Wednesday, 9 November 2022

ප්‍රේමානිශංසයේ තෘප්තිය


ශ්‍රී  ලංකාවේ සිටියදී මම ඉතිහාසය හැදෑරීම ගැන බොහෝ උනන්දුවක් තිබූ සිසුවෙක් වීමි. මා බොහෝවිට පුරා  විද්‍යාව සහ ඉතිහාසය පොත් වැඩිපුර කියවා ඇතැයි යන්න ඒ කාලය සමග සසඳන විට නිවැරදිය.  වසර කිහිපයකට ඉහතදී පුරාණ දේවාලයක් ගැන ලියන පෙමාස් ගුණසිංහ මහතාගේ  බ්ලොග් ලිපි මෙන්ම  ශ්‍රී ලංකාවේ සංචාරක බ්ලොග් කිහිපයක්  කියවීමෙන්ද මේ උනන්දුව නැවත ඇතිවිය. මගේ පිය ඇඹෙනිය ද පුරා  විද්‍යාත්මක කරුණු ගැන මෙන්ම එම ස්ථාන සොයා යන සංචාර වලටද කැමැත්තක් දක්වන්නිය. ළඟදී අප කල ග්‍රීක සංචාරයද එවැන්නකි. ශ්‍රී ලංකාවේ රජවරුන් ගේ නාමාවලියක් අප නිවසේ ඒ කාලයේ තිබු අතර මෙවර මට එය නැවතත් හමු විය. 



මේ උනන්දුව නිසාම ආනන්ද කුමාරස්වාමි මහතාගේ "මධ්‍යකාලින සිංහල කලා" පොත නැවත  කියැවීමට ඇත්නම් මැනව යයි  සිතුනි. කලකට පෙර  ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳ පොත සොයමින් ගිය වෙලේ ඒ සඳහා ලංකාවේ පුස්තකාල ගානේ මා  සමග රස්තියාදු වූ සබැඳීයෙකු වූ  ප්‍රදීප් ජයතුංග ගෙන් ඒ ඉල්ලීම කලෙමි. මට අවශ්‍ය  වුයේ ගෙදර අයටත් කියැවිය හැකි පොතේ ඉංග්‍රීසි පිටපතයි. ප්‍රදීප් ඒ ඇසිල්ලේම මට පොත සොයා එංගලන්තයට එවීය.

මටත් වඩා උනන්දුවෙන් පොත පරිහරණය කළේ අපේ කණිටු  දියණියයි. පොත තබාගෙන ඒ ගැන නොකිව්වේ යයි ඇය මට චෝදනාවක් ද කළාය. මා ලංකාව ගැන ලියන බොහෝ අවස්ථාවල ඇතැමුන් කරන චෝදනාවක් නම් "රට ගියානම් ඒ රටේ වැඩක් බලාගෙන ඉඳපන්, අප ගැන ලියන්නේ නැතිව" යන්නය. සමහරු ඊටත් එහා ගොස් පරිභව කරති. එසේ වන්නේ අප කිසියම් අන්දමේ  විවේචනයක් කලහොත් පමණක් නොවේ. ඇතැම් දාර්ශනිකයෙක් ද වරක් එවැනිම කතාවක් කීවේය. ලන්ඩනයේ ලියා පළ කළ තැනක් හදා  ගන්නවා  මිස මොන මගුලකට ඔහු ලියන ඒවා ගැන විවේචනය ලියන්නේද යන්නට ඔහු කනස්සල්ල පළ කර තිබුණි. ෂෙහාන් කරුණාතිලක එසේ කළත් ඔහුටද විවේචන එල්ල වී තිබේ. ඒ  අර අයගෙන්ම විය හැකිය.

මගේ දුවණියට  මේ පොත ගැන උනන්දු වන්නට හේතුවක් නැත. ඇයට අවශ්‍ය තරම් මේ රටේ ලිවිය, කියවිය  හැකි අතර ඇයට ඇත්තේ ජර්මන් ශ්‍රී ලංකා මිශ්‍ර ජන්මයකි. ඇයට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා ව්‍යක්ත ලෙස කතා කළ හැකිය. නමුත්ඇ යට අප යන අනිකුත් රටවල් සේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කුතුහලයක් සහ හැදෑරීමට ආශාවක් තිබේ. මා ශ්‍රී ලංකාවේ ඉපදීම හෝ මගේ ශ්‍රී ලංකා මිතුරන් සිටීම හෝ මා  සිංහලෙන් කතා කිරීම පමණක්ම එයට හේතුව නොවේ. ඇය ආකර්ෂණය වී ඇත්තේ අතිශයින්ම   පොහොසත් වූ  අතීතයක් පැවතීම සහ ඒ ගැන අපමණ සාක්ෂි සහිත වූ  පොහොසත්  කලාවක්, සංස්කෘතියක්  හා නටබුන් පැවතීමය.  

ඒ අතරේදී ආනන්ද කුමාරස්වාමි මහතාගේ නම ඇති මාවතේ නම වෙනස් කර වෙනත් නමක් දමා ඇති බව මම ඒ දිනවල  ඇයට පැවසුවෙමි.  ඇය ඒ පිළිබඳව විමසු අවස්ථාවේ මා කිවේ ඔහු සමහරවිට මිශ්‍ර ජන්මයක් ඇත්තෙකු  මෙන්ම දෙමළ වීම නිසාම එසේ කරන්නට ඉඩක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ කිසියම් අන්දමක ජාතික පුනරුදයක් වෙනුවට වඩා  ජාතිවාදී පුනරුදයක් ඇතිවී තිබේ යයිද මම ඇයට පැවසුවෙමි. අප දෙදෙනාම ඒ ගැන කණගාටු වූයේ ඉතිහාසය වෙනස් කර ලීවද නැවත  ඉස්මතු වෙන්නට අවස්ථා ඕනෑ තරම් මතුවේ යයි සිත්  සනසා ගනිමිනි.

ඒ සනසා ගැනීම සනාථ කරවමින් මට "ප්‍රේමානිශංස" ඇස ගැටුනේ ලංකාදීප මාධ්‍යවේදිනියක වන පද්මිණි මාතරගේ සොඳුරු මිතුරිය සමග මරදානේ සරසවි පොත් හළට ගොඩවූ අවස්ථාවේදීය. එම ග්‍රන්ථයට ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු බව දැන සිටියද  පොතේ අන්තර්ගතය දැන නොසිටියෙමි. පොතේ පිටු කිහිපයක් පෙරළද්දී "කලාභවන දරා සිටි "ආනන්ද කුමාරස්වාමි මාවත " - නෙලුම් පොකුණ මාවත " ලෙස වෙනස්කරන විට ලංකා භුමි තලය කම්පා වී දැයි මට සිතුනි. " කලභවනත්, රාජකීය ආසියාතික සමිතියත් දෙවුරින් දරා සිටි ආනන්ද කුමාරස්වාමි මාවත එක රැයෙන් නෙළුම් පොකුණ මාවත විය." යන වැකි පෙළ  මගේ නෙත  ගැටුණි. මම පොත මිලදී ගතිමි.

ඉන්පසු පුරා දෙතුන් දිනක්ම නිරූ සහ සයුරු සමගින් ඔවුන්ගේ ගමනට එක් වූයෙමි. ඒ ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. සමහර පොත් කියවද්දී අපට අපේ  ජිවිත වල අත්දැකීම් ද මතකයට නැගේ. ඕවෙල් ගේ 1984, බ්‍රොන්ටේ ගේ වදරින් හයිට්ස්, බුල්ගකොව් ගේ මාස්ටර් සහ මර්ගරිටා වැනි කියැවීමේදී ද එය එසේම විය. 

මම මගේ මව ඉන්දියාවේ වන්දනාවක රැගෙන ගියේ 2004 දීය. ඇය දෙවරක්ම  ලන්ඩනයට පැමිණියද ඇගේ මතකයේ රැඳී ඇත්තේ  හා ඇය මට පින් දෙන්නේ ඉන්දියාවට රැගෙන ගිය ගමනය. අමාරුකම් තිබුනද  ගමන එතරම් විසිතුරුය.  මම ඉන්දියානු සංචාරයේ සුන්දර පැත්ත ගැන මම නොලීවෙමි.   මට දැන් හදිසියේ මන්දාකිණි ගංගාවට සමාන්තරව  කෙදර්නාත් පෙදෙසේ යාමට ආශාවක් පහළවී තිබේ. හිමාචල් ප්‍රදේශයට ගොස් ධර්මශාලා වේ සතියක් දෙකක් නැවතී දලයි ලාමා තුමන් බැහැ දැකීමටද සිත් වී තිබේ.  

"අපි තිබ්බතයට යමුද , ලාසා නගරයට" මම බිරිඳගෙන් ඇසුවෙමි. "නැහැ අපි නේපාලයට යමු ලබන අවුරුද්දේ. තිබ්බතයට අපි දෙන්නටම යන්න බැහැ. ඔයා දන්නවානේ  මට කොහොමත් හුස්ම ගන්න අමාරුයි". ඈ පිළිතුරු දුන්නාය. "ඔයා ඔය කියවන පොතේ ඒ ගැන තියෙනවද? සමාවෙන්න ඒ ගමන් කරන්න වෙන්නේ නැහැ ". මම හිස වැනුවෙමි. ඒ ගැන කියවා සැනසීම මිස කරන්නට දෙයක් නැත. පොතේ ජීවත් වෙන  නිරූ එහි ගියේ ඔක්සිජන් බෑගයක් ද සමගය.    

තිබතයේ මළ පොත හා අන්තරභාවය පිලිබඳ විශ්වාසය ගැන  මම වරක් ලියා ඇත්තෙමි. තිබ්බත වරුන් අදහන වජ්‍රායාන  බුදු දහම ගැන මගේ ඇත්තේ පහන් හැඟීමකි. කතුවරයා ගේ විස්තරය ඒ පහන් හැඟීම වඩාත් බබළවමින් ඉදිරියට ඒ.

මම බොහෝ සිහළ වදන් උගත්තේ  මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගේ ලිපි කියැවීමෙනි. එතුමා ලියූ  සැළ ලිහිණි සංදේශය ගැන කළ විචාරයක මෙසේ ලියා තිබේ. 
"මෙනයින් මේ වර්ණනය ස්වභාව ධර්මයේ පවත්නා රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවායේ එකමුතුව අපට සිහි ගන්වා අපගේ වින්දනය තියුණු කරයි; අපගේ පංචේන්ද්‍රියන් සියුම්  කොට ස්වභාවධර්මයෙන් ඒවාට ලැබිය හැකි වින්දනය පෘථුල ද ගැඹුරු ද කරයි. මෙලෙස අපගේ වින්දන ශක්තිය පෘථුල හා ගැඹුරු කිරීම සාහිත්‍යයේ එක අරමුණකි. " (උපුටා ගැනීම මගේය).

ප්‍රේමානිශංස පොත  කියැවීමෙන් පසු මට දැනුනේ ද එවැන්නකි. පොතේ ඇත්තේ සංචාර හෝ ස්වභාව ධර්මයා ගේ සුන්දර බව ගැන පමණක් යයි වරදවා වටහා නොගත යුතුය.  සිංහලේ රජ බ්‍රිතාන්‍යයන්ට පාවා දුන් වංශවත් කුල පරපුරක, පසු කාලීනව ලංකා ඉතිහාසයට වශීව පොත් ලියූ මිශ්‍ර සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය දෙමළ වංශවතෙකු   ගේ මිණිපිරියක හා තවත් එවැනිම බ්‍රිතාන්‍යයන්ට සමීප ව රේන්ද බලපත්‍ර ගෙන  අරක්කු විකුණා පොහොසත් වූ ධනවත් පවුලක පුතෙකු අතර ප්‍රේමණීය කතාවක් අතරට ගොනු කෙරුණු සංචාරයක කතාවක්ද මන්දාකිණි ගඟ කෙදර්නාත් පාරට සමාන්තරව යන්නාක් මෙන්  සමාන්තරව දිවෙයි. 

මට පොතාන ගුහාවට මෙන්ම නොඇසූ ඉබ්බන්කටුව සුසාන භූමියට යාමට වරෙක සිතෙයි. ඒ අතරේ මුවට සිනහවක් නැගෙන්නේ  අපි දුමක් ගහනවා හෝ මලක් අදිනවා යයි කියන ක්‍රියාකාර කම කතුවරයා සුන්දර ලෙස "මල් කෙමියක් " විඳින බවට හඳුන්වා දෙද්දීය.
"කෙවින් පැමිණ මා සමීපයේ වාඩිවෙමින් මලිකෙමිය මවෙත පිරි නැමීය. විවර වී ඇති චිත්ත මාවත දිගේ ගමන් කිරීමට එය කදිම යානයකි. " (පි. 232)
කෙවින් නමැති  සමලිංගික පුරුෂයා කෙරෙහි සයුරු ගේ දැක්ම වෙනස් වූයේ නිරූ ගේ විවෘත භාවයද සමගිනි. "කෙවින්ලා අයත් සමාජභාවය පිලිබඳ මසිත වූ සම්ප්‍රදායික විචිකිච්චාව යලි නොඑන්නටම අතුරුදන්ව ගොසිනි"
මගේ තිබුණු එවැනි විචිකිච්චාවක් අතුරුදහන් වුයේ මගේ ජර්මානු  බිරිඳගේ යහළුවන් දෙදෙදෙනෙකු දස වසකට පමණ ඉහතදී  රාත්‍රී භෝජනයකට පැමිණි වෙලේය. එය සම්පුර්ණයෙන්ම පහව ගියේ ලන්ඩනයේදී ජීවත්වීම නිසා වුවත් ඒ ගැන නිදහසේ කතා කරන්නට හැකි වන්නේ නිදි ගේ පංච තන්ත්‍රය ලියන නිමල් දිසානායක නිසා යයි සිතේ. 

අපූර්ව වූ ප්‍රේමය පිළිබඳ අන්දරය නිරූ හා සයුරු ගේ පරම්පරාවන් අතර ගැටුම ත් සයුරු ගේ පියාගේ විරෝධයත් කුල ප්‍රශ්නත්  හමුවේ වියැකී  යන්නේ නැත. එය ජීවය ලබන්නේ ඒ ප්‍රතිවිරෝධයන් තුළමය.

"මේ සොඳුරු අඳුරත්, අතීතයේ සිට ගල එන තලතෙල් පිළිස්සෙන සුවඳත්, නිරූ ගේ මුත්තාවරුන්   ගයන වේද ගීතිකා හඬත්, මට මෙන්ම නිරූටත් දැනෙන්නට, ඇසෙන්නට ඇති. ඒ සියල්ලෙන් මුසපත් වූ අපි අකස්මිකව එකට ළං වූයෙමු." (පි. 177)

කිලිනොච්චි යන ගමනේදී නිරූ මෙසේ කියයි. 
"බුද්ධාගම නම් ලංකාවේ දී ගොඩ යන එකක් නෑ  හලෝ " චෛත්‍යය දුටු  විගසම කීවාය. මවෙත නැති විඩාවක් නිරූ ගේ මුහුණේ සටහන් ව ඇත." (පි 145.) ඉදිරියට එන නායකයෙකු මිනිසුන්ට රැකියා අවස්ථා හදනවා  වෙනුවට  චෛත්‍ය   දහසක් හදන්නට පොරොන්දු වෙන කාලයක සිටින අපට ඒ වදන් නිවැරදි බව හැඟේ.

පොතේ මුල හරියේ දළඳා මාළිගාවට ගිය යුවළට මෙසේ සිතෙයි. "යාපනේ ලයිබ්‍රරියට ගිනි තියපු එක සිංහලයන්ටත්, ලංකාවේ දේශපාලකයන්ටත් වෙච්ච අගෞරවයක් කියල හිතුව නම් මේවා මිට වඩා ආරක්ෂා කරගන්න පාලකයෝ හිතයි. " යනුවෙන් සයුරු කියද්දී,
"කාලිංග මාඝ කාලේ වෙහෙර විහාර වැනසීමට දෙවෙනි නෑ  මේ වැඩේ" බෝම්බයෙන් දෙදරා ගිය බිත්තියේ (දළඳා මාළිගාවේ) නටබුන් දැක නිරූ අකම්පාල වූවාය. "   (පි. 116)

අප විසින් ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ මේ අවබෝධයයි. ලංකාවේ පොදු ජනතාව අතර නැත්තේද මේ අවබෝධයයි. කතුවරයා සූක්ෂම ලෙස ජාතික ප්‍රශ්නයේ කොනක්ද , කුල මල නිසා  සමාජයේ ඇති පීඩනය ද පොතට රිංගවා සාකච්චා කරන්නේ එය නොදැනෙන එහෙත් සිතට කාවදින ලෙසටය. 

එසේම මට හැම  පරිච්ඡේදයකම  මුල කතුවරයා එබ්බවූ  භගවද් ගීතා වේ වදන්ද සිතන්නට යමක් ඉතිරි කරන්නේ යයි සිතේ.   භගවද් ගීතාව කිහිප වරක් අතට ගෙන මදක් කියවා එහි ඇති පුරුෂෝත්තම වාදී, බ්‍රාහ්මික  වදන් වලට උරණව පසෙක තැබූ අයෙකු ලෙස මේ ලියා ඇති දේ මට විස්මය දන්වයි. (ඒවා කතුවරයාගේ නොවේ).

"තද සුළඟ විසින් යාත්‍රාවක් දිය මත පා කරන්නාක් මෙන්, නිදැල්ලේ සැරිසරන හැඟුම් විසින් බුද්ධිය ඉවතට රැගෙන යයි. - භගවද් ගීතා 2.67" (පි. 269). එය නැවත කියවිය යුතුය.

නිරූ පශ්චාත් නූතනවාදී (post modernist) පිළිඹිබුවක්  බවත් සයුරු පශ්චාත් යටත් විජිතවාදී බවත් (post colonialist)  ප්‍රමේයගත කළහොත් ගයත්‍රී ස්පිවැක් ඩෙරීඩා ගේ විසන්යෝජනයේ අවශ්‍ය පමණ  පශ්චාත් යටත්විජිත වාදය  අඩංගු නොවීම සීමාවක් යයි ලියූ බව මට මතක්  විය. කුලහීන කාන්තාවන් ගේ පීඩනය සූරාකෑම පිලිබඳ මද අවධානය ගැන ඇය ලියා ඇත. නිරූ කුලහීන කාන්තාවක් නොවන බව සැබෑ මුත් ඇය දෙමළ සම්භවයක වීම සයුරුගේ පියා තුල ඇගේ වංශවත් කම අභිබවා යයි. කතුවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ දර්ශනවාදී තල දෙක ස්පර්ශ කර ඇති බව මට සිතේ.  නමුත් ඒ ගැන සංවාදය අපට  වෙනත් දිනකට කල් තැබිය හැකිය.   

ප්‍රේමානිශංසය  අවසන් වන්නේ මේ පරම්පරා ගැටුමේ හා වංශවත් දෙමල සිංහල පවුල් දෙකකට සම්බන්ධ යුවලකගේ දරුවා ගේ ඉරණම සමගිනි. මම ඔබට එය නොකියමි. මා  පොත කියවා  ලැබූ ආහ්ලාදය, ප්‍රීතිය  මෙන්ම  ශෝකයද ඔබත් විඳිය යුතු යයි සිතමි.  කියවා  ලබන දැනුමක් වේ නම් එය ඔබටද , කියවන්නාට  හිමි විය යුතුය. මගේ සංචාරයන්ගෙන් මා ලබන්නේද එවැනි දැනුමකි. එවැනි චිත්ත ප්‍රතියකි. ඒ චිත්ත ප්‍රීතියම  මට  පොතක් කියවීමෙන් ද ලැබිය හැකිය.

ඒ ගැන කතුවරයාට ස්තුති වන්ත වෙමි.

පොතෙහි දෙමළ  පරිවර්තනයක් ඉදිරියේදී පළවන බව දැන  ගතිමි. එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ද කෙරෙන්නේ නම් මැනවිය. 

ප්‍රේමානිශංස  සරසවි ප්‍රකාශනයකි. චන්ද්‍රරත්න බණ්ඩාරයන් ගේ කෘතියකි. ඔබට ලැබෙන්නේ මිලට එහා ගිය තෘප්තියකි.  
       

~~~ අජිත් ධර්මකීර්ති 
  

    

Saturday, 29 October 2022

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5



ගිනි කන්ද තරණය කිරීමට ගිය ගමන එතරම් පහසු එකක් වූයේ නැත. ඉනෙස් එය මෙතරම් අමාරු වේ යැයි සිතුවේ නැති බව මට වැටහුනේ ඇය කන්දේ භාගයක් දුර ගොස් ඉදිරියට තව දුරටත් යාම ප්‍රතික්ෂේප කළ නිසාය. පළමුවෙන්ම අප කල වැරැද්ද වූයේ බෝට්ටු නවත්වන තොටුපලට පයින් යෑමට තීරණය කිරීමය. කේබල් කාරයක් තිබුනත් අප සිතුවේ පයින් පහළට බැසීමටය. එය වඩා බෑවුම් සහිත මාර්ගයක් නිසා පහළට යාම දියණියට පහසු වුවත් අප දෙදෙනාට පහලට බැසීමට සිදු වූයේ අපහසුවෙනි. බූරුවන් ගේ හා කොටලුවන්ගේ ගොම මග දිගේ පිරී තිබීම අපහසුව වැඩි කළේය. දියණිය කලින්ම ගොස් පෝලිමේ ඉදිරියෙන් සිටි නිසා පළමු රුවල් නැවටම නැගගත හැකි විය.


අපට  නොතේරුනේ ග්‍රීක දූපත් වාසීන් මෙතරම් පමාවී මේ සංචාර ආරම්භ කරන්නේ ඇයිද යන්නය. ඒ සමගම මට වැටහුනේ  ඔවුන්ට මේ ග්‍රීෂ්මය  හා දැඩි උණුසුම දරා ගත හැකිය යන්නය. ශ්‍රී ලංකාවේ  උපන් මටද මේ දැඩි උනුසුම  දරා ගැනීම මදක්  අපහසු විය.  ග්‍රීක වාසීන් ගේ එක ගතිගුණයක් වන්නේ පමාවී ඇහැරීමය. ඔවුන් වඩාත් ප්‍රාණවත් වන්නේ සිහිල් රාත්‍රියටය. ඔවුන් මේ පමාවී සංචාර ඇරඹීමේ හේතුවද එයයි. 

ගිනි කඳු මුදුන  උඩ සිට බලන විට පහත මුහුද කල්දේරාව  පියකරු දසුනකි. මේ පියකරු බව යටින් උණුවී ලෝදිය දමන ගිනි කන්දක් තවමත් ඇති බව මදකට අමතක වී යයි. ගිනි කන්ද පිහිට තිබෙන කල්දේරා ව මැද කොටසේ කුඩා දූපත් දෙකක් ඉස්මතුව  පෙනේ. මේවා නමින් පලයියා කමෙනි හා නෙයා කමෙනි නම් වේ.  ගැඹුරු මිහුදේ ඇතිවූ ගිනි කඳු පිපිරීම් නිසා ම දුඅත් මතුව ඇති බව භූ විද්‍යාඥයන් ගේ මතයයි. අවසාන මහා පිපීරිම 1950 වර්ෂයේ සිදුව තිබේ. අවසාන වරට ක්‍රියාකාරම් සටහන්ව ඇත්තේ 2011 -2012 වසර වලය. 

මුළු දූපතේ ම එක තැනක පමණක් ගහක් වැනි යමක්  දැකගත හැකි විය. ළඟින් බැලූවිට එය ගහකට වඩා පඳුරු ගොන්නක් බව පෙනේ.  


පහත ඇත්තේ සමහර ඡායාරූපය. 



කන්ද මැද විශාල ආවාටය මෙහි පෙනේ. 


මා ස්කොට්ලන්තයේ සහ එංගලන්තේ ද දුටු පරිදි කන්ද මුදුනේ මිනිසුන් කුඩා පාෂාණ  එකතුකර එක උඩ එක තබා යති. ඒ තමන් එහි නැග්ග බව ප්‍රකාශ කිරීමට මෙන්ම වයිකින් වරුන්ගේ චාරිත්‍රයකට අ නුව මියගිය නෑදෑයින් , යහළුවන් සහ ගොතරයේ අය ද වත්මනේ වෙසෙන අයද සිහි කිරීමට බවද අසා ඇත්තෙමි.  මමද ඒ පුරුද්දට අනුව යමින් පවුලේ අය සහ යහළුවන් උදෙසා කුඩා පාෂාණ ස්මාරකයක් හැදුවෙමි. 





පිපිරීම් ගැන සොයන මාපක. 




මේ ආවාට වල තවමත් සල්ෆර් සුවඳ යුතු දුම් පිටවේ. 


මේ සමරු ඵලකයේ ඇත්තේ සියලු ගිනිකඳු  පිපිරීම් වල ඉතිහාසයය. ක්‍රිස්තු පූර්ව 197 මෙහි දක්වා ඇතත් ක්‍රිස්තු පූර්ව 1600 පමණ සිදුවූ  මිනෝවන් පිපිරීම දක්වා නැත. 



අපි ආපසු නැවට පැමිණි පසු ඔවුහු අපව උණු දිය උල්පත් කරා රැගෙන ගියහ. උල්පත් ඇත්තේ දෙවන දුපතේ පැත්තකය. එයට යාමට මුහුදට පැන පිහිනා යා යුතුය. මේ සල්ෆර් ගඳ සහිත මඩ උල්පත් වල ඖෂධිය ගුණ ඇතැයි සිතා  හැමෝම පැන නාති. ඊට කලින් දවස සුදු වෙරළ නම් පෙදෙසේ පිහිනද්දී  ගල් කුලකට නැගීම නිසා මගේ ඇඟිල්ලක් කැපී තිබුණි. එනිසා මේ මඩ උල්පතට මා නොයා යුතුය යන අවවාදය ලැබුණු හෙයින් මට පින්තූර ගැනීමේ කාර්යයේ පමණක් නියැලෙන්නට සිදු වුනි. 


මේ දූපත් වලින් පැමිණෙද්දී ප්‍රධාන වෙරළවල් තුනක් දැකිය හැකිය. මේවා හඳුන් වන්නේ රතු වෙරළ, සුදු වෙරළ සහ  කළු වෙරළ වශයෙනි. මෙයින් සුදු වෙරළට යා හැක්කේ බෝට්ටුවකින් පමණි.  මටනම් වඩා සුන්දර වෙරළ සංචාරකයන් අඩු මෙම සුදු වෙරලය. එයට හේතුව සමහර විට ගොඩබිම් මාර්ගයක් නැතිවීම විය හැකිය. එසේම මුහුදේ සෑහෙන දුරක් යනතුරුම පිහිනිය හැකි ලෙස ඇත්තේ අඩි  පහක පමණ ගැඹුරකි. 

මේ නම් සැදී ඇත්ත වෙරළ ඇති කොටසේ කඳු වල වර්ණය නිසාය. පැරණි ගිනි කඳු පිපිරීම් වල ලාවා සහ පාෂාණ හේතුවෙන් මේ රතු, සුදු සහ කළු බිත්ති සෑදී තිබේ. මෙයින් වඩාත් වර්ණවත් එක වන්නේ රතු බිත්ති සහ රතු පාෂාණ සහිත රතු වෙරළය. 














ගමන අවසානයේ මේ රුවල් නැව් තවත් වෙරළකට අප රැගෙන ගියේ ආහාර ගැනීමටය. මේවායේ බොහෝ විට තිබුනේ මාළු , පොකිරිස්සන් , ඉස්සන් වැනි බාබෙකිව් කරනා ලද ආහාර ය. 






Wednesday, 12 October 2022

කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 - කුහුඹු රාජ්‍යය


ජෙහාන්: සර් එන්න කීවේ 

සර්: බලනවකො අයිසේ නාකි උන්දෑ ආයේ එන්න හදනවනේ, නැගිට ගන්නත් පණ නැහැ. අනික එයාලු මට මේවා ඔක්කොම දුන්නේ. එයා දුන්න මගුලක් නැහැ . මේවා ඔක්කොම අපි අරගලේ  කරලා හම්බ වෙච්ච දේ නේ.

ජෙහාන්: ඒකනේ සර් මම නොදන්නවය. දැන් අපේ වෘත්තීය සමිති අන්කල් ටත් හොඳ පෝස්ට් එකක් ලැබුන. මාධ්‍ය මල්ලිටත් හොඳ පෝස්ට් එකක් ලැබුන. ඔක්කොම ගොඩනේ සර්.
 
සර්: ඒ   උනාට නාකි උන්දැ මොකක්  හරි ට්‍රයි කරනවා. මිනිහත් මම වගේම නේ. අත අරින්නෙම නැහැනේ අයිසේ .

ජෙහාන්: ඒකනම් ඇත්ත සර්. සර් බය වෙන්න එපා. මගේ ක්‍රමේට වැඩේ ගෙනියන්න.  අර සති දෙක තුනකට කලින් එවපු සෙට් එකට පොලිස් කුඹියෝ  ලව්වා හොඳට සබ්බුව දුන්න නේ සර්. මාධ්‍ය වලට හොඳ වොයිස් කට්  ටිකකුත් වැටුන.  සර් ඒ වැඩේ හොඳට ගෙනියන්න.ලොකු  පොලිස්  කුඹියට  කියන්න නිත්‍යානුකුලව ඇදගෙන යන්න  කියල. නීතියට අනුව  තමා ඕනේ ඔක්කොම.ගහන්න ඕනෙත් දැනුම්  දීල හරිද?

සර්: හරි හරි අයිසේ ඒ අය වැඩේ කලානේ . ඒත් නාකියා හිතන්නේ මම ඒ පැත්තේ කියලනේ. පොර ට ආයේ මම මේක දෙයි කියල හිතන් ඉන්නේ. මලය නම් මුලදීම තේරුම් ගත්ත. මේ උන්දැ අහන්නෙම නැහැනේ. ඌටම හරියන ගොබ්බ සෙට් එකකුත් ඉන්නවනේ.  

ජෙහාන්: සර් මම තව කට්ටියකුත් එවනවා ඉස්සරහට. මේක තව ටිකක් වැඩි කරමු, අපි ඉස්සර වගේම  අරගලේට තව කට්ටියක් රිංගවමු . ඒ අය වැඩේ කරයි. සර් පොලිසියෙන් හොඳට නෙලන්න. කහ සිවුරු, ළමයි, ෆාදර් ල කියල බලන්න එපා. නීතිඥයෝ නම් ටිකක් ඉවසන්න කියන්න සර්. ඒ අය අවුස්සා  ගන්න එපා. අපට පාඩුයි.  

 සර්: හරි අයිසේ, ඒත් මට අල්ලන්නේ නැහැ යන විධිහ. මුන් දැන් ව්‍යවස්ථා සංශෝධනේ  ටත් බැහැයි කියන්න යන්නේ.

ජෙහාන්: සර් තව වැඩ තියනවා. මම අර සල්ලි දාන කෑල්ල ත් සෙට් කරලා හදාගෙන  ආවනේ. එයා ගානට හැමෝම  එක්ක ෆොටෝ හෙම ගහගෙන තියෙන්නේ. පොලිසියෙන් අල්ලපු ගමන් මම නම් ලිස්ට් එකකුත් එලියට දාන්නම් සර්. එතනත් බුකියට, පත්තර වලට වෙන කතා කරන්න දෙයක් නැතිව යනවා. තව ඒ වගේ දෙතුන් දෙනෙක් එලියට දාන්නම් සර් ඉස්සරහට. අරගලේට අපේ කට්ටිය දාල තව අංශක දෙක තුනකින් ඌෂ්නේ   වැඩි කරන්නම්  සර්. නැතිව බෑ . නාකි උන්දැ හොඳටම  බය වෙයි. සර් අර පැත්තට සලකන්න හරිද? ඒ ගොල්ලෝ හොඳින් තියා ගන්න සර්.

සර්: මොකද අයිසේ සලකන්නේ නැත්තේ., ඒ අයව ඇතුලට ගත්තද ? ගත්ත ගමන් එළියේ. ණය දෙනවා. මිඩියා වල  කතා දෙනවා. එයාලට ඕන දෙයක් කරන්න පුළුවන්.

ජෙහාන්: හරි හරි සර්, මම දන්නවනේ. තව පොඩි දෙයක් තියනවා සර්. අර ඩඹානේ ඇත්තෝ සර්, තව ටිකක් ඔහේම හිටපු දෙන්.

සර් : අයිසේ ඒ මනුස්සය මුකුත් කරල නැහැනේ. මේ තමුසෙලා කියන නිසා තියන්  හිටියට.  පෙළපාලි වල ඉස්සරහ යන එක වරදක් නෙමේනේ අයිසේ. උසාවියට දාපු ගමන් එලියට දායි.

ජෙහාන්: මේකනේ සර් , ඒ වුනාට උන් අරගලේ සීරියස් කරන එවුන්නේ සර්. සර් මොනවහරි කරලා තව මාසයක් දෙකක් ඇදන් යන්න. . ඊට පස්සේ මම වෙන ගේමක් දෙන්නම්කො සර්. අනික්  එක සර් ඔය කැඳවුම් කාරයෝ එලියට ආවම මීඩියා කෑලි එක්ක සෙට් වෙනවා. බැඳ ගන්නවා. ඊට පස්සේ උන් ටෙලියේ පොර ටෝක් දෙනවා. අලුතින් බඩගාන  කෙල්ලෝ කොල්ලෝ ටික අඹර ගන්නවා. අනිත් අයට පාඩුනේ සර්. 

සර්: හරි හරි , මම මොකක් හරි කරන්නම්. ගිහින්  එනවා. මතකනේ අර වැඩ එකින් එක දානවා හරිද?
ජෙහාන්: හරි හරි සර්. යන්නම්.

**********මතු සම්බන්ධයක්  නැත 
-අජිත් 
(උපහාසයට ලියන ලද්දකි. සීරියස් නොගන්න. සීරියස් නම් අහක බලාගෙන පහලට යන්න.)

Saturday, 8 October 2022

නිවාඩුවට ගමේ යන්න , නිවාඩුවට ඇවිදින්න යන්න






















මම පහු ගිය කාලේ ග්‍රීස් ගිය ගමන  ගැන ලිව්වනේ. ඒ  ලිපි පෙළ තවම ඉවර නැහැ.  ඒකට ඇනෝ ප්‍රතිචාරයක් වැටිලා තිබුන මෙහෙම.//ශ්‍රී ලංකාවේ මිනිසුන් හාමතේ මිය යද්දී මෙම පුද්ගලයා ඒ ගැන වගේ වගක්‌ නැතුව විවිද රටවල ඇවිදිමින් කමින් බොමින් ප්‍රීතිවෙයි.//  මෙයට මම එතැනදී වෙනත් පිළිතුරක් දුන්නා. මේ දිනවල  මා සිටින්නේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාව  ලස්සන රටක්. ග්‍රීසියේ අප ගිය සමහර දූපත් වල බොන්න වතුර නැහැ. මිනිස්සු කුඩා ගෙවල් හදාගෙන ඉන්නේ.  ඒවායේ  උඩ වහළ  පැතලි    කොටුවක් වගේ. වැහි වතුර එකතු කර ගන්න එහම හදල තියෙන්නේ. දුපත්  දෙක තුනකම  හරි හැටි ගහක් කොලක් නැහැ. රස්නෙයි.  ඒ ඇති ප්‍රශ්න නිසාම ඔවුන් මුහුදු යාම , නැව් හැදීම මෙන්ම සංචාරකයන් තමන්ගේ රට කරා ගෙන්වීම ගැන කැප වෙලා ඉන්නේ. ඔවුන් ජිවිතේ ගෙවනවා  ප්‍රීතියෙන්.

 මට  ග්‍රීසිය වැදගත්  එහි ඉතිහාසය නිසා. මා සඳහන් කළ  එම ගිනි කන්ද පිපිරිම නිසා වැනසුණු විශිෂ්ඨ  ශිෂ්ඨාචාරය  සුදු මිනිසුන්ගේ එකක්  නොවීම නිසා මුලින් ඉස්මතු නොවුණු එම ශිෂ්ඨාචාරය ගැන ඇති කුතුහලය නිසා.
  
 මට තවම ලංකාවේ  හාමතින් මැරුණු කෙනෙක් හොයා ගන්න බැරි වුනා. රොටියක් හදා ගන්න පිටි නැති නගර , ගම්  තිබුනත් එක වේලක් කාල හරි ටීවී නාට්‍ය  බලන ජනතාවක්  ඉන්න රටක්. 
       වෙන අය පිටරටවල ඇවිදින්න යනකොට  දුකක් සිතීම  සාධාරණයි. ඒක මිනිස් ගතිය. ඒ කාලේ සෝවියට් රුසියානු  ජනතාවත් ඒ ගැන පැමිණිලි කළා මට මතකයි.   මගේ අතේ මිටේ කොහොමටත් මුදල්  නොගැවසුනු කාලෙක මම කළේ සංචාර ගැන තියෙන පොත් කියවන එක. මට මතක විධිහට මීමන ප්‍රේමතිලක මහතා ලියපු එංගලන්තයේ සංචාර ගැන පොතක් කියවූවා මතකයි. ඊට  පස්සේ රුසියානු සහ ඉංග්‍රීසි සාහිත්‍යට නැඹුරු වුනහම රටවල් ගැන වඩාත් විස්තර දැන ගත්ත.

 ඒ දවස් වල කුඩා කාලේ  බදුල්ලේ ඉඳන් කොළඹට සහ කොළඹ ඉඳන් බදුල්ලට දුම්රියෙන්  ගිය ගමන තමා රසවත්ම එක. සිරී පාදේ ගමනත් ඒ වගේම මතකයේ රැඳුනු එකක්.  ඊට අමතරව කුරුණෑගල යන එක. 

මම 17 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ ඉන්න කාලේ අපේ බාලදක්ෂ මාස්ටර් කෙනෙක් හිටිය බණ්ඩාර අයිය  කියල.එයා තමා අපි  කිහිප දෙනෙක් බඳවා ගත්තේ ඒකට.  අපි ගමන් යන්න ආස බව දැනගත්   බණ්ඩාර අයියා යෝජනා කලා බයිසිකල් ටුවර් එකක් යන්න. ප්‍රසිඩන්ට් බැජ් එකටද කොහෙද හොඳයි කියල.  වැඩි වියදමක් නැති ගමනක් කියලත් පැහැදිලි කළා. එයා අපට බයිසිකල්  පැච් දාන්න පුරුදු කළා. අපට දැන් වගේ හොඳ බයිසිකල් තිබුනේ නැහැ. මම තාත්තගේ මළකඩ කාපු පරණ බයිසිකලේ තමයි අරන් ගියේ.  අපි  හය දෙනෙක්ද කොහෙද තමා ගමනට එක් වුනේ.. ඔක්කොම අවුරුදු 15-16 සෙට් එකක්.  පොල්ගහවෙල වෙනකන් ගිහින්  එහි සිටි අපේ ඥාති වන කිරි අම්ම කෙනෙක් ගේ  ගෙදරක රෑ නතර වුනා. උන්දෑ අපට පානුත්  කන්න දුන්නාද  කොහෙද?  දැන් කාලේ අර්ධ සුඛෝපභෝගී කෑමක් ලුනේ. 
 පස්සේ කුරුණෑගල ගිහින් ඇතුගල කන්ද නැගල බැහැල ,  දවල් වෙනකොට ඒ ළඟ තිබ්බ පොඩි කන්දකටත්  නැගල ගස් හෙවනක වාඩි වුනා. බණ්ඩාර අයිය බත් පාර්සල් වගයක් ගෙනාව එයාගේ වියදමින්.  එයා අපිව හමුවෙන්න  බස් එකේ ආවේ. ඒ කෑම එක  අදටත් රහයි අර වෙහෙස මහන්සිය නිසා. ඒ ගමනේ දී වෙලාව අරගෙන  රටේ වටාපිටාව බලමින් ගිය නිසා රටේ සුන්දරත්වය හොඳින්  දුටුවා.

ඉතින් මම මේ කියන්න යන්නේ පිටරටකට දැනට  යන්න බැරිනම් ලංකාවේ ඕන තරම් සුන්දර තැන් තියෙනවා යන්න.   සල්ලි දීල හෝටල් වල නවතින්න බැරිනම් කුඩාරමක් ගහන්න ඉගෙන ගන්න. ලාභ ඒවා  තිබෙනවා..හදිසියේ   දර ලිපක් අටවලා  උයන්න ඉගෙන ගන්න, බාලදක්ෂ කණ්ඩායමේ  ඉද්දි අපි ඒවත් ඉගෙන ගත්ත.  මේ පංච තන්ත්‍රේ  බ්ලොග් එක ලියන නිමල් දිසානායකගේ ගමන් සටහනක්. තවමත් එයා ඒ ගමන් යනවා.  බස් වල යන්න සල්ලි නැත්නම් දවසකට යන්න පුළුවන් දුර ප්‍රමාණය ඇවිදින්න පුළුවන්. නවතින තැනක් හොයා ගන්න පුළුවන් යාළුවෙක්  සෙට්  වුනොත්. එහෙම දිගින් දිගටම සංචාරය කරන කොට  ධනාත්මකව හිතන  වෙනත් මිනිහෙක් ඉබේම නිර්මාණය වේවි.  

මුහුණු පොතේ රන්දිකා රණවීර සහ වාසන ලංකාවේ  කුරුල්ලෝ බලන්න සංචාර වලට ගිහින් ලස්සන  පින්තූර සමුහයක් පල කරලා තිබුණ.  

ඉතින් ඊට  පස්සේ  වාසනාවට සෝවියට් දේශයට ගිය නිසා සංචාර ගොඩක් කළා. ඒකට ඒ ශ්‍රේෂ්ඨ  රටට තවමත්  ණයගැතියි.  මමයි බිරින්දැයි යාළුවුන මුල් දවස් වල (එංගලන්තයේ) අපට කාරයක් තිබුනේ නැහැ. දුම්රියේ ඈත නගර වලට ගියා බලන්න . එකපාරක් බලකොටුවක් බලල එද්දී දුම්රිය මිස් වෙන්න ඔන්න මෙන්න. අපි දෙන්න දුවගෙන එනවා මුලදීම දුටුව රියදුරු මහත්මය,  දුම්රිය නවත්වාගෙන හිටිය අපි නගිනකම්. ඒ වගේ සුන්දර සිදුවීම් තිබ්බ.

කාරයක් ගත්තම සංචාරක වැඩේ වඩා ලෙහෙසි  වුනා. ඒත් මුදල් හිඟකම් තිබ්බ. දෙන්නම ඉගෙන ගන්නවා. මම ගෙදරට උදව කරනවා පිය අසනීපෙන් නිසා. ඒ ප්‍රශ්නත් තිබ්බ. වරක් වැව් දිස්ත්‍රික්කේ හෙවත් ලේක් දිස්ත්‍රික්කයට ගියා. රෑ  වුන නිසා හෝටලයක් නැහැ. දැන් වගේ ඔන්ලයින් බුකින් තිබ්බ කාලයක් නොවේනේ.  තියෙන ඒව ගාන වැඩියි. කාරෙකේ එදා රෑ නිදා ගත්ත. ඊට පස්සේ, පහුවදා  කරුණාවන්ත වයසක කාන්තාවකගේ කුඩා පිරිසිදු හෝටලයක  හිටිය දින දෙකක් අඩු මුදලකට. දැන් එහෙම යන්න ඕනේ නැහැ. නමුත් එතැනට එන්න කාලයක් ගියා.

අදටත් අපි ඇවිදින්න යනවා,වාර්ෂික  නිවාඩු යනව. ඒවා ගැන ලියන එකනම් මගේ කැමැත්ත. ඉනෙස් කරන්නේ ලොකු පොත අරන් පින්තුර මුද්‍රණය කරගෙන ඇල්බම්  හදන එක. පස්සේ දවසක බලන්න. එයා  පින්තූර කොම්පියුටරේ තියන් ඉන්න කැමති නැහැ.
අනික තමයි ලංකාවේ ඇවිදින්න යනකොට හමුවෙන පලතුරු ප්‍රමාණය . වෙන කිසිම  රටක නැති අමුතු  අන්දමේ පලතුරු මේ රටේ  තිබෙනවා , එළවලු  වැවෙනවා..එච්චර සශ්‍රික රටක්. ග්‍රීක දුපත් වල වැසියෝ කොපමණ අවාසනාවන්තද එහම බැලුවහම? හැබැයි උන් ලංකාවට වඩා පොහොසත්. ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම වෙන්න  ඕනේ හේතුව.

ලාවුළු අපට කන්න පුරුදු කලේ අම්ම. ඒ දවස් වල ලුණුගල පාසැල ගාව නිවසක තිබ්බ ලාවුළු මම ගෙදර අර න් එනවා. අම්ම ඒවා  උයනවා.පරිප්පු වගේ. ලාවුළු පිටි රහට කන ප්‍රණීත ගුණවත් කෑමක් . දැන් නම් ඒවා වැඩිය නැතිලු. . පැළ  මද, වෙරළු, ලොවි, නාරං , රතු කෙහෙල්, සීනි කෙහෙල්, ආනමාලු,  පේර  (පේර  ගෙඩියක් පවුමක් නැත්නම් රුපියල් හාරසීයක් ලන්ඩන් වල. ඒ නිසා මම ඇති තරම් කන්නේ පේර  මෙහෙදී) 


 ,දිවුල් හදල බොන්න පුළුවන්.  ගස්ලබු (පැපොල්)  කන්නත් පුළුවන්, බොන්නත් පුලුවන්. බෙලි, නමිනං , කාමරංගා - ඔය මම කන පළතුරු ජාති වලින් කිහිපයක්.  

හාමතේ මැරෙන්නේ නැතිව වැඩක් කරගන්න බැරි රටක්ද මේක? සංචාර කරන්න බැරි රටක්ද?