Thursday 10 July 2014

මාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම -(ප්‍රාග්ධනය අංක 8)

(ප්‍රාග්ධනය අංක 8)

අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ - මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. ( C - M - C - commodity  - money - commodity  )

(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය)

දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) - මුදල්-භාණ්ඩ - මුදල් හෙවත් M - C - M ක්‍රියාවලිය. මෙය බැලූ බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති M - C - M ක්‍රියාවලියට තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව.

අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම.

මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙහිදී ΔM=පවුම් 10. 

[ මේ ලකුණ Δ ග්‍රීක අකුරක් වන ඩෙල්ටා - මෙහි ගණිතමය අදහස වන්නේ වෙනස (difference) හෝ අගයේ (සංඛ්‍යාත්මකව) වෙනස් වූ ප්‍රමාණය යන්නයි]
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මක වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)

මෙන්න මේ ක්‍රියාවලිය මුදල් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනු ලබනවා.
(මෙසේ කියා ඇත්තේ මාක්ස් ගේ ප්‍රාග්ධනය මුල් කොටසේ පලමුවන වෙළුමේ, මතක තබා ගත යුතු දෙයක් වන්නේ මාක්ස් මෙය තව දුරටත් විකාශනය කරමින් ප්‍රග්ධනය ඇතිවන හැටි පෙන්වා දෙනවා ප්‍රාග්ධනය 2 වන වෙළුමේ)

ඒ කියන්නේ මාක්ස් කියන විධිහට මේ අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ප්‍රග්ධනය හැටියට පරිවර්තනය වෙනව. (මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙයට පිළිතුරු ලෙස බොහෙම් බෝවෙර්ක් ලියු ලිපියෙන් පසු මාක්ස් මේ ගැන දෙවන වෙළුමේ දීර්ඝ පැහැදිලි කිරීමක් කල බව. ඒවා මෙතන සාකච්චා වෙන්නේ නැහැ. )

අනවරත (නොනවතින) ලෙස සිදුවන භාණ්ඩ - මුදල් - භාණ්ඩ C - M - C ක්‍රියාවලිය පාලනය කරන්නේ මුලිකවම පරිභෝජනය විසින්. එනම් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් මුදල්-භාණ්ඩ- මුදල්; M - C - M, යන ක්‍රියාවලිය ගත්තොත් මුල හා අග ඇත්තේ මුදලයි. මෙය මෙම ක්‍රියාවලිය අනන්තය දක්වා දික් ගස්සනවා.
M + ΔM ( delta M) යන්න නම් M මුල් මුදලේ අගයෙන් වෙනස් වන මුත් එයත් කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි (උදා. 110). හැබැයි අපි එය වියදම් කලොත් එය තව දුරටත් ප්‍රාග්ධනය බවට පරිවර්තනය නොවේ. එසේම අපි එය මේ ක්‍රියාවලියෙන් (මේ සන්සරණයෙන්) ඉවත් කලොත් එය නිධානයක් (එකතු කර ගත්;තොගයක් හෝ සංචිතයක් - මාක්ස්ගේ වචනය hoards) බවට පත් වෙනවා. වටිනාකම ප්‍රසාරණය වීමේ උවමනාව හඳුනා ගත් පසු එය පසු; මුදල' (M' ) හා මුල් මුදල (M ) යන දෙක අතරේම පවතින බව පෙනේවි. ඒ නිසා ප්‍රග්ධනයේ චලිතය (ගමන) සිමා රහිත බවත් එහි අරමුණ මේ ක්‍රියාවලිය මුදුනේ හෝ අග හෝ සාක්ෂාත් කරගෙන නැති බවත් තේරුම් ගත යුතුවේ. (මාක්ස් මෙතන මේ කියන්නේ ලාභ ලබා ගැනීමේ කෙළවරක් නැති බවයි).

මේ ක්‍රියාවලියේ ප්‍රධාන නියෝජිතයා වනමුදල් අයිතිකරුවා ධනපතියා (capitalist) බවට පත් වේ. මෙතැනදී කල්පනා කරන්න මෙහෙම. ඇයි  ධනපති හෝ දිළිඳු රටවල බැංකු වලින් පුංචි ව්‍යාපාර සඳහා නය ආධාර දෙන්නේ. ඔබ යම් මුදල් ප්‍රමාණයක අයිතිකරුවකු වෙන තුරු ඔබ ධනපතියකු වීම සඳහා අඩිතාලම වැටෙන්නේ නැති නිසා. ඊළඟට හැමෝම ලොකුවට කතා කරන බිල් ගේට්ස් ගමු. ඔහු තමන් මුලින් බිස්නස් කල හොයා ගත්  මුදලින් සියැටල් කොම්පැනියකින් ඩොලර් 50000 ගෙවා ගත් පරිගණක මෙහෙයුම් පද්ධතිය මදක් වැඩි දියුණු කර IBM වලට විකිණුව. ඔහු ලාභය ගත්තේ එහි license හෙවත් බල පත්‍රය පාවිචි කරන ගානට විකිණීම හා එහි අයිතිය තමන් සතුව තබා ගැනීමෙන්. අනිත් අයට විකිණීමේදී එහි ලාභය හැම වෙලේම වැඩි කලා. එය අනවරත ක්‍රියාවලියක් නිසා ඔහුගේ ආදායමත් ඒ වගේම වැඩි වුණා. මෙතැනදී ඔහු විසින් එම මෙහෙයුම් පද්ධතිය අලුත්වැඩියා කිරීම හා රැකියා අවස්ථා ඇති කිරීම ගැන සාකච්චා කරන්නේ නැහැ.

මෙය ලියුවේ පහත කොමෙන්ටුව තේරුම් ගන්න ආධාරයක් වශයෙන්.

බ්ලොග් කරුවෙකුගේ ප්‍රශ්න:
 සමාජ සුභ සාධක - මට තියන ප්‍රශ්නෙ තත්වය ඕක නම් කොහොමද ලාභය අනවරත ව වර්ධනය වෙන්න කිසිම විදියක් නෑ.එක නිෂ්පාදකයෙකුට ආදායමක් ලැබෙන්නෙ එයාගෙ නිෂ්පාදන විකුනලයි.ඒ නිෂ්පාදන මිලට ගන්න අය ට සල්ලි ලැබෙන්නෙත් වෙනත් නිෂ්පාදකයකු ලඟ සේවය කරලයි.එහෙමනම් ලාභ ලැබීමේ වේගය වැඩි වෙන්න බෑ.කිසියම් අවස්ථාවකදි මේක හිර වෙන්න ඕන නේද?පොදුවෙ ගත්තම ලාභ ලැබීම නතර වෙන්න ඕන.මට හිතෙන්නෙ යුරෝපයෙ දැන් ඒක වෙලා කියල.ප්‍රාග්ධනය ගැන ඔයාට හොඳ දැනුමක් තියන හින්ද ඔයාට කොහොමද ඒක හිතෙන්නෙ.මම නම් ප්‍රාග්ධනය පොත කියවල නෑ.ඔය වටින් ගොඩින් අහපු දැනගත්ත දෙයක් මිස.

පිළිතුර - ඒක හින්ද තමයි මාක්ස්වාදයේ කියන්නේ ලාභය කෘතිමව  වැඩි කරනවා කියල. මේ ලාභය තමා ධනපති පන්තිය බිහි කරන්නේ. ලාභ ලැබීමේ වේගයත් කෘතිමව තමා වෙන්නේ. මාක්ස් මේක තම ග්‍රන්ථයේ පලවෙනි කොටසේ ලිව්වා එකට බොහෙර්ම් බෝවෙර්ක් එකඟ නොවී විවේචනයක් ලියා පළ කලා. පස්සේ මාක්ස් දෙවෙනි වොලියුම් එකේ දී නැවතත් පැහැදිලි කලා . යුරෝපයේ හැම භාණ්ඩයකම සංයුක්තව ගත්තම ලාභ ලැබීම නතර වෙලා නැහැ. එයට හේතුව යුරෝපයේ නිෂ්පාදකයා පාවිචිචි කරන්නේ අඩු ශ්‍රමය. එංගලන්තයේ මාර්කස් ඇන්ඩ් ස්පෙන්සර් කම්හල තියෙන්නේ ලංකාවේ හොරණ. අයිෆෝන් කම්හල් තියෙන්නේ චීනයේ (අඩු පඩියට ) ඒ වගේ. ඊළගට යුරෝපයේ හොඳ වාහන වැඩි ගානට විකිනෙන්නේ දුප්පත් රටවල් වල හා චීනයේ, රුසියාවේ. එනිසා ඒ ලාභ එහෙමමම්යි. නමුත් මදි. මේක හදන්න නම් යුද්ධයක් ඕනේ. ඔයාට ඔය තේරෙන හැටි හරි. දැන් උක්රයිනය අවුලන්නේ ඒකයි . ඔය ඉරාකේ ගහන අයිඑසයිඑස් එකට මුලින් ආයුධ දුන්නේ කවුද සිරියාවේ ගහන්න ?

