හොඳ පැත්ත බැලුවොත් ලිපි 592 ක් ලියල තියනවා. ඒ අනුසාරයෙන් පොත් තුනක් පල කළා. "පොල් කට්ටෙන් එපිටට", "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" තමයි ඒ.
ඒ පොත් එලි දක්වනකොට බ්ලොග් ලෝකයේ බොහොම දෙනෙක් ආව. "පොල් කට්ටෙන් එපිටට" එකට උදව් කලේ චූලානන්ද සමරනායක සහෘදය. ඒකට සුමිත් කලණසිරි යාපා, ඉවාන් සංවිධානය පැත්තෙන් උදව් කළා. මාතලන්, මහේෂ්, දුලිප්, කටුස්සා, බස්සි, ඔමායා, කසුන්, සුදීක, බෝධිනී, නුවර කුමාරි, රසික, බිබිසිඑකේ චමින්ද, සහ මගේ පරණ යාලුවෝ උපුල්, හේමාලි, ඒ වගේම දීප්ති ආදී නම් කී නොකී පැමිණි සියල්ලන්ටම ස්තූතියි අදටත්. ත්‍රිකෝණ ය ශාලාව ලබා දුන්නේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය, චුලා හඳුන්වා දුන්නට පස්සේ.
බ්ලොග් සම්මාන උළෙලවල තුනක් පවත්වන්න හැකි වුනා නොයෙකුත් හැල හැප්පීම් මැද. හුඟක් අය කියනවා බ්ලොග් සම්මාන නිසා බ්ලොග් ලෝකේ නැති වුනා කියල. නමුත් ඒක පටන් ගත්තෙම බ්ලොග් ලෝකේ මධ්‍යකාලින බ්ලොග් කාරයෝ හා ආදී කල්පික බ්ලොග් කාරයෝ අතර ගිය මාරාන්තික වලිය නිසා හුඟක් අය බ්ලොග් ලිවිම නැවැත්තුව කාලෙක කියන එක හැමෝටම අමතකයි. ඒ කාලේ වෙන කොට බ්ලොග් ඇදන් ගියේ මාතලන්, කතන්දර කාරයා (රසික), බස්සි, බෝධිනී හා තව කිහිප දෙනෙක් පමණයි. ඒ 2015 විතර.
සම්මාන උළෙල වල් තුනම හොඳට වුනා කියන එකයි මගේ අදහස. ඒකට නොයෙකුත් චෝදනා ආපු එකත් ප්‍රශ්න තිබුණු එකත් ඇත්ත. අතපසුවීම් වුනා. අපට ලංකාවේ තත්වයන්ට අනුව ක්‍රියා කරන අන්දම ගැන පුහුණුවක් නොතිබීම සහ සමහර වෙලාවට හැම දෙනාවම විශ්වාස කිරීමත් ප්‍රශ්න ඇති කළා. නමුත් අද වුනත් ඒ සම්මාන උළෙලවල් පැවැත්වීම ගැන පසු තැවීමක් නැහැ. සමහරු චෝදනා කරන පරිදි සම්මාන උළෙල කිසි ලෙසකින් වත් පක්ෂග්‍රාහී වුනේ නැහැ. ඒ චෝදනාව කෙරුවේ හෝ කරන්න පරණ ජවිපෙ සපෝටර් කෙනෙකු හා බයි සහෝදරයෙකු පමණයි කියල පසුව දැන ගන්න ලැබුණ. ඉයන්, සුමිත්, දිමුතු (කටුස්සා) , මාධව , ප්‍රසන්න ඇතුළු බොහොමයකගේ උදව් ලැබුණ.
සියමා පොත පල කරන කොටත් ඒ බ්ලොග් සහෝදරත්වයම නැවත හිටියා උදව් කරන්න.තරංගනී රෙශිකා , ප්‍රගීත් අනුරාධ, දිලිනි කාරියකරවන, නන්දන වීර රත්න, දීප්ති ගුණරත්න, නිපුන ප්‍රනාන්දු ඇතුලු කට්ටියක්ම ආව, කතාපවත්වන්න , සින්දු කියන්න වගේම. සහභාගිත්වයට රන්දිකා ළමයි තුන්දෙනත් එක්ක ආව, සුමිත්, ප්‍රා බෝධිනී යුවල, ධම්මික, පද්මිණි, ඉයන් ඇතුළු නම් නොලියවුණු සියල්ලමට ස්තූතියි.
