පසුගිය කෝවිඩ් සමයේ මම අලුත් වැඩ කිහිපයක්ම පටන් ගතිමි. ඒ කිසිවක් දුර දිග ගියේ නැත. දුර ගිය එකම දෙය නම් නැවතත් ගිටාර් වාදනය පටන් ගැනීමත් නව ගිටාරයක් මිලදී ගැනීමත්ය. මට මුල්ම ගිටාරය උපන් දින තෑග්ගක් ලෙස ලැබුනේ 1985 මොස්කව් හිදීය. සෝකල් හි මාදි විශ්ව විද්‍යාලයේ උගත් ජානක ලියනගම, උපාලි හේවගේ හා ප්‍රභා ගුණවර්ධන සීනියර් තුන් කට්ටුව එකතුව දුන් ත්‍යාගයකි.
හැබැයි මට කාඩ් එක වැදුනේ මේකා ගහන්නේ එකම තනුව කියාය.
නමුත් මගේ පලමු ගිටාර් ගුරුවරිය වූ ලූදා බොහෝ අපහසුවෙන් මට තනු කිහිපයක් පුරුදු කලාය. ඒ කතාවේ කොටසක් මේ යොමුවේ ඇත. මම ඒවා කවදාවත් ලංකාවේ සිසුන් සමග වයන්නට නොගියෙමි. ඒ දිනවල ජගත් ජයවික්‍රම නම් සුපිරි ගිටාර් වාදකයෙකු සිසුන් අතර සිටියේය. අපේ අවාසනාවට ඔහු සිටියේ මොස්කව් වලින් ගොඩක් ඈතට වෙන්නටය. නමුත් සම්පත් සමග අපේ කාමරයට වැනි අවස්තා කිහිපයක ඔහු සුන්දර ගීත කිහිපයක් ගයන්නට අමතක කළේ නැත.
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොත ලංකාවේ එළි දැක්වුණේ 2019 අවසන් කාර්තුවේය. ලන්ඩනයට පැමිණ ඒ කාර්යයම කරන්නට සිතුවේ 2020 මුල් කාර්තුවේ දීය. ඒ මට වෙනත් ගමන් කිහිපයක්ම තිබු නිසා හා දියණියන් ගේ ඉගෙනීමේ කටයුතු නිසාත්ය. නමුත් ඉන්පසු කෝවිඩ් වලින් බැට කෑමට සිදුවූයේ අප කවුරුත් බලාපොරොත්තු නොවූ ලෙසටය. එසේම මට කෝවිඩ් කාලයේ පටන් ගත් කාර්යයන් අවසන් නොකර අත හැර දැමීමේ රෝගයක් විය. මේ බ්ලොක් එක ඉවත් කර ගන්නේ කෙසේද යන්න නිතරම සිතුවෙමි.
ප්‍රශ්නය තිබෙන්නේ පොත ලන්ඩනයේ එලි දැක්වීම නොකළ නිසාය වැන්නක් මට සිතුනි. කිහිප වතාවක් කෝවිඩ් නිසාම ඒ අදහස අත හැරියෙමි. නමුත් කතාව සමාප්ත වන්නේ ලන්ඩනයේදීය. කවුරුන් හෝ පොතේ කතාව අග දක්වා කියෙව්වා නම් මා කියන්නේ කුමක්ද යන්න වැටහෙනු ඇත. පොත ගැන සංවාදයක් ලන්ඩනයේ කළ යුතුය යන්න අදහස මට පැමිණියේ ඒ නිසාය. මට "පොතට තිත" තැබිය හැක්කේ ලන්ඩනයේදී ඒ ගැන අමතක කිරීමෙනි. ඒ දිනය හෙටට දී ඇත. සෝවියට් දේශයේ උගත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුද සහභාගී වන බව දන්වා තිබේ.
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ 30 වැනි පරිච්චේදයේ කොටසක මා මෙසේ ලියා ඇත.
//
සියල්ලෝම දිග ඇදී සිටිද්දී ගිටාරය ගත් තාන්යා ගීයක් පටන් ගත්තාය. මව සංගීත ගුරිවරියක් නිසාදෝ ඇයට හොඳින් ගිටාරය වාදනය කිරීමට හැකිය. කොහොමත් බොහෝ රුසියානුන් තම දරුවන්ට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වැයීමට හෝ නර්තනයක් කිරීමට උගන්වති. එය වඩාත් පැතිර ඇත්තේ රුසියානු යුදෙව් ජාතිකයන් අතරය. බොහෝ විට පියානෝව හා වයලීනය හෝ ඔපෙරා නැටුම් ගැහැණු ළමුන්ටද ගිටාරය හා ජිම්නාස්ටික් පිරිමි ළමුන්ටද උගන්වති.
තාන්යා පටන් ගත් ගීතය මදක් දුර ගයන විට සියල්ලෝම නිසොල්මන් වූහ.
ඇය දැන්මම අනාගතය දකින්නීද? ඇය ගයන්නේ විටින් විට මද සිනහවකින් මුව සරසා ගෙන ඔහු දෙස බලාගෙනය. ගිහාන් ගේ සිත වටහා ගත නොහැකි දුකකින් පිරී ගියේය.
"ව්ස්යෝ නාපොමිනායේත් අ තෙබ්යේ
අ තී නි ග්ද්යේ
අස්තල්ස්යා මීර්
කතෝරි ව්ම්ස්ත්යේ විදෙල් නස්
ව් පස්ලෙද්නි රස්....."
ලෙසින් ගැයූ ගීතයේ තේරුම රහසකට වඩා හදවතේ තෙරෙපෙන අදහසක් කියා පෑමක් වැනි විය.
"හැකි හැම විටම මතකයට නැගෙනුයේ නුඹයි
නමුත් නුඹ නැත පෙනෙනා මානයක
අප එක්ව සිටි අයුරු දුටු ලොව පමණක්
ඉතිරිව ඇත අවසන් වරට
බැල්කනිය සහ ජනේලය ඇති කාමරය
ආලෝකයෙන් පිරීලා
සාමකාමියි එදා වගේම
අප එක්ව සිටි හැටි දුටුවා මෙන්
අවසන් වරට
කාලය ඉක්ම යාවී , නුඹට අමතක වේවි
සිඳුවූ හැම දෙයක්ම අප අතර ,
සිඳුවූ හැම දෙයක්ම අප'තර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම් කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට
දිනත් ගෙවී යයි ,
හිම සමයන්ම කොපමණ ඉකුත් වී ද නොදනිම්
නැත්නම් වසර කීයක් ගත වුනිද
සමහර විට තවෙකෙකු සමග මා
තුටිව දිවි ගෙවනු වනු ඇත
සමහර විට එහෙමත් නැතිව
කිසිවක් මේ සඳු යට සදාකාලික නොවේ
නමුත් ඔබ සමග වුන් හෝරාවනම්
මට කිසිදා
අමතක නොවෙනු ඇත
නුඹ මා සමග සිටියුරු
අවසන් වරට
කාලය ඉගිලී යාවී
නුඹට අමතක වේවි
සිදුවූ සියල්ලක්ම අප අතර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම් කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට"
ගීතය අවසන් වී බොහෝ වෙලාවක් යනතුරු කිසිවකු කතා කළේ නැත. ෂෝලහොව් ලීවාක් මෙන් දොන් නදිය නිසලව ගලා යයි. නිහඬතාවය බිඳිමින් ඉඳහිට වතුර පොදක් පමණක් වෙරළේ වැදුණි.//
මේ දිනවල බ්ලොග් ලෝකයේ ගීත ගැන කතාවක් යයි.
ගිටාරයෙන් වැයීම සඳහා මම රුසියානු ගිටාර් තනුවම හා ඒ කෝඩ් ම භාවිතා කළෙමි. වදන් වෙනස් කිරිමක්ද සිදු කලේ පරිවර්තනය කළ ආකාරයටම ගැයීමට නොහැකි බැවිනි.
මේ මගේ පරිවර්තනයයි.
**************************************
මතකයෙ ඉන්නේ ඔබමයි
ඔබ කොහේද ඇත්තේ
ඔබ කොහේද ඇත්තේ
ලොව නැවතුන දා මට
අවසන් වර අප එක්වූ දවසෙහි මෙන්
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඉහල මාලයේ කවුළුව ඇති කුටියේ
ආලෝකය පිරීලා
සන්සුන් ලෙසමයි ඇත්තේ
අවසන් වර අපෙ දෙනෙතට
හමුවූ විලසේ
කාලය ඉගිලී යාවී
නුඹහට අමතක වේවි
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
ඔබ එනතුරු මා බලා සිටින්නේ නෑ
හේ, ඔබ දන්නවා නම්
පෙම්කලෙ ඔබහට මා
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
දිනත් ගෙවී යන්නේ මට නොදැනී
හිම සමයන් හා වසන්තයත් සමගින් ,
වෙනෙකෙකු හා සතුටින් ඉන්නට
වෙනෙකෙකු හා සතුටින් ඉන්නට
පුලුවන් වේවිද මන්දා
ඔබ නොලැබේ නම්
නොවෙනස් වූවත් මේ සඳු යට වෙන හැම දේ
අප ඒ හෝරාවම නම්
මට කිසිදා
අමතක වන්නේ නැහැ
ඔබ මා ළඟ සිටි අයුරු
ඒ අවසන් වරටයි
අප ඒ හෝරාවම නම්
මට කිසිදා
අමතක වන්නේ නැහැ
ඔබ මා ළඟ සිටි අයුරු
ඒ අවසන් වරටයි
කාලය ඉගිලී යාවී
නුඹහට අමතක වේවි
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
ඔබ එනතුරු මා බලා සිටින්නේ නෑ
හේ, ඔබ දන්නවා නම්
පෙම්කලෙ ඔබහට මා
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ලන්ඩනයේ සිටිනම් හෙට හවස් වනවිට මෙතනට එන්න.
නොවැම්බර් 13 සෙනසුරාදා හවස 4.00 සිට - The Qube, Community Space For Ponders End, 291 High St, Enfield EN3 4DN, ටෙස්කෝ සුපර්මාකට් එක ඉදිරිපිට, ටෙස්කෝ රථ ගාලේ වාහන නතර කලහැක.
පොත ගැන විචාර කිහිපයක් අගට එකතු කරමි.
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ! - සොඳුරු සඳවතී