 සමාජ සුබසාධක: ඔබ හරි. ඔය දේ තමයි වෙන්නෙ. දැනට යුරෝපයෙ නිෂ්පාදන වල ලාභය ක් ඇති.ඒ ආසියානු අප්‍රිකානු රටවලින් ලාභ ශ්‍රමය ගන්න නිසා. ඒත් මේ වැඩේ හැමදාම කරන්න බෑ. අපේ රටේ වුනත් ගාමන්ට් වල වේකන්සි පුරවන්න බෑ. මොකද මේ පඩියට කට්ටිය එන්නෙ නෑ.අපි දන්නව ගාමන්ට් වල උපරිම ශ්‍රම සූරාකෑමක් වෙනව .මෙහෙම සූරාකන එකෙත් සීමාවක් තියනව.පුටුවෙ වාඩිවෙන එක තහනම් කරල,මුත්‍රා කරන එකට කාඩ් ක්‍රම හදුන්වල දීල කරන්න පුළුවන් උපරිම වධ දීලත් සූරාකන්න පුළුවන් උපරිමයටම සූරා කාල දැන් ඉතිරිවෙලා තියෙන්න කස පහර දෙන එක විතරයි. ජීවන වියදම ඉහල යාමත් එක්ක මේ පඩි මදි.අපේ වගෙ රටවල ආර්ථික වර්ධනය වෙන කොට ජීවන වියදම වැඩි වෙනව.තව දුරටත් ලාභ ශ්‍රමය සොයාගෙන ආසියාවට අප්‍රිකාවට යන්න බැරි වෙනව.වැඩි පඩි ගෙව්වොත් ලාභයක් නැතිවෙනව කියමු.එහෙම වුනොත් ඉදිරියෙදි ආසියාවෙයි යුරෝපයෙයි නුපුහුණු කම්කරු වැටුප් සමාන වෙයි.
ලාභ ශ්‍රමය ගැන කියනවනම් ඔය කම්හල් ලඟදිම වැහෙනව.දැනටත් ගාමන්ට් වැහීගෙනනෙ යන්නෙ.ආසියාවට අප්‍රිකාවට අලුත් කර්මාන්ත ඉදිරි දශාක්යෙදි එයි කියල හිතන්න අමාරුයි.

පිළිතුර:මේක කාලය පිළිබද ප්‍රශ්නයක්.කවදහරි ලාභය වර්ධනය වෙන එක නතර වෙනව. ධනපති පන්තියෙ අවසානය උදා වෙන්නෙ එදාටයි.මේක ස්වාභාවික ක්‍රියාවලියක්.

