Monday, 30 January 2023

ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්


මේ දිනවල පළාත්පාලන චන්දය පිළිබඳ උණුසුමක් ශ්‍රී ලංකාවේ පැතිර තිබේ. පසුගිය වසරේ ලංකාවට සංචාරයකට ගිය අවස්ථාවක ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග සුහද කතා බහක නිරත වීමට මට අවස්ථාව ලැබුණි . එහිදී මට දැන  ගන්නට ලැබුනේ ජවිපෙ  සෝවියට් දේශයේ ස්වර්ණමය සමය වශයෙන් සලකන්නේ හැටේ දශකය  සහ හැත්තෑවේ දශකයේ මුල් භාගය බවයි. හිටපු නායකයා ඒ කාලයේ එහි ඉගෙන ගැනීම අහම්බයක් දැයි නොදනිමි.  මා සෝවියට් දේශයේ සිටියේ 1985 සිට 1991 දක්වාය. ඒ කාලය සෝවියට් දේශය පරිවර්තනය වෙමින් පැවති කාලයයි. ඒ පරිවර්තනය අවසන් වූයේ ඒ මහා රාජ්‍යයේ බිඳ වැටීමෙනි.  එදා එම සාකච්ඡාව දිගට ගෙනියන්නට ඔහුට වේලාවක් නොමැති විය.
 නමුත් ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති මවන මේ අවස්ථාවේ මට එම සාකච්ඡාවේ ඉතිරි කොටස අවසන් කිරීමට අවශ්‍ය වුනි, ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ පද්මිණි මාතරගේ සොයුරියයි.

මා  ඇසූ ප්‍රශ්න කලින් සූදානම් කළ ඒවා නොවන අතර අසන ප්‍රශ්න  ගැන මම ඔහුට කලින් දැනුවත් කිරීමක්ද නොකෙළෙමි.

මා ඇසූ එක ප්‍රශ්නයක් වූයේ 2005 දී රාජපක්ෂවරු  බලයට ගෙන එම පිළිබඳව පසු තැවෙන්නේ නැත්ද කියාය.  යුද්ධයක් නොවී සාමකාමිව විසඳා ගැනීමට හැකියාවක් තිබුණු බව මගේ විශ්වාසය බවද කීවෙමි. ඔහුගේ අදහස ජවිපෙ ඒ කාලයේ පැවති ස්ථාවරයට  වඩා වෙනස් එකක් නොවුනි. රට බෙදීම වළක්වා ගැනීමටහැකිවුනු බව ඔහු පැවසුවේය. නමුත් වැරදි සිදුවුණු බවද ඔහු පිලි ගත්තේය. සමහර විට එය මදක් ඉදිරියට යාමක් යැයි සිතමු.

ඊයේ මම ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුවට  සහභාගී වුනේ දර්ශන හෙට්ටි ආරච්චි මහතා එවූ පණිවුඩයක් අනුවය. මගේ හිත මිතුරන් කිහිප දෙනෙකුද එහි පැමිණුන බැවින් මම ද  නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගී වුනෙමි. සමුළුවේ  මුල් හරිය හරියට ලංකාවේ චන්ද රැස්වීමක් මෙන් විය. ලන්ඩනයේ ජිවත්වන  යුඇන්පී දේශපාලනය කරමින් පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වූ ,  උපතිස්ස ගමනායක සමග විශ්ව විද්‍යාලයේ සිටි අයෙකු ජාජබ රජයකට සහය පළ කළේය.  

ඉන්පසු පොහොට්ටුවේ දේශපාලනය කල ආරච්චි කට්ටුවේ සනත් නිශාන්ත සමග පළාත් සභාවේ සිට සනත් ගෙන් ඔක්සිජන් ගුටි කෑ අයෙකුද සහය පළ කළේය. සනත් නිශාන්ත ගේ නම සඳහන් කිරීමත් සමග නැගුනු අත් පොළසන්, හු හඬ ආදිය නිසා ඔහු එංගලන්තයේ ඉතා ජනප්‍රිය බව සිතා ගත හැකිවිය. 

 ප්‍රසන්ජිත්  විජේසූරිය කළ කතාවේදී ඔහු සමග  විශ්ව  විද්‍යාලයේ මෙන්ම කලාලෝකයේ  සිට පසුව වෙනත් දේශපාලන ගමනකට පිවිසි  (පොහොට්ටු)  අයෙකුද පිලි ගත්තේය. ඒ කියන්නේ එලෙස "හැරුණු" බොහෝ දෙනෙකු එහි සිටින බව පෙන්වන්නට සංවිධාකයන් සෑහෙන උත්සහයක් ගත් බවය. 

 ඒ චන්ද කතා අතර මම දුටුවේ එක්සත් ජාතික පක්ෂයට කාලයකට ඉහත දී සහය පල කල අය මෙන්ම පොහොට්ටු හෝ රාජපක්ෂ වාදීන් යයි මා සිතා  සිටි හෝ දැන සිටි  කිහිප දෙනෙකුද එහි සිටින බවය.  එසේම මම පෙරටුගාමීන් යයි සිතා සිටි බොහෝ දෙනෙකුද එහි විය. සමහරවිට එය හොඳ ප්‍රවණතාවයක් විය හැකිය. 

සිංහලෙන් ,  දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීම අගය කරමි. ඒ අතර සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් ගැයුණු ගී  කිහිපයක්ද විය.

ආචාර්ය  හරිනි අමරසූරියගේ දේශනය  මගේ සිත් ගත්තේ ඇය ඉදිරිපත් කල කරුණු නිසාය. එසේම ඇගේ කතාවෙන් බොහෝ විට සිතුනේ  ඉදිරියේ දී එන ජාජබ රජයක් බොහෝ විට ටෙක්නොක්‍රටික් එකක් වනු ඇත කියාය.  එහි හොඳ හා නරක දෙකම තිබිය හැකිය. නමුත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවාදී මැතිවරණයක් හරහා  බලය පත්වීම ගැන විශ්වාස කරයි.


 අවසානයට  කතා කළ වෛද්‍ය නලින්ද  ජයතිස්ස පැවසුවේ පළාත් පාලන මැතිවරණ නොපවත්වා ආණ්ඩුව උද්දච්ඡ ලෙස මහජන සහයෝගයක් නැතිව රජයක් ගෙන යන්නේ නම් එයට විරුද්ධව ක්‍රියා කරන  බවයි. බොහෝවිට ජාජබ නායකත්වයෙන් යුතු අරගලයක් විය හැකිය.  ඔහු කිවූ වැදගත් කරුණක් වන්නේ විධිමත් රජයක්, දූෂණ කොමිස් නොඉල්ලන දේශපාලකයන් සිටින රජයක් යටතේ ආයෝජකයන් නැවත එනු ඇත කියාය. ඔහු උදාහරණයකට ගත්තේ වියට්නාමයයි. ඒ අදහසට මට එකඟ විය හැකිය. 

ඉංග්‍රීසි භාෂාවේ rabble-rousing කියා යෙදුමක් තිබේ. ඒ දේශපාලනඥයෙකු ජනතාව ඇවිස්සෙන ලෙස  කතා කිරීමක් හැඳින්වීමටය . අවසාන කතාව නලින්දට දුන්නේ  ඒ නිසා විය හැකිය,. ඔහු ඉතා ශුර ලෙස කතාව අවසන් කලේ බොහෝ ආධාරකරුවන් පුටුවෙන් නැගිට්ටවා ජාජබ ට ජයවේවා ලෙස කල ප්‍රීති ඝෝෂා කිරීම් මධ්‍යයේය.

එහි සිටි පිරිසේ විවිධත්වය නිසා මෙන්ම ලංකාවේ සිට ලැබෙන ආරංචි  අනුවද  පළාත් පාලන මැතිවරණයකදී ජාතික ජන බලවේගයට සජබට හෝ පොහොට්ටුවට  වඩා චන්ද ගත හැකි බවක් පෙනී යයි. (මේ අනාවැකිය බිමේ තත්වයන් අනුව ඉදිරියේදී  වෙනස් විය හැකිය.) 

ටිල්වින් සිල්වා "සහෝදරයා" ගෙන් ඇසූ ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු සඳහා මේ යූටියුබ් වීඩියෝව බලන්න. 

- අජිත් ධර්මකීර්ති 

වීඩියෝව සඳහා සම්බන්ධීකරණය කළ පද්මිණි මාතරගේ ට ස්තූතියි.

පසු  සටහන: මේ ලිපිය ගිය වසරේ අප අතරින් වෙන්ව ගිය මගේ  ආදරණිය මිතුරියක වූ  විපුලි පලිහක්කාර වෙනුවෙනි. ඇය හැම විටම චෝදනා කළේ
 "අජිත්, ඔයා ජවිපෙ ගැන මුකුත් ලියන්නේ නැහැ. ලිව්වොත් විවේචනයක් මයි." කියාය.
 එසේ නොවන බව කියා  ජවිපෙ ගැන ලියූ ලිපියක් යොමු කලෙමි. එයට ඇය චෝදනා කළේ 
"මේකේ, හොඳක් කියල පේන්න වත් නැහැනේ කියාය."  
ඔන්න විපුලී පමාවී හෝ මම ලිපියක් ලියා පමණක් නොව, සමුළුවකටත් සහභාගී වී ඔයාගේ සහ පද්මිණි ගේ ටිල්වින් අයියා සමග සාකච්චාවක් යූ බටයේ ද දැමුවෙමි. 

 

Tuesday, 24 January 2023

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය


 අපේ ඊළඟ  වැදගත් සංචාරක ස්ථාන දෙකක් වූයේ සැන්ටෝරිනි වල පිහිටි කෞතුකාගාරයක් හා පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානයකි. පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානය හැඳින්වුණේ අක්‍රෝතිරි  යන නමිනි. කෞතුකාගාරය තිබුනේ හෙරක්ලියොන් වලය. මේවායේ තිබුනේ අවුරුදු 3600 කට පෙර ග්‍රීක දූපත් වල තිබුණු අතිශයින් දියුණු ශිෂ්ටාචාරයක විස්තරය.මිනෝඅන් පිපිරුම ලෙසින් හඳුන්වන ගිනිකඳු පිපිරීමෙන් පසු එම ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම  වාගේ  විනාශ වී ගියේය. 

මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ  මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය.  ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල  ජිවත්වූ ග්‍රීකයන්ට  අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා  තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස්  එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ  ක්නොසස්  නමැති පෙදෙසේ විශාල  මිනොඅන්  මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.  

 ග්‍රීකයන් මවිත කල වංකගිරිය මෙයයි.
ග්‍රීක දේව  කතා බැහැර කළ  යුරෝපීයයන් ඉන්දු යුරෝපීය ශිෂ්ටාචාරයක්  මගින් මෙය ගොඩ නැගු බවට සැක පහල කළහ.  විල්හෙල්ම් ගයිගර් සහ තවත් නාසි ජර්මනියට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහ ටිබෙටයට පැමිණියේ මේ ගැන තව දුරටත්  සොයා බැලීමටය. එසේම බ්‍රිතාන්‍ය සහ තවත් ප්‍රංශ කණ්ඩායම් ගියේ ඉන්දියාවටය. හිට්ලර්ට අවශ්‍ය වූයේ ඔහුගේ පිරිසිදු ආර්ය මූලයන් ජනතාවක් පිළිබඳ  අදහසට ඉන්දියාවෙන් සාක්ෂි සෙවීමටය.  ඔවුන්ටද හිට්ලර් ටද වැරදුනු තැනක් තිබේ.

ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල්  පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව  4000-3500  තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද  මෙම පාෂාණය ආභරණ  සැදීමට, මාළිගාවල  සහ ආරාම වල විසිතුරු කිරිමට  භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත්  ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත  කී පුරා  විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට  හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන්  ආවේ ගියේ එහෙයිනි. 

ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය  තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව  මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ  යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ  බෞද්ධ පාසැල් පිහිටුවිමටද  පුරෝගාමී වූවාය.  බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය.  බ්ලවැට්ස්කි ගැන  ලියුවේ මම  අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා  ලංකාවට ගිය බව දැන  ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි. 

බලන්ගොඩ මානවයා සිටියා යයි සැලකෙන්නේ වසර තිස් අට දහසකට පෙරය. මේ ගැන කලින් ලියූ බ්ලොග් ලිපියක මෙසේ සඳහන්  කලෙමි.

 වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා  ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව  ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. ඒ සම්බන්ධය සම්පුර්ණයෙන් ම නැති වුනේ 15 ශතවර්ෂය   වැනි සාපේක්ෂව ඉතා මෑත කාලයකය. 

උඩ  තිබෙන මිනොඅන් තරුණියගේ චිත්‍රය බලන්න. එහි මාලිගාවක ඇඳ තිබෙන චිත්‍රය සීගිරි අප්සරාවන්ට සමානය. සීගිරිය ඇත්ත වශයෙන්ම කාශ්‍යප රජු විසින් කරවන ලද්දක්ද? නැතිනම් සාදා තිබුණු බල කොටුවකට පැමිණ එහි ඔහු ලැගුම් ගත්තාද යන්න අපට කිව හැකිද? එය කාශ්‍යප ලෙසින් කරවන ලද බවට සාක්ෂි තිබේ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.  කාශ්‍යප රජු  මුලින් තිබූ චිත්‍ර අනුසාරයෙන් ඒවා නැවත අඳින ලද්දේද? 

මේ  පහල ක්නොසස් මාළිගාවේ සිතුවම් අතර ගැහැණුන් වඩා පැහැපත් ලෙස පෙන්වා දෙන අතර පිරිමින් දුඹුරු  රත් පැහැයකින්  ඇඳ තිබේ.  වඳුරන් ගේ චිත්‍ර සහ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කරන්න.





මුතු මාලයක් වැනි දෙයක් එක කාන්තාවක් අත තිබේ. මුතු භාවිතා කර ඇති පුරාණ ඊජිප්තුවේ වන අතර ටොලමි විසින් තැප්‍රෝබේන් නමින් ලෝක සිතියමක ලංකාව  ලකුණු කලේ  ක්‍රිව. දෙවන  සිය වසේදීය. ඒවා බොහෝ විට  පැමිණයේ ලංකාවේ මුතු පර වලින් බව කිව හැක්කේ දෙවන සියවස වන විටත් ලංකාවේ මුතු ජනප්‍රියව තිබූ නිසාය.  ක්‍රිස්තු පූර්ව 3500 දී මිනොඅන් වරු භාවිතා කලේ ලංකාවේ මුතුද?

අපට කියා දී ඇත්තේ යුරෝපයේ විශිෂ්ටතම  මාර්ග මුලින්ම තැනුවේ රෝමන් වරුන්  බවය. ඒ කතාව භාග සත්‍යයකි. රෝම හමුදා ප්‍රවාහනය කිරීමට හා අශ්ව  කරත්ත සඳහා සාදන ලද රෝමන් පාරවල් විශිෂ්ටය. නමුත් ඊට කලින් හොඳ මංමාවත් සමූහයක් මිනොඅන් වරු සාදා තිබේ. පහළ පෙන්වා ඇත්තේ එම මාර්ගයක කොටසකි. (ක්)නොස්  මාලිගාවට යන මාර්ගය ඔවුන් ගල් අල්ලා සකස් කර ඇත. මෙය රෝමන් මර්ගයක් නොවන බව බව පැවසූ   අපේ සංචාරක මාර්ගෝපදේශිකාව,  මෙය යුරෝපයේ මුලින්ම ගල් අල්ලා  සකස් කල මාවත බවත් එය  යුරෝපීයයන් ගේ කාර්යයක් නොවන බවත් පැහැදිලි කළාය. ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ඇගෙන්  මා මේ පිළිබඳව තව දුරටත් විමසූ පසු  යුරෝපීය ග්‍රීකයන් පිරිසක් නොව වෙනත් ජන කණ්ඩායමක් එනම් මිනොඅන් වරු මේවා සාදා ඇති බවත් ඒ ශිෂ්ටාචාරයේ නටබුන් පිළිබඳව  වත්මන් ග්‍රීක විද්‍යාඥයන්  වඩා සූක්ෂමව, පූර්ව නිගමන වලින් තොරව  සොයා බලන බවත් පවසා සිටියාය. යුරේකා නමින් හඳුන්වන විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ කෞතුකාගාරයට යන ලෙස ඇය අපට යෝජනා කළාය.  ඒ ගැන තවත් ලිපියක් ඉදිරියේදී ලියමි. 


 
බලංගොඩ මානවයාගේ පරපුරෙන් පැවත එන  යක්ෂ, නාග සහ දේව ගෝත්‍රික රාජධානි තුනක් ශ්‍රී ලංකාවේ තිබුනා යයි සිතමු. ඔවුන් සියල්ලෝම එක රටක ජිවත් වූ බවත් ඔවුන් ඉන්දියානු අර්ධ ද්වීපයට සේතු සමුද්‍ර  මාවත දිගේ  ඇවිද යන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. 

විජය කුමරු සමග ලකාවේ මැද හා  දකුණු පලාතට සේන්දු වූ පිරිස නිසා  එම පළාත් වල භාෂාව සිංහල ලෙස දියුණු වන්නට ඇති බවත්  එළාර වැනි රජවරුන්ගේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා  උතුරු පළාතේ වත්මන් දෙමළ  බස බව දියුණු වෙන්නට ඇති බවත් උපකල්පනය කළ නොහැකිද?  එසේ නම් දෙමල හා සිංහල ලෙස බෙදී ඇත්තේ එකම රටක ජිවත් වූ එකම ජන සමූහයක් විය නොහැකිද?

   වසර 3500 කට ප්‍රථම මිනොඅන් ශිෂ්ටාචාරය ද ඔවුන්ගේ විය හැකිද? 

ඊලම් හෙවත් ඊලමයිට් වරු ජිවත්ව ඇත්තේ ඉරානයේය. ඒද ක්‍රිස්තු පූර්ව 4000 සිට ක්‍රිපූ 1500 දක්වා වන අතීතයකය. ඊලම් ශිෂ්ටාචාරය තිබුනේ ආර්යයන් ඉරානයට  පැමිණීමට පෙරය. ඊළම ලංකාවේ තිබුනේ නැත. ඔවුන් සුමේරියන් වරු හා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ට සමාන බවක් දක්වයි. අවුරුදු 3500 ක පමණ කාලයකට පෙර ඔවුන් මුහුදු මාර්ගයෙන් පැමිණ ඇතැයි පුරා විද්‍යාඥයන් අනුමාන කරති.  බැබිලෝනියන් වරු හා සටනකින් පැරදෙන තුරු ඊලමයිට් වරු ක්‍රිස්තු පූර්ව 750 දක්වා ජිවත්ව ඇත. 

මේ සියල්ලන්ගේම මූලාශ්‍රය බලන්ගොඩ මානවයාගේ පරම්පරාව විය නොහැකිද? මධ්‍ය ප්ලේයිස්ටෝසින යුගයේ (වසර 200,000 සිට 500,000 දක්වා ) සිට ඉන්දියානු අර්ධද්වීපයේ හෝමෝ ඉරෙක්ටස් ජනාවාස තිබී ඇත. කර්ණාටක ප්‍රදේශයේ මෑතකදී අස්ථි ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෙසොලිතික් යුගයේ (අවුරුදු 25000-30000) ආදිතමයා මේ අනුව හමුවන්නේ ලංකාවේදී ය.

මා කාම්බෝජයට ගිය අවස්ථාවේ එහි ඇති නාග ප්‍රතිමා දැක ඒ ගැන විමසුවෙමි. . ඔවුන්  ගේ අතීත කතාවකට අනුව කාම්බෝජ කුමරකු වන තොන්  නාග ගෝත්‍රික කුමරියක වන වාසුකී  (ලිව්යේ)  සමග වූ විවාහ වී  චම්පා හි කාම්බෝජ  රාජධානිය ගොඩ නගා ඇත.  හිස්  නවයක නාග ප්‍රතිමා අන්කර් වට් හා නොම්පෙන් (සුදු පැහැ ප්‍රතිමාව) නගරවල දක්නට ඇත. 


තවත් අපූරු චිත්‍රයක් අපට හමුවුණි. ඒ ක්‍රිපූ 3500-3600 මහා පිපිරුමට කලින් මිනොඅන් වරු කිසයම් යුද්ධයක් ගැන ඇඳ  තිබෙන සිතුවම්ය. මුදුදෙන් පැමිණෙන විශාල නාවික හමුදාවක් මිනොඅන් නාවික හමුදා සමග සටන් කරන මේ සිතුවම් ඇඳ ඇත්තේ කුමන යුද්ධයක් ගැනද කියා පුරා විද්‍යාඥයන් තවමත් නොදනිති. ඔවුන් සිතන්නේ අප්‍රිකානුන් සමග ඇතිවූ සටනක් කියාය.



වසර 10000 කට පෙර සිටියේ දඩයම් කරුවන් සහ ආහාර එකතු කරන්නන් (hunter - gatherers)  බවට ඇති මතය බිඳී යමින් පවතී. තුර්කියේ ගොබෙල්කි ටෙපේ ආරාමය වන ගොඩනැගිල්ල  සාමාන්‍ය දඩයම්කාර සමාජයකට  නිම කළ නොහැකිය. මෙය වසර දෙදහසකට අඩු නටබුන් ගොඩක් බවට මුස්ලිම් මුල්ලා  වරුන් පවසන අදහස නිසා මුලදී කැණීම් නොකර තිබුණි. බටහිර පුරා  විද්‍යාඥයන් එයට වසර 2000-3000 කට පෙර ගොඩ නගන්නට ඇති පැවැසුහ. තුර්කි සහ නව යුරෝපීය සොයා ගැනීම් වලට අනුව එය වසර 12000-13000 පමණ පැරණිය.  (පින්තූරය අන්තර් ජාලයෙනි) 

ඒ කාලයේ භාවිත කරන ලද උපකරණ ද එයට යාබද නගරයක පොලොව යට තැනු විශාල කාමර සහිත ගොඩ නැගිල්ලක්ද සොයා ගෙන ඇත. 

බුදුන් ශ්‍රී ලකාවට සේතු සමුද්‍ර සන්ධිය හරවා පයින් වැඩම කර යක්ෂ - නාග යුද්ධය සමථයකට  පත් කලාද? එසේත් නැතිනම් ලංකාවේ ඉපදුනු බුදුන් වහන්සේ (නමක්) ඒ යුද්ධය  නැවත් වූවාද? මේ ප්‍රශ්නය සොයා බැලීම සඳහා ලන්ඩනයේ මගේ මිතුරු නීතිඥයෙකු වන වජිර ධනපාල සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පුස්කොලපත් පිරික්සන්නටත් වෙනත් සාධක සොයා ගැනීමටත් වසර දෙක තුනකට පමණ පෙර තීරණය කලෙමි. වජිර ඒ අදහසට පක්ෂව ඇත්තේ ඒ ගැන සොයා බලා බව මට පැවසීය.  කෝවිඩ් වසංගතය  එන්නට පෙරාතුව දෙරණ රූපවාහිනියේ වසන්ති නානායක්කාර මහත්මිය හා  ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක  වන පද්මිණි මාතරගේ සමග එකතුව මේ පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට  අප අදහස් කරගෙන සිටියෙමු. එය කෝවිඩ් සමග ඇතිවූ තත්වය නිසා වැලකි ගියේය.  තවම එවැනි අදහසකට පක්ෂපාතිත්වයක් නැති මුත් ග්‍රීසියේ දී මා  දුටු, කියැවූ , ඇසූ දේවල්  අනුව ඒ ගැන සොයා බැලීමට අදහස් කරගෙන සිටිමි. 

ග්‍රීක වාසීන්ට  හෙලනික් වරු යන නාමය ලැබුනේ කෙසේද යයි මම කෞතුකාගාරයේ භාරකරුගෙන් විමසුවෙමි. ඔහු කීවේ හෙලස් යනු ග්‍රීක මුල් නම බවයි. හෙලස් යන නමින් හෙලනික් යන නම සැදී ඇත. ග්‍රීක ආණ්ඩුව හෙලනික් රිපබ්ලික් ය. ඔවුන්ගේ භුමිය හෙලස් ය. ඔහු තව දුරටත් මා සමග කතා කල අතර ඒ සාකච්ඡාව ඉදිරියේදී පල කරමි. //The Greeks called their land Hellas and themselves Hellenes. It was the Romans who called them Greeks- (Graeci ) and that is the name by which we know them. The Greek historian Herodotus wrote that “ Egypt is the gift of the Nile ” but he never came up with an expression so memorable to describe his own country.-wikipedia-google-//

 මේ පිලිබඳ ඉදිරියේදී පල කරන ලිපි පෙලට සමගාමිව මිනෝඅන් ශිෂ්ඨාචාරය සමග ලංකාවේ  ඇති සම්බන්ධතාවය සොයා බැලීමට තීරණය කලෙමි. අප පටන් ගත යුත්තේ බ්ලවස්ට්කි , ගයිගර් ආදීන්ට වැරදුනු තැනිනි. එනම් ආර්ය මිත්‍යාව ඉවත් කරය. දේශපාලන හා ජාතිවාදී අරමුණු වලින් තොර සැබෑ සාක්ෂි සොයන කිසියම් ව්‍යාපෘතියක් ඇරඹීම ගැන ඔබේ අදහස් පල කරන්න.  (බ්ලොග් අඩවියේ පළ කිරීම වඩා හොඳය.)

- මතු සම්බන්ධයි 

- අජිත් ධර්මකීර්ති 


Lapis lazuli

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5

ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

Greece vs Hellas: The Semantics Behind the Country with Many Names

ගොබෙල්කි ටෙපේ 

Helena Blavatsky

Nazi Scientists Who Wanted To Find The Origins Of The Aryan Race Came To Sri Lanka


Sunday, 15 January 2023

නේස් නෝනලා ගේ කතා වස්තුව

                                    
ලලා අයියා ලලක්කා ට හොරෙන් අහවල් වචනය ලැප් එකේ ගහන්නට මාන බලමින් උන්නේය. අහවල් වචනේ වැඩියෙන්ම හොයන්නේ ලංකාවේ උන් කියා ගුගලයා ද කියන බැවින් ලලයියා  හිටියේ මොකද කරන්නේ කියා හිතා ගත නොහැකිවය. ඉඳහිට ඉතාලියේ ඉන්න නෑයින් ට හා පිටරට  ඉගෙන ගන්නා දෝණිට ෆේස්බුක් එකෙන් ලලක්කා කතා කරන නිසා ලලක්කා ද ඉඳහිට ලැපය භාවිතා කරයි.

ඔය අව් අස්සේ පිටරටින් කෝල් එකක් ආවේය. ඒ කෝල් එක ආවේ පස්සයේ  හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එකට සපෝර්ට් කරනා අයෙකු ගෙනි. හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එක ගැන නොදන්නා කෙනෙක් නැතිය. ඒකට අනුව ඕනෑම හිතවතෙකුගේ ගෙදරට ගිහින් එයාගේ අලුත් කමිසය දාගෙන සපත්තු හෝ සෙරෙප්පු දෙකත් ඇත්නම් ඒකත් අරගෙන එලියට බැසිය හැකිය. හඩුන් අයියා පස්සයේ ලොකු  අයෙක් නිසා හිතවතා මුකුත් කියන්නේ නැත. කියලා  සවුත්තු වෙන්නටද  බැරිය. අනිත් එවුන් විප්ලවයට ද්‍රෝහී වුනා යයි කියනු ඇත. විප්ලවය  පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේද පිටත වෙන්නේද නොදන්නා නමුත් හිතවතා  කරබාගෙන  ඉන්නේය.

මේ නිසා ලලයියා බය නැතුව පිටරට හිතවතා ට සිද්දිය කිව්වේය.

"අයියෝ ඕක මොකද්ද  ලලයියේ. අපි ඉන්නේ ඕවටනේ. කෙලින්ම ගහන්න පෝං හබ් කියල. ලලයියට ඕනෑ මොකද්ද ඕනෑ ජාතියක් එනවා " හිතවතා ටිපක් දුන්නේය.

"ඒ වුනාට මලේ ලැපේ අක්කත් බලනවනේ. ඕවා බලල  අහු වෙලා දික්කසාද වෙන්න බැහැ මේ නහින දෙහින කාලේ " ලලා අයියා සෑඩ් එකෙන් කීවේය.


"අය්යෝ අයියේ අපි ඉන්නේ ඒකටනේ" . පිටරට හිතවතා ආයෙත් ඇද්දේය. මූ නම් හොඳ එකෙකි . හඩුන්නෙට්ටි ඩොක්ට්‍රින් එකට අනුව මේ හිතවතා  ලලයියාගේ ඉන්ටනෙට් බිලද ගෙවන්නේය.

"ආ එහෙනම් කියමුකෝ බලන්න. "

"ලලයියේ ගූගල් ක්‍රෝම් එකේ උඩ ඉංකොග් නිටෝ කියල එකක් තියෙනවා. ඒ කියන්නේ අහුවෙන්නේ නැතිව ඉතිහාසෙට යන්නේ නැතිව පෝං හබ් එක බලන්න පුළුවන්. ඕං වැඩේ කොරනවනම්" හිතවතා දුන් උපදෙස මසුරන් ය.

ඒ කාලේ ඉඳන්ම නේස් නෝනලා ගැන ලලයියා ගේ හිතේ ලෙන්ගතු පොජ්ජක් තිබුනේය.  එක පාරක් අහිංසකම අහිංසක නේස් නංගි කෙනෙක් ගැන ආලවන්ත සිතක් ද තිබුන නමුත් පස්සයේ වැඩ නිසා අහවලාට  සීගිරි යන්නට බැරි වුනාසේ ඒකටත් කෙළ වුනේය.  

පිටරට හිතවතා ගේ උපදේශය නම් මරුය. අර සයිට් එකේ නේස් නෝනලා ගොඩකි. එක එක විධියේය. මේ ගොල්ලෝ ඇත්ත නේස් නෝනලා ද නැත්නම් නේස් නෝනා ලාට ඇඳගත්ත උදවිය දැයි පොඩි විචිකිච්චාවක් ද ආවේය. 

ඕන සේපාල් ගේ ලබ්බක් කියා ලාලයියා රෑ වෙනකන් සයිට් එකේ හිටියේය. ලලක්කා ඉඳහිට කාමරයට එබෙන නිසා මුකුත් කර ගන්නට ද බැරිවුණි. 

ඉතින් ඔහොම ඉඳිද්දී ලලයියා ට නින්ද ගියේය.

ලලයියා  දැක්කේ මාර හීනයකි. මැතිවරණයෙන් අපේස්සා  කල පරිදිම පස්සය  ඉහළින්ම ජය ගෙන තිබුනේය.

ලලයියා ට කිඹුලේ මහත්තයා කරපු අමාත්‍යංශය ලැබී තිබුනේය.

ලලයියා කෙලින්ම  ගියේ මහා ඉස්පිටිතාලේ ටය. ලලයියා ගේ ඒ  දවස්  වල කස්සෙක දැන් වැඩ කරන්නේද ඒකේය.

 අමටිවරයා වසයෙන් කළ මුල්ම  කතාවේ ලලයියා කීවේ නේස් නෝනලා සුනිල්  ප්‍රේරා  මල්ලි  වැනි විද්වතුන්  පෙන්වා දුන් පරිදි ලස්සනට ඇඳිය යුතු බවය. පිටරට නේස් නෝනලා මෙන් ඇස්සයිස් කළ යුතු බවය. බඩවල් වෙබ්සයිට් වල නංගිලාට මෙන්  මෙන් පැතලියට තිබිය යුතු බය. නේස් නෝනලා ද හිකි හිකි ගගා අසා සිටියෝය. මිනිසුන් සදෙව් ලියන්  වන්  නේස්ත් නෝනලා දැක චිත්ත  ප්‍රීතියෙන් පිනා ගොස් ඉබේම සනීප වෙන්නේය. රටට අවුසද ඉතිරි වන්නේය. නේස් නෝනලාට පඩි වැඩි කරන්නට ඕනෑ නැත. නේස් නෝනලා බලන්නට දොස්තර ලා එන හෙයින් දොස්තර සංගමේ වැඩ වර්ජනද නැවතිලා ය.

ලාලයියා ඇමටිවරයා ලෙස  කල නිහඬ විප්ලවේට චූන් ගොස් අලුත් ජනොධිපති උතුමා වන අනුරායියා ද කෝල් එකක් දී සුභ පැතුවේය.

ඒ අස්සේ  ලලක්කා මහා හයියෙන් කෑ ගහන හඬ ඇසී ලලයියා හොඳටම තෙමී  ගෙන ඇහැරුනේය.

තෙමිච්ච සරම හෙමින්ම රෙදි කූඩයට ඔබා ලලයියා නාගෙන ආවේය.

ලලක්කා පෝං එක අරගෙන ආවේ එවිටය.

"මජ්ජිම කාරක සභාවෙන් කතා කරනවා . ඔයා පරක්කු නොවී යන්න."

ලලයියා පෝං එකට කන තිබ්බා විතරය. අරෙහං කෑ ගහනවාය.

"මොකඩ්ඩ ශාහෝදරයා චන්ද කඩන්න කොන්තරත්තුවක් වත් ගත්තද  ලංඩන් වලින්  "

-ඔබලාගේ හුදු විනෝදය සඳහා පමණි. සියලුම නම් ගම් මනහ්කල්පිතය. 




- අජිත් මල්ලි 

 



Monday, 9 January 2023

ඩයනා ගේ මරණය හා හැරී ගේ පොත -හෙවත් අමතරයා ගේ කතාව


ඩයනා හෙවත් වේල්ස්හි කුමරිය ගේ මරණය සිදුවූ දිනයේ තමන් සිටි තැන බ්‍රිතාන්‍යයේ සිටි බොහෝ අයගේ මතකයේ රැඳෙනු ඇතැයි පුවත්පතක ලියා තිබුණි. මා  ඒ දිනවල එය විශ්වාස නොකළ මුත් ඩයනා ගේ මරණය සිදුවූ දිනයේ මා සිටි තැන අදත් මට මතකය. සමහර විට ඩයනා කුමරියට තිබුණු විශාල ප්‍රසිද්ධිය නිසා විය හැකිය.  අප සිටියේ කෝන්වෝල් ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමිනි. මට මතක විධිහට කෑම්ප් එකක කුඩාරමක් අටවා ගෙන සිටි නිසා මුහුණ සේදීමට, නෑමට, සිරුරු කිස සඳහා වෙනත් තැනකට යා යුතුව තිබුණි. ඩයනාගේ මරණය මා  දුටුවේ එතන එළිමහනේ  හැමටම බලන්නට අටවා තිබූ රූපවාහිනියකය. එහි  සිටි අය මුව අයා ගෙන කිසිවක් නොකියා බලා සිටිනු මට අදත් මතකය.  ඩයනා කුමරිය මිය ගියේ 1997 අගෝස්තු 31 දාය.

ඩයනා ගේ මරණයේ පින්තූර කිහිපයක් මට අදත් මතකය. එනම් පැපරාසීන් - පුවත්පත් වාර්තාකරුවන් හා කැමරාකරුවන් විනාශ වී ගිය බෙන්ස් රථය අසල වටවී සිටින අයුරුය. කුමරියක් වුවා හෝ නැතා ගැහැණියක් මිය යද්දී ඔවුන්ට අවශ්‍යව තිබුනේ පින්තූරය. ඔවුන්ගේ මුදල්ය.  එය ඉතා සානුකම්පිත දසුනක් විය. එසේම මට වටහා ගත නොහැකි වූයේ අනියම්  මිනිමැරුමක් වූ එය පැරිස් පොලිසිය ලිස්සා  හැරියේ මන්ද යන්නය. ඔවුන් එම පැපරාසීන් අත් අඩංගුවට නොගත්තේ ඩයනා ගේ පෙම්වතා ඩොඩි මුස්ලිම් නිසාද , නැත්නම් රජ පවුල බ්‍රිතාන්‍ය රජය හරහා එය වැළැක්වූ නිසාද යන්න අදටත් පැහැදිලි නැත. පැපරාසීන් ඩයනා ගේ රථය පැන්නූ  අයුරු මෙන්ම ඔවුන් එය හැප්පුනාට පසු පින්තුර ගන්නා සැටිද පසුව හෙළි දරව් වුනු ඡායාරූප වල මැනවින් පෙනේ. 

 අද හැරී කුමරු අයිටිවී ආයතනයේ ටොම්  බ්‍රෙඩි සමග වූ සාකච්චාවේ දී ඒවා එසේම පැහැදිලි කරද්දී ඒ මතකය යලිත් අලුත් වුනි. මම රජ පවුලේ  පාක්ෂිකයකු නොව සමුහාණ්ඩුවාදියෙකි. නමුත් රජ පවුලට ජනතාවගේ සහය ලැබෙන තාක් කල් එය පැවතෙනු ඇත.  මට හැරී සහ මෙගන් ගැන ලොකු අදහසක් තිබුනේ නැති අතර ජනතාවට බලපාන එදිනෙදා  ප්‍රශ්න හමුවේ මේ කතාවට  අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන බව සිතුවෙමි. විදුලි බිල් හා ගෑස් බිල් ප්‍රශ්නය, ජාතික සෞඛ්‍ය සේවාවේ වැඩි පඩි ඉල්ලීම්, දුම්රිය වර්ජන, අහර මිල ඉහල යාම ආදිය  වඩා වැදගත් ප්‍රශ්නය.

නමුත් අද හැරී ගේ සාකච්ඡාව නරඹද්දී මට සිතුනේ එක්තර ප්‍රමාණයකට කවුරුන් හෝ මේ දක්ෂිණාංශික ටැබ්ලොයිඩ් මාධ්‍ය වල අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට විරුද්ධ විය යුතු බවය. ඔවුන් එතරම්ම විසකුරුය. මම සාමාන්‍යයෙන් බිබීසියේ ගිය Top Gear වාහන පිලිබඳ වැඩ සටහනට සහ එහි නිවේදකයන් තිදෙනාට කැමතිය.  එහි එක ප්‍රසිද්ධ නිවේදකයකු වූ ජෙරෙමි ක්ලාක්සන් ඉතා ජනප්‍රියය. මමද ඔහුට කැමතිය.  සුප්‍රසිද්ධ දක්ෂිණාංශික ටෝරි පක්ෂ ආධාරකරුවකුද තරමක පුරුෂෝත්තම වාදියකු ද වන ඔහු සමහර විට ගැහැණුන්ට , වෙනත් ජාතීන් ට සිනහ වෙන්නෙකි. ඒ නිසා  ඔහුට බිබිසිය අනතුරු ඇඟවීම් පවා කර තිබුණි.  වරෙක චීන ජාතිකයන්ගේ ඇස් සම්බන්ධයෙන් සිංහ  වීම නිසා සහ තවත් කරුණක් නිසා ඔහු රූපවාහිනියෙන් ඉවත් කරන ලදී. ඉතා ධනවත් ඔහු ත මන්ගේම ගොවිපලක් පිහිටුවා ගත්  ඔහු එය හැඳින්වුයේ ඩිඩ්ලි ස්ක්වට් යනුවෙනි. ස්ක්වට් යනු උක්කුටයෙන් වාඩි වීමය. වචන දෙකේ තේරුම කමකට නැති හෝ වටිනාකමක් නැති දෙයක් යන්නය. නමුත් මේ ගොවිපල හා එහි වෙළඳ සල ඉතා ජනප්‍රියය.

ක්ලාක්සන් මෙගන් ආදිපාදවරිය  ගැන කැත කතාවක් ලීවේය ඒ ගේම් ඔෆ් ත්‍රෝන්ස්   කතා පෙලේ සේර්සෙයි රැජිනට පරිදි මෙගන් නිරුවත් කොට ලන්ඩන් නුවර ඇවිද්දවා ගූ ගැසිය යුතු බවය.  එම  කාන්තාවන්ට එරෙහි ද්වේෂ සහගත කතාවට ජෙරෙමි ගේ දියණිය  මෙන්ම තවත්බො  අය විරුද්ධත්වය පල කර තිබුණි.පුවත්පත් මණ්ඩලයට පුවතකට එදිරිව ලැබුණු වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබුනේද එයටය.  ඔහුගේ ලිපිය පල කල ටැබ්ලොයිඩ් පුවත්පතක් වන සන් පත්‍රය ලිපිය අහක්  කර ගත්තේය. ජෙරෙමි ට සමාව ඉල්ලන්නට  සිදුවිය. හැරී කුමරු කියන්නේ රජ පවුල ඒ ගැන කිසිවක් කතා නොකළ බවය. එයට විරුද්ධ වීම තබා මෙගන් ගේ සමේ වර්ණය හා ජාතිකත්වය ගැන යන කතා වලටද ඔවුන් කිසිවක් නොකළ බවය. 


හැරී හා මෙගන් ගේ මේ සමහර චෝදනාවල යම් සත්‍යයක් ඇති බව මට දැන්වැ ටහේ.

හැරීගේ පැත්ත ගැන දැන  ගැනීමට මම ඔහුගේ පොත මිලට ගතිමි. පොතේ නම "අමතරයා" යන්නයි. රජ කමට හිමිකම් කියන්නා සහ අනිකා (දෙවැන්නා) යන තේරුමෙනි. 

- අජිත් ධර්මකීර්ති 

Thursday, 5 January 2023

දීප්ති කුමාර ගුණරත්න සමග අවංක සාකච්ඡාවක්


දීප්ති  කුමාර  ගුණරත්න කියන්නේ සෑහෙන කාලයක සිට මගේ මිත්‍රයෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්  මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන  නන්දන වීරරත්න සහ විචාරකයෙකු වන  සිරිමල් විජේසිංහ  මහජන පුස්තකාලය කේන්ද්‍ර කොටගෙන නිර්මාණ සංවාද කුලකය කරන සමයේ , ඒ කියන්නේ අසූව දශකයේ අග අපි දෙදෙනාම උසස් පෙළ ශිෂ්‍යයන් වශයෙන් එවැනි  සාකච්ඡා වල ඉඳල තිබෙනවා. දීප්ති මට නැවත හමුවෙන්නේ X කණ්ඩායමේ ප්‍රකාශන හරහා. එම කණ්ඩායමේ විසිර යාමෙන් පසු ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී  ලංකා පෙරටුගාමී පක්ෂය (Sri lanka Avanguard Party)  හා කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර අවුලක් ඇතිවුනා පක්ෂයේ නම පිළිබඳව.  ඒ හා සම්බන්ධ ලිපියක  මම ඒ පිළිබඳව මගේ අදහස පළ කිරීමෙන්  පසු අපේ සංවාදය  නැවත ඇති වුනා. ඒ ගැන 2013 ලියු ලිපියක් තමයි මේ. 

දීප්ති ඉන්පසු පක්ෂයේ නම වෙනස් කළා. ඔහු දැන් ශ්‍රී ලංකා සමබිම පක්ෂයේ නායකයායි.  දේශපාලන වශයෙන් දීප්ති සහ මම එකඟ වෙන තැන් වැඩි බව මට කාලයක සිට වැටහී තිබෙන දෙයක්. ඒ කියන්නේ ජාතිවාදය හා යුද්ධය ට අප දෙදෙනාම එරෙහි වූවන් මුල් කාලයේ සිටම. එසේම පෞද්ගලික  විශ්ව විද්‍යාල විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ගැන අපේ අදහස් එකයි. අරගලය සම්බන්ධයෙන් අපි දෙදෙනා අතර තිබුනේ වෙනස් මත දෙකක්. නමුත් ඔහු ගේ මතය වඩා නිවැරදි එකක් යයි මම දැන් පිළි ගන්නවා.  බොහෝ අය ඔහුව විවේචනය කරන බව සත්‍යයක්.  නමුත් මගේ සියාමා පොත එළි දැක්වූ වෙලේ අදහස්  දැක්වීමට මම ආරාධනය කලේ නන්දන වීරරත්න සහෝදරයාට සහ දීප්ති ට.  මම දීප්ති සමග එකඟ නොවන්නේ ඔහු ඇතැමුන් එල්ල කර, කරන  පෞද්ගලික විවේචන ලෙස මම සලකන අදහස්, එතැනදී එකඟ නොවී සිටීමට  එකඟ වන්නට අපට හැකි වුනා. 

පසුගිය ඔක්තෝබර්  මම ශ්‍රී ලංකාවේ සිටින විට දිප්තිව හමු වුනා. ඔහු ඉල්ලු  ජුඩිත් බට්ලර් ගේ "අරගල" සම්බන්ධ පොතක් දීමට ගිය වෙලේ.  එතකොට අපට හිතුන මම අහන නොයෙකුත් ප්‍රශ්න අලලා පොඩි වීඩියෝ එකක් කරමු කියල. ලංකාවේ සිට අන්තර්ජාල සම්බන්ධතා මේ දවස්  වල ටිකක් අමාරු නිසා  අපි පසුගිය දෙසැම්බර් 29 වනදා Zoom  හරහා සංවාදය අරන් ගියේ වීඩියෝ එක නැතිව. ඒක ප්‍රශ්නයක් නෙමේ කියා සිතනවා.

පහත ඇත්තේ මගේ ප්‍රශ්න සහ ඒවාට දීප්ති කුමාර ගුණරත්න සැපයූ පිළිතුරුයි.  මෙමෙ ප්‍රශ්න ඔහුට කලින් සැපයූ ඒවා නොවේ. 

යූ ටියුබ් යොමුව 

 




ලිපියේ යොමු:


//සමබිමෙන් විවෘත ආරාධනාවක්
පසුගිය දශක දෙකට සාපේක්ෂව අප විසින් දේශපාලන පක්ෂයක් ලෙස ලබා ගන්නා ලද ජයග්රහණ රාශියක් ඇත. එහිදී අපට කිසිවෙක් උදවු උපකාර නොකල ද බොහෝ අය අපට විවේචනයන් ගෙන ඒමටත්, උපදෙස් ලබා දීමටත් ඉදිරිපත් විය. එලෙස නොමඳ විවේචනයන් සහ උපදෙස් ලබා දුන් සියල්ලන්ටම අපගේ ස්තූතිය පුද කරන්නෙමු.
සෑම විටම සමාජය තුළ යම්කිසි සමාජීය වශයෙන් දේශපාලන මැදිහත් වීමක් කරන විට ප්රබල ලෙස බාධාවක් වන්නේ මුදල් නැමති බාධාවයි. ප්රධාන ධාරාවේ වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂයන් වලට උදවු කිරීමට ව්යාපාරිකයන් සහ පුද්ගලයින් විශාල පිරිසක් සිටියද, සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට උත්සහ කරන අප වැනි දේශපාලන පක්ෂයන් ට එලෙස මූල්යමය වශයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙක් තවමත් ඉදිරිපත් වී නැත. මෙතෙක් අප පැමිණි ගමන් මග පැමිණියේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ගේ ධෛර්යයෙන් සහ පක්ෂයේ දීප්ති සහෝදරයා ගේ වැඩපිළිවෙළට සත්ය ලෙසම ආදරය කරන සහෝදර සහෝදරියන් ගේ කැපවීමෙන් ය.
එහෙත් පුළුල් වශයෙන් ජාතික දේශපාලනයට පිවිසීමේ දී මුදල් නැමති සාධකය සියල්ල ට ඉහළින් බාධාවක් ලෙස පැමිණෙන බැවින් පක්ෂයක් ලෙස සමාජය ක්රියාකාරීව වෙනස් කිරීමට ගන්නා ක්රියාමාර්ග වලට බාධාවක් ලෙස ඉස්මතු වන බව පක්ෂයක් ලෙස අපි ද සෘජුව පිළිගන්නෙමු.
අප වටා සිටින බොහෝ දෙනෙකු මෙන්ම අප ගැන දන්නා බොහෝ දෙනෙකු නොදන්නේ පක්ෂය නඩත්තු වන්නේ කෙසේ ද කියා ය. අපට නිධානයක් හෝ ධනයෝගයක් හෝ ලැබී ඇතැයි සියල්ලන්ම සමප්රේක්ෂණය කරන නිසා පක්ෂයේ කටයුතු ප්රමාද වීමට හේතු ද විමසයි. මුදල් යනු බොහෝ දේ තීරණය කරන සාධකයකි.
පක්ෂයක් ලෙස සමාජයට පැමිණිලි කිරීමට සිදු වන්නේ ඉදිරියේ එන මැතිවරණය සඳහා මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා අවශ්ය ලෙස මූල්ය තත්වය යහපත් කර ගැනීමට අවශ්ය වන බැවිනි.
අපව දන්නා නොදන්නා ඕනෑම අයෙකුට පක්ෂයේ කටයුතු සඳහා උපකාර කිරීමට සියල්ලන්ටම අවස්ථාව විවෘත කිරීමට පක්ෂය විසින් තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂයේ මුදල් ලේකම් වන මිහිරාන් සහෝදරයා සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා දායක විය හැක.
මිහිරාන්:- 077 495 0204
එසේම අප පක්ෂයේ මාධ්ය ලේඛම් වරයෙකු පත්කර ඇති අතර ඒ සඳහා ප්රසන්න සහෝදරයාගෙන් විමසිය හැක.
ප්රසන්න:- 076 881 9091
මීට අමතරව අප සමඟ සම්බන්ධ වීමට, සංවිධාන ගත වීමට, සංවාද පැවැත්වීමට කැමති පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂය සිටී නම් ඒ සඳහා රුවන් සහෝදරයා සම්බන්ධ කරගත හැක.
රුවන්:- 0764999498
සමබිම පක්ෂය විසින් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. අපට ආධාර කරලීමට හැකියාව ඇති, ඊට කැමති අය සිටී නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කල හැක.
සමබිම පක්ෂය
ලංකා බැංකුව (BOC-BATHTHARAMULLA )
A.No. 87467875//

Thursday, 29 December 2022

නිරාගමික - ආගමික අරගල ඇති - නැති සුභ 2023 නව වසරක් වේවා


මම බ්ලොග් යහළුවන් සහ පාඨකයන් සඳහා සුභ පතන්න 2021 ලීව ලිපියක කරුණු නැවත ලියන්න වෙලා තියෙනවා. ඒ ලියමනේ යොමුව අග ඇති. කතාව අදේවවාදීන් හා නිරාගමිකයන් නත්තල සැමරීම ගැන. අනිත් අය ගැන මම දන්නේ නැහැ, මම නම් සමරනවා මගේ බිරිඳ නිසා. එයාල පල්ලියටත් යනවා නත්තලට කලින්දා හැන්දෑවේ. එක වරක් ඇර (ඒ වර නම් නොගියේ කම්මැලිකම නිසා, හැබැයි බිරින්දෑට ඇඬුන  මම ගියේ නැතත් දුවල ගියේ නැති නිසා. ඉතින් අපි තුන් දෙනාම හිතා ගත්ත ඊට පස්සේ යනව කියල). ඒ නිසා අනිත් හැම  සැරේම පල්ලියට ගියා/යනවා. 

මම අදේවවාදියෙක් වෙන්නේ  මම මැවුම්කාර දෙවියෙක් විශ්වය මැව්වා කියල පිලි ගන්නේ නැති නිසා. වෙන අය ඒක විශ්වාස  කරන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. නිරාගමිකයි කියන්නේ මට කිසිම ආගමක් ගැන ඇලීමක් ගැලීමක් නැති නිසා. ඇල්ම අයින් කරලා තියෙන්නේ.

දැන් තමයි හැබැයි කෑල්ල එන්නේ.

මම ශීල ව්‍යාපාර  කරලා තියනවා. දහම් පාසැල් ගිහින් තියෙනවා. ඒ විභාග කරලා තියෙනව, ඒ මදිවට බුද්ධ ධර්මය ගැන කියවලත් තියෙනව ස්ව කැමැත්තෙන්. නමුත් පහු කාලෙක ආව මහමෙව්නා වගේ නිකායන් හරියට තලිබාන් වගේ ගැහැණු අත් අල්ලන්න බැහැ පිරිත් නූල් දමන්න කියල කියන්න ගත්ත . ගැහැණු විරෝධී බණ කතා, දේශනා කරන්න ගත්ත. මම ඒකට විරුද්ධ වුනා. ඒකෙන් මොකක් වත් සිද්ධ වෙන්නේ නැහැ තමයි. අපි පුංචි හාල් මැස්සොනේ. ඊට පස්සේ සෝම හාමුදුරුවන්ගේ  ජාතිවාදී සැලැස්ම වගේම ඥානසාර වගේ   තවත් හාමුදුරුවරුන්ගේ දේශපාලන  මැදිහත්වීම් වලට විරුද්ධ වුනා. නාථ දේව වාදයට එරෙහිව ලිව්වා, මෙන්න යොමුව.  කැළණි පන්සලේ  නයා පෙන්වීම, පන්සල් වලත් කරන සුවපත් කිරීම්,  නැකත් වැඩ බැලීම , විභාග සමත් කිරීම ආදියට විරුද්ධ වුනා. 

සද්ධාසීල වගේ උන්නාන්සේ ලගේ අසිල්වත් බණ වලටත්  විරුද්ධයි. මේ රුවන් ජයතුංග ගේ  ලිපියක්.

උදේට ශබ්ද විකාශන වලින් කෑ  ගහගෙන පිරිත් දාන එකට විරුද්ධ වුනා. මිනිසුන්ට නිදා ගන්න ඕනේ,ළමයින්ට පාඩම්  කරන්න ඕනේ. පල්ලියේ සද්දෙත් අදාලයි ඒකටම.

හැබැයි අර දායකයෝ  ට්‍රක් රථයක බුද්ධ රූප තියල  පාරේ යන එකට විරුද්ද නැහැ. රදම් යනවනම් , වේල් කරත්ත  යනවනම්, කුරුසිය  උස්සගෙන යනවනම්, දේව මාතාව වැඩම්මවනවා නම් ඒක වැරදි වෙන්නේ කොහොමද? 

දේවල වලට යන්න කැමතියි. ඒත් මෝඩි ගේ "හින්දුත්වා" එකට විරුද්ධයි. 

 ඒ කාලේ අපි අඳුරන මුස්ලිම් යුවතියන් අපි එක්ක හිනා වෙලා කතා කළා. මූණු වහන්, කටවල් වහන්  ලෝගු ඇඳන් හිටියේ නැහැ. මුස්ලිම් පිරිමි ළමයි එක්ක එකට සෙල්ලම් කළා. බෙග් ගේ සින්දු ඒ වගේම කියන  මුස්ලිම් යාළුවෙක් හිටිය. පස්සේ ආරංචි වුනා වහබි වාදය සෞදියෙන් ආව  කියල. මුදල් නැති මිනිසුන්ට ඒක උපකාරයක් තමයි. නමුත් ඒ එක්කම මුස්ලිම් යාළුවන්ට අනිත් අය එක සබඳකම් තහනම් වුනා. කාන්තාවෝ මූන වහන්න ගත්ත.  සහජීවනය නැතිවෙන්න  ගත්ත. මම ඒකට විරුද්ධ වුනා. සහරාන් ල පල්ලිවල ට ගහල ජන ඝාතන කරා. ඒවාට අනිවාර්යයෙන්ම විරුද්ධ වුනා.

මම කොච්චි කඩේ කතෝලික පල්ලියට ගිහින් තියනව බාලදක්ෂ වැඩ වලදී. මම හිටියෙත් ඇන්ග්ලිකන් පල්ලියෙන් කරපු බාලදක්ෂ කණ්ඩායමක.  ජේසු කියන්නේ මට, ස්පාටකස්, ගාන්ධි, මැක්ස්මිලියන් රොබර්ට්ස්පියරේ , චේ ගුවේරා, සිමොන් බොලිවාර් වගේ චරිතයක්. දුප්පතුන් වෙනුවෙන් සටන් කරපු.  අර්නස්ට් පෝරුතොට, මර්සලිනු ජයකොඩි වගේ පියතුමන් ලා අපට හිටිය. කතෝලිකයෝ සහ බෞද්ධයෝ අතර ලොකු වෙනසක් නැති වෙන තරමට දෙගොල්ලගෙම චාරිත්‍ර එක වගේ කියල මට හිතුනේ.

හැබැයි ඊට පස්සේ ආව යෙහෝවගේ කට්ටිය. ඔවුන් එංගලන්තෙට වඩා වෙනස් විධිහට ලංකාවේ වැඩ කලේ. තමන් විසින්ම පල්ලි ගිනි තියල ඇමෙරිකාවේ අහිංසක ආගමිකයන්ගේ මුදල් එකතු කරන වැඩ, මුදල් දීල බැතිමතුන් නම්ම ගැනීම වගේ දේවල් වුනා . මම ඒකට විරුද්ධ වුනා. ඊට පසේ බෝන් අගෙන් කට්ටිය දේශපාලනයට යටින් මැදිහත් වෙන්න ගත්ත කියල කියවුනා. යෙහාලිගේ ප්‍රසිද්ධ ක්‍රිකට් කතාවට මම විරුද්ධ වුනා. මට හිතා  ගන්න බැරි වුනා   සමහර ලිබරල්  සළු පිලි  පොරවගත්ත යාලුවෝ හැසිරුණ විධිහ. කැළණියේ නයාට විරුද්ධ වෙනවනම් (ඒගොල්ල එහෙම වුන නිසා) යෙහාලිගේ නයා ටත් විරුද්ධ වෙන්න ඕනේ, එයා අරගලයට සහය දුන්න කියල ඒ විවේචනයන් මග හරින්න බැහැ . තමන්ගේ අත්දැකීම යෙහාලි ගෙදර හෝ යහළුවන් අතර කියන එක එකක්. ඒක ජාතික තලයට ගෙන යන එක තව එකක්. 

අරගලයේ කළු බුදු පිළිමයක් හදල කළු වෙසක් එකක් සැමරුවා. ඒකට හේතුවක් තිබුන. ජනතාවට  හුඟක් අමාරු කාලයක් ඒක. වෙසක් එකට දන්සැල් පුළු-පුළුවන් අයුරින් දුන්නත් ලංකාව කියන රට අන්තිම අමාරු අඩියක හිටියේ. ඒ කලාත්මක නිර්මාණයේ දේශපාලනික අදාලත්වයක් තිබුන. හැබැයි කාටහරි කළු නත්තලක් සමරන්න ඕනේ නම් කරන්න පුළුවන්. අරකට විරුද්ධව නෙමේ. දැන් ජනතාවගේ තියෙන ප්‍රශ්න ගැන අහල, දිළින්දෝ නත්තල් කන්නේ කොහොමද කියල අහල එවැනිම දේශපාලනික විරෝධයක්  කළු නත්තලක් ලෙස සමරන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් මට පේන්නේ නැහැ.  භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියක් ඒක.

පහුගිය කාලේ මට පෙනුන දෙයක් තමයි තමන්ගේ ආගමේ, තමන අදහන  දෙවියන් හෝ වෙනත් ශාස්තෘ වරයෙක්  කිසියම් ලෙසකින් සම්බන්ධ නම් ඒ ගැන කට පියාගෙන සිටීමත් වෙනත් ආගමක දෙයක් නම් විවේචනය කිරීමත් සුලභ වෙලා කියල.  ඒක ඉතා  පාර්ශ්වීය භාවයක් හැටියටයි  පෙනෙන්නේ. ඉතින් මේ ලබන අලුත් අවුරුද්දේ මම හිතා ගත්ත  කිසිම ආගමික වාදයකට පැටලෙන්නේ නැහැ. අදහසක් පල කරන්නේ වත් ලයික් එකක් දාන්නේ වත් නැහැ කියල. 

ලංකාවට ගිය වෙලේ රටේ දෙතැනක මිනිසුන් දෙවිධිහකට ජිවත් වෙන බවයි පෙනුනේ. හොරණ පැත්තේ පිට්සා හලේ සෙනග පිරිලා. එන්න ලංවෙලා දැන ගත්ත තවත් පිට්සා හලක් ඇරලා කියල . ඒකෙත් සෙනග. හේතුව ආයෝජන කලාපය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය සමාගමක් වන බොඩි ලයින් එකේ වැඩ කරන අය මෙන්ම ඒ පැත්තේ  ඒ වගේ සමාගම් වල  අයටත්  රටේ බලපාන උද්ධමනය වගේ  ප්‍රශ්න තිබුනත් ඒවා මැනවින්ළ කමණා කර ගන්නා ආකාරයක් තමයි පෙනෙන්න  තිබුනේ.  ආදායම වැඩි අයට බදු ගහන එක ප්‍රශ්නයක් වෙලා තිබුන. ඔවුන්ගේ සාධාරණ අදහස දේශපාලකයන්ගේ වරප්‍රසාද කපල බදු ගහන්න කියල. ඒකත් හරි.  නමුත් බදු නොගහ රටක් කරන්නත්  අමාරුයි. හොරණ  ආයෝජන කලාපයේ ශ්‍රම දායකයෝ බඩුත් ගෙවල පළාතේ සශ්‍රිකත්වයටත් දායක වෙනවා. අනිත් අය හවසට ගෙදර ගිහින් ඊළඟ සෝප් එපිසෝඩ් එක බලනවා රූපවාහිනියේ.

ටිකක් ඈත කුරුණෑගල පුත්තලම වගේ  පැති  වල ගම්වල වල කඩ වල තිබෙන  පාන් විකිණෙන්නේ නැහැ. එක කඩයක කිව්වා, "මහත්තයා පාන් 20ක් විකිණෙන කඩේ දැන් පාන් 9ක් දාලත් විකුණගන්න බැහැ"  කියල. ගණන් කරලා බැලුව උදේ දාපු පාන් 9ම තියෙනව.  ගෙඩි දෙකක් අරන් එකක් බල්ලන්ට කන්න දුන්න. උනුත් හාමතේ ද කොහෙද? පිටි නැහැ මිනිසුන්ට රොටියක් හදාගන්න. 

මිනිසු වෙන දේවල් කනවා ඒ පැතිවල . කොස්, වට්ටක්ක, බතල, මුං , මයියොක්ක, කව්පි, ඉරිඟු වගේ දේ. . මට තේරෙන්නේ  නැහැ  ඉතින්. අවුරුදු විස්සක් තිස්සේ එංගලන්ත උදේ ආහාරය වන බේකන් දෙකක්, සොසේජ් එකක්, බැදපු බිත්තරයක් සහ  ටෝස්ට් එකක් හැම සෙනසුරාදාම කාපු මම, බිරිඳ හදන පෑන් කේක් ඉරිදට ජෑම් හෝ මි පැණි එක්ක කාපු මම, අනිත් දවසට (ඔෆිස් යන කොට) සීරියල් කාල මදි වුනහම මගදී  මැක් ඩොනල්ඩ් එකේ ඩ්‍රයිව් තෘ එකට අල්ලලා  සොසේජ් මැක් මෆින් කාපු මම,  දැන් හොඳටම කෙළ වෙලා - උදේට කන්නේ වට්ටක්ක, මුං, බතල, එඩ්මන්ටන් වල ලංකාවේ දෙමළ කඩෙන් ගත්ත හාල් පියලි සීරියල් එක හරි කැඳ පැකට් එක හරි. මේක ලියල අරගලකාරයෝ බනියි ද දන්නේ නැහැ, ආ! මමත් අරගලයේ හිටියනේ. බනින  එකක් නැහැ.     


ඉතින් අර ගම්වල මිනිස්සු කොස් කෑවට දෙල් ගණන් කියනවා. ඉරිඟු කෑවට මාළු ගණන් කියනව.  දවල් බතට අහල පහල තියෙන පලා ජාති හෙම අරන් හදනව. කරෝලත් ගණන් කියනවා. වැව් වල මාළු අල්ලනව. හවසට ගෙදර ගිහින් ටීවී එකේ අහවල්  සොප් එකේ ඊළඟ  එපිසෝඩ් එක බලනවා.

මම ඒ කාලේ හැමෝටම කිව්වා ගෝඨාභයට දෙන්න එපා චන්දෙ. එයාට කරන්න  බැහැ කියල. මගෙන්කා ඇහුව, ටද දෙන්නේ සජිත් ට  දෙන්න පුලුවන්ද කියල, වෙන ඡන්දේ දෙන්න කෙනෙක් නැහැලු.. මම කීව ඒත් එපා, ජවිපෙටත් දෙන්න බැරිනම් කාටත් නොදී ඉන්න  කියල. මේ කාලේ සජිත් චෛත්‍ය  දාහක්  හදන්න පොරොන්දු වෙලා. එයාගේ බාප්පිගේ සල්ලි වලින්ද දන්නේ නැහැ, නමුත් එයාට චන්දෙ හම්බ වෙයි වගේ. ටීවී එපිසෝඩ් බලල එන සොම්බිලා (මැරුණත් නැගිටලා ඇවිදින මිනිස්සු) වගේ නේ චන්දෙ දෙන්නේ. මම නම් කියන්නේ සජිත් කියන්නේ මිනි(පොඩි) ගෝඨාභය කෙනෙක් කියල. හොඳ  ආර්ථික දැක්මක් ඉදිරිපත් කලේ නැත්නම් මළාට චන්දෙ දෙන්න හොඳ කෙනෙක් නෙමෙයි.  ඒත් ඉතින් සොම්බි ලාට කියල වැඩක් නැහැ. සජබ කට්ටිය මාත් එක්ක තරහ වෙනවා නම් තරහ වෙන්න ගිය පාර  වගේම. සජිත් ගේ දැක්ම හෝ දේශනාව දෙකම තවම මට ගැලපෙන්නේ නැහැ. අවංක ඇත්ත.

එතොට ජවිපෙ, පෙරටුගාමී අරගල සෙට් එක. ගම්වල චෛත්‍ය අන්කල්ට හරි පරණ බැසිල්ට හරි නාමල්ට හරි චන්දෙ  දෙන්න බලාගෙන  ඉන්න අය  ජේවීපී යට බයයි. සාධාරණයි. බුකියේ සාමාන්‍ය ජවිපෙ සපොර්ටර්ස් ලා වගේම ගම්වල ජවිපෙ  අයත් තවම පට්ට පොල්පොට් වාදියෝ. පොඩි කඩේ ගිනි තියල ලොකු කඩේ ජනසතු කරන්න තමයි තවමත් අදහස. නිදහසේ ලියන උන්ව අප්පිරියයි.  ඒ පක්ෂ වල නායකයන්ට තවම බැරි වෙලා තියනව පහල සාමාජිකත්වය හදන්න. හැබැයි ඒ පක්ෂ වල ජනප්‍රියත්වයේ පැහැදිලි ඉහල යාමක් නම් තියනව. ඒත් චෛත්‍ය දාහ දිනන්න පුළුවන් සම්භාවිතයක් තවම තියනවා. ඒ රටේ හෙවත් ගමේ හැටි නිසා. එනිසාම රනිල් වුනත් ආපහු එයි.

මගේ මිතුරා  තේනුවර කියන්නේ නම් රනිල්ට හොඳ ජවිපෙ විපක්ෂයේ හිටියොත් කියල.  ඒකෙ අදහස ඊට පස්සේ එන ආණ්ඩුව ජවිපෙ කියන එකද? ඒක එන්නේ  රනිල් ගේ සහයෝගයත් ඇතිවද? එහෙම වෙන්න පුලුවන්ද? මම දන්නේ නැහැ. ජාජබයට සෑහෙන සහයෝගයක් තියනව. රනිල් ඕනේ නැහැ එයාලට. නමුත් දිනන්න තරම් ඡන්ද ලැබෙයි ද?   මට මේ ඔක්කොම පට්ට අවුල් වගේ. අවුල් ලිහල ලියන්න හෝ කියන්න පුළුවන්  එක්කෙනා දීප්ති ගුණරත්න කියලයි මට හිතෙන්නේ. අරගලේ ගැන නිවැරදිවම මුලින්ම ලීවෙත් දීප්ති කියල මම හිතන්නේ. (මම දීප්ති වැරදියි , අරගලේ සාමූහික  නායකත්වය හරි කියලයි එවෙලේ  හිතුවේ.  නමුත් මම වැරදි බවයි දැන් හිතන්නේ.)  ඒ වුනාට කවුරුත් දීප්තිට  කැමති නැහැ. ඒ  එයාගේ විවේචනයට හැමෝම අහු වෙන නිසා. පෞද්ගලිකත්වය බලන්නේ නැති නිසා විවේචනයේදී. එනිසා දීප්තිම කියනව  එයාගේ  සායම ගිහිල්ල කියල. එයා මේ දවස් වල ජුඩිත් බට්ලර් ගේ "The Force of Nonviolence" කියවනවා ඇති. 

මගේ බ්ලොගයට කලකට පස්සේ ප්‍රහාරයක් ආව . දන්නා දෙතුන් දෙනෙක් ගෙන්. දන්නා අයම තමයි ඔය ඇනෝ ඇවිල්ල ගහන්නේ. මම රනිල් වික්කම් සිංහට  පක්ෂයි කියල. මම කිව්ව එකම දෙය, රනිල් ගෙන් මහින්ද චන්ද වංචා කරලා උදුරා ගත්ත ජනපති කම එයාටම ආපහු දෙන්න වුනා කියල. දෛවයද කකර්මය පල දීමක් ද දන්නේ නැහැ. හැබැයි එයාල මට  බනින එක නවත්වල. පස්සේ හොයල බැලුවහම ආරංචි වුනා එයාලගේ හිතවත් පරණ ඇමතිවරයෙක් ආණ්ඩුවට යන්න කස්තිරම් අල්ලනව කියල. ඉතින් එයාලගේ අරගලෙත් එතැනින්ම අහවර වෙයි. 

ආ, නත්තල් කෑම ගැන. මගේ ජර්මන් නැන්දනිය කෑම  පිගන් හදනව බෙදන්න. ඔය උඩම  තියෙන්නේ ඒ පින්තුරයක් දෙකක්. බිස්කට් එයාම හදපුව. ඉනෙස් නුත් හදනවා. හැබැයි අල්ලපු ගෙදර බ්‍රසීල කට්ටියට විතරයි බෙදන්නේ, දැන් මතකද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද? අපිත් කෑම බෙදනවා නේද? අපේ අම්මත් කෑම පිඟන් හදන පුරුද්දක් තිබ්බ අහල පහල ගෙවල් වලට යවන්න. දැන් ඕව කරනවද  දන්නේ නැහැ.   ඒක ආගමික උත්සයක් නෙමේ. වර්තමාන ආගම් එන්න කලින්  තිබ්බ  ඇදහිලි මත ආව චාරිත්‍ර. ඊජිප්තුවේ තිබ්බ. පේරු වලත් තියනවා. යුරෝපයේ පගන් (පුරාණ ඇදහිලි)  උත්සවයක් නත්තල කරලා ගත්තට කමක් නැහැ. අපට සමරන්න පුලුවන්  නේද?

ලබන අවුරුද්දේ ග්‍රීසියේ කළ සංචාරයේ  වැදගත්ම ටික ලියන්න හිතන් ඉන්නව. කාම්බෝජයේ කල සංචාරයේ ඉතිරි ටිකකුත් ලියන්න තියනව.  අයිස්ලන්තයේ සංචාරයකට පිඹුරුපත් සකසමින් ඉන්නවා. 

ඉතින් ආදරනීය බ්ලොග් මිතුරනි, පාඨක සහෘදයනි , ඔබ සැමට උද්ධමනය අඩුවෙන , බඩු මිල එනිසාම අඩුවෙන, පඩි වැඩිවෙන , නැතිනම් පිටරටකට හොඳ රැකියාවකට යාමට හැකි වෙන, විදුලිය නොකැපෙන, සංචාර වැඩි වෙන, නැත්නම් ආතල් එකේ චිත්‍රපට බලන, පොත් වැඩිපුර කියැවෙන සුභම සුභ නව වසරක් වේවා. 

 - අජිත් ධර්මකීර්ති - එන්ෆිල්ඩ් , එංගලන්තය

සුභ නත්තලක් කියනවද සුභ නිවාඩුවක් කියනවද 

මහින්ද, සෝමවංශ , පාඨලී, විරවංශ ගේ සමූහ කරුමය පලදීම හෙවත් අටවන ජන්සන් ගේ පදවි ප්‍රාප්තිය

පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

Saturday, 10 December 2022

ඩෙලොස් දූපතේ සවාරිය - ග්‍රීසියේ සංචාරය 3

අක්‍රොපොලිස් , පාතිනොන් සහ ග්‍රීක අගෝරාව - ග්‍රීසියේ සංචාරය  1

මිකොනොස් හි සවාරිය - ග්‍රීසියේ සංචාරය  2

සැන්ටොරීනි මුහුදු කල්දේරාව කඳු මුදුනක සිට -  ග්‍රීසියේ සංචාරය 4

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5

ඉංග්‍රීසි බ්ලොගයට මෙතනින් යන්න: 

Greek tour 1

Greek tour 2 

Greek Tour 3





අප මිකොනස් දුපතේ සිට ඩෙලොස් දුපතට ගියේ කුඩා නැවකිනි. රුවල් නැවක ආකාරයට සාදා තිබුනත් එය රුවල් නැවක්  නොවිනි. උඩ ඇත්තේ එහි පින්තූර කිහිපයකි.  ග්‍රීක දේවකථා වලට අනුව හිරු සහ  සඳු ට අධිපතීන් වන අපලෝ සහ  අර්ටෙමිස් යන නිවුන් දෙවි වරුන් උපත ලබා ඇත්තේ ඩෙලොස් දූපතේ දීය. ඒජියන් මුහුදේ සයික්ලේඩ්ස් දුපත් සමූහය අතර  මිකොනස් දුපත අසල පුරාවිද්‍යා  නටබුන් බහුල ඩෙලොස් දූපත  ස්ථානගත වී ඇත.  ක්‍රිස්තු පූර්ව  පළමුවන සහශ්‍රයේ එය ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානයක් සහ වරායක් විය. ඩොරික් ආරාම,  වෙළඳ පොළවල් , එළිමහන් රංගපීඨ, විසිතුරු මෝස්‌තර වලින් යුත් දැකුම්කළු නිවෙස් හා ඇඹු සිංහ රූප සහිත  සංකේතාත්මක වීථියක් ද එහි විය.  ඩොරික් යනු පුරාණ ග්‍රීක සහ   ගෘහනිර්මාණශීලි ක්‍රම තුනෙන්  එකකි. අනිත් යුගල නම් අයෝනික් විධි ක්‍රමය සහ කොරින්තියන් ය.   

නොයෙකුත් හෙලනික් රාජ්‍යයන් ඩෙලොස් දුපත පාලනය කල අතර එය ස්වාධින ව සිටි කාලය වන ක්‍රි.පූ 314 ත් 166 ත් අතර විශාල දර්ශනීය ගොඩනැගිලි නිමවා ඇත්තේ  දූපත් රාජ්‍යයේ බලයට හා ධනවත් භාවය පිළිබඳව එහි පැමිණි ග්‍රීකයන් විස්මයට පත් කරවමිනි. පෙමගුම් නැමති  රජුන් ගේ පාලන සමයේ එනම් ක්‍රි.පූ තෙවැනි සියවසේ හෙලනික් වරායේ සිට ඇපොලෝ දෙවිඳු ගේ  අභයභුමිය (දෙවොල ඇති පෙදෙස ) දක්වා තිබු ශුද්ධ මාවතේ නැගෙනහිර පැත්තේ දිගු  ස්ටොවක් (stoa - කුළුණු වලින් ඔසවා තබන ලද වහළක් ඇති දීර්ඝ ශාලාවකි. ) සහ පෝටිකෝ වක් නිමවා තිබී ඇත.


පහල පින්තුරයෙන් පෙනෙන්නේ එහි තිබු අගෝරාවයි. 





කුඩා නැවෙන් මිකොනොස් සිට ඩෙලොස් දක්වා යාමට පැයක් පමණ ගතවේ. අප ගිය නැව ද ඩෙලොස් අසලම වෙනත් දුපතකට මීටර 200ක් පමණ ඈතින් නැංගුරම් ලා සංචාරකයන්ට අඩි  හතළිහක් පමණ ගැඹුරු මුහුදේ නෑමට අවස්ථාව දුනි. ලානිලෙන් දිලිහුණු මුහුදේ කහ පැහැති වැලි සහිත පතුල ඉතා පැහැදිලිව පෙනුනි.  පහත ඇති විඩියෝවෙන් ඒ දර්ශනීය මුහුදු කරය නැරඹිය හැකිය. මේ සංචාරවලදී බොහෝ විට සංගීතය සහ දහවල් කෑමද සපයනු ලැබේ. මිකොනොස් වලින් ගෙනා  සුදු වයින්, දොඩම් යුෂ සහ කොමඩු යුෂද ඕනෑ  තරම් බොන්නට තිබුණි. වයින් පානය කල බොහෝ සංචාරකයන් ඩෙක් තට්ටුවෙහි ආපසු එන ගමනේදී නැටුහ. අප ආපසු පැමිණෙන විට නැවේ අයිතිකරුගේ දියණිය සහ පුතා අපට ග්‍රීක ජන නැටුමක්ද ඉදිරිපත් කළහ.

   


අයිකොස් සහ නක්සියන් හි දැවැන්ත මිනිස් ප්‍රතිමා (කොලෝසස් ) ක්‍රි.පූ හයවන ශත වර්ෂයේ දී පමණ  නිමවා තිබේ. මන්දිර වල ඉදිරිපස කොටස සහ  වහළ මාබල් වලින් නිමවා විශාල  අයෝනියන් කුළුණු මත  රඳවා තිබී ඇත. පහත  ඇත්තේ එම ප්‍රතිමාවක් පිහිටවා තිබූ  පාදමයි. 

 




මීළඟට හමුවන්නේ ඇපොලෝ දෙවියන් උදෙසා කරවන ලද ආරාම ත්‍රිත්වයකි. පළමුවැන්න විශාලතම එක වන අතර  එය  මහා ආරාමය ලෙසින් හැඳින්වේ. එය කරවන ලද්දේ  ඩේලියන් වරුන් විසිනි. ඩේලියන් සංගමයේ (ලීගයේ ) භාණ්ඩාගාරය එය සෑදීමට වියදම් කරන ලද බව මෙන්ම සාදන ලද්දේ ක්‍රි.පූ 476 දී පමණ බවද හෙළි වී ඇත. 

ඩෙලියන් ලීගය පිහිටුවන ලද්දේ ක්‍රිපූ 478 දීය.

අප එහි සංචාරය කරන විටදී සුරතල්  පූසන් කිහිප දෙනෙකුම මුණ ගැසුණු අතර මේ කළු පූසා අප පිටි පසම ඇවිද ආවේය.  මෙහිදී 150 - 170 පමණ ග්‍රීක නගර රාජ්‍ය එකතු කර සේරක්ස් ගේ පර්සියානු අධිරාජ්‍යයට විරුද්ධව සටන්  කිරීමට පිහිටවූ යුධ සන්ධනයේ නායකත්වය ගත්තේ ඇතැන්ස් වරුය. නමුත් එහි පළමු රැස්වීම මෙන්ම භාණ්ඩාගාරයද පිහිටුවන ලද්දේ දෙළොස් හි ඇපොලෝ දෙවොලේය.ග්‍රීක හමුදා පර්සියාව ප්ලටෙයා සටනේදී පරාජය කරන ලදී. ඩෙලියන් ලීගය නැවත ආක්‍රමණයකට විරුද්ධව සංවිධානය වූ එකකි.  





මෙහි ඇති වඩාත් පැරණිම (දෙවොල) ආරාමය,  පොරිනොස් අයිකොස් හි පොරොස් ආරාමය ලෙස (Poros Temple of Porinos Oikos ) හැඳින්වේ. ඒවා පොරොස් පාෂාණ නමැති ඩොලමැටික් මාබල් වර්ගයකින් සාදා තිබේ. මේවා තවත් ග්‍රීක දූපතක් වන පොරොස් වලින් ගෙන්වා ඇත. ඇතිනියානු ප්‍රතිමා නිර්මාණ ශිල්පින් දෙදෙනෙකු වන ටෙක්ටෙයස් සහ අන්ජිලොන් විසින් නිමවන ලද ප්‍රසිද්ධ ඇපොලෝ ප්‍රතිමාව මෙහි පිහිටුවා තිබී  පසුව මහා ආරාමයට ගෙන ගොස් තිබේ.   




පහළ ඇති තියෝප්‍රස්ටස් අගෝරාවට නම් තබා ඇත්තේ ක්‍රි.පූ 126/125 දී දූපත් පාලනය කල ආණ්ඩුකාරයා ගේ නමිනි.  ඔහු වරායේ අග කොටසේ සිට භුමිය හාරා සකස් කර අගෝරාව සෑදීම හේතුවෙන් ගරු කිරීම පිණිස ඔහුගේ ප්‍රතිමාවක් සාදා ඇත. එහි ඩෙලොස් හි ජිවත් වන ඇතිනියානු වැසියන්, වෙළෙන්දන්, නැව් හිමිකරුවන්, රෝමන් වරු සහ අනිකුත් විදේශිකයන්  විසින්  සාදවන ලද බවට ප්‍රතිමාවේ පාදම අසල ලියා තිබේ.   

 ක්‍රිස්තුපුර්ව තෙවැනි ශත වර්ෂයේ සිට ඉතාලියානුන් ඩෙලොස් හි පදිංචියට පැමිණ ඇත. ක්‍රිස්තු පූර්ව දෙවැනි ශත වර්ෂයේ මැද භාගයේ සිට ඔවුහු වඩාත් බලවත් ලෙස තම පදිංචිය ස්ථිර කර ගත්හ. මේ බොහෝ ඉතාලියනුන් සිසිලියේ හෝ දකුණු ඉතාලියේ සිට පැමිණි බැංකු කරුවන්හා වෙළෙන්දන් විය. ග්‍රීක දෙවි වරුන් තමන්ගේ නමින් හැඳින්වූ ඔවුහු ඒ දෙවි වරුන් නාමයන් යටතේ  නොයෙකුත් වෘත්තීය සංවිධාන පිහිටුවා ගත්හ. ඇපොලෝ දෙවියන් අපොලෝනියස්ට්, පොසයිඩන් දෙවියන්  පොසයිඩිනියස්ට් හා හෙර්මිස්, හෙර්මයිස්ට් යනුවෙන්ද මෙසේ රෝමානුකරණය කරන ලද දෙවිවරුන් සමහරෙකි. ක්‍රි.පූ දෙවන ශත වර්ෂයේ අග භාගයේ ඔවුහු ඉතාලියානු අගෝරාව නිර්මාණය කරන ලද්දේ   සියලුම  ඉතාලියනුන්ට එක තැනකදී හමුවීමටය.         







වඩාත් ම සිත් ගන්නා සුළු  මෙන්ම මවිතයට පත් කරන දසුන වන්නේ මෙහි ඇති නැක්සියන් සිංහයන් ලෙසින් හඳුන්වන  සිංහ ප්‍රතිමා සමූහයය. නැක්සියන් වරු සිංහ ප්‍රතිමා සාදවා පූජා කරන ලද්දේ ඇපොලෝ දෙවිඳුන්ට යයි කියති. හෙලනික් වන්දනා කරුවන් ට තමන්ගේ උසස් බව ප්‍රකාශ කිරීමට නැක්සියන් වරු මේ ප්‍රතිමා යොදා ගත් බවද කියති. බොහෝ හෙලනික් වන්දනාකරුවන් සිංහයන් හැබැහින් දැක නැත. මගේ  ප්‍රහේලිකාවද මෙයමය. දූපතේ පැත්ත පළාතක නොසිටි සිංහයන් නැක්සියන් වරු ඇඹුවේ මන්ද යන්නය.  



ඊළඟට පහල පින්තුර වල ඇත්තේ පොසයිඩනියස්ට් දෙවොලය. එය සාදවා ඇත්තේ එවකට තිබු පුරාණ සිරියාවේ විශාලතම වෙළඳ නගරයක් වන බෙරිටස් (වර්තමාන බෙයිරුට්) වලින් පැමිණි නැව් හිමියන් සහ ධනවත් වෙළඳුන් විසිනි. මේ ක්‍රිපූ දෙවන සියවසේ අග භාගයේය.




එවකට භාවිතා කරන ලද රන් අභරණ ආදියෙන් පැහැදිලි වන්නේ කෙතරම් සශ්‍රික හා ධනවත් ලෙස ඩෙලොස් වැසියන් දිවි ගෙව්වාද යන්නය.  ක්‍රිස්තු පුපූර්ව  69 දී මේ දෙවොල් ගිනි තබා විනාශ  කරන ලද අතර ඒවායේ තිබු රන් ආභරණ සියල්ල පැහැර ගන්නා ලදී.  දැනට 1964 දී සොයාගෙන ඇත්තේ කාන්තාවන් විසින් පොලොව යට සඟවා තිබූ අභරණ මංජුසා දෙකක් පමණි.  

මෙහි පෙනෙන වැව අසල වෙළඳ පොළ පුරාවිද්‍යා කැණීම් වලින් මතු කරගෙන ඇත්තේ 2002 පමණය.  ඉහත සඳහන් කරන ලද ක්‍රිපු 69  අතෙන්ඩෝරෝස් ආක්‍රමණයේදී මේ වෙළඳ පොළ ද ගිනිතබා විනාශ කර ඇත.

  



ක්‍රිපූ දෙවන ශතවර්ෂයේ අවසන් දශක කිහිපයේදී පහත ඇති ඩිලියොන් නම්  වැව අසල නිවස සාදා ඇත. පරම්පරා දෙකක එකම පවුලක අය මෙහි ජිවත්ව තිබේ. එය ගිනි තබා විනාශ වී ඇත්තේ ද ක්‍රිපූ 69 දීය.  නිවසේ බිත්ති, මෝස්‌තර සහිත බිම සහ ඇතැම් කුළුනුද හොඳින් ආරක්ෂා වී තිබේ. 

ඩෙලොස් දූපතේ එදවස ගෘහයන් අද ඇති නවීන නිවෙස් මෙන්ම  හොඳ බිම් සැලසුමක් මත  ගොඩ නගා තිබී ඇත. නිවසේ අයිතිකරු ගේ ධනවත් කම මත නිවසේ සැලසුම්, එහි විශාලත්වය ආදිය තීරණය වී ඇත. හැම ගෙයක්ම ඇතුළතට නැඹුරුව සාදා තිබෙන අතර විශේෂත්වය වන්නේ බිම් මහලේ ජනේල කවුළු නොමැති වීමයි.මෙයට හේතුව එළියේ විදී වලින් හා වෙළඳ පොළෙන් එන ඝෝෂාව අවම කිරීමට විය හැක.  




ඉහල ඒ කාලයේ ළිඳක් ද පහල පින්තූර ධාන්‍ය ඇඹරුම් ගල්ද තිබේ. මේවා සමහරක් ශ්‍රී ලංකාවේ සොයාගත් නටබුන් අතරද දැකිය හැකිය. 
 

ඉහත ඉහළ හා පහල ඇති පින්තූර වල නිවස සංකීර්ණයක්,   රඟහල් සමුහයක් හා දෙවොලක්ද වේ. 





පුරා දිනක් අප මෙහි ගත කළද එය සෑහුනේ නැත. තවත් දැකිය යුතු නටබුන් සමූහයක් තිබුණු අතර මෙහි පෙනෙන කඳු මුදුනට යාමටද වෙලාව මදි විය. මමත් පොඩි දුවත් බිරිඳත් අකමැත්තෙන් නැවත යාත්‍රාවට ගොඩ වීමු. ඒ නැවතත් අපට එන්නට ඉඩක් ලැබුනොත් එන අදහසිනි. 



සියලුම පින්තූර මා ගත් ඒවාය.  - අජිත් ධර්මකීර්ති 
ක්‍රිස්තු පූර්ව 450 ග්‍රීක අධිරාජ්‍යයේ සිතියම 


ඩෙලොස් දූපත 


සිතියම් ගත්තේ මෙතැනිනි. 



ප.ලි මේ කුරහන් ගල් දෙකේ පින්තුර  මා මෑතක දී ශ්‍රී  ලංකාවට ගිය වෙලේ ගත් ඒවාය.