තුන්වැනි පොත සඳහාත් මේ බ්ලොග් සහෝදරත්වය ඒ වගේම සහයෝගයක් දුන්න. ඒ අතරේම් සුනිල් විජේසිරිවර්ධන, චන්ද්‍රගුප්ත තේනුවර, රාමනායක සමග රුසියානු මධ්‍යස්ථානයත් අමතක කරන්න බැහැ.
මේ කෑල්ල පස්සේ එකතු වෙන එකක්. මෙන්ඩා අපිත් එක්ක ආව එක බ්ලොග් සම්මාන උළෙලක් ඉවර වෙලා. මගේ පන්ති සගයකු වන RK විතානගේ සහ මල්ලිත් හිටිය. මොන හේතුවකට හරි කොත්තු කාල ඉවර වෙලා එනකොට වෑන් එක ස්ටාර්ට් වුනේ නැහැ. මෙන්ඩයි අපියි තල්ලු කළා. ඔහොම පොඩි පොඩි කෑලිත් තිබ්බ.
බ්ලොග් යාළුවෙකු වන සුදීක හෙවත් දිල්රුක් හොඳ යාළුවෙක්. දේශපාලන වශයෙන් අපි දෙන්න අහසයි පොළොවයි වගේ. ඒ වුනාට සුදික අගය කරනවා අපි කරපු දේවල්.
ලන්ඩන් පොත් එලි දැක්වීම් ගැන ලියන්න අමතක වුනා. විජිත ගුණරත්න ස්වීඩන් ඉඳන් ආව. සරෝජ් පතිරණ, අරුණ පෙරේරා, සුදත්, සේනක, වරුණ, මහින්ද , දුෂාන්ත සහ විපුලි, බුද්ධික සහ ප්‍රියන්වදා, කුමාර, මායා, නුවන්, ආශා , නිල් සහ මගේ පවුලේ අය සහභාගී වුනා පොත් එලි දැක්වීම් වලට. නන්දන වීරරත්න ලංකාවේ සහ එංගලන්තයේ දෙකටම සහභාගී වෙච්චි කෙනෙක්.
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ එකටත් සෑහෙන ප්‍රමානයක් සහභාගී වුන අතුල රත්නායක, සුබෝධ, සරෝජ්, මාකස් ප්‍රියන්ත , ආශා සුරියබණ්ඩාර , විපුලි , අයුමිනි වික්‍රමරත්න සහ පවුල ඒ අයගේ සහයෝගයටත් ස්තුතියි.
ඒ දවස් වල පැරා, මාතලන්, එකොනමැට්ට , රාමචන්ද්‍ර මේ ලක්ෂ පහේ සීමාව ඉතා පහසුවෙන් ඉක්මවල ලක්ෂ දහාය පන්නද්දී තමන්ගේම වෙබ් අඩවි වලටසහ ෆේස්බුක් එකට ගියා. ඉතින් එහෙම දැවැන්තයෝ නොවන නිසා අවුරුදු දහයකට පස්සේ මේ ගාන ආපු එකත් ලොකු දෙයක්.
මේ නිසා බ්ලොග් එකට ආපු සියලුම පාඨක යහළුවන්ට, හොඳ කියන්න ආපු ඇනෝ ලට, බනින්න ආපු ඇනෝ ලාට සියල්ලන්ටම ස්තූතියි. හොඳ සංවාද හැදුනු තැන් බොහොමයක්ම තිබ්බ. නොතිබ්බ තැනුත් තිබ්බ. හදා ගත්ත.
නරක දෙකට වුනානම් වුනේ ළමයි දෙන්නගේ ඉගෙනීම ගැන හෙම බලන එක මිස් වුනා බ්ලොග් සම්මාන කරපු කාලේ. ලිවීමට ඇබ්බැහි වුනා. සමහර අභූත චෝදනා ආව.
ඉතින් නවත්වනවද බ්ලොග් එක- මේක ටිකක් හිතන්න ඕනේ කාරණයක් ෆේස්බුක් එකේ ලියල පබ්ලික් දාන්න මම කැමති නැහැ. මොකද මතභේදයට තුඩු වන දේවල් බ්‍රිතාන්‍ය නීතියට අනුව ලියන එක ටිකක් අමාරුයි. එහෙම එකක් බැරි වෙලාවත් වැටිලා කාගේ හරි හිතට අමාරු වුනා කියල පැමිණිල්ලක් ආවොත් රස්සාව දමල ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා ෆේස්බුක් එකේ මම ලියන ඒවා හුඟක් දාන්නේ යාළුවන්ට විතරයි.නැත්නම් සිංහලෙන් කියවන අයට විතරයි. ඒ නිසා බ්ලොග් එක තියා ගන්න වෙනව.
හැබැයි මට පොඩි writer's block එකකුත් ඇවිල්ල තියෙන්නේ. රුසියාව , යුක්‍රේන යුද්ධය ගැන ලියන්න බැහැ . එක පැත්තක් හරි කියල නම් ලිව්ව හැකි බය නැතිව. මධ්‍යස්තව ලීවොත් ඒ යුද්ධේ දෙපැත්තට ඉන්න දෙපැත්තම තරහ වෙනවා. රුසියාවේ පැත්තට ලියන එක භයානකයි මොන බාසාවෙන් වුනත් මේ යන විධිහට. රජ පවුල ගැන විවේචනාත්මකව ලීවොත් සමහර ලිබරල් කියලා පෙනී ඉන්න අයට තරහ යනව. උන්ට තියෙන රාජාණ්ඩු වාදී මානසික ව්‍යාධිය මට නැති නිසා. සෝවියට් දේශයේ ඉගෙන ගත්ත නිසා ඒ කඳවුර ගැන විවේචනාත්මක ව ලියන්න බැහැලු. එංගලන්තේ ජිවත් වන නිසා මේ රට ගැන විවේචනාත්මක ව ලියන්න බැහැලු. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඒ ලෙවල් වනකන් ලබපු නිසා විවේචනාත්මක ව ලියන්න බැහැලු. අනික පිටරට ඉඳන් උපදෙස් දෙන්නත් ලියන්නත් බැහැලු. ඒ නිසා මේ බ්ලොග් එකේ ලියන දේවල් සීමා කරලා මොන මාතෘකා යටතේද ලියන්න කියල පාඨක ප්‍රජාව ගෙන්ම තමා අහන්න වෙන්නේ.
අනික ජිවිතේ ගැන ලියන්නත් කම්මැලියි. ඉදිරිය ගැන කිසිම ඇම්බිෂන් එකක් නැහැ. මේ ඉන්න විධිහට කූල් එකේ ඉඳලා මැරිලා යන්නයි ඕනේ. මැරෙන එක වුනත් පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉන්නේ අම්මා තවම ඉන්න නිසා. දුවල දෙන්න හුඟක් ස්වාධීනව හදල තියෙන්නේ. උන් දෙන්නට මං නැතිව ජීවත් වෙන්න පුළුවන්. බිරින්දෑට වුනත් අවුලක් නැහැ. මේකෙන් කියන්නේ නැහැ අපි අතරේ ආදරයේ අඩුවක් තියෙනවා කියල. ඒවා හොඳට ලැබෙනවා. නමුත් මේ යන්නේ ජිවිතේ කියන එකේ බෝනස් දවස් ටික කියල හිතෙන නිසා අලුතින් කරන්න ඕනේ කියල හිතපු දේවල් ඔක්කොම නවත්වල තියෙන්නේ. ඒ වෙනුවට සංචාරය, පොත් කියවීම, පුළුවන් තරම් නෙට්ෆ්ලික්ස් චිත්‍රපට බැලීම තමා වැඩිපුරම කරන්නේ.
අළුතින් අදහසක් ආවොත් අටපට්ටමට, සොරි බ්ලොග් එකට ලියන්නම්.
කාව හරි ගැන ලියන්න මතක වුනානම් සමාවෙන්න.
එතකන් පොඩි තිතක් තියමු නේද?