Tuesday 27 August 2024

විදේශීය ඇසින් ශ්‍රී ලංකාව - ලී ක්වාන් යූ


මේ ලිපිය පළවී තිබුනේ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින්   ලියන ලද සති සිතුමිණි පොතේය.  විදේශීය ඇසින් ශ්‍රී  ලංකාව යන මැයෙන් පරිවර්තිත මෙය  වර්තමානයට ඇති  වැදගත්කම සලකා පල කරමි. පොත මුද්‍රණය කර ඇත්තේ සරසවි ප්‍රකාශකයන්ය. ලී ක්වාන් යූ කියන සැම දෙයටම මමද එකඟ නොවෙමි . ඔහු බොහෝ දුරට ඒකාධිපති 
පාලකයෙක් විය .  නමුත් ඔහු ගේ මේ අදහස් වටනේය. අවි බලයෙන් ජාතික ප්‍රශ්නය විස්නාදිය නොහැකි යයි ඔහු පවසා තිබේ .   ශ්‍රී ලංකාව  "ත්‍රස්තවාදී ප්‍රශ්නය" විසඳන ලදී . ඒ සඳහා ශ්‍රී ලංකාවට බොහෝ සේ ණය වන්නට සිදුවිය. ජාතික ප්‍රශ්නය විසඳා ඇතිද කියා කිව නොහැකිය .     



 විදේශීය ඇසින් ශ්‍රී  ලංකාව 
**********************************************************

සති අන්තයේදී සුවිසල් පොතක් කියවන්ට ලැබිණ. එය  ඉතා රුචි වඩවයි. ස්වයං ලිඛිත  චරිතාපදානයෙකි.  කතුවරයා සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ මහතාය.  පල කර තිබෙන්නේ දෙදාහක් වර්ෂයේය.


එහි  ශ්‍රී ලංකාව ගැන  තිබෙන කොටස  පහත දක්වමි.


“මා පළමු වරට ශ්‍රී ලංකාවට ගියේ 1956 දීය. ඒ  ලන්ඩනයට යන අතර මගය. මා  නතර වූයේ ගාලු මුවදොර හෝටලයේය.  බ්‍රිතාන්‍ය  යුගයෙන් පැවත එන ඔවුන්ගේ ප්‍රමුඛ හෝටලයයි. එය  මුහුදට මුහුණ ලා පිහිටා ඇත.  මම කොළඹ නගරය වටා ඇවිද්දෙමි. රජයේ ගොඩනැගිලි සිත් කාවාදී. ඒ බොහෝ ගොඩනැගිලිවල සෙල් මුවා මුහුනත්ය. ඒවාට  යුද්ධයෙන් හානි පැමිණ නැත. මවුන්ට් බැටන් සාමී තම අග්නිදිග ආසියා ආඥා ස්ථානය මහනුවර පිහිටුවාගෙන සිටි හෙයින් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවට වඩා සම්පත්ද යටිතල පහසුකම් ද ලැබී තිබිණ.


ඒ අවුරුද්දේම අලුතින් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිවරණයෙන් ජය ලැබ ආගමැති ධුරයට පත්විය. 


සිංහලය  රාජ්‍ය භාෂාව බවට ද බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද පත් කිරීමට ඔහු පිළිණ දී තිබිණ.  ඔහු දුඹුරු පැහැති සමෙන් යුත් හොඳ මහත්මයෙක් විය. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලත් ඔහු උපතින් ක්‍රිස්තියානියෙකි. ජාතිවාදියෙකු වීමට අදිටන් කළ ඔහු බුද්ධාගමට හැරී සිංහල භාෂාව සඳහා උද්ඝෝෂණය කරන වීරයකු බවට පත්ව සිටියේය. ශ්‍රී  ලංකාව බිඳ වැටීමේ ආරම්භය එය විය.


ඒ කාලයේ සිංගප්පූරුවේ අගමැතිලිම් යූ හෝක් f රාත්‍රී බොහෝජනය සඳහා මට ආරාධනා කළේ ය.  ඒ එහිදී බණ්ඩාරනායක හමුවීමටය.  සුපිළිසන්ව හැඳ පැළඳ සිටි රමණීය බසින් බිණූ සුරු බුහුටි කුඩා කය ඇති බණ්ඩාරනායක ශ්‍රී ලංකාව වඩාත් ජාතිවාදී සමාජයක් බවට පත්කිරීම සඳහා ලත් මැතිවරණ ජන වරමින් උද්දාමයට පත්ව සිටියේය. ඒ වරම  ඉංග්‍රීසි උගත් බමුණු කුලයට දැක්වූ ප්‍රතිචාරයක් විය.  මේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය බලයට උරුමය ලැබ බ්‍රිතාන්‍යයන් අනුව හැඩ ගැසී සිටියේය. ඔවුන්ගේ ජීවන ක්‍රමය ද ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසීි තිබිණ. බණ්ඩාරනායකට පෙර අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල සැමදා උදයේ අසුන් අරා සංචාරය කළේය.


දැන් සිංහලය රාජ්‍ය භාෂාව වී පැවතියෙන් යාපනයේ දෙමළ ජනයාට හා අන්‍ය සුළු ජාතීන්ට අවාසියක් සිදුවී තිබීම නිසා හෝ ජාතික ආගම ලෙස බුද්ධාගම උසස් තත්ත්වයට පත්වීමෙන් හටගත් හින්දු දෙමළ ජනයාගේ ද මුස්ලිම් මුවර් ජනයාගේද ඕලන්දක්කාරයන්ගෙන් ගෙන් පැවත එන ක්‍රිස්තියානි  ලන්සින් ගේද අපහසුතාවය නිසා හෝ බණ්ඩාරනායකට හිත් හමාරුවක් ඇති වී තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. ඔහු ඔක්ස්ෆඩ්  ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය දරා තිබිණ. ඔහු කතා කළේ තමා  තවමත් ඔක්ස්ෆඩ් විවාද සංගමයේ සිටින කලක මෙනි. එයින් තුන් වසරකට පසු බෞද්ධ භික්‍ෂුවක විසින් ඔහු ඝාතනය කරන විට මම පුදුමයට පත් නොවීමි. බුද්ධාගම රාජ්‍ය  ආගම කිරීමෙහිලා රටේ ප්‍රගතියේ ඉබි ගමනින් අතෘප්තියට පත් භික්ෂුවක එය කිරීම උත්ප්‍රාසයකැයි මම සිතුවෙමි.


ඊට පසුව පැවැත් වූ මැතිවරණයේදී ඔහුගේ වැන්දඹු සිරිමාවෝ බණ්ඩාරනායකානුකම්ප ඡන්දයෙන් අගමැති ධුරයට පත්වූවාය. එතරම් ජීව ශක්තතාවයෙන් අඩු නමුදු  ඇය බොහෝ තද සිත් ඇති නායිකාවක බව ඔප්පු විය.එක්දාස් නමසිය හැත්තෑ වේ ලංකාවේදි මට හමුවන විට ඇය නොබැඳි දෘෂ්ටිවාදය ඇදහූ අධිෂ්ඨානශීලී ස්ත්‍රියක් වූවාය. දකුණු වියට්නාමයෙන් ලාඕසයෙන් හා කාම්බෝජයෙන් ඇමෙරිකානු හමුදාව ඉවත් කිරීම ද ඉන්දියානු සාගරය මහ බලගැටුම්වලින් නිදහස් න්‍යෂ්ටික අවිහළ  කලාපයක් කිරීමද ශ්‍රී ලංකාවට අභිමත විය.


තරුණයකු වශයෙන් මම මගේ ඊට වෙනස් විදේශ ප්‍රතිපත්ටි  අරමුණු ඉවසිලිවන්තව පහදාලීමි. කාම්බෝජයට ලාවෝසයට හා තායිලන්තයට තර්ජනයක් වෙමින් වියට්නාමය කොමිනිස්ට්වරුන් අතට පත් වුවහොත් සිංගප්පූරුවට එය අති දරුණු තර්ජනයක් වනු ඇත. ත්‍රස්තවාදය මැලේසියාවට පැතිරෙනු ඇත. සිංගප්පූරුවට බරපතල ප්‍රතිවිපාක ගෙන දීමට නියමිත හෙයින් අපට මේ උදාර දෘෂ්ටිවාදයට දායක විය නොහැකිය. මේ කලාපයේ අනික් මහා බලවතුන් වූ චීනය හා ජපානය යථාකාලයෙහි තම නාවුක  බලය ව්‍යාප්ත කරනු ඇත. එහෙයින් පංච මහා බල ආරක්ෂක ගිවිසුම සමග ඉදිරියට යෑම අවශ්‍ය බව සිංගප්පූරුවට පෙනී ගියේය.


තම බෑනා වූ ෆේලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයා විය.  දීප්තිමත් වුවත් කැඹුරක් නැති, තම භූගෝලීය හා ඓතිහාසික වාසනාව නිසා ලංකාවට ආරක්ෂාව නමැති ආශීර්වාදය ලැබී ඇතැයි ඇදහූ ඔහු  ඒ නිසා එය ආරක්ෂාවට වියදම් කරන්නේ තම අයවැයෙන් දෙකයි දශම පහක් පමණකැයි කීය. 1980 ගණන්වලදී යාපනයේ දෙමළ කැරැල්ල කුඩු කිරීම සඳහා රටේ අයැවැයෙන්  භාගයකටත් වඩා වියදම් කෙරුණු වට ඔහු කුමක් කීවේදැ යි මම නොදනිමි.


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ ආදර්ශ පොදු පොදු  රාජ්‍ය මණ්ඩලීය රට විය. එය නිදහස සඳහා සැළකිළිවන්තව සූදානම් කොට තිබිණ. යුද්ධයෙන් පසු එය මිලියන දහයකට බොහෝ අඩු ජනගහනයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ රටක් විය. එහි සාපේක්ෂ වශයෙන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් පැවතිණ. එහි ඉංග්‍රීසියෙන් උගන්වන කොළඹ හා මහනුවර විශ්ව විද්‍යාල දෙකකි. බෙහෙවින්ම දේශීය පරිපාලන සේවාවකි. 1930 ගණන්වලදී පළාත් පාලන මැතිවරණවලින් ඇරඹුණු නියෝජිත ආණ්ඩු පාලනයේ අත්දැකීම ය.එක්දාස්  නමසිය හතලිස් අටේ දී නිදහස ලබන විට එය නිදහස කරා ආනුක්‍රමික විකාශනයේ සම්භාව්‍ය ආකෘතිය විය.


අහෝ! ඒ සියල්ල වැඩ කර නැත. අවුරුදු ගණනක් තිස්සේ ආ ගිය ගමන්වලදී මා දුටුවේ බලාපොරොත්තු තැබිය හැකි රටක් නාස්තිවී යන සැටිය. එකාට එක චන්දයයි යන  මූලික ප්‍රශ්නයක් විසඳුයේ නැත. ඉංග්‍රීසිය හැර පියා සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් අවාසියට ගොදුරු වූ මිලියන දෙකක් වූ යාපනයේ දෙමළුන් නිතරම ඡන්ද බලයෙන් වැඩලීමට මිලියන අටක් වූ සිංහල බහුතරයට ඕනෑම විටක හැකි විය. පෙර රාජ්‍යාගමක් නොවීය. සිංහලයෝ බුද්ධාගම ජාතික ආගම බවට පත් කර ගත්හ.


1966 දී ලන්ඩනයේ සිට පෙරළා යන ගමන් මම අගමැති ඩඩ්ලි සේනානායක හමුවීමට කොළඹට ගියෙමි.. ඔහු මුදු මොළොක්, එන සැටියක් පිළිගන්නා,  ඉරණමට ඉදිරියේ සිටින වැඩිහිටි මිනිසෙක් විය. එකල පැවති කොළඹ රාජකීය ගොල්ෆ් පිටියෙහි අනවසර පැල්පත් ද එළුවන් හා හරකුන් ද ගැන  ඔහු සමාව අයැදියේය.  ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ නිසා එය  නො වැළැක්විය හැකි යැයි ඔහු කීවේය. නගර මධ්‍යයෙහි මේ හරිතබර විවර ඉඩ තබා ගැනීම යුක්ති යුක්ත කිරීමට ඔහුට බැරි විය. ඔහු මා ඔවුන්ගේ සුන්දර කඳුකර නගරය වන නුවරඑළියට දුම්රියෙන් යැවීය. නිදහසින් පසු සිදුව තිබුණු දෑ ගැන එය ඉතාමත් හොඳම  පාඩම විය. දුම්රියේ බොජුන් රියේ ආහාර විෂ සහිත විය. කුකුළු මස් දූෂණය  වී ගඳ ගසයි. වහාම විවේකාගාරයට ගිය මට කෑ සියල්ල වමනය  ගියේය. මේ නිසා මම බේරුණෙමි.


නුවරඑළියේ දී මා නතර වී සිටියේ පෙර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන්ගේ කඳු නිවාසයේය. එය ජරාවාස වී තිබිණ. ඉංග්‍රීසි වන සරණක් මෙන් දිස් වූ  උයන අතීතයෙහි සෙව්වන්දි  මලින් පුරවා (තවමත් ඒවා ටිකක් තිබිණ) හොඳින් නඩත්තු කරන්න ඇත. මුහුදු මට්ටමෙන් අඩි 5000ක් පමණ උසින් පිහිටි එය පියකරු සිහිලස දනවයි. පෙර කළ සුන්දරව පැවති එම  පිහිටියෙහි මම ගෝල්ෆ් කෙළියෙමි. කොළඹ පිටිය මෙන්ම එයද පැල්පත්, එළුවන් හා ගවයන් විසින් ආක්‍රමණය කොට තිබිණ.


රාත්‍රී ආහාර මේසේදී ධනවත් හා දුක්බර පෙනුමක් සහිත වැඩිහිටි සිංහලයෙක් මැතිවරණ පවත්නා  හෙයින් සිදුවී තිබුණු දේ අනිවාර්ය බව පහදා දුන්නේය. සිංහලයන්ට අධිපති වර්ගය වීමට වුවමනා විය. තේ හා පොල් වගාවල කළමනාකාර තනතුරු බ්‍රිතාන්‍යයන්ගෙන්ද ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි තනතුරු  දෙමළුන්ගෙන්ද තමන්ටම ලබා ගැනීමට සිංහලයන්ට වුවමනා විය. මේ ආදිය නිසා ඔවුන්ට සිංහලය රාජ්‍ය භාෂාව  කිරීමේ ශෝකාන්තය හරහා ගමන් කිරීමට සිදු විය. ඔවුන්ට මේ හේතු කොට බරපතල පාඩු විඳින්නට සිදුවිය. සියල්ලම සිංහලට හා දෙමළට  පරිවර්තන කරන්නට සිදුවිය. එය හිමින් සිදු වන,  කවරදාවත් ඉවර කළ නොහැකි දෙයක්ය. බහුතරයට සිංහලෙන්ද යාපනයේ  දෙමළුන්ට දෙමළෙන් ද ලන්සින්ට ඉංග්‍රීසියෙන්ද වශයෙන් භාෂා තුනකින් ඉගැන්වීමට විශ්ව විද්‍යාල වලට සිදුවිය. මහනුවර විශ්ව විද්‍යාලයේදී වෙනස් භාෂා තුනකින් උගත් ඉංජිනේරුවන් එක් පාලමක් ඉදිකිරීමට සහභාගී වන්නේ කෙසේදැයි මම උපකුලපති ගෙන්  ඇසීමි. බර්ගර්ජාතිකයෙකු ඔහු කේම්බ්‍රිජ්  විශ්වවිද්‍යාල කරපටියක් පැළඳ සිටියේය. ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බව මම එයින් හඳුනාගතිමි. “මහතාණනි,  එය ඇමැතිවරුන් පිළිතුරු දිය යුතු දේශපාලන ප්‍රශ්නයක්” ඔහු කීය. පොත්පත් ගැන මම විමසීමි. මූලික පාඨ ග්‍රන්ථ සිංහලයට හා දෙමළුවට පරිවර්තන කොට ඇති බවත් ඒවා මුද්‍රණය වන විට නිතරම මුල් පොත් වල නව සංස්කරණ තුන හතරක් පළ වී හමාර බවත් කියමින් ඔහු පිළිතුරු දුන්නේය. 


 තේ වාතු  යායවල් ශෝකජනක තත්ත්වයක විය. බ්‍රිතාන්‍යවතු අධිකාරීවරුන් වෙනුවට පත්කොට සිටි දේශීයයෝ බ්‍රිතාන්‍යයන් තරම් හොඳ නොවූහ. තද විනයක්  නොවූ හෙයින් තේ දළු නෙලන්නියෝ දළු පමණක් නොව තේ වලට හොඳ නැති මෝරපු කොළද නෙළූහ. පොල් වතු වලටද නරක කාලයක් ලබා තිබිණ. ඒ සියල්ල රට පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සඳහා මිනිසුන්ට ගෙවන්නට සිදුවූ වන්දිය යයි  ඒ තලතුනා සිංහලයා කීය. 1978 දී ඔස්ට්‍රේලියාවේ පැවති සමුළුවක දී අලුතින් තේරී පත් වූ අගමැති ජූනියර් රිචඩ්ජයවර්ධන හමුවන තෙක්ම මා අවුරුදු ගණනකින් ලංකාවට ගොස් තිබුණේ නැත. 1972 දී අගමැති සිරිමා  බණ්ඩාරනායක රටේ සිලෝන් යන නම ශ්‍රී ලංකා යයි වෙනස්කොට එය  ජනරජයක් බවට පත්කොට තිබිණ. මේ වෙනසින්  රටේ ධනය නම් වැඩි නොවීය. එහි තේ තාමත් විකුණනු ලබන්නේ “සිලෝන් ටී”  යනුවෙනි.


සොලමන් ඩයස් මණ්ඩාරනායක  මෙන්ම කිතුනුවකුව උපන් ජයවර්ධන ද ජනතාව සමග අනන්‍ය වීම සඳහා ජාතිවාදය වැළඳ ගත්තෙකි. වර්ෂ සත්තෑවක්  වන තම ජීවිත කාලයේ දී ඔහු දේශපාලනය තුළ නැගී ද බැස ද තිබිණ. වැඩිහරියක් බැස තිබිණ.  පහත දැමුණු  ඉලක්ක පිළිගැනීම මගින් ඔහු ප්‍රඥාවන්ත වී සිටියේය. ඔහුට ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට හේතු වූ සමාජවාදී ප්‍රතිපත්ති වලින් බැහැරවීමට වුවමනා විය. සිඩ්නි නුවරදී මා හමුවිමෙන් පසු ඔහු සිංගප්පුරුවට  ආවේය. ඒ ලංකාව දියුණු කිරීමට අප සහභාගි කරවා ගැනීම පිණිස යයි ඔහු කීවේය. ඔහුගේ ප්‍රායෝගික ප්‍රවේශය මගේ සිත් ගත්තේය. එහෙයින් 1978 දී මම ලංකාවට ගොස් ඒමට කැමති වීමි. යාපනයේ  දෙමළ ජනයාට ස්වෛරීත්වය දෙමැයි ඔහු කීය.  දෙමළ ජනය  කෙරෙහි සිංහලයන් පවත්වන පරමාධිපත්‍යය ඉවත් කිරීමට ඔහුට නොහැකි  බව මට වටහා ගත නොහැකි විය. මේ පරමාධිපත්‍යය 1983 දී සිවිල් යුද්ධය  අවුලවා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්  පිළිබඳ බලාපොරොත්තු පරම්පරා ගණනාවකට නොවේ නම් බොහෝ වර්ෂ   ගණනාවකට වනසා දැම්මේය.


ඔහු තුළ ඇතැම් දුබලතා විය ඔහුට ගුවන් සේවයක් අරඹන්නට උවමනා විය. එය ප්‍රග තියේ සංකේතයක් හෙයිනි. සිංගප්පූරු ගුවන් සේවය හොඳ ශ්‍රී ලාංකික කපිතාන් වරයකු සේවයේ යොදවා තිබිණ. මා ඔහු මුදා හරිත් ඇයි ජයවර්ධන විමසීය. සත්තකින්ම මට එය කළ හැකිය. එහත් ගුවන් සේවා පයිලට්වරයෙක් ගුවන් සේවාවක් පාලනය කිරීමට කෙසේ නම් සමත් වේදැයි මම ඇසීමි. ඔහුට සිංගප්පූරු ගුවන් සේවයේ උදව් අවශ්‍ය විය. අපි උදව් කළෙමු.  මම ඔහුට මෙසේ අවවාද කළෙමි. ගුවන් සේවයක් පිහිටවීම ඔබගේ ප්‍රමුඛතාවය නොවිය යුතුය. ගුවනත්  කිරීම සඳහා කුසලතා පූර්ණ හා හොඳ පරිපාලකයන් බොහෝ දෙනෙකුගේ සේවය අවශ්‍ය වේ. මේ මොහොතේ ඔබට එවැන්නන් අවශ්‍ය වන්නේ වාරි කර්මාන්තය,  කෘෂිකර්මය,  නිවාස සැපයුම,  කර්මාන්ත සංවර්ධනය හා වෙනත් බොහෝ ව්‍යාපෘති සඳහාය. ගුවන් සේවයක් යනු  බොරු අලංකරණයකි. සංවර්ධනය වන ශ්‍රී ලංකාවට එහි දැවැන්ත වටිනාකමක් නැත.


එහෙත් ඔහු තරයේම ඉල්ලා සිටියේය. එහායින් අපි සය මසකින් එය ගුවනත් කිරීමට උදව් කළෙමු; මාස දෙකේ සිට තුන තෙක් කාල පරිච්ඡේද්‍ය සඳහා සිංගප්පූරු ගුවන් සේවයේ  සේවකයන් අසූ දෙනෙකුන් මුදාහළෙමු; ලොව පුරා සිටින අපේ වෙළඳ නියෝජිතයන මගින් උදව් කළෙමු.විදේශ වල කාර්යාල පිහිටුවා දුනිමු; පුහුණු මධ්‍යස්ථාන  සංවර්ධනය කර දුනිමු. මේ ආදී නොයෙක් දෑ කර දුනිමු. එහෙත් මනා සිහි බුද්ධියෙන් යුතු මුඳුන්  කළමනාකරණයක් නොවීය. මේ නව ගුවන් සේවයේ සභාපති බවට පත් වූ  යට කී පයිලට් තැන අපගේ උපදෙස් නොතකා පාවිච්චි කළ පරණ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට තීරණය කළ කල්හි තවදුරටත් උපකාර නොකිරීමට තීරණය කළෙමු .තම ධාරිතාව පස් ගුණයකින් ව්‍යාප්ත කිරීම, සෘණාත්මක මුදල් ගලනය,  පුහුණු සේවක මණ්ඩල ඌනතාව, විශ්වාසය තැබිය නොහැකි ගුවන් ගමන්, අඩුකම යන මේ ගැටලු වලට මුහුණපා සිටි මේ ගුවන් සේවය අසාර්ථක වීමටම නියමිත විය.  එසේම එය අසාර්ථක විය.


ශ්‍රී ලංකා පාලකයන් තම රට සිංගප්පූරුව අනුව සකසා ගනිම්හ යි  කියනු ඇසීම අපට බොරු වර්ණාවක් විය. සිංගප්පූරු ආකාරයේ ප්‍රදේශ බලපත්‍ර ක්‍රමයක් සකසම්හ යි ඔවුහු කීහ. කොළඹ නගරයට එන වාහන අඩු කිරීමට. එහත් එය කෙරුනේ නැත. එක්දාස් නමසිය අසූ දෙකේ දී ඔවුහු  අපේ ක්‍රමය අනුව නිවාස සැපයීම් ක්‍රමයක් ඇරඹූහ. එහත්  ඊට ඇති තරම් මුදල් නොයොදවන ලදී. සිංගප්පූරුවට වඩා යන්තම් කුඩා  නිදහස් වෙළද කලාපයක් පිහිටවූහ. දෙමළ කොටින් නොවුහූ නම් එය වැඩ කරන්ට ඉඩ තිබිණි. ඔවුන්ගේ ත්‍රස්තවාදී උපක්‍රමවලින් බියපත් වූ ආයෝජකයෝ ගියහා; නො ආහ.


ජයවර්ධන කළ ලොකුම වරද නම් වියළි කලාපයේ සකස් කළ ඉඩම් බෙදා දුන් ආකාරයයි. විදේශ ආධාර ලැබ ඔහු වැව් පදනම් කොට ගත් කඳුවල තෙත් පෙදෙසින් ගෙන ආ ජලය රැඳවිය හැකි පැරණි ජල සම්පාදන ක්‍රමයක් යළි පණ  ගැන්වීය. අවාසනාවට ඔහු එසේ සකස් කළ ඉඩම් සිංහලයන්ට දුන්නේය.  ඓතිහාසිකව  මේ වියළි කලාපයේ ගොවියන්ව සිටි දෙමළුන්ට නොදුන්නේය. අත්හැර දමන ලැබ මිරිකී ගිය ඔවූහු දෙමළ කොටි ව්‍යාපාරය ශක්තිමත් කළහ. ජයවර්ධනගේ පෞද්ගලික ලේකම් තනතුර දැරූ දෙමළ ජාතිකයා ජයවර්ධන කළ දේ තීරණාත්මක වැරැද්දක් බව මට කීවේය. ඉන්පසු වූ ඇති වූ සිවිල්  යුද්ධය පනස් දහසක් මරා දැමීය. ඊටත් වඩා හදිසි අනතුරු ඇති කළේය. බොහෝ නායකයන් ඝාතනය කළේය. පසළොස් වසකටද වඩා ගත වී ඇත. එය අඩුවන බවක් දක්නට නැත.



වෙහෙස පත් වූවකු ලෙස ජයවර්ධන 1988 දී විශ්‍රාම ගියේය. ඔහුට කිසිම විසඳුමක් නොවීය. ඔහුගේ අනු ප්‍රාප්තික රණසිංහ ප්‍රේමදාස  සිංහලෝත්තමවාදියෙක් විය. ඉන්දීය හමුදා පිටත් කිරීමට ඔහුට උවමනා විය.එය බුද්ධිමත් නොවිය. ඔවුහු ශ්‍රී ලංකාව සඳහා ජුගුප්සාජනක කටයුත්තක් කර දෙමින් සිටියෝය. ඉන්දියානු හමුදා පිටත්ව ගිය කල්හි ඔහු වඩාත් නරක තත්ත්වයකට පත් විය. ඔහු  දෙමළ කොටින් සමඟ සාකච්ඡා කිරීමට තැත් කළේය. එය අසාර්ථක විය. ඔහු ඔවුන්ට ප්‍රමාණවත් ඉඩක් දීමට කැමති නොවීය. ජනාධිපති වීමෙන් පසුව ඔහු කීප වරක් සිංගප්පූරුවේදී හමුවීමි. යුද්ධයා අවි බලයෙන් නැවැත්විය නොහැකි බව ඔහුට ඔප්පු කිරීමට මම තැත් කළෙමි. යාපනයේ දෙමළුන්ටත් අවශ්‍ය ලෝකයාටත් යහපත් වන්නේ දේශපාලන විසඳුමකි. . එවිට දෙමළ නිදහස් ව්‍යාපාරයේ මධ්‍යස්ථ ව්‍යවස්ථාවාදී න් කොටසට එය ප්‍රතික්‍ෂේප කල නොහැකිය. ඔහුගේ අරමුණ විය යුත්තේ මැතිවරණ මගින් තමන්ව පාලනය කර ගැනීමට දෙමළුන්ට නිදහස දීම මගින් ත්‍රරස්තවාදීන්ට මහජන සහයෝගය අහිමි කිරීම යයි මම තර්ක කළෙමි. තමාට ඔවුන් වනසාලිය හැකි යැයි ඔහු විශ්වාස කළේය. 1991 හා 1992 ඔහු දෙමළුන්ට එරෙහි ප්‍රධාන සටන් සඳහා ශ්‍රී ලංකා හමුදාව යැවීය.ඔවුහු  සාර්ථක නොවූහා. 1993 මැයි දින  පෙළපාලියකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීදි පෙළපාළියක් මගින් ඔහුට කිට්ටු කළේය. ඔහු හා තවත් බොහෝ දෙනා මියගියහ.


ඔහුගේ අනු ප්‍රාප්තික චන්ද්‍රිකා කුමාරතුංග සාකච්ඡාව හා යුද්ධය යන දෙකම කළාය. ඇය  යාපන අර්ධද්වීපය යළි අල්ල ගත් නමුත් දෙමළ  කොටින් නොවැනසුවාය.  සටන් කෙරීගෙන යයි. ඉංග්‍රීසි භාෂාවට “Serendipity සෙරෙන්ඩිපිටි - ස්වර්ණදීපිකත්වය” යන පදය ගෙන  දුන් “Serendip සෙරෙන්ඩිප් - ස්වර්ණදීපය” යන පැරැණි නමින් යුතු රට දැන් යුද්ධයේ,  දුක් විඳීමේ,  ශෝකයේ හා බලාපොරොත්තු රහිත බවේ  සංකේතයක් වී තිබීම ශෝක ජනකය.


ලී ක්වාන් යූ මහතා කියන සැම දෙයටම  මම එකඟ නොවෙමි. එහෙත් ඔහු කියන දැයින් එකක් පැහැදිලිය. කොම්ප්‍රදෝරු  ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.


-පින්තූරය විකිපීඩියා අඩවියෙනි .
- ලිපිය පි . 59-66 - සති සිතුමිණි 3 - මහාචාර්ය සුචරිත ගම්ලත් - සරසවි ප්‍රකාශකයෝ 2013 

//කොම්ප්‍රදෝරු  ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.// ඒ සඳහා ප්‍රගතිශීලි ධනවාදයක් තිබිය යුතුය .

Friday 23 August 2024

අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද

සති කිහිපයකට පෙර ලන්ඩනයේ පැවැති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගේ ලන්ඩන් හමුව මා සහභාගී වූ දෙවන මාලිමා සමුළුවයි .  පළමුවැන්න  වූයේ හරිනි  - නලින්ද ජයතිස්ස හමුවය .  මේ දෙකම හරියට වෙලාවට පටන් ගැනීමට සමුළු සංවිධායකයෝ සමත්  වූහ.
 
   මේ සමුළුවේ අනුර දිසානායක මහතා  පිළිගැනීමේ කතාව ඉංග්‍රීසියෙන්  කළේ තුෂාරා දසනායකය. ඇගේ පියා හිටපු ජවිපෙ සාමාජිකයකු බව ඇය පැවසුවාය.

 බොහෝ කලකට ඉහත මම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සාමාජිකයෙකුව සිටියෙමි.  ඉන්පසු ජෙරෙමි කෝබින් එහි නායකයා බවට පත්වූ පසු මම සක්‍රියව එහි කටයුතු වලට සහභාගී වූවෙමි. එහිදී සවුත්ගේට් පැත්තේ සිට මොමෙන්ටම් නමැති දේශපාලන ව්‍යාපාරයේ රැස්වීම් වලට සහභාගිවුණු තුෂාරා  මට හමුවුණි .  කෝබින් සිටි අවසාන අවුරුද්දේ එන්ෆිල්ඩ් නගරයේ සිට ගිය මැයි පෙළපාලියේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ධජය එන්ෆිල්ඩ් සිට ට්‍රෆල්ගාර් චතුරශ්‍රය දක්වා ඔසවා ගෙන ගියේ  අප දෙදෙනාය. ට්‍රෆල්ගාර් චතුරශ්‍රය අසල දී ඇය දර්ශන හෙට්ටි ආරච්චි ඇතුළු ජවිපෙ  සාමාජිකයන් සමග එක්වුණු අතර මම ඒ දිනවල සබඳතා පැවැත් වූ පෙසප මැයි රැලියට පැමිණි සාමාජිකයන් සමග එක්වුනිමි .  ඉන්පසු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මීටිමකදී මට තුෂාරා ගේ ආදරණිය සැමියා වන අසන්ගද (ඒ දිනවලද ජවිපෙ ආධාරකරුවෙකි )   මුණ ගැසුණි.

 මම එන්ෆිල්ඩ් උතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන  ජෝන් රයන් සමග හොඳින් කටයුතු කල කෙනෙකි .  ඇය වරක් අප පාර්ලිමේන්තුවට නැරඹීමට ද රැගෙන ගියාය. නමුත්  අපේ  කෝබින් කණ්ඩායම විසින්  සාර්ථකව එන්ෆිල්ඩ් උතුරු සභාවෙන් ජෝන් රයන් මන්ත්‍රීවරිය ජයග්‍රාහීව ඉවත් කරන ලදී .  ඉන්පසු පැවති කාරක සභා නිලවරණයේදී  මා  භාණ්ඩාගාරික පදවියට අති විශාල චන්ද සංඛ්‍යාවකින් තේරී පත්වුණි. ඒ අනිත් සියලුම අය නොයෙක් නිල වලට වෙන වෙනම  ගත් ඡන්ද සංඛ්‍යාවට වැඩි ගණනකි.  ඉන්පසු සිදු වුනේ අමුතුම දෙයකි .  ලේකම් කමට පත්වුණු කාන්තාව ජෝන් රයන් හා කියර ස්ටර්මර් (දැන් අගමැති) කණ්ඩායම හා එක්ව බලය බෙදා ගැනීමට අපට හොරෙන් සාකච්චා පැවැත් වූවාය. තවත් තුර්කි ජාතික කාන්තාවක වන හිටපු (පැරදුනු )  භාණ්ඩාගාරිකවරිය  කාරක සභාවට පත් කල යුතු බවත් සාමාන්‍යයෙන් භාණ්ඩාගාරික වන්නේ කාන්තාවක් බවටත් රීතියක් මතු කොට මා ඉවත් කර පැරදුනු කණ්ඩායමේ ඇයටම  එම තනතුර ලබා දුන්හ. මුලදී මා එයට එකඟ වූයේ තනතුරු බදා ගැනීමේ අපේක්ෂාවක් මට කොහෙත්ම  නොතිබූ බැවිනි .  පසුව එළිවුනේ වෙනත් කතාවකි. 

හේතුව නම්, ඉන්පසු ජෝන් රයන් ඉවත් කිරීම නිසා ඇතිවුණු මන්ත්‍රී පුරප්පාඩුවට  නොමිනේෂන් දීමට කම්කරු පක්ෂයෙන් දැනුම් දීමක් කෙරුණි. මා  හැර අර කණ්ඩායම් දෙකේම අය ඉල්ලුම් පත් යවා තිබුණි .  යැව්වේ නැත්තේ මා  පමණකි.  අවසානයේදී ඒ කිසිවකුට නොදී  පක්ෂ කමිටුව වෙනත් පෙදෙසක සිටි තුර්කි සම්භවයක් ඇති කාන්තාවකට (පැරචුට්)  නොමිනේෂන් දුන්හ .  (ඇය දැන් අපේ මන්ත්‍රීවරියයි )  මේ වෝඩ් එක සම්ප්‍රදායික කම්කරු පක්ෂ එකක් නිසා ඕනෑම අයෙකු දිනන "සේෆ් සීට්" එකකි.   පසුව කණ්ඩායමේ මට හිතවත් අයෙකු පැවසූ පරිදි ඔවුන් සිතා ඇත්තේ මා නොමිනේෂන් ඉල්ලයි කියාය.   මට ලැබුණු චන්ද සංඛ්‍යාවට මෙන්ම  සුදුසු කම් වඩාත් තිබුණු මට නොමිනේෂන් ලැබෙතැයි ඔවුන් බියවුහ. තේරීම් කමිටුව සිතා ඇත්තේද මා  ඉල්ලයි කියාය. මම නොමිනේෂන් යවනවාට බිරිඳ සහ දූවරුන් එක හෙලා විරුද්ධ වූහ.  

නමුත් ඔවුන් මගෙන් කෙළින්ම ඇහුවානම් ඉවරය .  වාමාංශික සොහොයුරන් ලෙසින් පෙනී සිටින අය  තමන්ගේම එවුන්ට කට්ට ගසන්නේ එලෙසය. පක්ෂ කොටසට බලය ගැනීමට වඩා පිලේ එකට වැඩ කරන එකෙකුට බලය ලැබේ යයි ඇති බියය. ඉන් මද කලකට පසු මම කම්කරු පක්ෂයෙන් ඉවත් වුනෙමි .  මට පසුව තුෂාරා හමුවුණු වෙලේ ඈ කී පරිදි  ඇයද ඉවත්ව සිටියාය.  එනිසා මේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කළ ඇය දුටු විට මට ඉමහත් ප්‍රීතියක්  දැනුනි.
 
ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාවේ  සංවිධාන  ශක්තිය උසස්ය .  අනුරගේ කතාවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.  එසේම අකුදි සාමාන්‍ය දේශපාලකයකු කරන්නාක්  මෙන් ගිරිය පුප්පා  කෑ ගැසුවේද නැත. ඔහු තමන්ගේ කරුණු සාවධානව කියා පෑවේය.

නමුත් මේ කතාවේ එකම තැනක හෝ ඔහු සමාජවාදය යන වදන භාවිතා කරනවා මට ඇසුනේ නැත.
නලින් - හරිනි සමුළුවේදී ව්‍යවස්ථා සංශෝධන 13 යට එරෙහිව කෑ ගසන ජවිපෙ පොඩියන් ලා  සිටියද මේ සමුළුවේ එවැනි  අයද  සිටියේ නැත .  කැනඩාවෙන් පැමිණි ද්‍රවිඩ ජාතික මනෝහරන් ගේ කතාවට හොඳ පිළි  ගැනුමක් ලැබුණි.  එසේම ළමා ආරක්ෂාව ගැන කතාකළ වික්‍රමනායක මහත්මියටද එවැනිම හොඳ ප්‍රතිචාරයක් ලැබුණි . 

ප්‍රශ්න කිරීම් සියල්ල කිසියම්  විධිහකට කලින් පාලනය කර තිබූ සෙයක් පෙනුනි .  එනිසා මා සූදානම් කරගෙන සිටි ප්‍රශ්න අසන්නට ඉඩක් නොලැබුණි.

නමුත් මට නැවතත් යහළුවෙකු ගේ නිවසේදී අනුර කුමාර දිසානායක මහතා නැවතත් මුණ ගැසුණි .  එනිසා  මගේ යහළුවෙකු එවූ ප්‍රශ්න හා මගේ ප්‍රශ්නයක් ද ඔහුට යොමු කලෙමි .  මේ යහළුවා පවසන පරිදි ඔහු  87 / 89 කාලයේ ජවිපෙට සම්බන්ධව සිටි හා සමහර ප්‍රහාර වලටද සම්බන්ධ වූ අයෙකි.  

 මේ මගේ යහළුවා  විසින් එවූ ප්‍රශ්නයි . 

1.  ඔබ ECTA ගිවිසුමට එකඟද (කොටසකට හෝ සම්පුර්ණයෙන්ම )  , කොටසකට නම් ඒ මොනවාද?

2. ලංකාව ණය බරින් මුදවා ගැනීමට ඔබේ සැලසුම කුමක්ද?

3. ඔබ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සළකන්නේද?

4. දෙමළ ජනතාව ඝාතනය කිරීමට ඔබ මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේ ඇයි?

5. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම පිළිබඳව  ජවිපේ ස්ථාවරය කුමක්ද?

6. ජවිපෙ තවමත් මාක්ස්වාදී පක්‍ෂයක්ද? (ජාතික ජන බලවේගය මාක්ස්වාදී නොවන බව මම සිතමි .)

7. වර්තමාන ජවිපෙ ප්‍රතිපත්ති රෝහණ විජේවීරයන්ගේ ජවිපෙ ප්‍රතිපත්ති සමඟ වෙනස් වන්නේ කෙසේද ? ඔබ රෝහණ විජේවීර ජාතිවාදියෙකු ලෙස සලකනවා ද? එසේ නොසලකන්නේ නම් ඒ ඇයි?

8. මම  යුටියුබයේ ඔබේ කතා අසමි.  මගේ ප්‍රධාන ප්‍රශ්නය මට ඔබ විශ්වාස කළ හැකිද ඔබ ජාතිවාදියෙකු නොවේද යන්නය . හේතුව ලංකාවේ ජන වාර්ගික යුද්ධය පැවති අවධියේ ඔබ කටයුතු කළේ ජාතිවාදියෙකු ලෙසින් යයි මා සිතන බැවිනි.

9. එක්ටා ගිවිසුමේ ප්‍රධාන අරමුණ නම් ඉන්දියාව හා ලංකාව අතර සේවා සහ භාණ්ඩ වෙළඳාම පහසු කිරීමත් ලිබරල්කරණය කිරීමත්ය . කෙටියෙන් කියනවා නම්දෙරට අතර පැන නගිනවෙළඳ ආරවුල් නිරාකරණය හා නිදහස් වෙළඳ කලාප පිහිටුවීමද මෙහි අරමුණයි. ලංකාවට මේවා වාසිදායක වන්නේ කෙසේද?

 ඉහත ප්‍රශ්න එංගලන්ත ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතාට භාර දෙන මෙන් අනුර සහෝදරයා ඉල්ලා සිටියේය. එසේ කළමුත් ඒවාට තවම පිළිතුරු ලැබුණේ නැත. තව මසකින් ඡන්දය තිබෙන නිසාත් දර්ශන සහෝදරයා ලංකාවට ගොස් සිටින නිසාත් පිළිතුරු ලැබෙන එකක් නැත . ජවිපෙ සම්බන්ධකම් ඇති අයට ඒවාට පිළිතුරු දිය හැකිය .

මගේ එක ප්‍රශ්නයක් වූයේ නලින් හේවගේ මහතාගේ ප්‍රකාශයයි.  ඔහු පැවසුවේ අසූ හත - අසූ නමයේදී ගම් මට්ටමින් මරා දමන ලද්දේ ස්ත්‍රී දූෂකයන් සහ සොරුන් බවය. බොහෝ අය මේ කතාවට සමාජ ජාලා ඔස්සේ විරෝධය පළ කළ බව දුටිමි.  මගේ මිතුරෙකු වූ විතානගේ මහතාගේ පියාවන  හොරණ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු වූ මෙන්ම  එසේම ජූලි වර්ජකයෙකු ද වූ උපාලි විතානගේ මහතා එවැන්නෙකු නොවේ. මේ පරණ බ්ලොග් සටහනේ වැඩි විස්තර ඇත . යුඇන්පී වෙනුවෙන් කතා කල තම ඥාතියෙකු වන ගම්පහ විදුහල්පතිවරයෙකුද මරා දැමූ බව ලඟදි මිතුරකු මා හා පැවසීය. ඒ අතර ගෝනවල සුනිල් වැනි දූෂකයන් සහ සොරුන්ද සිටින්නට ඇත. ප්‍රශ්නය වන්නේ කැලෑ නීතියකට කිසිවකුට එකඟ විය නොහැකි බවයි . නිතිය ක්‍රියාත්මක කල යුත්තේ අධිකරණ හරහාය.

අසූ හතේ මුල් කාලයේ සිට යටිබිම්  ගත ජවිපෙ සම්බන්ධ  දේ.ජ ව්‍යාපාරය පරණ වමේ නායකයන් කිහිප දෙනෙක්ද යුඇන්පී නායකයන් මෙන්ම ප්‍රාදේශීය අයද මරා දමා තිබුණි.  නන්දන මාරසිංහ වැනි තම පැරණි සගයන් මෙන්ම, දයා පතිරණ වැනි සිසු නායකයන්ද මේ අතර වේ . සුනීල් විජේසිරිවර්ධන ට මෙන්ම සුනිලා අබේසේකරට ද තර්ජන එල්ලවී තිබුණි . ජේ ආර් පක්ෂය තහනම් කරමින් මුලදී මර්දනයක් මුදා හල බව සැබෑය. නමුත් එයට පිළිතුර නරෝද්නික වාදය නොවේ යයි අපි බොහෝ තැන්වල මතක් කර දුනිමු . ඒ අනාදරයකට නොවේ . .

ලෙනින්, සාර් ගෙන් කුමන පීඩනය එල්ල වුවද එවැනි මගක් ගත්තේ නැත. ඒ වෙනුවට 1905 සිටම ගත්තේ අරගලයේ මග පමණි .

එසේම ප්‍රේමදාස රජය එකට දහයක් වශයෙන් මරා දමමින් දරුණු භිෂණයක් දියත් කළ බවද සැබෑය. රජය, තරුණයන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට අතුරුදහන් කිරීම තෝරා ගත්හ .

මාලිමා කථිකයන් බොහෝ තැන වලදී 88-89 ගැන කතා නොකරන මෙන් ඉල්ලා සිටීම මට තේරුම් ගත හැකිය .  නමුත් ප්‍රශ්නය වන්නේ එසේ කියන ඔවුන්ම ඒ ගැන කතා කිරීමය . ලඟදි මම ෆේස්බුක් ජලයේ වික්‍රමබාහු කරුණාරත්න මහතා වෙනුවෙන් කුඩා සටහනක් ලියා ඔහුගේ මරණය වෙනුවෙන් පල කළෙමි. ඔහු සැඟවී සිටියදී මගේ එදවස මිතුරු විතානගේ සමග කොම්පඤ්ඤ විදියේ අමරදිසි හෝටලයේ සිටියදී ඔහුව දුටුවෙමි . මා ගරු ක‍රන වාමාංශික නායකයෙක් වන ඔහු පිළිබඳව මාලිමාවට සහයෝගය දෙන මහත්මයෙකු ලියා තිබුනේ වික්‍රමබාහු ආයුධ රැගෙන 88-89 මර්දනයට සහභාගී වූ අයෙකු ලෙසිනි .


මේ නරෝද්නික පොල්පොට් වාදයට තවමත් සහය දක්වන්නන් අතර පෙරටුගාමී සමාජවාදී ආධාරකරුවන් සිටින බව ලන්ඩනයේ දී සිදුවූ එක්තරා හමුවකදී මට පැහැදිලි වුනි . ඒ අසූව දශකයේදී , දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙනත් තැනක නායකයෙකු තවත් දිස්ත්‍රික්කයට එවන පණිවුඩයකින් කිසියම් පක්ෂ විරෝධියෙකු හෝ පොලිස් ඔත්තුකරුවෙක් යයි සැක කරන අයකු මරා දමන බවත් ඒ මරා දමන තැනැත්තා හා මරා දැමීමට එන තැනැත්තා එකිනෙකා නොහඳුනන බවත් කියා පෑමයි . ඒ පිලිබඳව කිසියම් තර්ජනාත්මක බවක් පෙනෙන හැඟීමක් තවමත් ඔවුන් තුල තිබේ. ලන්ඩනය වැනි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුව ඒ අදහස් නොනැසී පැවතීම කණගාටුදායකය. එනිසා ලංකාවේ අය ගැන කියනුම කවරේද?


මෙහිදී ප්‍රශ්නය වන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, උපුල් සන්නස්ගල වැනි දැන් මාලිමාවට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන අයද ඔය බෝට්ටුවේ සිටියා නොවේද යන්නය. ජවිපෙ පොඩියන් ලාට මෙන්ම නලින් වැනි ලොකු තැන්වලටද මාලිමාව යන්නේ වෙනස් මගක බව තවමත් පැහැදිලි වී නැත . අනුර - හරිනි ගේ මාලිමාවට විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් මෙන්ම ගුරු භවතුන් , හෙදියන් , වෙදැදුරන් වැනි බොහෝ දෙනා එක්වී තිබේ . මම එය ලන්ඩනයේදී හොඳින් දුටුවෙමි . ඒ අතරින් බොහෝ අය 88-89 දී ජවිපෙට විරුද්ධව සිටින්නට ඇත. නමුත් ඔබට ලක්ෂ හැත්තෑවක ඡන්දය අවශ්‍ය නම් නම්‍යශීලී විය යුත්තේ ඔබය .


ලියන්නට අමතක වුනු තව කරුණු කිහිපයක්  තිබේ .  එකක් නම්  ලංකාවේ දැනට පවතින ප්‍රශ්න වලට මුලික හේතුවක් වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ඇති ජාතිවාදය බවය .  එයට ආගම එකතුවූ කල තවත් භයානක විය. සිංහලය යනු අති උසස් භාෂාවක් බව මම අද දනිමි. එහෙත්  සිංහලය එකම භාෂාව කිරීම බරපතල ඛේදවාචකයක් වුනු බවද මම අද දනිමි. අද අනුර දිසානායකට  සහයෝගය දෙන්නන් අතර  එක  තර්කයක් වනුයේ ඉංග්‍රීසි කතා කරන පෙලන්තියට එරෙහිව  තම බස කතා කරන අයෙකු එන බවය .  ඒ ඇත්තය .  එහෙත් අනුර හා හරිනි යනු එතරම් පටු දැක්මක් ඇති අය නොවන බවද මාලිමාවට පිට රටින් එකතු වෙන ඇත්තන් ඊට වඩා මුහුකුරා  ගිය අය බවද සිතීමට මම කැමතිය. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක  නොබෙල් සම ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ ජාජබේ බලශක්තිය පිලිබඳ ප්‍රතිපත්තියේ නියමුවා ලෙස පසුගියදා හඳුන්වා දෙන ලදී. ඔහු 1982-1987 ජේ ආර්  ජයවර්ධන රජයේ බලශක්තිය  පිලිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකයෙකුව සිටි බව බොහෝ ජවිපෙ පාක්ෂිකයන් දැන සිටින්නේද යන්න සැක  සහිතය.

        

     ඒ අතරේ සුළං බලයෙන් ගිගා බයිට් හැට පහක (ගිගා වොට් නොවේ )   විදුලිය නිපදවන බවද සුළං  බලාගාර හතරක් මුහුදේ පිහිටුවා තව හයක් පිහිටෙව්වොත් ඉන්දියාවට හා ඩුබායි වලට  විදුලිය අපනයනය කළ  හැකි බවද කියන සජබේ දේශපාලකයකු දුටිමු .  ඔහුට සාවධානව සවන් දෙන ජනතාවක් ද දුටිමි .  මහාචාර්ය මොහාන් මුණසිංහ මාලිමාවට එකතු වූයේ මෙවැනි අය නිසා විය හැකිය . 


අනුර කුමාර දිසානායකට බොහෝ විට උතුරේ වැඩි ඡන්ද නොලැබෙනු ඇත .  ජවිපෙ සහ සජබේ පාඨලීලා රාජපක්ෂ සමග එකතුව යුද්ධයේ ප්‍රධාන කාර්යයක් කල ඔවුන් දන්නා හෙයිනි. නමුත් අනුර කුමාර දිසානායක පිළිබඳව පැහැදීමක් දෙමළ ජනයා අතර  ඇති වෙමින් පවතින බවද දුටුවෙමි. මුස්ලිම් ජනතාව අතරද මාලිමාවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී . මේවා සම්ප්‍රදායික සජබ / යූඇන්පී ඡන්දය. මුස්ලිම් ජනතාව ,මාලිමාව වෙළඳාම ට දැන් හිතවත් බවට විශ්වාස කරතියි මුස්ලිම් මිතුරකු මා සමග පැවසීය.


පසුගියදා, යුධ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුධ ආරක්ෂක මණ්ඩලයට උපදෙස් සැපයූ,  ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබටික්ස් සහ  කෘත්‍රිම බුද්ධිය පිලිබඳ මහාචාර්ය මා මිතුරු  ත්‍රිශාන්ත නානායක්කාර මහතාද  මාලිමාවට සහයෝගය දෙන ප්‍රකාශයක් ෆේස්බුක් හි කර තිබුණි .   ත්‍රිශාන්ත ලංකාව ගැන ඉමහත් කැක්කුමකින් කතා කරන අයෙකි. මාලිමාවට සහයෝගය දීම විනා වෙන විසඳුමක් අද නැති බව ඔහුගේ අදහසයි.      


නමුත් ලන්ඩනයේදී මට  හමුවුණු ලංකාවේ මාධ්‍යවේදියෙකු සමග කතාවේදී  ඔහුත් බිරිඳත් දෙදෙනාම 71-77 සිරිමාවෝ අවදිය ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කළහ. ඔවුන් ගේ සහයද  මාලිමාවටය .    ඒ කාලයේ පැවති වානේ කම්හල,  ටයර් කම්හල,  පේෂ කර්මාන්ත ශාලාව ආදිය ගැන ඔවුන් භක්තිමත් ලෙස කතා කළහ . ඒවා දුන්නේ සෝවියට් දේශයෙන් බව අඔවුන් දන්නේ නැත.   ඔවුන් ඒ කාලයේ ඉපදී සිටියා දැයි මම ඇසීමි .  ඔවුන් ඉපදී තිබුනේ ඊට පසුය.  මම ඒ කාලයේ කුඩා ළමයෙකු ලෙසින් පාන් පෝලිමේ සිටි බව කීවෙමි. හැත්තෑ හතේදී ජේ ආර් ට හයෙන් පහක බලයක් ලැබුනේද ඒ නිසා බව කීවෙමි . නමුත් ඒ කාලයට යාමට සිහින දකින පිරිසක්ද සිටිති.        


මේ තිබෙන්නේ  මා මිත්‍ර සරෝජ් පතිරණ බීබීසී  සංදේශය සඳහා   අනුර කුමාර දිසානායක සමග කළ සකච්චාවයි. ඔහු තම පක්ෂයේ වැරදි වලට සමාව අයදින  අතරම ඒ පිළිබඳව ජනතා අධිකරණයක් පත් කරන බව කියයි . 



 ශ්‍රී ලංකාවට අවශ්‍ය  වන්නේ දකුණු අප්‍රිකාවේ මෙන් සංහිඳියා කොමිසමකි .  


මෙහිදී තවත් අයෙකු තම භක්තිය හා සම්බන්ධ කරුණක් නිසා සමරිසි පනතට විරුද්ධය. ඔහුගේ අදහසේ සමහර කොටස් මම ඉවත් කලෙමි . මාලිමා නායකයන් ඒ ගැන කතා නොකලද කිසියම් ප්‍රමාණයකට ඔවුන් ගේ මතවාදය වඩා ලිබරල් බව පෙනේ. එසේ වෙද්දී සාමාජිකත්වය යන්නේ වෙනත් මගකය .


අනුර කුමාර දිසානායක මේ බොහෝ කරුණු පිලිබඳ ගන්නා  ස්ථාවරය එතරම්  පැහැදිලි නොවූවද ඔහු වඩා  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක සිටින බව පෙනී යයි .  නමුත් ජාතික ජන බලවේගය වෙනුවෙන් කටයුතු කරන බොහෝ ජවිපෙ හිතවාදීන් ගේ අදහස අනුර කුමාර  දිසානායක සමාජවාදී පාලනයක් පිහිටුවීමට සැරසෙන බවකි.  ජාතික  ජන බලවේගය පිටරටවල  ප්‍රකාශ   කරන අදහස් වල හැටියට හෝ ඔවුන්ගේ ප්‍රකාශන  වලට අනුව මට තේරෙන්නේ වෙනස් දෙයකි.  

එසේම ලාල් කාන්ත මහතා පවසන පරිදි මාලිමා  / ජවිපෙ සාමාජිකයන් ගෙන් සමන්විත   කැන්ගරූ  උසාවි වලට යුක්තිය පසිඳිලිමට යාමට බොහෝ දෙනා එකඟ නොවනු ඇත.     අනුර කුමාර දිසානායක මහතා කොට්ටාශ ක්‍රමයක් පිහිටුවන බව කියයි .  එසේනම් එය පුළුල් සාමාජිකත්වයක් ඇති ජාතික  ජන බලවේගයේ ආධාරකරුවන් ගෙන් සමන්විත විය යුතු අතර නීතිමය භාවයක් තිබීම අනිවාර්යය. ජවිපෙ  සාමාජිකයන් ගෙන්  එවැනි සභාවක්  සමන්විත වීම කියන්නේ පලි ගැනීමේ වේදිකාවක් නිර්මාණය වීමක් විය හැකිය.  ලක්ෂ හැත්තෑවක් ඡන්ද ගැනීමට නම් ජවිපෙන් එහා ගිය ඡන්දයක් අවශ්‍යය .  ඒ සඳහා යම් පරිත්‍යාගයක් කිරීමට ඔවුන් සුදානම් නැත්නම් ඉදිරි දින කිහිපය තුල තත්වය වෙනස් විය හැකිය . 

අති වාමාංශික ඡන්ද බොහොමයක් බෙදීයන තවත් අපේක්ෂකයන් සිටිති .  පිටරට පක්ෂ සංවිධාන වලින් මුදල් ආධාර ලබන මේ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලන්නේ නැත්නම් එම ආධාර නොලැබී යා හැකිය .  නුවන් බෝපගේ ,  සිරිතුංග ජයසූරිය , මහින්ද දේවගේ, පානි  සිරිවර්ධන මේ අතරින් සමහරෙකි .  සිරිතුංග ජයසූරිය හා මහින්දදේවගේ  එකට වාමාංශික දේශපාලනය කළ අය බව 'වම සහ ජීවිතය '  නමැති ජයසුරිය මහතා ලියූ පොතින් දැන  ගතිමි.    

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන් සමග ඡන්දයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ විට විරුද්ධ නොවූ කුමාර් ගුණරත්නම් මහතා තමා කලින් සිටි පක්ෂයේ පැරණි සගයකුට විරුද්ධව නුවන් බෝපගේ ඉදිරිපත් කලේ මන්දැයි යන්න තවත් ගැටලුවකි . එය ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒවා ක්‍රියාත්මක වූ වකවානුවේ ඔහුද එම පක්ෂය තුල සිටිය බැවිනි. ඔවුන්ගේ බලපෑම නිසා කිසියම් ඡන්ද ප්‍රමාණයක් ගිලිහෙයි නම් එහි වාසිය යන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය .

නුවන් බෝපගේ මහතා තවත් දෙදෙනෙකු සමග ජෙරෙමි කෝබින් මුණ ගැසී සාකච්චා කරනු මම දුටුවෙමි . කෝබින් මාක්ස්වාදියෙකු නොවන බව බෝපගේ මහතා දන්නේද යන්න මම නොදනිමි. නමුත් මාලිමාව මාක්ස්වාදී නොවීම නම් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් බව පෙනේ. කෝබින් ට කම්කරු නායකයෙකුට ලැබෙන වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබුණු නමුත් ඔහු ඡන්දය දිනුවේ නැත. ඊට අඩුවෙන් ඡන්ද ලැබූ ස්ටර්මර් මේ ඡන්ද ක්‍රමයේ විකෘතිය නිසා දිනුවේය. පැරණි එංගලන්ත පන්නයේ මනෝරාජික සමාජවාදියෙකු වන කොබින් ජනාධිපති ක්‍රමයක් තිබුනා නම් දිනන්නේය .

අනුර හරිනි ටිකට්ටුවට වැඩිපුරම බවුන්සර් එන්නේ තමන්ගේම පක්ෂයේ අයගෙන් හා අනිකුත් වාමාංශිකයන් ගෙන් බව මට සිතීම වැරැද්දක්ද?

අර පෞද්ගලික හමුවේදී අනුර කුමාර දිසානායක මහත් මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය .

"අපි දිනුවොත් කරන්න ඕන දේ අපි දන්නවා . සියල්ල සූදානම් කරගෙන ඉන්නේ . (කැබිනට්ටුව වැනි ) . නමුත් පැරදුනොත් මොකද්ද වෙන්නේ?"

ඔහු අදහස් කලේ මේ අන්තිම අවස්ථාව විය හැකි බවය .

පැරදුනොත් ජවිපෙ නැවත වරක් දෙකඩ වනු ඇත . සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ මාලිමාවේ බහුතරය හා විජේවීර / පොල්පොට් වාදයට පක්ෂ ජවිපෙ සුළුතරය ලෙසය .
අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නට ඇත්තේ පැරදුනොත් තවත් අවුරුදු හැටක් විපක්ෂයේ සිටීමට වීම ගැන විය යුතුය.

කලින් පොහොට්ටුවට ඡන්දය දුන් ලක්ෂ හැට නමයෙන් වැඩි පිරිසක් සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාට පක්ෂව බව පැහැදිලිය . ඉතිරි කොටසින් වැඩි හරියක් ජනාධිපති රනිල් ට හා නාමල්ට බෙදී යනු ඇත . සජිත් ප්‍රේමදාස මහතාට ඔහුගේම ලක්ෂ තිහක හතලිහක බ්ලොක් වෝට් එකක් තිබේ .

මේ නිසා මේ ඡන්දය තවමත් විවෘත එකකි . එය තුන් කොන් සටනකි .







- අජිත් 24/08/2024
 


Sunday 11 August 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 4 - ලී වැට

කතාවේ කලින් කොටස් තුන  මෙතන 



ගිය වතාවේ මෙහෙම ලීව මතකනේ - බ්‍රයන්ට ඕනේ අපි ලව්වා ලී  වැට අලුත් වැඩියා කරන්න. දකුණු පැත්තේ එක මගෙලු. මට අලුත් පැනෙල් දාන්නලු. මම පොරොන්දු වුනා හොයල බලල කරන්නම් කියල. ඉතින් ඔෆිස් එකේදී සුද්දෝ කට්ටිය මට කීව, ඒ කතාව ඇත්ත කියල  .  ගේ ගන්නකොට දෙන ඉඩමේ සහ නිවසේ අයිතිය දෙන ලියකියවිලි වල ඇති බලන්න කියල.  මම ඇවිත් බැලුව,  හරි කතාව .  දකුණු පැත්තේ බ්‍රයන් සමග තියන වැට මම අලුත් වැඩියා කරන්න ඕනේ .  බ්‍රයන් එයාගේ දකුණු පැත්තේ එක .  ඒකෙන් හැමෝගෙම වැටවල් අලුත්වැඩියා වෙලා තියෙන්නේ.  අසල්වැසියෙක් අලුත්වැඩියාව  කරන්නේ නැතිනම් නිත්‍යානුකුලව පැමිණිලි කරන්න පුළුවන් නගර කවුන්සිල් එකට.  මේවට එංගලන්තයේ කියන්නේ බයිලෝ Byelaws කියල .  (බයියන්ගේ ලෝ වගේ තමා ටිකක් .  ලෝකල් නිසා) . එංගලන්තෙට අලුතින් එන අය හෝ කුලියට ඉන්න අය මේවා නොදන්නා නිසා ගෙවතු හොඳින් තියා ගන්නේ නැහැ.  එනිසා අසල්වැසියෙක් පැමිණිලි කලොත් උන් ජාතිවාදී, වර්ණවාදී  අරව මේවා කියල ඉතින් බනිනව.  

මම එංගලන්තෙට ආපු මුල්ම කාලේ (රුසියාවේ ඉගෙන ගන්න කොට )  එක දවසක කෙන්සින්ටන් වල ඔය චොකලට්  සිගරැට්  විකුණන පොඩි පෙට්ටි  කඩේකින් චොක්ලට් එකක් ගන්න ගියා .  ඉන්දියන් කාරයෙක් තමා වෙළෙඳම් කලේ .  මම චොකලට් එකට  සල්ලි දීල ඉල්ලුවහම එයා වික්කේ නැහැ. මට අවුල් නිසා මම එතනින් යන්න හැදුවම වෙළෙන්දා  ආයේ මට කතා කළා . උඹ ළඟ දී ද මෙහෙට ආවේ කියල ඇහුව.  මම ඔව් කිව්වා. කොහෙන්ද කිව්වහම , ශ්‍රී ලංකාවෙන් කිව්වා . මිනිහ මට හොඳ පාඩමක් කියා දුන්න.
"මෙහෙමයි මේ රටේ මොනවා හරි ඉල්ලන කොට අපේ රටේ වගේ කෑ ගහන්න ඕනේ නැහැ .  ප්ලීස් කියන වචනය කීවහම ඇති .  දුන්නහම තෑන්ක් යූ කියපන්. " 
මම කීවා, 
"මම නිකන් ඉල්ලුවේ නැහැනේ . උඹෙන් සල්ලි දීලනේ ඉල්ලුවේ" කියල.  එතකොට එයාම  කිව්වා
 "නැහැ. උඹ සල්ලි දුන්නත් ප්ලීස් කියල තැන්ක් යූ" කියන්න ඕනේ. ඒක හොඳ සිරිතක් මේ මිනිස්සුන්ගේ  කියල.  ඒකහොඳ  අවවාදයක්.  දැන් ඉන්න කම්පැනි එකේ අපේ කන්ට්‍රැක්ට් ගත්ත  ඉන්දියන් කම්පැනි වලින් අයිටී කට්ටිය  කතා කරන  කොට ප්ලීස් කියල කියන්නේ නැහැ .  එතකොට ඒක නිකන් අණ දීමක් වගේ කියල තේරෙනවා.  මම ඕක වරක් මට වැඩේ භාර දුන්න ටීම් ලීඩර් කෙනෙකුට මෙන්ෂන් කලහම ඒකි ගත් කටටම කිව්වා "සවුත් ආසියානු පැත්තේ ප්ලීස් වචනය හෙම වැඩිය භාවිතා වෙන්නේ නැහැ .  මටත් මළ පනිනවා . නමුත් ඒ එහෙ හැටි.  ගණන් ගන්න එපා කියල ." 
 ජර්මනියේත් මොකක් හරි ඉල්ලන කොට හෙම බිට (bítte) හෙවත් ප්ලීස් කියන කෑල්ල කියනවා .  එහෙම කීවේ නැත්නම් ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයත් වෙනස්.  මොකකට හරි ස්තුති කලහම යූ වෙල්කම් හෝ බිට ෂෝන් කියල කියන්න ඕනේ .      

අපේ ඔෆිස් එක පිටි පස්සේ තමා බී ඇන්ඩ් කිව් (B & Q) කියන ගොඩනැගිලි අලුත්වැඩියා වට වගේම වෙන ඕනෑම අලුත්වැඩියාවකට අවශ්‍ය අටවන භාණ්ඩ ගන්න පුළුවන් DIY  (do it yourself හෙවත්  අටවන) කඩේ තියෙන්නේ.  මම එතැනින් පැනෙල්  හතරක් ගත්ත වටේ හතරක් තමා කැඩිලා තිබ්බේ. බ්‍රයන් අයිරිෂ් කාරයන්ට බනින එකත් සාධාරණයි.  උන් ගේ වික්කේ මේවා හදන්නේ නැතිව.  අපි බැලුවෙත් නැහැ.  අයිරිෂ් කාරයට පෙනුනේ බ්‍රයන් ගේ ජාතිවාදී කම විතරයි . 


පැනෙල් හයි කරලා තියෙන්නේ සිමෙන්ති කණු දෙකක් මැද. ඔය ෆොටෝ වල තියෙන්නේ පැනෙල්  අපේ ගෙවත්තේ දෙපැත්තේ . 



 මගේ පැත්තේ ඒවා (සුදු මල් තියෙන )   ආයේ දාන්න ඕනේ .  අල්ලපු පැත්තේ එකා ගණන් ගන්නෙත් නැහැ. කුලියට ඉන්න බ්‍රසීල කට්ටියක් .  
 පරණ එක අරන් අලුත් එක දාන එක ලෙහෙසි වැඩක්.  මම පැනෙල් දාන්න යන කොටම බ්‍රයන් කඩන් පැන්න. 

"හා හා ඕවට තීන්ත ගාන්න ඕනේ මිනිහෝ .  නැත්නම් වැස්සට  දියබත් වෙලා කැඩිලා යනවා." 

"මල මගුලක් නේ මේක. මට කලින් කියන්න එපැයි දැන් ආපහු යන්න ඕනේ තීන්ත ගන්න" මමත් කඩන් පැන්න.

එතකොට බ්‍රයන් කියනව "වරෙන් යන්න ගැරේජ් එකට. මගේ ළඟ ඉතුරු තීන්ත වගයක් තියෙනව. ඒක ගාමු. උඹ පස්සෙ ගෙනල්ල දීපන් මට ඕනේ වෙලාවට. ඔෆිස් එක ළඟ නේ කඩේ තියෙන්නේ" කියල. අපි ගේ ඉස්සරහ පැත්තට ගියා. ගැරේජ් එකේ දොර ඉස්සරහ තියෙන්නේ .

ඔන්න ඔය වෙලේ බ්‍රයන්ගේ ගර්ල්ෆ්රෙන්ඩ් එනවා අපේ දිහාවට. බ්‍රයන් මට හඳුනල දුන්නා මේ මගේ ගර්ල්ෆ්‍රන්ඩ් පවුලින්. අවුරුදු හැට පහක හැත්තෑවක විතර ලංකාවේ විදිහට කියනවනම් ආච්චි කෙනෙක්. ඒවුනාට ඇත්තටම එයා ලස්සනයි. ලස්සනට ඩෙනිමක් ඇඳලා එනකොට මට තේරුනා එයා කකුලක් ඇද ඇද එන්නේ කියලා. පුංචි කාලේ පෝලියෝ හැදිලා ඒ කකුල ඇද වෙලා තියෙන්නේ. බ්‍රයන් ටෝක දාල තියෙන්නේ ජීපී හෙවත් දොස්තර ගේ ඔෆිස් එකේ ඉන්න කොට . බ්‍රයන් යන තැනක හැමෝටම කතා කරනවා හැබැයි. මේ බ්‍රයන් ගේ හතරවෙනි හෝ පස්වෙනි කාන්තාව. ඉනෙස් හිටියා එළියේ. පෞලින් ඉනෙස්ට කියනවා

"අනේ මටත් ඒෂියන් කොල්ලෙක් එක්ක යාළුවෙන්න ඕන කමක් තිබ්බා. අපේ ඔෆිස් එකේ හිටිය. හරි ගියේ නෑනේ" කියල. එහෙම කියල ඇවිත් මගේ වම් අතේ උඩ හරියෙන් මිරිකුවා. බ්‍රයන් කාරයා හැක හැක ගාලා හිනාවෙනවා.

"උඹ පරිස්සම් වෙයන් ඕකි ගෙන්" කියල. පෞලින් දැන් බොරු තරහක් අරගෙන . මම ඇහුව ඉතින් ඉන්දියන් කොල්ලට මොකද වුනේ කියල .

"අපොයි ඌ ඉන්දියාවට ගිහිල්ලා කසාදයක් කරන ආවනේ. උගේ අම්ම කීවලු."

" මම කිව්වා ඒවානම් එහෙම තමයි. මෙහෙ ඉන්න අය එහෙ ගිහින් බැඳලා එනවා . අපේ ටැමිල් අයත් එහෙමයි කියල ."

එතකොට තමයි බ්‍රයන් කීවේ "මේ අජිත් ලංකාවේ කොල්ලෙක්. ලංකාවේ උන් හොඳයි." කියලා. එහෙම කීවේ ඇයි කියල මට තේරුනේ නම් නැහැ.


 ගොඩක් වයසයි කියලා අපිට හිතුනට එංගලන්තෙ මේ වගේ කපල් හුඟක් ඉන්නවා. සැමියා හෝ බිරිඳ මියගිහිල්ල නං තව කවුරුහරි කෙනෙක් එක්ක යාළු වෙනව. ඇවිදින්න යන්න, පික්නික් එකක් යන්න, සෙනසුරාදා ඉරිදට බියර් බොන්න පබ් එකට යන්න වගේ වගේ දේවල් එකට කරනවා . එහෙම ජිවිතේට සහකාරියක් හෝ සහකරුවෙක් එකතු කර ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේ දෙන්න තියන් ඉන්න නිදහස. බ්‍රයන්ට ලොකු ගෙදරක් තිබ්බට පෞලින් ඇවිත් ඉන්නේ දවස් දෙකයි . පෞලින් එයාගේ ගෙදර දුවත් එක්ක ඉන්නේ . නැත්නම් අර මටත් වැඩිය වයස දුව උයන් කන්නෙවත් නැතිලු .


තීන්ත අරන් එලියට එනකොට තව කෙනෙක් එකතු උනා. මයිකල් කියන්නේ බ්‍රයන්ගේ ලොජර් . වැඩිය අපිත් එක්ක මුලදී කතාවට ආවේ නෑ. ඒ වෙලාවේ එලියට ඇවිල්ල අපිට වැට ගහන්න උදව් කරන්න. මම පස්සේ දැනගත්ත විදියට මයිකල් කියන්නේ සිවිල් ඉංජිනේරුවෙක් . බ්‍රයන් තනියම තමයි එයාගේ ගේ අලුත්වැඩියා කරන්න පටන් අරන් තියෙන්නේ . මුලදී අපේ ගේ වගේ කාමර තුනේ එකක් . දකුණු පැත්තේ ඉඳන් ගරාජයක් හදල ඒක උඩ තව කාමරයක් හදල කුස්සිය පිටි පස්සට අරගෙන කාමර හතරක ලොකු ගෙයක් කරලා. වහලත් උඩ වෙනස් කරලා, මොකද දික් කරන්න ඕනේ කාමර වෙනස් කරනකොට . එතකොට මයිකල් තමයි structural engineering කෑල්ල කියලා දීලා තියෙන්නේ. බාල්ක හරියට දාන්නේ කොහෙටද වගේ දේ.මොකද නැත්නම් වහළවල් කඩා වැටෙන්න පුළුවන් . ඔය ගෙවල් හදන වැඩේට විරසක වෙලා තමයි බ්‍රයන් ගේ දෙවෙනි බිරිඳ අත හැරලා ගිහින් තියෙන්නේ. නිමක් නැති ගෙවල් හැදිල්ලක් කියල.

වැඩ ඔක්කොම කලාට පස්සේ මයිකල් කාමරයක් කුලියට අරගෙන නතර වෙලා. එයත් දික්කසාද වෙච්ච කෙනෙක්. ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කෙනෙක් ඉන්නව ටිකක් ඈත ඉල්ෆොර්ඩ් පැත්තේ . මට එතකොට වයස තිස් ගණනක්නේ. මයික් ට පනස් ස් ගානක් වගේ. බ්‍රයන් තමයි වැඩිමලා.


 අන්තිමට උනේ සුද්දො දෙන්නා එකතුවෙලාවේ මගේ පැනල් ටිකට තීන්ත ගාලා දුන්නෙ එක. උන්ට තේරුණා.මම ජීවිතේට හරියට තීන්ත ගාපු කෙනෙක් නෙවෙයි කියලා. බ්‍රයන් කියල දුන්නා මුලින් බේස් කෝට් එකක් ගාලා  දෙවැනි පාර ආයේ හරියට ගාන්න ඕන කියල. එතකොට තමයි පැනල්  වැස්සට තෙමුනට මුකුත් වෙන්නෙ නැත්තේ. පින්සල හරියට අල්ලන හැටි හෙමත් කියල දුන්න . වැඩේ කියන්නේ ඉනෙස් තීන්ත ගාන්න දන්නවා හොඳට. එයාලගේ දෙමාපියන් ගේ ගමේ ගෙයක් තියනවා නිවාඩුවට ඉන්න. ඒකෙ පවුලේ කට්ටිය එකතු වෙලා කැඩුණු තැන් පිළිසකර කරලා තීන්ත ගාන නිසා එයත් ඉගෙන ගෙන. මම රුසියාවේ ඉන්න කොට තේරුන දෙයක් තමයි රුසියානුන්ට උනත් මේ DIY වැඩ හොඳට පුළුවන් කියන එක .


  පැනෙල් ටික හයි කරහම ඇත්තටම ලස්සනයි.  අපි කට්ටියටම තේ හදලා දුන්න.  ඉනෙස් හදපු  ඇපල් ස්ට්රුඩල් කියන ජර්මන් අතුරුපස එක්ක . කොළ පාට ඇපල් පොඩියට කපල සෝස්පැන් එකකට දාල වතුර, කුරුඳු , වැනිලා වගේ දේ සහ සීනි දාල තම්බනවා. හොඳ ජෑම් වගේ දෙයක් හැදෙනවා . ඊට පස්සේ අපි ඔය පේස්ට්‍රි හෙම හදන පිටි වලින් හදපු පිටත ෂිට් තියෙන්නේ . ඒවා ඇතුලට දාල කිචන් ෆොයිල් වලින් වහල බේක් කරනවා. ඔය මැක්ඩොනල්ඩ් එකේ ඇපල් පයි කියල විකුනන්නෙත් ඒ වගේ එකක්. ඉනෙස්ගෙන් තමයි මම ඒ අතුරුපස එක ගැන ඉස්සෙල්ලම දැන ගත්තේ. උඩට අයිසින් සීනි දාල කස්ටඩ් හරි අයිස් ක්‍රීම් උඩට දාගත්ත්තම හරිම රසයි.


පැනල් දැම්මට පස්සේ අපි කට්ටිය එකිනෙකාට වඩා හිතවත් වුනා කියලයි මට තේරුනේ .


අපේ අහල පහල අයනම් බ්‍රයන් එක්ක වැඩි ඇයි හොඳයියක් නැහැ. ස්කොට්ලන්ත කපල් එකක් ඉන්නවා අපට ගෙවල් හයකට එහායින් . තවම ඉන්නවා දැන් අවුරුදු 25 ට වැඩියි මේ චතුරශ්‍රයේ . එයාලා ඉනෙස් එක්ක කියල තියෙනවා

"බ්‍රයන් නාහෙට නාහන එකෙක්. අනිත් අයට උගන්නන්නමයි එන්නෙ. අපට පුදුමයි ඔයාල බ්‍රයන් එක්ක ඔළුව ගහගෙන ඉන්න ඉන්න එක නම්" කියල . ඉනෙස් කියල තියනව අජිත් බ්‍රයන් එක්ක යාලුයි . දෙන්න තකට තක කියල .

ස්කොට්ලන්ත දෙන්න දැන් වුනත් පාරේදී හම්බ වෙලා කතා කලාට එතනින් එහාට සම්බන්ධයක් නැහැ. අපිත් දැන් මේ චතුරශ්‍රයට විත් අවුරුදු 25 වෙන්න ළඟයි.


අජිත් ධර්ම - 11/08/2024


Monday 29 July 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 3 - අළුත් නිවසට



කතාවේ කලින් කොටස් දෙක මෙතන 

අපි ලේටන්  වල ඉඳන් අලුත් නිවසට බඩු ඇද්දේ  වෑන් එකක් කුලියට අරගෙන. ඉතුරු බඩු  ටික ෆෝඩ් ෆියෙස්ටා එකේ. පොඩි කාර් එක වුනාට බඩු ගොඩක් ඒකෙ පටවන්න පුළුවන්. ඇල්බටා තරිඳුවා ගේ ඔයිල් පැල්ලම් පොත  ගැන මම ලියද්දි ඒ කාරෙක ගැන ලීවා මෙතන.  මට දැන් පේනවා බ්‍රයන් නලියනවා කාරෙක ගැන මොකද්ද කියන්න.

"උඹ පරණ කාර් වලට කැමතිද" 
"එහෙම එකක් නැහැ. අපට අතේ වැඩිය සල්ලි නැති නිසාත් මේක අඩුවට ලැබුන නිසා ගත්ත එකක. රන් කරන්න ලාභයි ." මම  කිව්වා.
"ජර්මනියේ හදන ඕන කාර් එකක් හොඳයි." බ්‍රයන් නිකන් යාලු කමට වගේ කීවේ ඒකනම්.  බ්‍රයන් ට තිබ්බේ  ක්ලැසික් Mazda කාර්  එකක්. මට ඒකෙ  හෙඩ්  ලයිට් වහල දල ස්ටාර්ට් කරන කොට ඇරෙන එක නම් නෝටිස් වුනා ටක් ගාල. 

අපි ඇවිත් තුන්වෙනි දවසේ වගේ මම වැඩ ඇරිලා ගෙදර එනවා.  ගේ ඉස්සරහ පොලිස් කාර් දෙකක්. මම බැලුව බ්‍රයන් කාරයට කවුරුහරි පිහියෙන් ඇනල වත්ද කියල. නැහැ මෑන් එළියේ හිනා වෙවී කතා කර කර ඉන්නව.

මට ලියන්න අමතක වුනා කලින් ලිපි දෙකේම. අපට ගේ වික්ක අයිරිෂ් යුවල කියල තිබ්බ බ්‍රයන් පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් කියල. ඉතින් මම හිතුව පරණ  සෙට් එක වෙන්න  ඇති කියල.

මම කාර් එක පාක්  කරලා හිනාවක්  දාගෙන ගෙට  යන්න හදන කොට බ්‍රයන් කතා කළා.
"අජිත් මේ මගේ දුව ජැකී"  . බ්‍රයන්ට වැඩිය උස, අඩි හයක විතර පොලිස් කෙල්ල අත ඔසවලා හෙලෝ කියන්න සංඥාවක් කළා. ඊට පස්සේ බ්‍රයන් අනිත් පොලිස් කාරයා  පෙන්නල කීව,
  
"මේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් බැරී. මගේ දුව බ්‍රිටිෂ් ට්‍රාන්ස්පෝර්ට් පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මාව බලන්න එනවා සතියකට සැරයක් වගේ"

"කොච්චර හොඳද" කියල මම ගෙට ගියා. මොකද උන්  දෙන්න අතට අත දෙන්න ආවේ නැහැ, සාමාන්‍ය  සුද්දෝ කරන විධිහට. නිකම් විමසුම් බැල්මක් දාගෙන හිටිය විතරයි.

ඉනෙස් ආවහම මම කතාව කීව. අපට නිකන් පාට් එක්ක දාන්න පොලිස්  දුවව ගෙනාවද කියන අදහසත් හිතට ආව . ඉනෙස් කීව එයාගේ දුව තාත්ත බලන්න එන එක සාමාන්‍ය දෙයක් නේ කියල. ඉනෙස් ගේ රීසනින් හුඟක් වෙලාවට හොඳයි ඒ වගේ.  
ඊට පස්සෙම දවසේ බ්‍රයන් ගාඩ්න් එක පැත්තෙන් හම්බ වුනා. අපි දෙගොල්ලගෙ ගේ පිටිපස්සේ ගාඩ්න් දෙක  වෙන්වෙන්නේ කොට ලී පැනෙල් ගහපු වැටකින්.  බ්‍රයන්  ගේ ගාඩ්න් එක ලොකුයි. මොකද ඒක කාමර  හතරේ පළල්  ගෙයක්. අපේ ගේ කාමර තුනේ ගෙයක්. බ්‍රයන් ගේ කෙලවරේ එකක් නිසා තව ඉඩ තිබ්බ. එයා ඒකට ඉදිරි දොර ගාව ඉඳන් ගේ පිටි පස්සට වෙනකන් ගරාජ් එකක් හදල තිබ්බ. හැබැයි ඒකට කාරෙක දාන්නේ නැහැ. මිනිහගේ වඩු වැඩ ආම්පන්න, ප්‍රෙෂර් වොෂර් , තව අඩුම කුඩුම වගයක් තමා තිබුනේ. බ්‍රයන්ට ඕනේ ලී  වැට අලුත් වැඩියා කරන්න. දකුණු පැත්තේ එක මගෙලු. මට අලුත් පැනෙල් දාන්නලු. මම පොරොන්දු වුනා හොයල බලල කරන්නම් කියල. 

මම වැඩ කරන ඩිපිඑස් මෘදුකාංග ආයතනයේ වැඩත් හොඳින් ගලාගෙන යනව, ගිහින් අවුරුද්දකට හමාරකට පස්සේ මම මගේ කම්පැනි එක වහල දැම්ම. මොකද එංගලන්ත නීතියට අනුව වසරකට සැරයක් ආදායම් වියදම් යවන්න ඕනේ කම්පැනි හවුස් එකට. ඒ වෙනකොට ඒ බිස්නස් එක නිවාඩු වෙලාවේ  හෝ සෙනසුරාදා, ඉරිදා  කරන එකත් මම අත ඇරිය. හිටිය ක්ලයන්ට්ස් ලාටත් වෙන අතක් බලා ගන්න කියල. ස්කොට් මට උදේට පරක්කු වෙලා එන්න ඉඩ දීල තිබ්බේ. flexible ටයිම් කියල. ඔෆිස් එකේ ඉඳන් ගෙට එන  A 10 පාරේ දකුණු පැත්තේ ලොකු තණ පිට්ටනියක්  තියනවා ෆුට්බෝල් ස්ටේඩියම් එකක් එක්ක.  වැඩ කරන සෙට් එක ඔතනට ෆුට්බෝල් ගහන්න යනවා සතියකට දින දෙක තුනක්. . මමත් කැමතිම ගේමක් නිසා මමත් එකතු වුනා. එතන ඉඳන් ගෙදෙට්ට පයින් එන්න පුළුවන්. ඒ දවස් වල ෆුට්බෝල් ගහපු කම්පැනි එකේ උන්  ගෙන් පොඩි රොබට් හෙවත් රොබට් කුක් තවමත් දැන් ඉන්න කම්පැනි එකේ වැඩ කරනවා. ඉතින් එතන ෆුට්බෝල් ගහල ඒ ළඟම  තියෙන පබ් එකේ බියර්  එකක් දෙකක් බිල  කට්ටිය ගෙවල් බලා යන්නේ. බියර් වලට හුඟක් වෙලාවට කම්පැනි එකෙන් ගෙව්වා. ඒ කාලේ හැම  සිකුරාදාම හවසට බියර් (හෝ වෙනත බීමක් උනත් ගන්න  පුළුවන්)  බොන්න යනවා කම්පැනි එක ගානේ.  පොඩි බොසා  ස්කොට් (ඔපෙරේෂන් ඩිරෙක්ටර) සහ ලොකු බොසා ඔස්මනුත් ඉඳල හිටලා එනව. හවසට ගෙදර ආවම  මම නිදහස්. සෙනසුරාදා ඉරිදා අපි දෙන්න ඇවිදින්න කොහේ හරි යනවා. මේ නිසා මට හිතුන තමන්ගේ බිස්නස් එකක් කරනවට වඩා මේක ආතල් කියල ජිවිතේට. ඉනෙස් ගේ අදහස වුනෙත් ඒකයි.

 ස්කොට් මට එන්ජියරින් පූල් එකේ තිබ්බ කම්පැනි කාරෙකක් අඩු ගානට ගන්න කීව, මොකද කම්පැනි එකට අලුත් ඒවා ගන්න නිසා. සාමාන්‍යයෙන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් කාර් විකුණන කම්පැනි එකකින් ඇවිත් අරන් යනව. මේක ෆෝර්ඩ් එස්කෝට් එකක්.. මම ඒක  අරගෙන ආවහම බ්‍රයන් බලන් ඉන්නවා ගේ ඉස්සරහ.

"උඹලට දැන් කාර් දෙකක් තියනවනේ. උඹට පයින් යන්න පුළුවන් නේද "
මම කිව්වා 
"මම දාඩිය දාගෙන යන්න කැමති නැහැ ඔෆිස් එකට. මේක ලෙහෙසියි. විනාඩි පහයි. මට අට වෙනකන් බුදිය ගත්ත හැකි. " කියල. 
ටිකක් නම් මනම් කතා කරල  බ්‍රයන් කියනව - "මම උඹල දෙන්නට කැමතියි. උඹල අපේ බදු සල්ලි වලින් ජිවත් වෙන උන් නෙමේ. තමන් මහන්සි වෙලා වැඩ කරලා බදු ගෙවල ජිවත් වෙන උන්ට මම කැමතියි " 
 
  මම හිතුව මෙයා  මේ සංක්‍රමණික විධිහට ඇවිත් දේශපාලන අනාථ භාවය ඉල්ලන අය ගැන කියන්නේ කියල. ඒ නිසා මම  කිව්වා, "බ්‍රයන් සමහර වෙලාවට අනාථයෝ විධිහට එන අයට මුලදී අමාරු නිසා රජය උදව් කරන්නනේ".
 කියල පොරව තරහ කරගෙනත් බැහැනේ.
බ්‍රයන් කියනවා. "නැහැ මම ඒ ගැන නෙමේ කිව්වේ. අපේ සමහර එවුන් (ඉංග්‍රීසි හෝ බ්‍රිතාන්‍ය ජාතික) උපන්දා  ඉඳන්න්  රස්සා නොකර ආණ්ඩුවෙන් කකා ඉන්නවනේ. ඒකට මම අකමැතියි. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ දුවට  අවුරදු හදහඅටේ ඉඳන්  ආණ්ඩුවෙන් ගෙවනවා. රස්සාවකට යන්නෙත් නැහැ. මහතයි, අරකයි මේකයි, හයියෙන්  ඇවිදින්න බැහැ වගේ  මගුල් කියල සල්ලි ගන්නවා ආණ්ඩුවෙන්. අපේ ගොබ්බ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ.  රස්සාවක් නම්, ඕකි  මම දන්නා කාලෙක  ඉඳන් කරන්නේ නැහැ"

"හැමෝම රස්සා කල  යුතු බව නම් මමත් පිලි ගන්නවා බ්‍රයන්. එංගලන්තේ ඔය විධිහට සහනාධාර  දෙන්න පටන් ගත්තේ සෝවියට් දේශය නිසා. මෙහෙ දුප්පත් මිනිස්සුත් කැරලි ගහයි කියල"
 
"අපොයි ඒ ඒකාධිපති රාජ්ජේ  ඉවර වෙච්චි  එක හොඳයි. අපි උන්ට වැඩේ දුන්න."
කියල බ්‍රයන් මහා හඬින් හිනා වුනා.

මටත් පොඩ්ඩක් තදවුනා කියපු කතාවට. සෝවියට් බයස් නේ මම. නමුත් මම පෙන්නුවෙ නැහැ . 
බ්‍රයන්, කොමියුනිස්ට් වාදයේදී හැමෝම වැඩ කරන්නේ තමන්ගේ හැකියාවට අනුව, අවශ්‍ය තරමට. නමුත් හැමෝම රැකියා කරනවා. නොකර ඉන්න බැහැ. සෝවියට් දේශයේත් ඒක එහෙමයි."
 බ්‍රයන් මං දිහා බැලුවේ ටිකක් විමතියෙන්. මම රුසියාවේ හිටිය කියල මෙයාට තවම කියල නැහැ. එහෙම කියල මම මාරු වුනා ගේ ඇතුලට.

ඉනේස්ට කීව බ්‍රයන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල. බ්‍රයන් ගේ වයස හැත්තෑවක් විතර ඇති ඒ වෙනකොට. ඉතින් අර විධිහට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කීවහම පොඩ්ඩක් විතර හිනා ගියා මට. වැරදියි තමා. දැන් දන්නවා හීනවීම අනවශ්‍යයි කියල. 

මම ලීවනේ අනිත් පැත්තේ ගෙදර වයස අසූවක විතර අච්චියෙක් ඉන්නේ කියා. එයාගේ හැට වියැති දුව හා බෑනා එනව එයාව බලන්න හැමදාම වගේ. ඇවිත් ගාඩ්න් එකේ වැඩ කරලා මල්වලට වතුර දාල වල් පැල උදුරලා හෙම යන්නේ. තමන්ගේ පුංචි ගාඩ්න් මල් වවල හෙම ලස්සනට තියා ගන්න එක යුරෝපීය  මිනිසුන්ගේ හොඳ සිරිතක්. ඒ වගේම  පොඩි පර්චස් දෙකේ වගේ ඉඩම් කෑලි ආණ්ඩුවෙන් අරගෙන ග්‍රීෂ්ම කාලෙට එළවලු වවන එකත් මේ අය කරනවා. ඒවාට අලොට්මන්ට්  කියල කියන්නේ. ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඒ වගේ  ඉඩම් හරි අඩුයි  දැන්නම්.  මෙහෙ ඉන්න ඒ වගේ වග කරන  කරන අපේ යාලුවෝ  ඉන්නව. අපේ යෙහෙළියක් වන ටෙක්ලා  ඒක හොඳටම කරන කෙනෙක්. අපටත් හොඳ එළවලු  හම්බ වෙනවා  එයාගෙන් සමහර වෙලාවට.  සුජිත්  සහ ඩිලානි  කියල යුවලක් ඉන්නව ඒ වගේ ගෙදර තරමක් ලොකු ගාඩ්න් එකක් තියෙන නිසා ඒකෙ  එළවලු වවල  යාළුවන්ටත් දෙනවා.   අපේ පුංචි ගෙවත්තෙත් ඉනෙස් තක්කාලි, සුහිනි , බෙරි වර්ග (මාදං වගේ) දාල තියනව. 

මේ ආච්චි දුවල ගාවට යන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. මේ දදුවයි බෑනයි දෙන්න   ඉනෙස්ට ඕපාදුප කියනව. ඉතින් ඉනෙස් මට ඇවිත් ඕපාදුප ටික කියනව.

බ්‍රයන් ට්‍රැෆික් පොලිස් කාරයෙක්. කසාද ගැහැණු දෙන්නයි. දෙන්නම නීතියෙන් දික්කසාද වෙලා. දුවල දෙන්නයි. දෙන්නම මුල් බිරිඳ ගෙන්. ජැකී හෙවත් ලොකු දුව වීතරයි තාත්ත බලන්න එන්නේ . දෙවෙනි  දුව එන්නේ නැහැ. එතකොට බ්‍රයන් එයාගේ  අල්ලපු ගෙදර හිටිය ගැහැණු කෙනා එක්කත් සම්බන්ධයක් තිබිල තියෙනවා. ඒ ගැහැණු කෙනා ඒ සම්බන්ධය නිසා හෝ වෙනත් හේතුවක් නිසා අධික ලෙස මත්පැන් පානය කරලා තියනවා  ජිවිතේ නැතිවෙලා තියෙන්නෙත් ඒකෙන්මයි . එතකොට ඒ ගෙදර ඉංග්‍රීසි ජාතික මනුස්සය එයාගේ පුතා ඩේවිඩ් එක්ක ඉන්නේ. ඇක්සිඩන්ට් වෙලා කකුලකුත් තුවාල වෙලා  තියෙන්නේ.

හැබැයි බ්‍රයන් ඒ මනුස්සයට උදව් කරනවා මම දැකල තියනවා. මට හිතෙන්න ගත්තේ ඇත්තටම මේ මිනිස්සු බ්‍රයන්ට අකමැති, බ්‍රයන් මුණට හැමදේම කියන නිසා කියල. මමත් එහෙමයි නේ. මට හිතුන හැබැයි ඒක  අවංකයි නේද කියල. එතකොට අපි දන්නවා අපි ඉන්නේ කා  සමගද , වැඩ කරන්නේ කා එක්කද කියල. මූණට හොඳට හිනාවෙලා ඊට පසේ පිහියෙන් අනින වැඩ කරන අය අප අතර ඕන තරම් ඉන්නවනේ. මේ යකා  සුදු ජාතිවාදියෙක් වෙන්න පුළුවන්. දක්ෂිණාංශිකයෙක් වෙනත් පුළුවන්. නමුත් ඒ බව සඟවන්නේ නැහැ. එක්තරා  විධිහකට ඩිල් කරන්න ලෙහෙසියි.

ඊළඟ සතියට යමු. බ්ලොග් ලිපි ෂෝට් කරන්නත්  එපැයි, අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව.

අජිත් 29/07/2024



Sunday 21 July 2024

සුන්දරත්වයෙන් පසු කලාව "කන්නද"


කලාව කන්නද යැයි ඇසුවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ජේ ආර් ජයවර්ධනය. ඔහු එසේ පැවසුවේ කලා මාධ්‍යයෙන් අධ්‍යනය කරන සිසුන් වැඩි නිසාද එසේ නොමැති නම් සරච්චන්ද්‍ර මහතාට ඔහුගේ මැරයන්  කළ ප්‍රහාරයෙන් පසුවද යන්න මට මතක නැත. ජේ අර ජයවර්ධන ඇත්තටම කලාව ගැන නොදැන සිටියේද? 
කිසියම් කලා කෘතියක්, චිත්‍රයක් , ගීතයක් රස විඳීමට නම් ඒ ගැන උගත යුතුද? ගීතයක්, චිත්‍රයක පසුබිම් කතාවක් ඇත්නම් එහි අගය වැඩි වේද? විචාරයක්   කිරීමට නම් කලින් කලා කෘති හැදෑරිය යුතුද? මේ අදහස් පැන නගින්නේ "සුන්දරත්වයන් පසු කලාව" කෘතිය පරිශීලනය කරද්දීය. 

මම මුලින්ම චිත්‍ර ප්‍රදර්ශනයක් බැලීමට ගියේ මගේ සහෝදරියක්  සමග විනී හෙට්ටිගොඩ මහතා ගේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයටය. ඔහු විසින් අත්සන් කල කාටූන් චිත්ර ඇඳි පොතද මිලයට ගත්තෙමු. ඉන්පසු සෝවියට් දේශයේදී බොහෝ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ගියෙමි.  පළමු අවුරුද්දේ බරෝදින් නැමැති පෙදෙසේ නැපෝලියන් පරාජය කල සටන දැක්වෙන කෞතුකාගාරයකට රුසියානු ගුරුතුමිය අප රැගෙන ගියාය. ඇය විස්තර කර දුන් නිසා ඒ චිත්‍රවල ඉතිහාසය දැන  ගත්තෙමු. ඉන්පසු ලෙනින්ග්‍රාද් නගරයේ මෙන්ම මොස්කව් වල බොහෝ කෞතුකාගාර වල චිත්‍ර ප්‍රදර්ශන මෙන්ම පල්ලිවල චිත්‍රද නැරඹීමට ගියෙමි. චිත්‍ර ප්‍රදර්ශනයකට යාමේදී හෝ පොතක් කියැවීමේදී ඔපෙරාවක් නාට්‍යයක් බැලීමට යද්දී  ඒ පිලිබඳව කිසියම් තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමට උත්සුක වීමි.   

මා රැකියාව  කල ආයතනයේ ඇලන් ෆිස්ක් නමැති මහතෙකු අපේ මෘදුකාංග සඳහා තාක්ෂණික උපදෙස් පොත් (මැනුවල්) ලිවීමේ රැකියාවේ යෙදුනි. බීබීසි හා වෙනත් මාධ්‍ය වල සේවය කල ජනමාධ්‍යය වේදියෙකු වූ රොබට් ෆිස්ක් ගේ සහෝදරයා ඔහුය.  මේ දෙදෙනාම ගත් කතුවරුය.  ඇලන් ෆිස්ක් ඉතාලියේ  පුනරුද සමයේ නිර්මාණය වූ චිත්‍රයක් පිළිබඳව "මල්සරා  සහ නිහඬ දෙවඟන" (Cupid and the silent goddess) නමින්, ලියූ  පොතක් මට කියවීමට දුන්නේය. ෆ්ලොරන්ස් නගරයේ මෙදිචි ආදිපාදවරයා 1544 දී ඇග්නොලෝ බ්‍රොන්ට්සිනෝ නැමැති කලාකරුවාට "වීනස් සමග කියුපිඩ්" පිලිබඳ උපමා සිතුවමක් (Allegory)  නිර්මාණය කිරීමට අණ කළේය.  මේ පොතේ ඒ ගැනය.
  
ඇලන් ෆිස්ක් ලියූ  මේ පොතින් මා උගත්  දේවල් බොහෝය. ඒ වකවානුවේ ඇතැම් කලාකරුවන්ට ිත්‍ර කලාව ඉගෙනීමට පැමිණිස උදව් කරුවන් සිටියහ. ඔවුන් පොහෝ විට තරුණ පිරිමි දරුවන් විය. මාස්ටර් ළඟ නැවතී චිත්‍ර කලාව ඉගෙන ගන්නා ඔවුන්ට තම මාස්ටර් වෙනුවෙන් බොහෝ දේ කරන්නට සිදුවිණි. අත් උදව් දීමට අමතරව කෑම බීම උයා දීමද, බදු ගෙන ඒමට කඩ පිලට යාමද මෙන්ම රාත්‍රියට බිරිඳක වීමටද පිරිමි ළමුන් වන ඔවුන්ට සිදු වුනි. මෙසේ සිතුවමට පාදක වුනු මූලික කතාවට අමතරව අතුරු කතාවක්ද මේ පොතේ ලියැවෙයි. එදාසිට මම තව දුරටත් චිත්‍රයක් දෙස  සැහැල්ලුවෙන් නොබලමි.

මේරි ඇක්ටන් විසින් සිතුවමක් හඳුනා ගන්නේ කෙසේද යන්න ගැන "Learning to look at paintings " නමින් පොතක් ලියා තිබේ. දීප්ති කුමාර ගුණරත්න "සුන්දරත්වයට පසු කලාව" පොතේ gaze යන වදන විපරම් කරද්දී ඇය භාවිතා කරන්නේ looking යන වචනයයි. සිතුවමක් බලන්නට ඉගෙන ගනිද්දී සෞන්දර්ය හා කලාත්මක පැත්ත ගැන සිතීම ඒ ගැන විචක්ෂණශීලිව බැලීම තරම් වැදගත් බව ඇය කියයි. ඇයට අනුව කලා කෘති පිලිබඳ ඉතිහාසය ඉගෙන ගැනීම බොහෝ සෙයින් වෙනස් වී ඇත්තේ විචාරාත්මක න්‍යාය (critical theory) විවිධ මතවාදයන්ට ඉඩ දීම නිසාය. ඒ මතවාදයන් අතර මාක්ස්වාදය, මනෝ විශ්ලේෂණය, ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, විසංයෝජනය මෙන්ම ස්ත්‍රීවාදයද වෙයි.

කලා විචාරක ක්ලෙමන්ට් ග්‍රීන්බර්ග් පවසන්නේ වියුක්ත කළා කෘතියක් දෙස විධිමත්ව බැලීම (formalist looking ) හරහා අපට දෘෂ්‍ය වස්තූන් කෙරෙහි ගැඹුරු රසඥතාවයක් ඇති කරගන්නට උගන්වයි, යනුවෙනි. මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ බසින් අමුර්ත කලාව (abstract art) හෙවත් වියුක්ත කලාව 'දැකීමට' අප පුහුණු කරන අතර , අපේ ඇසට , සංයුක්ත කලාව අගය කිරීමට ඉඩ සලසයි.

ප්‍රසන්න විතානයන් ගේ "අනන්ත රාත්‍රිය" ගැන විචාරයක් ලියන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙසේ පවසයි.

"ඕනෑම කලා කෘතියක් යථාර්ථයෙන්ම නිරූපණය කරතැයි කියනු ලැබේ. එය එසේ කරන්නේ සුවිශේෂය නිරූපණය කිරීම මගිනි. සුවිශේෂය තුළින් හා සුවිශේෂය හරහා සාමාන්‍යය නිරූපණය වෙයි.


  මේ විනා කලාකරුවාට යථාර්ථයන් නිරූපණය කිරීමට ෙනත් ක්‍රමයක් තිබේද? 


කලාව සාමාන්‍යය නිරූපණය නොකරයි නම් අධ්‍යාත්මයන් අතරින් පාලම් බඳින්නේ,‍ අන්තර් සන්නිවේදනාත් වන්නේ කෙසේ ද? කලාව ගැන මා කියන දේ  ඔබට තේරෙන්නේත් කෙසේද?


 කලාව යථාර්ථය නිරූපණය කිරීම මගින් අපගේම ඇතුළු හතට ආලෝක ධාරා විහිදුවයි.


  කලා කෘතියක් සැඳුම් ලබන්නේ අපගේම බාහිර ආධ්‍යාත්මික මූලද්‍රව්‍ය වලිනි.  එය විශ්ලේෂණය කළ කල්හි අපට දිස්වන්නේ අපම මුහුණ පා සිටින ගොරතර තතුය. කලාව හරහා අපි ඒවායෙහි පරප්‍රාප්ත වෙමු. ඒ අප්‍රිය වූ අමනාප වූ වෛරී වූ තතු පෙරළා දැමීම සඳහා, වඩා  සුසංවාදී,  සුපුෂ්පිත ජීවිතයක් පැතීමද ලැබීමද සඳහා අප එසේ ලබන ඥානික හා භාවික ඥානය පූර්ව කොන්දේසි වෙයි." (උපුටාගැනීම මගෙනි)

සිතුවමක් අඳින , නිමවන විධික්‍රම බොහොමයක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය කළ හැකිය. කලාකරුවා මුලින්ම කෘතිය සංවිධානය කරමින් එය තුලට ගන්නේ මොනවාද ඉවත් කරන්නේ මොනවාද යන්න නිර්ණය කරයි. මෙය composition ලෙස හැඳින්වේ. දහ හත්වන සියවසේදී එනම් බැරොක් සමයේදී අවකාශය (හා පරිසරය) නිරුපණය කිරීම වැදගත් විය. මේ චිත්‍ර පල්ලි වල ඉහල සීලිම් වල, බිත්ති වල , මාළිගාවල අදත් දැකිය හැකිය. බෙනිනි, බෝරෝමිනි, පියේට්‍රෝ දා කොටෝනා, රෝමයේ කරවාගියෝ වන සිත්තරුන් බැරොක් අනුගමනය ශිල්පින් ලෙස මෙහිදී නම් කල හැකිය. එල් ග්‍රේරෝ ගේ "ඔර්ගස් කවුන්ට් වරයා ගේ භූමදානය" නම් චිත්‍රයද බැරොක් ශෛලියේ එකකි. මෙහිදී සැබවින්ම සිදු කලේ යථාර්තය පිළිබඳ මායාවක් නිර්මාණය කිරීමය.

දහ අටවන සියවස වන විට පැබ්ලෝ පිකාසෝ ත්‍රිමාණ ව්‍යුහයන් චිත්‍ර වලට රැගෙන ආවේය. මෙය හැඳින්වුණේ cubism නමිනි. ඔහු මනුෂ්‍ය රූපය පිළිබඳව හොඳින් හදාරා විවිධ තල මත ඒවා නිරූපණය කළේය. එහිදී එම රූප මනුෂ්‍ය ව්‍යුහයේ ඒකාග්‍රතාවයට හානියක් සිදු කලේ නැත. මයිකල් ඇන්ජෙලෝ ගේ "ජෝනා වක්තෘවරයා" නම් චිත්‍රය ත්‍රිමාණ මානයන් හොඳින් පැහැදිලි කර පෙන්වයි. මෙහිදී වස්තුවේ දිග වෙනස් කරමින් නරඹන්නා ඉදිරියට පැමිණෙන අතර සමහර වස්තුන් නරඹන්නා ගෙන්ඉ වත්ව යයි. ත්‍රිමාණ මානයන් සාදන්නේ ඒ මගිනි.

"දක්ෂ චිත්‍ර ශිල්පියකු යනු ‘ත්‍රිමාණ  ලෝකය’ උත්කර්ෂණය නොකොට පැතලි පෘෂ්ඨයකට රැගෙන එන්නාය. චින්තනයේ අමු ස්වරූපය යනු, වචනයි. එවිට, චිත්‍රය යනු, ත්‍රිමාණ ලෝකය සහ වචනය අතර මැද පවතින අවකාශයයි. චිත්‍රයක් නරඹන කෙනෙකු එය අවබෝධ කරගන්නවා යනු මෙම පැතලි  යථාර්ථය වචනවලට පෙරලීමයි. පැබ්ලෝ පිකාසෝ වැනි චිත්‍ර ශිල්පියකු ට තමා අවට පවතින ත්‍රිමාණ  ජ්‍යාමිතික වස්තුන් ද්විමාන පැතලි පෘෂ්ඨයකට අවශෝෂණය කරන ලදි. එයට චිත්‍ර කලා ඉතිහාසය තුළ ලැබුණු නම වූයේ ඝනික වාදයයි. (cubism) පිකාසෝට අනුව ත්‍රිමාණ  ලෝකය නිශේධනය කළ යුත්තේ යථාර්ථය ත්‍රිමාණ නිසාත් එය පලා යෑමක් නිසාත්ය. ත්‍රිමාණ  වස්තූන් පැහැදිලි පෘෂ්ඨයක් මතට ඌණනය කරන විටදී, වර්ණයට  වඩා රේඛාව සහ ආකෘතිය අධිනිශ්චය වෙයි. පොළොක්ට බලපෑවේ මෙම පැතලි ඝනික වාදයයි."- (සුන්දරත්වයට පසු කලාව -පිටුව 201)

සරේලිස්ම් හෙවත් අධි යථාර්තවාදී සිත්තම් කලාව විසි වන ශත වර්ෂයේ සිට ප්‍රසිද්ධ විය. ශාන්ත පිටර්බර්ග් නුවරදී මා ගිය එවැනි කෘතීන් පිරි කලාගාරයක සිත්තම් මේ ලිපියේ දැක්වේ. සාන්ත පිතර්බුර්ගයේ එර්මිතාෂ් (Hermitage) කෞතුකාගාරයේ "අධි-යථාර්ථවාදය" චිත්‍ර ප්‍රදර්ශනය එම ලිපියේ මම මෙසේද සඳහන් කළෙමි.

"විසිවන සියවසේ යථාර්ථවාදයේ ස්වරූප බොහොමයකි. හයිපර් - හෙවති අධිතාත්විකවාදය (Hyper-realism), සර් හෙවත් අතාත්විකවාදය (surrealism), ඡායා-යථාර්තවාදය (Photo-realism), සමාජ යථාර්ථවාදය (Social-realism) හා මායාවී යථාර්ථවාදය (magical-realism) මේ අතරින් කිහිපයකි. මේ සියවස අගභාගයේ සිට තාත්විකවාදී නැඹුරුව වඩා උනන්දුවට මෙන්ම සාකච්චාවට බඳුන්වී තිබේ."
වර්තමානයට එනවිට, ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ චිත්‍ර ප්‍රදර්ශන කරන චන්ද්‍රගුප්ත තේනුවරගේ බැරලිස්ම් අපට සම්මුඛ වෙයි. බටහිරදී තේනුවරගේ බැරලිස්ම් අපට ආඩම්බර විය හැකි පරිදි චිත්‍රකලාවේ නවතම ශෛලියකි.

දීප්ති ගුණරත්න, "සුන්දරත්වයෙන් පසු කලාව " ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.

"චන්ද්‍රගුප්ත  තේනුවරගේ බැරල්වාදය (1997) තුළදී  ලංකාවේ දෘශ්‍ය කලා ඓතිහාසයේ මංසන්ධියක් සලකුණු වෙයි. මාෂල් ඩුෂම් ගේ   පිරිනිමියක් (readymade) මෙන් තේනුවරගේ  බැරල් ද  දෛනික ජීවිතයේ හමුවන විවෘත වස්තුවකි. බැරලයක්  මීට පෙර චිත්‍ර ශිල්පියකු ප්‍රදර්ශනයකට රැගෙන විත් නැති නිසා ලංකා චිත්‍ර ඉතිහාසය තුළ කලාගාරයක 1997 වනතුරු එවැන්නක් තැන්පත් කර නැත. චිත්‍ර  කලා නිර්ණායකවලට අනුව ගැලරියක කලින් පෙන්වා නැති දෙයක් පෙන්වූ විට එය අලුත් දෙයක් බවට පත්වෙයි. ලංකාවේ චිත්‍ර කලා විචාරකයන් බැරල්වාදය  පිළිබඳ පළ කරන්නේ විචාරයක් නොව විස්තරයකි. ඔවුන්ට අනුව බැරැල්වාදය මගින් ප්‍රකාශ වන්නේ පොදු අවකාශයන් බිලීටරීකරණය වීමයි. එම නිසා එය මහජනයාට සුලභ දර්ශනයකි."

ශ්‍රී ලංකාවේ දී තේනුවර ගේ ජයග්‍රහණ සැළකෙන්නේ නැති තරම්ය යන්න මගේ අදහසයි. ඔහු සහ තවත් අය ලක්වන චෝදනාවක් නම් රනිල් වික්‍රමසිංහ වැනි අය ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට පැමිණීමය. රනිල් සහ මෛත්‍රී ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනය බැලීමට පැමිණීම විවේචනයට බඳුන් වුයේ බොහෝ විට රනිල් සහ සාහිත්‍ය කලාව කන්නද යයි ඇසූ දේශපාලන නායකයාට අතර ඇති ඥාති සම්බන්ධය නිසා විය යුතුය. එසේම ජනතාවට එරෙහිව බැරල් යෙදවීමේ ප්‍රයෝගික අත්දැකීම් රනිල්ට ඇති නිසාද විය හැකිය.මාර්ටින් හෛඩගර් නාසි පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටියද ප්‍රංශ හමුදාව ඔහු නිදහස් කල බවත් ඔහුගේ දර්ශනවාදය පිළිබඳ හැදෑරීම් අදටත් භාවිතා වෙන බවත් අමතක කල නොහැකිය.

දීප්ති කුමාර ගුණරත්න , සුන්දරත්වයෙන් පසු කලාවෙහි (පි.203) කියන්නේ මෙසේය.
"‘සෞන්දර්යීය’  ඉන්ද්‍රියගෝචර ලෝකයෙන් කලාවට සහ සංස්කෘතියට ඒ නයින් දේශපාලනයට ඇතුළුවනවා යනු මිනිසාගේ අතාර්කික පැවැත්ම ව්‍යුහගත වන අඩවියක් ලෙස කලාව සහ දේශපාලනය අභිෂේක වීම.යි බෙන්ජමින්ට අනුව සුසමාදර්ශී විතැන්වීමකිි.  නූතන මිනිසාට පැරණි  මිනිසාට එරෙහිව උභය ජීවී පැවැත්මක් ඇති අතර එය ඉන්ද්‍රිය ගෝචර ඥාණයට විසඳිය  නොහැකි ගැටලුවකි. නූතන කලාවට දාර්ශනික අදහසක් අවශ්‍ය වන්නේ මේ නිසාය."

ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ ග්‍රන්ථයේ කතුවරයා ඉහත කී රනිල් වික්‍රමසිංහට රෙදි නැතිව කඩේ යන්නකු ලෙස ඇති පිළි ගැනීමයි. මට අනුර කුමාර දිසානායක සහභාගී වුනු ලන්ඩන් සමුළුවේ කිසියම් තෝරාගත් ප්‍රකාශයක් කල අයෙකු හමුවිය. ඔහු ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය සඳහා වූ ස්ථානයක ඉහළ තනතුරක් හෙබවූ අයෙකු ලෙස හඳුන්වා ගත්තේය. අවාසනාවකට ලන්ඩනයේ ජීවත්වූ හා වන නිසා මම ඔහුව දන්නේ නැත. ඔහු කීවේ දීප්ති යනු ආත්මයක් නැති අපතයෙකු බවත් දීප්ති කල දෙයක් නැති බවත් රනිල්ගේ කුණු සෝදන තැනැත්තෙකු පමණක් බවත්ය. සමහරුන්ට අනුව එය එසේද විය හැකිය. මා දන්නා පරිදි දීප්ති සිතන්නේ ශ්‍රී ලංකාව ධනවාදය යටතේ දියුණු විය යුතු බවත් ලාංකිකයාගේ මිනිස් චර්යාවන් වෙනස් විය යුතු බවටත්ය.

මේ තැනැත්තා ඉන්පසු හෙළිදරව් කලේ අමුතුම දෙයකි. ඔහු 2010 ජනාධිපතිවරණයේදී සහය දුන්නේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ට නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බවය. ෆොන්සේකා යනු මිනි මරුවෙකු මෙන්ම රාජ්‍ය බලය ලැබීමට නුසුදුසු අයෙකු ලෙස ඔහුගේ ජනතාව සිතන බැවින් ඒ පියවර ගත් බව ඔහු තව දුරටත් පැවසිය. එසේනම් මහින්ද රාජපක්ෂ ගැන ඔහු සිතුවේ කෙසේද? ෆොන්සේකා ගේ නායකයා වූයේ රාජපක්ෂ නොවේද? ඔහු දැන් සහය දීමට සිතන්නේ අනුර කුමාර දිසානායකටය. 2010 මැතිවරණයේදී අනුර ඇතුළු ජවිපෙ සහය දුන්නේ ෆොන්සේකා ටය.

මා කීවේ දීප්ති සමහර විට රනිල් විසින් රාජපක්ෂ බේරා ගැනීම නොව ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වලක්වාලු අයෙකු ලෙස උදව් කරනවා විය හැකි බවය. නමුත් අපට අමතක කළ නොහැකි කාරණය නම් රනිල් රාජපක්ෂලා බේරා ගත් බවය. ඒ අතින් ඒ අනුව ඔහු හා දීප්ති අතර වෙනස කුමක්දැයි මම ඇසුවෙමි.

මට ඇත්තටම වැදගත් දීප්ති සංස්කරණය කළ හිස්ටිරියා ව, ලියූ පොත් වන කලාව සහ විසංයෝජනය , ඇසිඩ් වැස්ස විනෝදය ආදී දේ මිස ඔහු රැකියාවට කරන දේ නොවේ. මම ආචාර්ය දයාන් ගේ පියා වන මර්වින් සිල්වාගේ ලංකා ගාඩියන් සඟරාව කොල්ලා කාලයේ මිලදී ගෙන කියවූ අයෙකි. ලන්ඩන් සඟරාවේ කොපිද මා ළඟ තිබේ. මේවා ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන දර්ශනය වෙනස් කල ඒවාය.

මගේ පොතක් එලි දක්වන වෙලේ මා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට ආරාධනා කළෙමි. නමුත් දීප්ති එන්නේ නම් ඔහු සහභාගී නොවන බව පැවසීය. මම දීප්තිට ඒ බව පැවසීමි. මා දීප්තිට කීවේ සුනිල් විජේසිරිවර්ධන සෝවියට් දේශයේ උගත් අයෙකු වශයෙන් මට මේ අවස්ථාවේදී ඔහුව වඩා වැදගත් බවයි. දීප්ති එය පිළි ගත්තේය. ඔහු විසින් පෙර කලෙක කළ විවේචනයක් නිසා එම තත්වය උද්ගතව ඇති බව ඔහු කීය.
දීප්ති සමග අජිත් පැරකුම් මෙන්ම චන්ද්‍රගුප්ත තේනුවරටද ඒ කාලේ ප්‍රශ්න තිබුණි. දැන් ඒවා සමනය වී ඇත්දැයි මම නොදනිමි. ඒ බවක් පෙනී යයි. මිනිසා යනු දේශපාලන සත්වයෙකි.

සමහරවිට පහත ඡේදයෙන් පසු නැවතත් තේනුවර දීප්ති සමග  කතා කරයිද යන ප්‍රශ්නය මගේ පෘථග්ජන සිතට නැගේ. 

“එමෙන්ම කාන්ට් සිය තෙවන විචාරයේදී (Critique of judgement) සොබා දහම පිළිබඳ කුතුහලයට තුඩුදෙන උදාහරණයක් දක්වයි. ඔහු  ප්‍රංශ ගැමියකුගේ මහන්තත්වයෙන් යුතු ප්‍රකාශයක් අතිශයෝක්තියට නඟන ලදී.  ගැමියා මෙසේ ප්‍රකාශ කරයි.  අතෘප්තියෙන් කුල්මත් වූ බුර්ෂුවා  සංචාරකයෙක් හැර වෙන ඕනෑම කෙනෙක් හිමෙන් වැසී ගිය කඳු පද්ධතියක් නිසා මෝහයට පත් වන්නේ නම් ඒකා මෝඩයෙක්. බැ රල්වාදයට එන විටදී තේනුවර විසින් කරන්නේ ත්‍රිමාණ ලෝකයක පැවති ඉන්ද්‍රීය ගෝචර අත්දැකීම් අත්හිටවීම නොව එම අත්දැකීම උත්කර්ෂයට නැංවීමයි. එම නිසා තේනුවරද රටේ ජහමනයකු පරිදිම බැරල් දකින්නේ ත්‍රිමාණ ලෝකයක් තුළදීය. ගැටලුව වන්නේ ඝනිකවාදයේ දී සහ ක්‍රියාකාරී චිත්‍රවලදී මෙන් තම සංවේදනය පැතැලි කැන්වසයකට ගෙන ඒමයි. තේනුවර ඉන්ද්‍රියගෝචරත්වයට නැතහොත් සංවේදනයට ප්‍රමුඛ තැන දෙන අතර සංකල්පීයතාවයට දෙවැනි තැන ලබාදෙයි. එය චිත්‍ර  කලාව  සංකල්පවලින් ජ්‍යාමිතියට ගොදුරු කිරීමකි.” (පිටුව 206)


මහාචාර්ය සුචරිත ගම්ලත් කලාව ගැන මෙසේ සඳහන් කරයි.

"කලාව යනු සමාජයේ දෘෂ්ටිවාදාත්මක උපරි ව්‍යුහයේ කොටසකි. ඒ නිසා කලාවත් දර්ශනවාදයේ දේශපාලනය ආගම යනාදී උපරි ව්‍යුහයේ අනික් කොටසුත් අතර අන්තර් සම්බන්ධය පවතී. කලාකරුවෝ වනාහී සමාජ සම්බන්ධතාවලට උඩින් එක්ටැම් ගෙවල වසන්නා වූ සුප්‍රසිද්ධ වූ සුවිශේෂ සත්ව විශේෂයක් නොවෙති්. ඔවුන් ජිවත් වන්නේ සමාජ සම්බන්ධතා තුළය. එහෙයින් සමාජයේ පවතින දෘෂ්ටිවාද ඔවුන්ගේ අධ්‍යාත්මයන් විනිවිද යයි. අනතුරුව ඒවා ඔවුන්ගේ කලා කෘතිවලට ඇතුළු වෙයි." (සති සිතුමිණි 3. පිටුව 55)


"වෑන් ගෝ ගේ “තරු පිරි අහස’ වැනි චිත්‍රයක ඔහු මතු කරන්නේ, වර්ණ නොව කොබෝල්ට්, සින්ක් වන ලෝහ වර්ගයන් ය. මෙය, අර්ථය වෙනුවට හැඟවුම්කාරකය භාතික කරන යථකි. (දීප්ති  කුමාර ගුණරතන)  

පහත  ඇත්තේ මගේ දෙටු දියණිය ශනායා විසින් වයස දහයේදී පමණ නැවත ඇඳි එම චිත්‍රය මය. ඇයට වැන් ගෝ ගේ තරු සියල්ල පෙනුනේ සූර්යයන් ලෙසය. එහි වැරැද්දක්ද නැත. 



එසේම සැල්වදෝර් ඩාලි ගේ චිත්‍රද දීප්තිගේ පොත කියවා විමසන්නට උත්සාහ කරන්න.
ලෙනින් ගේ උද්දීපනය -1931

සිහිනය - ඩාලි 
1931



දීප්ති කුමාර ගුණරත්න ගේ පොතේ මිල රුපියල් හාර දහස් පන්සීයක් පමණ වේ. මම එය මිලදී ගත්තා මිස නිකන් දුන් පොතක් නොවේ. එය කොෆී ටේබල් වර්ගයේ පොතකි. කෝපි කෝප්පයක් හෝ තේ කෝප්පයක් මිලදී ගන්නා ගමන් වරින් වර ගොස් කියවන්නට, නරඹන්නට හොඳ පොතකි කොෆි ටේබල් පොත් ගැන හොඳ ලිපියක් නිදි ගේ පංචතන්ත්‍රය බ්ලොග් අඩවියේ ලියා තිබේ. එයට මෙතැනින් යා හැකිය.

- අජිත් ධර්මකීර්ති 21/07/2024

මූලාශ්‍ර:
Learning to Look at paintings - Mary Acton
සති සිතුමිණි 3 - මහාචාර්ය සුචරිත ගම්ලත්
Dali - Robert Descharnes, Gilles Neret

(මහාචාර්ය ගම්ලත් ගේ සති සිතුමිණි 1 සහ 2 තිබෙන අයෙකු ගෙන් ඒවා මිලදී ගැනීමට මම කැමතිය.)

ප.ලි. මෙම ලිපියේ ඇතැම් කොටස් ලිවීමට මූකලන් යායේ මහා බසු තුමා සඳහන් කල ස්පිච් ටු ටෙක්ස්ට් භාවිතා කළෙමි. ඒගැන ඔහුට මගේ ස්තූතිය හිමිවේ.