Monday 29 December 2014

කවියක්

හැමෝම කවි ලියනවා වගේ කියල හිතෙනවා. ඊයේ කියෙව්වේ අපේ හිතවත් ජයසිරි අලවත්තයන් ලියු "කාව්‍ය මකරන්ද විමංසා " එකට විචාරයක්. ඒක කියෙව්වහම හිතුනේ කවි නිසඳැස් ලිව්ව කාලයක් මතක නැහැ කියල. ඉඳල හිටලා මාතලන්ගේ දේශපාලන කවි පේලියක්, බස්සිගේ, කටුසු හදවතගේ , දිලාගේ, ශාශියගේ නිසඳැසක්, කවියක් කියවෙනකොට හිතෙනවා ලියන්න ඕනේ කියල.

ඒ අතරේදී තම මගේ සහෝදරිය මට මතක් කලේ මම  ලිව්ව නිසඳැසක් ගැන. මම ලිව්ව එක වුනත් අක්කා කිව්වේ ගොඩක් අය ඒක කොපි කරගෙන තමන් ලිව්වා වගේ සමරු පොත්වල හෙම ලියාගෙන හිටිය කියල. ඉතින් ඇත්තටම මේක මගේ. ඔරිජිනල් කොපිය ලියු පොත තවම අක්ක තියන් ඉන්නවා සිහිවටනයක්ලෙසට . (මම පිටරටක ජිවත් වෙන නිසා). මේක ලිව්වේ එක්තරා යුවතියක් ගැන 1982 විතර මම අපොස (උ.පෙ.) කරන කාලේ. කතාවත් කියලම හිටින්නම්.

ලස්සන ගෑණු ළමයෙක් හිටිය ගෙවල් ගාව. මගේ ගේ ළඟ නිසා මම සාමාන්‍යයෙන් කතාව දාගෙන  ඉන්නවා එයා එක්ක. ඒ දවස් වල මට ගණන් පුළුවන් කියල රාවයක් තිබ්බ නිසා මගෙන් ඉඳ හිට ගණන් අහගන්නත්  එනවා. හැබැයි එයා ටිකක් නම තියෙන බාලිකා විද්‍යාලයකට ගිය චුට්ටක් වෙන්න උඩඟු කෙනෙක්. මෙයාට කැමති පිරිමි ළමෙකුත් හිටිය ඒ ළඟම නුවන් කියමුකෝ නම.  ඉතින් මේ නුවන් කොළු ගැට තෙමේ මමත් දන්න කෙනෙක් වුනත් යාලුවෙක්ම නෙමේ. මිනිහ දවසක් මාව හමුවෙන්න ආව උදව්වක් ඉල්ලා ගෙන. උදව්ව මොකක්ද ඉතින් අර ගෑණු  ළමයාගෙන් අහන්න පොරට කැමතිද කියල. මන් කිව්වා මම ඔය කපු වැඩ වලට නැහැ කියල. පස්සේ මූ  කියනවා ඒ කියන්නේ උඹ යාලුයි නේද, උඹ ටියුෂන්  දෙනවා නේද ඒකද මේකද කියල. මාත් එක්ක වලිය දැන් . පස්සේ මල කරදරෙන් බේරෙන්න බැරි නිසා මම හා අහන්නම් කිව්ව.
දින දෙකකකට විතර පස්සේ කෙල්ල එක්ක කතා කරන ගමන් මම නිකමට කෝට්ටක් වතුරට දාල ඇනල බැලුව?

"ඔයා  දන්නවද නුවන් හෙම අර පල්ලහා  ගෙදර ඉන්නේ?"

කෙල්ල කියපි "අපොයි මම දන්නව ඒ වසංගතේ. අර කබල්  බයිසිකල් කට්ටත් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවනේ යාලු වෙනවද කියල. මම බැනල එලව ගත්ත. ඌත්  එක්ක යාලුවෙන්න අර කොරියාවේ කෙල්ලක් හොයා ගන්න කිව්ව".  (කොරියාව කියන්නේ උතුරු දකුණු කොරියාව නෙමේ. ඒ දවස් වල තිබ්බ කොලඹ දුප්පත් කෑල්ලක්)

දැන් මට ටිකක් අප්සෙට්. නුවනයා  මට අහපු  කතාව කිව්වෙත්  නෑනෙ.

මං නුවනය  හම්බ වෙලා බැන්න. කලින් ඇහුව කියල කිව්වේ නැහැ කියල. මු මට කියනවා " මචන් උඹ ටියුෂන් දෙන නිසා උඹ කීවොත් ඒකි  කැමති වෙයි කියල මට හිතුන " නුවන් උසස් පෙළ අසමත් වෙලා පොඩි ජොබ් කට්ටක් පටන් අරන් හිටියේ. මම නුවන්ට කීව කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා. ඒකයි කේස් එක. උඹ වෙන අතක් බලා ගනින් කියල. නුවන් දුකින් ඔලුව පහත් කරගෙන යන්න ගියා.

මේක තමයි ලිව්ව කවිය. දැන් බලන කොට බොළඳයි වගේ. වචනත් ඔහේ ලිව්වට තාරකාත් එහෙම නැහැ වගේ. ....

ඈත දිදුලන නිම්  වළල්ලෙන් 
සීත  මිදුම් කඩ තුරාවෙන් 
වැසී  ගිය රන් වළා හුයෙකින්  
දිදුල දිදුලා  සිත් කැලුම් දෙන 
නීල උත්පල දිමුතු තරුවක් 
එපා කිසිදින ඔබ පතන්නට 
විරහ ජිවන වේදනාවන් 
එහි රැඳී ඇත 
එහි රැඳී ඇත !

(ප.ලි.  මගේ අක්ක කියන විධිහට මේක ලියා  තිබුන මගේ මේ කවි පොත තියාගෙන ඉඳල තියෙන්නේ ඒ ළමය. ඒ ගොල්ලෝ ගෙවල් ඇරලා යනකොට ඒක  දීල ගිහිල්ල. (මං එතකොට වෙන රටක) ඒ ළමය හිතාගෙන ඉඳලා  තියෙන්නේ මං ගැනලු. කාටද ඉතින්  ඕව තේරෙන්නේ ඒ කාලේ. පොත්  කියව කියව හිටිය පොත් ගුල්ලනේ.)

21 comments:

  1. පෙම් කවි ලිව්වෙම නැති තරම්.. මොකෝ ඒ කාළේ ඉඳලම මට තේරුනා මේක ප්‍රේමයක් නෙමෙයි, පොඩි ඇට්‍රෑක්ෂන් එකක් හා තමන්ගේ කර ගැනීමේ ලෙඩක් කියලා.. ඒ උනාට යාළුවන්ට නම් අනන්ත ලව් ලෙටර්ස් නම් ලියලා දුන්නා.. ඒවයෙත් කවි තිබුනේ නෑ.. තිබුනේ මිල්ටන් ගේ සිංදු කෑලී..

    ReplyDelete
    Replies
    1. //ඒ කාළේ ඉඳලම මට තේරුනා මේක ප්‍රේමයක් නෙමෙයි, පොඩි ඇට්‍රෑක්ෂන් එකක් හා තමන්ගේ කර ගැනීමේ ලෙඩක් කියලා..//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඒ දවස්වල අපි බැලුවේ හැම දෙයක්ම තමන්ගේ කරගන්න තමා. දැන්නම් මට ඈත තියෙන ලැබෙන්නේ නැති දේකට හෝ කෙනෙකුට වුනත් ආදරය කරන්න පුළුවන්. කොටින්ම ආදරයට ආදරය කරන්න පුළුවන් කියල හිතෙනවා.

      Delete
  2. තරුවක් නෙමේ, අතට ආපු දේ කටට දාගෙන නෑ ............. අපරාදෙ. ඔය කවියම අතට දුන්නනම් වැඩේ කරගන්න තිබ්බ. ෂිහ්. (මේක නෝනට පෙන්නල ගුටියකුත් කාල එන්නකො එහෙනං)

    ReplyDelete
    Replies
    1. නෝනට හොඳ වෙලාවට ශිංගල බෑ. අතට ආවයි කියල දන්නේ කොහොමද ගණන් අහන්න ආව කියලනේ හිතන් හිටිය. ඔය අතේ තමා වැරැද්ද මාධවී හේ හේ:)

      Delete
  3. විජ්ජා කාරයෙක්ගේ නියම කවියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මකසි. විහිළුවට කීවද මන්ද විජ්ජාකාරයෙක් කීවේ ???

      Delete
    2. විද්‍යා ලිපි ලියන නිසා

      Delete
    3. හා හා විද්‍යා විජ්ජා

      Delete
  4. පට්ටයි....
    සමහර ළග තියෙන දේවල් ගැන අපිට දැනෙන්නෑනෙව...
    අපි කරන්නෙම ළග තියෙන දේ නොබල හද අල්ලන්න යනේද
    සමහර විට නුවන ටත් වෙන්න ඇත්තෙ ඒක...
    හෆොයි...

    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන්
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. නුවනට විතරක් නෙමේ මහේෂ් මල්ලි මටත් එහෙමයි. මන් හිතන් හිටිය ගෑනු ළමය ඒ ගැන දන්නෙවත් නැහැ. ඔන්න ඊයේ පෙරේද කිව්වා. බැඳලා හොඳට සතුටෙන් ඉන්නවා. අපි කට්ටියම ගිහින් හම්බවෙලත් ආවා හේ හේ. ඔබටත් නව වසර සුබ එකක්ම වේවා. තව ලියන්නට හා සිත් පිරි මදින්නට හැකිවේවා.

      Delete
  5. අයියෝ...... තමන් ගැන හිතාගෙන ඉන්න කෙල්ලට, ඒ ගැන හාංකවිසියක් නොදැන යාලුවන්ව ජෝඩු කරන්න පරම පවිත්‍ර සපෝට් එක දෙන කොල්ලො මීට අවුරුදු විසිපහකට ඉහතත් ඉඳලා තියෙනවා නේ.

    ඔහොම අය තාම ඉන්නවා අනේ. තාම ඉන්නවා. කන කරකෝල කිවුවෙ නැත්තන් ඒ අයත් තාම දන්නෑ වගේ ඉන්නවා. :D

    කවිය නම් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. මොනා කරන්නද. කොල්ලොන්ට මීටරේ වැටෙන්නේ හැමදාම පස්සේ නේ. එතකොට කෝච්චිය ගිහින්.
      ස්තුතියි බස්සි.

      Delete
  6. නිසඳැස නම් නියමයි..

    //"ඔයා දන්නවද නුවන් හෙම අර පල්ලහා ගෙදර ඉන්නේ?"
    කෙල්ල කියපි "අපොයි මම දන්නව ඒ වසංගතේ. අර කබල් බයිසිකල් කට්ටත් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවනේ යාලු වෙනවද කියල. මම බැනල එලව ගත්ත. ඌත් එක්ක යාලුවෙන්න අර කොරියාවේ කෙල්ලක් හොයා ගන්න කිව්ව". //

    පුදනකොටම කාපි කිව්වලු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අශාන්. "පුදනකොටම කාපි යකා "කියන කතාව හැදුනෙම ඕවගේ එකකට වෙන්න ඇති. හේ

      Delete
  7. හැක් හැක්.. මෙච්චර නිසඳැසක් ලියලත් ඒක කෙල්ල ගාවම තියන් ඉඳලත් ඔය ලවු එක ටික කාලෙකට හරි ගොඩ දාගන්න බැරිඋනා කියන්නේ අන්බිලීවබල්.. (කොළඹ ගම මහගෙට බයේ අපිට කෙබරයක් කිව්වා හෙම නොවෙයිනේ..)
    අජිත් අයියට දැන් තියෙන්නේ ඔය මුළු කතාවම අල්ලල කවි පන්තියක් ලියන්න..
    මොනව උනත් ඔයා මගේ මේ ආගන්තුක ආදරේ ජයගත්ත විදිය කියවල තිබ්බනම් හැබැයි ඕක ඔයිට හොඳට ගොඩ දාගන්න තිබ්බා.. (ආයෙ දවසකවත්).. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ගම මහගෙට සිංහල දන්නේ නැහැනේ කියවන්න. ඉඳලා හිටලා අහනවා මොනවාද ලියන්නේ කියල. අනික මං ඇත්තම කියනවා. අනික ඉතින් මුකුත් වුනේ නැහැ. අනිත් අයනේ කියන්නේ කෙල්ල මන් ගැන හිතුව කියල. එයාගෙන් ඇහුවොත් නැහැ කියයි. දැන් සැහෙන සල්ලිකාරයෙක් බැඳලා ලු ඉන්නේ.
      ඔයාගේ මේ ආදරේ ජයගත්තා කියන්නේ දැන් බැඳලා ඉන්නේ එයාද? කවි ටික නම් මල් හතයි. මට ගොඩ දාගන්න ඕන කමක් තිබ්බේ නැති එකක් ඒක.

      Delete
  8. අයියෝ සල්ලි , කෙල්ල ගණන් කාර්යට කැමති වුනාට , මිනිහා කෙල්ලොන්ගේ ගණන් දැනගෙන ඉඳලා නෑ වගේ, හැබැයි ඔන්න දැන් ඕවා පටන් ගන්න යනවා එහෙම නෙවෙයි,

    ReplyDelete
    Replies
    1. දැන් කල් ගිහිල්ල වැඩියි ඉවාන් මල්ලි. ඔයාවත් පටන් ගන්න වෙලාවක් තියේනම්.

      Delete
  9. මටනම් වෙලා තියෙන්නේ ඕකේ අනිත්පැත්තද කොහේද?මම ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබුන එකීගේ හැඟීම් තේරෙන්නේ නැතුව මම ගිහින් ඒකිගෙන්ම ,ඒකිගේ යාළුවා ගැන ඇහුවා.වැඩ දෙකම වුනේ නෑ.පස්සේ කාලෙක හම්බුන දවසක ඒකි කියනකම්ම ඒකගේ හිතේ තිබුන අදහස ගැන මට තේරුනෙත් නෑ.අතට ගත්තු දේ කටට දාගන්න බැරි මී හරක්.....
    මක්ක කරන්නද අජිත් අයියා,දුක තමයි.ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මලේ නුවන්ගේ කටෙත් පස්. මගේ කටත් පස්. උඹේ කටෙත් පස්. ඒ වුනාට අපට වැරදිලම නැනේ නේද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .