Friday 3 October 2014

අම්බපාලි (කතා) වස්තුව



අතීත කතාව:

 මම කථා කියන කෑල්ල ඕන කමින්ම අත ඇරලා ලිව්වේ. කාටත් මතකද මන්ද මේ කතා වස්තුව. අම්බපාලි කියන්නේ ඉතාමත් සුරූපි කාන්තාවක් කියල තමා තෙරී ගාථා වල තියෙන්නේ.
 ඉන්දියන් චිත්‍රපටියේ පින්තුරක් උඩ තිබෙන්නේ. මෙයාගේ ලස්සන විශාල මහනුවර විතරක් නොවේ අනික හැම ජනපදයකම , නියන් ගමකම අනිකුත් අහල පහල රටවල පවා පැතිරිලා රාජකුමාරයෝ, සිටුවරු, කැසිනෝ කාරයෝ, ආයුධ ජාවාරම් කාරයෝ ඔක්කොම එනවලු ලඟට. මෙයාට එච්චරට ඉල්ලුම. කොච්චර විතර විශාලා මහනුවරට කිර්තිය ගේනවද (බදු සල්ලිත් ඇතුළුව) කියනවනම් මෙයාව රජවාසල ඔෆිෂල් නගර ශෝභිනිය හෙවත් කොර්ටෙසන් කෙරුවලු. මේකේ තේරුම තමා එයා සුපිරි පන්තියේ අයට ගණිකාවක් ය කියන එක.

 බුදුහාමුදුරුවොත් ඔය අව්වස්සේ වඩිනවලු විශාලාවට. හාමුදුරුවරු හා දාහක් එක්ක. එක හාමුදුරු නමක් අම්බපාලි හිටිය මැදුර ඉස්සරහින් පිඩුසිඟා වැඩියලු. සිටු කුමාරයෝ රත්තරන් හෙම අල්ලලා වැඩ දාපු ෆෙරාරි වගේ අස්ස කරත්ත හෙම පාක් කරගෙන ඉන්නවලු තමන්ගේ වාරෙ එනකල් අම්බිව එක්කන් යන්න. හාමුදුරුවොත් රාජ පුරුෂයෝ පටි වන වන, ආයුධ එල්ල කරගෙන ඉන්න නිසා බයෙන් බයෙන් ඔලුව වත් උස්සන්නැතිව යනකොට අම්බපාලි දැක්කම ආස හිතිලා මේ හරිම සන්සුන් ගමනෙන් යන හාමුදුරුවන්ට කතා කරලු. හාමුදුරුවොත් බයෙන් වගේ ගිහින් කිවලු මම මෙතෙන්ට එන්න සුදුසු නැහැයි කියල. අම්බපාලිත් ඇරලා නෑ.
"මම තමයි ඔබට ආරාධනා කරන්නේ. හැමෝම මටයි ආරාධනා කරන්නේ. ඒත් හැමෝම මට සලකන්නේ මගේ රූපය නිසා විතරයි. ඔබ තමා මගේ ජීවිතේටම මම ආරාධනා කරපු එකේම කෙනා ඒ නිසා කරුණා කරලා එන්න" කියල කිව්වලු.
ඉතින් අම්බපාලී දන් දීල බණ ටිකකුත් අහල.

 ඔය අස්සේ හෙන ජංජාලයයි බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න අම්බපාලිගේ මහා අඹ වනයේ. හාමුදුරුවරු එහෙන් මෙහෙන් කංකුන් ගානවලු, කට්ටියකට ඉරිසියාව, කට්ටියකට අප්සෙට් වැඩේට. කොච්චර සල්ලි තිබ්බත් , කොච්චර හොඳ මැදුරක හිටියත් මේත් ගණිකාවක් නේ කියලා.

බුදු හාමුදුරුවන්ටත් කතාව ගියාලු. උන්වහන්සේ කීවලු අපි කලින්ම තීරණය කරන්න ඕනේ නැහැනේ ඒ භික්ෂුව වැරදි කියල. අපි ටිකක් බලමු කියල. මෙන්න ඉතින් භික්ෂුවත් ආවලු හවස් වෙලා බුදුහාමුදුරුවෝ බැහැදකින්න. බැහැදැකලා කීවලු අම්බපාලි තමන්ට වස් වසන්න වඩින්න කියල ආරාධනා කෙරුව කියල. බුදු හාමුදුරුවොත් ප්‍රශ්නයක් දෙකක් අහල අවසර දුන්නලු. දැන් අනිත් සමහර හාමුදුරුවරුන්ට වැඩේ අල්ලන්නේ නැහැ. හෙන විවේචනලු. අරකි ගැන දන්නේ නැත්ද? අපේ එකා ඉවරයි?බුදු හාමුදුරුවෝ මේ මොනවා කරනවද? වගේ සීරියස් ටෝක්.
 බුදු හාමුදුරුවෝ ඒවා අහල දේශනා කලාලු

"මහණෙනි, කලබල වෙන්න එපා. අපි මාස හතරක් ඉවසල බලමු නේද. කියල. "

 ඉතින් අර සමහර හාමුදුරුවරුන්ට නින්ද යන්නෙත් නැතිලු. මේක ගැනම කල්පනා කරනවා මිසක් හරියට භාවනා වත් කරන්නේ නැතිලු. කොහොම හරි මාස හතර අමාරුවෙන් ගෙවිලා ගියාලු. ඔන්න අර හාමුදුරුවෝ එනවලු අම්බපාලි එක්ක. හාමුදුරුවරු කට්ටියක් හිතුවලු ඔන්න බඳින්න අහන්න තමා එන්නේ කියල. සිවුර ඇරලා යන්න වගේ කටකතාවකුත් ගියාලු. අර හාමුදුරුවොත් සන්සුන්ව වැඩල එකත්පස්ව හිටියම අම්බපාලි බුදුහාමුදුරුවන්ට බිම දිග වෙලා වැඳලා කිව්වලු එයාටත් මහණ වෙන්න ඕනේ. මේ ඔක්කොම සල්ලි, මැදුර වල් මුකුත් එපා. කියල අඹ වනයත් පූජා කලාලු සංඝයාවහන්සේට ම.
අම්බපලියත් මහණවෙලා රහත් වුණා කියලත් තිබෙනවා ථේරී ගාථා වල.

 වර්තමාන කතාව:

 දැන් මේ වගේ රටවල්වල අම්බපලිලා දෙවර්ගයක් ඉන්නවා. කට්ටියක් හෙනට සල්ලි තියෙන මොඩෙල් ල කියල ජාතියක්. මොඩෙලින් කරන අයත් ඉන්නවා. නමුත් වැඩි හරියක් නම ගහගෙන අම්බපාලි වැඩේ තමා කරන්නේ. ඒගොල්ලෝ එක්ක යන්න අරාබි කුමාරවරු, කැසිනෝ කාරයෝ ලම්බෝගිනි , ෆෙරාරි වලින් තමා එන්නේ. මේ ලස්සන මොඩෙල්ස් ලට ලොකු පාටි වලටත් ආරාධනා ලැබෙනවා. අර ඉතාලියේ බෙලරුස්කොනි දැම්ම බංග බංග පාටිය වගේ ඒවා. හැබැයි හිටපු ගමන් පොලෝසියෙන් පැනල අල්ලනවා. ඒ නම් ඉතින් පොලිස් බදු ගෙවන්නේ නැති වුනහම හම්බ කරන සල්ලි වලට. මේක මේ විශේෂ බදු වර්ගයක් හරිද.

 ඔය අස්සේ පාරවල් ඉන්න කට්ටිය, ඒ වගේම පුංචි ගෙවල් වල පිම්පියෝ බලෙන් තියන් ඉන්න නැගෙනහිර යුරෝපයේ, අප්‍රිකාවේ සුන්දරියන්ව ඇල්ලුවාම නඩු දාල හිරේට දානවා . නැත්නම් පිටුවහල් කරනවා ආපහු ආපු රටවල් වලට. අර පැලානේ දුෂණ මර්දනේ ද මොකේද එකක කට්ටියත් ඒකම කරනවා තායි අම්බපාළිලට. ගහන්නේ එහෙම නැහැ. උසාවියට දැම්මා. රටින් යැව්වා. ආයි මාස හයකින් ආවම ආයිත් ඒකම තමා වෙන්නේ.

 හැබැයි ළමයින්ට කන්න දෙන්න සත පනහට වැඩ කරන, බස් නැවතුම් පලවල රස්තියාදු වෙන අම්බපාලිලත් ඉන්නවා. ඒගොල්ලන්ට සමහරවිට රස්සාව කරගෙන යන්න පගා දෙන්නත් වෙනවා ඇති, සල්ලි වලින් හරි වෙන විධිහකින් හරි . ඒකට එයාල හැම වෙලේම කැමති නැතුවත් ඇති. නමුත් එහෙම අම්බපාලිලට කවුරුහරි ගැහුවොත් ඒක ඉතින් අම්බපාලිලගේ වරදම නෙමේනේ. ගැහුව කෙනා රාජ පුරුෂයෙක්නම් එය හිතනවා ඇති ඉහල උදවියත් කරනවා නම් ඇයි තමන් කලාම මොකද වෙන්නේ කියල .

 ඔය අව්වස්සේ අම්බපලිව බේරන්න එන්නේ අවකාශනන්දේ උදුලාරතන වගේ අය තමා . කට්ටියක් එයාටත් බනිනවා නඩු යනවා කියල. හැබැයි එයා එහෙම එන්නේ තමන් බුදු වදන් හරියට පිලි පදින්නේ නැති නිසා කියල බනින කාටවත් හිතෙන්නේ නැහැ. තව සමහර හාමුදුරුවරු සමහර රියදුරු මහත්වරු සමග පෙළපාලි යනවලු අම්බපාලිලට විරුද්ධව රාජ පුරුෂයන්ට පක්ෂව. ඔය අතරේ ජය කුමාරිල වගේ අය , අම්බපලිලගේ අම්මලත් මොනව හරි හේතුවකට රාජ පුරුෂයෝ බන්ධනාගාරේ ඇතුලට දාගන්නවා. ජයකුමාරිලගේ දුවල හෙම කොහේ දුක් විඳිනවද දන්නෙත් නැහැ. අර බුදු හාමුදුරුවන්ගේ කාලේ අම්බපාලි රහත් වෙලා නිවන් දැක්කට, කේලම් කියපු , මාස හතරක් නොනිදා වාද කරපු හාමුදුරුවරු රහත් වුනු බවක් ජාතක පොතේ නැහැ. (බුදු හාමුදුරුවෝ ළග ඉඳල බණ ඇහුවත්.) පුනරුප්පත්තියට (පිලි ගන්නවනම්) අනුව ඒගොල්ලෝ කොහේ හරි ඉපදෙන්නත් ඕනෙනේ. .

 කොහෙද දන්නේ නැහැ නේද ඉපදුනේ?
 ලිව්වේ 2014 අප්‍රේල් 10

14 comments:

  1. දීර්ඝ විචාරයක් ලෙස ලිවිය හැකි දෙයක් ඉතා රසවත්ව ග්‍රහනය කරගන්න පුළුවන් ලෙස ලියල තියනව.ඇත්තටම බුදුදහමේ විකාර සදාචාරයක් නැහැ.ඔයකියන කාලෙ ගණිකාව අමුතු සතෙක් කියල සැළකුනෙත් නෑ බට්ටිල ට විරුද්ධ වුනාට සල්ලිකාර ගණිකාවන්ට විරුද්ධ කෙනෙක් නෑ.බට්ටි සේවා සපයන්නෙ බැරි එකාට.ඔය කියන මොඩෙල් වලින් සේවා ලබා ගන්නෙ ලොකු ලොක්කො
    මෙතන එන්ජීඕ වලමැදිහත්වීම දීර්ගකාලීනව රටට අහිතකරයි.මා එය මගෙ බ්ලොග් එකේ පෙන්වා දුන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යකා මහතාට. මම මාතලන්ගේ බ්ලොගයයි , යකාගේ බ්ලොගයයි දැකල තමා මේක ලීවේ. ටිකක් වෙනස් මානයකින් ලියන්න ඕනේ වුනා.

      Delete
  2. //""අම්බපලිව බේරන්න එන්නේ අවකාශනන්දේ උදුලාරතන වගේ හාමුදුරුවෝ කියල කෙනෙක් . කට්ටියක් එයාටත් බනිනවා නඩු යනවා කියල. හැබැයි එයා එහෙම එන්නේ තමන් බුදු වදන් හරියට පිලි පදින්නේ නැති නිසා කියල බනින කාටවත් හිතෙන්නේ නැහැ. තව සමහර හාමුදුරුවරු සමහර රියදුරු මහත්වරු සමග පෙළපාලි යනවලු අම්බපාලිලට විරුද්ධව රාජ පුරුෂයන්ට පක්ෂව.""//

    ආයේ හොයන්න දෙයක් නෑ , ඔය තියෙන්නේ කට්ටියම ඉපදිච්ච තැන්. පුනුරුප්පත්තිය හරිනම අර හාමුදුරුවරු සෙට් එක තමයි ඔය ඉපදිලා තියෙන්නේ . සාරුවා සුනිල්ටත් බෝධිපුජා තිබ්බ අම්මටසිරි ලංකාව

    ReplyDelete
    Replies
    1. වැඩේ ගානට අල්ලගත්තට ඉවාන් මල්ලිට මගෙන් සුභ පැතුම්.

