Wednesday, 21 May 2025

ජපන් ගමන් - ටෝකියාවේදී පළමු දවසෙන් දෙවෙනි දවසට


ඔය දුර ගමනක් යද්දී මොකක් හරි මගුලක් වෙන සීන්  එකක් තියෙනවා මට .  සමහර විට මේවා සාමාන්‍ය දේවල්. ඒ වුනාට මට ලියන්න තල්ලුව එන්නේ මේවයින් . අපේ ගුවන් ගමන පරක්කු වුනා ලන්ඩන් හීත්‍රෝ  වලදී .  ඒ මදිවට හොන්කොන් වලට බෑවට පස්සේ යානය යනවා යනවා කෙළවරක් නැතිව , විනාඩි විස්සකට වඩා ගිහින් නැවැත්තුවේ .  අනිත් ෆ්ලයිට් එකට යන්න පැයයි  තිබ්බේ , තව පරක්කුයි .   දැන් දුවන්න බලාගෙන එලියට ගියා .  

ගුවන් යානයෙන්  එළියට  ඇවිත් අර පාලමින්  එලියට එනකොටම මෙන්න මැජික් කෙල්ල ඉන්නව බෝඩ් එකක් උස්සන් .    කනෙක්ටින්  ෆ්ලයිට් එකට යන පස් හය දෙනෙක් එකතු කරගෙන එයාගේ පස්සෙන් එන්න කියල එක්කන් ගියා චෙකින් කරන තැනට. එතැන  ක්වික් චෙකින් පෝලිමෙන් ඇතුළට දැම්මෙව්වා . ඒ යන අතරේ අර ටික්  ටොක්  නිළියක් බැංකුවක  ඇලවෙලා  ගඟ වෙලා  ඉන්නව ෆොටෝ එකකුත් ගහ ගත්ත .    

හොන්කොන් ගුවන් තොටුපොළ  ඒ අතින් හුඟක් හොඳයි කාර්යක්ෂමතාව අතින් .  ඔයිට කලින් ඩුබායි වලදී දෙපාරක් ෆ්ලයිට් එක මිස් වෙනවා .  අර බෝඩ් උස්සන් එන අයට  අමතක වෙලා .  ඉස්තාන්බුල් එයාපෝර්ට් එකේ හෙන ඈතින් කනෙක්ටින්  ෆ්ලයිට් වලට  ගේට් තියෙන්නේ .  අහන්න කෙනෙක් වත් නැහැ . 

මගදී බිරින්දෑ  ඒත්  කිව අපේ ගමන් මළු  මාරු කරන්න වෙලාවක් නැති වෙන්න ඇති නේද කියල .  ජපන් ආගමන විගමනෙන් කරදරයක් නැතිව එලියට ආවා . ආගමන විගමනේ හිටියේ අර ජපන් ඇනිමේ කතාවල ඉන්නවා වගේ තරුණ කොල්ලෙක් .  මූණ දිහාවත් බැලුවේ නැහැ . 

කීව  වගේම බෑග් දෙක ඇවිත් නැහැ කියල බඩු එන බෙල්ට් එක දිහා බලන්  ඉන්නකොටම අපට තේරුණා .  එන්න පොඩි ගෑණු  ළමෙක්  ඇවිල්ල අහනවා , ඔයාල ලන්ඩන් හොන්කොන් ෆ්ලයිට් එකේ ඇවිල්ල හොන්කොන් ඉඳන්ද ආවේ කියල .  කෙල්ල පොඩියි කියන්නේ ඇත්තටම මටත් වැඩිය උසින් අඩුයි ,  එයා තමා  ඔය පින්තුරෙ  ඉන්නේ .   මම දැක්ක දෙයක් තමයි බෑග් එන බෙල්ට් එකේ මැද  පොඩි ඔෆිස් එකක් වගේ තියනවා .  ඒකෙ  ෆ්ලයිට් විස්තර ඔක්කොමදාපු ටර්මිනල් එකකුත් තියෙනවා .  හැම බෙල්ට් එකකම  තියෙනවා .  මේක මම අනිත් රටවල දැකල නැහැ .  ලගේජ්  නැති වුනොත් හොයන්න තුත්තුකුඩි  යන්නෝනේ.



අක්කෝ, අපේ අත්තගේ ,  මුත්තාගේ  කිත්තාගේ විස්තර  ඔක්කොම ගත්ත ,  නෑ , මන් කිව්වේ ඊමේල් එකයි ,  ලන්ඩන් ලිපිනය ,  යන හොටෙල් එකේ ලිපිනය සහ දුරකථන අංකය වගේ දේ .  එයා එතනදීම කෝල්  කලා අර හෝටලේට .  කතා කරලා දැන  ගත්ත අපට බුකින් එකක් තියනවා කියල .  මගේ ලගේජ් එක ලොක් කරලද  තියෙන්නේ කියල අහල ,  කස්ටම් එකෙන් ඇහුවොත් කියල යතුරත් ඉල්ලා ගත්ත ඉබ්බා අරින්න . ඊට පස්සේ අපිව කස්ටම් එක ගාවට ඇවිත් නිලධාරියට කියල එලියට දැම්ම .  ජපානේ කස්ටම් ඩික්ලරේෂන් එකක්  කරන්න ඕනේ . ඊට පස්සේ කස්ටම් ඔෆිසර් කෙනෙක් ඒ ෆෝම් එකයි පාස්පෝර්ට් එකයි චෙක් කරනවා . 

ටැක්සි රියදුරු මහත්මයට ඉංග්‍රීසි බැහැ  .  අපට ජපන් බැහැ . යන්තන් ගුගල් පිහිටෙන්  එයාවත් හොයා ගත්ත . ටෙක්නොලොගිය ඈ .  මෑන් මගේ නම ගහල කොළයක්  අරන් ඇවිත් ඒක  සාක්කුවේ දාගෙන  අපිව හොයනවා . 

ටැක්සි නිකන් ලන්ඩන් ටැක්සි වගේ .  (වෙන ඒවත් තියනවා .  ටොයෝට තමා වැඩිම . ) මොබයිල් චාජින්  පෝට්  එකක් සහ ටෙලිවිෂන් එකකුත් තියනවා ටැක්සියේ .



හොටෙල් ස්ටාෆ් එකනම් මරේ මරු . පුංචි ගැහැණු ළමයි තුන්දෙනෙකුයි තරුණ පිරිමි ලමේකුයි හිටියේ අපි යනකොට .  කොනිචිවා (හෙලෝ )  කියල කෑ  ගැහුවා .  ඊට පස්සේ රූම්  හෙම ඇරෙන්ජ් කළාට   පස්සේ තේ පැකට්, බොඩි ලෝෂන් වගේ ඔය හැම තැනම  දෙන අනම්  මනම් ටිකත් දුන්න ගෙනියන්න.  වැඩේ කියන්නේ පිජාමා  එකකුත් දුන්න .  මට හරියටම හරිනේ සයිස් එක .  සාමාන්‍යයෙන් රේසර් එකක් ,  දත් බුරුසුවක් ,  ටුත්පෙස්ට්, ටවල් වගේ දේ කොහොමත් දෙනවනේ .  ඊට අමතරව තමා  පිජාම එක .  මිට කලින් හිටි යුරෝපේ හෝ ලංකාවේ හෝටල් වල තිබුනේ නැති ෆැසිලිටි  එකක් .  පස්සේ දැන  ගත්ත ජපානේ ඔක්කොම හෝටල් වල දෙනව කියල . ඉතින් සුට්කේස් දෙක ආවේ නැහැ කියලවුලක් වුනේ නැහැ .  

අර ගැහැණු ළමයි , රොබෝවරු වගේ නේද කියල මම බිරින්දෑ ට නිකමට කීව . එයා කීවේ  එහෙම පුරුදු කරලා වෙන්න ඇති .  හැබැයි පහුවදා  උදේ විතරක් නෙමේ දකින දකින හැම වෙලේම උන් හරිම ආචාර ශිලියි .  කෙල්ලෝ දෙන්නෙක් අත්දෙක කන්දෙක ගාවට අරන් ඇඟිලි පියාපත් වගේ ගහන ගමන් කොනිචිවා කියන්නේ .  හෙන සතුටෙන් කරන වැඩේ කරනවා කියල පෙන්වනවා .  කරනවත් එක්ක . 

උදේ ආහාර  වේලත්  ඇත්තටම හොඳයි .  බුෆේ ක්‍රමයට දෙන්නේ ආහාර . මම දැකපු හොඳම උදේ ආහාර  වේල  දෙන්නේ ලංකාවේ හෝටල් වල .  කෑම  ජාති ගොඩක් එක්ක .  කන්ඩලම , බේරුවල සිනමන් ලේක් සයිඩ් එක වගේම,  අනිත් වැඩි තරු නැති හොටෙල් වල වුනත් බ්‍රෙක්ෆස්ට් එක හොඳයි . දෙවෙනි තැනට දාන්න  පුළුවන් ජර්මන් සහ ස්පැනිෂ් හෝටල් සංකීර්ණ .  තුන්වෙනි තැන ඉතාලිය ,  ග්‍රීසිය සහ තුර්කිය වගේ රටවල හොටෙල් . 

මේ හෝටලේ සංචාරකයන්ට වෙනම කෑම  ගන්න අවශ්‍ය නම් ලි පැනෙල්  වලින් වෙන් කරපු පොඩි කාමරත් තිබ්බ සයිඩ් එකෙන් .  පින්තූර  බලන්නකෝ . සකේ බෝතල් වල ලොකු දැක්කම බය හිතෙනවා .  

මෙහෙ කෑම  දෙන්නේ පොඩි ට්‍රේ වල .  කෑම  පොඩ්ඩ  පොඩ්ඩ  හැම එකෙන්ම බෙදාගෙන  ඇවිත් කන්න පුළුවන් .  ඒ ගොල්ලෝ ලියල තියනවා - කන්න පුළුවන් තරම විතරක් ගන්න .  වැඩිපුර අරන් අපරාදේ නාස්ති කරන්න එපා කියල .  මම ලංකාවේ සහ අනිත් රටවල දැකපු දෙයක් තමයි මිනිස්සු කන්න  බැරි තරම් බෙදාගෙන ඔහේ තියල යනවා .  මේ රටේ සංචාරකයෝ වුනත් අර විධිහට කන ගාන  බෙදාගෙන යනවා කියල දැක්ක .  මෙහෙ රටේ මිනිස්සුන් ගේ ස්ථුලත්වය අඩුයි වගේ පෙනුනේ ,  ඒ නිසා වෙන්නත් ඇති . 








ජපන්නු තමන්ගේ රැකියාව -  ඒක  මොක වුනත් කමක් නැහැ - බොහොම සීරියස් ගන්නවා කියල තමා මට පෙනෙන්නේ .  ටැක්සි රියදුරු මහතා එනව හරියටම වෙලාවට . ටුවර් ගයිඩ් ල , හොටෙල් ස්ටාෆ්  සහ අනිත් හැමෝමත් එහෙමයි . ජපන්  වචනයක් තියනවා "ගන්බරු " කියල .  ඒකෙ  තේරුම කියන්නේ කරන වැඩේ කොහොම හරි මහන්සි වෙලා  කැප වෙලා කරන්නේ  කියන එක .   

අපි හිටි හරියේ ඉඳන් ටෝකියෝ සෙන්ට්‍රල් ස්ටේෂන් එකට යනකොට දැක්කේ ටයි කෝට් ඇඳගෙන ඔෆිස් යන පිරිමි සහ ඒ වගේම ෆෝමල්  ඔෆිස් අඳින ඇඳුම් ඇඳගෙන ඔලුව පහත්  කරගෙන ඉක්මනින් වැඩට යන ගැහැණු .

අනික් දැක්ක  දෙයක් තමා නීතියට ගරු කරන විධිහ .  සාමාන්‍ය නීතියට .  ටිකට් එක වැරදි  නම් හොරෙන් යන්නේ නැහැ .  ටිකට් ඔෆිස් එක ගාව බලන් ඉන්නවා වැඩිපුර ගාණ ගෙවල යන්න .  එතන ගේට්ටුවෙන් යන්න පුළුවන් වුනත් .  පාරේ වාහන නැති වුනත් කොළ එලිය වැටෙන තුරු පාර  පනින්නේ නැහැ .  එහෙම නැති තැන්වල වාහන රියදුරන් නවත්වල බලාගෙන ඉන්නව අපි පාර  පනිනකන් .  මේක එංගලන්තෙත් තියනවා හැබැයි .  ඉන්න පැත්තේ හැටියට .  


ජපානේ ප්‍රධාන ආගම්  දෙකක් තියනවනේ .  අපට හමුවුණු ජැපනියක් කීව එයාලට සතුටු අවස්ථාවල - ඒ කියන්න උපන් දිනයක් ,   විවාහයක් වගේ වෙලාවක ෂින්ටෝ  පන්සලකට යනවලු .  මරණයකදී ,  දුකකදී , කෙනෙක්ව මතක් කරන වෙලාවක වගේ සංවේදී අවස්ථාවල  බුද්ධාගමේ  පන්සලකට යනවලු .  ජිවිතේ ප්‍රශ්න එනකොට පොඩ්ඩක් සෙන් බෞද්ධ පිළිවෙත් වලට හැරෙනවලු .  කියවනවලු .  ක්‍රිස්මස් එකත් සමරනවලු .  ඒක  ජපානේ ආර්ථිකයට හොඳයි ලු . 

ඇවිත් දවස් හතරක් වුනාට අද තමා මුල් දවස් ගැන ලියන්න පුළුවන් විධිහට වෙලාවක් ලැබුනේ .  හෙට අනිද්දට  තව විස්තර .  අපි හිටිය කින්ෂිවෝ  වල පින්තූර  ටිකක් යට . 






-21/05/2025 Ajith Dhaarmakeerthi

Sunday, 11 May 2025

දැරියගේ කතාව , පොඩි ඡන්දය සහ බීච් ක්ලීනින්


දැරියගේ කතාව:
  පහුගිය දවස් වල ආන්දෝලනයක් ඇතිවුනා නේ දැරියක් සියදිවි හානි කර ගැනීම නිසා .  ඒකෙදි මමත් හුඟක් පෝස්ට් ෂෙයාර් කළා ෆේස්බුක් එකේ සහ එංගලන්තයේ මාලිමාවට සහයෝගය දක්වන ලන්ඩන් කණ්ඩායමක් එක්කත් .  මට අවශ්‍ය වුනේ සිද්ධියට අදාළ ගුරුවරයා තවමත් උගන්වන එක වැරදි බව  කියන්න .  දෙවන ගුරුවරයා ළමයා ට ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කිරීම  වැරදි බව කියන්න .  සරෝජා පෝල්රාජ් ඇමතිතුමිය ගේ පෙත්සම් කතාව වැරදියි කියලත් කීව.    ඉන්පසුව ඇත්තටම දැන ගන්න ලැබුන එයා එහෙම කතාවක් කියල නැහැ කියල . එයා ඇත්තටම කියල තියෙන්නේ ඒ වෙලාවේ උද්ඝෝෂණය කරලා පෙත්සමක් භාර දෙන්න යන එක ගැන .  ඒකට එන්න කියල . හැබයි එයා ළමයට මානසික ප්‍රශ්නයක් හෙවත් විශාධියෙන් පෙළුණු බවක් කියල තියෙනවා .  ඒකනම් අනවශ්‍ය ප්‍රකාශයක් .  

 ආයතනයේ හිමිකරු එහෙම දෙයක් කියල නැහැයි කියලත් කියනව .  





මෙතැනදී දෙපිරිසක් හරිම අසාධාරණ විධිහට හැසිරුනා .  පළමුවෙනි  කොටස තමා  විපක්ෂයේ ඇතැම් පක්ෂ , මන්ත්‍රීවරු සහ දෙරණ ඇතුළු රජයට විරුද්ධ ජන මාධ්‍ය .  ඔවුන් පෝල්රාජ් මහත්මියගේ කතාව විකෘති කරලා පල කරලා  මිනිසුන් නොමග යවා තිබෙනවාට අමතරව මේ ගැහැණු ළමයාගේ සිද්ධිය අරගෙන ආණ්ඩුවට ගහන්නත් උත්සාහ කළා .  
ඒකෙන් වුනේ ඒ මියගිය ළමයා තවත් අපයෝජනයට පත් කිරීමක් .  

ඒ නිසාම ඇතැමුන් සාධාරණ  ලෙස අහල තිබුන මුස්ලිම් දේශපාලනඥයෙකු ගේ නිවසේ දී ගිනි තබාගෙන මියගිය දැරිවිය ට සාධාරණයක් ඉටු කලාද කියල .  (මම හිතනවා ළමා ආරක්ෂණ අධිකාරිය ඒ ගැන හොයන්න ඕනේ කියල)   

දෙවන කොටස තමා මාලිමාවට සහයෝගය දක්වන ඇතැමුන් .  අර යුටියුබ් කරුවෙක් දළඳා ප්‍රදර්ශනේ අතරතුර ජනාධිපති සහෝදරයා පිලිබඳ වංශ කුල කතාවක් ඇදල ගත්ත නේද ?  ඒ වගේ මේ මාලිමා ආධාරකරුවන් මේ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කරන අප වගේ අයටත් පහර ගහන්න ගත්ත .  ආණ්ඩුව බේරා ගන්න .  ඒ අයට හිතෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් කළකිරෙන බව . 

කොහොම හරි දැන් තත්වය ආණ්ඩුව නිරවුල් කර ගෙන තිබෙනවා .  අගමැතිනි හරිනි අමරසූරිය සහ පෝල්රාජ් ඇමතිවරිය එකතු වෙලා සිද්ධිය සම්බන්ධ ආයතන තුනම එකා බද්ධ කරල තිබෙනවා .  අධ්‍යාපන අමාත්‍යංශය, ළමා රක්ෂණ අධිකාරිය සහ පොලිසිය .  බ්‍රිතාන්‍යයේ වුනත් මේ ආයතන එකට වැඩ කරන්නේ  නැති වුනහම ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා .  අර ගුරුවරයා මැයි 9 වෙනදා  සිට අනිවාර්ය නිවාඩු යවල තියනව. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි. පෝල්රාජ් ඇමතිතුමිය ඉල්ලා අස්වෙන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ . මේ ගැන පෝස්ට් ෂෙයාර් කරන අය  උද්ඝෝෂණය කරන අයට අවශ්‍ය වුනේ ඇක්ෂන් ගැනීම මිසක් ආණ්ඩුව පෙරලන්න නොවන බව විපක්ෂයේ ඇතැම් හොරගෙඩියන් ටත් මාලිමාවේ ම ඇතැමුන්ටත් තේරිලා නැහැ .  

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉතා වැඩියි කියන එක මේ බ්ලොගයේ මිට කලිනුත් ලියල තියනව .  වසරකට විසිදාහක් පමණ .  සියදිවි හානිකරගත් නිසා මේ දැරිවියගේ කතාව එලියට ආව . නැතිනම් ඒකත් යට යනවා .  අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් වැඩ කරන විධිහ සහ පවත්නා  නීති පිළිබඳවත් ප්‍රශ්න පැන නැගිලා .  රජය ඒ ගැන ක්‍රියා කරන බව පේනවා .  ඒකට ස්තුතියි. 

විරුද්ධ පක්ෂ වලට කියන්න තියෙන්නේ ඔහෙලා බලයේ ඉද්දි මුකුත් කලේ නැහැ, ඒ නිසා සදාචාරාත්මක අයිතියක් වත් නැහැ විවේචනය කරන්න .  මේ 2022 වාර්තාවකින් උපුටා ගත්තක් .  මේකේ යොමුව යට ඇති . 
/Last year (2022), in Sri Lanka, in terms of incidents concerning children and the incidence of grave child abuse, there were cases of abuse (79); deaths (28); negligence (27); physical abuse (25); drug abuse (nine); abduction (seven); disappearance (four); three cases each of attempted murder, and being sold and trafficked; emotional abuse and trauma (two); one case each of an early marriage or forced marriage, and cyber bullying; and five cases of an unknown nature. //

පොඩි ඡන්දය - මේ ඡන්දේ ගැන ෆේස්බුක් එකේ ලිපි දැක්කම  ඇත්තටම හිනා ගියා .  නාමල් ට ලක්ෂ පහක වැඩි චන්දයක් ලැබීම උඩ දාන්නේ හරියට නාමල් මහා වික්‍රමයක් කළා වගේ .  එකම නගර සභාවක් වත්  පොහොට්ටුව  දිනලා නැහැ .  අන්න මාකටින්. සාමාන්‍යයෙන්  යුරෝපයේ වුනත් ඔය වගේ චන්ද වලට සෙනග යනවා අඩුයි .  පවතින ආණ්ඩු දිනන සම්භාවිතාවත් අඩුයි .  නමුත් වර්තමාන ආණ්ඩුව පැරදිලා නැහැ .  වැඩිම නගර සභා සහ ප්‍රාදේශීය සභා  කොට්ටාශ දිනලා තියෙන්නේ ඔවුන් .  ඕවරෝල් දිනා ගන්න බැරි තැන් තිබෙනවා.  ඒ සමහර තැන්වලත් වැඩි සභිකයන් ඉන්නේ ඔවුන්ට .  එනිසා ඒ පත්වුණා අයට ගමට ,  නගරයට සේවය කරල පෙන්වන්න හැකියාව තිබෙනවා .   අනික NPP හෙවත් මාලිමාවේ ප්‍රධාන පක්ෂය ජවිපෙ වුනාට සහයෝගය දෙන අය අතරේ පොහොට්ටුවෙන් ,  ශ්‍රී ලනිපෙන් ,  යූඇන්පියෙන් සහ වෙනත් පාවෙන චන්ද වලින් ආ අයත් ඉන්නව .  එනිසා ඔවුන්ට අනිත් තේරී පත්වුණු අය එක්ක සම්බන්ධ වෙන්න අමාරුවක් නැහැ.

යුඇන්පී එක සහ සජබ නැවත එකතු විය යුතුයි කියන එක නම් මේ චන්දෙ දීත් තහවුරු වුනු දෙයක් .  
පෙරටුගාමී සමාජවාදීන් ගේ දේශපාලන න්‍යාය හා භාවිතාවට මම විරුද්ධ වුනාට ඔවුන් දිනපු එකත් හොඳයි .  අඩු ගානක් වුනත් නගරය හා ගම ගැන හිතන ,  දූෂණ කරන්නේ නැති සෙට් එකක් එන එක හොඳයි . 
  
මට මෙතැන් තැන් දෙකක් ගැන හොඳ හැඟීමක් තියනව .  එකක් ආණ්ඩුවට අඩු වෙච්ච ඡන්ද ප්‍රමාණය .  ඒ ප්‍රමාණය නැවත  දිනා ගන්න ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. ඒ අනතුරු හැඟවීම දුන්න එක හොඳයි .  (එංගලන්තේ කියර් ස්ටර්මර් මත ඊයේ පෙරේද කෑවා කෑමක් පොඩි චන්දෙදි . ) 
දෙවැන්න, ලංකාවේ සාමකාමී මැතිවරණයක් තිබ්බේ .  යුරෝපේ වගේ. ඉස්සර වගේ ගැහැණු නිරුවතින් පාරේ ඇවිද්දන  ඒවා, විරුද්ධ පාක්ෂිකයන්ට වෙඩි තියන ඒවා වුනේ නැහැ. තොණ්ඩා කියන එකාගේ පෙළපාළියක් ගියා .  එපමණයි .  තොණ්ඩ ගෙන් ඒ අහිංසක මිනිස්සු ගලවා ගන්න ඕනේ. 
ඒ නිසා ලංකාවේ ජනතාවට ත් ආණ්ඩුවටත් මෙන්න අත් පොලසනක්. ජනතාව මේරූ මනසකින් කටයුතු කිරීම  දකින්නත් සතුටුයි . 
   
 ඇත්තටම පැරදිලා තියෙන්නේ විපක්ෂය .     

වෙරළ සුද්ධ කිරීම: 
මම වැඩ කරන ආයතනය The Access Group. ඉතින් අපට තියනව අවුරුද්දට එක දවසක් චැරිටි ඩේ කියල .  ඒ කියන්නේ ඒ දවස යොදා ගන්න පුළුවන් මොකක් හරි සහන සේවා සපයන පදනමකට උදව් කරන්න එදා දවස තුල .  ඒකට පඩි සහිත නිවාඩුවක් ලැබෙනවා .   අපේ කට්ටියක් තෝරාගෙන තිබ්බේ සමුද්‍ර සරන්ක්ෂණ පදනම .  (The Marine Conservation Society)  












වෙරළවල් පිරිසිදු කිරීම හේතුවෙන් සමුද්‍ර ජීවින් මෙන්ම වෙරළාසන්න ජීවීන්ද රැකෙනවා .  ඉතින් අපි කණ්ඩායමක්  Worthing වර්තින් වෙරළ සුද්ධ කරන්න ගියා .  ඔය පින්තූර වල තියෙන්නේ ඒ වෙරළ. 

අර ලංකාවේ රිලව් සංගණනය ට සෑහෙන විරෝධයක් ආව වගේම මිනිස්සු හිනා වෙන්න ගත්තනේ .  මම තැනදී ලීව කුරුල්ලන් වැනි සතුන් සංගණන වලට මම එකතු වෙලා තියෙනවා .  ඒවා යුරෝපයේ කරන දේවල් කියල .  නමුත් ඒකටත් සමහරු හිනා වුනා .  ඉතින් කොතරම් දුරට ලංකාවේ කරන්න පුලුවන්ද දන්නේ නැහැ. අපි පස් දෙන වශයෙන් කණ්ඩායම් වලට බෙදිලා සුද්ධ කලේ .  ඒ අතරේ අපට ෆෝම් දුන්න පුරවන්න .  පැන්සලක් එක්ක .  ඒකෙ අහුලන හැම කොලයක් ,  සිගරට් බට් එකක් ,  ලොලි පොප් කොට්ටක් ,  ප්ලාස්ටික් බෝතලයක් ,  චොකලට දවටනයක් ,  ටිෂු එකක් ගානේ ලියන්න ඕනේ .  අන්තිමට එකතු කරලා ටෝටල් එක දානවා .  මේ දත්ත ඉතා වැදගත් .  ඒ ඒ වෙරළ වල මොන කුණුද වැඩිය එකතු වෙන්නේ .  මොන දේවල් ද අයින් කරන්න ඕනේ ,  රජයමොන  ක්‍රියා මාර්ගද ගන්න ඕනේ වගේ දේට මේ දත්ත ඉතා වැදගත් .  ඇමෙරිකාවේ වෙරළවල් වල වැඩියෙන්ම එකතු වෙන්නේ සිගරට් බට් කියල දැන ගන්න ලැබුන . 


මේ දැන ගත්ත තව කරුණු කිහිපයක්.
විසි කරන වීදුරු බෝතලයක් දිරාපත් වෙන්න (decompose) ඒ කියන්නේ නැවත වැලි බවට පත්වෙන්න අවුරුදු මිලියනයක් විතර යනවා .   ප්ලාස්ටික් බෝතලයක්  (primarily made of PET polyethylene terephthalate) අවුරුද 450 යනව .  එතකොට පොලිතීන් බෑග් හරි කඩවල් වල දෙන බෑග් අවුරුද 20 සිට 1000 දක්වා යනව දිරාපත් වෙන්න .  ළදරුවන් ගේ නැපි එකක් දිරාපත් වෙන්න අවුරුදු 300-500 අතර යනවා .  ඇලුමිනියම් කෑන් එකකට අවුරුදු 80-200 තේ අතර කාලයක් .  අඩුම කාලය සිගරට් ෆිල්ටරයක් ,  අවුරුදු දහයක් විතර .  ප්‍රශ්නේ ඒක නෙමේ . අපි එකතු කරන මේ අපද්‍රව්‍ය නිසා මැරෙන මුහුදු ජීවින් ගණන් අති විශාලයි .  ඒ වගේම විශ්වයේ ඇති තරු ගණනට වඩා මුහුදු වල තියෙන ඉතා කුඩා මයික්‍රෝ සහ  නැනෝ ප්ලාස්ටික්  ප්‍රමානය වැඩියි . 

හිතා ගන්න පුලුවන්ද අප කරන විනාශය . 

ඉතින් අපි මිටර 200 ක වපසරියක් සුද්ධ කලේ .  කිලෝ 14 ක අපද්‍රව්‍ය ඒ ටිකේ තිබුන . 

එදා දවස හොඳ  දවසක් .  ලෝකයට සුළුවෙන් හරි යමක් කරන්න පුළුවන්  වෙච්ච එක . 
  

-කොළඹ ගමයා 2025-05-11

Thursday, 1 May 2025

නෝර්ත්වීල්ඩ් කුඩා දුම්රිය මාර්ගයේ මගේ ස්වේච්ඡා සේවය සහ ශ්‍රී ලාංකික සම්බන්ධයක්

 නෝර්ත්වීල්ඩ් කුඩා දුම්රිය මාර්ගයේ මගේ ස්වේච්ඡා සේවය සහ ශ්‍රී ලාංකික සම්බන්ධයක්:



මේ වසරේ, මම මගේ ස්වේච්ඡා සේවය සඳහා යම් කාලයක් කැප කිරීමට තීරණය කළා - එය මා නිතරම කිරීමට උත්සාහ කරන දෙයක්. කාලෙකට ඉහත ළමා කාලයේ ළමා සාහිත්‍ය  හවුල කියා සංවිධානයක හිටිය .  ඉන් පසුවත බාලදක්ෂ ව්‍යාපාරයේත් වෙනත් සමාජීය වැඩ කටයුතු වලත් හිටිය . බ්ලොග් සම්මාන කළා .  විශ්ව විද්‍යාලයේ සමිති සමාගම් කිහිපයක හිටිය .   ළමා පුණ්‍යායතන සඳහා හෝ මගේ බ්ලොග් ලේඛන හරහා වේවා මෙවැනි දේ කිරීමට මම උනන්දුයි .  හාර්ලෝ ගාර්ඩ්න් සෙන්ටර් (Harlow Garden Centre) භූමියේ පිහිටි සැබවින්ම ලස්සන්  ව්‍යාපෘතියක් වන නෝර්ත්වීල්ඩ් සහ දිස්ත්‍රික් කුඩා දුම්රිය මාර්ගය (Northweald & District Miniature Railway) වෙනුවෙන් කාලය  වැය කරන්න හිතුව . 

 මගේ කාර්යාලයේ සේවය කරන ස්ටීවන් (Steven)  ඔහුගේ පවුල සතුව කුඩා එන්ජිමක් ඇති බවත් එය කුඩා (සෙල්ලම් )  දුම්රිය මාර්ගයක ධාවනය කරන බවත් ටීම් මිටින් එකකදී කියුව . දුම්රිය නැරඹීමට සහ දුම්රිය ගමන්වල යෙදීමට මා තුළ ඇති දැඩි ඇල්ම ගැන දන්නා ඔහු, ස්වේච්ඡා සේවකයෙකු ලෙස ඔහු හා එක්වන ලෙස මට යෝජනා කළා. 
දුම්රිය ගැන කිව්වහම ඒ දවස් වල කොළඹ සිට වෙරළබඩ මාර්ගයේ නිතර යනවා පවසෙට් වල .  ඒක මරු මුහුදු හුලන් වැඩි වැඩි යන ගමන .  ඊළඟට  බදුල්ලේ ඉන්දන ඔහිය ,  ඇල්ල , බණ්ඩාරවෙල , දෙමෝදර පහු කර එන ගමන .  කොළඹ නුවර ගමන.  ඒවා යේ සුන්දර කම නිසාම මම ලමයිවත් අරන් ගියා ගමනක් දෙකක් .  

මුලදී, මම ගියේ ඔහුට සංඥා මාර්ග කිහිපයක් සකස් කිරීමට උදව් කිරීමට පමණයි. නමුත් එහි ඇති වාතාවරණය සහ කණ්ඩායමේ කැපවීම ට මමත් ආකර්ෂණය වුන . ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාවය දුටු නිස  කැපවීමක් කරන්න තීරණය කළා මේ අවුරුද්දේ. පහල තියෙන්නේ මමයි ස්ටිවනුයි එකතු වෙලා හදපු සිග්නල් වයර් යන කොටස . 



මෙම දුම්රිය මාර්ගය අඟල් 7.25 ක පළලකින් (7.25-inch gauge) යුතු ආකර්ශනීය කුඩා සැකැස්මක්. එය කළමනාකරණය කරනු ලබන්නේ රාජකාරි කළමනාකරු (Duty Manager) වන නේදන් ජෙන්කින්ස් (Nathan Jenkins) සහ ඔහුගේ සීයා විසින් වන අතර, ඔවුන් ධාවන පථයේ ගමන් කරන දුම්රිය එන්ජින් කිහිපයක හිමිකරුවන් ද වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එය සැබෑ ප්‍රජා උත්සාහයක් වීමයි. ස්ටීවන්ගේ පියා වන නිකී (Nick) ඇතුළු බොහෝ ස්වේච්ඡා සේවකයන් සතුව ඔවුන් එහි ධාවනය කරන ඔවුන්ගේම දුම්රිය එන්ජින් තිබෙනවා. කුඩා දුම්රිය මාර්ග කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ඕනෑම කෙනෙකුට එය අපූරු විනෝදාංශයක්! (ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මෙම දුම්රිය මාර්ගයේ පොහොසත් ඉතිහාසය ගැන වැඩිදුර කියවිය හැකිය: දුම්රිය වෙබ් අඩවියට සබැඳිය මෙතැනින්).

සති කිහිපයකට පෙර, මගේ ශ්‍රී ලංකා සම්බන්ධය දන්නා කෙනෙක්, ඔවුන් සතුව "ශ්‍රී ලාංකික" දුම්රිය එන්ජිමක් ඇති බව සඳහන් කළා. මම ඒ අන්වර්ථ නාමය ලැබීමට හේතුව ඇසූ විට, පිළිතුර තරමක් අපැහැදිලි වුණා: "ආහ්, සමහරවිට ඒක පාට පාට නිසා වෙන්න ඇති?". කුතුහලය දනවන සුළු වුවත්, මම ඒ ගැන වැඩිදුර සිතුවේ නැහැ.





ඉන්පසු, සති කිහිපයකට පෙර, මම මාර්ගයේ අනෙක් කෙළවරේ ඇති කරකැවෙන වේදිකාව (turntable) ක්‍රියාත්මක කිරීමට උදව් කරමින් සිටියා. මම එන්ජින් මාරු කිරීම සහ කපලින් සිදු කරනු ලැබුවා .  එදා පුංචි ළමයි එන සහ පවුල් එන දිනයක් . ෆිල් (Phil) ඔහුගේ M7 දුම්රිය එන්ජිම පදවාගෙන එමින් සිටියා. එය ළඟා වෙත්ම, මම ශීලාට (Sheila - ස්ටීවන්ගේ මව) මෙසේ කීවා, "ඒ එන්ජිම ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන සමහර ඩීසල් එන්ජින් වගේමයි".


ඇගේ පිළිතුර මාව මොහොතකට ස්ටම්ප් කළා: "ඕහ්, ඒක තමයි ශ්‍රී ලාංකික එක! M7. මවුන්ට් ලැවීනියා 7 (Mount Lavinia 7)." ඇය කාරුණිකව මට නම උච්චාරණය කර පෙන්වූවා: ලැ-වී-නි-ආ (L-A-V-I-N-I-A).

ඒ කුඩා එන්ජිම මා දෙසට සෙමින් එනවා දැකීම, එහි නාමයේ මූලය දැනගත් පසු, ඇත්තෙන්ම පුදුම සහගත වුණා. මම  ගල්කිස්ස (Mount Lavinia) කියන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ අසල පිහිටි, ඓතිහාසික හෝටලයක  ප්‍රසිද්ධ සුන්දර වෙරළබඩ නගරය කියා ඔවුන්ට කීවා.  මම එම බැඳෙන්නට හේතුව වූ පෘතුගීසි - සිංහල මිශ්‍ර විවාහයකින් ඉපදුනු සුන්දර නර්තන ශිල්පිනියක් වූ ලැවීනියා සහ ඇයට ආදරය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු පිළිබඳ ආදරණීය, ඓතිහාසිකව විවාදාත්මක කතාවද සඳහන් කළා. (පසුව සොයද්දී  ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ 'ලැවීනියාගේ අභිරහස' (The mystery of Lovinia)  නමින් පොතක් පල කර ඇති බව දුටුවා .  එය ලියා ඇත්තේ රොබට් ග්‍රිග්සන් විසින් .  ලොවිනියා නමින් සිංහල පොතක්ද තිබෙනවා. ).

හාර්ලෝහි මගේ ස්වේච්ඡා සේවය සහ මේ  ශ්‍රී ලාංකික උරුමය අතර අනපේක්ෂිත, පෞද්ගලික සම්බන්ධය සොයා ගැනීම, කසියම් වින්දනීය තලයක් එක් කර තිබෙනවා. එය වඩාත්ම අනපේක්ෂිත ස්ථානවලදී පවා සම්බන්ධතා සොයාගත හැකි බවට මතක් කිරීමක්!





පොඩි වීඩියෝව :  

M 7 ගැන විකිපෙඩිය සටහනක් : 
Class M7 is a type of diesel-electric locomotive built for Sri Lanka Railways by Brush Traction, UK, and imported in 1981. This locomotive has the shortest length, least power and least weight compared to other diesel locomotives of Sri Lanka.
Three locomotives (803, 813, 814) were painted in a special color scheme and later was painted in normal livery.

In 1999 M7 locomotive No. 803 met with an accident and was seriously damaged and condemned.
This locomotive was introduced as a shunter by the manufacturer, Brush Traction. In Sri Lanka, these are mostly used in short passenger services. M7s are not permitted on the Main Line because of the low power and lack of dynamic braking but it can be run on all the other of the railway lines in Sri Lanka including the Kelani Valley Line.

මේ තිබෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පලවූ පොත ගැන ලිපියේ අනුවාදයක් : 



වර්ෂය 1805 යි, ලංකා කිරීටයේ යටත් විජිතයේ නව ආණ්ඩුකාරවරයා සිය තනතුර භාර ගැනීම සඳහා රටට පැමිණ ඇත. උඩරට ප්‍රදේශයේ උඩරට යුද්ධය නොනවත්වාම ඇවිලෙමින් පවතින අතර, දේශීය අර්ධ-සිංහල, අර්ධ-පෘතුගීසි සම්භවයක් ඇති රූමතියක වන ලවීනියා (Lovinia), මෙම සිදුවීම් ඇගේ වැඩෙමින් පවතින ජීවිතයට බලපාන ආකාරය අත්විඳියි.

වසර දෙසීයකට පමණ පෙර යටත් විජිත ලංකාවට ඔබව රැගෙන ගොස්, ආදරය, කාමය සහ කුමන්ත්‍රණ මැදින් මඟ පෙන්වන ගමනක් ගැන සිතන්න. කතුවර රොඩ්රික් ග්‍රිග්සන් (Roderic Grigson) ඔහුගේ සිව්වන නවකතාව වන “ආණ්ඩුකාරවරයාගේ පෙම්වතිය” (The Governor’s Lover) තුළ, සිය හැඟීම් දනවන විස්තර මගින් සාක්ෂාත් කරගන්නේ හරියටම එයයි.

ග්‍රිග්සන් මෙහිදී පවසන්නේ, සිය පියාගේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තන ශිල්පිනිය වන ලවීනියා සහ අලුතින් පැමිණි ආණ්ඩුකාර ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (Sir Thomas Maitland) අතර ගොඩනැගෙන සබඳතාව පිළිබඳ කතාවයි. එය ඇගේත්, ඇය බෙහෙවින් ආදරය කරන ඇගේ පියාගේත් පවුලේත් දෛවය වෙනස් කිරීමට බලය ඇති සබඳතාවකි. ඇය එකිනෙකට බෙහෙවින් වෙනස් ජීවිත දෙකක් අතර සිරවී සිටින අතර, ඇගේ හදවතට සවන් දිය යුතුද නැතහොත් බුද්ධියට අනුව ක්‍රියා කළ යුතුද යන්න තෝරාගත යුතුය.

විවිධ සංස්කෘතීන් වර්ධනය වී දියුණු වූ ආකාරය තේරුම් ගැනීමට නම්, ඉතිහාසය විසින් සපයන කතාන්දර ජීවමානව තබාගත යුතුය. ලවීනියාගේත්, ඉතිහාසයේ මෙම කාල වකවානුවේ සහ ස්ථානයේත් අලංකාරය, මායාව සහ අභිරහස තුළ මම ඉක්මනින්ම අතරමං වීමි. පළමු පරිච්ඡේදය අවසන් වන විට, ඇගේ ගුප්ත බවට ආකර්ෂණය වී, ඇගේ කතාව - අතීතය, වර්තමානය සහ අනාගතය - ගැන තවදුරටත් දැන ගැනීමේ ආශාවෙන් ඉතිරි වූ මට, පොත බිම තැබීමට නොහැකි විය.

ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට මෙම කතාව කෙතරම් වැදගත් ද යත්, ඔවුන්ගේ රහස්‍ය සම්බන්ධය පැවති ගල්කිස්ස නගරය, ඇයට ගෞරවයක් ලෙස මවුන්ට් ලැවීනියා (Mount Lavinia) ලෙස නැවත නම් කරන ලදී.

ආණ්ඩුකාරවරයාගේ ගම්බද නිවහන ලෙස ඉදිකරන ලද මන්දිරය, ආසියාවේ පැරණිතම හෝටල්වලින් එකක් වන සුප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හෝටලය (Mount Lavinia Hotel) බවට පත් විය.

කෙසේ වෙතත්, ඉතිහාසය අපට මෙම සිත් ඇදගන්නා මූලික කතාන්දරය ලබා දුන්නද, එය අපට ඉතිරි කරන්නේ ඉතා ස්වල්පයකි. මෙය තවත් එක් ආදර කතාවක්ද, නැතහොත් මෙම කෙටි ප්‍රේම සම්බන්ධයට වඩා බොහෝ දේ මෙහි තිබුණේද?

මනාව පර්යේෂණය කරන ලද මෙම නවකතාව, ඓතිහාසික කරුණු මන්ත්‍රයක් සේ බැඳ තබන ප්‍රබන්ධ සමඟ ඒකාබද්ධ කරන අතර, ඔබට සැබවින්ම පිටුවෙන් පිටුව ගිලගනිමින් කියවිය හැකි කෘතියක් නිර්මාණය කරයි. එය 1800 ගණන්වල මුල් භාගයේ ලංකාවේ ජීවිතය තුළ පාඨකයා ගිල්වන අතර, යුරෝපීය ආක්‍රමණිකයන්ට තම රට අහිමි වූ දේශීය ජනතාව අතර පැවති දරිද්‍රතාවය, කෝපය සහ අමනාපය පසුබිම් කරගනිමින්, පාලක බ්‍රිතාන්‍ය පන්තිය භුක්ති විඳි අතිවිශිෂ්ට යටත් විජිත ජීවන රටාව පිළිබඳ විචිත්‍රවත් චිත්‍රයක් මවයි.

මෙහි අදාළ ප්‍රදේශ කොතරම් මැනවින් ඉදිරිපත් කර ඇත්ද යත්, එමගින් රට දෙස නව ආකාරයකින් බැලීමටත්, මෙම අසල්වැසි ප්‍රදේශවල ඓතිහාසික වැදගත්කම අගය කිරීමටත් පාඨකයාට බල කරයි.

ප්‍රධාන චරිත දෙක වටා සිටින, ඒ හා සමානවම කුතුහලය දනවන, එකිනෙකා කතාවකට වටිනා චරිත සමූහයකි. ඔවුන් ගැඹුර සහ වයනය සැපයීමට උපකාරී වන අතර, එම කාල වකවානුවේ ජීවිතය පිළිබඳ සැබෑ ඇගයීමක් පාඨකයාට ලබා දෙයි. කතුවරයා ලංකාවේ හැදී වැඩුණු අත්දැකීම් සහ රට පිළිබඳ ඔහුගේ දැනුම, කතාවේ සිදුවීම් මැදටම පාඨකයා රැගෙන යාමට ඔහුට ඉඩ සලසා දී ඇත. ඔහුගේ මෙම නවකතාව සහ පෙර සියලුම නවකතා හරහා ගෙන යන, වෙහෙසකින් තොර ලිවීමේ ශෛලිය, එහි අනපේක්ෂිත හැරවුම් සහ පෙරළි තුළින් උද්වේගකර හැඟීමක් ඇති කරයි.

වඩාත් වැදගත් ලෙස, චරිතවල ජීවිත හරහා, පොත අප සැමට හමුවන අභ්‍යන්තර ගැටුම සහ විශ්වාසය ඉදිරිපත් කරන අතර, "හුදෙක් ආදර කතාවක්" තරම් කිසිවක් සරල නොවන බව අපට පෙන්වා දෙයි.

කොළඹ ගමයා 01/05/2025

Friday, 25 April 2025

සත පහකට ගණන් ගන්න එපා

“The desire for more positive experience is itself a negative experience. And, paradoxically, the acceptance of one’s negative experience is itself a positive experience. (p.9)”
― Mark Manson, The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive

මේක තිබ්බේ මම කාලෙකට ඉස්සර කියවපු පොතක .  මුල හරියෙම වගේ නිසා මේ  ක්වෝට් එක මතක හිටිය. මේකේ තේරුම තමා   "වඩා ධනාත්මක අත්දැකීම් ලැබීමේ ආශාව, කියන්නේ සෘණාත්මක අත්දැකීමක්. ඒ වගේම එහි විරුද්ධභ්‍යාසය , තම සෘණාත්මක අත්දැකීම පිළිගැනීමම ධනාත්මක අත්දැකීමක්ය යන්න .  (පිටුව 9) - පොත ලියල තියන්නේ මාක් මැන්සන්   පොතේ නම - බුද්ධිමත් විධිහට ගණන් ගන්නේ නැතිව ඉන්නේ කොහොමද වගේ එකක්. 

දැන් මේකේ තේරුම බලමු ආදී කාලේ අපේ කට්ටිය ගිය සිරීපාදෙ වන්දනාවෙන් .  අපට ඉස්සර කියල දෙනවා බෞද්ධයෝ තම ඉඩ  කඩම්  හෙම ලියල දීල තමා යන්නේ කියල (අන්තිම කැමැත්ත).  හිතා  ගන්න පුළුවන් අර වැටවල් නැති හරියේ පය ලිස්සුවොත් හෙම වෙන දේ .  දැන් මේක සෘණාත්මක අත්දැකීම් සමූහයක් හරහා අන්තිමට උඩට නැගල වැඳලා ,  ඝන්ටාරය ගහල,  ඉර සේවය බලල ධනාත්මක අත්දැකීම් ටිකක් ගන්නවා නේද . ඒකනේ වැදගත්.

ඉස්සර යුරෝපයේ ආගමික ස්ථාන  වලට යන පිල්ග්‍රිමේජ් හෙවත් වන්දනා ගමනුත් ඒ වගේම  අමාරු ,  සමහර විට බිහිසුණු ඒවා .  නමුත් මිනිස්සු ගණන් ගත්තේ ඒ දෙඅල් .  මක්කමට හජි වන්දනාවේ  යන නඩ  වල කවුරුහරි හැම  අවුරුද්දෙම වගේ තෙරපීම නිසා, අධික රස්නය නිසා  මැරෙනවා .  ගිය අවුරුද්දේ නමසීයකට  වැඩිය පිරිසක්  මැරිලා තිබෙනවා.      ඒ සෘණාත්මක අත්දැකීම් තියෙද්දී හැම අවුරුද්දෙම බැතිමතුන් යනවා වන්දනාවේ.  අවසානයේ මක්කම වැඳලා ලැබෙන ධනාත්මක අත්දැකීම් වඩා හොඳ  යයි බැතිමතුන් කල්පනා කරන නිසා.

අපි 2023 ලංකාවට ආපු වෙලේ නුවර පෙරහැර බලන්න ගියා .  දුවල දෙන්නට ඒ අත්දැකීම දෙන්න ඕනේ නිසා .  මුලින් හොයල බැලුවහම කඩ,  සාප්පු  ඉස්සරහ පුටු දාල විකුණනවා එකක් රුපියල් 15000ක්. අම්මටයි ,  බිරිඳටයි දුවල දෙන්නටයි බලන්න කීවට එයාල කැමති නැහැ මම නැතිව . ඒ වගේම  වැසිකිළි පහසුකම් වලට හෙම ඈතට යන්න ඕනේ .  අනික ඒවා පිරිසිදුයි කියල කියන්නත් අමාරුයි.  හොඳම හෝටලයක ඉඩ තිබුන පුටුවක් රුපියල්  20000 ගානේ .  හැබැයි අවස්ථා දෙකේදීම පෙරහැර පටන් ගන්න පැය දෙකකට කලින්වත් ඉන්න ඕනේ .  තැන දාල ගියොත් වෙන කෙනෙක් ඉඳගන්න ඉඩ තියනවා .  (ඩබල් බුකින් ) . ඔය සෘණාත්මක අත්දැකීම් වලට මම කැමති නැහැ .  අනික මගේ වයසක අම්මත් ඉන්නව .  යාළුවෙක් හොඳ  ඔත්තුවක් දුන්න  පෙරහැර යන පාරේම සංචාරක  හෝටලයක උඩ  රෙටුරන්ට් එකේ ඉඳන්  බලන්න  පුළුවන්.  මැනේජර් මම ලන්ඩන් ඉඳන් කියල දැනගෙන පහල තට්ටුවේ පාර පැත්තේ කාමර දෙකක් වැඩි ගානට ඔෆර් එකක් දුන්න .  මම කාමර තුනක්ම  ගත්ත .  ගාණ අහන්න එපා .   තුන් ගුණයක් විතර වැඩියි .  ඒක සෘණාත්මක වුනාට පෙරහැර නිදහසේ ඔක්කොටම  බලන්න පුළුවන් ධනාත්මක  අත්දැකීමක් නේ ලැබෙන්නේ.  ඉතින් බැලුව හොඳට කකා බිබී.  හැමෝම සතුටින් .  වහින්න ගත්ත .  දැන් අම්මට , බිරිඳට හෙම  දුකයි .  පල්ලහ මිනිස්සු තෙමෙනවා .  ඒක සෘණාත්මක අත්දැකීමක් වුනාට එයාලට ,  මටනම් තේරුනේ ජනතාව වැස්ස බලාපොරොත්තුවෙන් ඇවිත් තියෙන වග.  ටිකක්  රෑ වෙනකොට  ළමයි හෝටලෙන් එලියට ඇවිත් පාරේම ඉඳන් බැලුව මොකද වැස්සට ගොඩක් අය එහෙ මෙහෙ වෙච්චි නිසා. 



මම අහල බැලුව ජනතාවට තිබෙන වැසිකිලි පහසුකම්  ගැන හෙම. ඔය දැන් යන කතාවම තමයි. ජංගම ඒවා තිබ්බට මදි .  ඒවා ඈතින් ඈතට තියෙන්නේ. පිරිමි නම් බිත්ති අයිනට යනවා .  සමහරු  කඩ පිටිපස්සේ ,  බෑග් වල . සමහර වෙලාවට කඩවල් වල අපිරිසිදු වැසිකිලි උතුරා යන වෙලාවලුත් තිබෙනවා .  නමුත් මෙතන ගෙවපු සෙට් එකක් ඉන්න නිසා, තමන්ගේ කඩ පිල ඉස්සරහ තැන විකුණන්න පුළුවන් නිසා  කවුරුත් වැඩි  සද්දයක් කරන්නේ නැහැ. ලාභයක් තියෙනව නේ.  උදේ අපි දැක්ක හැම තැනම කුණු .  නගර සභාවෙන් ඇවිත් පිරිසිදු කරනවාත් දැක්ක. සුළු ප්‍රශ්න   වගයක් ආව , හෝටලෙන් බෑග් අරන එනකොට පුටු සහ පදික වේදිකාව විකුණන චණ්ඩින් ගෙන් සහ වෑන් එක නවතන්න දුන්නේ නැති පොලිසියෙන් .  සත පහකට ගණන් ගත්තේ නැහැ දෙගොල්ලවම. අපේ වැඩේ අපි කළා.  මොකද අපිට හොඳ ධනාත්මක අත්දැකීමක් ලැබිල තිබ්බේ . 

ඔය ඉන්දියාවේ යනකොට බිහාර් ප්‍රාන්තයට බස් එකෙන් යන හරියක්  තියනව. පැය ගාණක් .  අතරමග නවත්වනවා පොඩි ගමක. වැසිකිලි හෙම නැහැ. ඒ මිනිස්සුත් කුඹුරට තමා යන්නේ .  අහල පහල  කැලේට යන්න කියනව බවලත්තු වෙනම .  පිරිමි වෙනම.  ඔය සීන් එක අපට මුලින්ම කියල තිබ්බ නිසා එදා උදේට යන්තන් කාල ,  දවල්ට  අපි නොකා හිටිය .  අම්මයි මමයි ගමන් ගියේ . දවල්   කෑම දෙක  නවත්වපු තැන හිඟන්නන්ට දුන්න .  සීන් එක නොදැන හිටි අය බැන බැන වතුර බෝතල් අරන් දොට්ට පිලට ගියා. අපි හෝටලේට යනකන් අල්ලන් හිටිය . වන්දනා ගමන් යනකොට පරිස්සමින් යන්න ඕනේ .    

මම තරමක් නිරගාමික අයෙක් නිසා දළඳා වන්දනාවක් ගැන ලොකු භක්තියක් නැහැ .  නමුත් රජයක් පත්වෙන්නේ කොටසකට පමණක් නෙමෙයි  නේ .  මඩු  වන්දනාව ,  කතරගම වන්දනාව, නල්ලුර් කෝවිල් වන්දනාව වගේ ඒකත් එකක්. රටේ බහුතරයක් ජනතාව තමන් හඳුන්වා ගන්නේ බෞද්ධ කියල .  ඒකට ඉඩ ප්‍රස්ථාවක් සලසන එක ගැන වැරැද්දක් කියන්න බැහැ. වෙනත් විවේචනත් තියනව .  බට් හූ ගිව්ස් අ එෆ්***.   

දැන් බෞද්ධයෝ එන්නේ ලොකු භක්තියකින් ශ්‍රී දළඳාව වැඳ පුදා ගන්න සහ ඒ ලැබෙන පින  කියන ධනාත්මක අත්දැකීමත් ලබා ගන්න .  නමුත් ඒක ලබාගන්න  තිබෙන ආශාව නිසා  කරන්න ඕන දේ  ඇත්තටම සෘණාත්මක අත්දැකීම් නේ .  මිනිස්සු ඒක දැනගෙන නේ එන්නේ .  පොඩි බලාපොරොත්තුවක් තියෙන්න ඇති ආණ්ඩුව අලුත් නිසා හොඳින් බලාගනී කියල .  නමුත් එහෙම හිතපු අය හිතුවට වඩා වැඩි වීමෙන් හැමෝටම සෘණාත්මක බලාපොරොත්තු ලැබුනේ , ලැබෙන්නේ .  

හැබැයි අවුරුදු දෙක තුනක් කතා කරන්න අත්දැකීම් ටිකක් ලැබිල තියෙනවා .  ඔය සෘණාත්මක අත්දැකීම් විඳගෙන ,  බුදු දහමේ කියනව වගේ දුක්ඛ කියන එක හොඳට විඳගෙන අන්තිමට දළඳාව වැඳලා ධනාත්මක  අත්දැකීමක් ලබා ගන්නවා .  
අර කලින් ගත්ත සෘණාත්මක අත්දැකීම් ටිකම ධනාත්මක වෙනවා නේද . 

මමනම් කියන්නේ ෆේස්බුක් බබාල මොන විවේචනේ කලත් පැමිණෙන දුක පැණි රසයි කියල ඕන මගුලක් කර ගන්න .  යන්න ඕනේ නම් යන්න නුවර උන්ට බම්බු ගහ ගන්න කියල .  උන් ඕනෙනම් ටිකක් අඬයි.  ඔය නෙගටිව් අත්දැකීම් ඒ ගොල්ලන්ට  වගේම ඕගොල්ලන්ටත් අමතක වෙයි කාලයක් යනකොට . 

අනික ආණ්ඩුවට බනින්න විධිහක් නැතිව හිටි අපේ යාළුවන්ට ආණ්ඩුව පතුරු ගහන්න හම්බවෙච්ච අවස්ථාවත් 
හොඳ ධනාත්මක අත්දැකීමක් නේ එයාලට .  අඬ අඬා නේ හිටියේ .  ආණ්ඩුවට උනත් අවුලක් නැහැ .  මොන කරදරේ උනත් අර 'අනුර ,  අනුර ' කියා කියා වට කරගෙන කෑ  ගහන්නේ උපාසක උපාසිකා නඩයම. අනුරත් ගොඩ . 
මේ  සිරි දළඳා වන්දනාව ට විරුද්ධව , පක්ෂව  සවුන්ඩ් බයිට්  දෙන දේශපාලකයොත් ගොඩ .  ෆේස්බුක් හෑලි ලියන සෙට් එකත් ගොඩ.  මේ හෑල්ල  ලියන මාත් ගොඩ. ධනාත්මක අත්දැකීම් ගොඩක් තියෙන එකේ ....     

සත පහකට ගණන් ගන්න එපා ඔය කිසි දෙයක් . 

කොළඹ ගමයා - 26/04/2025

Tuesday, 15 April 2025

හැටට කවියක්





ඇත්තෙන්ම අද අසාමාන්‍ය ලෙස නිහඬ, 
වැසි සහිත දවසක් එන්ෆීල්ඩ් වල 
ලොක්කි  උදේම වැඩට ගිහින් 
බාලයා තවමත් නිදි 
බිරිඳ සුබ උපන්දිනයක් කියල 
උඩ තට්ටුවට ගියා   වැඩ කරන්න , 
රිමෝට් වර්කින් 
ඔෆිස්  එක ගෙදර, ගෙදර ඔෆිස් එක 

මේ  දැනෙන මෙලන්කොලිය මොකක්ද 
මගේ තාත්තා නැතිවෙද්දී   
එයාට හැට දෙකයි  මට තිස් තුනයි  
එයා ඉක්මනටම ගියා  
එච්චර 'තරුණ' වයසකදී යන්න 
පනස් ගණනක  "තරුණ" බිරිඳක් දාල 
ඒ දවස් වල මට හිතුනේ නැහැ 

මළ කෙලියයි. මට හැටයි 😀

වයසක හෝ තරුණ බවක් දැනෙන්නේ නැහැ
මගේ බකට් ලිස්ට් එකේ 
එච්චර  දෙයක් ඉතුරුත් නැහැ 
බොරු කියන්නේ මොකටද 
බකට් ලිස්ට් එකක් තිබ්බෙත් නැහැ ,
ඔය ට්‍රැවල් කරන එක 
පොඩි දේවල්වලින් සතුටක් ලබන එක
බ්ලොග් ලියන එක , වාද කරන එක 

හැබැයි ඊට වඩා ගොඩක් වටිනවා  
අන්තිමට බැලුවහම, 
ළඟම ඉන්නේ  පවුලේ අය 
සහ යාළුවො තමයි 
ඒක  දන්නවා වුනත් 
ඒත්, සමහර වෙලාවට දැනෙන හුදකලා බව

මම රෑට දුරේක්ෂයෙන් තරු බලන එක 
නැවැත්තුවා නොවැ, සමහර විට අපි මේ විශ්වයේ 
තනිවෙලා වගේ නැත්ද මේ තරු ගොඩේ 
ඒවා තියෙන්නෙත් හෙන ඈතින් නේ 

සමාජ මාධ්‍ය නැත්නම් ඊටත් වඩා නරක්  වෙයිද මන්ද 
සමහරු බැන්නට ඔයා ෆෙස්බුකේ එකේමයි 
නැත්නම් ෆෝන් එකේ එල්ලිලා කියල කාට හරි
 
මම නම් එහෙමත්ම නැති වුනත්  
අද ඉඳන් නම්  සෙමින් යන්න ඕනේ 
හොඳම ක්‍රමය ඒක තමා 
 
ඇත්තටම වෙන  මොකුත් නෙවෙයි,
කිසිම දෙයක් නෑ  මගේ හිතේ 
කිසි දෙයක් 

අන්න  වැස්ස නැවතුණා !!!!!!!!!!!!!

කොළඹ ගමයා - 2025/04/15 උදෑසන දීය. පින්තූරය: හිතන්නවත් බැරි තැනක, මල් පිපුණු පැළයක් - අයිස්ලන්තයේ වික් නගරය, ගිනිකඳු අළු අසල. (අපි 2023 දී අයිස්ලන්ත සංචාරයේ ගිය වෙලාවේ මම ඒක ගත්තේ)

මගේ අදහසක් තියනවා අද ඉඳන් මේ බ්ලොග් එකේ දේශපාලනය නොලියන්න .  තව හැට  හුටහමාරක් හදපු බ්ලොග් වගයක් තියනව .  එකක් අළු දූලි පිහිදල ර ගන්නවා දේශපාලන කතා ලියන්න .  මේක - විද්‍යාවයි , බ්‍රයන් ගේ  කතාවටයි විතරක් .  





Thursday, 10 April 2025

රාණි නොවන රාණි සමග





'රාණි' චිත්‍රපටය නැරැඹීමට ගියේ ඒ කාලයේ යූඇන්පී පවුලක හැදී වැඩුණු පසුව ම දන්නා ප්‍රගතිශීලී ලෙස සිතන පතන කෙනෙකු සමගය .  චිත්‍රපටය නරඹා එද්දී ඒ ගැන අදහස විමසුවෙමි .  "ඇත්තටම හොඳයි. මම නොදැන හිටිය දෙයක් " . මට දැනුනේ ඉතා කලාත්මක චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඇතිවන  හෘදයංගම හැඟීමකි .  මම ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ඉන්පසු හඬා වැළපෙන්නට නොවේ .  නමුත් මට පෙනුනේ බොහෝ අය චිත්‍රපටය නරඹා ඇත්තේ පූර්ව විනිශ්චයකින් බවය.  

 පසුගිය වසරේ දිනෙක මම ගාමිණී මුතුකුමාරණ සොයුරාගේ ඇරයුමින් වාර්තා චිත්‍රපටයක් නැරඹීමට ගියෙමි .  එය අධ්‍යක්ෂණය කර තිබුනේ ආචාර්ය උදාන් ප්‍රනාන්දුය .  නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් මිදීමේ නිදහස් සටන වෙනුවෙන් කරන ලද ඒ වාර්තා චිත්‍රපටය නැරඹීමට ඒ රටේ ඇමති කෙනෙකු හෝ  හමුදා ලොක්කෙකු පැමිණි අතර එය පෙන්වා  අවසානයේ  ෆ්‍රෙඩි ගමගේ සහෝදරයා ට,  නැගෙනහිර ටිමෝරයේ නිදහස උදෙසා වෙහෙසෙමින්,   ශ්‍රී ලංකාව තුලද  බොහෝ උද්ඝෝෂණ ව්‍යාපාර  මෙහෙයවීම වෙනුවෙන් සම්මානයක්ද  පිරී නමන  ලදී. චිත්‍රපටයේ ඇත්තේ උදාන් විසින් නැගෙනහිර ටිමෝරයේ පදිංචි  නොයෙකුත්  ශ්‍රී ලාංකිකයන් / සිංහලයන් සමග සම්මුඛ සාකච්චා කරන අයුරු සහ පොදුවේ ඔවුන්ගේ එහි ජීවිතය ගැන කරන කථනයකි.   ඔවුන් සියල්ලෝම පාහේ එහි පැමිණ ඇත්තේ "නිකන්" ජොලියටය. ඔවුන් කියූ පරිදි, ඔවුන්ට  ලංකාවේ කිසිම  ප්‍රශ්නයක් නැතිව හොඳින් දිවි ගෙවන්නට පුළුවන්කම තිබියදීත්,   ගරිල්ලා යුද්ධයක් තිබෙන ආර්ථිකය ගාටමින් ඇදෙන ටිමෝරයට පැමිණ  පදිංචි වී බිස්නස්  එකක් කරගෙන ආවාහ විවාහ  වී ජීවත් වෙති . 

මේ මොන විකාර චිත්‍රපටයක් දැයි මම ගාමිණී ට කීවෙමි.  නමුත් එක ප්‍රේක්ෂිකාවක් චිත්‍රපටය අවසානයේ පැවසුවේ "කවුරු මොනවා කීවත් අපේ රාජපක්ෂ ජනාධිපති තුමා යුද්ධය අවසන් කර රටට සාමය ගෙනා බවකි".  ඇය එසේ කීවේ  ඇයිදැයි මම කල්පනා කෙරුවෙමි. චිත්‍රපටයේ කිසිවෙකු එවැන්නක් ගැන , ලංකාවේ ජන වාර්ගික යුද්ධයක් තිබූ බවක් වත් සඳහන් කරනු මට මතක නැත.
    
පසුගිය දවසක ජනාධිපතිවරණයට පෙර  මට හදිසියේම ආචාර්ය උදාන් ප්‍රනාන්දු හා මහාචාර්ය නිර්මාල් දේවසිරි අතර පොඩි ෆේස්බුක් සංවාදයක්  දුටුවෙමි.  උදාන් ප්‍රනාන්දු, නිර්මාල්  දේවසිරි ජාතික ජන බලවේගයට සහය දීම ගැන ප්‍රශ්නකරන්නේ  ජවිපෙ එම යුදයට මුලිකව රාජපක්ෂලාට දුන් සහයෝගය සිහිපත්  කරමිනි.  හදිසියේම මට වැටහුනේ උදාන් චිත්‍රපටියේ කලේ අලියා කාමරයේ සිටිද්දී  බිත්ති ගැන කතා කල බවය.  එයින් ඔහු සිංහලයන්ගේ දෙබිඩි පිළිවෙත උලුප්පා පෙන්වුයේය. අර කාන්තාව අරවැනි ප්‍රශ්නයක් ඇසුවේද එහෙයිනි. මට මුලින් ඇතිවූ කෝපය වෙනුවට උදාන් ගේ තර්කොව්ස්කි නිමේෂය ගැන පැහැදීමක් ඇතිවිය.  

රාණි චිත්‍රපටය පිලිබඳ විචාර හා විවේචන බොහොමයක් කියවූයෙමි. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් Stalker පිළිබඳ අමුතුම අන්දමේ විකාර විචාරයක් කල මලින්ත විතානගේ ගේ සිට (එයට පිළිතුරක් මේ බ්ලොග් ලිපියේ ලියා ඇත තර්කොව්ස්කි ගේ ස්ටෝකර් ) ලංකා ඊනිව්ස් සිනමා විචාරක අජිත් ගලප්පත්ති දක්වා අමුතුම අන්දමේ පුරුෂෝත්තම වාදී සිනමා විචාරයන් කර ඇත .  

ගලප්පත්ති හඳගම ගැන  ලියන්නේ මෙසේය .  -  " ලයනල් වෙන්ඩ්ට් හෙළුවැල්ලෙන් වැල්ලේ දුවවන ඔහු පැබ්ලෝ නෙරුදා ස්ත්‍රී දූෂකයකු ලෙස දක්වමින් සක්කිලි ගැහැණියක හඹා දුවවා සිය පරාම විකාරය ප්‍රදර්ශනය කළේය.ඒ සඳහා එම චරිතයට වඩා යෝධ චරිත, ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු, මංගල, මහින්ද වැනි ඇමතිවරු, රිචඩ් වැනි ලෝප්‍රකට මාධ්‍යවේදීන්, ප්‍රේමකීර්ති වැනි කවීන්, නිර්මලා වැනි බිරින්දෑවරු, රොනී වැනි පොලිස් ලොක්කන් තුට්ටු දෙකට දමා අපහාසාත්මකව නිරූපනය කරන්නට සිනමාකරුවකුට සිදුවිය හැක. -ලංකා ඊ  නිව්ස් " පැබ්ලෝ නෙරුදා විප්ලවවාදී කවියෙකු ලෙස අප ඔහුට කැමති බව සැබෑය . නමුත් නෙරුදා තමන් විසින්ම පිළිගත් දුෂණය ගැන හඳගම වැරදි කරුවෙකු වන්නේ කෙසේද ?  මෙහිදී ගලප්පත්ති ගේ පුරුෂෝත්තම වාදය මැනවින් ප්‍රදර්ශනය වේ .  

එසේම පොෂ්  අක්කලා හඬන විට ගලප්පත්ති ලේන්සුව දෙයි .  "ඇය නළලත මත තැබුවේ ස්වර්ණා තබන ස්ටිකර් පොට්ටු නොව පව්ඩර් පොට්ටුය. ඇය තම නිවසෙහි මත්පැන් තබාගෙන සිටියේ නැත. ඇය සිය මෙහෙකරුවන්ද සමග මත්පැන් පානය කළ බේබදු කාන්තාවක නොවේ."  ඒ ලියූ කාන්තාව මනෝරාණි දැන  සිටියේ එසේ විය හැකිය .  නමුත් පුතා පැහැර  ගත් රාණි නමැති මව කෙසේ ක්‍රියා කරන්නේ දැයි ඒ ලියන කාන්තාව හෝ ගලප්පත්ති දන්නේ කෙසේද?
  
මෙහි පුරුෂෝත්තමවාදී කතාව නම් විස්කි උගුරක් බොන ගැහැණිය හෝ සිගරට්ටුවක් උරණ ගැහැණිය අවඥාවේ හෙලා කතා කිරීමයි .  ඇය පටන් ගනිද්දී යල් පැන ගිය කාන්තාවක් වන්නට ඇත .  එහෙත් මව්වරුන්ගේ පෙරමුණකට නායකත්වය දුන්  කාන්තාවක් ඊට වඩා දැඩි අයෙකි .  ගලප්පත්තිට  මෙන්ම අනෙකුත් විචාරකයන්ට අවශ්‍ය වී ඇත්තේ  සියුමැලි ,  සුකොමල ,  ලාලිනියක වූ මනෝරාණිය.තම පුත්‍රයා රාජ්‍යයට සම්බන්ධ වුවන්  විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද්දාවූ   රාණි නොවේ .  

ලංකාවේදී මට ආචාර්ය සිසිර කුමාර බණ්ඩාරගම විසින් පරිවර්තනය කරන ලද අන්ද්‍රෙයි තර්කොව්ස්කි නම් විශිෂ්ට සිනමාකරුගේ දේශන අඩංගු පොතක් හමුවුණි .  සතුටට කරුණ නම් එහි පුර්විකාව ලියා ඇත්තේ හඳගම වීමය .  තර්කොව්ස්කි ගේ ඔහු වඩාත්ම කැමති චිත්‍රපටය "කැඩපත" බව  (රුසියන්  සෙර්කලා) කියා මෙසේ ලියයි. 
"චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙකුට, හඳුනා ගන්න ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂනයක් විය හැක්කේ ඒ රූප  රාමු එකක් පසු පස එකක් ගලාගෙන යන රිද්මය.  එය සංගීතානුකූල ගලා යමක් . " (පිටුව 15)
තවදුරටත් හඳගම මෙසේ ලියයි . "ඔහුගේ (තර්කොව්ස්කි)  චිත්‍රපට, මා කලින් සඳහන් කලාක් මෙන් එක් එක් නරඹන්නා තුල තම තමන්ගේ අත්දැකීම් හා කියවීම් වලට සාපේක්ෂව ස්වාධීනව අරුත් හා හැඟීම් මවන්නට සමත් ඒවා .  තමන් තුලම පවා ඒවා නරඹන වාරයක් පාසා වෙනත් හැඟීම් දැන්විය හැකි කෘතීන් .  චිත්‍රපට මෙන්ම චිත්‍රපට පිලිබඳ  කෙනෙකුගේ එක මොහොතක කියවීම පවා චලිතයක් . " හඳගම - පි .  16 

මා පොත  කියවූවේ ලංකාවේදී "රාණි"  බැලීමෙන් පසුවය. මට සිතෙන්නේ රාණි නිර්මාණය කරන ලද්දේද මෙලෙසම බවයි .  උදාන් ප්‍රනාන්දු ගේ වාර්තා චිත්‍රපටය මෙන්ම මෙහිද වඩාත් ඉස්මතුව පෙනෙන "කාමරයේ අලියා " හෙවත් රිචඩ් ගැන වැඩිපුර කතා කරන්නේ නැත .  සුමනා  විජේරත්න මෙන්ම තවත් එක අයෙකු ද රාණි ගේ චිත්‍රපටයේ  ඇය විස්කි බීම ගැනත්,  රාණි තවත්  කෙනෙකු සමග නාට්‍ය කළ හැටි ගැනත් ලියා තිබුණි .  ඒවා ලිවිම හොඳය .  ගලපත්ති ගේ  හා මලින්ත ගේ ප්‍රහාරද හොඳය .  ඉන් චිත්‍රපටයේ කතාව සම්පූර්ණ වෙයි . 

ඔවුන් දන්නා රාණි මෙහෙකරුවෙකුට විස්කි දී නැත .  ඒ ලියපු අයගේ උසස් සමාජ තත්වය පෙන්නුම් කරන්නට "මෙහෙකරුවා" යන්න උලුප්පා දක්වයි .  මෙහෙකරුවා  යන්න වර්තමාන සමාජයේ අනවශ්‍ය  ලෙස   කෙනෙකු පහත්  කරන්නට හා තමන් උසස් කරන්නට කරන යෙදුමකි . රාණි ගැන නොදන්නා වුවද ඈ ගැන කියවීමෙන් පසු  මට හැඟෙන්නේ රාණි යනු තමන්ට වැඩ කරන්නන් ට පහත් කර සලකන අයෙකු විය නොහැකි බවයි .  ඒ අනුව අත් උදව් කරු ,  තමන්ගේ "බට්ලර්" ට  විස්කි ටිකක් දෙන උසස්, කරුණාවන්ත කාන්තාවක් මගේ මනසේ සංකේතවත් වේ.   

    "කලාකරු යනු කව්ද යන්න පිලිබඳ තර්කොව්ස්කි වරක් මෙලෙස ප්‍රකාශ කළේය .  
-කලාකරු කියන්නේ ණය කාරයෙක්.  ඔහු නිතර උත්සාහ කරනවා තමාට ලැබී ඇති මේ දායාදය වෙනුවෙන් ඔහු විසින් ගෙවිය යුතු ණය ගෙවා දමන්න.  ඔහු දන්නවා - තමාට ලැබී තිබෙන මේ විශ්මයජනක දායාදය ලෝකයට, ලෝක වාසීන්ට දීමෙන් පමණයි ඔහුට මේ ණය ගෙවා නිම කළ හැක්කේ කියා.  ඒ නිසා,  කලාකරුවෙකුගේ විශිෂ්ඨත්වය මිනිය හැකි වන්නේ ඔහුගේ නිර්මාණ තුලින් නොවෙයි.  ඔහු ඒ නිර්මාණ එලි දැක්වීම සඳහා ගන්න උත්සාහය/වෑයම තුලින්.  ඒ නිසා කලාකරුවෙකු ගේ උසස් බව මනින මිනුම් දණ්ඩ විය යුත්තේ ඔහු කලාව නම් වූ උන්මාදයට කල කැප කිරීමයි. " පිටුව 40.  -අන්ද්‍රේයි තර්කොව්ස්කි - සිනමා දේශනා - පරිවර්තක -සිසිර කුමාර බණ්ඩාරගම  

තර්කොව්ස්කි තවත්  දේශනයක මෙසේ කියයි . "උසස් ගණයේ කල කෘතියක් කිසිවිටෙක තම ප්‍රේක්ෂකයා තුල කුමන ආකාරයක  ප්‍රතිචාරයක් ඇති කරනවාද යන්න පිළිබඳව සැළකිලිමත් වන්නේ නැහැ .  සමහර විචාරකයන් සිනමා නිර්මාණ ගැන කියන අභූත කතාමා  මවිතයට පත් කරනවා. මේ චිත්‍රපටය ජිවිතයට කිසිම සම්බන්ධයක් නැහැ .  චිත්‍රපටයේ කියන කතාව තේරුම් ගැනීමට අමාරුයි." 

කලකට ඉහත  මිය ගිය තර්කොව්ස්කි රාණි චිත්‍රපටය පිලිබඳ සමහර විචාරකයන් ගේ විචාර  ගැන අනාවැකි කියා ඇත . 

"කලා  නිර්මාණයක් තුලින් ඒ නිර්මාණයේ 'පරමාර්ථය '  නැතිනම් 'අර්ථය '  එළිදරව් නොවිය යුතුයි.  කලා  නිර්මාණයෙන්  නිර්මාණකරු අපේක්ෂා කලේ කුමක්ද යන්න ඉවත් විය යුතුයි.  වෙනත් වචන වලින් කියනවා නම් කලා නිර්මාණයේ පියවි සිහිය /ප්‍රකෘතිය ඒ නිර්මාණයෙන් ඉවත් වූ විට පමණයි, ඒ නිර්මාණයේ නියම ජිවය උපදින්නේ . " හෙලිදරව්  නොවන අර්ථය ගැන එසේ කියන  තර්කොව්ස්කි මෙසේද පවසයි.
 
"හොඳ කලා නිර්මාණයක් තුල ඇත්තේ තර්කානුකුල බව නොවෙයි .  එක එල්ලේ හඳුනා ගත නොහැකි,  අවබෝධ කර ගත නොහැකි හැඟීම් සමුදායක්.  කලාව යනු පියවිය හා මනස්කල්පිතය අතර සමතුලිතතාව සෙවීමේ ප්‍රයත්නයක් . " පිටු 68-69

මටනම් හඳගම "රාණි "  තුලින් ඒ සමතුලිතතාව හඳුනාගෙන ඇත.  ගලප්පත්ති කියන්නේ හඳගමට තමාගේ නිර්මාණය ගැන කතා කල නොහැකි බවයි .  නිර්මාණය කල පසු එය තමන්ට අයත් නොවන නිසාලු .  නිර්මාණය ඉදිරිපත් කල පසු එය අයිති ලෝකයට බව  සැබවිය . එහෙත් නිර්මාණකරුට ඒ ගැන කතා කරන්නට නොහැකිය කීම මුග්ධ කතාවකි.  තමන්ගේම නිර්මාණ විවෙච්නය කරන ග්‍රන්ථ හා නාට්‍යකරුවන් ඕනෑ තරම් සිටිති.  තර්කොව්ස්කිම තමන්ගේ චිත්‍රපට දේශනා වලදී උදාහරණයට ගනී . 
 
"සිනමාකරු ප්‍රේක්ෂකයාට වැටහෙන ආකාරයට කතා කියන්න උත්සහ කරනවා යනු ඔහු ප්‍රේක්ෂකයාගේ වුවමනා එපාකම්  සපුරාලන්න උත්සාහ කිරීමයි. ප්‍රේක්ෂකයා සතුටු කිරීමට උත්සහ කිරීමයි .  මෙය කලාකරුවෙකුගේ හෝ  කලා  නිර්මාණයක කාර්යයක් කියා මා  කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ .  එසේ සිතීම ලොකු රැවටිල්ලක් . " තර්කොව්ස්කි -  පි . 78 

 හඳගම ගේ ප්‍රශ්නය වී  ඇත්තේද මෙයයි .  ඔහු අතිශයින් කලාත්මක නිර්මාණයක් ඉදිරිපත් කල අතර ස්වර්ණා  මල්ලවාරච්චි සහ සෙසු නළු නිලියන් හැකි හැම පමණින් එයට දායක වී ඇත .  එය සකල දේශපාලන ප්‍රේක්ෂක සමුහයා සතුටු කරන්නට කල කළා නිර්මාණයක් නොවන බව විචාර හා සමාජ ජාල වැළපීම් මගින් පෙනී යයි . 

"ඉනි අවන්" ගැන විචාරයක් ලියන දීප්ති ගුණරත්න මෙසේ කියයි . 

"නමුත් 'අක්ෂරයට' පසු අශෝක හඳගම විසින්  තමන් එතෙක් සිනමාව තුල මහා අනෙකා වෙනුවෙන් රංග දක්වන ලද ආශාවේ මානය විපරිත ස්ථාවරයේ  සිට හිස්ටරික  ස්ථාවරයක් දක්වා විස්ථාපනය කරන  ලදී. මෙම විස්ථාපනය ආත්මීය කරුණකි .  එනිසාම එම හැරවුම මගින් ඔහු ආචාරාත්මක ක්‍රියාවක් කරයි.  එනම් විපරිත ආත්මමූලිකත්වයක සිට (විනෝදය  අනෙකට දීම )  හිස්ටෙරික ආත්මමුලිකත්වය කර විතැන් වීමයි .  මේ සඳහා ඉදිරිපත් කල හැකි බාහිර සියලු හේතුන් පසු ආවර්තිත  බව සිහි තබා ගත යුතුය .  මෙම ෆැන්ටසිකරණය නිසා අශෝක හඳගමගේ දේශපාලන ප්‍රේක්ෂක කැළ ඔහුට හිමි විය. ඔවුන්ගේ මුඛ්‍ය චෝදනාව වන්නේ ඔවුන්ගේ ෆැන්ටසි යථාර්තය හඳගම විසින් නොපෙන්වන බවයි .  එය ද්‍රෝහී ක්‍රියාවකි . " පිටුව 26  - 'මා  අබියස ඔබ නෙළුම නොවේ.  - දීප්ති කුමාර ගුණරත්න

එසේනම් සිදුවී ඇත්තේ හරිම අවාසනාවකි .  "රාණි චිත්‍රපටයෙන් ඉතිරිව සිටි දේශපාලන ප්‍රේක්ෂක කැලද හඳගමට එසේනම් අහිමි වී ඇත. ඔහු ද්‍රෝහියෙකු ලෙස සලකා  විචාර ලියවෙන්නේද , පවුලේ ය රිචඩ් ව තව  වරක් මැරූ ලෙස වැලපෙන්නේද එබැවිනි .  චිත්‍රපටය කලාත්මක නිර්මාණයක් මිස රිචඩ් ද සොයිස ගේ මරණය ගැන නන්දන විරරත්න ලියන ගවේෂණාත්මක ලිපියක් නොවේ .  මේ දේශපාලන ප්‍රේක්ෂක රැලට හසුව නොමැති යථාර්තය මෙයයි .  ඔවුන්  චිත්‍රපටය නරඹන්නට ගොස් ඇත්තේ පූර්ව  විනිශ්චයකිනි . ඇතැමෙක් ගොස්  ඇත්තේ එහි රිචඩ් හා තමන් කල නාට්‍ය ගැන ඇතැයි සිතාය .  ඇතැමෙක් සිතා  ඇත්තේ ඇය තමන්ට කල වෙද කමක් ගැන එහි ඇති කියාය .   ඇතැමෙක් දේවතාවියක ගේ කතාවක් බලාපොරොත්තු වී තිබේ .  ඉන්දියාවේ කාට හරි කීවා නම් එවැනි චිත්‍රපටයක් සාදා දෙනු ඇත .  ඇතැමෙකු බලාපොරොත්තු වී ඇත්තේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් කරනු ඇතැයි කියාය .  

මා මිත්‍ර හිටපු මහාචාර්ය ප්‍රදීප්  ජෙගනාදන් මුහුණු පොතේ මට ලින්කුවක් දමා තිබුණි. ඒ ඔහු හා මා මිත්‍ර නන්දන වීරරත්න රාණි චිත්‍රපටය ගැන කළ කතා ගැනය .   මා ජෙගනාදන් දන්නේ රාජකීය විද්‍යාලයේ මට කලින් වසරේ  සිටි උගත් දක්ෂ සිසුවෙකු ලෙසය .  ඔහු හා මම සාමාන්‍ය  දැනීමේ තරඟ  කණ්ඩායමකට අයත්ව  සිටියෙමු .  සන්සුන් ජෙගනාදන් ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකා  ගියේය. දුප්පත් මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගියෙමි.  ඇමෙරිකාවේදී ජෙගනාදන් බොන්නට ඇතැයි මට නොසිතේ .  රුසියාවේදී මට  නොබී බැරිවිය .  ඒ ගැන කවුරුත් දනිති.    නමුත් චිත්‍රපටයේ බොන බවක් නොපෙනුන විනීතව මෙන් හැසිරුණ (මටනම් එසේ නොපෙනුණි )  කණ්ඩායමක්  රිචඩ් පැහැර ගන්නට පැමිණි  බව ජෙගනාදන් කියයි .  එම කණ්ඩායම ඉන්පසු පෙන්වන්නේ ජීප් රථයේ හොඳට බොන බවත් ඉන්පසු ඔවුන්ම තීරණය කර රිචඩ් පැහැර ගැනීමට යන බවත් ජෙගනාදන් නිරික්ෂනය කරයි .  ඔහුට අනුව මෙහි ඇත්තේ පරස්පර විරෝධතාවයකි .  විනීත පැහැරගන්නන් හා බීමත් කණ්ඩායම.
  
ජෙගනාදන් මිතුර, ඔබ හොඳට   බිව් අයෙකු ලෙස මට නොපෙනුණි .  එනිසා මට එය වැටහේ .  අදටද  වොඩ්කා හෝ විස්කි බෝතලයකින් බාගයක් බී මට තවම කෙලින් සිට ගන්නට පුළුවන්ය .  එසේම එසේ බී  වාහන පදවන අයද මම දනිමි .  මා එයට සහමුලින්ම විරුද්ද නිසා එසේ නොකරමි.  ඔබට කලින් කතාව කල නන්දන වීරරත්න  ගෙන් ඇසුවා නම් කියා දෙනු ඇත .  ආරක්ෂක අංශයේ අය බීවාට ඒ ගැන සඟවමින් ඔවුන් ක්‍රියා කරන බවට බොහෝ අය සාක්ෂි දෙනු ඇත .  ඔවුන් සරම් උස්සාගෙන හොරු අල්ලන්න යන්නේ නැත .  බීමත්ව නම් යති .  එනිසා ඔබේ තර්කය බොල් පදනමක් නැති එකකි.
 
ලන්ඩනයේදී අප බියර් එකක් බොන්නට හමුවූ අවස්ථාවක මහාචාර්ය ජෙගනාදන් ඔහු පලකල පර්යේෂණ පත්‍රිකාවක්  ගැන කීවා මතකය .  බෞද්ධාගම අවිහිංසක  ආගමක් නොවන බවය ඒ .  ඒ ගැන ලියන්නට සිතා  සිටි මුත් මට එය අතපසු වුනි .  ඔබ තර්ක කලේ ගලබොඩ අත්තේ ඥානසාර දබර ඇඟිල්ල  දිගු කර තර්ජනය කරන බවත් බුදුන් වහන්සේද එසේ ඇඟිල්ල ඉදිරියට දිගු කල බවත්ය .  බුදුන් වහන්සේ ගේ හස්ත මුද්‍රා හැර වෙනත් තනි ඇඟිල්ලකින් කරන තර්ජනයක් මම නොදනිමි .  එසේම බුදුන් වහන්සේ යක්ෂයන්  දමනය කිරීම ප්‍රචණ්ඩත්වයක් (violence) ලෙස ඔහු දකී. බුදුන් ලංකාවට වැඩියාද කිය  නොදන්නා නිසා මා ඒ ගැන ප්‍රශ්න නොකරමි.
 බෞද්ධාගම ප්‍රචණ්ඩ නොවූ නිසා  බංගලි දේශය , පකිස්ථානය ,  මැලේසියාව,  ඇෆ්ගනිස්ථානය ,  ඉන්දුනීසියාව අද බෞද්ධ රටවල් නොවේ යයි තර්කයක් ද ඇත .    එහෙත් මානව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස එවැනි පත්‍රිකාවක් ඔහුට එවැනි අදහසක් ගොනු කිරීමට හා පල කිරීමට  පූර්ණ නිදහසක් ඇත .  හඳගමට තමන්ට අවශ්‍ය ආකාරයට "රාණි " නිර්මාණය  කරගන්නා සේය.

ජෙගනාදන් ගේ මෙන්ම බොහෝ අයගේ තවත් තර්කයක් නම් චිත්‍රපටයේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් නොකරන බවයි .  එසේම පොලිස් කණ්ඩායම ජීප් රථයේ  බොන අතරේ එම තීරණය කණ්ඩායම  ගත් බවයි .  ජෙගනාදන් ,  ඔබ හොඳ  මාෆියා චිත්‍රපටයක්  නරඹන්න.  මාරියෝ ෆුසෝ ගේ "ගෝඩ් ෆාදර්", ඩොනි බ්රැස්කෝ  මෙන්ම  නෙට් ෆ්ලික්ස් හි ඕනා තරම් මාෆියා චිත්‍රපට  ඇත .  කිසිම මාෆියා බොස් කෙනෙකු හෝ දේශපාලකයෙකු කෙනෙකු මරන්නට කෙලින් අණ  දෙන්නේ නැත .  ඒ වෙනුවට "අරයා මා දිහා අමුතු විධිහට  බැලුව . ""දැක්කද  අරූ හැසිරිච්ච විධිහ "  "අරූ අපට උගන්වන්න එන්නේ " "අපිව  නැති කරන්න  කලින් නැති වෙන්න ඕනේ අය ඉන්නව "  වගේ හැඟවුමක් දෙනු මිස කෙලින් කියා තමන්ව කොටු වෙන්නට ඉඩ හරින්නේ නැත.  ඇමෙරිකානු එෆ් බී අයි ආයතනයට ඇමෙරිකාවේ ඉතාලියානු මාෆියාවේ බොස් ලා හරි හැටි කොටු කරගන්නට අවුරුදු දහයකට වඩා ගියේ එබැවිනි .  මෑත කාලයේ එක්තර දේශපාලකයෙකු " ගහලා දාන්න " කියනු යයි මා අසා තිබේ.  

"ලොක්ක අරූ ට කැමති නැහැ නේද " කියා චිත්‍රපටයේ කියනවා  ඇසුනේ නැත්ද?  ඒ ඔවුන්ට දී තිබූ අණයි. පාතාලයන් සේ, ඝාතන  කණ්ඩායම් සේ වැඩ කල අයට ඒ හොඳටම  ඇතිය . 

එසේම රිචඩ් ද සොයිසා  ගේ ඝාතනයට වග කියන කවුරුන්  හෝ  නීති මාර්ගයෙන් සොයා නැති තත්වයක් තුල චිත්‍රපටයට ඇඟිල්ල දිගු කළ නොහැකිය .  නන්දන වීරරත්න ටතම කතාවේදී පවසන්නේ රිචඩ් ගැන සොයන්නට හා කියන්නට අවශ්‍ය නම් වෙනත් චිත්‍රපටයක් අකරණ ලෙසය .  ඒ කතාව වඩාත් සාධාරණ එකකි . 

රඟපෑම් ගැන කියනවානම් ස්වර්ණා මල්ලව "රාණි" ගැන  නොදැන සිටියා නම් වඩා හොඳය .  සිනමා නිර්මාණයේ තම නිර්මාණය කරන චරිතයේ සියලු තොරතුරු නළුවා හෝ නිළිය දනී  නම් ඇයට ඒ චරිතය නිසි ආකාරයට ගොඩනැඟිය නොහැකි යයි  තර්කොව්ස්කි පවසයි.    බොහෝ විචාර වලට අනුව ස්වර්ණා "රාණි " ගැන දන්නේ නැත .  එහෙනම් ඒ හොඳය .  ඇගෙන් චිත්‍රපටයට සාධාරණය ඉටුවී ඇත .  එම චිත්‍රපටයේ මැවෙන්නේ ඔබ දන්නා රාණි නොව මව්වරුන්ගේ පෙරමුණේ රාණිය. තම දරුවා බලෙන් පැහැරගෙන ගිය,  දවා  හලුවී තැන නොදන්නා දහසකුත් එකක්,  සිංහල , දෙමළ ,  මුස්ලිම් මව්වරුන්ගේ එකියකි . 

එසේම කිසියම් පිටපතක් ලියන සැමියකු පැහැර ගැනීමක් පෙන්වයි .  ඔහුගේ බිරිඳ රාණි හමුවීමට පැමිණ ඇය හා පෙරමුණටද එක්වෙයි /  මේ කියවෙන්නේ ලක්ෂමන් පෙරේරා ගැනද ?  අහවල් නාට්‍යය ගැනද?

හඳගම චිත්‍රපටයේ අසල්වැසියන් එන වෙලාව මතකද .  "රාණි " ඔවුන ගේ  සහය ප්‍රතික්ෂේප කරන්නේ "රිචඩ්   පැහැරගත් වෙලාවේ ඔබල කොහෙද හිටියේ " යයි අසමිනි .  රිචඩ් ගේ දැන් කෑ ගසන නෑදෑ පරම්පරාවද එසේ සිටින්නට ඇත .  තනිව සිටි ඇයට අරමුණක් දුන්නේ මංගල හා මහින්දය. ඒ වංචාකාරී ලෙස ඇයව යොදාගෙන චන්ද්‍රිකා රජ කරන්නටය .  ඒ ගැන පෙන්වීම වරදක්ද?  සිදු වුනේ එය නොවේද? "රාණි" හි   පෙන්වන්නේ මව්වරුන්ගේ පෙරමුණේ සටන් වැදුණු මව්වරුන්ගෙන් එකියක් මිස පොෂ්  පන්තයේ වෛද්‍යවරියක් ගැන නොවේ . 

හඳගමගේ මේ විශිෂ්ට කලාත්මක නිර්මාණය දෙවන වර නරඹන්නට  ලන්ඩනයට ගෙන එනු ඇතැයි  සිතමි .  ස්තුතියි අශෝක හඳගම . 

- කොළඹ ගමයා -10/04/2025
තර්කොව්ස්කි ගේ කැඩපත 



වධහිංසා කිරීමේ කලාව ! | ප්‍රදීප් ජෙගනාදන් දේශනය - යූටියුබ් 


සිනමාවක් නොවන විචාරයක්. - නන්දන වීරරත්න 




මුලාශ්‍ර -අන්ද්‍රේයි තර්කොව්ස්කි සිනමා දේශනා - පරිවර්තනය - සිසිර කුමාර බණ්ඩාරගම 
මා අබියස ඔබ නෙළුම නොවේ - ඉනි අවන් -  දීප්ති කුමාර ගුණරත්න 
ජලයෙන් යටවූ ලින්ච් ගේ ලෝකය - පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ 

මගේ අනෙකුත් චිත්‍රපට විචාර ලිපි:





Friday, 21 March 2025

මැයි මාර විකාරයේ ඉන්නේ හීන දකින්නෙක් ද පීපින් ටොම් ද


අපේ ප්‍රසිද්ධ හිටපු බ්ලොග්කරුවෙක් හෙම ෆේස්බුක් එකේ විකාර සහගත කතාවක් ලියල තිබුන නිසා මේ පාර  ලංකාවේ ඉන්දෙද්දී 'මැයි  මාර ප්‍රසංගය ' කියන පොත  ගත්ත සරසවි එකෙන් .  මුද්‍රණ වාර දාහතරක් ම ප්‍රකාශ වුනු ස්වර්ණ පුස්තක සම්මානයේ මුල් කෘති පහට තේරිලා තියනවා කියන්නේ ඉතින් පට්ටම පට්ට පොතක් කියල හිතුනා.  බලනකොට පොඩි පොතක්. පිටු 108 යි , රුපියල් හත්සියයි .  ලන්ඩන් එන අතරවාරයේ ෆ්ලයිට් එකේදිම කියවල ඉවර කළා .  

දෙයියන්ට  ඔප්පු වෙච්චාවේ  (ඉන්නවනං බුවාලා)   , ලංකාවට වෙලා තියෙන සන්තෑසිය ට එක හේතුවක්  මෙන්න මේ  වගේ පොත් සහ කලා  කෘති වලින්  ඉදිරිපත් කරන ආලය /ආදරය පිලිබඳ දෘෂ්ටිවාදය කියාල  හිතුන .  දැන් සිනමාවටත් අරගෙන කියල ආරන්චියි .  මම  මේ කල්පනා කරේ මොන  කතාව ද  සිනමාවට නගන්න  කියල. හොරෙන් බලන එකද නෙල්ලි උයන එකද?

ආදී කාලයේ ඩබ්ලිව් ඒ සිල්වා ගේ ලක්ෂ්මි වගේ කතා .  ඊට පස්සේ වික්‍රමසිංහ ගේ විරාගය , ගම්  පෙරලිය වගේ පොත් ,  ජයලත් ගේ ගොළු හදවත වගේම බ්‍රොන්ටේ ල ගේ වදරින් හයිට්ස් , එතකොට ජේන් අයර් , ටෝල්ස්ටෝයි ගේ ඇනා  කරේනිනා  වගේ පොත් කියවපු අපට සීයට  පනහේ ලව් එකක් තියන කතාවක් ශ්‍රේෂ්ඨයි කියල ස්වර්ණ  පුස්තක විනිශ්චයකාර සෙට් එක කියනවා .  ඒ ගොල්ලගෙ හිස් ගෙඩි ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්න   හිතෙන්නේ නැත්ද 

කතාව කියවනකොට ඉස්සෙල්ලම මතක් වුනේ වර්ණපාල මෙතඩ් එක .  අර පේරා වලද කොහෙද විශ්ව විද්‍යාල සිසුවෙක් හිත ගත්ත සිසුවියක් යාලු කර ගන්න දැම්ම උප්පරවැට්ටිය .  හැංගිලා ඉඳන් කියනවලු "ආ වර්ණපාල කොහොමද? " අන්න වර්ණපාල ගේ කෙල්ල යනවා. වර්ණපාල හරිම වාසනාවන්තයි " කෙල්ලත් අන්තිමට හොයල බලල කවුද මේ  වර්ණපාල කියල. අන්තිමට කෙල්ල  යාලු වුනාලු .  ඇත්ත කතාවක් ලු .  හැබැයි ඒ වර්ණපාල ට ගටක් තිබ්බ එහෙම කරලා  හරි කෙල්ල යාළු කර ගන්න .  මැයි මාර විකාරයේ සමිධ කියන්නේ එහෙම ගටක් වත් නැති  සීයට  පනහේ  ක ආදරවන්තයෙක් .  ආදරවන්තයෙක් නෙමේ මේක එක්තරා විධිහක මානසික ලෙඩක් නෙමෙයිද?

සමිධුකියන චරිතය අර කිසිත් නොදන්නා ගැහැණු ළමයා දිහා බලල නිකන් ඉන්නේ නැහැනේ .  එයාට  ආදරය කරනවා .   සීයට  පනහේ ආදරේ .  අවුලක් නැහැ .  අවුල තියෙන්නේ හැමදාම නොකිය එයා දිහා බලන් ඉන්න එකත් නොවේ ,  හැංගිලා බලන් ඉන්න එක .  පීපින්  ටොම් කියන්නේ ඔන්න  ඔය වගේ කට්ටියට .  එක වෙලාවක පියාගේ සොහොන ගාව  ඉඳන් බලන් ඉන්නවා .  තව වෙලාවක තව තැනක .  කෙල්ල මැයි  මාර  මල් වලට ආසයිද  කියල බලන්න මල් ඔක්කොම කඩන් ඇවිල්ල , ගහේ  කඩදාසි මල් එල්ලනවා .   අර කෙල්ලට මාර මානසික වධයක්  දෙන්නේ .   එසේ මෙසේ මානසික ව්‍යාධියක් නෙමේ තිබිල තියෙන්නේ .  ඒ වුනාට පොතේ කතුවරයාට ඒ වැඩේ හෙන ශ්රුන්ගරාත්මක ආදර  සංධ්වනියක් .   එයාට  පේන්නේ  නැහැ මෙතන අවුල .  
අර unrequited  love  කියල එකක් තියෙනවා තමයි .  අනිත් කෙනා දන්නේ නැතිව වුනත් හදවතින් ආදරේ කරන .  ඒකෙ  අවුලක් නැහැ තමුන්  ස්ටෝකර් කෙනෙක් හෙවත් පස්සෙන් යන්නෙක් හෝ හොරෙන් බලන්නෙක් නොවී .  

දැන් ගැහැණු කෙනෙක්ට කවුරුහරි එයාලා  දිහා බලන් හිටියොත් තේරෙනවා , හැඟෙනවා නේද?  සමහර විට අපිටත් එහෙම දැනෙන වෙලාවල් තියනවා කවුරු හරි බලන් ඉන්නවනම් .   නමුත් කාන්තාවන්ට ඒක  වැඩියි .  අර ගැහැණු ළමයා කොපමණ  බයෙන්ද  අර ඔෆිස් එකට එන ගමන එන්නේ ඇත්තේ .  අදත්  අර යකා උලමා වගේ බලාගෙන ඇති කියල හිත හිත බයෙන් ගැහි ගැහී .  ඒ මනුස්සයාට මල් ගහක් දිහා , ගඟක්, දොළක්,  ගහක් කොළක්  දිහා බලන් ඉන්න විධිහක් නැහැ නිදහසේ .  සොහොන් පිට්ටනියේ හැංගිලා පවා බලන් ඉඳල කියන්නේ ඉතින් .  හොඳ වෙලාවට ඔෆිස් එක වැහුවේ .  එයා නතර වුනා වුනාමයි ආයි  මේ මානසික ව්‍යාධි කාරයෝ දෙන්න ඉන්න පැත්ත පළාතේ ඇවිත් නැහැ .  ජිවිතේ බේරුනා කියල හිතන්න ඇති .  

ගැහැණු කෙනෙකුට එහෙම තේරෙන බව කතුවරයා 94 වෙනි පිටුවේ සඳහන් කරනවා .  හිතුනේ නැත්ද එක පාරක් දෙපාරක් බලන කොට , හැංගිලා ඉඳන් බලන කොට එයාලට තේරෙන බවත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම කෙල්ල ඉදිරිපිටට ගිහින් අහන්න ඕනේ බවත් .  තුන් සැරයකට  වඩා ඒක  ඉදිරියට ගියොත් එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් .  මේ මිනිහා අහන් ගටක් නැති කෙනෙක් කියල හිතයි .  එහෙම නැත්නම් මනෝ කාරයෙක් කියල හිතයි .  ඕන තරම් ඒ වගේ කතා අහල තියෙනවා .  යෙහෙලියන්ම කියල .  

අර මතකද විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත්ත පෙම්වතියට සබඳතාවයෙන් අයින් වුනා කියල පිහියෙන් ඇන්න  පරණ පෙම්වතා .  අන්න මේ වගේ අය . මොකද අයින් වුනහම වුනත් තමා ගේ පනහේ  ආදරේ හොඳටම ඇති කියල හිතන කට්ටිය. තව අර බස් එක ගන්න එනකොට බෙල්ල කපල මරපු හිටපු පෙම්වතිය .  මේ ලිපිය ලියන අතරේම ඊයේ තව මිනී  මැරුමක් වෙලා .  පෙම්වතිය පොඩි කෙල්ලෙක් .  වයස විසි එකද කොහෙද , පාසැල්  කාලේ  අවුරුදු පහක ප්‍රේම සම්බන්ධයක් ලු .  ඒ කියන්නේ අවුරුද 16 දී. අම්මා  කීව  නිසා ටිකක් ඉඳල බලමු කියපු ටිකට .  ඒ කියන්නේ ඒ ආදරෙත් වැඩියෙන්ම ඒක  පාර්ශ්වීය .  ඒ කෙල්ලත් ඊයේ පිහියෙන් ඇනල . මේ ඒක  පාර්ශවිය  ආදරය උස්සල ප්‍රේමනීය කරන එක විපාකේ  තමයි ඔය . 

අර වෛද්‍යවරියට හදි  කල කෙනා මොන වගේද දන්නේ නැහැ .  පන්සලක හිටියනම් මොනවට මුහුණ දුන්නද දන්නේ නැහැ .  හමුදාවේ හිටිය එක නිසා ඇතිවුණු මානසික ප්‍රශ්නත් තියෙන්න ඇති .  ඒක  පාර්ශ්විකව ආදරයක් ඔහොම අයට  තියෙන්න ඉඩ කඩ වැඩියි . 

ගාමන්ට් යන තරුණිය ට හදි කරලා ඝාතනය කළ  වෛද්‍යවරයටත් ඔය ප්‍රශ්නෙම තියෙන්න ඇති .  ආදරය කරන කෙනෙකුට කියන්න බැරි කම .  ඒ නිසාම අර වගේ අපරාධ කරන්න යොමු වෙන්න ඇත .  

ඒ මදිවට සමහරු කියනවලු කොටට  ඇඳගෙන යන්න ඇති ඒ වෛද්‍යවරිය .   බැඳලා නැත්තේ ඇයි  වගේ කතා .  ඒ වගේ ලියන උන්ටත් තියෙන්නේ මානසික ව්‍යාධි .  අවංකවම  කියනවනම් ලංකාවේ  මනෝ චිකිත්සක වරු අඩු ඇති .  ලංකාවේ පුවත්පත් වල පවා මේ ඒක  පාර්ශ්වීය සබඳතා, දෙන්නම එකතුවෙලා අරන් ගිය සබඳතා වගේ සලකල ලියන්නේ .  කාන්තාවෝ ඒකට  කැමති වුනාද නැත්ද කියන එක අදාල නැහැ පත්තරවලටත් .  
 
අර හදපු මල් ගහේ එල්ලපු වෙලාවේ සමිධ හොරෙන් බලන් ඉඳල "මං  පහුවද උදේම ගිගිල්ල සොහොන ළඟ බලාගෙන හිටියා .  එයා ආවා. එයා දැක්ක ගහේ  මල පිපිලා තියෙනවා .එයාගේ මූණේ  ඇති වෙච්ච් සතුට ...."කෙල්ලගේ මුහුණ කොහොම වෙතත් අර වගේ මානසික ප්‍රශ්නයක් තිබෙන කෙනෙකුට තමන්ගේ පැත්තට බයස් ව තමයි හිතෙන්නේ . 

 අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තිබුන හෝ තියෙන්නේ ඇති පාසැල්  යන කාලේ . අටේ නමයේ පන්තියේ ඉඳන් උසස් පෙළ වෙනකන් .  ඒ තිබුණු සංස්කෘතික සමාජය තුල . ඒකෙ  අවුලක් නැහැ .  ටියුෂන් යන කාලේ  කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එක ,  පස්සෙන් යන එක තියෙන්න ඇති හැමෝටම වගේ.    දැන්නම් කාමර වලටත් යනවා ඇති .  ප්‍රශ්නේ ඒක  නෙමේ .  වැඩිහිටියෙක් ඒක  කරන එක .  ඊට පස්සේ ඒක  උතුම් ප්‍රේමයක් කියල ටැග්  කරල පොතකුත් ලියල. අවුලක්  නේ .  මයිකල් ජැක්සන් පොඩි කොල්ල  කාලේ  හෝ ගැටවර වියේ (ටීනේජර් ), පිරිමි ළමයෙක් එක්ක කාමරේ නිදා ගන්න එක ප්‍රශ්නයක් නෙමේ .  නමුත් වැඩිහිටියෙක්  වශයෙන්  පොඩි පිරිමි ළමයෙක් (අනුන්ගේ ළමයෙක් )  එක්ක නිදා ගන්න එක ප්‍රශ්නයක් .   

කතුවරයාට තිබ්බේ දේවල් දෙකයි කරන්න .  හොඳ යහළුවෙක් වශයෙන්  විකාර කරන්න නොදී අර මනුස්සයාව  ඇදන්  ගිහින් කෙල්ලව මුලිච්චි කරවලා කෙළින්ම  කියන්න ඒ ලස්සන තරුණියට .  එහෙම නැත්නම් ,  එයා  එන්නේ නැතිනම් මනෝ වෛද්‍යවරයෙකුට ගිහින් පෙන්වන්න .  ඒ මනුස්සයා සුවපත් වුනානම් සතුටෙන් වෙන කසාදයක් කරගෙන හෝ නොගෙන ජිවත් වෙයි ඉතිරි කාලය .  එච්චරයි නේ අවශ්‍ය .  

කොළඹ ගමයා - 21//03/2025