Wednesday, 24 September 2025

වයර් පොටකින් මැරුම් කෑ ජම්පටා වීදියේ ඇල්බටා


ලෙනින් ලියෝ ටෝල්ස්ටෝයි නමැති මහා ගත්කරුගේ සාහිත්‍යකරණය ගැන වරක් මෙසේ ලියුවේය .  "ලියෝ ටොල්ස්ටෝයි යනු රුසියානු විප්ලවයේ කැඩපතයි . " මේ කියන්නේ මොන මගුලක්ද කියා මට බොහෝ කලක් වැටහුනේ නැත .   ඔහු ලියුවේ  ටොල්ස්ටෝයි ගේ අදහස් සහ මුලධර්ම වල ඇති පරස්තරතාවයන් අහඹු දේවල් නොවන බවත් ඒවායින් පෙන්වන්නේ දහනව වන සියවසේ අග භාගයේ රුසියානු  ජිවිතයේ පරස්පර විරෝධී තත්වයන් බවත් ය. නමුත් ටෝල්ස්ටෝයි ගේ කෘති බොහොමයකම මාතෘකාව වූයේ රුසියානු ප්‍රභූ හා රදළ ජිවිත ගැනය.  ඇනා කරෙනිනා , යුද්ධය හා සාමය, සැන්දෑ සාදයෙන් පසු,  ඉවාන් ඉලිච් ගේ මරණය ආදිය නිදසුන්ය.  
එයිටත් එහා ගිය ප්‍රශ්නයක් වූයේ ටෝල්ස්ටෝයි දැඩි ක්‍රිස්තියානු ආගමිකයෙකු මෙන්ම සිටුවරයෙකුද වීමය.   

නමුත් අනිත් පසින් ටෝල්ස්ටෝයි යනු රුසියානු ජිවිතයේ අසමසම චිත්‍රයක් මැවූ, සමාජයේ බොරු සහ කුහකකම් වලට අවංකව විරෝධය දැක්වූ, ධනය සහ දරිද්‍රතාවය අතර දැඩි වෙනස විවේචනය කල ප්‍රතිභාපුර්ණ පුද්ගලයෙකි.   නමුත් පරස්පර විරෝධී ලෙස ඔහු ඉඩම් හිමියෙකු මෙන්ම ආගම දේශනා කරන්නෙකුද,ලෙනින් ගේ වචනයෙන් උමතු විලාප නගන රුසියානු බුද්ධිමතෙකු ද විය
 . 
රුසියානු දරිද්‍රතාවයේ ගිලී උන් ගොවි ජනතාවගේ අනිත් විරුද්ධ පාර්ශ්වය ඉඩම් හිමි ධනවතුන් විය. ඔවුන්ගේ ධනවත් එහෙත්  නිසරු සහ දියාරු ජීවිත හෙළි දරව් කලේ ටෝල්ස්ටෝයි විසිනි . ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත වූයේ එසේය.  මේ පරස්පරතාවය නිසාය . 

ශ්‍රී ලංකාවේ නවකතා ගැන කල්පනා කරද්දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවන් මෙන්ම ඔහුගේ බොහොමයක් නවකතා 'ගම '  පාදක කොට ගෙන ලියවුනු ඒවාය. කේ ජයතික ගේ පොත් වල නාගරික ජිවිත ගැන සඳහන් වුවද ඒවා අයත් වන්නේ හැටේ දශකයේ අග භාගයට සහ හැත්තෑවේ දශකයටය . මා පසුගිය කලෙක කියවූ  බොහොමයක් කතා ලියවී තිබුනේද ගම පාදක කරගෙනය. තවත්  බොහෝ ඒවා අනුරාධපුරය හා පොලොන්නරුවටද ,  බදුලු ප්‍රදේශය හා දකුණද පාදක කොට ගෙන ලියවුනු ඒවාය. ගුණදාස  අමරසේකර මහතාගේ 'යලි උපන්නෙමි '  නවකතාව  නාගරික ජීවිතයක් හරහා ගලා ගිය එකක් බව මතකයේ පවතී .  නමුත් එය අයත්වන්නේද අතීතයටය .  හැත්තෑවේ දශකයේ ප්‍රේම කතා බොහොමයක් ලියවුනේ නාගරික හා ගම්බද ධනවත් මධ්‍යම පන්තික ජිවිත අලලාය. සුමිත්‍රා රාහුබද්ධ ගේ සිට අනුර වික්‍රමසිංහ දක්වා පොත පතද ඒ ආරයටම ලියු ඒවාය.  ඒවා කියවීමට ආසා කරන වර්ගයේ ව බව සැබෑය.  අසූවේ  දශකයෙන් පසු කොළඹ හා අවට තදාසන්න ප්‍රදේශයන් හි ජන ජීවිතය ගැන ලියවුනු පොත් නැති තරම්ය .  විශ්ව විද්‍යාල ජිවිත අලලා පොත් කිහිපයක් ලිවී තිබෙන අතර මෑතකදී කියවූ බෝධිනී සමරතුංග ගේ 'මගේ පස්සෙන් එන්න "  එවැන්නකි. මෑතකදී කියවූ හොඳ පොතක් වූ  උපුල් ශාන්ත සන්නස්ගලගේ "භික්ෂු පරිච්ජ්චේදය" පෞද්ගලික පන්ති උප සංස්කෘතිය අනුසාරයෙන් ලියුවකි .  

තමන්ගේ ආරයකට පොත් ලියන තරිඳු හරි ලොකු ගමගේ මට මුලින්ම සම්මුඛ වන්නේ බ්ලොග් හරහාය .  ඉන්පසු ඔහුගේ කොමඩි කතාවක් බඳු "ඔයිල් පැල්ලම්" පොතේ කියවා ඉමහත් රසයක් වින්දෙමි .  ඒ ගැන මා   "ජිවිතයේ ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද" මන් බ්ලොග් ලිපියක් ලීවෙමි .  කොමඩියක් සේ ලියවුනද එය සමාජයේ එක්තරා කොටසක් ගැන විග්‍රහ කෙරෙමින් ලියවුන ග්‍රන්ථයක් බව හොඳින් විමසනවිට පෙනී යා හැකිය.    
ඉන්පසු මගේ ඇස ගැටුනේ  ඔහුගේ රහස් පරීක්ෂක හෝ අපරාධ පන්නයේ  නවකතාව  වන 'වයර් පොටක සෞන්දර්යය' යි .  එය මුල් පොතට සපුරාම වෙනස් පන්නයේ පොතක් විය .  එම පොතේද ඔහුගේ උපමා යෙදීම් අඩු නැතිව තිබුණි .  "බෝඩිම ප්‍රාග් ඓතිහාසික  මහා ගංවතුරකට අහුවූණු  ඩයිනෝසර සොහොනක්  මෙනි ." යනුවෙන්  23 වන පරිච්චේදයේ ලියා තිබේ .  ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ජුරාසික් ලෝකය බලා නැත්නම් එවැන්නක් හිතා ගත නොහැකිය .  තරිඳුවා ගේ හිස තුල මයිනටෝර්  හිටි ක්‍රිට් දූපතේ වංක ගිරිය මෙන් යයි මට සිතුනි .  අපරාධ නවකතා කියවන විට අප කියන්නේ 'ක්‍රිමි' එකක් බලනවා කියාය.  මේ පොත හොඳ ක්‍රිමි එකකි .  ගමනක් හෝ නිවාඩුවක් යනවිට දවසක් දෙකක් තුල කියවන්නට අනගිය.
  
"ඇල්බට්වරුද මනුෂ්‍යයෝය" පොත කුමන වර්ගයේ එකක්දැයි මට මුලදී සිතා ගැනීමට නොහැකි විය. එහි ඇති චරිත වර්ගයා අතර පරස්පරතාවයන් බොහෝය .  ඉහත  ටොල්ස්ටෝයි ගේ කතාව සඳහන්  කලේ ඒ නිසාය .  නැතිව තරිඳු ලොකු ගමගේ  පොත් ටෝල්ස්ටෝයි ගේ පොත් වලට සම කරන්නටම  නොවේ. මට මේ පොත කියවන්නට සතියකට වඩා  ගියේ එය කියවූයේ එකවිට නොවන නිසාය. උපමාකාරක වැඩි  තැන්වලදී පොත පසෙක  දමා වෙනත් දෙයක් කලෙමි. 

"ලිප්ස්ටික් ඉලුවා වගේ රතු පාටක් තිබ්බ පඩි දෙකක් නැගලා , චොකලට් ඉලුවා වගේ දුඹුරු පාට දොරක් හරහා , මම කිරිපිටි ඉලුව වගේ කහ සුදක් තිබ්බ සෙටියක අනවසරයෙන්ම ඉඳ ගත්තා .  ඊට පස්සේ අයිලයිනර් ඉලුව වගේ කළු පාටක් තිබ්බ කොෆි ටේබල් එකක් ..."පිටුව 184.     
නවකතාවක්  කියවන විටදී අපි බොහෝවිට චිත්‍රයක් හිතේ මවා ගනිමු .  ඒ නවකතාවේ එන ප්‍රාදේශීය විස්තර ,  ස්ථානයේ විස්තර,  ගෘහයේ විස්තර හෝ පාත්‍ර වර්ගයාගේ සිරුරේ විස්තර වලිනි .  තරිඳු ඒවා ඉතා හොඳට ලියුවද - ලිපිස්ටික්   සිතේ මවාගෙන, ඉන්පසු චොකලට් ද , කිරිපිටිද , අයිලයිනර් ද සිතේ මවා ගන්නාවිට තාරකා  විද්‍යාව  සම්බන්ධ පොතක්  කියෙව්වාක් මෙන් හිතට මහන්සියක් දැනේ.

ඇල්බට්ලාගේ පොත් දෙවන වරට කියවිය යුතු යයි මට සිතුනේ මේ අවස්ථාවේය .  "මනුස්ස  ශිෂ්ටාචාරේ කියන්නේ කිරි ඉල්ලා හඬන දරුවෝ වගේ ආදරේ ඉඋල්ල විලාප ගහන ජීවින් පොදියක් "  යෙදුම  මට ඇස ගැසුනේ එවිටය . 
 චුට්ටා ,  පංකජ හා ගුත්තිල ඇල්බට් ගේ චරිත දෙස වඩා සීරු මාරුවෙන් බැලීමේදී කතුවරයා මිනිස් ස්වභාවයේ ඉතා සුක්ෂම තැන ග්‍රහණය කර ගන්නා බව පෙනීයයි
"කැම්පස් නං මචන් වෙන්නයි ,  කැම්පස් නෙමෙයි නං ඔයා වෙන්නයි හෙතුය්ව මොකද්ද?.
උප සංස්කෘතිය"

පාඨකයා තැනින් තැන නොදැනීම සිනා ගැස්සීම කතුවරයා කරන්නේ ආයාසයකින් තොරවය .    එසේම කිසිම ආයාසයකින්  තොරව චුට්ටා ගේ  හා කුෂී ගේ ලෙසබියානු  ආදර අන්දරය පොතේ පසුබිමින් ගලා යන්නට සලස්වයි. ඉනසු   සීමා ඇල්බට් , දින දෙකකට පෙර ටිලිනි ටාරුකා රතු පාට මල් වැටුණු දනිස්ස්ට දිග ගවුමක් ඇඳ  නෙටමොල්ට් පැකට්ටුවක් අතින් ගෙන පද්දමින් ගිය දසුන් පෙළ සිහිපත් කරමින් ස්වයං වින්දනයේ යෙදුනේය, යනුවෙන් ලියා පාඨක මනසට හීනි ෂොක් එකක් දෙයි. ඒ ෂොක ඉන්පසු කිහිප ගුණයකින් මල්ටිපල් වී ලැබෙන්නේ  සීමා ඇල්බට් ,  නිරුක්ෂණ සමග රහස් පරීක්ෂක වැඩකට ගොස් මලී කොල්ලාගෙන් කට පුරා අසා ගන්නා  අන්දම කියවන විටය . 

කතුවරයාගේ නම් තැබීම ඔහුට ආවේණික ඒවාම නොවේ .  කොළඹ  හා තදාසන්න පෙදෙස්වල ජිවත් වූ අයෙකුට ,  පලක්කුවා ,  බීරළු ඩගියා, සීමා ඇල්බට් , ටික්කයියා, වලිනි ටාලුකා වැනි නම් සුලබ ලෙස අසන්නට ලැබේ .  බජාර් එකේ ඇස ගැටෙන  ඕනෑම අයෙකුට අන්වර්ථ නම් පටබැඳෙන එක අරුමයක් නොවේ .  ඔහු ඒවා පොතේ පාත්‍ර වර්ගයා හැඳින්වීමට දක්ෂ ලෙස යොදා ගැනීම මනරම්ය .  
දෙසිය හැත්තෑ එක්වෙනි පිටුවේ සිට "ඔයිල් පැල්ලම් "  පොතෙන් කාර් පිස්සුව කෑල්ලක් ඇතුළත් කලේ මන්ද යයි තේරුම් ගන්නට මට සෑහෙන වෙලාවක් ගත වුනි . පිටුව 288 සිට ආපහු චුට්ටා කනට කිස් එකක් ලැබී  තෙත් වෙන හරිය කියවගේන යනවිට මම මදක් යථා තත්වයට පත් වුනෙමි .  එතැනින් එහාට නිර්භයව ලියවෙන එරෝටික් පරිච්ඡේදයක් පිටු තුන්සිය තිස් ගණන් වලදී හමුවෙන විට මේ කතාව චුට්ටා ගේ කතාව බවක් හැඟී යයි.  නමුත් පොතේ ප්‍රධාන චරිත වන පංකජ ,  ගුත්තිල ඇල්බට් හා චුට්ටා නිතර අපට මුණ ගැසෙන අතර සෙසු චරිත සූක්ෂම ලෙස මෙහෙයවින්  ගොඩ නගාගත් විශිෂ්ට නවකතාවක්  කතුවරයා ගොඩ නගා ඇති බව මේ කියැවීමේදී මට පසක් වුනි . 
කතුවරයා ඒ ඒ චරිත සියුම්ව ග්‍රහණය කරමින්, මානෝ විශ්ලේෂණයක් කරන්නෙකු භූමිකාවක් ද රඟ සක්වන්නේ යයි සිතෙයි .  ඒ තරමට පත්‍ර වර්ගයා එකිනෙකා අතර රිදුම් දෙන ලෙස පිරිද්දයි . 
වඩේ කිරි බී නැති නිසා ඒ ගැන කිව නොහැකි මුත් වඩේ කා හොඳ සැර කිරි තේ එකක් බීමට මම කැමතිය .  අපි හැමෝගෙම රස වින්දනයන් එකිනෙකට වෙනස්ය .  හැමෝටම හරියන පොත් කියා දෙයක් නැත . 

ජම්පටා වීදියේ ඇල්බට් කෙනෙකු සිටි අතර ඔහු වයර් පොටකින් මැරුම් කෑවේ නැත .  මේ පොතේ නැත්තේ ජම්පටා වීදිය ගැන පමණකි. පොත අත්‍යන්තයෙන්ම  පරස්පර විරෝධී චරිත එක මිටට ගනිමින් කුඩා ජන කණ්ඩායම් ගොහොරුවක ගිලි ඇති නාගරික සමාජයේ පැති කඩක් අපට විදහා පෙන්වයි .    

සෝලිස්ට් රියලිස්ම් හෙවත් සමාජ සත්තා යථාර්ථවාදය  අනුව ලියුවුනු පශ්චාත් සෝවියට් නවකතා  බොහොමයක් අසාර්ථක වූයේ ඒවා රජයේ හොරනෑ බවට පත්වීම නිසා යයි මම මින් ඉහත ලිපියක  ලියුවෙමි .  නමුත් යථාර්තවාදය පිළිඹිබු කෙරෙන ප්‍රබන්ධාත්මක නවකතා බොහොමයක් පළවී ඇති අතර ඒවායේ නිරූපණය වන්නේ සාමාජීය යථාර්තයයි. නගරාශ්‍රිත ජනයාගේ ජිවිත අරගලය ඉතා තාත්වික ලෙස හැඟෙන පරිදි යථාර්තවාදී සීමාවෙන් පිට නොපැන , කුමන්ත්‍රණ ,  අපරාධ හා කාමයෙන් පිරි විෂම  හා සම ලිංගික සම්බන්ධකම් ඒ ආකාරයෙන්ම හුවා  දක්වමින් ලියන ලද සාර්ථක වියමනාකි   "ඇල්බට්වරුද මනුෂ්‍යයෝය"  ග්‍රන්ථය .  

තරිඳු ශ්‍රී  ලොකු ගමගේට , කේ ජි කරුණාතිලක ගේ බස් වහර හෝ මනුතාපයේ බස් වහර හෝ මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ බස් වහර ඖගමනය කර පොතක් ලියන්නට මම කියන්නේ නැත .  නමුත් මෙවැනි පොත් පරිවර්තනය කරන්නට ඇතිවන අවුල මම සිතා බැලුවෙමි .  සමහර උපමා පොහොසත් සිංහලයටම පමණක් වැටහෙන ඒවාය. ඒ නිසා බස් වහර වෙනස් කර සුන්දර සාහිත හෙළ බසින්  නැවුම් කතාවක්  කතුවරයා ලීවොත් කෙසේ විය හැකිදැයි සිතමි.

ඒ කෙසේ වෙතත් ඔහුගේ තුන්වන පොතත් මා අමන්දානන්දයට පත් කළ එකක් බැවින්  කතුවරයාට තව තවත් අනගි නිර්මාණ කරන්නට සුභ පතමි . 

කොළඹ ගමයා 24/09/2025 

  
           


Saturday, 6 September 2025

ඔසාකාවේ කෑම ටුවර් එක, සයොනාරා ජපානයට


ඔන්න  මේ ලිපි මාලාවේ අන්තිම එකට ආව.  වෙජිටේරියන් නම් කියවන්න එපා .  ඔසකාවේ හවස් වරුවේ ගියා කෑම ටුවර් එකක් .  ඒක ගැනයි කතාව.  කෝබේ ගිහින් ආපු දවසේ රෑ තමා ටුවර් එක .  ඇත්තම කන්නත් බැහැ . නමුත් ඉනෙස් කීව මේක ෆුඩ් ටුවර් එකක් කියන්නේ තමන්ට තෝරලා කන්න තියෙන්නේ .  පොඩි පොඩි දීසි . ඒ නිසා අවුලක් නැහැ කියල .  අපේ ටුවර් ගයිඩ් වුනේ ඇමෙරිකන් ජාතිකයෙක් .  එයත් අර වගේ ජපන් යුවතියක් බැහැල ජපානේ බින්න බැහැපු කෙනෙක් .  එයාගේ රස්සාව තමා ඕක .  හැබැයි මෙයා අනිත් අයට වඩා වෙනස්. ජපානය ගැන වැඩි විවේචනයක් කලේ නැහැ.


අපේ ටීම් එකට කැලිෆෝනියා වල ඉන්න ඇමෙරිකන් පිරිමි  හතර දෙනෙකුයි නෙකුයි උතුරු ලන්ඩනයේ අපේ පැත්තේම මැදිවියේ ඉංග්‍රීසි කපල් එකකුයි හිටියේ .  ටිකකින් එයාලගේ දුවත් එකතු වුනා .  මේ ස්ට්‍රීට් ෆුඩ්  ටුවර්  එක ඔසාකා වල ජපන් වීදි කෑම කොටසේ  (කලින් ලිපියේ කීව කොරියන් කොටස නෙමේ )  මගේ ඉස්සරහින් ඉන්නේ ටුවර් ගයිඩ් .  අපි ගියේ ඔසාකා වල ෂින්සෙකයි කියන දිස්ත්‍රික්කයට.   පටන් ගත්තේ බියර් වලින් .  අපි ඔක්කොම බොන නුහුගුණ උන් නිසා අවුලක් නැහැ. ජපන් බියර් මරු . ඒ කියන්නේ බඩ  පිපෙන්නේ නැහැ  වැඩිය.  ඒල් (ale) එකයි ලාගර්  එකයි අතර .  හරියට ලයන් ලාගර් එකට පොඩ්ඩක් ස්ටවුට් එක පොඩ්ඩක් මික්ස් කරලා බොනවා වගේ . 

 හවස නිසා අර ඊයේ ගිය රෙස්ටුරන්ට් එකේ වගේම ගයිඩ් මහත්මය කීවේත් පොඩි පොඩි බයිට් සයිස් කෑම වලට යමු කියල .  ඔසාකා වලට ආවේණික (එහෙන් පටන් ගත්ත )  කෑම උයන ක්‍රමයක් තමා කුෂිකට්සු කියන්නේ .  ඒ කියන්නේ නොයෙක් මස් වර්ග ,  එළවලු ,  සහ මාළු ජාති උණ බම්බු වල ගහල (skewer) පිටි සහ පාන් වලින් හදපු සැහැල්ලු බැටර් එකක  ඔබ්බල බැදලා දෙනවා .  සොයි සෝස් වගේ දෙයක් එක්ක ගෝවා දෙනවා .  ගෝවා ජර්මනියේත් හරියට කනවා .  හේතුව මස් හෙම දිරවන්න ලෙහෙසි වෙන්න. කුෂි  කියන්නේ skewer නැත්නම් දින බම්බු හෝ ලෝහ කූරට .  කට්සු කියන තෙලේ හොඳට බැදලා ගන්න කට්ලට් එකට .  
මේකයි ටෙම්පුරා එකයි මික්ස් කර ගන්න එපා .  ඒක වෙනස් .  ටෙම්පුරා එකේ   බැටර් එක හෙවි . ඒ කියන්නේ ගොඩක් ඝන කමට බැදෙන්නේ .  පැන්කෝ පාන් කුඩු දානවා ඒවාට .  පැන්කෝ පාන් කුඩු පපඩම් හෝ ක්‍රිස්ප් වගේ හැපෙන්නේ. ඒවා කන්න නෙලුම් පෙතිත් බැදලා දෙනවා . පටන් ගත්ත තැන නුඩ්ල්ස් උණු වතුරට දාල එවෙලම හදල දෙනවා .  ඒකට පොඩි පොඩි මස් මාළු බැදලා සකේ වඩියක් එක්ක . මේ හැම කෑම එක්කම නම් ම ලියා ගත්තේ කොලේක .  නමුත් බිරින්දෑ තුමී ඒක විසික් කරලා .  ඒ නිසා කවුරු හරි දන්නවනම් ලියාගෙන  යන්න. මම බ්ලොග් එකට ඇතුළු කරන්නම් . 







අනිත් කෑම ජාතිය තමා කරගා (කරාගේ) කියන්නේ .  මේකෙදි  අපි මස්  බාබෙකිව් කරන්න කලින් මැරිනෙට් කරනවා වගේ හොඳට සෝස් වල දාල ඒදල ගන්නවා  .  ඊට පස්සේ පිටි සහ අල පාප්‍පයක් වටේ තවරලා බදිනවා.  ආයෙත් කියන්නේ මේකත් ටෙම්පුරා නෙමේය කියල .  මේ කෑම හැම එකේම රහ වෙනස් .  හදන ක්‍රමයට  අනුව, හදන චෙෆ්ට අනු , අමු ද්‍රව්‍ය  ගෙනාපු පළාත අනුව රස වෙනස් ව කෑම හදන රටක් මේක. මේ කෑම පින්තුර ටික ස්ලයිඩ් එකට දැම්ම.ඒ එක්කම අපි ගිය ආපන ශාලා වල පින්තුරත් දැම්ම .  .  

  අපේ ඇමරිකන් ගයිඩ් මහතා ඊළඟට අවන්හලකට ගිය වෙලේ ලොකු ටෝක් එකක්  දුන්න .  ඕගොල්ලෝ මේවානම් කන්නේ  නැහැ .  ගන්නත් නැහැ. ඔන්න බනින්න එපා .  අනම්  මනම් කියල අරන් දුන්නේ මොනවද - අශ්ව  මස්.  එංගලන්තේ අශ්ව මස් තහනම් නැහැ. නමුත් කන්නේ නැහැ .  2013 දී ටෙස්කෝ සහ අනිකුත් සුපර්මාකට් මස් වල අශ්ව මස් තියනවා කියල ලොකු කළබගෑනියක්  ඇතිවුනා .  කමෙන්ටුවක් නිසා දැන  ගත්ත අශ්ව මස් අවශ්‍ය නම් එංගලන්තයේ ගන්න තැන්  තියන බව  . ඇමෙරිකාවේ කන්නෙත් නැහැ , ගන්නත්  නැහැ .  වෙන රටවලට මසට අපනයනය කරනවා .  ඔන්න අපේ උතුරු ලන්ඩන් ඉංග්‍රීසි කපල් එකයි දුවයි ලොකු හුස්මක් උඩට  ඇද්ද .  එක්කෙනෙක් අතින් කට වහ ගත්ත .  ඇමෙරිකන් කොල්ලෝ  හතර දෙනාත් පොඩි විශ්මය ජනක වුනු ස්වභාවයක් දැම්ම .  මමයි ඉනේසුයි නන් ප්ලස් .  ඔහේ බලන් ඉන්නව .  "ඔහ්,  ජර්මනියේ කනවද" කියල ගයිඩ් මහත්මය ඇහුව .  ඉනෙස් කිව්වා - මම නම් කාල තියනව ,  අජිත් කාල තියනවා රුසියාවේදී කියල. මදැයි කොලා .  ඒ ගමන ඒ විත්තිය කියන්න වුනා අශ්ව මස් කන ගමන්. 
 ඉඟුරු ,  සුදු ළුණු වගේ ජාතියක් ,  වසාබි එක්ක කන්න දුන්නේ . මේකට කියන්නේ ශශිමි  නැත්නම් බසස්ස්හි කියල .  මසට අශ්වයන් ඇති කරන රටක් .  දෙවන ලෝක යුද්ධෙන් පස්සේ කෑම  හිඟ කාලෙ  තමා වැඩියෙන්ම පුරුදු වෙලා තියෙන්නේ . . 
   

ගිය අන්තිම තැන අර කලින් බ්ලොග් එකේ විස්තර කරපු කෑම එකමයි .  ටකෝ ටමාගෝ. මතකයි නේ ඔක්ටෝපස් හෙඩ් එක ලයිට් බැටර් එකක බැදලා.  හැබැයි මේ වෙන විධිහකට හදල තියන්නේ .  කෑම කඩේ පින්තුරෙත් මේ එක්කම තියනව. සයිඩර් වගේ බිමක් තමා තිබ්බේ .  ඒක නොබී අරක කන්න බැහැ ඇත්තටම . 




 මේ කඩ දෙක තුනකම තරහ කෝකිය හෙවත් ඇන්ග්‍රී චෙෆ් කෙනෙක් ඉන්නව .  මේ චෙෆ් හැම වෙලේම  තරහෙන් ලු .  මිනිස්සු කෑම නොකා ඉතිරි කරනවනම් බනිනවලු . බැදපු මස් කූරු දෙකක් අතේ තියන් ඉන්නව .  ගන්සෝ කුශිකට්සු දරුමා  කියන ආපන ශාලා ජාලයේ මැස්කොට් .  එකම මස් කෝටුව දෙපාරක් සෝස් වල ඔබන්න බැහැ කියන නීතිය එයා තමා පනවල තියෙන්නේ .  උඩ පින්තූරේ හොරෙන් බලන් ඉන්නෙත් එයා තමා  

දවල් අපි කොෆි ෂොප් එකකටත් ගියා .  මොචි කේක් එකක් එක්ක  ජපන් අයිස් කොෆි දෙකක් . 

 ජපානයේ තවම අර ලන්ඩන් පිකඩිලී සර්කස් වල සෝහෝ ප්‍රදේශයේ තිබ්බ වගේ ලිංගික ක්‍රියා දැක්වෙන පෝන් චිත්‍රපටි පෙන්වන තැනක් තවම තියනව .  ලන්ඩන් වගේ නගර වල මේවා දැන් නැහැ.

ඉතින් මේ අපේ අන්තිම දවසේ අපි බඩවල් පුරවාගෙන කට්ටියට සමු දීල ආව . කල්පනා කරලා බලන කොට තව එක ලිපියක් ලියන්න තරම් ජපානය ගැන කරුණු තියනව.

මේ ගමන් බුක් කලේ මට අපේ කම්පැනි එකෙන්  වසර විසි පහක සේවයට දුන්න ත්‍යාගයකින් .  මම හුඟක් වෙලාවට භාණ්ඩ වගේ  දේවල් ගන්නේ නැහැ .  අවුරුදු විස්ස අවසන් වුනු වෙලේ ලැබුණු ත්‍යාගයෙන් මම කාම්බෝජයට සහ ශ්‍රී ලංකාවට ගියා .  හුඟක්  ඉංග්‍රීසි අය කරන්නේ අයි ෆෝන් , රෝලෙක්ස් , මොන්ඩියා වගේ ඔරලෝසු, ගෙදරට වටිනා බඩු, ඉතා වටිනා ඇඳුම්  හෙම ගන්න එක .  මට ඒ දේවල එපමණ ආසාවක් කවදාවත් තිබ්බේ නැහැ . ගල් අල්ලපු මොන්ඩියා ඔරලෝසුවක් තිබිල නැති වුනා .   රට රටවල ඇවිදීම ඊට වැඩිය වටිනවා .     
මේක බුක් කරන කොට චීන සහ ජපානය යන රටවල් දෙකම බැලුව .  චීනෙට වීස ගන්න මාස තුනක් ඕනේ . ඒ නිසා චීනේ අත හැරලා ජපානේ යන්න තීරණය කළා .  ඒක දැන් දන්නවා ඉතා හොඳ තීරණයක්  කියල .  ජපාන ටුවර්ස් ගණන් වැඩියි මෙහේ . ෆේස්බුක් එකේ දැන්වීමක් දැක්ක ෆෙයාර් ෆොර් යූ කියල කම්පැනි ටුවර් එකක් .  ගාණ සාධාරණයි .  මෙහෙ රොම්ෆෝඩ් පපැත්තේ  ඔෆිස් එක. එකපාරක් රිසර්වේෂන් ඒජන්ට් කතා කළාම   ආසියානු වගේ තේරුනේ නමුත් නම ඉයන් ස්මිත් .  නමේ අකුරක් වැරදියි .  ගිය අවුරුද්දේ ලංකාවේ ඉද්දි කතා කලාම ටක් ගාල ෆෝන් එක ඉස්සුවා .  අර මෙහෙ එනේ ඩිලේ එක නැහැ .   ඉනෙස් තමා හුඟක් දේවල් පැකේජ් එකේ වෙනස් කලේ .  ගේෂාවෝ බලන්න හිටි එක හෙම අයින්  වුනා. ඒ වෙනුවට පන්සල් වැටුන .  ලන්ඩන් වලදී කතා රණ කොට මම ඇහුව ඔයා ආසියාවේ  රටකින් ද කතා  කරන්නේ කියල .   බලන කොට ලංකාවේ .  ඉයන් කිව මම ලංකාවේ ඉඳල  එයාට කතා  කරන කොට අහන්නත් හිතුන ඒත් ඇහුවේ නැහැ කියල .  ඉයන් සහ ෆෙයාර් ෆෝ යූ හොඳ  කම්පනි එකක් .  ගාන සාධාරණ වගේම හොඳ  සර්විස් එකක් දෙනවා .  අපේ මුලු  ගමන පුරාමත් හොයල බැලුව .  ඊලඟ ටුවර් එකත් හුඟක්  වෙලාවට එයාල ගෙන්ම බුක් කරනවා . 
  
හැබයි ආපහුජපන්  යන්න කැමැත්ත ගොඩක් තියනව ,  ඩිපාට්මන්ට් බොසා කීව මම රිමෝට් වැඩ කරන නිසා කැමැති නම්  මාස තුනක් විතර ගිහින් එහෙ වැඩ කරන ගමන් රට බලන්න කියල . ලන්ඩන් ඔෆි එකේ මීටින් ගැන එයා මොනව හරි කරන්නම් කියල නැත්නම් අවුරුදු දෙකක විතර රස්සාවක් හොයා ගන්න ඕනේ .  තවම තීරණයක් අරන් නැහැ . 
එහෙනම් ඊලඟ ලිපියකින් හමුවෙමු .  හෙට ෆින්ලන්තයේ . 
කොළඹ ගමයා - 06/09/2025