      Delete
  3. දැන් වර්ථමාන කතාවෙ අම්පාලිට අඹ වනයක් සහ වස්තු දේපල නැහැ. ඒ නිසා මම හිතන්නෙ නැහැ අද කාලෙ උන්නාන්සෙලා පවා මේ අම්බපාලිය වෙනුවෙන් පෙනී සිටිවි කියලා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒක තමයි කේස් එක කියල. කතාවනම් ඇත්ත තමා.

      Delete
  4. මට දුක පොලිස් කාරයා ගැන නෙමෙයි.. පොලිස් කාරයා නිවැරදියි කියලා පිකට් කරපු බට්ටිගේ පන්තියෙම ගොන්නු හා හරක් එක්කයි..

    ReplyDelete
    Replies
    1. ඕකට නමකුත් දාල තියෙනවනේ. ලුම්පන් නිර්ධන පන්තිය කියන්නේ ඒ කොටසට නේද?

      Delete
    2. මටත් තරහ තියෙන්නේ අර පිකට් කරපු සෙට් එක ගැන. බට්ටි කියනවා එයාට වැඩ සෙට් කරලා දෙන එවුනුත් එතන හිටියාලු. මුන් කියන්නේ තව ගහපන් කියන එකනේ. රටක ආණ්ඩුවකට ඕනත් තව ගහපන් කියලා උද්ඝෝෂණ කරන එවුන්නේ. බට්ටිගේ හොඳ නරක නෙමේ හොයන්න ඕන...බට්ටිට කරපු වැඩේ හොඳ නරක නේද කියලා නොතේරෙන එව්වොත් එක්ක මොන ඉදිරියක්ද?

      Delete
    3. ඉදිරියට කොහොමත් පස්සට තමා යන තරමක් යැවෙන්නේ. ගණිකා වෘත්තීය වැරදියි කියමු. නමුත් නීතියට අනුව කටයුතු ක්කරාම ඉවරයි.

      Delete
  5. ඕකුං ටික මේ භවයෙත් ගොඩ යන්නේ නෑ.

    ඊනියා සුචරිතවාදී කුක්කෝ ඉන්නකං අම්බපාලිලට විතරක් නෙමෙයි උදුලාරතනලටත් වෙන්නේ රාජ්‍ය සල්ලාලයන්ගේ පෝලිං සනසන්න. උදුලාරතනල ගහපු කනේ පාර වදින්න ඕන හැමෝටම වදිනකම්, උදුලාරතනලට ගේම ඇදගෙන යන්න පුළුවන් නම්, ඒක තමා පැතුම

    කාලෙකින් කියවපු සිරා පෝස්ට් එකක්.

    ReplyDelete
  6. ස්තුතියි කොමෙන්ටුවට. සුචරිතවාදී කට්ටිය ගේ වෙස් මුහුණු ගැලවෙන දවසකුත් එයි.

    ReplyDelete
  7. මචන් ඇහැට කනට පෙන කෙල්ලෙක් එක්ක කතා කරත් අපේ සමහර උන් අහනවා උඹ අරකට ඇනන්ද කියල. ඒ කියන්නේ කෙල්ලව දැනටමත් උන්ගේ මනසින් ගණිකාවක් කරලා. ඇයි උන් ඇසුරු කරන්නේ ගණිකාවෝ විතරයි නේ. ඉතින් හිතන්නේ මේ ලෝකේ ඉන්න ඔක්කොම කෙල්ලෝ බඩු කියල. උන්ගේ ඉඟි බිඟි වලින් කෙල්ලොත් දන්නවා සතා කවුද කියල. ඉතින් එක කෙල්ලෙක් වත් නැහැ යාලුවෙක්. එහෙම උනාම පුදුම ලිංගික අසහනයකට පත් වෙලා ගණිකාවෝ හොයාගෙන යනවා. හැබැයි උන් සමාජය ඉදිරියේ සුචරිත වාදීන්. ඇයි ඔක්කොම හොරාටනේ කරන්නේ. කෙල්ලෝ එක්ක ගැවසෙන අපි බඩු කාරයෝ.
    එක පාරක් ඔය වගේ එක එකාට මඩ ගගහ හිටපු එකෙක් පාටියක බීල වැටුන. බාර් එකේ ඉඳන් මුව උගේ රුම් එකට උස්සගන ඇවිත් දොරේ යතුර හොයනකොට පර්ස් එකේ කොන්ඩෝම් දෙකයි.

    ReplyDelete
  8. ඕක අපිට තියෙන ප්‍රශ්නයක් නේ. ලිංගික කුහකත්වය කියන්නේ ඕකට වෙන්න ඇති.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .