Friday, 28 December 2018

නවකතාවක ගැටළු - "සියාමා" එළි දැක්වීමේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් කළ කතාව - 2, 3

නවකතාවක ගැටළු - "සියාමා"  එළි දැක්වීමේ දී  දීප්ති කුමාර ගුණරත්න විසින් කල කතාව -  1
දීප්ති කුමාර ගුණරත්න 


2 කොටස

පොතෙන් උපුටා ගැනීම

“එහෙත් අප සැම අත්විදිමින් ඉන්නා පොදු ඛේදයක්  අප හමුවේ නිරාවරණය කරන්නකි. දක්ෂ කතන්දරකරුවෙකු  ලෙස අජිත් ගොඩ නගන මෙම නවකථාව සියලු අන්තවාදයන් පිළිකෙව් කරන්නට පාඨක සිත් අවධිකරයි. 
               
                අපි ගත්තොත් නවකථාව පිළිබඳව මූලික නීති රීති සහ  න්‍යායට අනුව මේ නවකතාව වර්ගීකරණය කරලා නැහැ. දැන් ලංකාවේ මේ වෙලාවේ මේ  විචාරකයෝ කවුරුත් මේවා කරන්නේ නැහැ. කවුරුත් මේවා මේ වෙලාවේ කරන්නේවත් නැ. ඒ නිසා අපි හිතනවා දැන් යන විදිය හරියි කියලා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්.   
මම දේශපාලනයට එන 80 ගණන් වලදී ඒ වෙලාවේ මතුවෙච්ච ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය තමයි පවුල ගතානුගතිකයි, රැඩිකල් නොවීම. ප්‍රඡාතන්ත්‍රවාදය සවුත්තු වීගෙන යනවා. මේක මීට වඩා රැඩිකල් වෙන්න ඕනි කියලා. බොහෝ පැරණි රාජ්‍ය ය, පවුල , ලිංගිකත්වය මේවා රැඩිකල් වෙන්න ඕනි කියන එක තමයි 80 දශකයේ මතු වුණු දේ.

            දැන් ඇවිත්  පවුල, රාජ්‍ය නැවත Restore නැතිනම් ප්‍රතිෂ්ඨාපනය කරන්න කියන තැනට ඉල්ලීම් ඇවිත්, නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න පවුල, නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න සමාජය, නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න රාජ්‍යය  කියන තැනට ඇවිත්. ඒකයි මං කියන්නේ දයලෙක්තිකව අපි මේ චේන්ජ් එක තේරුම් ගත යුතුයි.

මම මේ දැන් කරන්නේ නව කතාව කියන Structure එක මොකක්ද, ඒක analyse කරන්නේ කොහොමද, ඒවට අපි යටත් වෙන්න ඕනිද සන්නස්ගල වගේ පිස්සො කියන කතා වලට, මේ කාලේ. ගොඩක් අය බයයි මේව එළිපිට කියන්න. මේවා මම හොයලා බලලා කියන්නේ. අපි මේවා කිව්වේ නැත්නම් නිවට වෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු නිහඬයි.  යන්න කොළඹ විශ්ව විද්‍යාලය ඉස්සරහ පාරට. පර්මීට් වලට ගත්තු තඩි වාහන කොච්චර තියෙනවද කියල බලන්න. ඒ වාහන වලින් මොනවද අපිට ගම්‍ය කරන්නේ? කිසිම Study එකක් නැති වාහන ආතල් ටිකක් එතන තියෙනවා කියලා. ඉතිං ඒ මිනිස්සු කොහොමද නවකතාවල් සම්බන්ධයෙන් න්‍යායන් හදන්නෙ මේ වගේ පාදඩයොත් එක්ක. බෑ බයයි.
  
අපි ඔන්න ඔය දේවල් තේරුම් ගන්න ඕනේ. කලබල වෙන්න ඕනේ නැහැ මං කියන්නේ. අපි මේවා කතා කරලයි නවකතාවට එන්න ඕනි. අපි මේක හරියට කිව්වේ නැත්නම් අපි ආත්ම වංචනිකයෝ. මම කිව්වේ මූලික වශයෙන් ඒ වෙනස .
Mia Farrow

මම තව උදාහරණයක් කියන්නම්. ඇමරිකානු සිනමා අධ්‍යක්ෂ වූඩි ඇලන් සහ මියා ෆරෝව් අතර සම්බන්ධයක් තිබුණා. එක් අවස්ථාවක මියා ෆරොව් වූඩි ඇලන් ගැන ලොකු විවේචනයක් කරලා එයාව අත හැරලා දානවා. එතනදි ඇමරිකානු මාධ්‍ය ගත්තේ මියා ෆරොව් ගේ පැත්ත නෙමේ  වූඩි ඇලන්ගේ පැත්ත. ඇමරිකානු  මාධ්‍ය කිව්වේ "කරුණාකර ඔබලාගේ පෞද්ගලික ප්‍රශ්න ගෙදරදී බලා ගන්න. එය සිනමාවට සම්බන්ධ නැහැ."
Woody Allen

 අපේ රටේ නම් ඒ සිද්ධිය වෙන්නේ අනිත් පැත්තට. අශෝක හඳගමගෙයි, අනෝමා ජනාදරීගෙයි ප්‍රශ්නේ අපේ පත්තරකාරයෝ උඩගෙඩි දුන්නේ අනෝමට. මෙන්න මේක තමයි වෙනස. අනෝමා ජනාදරීව හොයාගෙන ගිහින් අහනවා අරයගෙ පුරුෂ ශක්තිය හෙම කොහොමද කියල. ඉන්පස්සෙ ඉතින් අනෝමාත් ඇරලා දානවා දිගට හරහට. ඒවා පල  කරන්නේ මහා බෞද්ධයෙක් වන සිරි රණසිංහ. තක්කඩියා. ඒවා තමයි අපේ දරුවන්ට ඉන් පස්සේ යන්නේ. අපේ රටට  මුග්ධකම දෛනිකව දෙන ජඩයා මං කියන්නේ. ඒ යක්කු මැරෙන්නෙත් නැහැ. ලංකාවේ හොඳ හදවතක් තියෙන සංවේදී මිනිස්සු ඉක්මනින් මැරෙනවා. සේකර වගේ කෙනෙකු ඉක්මනින් මැරුණා. මෙයාලා අවුරුදු 150 ක් විතර ජීවත් වෙනවා. රට ඉවරයි මං කියන්නේ. ඒ ගොල්ලො තමයි දවසින් දවස, ලංකාව ව්‍යුහගත කරන්නේ. උදේට මොනවාද වෙන්නේ , දවල්ට මොනවද වෙන්නේ කියලා. ඒවා ව්‍යුහගත කරන්නේ මේ තක්කඩි රැළ. මේවා කිව්වම මාත් එක්ක තරහ වෙනවා. මේවා මෙවැනි සංවාද වලට හොඳ  නැහැ කියල, ගෙන්නනත් හොඳ නැහැ කියල හිතනවා. නමුත් මේවා  ඇත්ත.

             අපි බලමු මීළඟට  සියාමා සහ අපේ මේ කතා වස්තුවේ තියෙන ප්‍රධාන ටර්න්  එක. ඔබට පැහැදිලි ඇති නවකතාව සම්බන්ධයෙන්  විචාරයක් කරනවා නම් මූළික ගැටුම තමයි ආකෘතිවාදය සහ සදාචාරය. ඒ කියන්නේ form එක. මේ ෆෝම් එක සියාමා ගත්තත්, "රළ" ගත්තත් දෙකේම ආකෘතියේ තියෙනවා සමානාත්මතාවයක්. හැබැයි රළ නවකතාවට  වඩා සියාමා කියන නව කථාවේ සදාචාර පණිවිඩයක් තියනවා. අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මොකක්ද ඒ  සදාචාරය?

             එහි සදාචාරත්මක පණිවිඩය කියන දේ ගැන කාට හරි කතාකරන්න ඕන නම් කල්පනා කරන්න ඕන නම් කතා කරන්න  පුළුවන් නමුත් වෙලා නැහැ. මොකද මටත් තියෙන්නේ අර කිව්ව වගේම වෙලාවක්නෙ. ග්‍රැහැම් ග්‍රීන් ගේ සාහිත්‍ය විචාර රචනා , ඒක මහාචාර්ය සුරවීර පරිවර්තනය කරලා තියෙන්නෙ. ඇත්තම කියනවා නම් ලංකාවේ නවකතා විචාරය කළයුතු, අධ්‍යනය කළ යුතු සියලුම න්‍යායන් සහිත පොත් ටික පිළිවෙලට තියෙනවා. ඔය පහුගිය කාලේ කතා කරපු  කිසි කෙනෙක්  ඒවා බලන්නේ නැහැ. මම දැක්කා පහුගිය කාලේ ටෙනිසන් පෙරේරා මහතා ලොකු විවේචනයක් විචාරයක් පලකරලා තියෙනවා. මේ කාලේ පළවෙන  නවකතා පුද්ගලික අත්දැකීම් කියලා. එයාට තේරෙන්නේ නැහැ. එයා ඒක කිව්වේ මොකටද? "අප්පච්චි ඇවිත්" කියන නවකතාවට. "අප්පච්චි ඇවිත්" කියන නවකථාව කියවලා කියනවා මේකේ තියෙන්නේ  පුද්ගලික අත්දැකීමක් කියල. දැන් මෙයා මේ නවල් ගැන තියෙන තියරිය එක දන්නේ නැහැ. 

අපි ගමු "ඇනා කැරනිනා" නැතිනම් "යුද්ධය හා සාමය", දැන් මේවා  ඇතුලේ තියෙන්නේ මොකක්ද? පුද්ගලයන්ගේ ආත්මීය කාරණා ටික. ඒ ඒ දේවල් වලට මුහුණ දෙත්දි තියෙන ආත්මීය කාරණාටික. අපි කීවොත් එහෙම ඇයි  "දුහුළු මලක්" චිත්‍රපටියට වඩා විශිෂ්ඨ නිර්මාණයක්  ලෙස "හංසවිලක්"  ගන්නේ කියල. දෙකේම තියෙන්නේ එකම විවාහය හා  විකල්ප සම්බන්ධයක් අතර තියන ප්‍රශ්නය. හැබැයි ඇයි එකක් අනිත් එකට වඩා විශිෂ්ඨයි කියන්නේ. දෙවැන්න සදාචාරවාදය.. හංසවිලක් සාදාචාරවාදීයි. ඒ තුළ ආකෘතිය විතරයි තියෙන්නේ. ඒකෙන් කියන්නේ අරකත් නෙවී , මේකත් නෙවී කියලා. "දුහුළු මලක්" හිදි කියන්නේ "ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ" කියන නන්දා මාලනිගේ ලස්සන සිංදුව කියලා නැවත කසාදේ අස්සට යනවා.

            එතකොට අපි රළ සහ සියාමා නව කතාව දෙක සන්සන්දනය කරන කොට සියාමා එකේ තියෙන Love story එකේ තියෙන මූලික  ප්‍රශ්නෙ තමයි, අපි ටිකක කල්පනා කරලා කියන්න ඕනේ. අපි හිතමු මෙහෙම, භක්ති කියන විචාරකයා කියන දෙයක් තමයි නවකථාවට විවිධ අයගේ හඬ  තියෙන්න ඕනි. එක්කෙනෙක් ගේ හඬ  විතරක් නොවෙයි.නවකතාවක විවිධ චරිත දේවල් කතා කරන්න ඕනි. බොහෝ දෙනාගේ කථිකා හඬ අප ඇසිය යුතුයි. දැන් සියාමා එකේ ගැටලුවක් නෙමෙයි  සියාමා එකේ තියෙන්නේ ඇත්තටම,  කොහොමද පිරිමියෙක් ෆැන්ටසයිස් කරන්නේ තමා කැමති ගැහැණියව? ඒකට සම්බන්ධ වෙනවා කියලා අපි හිතනවා යම්කිසි ඉන්  බාහිර දෙයක්. ඒ තමයි අර අන්තවාදය. නමුත් අපි කල්පනාවෙන් මේ නව කතාවේ ආත්මීය  පැත්ත බලනවා නම් නවකතාවේ වැඩිපුර තියෙන්නේ  ජාතිය පැත්ත. ඒකේ නැහැ විසදුම්.  සමහර කතාවල විසඳුම් දෙන්න යනවනේ.

            එතකොට මේ නවකතාවේ මූලිකම වැදගත්ම දේ තමයි එක තැනක තියෙනවා  සියාමා කියනවා අර පිරිමි  චරිතෙට. "අපි දෙන්නා ටිකක් ආශ්‍රයක්  කරගෙන යනවා."  නමුත් ඒක ‘’නම්කරන්න එපා. මේකට යන්න දෙන්න ඔහේ. ඒකට දෙන්න එපා ආකෘතියක්. මේක කියන්නත්  එපා කාටවත්. ..... මම හිතන්නේ මේ නව කතාවේ මතු කරගන්නම තිබුණු තැනක් අවස්ථාවක්. නමුත් ඒක එච්චර එළියට ආවේ නැ. ඉන්පස්සේ යටපත් වෙලා, වෙන වෙන පැතිවලට යනවා. ඉස්සරහට නවකතාවක බීජය සංවර්ධනය කරනවා නම් ඔන්න ඔය දේ වැදගත්. 


3 කොටස

ඔන්න NGO එකක් තියනවා. ඒකෙ පිරිමියෙක් තමයි ප්‍රධානියා. වැඩ කරන ලස්සන තරුණියෝ ඉන්නවා. එක තරුණියක් කැමතියි මේ හොඳ, ගුණ ගරුක, දේශපාලන වශයෙන් ඉතා සංවේදී හිත හොඳ නායක පිරිමියාට. අග්නිදිග ආසියාවටම මානව හිමිකම් බෙදා හරින පිරිමියෙක්. ඉතින් ඔහු  දෙසට  ඇය හැරෙනවා. ඇය හැරිලා අහනවා" මම නම් ඔබට පණවගේ ආදරෙයි. ඔබ මට ආදරේද?". එතකොට අපේ  කකුල් වෙව්ලන්න පටන් ගන්නවා. සට සට ගාල.  මොකද එයා ඒ වගේ පිරිමියෙක් කියන්නේ බොහෝ විට OBSESSIONAL.  

LOVE  එකේ තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි LOVE එකේ වස්තුව ලබා ගත නොහැකි වීම. දැන් ඒ කියන්නේ TITANIC  වගේ. මේ සියාමා නව කතාවේ ඒක තියෙනවා. මෙතන ඉන්න මේ සාර්ථක විවාහ ගත කරන අය ඉන්නවනේ. සාමාන්‍යයයෙන්  රේඩියෝ වැඩ සටහන් වලට ගියාම අහනවා 
"ඔබගේ විවාහ ජීවිතය සාර්ථකද?" වැනි දේවල්. 
"ඔව් අති සාර්ථකයි "කියල අපි උත්තර දෙනවා. 
එවිට නිවේදකයා කියනවා "අපිට තේරුණා ඔබ සාර්ථකයි"කියලා. ඒ වෙන දෙයක් නොවෙයි. සාර්ථකයි කියන්නේ නීරසයි කියන එක. ආදරේ කියන්නේ ලැබෙන්නේ නැති වස්තුවකට. ලැබෙන්න බෑ . FAIL වෙනවා කියන එක. ඒ FAIL විල්ල මේකේ තියෙනවා. මේ FAIL විල්ල පොඩ්ඩක් අවුල් වෙලා තියනවා හොස්පිටල් එකක් ඇතුලේ. සාමාන්‍යයෙන් හොද LOVE එකක් HOSPITAL වලට යන්න හොඳ නෑ කියල මම කියන්නෙ. ඒක පොඩ්ඩක් ඊට මෙහායින් වුණා නම් අර මොකක් හරි මල්වත්තක වගෙ වුණා නම් හොඳයි. මම ඒකයි කියන්නේ .  අජිත්ට මේ ප්‍රශ්නය එන්නේ බ්ලොග් වල ලියන එක. මේක එහෙම එකක් නෙවී (වෙනත් පොතක් පෙන්වමින් ). ටිකක් වාඩි වෙලා හුඟක් වෙලා ලියපු එකක්. ඉක්මනින් බිත්තර දානවා වගේ ලියපු එකක් නෙමේ. අජිත්ටත් පුළුවන්නේ ලියන්න. අජිත්ගේ නවකතාවේ වස්තුබීජය ඉතාම හොදයි. හැබැයි මේක සවුත්තු වෙනවා හයියෙන් ලියන්න ගිහින්. දැන් මේ වගෙ හයියෙන් ලියන අය ඉන්නවා විශාල ප්‍රමාණයක්. අපේ සමන් කුමාර එහෙම ලියන්නේ අත් දෙකෙන්. අත් දෙකෙන් නවකතා දෙකක් ලියනවා. 

            පහුගිය කාලේ හුගාක් අය මගෙන් ඇහුවා ඔයා ඇයි න්‍යායික කෘතියක් ඉදිරිපත් නොකරන්නේ කියලත්, වෙලා නැහැ. එහෙම දඩ බඩ ගාලා ලියන්න ගියොත් මොකද වෙන්නේ.  ලියන්න බැහැ. 
           
මේ වගෙ වස්තු බීජයක්  තව ටිකක් මෝරන්න දීලා, තවත් අය එක්ක සාකච්ඡාවට බඳුන්  කළා නම් වඩා හොදයි කියලයි මම කියන්නේ. ඒක වෙලා නෑ. මම ඊළඟට කියන්න ගියේ සාමාන්‍යයෙන් OBSESSIONAL ඒ කියන්නේ ග්‍රස්ථික නියුරෝසිකයන්  ට වැටෙන ගැහැණු පිරිමි  structure දෙක ඔය දෙක. අනික පර්වර්ට් අය. පර්වර්ට් අය මෙතැනට එන්නේ නැහැ. මම එනවා කිව්වම ඩ්‍රැකියුලා ආව වගේ තමයි උදාහරණකෙට සන්නස්ගලල වගේ අය  එන්නේ නැහැ කවදාවත්. ඒ ඩ්‍රැකියුලා සූර්යා දැක්කම පිච්චෙනවානෙ. ඒ වගේ පර්වර්ට් අය ඒ කියන්නේ සරලව අනෙකාගෙ විනෝදය රඟ දක්වන එක කරන අය. ඒ සඳහා උදාහරණයක් ගමු හිට්ලර් ව. හිට්ලර් ජර්මන්  ජාතියේ විනෝදය දන්නවා එයා. ජර්මන් ජාතියේ විනෝදය කුමක්ද? ජර්මන් ජාතිය කියන්නේ මොකක්ද ? පාරිශුද්ධ ජාතියක්. වෙන කිසිම ජාතියක් මිශ්‍රවී නොමැති ශුද්ධ වූ ජාතියක්. ප්‍රශ්න නැති ජාතියක්. ධනවාදය නැමැති නරක දෙයක් ඇවිත් ජර්මන් ජාතියව විනාශ කරනවා. ඒ නිසා මේ ධනවාදය කියන එකේ ප්‍රතිවිරෝධතා නැතිව නියම පරමාදර්ශි ධනවාදයක් ජර්මනියේ හදන්න. මොකද දැන් ඒක කරන්න ගියාම සිද්ධ වුනේ. අනුන්ගේ විනෝදය තමන් දන්නවාද?   දැන් අපි මෙහෙම කියමු.

 දැන් කවුරුහරි පර්වර්ට් කෙනෙක් එනවා මං  ළඟට. එයා ඇවිත් කියනවා 
"මම ඔයාගේ කණ සූප්පු කරන්න කැමතියි"
කියලා. මම අහනවා,
"ඔයා කොහොමද දන්නේ මගේ කණ සූප්පු කරන්න? ඇයි මොකටද මගේ කණ සූප්පු කරන්නේ"
කියලා. 
එයා කියනවා 
"මම දන්නවා ඒක" කියලා. මම නැවත අහනවා, 
"ඔයා කොහොමද ඒක දන්නේ" කියලා. 
එතකොට එයා කියනවා 
"මම දන්න නිසාම නොවෙයි ඔයාගේ මූණ දිහා බැලුවම මට  හිතෙනවා ඔයාට කණ සූප්පු කරගන්න  ඕනේ කියල වගේ ." කියලා.

දැන් අපේ සමහරු ඉන්නවා කණ දෙනවා. දැන් මගේ විනෝදය මාත් එක්කනේ, මමනේ තීන්දු කරන්න ඕන. නමුත් ඒක එයා තීන්දු  කරන්නේ. ඔන්න ඕකයි පර්වර්ට් කියන්නේ. ඔන්න ඔය pervert අයගෙන් තමයි දැන්  අද ලංකාවේ දේශපාලනඥයෝ, කලාකාරයෝ කියන අය, කෙටිනාට්‍ය කාරයෝ, අර  නාට්‍ය මේ නාට්‍ය  වර්ග පිරිලා තියෙන්නෙ. ඒ අය ඇවිත් කියන්නේ  ඒකනේ, 
"ඔබගේ විනෝදය මම දන්නවා".

 මේ සියාමා කෘතියට අපේ වාසනාවට ඒවා ඇවිත් නැහැ. මේ පොතේ කියනවා ඔබගේ ආශාව මම දන්නේ නැහැ කියලා. සියාමා ගේ ආශාව දන්නේ නැහැ පෙම්වතා. පෙම්වතාගේ ආශාව ඒ දෙන්නම දන්නේ නැහැ. ඒ නිසා තමයි මේක ආදර කතාවක් වෙන්නෙ. අපි ඒක තේරුම්ගන්න ඕනි.

            මේ වගේ කාලෙක ආදර කතාවක් ලියන්න පුළුවන් වීම  හරි වැදගත්. ඒ ඇයි? මේ කාලේ කවුරුත් ආදරේ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු හැමෝම අනික් කෙනා ගැන අවිශ්වාසයෙන් ඉන්නෙ. එතකොට ආදරේ කරන්න බෑනේ. ආදරේ කරන හැටි මේකෙත් තියෙනවා. හම්බුවුණා, ටක් ගාල ආදරෙයි කිව්වා, ෆේස් බුක් එකට ගිහිල්ල ප්‍රොෆයිල් එක චෙක් කළා. ආ මෙයා කොහෙද ඉන්නේ , මෙයා මෙහමයි වගේ. ඒවා හොයන්න ගියොත් ආදරේ කරන්න බැහැනෙ. මම හැබැයි මේ කතාව බලත්දි එක දෙයක් හිතුවා. අනිවාර්යයෙන්ම වෙයි කියල. එහෙම වුනේ නැහැ. මම හිතුව අන්තිම හරියේ ,  සියාමා කියයි කියලා 
"මම අද ඔයාට මේ දුක් වේදනා ටිකක්  කිව්වේ බොරුවක්, ඔයාගේ අවධානය යොමු කර ගන්න." එහෙම වුණානම් මේ කතාව රෝමියෝ ජුලියට් වගේ වෙනවා.

            මම කියන්නේ නන්දනල කැමති වෙන එකක් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මේකේ තියෙන දේවල් ඔක්කොම වෙන්න ඕනේ. මේකේ කියනවානේ එයාට වෙච්ච විශාල අකරතැබ්බ ගොඩක්, මාව දූෂණය කරපු හැටි, මගේ පවුල විනාශ කරපු හැටි, කොච්චර මම තාත්තට ආදරය කළාද ඒ තත්ත්ව  මෙච්චර  විනාශ කලා. ඔන්න ඔහොම ඔහොම  ඇවිල්ල ආයිමත් කිව්වා නම්,
"ඔබේ ආදරය දිනා ගැනීමට සඳහා  මා කළ බොරුවක් මේය" කියලා.
 මම හිතන්නේ,  ලෝකෙ ගොඩක් දේවල් හා දේශපාලන ව්‍යාපාර වෙනස් වෙනවා.  මොකද බොහෝ දෙනා දේශපාලනය  කරනවා කියා කරන්නේ බොරු. ඒ බොරුවට ගහන්න තිබ්බෙ මේකෙන්.

 චිත්‍රපටියත් තිබ්බා The leader කියලා. ඒකේ ඒ චරිතය මැරුම් කනවා. ඒක කියන්නේ නැහැ. ඒ නිසා එයා ලියපු ඒ Art work  එක ග්‍රේට් එකක්. එතකොට අපි තේරුම්ගත යුතු දේ තමයි ඔන්න ඔය ආදරයේ මූළික structure එක මේ සියාමා තුළ තියෙනවා.

            ලෝකේ තියෙන ශේෂ්ඨතම ආදර නව කතාවල තියෙන ලක්ෂණය තමයි ඒ දෙන්නා එකතු වෙන්නේ නැහැ. වෙන් වෙනවා. ඉතිං ඒක මේකෙ තියෙනවා. මොකක්ද එහෙනම් තියෙන ගැටළුව. ගැටළුව තමයි මම කිව්ව මේ කතාවේ අන්තර්ගතය ගොතනකොට ඉල්ලා සිටින කාලය ලැබිලා නෑ. ඒ නිසා හයියෙන් ලියලා දාලා. ඉතාම  ප්‍රවේගකාරී ලෙස ලියලා දාලා තියෙනවා. මම හිතන්නේ ඒකම තියෙනවා අප්පච්චි ඇවිත් නව කතාවත් අධික වේගයෙන් ලියලා දාන්නෙ.

මෙන්න මේකත් තියෙනවා මේ කාලේ සමාජ වැඩ කරන අයට ඇතිවන ආතතියත් ඒක.  මේක ඉක්මනින් කළේ නැත්නම් ඔබ අසාර්ථක වනු ඇත.  මේ පොත ඉක්මනින් නොලියා ඔබ බදාදට මියගියහොත්  ඒ නිසා මම ටග් ගාලා අඟහරුවාදාට පොත ලියනවා.  මේ කාලේ අපි හැමෝම බියක් තියෙනවා අපි අසාර්ථක වෙයි දෝ කියලා. ඒ නිසා ඉක්මනින් ඉක්මනින් දේවල් කරනවා. ඒවා මේ නව කතාවේ දියුණු කරගත යුතු තැන්  අජිත්ට තියනවා. මේ නව කතාවේ කියන්න ඕන දේවල් තියෙනවා.  මේවා විචාර කලාවේ හුඟක් අය කියන්න ඕන දේවල්.
නමුත් ඒවා කියන්නේ නැහැ.  හරි තව ටිකක් තියනවා කියන්න.. නමුත් මේ ඇති.බොහොම ස්තූතියි.

~~දීප්ති කුමාර ගුණරත්න 

Tuesday, 25 December 2018

නවකතාවක ගැටළු - "සියාමා" එළි දැක්වීමේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් කල කතාව - 1


දීප්ති ගුණරත්න 
දීප්ති සමග චතුරිකා සිරිසේන ගේ සම්බන්ධය ගැන මා දන්නේ නැත. ඇතැමුන් කියන්නේ ඔහු ඔවුන්ගේ මාධ්‍ය  ජාලයක උපදේශක බවයි. එසේම ඔහු ඇය ලිවූ "ජනාධිපති තාත්තා " කෘතිය එළි දක්වන දින දේශනයක්ද කළේය. ජනාධිපති සිරිසේන මහතා බොහෝ යුඇන්පී හා ජවිපෙ පාක්ෂිකයන්ගේ ද මධ්‍යස්ත ජනයා ගේද වෛරයකට භාජනය වී ඇති අවස්ථාවක දිප්තිටද මේ පිළිබඳව  චෝදනා එල්ල වනු පෙනේ.දීප්ති මුලදී මංගල සමරවීර මහතා හරහා  "මාවත" සඟරාවේ වැඩ කල බවත් ඔහු හා රුවන් ෆර්ඩිනන්ඩ් මහතා අතර තිබූ හෝ තිබෙන මිත්‍රත්වයත් නොරහසකි.

"සියාමා" පොත එලි දැක්වීමේදී  මම ඔහුට ආරාධනා කළේ ඉහත කී කිසිදු කරුණක් නිසා නොවේ.  හයිඩගර්  නැමැති  ජර්මානු දාර්ශනිකයාට  නාසිවාදයට සහයෝගය දැක්වූ අයෙක් හැටියට චෝදනාවක් තිබේ. එම චෝදනාවේ  තරමක් දුරට සත්‍යභාවයක් තිබේ. නමුත් ඔහු කලාව ගැන පලකළ අදහස් හෝ ප්‍රපන්චවේදය සහ සන්දෘෂ්ටිකවාදය (ෆෙනමෙනලොජි සහ එක්සිටෙන්ෂලිස්ම්   phenomenology and existentialism, ) ගැන ඉදිරිපත් කළ ආඛ්‍යාන  අදටත් භාවිතාවේ.

  මනෝ විශ්ලේෂණය පිළිබඳව විෂය දැනුමක් ලෙස වඩාත් පිළිගත හැකි ආකාරයකට ලංකාවේ මුලින්ම ඉදිරිපත් කළේ දීප්ති කුමාර ගුණරත්න බව මගේ හැඟීමයි. මුලින් සිටි කණ්ඩායමේ සිට බෙදීම දක්වා වූ කාලය තුල හිස්ටීරියාව , ඇසිඩ් වැස්ස වැනි පොත් වලිනුත් සහ ලන්ඩන්, පෙරදිග සුළං වැනි සඟරා  ආදියෙනුත් ඒ බව පැහැදිලි වේ.  එසේම ලැකාන්, ශිෂෙක් ගේ සිට බදියූ ආදීන් ගේ අදහස් වඩා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම පැත්තෙනුත් ඔහු ඉදිරියෙන්ම සිටින්නෙකි.

"දීප්ති කියන්නේ මුකුත් දන්නේ නැති මෝඩයෙක්, එහෙම නැත්නම් පිස්සෙක්  " වැනි කතා මම ෆේස්බුක් හි අනන්ත කියවා තිබේ. වඩා ලඟින් විශ්ලේෂණය කළහොත් බොහෝ විට එසේ  කියන අය දීප්ති කතා කරන්නේ කුමක් ගැනද වත් නොදන්නා අය බව පැහැදිලිය. එවැන්නන් ගෙන් සමහරෙකුට මුදල් වංචා, ගැහැණු ප්‍රශ්න ආදී දේ ගැන විටින් විට වෙනත් අයගෙන් චෝදනා එල්ල වී ඇති බවද ඇතැම් විට පෙනේ. එසේත්  නැත්නම් මොවුන් කුහකත්වය නිසා හෝ, නැත්නම් අතීතයේ  යම් දවසක දීප්ති ඔවුන් ව විවේචනය කළ නිසා ඇතිවූ  දරුණු ද්වේශයක් හිතේ තබාගෙන විඳවන අය නිසා එල්ල කරන විවේචනයය. එවැනි විවේචන බොහෝවිට  එල්ල වන්නේ දීප්ති ගේ මා නොදන්නා දුර්වලකම් නිසා විය හැකිය. හැබැයි  දීප්තිගේ සමහර විවේචකයන් නම් අන්තිම විපරීතයන්  බවට අදහසක් මා තුල තිබේ.    

දිප්තිව වාමාංශික පැත්තෙන් විවේචනය  කරන ඇතැම් වාමාංශික මහතුන්  ගැන නම් කතා කිරීමේ තේරුමක් නැත.  ඉතිහාසය   පුරා ඔවුන් දීප්ති දැනට මයිත්‍රී ගේ දියණිය සමග වැඩ කරනවා කියන චෝදනාවට වඩා වැඩි වෙනසකින් වැඩ කර නැත. ෆේස්බුක් ආදියේ එළිපිට ඉන්න ඇතැම් වාමාංශිකයන්ගේ  දෙබිඩි භාවයන් ගැන මම අත්දැකීමෙන් දනිමි.  පෞද්ගලික විශ්ව විද්‍යාලයකට විරුද්ධ වෙන ගමන් තමන්ගේ දරුවන් ඒවාට යවන්නේ ධනවාදී ලෝකයක ඉන්න නිසාය කියන අයද ඒ ගණයේමය. ඔවුන් උදාහරණයකට ගන්නේ පෞද්ගලික බස් භාවිතා කිරීමය. ඔබට විකල්පයක් නැති තැන යමක් භාවිතා කිරීම හා විකල්පයක් ඇති තැන වෙනත් යමක් භාවිතා කිරීමෙහි  වෙනසක් ඇති බව මේ ඇතැම් වාමාංශිකයන්  නොදන්නවා විය නොහැකිය.   කෙසේ වුවද මට ඒ අය සමග වුව කටයුතු කිරීමට අවුලක් නැත. ඔවුන්ගේ දැක්මේ වෙනස මා දකිනා යුරු නොවීම ඔවුන් සහමුලින්ම ඉවත දැමීමට හේතුවක් නොවේ. වඩා ප්‍රගතිශීලී ලෙස සිතන වාමාංශික හෝ දක්ෂිණාංශික කරුණු සමග වුව ලොකු ප්‍රශ්නයක් තබා ගැනීමට මා අකමැතිය.  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා අරභයා තිබෙන්නේත් එවැනිම වූ ප්‍රතිපත්තියකි. (මා කතා කරන්නේ බොහෝ අය මේ දිනවල කරන ඉහත සදහන් කළ චෝදනාව ගැනය)

"සියාමා" වැනි කෘතියක්  ගැන සාකච්ඡා කිරීමට දීප්ති සහෝදරයා මෙන්ම නන්දන වීරරත්න සහෝදරයාද පැමිණීම ගැන ඉතා සතුටට පත්වීමි. පහත පලවන්නේ  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ කතාවේ පළමු වැනි කොටසයි. 


*********************************************************************************ලංකාවේ පොදුවේ කලාව සම්බන්ධයෙන් හෝ සංගීතය සම්බන්ධයෙන් තිබෙන්නේ අවුරුදු 5ක වගේ ඉදලා නැතිනම් 10 ක වගේ ඉදල යුද්ධෙ ඉවර වුණාට පස්සේ  මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනුවට පස්සේ, ඔක්කොම තියෙන්නේ OPINION. නිදහස් චින්තකයින් ඕන වෙන්නේ නෑ. සමස්ථයක් විදිහට යුද්දෙන් පස්සේ කලාව සම්බන්ධයෙන් තිබුණා විරෝධාකල්පයක මුහුණුවරක්, දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ තත්වයත් නැති වුණා. කලාව විදිහට ගත්තම කවුරුත් පිළිගන්න එකක් නැහැ කවිය ඉවර වුණා, කෙටිකථාව ඉවර වුණා, නාට්‍ය ඉවර වුණා කියලා. කවුරුත් කියන්නේ ඒක ඉවර වුණා කියලා කියනවා කියලා විතරයි.

 සමහර කථා MARKET එකෙන් කියන්නේ, මෙන්න මේ දේවල් හොඳයි  කියලා. අපි හොඳද, නරකද, කියන එක නොවෙයි. අපි ගත්තොත් මෙහෙම සමන් කුමාරගේ නවකථා, සන්නස්ගලගේ භික්ෂු චරිතය ...... මම කියන්නේ මේ පිස්සු කවුරුත් පිළිගන්නේ නැහැ. 

මේ කාලේ මාර තත්වයක් උදාවෙලා තියෙනවා. DIVORCE CASE වලට සම්බන්ධවන නීතීඥවරු නන්නත්තාර වෙන කාලයක් මේක. අවුරුදු 5 ක් විතර හොඳට පවුල් තියාගෙන හිටපු අය එක පාරටම වංකගිරියක වගේ ගිහින් ඔළුව නන්නත්තාර කර ගන්නවා. දැන් වෙන කොට තේරෙනවා 2002-2003 වන විට මානසික රෝග කියල ප්‍රපංචයක් නැතිනම් Mental Illness එහෙම එකක් තියෙනවා කියල.  කට්ටිය හිතන් ඉන්නේ මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් කියලා. නමුත් මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් නෙවෙයි. නන්දන කොහේ ගියත් කුලේ කියනවා වගේ මම කොහේ ගියත් මානසික රෝග ගැන කියනවා. හැබැයි මම හිතනවා නන්දන කියන එකට වඩා දරුණු තත්වයකට ඇවිත් මම කියන එක. මොකද ඒ නීතීඥවරු මගෙන් ඉල්ලා ඉල්ලා හිටියා සල්ලි වුණත් ගෙවන්නම් මේ ලෙඩ වර්ග ටික උගන්වන්න කියලා. හිස්ටීරියාව තමයි ගොඩක් අය ඉල්ලා හිටියේ.



2003-2004 වසරවලින් පස්සේ මට දැඩි විවේචනයක් ආවා ගෑණුන්ට හිස්ටීරියාව තියෙනවා කියල කිව්වා කියලා. මම හිතන්නේ ඒවයින් තමයි දරුණු විදිහට පාලනය වෙන්නේ. පිරිමි -ගැහැණු දෙගොල්ලම පිළිගන්නවා දැන් මානසික රෝග තියෙන බවට. තමන්ගේ පවුල් ඇතුළේ මානසික ප්‍රශ්න පාලනය කරන්න දන්නේ නැහැ.  පක්ෂ ඇතුලේ ඉන්නෙත් විපරිත අය නැතිනම් PERVATION තියෙන අය නිසා පක්ෂ කොච්චර ඉවර වෙලාද කියන එක පක්ෂේ අයවත් දන්නේ නැහැ. මේ පක්ෂේ අය ගොඩක් අය ඒව දන්නේ නැහැ. ඒව දන්නේ නැතිව අහනවා ඉදිරි සංවර්ධන යෝජනා ගැන. ඒ අය සවසට අර අදින මත්ද්‍රව්‍ය තුල ඉන්නෙ. එයින් එකක් රුපියල් 17,000/- විතර වෙනවා. ඒ අය තමයි ගොඩක් ආයතන වල සභාපතිවරු බවට පත්වෙලා ඉන්නෙ.

අපි තේරුම් ගත යුතුයි අපි මේ තත්වෙට ඇවිත් ඉන්නේ. නන්දන කියනවට වඩා දරුණුයි මේ තත්වය. ගෝලීයකරණය අපව කෙතරම් වෙනස් කරලද කියල? මම නම් කියන්නේ වෙනස් වෙලා කියලා. අභ්‍යන්තරයෙන් වෙනස් වෙලා. අපි ඒක තමයි මේ නව කතාවට ගතුයුතු ප්‍රවිශ්ඨය. ගෝලීයකරණයත් එක්ක තමයි විවිධ අය රැකියා සොයන් මැදපෙරදිග කලාපයේ රැකියා වලට ගිහින්. ඒ අය ලංකාවට ඇවිත් කරන දේවල් ටෙලිනාට්‍යවල දමනවා. අපි වටහා ගත යුතු දේ තමයි මේ ගෝලීයකරණය කියන ප්‍රපංචය අවසාන අර්ථයෙන් ගත්තම ඒ ප්‍රාග්ධනය (CAPITAL) ලෝක ගෝලය පුරාම යනවා කියන එකයි අදහස. සමහරවිට පහුගිය අවුරුදු කීපය පුරාම ජවිපෙ ධනවාදියට විරුද්ධවීම අතහැරලා තියෙන්නෙ. මට තේරෙන විදිහට. මේ මෑතක ඉදලා මම දැක්කා අපේ පක්ෂේ ඉස්සර මාත් එක්ක දේශපාලන වැඩ කරපු, විවිධ මානසික ගැටළු නිසා අපෙන් ඉවත්වුණු අය දැන් එයාල ගන්නවා. ඒක ඉතාම හොඳ තත්වයක් විදිහටයි මා දකින්නෙ, ජවිපෙ ට එහෙම කලක් ගිය එක. 

මේ වගේ ලොකු පෙරළි වෙලා තියෙනවා රටේ. මේ පෙරළි මිනිස්සු දන්නෙ නැහැ. මිනිස්සුන්ට ඒ පිළිබඳව අවබෝධයකුත් නැහැ. ඒ නිසා මිනිස්සු පැරණි ඉල්ලීම්ම ඉල්ලනවා. හාල් ආයේ  දෙන්නලු. පෙට්ට්‍රල් අඩු කරලා දෙන්නලු. ඒවා දෙන්න විදිහක් නැහැ. රට පාලනය කරන්නේ  ලංකාවේ පාර්ලිමේන්තුවට පත්කරල යවපු අය නොවෙයි. ඒ අය නොවෙයි මේකේ අධිකාරිය පාලනය කරන්නේ. ආධිපත්‍ය තියෙන්නේ . එය තියෙන්නේ බටහිර සහ තවත් තැන්වල. දැන් නම් චීනයේ මා හිතන්නේ. ඉතිං අපි කියනවා පෙට්ට්‍රල් අඩු කරල දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ පව්. ඒ මනුස්සයා ගැන මට දුකයි මොකද මේ මහ ක්‍රියාවලිය ගැන ඔහුට තේරෙනවාද? කියලා මිනිස්සුන්ට තේරෙනවද?

හොඳයි  අපි දේශපාලනය කියන පැත්ත අයින් කරලා මේ වැඩේට එමු.

දැන් මේ නවකතාව ගැන මතයක්, ලංකාවේ බොහෝ වෙලාවට තියෙන්නේ ඔපීනියන්. මේ ඔපීනියන් නැතිව මම පොඩ්ඩක් අවතීර්ණ වෙන්නම්. මොකක්ද  අපි නවකතාවක් කියන්නේ කියලා. නවකතාවක් හදුනා ගැනීමේ මූළික ලක්ෂණ කිහිපයක් තියෙනවා.

                එකක් තමයි ඒ කතාව දීර්ඝවීම, මේ සියාමා නව කතාවේ තියෙවා දීර්ඝ කතාවක්. අන්න ඒකයි ගැටළුව.. ඒ තමයි මොකක්ද නවකතාවේ තියෙන ප්‍රධාන ගැටළුව. මේ සියාමා කතාවේ ප්‍රබන්ධය ඉදිරිපත් කරන කොට මේ ප්‍රබන්ධය සඳහා දේශපාලන ප්‍රශ්නයක් ගේනවා. අපි ගත්තොත් මේක ජනතා ගැටළුව නැතිනම් ජාතිවාදයට විරුද්ධව අරගලය. මූලික වශයෙන් මෙහි තියෙන ගැටළුව තමයි සියාමා කියන ඒ ආදර කතාව කියවගෙන යනකොට කථාව පුද්ගල ගැටීමකට යන්නේ නැතිව, සමාජයේ තියෙන විශාල ගැටළුවක් මේකට එනවා. මේක මම හිතන්නේ පහුගිය කාලේ ලංකාවේ ප්‍රධාන ගැටළුවක් විදිහටයි මම දකින්නේ.  මොකක් හරි කථාවක් කියාගෙන එනවිට 71 කැරැල්ලට සම්බන්ධවෙනවා, නැතිනම් 89 කැරැල්ලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් උතුරේ ප්‍රශ්නයට සම්බන්ධවෙනව. අපි අහන්නේ ඇයි එහෙම වෙන්නෙ ? ඒක තමයි ප්‍රධාන ගැටළුව. දැන් ඒකට අදාළව මම හිතන්නේ මම මේක කලක් කතා කරලා තියෙනවා. ලොවීණා කියලා කතාවක් තියෙනවා. ඒක ලොකු නවකතාවක්. එහි කර්තෘ මොහාන් රාජ්මඩවල, ඔහු මට දේශනවලට අඩ ගැහුවා. ඉන්පසුව කතා කලේ නැහැ. 
~~~~~ මතු සම්බන්ධයි 

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 2 දීප්ති කුමාර ගුණරත්න 

අගෝරා හමුවට එවූ නිශ්ශංක  විජේමාන්න ගේ "සියාමා " පිළිබඳව වූ  විවරණය 

අප වැනි සමාජයක් තුල අන්තවාදයේ පැවැත්ම කුමක්ද - 'සියාමා' සමග නන්දන වීරරත්න - 1

Sunday, 16 December 2018

අප වැනි සමාජයක් තුල අන්තවාදයේ පැවැත්ම කුමක්ද - 'සියාමා' සමග නන්දන වීරරත්න - 1

"නන්දන වීරරත්න සහෝදරයා මගේ "සියාමා" කෘතිය ජනගත කළ අවස්ථාවේ කරන ලද දේශනයෙන් කොටසකි. ප්‍රවීන මාධ්‍යවේදී   නන්දන වීරරත්න ප්‍රබල වාර්තා චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහු බීබීසී සංදේශය වැඩ සටහනේ වසර ගනනාවක් සේවය කළේය. "
නන්දන 
පිටුවහළේ ඉන්න ලාංකිකයෝ  ලංකාව ගැන උනන්දුවෙන්නේ ඕනේ නැහැ කියල ප්‍රකාශයක් යනවා. මම ඕකට විරුද්ධව කතා කරලා තියනවා . අජිත් එක්ක හෙම වගේම වෙන අය එක්ක  අපි එකතු වෙලා වාද කරනවා  ලන්ඩන් ගිය වෙලාවට. අපි කණ්ඩායමක් ඉන්නවා මේවා ගැන සංවාද කරන.

 කොහොමත් මම කැමැතියි අජිත් අන්තවාදය ගැන මෙහෙම පොතක් ලියුවට. අන්තවාදය ගැන එයාට කියන්න පුළුවන් අත්දැකීමක්  අපට දැනෙන අත්දැකීමක් ගැන මෙහෙම අපට ඉදිරිපත් කරපු   එක ගැන  මගේ ස්තූතිය අජිත්ට  හිමියි. ලංකාවේ හුඟක් වෙලාවට මේ  වගේ  දේවල් විෂය කර ගන්නේ නැහැ ලියන්න.  අඩුම ගානේ ජනප්‍රිය නවකතාවකවත්  ලියන්න පාදක කර ගන්නේ  නැහැ. ඒවා දේශපාලන වැඩට අරවට මේවට පාවිච්චි  කරනවා මිසක්. ලංකාවේ  මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ.

මට ඒ පොතේ කතාව කියවන කොටම මතක් වුනේ ගෝනවල සුනිල්. ගෝනවල සුනිල් ගැන අජිත් දන්නවා ඇති.බියගම ආසනයේ හිටපු ප්‍රසිද්ධ බරපතල  ඡන්ද දායකයෙක්. ගෝනවල සුනිල්ව හිර ගෙදරට නියම වුනා තරුණියක් දුෂණය කිරීම පිළිබඳව. ගෝනවල  සුනිල්ට සමාව දුන්න එකතරා කාලෙකට පස්සේ. ජනාධිපති සමාව. ඒ මේ අපරාධය කළාට පස්සේ. අජිත් ගේ පොතේ එක කෑල්ලක් තියනවා ඒ වගේම. ඒ සමාවට නීති ක්ෂේත්‍රයේ කියන්නේ  "සුනිල් සමාව" කියල. අපේම ජනාධිපති කෙනෙක් ස්ත්‍රී දූෂකයෙකුට, ඒ වගේ අපරාධ කරුවෙකුට සමාව දීම. ඔය ප්‍රතිපත්තිය පටන් ගත්තේ එතැනින්.  මේක අන්තවාදයේ කෑල්ලක්. ලංකාවේ පුද්ගලික දෙයක් වගේ පෙනුනට, එක  ස්ත්‍රී දුෂණයක් වුනාට . බංගලා දේශය වගේ රටවල මුස්ලිම් අන්තවාදීන් ගේ කතාවක් විතරක් නෙමේ.මම කියන්නේ. මේ ලංකාවේ වෙච්ච දෙයක්. මේකේ තිබ්බ අයුක්තිසහගත භාවය අපේ ඔළුවේ දීර්ඝ කාලයක් තිබුන.
ජේ ආර් විශ්‍රාම ගිහින් විශ්‍රාම සුවයෙන්  ඉන්න කාලේ එකඟ වුනා   සම්මුඛ සාකච්චාවක් දෙන්න. නෙල්සන් එස් පෙරේරා කියල අපි සමග වැඩ කරපු කෙනෙක් තමා යන්නේ මේ සම්මුඛ සාකච්ඡාවට.  අපි  කට්ටිය එකතුවෙලා ජේ ආර් ගෙන්  අහන්න ප්‍රශ්න හරි ගස්සනවා දැන්. කට්ටිය එකඟ  වුනා එක ප්‍රශ්නයකට
"ඇයි තමුන්නාන්සේ ගෝනවල සුනිල්ට සමාව දුන්නේ".
  අපි හිතුවා දැන් නෙල්සන් ගිහිල්ල මේ කරපු වැඩේ ගැන ජේ ආර් ගෙන් පසු තැවෙන උත්තරයක් අරගෙන එයි කියල. නෙල්සන් සාකච්ඡාව ඉවර කරලා ඇවිත් ඉන්නවා.
ඇහුවා මොකද වුනේ කියල. නෙල්සන් කියනවා
"නෑ ඉතින් සම්මුඛ සාකච්ඡාව හොඳට ගියා. වරදක් නැහැ."

"කතා කරලා මොකද කිව්වේ  ගෝනවල සුනිල්ට සමාව දීපු එක ගැන"
නෙල්සන් කියනවා,
"මම ඉතින් ඇහුව ජේ ආර් ගෙන්
"ඇයි තමුන්නාසේ ගෝනවල සුනිල්ට  සමාව දුන්නේ "
එතකොට ජේ ආර් අහනවා "මොකක් ගැනද ඔයා කියන්නේ"
"අසුවල් අවුරුද්දේ ස්ත්‍රී දූෂණයක් කරපු මිනීමරුවෙකුට  ඔබතුමා සමාව දීල තියනවා"
එවෙලේ ජේ ආර් අහනව,
"ඉතින් මොකක් ද ප්‍රශ්නේ? දැන් එයාට මොනවාද වුනේ? මට බලය තිබුනද එයාට  සමාව දෙන්න?"
"ඔව් විධායක ජනාධිපති හැටියට ඔබ තුමාට පුළුවන් සමාව දෙන්න"
"ආ එහෙනම් මම ඉතින් වැරැද්දක් කරලා නැහැනේ"

මේක තමයි හම්බ වෙච්ච  උත්තරේ ගෝනවල සුනිල්ට  සමාවක් දීම ගැන ජේ ආර් ජයවර්ධන ගෙන්මේ. වගේ කතා ඕන තරම් වෙනවා. මේක බංගලා දේශයේ වුනාට  මේක අපේ අත්දැකීමක්. අපි ගාව මේක තියනවා.ඇති තරමින් තියෙනවා.

ප්‍රශ්නේ තියෙන්නේ මේ කතාවට  අජිත් වෙන රටක් අදාල කර ගන්නවා, මේක ඇතුලේ අපිට මේ කතාව  කියන්න වෙන්නේ නැහැ. ඒක හොරකම් කරනවා ඉරිදා පත්තරේකට පාතාලේ  වාර්තාවක් විධිහට එලියට දාන්න . එහෙම නැත්නම් වෙනත් විධිහේ කතාවක්  හැටියට විකුනනවා. ඒ ඇරෙන්නට  ඒ අපරාධ සම්බන්ධයෙන්, ඒවා   නතර කිරීමට ක්‍රමයක් හැටියට, ඒවාට විරුද්ධව සංවාදයක් හැදිලා , ඒකට  විරුද්ධ ක්‍රියා මාර්ගයක් හැටියට එන්නේ නැහැ.  මෙන්න මේක උඩ තමයි මම කියන්නේ අන්තවාදයේ මුලික ගැටලුව තියෙන්නේ. මම මාතෘකාව හැටියට ගත්තේ "අන්තවාදයේ  පැවැත්ම මොකක්ද කියන්න අපේ වගේ සමාජයක් ඇතුලත".
  මම විශ්වාස  කරනවා අන්තවාදය කියන එක එන්නෙම මිනිස්සුන්ට මේක ඇතුලෙ තියන ක්‍රමයත් එක්ක විරෝධය කියල. පවතින සමාජයත් එක්ක ඒකෙ පැවැත්මත් එක්ක තියෙන විරෝධයත් එක්ක තමා අන්තවාදය එලියට එන්නේ කියල.

මොකද විශේෂයෙන්ම අපි අවුරුදු 400කට  කිට්ටු කාලයක්  යුරෝපයේ යටත්විජිතයක් හැටියට හිටියේ . අපට භාර ගත්තත් නොගත්තත්  අපට ආගම්  භාර ගන්න සිද්ධ වුනා, සංස්කෘතීන් භාර ගන්න  සිද්ධ වුණා, ආහාර වාසගම් නොයෙක් දේ භාර ගත්ත පෘතුගීසින් ගේ සිට  ඉංග්‍රීසින් දක්වා සියලුම අයගෙන්. ඒ එන දේශපාලන යටත් විජිත වාදය වගේම සංස්කෘතික යටත්විජිත වාදයත්  භාර ගන්න අකැමති මිනිස්සු ඉන්න පුළුවන්. බින් ලාඩන් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ එන යුරෝපීය හෝ සෝවියට් සංස්කෘතික දේශපාලන  මතවාදයට යටත් විජිත වාදයට දේශපාලන මතයට අකමැති  මිනිස්සු දක්වන විරෝධය අන්තවාදයක් වශයෙන් එළියට එනවා. මේක හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ.

මම විශ්වාස  කරනවා  අන්තවාදයක ට පැවැත්මක් එන්නේ ඒකට  විරුද්ධ මිනිස්සු ඒකට ගන්න  ක්‍රියාමාර්ගය මත කියල. ඒකත්  එක්ක ගනුදෙනු කරන ආකාරය මත තමයි අන්තවාදය පරාජය කරන්න පුළුවන් වෙන්නේ  . අන්තවාදය අඩු කර ගන්න  පුළුවන් පොදු සමාජයකට. අපි ඒ ගොල්ලන්ගේ අවුල කියන්නේ නැත්නම්, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කියන්නේ නැත්නම් ඒ ගොල්ලන්ට වෙන වැරැද්ද අසාධාරණය  කියන්නේ නැත්නම්  අර මනුස්සය හුදෙකලා මිනිහෙක් බවට පත් වෙනවා. මිනිහට  සිද්ධ වෙනවා මිනිහ දන්නා  ඔය පොදු සමාජය විරුද්ධව  වැඩ කරන්න.

 මම සැහෙන කාලයක්  යුධ වාර්තාකාරයෙක්  හැටියට LTTE  ප්‍රදේශයන් වල සාමකාමී විධිහට ගනුදෙනු කරපු කෙනෙක්.
මම දැකපු දෙයක් තමා  ඒ ගොල්ලන්ගේ ප්‍රාදේශීය උසාවි වල කුල නාමය කිවොත් දඩ ගහනවා. කුල කීවොත් දඬුවම් කරනවා . මට තේරුණා ඒ ගොල්ලන් අන්තවාදයට යන්න කුලය සාධකයක් වෙන්න ඇති කියල.   LTTE ඇතුලේ දෙමළ   සටන්කාමී ව්‍යාපාරය ඇතුලේ ඒ ගොල්ලන්ට යාපනේ ප්‍රභූ පන්තියෙන් ආපු විරෝධය හා පීඩනය ඒ ගොල්ලෝ අනිත් පැත්තෙන් පාවිච්චි කරන්න  ඇති කියල.
ප්‍රසිද්ධ කතාවක් තියනවා.
එක දවසක්  LTTE එකේ අවි ගත් තරුණයෙකුට  යාපනේ කුලවතෙක් එයාගේ කුල නාමය අමතල කතා කරනවා. පළමුවෙනිවතාවට  කීවම අර අවිගත්ත තරුණයා අපහු හැරිලා බණින්න යනවා කුලවතාට. කුලවතා ගහනවා අර තරුණයාගේ  කම්මුලට. තරුණයා කුලවතාට වෙඩි තියල මරල දානවා.
මේ වගේ ඕනෑතරම් අපට හම්බවෙනවා සිද්ධීන්. අන්තවාදීන් සන්නද්ධ වීම තුලින්.   බලන්න පහුගිය අවුරුදු 60-70 තුල අලංකාවේ මිනි මැරුම් අපරාධ , යුද්ධ  තොගය  කොපමණද  කියල. විශේෂයෙන්ම  දේශපාලන අපරාධ තොගය. ඉතින් මේවා ගත්තම මම පුද්ගලිකව විශ්වාස කරන්නේ  අන්තවාදය වෙන්නේ සමහරවිට අන්තවාදීන් ට ඒ දේ දරන්න බැරි නිසා.

නන්දනගේ දේශනය මෙතැනින්.
මේ වීඩියෝ ලින්ක් එක ලැබුනේ අද, නන්දන කියන දෙයට පසු වදනක් මේ තරුණයාගේ කතාවේ තියනවා.
https://www.facebook.com/ashaindika/videos/10213634213037469/?t=21



Monday, 10 December 2018

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු - පද්මිණී මාතරගේ

(මෙම වීඩියෝව වසන්ති නානායක්කාර .අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ ටෝකින් බුක් , කතාකරන පොත් නම් වැඩසටහනට විකාශනය වූවකි.)
"දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතු
රියැදුරු මනාවූ
ලැබිය යුතු වූ සේම අස් රිය"

බර්ටෝල් බ්‍රෙෂ්ට් කියා තිබුනේ එසේය. එහෙත් එය ශ්‍රී ලාංකීය සමාජය තුලට කිසිසේත් වලංගු නොවන වගට ඕනෑවටත් වඩා කාරණා ගෙනහැර දැක්වීමට පුලුවන. දේශපාලන ක්ෂේත්‍රය ,මාධ්‍ය ක්ෂේත්‍රය ‍මේ වන විට කුණු වි හමාරය. සෙසු බොහෝ තැන්‍ හී තත්ත්වය ද එසේම ය. එක් අතකට සමස්ත සමාජයම කුණු වී තිබියදි , මනුස්සකම් සෝදාපාලු වී තිබියදි, මෙවන් තැන්‍ හී පමණක් සාධාරණත්වයක් බලාපොරොත්තු වීම සැබැවින්ම සිහිනයක්මය.

මා ලියන්නට ගියේ අශෝක සර් ගැනය.එහෙත් පසුගිය කාලය පුරාත්, මේ මොහොතේත් අත් විදිමින් පවතින අතිශය කටුක සහ මානුෂික නොවන බොහෝ කාරණා නිසා සිත ඕනෑවටත් වඩාත් කලකිරිමකින් මෙන්ම ,දැරිය නොහැකි පීඩාවකින් සිටින නිසාම, මා නොසිතාම ලියවෙන්නේ වෙනත් කාරණය..

අශෝක කෝවිලගේ නම් වූ ප්‍රවීන සංගිතවේදියා මගේ ගිටාර් ගුරුවරයා ය. ඔහු තමන්ගෙන් ශිල්ප හදාරන්නට පැමිණෙන සියල්ලන්ට එකලෙස සිය දැනුම නිර්ලෝභීව ලබා දෙන ගුරුවරයෙක් බව, ඔහුගෙන් ශිල්ප ලබන සෑම අයෙකුම සහතික වන දෙයකි. එහෙත් අවාසනාවට මම ඔහුගේ දක්ෂ ගෝලයෙකු නොවුනේ සතතාභ්‍යාෂය නොකරන නිසා බව ගුරුවරයාටත් වඩා මම දන්නෙමි. අප ජිවත් වන සමාජයේ එකිනෙකාගේ කැපිලි කෙටිලි, අයුක්තිසහගත අසාධාරනයන් ඇතුලු දහසකුත් ජීවන ගැටලු හමුවේ සතතාභ්‍යාෂය කිරිම සිහිනයක්ම බව ඒ සියල්ලන්ටත් වඩා හොදින් දන්නෙත් මා ය. කෙසේ වුවද සිත අනේකවිධ ගැටලුවලින් පිරී තිබියදි පවා නිමේශයකට හිත සංසුන් කරගන්නට ගීත කිහිපයක් හෝ වයන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ සතුට කි. එහි ‍‍‍‍ ගෞරවය හිමි විය යුත්තේ ද අශෝක සර්ට ය. ඒ අතුරු කතා ය.
අසෝක කෝවිලගේ ගිටාරය සමග මැද 

ගීත සියයකට වඩා සංගීත ක්ෂේත්‍රයට දශක ගණනවක් පුරා දායාද කළ, මෙම අපූර්ව සංගිතවේදියා, ගේය පදරචකයා, නිර්මාණවේදියා ටෙලිවිෂන් නාලීකාවක පලමු වරට සංගීත වැඩසටහනක සංගීත අධ්‍යක්ෂනය කරන දුර්ලභ අවස්ථාවක් මා දුටුවේ ඉකුත් සෙනසුරාදාය. ටීවී චැනල් පුරා නිරන්තව දකින , සංගිතය කලාව සාහිත්‍ය මේ ආදි දේ පිළිබද දේශනයන් විග්‍රහයන් කරන සංගීත ඔස්තාර්ලා අතර මෙම සංගීතවේදියා දැකීම මට කිසියම් සතුටක් වුව ද , සංගීතවේදියෙකු ලෙස ඔහු තමාගේ නිර්‍ර්මාණයක් සමාජගත කරන්නට , අරුත්සුන් ගීත අතරට අරුත්බර නිර්මාණ එක්කරන්නට දරන කටුක වෙහෙස කොතෙක්ද යන්න පිලිබඳව මාධ්‍යවේදිනියක් ලෙසද දැනසිටි හෙයින් සිතේ සතුට පරයා දැනුනේ මහා දුකකි

ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල ගයන සෙනෙහස ඉල්ලා ලියතඹරා ලග හඩා වැටෙනවා බඹර තුඩක්, නීල වික්‍රමසිංහ කමල් අද්දරරචි ගයන තුන් සිතදැහැන් ගතවෙලා - සිතුවිලි සසල කරවනා, සුනිල් එදිරිසිංහ ගයන පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ඔහු ලියා ඇති ගීත ගණනාවක් අතරින් කිහිප‍යකි.. එසේස ප්‍රියානි ජයසිංහ ගයන කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම් - තනියට ඉන්නම් තනි නොකරනවා නම්, සුන්දර හදකට දී පෙම් වරම්- පෙම් කර ඒ සිතටම පෙම් බැදන්, අලුත් සද ඇවිත්..කුමා අත්තනායක ගයන කදු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ - එක සිත නැති නැති නුඹේ සිතත් දහ අට වංගුව වාගේ, මේ මොහොතේ මගේ මතකයේ රැදී තිබෙන ගීත අතරින් කිහිපයකි. ඒ හැරුනු විට නිරෝශා විරාජනි, උරේශා රවිහාරි, ශශික නිසංසලා , ටීඑම් ජයරත්න ,නිහාල් නෙල්සන් ,නන්දා මාලනී, මරියසෙල් ගුණතිලක ආදි ප්‍රවීන ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත රචනයෙන්, සංගිතවත් කිරීමෙන් තනු රචනයෙන් දායකත්වය දී තිබිණ . සොදුරු සිතැත්තිය, පූජනීයයි ආදරේ ඇතුලු තවත් ටෙලි නාට්‍ය කිහිපයක් සංගීතයෙන් දායක් වූ නිර්මාණ අතර විය.

බෙහෝ කලාකරුවන් තමන් වෙනුවෙන් පෞද්ගලික ලාභ ප්‍ර‍යෝජනයන්, අපේක්ෂා කරනු මම දැක ඇත්තෙමි. ගෙයක් ඉඩමක් මුදලක් ඉල්ලා ඔවුන් බලධාරින් පසුපස යනු ද මම දැක ඇත්තෙමි. එහෙත් අශෝක සර් කිසිදා මා දන්නා තරමින් එවන් ප්‍රතිලාභ ‍කිසිදු බලධාරියෙකුගෙන් හෝ තමන් නිරත ක්ෂේත්‍රයේ අයෙකුගෙන් හෝ ඉල්ලා සිටිනු මම දැක නැත්තෙමි. ගිටාර් , කී බෝර්ඩ් ක්ලාස් පවත්වමින්, නිර්මණාද කරමින් ඔහු ජිවත් වුවද, කලාකරුවන්ට සිය නිර්මාණ සමාජගත කිරිමේ දි මුහුණ දෙන කටුක දැ පිළිබ'දව කම්පාවකින් සිටින බව ද මාධ්‍යවේදිනියක ලෙස ඔහු හා කළ කතා බහේදි අවබෝධ කරගෙන සිටින්නෙමි.

කරුණු කාරණා කෙසේ වුවද මේ සා අපූරු ප්‍රතිභාවකින් යුත් අශෝක කෝවිලගේ නම්වු මෙම සංගිතවේදියා ‍මෙවන් රූපවාහිනි නාලිකාවකින් හෝ තවත් මතු කරන්නට ස්වාධින රූපවාහිනි ආයතනයත් , ශනිදා සාදය සංගිත වැඩ සටහන මෙහෙය වන එහි නිෂ්පාදක මණ්ඩලයත් ගනු ලැබූ පියවර ගැන සංගිතය කලාව ආදි සෞන්දර්යාත්මක දේට ඇලුම් කරන අයෙකු ලෙසත්, ‍ඊට ගෞරව කරන අයෙකු ලෙසත් ස්තූතිවන්ත වෙන්නෙමි.

ඒ අතරම සුදුස්සාට සුදුසු දේ හිමිවන සමාජයක් නිර්මාණය වීම ගැන සුන්දර සිහින දැකිම පමණක් නොව එම සිහින මහ පොළවේ යථාර්ථයක් ‍කරන්නට හැකි උපරිම කැප වීම කරන්නට ද හැකිනම් ලෝකය මීට වඩා බිදුවකින් හෝ යහපත් වන බව ද මම විශ්වාස කරන්නෙමි.
අශෝක සර් ඔබට මගේ ආදරණිය සුබ පැතුම්!!

- ලිව්වේ පද්මිණී මාතරගේ
යු ටියුබ් වීඩියෝව -  වසන්ති නානායක්කාර .අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ ටෝකින් බුක් , කතාකරන පොත් නම් වැඩසටහනට විකාශනය වූවකි.

Wednesday, 5 December 2018

අගෝරා හමුවට එවූ නිශ්ශංක විජේමාන්න ගේ "සියාමා " පිළිබඳව වූ විවරණය

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න

 ලංකාවේ සිටි දින කිහිපයේදී මම කාලයක් ජිවත් වෙලා හිටි ලුණුගල ප්‍රදේශයට ගියා . එවෙලේ ඌව ප්‍රදේශයේ සාහිත්‍යය  කලාව  නැංවීමට උරදෙන පතාක යෝධයන්  කිහිපදෙනෙක්ම හමුවුනා.
ලුණුගල මැදි මහා විදුහලේදී 

නිශ්ශංක විජේමාන්න සමග 

ඉන් එක් අයෙක් තමා මෑත කාලයේ මා  කියවූ හොඳම  කෘති දෙකක් යයි කිවහැකි "හඳ පළුව තනි තරුව" හා "තාරා මගේ දෙව්දුව" ලියූ නිශ්ශංක විජේමාන්න මහතා (දකුණේ කෙළවර) . එතැනදී හිතුවක්කාරී ලියූ එච් බි ගුණරත්න මහතා සහ කේ ඒ ගාමිණී සහ සුදත් ගාමිණී බණ්ඩාරත් හිටිය (දකුණේ සිට දෙවැන්නා) . මැද ටයි පටියක් පැළඳ සිටින්නේ ලුණුගල මධ්‍ය මහා විදුහලේ විදුහල්පති තුමා ආර් එම් ජයවර්ධන මහතා, ඔහු ළඟ සුදත් ගාමිණී බණ්ඩාර මහතා. මා ළඟින් සිටින්නේ කේ ඒ ගාමිණී මහතා. ඔවුන් යූ සර්කල් නමින් සාහිත කණ්ඩායමක් ඌවේ පිහිටුවාගෙන විනිවිදිමු නමින් සඟරාවක් පළ කරලා තිබෙනවා ඌවේ සහෘදයන් ගේ නිර්මාණ ඇතුළු කොට.  සාර්ථක නිර්මාණ බොහොමයක් අඩංගු පුංචි සඟරාවක්. ලැබුනොත් බලන්න.

ඉතින් ඒ වෙලේ මා  පිරිනැමූ 'සියාමා' පොත කියවා  දුරකතනයෙන් අදහස පළ කළ නිශ්ශංකයන්  ඉන්පසු අගෝරා සංවාදය සඳහා මෙවැන්නක් එවා තිබුණා . පහත පළවන්නේ ඔහු පළ කළ අදහස් . - අජිත් 

************* නිශ්ශංක විජේමාන්න *********************

"සියාමා කියවීමෙන් මා ලබන්නේ සාහිත්‍ය තෘප්තියක්  නොවේ. එය නැවත නැවත කියවීමෙන් සැබෑ මනුෂ්‍ය ලෝකය  හඳුනා ගන්නට වෑයම් කරමි. මෙම කෘතිය තුලින් මා හට ආශ්වාදය කරන්නට දෙයක් නැත. එහෙත් විඳින්නට විඳවන්නට   හා විනිවිදින්නට දෙයක් ඇත.

      ලංකාවේ මෙවැනි  කෘති කිහිපයක්ම පළවී ඇත. ඇෆ්ඝනිස්ථානු ස්ත්‍රී පීඩනය ගැන පුෂ්ප රම්ලනී ලියූ කෙටි කතා ග්‍රන්ථය, අනුල ද සිල්වා (හෝ රන්ජිත් කුරුප්පු) විසින්  පරිවර්තනය කළ මැද පෙරදිග ස්ත්‍රී හිංසනය සම්බන්ධ "කාන්තාරයේ කුසුම "  සහ එවන් තවත් පොත් අතරේ වුව මේ පොත "සියාමා" වෙසෙස් ලක්ෂණ පෙන්වයි.

මෙය ප්‍රබන්ධයේ කටුව පිපිරී "යථ " එලියට  පැමිණීමකි. 

 මා මෙවැනි සාහිත්‍යමය අවස්ථා වලට ළඟාවී  සාහිත්‍ය විමර්ශනය අත් හැර එහි තෘප්තකර වැකි , වින්‍යාස, ආකෘති, ලේඛක ප්‍රතිභාව ගැන නොසිතා ගැඹුරු අභ්‍යන්තර කරණාවකට පැමිණියේ තේරි ගී කියවන විටය.  ඒවාගේ බොහෝ කරදර සහිත වූ ස්ත්‍රී ජිවිත ස්වයං චරිතාපදානයක් ලෙස කවියෙන් විස්තර වේ.

අජිත් මේ කරන්නේ අපූරු දෙයකි. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව සාහිත්‍ය ශානර වල ඇති බොහෝ ලාලනයන් අත් හැර දමයි. මෙහි කතාවට උචිත අවශ්‍ය පරිසර චිත්‍රය කෙටියෙන් පෙන්වයි. ඒවා විස්තාරණය (elaborate) වූවා නම් හොඳ යයි විටෙක සිතුනි.

එසේම හැඟීම් චිත්තවේග (emotion) තවත් විස්තර කර හැකිව නොවේදැයි වරෙක සිතිනි.

සමහර අවස්ථාවන් විස්තර කිරීම (explain) තියුණු කරන්නට  තිබුණා යයිද  සිතිණි.

එහෙත් මේ අදහස් සියල්ල විකාරයකි. කෘතිය කියවා නිම වී ඇත.

එය තාමත් මා මනසේ ලැඟුම් ගෙනය. සියාමා මට පෙනේ. එහි මුලින් පෙනුණු පියකරු යුවතිය මට පෙනේ. පසුව ඇය පත්වූ දුක් භරිත බවද මට දැනේ.

කතාව තුළ සියලුම වේදනාවන් ආලෝලනයන් මගේ සිතෙහි රැව් දෙයි. එය මා රිදවා ඇත. ලෝකය වෙනස් කිරීමට දායක වීම අවශ්‍ය බැව් මගේ මනස සැළ කරයි.

***************************************************
ඔබගේ ආක්‍යාන රීතිය මා තිගස්වන්නේ ඇයිද යන්න  මම සොයා බලමි.
එය සෘජු වාර්තාකථන රීතියකට  ළං වීමකි. මා හට මේ වැරැද්ද සිදුවන්නේ සමහරවිට අප කියවා ඇති 'මළගිය ඇත්තෝ ' වැනි කෘතීන් වලින් හදද ඔලුවද පිරී ඇති නිසා විය යුතුය. නමුත් නූතන සාහිත්‍යකරුවා කොතෙක්  ඒවායින් නිදහස් ද! ෂෙහාන් කරුණාතිලක ලියූ 'චයිනමන්' හෝ එච් බී ගුණරත්න ගේ 'හිතුවක්කාරී' එසේත් නැතිනම් 'onion and tear ' වැනි විදේශ නවකතාවක රචනා සඳහා ලේඛකයා මේ ශානරය හසුරුවන හිතුවක්කාරී නිදහස් පිළිවෙල අපට ලෝකයේ අනේක විධ ඇමතුම් විලාශ  කියල දෙනවා. ඔබගේ පොතත් ඒ වගේ.

මගේ මිතුරියක් වන විශේෂඥ වෛද්‍ය ප්‍රියානි ගමගේ මේ පොත කියවා ඇගේ හැඟීම කීවේ මෙලෙස.

"එය විශ්වාස කළ හැකි අයුරින් ලියල තියෙනවා. ඇත්තටම මට ඒ කතාව තදින් දැනුනා "

ප්‍රසන්න කියූ දේ මම කියන්න ඕනේ නැහැ. ඔබ දන්න තවත් ගුරිවරියක් කීවේ ලංකාවේ අපි ඒ අතින් කොයි තරම් ලිබරල්ද කියලා.

ලිවීම දිග වැඩිද මන්ද? කොහොමටත් මේ ටිකත් කියන්න ඕනෑ.

ඔබේ උත්තම පුරුෂ ලිවීමේ සිටින සාංදෘෂ්ටිකවාදී මනුෂ්‍යයා හරිම යහපත් සමබරයි. මෙය කියවන අපට බටහිර රටවල ඇති නිදහස් පැවැත්ම ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන බව කියන්න ඕනෑ.

පොතේ පිටකවරය හා ඇතුළත සංනිදර්ශන රූප (illustration) අගයනවා. ඒත් පිටකවරය තව ආකර්ශනීයව  කළ හැකිව තුබුණා යයි සිතනවා.

- නිශ්ශංක  විජේමාන්න


Monday, 3 December 2018

"සියාමා" - තරු ඇතුළු පිරිසට

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න

"සියාමා " කෘතිය පිලිබඳ සංවාදය සඳහා මරදානේ "සමාජ සාමයික කේන්ද්‍රය " ලබා ගැනීමට උදව් කලේ තරංගනි රෙශිකා  ප්‍රනාන්දු සහෝදරිය. තරුරසී  නමින් අපි ආදරයෙන් හඳුන්වන්නේත් ළඟදී  සම්මාන දිනූ "දේශ ද්‍රෝහියෙකු ගේ නිර්මල හෘදය " නවකතාද ලීවේත් ඇයයි.
සංවාදය සංවිධානය කිරීමට ප්‍රථම මා හමුවන්නට පැමිණි ඈ අහස ප්‍රකාශක ගෙන් ගත්  කෘතියක් මට තෑගි කළා. මගේ පොත මා පළමුවරට දුටුවේ එදා.
තරංගනී ඇගේ නිවසේ දහවල ආහාරය ගැනීමට අපට ආරාධනා කළා. ඒකනම් ඉතාම සොඳුරු අත්දැකීමක් වුණා. තරු ගේ මව අපට  තැල් කොළ ඇඹුලක් සමග බතක් පිළියෙළ කර තිබුන. මම තැල් කොළ ඇඹුල මුල් වරට රහ බැලුවේ එදා. අනිත් හුඟක් කොළ ජාති වගේම මේකත් දියවැඩියාවට, රුධිරය පිරිසිදු වීමට හෙම හොඳයි ලු. ඔය තියෙන්නේ පින්තුරයක්.

තරුගේ ගම බලන්න යන ගමනේදී උයන්න අළුත් මාළු ගත්තෙත් යන විටදීම . ඒ කෑම වේල ඉතා ප්‍රණීතයි. මගේ බිරිඳත් දෙපාරක්ම බත්, මාළු පිණි  බෙදා ගත්ත.  ඉතින් අපි දහවල් ආහාරය අරගෙන තරු විසින් රැක ගත්ත ඒ ගමේ පුස්තකාලේ පොත්  ටිකත් බැලුව. ඒකනම් හොඳ වැඩක්. අහල පහල ළමයින්ට තේකක් හෙම දීල පොත් පත්තර බලන්න වෙලාවක් තැනක් හදල දීපු එක.
අනුන්ගේ ළමයි නිසා මම පින්තුරයක් පළ කරන්නේ නැහැ. පොත් පුස්තකාලේ පොඩි පින්තුරයක් දමන්නම්. තව කබඩ් එකක් පුරාමත් පොත් තියනවා.
ඉතින් මම කලේ අර තරු හැම වෙලේම ලියන කියන මල් ජාති වත්ත වටේ හොයපු එක. එක මල් ගහක් නම් දැක්ක.  මේ ඒක. දන්න  කෙනෙක් කියන්න නම. තරු රසි ගේ බ්ලොග් කියෙව්වොත් දැන ගත්ත හැකියි.


ඉතින් එදා දවසේ හතලිහක පමණ පිරිසක් තමයි හිටියේ. සුරෝෂන් ඉරංග මල්ලි බ්ලොග් ලිපියක් ඒ ගැන ලියල තියනවා ඔහුගේ අඩවියේ ." සියාමා නිසා යළි මුණගැසුණු බ්ලොග් සහෝදරත්වයේ සොඳුරු බැඳීම". පින්තුර ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව සහ මගේ දූල දෙන්න. කථා පැවැත්වූවේ ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්), නන්දන වීරරත්න සහ දීප්ති ගුණරත්න. 


බෝධිනී, දුලිප්, කල්‍යාණ මිත්‍ර , ප්‍රදීප්, ධම්මිකා, පුංචිම පුංචි දරු පැටව් තුන් දෙනාත් අතින් කටින් එල්ලගෙන රන්දිකා (එයි කියල මම හිතුවෙම නැති කෙනෙක්. එහෙම ආව එකෙන්ම තේරෙනවනේ කැපවීම සහ බ්ලොග් සහෝදරත්වය👫👪  ), තරුගේ යාලුවෝ ටික, කොළොම්පුරේ අසංග, ලක්බිමේ පද්මි, සිවරාජා, ඉයන්, මගේ සොහොයුරා ඇතුළු පවුලේ අය මේ ඔක්කොටම ස්තූතියි. මේ ඉන්නේ කට්ටිය 


ගීතයක් ගායනා කරමින්  දායක වුනා දිලිනි කාරියකරවන නැගණිය. ඇයට දක්ෂ ලෙස ගිටාරය වයමින් සහය දුන්නේ අප දන්නා හඳුනන දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය කරන ජීවන ප්‍රනාන්දු සහෝදරයාගේ පුතණුවන් නිපුන් ප්‍රනාන්දු.  ඒ දෙන්නටත් හුඟක් ස්තූතියි.
ඉතින් මේ තමා මෙහෙයවීම කළ අප කවුරුත් දන්නා හඳුනන තරංගනී රෙශිකා .

එදා හවස නිමවුණේ  හාබර් එක ගාව ගැලියේදී. මම එතන දැක්කේ අවුරුදු ගාණකට පස්සේ. අන්තිම සැරේ දකින කොට මුහුද තිබ්බ මතකයි ලයිට් හවුස් එක ගාව. දැන් මුහුද නැහැ. මිනිසා විසින් මුහුද ආක්‍රමණය කරලා ගොඩබිම වැඩිවෙලා. තව අවුරුදු කිහිපයකින් ලංකාවේ ඒ පෙදෙස තවත් අඳුර ගන්න බැරි තරමට වෙනස් වෙලා තියේවි. ලෝකේ වෙනස් වෙන්නේ එහමයි.  ඇත්තම කියනවානම් තව බ්ලොග් ලියන කියන සහෝදර සහූදරියන් ටිකක් ගොනුවුනා නම් දවස තවත් සුන්දර වෙන්න තිබ්බ. 



නන්දන බර කල්පනාවක 

ඉතින් නැවතත් වාරයක් ආව සියල්ලන්ටම ස්තූතියි.

Thursday, 22 November 2018

සියාමා සංවාදය ලන්ඩනයේ - අගෝරා සමූහයෙන්


ලන්ඩනයේ අගෝරා සමූහයේ උදව්වෙන් "සියාමා " කෘතිය පිලිබඳ සංවාදයක් සංවිධානය කරන්න හැකිවුනා.

සංවාදය මෙහෙයවන්නේ සරද සමරසිංහ. (කැත ගැහැණියකගේ කථාවක් කතෘ )

සංවාදයට ශ්‍රී ලංකාවෙන් "තාරා මගේ දෙව්දුව " රචනා කළ ඌව ප්‍රදේශයේ නිස්සංක විජේමාන්න සොහොයුරාත් "හිතුවක්කාරී " රචනා කළ එච් බි ගුණරත්න සොයුරාත් සහභාගී වීමට නියමිතයි.

සංවාදයට  ලන්ඩනයෙන් සහභාගී වන්නේ  "සුළඟ අප රැගෙන යාවි " හි අධ්‍යක්ෂක නුවන් ජේ සහ අගෝරාවෙන් ධරණී සමුද්‍රිකා.

ඔබ සැමට ආරාධනා.


Sunday, 18 November 2018

මේ අපූරු සති කිහිපයට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ස්තූතියි

ඕස්ට්රේලියාවේ, එංගලන්තේ , ඇමෙරිකාවේ, යුරෝපයේ වගේ බටහිර නොවන කුණු රටවල ඉන්න පොහොට්ටු කාරයෝ බටහිරට විරුද්ධව යුධ ප්‍රකාශ   කොරල බඩුමුට්ටු පොදි ගහන් "තොපේ තානාපතිවරුත් එපා තොපේ වීසාත් එපා" කියල මහින්ද මහත්තයට සහයෝගය දෙන්න අපහු එනවලු හාන්දුරුවනේ. 

ඒ අස්සේ යුඇන්පී කාරයෝ ජනතා විමුක්ති පෙරමුණේ එව්වන්ගේ පෝස්ට් ෂෙයාර් කරනවා හාන්දුරුවනේ බුකියේ . මේවා  කපේට වුන දේවල්ද අපි දුටු දේවල්ද?

ජවිපෙ ඈයෝ 1982 ප්‍රජාතන්ත්‍රවාදය  අකුලපු "උතුමාණන් " ගේ බෑණ ට ඒක ලබා දෙන්න නිරන්තර සටනේ හාන්දුරුවනේ.

රටේ වාමාංශය ට අවුරුදු 30-40 සටන් කරලත් IMF එක යවා ගන්න බැරිවුනා , ජේ ආර් සිරිසේන එක සති දෙකින් වැඩේ කලා හාන්දුරුවනේ . 

අපි බය නැහැ. මහින්ද මහත්තය කොහොමත් චීනෙන් හරි තෙලුයි කෑමයි ගෙනත් දෙයි ඔය IMF ඕනෙම නෑ හාන්දුරුවනේ, බටහිරත් එපා, ජාත්‍යන්තරෙත්  එපා රාවණා යුගයට ගෙන යනවා හාන්දුරුවනේ අපේ ලංකාව.

++++++++++++++++
මේ සති දෙක තුනට වුන දේවල් දැකල ගේ හිත මොකක්ද වුණා. සති තුනකටත් වඩා මාව හිනැස්සු ශ්‍රී  ලංකික දේශපාලකයන්ට  මගේ හද පිරි මෙව්වා එක.
ආයි අද  මොනවා වෙන්නද ? තවත් නාඩගමක් ඇර 

ඉල් මහේ මතක - පද්මිණී මාතරගේ

සීතලම සීතල ඉල්මහේ
පපුතුරේ හැමදාම තුරුළුව හිදින
නුඹ ගැන කඳුලු මතකය
උණුහුමයි පායන හිරු ලෙසම

හිත පිරුණු කප්පරක් මහා දුක
මහමෙරක් තරම් මිනිස්කම පිරි
නුඹෙ හිතට
වක්කඩක් කැඩූ සේ ගලන
මේ කඳුලේ අරුත
කියන්නට ඇත්නම් අනේ ඔය මුදු සිතට

සියොතුනේ දසදිසා ඉගිල යන
මදනලේ දස අතේ හමා යන
අනේ ඔහු කොයිබදැයි කියා මට
සොයා දෙනු මැනවි මගේ ගුරු තරුව !!

- පද්මි - ❤

Friday, 16 November 2018

නවසිය දහහතේ සිදුවූ දෙබසක් විය හැකියි


Lenin : ලෙව් දවිදොවිච් , දැන්නම් ව්‍යවස්ථාදායකය හා රාජාණ්ඩුව අතර දයලෙක්තික  ප්‍රතිවිරෝධය හොඳටම උඩු දුවල  වගේ නේද පේන්නේ.  කෙරෙන්ස්කිට කරගන්න අමාරු වග හොඳටම පැහැදිලියි. රට පුරා කලබල. යුද්ධය දිගටම ඇදෙනවා. සොල්දාදුවෝ අණ පිලි පදින්නේ නැහැ. ආහාර හා භාණ්ඩ හිඟය රට පුරා . ගොවියන්, කම්කරුවන් ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්.  මේ දෙගොල්ලම  ශිෂ්‍යයන් සමග එකතු වෙලා කැරැල්ලකට සැරසෙනවා. රට අරාජික වෙලා වගේ. කවුරු හරි රට පාලනය කරන්න  පුළුවන් කෙනෙක් බලය  ගන්න ඕනේ. ඒ තත්වය අප මත පැවරිලා කියලයි මට හිතෙන්නේ.

Trotsky: ව්ලැදිමීර් ඉලිච්, රට ගැන ඔබේ අදහසට මටත් එකඟ වෙන්න පුළුවන්.  රාජාණ්ඩුව නැවතත් වතාවක් විධායක බලය අල්ලා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. ඔබගේ අදහස අප බලය ගත යුතු බවද?  බොල්ෂෙවික් පක්ෂය  ඒ සඳහා සූදානම් කියා හිතනවාද? මා  හිතන්නේ පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට බලය පැවරිය යුතුයි කියල.

L : 
ලෙව්  දවිදොවිච්, මේකයි . ඔබ දන්නවා මම දෙතුන් වරක්ම මධ්‍යම කාරක සභාවට දන්වා යැව්වා බලය ලබා ගැනීම සඳහා සැරසෙන්න. මේ සඳහා හොඳම අවස්ථාව  එළඹිලා තිබෙන්නේ කියල. මධ්‍යම කාරක සභාව මගේ යෝජනාව පිළි ගත්තට  ඔවුන් එය සාකච්චා කිරීමට මග හරින බවයි මට හැඟෙන්නේ. එනිසා මම මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්වෙන බවට ඊයේ ලිපියක් යැව්වා. බුහාරින් සහ කාමෙනෙව් සහෝදරවරුන් ඉක්මන් තීරණයක් ගන්න එපා යයි පවසනවා.පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට අමතර බලයක් පැවරීම තේරුමක් නැති දෙයක්. එහි සිටින මෙන්ෂෙවික් වරු, ගොවි නියෝජිතයන්  හා කුලාක්වරු එකිනෙකා  සමග  වාද කිරීම  හා ගුටිබැට හුවමාරුව ඇරෙන්න යමක් කෙරෙන්නේ නැහැ.

T: ව්ලැදිමීර් ඉලිච්, මමත් ඔබට කියන්නේ ඉක්මන් වෙන්න එපා. මම ඔබේ අදහස අද මධ්‍යම කාරක සභාවට ගැනීමට සහයෝගය දෙන්නම්. නමුත් මට තවමත් මේ බලය ලබා ගැනීමේ අදහස්  ඉක්මන් වැඩියි සිතෙනවා. සමාජවාදී මෙන්ශේවිකයෙකු වන කෙරෙන්ස්කි ට සහයෝගය දීම වඩා සුදුසු නැත්ද? බලය ලබා ගත් පසු එය අපට රැක ගැනීමට පුළුවන් වේවිද? පක්ෂ සහෝදරයෙන්ගේ ජිවිත අනතුරකට ලක්වෙනවට මම කැමති නැහැ. බොහෝ  මධ්‍යම කාරක සභිකයන්ගේ අදහසත් එයම විය හැකියි.

L: ලෙව්  දවිදොවිච්, අපේ පක්ෂය යනු කුමක්ද? දැනට වඩාත්ම  විනයගරුක, වඩාත් කැපවීමෙන් කටයුතු කරන  සාමාජිකයන් සිටින පක්ෂය අප සතුයි. ඔවුන් රුසියානු ජනතාවට හානියක්  වනවාට අකැමැති, රුසියානු ජනතාවට ආදරය කරන,   රුසියානු  දේශයට ආදරය කරන පිරිසක්. සොල්දාදුවන් ගේ, ගොවීන්ගේ , නාගරික කම්කරුවන්ගේ හා සිසුන්ගේ සහයෝගය ඔවුන්ට ලබා ගැනීම අපහසු නැහැ. ඔවුන් වැඩ කරන්නේ එම පිරිස් අතරයි. ලේ හෙල්ලීමක් වෙනවා නම් එසේ වන්නේ මේ බලලෝභී සාර් වාදී පාලනය සාමකාමිව ඉවත් නොවුනහොත් පමණයි. එතැනට නොයාමට අවශ්‍ය හැකි ඕනෑම පියවරක් ගමු. එනිසා බලය ලබා ගැනීම වඩාත් සුදුසු මේ අවස්ථාව නොසලකා හැරීම ලොකුම වරදක් වේවි. එනිසා හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කරන ලෙස පක්ෂයට යෝජනා කරන්න  කැමතියි. ඔබ එකඟද ?

T: ඔබට මගේ පුර්ණ සහයෝගය හිමිවෙනවා ව්ලැදිමීර් ඉලිච් .

ව්ලැදිමීර් ඉලිච් - ව්ලැදිමීර් ඉලිච්  උල්යානොව් හෙවත් ලෙනින්
ලෙව්  දවිදොවිච් - ලෙව්  දවිදොවිච් බ්‍රොන්ෂ්ටයින් හෙවත් ට්‍රොට්ස්කි



මේ කතාබහ වර්තමානයේ කිසිම රටක සිදුවන කිසිම සිදුවීමකට අදාල නැති අතර ඓතිහාසික කෘති   වල දැක්වෙන අදහස් අනුසාරයෙන් 1917 වසරේ ඔක්තෝබර් මාසයේ රුසියාවේ සිදුවන්නට ඇතැයි  පරිකල්පනය කර ලියූවකි.

ප.ලි.  බ්‍රිතාන්‍ය රජය යුරෝපයෙන් නික්ම යාමේ ප්‍රශ්නය නිසා ප්‍රබල අර්බුදයකට මුහුණ දී ඇති අතර ජෙරෙමි කෝබින්ට පස්සා  දොරින් රාජ්‍ය බලය ගැනීමේඅවස්ථාවක් උදාවී  තිබේ.


Thursday, 15 November 2018

කතානායක කරු ජයසූරිය

ගරු "පත්කළ" අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට  හෝ වෙන අයෙකුට  අගමැති වන ලෙස ආරාධනය කරන්න  ලංකාවේ ජනාධිපතිවරයට ව්‍යවස්ථානුකූලව පුළුවන් බවයි මගේ අදහස.   ඉන් පස්සේ අගමැතිවරයා අතේ තමයි පාර්ලිමේන්තු බහුතරය පෙන්වන කාර්යය තියෙන්නේ. ඒ අනුව අලුත පත්වන අගමැතිවරයා බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වන්න ඕනේ. මෙතැනදී ප්‍රශ්න  දෙකක් වුනා. එකක් හිටපු අගමැතිවරයා ඉල්ලා අස්  නොවීම. ජනාධිපති තුමාට අගමැතිවරයෙකු පත් කරන්න   පුළුවන් වුනාට අගමැති කෙනෙකු අස් කරන්න  ව්‍යවස්ථානුකූලව බලයක් මා දන්නා පරිදි  නැතිකම.
දෙක, බහුතරය පෙන්වන්න නම් නව අගමැතිවරයාට ඒ සඳහා කතානායකවරයා විසින් ඉඩ සලසා දීම. ප්‍රශ්නය වුනේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව කලින්ම විසුරුවා හැරීම සහ එය වැළැක්වීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම. මෙතනින් එහා ඒ ගැන මම ලියන්නේ නැහැ. මොකද නීතිය  ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක් නිසා.

මට ටිකක් කණගාටුයි කරු ජයසුරිය මහත්මය පත්වෙලා ඉන්න තත්වය ගැන. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  චෝදනා කලත් කරු ජයසුරිය මහතා පාක්ෂික (bias) විධිහට  වැඩ කරනවා කියල ඔහුට අමතක වුනාද දන්නේ නැහැ කරු ජයසූරිය සිවිල් යුද්ධය පැවති  සමයේ  එජාප මන්ත්‍රීන් 17 රැගෙන මහින්ද මහතාගේ  සහයෝගයට පැත්ත මාරු කළ බව.  එනිසා මහින්ද මහත්මයට තිබුනා තරුණ මන්ත්‍රී වරුන්ට පහදලා දෙන්න කරුගේ වරදක් නෙමේ ඔතන තියෙන්නේ කියල. කතානායක පත් කලේ යුඇන්පී හා එවකට ඔවුන්ට පක්ෂ අයගේ චන්දෙන්. ඔහු අපක්ෂපාති වෙනවා කියන්නේ  තරමක් දුරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට වැඩ කරනවා කියන එක. ඔහුට අගමැති වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ.

මට කරු ජයසුරිය මහතා හමුවෙනව 2016 දෙසැම්බරයේ. ඒ අකාලයේ ඔවුන් හැරගිය ඔහුගේ බාල දියණියට සමුදෙන්නට ලන්ඩනයට පැමිණි වෙලේ.  එම අවමංගල්‍ය දිනයේ මෙහෙම සටහනක් දැම්ම. එහෙම  කලේ මම කරු ජයසුරිය මහත්මයාගේ දේශපාලනය අනුමත කරන නිසා නොවේ. එවෙලේ ඇතිවුන කණගාටුව සහ ඔහුගේ උපේක්ෂා සම්පන්න බව දැකල.  මට එවෙලේ කොහෙත්ම හිතුනේ නැහැ කරු ජයසූරියට තව දුරටත්  දේශපාලන අපේක්ෂාවන් තිබෙනවා කියල.

එම ලිපියේම විමල් විරවංශ මැතිතුමා පිළිබඳව මෙන්න මෙහම  සටහනක් තිබෙනවා.
//වසර 1997 දී කරු ජයසුරිය කොළඹ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා.  ඒ වසරේදීම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ මහතාත් තේරී පත් වෙනවා. පළමුවැනි  රැස්වීමට එන විමල් විරවංශ මහතා හා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ තවත් තරුණ මන්ත්‍රීවරු පිරිසක් ටයි ගැටය දාගන්න දඟලන අන්දම කරු ගේ දෑසට හසු වෙනවා. කරු එතනට ගිහින් විමල් විරවංශ තරුණ මහතාගේ සහ අනිත් තරුණ මන්ත්‍රීවරුන්ගේ ටයි ගැට දාන්න උදව් වෙනවා.  ඊට පස්සේ එක මේසේ ඒගොල්ල  සාකච්චා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම  කතා කරන්න  බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල "//

මට දැන් හිතෙන දෙයක් තමයි ගරු ජනාධිපතිතුමා අකැමති වුනත් කරු ජයසූරිය මහත්මය අගමැති පදවිය භාර අරගෙන භාරකාර ආණ්ඩුවක් 2020 දක්වා ගෙනියන්න ඕනේ කියන එක. මේ අදහස අජිත් පැරකුම් ජයසිංහ මහත්මයත් ඉදිරිපත් කරලා තියනවා මම දැක්කා.

එහෙම  නැත්නම් 2020 ජනාධිපතිවරණට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න  ඕන කියල.  මොකද ඔහුට වැඩි බලාපොරොත්තු නැති, ඕනෑවට වඩා අපේක්ෂා නැති තව දුරටත් මුදල් පොදි  ගහගන්න අවශ්‍යතා නැති,පවුලේ  නොයෙකුත් ප්‍රශ්න ඇතිකරන, ඔටුන්න භාර දෙන්න වෙන  තරුණ දරුවෝ නැති කෙනෙක් නිසා.  එසේම එම අවුරුද්දෙන් පස්සේ කොහොමත් විධායක බලය ලැබෙන්නේ මන්ත්‍රී චන්දයෙන් පත්වන අගමැතිවරයාට බ්‍රිතාන්‍ය ක්‍රමයට.
එනිසා ඔහු එවැනි පොදු අපේක්ෂකයෙක් වීමේ අවුලක් නැහැ.
මේක   අද   සිදුවූ අප්‍රසන්න සිදුවීම් දැකල    හිතට ආපු අදහසක් විතරයි.

මුල් සටහන

මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ

Wednesday, 14 November 2018

බදුල්ලේදී පැරණි මිතුරෙකු සහ මහියංගනයේ දී බ්ලොග් රසිකයෙකු හමුවීම

පහුගිය  දවසක ලංකාවේ ඉන්දෙද්දී සමනලවැව  බලන්න ගියා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරියක හා  මගේ ළඟම  යෙහෙළියක තමයි අප රැගෙන ගිහින් මේ හැම තැනක්ම  පෙන්වූයේ. ඇය උගත්තේ මා ඉගෙනගත් සෝවියට් දේශයේ මොස්කව් විදුලිබල හා තාක්ෂණය පිලිබඳ විශ්ව විද්‍යාලයෙමයි. මේ යෙහෙළිය මා උගත් විශ්ව විද්‍යාලයේ මට  ජේෂ්ඨව සිටි  ශිෂ්‍යාවක් වගේම ඉතා දක්ෂ ලෙස ඉගෙනීම අවසන් කළ උපාධිධාරිනියක්.  ඇගෙන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට වන සේවයත් එතරම්ම උසස් බවයි මට දැන ගන්නට ලැබුනේ. ඒ ගැන පසුව ලියන්න හිතන් ඉන්නවා.
තරුණ ඉංජිනේරු මහතා විස්තර කරමින් 
දූලා දෙන්නටත් අපත් සමග ගිය අනිත් දරු දැරියන්ටත් සමනළ වැව ජල විදුලි බලා ගාරය බලන්නට ලැබීමත් විදුලි ඉංජිනේරු මහතෙකු විසින් බලාගාරය තුල පෙන්වමින් එහි විස්තර කියා දීමත් ඔවුන්ට සුවිශේෂී  අත් දැකීමක් වුනා. සෝවියට්  දේශයේ සිටියදී මා පුහුණුව සඳහා ගොස් සිටි සඵරෝෂි  බලාගාරය  නරඹා  තිබුනා. ඒ වගේම  පුහුණුව කාලයේදීම   රන්දෙනිගල දැක තිබුණා.   එනිසා ඔවුන්ට යම් යම් දේ මතකයෙන්  කියා දීමට හැකිවීම මටත් සතුටක් වුනා.
දුම්රිය එන්ජිම නතරවී 

සමනළ වැව සංචාරයෙන් පසුව  අපි ගියේ  බණ්ඩාරවෙලට. ඉන්පසු සෙමින් ධාවනය වන දුම්රියක නැගී බදුල්ලට ගියා. ඒ ගියේ බදුල්ලේ ජිවත් වන  මා කුඩා කාලයේ ලුණුගල ගමේ කෙළි සෙල්ලම් කළ සෝමතිලක මිතුරා හමුවීමටයි. දුම්රියේ යද්දී ලැබූ අපූරු අත්දැකීමක් වුනේ  සෝමතිලක  ලුණුගල සිටියදී  මිතුරෙකුව සිටි  බදුලු කොළඹ දුම්රියේ රියදුරු මහතා මා සමග ජංගම  දුරකතනයෙන් කතා කරමින් සිටියදීම මට  ජනේලයෙන් පිටත බලන්නට කීමයි.
ඒ මොහොතේ ඔහු දුම්රිය එන්ජිම හරියටම අපේ මැදිරියෙන්  පිටත නවතා මට අත වනනවා.  මගේ දියණියන් හා  බිරිඳ පුදුමයට හා සතුටට පත් කළ සොඳුරු අත්දැකීමක් වුනා ඒක.
ගුණරත්න අයියා  වම් පසින් මා හා සෝමතිලක මැද සුදත් දකුණෙන් 

  සෝමතිලක  ගැන මම මීට පෙර මේ  බ්ලොගයේ ලියා තිබෙනවා. අහම්බයකින් වගේ මා සමග එකම පන්තියේ උගත් තවත් මිතුරකුද මුණ ගැසුනා. ඒ සුදත්. මේ සියලු හමුවීම් වලට මග සලසා දුන්නේ එච් බී ගුණරත්න අයියා. (හිතුවක්කාරී පොත ලියුවේ ඔහු).   බදුල්ලේදී  සෝමතිලකයන් ගේ නිවසේ  අපට රස මසවුලෙන් පිරි ප්‍රනීත සංග්‍රහයක් සූදානම් කර තිබුණා.  අවශ්‍ය මධු පානය හා නැතිවම බැරි බයිට් එක සැපයුවේ සුදත්.

සෝමතිලකගේ පිය බිරිඳ, දරුවන් සහ නැදි  මයිලන්ද අප උණුසුම්ව පිළි ගත්තා. . ඉතා සොඳුරු මතකයන් සිහි ගන්වමින් ගතකල පැය කිහිපය ඉක්මනින් නිමවූ නිසා අපි බණ්ඩාරවෙල නවාතැනට ගියා. නමුත් අපට ඇත්තටම අවශ්‍ය වූයේ මහියංගන පැත්තට යන්නටයි. ගුණරත්න අයියා දුරකථන නොම්මරයක් දී තිබුණා මහියංගනයේ වෙසෙන ප්‍රසන්න නම් අයෙකු ගේ . උදව්වක් ඉල්ලන්න කියල.
මෙහෙමයි ගියේ කතාව.
"මම මේ ගුණරත්න අයියගේ යාළුවෙක්. නම අජිත්. ඔයාට කතා කරන්න කිව්වා නවතින්න තැනක්  බලන්න"
"ආ මේ කොළඹ ගමය නේ.  මම දන්නවා "
"කොහොමද දන්නේ "
"මම ඔයාගේ ෆෑන් කෙනෙක්. මම මුකුත් ලියන්නේ නැහැ. ඒත් කියවනවා. ඔයාගේ ෆේස්බුක් ලිස්ට් එකෙත් ඉන්නවා. මම ප්‍රසන්න "
"පළමුවෙනි වතාවට බ්ලොගය ප්‍රිය කරන නුදුටු කෙනෙක් හමු වුනේ. මම මේ නවතින්න තැනක් බලනවා. "
"මහියංගනේ මවුන්ට්එජස් රිජන්සි එක හොඳයි . එතන බලන්න "
මේ කතා බහෙන් පස්සේ ඒ නවාතැන තීන්දු කර ගත්ත"
ප්‍රසන්න සමග 
ප්‍රසන්න ගේ ඖෂධාලය ඉදිරිපස 

ඖෂධාලය

මහියංගනයට ගොස්  මගේ බ්ලොගය කියන සොඳුරු හිතවතා ප්‍රසන්න  සමරසේකරත් මුණ ගැහුණා.
ප්‍රසන්න ගැන මට පැහැදීමක් ඇතිවුනේ මගේ බ්ලොග් අඩවියේ රසිකයකු වීම නිසාමත් නොවේ. ඔහු පුහුණු ඖෂධවේදියෙක්. ඔහු මහියංගනයේ ඖෂධාලයක් පවත්වාගෙන යන්නේ තවත් තරුණ තරුණියන් දහ දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දෙමින්. එසේම ඔහුගේ  ඖෂධාලය  මා බොහෝ දුරට ලංකාවේ දැක තිබෙන නොයෙකුත් බඩු පුරවා ඇති ගබඩා වැනි නීරස ලෙස පවත්වා ගෙන යන ඖෂධාල මෙන් නොව එංගලන්තයේ හෝ ජර්මනියේ මා  දැක ඇති නවීන පන්නයේ ස්ථානයක්.

දෙවැන්න එවැනි කාර්යබහුල ජිවිතයක් ගත කලත් ඔහු සාහිත රසකාමියෙක් වීමයි. බ්ලොග් හා පොත් පත් කියවීම පමණක් නොව ඌවේ සංස්කෘතික  ජිවිතයට (යූ සර්කල් වැනි)  ඔහු ක්‍රියාශීලී ලෙස මැදිහත්වන බවත් දුටුවා. ඔහු වැන්නන් හමුවීමත් සතුටක්.

 සුන්දර මහියංගන චෛත්‍යයත්  බලන්න ගිහින් අපේ සොඳුරු නවාතැනට ගියා. සුන්දර දවසක් ගෙවී ගියේ එහෙමයි.

Monday, 12 November 2018

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 2 දීප්ති කුමාර ගුණරත්න

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න



මා පළකල "සියාමා" කෘතිය  පිළිබඳ සම්මන්ත්‍රණයේදී දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ දේශනය. (කොටස් තුනකින් පළවේ.)

දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා "චතූ" ගැන මෙහි අදහස් දක්වන්නේ නැත. එසේම ඒ මහතා හා ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිතුමා අතර සම්බන්ධයක් ඇත්ද නැත්ද  යන්නත් මම නොදනිමි. ඒවා බොහෝ විට කෙනෙකුගේ මඩ ප්‍රහාරයන් බවට  වැටහීමක් තිබේ.
මා  අගය කරන්නේ ඔහුගේ සමාජ, දේශපාලන, සිනමා විශ්ලේෂණයන් හා මනෝ විශ්ලේෂණයන්ය.

පළමුවන කොටස:


දෙවන කොටස:



තෙවන කොටස 




Saturday, 10 November 2018

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න


ප්‍රධාන හැඳින්වීම කළ ඉවාන් පව්ලුෂා ගේ සම්පුර්ණ කතාව පටිගත කිරීමට නොහැකි විය.  එහෙත් ඔබගේ කතාවට ස්තූතියි ප්‍රගීත්.

නන්දන වීරරත්න සහෝදරයාගේ කතාව - ස්තූතියි
පළමුවන කොටස

නන්දන වීරරත්න සහෝදරයාගේ කතාව
දෙවන  කොටස

එසේම බෝධිනී සමරතුංග ලියු සටහන.
https://anithkona.blogspot.com/2018/10/siyama.html

Friday, 9 November 2018

"සියාමා " කෘතියට ප්‍රතිචාර - ධම්මිකා චාන්දනී

පශු  වෛද්‍යවරියක ලෙස සේවය කරන ධම්මිකා චාන්දනී යෙහෙළිය  මේ සුන්දර සංවේදී කවි පෙළ ලියා එවා  තිබුනා.  කෘතියේ කියැවෙන එක්තරා අවස්ථාවක් මනස්පොතේ මවා ගැන්මක්.


It was a quick visit....
LIKE LIGHTENING
JUST about to fade off ......

In this stormy bond

Emotions on a roller coaster.....
a down pour  of tears..
soaking through my feelings...
My mind a battle ground
tearing me apart.

But,  there I was....
almost an Oscar nominee
struggling....
to hide the  feelings.....
to keep control.....     

Slowly.....
stealthily .....   
Keeping his hands on my shoulders....
When he kissed my forehead..... 
       
The current that went through my body..............         
My accelerated heart beat...... 
My trembling legs........

Slowly......
Carefully......
Reminded me .....
that he doesn't know 
how much I love him.

I wish he knew.
Hope is still fluttering its feathers...


MY LIFE

Weather stained with years...
Dreams were ceased....
If you want to know....
Scars are the road map.
My folks sailed across the sky....
boarding on clouds.
Leaving me behind
In a river of tears.
Lost was how I felt...
In the mines of dark.
Life was just a dream in the night....

Fought alone to conquer...

In the Autumn of my life
Appeared the Prince Charming
As an answer
For my silent prayers
Like a rope of ladder
Dropped from heaven
Into my world of dark mine
Hope fluttered and
Began to sing
It's best solo.

Time ticked Slowly
Stormy clouds brewing around
Wind blew thrashing
Against the tree limbs
The fog came in
On little cat feet
Along the bumpy road.
All the lights went dim
We were just shadows
On the walls.
Wounded each other
By the weapons of words.
Happiness sailed across the ocean
Crashing my sand castles.

-- Dhammika Chandani
Picture: taken from this website.