මට හිතෙන විදියට ලංකාවෙ ශ්‍රමිකයකුගෙ වැටුප වගෙ දහ ගුණයක් දියුණු යැයි කියන රටක ශ්‍රමිකයෙකුගෙ වැටුප. අපේ රටවල වැටුප් වැඩි වුනාට ඒ වේගයෙන් අර රටවල වැටුප් වැඩි වෙන්නෙ නෑ.අපේ රටවල වැටුප් අර මට්ටමට එනව මිස.ග්‍රීසිය,ස්පාඥය වගෙ දකුණු යුරෝපීය රටවල ආර්ථිකය ඍන වෙනව.මේ දෙරටත් කඩා වැටෙන එක පටන් අරන්ද මන්ද.යන්තම් අල්ලගෙන ඉන්නෙ බ්‍රිතාන්‍යයයි ජර්මනියයි විතරයි.මම හිතනව සමස්තයක් වශයෙන් චීනය හැර ලෝකෙ හැම ආර්ථිකයකම වර්ධන වේගය 2.0 ට අඩු වෙලා.දැනටම ඒක වෙලා හුඟක් රටවල. මේක මෙහෙම වෙලා අද හෙටම ආර්ථික වර්ධනය 0 වෙනව. ධනපති ක්‍රමය නතර වෙන්නෙ අන්න ඒ වෙලාවෙ.

ප්‍රශ්නය - සමාජ සුභ සාධක කියනවා වගේ ලාභය වර්ධනය වන එක නතර වෙනවද? මාක්ස් කියන විධිහට M -C -M' ක්‍රියාවලිය දිගටම (නොනැවතී) සිදුවෙන නිසා ලාභය වර්ධනය වීම නතර වෙන්නේ නැහැ. ලිව්වේ 7 July 2014

15 comments:

  1. M-C-M ක්‍රියාවලිය දිගටම සිද්ධවෙන්නෙ කොහොමද?මාක්ස්ගෙ අදහස් පදනම ලෙස ගත්තට අපේ සිතීමේ කෙළවර එය විය යුතු නෑ කියලයි මා හිතන්නෙ.එහෙම අපේ චින්තනයට සීමා පනවා ගත්තොත් අපිත් ආගමිකයො කොටසක් වෙනව.මාක්ස් සර්වඥ කෙනෙක් කියල හිතන්නෙ නැතිව ප්‍රවේසමින් ඔහුගෙ ඉගැන්වීම් අධ්‍යනය කිරීමයි මට අවශ්‍ය.
    ඇත්තෙන්ම අපට මේ වගෙ දැනුම දීල ඔබ කරන්නෙ ලොකු සේවයක්.මාක්ස්වාදය ගැන හරි වැටහීමක් නැති කොටස් දෙකක් මේ රටේ ඉන්නව.එක් කොටසකට මාක්ස් විතරක් නොවෙයි විජේවීරත් කටින් පිටකරපු ශුද්ධ වාක්‍ය.ඒ වගෙ බැතිමතුන් රෑට හීන පේනවට දාස් කැපිටාල් කොට්ටෙ යට තියන් ඉන්න පිරිසක්.ඒ වගෙ බැතිමතුන්ගෙ පුදපූජා නිෂ්ඵැලයි
    අනෙක් කොටස මාක්ස්වාදය කියපුවම ඇතිවෙන්නෙ සංත්‍රාසයක්.මතක් වෙන්නෙ මිනීමැරුම්,දේපළ විනාශ කිරීම්.ඉන්දියාවෙත් ලංකාවෙත් ඊනියා මාක්ස්වාදී ව්‍යාපාර වෙනත් ගෝත්‍රවාදී පසුබිමකින් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.මාවෝවාදය කියන මිනීමරු දහමත් ඊට හේතුවක්.
    ඒ නිසයි සැබෑ මාක්ස්වදය ගැන හැඳෑරීමක් වටින්නෙ

    ReplyDelete
    Replies
    1. එය එසේ කෙළවර විය යුතු නැහැ. නමුත් අපි පරිස්සම් විය යුතුයි. ඉතිහාසයේ නොයෙකුත් නායකයෝ (නම් වශයෙන් නොකිව්වට) මාක්ස් ට එහා හිතන්න ගිහිල්ල හුඟක් විනාශකාරී විධිඅට අවසන් වෙන දේවල් කලා. මාක්ස් සර්වඥ කෙනෙක් කියල කොතනකවත් මම කියන්නේ නැහැ. මෙතන තිබෙන්නේ අවශ්‍ය කොටස් වල පරිවර්තනයක් පමණයි.

