විපුලි ගැන මේ සටහන ලියන්න හිතාගෙන හිටියේ ගිය අවුරුද්දේ. අන්තිමේදී අවුරුද්දක් ගත වුනේ තේරෙන්නේ නැතිවම වගේ. මම හිතන්නේ මටත් බිරින්දෑ වන ඉනෙස් ටත් විපුලිගේ නික්ම යාම තවම කම්පනය ඇති කරන සිදුවීමක්.
ගිය මාසේ අපේ තාත්තගේ උපන්දිනේ තිබ්බ. පෙබරවාරි විසි පහ.
මම තාත්තා ගැන ලියපු ලිපියක් මෙතැන තියනව. තාත්තා යන්න ගියේ තරුණ කාලේදීම, හුඟක් කලින් කියලයි මට හැම වෙලේම හිතුනේ. තාත්තා නැති වෙනකොට හැට දෙකකට යන්තම් ලඟා වෙලා. ඒ වුනාට
විපුලි එයාගේ ළමයි දෙන්න වන සෙත් සහ උමානි දාල ගියේ හතලිස් නමය ඉවර වෙද්දී. එයා ඊටත් වැඩිය තරුණයි. මං හිතන්නේ අපි වඩාත් කම්පනය වුනු කරුණ ඒක වෙන්න ඕනේ.
මම දවසක් 2009 විතර මගේ දුවල දෙන්න, ශනායායි ශකීරයි අපේ ගෙවල් හරියේ ඇල්බේනි කියන පිහිනුම් තටාකයේ පිහිනන්න එක්කන් ගිහින් එලියට එනවා. එලියට එන තැනම වගේ හෝල් එකේ දකුණු ආසියානු පෙනුමක් ගැහැණු කෙනෙක් කොළ වගයක් තියාගෙන ඉන්නවා. මම ඔලුව දාල බැලුව. කොණ්ඩේ ක්‍රේල් ජැමෙයිකන් පෙනුමක් තියෙන පිරිමි කෙනෙක් ළමයි දෙතුන් දෙනෙකුට කරාටේ උගන්වනවා. තව ඉන්දියන් කාරයෙක් වගේ උස මහත තරුණයෙකුත් සුදු කරාටේ කිට් එකක් ඇඳන් ඉන්නව.
ඉතින් පසුව දැනගත් පරිදි ජැමයිකන් කාරයා අර හිටිය ගැහැණු කෙනාගේ හස්බන්ඩ් දුෂාන්ත පෙරේරා . ඉන්දියන් කාරයා මංජුල සේනානායක. දෙන්නම ලංකාවෙන් ආපු ටයෙක්වොන්දෝ මාස්ටර් ල. ගැහැණු කෙනා විපුලි පලිහක්කාර. පොල්ගහවෙලින් ලන්ඩන් ආපු සිංහල ටීචර් කෙනෙක්. දුෂාන්ත සහ මංජුල ඊට පස්සේ මටයි , ශානි ටයි, ශකී ටයි ටයෙක්වොන්දෝ ඉගැන්වුවා. දුවල, විපුලිගේ ළමයි වන උමානි හා සෙත් එක්කත්, මංජුල ගේ දුව ස්ටේඵනි එක්කත් යහළුකම් ඇති කර ගත්ත. ඉනෙස්, විපුලි සහ සමන්තා එක්කත් සෙට් වුනා. එහෙම තමයි ඒ කට්ටිය එකිනෙකා අඳුන ගත්තේ. මම රතු බෙල්ට් එක වෙනකන් ඉගෙන ගත්ත. දුවල දෙන්නම බ්ලැක් බෙල්ට් කරලා සෙකන්ඩ් ඩෑන් වෙනකන් කළා. අපි අඳුනගෙන අවුරුදු 14 කට වැඩියි .
අපි එකට හොලිඩේ ගියා. එකට පාටි දැම්ම. ඇවිදින්න ගියා. දුෂාන්ත පාටි කිං . පාටි වලට කෑම උයන්නත් හොඳට පුළුවන්. මගෙයි විපුලිගෙයි හැම වෙලේම තිබ්බේ දේශපාලන වලි සහ ආගම ගැන සංවාද. එක දවසක් විපුලි කියනවා, "මේ බං අපි දෙන්න මේ අපේ හාමුදුරුවරුන්ට බනිනවා. කරන වැඩ වලට තමයි. ඒත් මුන් දෙන්න මුකුත් කියන්නේ නැහැනේ උන්ගේ ආගම් ගැන . නිරෝෂ් හෙම (දුෂාන්ත ගේ අනිත් නම) පල්ලිත් යනව. ඔයාගේ ඉනෙස් නුත් නත්තලට පල්ලි යනවනේ" කියල.
මමයි විපුලියි බුද්දාගමේ, ඉනෙස් ජර්මන් ප්‍රොතෙස්තන්ත. දුෂාන්ත කතෝලික. ඒ ගමන මායි විපුලියි කතා කරගත්ත, අපිත් මිට පස්සේ හාමුදුරුවරු විවේචනය නොකර ඉමුයි කියල. හැබැයි මම විපුලිට කීව මට ලියන්න නම් පුළුවන් වෙන්න ඕනේ කියල.
මම දුටුව දෙයක් තමයි මේ මික්ස් ආගම් විවාහයේදී දුශාන්ත වඩා භක්තිමත් බව. ඒ වගේම කතෝලික යහළුවෝ බණ කියන වෙලාවට හෝ දානයක් වෙලාවටත් සිංහල අය එක්ක සෙට් වෙන බව.
විපුලි නැති වෙන්න ළඟම කාලේ මට ආරංචි වුනා විපුලි නොයෙකුත් යැදීම් සඳහා ළඟ පන්සලකට යනව කියල. අපි දෙන්න ඒ දවස් වල විවේචනය කරපුව ගැන දන්නා නිසා මට ඒකනම් හිතා ගන්න බැරුව කියා. විපුලි ජෙප්පියක්. ඒ කියන්නේ ජවිපෙ ට තමා සහයෝගය තිබ්බේ. ඉතින් මාත් එක්ක දේශපාලනය ගැන වාද කරනවා හමුවෙන හැම වෙලේම හෝ ටෙලිෆෝන් එකෙන් කතා කරද්දී පවා .මට බනින්නේ දීප්තිගේ ඒවා විතරයි කියවන්නේ කියල. මම එයාට කියන්නේ ,
"නැහැ මම හැම දේම කියවනවා. ජවිපෙත් දීප්ති ලියනවා වගේ දේවල් ලියනවනම් මම ඒවත් කියවනවා කියල. ත්‍රිමාණ සඟරාව විතරක් නෙමේ, ඒ වගේ ලියන තව වෙබ් අඩවි තියනව. පරණ හිරු කට්ටිය කරන විකල්ප අඩවිය, කතිකා, ගාඩියන් වගේ ඒවා. ඔයාලගේ අය ලියන්නේ නැති එකනේ වැරැද්ද කියල. ජවිපෙ නායකයෝ ඉන්නෙත් යන්නෙත් නිකන් උඩින් උඩින් වගේනේද කියල. ඔය සංවාද වලට අපි යන්න ඕනේ නැහැ . අපි ඊට වැඩිය බලවත් නේ කියලනේ ජවිපෙ හිතන් ඉන්නේ. ලෙනිනුත් එහෙම හිටියනම් යකෝ විප්ලවේ වෙන්නෙත් නැහැ. එහෙම නැතිව අනිත් අයට වගේ වෛරයක් මගේ නැහැ " කියල.
සැකෙවින්ඔ කීවොත් ඔන්න ඔය ජාතියේ වාද තමා යන්නේ.
"එහෙනම් ඒ ගැන කියල ජවිපෙ ගැනත් මොනවා හරි ලියන්නකෝ" කියල විපුලි කියනව. මම දවසක් ලිපියක් ලියල බ්ලොග් එකේ ලින්ක් එක යැව්වා. බැනුම් ගොඩයි.
"ඔයා අපිට කිසිම හොඳක් කියල නැහැ. හොඳක් ලියනවා වගේ ලියල තියෙන්නේ බැනල."
මං කිව්වේ " උඹ කියවනකොට හරියට කියවපන් කියල. පෙරටුගාමීන් මට බනින්නෙත් ඔය විධිහටම තමයි කියල."
"අනේ මට තේරෙන්නේ නැහැ අජිත්. ඔයා ලියන්නේ ප්‍රහේළිකා" කියල ආයි බනිනවා.
විපුලිගේ එක ඉල්ලීමක් මට ඉටු කරන්න වුනේ විපුලි මිය ගියාට පස්සේ. ඒ තමයි ටිල්වින් සහෝදරයා එක්ක කල සාකච්චාව බ්ලොගයේ පළ කිරීම සහ ලන්ඩනයේ තිබ්බ මාලිමාවේ රැස්වීමට සහභාගී වීම.
පෙරටුගාමී පක්ෂයේ ලන්ඩන් ඉන්න සෙට් එක සංවිධානය කරපු දේවල් හෝ , අගෝරා ගැන ලියපු වෙලාවට ආයි කෝල් කරලා අහනව.
"ආ දැන් ඔයා පෙරටුගාමී ද කියල." මාත් එතකොට අරින්නේ නැහැ.
මම කියනව "මේ පෙරටුගාමීන් හොඳ වැඩවගයක් කරලා තියනවා. අගෝරා එකෙන් හෙම කරන ඒවා හොඳයි. ඉතින් ලීවම වැරැද්ද මොකක්ද? මොකක් හරි ලීවම එහෙම ලේබල් ගහන එක වැරදියි"
මම පෙරටුගාමී රැස්වීම් වලට හෙම ගියේ සේනක නිසා. සේනක ගේ ආදරණිය බිරිඳ නිර්මලී(මධු) අපේ තාත්ත හිටි රෝහලේ වාට්ටුවේ හිටි නර්ස් නංගි කෙනෙක්. මල්ලිට හා අම්මට හුඟක් උදව් කරලා තියෙනවා තාත්තා බලා ගන්න. ඔය කතාව විපුලිට කීවට පස්සේ පෙරටුගාමී වැඩ වලට යන එක ගැන විවේචනය නැවතුනා. ඊට පස්සේ නම් කීවේ - "අනේ මටත් ආසයි ඕවට යන්න, මට එන්න විධිහක් නැහැ. වැඩනේ. ජොබ් දෙක තුනක් කරනවා. " විපුලි හා දුෂාන්ත ගේ විසා ටයිප් එකේ හැටියට මෙහෙ ඉන්න ගොඩක් අයට නිකන් හම්බවෙන දේවල් ලැබුනේ නැතිවා වගේම වීසා වලටත් ගෙවන්න ඕනේ වුනා වැඩිපුර. ඒ අසාධාරණ විසා ප්රශ්නය ගොඩක් අයට තිබ්බ. ඒ වගේ රැකියා කරන්න, ගේ දොර ළමයි බලා ගන්න නැත්නම් අනිත් අය වගේම සංස්කෘතික ජිවිතයකට ඔයිට වැඩිය යොමු වෙනවා.
විපුලි තමයි මට පද්මිණි මාතරගේ අඳුන්වල දුන්නේ. මගේ "සියාමා" පොත ප්‍රකාශයට පත් කරන්න ගිය වෙලේ. වසන්ති නානායක්කාර ගැන කීවෙත් විපුලි. පද්මි එක්ක කතා කරලා පොත ගැන ප්‍රචාරයක් දෙන්න. මේ යෙහෙළියෝ දෙන්න ගොඩක් කල් ඉඳන් දන්නවා. ඒ දෙන්නම දේශපාලනය තමන්ගේ මිත්‍ර සබඳතා වලට බාධාවක් කර ගත්තේ නැති දෙන්නෙක්.
ඕක සාමාන්‍ය ජවිපෙ, පෙරටුගාමී සෙට් වලට අදාල කරන්න බැහැනේ. ඒ ගොල්ලෝ හොයන්නේ බලන්නේ එයාලගේ අය ගැන විතරයි. පක්ෂයට යාලු කෙනෙක් ලියල නම් බර වැඩියි. (හැබැයි අපි ඒවා ගැන විවේචනය කලොත් අපි වැරදියි ඈ) පක්ෂ වල අයට විතරයි සෝෂල් මීඩියා සපෝර්ට් එක. එළියෙත් එහෙමයි. හැබැයි කතා කරන්නේ නම් ලංකාවේ ඉන්න ඔක්කොම උන් බේරගන්න. මායි විපුලියි අතරේ ප්‍රධාන වලියක් යන්නේ ඕව ගැන. "මගේ ප්රශ්නය වුනේ , බොලා දැන් හැසිරෙන්නේ මෙහෙම නම් උඹල බලයට ගත්තට පස්සේ හොඳටම නෙපොටිස්ම් ප්‍රැක්ටිස් කරයිනේ කියන එක. එතකොට උඹල සහ මේ ඉන්න එවුන් අතර තියෙන වෙනස මොකක්ද?" හැබැයි අපරාදේ කියන්න බැහැ විපුලි නම් ඔය අපේ දර්ශනී නංගි වගේ පොහොට්ටු ආධාරකාරයෝ එක්ක බුකියේ පට්ට විධිහට ඇරගෙන පස්සේ එකට පාටිත් දානව. විපුලිගේ මම දුටු හොඳ ලක්ෂනයක් වුනේ තමන් ජේවීපී වගේ පක්ෂයකට ආධාර කරන එක ගැන වාද කලාට ඒක හිසට අරගෙන ජිවත් වුනේ නැහැ. හැම අදහසක්ම තියෙන යාලුවෝ විපුලිය හිටියේ.
අන්තිම කාලේදී නං පොඩ්ඩක් වැඩි වුනා විපුලි ගෙන් එන විවේචන.
"අජිත් ලියනගේ අමරකීර්ති ව ඇඩ් කර ගත්තද. අනේ අපේ කෙනෙක්. කියවන්න හොඳද එයා ලියන ඒවා." මම අමරකීර්ති මහත්මයාගේ පොතක් ගැන විචාරයකුත් ලියල ඒ කාලෙම ඇඩ් කරගෙන තියෙන්නේ කියල කීවේ නැහැ ඕන කමින්ම.
" පිස්සුද බං ඕවට වෙලාවක් නැහැ" කීවම ආයි බනිනවා. ඔයාට දිප්තියි, පෙරටුගාමියි තමා ලොකු කියල.
ඊළඟ දවසක කතා කරලා කියනව - "මේ අර සන්නස්ගල ගේ වීඩියෝ එක දැක්කද?
මමත් කියනවා විපුලිව අවුස්සන්න " මොන වීඩියෝ එකද, ඒ මනුස්සය සුමානෙකට පන්සීයක් විතර දානවනේ. බ්ලොග් සම්මානෙට ඇවිල්ල රාජිතයට නක්කියක් දාල කට්ටිය අල්ලාගෙන අනුන්ගේ තෑග්ග තමන්ගේ වගේ දීලා ගිය එක්කෙනානේ, උන් එක පක්ෂේ නේද හිටියේ එකිනෙකා කපා ගත්තට "
ඔන්න ආයි බනිනවා. " අනේ තමුසේ යනව යන්න ඔය රාජිතය පරාජිතයව මතක් කරන්න එපා. මේ ඕයි සන්නා ශෝක් වීඩියෝ දානවා. පොඩ්ඩක් බලනවා , සිංහල හොඳට උගන්වනවා ළමයින්ට. ඔයාලට ඕව පොඩ්ඩක් බැලුවහම මොකද වෙන්නේ , සිංහල හරි ඉගෙන ගන්න." එතකොට තමයි මට මීටර් වුනේ. විපුලි ලංකාවේදී දේශපාලනය සහ සිංහල ඉගැන්නුව ටීච නේ.
මොන ප්‍රශ්න තිබ්බත් විපුලි කට පුරා හිනා වෙලා හිටි චරිතයක්. ඒ වගේම පාටියකදී ඉස්සෙල්ලම අපිත් එක්ක සබකෝලයක් නැතිව ඩ්‍රින්ක් එකක් දාගන්නෙත් , ඉස්සෙල්ලම ඉනෙස් සහ අපේ තවත් යෙහෙලියක් වන ක්‍රිෂාන්ති එක්කත් නටන්න පටන් ගන්නේත් විපුලි. පාටි එකට ආව කට්ටිය නටන්න අදින ජීවය තමා විපුලි. අකැමැත්තෙන් ඇඹරෙන ඩිලානිව, මාලිකාව අදිනවා නටන්න කියල.
අපි කට්ටිය එකට ගොඩක් විනෝද ගමන් ගියා. විපුලිලා වගේම අපිටත් මෙහෙ වෙන නෑදෑයෝ නැහැ. ඉනෙස් ගේ මුළු පවුලම ජර්මනියේ. මගේ ඔක්කොම ලංකාවේ. හදිසියකට ළමයි තියල යන්න මිත්තනියක්, මුත්තණුවෙක් නැහැ. නැන්දෙක් මාමෙ ක් නැහැ. ඉතින් අපේ මිත්‍රත්වය වැඩි වෙන එක අනිවාර්යයි.
මේක ලියන කොට ඉනෙස් මතක් කළා තව දෙයක්. අපි සංචාරයකට ගියා වේල්සයට. ස්නොව්ඩොනියා කන්ද නගින්න ගියහම විපුලි බූට් දෙකක් අරන් ඇවිත් නැහැ. සැන්ඩ්ල් දෙකෙන් මුළු කන්දම නැග්ගා.
විපුලිගේ එක දක්ෂතාවයක් තමයි හැමෝම එක්ක හොඳ සම්බන්ධතාවයක් තියා ගැනීම. දුෂන්තත් එක්ක එකතු වෙලා මොකක් හරි පාටියක්, පොඩි අවුරුදු ක්‍රීඩා තරඟ ටිකක්, පික්නික් එකක් සංවිධානය කරන කොට විපුලි හා දුෂාන්තට ඉන්න යහළුවන් පරාසය පේනවා.
අන්තිම කාලේ විපුලි අරගලයට සම්බන්ධ කණ්ඩායම් වලට සෑහෙන සහයෝගයක් දුන්න කෙනෙක් . අමාරුවෙන් හරි මුදල් වලිනුත් සැහෙන්න සම්මාදම් වෙලා තියනවා. යන්න වෙලාවක් නැතිවුනා කියල කීවත් සමහර උද්ඝෝෂණ වලටත් ගිහින් තියනව. හැබැයි දැන් හිටියනම් පලු යන්න බනියි, ඊට පස්සේ එක එක වේදිකා වලට නගපු උන් දැකල .😆
විපුලි හොඳ යාලුවෙක් වෙන්නේ, නැති තැන යාලුවෙකුට බනින්නේ නැති, යාළුවෙක්ව ආරක්ෂා කරන චරිතයක් නිසා. විපුලි මට වුනත් වෙන කා ගැනවත් වැරැද්දක් කියල නැහැ.
විපුලි හදිසි අනතුරකට මුහුණ දුන්නේ අප්‍රේල් 14 අවුරුදු දවසේ. මගේ උපන්දිනේ 15. මම ඇත්තටම ඊයේ පෙරේද හිතුන "මම නැතිව එහෙම උඹලට පාටි දාන්න දෙන්න පුලුවන්ද, පන්සලට දානයක් දීපන් " කියල විපුලි අර සරදම් හිනාව දාගෙන ඉන්නව ඇති කියල ඉන්න තැනක. මං දන්නා විධිහට ටීචින් කෝස් එකකට යන්න ලැහැස්ති වෙලා හිටියේ. ඒකට යන්නේ නැතිව මෙහෙ ටීචින් කරන්න බැහැ.
විපුලි "ඇට මැස්සා" පොත ඉංග්‍රීසියෙන් කියවන්න පටන් අරන් තිබුන. ඒකෙ පිටුවක ලියල තිබ්බ "එවිට මම වාසනාවන්ත මැස්සෙක්මි ජීවත් වුවද මිය ගියද " කියල එයාගේ අත් අකුරෙන්.. පහල තියෙන්නේ එයාගේ අකුරු.
දුෂාන්ත, උමානි හා සෙත් එකතුව බණක් කියල දානෙකුයි දෙන්න ලැහැස්ති කරල තියෙන්නේ. විපුලි නිවන් පතාගෙන ගියාද නැත්ද දන්නේ නැහැ.
ඒත් බං විපුලි , ඔය වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක ඉපදිලා කැමැති පරිදි සුළුවෙන් විස්කි ඩිංගක් දාගෙන නටාගෙන හිටපන් බං. ආයේ මේ ලෝකෙට එන්න එපා.
-- අජිත් -06/04/2023