවට ගස් වැල් නැති නිසා මෙන්ම එය කොන්ක්‍රීට් බිත්ති වලින් ආරක්ෂා කාරී ලෙස නිමවා තිබු නිවසක්නි සා විය හැක. අපේ වැඩි මහල් දියණිය ශනායා හදිසියේ අසනීප වුනේ තද උණක් සෑදීමෙනි. මීගමුවේ පෞද්ගලික රෝහලකට ගෙන ගිය විට ඇයට ඩෙංගු සඳහා රුධිර පරීක්ෂාවක් කර එය නැති බව පවසා එහෙත්බෙ හෙත් වර්ග අටක් පමණ වෛද්‍යවරිය නියම කලාය. රුපියල් දෙදාහක් පමණ ගෙවා ඒවා මිලයට ගත් පසු ඒවායේ නම් වත් ලියා තිබුනේ නැත. අප මේ බෙහෙත් දරුවාට දීමට මැලිවූ නිසා වෛද්‍යවරියව නැවත හමු වුනෙමු. ඇය පැවසුවේ බෙහෙත් වර්ග දෙකක් ඩෙංගු සඳහාත් තව බෙහෙත් වර්ග ඇඟේ දුර්වල කමට ආදී ලෙසටත්ය. ඩෙංගු නැති රිධිර පරීක්ෂණයෙන් තීරණය කළ පසු ඒවා දෙන්නේ ඇයිදැයි අප ඇසුවෙමු. වැඩි හොඳට යයි ඇය පැවසුවාය. ඇගේ කාමරයෙන් එලියට පැමිණි වහාම පැනඩෝල් පමණක් තබාගෙන ඉතිරි බෙහෙත් සියල්ල රෝහලේම කුණු බක්කියකට දමා පිටව ආයෙමු .
අප කලේ මීගමුවේ රෙඩ් රෝස් නමැති හෝටලයේ, කාමර දෙකක් හා විසිත්ත කාමරයක් සහිත හොඳින් වාතාශ්‍රය ඉඩ කඩ ඇති අපාර්ට්මන්ට් එකක් වූ උඩම තට්ටුව කුලියට ගැනීමයි. එහි නැවතී දිනකින් පමණ දියණියට සුව විය. ඇය ඉන්පසු මුහුදු වෙරළේ අප සමග ක්‍රීඩා කිරීමට සහ දුව පැන ඇවිදී ටද වූවාය. හොඳ වෙලාවට අර නියම කල අපද නොදන්නා බෙහෙත් අප දුන්නේ නැත. මෙය හැම විටම කලයුතු දෙයක් නොවේ. අප වෛද්‍යවරයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එසේම ඔවුන්ද එම විශ්වාසය රැකිය යුතුය.
සමහර විට මහාචාර්ය නලින්ද සිල්වා මහතා බටහිර දේට සහ බටහිර වෙදකමට විරුද්ධ මේ නිසා විය හැකිය. නොදන්නා බෙහෙත් වර්ග දී හැදෙන අතුරු අබාධ වැඩි නිසා ඔහු ලංකාවේ බටහිර වෙදකමට විරුද්ධ යයි මට සිතේ. හේතුව, බ්‍රිතාන්‍ය යේ හෝ යුරෝපයේ මෙය සිදු නොවන නිසාය. ජර්මනියේ පවුලේ වෛද්‍යවරු (බටහිර ) සමහර විට හෝමියෝපති හෝ ආයුර්වේද තේ වර්ග පවා නියම කරති.
මට සිතෙන්නේ ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා වන සංවිධානයක්/සංගමයක් දේශපාලන භේදයකින් තොරව පිහිටුවිය යුතු බවය. බ්‍රිතාන්‍යයේ දියවැඩියාව රෝගයේ සිට නොයෙක් පිළිකා වර්ග නිසා රෝගී වුනු අය සඳහාද එවැනි සංවිධාන තිබේ. ඔවුන් රෝගීන් ගේ යහපත තකා කටයුතු කරති. ශ්‍රී ලංකාවේ රෝගීන් ගේ යහපත සඳහා එවැන්නක් පිහිටුවීම ඉතා කාලෝචිත බව මගේ අදහසයි.
(Clopidogrel is an antiplatelet medicine. It prevents platelets (a type of blood cell) from sticking together and forming a dangerous blood clot.
Digoxin is a type of medicine called a cardiac glycoside. It’s used to control some heart problems, such as irregular heartbeats (arrhythmias) including atrial fibrillation. It can also help to manage the symptoms of heart failure, usually with other medicines.
Nicorandil is a medicine used to prevent and treat chest pain caused by angina.
Your doctor will usually prescribe nicorandil when other heart medicines have not worked or are not suitable for you.
Enoxaparin is an anticoagulant that helps prevent the formation of blood clots. Enoxaparin is used to treat or prevent a type of blood clot called deep vein thrombosis (DVT), which can lead to blood clots in the lungs (pulmonary embolism)