      Delete
  2. M-C-M ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙන එක මට තේරුම් ගන්න බෑ.මට හිතෙන්නෙ එකම වටිනාකමක් තමයි සංසරණය වෙන්නෙ කියන එක.කොළඹ ගිහින් මොකක් හරි බඩුවක් ගමට ගෙනිහින් විකුණනව කියමු. කොළබින් අඩුවට 3000 කට ගත්ත වීසීඩී ප්ලේයරයක් ගමේ විකුනනව 5000 කට.මේ වගෙ වෙළදාමකදි ලැබුන ලාභය 2000 යි.මේ 2000 ත් එක්ක සැබෑ වටිනාකම වූ 3000 මට දීල බඩුව ගත්ත කෙනා දීපු මුදල එයා වෙන දේකට වියදම් කරන්න තිබුන එකක්.මට 2000ක ලාභයක් දෙන නිසා එයාට කොහෙන්වත් රුපියල් 2000 ක් ලැබුන නොවෙයි.මේ එක තැනක තියන දෙයක් තමයි සංසරණය වෙන්නෙ.

    නමුත් මම ගෙදර වත්තෙ වැටිල තිබෙන කෙසෙක්කැනක් විකුනල බඩුවක් ගන්නව.අන්න දැන් අලුත් දෙයක් වෙළදපොළැට ඇවිත්.ඇත්තටම අලුත් දෙයක් අලුත් වටිනාකමක් එක් වුනද?
    කෙසෙල්කැන ඉබේ හැදුන එකක්.ඒ කියන්නෙ ඒක විකුනල මට ලැබුන මුදල මට පාරෙ තිබිල හමුවුනා වගෙ එකක්.මට කිසිම මහන්සියක් නෑ.කෙසෙල් කැන ගත්ත කෙනා මට දුන්න මුදල එයා වෙන දෙයක් ගන්න තබා ගත් එකක්.සියුම්ව කල්පනාකරනකොට අලුතෙන් දෙයක් එක්වෙලා නෑ.නිෂ්පාදනයේ වර්ධනයක් වෙලා නෑ.මුදල් ප්‍රමාණය එකමයි.මගෙ කෙසෙල්කන ගන්න කියල අලුතෙන් සල්ලි අච්චු ගහල දුන්න නොවෙයිනෙ.
    කෙසෙල්කැන වෙළදපොලට ආ නිසා සංචිතයට එක් වූ දෙය තව තැනකින් අඩුවෙන්න ඕන.
    මම කියපු එක වැටහුනාද මන්ද

    ReplyDelete
    Replies
    1. ඔබ මේක මුල ඉඳන් අපහු කියවන්න. ඔබ කියනවා "එකම වටිනාකමක් තමයි සංසරණය වෙන්නෙ කියන එක" - මාක්ස් කියන්නේ " භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව". ඉතින් ඔයාම කල්පනා කරලා බලන්න එකම වටිනාකමක් තියන භාණ්ඩයකට තමන්ට ඕන විධිහට ලාභ එකතු කරලා විකුනන එක කොච්චර සාධාරණද කියල? ශපිරෝ කියන විධිහට හා අමෙරිකන් , ඔස්ට්‍රියානු ආර්ථික විශේසඥයෝ කියන විධිහට එක හරි. නැත්නම් දියුණු වෙන්නේ නැහැ කියල. කියන විධිහට ඒක හරි. නැත්නම් දියුණු වෙන්නේ නැහැ කියල.

      Delete
    2. ඔය කෙසෙල් කැනේ කතාව තම බෝවෙර්ක් කිව්වේ. මතක තබා ගන්න අපි කතා කරන්නේ නිෂ්පාදන භාණ්ඩ ගැන විතරයි. ඔබේ ගොචියෙකු සේ කෙසෙල් කැන නිපදනවා නම් එය සාධාරණ ලෙස විකුනනන් පුළුවන්. මාක්ස් මේ දේවල් වෙන් කරලා ලියල තිබෙනේව. මම ඒ දේවල් මග හරිනවා. කලින් ලිපි බැලුවොත් පෙනේවි මාක්ස් කියනවා , සමාදාන විනිශ්චය කාරයෙකුට ගෙවන ගාන , වත්තේ ඉබේ හැදෙන දෙයක් විකුණන විට මෙය වෙන්නේ නැහැ කියල. නමුත් ඔබේ කෙසෙල් කන ගෙඩි වලට කලාඩ වෙළෙඳ මහතා වෙනම ලාභ තබා ගෙන වික්කොත් මොකද වෙන්නේ ? ඔහුගේ ප්‍රාග්ධනය වැඩි වෙන්නේ නැත්ද?

      Delete
    3. M-C-M එකේ මුදල නතර වෙන්නේ කොතනද? M' එක ?

      Delete
  3. මේ උදාහරණය බලන්න.
    එක ගමක් තියනව .ඒ ගමේ හැමෝම ණය කාරයො.ඒ ගමට එනව සංචාරකයෙක්.ඒ සංචාරකය රෙස්ටොරන්ට් එකට ගිහින් ඇඩ්වාන්ස් එකක් දෙනව රුපියල් සීයක.රෙස්ටොරන්ට් අයිතිකාරය ඒ සීය දීල බේකරිකාරයගෙ ණය බේරනව.බේකරිකාරය ඒ සීය දීල කිරිකාරයගෙ ණය බේරනව.කිරිකාරය ඒ සීය දීල ගණිකාවගෙ ණය බේරනව.ගණිකාව ඒ සීය දීල රෙස්ටොරන්ට් කාරයගෙ ණය බේරනව.අර ඇඩ්වාන්ස් දීපු කෙනා ඇවිත් නවතින්න ඕන නෑ කියල සීය ආපහු අරන් යනව.දැන් ගමේ කිසිම කෙනෙක් තව කෙනෙකුට ණය නෑ.
    මෙන්න මේ වගෙ දෙයක් නේද වෙන්නෙ.එකම දේ නේද සංසරණය වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මේක පරණ කතාවක්. වටේ ගිය ඊමේල් එකක්. ජර්මන් සංචාරකයා ග්‍රීසියේ නය බේරන හැටි. හොටෙල් එකකට ගිහින් කාමරයක් බුක් කරන්නේ .
      1. මේ කතාවේ කොහෙද නිෂ්පාදන භාණ්ඩයක් තිබෙන්නේ ?
      2. මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ධනවාදය කොච්චර බොරුවක්ද කියන එක මිසක් මාක්ස්වාදය වැරැදියි කියල නෙමෙයි.
      3. අපේ රට ඇතුළුව ලෝකේ හුඟක් රටවල් තමන්ගේ නය බැඳුම් කර හැටියට විකුනනවා කියල දන්නවද? වෙන ණය අරගෙන ආයෝජකයෝ ඒවා මිලදී ගන්නවා කියල දන්නවද? මෙන්න මේක තමා වෙන්නේ. කොටින්ම වෙන්නේ බොරුවක්. අන්තිමට මිනිස්සුන්ට තේරුණාම නය තවම එහෙම්මමයි කියල ඕක කඩන් වැටෙනවා. ඔබ කියූ විදියට. මේ කතාවේ සිධ්ධවෙන්නේ භාණ්ඩ හා සේවා හුවමාරුවක්. සේවාවත් භාණ්ඩයක් හැටියට ගත්තොත් C -M -C තම වෙන්නේ . රුපියල් සිය භාණ්ඩයක් වගේ හුවමාරු කරලා.

      Delete
  4. ඇත්ත . ඔයා කියන විදියට මට මේක තේරුම් ගන්න පහසුයි.මේ විදියට භාන්ඩයකට වටිනාකම් එකතු කිරීම කෘතිම වටිනාකම් එකතුකිරීමක්.ඒක වෙළදපොළට දරා ගන්න බැරි වෙනව .එතනදි ධනවාදී ක්‍රමය කඩා වැටෙනව.ඒක හරි.
    භාන්ඩවලට ගෙවන මුදලයි සේවා වලට ගෙවන මුදලයි අතරත් විශමතාවක් තියනව නේද .අධිවෘත්තිකයන් යැයි කියාගන්නා පිරිස් ඉතාම වංචාකාරී ලෙස දරුණු කොල්ලකාරී සූරාකෑමක් කරනවා නේද?

    භාන්ඩ නිෂ්පාදනය කරන පුද්ගලය අර විදියට වටිනාකම් එකතු කළත් සේවා සපයන්නා සැබෑ නිෂ්පාදනයක් නොකරම භාන්ඩ නිපදවන්නාට වඩා අති විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරනවා නේද

    ReplyDelete
  5. මෙය දිගටම යාමෙන් අවසාන වශයෙන් පාරිභෝගිකයා සූරා කෑමට ලක්වෙනවා.ක්‍රතිම වටිනාකම් දිගින් දිගටම එකතු කරන තරමට වඩා වැඩියෙන් අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයායි.ඒ කියන්නෙ නිර්ධන පන්තිය තව තවත් දුප්පත් වෙන විට මධ්‍යම පන්තියත් නිර්ධන පන්තියටම වැටෙනවා.ඒක මට තේරෙනවා.
    නමුත් මා හිතන විදියට අමුතුවෙන් ධනය මැවීමක් හෝ නැසීමක් නැති නිසා ලාභ වැඩිකරගන්නට ඉන්න ධනපතියො එකිනෙකා සමඟ ගැටෙනවා.ධනපති ක්‍රමය කඩා වැටීම ඇරඹෙන්නේ එතනින්.

    ReplyDelete
  6. අධිවෘත්තිකයන් කියන්නේ දොස්තරවරු නිතිඥයෝ වගේ අයට නම් ඔවුන්ට අයිතියක් තිබෙනවා මිනිසුන්ට ගෙවන්න පුළුවන් සාධාරණ මුදලක් අය කරන්න. මාක්ස්වාදයේ මෙය ශ්‍රමය සුරාකෑම යටතට ගණන් ගන්නේ නැහැ. මන් හිතන්නේ මෙය සදාචාරමය ප්‍රශ්නයක්. ඔවුන් විශාල මුදලක් අහින්සකයන්ගෙන් අය කරන එක. ධනවාදී එංගලන්තයේ දුප්පත් මිනිසුන්ට ආණ්ඩුවෙන් ගෙවනවා. සමාජවාදයක් යටතේ එයම ක්‍රියාත්මක කරන්න පුළුවන්.
    ඔබ කියන සේවා සපයන්නාගේ කොටසට මටත් එකඟ වෙන්න පුළුවන්.

    ReplyDelete
  7. ධනපතියො එකිනෙකා සමඟ ගැටෙනවා.ධනපති ක්‍රමය කඩා වැටීම ඇරඹෙන්නේ එතනින් - රටවල් යුධ කරන්නෙත් සම්පත් බෙදා ගන්න බැරිවනේ. රුසියාව එක පැත්තකත් යුක්රිනය, ඇමෙරිකාව හා යුරෝපය එක පැත්තක යන සිතල යුද්ධය ? අමුතුවෙන් ධනය මැවීම සඳහා ක්‍රම තියෙනෙව. ඉලනාග ලිපිය මගින් ඒක කතා කරමු.

    ReplyDelete
  8. ඇත්තටම බැලුවොත් මාක්ස් කියල තියෙන්නේ අපේ ඇස් ඉදිරිපිට තියෙන දෙයක් නේද? ධනවාදී ආර්ථික විශේසඥයෝ මේක ඉගෙන ගන්නේ ඒකයි. ඔවුන් ධනවාදය කඩා වැටීම වලක්වන්න නොයෙක් උපක්‍රම හොයනවා. ඒ පිලිබඳ ආයතන පවා පිහිටුවල ලොකු බැංකු කරුවන් ඒවා නඩත්තු කරනවා. මාක්ස් ඇත්තටම ධනවාදයට කරලා තියෙන්නේ ලොකු උදව්වක් එක පැත්තකින් බැලුව හම .

    ReplyDelete
  9. Apita prrag danaya potha ganna thanak thiyenawada

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදීන්ගේ ගේ අන්තරජාල ලේඛනාගාරය කියන ඔය දකුණු පැත්තේ ලින්ක් එකට යන්න. ඉංග්‍රීසි පොත බාගන්න පුළුවන්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .