Wednesday 16 March 2022

කාමරය ඇතුලේ අලියා නොදැකීම


යුක්‍රේන රුසියානු යුද්ධයේ ප්‍රධාන මායිම සලකුණු වී ඇත්තේ මෙසේය. නිදහස් ස්වාධින රටක් ආක්‍රමණය කිරීමට වෙන රටකට කිසිදු  අයිතියක් නැත යන්නය.  එය සම්පුර්ණයෙන්ම නිවැරදි ස්ථාවරයකි. එසේ නොවුහ හොත් අනිත් හැම ප්‍රබල රටක්ම කුඩා රටවල් ආක්‍රමණය  කරනු ඇත. එසේත් නැතිනම් එලෙස කරන බවට තර්ජනය කරනු ඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත්තේ එවැනි ආක්‍රමණ වැළැක්වීමටය. 
කුඩා රටවල්ද අර බලවත් රටවල් අමනාප කර නොගෙන සිටීම වැදගත්ය.  එම කියන්නේ එම රටවල් යටවී සිටීමට නොවේ උපායමාර්ගිකව කටයුතු කිරීමයි.
යුක්‍රේනයේ අද පවතින්නේ තමන් ළඟ සිටින චන්ඩියා ට කින්ඩි දමමින් ඈතින් චන්ඩින් ගෙන්වීමේ පල විපාකයකි.  නිදහස් රටක් වශයෙන්  ඈතින් චන්ඩින් ගෙන්වීමට යුක්රේනයට අයිතියක් ඇති බව සැබෑවකි . නමුත් රටේ අනාගතයත් වැසියන්ගේ ජිවිතත් පරදුවට තබා එසේ කල යුතුද? රටක් කියන්නේ ගෙයක් නොවේ. සමහරු මෙය ගෙයක් අසල චන්ඩියෙක් ජීවත් වීමට ලඝු කරති. චන්ඩියා ජනාධිපති නම් ඔබ දෙවරක් සිතන්නේ නැත්ද? චන්ඩියා ජනාධිපති නම් කල යුත්තේ ගෙදර අයගේ ජිවිත බේරාගෙන ජනාධිපති විරෝධී කෙනෙක් හොයා තමන් අයින් වී උගුලක් ඇටවීම වන්නකි. 

1. ඇමෙරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 වනදා එල්ල කල ප්‍රහාරයෙන් පසුව මම නේටෝ රටවල් ඇෆ්ඝනිස්ථානයට පහර දීම පිළිබඳව සතුටු වුනෙමි. නේටෝව ගැන මගේ සිතේ තිබුනේ පහන් හැඟීමකි. එහිදී නේටෝව ස්වාධින රටක් ආක්‍රමණය කිරීමෙන්  එක්සත් ජාතීන්ගේ වගන්තිය 2(4)  (article 2.4) කැඩීම පිළිබඳව කරදර නොවුනෙමි. වෙන්නේ මම කැමති දෙයක් නම්, වෙන්නේ හොඳ වැඩක් කියා මට සිතෙන්නේ නම් ඒ ගැන කරදර වන්නේ කුමටද යන්න මගේ ස්ථාවරය විය. බටහිර මාධ්‍ය ක්‍රියා කරන්නේද ඒ ආකාරයෙන්ම බව මට පසක් වුයේ බොහෝ පසුවය.

2. ඉරාකයට  කළ  පළමු ආක්‍රමණයට පෙර   සදාම් හුසේන් ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ලණු  හොඳටම ගිල්ලේය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය  ඔහුට බිලියන්  ගණනින් ආයුධ  විකිණුහ. ඔහු කුවේට් රාජ්‍යය ආක්‍රමණය කළේය. මෙහිදී තමන්ට ඇමෙරිකාවේ අනුමැතිය ලැබුනහයි ඔහු වරදවා සිතුවේය. එවකට සිටි ඇමෙරිකානු තානාපතිනිය මේ ගැන ලියා ඇත. නේටෝව ඉරාකයට පන්න පන්නා පහර දුන්නේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය සහිතවය.  නේටෝව  දෙවන වරට ඉරාකය ආක්‍රමණය කලේ එක්සත් ජාතින් ගේ අනුමැතිය නැතිවය  (2003).
එයට ඉදිරිපත් කරන ලද පළමු හේතුව වුයේ සුළු ජාතියක් වූ කුර්දි වරුන්ට එරෙහිව රසායනික අවි භාවිතා කිරීමය (මෙහිදී 30000 කුර්දින් මිය ගියා යයි පැවසුනි) . දෙවන හේතුව වූයේ  අති ප්‍රබල මිනිසුන් දහස් ගණනින් මරණ (WMD)  බලවත් ආයුධ තබා ගත්තේ යයි චෝදනා එල්ල වුනි.  (එම අවි අදටත් සොයාගෙන නොමැත) 
ඉරාකයේ මියගිය සටන්කාමීන් නොවන සාමාන්‍ය ජනතාව  මිලියන් දෙකක් පමණ  යයි ගණන් බලා තිබේ.

3. නේටෝව යුගොස්ලවියාවට නොනවත්වා බෝම්බ දමා  පහර දුන්නේ 1991 දීය . ඒ බොස්නියන් මුස්ලිම් වරුන් ට එරෙහිව ක්‍රියාත්මක කල යුද්ධය නිසාය. මෙයටද  එක්සත් ජාතින් ගේ අනුමැතිය ලැබුනේ නැත. නේටෝව එය නොතකා ස්වාධින රටක් වූ යුගොස්ලවියාවට පහර දුන් අතර එනිසාම බෙදී වෙන්වූ රාජ්‍යයක් බවට පත්විය. හේතුව වුයේ සුළු ජාතීන්ට අමානුෂික ලෙස සැලකීම සහ යුදමය ලෙස පහර දීමයි. (කෝසොවෝ). යුගෝස්ලාවියාව බිඳී යාම ගැන පසු තැවුනත් එම රට සුළු ජාතීන්ට හොඳින් සැලකුවේ නැති සිතා එයද මට  සාධාරණීකරණය කර ගතිමි.  මේ මම ඒ ගැන ඒ කාලයේ ලියු ලිපියකි. 

4. සිරියාවේ ප්‍රශ්නයට රටවල් කිහිපයක්ම මැදිහත් වුනි. ඒ අයිසිස් නිසාය. නමුත් අයිසිස් නිර්මාණය වුනේද බයිඩන් ගේ පුත්‍රයා සහ ඊශ්‍රායල සම්බන්ධයකිනි. ඒ අසාද් බලයෙන් පහ කිරීමටය. ඒ ගැන මම ලිපි පෙළක්ම ලියා තිබේ. මේ අවසාන ලිපියයි . නමුත් අයිසිස් සංවිධානය ලෙවන්ත් නමැති පැරණි රාජ්‍යය සැදීමට උත්සුක වුන අතර ඔසාමාගේ අල් කයිඩා සංවිධානය මෙන් ඔවුන්ද  ඇමෙරිකානුවන් ගොනාට ඇන්දූහ. (ඔසාමා සහ මුජෙහදින් සෝවියට් ආක්‍රමණයට එරෙහිව පුහුණු කලේ ඇමෙරිකාවයි) . මේ නිසා ඇමෙරිකාව ඉරාක  කුර්දි හා මෙහ්දී වරුන් ට අවි සපයා අයිසිස්  වරුන්ට  එරෙහිව ප්‍රොක්සි  යුද්ධයක් දියත් කළේය. ඒ සමගම  අස්ථාවර වුනු සිරියාවේ අසාද් ට එරෙහි විධ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කළේය.මේ සියල්ල කලේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිවය. එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිව පැමිණි පූටින් ගේ  රුසියානු යානා  අලෙප්පෝ  නගරය බෝම්බ දමා සමතලා කළේය. ඉරානය තව පැත්තකින් පහර දුන්නේ අයිසිස් අන්තවාදීන්ට ඔවුන්ද විරුද්ධ හෙයිනි. මේ යුද්ධයේදී මම සිරියාව පැත්ත ගැනීමට මුලික හේතුව වුනේ අසාද් තම රටේ මිනිසුන්ට හොඳින් සැලකීම නිසාය. මට සිරියානු යහළුවන් බොහොමයක් සිටි අතර තරුණ  තරුණියන් දෙකොටසටම විදේශ රටවල ඉගෙනීමට රජයෙන් ශිෂ්‍යත්ව දුනි. ඔවුන්ගේ නිදහස් සෞඛ්ය  සේවයක් හා නිදහස් අධ්‍යාපනයක්  ඇති  අතර සවුදියේ මෙන් නොව තරුණියන්ට රිය පැදවීමට හා රැකියාව කිරීමට ද පිරිමියෙකු නැතිව ඇවිදිමටද  නිදහස තිබේ. එවැනි රටක්  අයිසිස් වැනි අන්තවාදී සංවිධානයක් අල්ලා ගැනීම අපරාධයක් ලෙස සැලකුවෙමි. 
පුටින් සිරියාවට  මැදිහත් වුයේ එහි රුසියානු නාවුක හමුදා භාවිතා කරන වරායක් තිබෙන නිසාය.

සිරියාවේ මිලියනයක පමණ වූ දේශපාලන  අනාථයන්ට වැඩිපුරම රැකවරණ දුන්නේ ජර්මනියයි.  ප්‍රශ්නය ඇති කල රටවල් පවා ඒ දේශපාලන අනාථයන් භාර ගත්තේ නැත. 

5. යේමනයේ යුද්ධයේදී සවුදි අරාබිය සහ ඊජිප්තුව  කෙලින්ම ඉරානය සහයෝගය දෙන හුති ගරිල්ලනට විරුද්ධව අනිත් පැත්තට ආයුධ  දීම පමණක් නොව බෝම්බද දමති. අවුරුදු හතක්  තිස්සේ දිග ඇදී යන මේ යුද්ධයේ අනාථයින් බොහෝය. ඔවුන්ට යාමට රටක් ද නැත. දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙයි.  දරුවන් දහදාහක් පමණ දැනට මිය ගොස් තිබේ.

පූටින් ද ඉහත අන්දමේ තර්ක කිහිපයක් එකතු කර තිබේ. මා ඒවා ලිවූ පසු විවේචනය කල බොහෝ  අය පැවසුවේ මා පූටින් ගේ ආක්‍රමණය සාධාරණිකරණය කරන බවයි. මධ්‍යස්ථ ස්ථාවරයක්  ගැනීම යනු පූටින් ගේ පැත්ත ගැනීම බවත් තිබෙන එකම නිවැරදි ස්ථාවරය යුක්රේන් පැත්ත බවත් ප්‍රබල මතයක් සමාජ මාධ්‍ය වල  පැතිරෙයි. මේ මතයට හේතුව මාධ්‍ය වල මෙහෙයුම යයි සිතමි. ලිබරල් සුරතලෙකු  වන පකිස්ථාන අගමැති ඉම්රාන්  ඛාන් ද ඉන්දියාවද රැගෙන ඇත්තේ මධ්‍යස්ථ ස්ථාවරයකි. ඒ කියන්නේ මේ අයට අනුව ඒ පූටින් ට සහය දැක්වීමකි.

මේ හිස්ටිරියාව ඇති කර ඇත්තේ මාධ්‍ය විසිනි. මෙහි දරුණු බව කෙතරම්ද යත් ඩොස්ටොයෙව්ස්කි ගේ පොත්  පිළිබඳ  උගන්වන  විශ්ව විද්‍යාල පාඨමාලා ඉවත් කර තිබේ. පූටින් ගේ ආක්‍රමණය හා ඩොස්ටොයෙව්ස්කි අතර සම්බන්ධය හරියට  හැත්තෑ එක කැරැල්ලේදී ලංකා පොලිසිය  "ගම්  පෙරළිය " පොත අත් අඩංගුවට ගත්තාක් මෙනි. වොඩ්කා තහනමට අමතරව චයිකොව්ස්කි වැන්නන්  ගේ සම්භාව්‍ය සංගීතයද ඔපෙරා ආදියෙන් ඉවත් කරමින් යයි. මෙය විකාරයකි. 

පූටින් ගේ එක තර්කයක් නාසි හමුදාය. 
බටහිර මෙන්ම ශ්‍රී ලංකාවේ ලියන්නන් ගේ ද ප්‍රධාන තර්කයක් වන්නේ නාසි කොටස යුක්රේනයේ නැත යන්නය. ඒ මදිවාට මෝඩ තර්කද  ඉදිරිපත් කරති. එනම් අසොව්  බලකාය හැදුනේ යුක්‍රේනයේ  සටන් කරන චෙචේනියානු මුස්ලිම් බලකායට විරුද්ධව කියාය.  සුදු ජාතිවාදීන් (white nationalist group) විසින් එම බලකාය  එය පිහිටෙව්වේ 2014 දීය.  එදා සංචිතය භටයන් 12000 කින් සමන්විත වුවකි. . 
මේ තිබෙන්නේ එම බලකාය ගැන වීඩියෝ එකකි.


මේ බිබිසි මගින් යුක්‍රේනයේ නාසීන් ගැන 2018 දී කළ විඩියෝවකි. 


මේ 2015 එකකි. මින් පෙනී යන්නේ මේ කණ්ඩායම් ඊයේ පෙරේදා හැදුනු ඒවා නොවන බවයි. නාසි හමුදා ඛණ්ඩාංක  සමහර නම් මෙසේය:  ස්වබෝදා (නිදහස ) , ප්‍රාවී සෙක්ටර් (දකුණු අංශය ) , නැෂනල් කෝ , ඇසොව් හමුදාව, අයිඩර් හමුදාව, දොන්බාස් හමුදාව, ද්නිපර් -1 හමුදාව. ද්නිපර් -2 හමුදාව.  Svoboda, Pravy Sektor, National Corps, C14, the Azov Battalion, the Aidar Battalion, the Donbas Battalion, the Dnipro-1 Battalion, the Dnipro-2 Battalion

හැබැයි යුක්රේනයට මේ චෝදනාව ගෙන ආවද පූටින් ගේ රුසියාවේද තරුණ තරුණියන්ට කැපවුණු ජාතික  ව්‍යාපාරයක් ඇත. අරුම පුදුම ලෙස එහි නම නාශි ය. නාශි යන රුසියානු වචනයේ තේරුම "අපි " යන්නය. නමුත් එය බොහෝවිට බටහිර විරෝධී ජාතිවාදී සංවිධානයකි.  එය ඔලිගාර්ක්ලාට , නාසින්ට , ෆුට්බෝල් රස්තියාදුකරුවනට විරුද්ධ සංවිධානයක් වුවද විරුද්ධ පාක්ෂිකයන්ට පහර දුන් අවස්ථා ඇත.

සෙලෙන්ස්කි මේ අයට මුලදී සහයක් දැක්වූයේ නැත. ඔහු රුසියාව සම්බන්ධව මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් ඔහුට විරුද්ධව විරෝධතා (යනුකොවිච් ට මෙන්) වැඩි වන විට ඔහු මෙම කණ්ඩායම් යුක්‍රේනයේ සාමාන්‍ය හමුදාවට අනුයුක්ත කළේය. (ඇසොව් බලකාය අනුයුක්ත කලේ ඊට කලිනි)


දැන් යන මාධ්‍ය මෙහෙයුම අතිශය අන්තරාකාරී එකකි. මධ්‍යස්ථ හා රුසියාව පැත්තට කතා කරන  කිසිම දෙයක් ෆේස්බුක්, ගූගල් හා යුටියුබ් වලින් ඉවත් වෙමින් පවතී. එසේ වන්නේ  යුක්‍රේනියානු ජාතිවාදීන් බොහොමයක් ඒවාට එරෙහිව චෝදනා කරන හෙයිනි. ඔවුන්ට අවශ්‍ය රුසියාව  සමග යුද්ධයයි. රුසියාවට අවශ්‍ය ඔවුන් නිරායුධ කිරීමයි. නේටෝවට අවශ්‍ය පුටීන් ඉවත් කිරීමටයි. පුටීන් ට සහ බහුතරයක් රුසියානුන් ට අවශ්‍ය නේටෝව රුසියාව අසලට මිසයිල සමග නොපැමිණීමයි. රුසියාවේ තත්වය ඊට දෙවැනි නැත. රුසියාවේ නිදහස් මාධ්‍ය සියල්ල තහනම් කර හෝ වසා දමා ඇත. රුසියානුන් දන්නේ  ජනාධිපති පූටින් අනුමත  කරන දේ   පමණකි. යුක්‍රේන ප්‍රශ්නය ගැන කාලයකට  කලින් පටිගත කෙරුණු වීඩියෝවක් තිබේ.  
 
යුක්රේනය ගිනි ගනී නමැති මේ චිත්‍රපටය දැන් යුටියුබයෙන්  ඉවත් කර තිබේ. කිසිවෙකු විසින් එය මේ ස්ථානයේ රඳවා ඇතත් එය ඉවත් කිරීමට ඉඩ තිබේ.  මේ වීඩියෝවේ කියන  සියලුම දේ නිවැරදි නොවූවත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරන බවට ඉඟියක් එහි පළවේ. 

තම රට එක්සේසත් කිරීම සඳහා පූටින්  චෙචේනියාවේ ග්‍රොස්නි  නගරය සම්පුර්නයෙන්ම සමතලා  වන තුරුම  බෝම්බ දැම්මේය. ඒ ඊට කලින් රුසියානු හමුදාව  දුදායෙව් ගේ හමුදා වලින් පරාජය කිරීමේ  පලිය ගැනීමටත් සමගය. එහිදී මියගිය ප්‍රමාණය 25000 ත් ලක්ෂ දෙකත් අතර වනු ඇති ගණන් බලා ඇතත් කිසිවෙක් එය නොදනී.  රුසියානු සොල්දාදුවන් අටදහසක් පමණ මිය ගොස් ඇත. පූටින් සහ රුසියාව ඔවුන් රණ විරුවන් කර ඇත. රුසියානු මව්වරුන්ට ඇර වෙන කාටවත් එය ප්‍රශ්නයක් නොවේ. චේචේනියාව නැවතත් රුසියානු පාලනයට ගැනීම ගැන  ඔවුන් සතුටු වෙති. සිරියාවේ අලෙප්පොවේ සිදුවූයේද එයයි. යුක්රේනයේ නගර වලට සිදු වන්නේද සිදු වන්නට යන්නේද එයයි. මම ඒ බෝම්බ දැමීමට  සහයෝගය දෙනවා නොවේ. සාම සාකච්ඡා හා යථාර්තය පිලි ගැනීම කෙතරම් වැදගත් ද යන්න මම මේ යුද්ධය පිළිබඳ ලියු හැම ලිපියකම සඳහන් කලෙමි. 

රුසියාව විසින් කරන්නේ ජන ඝාතක යුද්ධයකි. නෙටෝවේ ඉහත සඳහන් යුද්ධද ශ්‍රී ලංකාවේ යුද්ධයද බුරුමයේද අනිත් තැන්වලද ජනඝාතක යුද්ධ සිදු විය. සිදුවෙමින් පවතී. නමුත් ඒවා නිසාය කියා   පූටින් ගේ ජන ඝාතක යුද්ධය ට සමාව දීමට නොහැකිය. නමුත් මෙහි වරද සම්පුර්ණයෙන්ම පූටින් ටම පැවරිය නොහැකිය. බටහිර මාධ්‍ය කියන්නේ එසේය. වැරැද්ද එතනය. මරියෝපොල් නගරයේ රුසියනුන් හා යුක්‍රේන් වරු සමසේ සිටිති (ලක්ෂ දෙකක් පමණ). පුටින් එය සම්පුර්ණයෙන්  සමතලා නොකරන්නේ එහි සිටින රුසියානු ජනතාව නිසා යයි සිතමි. නමුත් පූටින් නොසිතු ප්‍රශ්නය වූයේ එහි සිටින රුසියානු ජනතාව පූටින් යටතේ නොව යුක්රේනය සමග සිටීමට දක්වන කැමැත්තයි.  පහත ඇති විඩිය වෙන් එය පැහැදිලිය. මේ ප්‍රශ්නය පූටින් ට අනිකුත් නගර වලින්ද මතුවී තිබේ. යුක්‍රේනයේ රුසියානුන් ආක්‍රමණයට විරුද්ධ වීම නිසා රුසියානු සොල්දාදුවන් ඔවුන්ට වෙඩි නොතැබීම ප්‍රශ්නයක් වී තිබේ. රුසියාව හෙමින් යාමට එක හේතුවක් වන්නේද එයයි. (අනෙක නම් කලින් ලිපියේ සාකච්චා කල දෙවෙන ලෝක යුද්ධයේ සැලසුම් අනුව යාම) 

මම  1991 යෙල්ට්සින් මොස්කව් වල ඔහුගේ විප්ලවය මෙහෙයවන විට එහි සිටියෙමි. රුසියානු හමුදාවේ යුද්ධ ටැංකි කුමන්ත්‍රණ කල කොමියුනිස්ට් නායකයන් මොස්කව් මධ්‍යයට ගෙන ආවද ඔවුන් ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ.  බොහෝවිට යුක්‍රේනයේ අනිත් නගර වල සිටින රුසියානුවන් මේ යුද්ධය අනිත්  පැත්තට හැරවීමට හේතුවක්  විය හැකිය. 
නමුදු  ප්‍රශ්නයක් වන්නේ ඔවුන් පූටින්  ට විරුද්ධ පැත්තේ සිටියද යුක්‍රේන හමුදාවේ ජාතිවාදී සේනාංක කොටස්  (ඉහත දැක්වූ නම් බලන්න ) ඔවුන්ට නගර වලින් එලියට යාමට දෙන්නේ නැත. ඔවුන්ද ඒ පෙදෙස් වලට ප්‍රහාර  එල්ල කරති. (හරියට ශ්‍රී  ලංකාවේ දෙමළ  ජාතිවාදයට විරුද්ධ දෙමළ  අයද ඒ පැත්තට ජාතිවාදී සිංහලයන් විසින්  ඇද දැමු අයුරින්) මේ ප්‍රවෘත්ති බටහිර මාධ්‍ය වල යන්නේ නැත. 

එක්කෝ නේටෝවත් රුසියාවත් දෙකම වැරදි විය යුතුය.  නැත්නම් දෙගොල්ලම හරි විය යුතුය. සෙලෙන්ස්කි මෙහි රඟ  පාන්නේ  useful idiot  හෙවත් අවශ්‍ය මෝඩයා ගේ චරිතයයි. පමාවී හෝ ඔහුට මෙය අවබෝධ වන දවසක් එනු ඇත.  
(ඒ දවස පැමිණ ඇති බව මේ ලිපියෙන් පෙනේ. Ukraine will not join Nato, says Zelenskiy, as shelling of Kyiv continues.)


 රටක් වශයෙන් නේටෝවට ඇතුළු වීමට අයිතිය තිබේ යන  සුන්දර කතා ලිවිම පලක් ඇති දෙයක් නෙමේ. දෙමල ජනතාවට ස්වයං නිර්ණය ඇති මුත් ඉන්දියාව එයට කිසි සෙත් ඉඩ දෙන්නේ නැති බව කීවිට මගේ සමහර දෙමළ  මිතුරන් මෙන්ම ශ්‍රී ලංකාවේ රැඩිකල් වම වෙනුවෙන් පෙනී සිටිනා මිතුරන් ද  කීවේ මා ජාතිවාදියෙකු බවය.
දැන් අප අතර නැති පිටරට මාධ්‍යයක වැඩ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු එම චෝදනාවම මට එල්ල  කලේ මම ජවිපෙට සම්බන්ධ ජාතිවාදියෙකු බව කියමිනි. මම එදා ඔහුට කීවේ ශ්‍රී ලංකා හමුදාව කැරලි දෙකක්  මර්දනය කර තිබෙන බවත්   එසේ කරන ලද්දේ ඉතා දරුණු ලෙස බවත්ය. සාම සාකච්චා වලින් ඉවත් වෙන  ප්‍රභාකරන් හා එල් ටි ටි එකට සිදු වන්නේ ද එය බවයි. ඉන්දියාව ශ්‍රී ලංකා දෙකඩ කිරීමට කැමති නැත. එය ඔවුන්ට ප්‍රශ්නයක් වන නිසාය.  එල් ටි ටි එක කල යුත්තේ සාම සාකච්චා වල සිටිමින් ඊළම නොව සාමාන්‍ය යම් බලතල සහිත පාලනයක් ගැනීමය. ඔහු කිවේ එල් ටි ටි එක ඉතා බලවත්  බවත් ලංකා හමුදාවට හැරෙන්නට වත් බැරි බවත්ය.   මගේ දෙමල මිතුරන්ද ඔය ඉන්දීය කතාවට විරුද්ධ වූහ. එසේම ඔවුන් සිතුවේ බටහිර ඔවුන්ගේ සහයට එයි කියාය. ඔවුන් උදම් ඇනුවේ ඉන්දියාව එළවූ බව කියමිනි. බොහෝ දෙනෙක් මිය යමින් මේ කතාවේ ඉතිරිය ඉතිහාසයට අයිති වුනි.  මගේ එකම ස්ථාවරය වූයේ ජාතිවාදියෙකු නොවීමය.


කෙනෙකු තවත් ප්‍රශ්නයක් අසා තිබුනේ බලය  ඇති නිසා, ශ්‍රී ලංකාව චීනයට සහය දෙන්නේ යැයි කියා, ඉන්දියාවට ලංකාව ආක්‍රමණය කිරීමට අප ඉඩ දෙන්නේද? මෙය කියවන්නා  නොමග යවන ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව ඕනෑ තරම් චිනයට සහයෝගය දී ඇත. විශේෂයෙන්ම  සිරිමාවෝ රාජ්‍ය සමයේදී ඒ බව මට හොඳින්  මතකය. චෞ එන් ලායි ශ්‍රී ලංකාවේ  හොඳ මිත්‍රයෙකු වී සිටියේය. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ට ප්‍රශ්නයක් තිබුනේ නැත. ප්‍රශ්නය ආවේ 1977න් පසු ජේ ආර් ඇමෙරිකාවට සහයෝගය දීම නිසාය.  එසේම ෆෝක්ලන්ඩ් යුද්ධයේදී බ්‍රිතාන්‍යයට සහය පලකළ රටවල් හතෙන් එකක් වුයේ ශ්‍රී ලංකාවයි.  ඉන්දියාව මේවා ඉවසුවේ නැත.

ඉන්දියාව මෙහිදී  වැරදිය. එසේම  නේටෝව ඉරාක - කුර්දි ප්‍රශ්නය භාවිතා කලාක්  මෙන් ඉන්දියාව ලංකාවට එරෙහි වීමට  භාවිතා කලේ දෙමළ  ප්‍රශ්නයයි. පූටින් භාවිතා කරන්නේ  නැගෙනහිර උක්රයින  දොන්බාස් රුසියානුන් ගේ ප්‍රශ්නයයි. ලංකාව ඇත්තටම දෙමළ ජනතාවට හොඳින් සැලකුවේ නැත. නමුත් ඒ නිසාම  ඉන්දියාව ලංකාව ආක්‍රමණය කිරීම වැරදිය. එසේම එදා  මුළු බටහිර ලෝකයම හා සෝවියට් දේශයද  සහයෝගය දුන්නේ ඉන්දියාවටය.

දොන්බාස් පෙදෙසේ මෙන්ම  අනිත් තැන්වලද රුසියානු භාෂාවෙන් වැඩ කිරීම  යුක්‍රේනියානු  රජය තහනම් කළේය. පාසල් වල එම බස ඉගෙනීම පවා තහනම් කළේය. යුක්රේනියානු බස නොදන්නේ නම් රජයේ උසස්වීම් ලබන්නට නොහැකිය. මේ ක්‍රියා යුරෝපා සංගමය  හෙළා දකින්නට මැලි වුනි. ඒවා පිට දමමින් ක්‍රිමියාව  ඈඳ ගත්  පුටින් යුක්රේනය දෙකඩ කළේය.  නමුත් ඇත්ත හේතුව ක්‍රිමියාවේ සේවස්තොපල් වරාය නේටෝවට හිමිවීම වැළැක්වීමයි.
 
ශ්‍රී ලංකාවේ ඇතැමුන් යුක්‍රේනය  රුසියාවට තර්ජනයක්  නිසා එය ආක්‍රමණය කිරීමට රුසියාවට හැක යන අදහසක්  පවසන බව දැන ගතිමි.   මෙය මෝඩ තර්කයකි. තර්ජනය යුක්රේනය නොවේ. එහි මිසයිල පිහිටුවීමට දරන තැතය. එම අදහස පිටුපස ඉන්නේ නේටෝවය. තර්ජනය නේටෝවෙනි.

චීනය ලංකාවේ මිසයිල පිහිටුවන්නට ලැහැස්ති වුවහොත් ඉන්දියාව ලංකාව අනිවාර්යයෙන් ආක්‍රමණය කරනු ඇත. එදාට ලංකාව  ස්වාධින රටක්ය  කියා  කිසිවෙකුට කරන්න පුළුවන් ලබ්බක් ද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් මිස වෙන කවුරුත් ලංකාව වෙනුවෙන් සටනට එන්නේද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් න්‍යෂ්ටික අවි සහිත රටවල දෙකක් නිසා ඇතිවන තෙවන ලෝක යුද්ධයෙන් ලංකාව වැනසී යනු ඇත.

සෙලෙන්ස්කිට මට කියන්නට ඇත්තේද එපමණය.

මේ රටවල ශිතල අන්තිම දරුණු ශීතලක් බව මා දන්නේ එහි ජිවත්ව සිටි බැවිනි.  කඩයකින් ඉවීමට බඩු රැගෙන  නවාතැනට යනටික පවා දරුණු  ශීත සමයේ ඉමහත්  මහන්සියක් දනවයි. ෂෙල් වලට ජීවිතය බේරා ගැනීමට දිවීම, බිම් ගෙවල වල වතුර නොමැතිව, ආහාර නොමැතිව  ශීතලේ සිටීම කොපමණ අපහසුද? අපට බටහිර හෝ ඔස්ට්‍රේලියාව , කැනඩාව  වැනි රටවල් වල සිට  යුක්‍රේනයට  සටන් කරන්නට කියා ලියන්නට පුළුවන.  නමුත් එහි  අමාරුව  දන්නේ එහි ජිවත් වෙන මිනිසාය. ආක්‍රමණිකයාට එරෙහිව කරන යුක්‍රේන සටන සුන්දර අදහසක් බව ඇත්තය. එය  හරියට ස්ටාර් වෝස්  චිත්‍රපටයේ  විප්ලවීය ගරිල්ලා සන්ධානය (Rebel Alliance) එක එම්පයර් එකට එරෙහිව සටන් වැදීම මෙන්  අපට උත්ප්‍රාසය මෙන්ම  සතුට දනවයි. මහා සතුරෙකුට,  ගොලායත් ට විරුද්ධව  කුඩා ඩේවිඩ් ගේ සටන හා එහි ජයග්‍රහණය ට හැමෝම උදම් වෙති. ශ්‍රී ලංකා හමුදා එල්ටිටිඊ සංවිධනයට විරුද්ධව කළ  සටනේ බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව පැත්තේ සිටියේ නැත. ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රිකට් කුසලානය ඔසවනවිට ඔවුන් සිටියේ ලංකාව පැත්තේය.  අද හැමෝම යුක්‍රේනය පැත්තේ ඉන්නේ ඒ අනුවය. 

නමුත් සැබෑව නම් යුක්රේනය පිටුපස රුසියාවට  වඩා බලවත් නේටෝ සංවිධානය සිටීමයි.  මෙතැන ඇත්තේ බලවත් යුධ කඳවුරු දෙකක් අතර හාල්මැස්සන් ගේ භුමීයේ පවතින  සටනකි. 

මේ යුද්ධය මාධ්‍ය කියන  ආකාරයට දිනාගෙන යන්නේ  යුක්රේනයයි. නමුත් එසේ  දිනනවා නම් ජනාධිපති බයිඩන්  තෙල් සහ ගෑස් රුසියාවෙන් ගැනීම  තහනම් කරන්නේ නැත. එක්සත් රාජධානිය මේ අවුරුද්ද අවසානය වන විට රුසියානු තෙල් සහ ගෑස් මිලට  ගැනීම නවතන බව කියයි. යුරෝපය ගෑස් නවතන බවක් කියන්නේම  නැත.  ගෑස් සහ තෙල් වලින් රුසියාවට  දිනකට ඩොලර් බිලියන් එකත් එකහමාරත් අතර  ආදායමක් ලැබේ. ඒ වෙනුවට රුසියානු ධනපතීන් හෙවත් ඔලිගාර්ක්ස් නොහොත්  කතිපයාධිකාරීන් (වචනය උපුටා ගත්තේ මෙතැනිනි.)  ලාට සම්බාධක පනවා ඇත. එයින් පූටින් ට වත් රුසියානුන් ට වත් වගේ  වගක් නැත. නැතිවන්නේ ඔවුන්ගේ මුදල් නොවේ. ආයෝජන නැතිවන්නේ බටහිරටමය. රුසියානුන් ඔලිගාර්ක්ස් ලාට කොහොමටත් කැමති නැත. සෝවියට් දේශයේ මහජන  මුදල් සොරා ගත්  ඔවුන්ට නවාතැන් දුන්නේ ලන්ඩනය ඇතුළු බටහිර යයි ඔවුහු චෝදනා කරති. එයත් නිවැරදිය. රුසියාවට පැනුන සම්බාධක වලින් ඔවුන්ට යම්  පහරක්  වැදෙනු  ඇත. හැබැයි රුසියාව මිලදී ගන්නා සුඛෝපභෝගී භාණ්ඩ නැතිවීම නිසා පහර වදින්නේ නාගරික ජනයාටය. පූටින් ට විරුද්ධ උද්ඝෝෂණ වලට යන්නේ ඔවුන්ය.  තවමත් බහුතරයක් රුසියානු ජනතාව ඉන්නේ පූටින් ගේ පැත්තේය. 

 බටහිර ජිවත්වන අපට වැදෙන  පහරද සුළුපටු නැත. ලන්ඩනයේ තෙල් මිල නොවූ විරු ලෙස ඉහල ගොස් ඇත. වාහනයේ පෙට්‍රල් ටැංකිය පිරවීමට යන මුදල දෙගුණ වී ඇත. මාසික ගෑස් මිල දෙගුණ වී ඇත. ඒ නිසා අනිකුත් බඩු  බාහිරාදියේ මිලද ඉහල යමින් පවතී. සීඝ්‍ර උද්ධමනයක් අත ළඟය.  බටහිර ආර්ථිකයට වදින පහරද සුළුපටු නැත. ඒ ආර්ථික යුද්ධය එන්නේ ඉදිරියටය. 

පූටින් ඇරඹු යුද්ධයෙන් තවත් අයට වාසි සිදුවී ඇත. 
වෙනිසියුලාවේ සමාජවාදී ආණ්ඩුව තව දුරටත් නරක එකක් නොවේ.එහි ජනාධිපති  නිකොලස් මදුරෝ චෝයි බබෙකි. මේ බව අපට කියන්නේ  එහි ගිය ඇමෙරිකානු නියෝජිතයන්ය. ඔවුන්ට පැනවූ සම්බාධක ලිහිල් වෙන අතර අඩු මිල තෙල් ලෝක වෙළඳ පොලට ඒමට නියමිතය. රුසියාවෙන් නොගන්නා තෙල් ඇමෙරිකාව සැරසෙන්නේ වෙනිසියුලාවෙන් ගැනීමටය. 

එසේම ඉරානයේ  සිර  දඬුවම් විඳිමින්   සිටි බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදිනිය අද නිදහස් කරන ලදී. ඒ නිසා (allegedly ඒ නිසා) ඉරානයේ තෙල් වලට පනවා ඇති සම්බාධක  ඉවත් වෙනු ඇත. බොරිස් ජොන්සන් අද සවුදි අරාබියට ගියේ අසූ එක් දෙනෙකු එල්ල මැරූ හේතුව අහන්නට නොවේ. තෙල් නිෂ්පාදනය වැඩි කරන්නට කියන්නටය.
මේවා ඔක්කොම අපට හොඳය. ඒ නිසා කට වහගෙන සිටීම වාසිය. ෆේස්බුක් එකේ මවිසින්  මේවා විවේචනය කරනු ඔබට දැකිය නොහැක්කේ ඒ නිසාය. 

මේ යුද්ධයට ඇති හොඳම විසඳුම සෙලෙන්ස්කි විසින් නේටෝව අමතක කර  සාකච්ඡා වලට යාමය. ක්‍රිමියාව  ඔවුන්ට අහිමි වනු ඇත. නමුත් රට ගොඩ නගා තායිවානය මෙන් හොඳ ආයුධ  ටිකක් රැස් කර ගතහොත්  රුසියාවට නැවත  ඔවුන්ට අත තැබීම අපහසු වනු ඇත. ඒත් දැන්නම් පමා වැඩි විය හැකිය.   නේටෝව හමුදා යැව්ව හොත් හෝ පියාසර තහනම්  කලාපයක් ක්‍රියාත්මක  කළහොත්  තෙවන ලෝක යුද්ධයක් ඇරඹීමේ අවදානම වැඩිය.  

පූටින් ගේ අදහස යුක්‍රේනය අල්ලා ගැනීමම  නොවේ.  ඔහුගේ සැලසුමේ ඩොලරයට පහර දීමේ කොටසක්ද ඇත. ඒ සඳහා  ඔහුට චීනයේ සහයද  අවශ්‍යය.  
වෙන කෙනෙකු නොලිව්වොත්  ඒ ගැන විස්තරයක් ඉදිරියේදී සපයමි.


Ukraine on fire: film you can watch here: or here.



යුක්‍රේන ප්‍රශ්නය පිලිබඳ ලිපි මාලාව:






Tuesday 8 March 2022

මගේ පෙම්වත!

මගේ පෙම්වත !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ පෙම්වත 

මා වල්ලභය 

මගේ මිතුර 

ඔබ පෙරමුණට යන්නෙහිය 

මා වෙනුවෙන් 

අපේ ජිවිතය වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද 

මට ඔබේ උණුසුම ලබන්න  හැකිවේද 

වේදනාවක් යයි පසාරු කර ගෙන හද 

නමුත්  මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 


******************************

මගේ පෙම්වතිය  !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ ආදරිය  

මා පිය බිරිඳ  

මගේ මිතුරිය  

මම  පෙරමුණට යමි  

ඔබ  වෙනුවෙන් 

අපේ ජිවිතය  වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද නොදනිමි 

මට ඔබේ උණුසුම ලබන්නට  හැකිවේද  නොදනිම්  

මූනිස්සමක්  හද පසාරු කර ගෙන ගියත්  

 මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 

****************************


මේ යුක්‍රේනියානු යුවලගේ පින්තූරය දුටු නිසා ලියන්නට සිතුනි. එම පින්තුරයේ ඇති සැබෑ බව හදවත සොවින් බර කරවීය. යුද්ධය කුරිරුය. එය පෙම්වතුන්, අඹු සැමියන්, දරුවන්, මාපියන් වෙන් කරයි.


--අජිත්  




Saturday 5 March 2022

රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි

රුසියානු යුධ සැලසුම, බටහිර  මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු  පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ  මා නිරීක්ෂණය කරන පරිදි විග්‍රහ කිරීමකි. එසේම වර්තමාන තත්වයන් යටතේ බටහිර රටක සිට ලිවීමේදී ඇතැම් කරුණු මග හැරීමට සිදුවේ. ඊට හේතුව දැන් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ ඇත්තේ නිල නොවන යුධමය වාතාවරණයක් නිසාය. එසේ සිදුවීමට හේතුව රුසියානු නායකයා විසින්  න්‍යෂ්ටික අවී භාවිතාව පිළිබඳව කරන ලද නියෝගයයි. 

රුසියානු යුක්රේන යුද්ධය පටන් ගත්  මුල සතියේ බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ රුසියාව එතරම් ප්‍රබල නොවන  භට කණ්ඩායම් හා පරණ යුධ රථ එව්වේ මන්ද යන්නය.  එසේම යුක්‍රේන් ජනතාවගේ ප්‍රතිවිරෝධය හමුවේ රුසියානු  භටයන් පසු බසින බවද  ඔවුහු වාර්තා කළහ. නමුත් සත්‍යය එලිවුනේ පසුවය. මූලික රුසියානු හමුදා සිදුකළේ විදගෙන (incursion) යාමකි. එහි අරමුණ වූයේ  යුක්‍රේන් නගර වල ඇති ගුවන් යානා නාශක අවි විනාශ කිරීමය. එසේම යුක්රේන ගුවන් හමුදාව  බල රහිත කිරීමය. රුසියානු ජනාධිපතිවරයා බොහෝවිට සිතන්නට ඇත්තේ මෙම මුලික ආක්‍රමණ ක්‍රියාවෙන් හා දොන්බාස් ප්‍රදේශය එනම් ලුගාන්සක් , දනියෙත්ස්ක් ස්වාධින රජයන් ලෙස පිළි ගැනීමෙන් පසු   බටහිර මෙන්ම යුක්‍රේනියානු  රජය නේටෝ වට ඇතුළු වීමේ නිගමනය ආපසු හරවනු ඇත කියා යයි සිතමි.

එය සිදුවුනේ නැත්තේ බොහෝවිට යුක්‍රේන ජනාධිපතිවරයාට සහය දෙන  ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සෙලෙන්ස්කිට එසේ නොකිරීමට උපදෙස් දුන් නිසා විය හැකිය.  යුක්‍රේනය සමග වන යුද්ධය හරහා  පුටින් බලයෙන් පහ කිරීම  ඔවුන්ගේ පරමාර්ථය විනැයිද  සිතමි. 

මේ යුද්ධයේදී යුක්‍රේනය හා එහි ජනතාව  බලවත් ජාතීන් ගේ වැරදි වලට වන්දි ගෙවන බව පැහැදිලිය. එසේම පුටින් කිහිප වතාවක්  වසර 2000 සිට නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබුණි. එයට පිළිගැනීමක් බටහිරින් විශේෂයෙන්  එක්සත් ජනපදයෙන් නොලැබුණි. (මේ කිසිවක් යුද්ධය සාධාරණය කරන්නේ නැත) 

පූටින් ගේ යුධ මෙහෙයුම දෙස බැලීමේදී ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය පරාජය කල ජෙනරාල් ෂුකොව් ගේ යුධ සැලැස්ම අනුගමනය කරන බවක් පෙනී යයි. බොහෝ බටහිර මාධ්‍ය වලට එය මග හැරී ඇත. 
නාසි ජර්මනිය පළමුව සෝවියට් දේශයට ඇතුළු වූයේ බෙලරුසියාවේ බ්‍රෙස්ට් නමැති නගරයෙනි. ඒ 1941 ජුනි 22 ය.බ්‍රෙස්ට් නගරයට ඔවුන් ඇතුළු වූයේ පෝලන්තය ආක්‍රමණය  කිරීමෙන් පසුවය. ඒ සමගම ඒ  වනවිට වර්තමාන නේටෝ රටවල් වන රුමේනියාව ,චෙකොස්ලොවේකියාව ද නාසීන්  ආක්‍රමණය කර තිබුණි.හිට්ලර් 1941 අගෝස්තු මාසයේ යුක්රේන සෝවියට් සමුහාණ්ඩුව ආක්‍රමණය කළේය. 


අපට වැදගත් සිද්ධීන් දෙකක් තිබේ. පලමුවැන්න  හිට්ලර් ගේ ඔපෙරේෂන් බාබරෝසා ය (Unternehmen Barbarossa බාබරෝසා යනු  12 සියවසේ  ජර්මන් රජෙකි.).  ඒ හිට්ලර් ගේ සෝවියට් දේශය අල්වා ගැනීමේ මෙහෙයුමට දැමූ නමයි. ඒ යටතේ  හිට්ලර් ගේ කීව් නගරය  අල්වා  ගැනීමේ  මෙහෙයුමේදී ජර්මන් හමුදා සම්පුර්ණයෙන්ම කීව් නගරය වට කල අතර මෙම  පළමු කීව් යුද්ධයේ දී ලක්ෂ 7 පමණ සෝවියට් රතු හමුදා භට පිරිසක් දිවි පිදුහ.  වැදගත් සිද්ධියක් නම් හිට්ලර් ඔඩෙසා වරාය නගරයටද එකවර පහර දීමයි. ඒ මගින් රතු හමුදාවට කීව් නගරයේ සහයට ඒම වලක්වන ලදී. ජර්මන් හමුදා සමග ඉතාලි සහ රුමේනියානු හමුදා ද එක්ව සිටියහ. සෝවියට්සේ නාංක කිහිපයක්ම මෙහිදී  යටත් වුනි. ඉන්පසු හිට්ලර් මොස්කව් සහ  ලෙනින්ග්‍රාද් නගර  අල්ලා ගැනීමට හමුදා පිටත් කල අතර ඉතාම ලෙහෙසියන් අල්ල ගැනීමට සිතා  ක්‍රිමියාව , නැගෙනහිර යුක්‍රේනයේ දොන් බාස් පෙදෙස මෙන්ම රොස්ටොව් නගරය දෙසටද හමුදාව මෙහෙයවිය. හිට්ලර් ගේ හමුදා මේ හැම තැනදීම පරජයට පත්විය. ස්ටාලින්ග්‍රාඩ් නගරය අල්ල ගැනීමේ යුද්ධයේදී මිලියන් දෙකක් මියගිය ලොව සිදුවූ දරුණුතම මෙහෙයුමක් විය. එහිදී හිට්ලර් ගේ හමුදාවේ පරාජයට අඩිතාලම වැටුණි.

හිට්ලර් ගේ නිවැරදි තැන ඔඩෙසා , ලිතුවේනියා ආදී පැතිවලට එකවර පහරදී රතුහමුදා සැපයුම් මාර්ග බිඳ දැමීමයි. ඔහුට වැරදුන තැන ක්‍රිමියාව සහ  නැගෙනහිර  උක්රයිනය අල්ලා නොගැනීමයි. සේම තම හමුදා සෑම තැනකටම යවා විහිදුවිමයි. 

දැන් මාෂල් ශුකොව් මෙහෙයවූ දෙවැනි කීව් මහා යුද්ධය දෙස බලමු. මෙය සිදු වුනේ 1943 දීය. මෙය සෝවියට් දේශය බේරා ගැනීමේ මෙහෙයුමේම කොටසක් වුවද කීව් දක්වාවූ  සෝවියට් හමුදා වල්  මෙහෙයවීම,  විමසීම වටී. මෙම මෙහෙයුම ද්නීපර් යුද්ධය ලෙසින් හඳුන්වන  ලද අතර එහි කුර්ස්ක් සඳහා වූ සටන මුල්ම සටන විය. මෙහිදී වොරෝනේෂ් නගරයේ සිට සෝවියට් හමුදා සටන් කරමින් ඉදිරියට ගිය අතර   මෙය පසුව පළමු යුක්රේනියානු පෙරමුණ  ලෙස නම් කරන ලදී.  රතු හමුදාවේ දෙවන යුක්‍රේනියානු පෙරමුණ කිශිනෙව් (මොල්දාවියානු  නගරයෙන්) යුධ පෙරමුණ සමග සම්බන්ධ  විය.  මේ හමුදා කුර්ස්ක් දිනූ බල ඇණි සමග  හර්කොව් (ඛාකිව්) නගරය අල්ල ගන්නා  ලදී. දෙවන කීව් යුද්ධයේදී නැගනහිර යුක්රේනය සෝවියට් හමුදා  අත පැවති  අතර ඔඩෙසා නගරයද ක්‍රිමියාවද  සෝවියට් හමුදා අත තිබුණි.   මේ පැත්තෙන් හිට්ලර් ගේ හමුදා  පරාජය විය. අනිත් පැත්තෙන් චර්නොබිල් -රදොම්ශිල් මෙහෙයුමද චෙර්නොබිල් ගොර්ණස්ටයිපිල් (hornostaipil) මෙහෙයුමද සමගාමිව අරඹන  ලදී. මේ නගර කීව් ප්‍රදේශයේ වමෙන්   සහ උතුරින් (සිතියමේ උඩ) පිහිටා තිබේ.  ලුෂ්ටෙක් මෙහෙයුමේදී ජර්මන් 24 වැනි හමුදා කොටු කර ගන්නා ලදී. මෙහිදී නොමග යාමේ උපක්‍රමයක් වශයෙන් බුර්කින් ප්‍රදේශයට ,  කීව් නගරයට උතුරින් ප්‍රහාර එල්ල කළ සෝවියට් හමුදා ඉන්පසු  පසුබැස්සහ. 

මේ අතරේදී ද්නිපරය පැත්තෙන් පැමිණෙන හමුදා කීව් වට කල අතර  ජර්මන් 4 වන පැන්සර් හමුදාව පරාජය විය. ඉතිරි ජර්මන් හමුදා කීව් නගරය අතහැර පෝලන්තයට පසු බැස්සහ.  (මේ යුද්ධයේ තව විස්තර මෙහි තිබෙන අතර මා ලීවේ ලිපියට අවශ්‍ය දෑ පමණි. ) මේ මෙහෙයුම්  1943 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ගෙනයන ලදී.  

දැන් පූටින් ගේ යුධ සැලසුම දෙස බලන්න. මගේ අදහසේ හැටියට ඔහු මෙය සැලසුම් කරන්නට ඇත්තේ 2010 දී යුක්රේනය නෙටෝවට එක් නොවීමේ ව්‍යවස්ථාව අවලංගු කළ පසු විය යුතුය. ඔහු කලේ මුලින්ම 2014 දී  ක්‍රිමියාව නැවත ඈඳා ගැනීමය. ක්‍රිමියා ව මූලික කරගෙන මෙහි සිට හමුදා විහිදුවිම (staging post) හොඳින් කළ හැකිය. ඉන්පසු ඔහු යුක්‍රේනය දෙකඩ කළේ භාෂා ප්‍රතිපත්තිය මතය. (රුසියානු වැසියන්ට එම භාෂාවෙන් ඉගෙනීම තහනම් කිරීම හා හිංසා කිරීම යන හේතු මත) . නැගෙනහිර යුක්‍රේනය (දොන්බාස් පෙදෙස) දැන් ඔහු අතේය. 

කාලයක් බලා සිටි පූටින් කෝවිඩ් ප්‍රශ්නය අතරතුර හමුදා තර කරමින් සිටියේය. ඉන්පසු කීව් ආසන්නයේ බෙලො රුසියාවේ හමුදා අභ්‍යාස පටන් ගති.  පෙබරවාරි 24 දා යුද්ධය ඇරඹු  ඔහු  කළේ කීව් වලට උතුරින් ඇති චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගිය ස්ථානය  අල්ලා ගැනීමයි. දැන් එම පෙදෙස් ඔහු අතේය.  ඉන්පසු එතන සිට චෙර්නිව් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටි. ඒ අතරේ ෂුකොව් කලාක් මෙන් අනිත් පැත්තෙන් මරියපෝල් නගරයට පහර දෙන අතරේ කෙර්සන් වරාය නගරය  අල්ලා ගන්නා ලදී.   ඒ අතරේ හර්කොව් (ඛාකිව්) වලටද පහර දෙයි. මේ නිසා යුක්‍රේන හමුදා දිග ඇදී ඇති අතර ඔවුන්ට කීව්වල  සහයට යාමට නොහැකිය. 

පූටින් ඇරැඹු මේ යුද්ධයට තවම ගතව ඇත්තේ සති දෙකකි. ඔහු ඔඩෙසා නගරය අල්ලා ගත් පසු මොල්දෝවා පැත්තෙන්ද හර්කොෆ්  (ඛාකිව්) නගරය පැත්තෙන්ද කීව් කරා එනු ඇත. සඵරෝශියාව දැනටමත් යටත් වී ඇත. බොහෝ ෆේස්බුක් පණ්ඩිතයන්ගේ අදහස කුමක් වුවද පූටින් යන්නේ තමන්ගේ සැලසුමට හෙවත් මාර්ෂල් ෂුකොව් ගේ සැලසුමට අනුව පැහැදිළිය. ඔහු ඉක්මන් නොවන්නේ එබැවිනි. 

දැනට යුක්‍රේන හමුදාවන්ට උඩින් පහර දීමට නොහැක්කේ ඔවුන්ගේ ගුවන් යානා මුලින්ම විනාශ කර දැමූ නිසා බව සිතමි.
යුක්රේනයට නේටෝ රටවල් අවි ආයුධ මගින් සහය දුන්නද රුසියනු හමුදාව භට පිරිස හා යුධ ටැංකි ඇතුළු අනෙකුත් ආම්පන්න අතින් පොහොසත්ය. තෙල් සහ ගෑස් වලින් මුදල් එනතුරා භාණ්ඩාගාරය ට ප්‍රශ්නයක් ද නැත.  ඔහු තවම ගුවන් යානා මෙන්ම බර අවි වලින් කොටසක්ද භාවිතා කර නැත. ඉදිරියේදී මෙය තවත් බිහිසුණු කොටසකට ඒමට නියමිතය. යුක්‍රේන ජනාධිපති  සහ ඔහුගේ හමුදාවේ ප්‍රබල විරෝධය හමුවේ වුවද  පූටින් පහර දෙනු ඇත. වෙනත් හදිසි දෙයක් සිදු නොවුහ හොත් (බහුතරයක් රුසියානුන් යුද්ධයට එරෙහිව නැගී සිටීම වැනි)   මගේ අදහස වන්නේ මාර්තු 24-31 වනවිට ඔහු කීව් නගරය සම්පුර්ණයෙන්ම යටත් කර ගනු ඇත කියාය. ඔහු ල්වෝව් නගරයට නොයනු ඇත යනු මගේ විශ්වාසයයි. ඒ නගරය පෝලන්තය ආසන්නයේ පිහිටා ඇති අතර දැනට පෙනෙන්නේ නේටෝව සමග යුද්ධයකට එළඹීමට ඔහුගේ ඇති අකමැත්තයි. නේටෝව "යානා පියාසර තහනම් කලාපයක් " (no fly zone ) ප්‍රකාශ නොකරන්නේ ද එබැවිනි. එවැන්නකින් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැලැක්විය  නොහැකි වේ. අගමැති බොරිස් ජොන්සන් කලේ සිහි බුද්ධිය ඇති ප්‍රකාශයකි.     

ඕනෑම යුද්ධයකට මම විරුද්ධය.මහාමාර්ග , ගොඩනැගිලි නැවත ගොඩ නැගිය හැකි වුවත්  යුද්ධයකදී මියයන සොල්දාදුවන් සහ ජනතාව  නැවත ඉපදවීමට නොහැකිය. දෙපසම නයුවන්ට ඥානය පහල වෙනු ඇතැයි පතමි.  

- අජිත් 
මගේ ලිපියට විරුද්ධ මතයක් මේ ලිපියේ ප්‍රකාශ වේ. එයද කියවන්න.

සමහර අමතර හමුදා ගැන සඳහනක් වෙන නිසා කියවීම වැදගත් විය හැක.


Monday 28 February 2022

න්‍යෂ්ටික මරණයේ සීතල - රුසියාව නැති ලෝකයක් අපට අවශ්‍යද - ද්මිත්‍රි කිසිල්යෙව් ගේ තර්ජනය





න්‍යෂ්ටික මරණයේ සීතල - රුසියාව නැති ලෝකයක් අපට අවශ්‍යද - ද්මිත්‍රි කිසිල්යෙව් ගේ තර්ජනය 
******************************************************
බොහෝ අය (සමහර වාමාංශිකයන්  සහ දක්ෂිණාංශික මාධ්‍ය ද ඇතුළුව ) පුටින් මෙගලොමේනියක් (megalomaniac), සයිකොටික්, ඒ කියන්නේ අතිශය බල ලෝභියෙක් , පිස්සෙක්, විකෘති කාරයෙක් යනුවෙන්  තර්ක නගති.  ඒ කියන සියල්ලෝම රුසියානු මහා ජාතිවාදය යනු කුමක්දැයි හඳුනන්නෝ නොවෙති. ලෙනින් විසින් 1916-17 වසර වල  තීරණාත්මක එරෙහිවුයේ එයටය. ලෙනින් රුසියානු අධිරාජ්‍යය ට අයත් ෆින්ලන්තය, පෝලන්තය ආදියට නිදහස හා ස්වයං නිර්ණන අයිතිය ප්‍රධානය  කලේද එලෙසය. යුක්රේනයට ද එලෙසම ස්වයං නිර්ණය අයිතිය  ප්‍රධානය කිරීමට සුදානම් වූ නමුත්  සුදු හමුදා යුක්‍රේනයේ සිට පහර දීමට පටන් ගත් බැවින් එය යටත් කර ගැනීමට යුධ හමුදා යැවීය.  

කෙසේ වුවද ලෙනින් පූටින් ට සම්පුර්ණයෙන්ම විරුද්ධ හා ස්ටාලින් ට සහය දක්වන්නෙක් වන්නේද මේ නිසාය. පුටීන්  කිවේ ලෙනින් රුසියානු මව ගේ යට කාල බෝම්බයක් තැබූ බවයි. පූටින් සමාජවාදියෙකු නොවේ.

 ඒ එසේ වුවද මා දිගින් දිගටම ලියන්නේ නේටෝ සංවිධානය රුසියාව වට කිරීම තුල තම ජනතාවට ඉදිරිපත් කිරීමට පුටින් ට සාධාරණ හේතුවක් තිබු බවයි.  ඓතිහාසික වශයෙන්මේ ගත් කලද ඔවුන්ගේ රටට ආක්‍රමණ ආ පැති  රුසියානුවෝ හොඳින් දනිති. ඒ  නිසා මේ අවස්ථාවේ යුක්රේනයේ සෙලෙන්ස්කි යථාර්තය  පිළිගෙන නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට සහතිකයක් දිය යුතු බව මගේ අදහසයි. පුටීන් සිය හමුදා ඉවත් කරගෙන ආක්‍රමණයෙන් සිදුවූ හානි වලට වන්දි ගෙවිය යුතුය. එසේම යුක්‍රේනයේ අන්තර්ජාතික සාම සාධක හමුදාවක් බලවත් ආයුධ සහිතව රඳවා තැබිය යුතුය.  නේටෝව නමැති යුධවාදී සංවිධානයට ඇතුළු නොවන බව ප්‍රකාශ කිරීම පූටින් ට යටත් වීමක් නොවේ. ඒකාධිපතියෙකුට අවශ්‍ය අන්දමට ක්‍රියා කිරීමක් ද නොවේ.  යුක්රේනය නේටෝවට එක් නොවන බව පැවසීම  අතිශයින් නිර්භීත ක්‍රියාවකි.  ලෝකය  මේ එළඹෙන විනාශයෙන් බේරා ගැනීමකි. පුටින් නොව ඉතිහාසයට යන්නේ සෙලෙන්ස්කිය. 

යුක්රේනයට නේටෝවට එක්වීමට ස්වාධින අයිතියක් ඇතැයි කියන අය ඇමෙරිකා  එක්සත් ජනපදය සහ මා සිටින බ්‍රිතාන්‍ය ය ද පසුගිය අවුරුදු දෙකහමාර මුළුල්ලේ යුක්රේනයට  හමුදා ආධාර සැපයු බවද යුක්‍රේන හමුදා පුරුදු කල බවද එක්කෝ නොදනිති. නැත්නම් නොදන්නා සේ සිටිති.  අද රුසියානු හමුදා එරී සිටින්නේද ඒ නිසා විය යුතුය. එසේ නොමැති නම් ඔවුන්ගේ වෙනත් උපාය මාර්ගයක් තිබිය හැකිය. ඔවුන්ටද ජනාකීර්ණ ස්ථාන තැන වලට බෝම්බ දමිම්මට නොහැකිය. එවිඅට් එය යුධ අපරාධයක් වන්නේය.
එනිසා කුඩා යුක්‍රේනයට මහා බලවත් රුසියාව ඇතුළු වුවා නෙමේ. ඇෆ්ඝනිස්ථානයේ මෙන් මේ යන්නේ ප්‍රොක්සි යුද්ධයකි. යුක්‍රේනය අවාසනාවට සිටින්නේ මේ මහා බලවතුන් ගේ මැදය. මගේ මධ්‍යස්ථ බවට හේතුව එයයි. මා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය  ඉවත් වීමට විරුද්ධව පෙළපාලි ගිය බ්රෙක්සිටයට විරුද්ධව චන්දය ප්‍රකාශ කළ අයෙකි. එදා එව්ගේනි ලෙබෙදෙව් ගේ ඉව්නින් ස්ටෑන්ඩඩ් පත්‍රය සහමුලින්ම බ්රෙක්සිට්වාදී හා  යුරෝපා සංගම් විරෝධී විය. එය පසුපස සිටියේ පූටින් ය. එව්ගේනි ගේ පියා බිලියන්පති ඇලෙක්සැන්ඩර් ලෙබෙදෙව් හිටපු කේජිබි සෙන්පතියෙකු මෙන්ම පූටින් ගේ හිතවතෙකි. එදා මම සහතික ලෙසම පූටින් ට විරුද්ධ වුනෙමි.  

නමුත් මේ මධ්‍යස්ථ වීම තුල මම තවමත් කියන්නේ යුක්‍රේනය නේටෝවට නොයා නිර්පාක්ෂික වී රටත් ජනතාවත් ලෝකයාත් බේරා ගත යුතු බවය. අවසනාවකට අප පත්ව ඇති තත්වය මෙයයි. පූටින් ඉවත් කළා කියා ප්‍රශ්නය  එකවරම විසඳෙන්නේ නැත. පූටින් ඉවත් කළ යුත්තේ රුසියානු ජනතාවය. ඔවුන් ඉදිරියට එනු ඇත. ඒ සඳහා මහා  රුසියානු ජාතිවාදය පරාජය කල හැකි නායකයෙක් අවශ්‍යය.

දැන් මම වෙස්ති  නිදෙලි (සතියේ විත්ති ) නමැති රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති වැඩ සටහනේ ද්මිත්‍රි නෙව්ස්කි නමැති නිවේදකයා සහ විචාරකයා කියූ දේ පරිවර්තනය කරමි.

 පුටින් රුසියාවේ න්‍යෂ්ටික උපායමාර්ගික හමුදා දැඩි සීරුවෙන් තැබීමට නියෝග දුන්  පසු ඔහු මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේය:

 "රුසියාව එහි නොමැති නම් අපට ලෝකයක් අවශ්‍ය වන්නේ ඇයි?"

"සමස්තයක් වශයෙන් අපගේ සබ්මැරීනවලට න්‍යෂ්ටික යුධ තුඩු  පන්සියයකට අධික ප්‍රමාණයක් දියත් කිරීමට හැකියාව ඇත, එම ආරම්භයෙන්ම   එක්සත් ජනපදය සහ සියලුම නේටෝ රටවල් විනාශ කිරීම සහතික කරයි," 

ඔහු පවසන  මූලධර්මය අනුව රුසියාව  නොමැති නම් එවැනි  ලෝකයක් අවශ්‍ය වන්නේ නැත.

ඔහු පැවසුවේ "රුසියාවේ න්‍යෂ්ටික අවි ප්‍රහාර කරනු  ලබන්නේ ලෝකයේ වේගවත්ම උපාය මාර්ගික බෝම්බ හෙලන යානා විසින් " බවය.

 "අපි අපේ උපාය මාර්ගික රොකට් බලකායන් ගැන කතා කිරීම අවශ්‍ය නැත. සමස්තයක් වශයෙන් ගත් කල, ලෝකයේ බලවත්ම න්‍යෂ්ටික හැකියාව ඇත්තේ රුසියාවට. ” යි ඔහු තව දුරටත් පැවසීය.

"දැන් රුසියාවේ සමස්ත න්‍යෂ්ටික බල ත්‍රිත්වයම විශේෂ සීරුවක  තබා ඇත. පුටින් ඔවුන්ට (බටහිරට)  අනතුරු ඇඟවීය. රුසියාව බිය ගැන්වීමට උත්සාහ නොකරන්න."  

ඒ ඔහුගේ අවසන් නිවේදනයයි.
(රුසියානු බස දන්නා යහළුවෙකු ගෙන් අසන්න)



කිසිල්යෙව් මේ කියන්නේ කුමක්ද යන්න හොඳින් කල්පනා කර බලන්න. ඔවුන්ට න්‍යෂ්ටික තුඩු 6200 පමණ තිබේ. මෙම වීඩියෝවට  රුසියානුන් කොපමණ සහය දෙන්නේ දැයි බලන්න. මේ "මව්බිම නැත්නම් මරණය  " තෝරා ගන්නා  රටකි. 
සියදිවි නසා ගන්නට පමණක් නොව මරාගෙන මැරෙන්නට සැරසෙන ඒකාධිපති ජනාධිපති කෙනකු සහ ජනතාවක් සිටින  රටකි.

ඔබ තවමත් සිතන්නේ යුක්‍රේනයට නේටෝව තෝරා ගැනීමේ අයිතියට සහය දෙන්නද? නැත්නම් මේ රටවල් දෙකට සාකච්චාවලට  එළඹීමට බල කර අන්තර් ජාතික සාම සාධක හමුදාවක් යැවීමටද? 

Saturday 26 February 2022

ලංකාවේ චීන මිසයිල පිහිටෙව්වොත් ඔබ ගන්නේ කොයි පැත්තද?

ලංකාවේ චීන මිසයිල පිහිටෙව්වොත් ඔබ ගන්නේ කොයි පැත්තද? 



මේක මේ ඊයේ සිදුවුණු අගෝරා සාකච්චාවේදී මම අහපු ප්‍රශ්නයක්..( මේ ටිකක්  වැඩියෙන් පැහැදිලි කරලා ලියන්නේ)  හදිසියේම ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න විශාල ඩොලර් ප්‍රමාණයක්  අරගෙන  ගෝඨාභය ජනාධිපති චීනයේ මිසයිල ලංකාවේ ස්ථාපිත කරන්න අවසර දෙනවා.ලංකාවේ මිනිස්සු වැඩි  හරියක් මේකට කැමති වෙනවා රට හොම්බෙන් යන නිසා. ඩොලර් සංචිතයට කෙළවෙලා. දුෂණය වැඩියි. බස් මග නතර වෙලා ඩිසල් නැතිව. කෑම ගණන් වැඩි වෙනවා දිගටම. ආර්ථිකයට කෙළවෙලා. අවට රටවල් ඔක්කොම මීට වඩා දියුණුයි. 

මිනිසුන්ගේ පැත්තෙන් ටිකක් හරි. මේ අවස්ථාවේදී ඩොලර් ඕනේ. 

 චීනය කියනව සල්ලි දෙන්න නම්  තව කොන්දේසියක් තමයි චීනය මුලිකත්වයෙන් පිහිටුවා ඇති යුධවාදී සංවිධානයක්  වන චැටෝ හි සාමාජිකත්වය ගත  යුතුයි  කියල.

නමුත් ඉන්දියාව කියනව උඹලා මේකට  ඉඩ දුන්නොත්  අපි ආක්‍රමණය කරනවා. අපි රට දෙකඩ කරනවා හෝ තුනකට කඩනවා කියල.

එහෙම කියල ඉන්දියාව  ශ්‍රී ලංකාව ආක්‍රමණය කරල උතුර නැගෙනහිර පළාත් දෙක වෙන් කරනවා. කොළඹට ගහල අල්ල ගෙන ඉන්දීය හිතවාදී රජයක් පිහිටුවනවා. 

ඔබ:
පළමුවන කොටස:

1. ඉන්දියාව ශ්‍රී  ලංකාවේ ස්වාධිනත්වය  උල්ලංඝනය කළා කියල තවත් චීන යුධ ආධාර ඉල්ලනවද? චීනයට හිතැති රටවලින් ආයුධ ගන්නවද?

2.  ඉන්දියාව සහ චීනය සමග සාකච්චාවලට  ගිහින් චීන මිසයිල පිහිටුවීම තවකාලිකව නතර කරගෙන ඩොලර් සොයා ගැනීමට වෙනත් මංපෙත් හොයනවද ?


දෙවන කොටස:

1. ඔබ මේ ගැන ආවේගී ව පත්තර වල ෆේස්බුක් වල ගැටෙමින් ඉන්දීය ආක්‍රමනිකයට විරුද්ධව වැලපෙනවා ද  ?

2.එහෙම නැත්නම්  ඔබ භූ දේශපාලන තත්වය , ශ්‍රී ලංකාවේ ඉතිහාසය, චීන සහ ඉන්දීය  සබඳතා  මෙන්ම  ආදී කාලින  චීන සහ ඉන්දීය ආක්‍රමණ ගැන මතක් කර ගනිමින් තත්වය විශලේෂණය කර ගන්නවද ?

 
කොටස් දෙකට වෙනම පිළිතුරු සපයන්න. 

- අජිත් 

ප.ලි.
ඔබ මෙහිදී මතක් කර ගත යුතු වැදගත් කරුණු දෙකක් තිබේ.
1987 දී ශ්‍රී ලංකාවේ ජේ ආර් ගේ සහයට ඇමෙරිකාව නොපැමිණි බවත් (පරිප්පු සිද්ධිය) , ගරිල්ලා නායක ප්‍රභාකරන් මියගියේ ඉන්දියාවේ සහයෙන් බවත්. (උණ්ඩය ලංකාවේ වුවද ඉන්දියාව නිහඬව ලංකා රජය පැත්තේ  නොසිටියා නම් එක්සත් ජනපදය හා කැනඩාව  ගරිල්ලා නායකයා මුහුදින් බේරා  ගැනීමට සැලසුම් කර තිබුණි.)

පරණ ලිපි:


Thursday 24 February 2022

රුසියානු ඉතිහාසය සහ යුක්රේනියානු පෙකනිවැල

 

රුසියාවේ එලිසබෙත් (රුසියාව පාලනය කළ බලගතුම නායකයන්ගෙන් කෙනෙකි)



රුසියානු සහ යුක්රේන ඉතිහාසය දෙස බලන විට එක් දෙයක් පැහැදිලිය. ජාතීන් දෙකම උපත ලැබුවේ ඔවුන්ගේ කීවන් මව ගෙනි. ජාතීන් දෙකම ආරම්භ වූයේ කියෙව් නගරයෙනි.

ක්‍රිපූ 2000 - සංචාරක ගෝත්‍රිකයන් (කුර්ගන්වරු ) - ස්කයිතියන් ලෙසින් හඳුන්වනු ලැබු මොවුහු  රුසියාවේ, ලෝකඩ යුගයේ සංස්කෘතීය ගොඩ නැගුහ.  සංචාරක ගෝත්‍රිකයන් විසින් ඔවුන් යටපත් කරන ලදී.

ක්‍රිව 0650 - ස්ලාව් ජාතිකයන් (බොහෝ ගෝත්‍ර)

ක්‍රිව 800 - ස්කැන්ඩිනෙවියාවේ සිට පැමිණි වයිකින්ග් වරු දොන්  නදිය, ද්නීපර් හා වොල්ගා නදී හරහා රුසියාව අභ්‍යන්තරයටම ගොස් පදිංචි වූහ. මොවුන් වරන්ගියන් වරු ලෙසද හඳුන්වනු ලැබේ. 

ක්‍රිව 0862  –  නැගෙනහිර ස්ලාව් වරුන් විසින් වරන්ගියානු යුධ නායක රූරික් ට තමන්ගේ නායකයා වන ලෙස ආරාධනය කළහ. රුරිල් කුමරු  නොවොගොරොඩ් නගරය මුල් කරගෙන තමන්ගේ රාජධානිය ගොඩ නැගුවේය. රුරිකිඩ්ස් නමින් හඳුන්වන මොවුහු කීව් ප්‍රදේශය, නොවොගොර්ඩ් ඇතුළු ප්‍රදේශ වසර 700 පාලනය කල අතර තමන්ව හඳුන්වා ගත්තේ රුස් යන නමිනි. තමන් ජීවත්වූ ප්‍රදේශය රුසියාව නමින් හඳුන්වා  ගත්හ.

වැදගත් කොටස - රූරික්ගේ අනුප්‍රාප්තික ඔලෙග් (ඔලෙග් කුමරු - 879-912) කියෙව් නගරය  අල්ලා ගත් අතර එය කීවන් රුස් නම් විශාල ප්‍රදේශයේ  අගනුවර බවට පත් කළේය.

ක්‍රි.ව 0988 - මහා ව්ලැඩිමීර් (980-1015) ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමට වැළඳ ගත්තේය.  (තව දුරටත් කියෙව් අගනුවර විය.) (යුක්රේනය සහ රුසියාව යන රටවල්දෙකම ක්‍රිස්තියානි ධර්මය පිළිගත්තේය)

ක්‍රිව 1040 – යාරොස්ලාව් ප්‍රඥාවන්ත (1019 – 1054) යටතේ  කීවන් රුස් රාජධානියේ  ස්වර්ණමය යුගය ඇරඹුණි. ඔහු නව ප්‍රදේශ යුදයෙන්  අත්පත් කර ගත්තේය. නීති මාලාවන්සං ග්‍රහ කිරීම සඳහා ඔහුට ගෞරවය හිමි විය. යුරෝපයේ බලවත් රාජ්‍යයන්ගෙන් එකක් බවට කීවන් රුස් පත්විය.

ක්‍රි.ව. 1054 - යරෝස්ලාව් ගේ පුතුන් අතර යුද්ධ නිසා කීවන්  රුස් රාජ්‍යයන් කිහිපයක් ලෙස බිඳී විසිරී ගියේය (සහෝදරවරු එකිනෙකා අතර සටන් කළහ).

ක්‍රි.ව. 1223 ජෙන්ගිස් ඛාන් යටතේ මොංගෝලියානු ප්‍රහාරය, කීවන් රුස් රාජධානිය  පරාජය කර, ඛාන් නැවත මොන්ගෝලියාවට පසු බැස්සේය. .

ක්‍රි.ව. 1237 - බටු ඛාන්ගේ නායකත්වයෙන් යුත් මොන්ගෝලියානු හමුදාව කීවන් රුස් සහ සියලුම රාජධානි  (ව්ලැඩිමීර්, රොස්තොව්, කියසාන්, කියෙව් නගර) යටත් කර ගත්තේය - නොවොගොරොඩ් විනාශ නොවී ඉතිරි වූයේ ඔවුන් මොන්ගොල් පාලනය පිළිගත් බැවිනි. .

ක්‍රිව 1242 - නොවොගොරොඩ් රජු ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි ටියුටොනික් නයිට්වරු පරාජය කළේය. 

1253 - මොන්ගෝලියානු රජු (ටටාර්) - (ගෝල්ඩන් හෝඩ් )කීවන් රුස් සහ මුළු දේශයම යටතට ගෙන  පාලනය කළේය ("ටාටාර් වියගහ" යටතේ රුසියාව යන  නමින් හඳුන්වන්නේ මේ කාලයටය. )

1283 - නෙව්ස්කිගේ පුත් ඩැනියෙල් මොස්කව්හි මහා ප්‍රදේශය  පිහිටුවන ලදී (Grand Principality of Moscow)

1313 – ටටාර්වරු උස්බෙක් ඛාන් යටතේ ඉස්ලාම්  දහම වැළඳ ගත්හ.  

1362 - ලිතුවේනියාවේ මහා ආදිපාදවරයා ටාටාර්වරුන් පරාජය කර කියෙව් ද යටත් කර ගත්තේය.

1380 කුලිකොවෝ සටනේදී මොස්කව්හි ජේෂ්ඨ  කුමරු දිමිත්‍රි ඩොන්ස්කෝයි ද ටාටාර්වරුන් පරාජය කළේය.

ක්‍රි.ව. 1453 ටටාර් අධිරාජ්‍යය (ගෝල්ඩන් හෝර්ඩ්) විසුරුවා හරින ලදී. එය සහ කොන්ස්ටන්ටිනෝපල් (බයිසන්ටයින් අධිරාජ්‍යය) තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට යටත් විය.

ක්‍රි.ව. 1478 - මොස්කව්හි ජේෂ්ඨ කුමරු  නොවොගොරොඩ් නගරය තමන්ට ඈඳා ගත්තේය - පළමු රුසියානු රාජ්‍යය නිර්මාණය කරන ලදී.  ක්‍රිස්තු වර්ෂ 1480 දී II වන අයිවන් ටාටාර්වරුන්ව නැවත  වරක් පරාජය කළේය.

1547 - රුසියාවේ පළමු සාර් රජු බිහි විය.- අයිවන් IV  (අයිවන් ද බිහිසුණු) 1533-1584 නමින් හැඳින්වුණේ ඔහුය.  පෝලන්ත-ලිතුවේනියානු අධිරාජ්‍යය විසින් ඔහු පරාජය කරන ලද අතර කියෙව් නගරය  එම පෝලන්ත ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයට යටත් විය. (ලිවෝනියානු යුද්ධය)

වැදගත් - 1572  - ක්රිමියානු ඛාන් වරු  (මුස්ලිම්)  මොස්කව් ආක්‍රමණය කළහ. නමුත් ඊට පසු  අවුරුද්දේ රුසියානුවන් ඔවුන්ව පරාජය කළහ.  කොසැක් වරු මුල් වරට ස්ටෙප්ස්  තණ බිමේ පදිංචි විය.

1582 – කොසක් නායකයෙකු හා කොසක් වරු සමග රුසියානු හමුදා සයිබීරියාවේ ටටාර්වරුන්ව  පරාජය කරන ලදී. 

1598 - පළමු ෆියෝදොරෝව්  1 රජුගේ   මරණය, රුරික් රාජවංශයේ අවසානය සටහන් විය. බොරිස්  ගොදුනොව් නමැති රාජ්‍ය සේවකයා  සාර් බවට පත් විය.

1608 - 1613 ක්‍රි.ව- කිසිදු  තනි  පාලකයෙක් නොසිටිය  රුසියාව අරාජික තත්වයකට පත්විය. පෝලන්තය  මොස්කව් ද , ස්වීඩනය -නොවොගොරොඩ්ද යටත් කරගෙන සිටියහ.  පොෂාර්ස්කි කුමරු සහ කුස්මා 1612 නොවැම්බර් 4 වන දින පෝලන්ත ජාතිකයින් මොස්කව් වලින් නෙරපා හරින ලදී - රුසියානු එක්සත් දිනය ලෙස හඳුන්වන්නේද  සෝවියට් දේශයේ හමුදා දිනය ලෙස හැඳින්වූයේද  මේ දිනයයි. 

1613 - මිහායිල් රොමොනොව් - පළමු සාර් රොමොනොව් සිංහාසනයට පැමිණියේය. ඔහුගේ පුත් සාර් ඇලෙක්සි නව නීති සංග්‍රහයක්ක්‍ රියාත්මක  කළේය.

1649 - රුසියානු ගොවීන් (ඔවුන්ගෙන් 80% ක් පමණ ) ප්‍රවේණි  දාසයන් බවට පත් විය (වහලුන් වැනිවූ ඔවුන්ට  සංචාරය කිරීමට හෝ ස්වාමියෙකු තෝරා ගැනීමට නිදහසක්  තිබුනේ නැත, ඔවුන් ඉඩම් හිමියන්ට සහ ස්වාමිවරුන්ට අයිති වස්තූන් විය)

 1654 - වැදගත් - යුක්රේනියානු සපොරිෂියන් කොසැක් වරු  පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයට එරෙහිව කැරලි ගසා රුසියානු සාර් ඇලෙක්සි ඔවුන්ගේ අධිපතියා ලෙස පිළිගෙන  ඔහුගෙන් හමුදා සහාය ඉල්ලා සිටියේය.

1667 - රුසියාව සාර් ඇලෙක්සි යටතේ පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ වසර 13 ක් සටන් කළේය. රුසියාව ජයග්‍රහණය කළ අතර  ස්මොලෙන්ස්ක් සහ නැගෙනහිර යුක්රේනය ඈඳා ගත්තේය. (දැන් දොන්බාස් නමින් හඳුන්වන පෙදෙස )

1686 - රුසියාව ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහි ශුද්ධ යුද්ධයට  එංගලන්තය සහ ප්‍රංශය සමඟ එක් විය

1688 - සොෆියා රැජින යටතේ - රුසියාව චීනය සමඟ පළමු ගිවිසුම අත්සන් කළේය


Peter the Great

1689 - පළමුවැනි පීටර් , පාලකයා බවට පත්විය.

1700 - තුර්කියට එරෙහිව  එරෙහි යුද්ධය කළු මුහුදේදී ජයග්‍රහණය කරන ලදී. ක්‍රිමියාව රුසියාවට බද්ධ විය.  කළු මුහුදේ සහ අසෝව් මුහුදේ වරායන්  රුසියාවට අයත් විය. (ඔවුන්ට තිබුණේ අර්හන්ගල්ස්ක්  පමණි) - ක්‍රිමියාව අයත් වුනේ කොන්ස්තන්තිනෝපල් ගිවිසුමෙනි.

1712 - රුසියාව , පෝලන්තය, ලිතුවේනියාව සහ ඩෙන්මාර්කය සමග එකතුව එවකට බලවත් රාජ්‍යයක් වූ ස්වීඩනයට එරෙහිව සටන් කළේය. පොල්තාවා යුද්ධයේ දී ස්වීඩන් වරුන් අන්ත පරාජයකට ලක්විය. ශාන්ත පිටස්බර්ග් නගරය ගොඩ නගන ලදී.  

1721 - මහා උතුරු යුද්ධය ස්වීඩනයේ පරාජයත් සමඟ අවසන් විය. ස්වීඩනයේ වියදමින් රුසියාව බෝල්ටික් රාජ්යයන් තමන් නතු කර ගත්තේය. පළමුවන පීතර සාර්   මහා පීටර් අධිරාජ්‍යයා බවට පත්විය.

1759 - රුසියාවේ එලිසබෙත් රැජිනගේ හමුදාව ප්‍රෂියානු රජු මහා ෆෙඩ්‍රික්ගේ හමුදාව පරාජය කළේය.

1762 - තුන්වන පීටර් සාර් ජුගේ  බිරිඳ වන  ජර්මානු කුමරියක් වූ  කැතරින් රුසියාවේ අධිරාජිනිය බවට පත්විය. - කැතරින් II - යටතේ රුසියාව ඔටෝමාන් අධිරාජ්‍යය (1768-74) පරාජය කරන ලදී, පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය බිඳ වැටුණු අතර රුසියාව 1918 දක්වා පෝලන්තය යටත්  කර ගත්තේය. පෝලන්තය නිදහස ලැබුවේ ලෙනින් යටතේ සෝවියට් සමුහාණ්ඩුවෙනි.

1809 - සාර් ඇලෙක්සැන්ඩර් 1 ස්වීඩනය සහ ෆින්ලන්තය ආක්‍රමණය කළ අතර පසුව ෆින්ලන්තය රුසියානු අධිරාජ්‍යය යටතේ ස්වාධීන ආදිපාද රජයක් විය.

1812 - නැපෝලියන් රුසියාවට පැරදුනු අතර , පසුව බ්‍රිතාන්‍යය සහ පෘසියාව සමඟ පැරීසිය දක්වා ගිය හමුදා නැපෝලියන් අල්ල පිටුවහල් කරන ලදී . ඇලෙක්සැන්ඩර් ඉ පෝලන්තයේ රජු බවට පත් විය.

1815 - රුසියාව ජෝර්ජියාව, චෙචේනියාව, දාගෙස්තානය, ආර්මේනියාව සහ  අසර්බයිජානය ආක්‍රමණය කර අත්පත් කර ගත්තේය.

1828 පර්සියාව (දැන් ඉරානය) රුසියාව සමඟ යුද්ධයෙන් පරාජය වූ අතර රුසියාවට විශාල භූමි ප්‍රමාණයක් හිමි විය. රුසියාව,  ග්‍රීසිය තුර්කි  ඔටෝමන්වරුන්ගෙන් මුදා ගත්තේය.

1854 - රුසියාව කළු මුහුදේදී තුර්කි නාවික හමුදා  පරාජය කරන ලදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. (ක්‍රිමියානු යුද්ධය) - සෙවස්ටොපෝල් වරාය අහිමි වීමෙන් පසු රුසියාවේ ව්‍යාප්ත වීම නතර විය.

1861 - රුසියාව ප්‍රවේණි දාස ක්‍රමය අහෝසි කිරීම (වහල්භාවය)

1865 - රුසියාව මධ්‍යම ආසියාවේ නව භූමි ප්‍රදේශයන්  අත්පත් කර ගත්තේය - තජිකිස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ තුර්ක්මෙනිස්තානය ඒවාය. රුසියාව,  ඇලස්කාව ඇමරිකාවට 99 අවුරුදු ගිවිසුමකට විකුණන ලදී  (1867)

1877 - රුසියාව සහ බල්ගේරියාව නැවතත් තුර්කිය සමඟ සටන් කළහ. නමුත් ජාත්‍යන්තර පීඩනය යටතේ රුමේනියාව, බල්ගේරියාව සහ  මොන්ටිනිග්‍රෝ ඇතුළු රටවල් රැසකට රුසියානු අධිරාජ්‍යය විසින් නිදහස ලබා දුනි.


Lenin

1917 - යුක්රේනය රුසියානු අධිරාජ්‍යයෙන් වෙන්වුනු අතර 1918 දී අර්ධ ස්වාධින ලෙස ජර්මන් පාලනයට යටත් විය. ජර්මනියේ කයිසර් බලයෙන් පහවුණු අවස්ථාවේ යුක්රේනය වසර භාගයක්  පමණ නිදහස් රටක් විය. නිදහස් යුක්රේනය බෝල්ෂෙවික් වරුන් විසින් යටත් කරගත්තේ 1918 අවසන් භාගයේය. -(මැක්සිම් කුස්මින්)


1917 - පළමු ලෝක යුද්ධයේ පරාජයන් සමඟ පෙබරවාරි විප්ලවය සාර්ගේ පාලනය අවසන් කළේය. රුසියාව සමාජවාදී  ජනරජයක් විය. ඔක්තෝම්බර් මාසයේදී බොල්ෂෙවික්වරු ව්ලැඩිමීර් ලෙනින් යටතේ බලය ලබා ගත්තේ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් දියත් කල  කුමන්ත්‍රණයෙන් පසුවය. බොල්ෂෙවික්වරුන් යටතේ සෝවියට් දේශයේ ජනරජ 15 ක් නිර්මාණය විය. යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජය එහි අගනුවර කියෙව් ලෙස  නිර්මාණය කරන ලදී. යුක්රේනය සෝවියට් සංගමය තුළ අඩු බලතල සහිත ස්වාධින  රටක් සහ සමාජවාදී ජනරජයක් බවට පත් විය.

1954 - පෙබරවාරි 19 - සෝවියට් නායක නිකිටා කෘෂෙව් යටතේසෝවියට් සංගමයේ  උත්තරීතර  ප්‍රෙසිඩියම විසින් ක්‍රිමියානු කලාපය රුසියානු සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවෙන්  යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජයට මාරු කිරීමේ නියෝගයක් සම්මත කරන ලදී.

  

ව්ලැඩිමීර් පුටින් සාර් රජු ලෙස 


2014 (පෙබරවාරි 23-24) - සාර් පුටින් 1 (හෝ ජනාධිපති පුටින්) යටතේ රුසියානු සමූහාණ්ඩුව ක්‍රිමියානු අර්ධද්වීපය ස්වාධීන යුක්රේනයෙන් ඈඳා ගන්නා ලදී.

2022 (පෙබරවාරි 23-24) - සාර් පුටින් 1 ගේ නියෝගය යටතේ, 1667 දී පළමුවරට  රුසියානු අධිරාජ්‍යයට අයත්වූ නැගෙනහිර යුක්රේනයේ ජනරජ දෙකක ස්වාධීනත්වය රුසියාව විසින් පිළිගන්නා ලදී.
 ඒවා රැක ගැනීමට යයි පවසා රුසියාව විසින් ස්වාධින යුක්‍රේනය ආක්‍රමණය කරන ලද්දේ 2022 පෙබරවාරි 24 වැනිදාය.

- අජිත් ධර්මකීර්ති 


Saturday 12 February 2022

සීතලේ උණුසුම්ම දවස


සීතලේ උණුසුම්ම දවස 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නවම් මස හිම වලින් පිරිල    
යුරෝපයේ තවමත් 
ලන්ඩනයට දැන් හිම 
වැටෙන්නම නැහැ 
ගෝලීය ප්‍රශ්නයක් ලු 

ඒ දවස් වල ඔබත් එක්ක 
හිම පිරුණු  වීදියේ 
අතිනත අල්ලා ගෙන 
චෙක් කෙල්ලගේ කඩෙන් 
කෝපි කෝප්පයක් බිලා 
දිග ප්‍රංශ පාන් ගෙඩියක් 
අරන් චීස් කෑලි මැදට 
දාල කන ගමන් 
රූපවාහිනියේ යන එම්ටීවී 
සින්දු අහගෙන හිටිය මතකයි 
ඔයා ඊට පස්සේ නාට්‍යයක් 
බලනවමයි 

ඊට පස්සේ හිමින් 
පොතකුත්  අරගෙන 
සීතලත් එක්ක ගුලි ගැහෙන 
විට සයනයේ 
මමත් හෙමිහිට එතැනම 
ඇලවෙනවා 
ඔයා කියනව පොත ගැන 

තවත් පෙබරවාරි දාහතරක් 
ඒවගේ උණුසුම් දවසක් 
ඇයි මේ සීත කාලේ 
ඔයා ඇහුව මතකයි 
මට තුරුළු වෙමින් 

මම දැනගෙන හිටියෙ නැහැ 
ඒකට උත්තරේ 
අපි දෙන්නම වයසට ගියේ එකට 
ඒත් ඔයාට යන්න වුනා 
මට කලින් 

ළමයි  වට කරගෙන
මුණුපුරු මිණිපිරියෝ 
වට කරගෙන 
ඔයා හිටියේ සතුටින් 

මම අම්මයි තාත්තයි
හමුවෙනවා 
ඔයා බය වෙන්න එපා 
ඔයා හිනා වේගනම 
ඒ ගමන ගියා 

මට දැන් උත්තරේ 
තියනව 
ඔයා අහපු ප්‍රශ්නෙට 
සීතල දැනෙනකොට 
උණුසුම්ම දවසක්  වුනේ 
දාහතර 

-අජිත් ධර්ම 
 ලංඩන්  කිවිවර අනුර හෑගොඩ සංස්කරණය කරන "ලන්ඩන් කවි " පෙබරවාරි කලාපයේ පළ වුවකි. 


Sunday 6 February 2022

රුසියානු යුක්‍රේන ප්‍රශ්නයේ තවත් පැතිකඩක්

රුසියාව වට කර ඇති ආකාරය
රුසියාව වට කර ඇති සැබෑ ආකාරය 

රුසියානු යුක්‍රේන ප්‍රශ්නයට මූලික හේතුව ඇත්තේ කොතනද? බොහෝ සමාජවාදීන් බොහෝවිට මා සමග එකඟ නොවෙනු ඇත.  වත්මන් යුක්රේන අර්බුදයේ මුලික හේතුව වන්නේ ජෝසෆ් ස්ටාලින් සහ ඔහු විසින් බලහත්කාරයෙන් සාමූහික ගොවිපලවල් නිර්මානය කිරීම බව මගේ අදහසයි. මෙය සිදුවුනේ හතළිස් ගණන් වල දෙවන ලෝක යුද්ධයට පෙරය. මේ නිසා යුක්රේනියානුවන් මිලියන ගණනක් මිය ගියහ. අනුප්‍රාප්තික සෝවියට් රජයන් හෝ රුසියානු නායකයන් ඒ පිළිබඳව තම සහෝදර වැසියන් ගෙන් සමාව නොගත්හ. ජනාධිපති පුටින් අවම වශයෙන් ඒ පිළිබඳව සමාව ගත යුතු අතර එහි හොඳ ප්‍රතිඵලය ඔහුටම පසුව දැනෙනු ඇත.

එසේම නාසීන්ට එරෙහිව සටන් කිරීමට යුක්රේනියානුවන් මිලියන 4.5 කට වැඩි පිරිසක් රතු හමුදාවට එක් වූහ. යුක්රේනියානුවන් මිලියන හතරක් (යුදෙව් යුක්රේනියානුවන් ඇතුළුව) ආක්‍රමණික නාසි හමුදාවට එරෙහිව දේශප්‍රේමී ගරිල්ලා භටයන් ලෙස සටන් කළහ. නාසීන් සමඟ එකතුව සටන් කළේ යුක්රේනියානුවන් සුළු පිරිසක් පමණි. මේ යුක්රේනියන් සුළු පිරිස මෙහෙය වූයේ යරොස්ලව් බන්දේරා නමැති ජාතිවාදී නායකයෙකි. ඔවුන් ඉතා දරුණු වූ අතර යුදෙව් යුක්‍රේන වැසියන් බොහොමයක් ජර්මන් නාසීන් සමග එක්ව ඝාතනය කළහ. මේ කොටස පමණක් ගරු කොටගෙන ජනාධිපති පුටින් විසින් කරන යුක්රේනියානුවන් නාසීන් සමග එකතුවීමේ චෝදනාව එතරම් හරයක් ඇති එකක් නොවේ. කිසියම් ප්‍රමාණයක් අතිශය ජාතිවාදීන් බව සැබෑය. ඒ ඕනෑම රටක ඇති තත්වයයි. ශ්‍රී ලංකාවේ කියා වුවද වෙනසක් නැත.

යුක්‍රේනියානු ප්‍රශ්නයේ ඊලඟ හේතුව සෝවියට් දේශයේ බිඳ වැටීම දක්වා දිව යයි. මිහයිල් ගොර්බචොව් ට සහ පසුව බොරිස් යෙල්ට්සින් ට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ නේටෝ සංවිධානය පොරොන්දු වූයේ සිතල යුද්ධය අවසාන බැවින් නේටෝව පරණ සෝවියට් සංගමයේ රටවල් එයට ඈඳා නොගන්න බවයි. එසේම සෝවියට් සංගමයේ පරණ සමුහාණ්ඩු වල මිසයිල හෝ අවි ආයුධ පද්ධති ද ස්ථාපිත නොකරන බවයි. නමුත් එම පොරොන්දුව බිඳ දමමින් යෙල්ට්සින්ගේ පාලන සමයේදීම පෝලන්තය, හංගේරියාව, චෙක් හා ස්ලෝවක් රාජ්‍යයන්, ලිත්වා , ලිතුවේනියා හා එස්තෝනියා යන බෝල්කන් රාජ්‍යයන් ද නෙටෝවට එකතුවුණි. අනිත් රටවල් කෙසේ වෙතත් තමන්ගේ දේශ සීමාවේ තිබෙන බෝල්කන් රටවල විශ්ෂයෙන් ලිතුවේනියාවේ ආයුධ සවි කිරීම හා ඇමෙරිකානු , බ්‍රිතාන්‍ය හමුදා ගොඩ බැසීම රුසියාව ඉවසුවේ නැත. නමුත් ඒවන විටත් රුසියානු වළහා ආර්ථික වශයෙන් ඇද වැටී සිටි අතර රුසියාවෙන් ඉවත් වීමට සටන් කරන චෙචේනියාවේ කුඩා හමුදාවට ද කලක් ශක්තිමත් රුසියානු හමුදාව පරාජය විය. ශීතල යුද්ධය අවසන්ව තිබුණි.

යෙල්ට්සින් විසින් පිටස්බර්ග් නගරයේ හා එම ප්‍රදේශයේ ප්‍රබල නගරාධිපති/ආණ්ඩුකාර අනතොලි සබ්චාක් ගේ දෙවනියා වූ ව්ලදිමීර් පූටින් මොස්කව් ගෙනවිත් අගමැති පදවියක් භාර දුන්නේ මේ අතරය. හමුදාව ප්‍රති සංවිධානය කළ පුටින් පළමුවෙන්ම ජනප්‍රිය වූයේ චෙචේනියා ගරිල්ලන්ට පහරදී එහි ග්‍රොස්නි අගනුවර යටත් කර ගැනීමෙනි. පූටින් පරණ කේජිබි නිලධාරියෙකු බව යෙල්ට්සින් දැන නොසිටින්නට හේතුවක් නැත. පූටින් ගේ පැමිණීමෙන් රුසියාවේ තත්වය බොහෝ වෙනස් වූ බවත් මිලිටරි බලය හා ධනය අතිනුත් රුසියාව සශ්‍රික වුනු බව ඔහුගේ සතුරන් ද පිලි ගන්නා කරුණකි. බටහිර රටවල් සම්බාධක පැන වුවද රුසියාව ආහාරපාන ඇතුළු බොහෝ දේවල් වලින් ස්වයං පෝෂිත අපි 2016 දී ගිය චාරිකාවේදී හොඳින් දුටුවෙමු. රුසියාවේ දැනට අති මහත් රන් සංචිතයක් හා ඩොලර් සංචිතයක් තිබේ. (ඩොලර් බිලියන් 600 පමණ)

ක්‍රිමියාව ගැන කුමක් කිව හැකිද? මට මෙතැනදී ඇත්තේද වෙනස් මතයකි. ක්‍රිමියාව වසර 300 ක් පමණ රුසියානු අධිරාජ්‍යයට අයත් වූ බව අපි දනිමු. ඔවුන් 1774 දී පමණ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයෙන් ක්‍රිමියාව අත්පත් කර ගත්හ. ඊට පෙර එය මොංගෝලියානුවන් විසින් අත්පත් කරගෙන තිබුණි. ඊටත් පෙර එය කීවන් රුස්ට අයත් වූ අතර ඊට බොහෝ පෙර කලෙක රෝම අධිරාජ්‍යයට අයත් විය. (කීවන් රුස් යනු උක්රයිනයේ කීව් අග නගරය සහිත පළාතේ තිබූ මුල්ම රාජධානියයි. බෙලෝ රුසියාව හෙවත් සුදු රුසියාව ව, මහා රුසියාව සහ උක්රයින රාජධානි ආරම්භ වූයේ මෙහිය. මේ නිසා මේ රටවල් තුන පැවැතියේ සහෝදරයන් තිදෙනෙක් පරිද්දෙනි.) ඉන්පසු 1921 දී ක්‍රිමියාව, ක්‍රිමියානු සෝවියට් සමාජවාදී ජනරජය බවට පත් විය. පසුව එය රුසියානු සෝවියට් සමූහාණ්ඩුව යටතේ පමණක් පළාතක් බවට පත් විය. කියුබාව නිසා ඇමරිකාව සමඟ යුද්ධයක් ආරම්භ කළ හිටපු සෝවියට් ජනාධිපති නිකිටා කෘෂෙව් ඔබට මතකද? ඔහුගේ ජිවිතයේ මුල් කාලයේ වැඩි කාලයක් යුක්රේනයේ සේවය කළ කෘෂෙව්, යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජයට තරමක් නීති විරෝධී ලෙස ක්‍රිමියානු පළාත ලබා දුන්නේය. වසර කිහිපයකට පෙර රුසියාව එය නැවත ඈඳා ගත්තේ ජනාධිපති පුටින්ගේ අණ යටතේ ය.

රුසියාව ක්‍රිමියාව නැවත ඈඳා ගත්තේ ඇයි? පළමුවෙනි හේතුව රුසියානු හිතැති ජනාධිපති යනුකොවිච් කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහ කිරීමය. ඔහු මයිඩන් විප්ලවයට පෙර උක්රයිනයේ අවසාන චන්දය දිනුවේ සාධාරණ ලෙසටය. ඔහු බලයෙන් පහ කල පසු පැමිණි රජය නේටෝවට සහ යුරෝපා සංගමය බැඳීමට සැරසුණි.
එහිදී ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රා කළු මුහුදේ රුසියාවට අයත් සෙවස්තොපල් වරාය දෙසට පැමිණියහ. රුසියානු නාවිකා හමුදා බලඝන පිහිටා තිබෙන මේ වරාය රුසියාවට එම පැත්තෙන් මුදු මාර්ගයකට ඇති එකම වරාය විය. රුසියානු කළු මුහුදු නාවික බලකා මුලස්ථානය මෙහි පිහිටුවා තිබෙන අතර මධ්‍යධරණී මුහුදට, අත්ලාන්තික සාගරයට හා කලු මුහුදට ඇති එකම නාවික මාර්ගයයි. මේ වරාය එක්දාස් හත්සිය ගණන්වල සිටම අයත්ව තිබුනේ රුසියාවටය. එහෙත් රුසියාව ඒ වෙනුවට උක්රයිනයට 50% අඩුවෙන් ගෑස් සහ තෙල් සැපයු අතර ඩොලර් මිලියන ගනනක් 1992 සිට වසරක් පාසා ගෙවීය. නේටෝවට ගියහොත් රුසියාවට තමන් ගොඩ නැගු මේ වරාය අහිමි වන්නේය. පූටින් ක්‍රිමියාව ඈඳා ගත්තේ එබැවිනි.

රුසියාවට බටහිර සම්බාධක වැටුනේද ඒ නිසාය.
නේටෝව ඉන්පසු තැත් කලේ ජෝර්ජියාව සහ උක්රයිනය නැවතත් බඳවා ගැනීමටය. මේ රටවල් දෙකම රුසියානු දේශ සීමාවේය. දැනට ලිතුවේනියාවෙන් පමණක් නේටෝ හමුදාවලට රුසියාවට පැමිණිය හැකි වුවත් ජෝර්ජියාව සහ උක්රයිනය නේටෝවට ගියොත් තත්වය වෙනස් වේ. උපායමාර්ගික ක්‍රීඩාවේ දක්ෂ පුටින් කලේ බටහිර රටවල් කරන්නාක් මෙන් ජෝර්ජියාවේ සුළු ජාතිකයින් වන අභ්හාසියන් වරුන්ට වෙනම ප්‍රදේශයක් හමුදාව යවා ලබා දීමය. ඔහු මේ දේම උක්රයිනය ට කලේ රුසියානු භාෂාව කතා කරන දොන්බාස් (දොන්න නදිය අසල) ප්‍රදේශය දනියෙත්ස්ක් නගරයද සමග බෙදා වෙන් කිරීමයි. රටවල් එසේ බෙදා වෙන්වී සටන් පවතීනම් නේටෝවට නොගතයුතුය කියා නීතියක් නේටෝවේ තිබේ.

මෙහිදී මට යුරෝපා සංගමය සමගද ප්‍රශ්නයක් තිබේ. ලිතුවේනියාව ඇතුළු බෝල්කන් රටවල්ද උක්රයිනය ද රුසියානු බස ඇතුළු සුළු ජාතීන්ගේ භාෂා කතා කිරීම තහනම් කළහ. පාසල් වල ඉගැන්වීමද නොහැකි විය. එම රටවල විසු රුසියානු, හංගේරියානු, රෙමේනියානු ආදී ජාතීන්ට බලවත් අසාධාරණයක් විය. ලංකාව, ඉන්දියාව ආදී රටවල භාෂා ප්‍රතිපත්ති වලට බණ දෙසන යුරෝපා සංගමය තමන්ගේ එළිපත්තේ වූ මේ දෙයට ඉඩ දුන්නේ මන්ද යන්න මට වටහා ගත නොහැකිය. මේ අසාධාරණය පූටින් ජෝර්ජියා, උක්රයින් රටවල් වලට අත දමන්නට හේතුවක් කර ගත්තේය.

අද තත්වය ඇතිවුනේ ඇයි? පසුගිය කෝවිඩ් කාලයේ අවුරුදු දෙක තුනක් ඇතුළත බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය පූටින් ට පාඩමක් උගන්වන්නට උක්රයිනහමුදාව ප්‍රති සංවිධානය කළහ. ආයුධද යවන ලද මුත් ඒවා හෙළි දරව් වුනේ අඩුවෙනි. ඔවුන්ගේ අදහස වුයේ බලවත් කල උක්රයින හමුදාවට වෙන්වූ ප්‍රදේශ වලට පහරදී අල්ලා ගත හැකිය යන්නය. මම මේ වැඩ පිළිවෙලේ ප්‍රශ්නයක් නුදුටුවෙමි. ශ්‍රී ලංකාවට ඒකීය වන්නට දෙමල වෙන්වූ ප්‍රදේශ වලට හමුදාව යවා බෙදුම්වාදීන් පරාජය කළ හැකිනම් උක්රයිනයටද එසේ කිරීමට බාධාවක් නැත. ප්‍රශ්නය වුනේ මේ වැඩ පිළිවෙල රහස් ඔත්තුකරුවන් මාර්ගයෙන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූටින් දැන ගැනීමය. ප්‍රතිපලය වුයේ පුටින් උක්රයින දේශ සීමාවට රුසියානු හමුදාව එවා ආක්‍රමණය කරන්නට සැරසීමයි. ඔහු ඉල්ලා සිටින්නේ තමන්ගේ දේශ සීමාව ඇති රටවලින් නේටෝව ඉවත්විය යුතු බවටත් අලුතින් එම සංවිධානය රුසියාව අසල රටවල් වලට සාමාජිකත්වය නොදිය යුතු බවත්ය.

මේ ඉල්ලීමේ වරදක්ද නැත. කියුබාවට 1960 දී පමණ කෘෂෙව් මිසයිල යවද්දී ඇමරිකාව එයට විරුද්ධ වුනේ තම රටට එය අනාරක්ෂිත බව කියමිනි. ඒ අදහසද සම්පූර්ණයෙන් නිවැරදිය. පූටින් ඉදිරියේදී වෙනිසියුවෙලා හා කියුබා රටවල් වලට අයුඅධ හා මිසයිල යැවීමේ අන්තරායක්ද ද පවතී.

මේ ප්‍රශ්නයේ තවත් දරුණු පැත්තක් නම් ගෑස් සහ තෙල් ය. මුලදී රුසියානු ගෑස් සහ තෙල් යුරෝපයට පැමිණියේ උක්රයිනය හරහා ඇති පයිප්ප හරහාය. ගාන අඩු කරන්නට යයි කියමින් උක්රයිනය ගෑස් පයිප්ප වහමින් යකා නැටූ නිසා රුසියාව හා ජර්මනිය නොර්ඩ් ස්ට්‍රීම් 1 නමින් නළ මාර්ගයක් සාදා යුරෝපයට ගෑස් සපයන්නට පටන් ගත්තේය. ජර්මනියට මෙයට කැමැති වුනේ එය බලවත් කාර්මික රටක් බැවිනි. ඉන්පසු ජර්මනිය හා රුසියාව නොර්ඩ් ස්ට්‍රීම් 2 නමින් නව නළ මාර්ගයක් තනන ලදී. මෙය පටන් ගතහොත් උක්රයින නළ මාර්ගය සම්පූර්ණයෙන් ම වැසේ. උක්රයිනය හා ඇමෙරික එක්සත් ජනපදය් මෙයට අකමැතිය. ජර්මනිය රුසියානු ගෑස් මත යැපීම ඇමෙරිකාව ඉවසන්නේ නැත.

යුද්ධය අවශ්‍ය පූටින් හා ඇමෙරිකාවට පමණක් නොවේ. පහුගිය අවුරුදු ගණන යටතේ නිපදවන ලද නවිනතම ආයුධ හරියටම පරික්ෂා කිරීමට හා නව යුධ නිපදවීමට මේ හැමෝටම යුද්ධයක්ද අවශ්‍යය.

යුරෝපයේ ජිවත් වන ජනතාවට ගෑස් වල මිල වැඩිවෙනු ඇත. බෝම්බ ප්‍රහාර වලට ලක්වීමට සිදුවනු ඇත. ලෝකයේ අනිත් රටවල උද්ධමන තීව්‍ර වනු ඇත. මේ නායකයන් මිට වඩා ඉවසිලිමත්ව ප්‍රශ්නය දෙස නොබැලුවහොත් සිදුවන්නේ බරපතල විනාශයකි.

අලුත්ම සිතියම වන්නේ මෙයයි. රුසියාව නැවතත් රතු රටක් බව මෙය ව්‍යංගයෙන් පෙන්වයි.


~~~~~අජිත් ධර්මකීර්ති
ප.ලි.
ප්‍රශ්නය: විහිලුවට නෙමේ අහන්නෙ, රුසියාව නේටෝ සාමාජිකත්වය ගත්තොත් මොකක් වේවිද. රුසියාවත් සෝවියට් සමූහාණ්ඩුවක් නිසා අනික් ඒවට දුන්න නම් රුසියාවට දෙන්න බැරි නෑනෙ.-ගනේෂ් 

ඔය කාරණේ ආවනේ අනූ ගණන් වල. මේකයි වුනේ. සෝවියට් දේශය තියන කාලේ දැන් ඔය උක්රයිනය කළා වගේ රුසියානුවන්ට රුසියාවත් අනිත් රටවලට රුසියානු භාෂාව ඉගෙන ගන්න බල කරලා තිබ්බේ. අනික පෝලන්තය ඔස්ට්‍රෝ හන්ගේරියන් සහ මහා රුසියානු අධිරාජ්‍යයට යට වෙලා තිබුනේ. රුසියාව අධිරාජ්‍යයක් හැටියට තමා පෝලන්ත ජාතිකයෝ සැලකුවේ. දෙවන ලෝක යුද්ධෙදි හිට්ලර් සමග පෝලන්තය ආදිය බෙදා ගනිද්දී ස්ටාලින් යටත් වුනු පෝලන්ත ඔෆිසර්ස් ලා 22000 මැරුව.  පෝලන්තය ඒකත් රුසියාව යටතට දැම්මේ. සාධාරණයි ඉතින්. අනූ ගණන්වල රුසියාව යුරෝපා සංගමයට ගැනීමේ අදහස ජර්මනිය  දැම්මහම පෝලන්තය විරුද්ධ වුනා දැඩි ලෙස. ඊට අමතරව දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් වන්දිත් ඉල්ලුව. ඊට පස්සේ හංගේරියාව, චෙක් රට ආදියත්  විරුද්ධ වුනා. මොකද සෝවියට් දේශය පනස් සහ හැට ගණන්වල ඒ රටවල් ආක්‍රමණය කළ නිසා. බෝල්කන් රටවලුත් විරුද්ධ වුනා. හැබැයි ඒ රටවල පටු අදහස් අයින් කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්නේ නැහැ. ජර්මනිය මෙතැනදී පැත්තක් ගන්නේ  නැතිව ඉන්න එකත් හේතුවක්. (ගෑස් හැරුනහම - මුලික හේතුව )

මුලාශ්‍ර  සහ මැප් ලින්ක්:

Tuesday 1 February 2022

දේශපාලන සංවාද සඳහා අළුත් බිත්තර විකුණනු ලැබේ

"දේශපාලන සංවාද සඳහා අළුත් බිත්තර විකුණනු ලැබේ" 

මේ දවස්වල බිත්තර සෑහෙන්න ජනප්‍රිය වෙලා. සෙන්පති කෙනෙක්ගේ  කාණ්ඩයක් දිසා නායක කෙනෙකුට බිත්තර ප්‍රහාරයක් එල්ල කරලාලු.  ඒකට දැන් පොලිසිත් ගිහිල්ල. දෙපැත්තක් චෝදනා කර ගන්නවා.

බටහිර රටවල නම් බිත්තර ගහන එක සාමාන්‍ය දෙයක්. ටෝනි බ්ලෙයාර් ටද කොහෙද ගහල හතර දෙනෙක්  ඇල්ලුවා. හිරේ දැම්මේ නම් නැහැ.

මම මේ කල්පනා  කලේ ඕක පොලිසියට යන්න තරම්  දෙයක්ද? දැන් බලන්න ඕකෙන් වෙන හොඳේ?

එක්කෙනෙකුට රුපියල් පන්දාහ ගානේ  ලැබුනලු. ඒ කියන්නේ සේනා-පති මහත්මයට  සේවකයන්ට හරියට පඩි ගෙවන්න  බැරි තරමට බංකලොත් වෙලාද ? නැත්නම් අලුත් ස්වයං රැකියාවක් හදල දීලද?

දැන් ආණ්ඩුව නැති බැරි අයටත්  දුන්නේ පන්දහනේ. ඉතින් ආණ්ඩුවට ඒක නොදී ඉන්න පුළුවන්. ඒ වෙනුවට ජනතාවට පුළුවන්,  බිත්තර ගැසීමේ ස්වයං ව්‍යාපාර අරඹන්න..

බිත්තර ගහන්න ටාගට් නම් ඉතින්  ඕන තරම් හොයා ගත්ත හැකි. දියවන්නාව පැත්තෙන් පටන් ගත්තම වෛද්‍ය සංගම්, හිටපු දේශපාලකයන්, එන්න ඉන්න අලුත් අය , ප්‍රාදේශීය සභාවල කඩලා හදන අය, බඩු හංගල පස්සේ විකුණන අය,විපක්ෂයේ ඉඳන් කකුලෙන් අදින අය?. කල්පනා කරලා බලන්න රැකියා අවස්ථා ගණන.   ටාගට් ද නැත්තේ.

මේකෙන් වෙන්නේ ඊට පස්සසේ බිත්තර ගණන් යන එක.  බිත්තර ගණන් ගියහම කාටද වාසිය ? කුකුල්ලු හදන කට්ටියට. ඒ ගොල්ලො තව ෆාම් දාන්න ගන්නවා. තව රස්සා වැඩි වෙනවා. කුකුලන්ට කන්න කෑම හදන්න වෙනවා ? එතනත් තව රස්සා ඇතිවෙනවා. බිත්තර ප්‍රවාහනය කරන්න වාහන ඕනේ වෙනවා?   දැන් වාහන ගෙන්වීම නතර කරලනේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පිරිසිදු වාතය රැක ගන්න. ඒ වෙනුවට සුර්ය බලයෙන් හරි වතුරෙන් හරි යන වාහන නිපදවෙන්න ඉඩ තියනව. ඒවගේ කාර්යයකට උපදෙස් දෙන්න ඕනා කරන ඥානය "වියත් මගින්" ලබා ගන්න පුළුවන්. වාහන නිෂ්පාදන සඳහා හා කර්මාන්ත ශාලා හදල ඒ පැත්තෙන් රැකියා වැඩි වෙනවා.

අනික   බිත්තර ගණන් ගියාට කුකුල්ලු , වැඩි වෙන නිසා කුකුල් මස් වල ගණන් බහිනවා. ඒකෙන් වෙන්නේ 'ස' ට මිනිස්සු හොඳ කියන එක. 

තව පැත්තකින් බැලුවොත් බිත්තර වෙළඳාම වැඩි වෙලා වාහන විකිණීම වැඩි වෙලා, බිත්තර නිෂ්පාදකයෝ,  ඒ ඒ  ස්ථාන වල වැඩ කරන අය ගේ   වගේම රුපියල් පන්දාහට ඒ වැඩේ කරන අයගෙත් අතේ මුදල් ගැවසුනහම ඒ අය ඒවා වියදම් කරන්න ගන්නවා. ඒ කියන්නේ ඒ අයට ගන්න බඩු නිපදවන්න  වෙනවා. ඒ අය ගෙවල් හදන්න පටන් ගනී. තව වාහන ගනී. ඔන්න කියන්න එපා මම මේ කේනිසියානු ආර්ථික කතාවක් කියන්න යනවා වගේ වල්බූරු කතා.

ඔය කියන දේ අනිවාර්යයෙන්ම වෙනවා. බිත්තර නිෂ්පාදනය වැඩි වුනහම ඉන්දියාවට චීනෙට විතරක් නෙමේ  යුරෝපය ටත් යවන්න පුළුවන්.  ඩොලර් සංචිතය වැඩි වෙන්න ගන්නවා. සංචාරක ව්‍යාපාරය  ආශ්‍රිත  රැකියා වැඩිවෙන්න  ගන්නවා.

බිත්තර ගහනව බලන්න සංචාරකයෝ රටට ඇදී එන්න පුළුවන්. 
ඩොලර් සංචිතය තව වැඩි වෙන්න ගන්නවා.  රටේ රැකියා ප්‍රශ්නය විසඳෙනවා. 

සමාජවාදී ව්‍යාපාරය නැතිවෙලා බංකලොත් වෙලාම යනවා.

ශ්‍රී ලංකාවට  සමාජවාදය ගේන්න  හදන  නායකයෙකුගේ වාහනයකට බිත්තර ගහල තියෙන්නේ "වියත් මගේ ප්‍රාඥයෝ " හෙම එකතුවෙලා බ්‍රේන්ස්ටෝර්ම් එකක් දාල පර්යේෂණ කරලා වෙන්න බැරිද?  එක බිත්තරෙන් කුමාරටත් ගහල රටත් ගොඩ දාගන්න.

-උපහාසයට මිස අපහාසයට නොවේ ~~~~~~~~~~~~~

Friday 21 January 2022

දුරේක්ෂයකින් ග්‍රහලෝක හා තාරකා බැලීමට පෙර

දුරේක්ෂ අරගන්න හුඟක් අය ඒවාන්  කෙලින්ම තාරකා බලන්න උත්සාහ කරන බවත් ෆෝකස් කරල කරල බැරිම තැන අතහැර දමන බවත් දැන ගන්න ලැබුන. ඒ නිසා මෙන්න මේ පොඩි වීඩියෝව කරලා යූටියුබ් චැනල් එකට දැම්ම..
ඊට කලින් මම 2015 දී වගේ ලියුව මේ ලිපි දෙකත් බලන්න.


කැමැතිනම් මේකත් කියවන්න. 

පළමුවෙනි ලිපියේ සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙන නිසා මම නැවත  ඒවා ලියන්න යන්නේ නැහැ. මගේ දුරේක්ෂය හෙවත් ටෙලස්කෝපය සෙලෙස්ට්‍රෝන් 127 නෙක්ස්ට් ස්ටාර් කියන වර්ගයේ. ඒක වර්තක (refractor) වර්ගයේ කියල කියන්න පුළුවන් තරමක් දුරට. වඩා හොඳ අර්ථ දැක්වීම මක්සුටෝව් කැසග්‍රෙන් වර්ගයේ කියන එක. 

නම ඇවිල්ල තියෙන්නේ රුසියානු ආධුනික තාරකා විද්‍යාඥයෙකු හා අක්ෂි විශේෂඥයෙකු වන  දිමිත්‍රි දිමිත්‍රියෙවිච් මක්සුටෝව් ගේ මුල් නමින් හා ලොරෙන්ට් කැසග්‍රෙන් කියන කතෝලික දේවගැතිවරයාගේ වාසගමින්.  ලොරෙන්ට් කැසග්‍රෙන් පරාවර්තක (reflective)  ටෙලස්කෝප් එකක් හැදුව එක්දාස් හයසිය ගණන්වල.  ඒක භාවිතා කරලා 1931 දී බනාර්ඩ් ෂ්මිද්ට් තමන්ගේ ප්ලේට් එකක් Schmidt corrector plate දාල හදපු ටෙලස්කෝප් වර්ගයට කියන්නේ ශ්මිද්ට් කැසග්‍රෙන් කියල. ඒකෙන් අර ආකාශ වස්තුවෙන් එන ආලෝකයෙන් හැදෙන ප්‍රතිබිම්බය තැන දෙකක් නාභිගතවිම වළක්වනවා. (Spherical aberration )

දිමිත්‍රි මක්සුටෝව් ඉපදුනේ 1896 ඔඩෙස්සා කියන නාවික නගරයට ළඟ ගමක. ඔහුගේ මුත්තා පීටර් මක්සුටොව් නමැති කුමාරයෙක්. ඒ රදළකම සාර් දීල තියෙන්නේ යුද්ධයේ පෑව දක්ෂකම් නිසා. ඔහුගේ සීයා තමා රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ රුසියානු ඇලස්කාවේ අවසාන ආණ්ඩුකාරයා. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය ඇලස්කාව මිලදී ගත්ත අවුරුදු  99 බද්දට.  

පොඩි කාලෙම පරාවර්තක දුරේක්ෂයක් තෑගි ලැබිල තිබෙනවා දිමිත්‍රි ට. වයස වඅවුරුදු  15දී වගේ අඟල් 10 ක විශ්කම්භයක් ඇති කාචයක් එක්ක  දුරේක්ෂයක් එයාම හදල තියනවා. ඒ කාලෙම වගේ රුසියානු තාරකා සංගමයේ සාමාජිකත්වය පවා දීල තිබෙනවා. පෙට්‍රොග්‍රාඩ්  නිකොලායෙව් ඉංජිනේරු විද්‍යාලය (පසුව ලෙනින්ග්‍රාද් යුධ තාක්ෂණ විශ්ව විද්‍යාලය)   අවසන් කරලා  අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ කරන්න ගිහින් තියනවා ඔඩෙස්සා විශ්ව විද්‍යාලයට.  1930 දී මක්සුටොව් අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ ලැබ් එකක් පිහිටුවනවා ලෙනින්ග්‍රාද් වලම රාජ්‍ය දෘෂ්ටි විද්‍යා විශ්ව විද්‍යාලයේ. ස්ටාලින් පදක්කම සහ ලෙනින් පදක්කම් දෙකක්ම ලැබිලත් තිබෙනවා ඒ වැඩ වලට. 

මක්සුටොව් 1941 දී මූලික කාචය ඉදිරියේ Spherical aberration තවත් නිවැරදි කිරීමට තවත් කාචයක් තිබ්බ. මුලදී මේ ක්‍රමය භාවිතා කලේ සෝවියට් දේශයේ පමණයි. නමුත් පසුව ළඟ ආකාශ වස්තුන්  නිරික්ෂනය කරන්න හොඳයි කියල තේරුම් ගත්තම සෙලෙස්ට්‍රෝන්, මීඩ් ,ක්වෙස්ටර් වගේ කොම්පැනි මේ ක්‍රම භාවිතා කරලා දුරේක්ෂ හැදුව. මගේ ළඟ තිබෙන්නේ  ඒ වගේ එකක්. 

මක්ස්ටෝව් කැසග්‍රෙන් දුරේක්ෂ වලින් හොඳටම බලන්න පුළුවන් අභ්‍යවකාශ භාෂාවෙන් කියන විධිහට ළඟ වස්තූන් දිහා. ඒ කියන්නේ හඳ , අඟහරු , බ්‍රහස්පති, යුරේනස් වගේ ග්‍රහ වස්තු දිහා. මගේ ගේ පිටිපස්සේ කෘතීම ආලෝකයන්  බාධා කරනවා  වැඩියි. (light polution)  එහෙම තියෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා වටා යන හඳවල් හතර පහක් බලන්න පුළුවන්. ඔරායන් නෙබුලාවේ තාරකා සහ හත්දින්නත් තරු බලන්නත් අමාරුවක් නැහැ. 

ශ්මිද්ට් කැසග්‍රෙන් වර්ගය හොඳ ඈත වස්තූන් (deep sky objects)  බලන්න සහ ඒවා ඡායාරූප ගත කරන්න. 

ඉතින් මගේ වීඩියෝවේ තියෙන උපදේශය තමා මුලන්ම දවල් වෙලාවක ටෙලස්කෝප් එක අරගෙන ඈත තියෙන වස්තුවකට ෆෝකස් කරන්න. (focus) ඒක හරියට කාචයට වැදුනම ස්ටාර් ෆයින්ඩර් කියන ගැජට් එක  ඒකට පෙළ ගස්වන්න (align) . ඇල්ටට්සිමත් (alt - azimuth )  කියන මවුන්ට් එක තිබෙන  නිසා වමට දකුණට සහ ඉහලට පහලට ටෙලස්කොපය හසුරවමින් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් රෑ වෙලාවක කෙලින්ම අර ස්ටාර් ෆයින්ඩර් එකඟ තාරකාව හෝ ග්‍රහ ලෝකය හොයාගෙන ටෙලස්කෝප් එක එතනට හරවන්න.