Thursday 16 November 2023

එන්ෆිල්ඩ් හි අද්භූත කතාව පිළිබඳ විග්‍රහයක් - Enfield Poltergeist - reasoning

මොරිස් ග්‍රොස්
මොරිස් ග්‍රොස් ටේප් රෙකෝඩරය සමග 


මුල් ලිපිය:   එන්ෆිල්ඩ් හි භුතයා ගේ  නිවස , 284 ග්‍රීන් ස්ට්‍රීට් (ග්‍රීන් වීදිය) - Enfield Poltergeist

මේ භූතයා පැමිණෙන්නේ යයි කියූ නිවස ඇත්තේ අපේ නිවසට මීටර නමසීයක් පමණ දුරින් බව කලින් ලිපියේ  ලීවෙමි.ඔහු භූමදාන කළා  යයි කියන  සොහොන් භුමිය තිබෙන්නේ ඩුරන්ට් ක්‍රීඩා පිටිය අසලමය.  ඒ පිටියේ පොඩි දරුවන් ට කෙළි සෙල්ලම් කරන තැනක් ඇති අතර දියණියන් කුඩා කල අපි එහි නිතර ගියෙමු.   මේ කතාවේ  දියණියන්ද එහි  සෙල්ලම් කරන්නට ඇත.

මේ ගැහැණු ළමුන් දෙදෙනා දරුවන් ලෙස බොරුවක් කරන්නේ යයි කියන කතාව මදක්  විමසා බලමු. 

විකිපෙඩියා හි ඒ ගැන ලියා ඇති තැනැත්තා වැඩි බරක් දී තිබෙන්නේ එයටය. 

මෙහිදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට සම්බන්ධ වාමාංශික ටැබ්ලොයිඩ් එකක් වන මිරර් පුවත්පත කුමන්ත්‍රණයක් දියත්  කළේය. වාමාංශිකයන් ඒ කාලයේ කොහොමටවත් මේ විශ්වාස වලට විරුද්ධ විය. සෝවියට් දේශයේ කේජිබිය මේවා ගැන  හොර රහසේ පර්යේෂණ පවත්වන බව මේ කාලයේ දැන සිටියේ නැත.  මිරර් පුවත්පත  කලේ දෙතොල් නොසොල්වා තමන්ගේ අතේ කිසියම් රූකඩයක් එල්ලගෙන කතා කරන (ventriloquist ) නාට්‍ය  ශිල්පී  රේ ඇලන් කැඳවාගෙන ඒමයි. ඔහු ඒ දිනවල එංගලන්තයේ ප්‍රසිද්ධය. ඔවුන්ගේ තර්කය වූයේ ජැනට් එලෙස කතා  කරන  බවත් මිය ගිය බිල්වි ල්කින්ස් ඇය හරහා කතා කිරීම බොරුවක් බවත්ය. 

ජැනට් හා එලිසා, ඔවුන් ගේ  මව නොමැතිව කාමරයකට කැඳවා ගත්  ඔවුහු මිරර් මාධ්‍යවේදියා ඉදිරියේ ඔවුන් කරන්නේ බොරුවක් බවට පිළි ගන්නා ලෙසට බල කළහ. රේ ඇලන් කතා  කරන අයුරු පෙන්වමින් තමන් එවැනි දෙයක් කර බවටත් ඔවුන්ගේ මව හා මොරිස් ඔවුන්ට කියන දේ ඔවුන් කරන බවටත් ගැහැණු ළමුන් කී  බවට පසුව ලිපියක් පලවිය. ජැනට් හා මාගරට් දෙදෙනාම තමන් එවැනි දෙයක් කී  බව ප්‍රතික්ෂේප කල අතර පසු කාලෙකදී ද  එය නැවතත්එ ලෙසම ප්‍රතිකෙෂේප කළහ. 
  
ඔවුන්ගේ මවට රැකියාවක් නොතිබූ බව මම කලින් ලිපියේ පැවසුවෙමි,. දරුවන් හතරදෙනෙකු බලා ගැනීම අපහසු කාර්යයකි. වැඩිමහල් පිරිමි ළමයා  හරියට හැසිරෙන්නේ නැති බව කියා ළමා නිවාසයකට ගෙන යන  ලදී. මව එනිසා සිටියේ දුක් කඳුළු පෙරා ගෙනය . පියා  ඔවුන් හැර ගොස්ය. ඔවුන්ට  රජයේ ආධාර හැරෙන්නට  හරි  හමන් මුදලක් අතේ තිබුනේ නැත.  ජැනෙට් ගේ උපන් දිනයට භූත ගවේෂක මොරිස් සහ ගයි ලිඔන්  ප්ලේෆෙයාර් සුදානම් කළ  උපන්දින සාදය  ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් දැනවූ සිදුවීමක් වියා. 

 ගයි ප්ලේෆෙයාර් පසුව මේ භූත  ගවේෂණය  ගැන පොතක් ලියා පළ කළේය. 

මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක් වන ඇනිටා ග්‍රෙගරි ද මොරිස් ග්‍රොස් හා  මා දන්නා මහාචාර්යවරයෙකු වන බර්නාර්ඩ් කාර් (ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලය) ද මේ නිවසට භූත ගවේෂක SPR සංවිධානය නියෝජනය කරමින්  ගියහා. ඇනිටා ග්‍රෙගරි "ඔහුව" විශ්වාස නොකරන බැවින් "බිල් විල්කින්ස්" (නමැති භූත ආවේශය" ) ඇය දෙවරක්ම නිවසින් එළවා දමන ලදී. (බිල් ලෙස කතා කලේ ජැනට් ය). ඇනිටා ඇගේ  පොතේ තමන් මේ සිද්ධීන් විශ්වාස නොකරන බවත් මොරිස් ඇතුළු අනිකුත් ගවේෂකයන් ගැහැණු ළමුන් දෙදෙනා ට බොරු කීමට පොළඹවන බවටත් චෝදනා කලාය.

සමහර මනෝ විශ්ලේෂකයන් මෙන්ම ඇනිටා ද  හිස්ටිරියා තත්වයක් අනුමාන කළහ.

දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කළ "හිස්ටිරියාව" පොතේ සඳහන් වෙන්නේ මනෝවිශ්ලේෂණයට   අනුව එය වැළඳෙන්නේ සම්භවය (origin) පිළිබඳ ගැටලුව  විසඳීමට නොහැකි වීම තුල බවය. (පිටුව 10)   හේතුවක් නැතිව කෑ  ගැසීම, දැඟලීම, හැඬිම කලින් වූ අර්ථ දැක්වීමකි.  නමුත් මෙම පොතේම නූතන දෛව ස්ත්‍රියගේ අනුභූතික ලක්ෂණ වලින් කිහිපයක් ලෙස බුද්ධික බණ්ඩාර මෙසේ ලියයි. (පි. 314)  "ඇඟ කිළිපොලා යන ආකාරයේ කිසිම  තේරුමක් නැතිව කරන හඬනගා සිනාසීමක් හා දැඟලීමක්, අධික අනුකම්පාවක් උපදවන අසරණකමක් හා බියසුලු බවක්, අධික ගුඨත්වයක් ඇති කරවන නිශ්ශබ්දතාවයක් හා අධික ව්‍යකුලතාවයක් ඇති කරවන හදිසි චෝදනා කිරීමක්"   
මේ අර්ථදැක්වීම් ඇනිටා ග්‍රෙගරි ගේ අදහස සමග සමපාත වෙයි. මේ ඉහත සඳහන් හැසිරීම්  සියල්ල ජැනට් හා මාගරට් කළ බව සැබෑය. නමුත් මෙහිදී හිස්ටරික ස්ත්‍රිය වනුයේ ඔවුන්ගේ මව වන මිසිස් හොජ්සන් ය. ඇනිටා ඇතුළු විශ්ලේෂකයන්ට වැරදුනේ මවගේ ස්වභාවය දරුවන්ට ආදේශ කරන්නට යෑමෙනි. මවට භුතාවේශයක් සිදු වුයේ නැත. 

මෙහිදී මම කලින් ලිපියට දැමු ප්‍රතිචාරයක් නැවත සංශෝධනය කොට පල කරමි.

මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා ගැසීම, ජැනට් අහසේ සුළු කාලයක් පාවීම , ආදිය මෙන්ම මොරිස් ග්‍රොස් විසින් පටිගත  කරන ලද බිල් විල්කිනස් ගේ කතා ද මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට් ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය. පුටු විසි කිරීම  පොලිස් නිලධරයන් හා බීබීසී  වාර්තාකාරිය  දැක තිබේ. මේවා ජැනට් ට තනියම කල නොහැකි බව ඔවුන් පිලි ගත්හ. එසේ කරන්නේ නම් ඇයට අමුතු  මානසික බලයක් තිබිය යුතුය. එසේම මේ කාලය මුළුල්ලේ බිත්තියට තට්ටු කිරීම් කරන ලදී. ඒවා විටෙක නිඅවසේ උඩ  තට්ටුවෙන්ද යට තට්ටුවෙන්ද ඇසුනි. ඒ වෙලාවට ජැනට් හෝ මාගරට් ඇඳේ වාඩිවී සිටි අතර ඔවුන්ට එසේ කිරීමට නම් අමුතු  බලයක් තිබිය යුතුය. මොරිස් මෙන්ම  අසල්වැසියන්ද ඒවාට සාක්ෂි දෙති. (බිත්ති වලට තට්ටු කිරීම සහ බඩු විසි කීරීම) 



නොවැම්බර් 12 වෙනිදා ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහායකයා වන ගයි , අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ලන්  ඉදිරියේ මේවා සිදු වී ඇත. ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරූප ද  තිබේ. මොරිස් ග්‍රොස්  මේ සිදුවීම්පැ සහ ජැනට්ය / බිල් විල්කින්ස් සම්මුඛ සාකච්චා  දෙසීයක්  පමණ ටේප් රෙකෝඩරයෙන්  පටිගත කර ඇත. එසේම මාස ගණනක් පුරා යම් යම් දේ  සිදුවූ අවස්ථාවලදීම ගත්  ඡායාරූප විශාල සංඛ්‍යාවක් තිබේ.   

මෙම SPR සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බලා  තිබුණි. මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. ඔහු මහායාන බෞද්ධයෙකු වීමේ හා මේ කතාවේ සම්බන්ධය මම නොදන්නෙමි. නමුත් මේවා ගැන සොයා යාමේදී මමද ඒ පිළිබඳව හැදෑරුවෙමි.  (අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත  හා මළවුන් සමග කතා කිරීම )   මෙම එන්ෆිල්ඩ් සිද්ධි පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබෙන අතර  ඔහුට සමහර  විද්‍යාඥයන් එදා සමච්චලයට සිනහ වී තිබේ.

 එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් මේ සිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් එක්  අයෙකු වුයේ භෞතික විද්‍යා මහාචාර්ය ජෝන් හැප්ස්ටෙඩ්ය.  හැප්ස්ටෙඩ් තමන්ගේ පරීක්ෂණ වලට ගැහැණු ළමුන් දෙදෙනා යොදා ගත්තේ ඉන් ඔවුන්ගේ මනසට වන හානිය පවා නොතකාය. ඇත්තටම මේ කුඩා කෙල්ලන් දෙදෙනාද පවුලේ අනිත් අයද ලැබ් රැට් ලා වුනු බවද  නොරහසකි.  හැඳි ගරුප්පු නැමුවේ යූරි ගෙලර් ය.  එවැන්නක් ගැන ජැනට් කතා නොකර එවැනි දෙයක්පෙ න්වා නොතිබියදී ඇයට එසේ කිරීමට හැප්ස්ටෙඩ් බල කලේ ජැනට් ට කිසියම්  මානසික බලයක් ඇතැයි යන විශ්වාසයෙනි. 

ජැනට් උගුර පිටුපසින් කතා කිරීම  ගැන වෛද්‍යවරුන් ගෙන් විමසීමේදී  කෙනෙකුට එසේ කතා කළහැකි වෙලාව මිනිත්තුවක් දෙකක් පමණක් බවත්  එසේ දිගටම කතා කරන්නේ නම් ශබ්ද උපදවන මාංශ  පේශීන් විනාශ වෙන බවත් ඔවුහු පිලි ගත්හ. එසේනම් ජැනට් දිගටම කතා කලේ කෙසේද?
මේ ගැන ලැබුණු ප්‍රතිචාරයක් නිසා මේ කොටසද එකතු කලෙමි.

ශබ්දය නිපදවන voice box එකට කියන්නේ larynx කියාය. මෙහි  මස්ල් (මාංශ පේශීන්දෙ) කක් තිබේ. . කතා  කරන ශබ්දය එන්නේ එයිනි. voice box එක තිබෙන්නේ  trachea ට්‍රිකියා එක උඩය. windpipe කියන්නෙත් එයටමය. . //The trachea is the long tube that connects your larynx (voice box) to your bronchi. Your bronchi send air to your lungs. Your trachea is a key part of your respiratory system. The trachea is made of rings of cartilage. //  අපි කතා කරන්නේ කොහොමද? අප හුස්ම ගන්නා  විට  vocal cords  විවෘතව  වාතය නිදහසේ  ඇතුලට ගමන් කරයි.කතා  කරන විට  මේ vocal cords වැහෙන්නේ හුස්ම ඉවතට යනවිටය. එවිට  මේවා vibrate වේ. මේ වෙව්ලීම නැත්නම් vibration එකින්   ශබ්දය නිපදවේ.
ඇනිටා ග්‍රේ නැති මනෝ විද්‍යාඥවරිය පැවසුවේ ජැනට් ගේ මාමා කිවේ ජැනට්  බිල් ගේ කටහඬ ලෙස ගැඹුරු කටහඬක් පුරුදු වී කරන බවයි. මතකතබා  ගන්න ඇය වයස 11ක දැරිවියකි. එසේ නම් කවුරුන් හෝ ඇයට එය පුරුදු කල යුතුය.. ඇගේ  මුවට එක මයික්‍රොෆෝන් එකකුත් ගෙල පිටුපසට්තවත් එකකුත් තබා බැලීමේදී ජැනට්  එම ගැඹුරු "භූත " කටහඬින් කතා කරන විටහඬ එන්නේ ගෙල පෙදෙසින් බවයි. 


ප්‍රශ්නය වන්නේ කෙනෙකුට යටි උගුරින් හෝ උගුරේ පිටුපස පෙදෙසින් එසේ ගමබුරු ලෙස බොහෝ වෙලාවක් කතා කල නොහැකිය. එක්කෝ කැස්සක් එන අතර වතුර බොන්නට අවශ්‍ය වේ. එසේම  වෛද්‍යවරු පවසන්නේ එසේ කතා කරන විට vocal cords විනාශ වෙන බවයි. (සොයා බලන්න)  ඒ කියන්නේ ඇය කතා කරන්නේ දෙවෙනි vocal cords නැත්නම් secondary vocal cords වලින්ය. මේවාට false vocal cord කියාද කියයි. laryngeal ventricle නමැති ටිෂු එකකින් මෙය ප්‍රධාන true vocal cord වලින් වෙනවා පවතී. මෙය ඇත්තේ කතා කිරීමට නොවේ. නමුත් ඒවාද vibrate වන තර ගැඹුරු රළු කටහන්දක් නිපදවිය හැකිය. (ඕනෑම කෙනෙකුට) නමුත් කිසියම් සීමිත වෙලාවක් පමණි. ජැනට් පැය දෙක තුන එම ශබ්දයෙන් කතා කිරීම මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව අපහසුය. 

ඇනිටා ඒ  චෝදනාවට මොරිස් ග්‍රොස්  කලේ කුමක්ද? ජනට් ගේ කටට වතුර පුරවා කට වසා  ගන්නට අණ  කොට නැවත ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කර "භූතයා " වන බිල් විල්කින්ස් ට කතා කිරීමට ආරාධනය  කිරීමයි. ජැනට් නැවතත් "බිල් " ලෙස කතා කළාය. ශබ්දයේ වෙනසක් සිදු වුවද තවමත් "බිල්" ගේ වචන පැහැදිලිව ඇසේ. අනතුරව අධිමානසික පර්යේෂක මොරිස්  කලේ තද සෙලෝටේප් පටියකින්  (සාමාන්‍ය  ඒවා නොව කාඩ්බෝඩ් පෙට්ටි වලට දමන පටි) වතුර පුරවන ලද ජැනට් ගේ කට වැසිමයි. (මෙය වධයක් ලෙස මට සිතේ) නමුත් මෙහිදීද ජැනට් අර විධිහටම උගුර යටින් කතා කලාය. ඔබට එසේ කල හැකිදැයි බලන්න. වයස එකොළහක් හෝ දොලහක් වයසැති කෙල්ලක් මේවා පුරුදු වී කළා යයි ඔබ විශ්වාස කරනවාද? (මේවා ඔප්පු කරන ටේප් රෙකොර්ඩර් සහ ඡායා රූපද  ඇසින් දුටු සාක්ෂිද තිබේ. ) 

ඇපල් ටෙලිවිෂනය මගින් කරන ලද වාර්තා චිත්‍රපටයේ අවසානයේ ඔවුන් ඉතා වැදගත් සොයා ගැනීමක් කරයි. ඒ භූතයා තමන් හඳුන්වා ගත්තේ බිල් විල්කින්ස් යන නමින් නිසා ඔවුන්ගේ පවුලේ අය සොයා යාමයි . බිල් ගේ පුතා  ඔවුන්ට කතා කර තිබුනේ තවත් වාර්තා චිත්‍රපටයක් බලාය.

මගේ ප්‍රශ්නය කලින් ගවේෂණ කළ අය හා සැක  පහල කළ අය විලියම් නමැති භූතයා හෙවත් බිල් විල්කින්ස් ගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කලේ නැත්තේ ඇයිද යන්නය.

බිල්ගේ පුතා මෙසේ පවසා ඇත.

1. මේ කටහඬ මගේ නැතිවුණු පියාගේ. ගැහැණු ළමයා නැති වුනු පියාගේ කටහඬින් කතා කරන්නේ කොහොමද යන්න මට වටහා ගන්න අපහසුයි. අප ඔවුන් කිසිදාක හමු වී නැහැ.

2. ජැනට් මගේ පියා  මැරුණු විධිහ ගැන කියන එක ඇත්ත. ජැනට් "බිල් විල්කින්ස්" ගේ හැඳින් පැවසුවේ තමන් (බිල්) මියගියේ  පහල තට්ටුවේ පුටුව (සෙටියේ තනි පුටුව) මත බවත් ලේ ගැලූ බවත්ය. ඔහු හදිසියේම මිය ගිය බවද ජැනට් හැඳින් කතා කල කෙනා  පැවසීය. පුතාට අනුව  බිල් මියගොස් ඇත්තේ මොළයේ හෙමොරොයිඩ් එකකින් හෙවත් අභ්‍යන්තර ලේ වහනයකිනි. මිය ගොස් තිබුනේ පහල තට්ටුවේ පුටුව මත තනියමය.  

3. බිත්ති වටා තට්ටු කිරීමේ හඬවල්  ඇසීම ගැන පුතා කීවේ මෙවැනි කතාවකි. දෙවන ලෝක යුද්ධයේදී බිල් සහ ඔහුගේ යහළුවන් ජීවත්ව ඇත්තේ මේ පැත්තේමය. මෙහි බෝම්බ වැටෙන විට දිව යාමට බිම් ගෙවල් සාදා තිබුණි. ඒවාට කිවේ බොම්බ් ශෙල්ටර් කියාය. සතුරු ගුවන් යානා එන  බවට සයිරන් මගින් දැනුම් දෙද්දී බිල් සහ ඔහුගේ මිතුරෝ බිත්ති වලට තට්ටු කර එකිනෙකට දැනුම් දෙති. ටකට ටක්, ටකට ටක් යනුවෙන් තුන් වරක් දැනුම් දී ඔවුන් බොම්බ් ශෙල්ටර් එකට දුවති. පුතා කියන්නේ බිල් ඒ ගැන ඔහුට පවසා තිබූ අතර ජැනට් ගේ බිත්ති වලට බිල්ගේ භූතයා හෝ කිසියම් අධිමානසික බලයක් ක්‍රියා කරන්නේ එම ලෙසටම බවයි.  

මේ කතාව අදටත් එංගලන්තයේ සාකච්චා වන්නේ ඇයිද යන්න ඔබට වැටහෙනු ඇත. ජැනට් සහ ඇගේ සොයුරිය තවමත් ජිවතුන් අතර සිටින අතර ජැනට්  තවමත්  මේ ප්‍රශ්නය  නිසා පීඩා විඳින බව පැවසුවාය.

මේ කතාව වැදගත් එතරම් පර්යේෂකයන් ගණනක් සොයා බලද්දිත් තවමත් එක නිගමනයකට පැමිණීමට ඔවුන් සියල්ලටම  නොහැකි වීම නිසාවෙනි. 

මගේ පෞද්ගලික අදහස නම් බහුමාන විශ්වයක මෙවැනි දෙයක් සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. අපි වැනිම තවත් පුද්ගලයෙක් වෙනත් කාල අවකාශයක සිටිමට ඇති හැකියාව මට බැහැර කිරීමට නොහැකිය.  නිව්ටන් කාලය හා අවකාශය  නියතයක් ලෙස ගෙන භෞතික විද්‍යා නියමයන් ඉදිරිපත් කළේය. ඒවා සැබෑ වන්නේ  එම රාමුවේදී පමණකි.  අයින්ස්ටයින් තම සාපේක්ෂතාවාදය නියමය ඉදිරිපත් කරදී අවකාශකාලය  යන සංකල්පය ගෙනා අතර අවකාශය (වොලිබෝල් නෙට් එකක් මෙන්)  නැමෙන බවද පෙන්වා දුන්නේය. 
 (අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් - ලිපිය බලන්න) ඔහුගේ රාමුවේදී අවකාශය හා කාලය එක්ව නියතයක් වේ.
ක්වන්ටම් භෞතික  විද්‍යාවේදී අප දන්නේ ඉතා කුඩා අංශු වලට එය නිවැරදි නොවන බවය. එනම් අවකාශකාලය නියතයක් නොවේ. අවකාශය-කාලය සමග නියතයක් නොවේ කියන්නේ අප සිටින මානයට අමතරව වෙනත් මාන තිබිය හැකි බවය. අංශුන් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ඒවායේ අතුරුදහන් වීමට හැකි බවය. බහුමාන හෝ බහු විශ්ව කතාව එන්නේ එතැනිනි. 

මහාචාර්ය  බර්නාර්ඩ් කාර් මෙසේද පැවසීය. මේ භූත ආවේශය හෝ එම දේ කරන කිසියම්  දෙයක් වේ නම් ඒවා  හානිකර නොවන අතර  ඒවා mischievous බවයි. එනම් "ඔහු" කරන්නේ තරමක් දඟකාර සෙල්ලමක් නැත්නම් මැර කමකි.  මේ ගැන සිතීමේදී මට වැටහුනේ අප බලන බොහෝ ත්‍රාසජනක හොල්මන් චිත්‍රපට බොරු ඒවා නොවේද යන්නය. ඒවා කිසි විටෙක සැබවින්ම සිදු ඒවා නොවන අතර භූත ආත්ම හෝ එවන් කතා වල  ආතුරයාට කිසිම් හානියක් සිදුවී නැත. හානි සිදුවී අවස්ථාවල බොහෝ විට ඔප්පු වී ඇත්තේ ඒවා බොරුවට ආවේශ වීම් හෝ කිසියම්  යටි අදහසකින් කරන ඒවා බවය. එනම් මුදල් ලබා ගැනීම් , කපටිකමින් වෙනත් දේපල අත්පත් කර ගැනීම් හෝ තරුණියක් මුලාවෙන් වසඟ  කර ගැනීම් ආදියටය.  

මේ නිසා ඉතා කලාතුරකින් ජැනට් ගේ අත්දැකීම් වැනි දේවල් අපට දැන ගන්නට ලැබෙන අතර අර බොරු දේවල් නිසා මේ ගැන පර්යේෂණ කිරීම වැළකී යයි. 

මා සහ කැනඩාවේ සිටි ලවුලන් ද ලංකාවේ ඇතැම් මිතුරන්ද සම්බන්ධව  කරන ලද සමහර පර්යේෂණ වලින් ලැබූ දත්ත නිවැරදි  ඒවා  බව මගේ හැඟීමයි. අපට යටි අරමුණු තිබුනේ නැත.  ජැනට් ලාගේ කතාවද බොරුවක් බවට ඔප්පු කල නොහැකි එකකි.

අජිත් ධර්මකීර්ති -2023-11-16
 




 

Sunday 29 October 2023

එන්ෆිල්ඩ් හි භුතයා ගේ නිවස , 284 ග්‍රීන් ස්ට්‍රීට් (ග්‍රීන් වීදිය) - Enfield Poltergeist

ජැනට් උඩ විසිවෙන පින්තූරය චිත්‍රපටයට සම්බන්ධය 

පෝල්ටර්ගෙයිස්ට් යනු ජර්මන් වචනයකි. එහි තේරුම ශබ්ද නගන භූතයා යන්නය. 

අප සිටින නිවස පිහිට ඇති පාර ඇත්තේ ග්‍රීන් වීදියට සමාන්තරවය. අපි වසර විසි තුනකට ප්‍රථම මෙහි පදිංචියට එන විට දරුවන් දෙදෙනා ඉපිද තිබුනේ නැත.  ඒ දිනවල මට හොල්මන් කතා පිළිබඳව ලොකු උනන්දුවක් තිබුනේද නැත.  මගේ මව, ලොකු දුව ඉපදුනු නිසා ලන්ඩනයට  පැමිණි විට ඇයත් සමග ග්‍රීන් විදියේ පැත්තක ඇති ඩුරන්ට් උද්‍යානයේ  ඇවිදීමට නිතර ගියෙමි. සමහර විට ඉනෙස් ද දුව ප්‍රෑම් එකට  දමාගෙන අප සමග ඇවිදීමට ආවාය.මෙය හරහා යනවිට දකුණු  පැත්තේ ඇත්තේ ඇන්ග්ලිකන් පල්ලියේ සොහොන් බිමයි. මෙය අක්කරයක පමණ පෙදෙසක පැතිරී තිබේ. මගේ මව මේ හරියෙන්  යනවිට ඒ පැත්ත නොබලා හෝ ඇස් පියාගෙන යාම අපට විහිළුවක් විය. වරක් අපි මේ  සොහොන් බිම තුලින් යාමට සැරසුණු විට ඇය එයට මහත් විරෝධයක් දැක්වූවාය.
මේ තිබෙන්නේ සැබෑ පින්තුරයයි 


මේ කාලයේම මම කලින් බ්ලොගයේ ලිපි පෙළක් ලියු මළවුන් සමග කතා කිරීම පරීක්ෂණ අරඹා සිටියෙමි. ලිපි පෙලේ දෙවන ලිපියට මේ යොමුවෙන් යන්න- භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි.
 අපේ එම කණ්ඩායමේ ඇමෙරිකානු සාමාජිකයෙක් වරක් මා සිටි පෙදෙස අසා එසේනම් එන්ෆිල්ඩ් භූත නිවසක් ගැන දන්නේ දැයි ඇසීය. මා  ඒ බව නොදන්නා  බව කී පසු ඔහු ඒ පිලිබඳ විස්තර මට එව්වේය.

අපේ නිවසේ සිට මීටර 850 පමණ දුරින් ඇති මේ  නිවස එන්ෆිල්ඩ් නගර සභාව මගින් අඩු මිලට කුලියට දෙන ගෙයකි. (රැකියා නොමැති අයට)  කාමර තුනක් තිබෙන තරමක විශාල ගෙයක් වන එය ඉදිරිපට බ්‍රිම්ස්ඩවුන් ප්‍රථමික  විදුහල තිබෙන නිසා  පාසල් යන වයසේ  කුඩ ළමුන්  සිටින පවුලකට හොඳ වාසස්ථානයකි.  හොජ්සන් පවුල හැත්තෑව දශකයේ අග මෙහි පැමිණි අතර එහි සිටියේ ළමුන් හතර දෙනා  සහ මව පමණි. භූතයා වැහුනා යයි කියන්නේ වැඩිමහල් දහතුන්  වියැති මාගරට් සහ එකොලොස්  වියැති ජැනට් හොජ්සන් ටය.  මව රැකියාවක් කලේ නැති අතර රජයේ දීමනා වලින් ජිවත් වූවාය. මේ සිදුවීම් පටන් ගෙන තිබුනේ 1977 සිට 1979 දක්වාය.  

මුලින්ම මාගරට් ට වැහුණු භූතාත්මය ඇය තුලින් කතා  කරන්නට පටන් ගෙන ඔවුන්ට වහාම නිවසින් පිටවෙන්නට අණ කර තිබුණි. ඉන්පසු පුටු එහෙ මෙහෙ කරන්නටද පිඟන් වට්ටන්නටද පටන් ගෙන තිබේ. ඔවුන් මුලදී එය විහිළුවකට ගත් පසු ලාබාල  ජැනට් ට ද මෙම  භූතයා  වැහුනි. මෙහිදී මව වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබු අතර පොලිසියට දැනුම් දී තිබුණි. මෙහිදී එන්ෆිල්ඩ් පොලිසියේ නිලධරයකු  ලොග් පොතේ සඳහන් කර තිබුනේ පුටුවක් එහා මෙහා වීම ඔහුටද ගැටළුවක් වූ බවය.

 ඒ දිනවල අසල්වාසීන් ද, සමහර අධිමානසික සිදුවුම් පර්යේෂයකයන්ද, සමහර පුවත්පත් කලාවේදීන් ද මේස පුටු එහා වීම. ගැහැණු ළමුන් දෙදෙනා ඇඳ උඩින් හෝ බිමට උඩින් අහසේ  පාවීම ආදිය දුටු බවට වාර්තා කර තිබුණි. 
අපේ අසල්වැසි නිවසේ ජිවත්වි වූ ශ්‍රාම ගිය  පොලිස් නිලධරයෙකු වූ බ්‍රයන් ගෙන් විමසු විට ඔහු කීවේ  වැඩි මහල්  මාගරට් බිත්තියේ ඇලී සිටිනු ඔහු දුටු බවයි. 

ගැහැණු ළමුන් දෙදෙනා කතා කලේ බිල් විල්කින්ස් නමැත්තකු ගේ කට හඬින්ය. (හෝ එසේ වෙනස් කරගත් පිරිමි කට හඬකින්) 
ජැනට් හා මාගරට් එම හඩින් කතා  කරමින් කියා ඇත්තේ  තමන් මැරුණු බිල් විල්කින්ස් බවත් තමන් ඩුරන්ට් උද්‍යානයේ සිට පැමිණියේ තම නිවැසියන් බැලීමට බවත්ය. තමන් ගේ මිනි වල තිබෙන්නේ එම සොහොන් බිමේ බවත්ය.  ඔහු  එය ඔහුගේ තමන්ගේ නිවස නිසා වහා එම නිවසින් පිටවන ලෙස අණ කර තිබේ. 

මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා  ගැසීම ආදිය මෙන්ම පටිගත කරන ලද බිල් විල්කින්ස්  ගේ කතා ද  මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට්  ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ  අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය. 

නොවැම්බර් 12 වනදා  ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා  ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහයකයා, අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ල ඉදිරියේ මේවා සිදු වී ඇත.  ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරුප තිබේ.

බිබිසි රේඩියෝ ව  1978 දී මේ පිලිබඳ වාර්තා වැඩ සටහනක් ඉදිරිපත් කරන ලදී.  එහිදී වැඩ සටහන් නිෂ්පාදකයා බිල් විල්කින්ස් නැමැත්තෙකු ඇත්තටම සිටියා දැයි සෙවූ අතර ඡන්ද නාම ලේඛනයේ විලියම් සහ එදෙල් විල්කින්ස් 1960 සිට 19622දක්වා ජිවත්ව ඇති බවට සොයා ගත්තේය. බිල් යනු විලියම් කියන නම කෙටි කර කියන්නකි. (උදා: බිල් ක්ලින්ටන්) . බිල් (විලියම් ) විල්කින්ස් මිය ගොස් ඇත්තේ 1962 දීය. ප්‍රශ්නය වන්නේ දහතුන් වියැති  මාගරට් හෝ එකොලොස් වියැති ජැනට්ට  මේ බව දැනගන්නට විධිහක් නොමැති වීමයි. නමුත්  බිබිසි වාර්තාකරු සොයා ගත්තේ විල්කින්ස් වළ දමා ඇත්තේ මේ ඩුරන්ට්ස් සොහොන් බිමේ නොව ලැවෙන්ඩර් හිල් සොහොන් බිමේ බවය. 
මේ තියෙන්නේ තවමත් ඇති බිල් ගේ සොහොනය.


මොරිස් ග්‍රොස් නමැති පර්යේෂකයා  "මම ෆ්‍රෙඩ්" යනුවෙන් නාන  කාමරයේ ලියා තිබු බව සටහන් කර තිබේ.එය ලියා ඇත්තේ ජැනට් ආවේස වීමෙනි. ෆ්‍රෙඩ් නොටින්හැම් නැමැත්තෙකු මේ නිවසේ 1973 දක්වා ජිවත්ව තිබේ.  විශ්ලේෂකයකු කියන්නේ මේ කරුණු දෙමව්පියන් ගේ කතා බහින් දියණියන් දෙදෙනා දැන ගන්නට ඇති බවයි. එසේ නම් ඩුරන්ට් උද්‍යානය අසල සොහොන් බිම ඔවුන්ට  වැරදුනේ කෙසේද? නැත්නම් භූතාත්මය ට වැරදුනාද? ගැහැණු ළමුන් දෙදෙනා පවසා ඇත්තේ (දැනුදු පවසන්නේ) ඔවුන් එය නොදැන සිටි බවයි. 

Society for Psychical Research හෙවත් අධිමානසික විද්‍යා පිලිබඳ සංගමය (මොරිස් ග්‍රොස්, ගයි ලින්)  මේ ගැන සොයා බැලූ අතර ඔවුන් මේ සිදුවීම් සත්‍ය බවට වාර්තා කර තිබේ.  පය 200 කට වඩා ටේප් පටි මොරිස් මේ සිද්ධි සම්බන්ධයෙන් පටිගත කොට ඇත. 

මෙම සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ  භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බල තිබුණි. එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික  විද්‍යා නියම වලින් මේ සිද්ධීන්  පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් ඒක් අයෙකු වුයේ භෞතික  විද්‍යා   මහාචාර්ය ජෝන්  හැප්ස්ටෙඩ්ය.  මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය  බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට  අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. මෙමෙඑන්ෆිල්ඩ් සිද්ධි  පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබේ. ඔහුට සහරා  විද්‍යාඥයන් එදා සමච්චලයට  සිනහ  වී තිබේ. 

එසේම  අධිමානසික සිද්ධීන් පිලිබඳ පරීක්‍ෂා   කිරීමේ විද්‍යාත්මක කමිටුව නමැති සංගමය   Committee for the Scientific Investigation of Claims of the Paranormal (CSICOP) මෙහි පැමිණ සියලු වාර්තා සළකා මෙය බොරුවක් බවට  වාර්තා කර තිබේ.

ඔවුන් ඒ සඳහා පාදක කොට ගත්තේ ඇතැම් වාර්තාකරුවන්ට ජැනට්  හා මාගරට් බොරු දේවල් පෙන්වා ඇති බව නිසාය. ඒ කියන්නේ හැඳි නැමීමට තැත්  කිරීම, අතින් කට වසා  වෙනත් හඬකින් කතා කිරීමට උත්සාහ  කිරීම වැනි දේය. ඒ ගැන අනිකුත් පර්යේෂකයන් පවසන්නේ ඒ දිනවල ගැහැණු ළමුන් දෙදෙනාට පුවත්පත් වාර්තාකරුවන් ගෙන් හා පර්යේෂකයන් ගෙන් දැඩි පීඩනයක් එල්ලවූ බවත් ඔවුන්ගේ වාර්තා විකුණා ගන්නට ඇතැම් සිද්ධීන් බොරුවට අනුකරණය කරන්නට බල කළ බවත්ය. මහාචාර්ය හැප්ස්ටෙඩ් ඔවුන්ට හැඳි නැමීමට  බල කර තිබුණි. එක අවස්ථාවක ජැනට් මාපකය දෙස බල සිටියදී එහි දර්ශකය බිඳී ගොස් ඇත. 

මගේ අසල්වැසියා ගෙන් මේ බව ඇසූ විට ඔහු කෝපයට පත්ව මට කීවේ "තමුසේ කියන්නේ භූතාත්මය පත්තර කාරයන්ට ඕන වෙලාවට එනවයි කියලද? ඒ පැත්තේ (මළවුන්ගේ)  ඔරලෝසු තියෙනවා කියලද "  ඉන්පසු මම ඔහුට කීවේ එම නිවසේ පැල  පදියම්ව ඇතැම් පර්යේෂකයන් සිටි බවය. එහිදී ඔහු පැවසුවේ ඇතැම් පර්යේෂකයන් ගැහැණු ළමුන් ගේ අහසේ පාවීම දුටු බව ඔහු ඉදිරියේ පිළිගත් බවය. 

හොජ්සන් ලා ඉන්පසු එම නිවසින් පිටවුනු අතර හොල්මන් ක්‍රියා ද නැවතුණි. ඉන්පසු පැමිණි සියලුම නිවැසියන්ට  එන්ෆිල්ඩ් නගර සභාව මේ ගෙදර හොල්මන් පවතින බව මුලින් කියා වාසයට කැමති දැයි අසති. මෙහි අලුතින්ම පැමිණ සිටින්නේද මවක් හා දරුවන් දෙදෙනෙකි. ඇය පවසා ඇත්තේ හොල්මන් වලට බිය නැති බවයි.  
පහත ඇත්තේ මම අද ගත් එම නිවසේ ඡායාරූපයකි. වර්තමාන නිවැසියන් නිවස ඉදිරිපිට සිට ඡායාරූප ගන්නවාට අකමැතිය. ඒ බොහෝ ජපන්, කොරියන්, ඇමෙරිකන් සංචාරකයන්  මෙතනට පැමිණෙන නිසාය.  


ලංකාවේ විවේචනයට පාත්‍රවී ඇති චැනල් 4 සමාගම 2007 දී වාර්තා චිත්‍රපටයක් කළහ. ස්කයි සමහම 2015 දී වාර්තා චිත්‍රපටයක් කළේය. මෙහිදී ඕස්ට්‍රේලියාවේ දැන් ජිවත් වන ජැනට් සහ මාගරට් තමන් ඇතැම් පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ බොරු කල පිළිගත්හ. නමුත් ඉතිරි සියලු සිදුවුම් සත්‍ය බවට ඔවුන් තවමත් පවසයි. 

The Conjuring 2 නමැති බියජනක  චිත්‍රපටය මේ ගැහැණු ළමුන් දෙදෙනාගේ සිද්ධීය මුලික කොට ගෙන 2016දී එලි දක්වන ලදී. 

මම අධිමානසික විද්‍යාවන් සොයද්දී මෙවැනි සිදුවීම් ගැනද මීඩියම් ලා ගෙන් ඇසුවෙමි. ජේමි ලවුලින් (මගේ ලිපි පෙළ බලන්න) ඇතුළු සියල්ලෝම ඒවා විශ්වාස කළහ. ජේමි මළවුන් සමග කතා කිරීම නතර කලේ සියදිවි හානිකරගන්නා අය නිසා බව කීවාය. එසේම මුදලට කරන විට බොරු කියන්නට බොහෝ අයට සිදු වෙතියිද වාර්තාකරුවන් නිසා බොරු කරන අය සිටිතියිද ඇය ද අනිකුත්  මළවුන් සමග කතා කරන්නන්ද  පැවසූහ.

මගේ අදහස අපට මේ ගැන තවත් සොයා ගැනීමට දේ ඇති බවයි. උදාහරණයක් වශයෙන් අපගේ ශරීර ද  පරමාණුක අංශුන් ගෙන් සැදී ඇති අතර අපගේ ශරීර  ඇවිදින තිත් ගොඩක් වැනිය.  මම "පරමාණුවක  ප්‍රමාණය " යනුවෙන් 2015 දී ලියු ලිපියක ඉලෙක්ට්‍රොන වලාකුළ හා න්‍යෂ්ටිය අතර දුර නිසා  අප පුටුවක හරියට ඉඳ ගන්නේ නැති බව පැවසුවෙමි. අපේ ඇහැට නොපෙනෙන පරතරයක් ශරීරයේ/ඇඳුමේ හා පුටුවේ ඉලෙක්ට්‍රොන අතර තිබේ. ඒ අතර නියුට්‍රෝන අපේ සිරුරු  තුලින් ගියද අප දන්නේ නැත. ක්වන්ටම් භෞතිකය පැත්තට ගිය විට ඉතා කුඩා පරමාණුක  අංශුන් වෙනත් මානයක ට පැනීමට ඉඩකඩක් විවෘත  බව පෙනේ.  නිරීක්ෂණය කරන විට  ෆොටෝන් අංශු සේ ගමන් කරන අතර එසේ නොකරන විට තරංග සේ ගමන් කරයි.  එනිසා අප නොදන්නා දෙයක් තවමත්  තිබෙන්නට  අංශු මාත්‍රයක ඉඩක්  ඇත. සාමාන්‍ය භෞතික විද්‍යා නියමයන් (නිව්ටන්ගේ සිට අයින්ස්ටයින් දක්වා) ක්වන්ටම් ලෝකයේ පිලි පැදෙන්නේ නැත. 

තවමත් මේ සිද්ධීන් ගැන කතා වන්නේ ජැනට් හා මාගරට් ජිවතුන් අතර සිටින අතර මේවා සියැසින්  දුටු අයද  තවමත් සිටින නිසාය. එනිසා මේ සිද්ධීන්  සම්පූර්ණ  බොරුවක් යයි පිලි නොගන්නා අය බොහෝ සිටිති.

පසු කලෙක ජැනට් 

 

මා මෙය ලියුවේ ඇපල් ටෙලිවිෂන් සමාගම  අලුත්ම වාර්තා චිත්‍රපටයක් නිපදවා  ඇති නිසාය.  මෙම වැඩ සටහනේ බිබිසි වාර්තාකාරිනිය පුටුව විසිවීම තමන් දුටු බවට පිලි ගත්තාය.
මේ එහි ට්‍රේලරයයි.

- අජිත් ධර්මකීර්ති 29/10/2023
(තට්ට මහතාගේ ශනිදා දහයට එංගලන්ත අධි මානසික වේලාවෙන් 01.56 ට ලියා අවසන් කරන ලදී.)



//Grosse and Playfair interviewed the entity via Janet Hodgeson (aged 11) on Monday 12th December 1977:

'You're dead; didn't you know?

YES, I COME FROM OUT THE GRAVE.

You come from out the grave?

YES, IN DURANT'S PARK'. [p 142]


'It began to speak in bursts, as if with some effort, one or two syllables at a time.

MY - NAME - IS - BILL - WILKINS - AND - I - COME - FROM - DURRANT'S - PARK - AND - I - AM - SEVENTY - TWO - YEARS - OLD - AND - I - HAVE - COME - HERE - TO - SEE - MY - FAMILY - BUT - THEY - ARE - NOT - HERE - NOW.' [p142]


Richard Grosse (solicitor son of Maurice Grosse) interviewed Janet on Tuesday 13th December 1977:


'What happened when you died?

I WENT BLIND, AND I HAD A HAEMORRHAGE, AND I FELL ASLEEP AND I DIED ON A CHAIR IN THE CORNER DOWNSTAIRS,' [p 147]

The entity also subsequently claimed on 16th January 1978 in a message in red insulating tape on the bathroom door.

An entrance to Durants Park is off Green Street. Adjacent to the park and surrounded by it on two sides and no doubt enterable from it, is a municipal cemetery actually called 'Hertford Road Cemetery'. This is clearly what is meant in the above exchanges.
Electoral Roll for Green Street.

Inhabitants from the Electoral Roll of Enfield Parliamentary Borough (Polling District JX up to 1962; 1963 - 65 W/J; 1977 X/P) in 1960-5 and 1977



284 Green Street: in 1960, 61 & 62 William C & Ethel M Wilkins; then Ethel M Wilkins in 1963 & 64; then in 1965 Anthony S & Margaret Hodgson. In 1977 Anthony S & Margaret Hodgson.

282 Green Street: in 1960, 61, 62, 63, 64 & 65 Frederick R and Catherine B Nottingham. In 1977 Victor J & Peggy M Nottingham and Gary V Nottingham.

This established that Wilkins and his wife had lived at 284 Green Street immediately prior to the Hodgesons and gave an approximate date for his death of 1962/3.

With this information I checked the Registrar General's Birth Marriage and Death Certificate indices:-

William C L Wilkins died aged 61 in June 1963 (Edmonton 5e 381) and Ethel M Wilkins died aged 64 in June 1972 (Enfield)

and

Frederick R Nottingham (died 1973 Enfield) married (Edmonton 1919) Catherine B Slight

 and had Victor J Nottingham (born 1934 Edmonton) who married (1956 Edmonton) Peggy M Richardson

   and had Gary V Nottingham (born 1956 Leicester) who married (Enfield 1979) Gloria M Sutton

and

Anthony S Hodson married (1962 Edmonton) Margaret (Peggy) Burcombe
From: https://www.xenophon.org.uk/billwilkins.html
//

Sunday 22 October 2023

අයර්ලන්තයේ ආයුර්වේද නිෂ්පාදනයක්




ශනිදා දහයට ලියන්න කොහොමත් වෙලා නැති නිසා ඉරිමා දහයට තමා ලියවෙන්නේ. මේ පෝස්ටුව  කෙටිම  කෙටි එකක්.  මේ ඊයේ පෙරේද එංගලනතේ ෆාමසි එක්ක තිබිල ගත්ත දන්තාලේපයක්. එංගලන්තේ කියන්නේ ඉතින් ආයුර්වේදය කියන එක හොයාගෙන ඒ දැනුම අනිත් රටවලට පවා ආඩම්බරයෙන් දන් දුන්  ජාතියක් නේ. ඉතින් ඒ අය ඔය කොළ පාට පැළෑටියේ ආධාරයෙන් බෙහෙත්  හදල හෙම ගන්න කියල එයාලගේ එන්එච්එස් කියන මහා නරක පාඩු පිට දුවන  කොම්පැනි එකට හෙමත් අවසර  දීල ලු තියෙන්නේ. 

හැබැයි ඉතින් මේ දන්තාලේපය හදල තියෙන්නේ අයර්ලන්තය කියන රටේ. එංගලන්තේ සල්ලි දීලා ගන්නවා විතරයි.  අයර්ලන්තය ගැන කියන්න ඕනේ නැහැනේ. ඊළඟට එන්න ඉන්න ගරු ජනාධිපති  අනුරකුමාර දිසානායක සහෝදරයාටත් ගෙයක් හෙම තියනව කියල විරුද්ධ වාදියෝ කෑ ගහන්නේ. අන්න එහෙ. අයරලන්තෙත් ආයුර්වේදයට හෙම හෙන ප්‍රසිද්ධ රටක් නේ ඉතින්. අවුරුදු දාස් ගානක ඉතිහාසයක් තියෙන රටක් නේ ඕකත්. ඒක තමා ඒ ගොල්ලෝ ඔය වගේදේ නිෂ්පාදනය කරන්නේ. 

ආ අමතක වුනා කියන්න. ඔය දන්තාලේපය  හදන්න අමුද්‍රව්‍ය අයර්ලන්තේ  ආයුර්වේද කම්පැනි වලට අපනයනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය කියල කියන පට්ට රටකින්. ලෝකේ හොඳම රට ඒක. ඒකෙ ඕන කෙනෙකුට තමන්ගේ අදහසක් ලියා  පදිංචි කරල විකුණන්න පුළුවන්. වෙන අයගේ අදහසක් වුනත් තමන්ගේ රටේ නෙමේ නම් විකුණන්න පුළුවන්. වෙන රටවල වැවෙන ඒවා , හැදෙන ඒවා වල ඖෂධයක්   වත් හොයා ගන්න පුළුවන් වුනත් ඒකත් ලියා පදිංචි කරලා, හදල විකුණන්න පුළුවන් ඕන පෙත්තක්, ඕන ගුලියක්. හැබැයි බාස්මතී කියන හාල් එක කවුද ඇමෙරිකන් කාරයෙක් ලියා පදිංචි කරන්න ගිහිල්ල ඒවා හොරෙන් අරන් ගිහින් හදපු ඉන්දියාව කියන රටකින් වලියකුත් ඇද්ද. දැන් වලිය ඉවරයි. හොරෙන් ගත්ත ඉන්දියාවට ලු ඒ හාලේ  අයිතිය තියෙන්නේ. 

ඉතින් මේ ඇමෙරිකාව කියන රට ප්‍රෞඪ අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙන රටක් නේ. (2500 කෑල්ල තිලකසිරි ගෙන් උස්ස ගත්තේ) . ඒ ගොල්ලෝ ඔය  කොළ පාට පැළෑටි හොඳයි කියල ඒ කාලේ ඉඳන්ම  හොයාගෙන බෙහෙත් වලට ගන්නවා . මස් වලට දාලා උයනවා. කේක් වලට දාල කනවා. උරන්න ඕනේ කට්ටියට උරන්න දෙනවා.  ඔතන්න ඕනේ කට්ටියට ඔතන්න  දෙනවා. මම නම් ඒකට විරුද්ධයි. ඒ වුනාට ඇමෙරිකාව  ඕව වවල අයර්ලන්තෙට අපනයනය කරලා ගාණක් හොයා ගන්නවා. දුප්පත් රටවල් නේ ඉතින්. ජිවත් වෙන්නත් මොනවා හරි කරන්න  එපාය.
අයර්ලන්තේ ඔය දන්තාලේප වගේ  ජාති හදල එංගලන්තෙට එවනවා.

අනිත් ඔය පෝසත් රටවල් වල මන්ත්‍රිනී ල හෙම දන්නේ ඔතන වැඩේ විතරලු ඒවායින් කරන්නේ. ඒක  හොඳ වැඩක් නෙමේ  කියල අපි දන්නවනේ.  තරුණ පරපුර නැතිවෙන වැඩනේ ඔව්ව.  . ඉතින් සමහර හොඳ කට්ටිය කරුණාවෙන් ඒක පහදන්න  ගියහම එයා තමන්ගේම බෙල්ල කරකවගෙන හරියට  අර පොල්ටෙර්ගේයිස්ට් එකේ වගේ ඔන්න  දැන් ඉස්පිටිතාලේලු. එක්කෝ තමන්  මරාගන්නේ මොකටද ඔය දෙගොල්ලම දන්නේ නැහැ, නැත්නම් දෙගොල්ලම හෝ තුන් ගොල්ලම කරන්නේ  පට්ට රඟ පෑමක් කියල තමා  මට හිතෙන්නේ. 

  


Wednesday 18 October 2023

සාමයට අවස්ථාවක් දෙන්න



සමහර හිතවතුන් මගෙන් මගෙන් විමසුවේ දැන් තිබෙන තත්ත්වය ගැන කිසිවක් ලියන්නේද කියාය.  මම පෙරලා ඔවුන්ගෙන් විමසුවේ  "මම කුමක් ලියන්නද? එය බිම් බෝම්බ සහිත බිමක් නේ . මම කාගේ  හෝ  සිත රිදවන බව මට විශ්වාසයි.මේ  බෙදීම කොතරම් විශාලද යත්, ඔබ කුමක් කීවත්, ඔබ එක් පැත්තක  හෝ තවත් පැත්තක දෝෂ දර්ශනයට ලක් වනු  ඇත."

මගේ වාමාංශික මිතුරන් ගෙන් ඇසිය යුත්තේ ඔබලා හට  ඉසප්රියා  මතකද කියාය. ඇය එල්ටීටීඊ මාධ්‍ය ඒකකයේ සේවය කළ අතර, ඇයගේ ප්‍රාණය නිරුද්ධ, දූෂණය වූ, නිරුවත් සිරුර අප සියල්ලන්ම කම්පනයට පත් කළේය. එයට  ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් අනීතික කොටසක්  වගකිව යුතු අතර, ඔබලද අපිද  එය යුද අපරාධයක් ලෙස හෙළා දුටුවෙමු.

කෙසේ වෙතත්, හමාස් සොල්දාදුවන් විසින් දූෂණය කර මරා දැමු ජර්මානු තරුණියනිරුවතින්  පිකප් ට්‍රක් රථයක් මත තබා ප්‍රසිද්ධියේ  ප්‍රදර්ශනයකිරීම පිළිබඳව නිහඬතාවක් ඇත්තේ ඇයි. වැඩිහිටියන් හා කුඩා දරුවන් පුළුස්සා, හිස ගසා මරා දැමූ අතර ඒ ගැනද ඔබේ පැත්තෙන්  කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවයක් ඇත.

හිතවත් දක්ෂිණාංශිකයනි , ඔබ හමාස් කණ්ඩායම නිර්මාණයට දායක වී ඇත්තේ ඔබ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO )  අකමැති වූ නිසාය. PLO පලස්තීනයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් බවට පරිවර්තනය වෙමින් සිටි නමුත් ඔබලා  එයට විරුද්ධ වුනි. පසුගිය වසර හැත්තෑව මුළුල්ලේ පලස්තීනුවන්ට හෙළු  බෝම්බ ප්‍රහාරවලින් වසරින් වසර ඔවුන්ගේ දරුවන් මියැදුණි. PLO ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව සාම ගිවිසුමක් ඉදිරිපත් කරමින් සිටි නමුත් දක්ෂිණාංශික ආන්ඩු වෙනත් කෙනෙකුගේ ඉඩමක තම ජනාවාස ප්‍රවර්ධනය කරන අතරම සාමය සඳහා ඇති ඕනෑම අවස්ථාවක් විනාශ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

හිතවත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියන්නේ නම් , එල්.ටී.ටී.ඊ සංවිධානය සිංහල ගම්මානවල කුඩා දරුවන් ඇතුළු මිනිසුන්  හිස ගසා  දමමින් ඝාතනය  කිරීම ගැන මේ අවස්ථාවේදී මට මතක් වෙන බවයි . ඔවුන් එසේ කළේ පතොරම් ඉතිරි කර ගැනීමට යයි කියති. ඔබලාට එය පෙනුනේ නැත. නමුත්   යෞවනයන් එක්රැස් වූ පාසල් ක්‍රීඩාංගණයක් ඇතුළු සිවිල් ප්‍රදේශවලට හමුදාව බෝම්බ ප්‍රහාර එල්ල කළ බව සත්‍යයක් වුවද එය ඔබ පුන පුනා පෙන්වූයේය.  හමුදාව කීවේ ඔවුන් සටන් කිරීමට පුහුණු වන බවකි.  යුද්ධයදී සත්‍යය සම විටම සාපේක්ෂය. මේ   දෙපැත්තම වැරදිය.

බටහිර මාධ්‍ය හමාස් සංවිධානය සිවිල් වැසියන් ඝාතනය කිරීම, හිස ගසා දැමීම සහ පුළුස්සා දැමීම ගැන හෙළා දකී. අනෙක් පසින්, ප්‍රධාන වශයෙන් මුස්ලිම් සහ බටහිර විරෝධී රටවල මාධ්‍ය, පලස්තීනයේ (ගාසා, බටහිර ඉවුරේ)  ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඊශ්‍රායල IDF බෝම්බ ප්‍රහාර එල්ල කිරීම පෙන්වා දෙයි.

කෙසේ වෙතත්,  තුන්වන ලෝකයේ හෝ පළමු ලෝකයේ රටක වේවා, ජීවිතය ක වටිනාකම එකක් විය යුතුය . දෙමළ ජාතිකයෙකුට, සිංහලයෙකුට, ඊශ්‍රායල ජාතිකයෙකුට හෝ පලස්තීන ජාතිකයෙකුට වෙනසකින් තොරව  එකම හිමිකම් සහ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. ඔබේ  වාර්තාකරණයේදී මේ තෝරා බේරා හුවා  දැක්වීම  දැන්වත් නතර කල යුතුය.

මේ ප්‍රශ්නයට පහසු විසඳුමක් නැත, නමුත් සෑම කෙනෙකුම පියවරක් පසුපසට ගත යුතුය. මේ ගැටුමේදී මධ්‍යස්ථව සිටින අපට කිසිවකුට එරෙහිව ඇඟිල්ල දිගු කිරීම අභියෝගාත්මකය. සෑම කෙනෙකුටම රාජ්‍යත්වය සඳහා සාධාරණ හිමිකම් ඇති අතර අනෙක් පාර්ශ්වයේ සාහසික ක්‍රියා සම්බන්ධයෙන් සෑම දෙනාම නිවැරදි ය. එනිසා කරුණාකර සියලු දෙනා  අඩියක් පස්සට ගෙන  සටන් විරාමයක් ප්‍රකාශ කල යුතුය. කරුණාකර තුවක්කු සහ බෝම්බ අත්හැරසාකච්චා  කල යුතුය.

අජිත් ධර්මකීර්ති - 18/10/2023

Monday 9 October 2023

ජැකෝ



මුලින් ලියා ලන්ඩන් සඟරාවේ පල කල එකක් නැවත පල කරමි.

ජැකෝ ....................

ජැකෝ නුඹ දැක්කෙ මුල්වරට 
උතුමාණෙනි නැටුමෙන් 
ජෙනරාල්ට ගී ගයන මේ 
බෙරේ වැස්මක් හිසේ ඇති 
ජැමෙයිකන් පෙනුමැති 
නළුවා  ජැක්සන් කෙනෙක්ම 
තමා යන හිතිවිල්ලෙන් 

නුඹ ඒ කියන්නැහේ 
පස්සේ කාලෙක බලු කුක්කෙක් 
ජෙනරාල්ලගේ බොසාලට 
උනා කියල තරහා නැහැ මං 
නීල ටත් සමාව දුන් එකේ මැරුණු 
දවස්වල හැමෝම බනිද්දි 
ඒ හඬ අමතක කරන්නේ කොහොමද 
තරුණ වියේ අපි සනහපු 

නෙයිනගේ සූදුව තමයි 
දැක්කේ ඉන් පස්සේ ඒ රංගන 
ප්‍රතිභාව , කොමඩි නළුකම 
හවස්වල මධුවිතක් සමග 
නැවත නැවතත් නරඹන 

තාරාවෝ ඉගිලුණු නාට්‍ය 
හැන්දෑවක් ඒ කාලේ 
නැවත නැවතත් අහපු ඒ සින්දු 
සෝභාව දුන් රංග සභාවටම 

ගී ගයන්නත් , නටා වයන්නත් 
වයා නටන්නත් සිත් සනසන්නත් 
හිනා ගස්සන්නත් 
මේ හැමදේම හැමෝටම බැරි තැන 
බොහෝ දේට සමතෙකු වුනු ඔබ 
කවදාවත් නුදුටු ඒත් 
හිතට සමීප යයි හිතුනු 
චරිතයක් මචං 

නැවත ඔය ඇඳෙන් 
නැගිටීවි යයි 
සහෘදයන්  රැසක් 
සහෘද ජනතාවක් 
තවමත් බලාගෙන 
ඉන්නව  සහෝ 
අමතක නොකරන් 


---අජිත් ධර්මකීර්ති  06/08/2022









Saturday 7 October 2023

මාකස් ගේ විකාර කතා වලට පිළිතුරු



මම මෙහෙයවපු "ගාමිණී මුතුකුමාරණ " ගේ "මතක ගිනි පුපුරු " එලි දක්වන  දවසේ කීව දේවල් කියල, මාකස්කි ප්‍රියන්ත පෙරේරා සියම් විකෘති සහගත අදහස් වගයක් ප්‍රකාශ කරලා තියෙන නිසා ඒවාට කෙටි පිළිතුරු ටිකක් දෙන්න ඕනේ කියල හිතනවා. මොකස සමහර අය ලොක් ස්ටොක් බැරල් පිටින් ගිලල නිසා.


මාකස් ප්‍රියන්ත පෙරේරා ගේ ලිපිය මෙතන මාකස් ගේ කතාව


අංක 1. මාකස් කියනව මැරුණු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තිබ්බේ නැහැ කියල.  - විනාඩියක නිශ්ශබ්දතාවයක් මියගිය හැමෝම  වෙනුවෙන් සභාව පටන් ගන්න කලින් තියන්න අදහසක් තිබ්බ. වුනේ මොකක්ද? 2.30 ට පටන් ගන්න ගිය එක කට්ටිය පරක්කු වී එන නිසා ප.ව . 3.00 ට කල් දැම්මා.  මාකස් සහෝදරයත් පරක්කු වෙලානේ ආවේ. මොකද්ද හේතුවක් කීව මතකයි. ඊට පස්සේ තුන් හතර පාරක් නිවේදනය කරන්න සිදු වුනා සභාවේ අසුන් ගන්න කියා. මතකද මට විහිළුවට කියන්න වුනා "ඔය මාකස් සහෝදරයත් ඇවිත් ඉඳ ගන්නවද සභාව පටන් ගන්න ඕනේ" කියල කීව. ඒ මොහෙතෙත් හැමෝම කතා කර කර හිටියේ. මගේ දුර්වලකමක් වෙන්නඇති  විශේෂයෙන් පිටි පස්සේ හිටි අය කතාව නතර කලේ නැත්තේ. එතනින් දිගටම පළමුවෙනි අංකයට යන්න වුනා වෙලාව 3.25 පමණ වීම නිසා. විනාඩියක නිශ්ශබ්දතාවය අයින් වුනේ එහෙම. (ඊළඟ සැරේවත් මිනිස්සු වෙලාවට එනවනම්)
අනික ගාමිණි මුතුකුමාරණ වුනත් කීව ඒක අවශ්‍යම නැහැ. ජවිපෙ සහ පෙසප දෙකම ඔය සැමරුම් තියනව. එයා දේශපලන සැමරුමක් කරෙන්නේ නැහැ කියල.

අංක දෙක - ක්‍රිස්තියානි කතාව 
මාකස් ඉතාම දරුණු චෝදනාවක්  කරනව  - මම කීවලු ක්‍රිස්තියානි අය තමා '71 කැරැල්ලේදී මිනී මැරුවේ කියල. 

- සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් අරගෙන. මේක වෙලා තියෙන්නේ මට හිතෙන්නේ මාකස් සහෝදරය පහුගිය අවුරුදු කිහිපය තුල තනිකරම දේවවාදියෙක් වීම නිසා කියල මට හිතෙන්නේ. බ්ලොග් හා ෆේස්බුක් පෝස්ට් අරගෙන බැලුවොත් පල්ලි ගැන. මීගමුව එවැනි ඉතිහාසය ගැන ලියන්නේ. මම ඇහුවත් එක්කනේ ඒ ගැන. ඔයා දුන්  පිළිතුරත් මතක ඇති නේ. මා  දන්නා පරණ වාමාංශිකය  ගේ සිට දැන්  එයා වෙනස් වෙලා කියල කියන එක. එයාට  ඌයිය වෙන්න  ඇත්තේ ඒකයි. මම අර කැරලි කරුවන් මැරීමට   ක්‍රිස්තියානි පොලිස්  නිලධරයාට දුන් කතාව කිවේ උපහාසාත්මක ලෙස. ඊට කලින් කිව් කතා දෙක අමතක වුනාද? පන්සලේ හාමුදුරුවෝ ගෙනල්ල ගහල මළකඩ කාපු බ්ලේඩ් එකකකින් තට්ටේ ගාන එක. හාමුදුරුවන්ගේ ඔලුවෙන් ලේ ගලන එක. එතකොට කෝ අර සිංහල බෞද්ධ  නිලධාරීන්ගේ බෞද්ධ කම. ඊළඟට අර කැරලිකරුවෙකුට දිගට හරහට ගහන  එක. භාගෙට මැරෙන කම් හෝ ඊටත් වැඩිය මරණාසන්න වෙනකන් ගහන එක. එතකොට කෝ බෞද්ධ කම. මරන්න විතරක් වෙන කෙනෙකුට භාර දෙන එක. ඔන්න ඔය සිංහල බෞද්ධ  දෙබිඩි කම තමා මම පෙන්වල දුන්නේ. අනික මම පිස්සු හැදුන  කියන වචනය  කොහෙවත් භාවිතා කලේ නැහැ. මානසික අසමතුලිත භාවයක් ඇති වුනා කියල කිවේ. කතාව ඇත්ත එකක්. ඒ නිලධාරියාගේ නම ග්‍රෙගරි. දැන් ජිවතුන් අතර නැහැ. පවුලේ අය හොයල දෙන්න බලන්නම්.  

මාකස්  මීගමුවේ නිසා මේකත් දන්නවා ඇති. බෞද්ධයෝ මසුන් මරන්නේ නැහැ. හැබැයි මාළු කනවා. පන්සලේ හාමුදුරුවෝ ධිවරයට බනිනනවා පව් කාරය කියල. හැබැයි පන්සලට මාළු ටිකක් ගේන්න කියනව. මාටින් වික්‍රමසිංහ මහතා මේක ඉතා හොඳට විතර කරල තියනවා. දඩයක්කාරයාගේ  දඩමස් ගන්නේ කවුද කියල. ඇයි මුහුදු යන ධීවරයෝ ගොඩක් කතෝලික වුනේ ලංකාවේ. හැමෝම  දන්නවා ඇතිනේ හේතුව. පොහොසත්  අය වරප්‍රසාද ගන්න. ධීවරයෝ ඔය බෞද්ධයන් ගේ දෙබිඩි කම නිසා.  මම අදේවවාදියෙකු  හා නිරාගමිකයකු හැටියට මේවා  ලියන්නේ. මට මුලධර්මවාදී බෞද්ද, මුලධර්මවාදී ක්‍රිස්තියානි  ,  මුලධර්මවාදී  මුස්ලිම් ඔය ඔක්කොම එකයි. නමුත් මම ඒවා කියන්න යන්නේ නැහැ. හැමෝටම තමන් කැමති ආගම නිදහසේ පිලි පදින්න තියෙන  අයිතියට ගරු කරනවා විතරයි.  නැතිව සිංහල අය මැරුවේ නැහැ ක්‍රිස්තියානි අය මැරුවේ කියන අදහසක් කොහෙත්ම කිව්වේ නැහැ. ඒ එයාට  හිතිච්ච විධිහ වෙන්න ඇති. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියනවනේ. ආගමික කණ්නාඩි පැළඳ ගත්තම පෙනෙන විධිහ වෙන්නත් පුළුවන්. නැවතත් කියන්නේ සිංහල බෞද්ධ නිලධාරීන් ඇති පමණ කැරලිකරුවන් මැරූ බව. මනම්පේරි සිද්දිය. කාටවත් පේන්නේ නැත්නම් පව්  කරන එක සාමාන්‍ය දෙයක් නේ. 

එයාලා මම කතා අක්රපු  ඒ විනාඩි තුනක් දාල  මුළු කොටසම දාන්නේ නැතිව. ඔය සෙලෙන්ස්කිට මිනිස්සු කියන්නේ යුදෙව් නිසා කියල දේශපාලන කතාවක්.  කතා බහකදී උදාහරණයකට ඒවගේ දෙයක් ගත්ත කියල හැඟවෙන්නේ නැහැ ඒක පොදුවේ කිව්වා කියල. මාකස් කියන්නේ ඉතා තදින් කතෝලික ආගමික පෝස්ට් දමන නිසා ඒක උලුප්පන්න හදනව කියන එක තමා මගේ අදහස. මෙයාල හැමෝම  වුනත් දරුණුවට බෞද්ධ හාමුදුරුවරුන් ගේ වැරදි විවේචනය කරනවනේ. මට කවදාවත් ඒවාට රිදිලා නැහැ. සමහර ඒවා ඇත්ත. නමුත්අපට රිදුනේ නැති වුනාට ඒවාට රිදෙන අය ඉන්නව.හේතුව ඒ අය අපට වඩා ආගමික නිසා.

ඕකේ කතාව මේකයි . මේ වික්‍රමසිංහ මහතාගේ කතාවකින් උපුටල වෙනස් කරල දාන්නේ.

දඩයක්කාර කරතෙලිස් එනවා ආරච්චිල යන පාරේ මස් පොදියක් කරගහ ගෙන.
ආරච්චිල: කරතේලිස් කොහෙද ඔය හොර බඩු වගයක්ද කරේ තියාගෙන
කර්තේලිස්- අනේ ආරච්චිල ඊයේ මුවෙක් මන්දට අහු වුනා නොව. මේ ඔබ තුමා ගේ කොටහ වලව්වට ගෙනියන ගමන්
ආරච්චිල: ආ ඒවා හොඳ වැඩ , හොඳ ගාතයක් තියනවනේ. හාමිනේට කියහන් හොඳට දුරු මිරිස් දාල හදන්ට කියල. අර පොල් ගහේ රා වඩියක්  ඇති ඔය ගමන් ඒකත් බාල තියපන්.

කර්තේලිස් - හොඳමයි

ආරච්චිල හාමුදුරුවන් මුණ ගැසේ.

හාමුදුරුවෝ; ආ රාළහාමි බෑරැක් වගේ
ආරච්චිල:මම මේ වැයික්කිය බලන්න යන ගමන් පන්සලට ගොඩ වැදුනේ අපේ හාමුදුරුවනේ. අර කර්තෙලිසා පව්කාරයා මූණටම මුලිච්චි වුනා නොව.

හාමුදුරුවෝ: අනේ ඔය මනුස්සයට මම හැමදාම කියනව ඔය පව් කරන්නේ නැතිව වෙන වැඩක් කරන්න කියල. පන්සලට එන්නෙත් නැහැ නොවැ.

තම බිරිඳ උයා දුන් මස් ටිකක් පන්සලේ කුස්සියෙන් තබා කර්තේලිස් හිමින්ම  පිටව යයි. දානයට දුන් දෙයක් වළඳන්නට  ඇහැකි හෙයින් හාමුදුරුවන් මුවින් නොබැන ඇබිත්තයාට බෙදන්නට කියයි.

*************************************************

අංක තුන - සුදත් ලියනගේ ගේ විවේචනය - මෙතන සිදුවුනේ ඉතා රසවත් දෙයක්. පෙසපේ පුබුදු ජයගොඩ ඊට කලින් ගාමිණී ගේ පොත ගැන විවේචනයක් ඉදිරිපත් කරලා තිබ්බ. ගාමිණී මට විශේෂයෙන් කතා කරලා කීව අජිත් ඔයාගේ අදහස් මුකුත් කියන්න එපා කියල. මගේ අදහස් මේ පිළිබඳව බොහෝ විට මාකස් ගේ අදහස් හා සමපාතයි . හේතුව  නන්දන වීරරත්න, සුචරිත ගම්ලත් ල දේශනා වලට ගෙනාව කාලේ  අපි, ඒ කිව්වේ මගේ යහළුවෝ කිහිප දෙනෙක්)  හැරුනේ ඒ පැත්තට. ඒ කියන්නේ කිසියම් විධිහකින් ජාතිවාදී නොවන දිශාවකට.  දැන් ඔය පෙසප කියන සංයුතිය හා එහි නළුවන් පරිවර්තනය වුනාට  යුද්දෙට කලින් හිටියේ වෙන තැනකනේ.   ගාමිණී ගේ පොත නිසා සහ ගාමිණී ගේ ඉල්ලීම මත මම විශේෂයෙන්  දෙමල ප්‍රශ්නය හා කැරලි පිලිබඳ මගේ  මතයන් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. මට රාජකාරිය වශයෙන් භාර දුන්නේ  මෙහෙයවන එක. පෙසපේ ට තිබ්බ ඇරියස් එකක්. ඒක ඒ ගොල්ලෝ පියවා ගත්ත. කොටින්ම  දැන් දින දෙකකට කලින් ගාමිණී කතා කරලා  කීව  අජිත් ඒ ගැන ලියන්න එපා බ්ලොග් එකේ කියල. ඒකට ගරු කරල ගාමිණී  සහ සුදත් මගේ හොඳ හිතවත් යහළුවන්  නිසා මම ඒ ගැන ලියන එක පවා අත හැරලා දැම්ම. අනිත් අය  කරපු කතා ගැන මම කියන්න යන්නේ නැහැ. ඒක ඒ අයට බාර කරනවා.


හැබැයි ජවිපෙ සහ පෙසපේ ආධාරකරුවන් ගැන මෙහෙම  අදහසක් තියනවා. ඒ ගොල්ලෝ ෆේස්බුක් එකේ නම් ලයික් දාන්නේ, කොමෙන්ට් කරන්නේ තමන්ගේ අයට විතරයි. තමන්ගේ මහාචාර්ය වරුන්ට, තමන් ගේ කලා කරුවන්ට නලා කරුවන්ට , තමන්ගේ අය ලියන පොත් වලට.සමාජ මාධ්‍ය වලින් එළියේ  සම්මාන දෙන තැන්  වලදී, රැස්වීමකදී , පොත් එලි දැක්වීමකදී  වුනත් එහෙමයි. අවුලක් නැහැ කියමු. හැබැයි මේ වාමාංශික කට්ටිවාදයක් නෙමෙයිද?

 අනික් පක්ෂ  වුනත් සලකන්නේ තමන්ගේ අයටනේ. කොන්ත්‍රාත් දෙන්න, රස්සා දෙන්න, තානාපතිකම් සහ වරප්‍රසාද දෙන්න. නමුත් ඉතින් ඒකටනේ අපි විරුද්ධ.  එතකොට ජවිපෙ සහ පෙසපේ ආධාරකරුවන් සහ පෙසපේ නායකත්වය හැසිරෙන විධිහට ඒ පක්ෂ වල කට්ටිය වැඩි කර ගන්නේ කොහොමද? කවදාවත් ඒ ප්‍රමාණය වැඩි වෙන එකක් නැහැනේ. එතකොට ජවිපෙ සහ පෙසපේ තමන්ගේ ආධාරකරුවන්ට පමණක් සීමා වුනහම ඒ ගොල්ලෝ රාජ්‍ය බලය ගතහොත් මොකද වෙන්නේ? අර පක්ෂ වගේම හැසිරෙයිද ? නැතිනම් කාම්බෝජ පන්නයේ විසඳුමක් ගෙනයිද?  
 
අවසානයට: 
ග්වන්තනමෙරා ගීතය කිව්වේ එකෙ අග තියන වදන් පෙළක් නිසා සහ සියෙරා මයෙස්ට්‍රා වල ගයපු ගීතයක් නිසා. මාකස් සහ එතන හිටි පිරිස  ඒක නොදන්නවට මගේ බලවත් කණගාටුව.ගීතය දැම්මේ  ගාමිණී තමාගේ ආත්මය නිරාවරණය කරණ නිසා කියල පැහැදිලිව මම කිව්වා. ඒක පොතක් ලියන කෙනෙකුට කරන සංවේදී හැඳින්වීමක්. සොරි ඉතින් තේරුනේ නැත්නම්.

සින්දුවේ මෙහෙම තියනවා.
Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 
ඒකයි ඒක තෝරා  ගත්තේ 

ඔන්න ඕකයි ශනිදා සටහන 
- අජිත් 


Thursday 28 September 2023

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද

නොනිමි අරගලයක



නොනිමි අරගලයක මතක ගිනි පුපුරු -    වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද 
**********************************************
නිර්පාක්ෂිකයන් කියා අරගලයට සහභාගී වූවන් පසුව කිසියම් පක්ෂ වල සාමාජිකයන් හෝ ආධාරකරුවන් බව පසුගිය කාලයේ කෙරුණු චෝදනාවකි. ලන්ඩන් කම්කරු පක්ෂයේ සාමාජිකයකුව සිට ඉන් ඉවත්වූ නිසා මා මෙහිදී නම් නිර්පාක්ෂිකය. ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් රචිත "නොනිමි අරගලයක මතක ගිනි පුපුරු" ග්‍රන්ථය ලන්ඩනයේ එළි දක්වන දා  සභාව මෙහෙයවන්නට ඔහුගෙන් ලැබුණු ආරාධනාව මට විමතිය දනවන්නක් විය. මා ඔහුගෙන් මේ පිළිබඳව දෙවරක්ම ඇසුවේ ඒ නිසාය. ඔහු පැවැසුවේ  මා නිර්පාක්ෂික එනම් කිසිදු  පාර්ශ්වයකට නොබැඳී අදහස් දැක්වීමට හැකි අයෙකු බව ඔහු දන්නා බවය. මා සිතන්නේ ඔහු අදහස් කලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙසපය ට සම්බන්ධ නොවීම පමණක් බවයි.  එසේම පෞද්ගලිකව එලි දක්වන මේ ග්‍රන්ථය කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් හරහා කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවද පැවසිය. ඔහු විසින් වීඩියෝ කතා කිහිපයක් සුදානම් කර තිබූ අතර ඒ නාමාවලිය බැලීමෙන් ඔහු විසින් කිසියම් අන්දමකට තම අතීතය සමග සාමදාන වී ඇති බවක් මට පෙනුනි. 

ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල, එනම් 1984 සිට 1990 දක්වා කාලය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ලියැවී තිබේ. 'ජවිපෙ දෙවන කැරැල්ල නමින් ධර්මන් වික්‍රමරත්න මහතා ලියන ලද ග්‍රන්ථය ඉන් ප්‍රධාන තැනක් ගනී.  ඔහු එය ලියා ඇත්තේ ගවේෂණශීලි ජන මාධ්‍ය වේදියෙකුගේ භූමිකාවෙන්  බව පෙනී යයි. එහෙත් එසේම ධර්මන් වික්‍රමරත්න මහතා ගේ එජාප විරෝධී ස්ථාවරයක්ද  එම පොතින් ගම්‍ය වේ. ඔහු ලියා ඇත්තේ  අසා දැනගත් සහ සොයා දැනගත් තොරතුරුය. අතරින් පතර ඔහු ඇසූ දුටු දේද තිබේ. "එළියකන්ද වධ කඳවුර" නමැති පොත රෝහිත මුණසිංහ මහතා විසින් ලියා  ඇති අතර එම පොත එළියකන්ද කඳවුර හා එහි සිටි  සිරකරුවන් භාජනය කළ අමානුෂික දෙතිස් වධය ප්‍රධාන කොට ගෙන ලියා ඇත. රෝ. මුණසිංහ  පැරණි ජවිපෙ ස්ථාවරයට බරව අදහස් පල කරමින්  ඔවුන් විසින් ජනතාව ධනවාදයෙන්  බේරා  ගන්නට කළ කැරැල්ලෙන්  ලද අනිසි ප්‍රථිපලයක් වශයෙන් එළියකන්ද සිර දඬුවම  නිශ්චිත කරයි. එම පොත බොහෝ සෙයින් පාක්ෂිකවාදී ස්වරූපයක් දරයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා ගේ 'කේ පොයින්ට්' පොතද  එළියකන්ද කඳවුරේ ඔහු  ලද අත්දැකිම් විස්තර කරන්නකි. ඒ ගැන මා මෙහි ලියා ඇත. (කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 -  කේ පොයින්ට් සහ එළියකන්ද. එම පොත වර්තමානයේ  අජිත් පැරකුම් ගේ ලිබරල් මතවාදී සහ ජවිපෙ විරෝධී මතයට සාපේක්ෂ ලෙස ලියා ඇත. මේ පොත් දෙක පිළිබඳව ඉහත  ලිපියේ සහ පසුව ලියූ විජේවීර සහෝදරයා ගේ ජිවිත කතාව ඇතුළත් චිත්‍රපටිය ගැන ලියූ ලිපියකද මවිසින් සඳහන් කර  ඇත. ( සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද)

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා මම අවුරුදු තිහක පමණ කාලයක සිට දැන සිටි අයෙකි. එසේම  ඔහු ජවිපෙ හි  පැරණි  ක්‍රියාකාරිකයෙක් ලෙසද දැන සිටියෙමි. ඔහු සමග මම වාද දෙකකට පැටලුනේ අගෝරා කණ්ඩායමේ රැස්වීමක දෙකකදීය. ඉහත ලිපි වල ඒ ගැනද  ලියා ඇත. වරෙක ඔහු තමන් සහ ජවිපෙ ජාතිවාදී නොවන බව පුන පුනා කීවේය. ඔහු ජාතිවාදියෙකු නොවන බව මම දනිමි. තව වතාවකදී  නන්දන මාරසිංහ ඝාතනය ඔහු සාධාරණිකරණය කිරීමට මම එරෙහි වුනෙමි.  ඔහු මේ ග්‍රන්ථයේ  ඒ ගැන සවිස්තරව නැවතත් ලියා ඇත. එතැනට අපි පසුව යමු. 

මා නොදැන සිටි කරුණ වූයේ ඔහු, අකාලයේ ඝාතනය නොවුනා නම් දිනෙක  රාජ්‍ය නායකයා විය හැකිව තිබූ  කෙනෙකු  ගේ  කැලෑවේදී කෝකියා ව සිටි බවය. රෝහණ නන්දසිරි විජේවීර සහෝදරයාට  හාල්මැස්සන් කිරට උයා දී තිබෙන්නේද, ඉන් පසුව කිහිප විටක්ම ඔහුගේ බත් පත සකසා දී තිබෙන්නේද  ගාමිණීය. මේ අනුව කතුවරයා  ජවිපෙ පක්ෂ නායකත්වය සමග ඉතා  සංවේදී  හා  සමීප  සම්බන්ධයක් තිබූ තැනැත්තෙකි. මේ පොත ඉහත කී හැම පොතකටම වඩා වැදගත් වන පළමු කරුණ  මෙතැනය. දෙවැන්න නම් ගාමිණී මුතුකුමාරණ, නායක  රෝහණ විජේවීර සමග සැඟවී සිටීම පමණක්ම  නොව දෙවරක්ම හිරගෙදර අසුවී සිටියදී  පලා ගිය අයෙක් වීමය.  තෙවනුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා රාජා මුතුකුමාරණ සහ මෙත්සිරි මුතුකුමාරණ පොලිස් අත් අඩංගුවේ දී අසාධාරණ ලෙස ඝාතනය වීමය.  හතරවෙනුව ඔහු තෙවෙනි පෙළ නායකයෙකු වීමට ඉතා සමීපව සිටි බවට පෙනී යාමය. ඔහු නායකයෙකු නොවුනේ තවමත් ඔහු තුල පවතින ගැමිකම නිසා විය හැකිය. පොත කියවා  අවසන් වූ පසු පාඨකයා ගේ හදවත බර වීමද  හැඟීම් බර වීමද නොවැළක්විය හැකිය.   එසේ නොවන අය වෙනත් පක්ෂ වල සිටිය හැකි බවද පවසමි.

එනිසා මම මේ ග්‍රන්ථය මිට අවුරුදු තිහකට පමණ පෙර කියවූ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" නවකතාවේ සිංහල ඡායානුවාදයක් ලෙස දකිමි. නමුත් ගාමිණී කොර්චාගින් නොවේ. ඔහු විජේවීර හමුවන විට කොලු ගැටයෙකි. ඔහු වාහන වැඩ පලක රැකියාව කර ඇත. ගාමිණී ජර්මනුන් සමග සටන් කලේ නැත. නමුත් ඔහු ශ්‍රී ලංකාවේ 87-91 වසර වල සිවිල් යුද්ධයට සහභාගී වූවෙකි.   ඒ සිවිල් යුද්ධයේ  අනිත් පාර්ශ්වය ජයග්‍රහණය කළා නම් මෙවැනි පොතක් ලබන්නේ "වානේ පන්නරය ..." පොත ලැබූ තැනකි. මා අදහස් කරන්නේ එයයි.  ඔහු වානේ මෙන් තද බවක් ලබා ඇත්තේද ජීවිතය දකින්නේද ඔස්ත්රෝව්ස්කි මෙන් සියල්ල අවසන් වූ තැනක සිටය. ඔස්ත්රෝව්ස්කි ගේ සටන ජයෙන් අවසන් වී ඔහු ආබාධිතයෙකු වීමෙන් අවසන් විය. ගාමිණී මුතුකුමාරණ ගේ සටන පරාජයෙන් අවසන් වුවද ඔහු ආබාධිත හදවතක් සහ මනසක් සමග  ජීවත් වෙයි. එයින් ගැලවී සුවපත් වීමට නම් ඔහු මේ පොත ලිවිය යුතුමය. 

පොතක් ගැන හොඳක් කීම එය විවේචනයට ලක් කිරීමෙන් බැහැරව යාමක් නොවේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කතා කල අප මිතුරු සුදත් සහෝදරයා අප එම රැස්වීමේදී පොතේ වටිනාකම ගැන කතා කළද එහි ඇති සාවද්‍ය හා විවේචනයට භාජනය විය හැකි දේ ගැන කතා  නොකරන බවට චෝදනාවක් කළ බවක් මට හැඟුනි. ඇත්ත වශයෙන් කියනවා නම්  මටද එකඟ විය නොහැකි තැන් කිහිපයක් මෙහි අන්තර්ගතය. එයේ එසේ වුවද ඉන් පොතේ වටිනාකම අඩු වන්නේ නැත. ඒ බව වඩා හොඳින් පොත  දොරට වැඩුමේ දී  පැහැදිලි කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිය. ඔහුගේ පටිගත කළ කතාව මෙහි ඇත. නිර්මාල් දේවසිරි මහතා යනු ස්වාධින ශිෂ්‍ය සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඔහු ගාමිණී සඳහන් කරන ඔප්ස් කොම්බයින් හෙවත් ඒකාබද්ධ හමුදා මුලස්ථානයට ඔත්තු සැපයූවෙක් ද නැත්ද යන්න මම නොදනිමි. 

"සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය" මැයෙන් මම 2017 දී ලියූ ලිපියක  දයා  පතිරණ ඝාතනය ගැන සඳහන්  කළෙමි. ඔහුගේ ඝාතනය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෝ ජවිපෙ කල බරපතල වරදක් බවත් ඉන් ඔවුන් අමතර සතුරන් ප්‍රමාණයක් සාදා ගැනීමට අමතරව පක්ෂය තවත් ජාතිවාදී පසෙකට නැඹුරු වීමේ අඩිතාලමක් දැමුණු බවත් මගේ ද අදහසය. ගාමිණී සහෝදරයා බොහෝ දුරට ඒ ගැන එකඟ වන බව  නිර්මාල් දේවසිරි ට ආරාධනා කල හේතුවෙන් පැහැදිලි වේ.

එදින දොරට වැඩුමේ දී ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු හා ප්‍රකට ග්‍රන්ථ පරිවර්තක  චූලානන්ද සමරනායක සහෝදරයා වීඩියෝ පණිවිඩයේ කතා කලේ  බොහෝ හැඟීම් බරවය.  චූලානන්ද පවසන්නේ හැත්තෑ එකේ අරගලය එක නිශ්චිත අවස්ථාවක ඇරඹි ප්‍රහාර මාලාවකින් පසුව ආණ්ඩු බලය හමුවේ පරාජය කරන ලද අතර ඉන්පසුව පැවති  දීර්ඝ කාලීන අධිකරණමය පටිපාටියක් හරහා පක්ෂයේ විශාල පිරිසකට දඬුවම් පැමිණවීමකින් සහ පුනරුත්ථාපන  ක්‍රියාවලියකින් අවසන් වූ බවය.  එහෙත් ඒ වාසිය අසූනවයේ මර්දනයට මුහුණ දුන් පරම්පරාවට හිමි වූයේ නැත.  හැත්තෑ හතේ නිදහස ලැබීමෙන් පසුව යලි ක්‍රියාකාරී දේශපාලනයට බට විජේවීර ඇතුළු සියලු සගයන්ගේ ධෛර්යයෙන් පණගන්වන ලද ජවිපෙ දෙවන වරට මර්දනයට ලක් කිරීම හැත්තෑ එකේදී පැවති  තත්වය ඉක්මවා ගිය අතිශය සාහසික  සහ තිරශ්චින  ස්වභාවයක් ගත්  අතර ඉන් පක්ෂයට සිදු වූ විනාශය  මිනිය නොහැකි තරම් බරපතලය. (චූලානන්ද සමරනායක -උපුටා ගැනීමකි.)  

ජවිපෙ විසින් දෙවන අරගලයක් ඇති කිරීමට හේතු සාධක බොහොමයක් කතුවරයා විසින් ඉදිරිපත් කරයි.  ජවිපෙ දෙවැනි අරගලයේ නරෝද්නික්වාදී ස්වභාවය පිළිබඳව අපට බරපතල විවේචනයක් තිබුනත් ඒ ක්‍රියාමාර්ග වලට ඔවුන් තල්ලු කරන ලද එවකට පැවති ජේ ආර් ජයවර්ධන රජයේ ඇතැම් ක්‍රියාදාමයන් ගැන එවැනිම බරපතල විවේචනයක් සහ  ඒ ක්‍රියාදාමයන් ගැන විමතියක් ද මට තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමයට 1977 සිටම අවතීර්ණ වුනු පක්ෂයක් 1982 ජනමත විචාරණයෙන් පසු රජයට එරෙහිව නඩුවක් දැමූ පලියට හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එම පක්ෂයේ හිමිකම් උල්ලංඝනය කරමින්  යටිබිම් ගත දේශපාලනයට යොමු කිරීමේ අනීතික වරද බරපතල එකකි. ප්‍රින්ස් ගුණසේකර ගේ පශ්චාත්තාපය කොටසේ කතුවරයා එය පැහැදිලි කරන්නේ මෙසේය. මා එයට එකඟය. 

"ජනමත විචාරණ  නඩුව නිසා රෝහණගේ ජවිතය නැති වුනා. ජවිපෙ විනාශ වුනා. මේ නඩුව මම පැවරුවා නිසා මේ විනාශය වුනා කියලා කල්පනා වුණාම ඒකෙන් මිදෙන්න අමාරුයි." (පි. 116) 
"තවත් දින කිහිපයකින් ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක දේශපාලන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණි. ගරු අධිකරණය  ආණ්ඩුව විභාග කිරීමට අණ  දුන්නේය. මේ 1983 මැයි මාසයයි. කළු ජූලියක ගිනි පුලිඟුවක් වත් තිබුනේ නැත. ඊලම්  සන්නද්ධ අරගලයකට සේනා රැස්ව තිබුනේ නැත. ජවිපෙ සාමාජිකයෝ තුවක්කු තබා පිහි කොටයක් වත් අතට ගෙන නොතිබුනහ. ජයවර්ධන  මහතා දණ්ඩකින් පහර කෑ සර්පයෙක් මෙන් කිපුනේය." 
(පි 119).

1983 ජූලි කලබල වලින් පසු ජයවර්ධන රජය වාමාංශික පක්ෂ තුනක් තහනම් කළේය. ඒවා තහනම් කලේ වරද කාට  හෝ පැටවීමට බව මුලින් පෙනෙන්නට තිබුනද කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂයේ  තහනම  සුළු කාලෙයකින් ඉවත් විය. ඒ ඔවුන්ගේ නායකයින් රජයට භාර වීමත් සමගය.ඒ දිනවල (1983) නසසප නායකයන් (වාසුදේව සහ වික්‍රමබාහු) කොම්පඤඤ විදියේ අමරදිසි හෝටලයේදී මා දුටු නිසා ඒ තහනම විහිළුවක් බව එදා සිටම දැන සිටියෙමි.  

ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවල් දහතුන් දෙනෙකු බිම් බෝම්බ වලින් ඝාතනය කල පසු දෙමළ ජනයා  මරා  දමමින් හා  දේපල වලට පහර දෙමින් ඇතිවුණු කලබල වලට ජාතිවාදී  එජාප කොටස් වල සහය තිබුණු අතර තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප  හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය. නමුත් ඒවා සංවිධානය  වුනේ ජයවර්ධන රජයේ මුල් දින දෙකේ පැවති  අක්‍රිය ස්වභාවය නිසා එම පක්ෂයේ ප්‍රාදේශීය බලවතුන්ගේ ද සහයෙනි.   එම විනාශයෙන් පසු ඇමෙරිකන් හිතවාදී ජේ ආර්පා ලනයට විරුද්ධව ඉන්දියාව එලිපිටම ද්‍රවිඩ සටන්කාමී සංවිධාන වලට  සහය දුනි. රටින් පලාගිය දෙමළ ජාතිකයන් ගෙන් විදේශීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය වන්නට විය. තහනම් වූ ජවිපෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හරහා මෙන්ම ග්‍රාමීය තරුණ කොටස් අතරද රහසිගත ලෙස සංවිධානය වන්නට විය. 
    
 මේ සිදුවීම් වලට පසු, පසුකාලීනව  ලෝකයේ ජනප්‍රිය බවට පත්  වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මුලින්ම දියත් කල ජේ ආර් ජයවර්ධන  රජයට වැරදුනි.  අනිකුත් දේශපාලන පක්ෂ වලටද වැරදුනි. ජවිපෙට වැරදුනි. මුළු මහත් ශ්‍රී   ලංකාවටම වැරදුනි. ඒ සෝචනීය කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් මේ පොතේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා අතින් ලියැවී ඇත.

 සෝවියට් ඔපෙරා හා බැලේ  ප්‍රසංග නිර්මාණ පිලිබඳ උණුසුම් මතකයක් විජේවීරට තිබුන බවක් කතුවරයා 160 වන පිටුවේ සඳහන්  කරයි.  "ඔහු බෝල්ශෝයි රඟහලේ රැඟුම් ගැන කියද්දී අපි මහත් රුචියෙන් අසා  සිටියෙමු. 1917 ඔක්තෝබ විප්ලවයෙන් පසු කම්කරුවන්ටද බොල්ෂෝයි රඟහලේ රැඟුම් නැරඹීමට හැකිවන පරිදි ප්‍රවේශ පත්‍ර  මිල අඩු කිරීම හා ඔහු නරඹා තිබු "හංස විලක්" බැලේ රැඟුම ගැන පවසන විට මමද ඒවා මනසින් නැරඹුවෙමි. "

ගාමිණී අවංකව ලියන බව හැඟෙන මේ ප්‍රකාශයන් තුල ජවිපෙ නායකයා හා අනිකුත් සැඟවුණු ක්‍රියාකාරීන් සමග ඔහු වනාන්තරයේ ගත කල දිවිය පිලිබඳ විස්තර ගැබ් වේ. සෝවියට් දේශයේ උගත්තකු වශයෙන් සෝවියට් ජනයාට මේ කියන සංස්කෘතික ජීවිතය තිබූ බව මම දනිමි. 
"මෙකල රෝහණ ආදරය, ප්‍රේමය, අනුරාගය ගැන අප කණ්ඩායම සමග නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු කොහොමත් අවිවාහක සගයන්ට පෙම්වතියන් ජෝඩු කළේය" පි 161. මේ අපට විමතියක් ඇති කරන කියුමකි. අපි දැන  සිටියේ එදා ජවිපෙ සාමාජිකයන් අතර පෙම් සබඳකම් තහනම් කළ බවකි. ගාමිණී ප්‍රකාශ කරන්නේ එයට වෙනස් අදහසකි. 

පොත දොරට වඩින  දිනයේ "සති පූජා දර සෑයේ" ගීතය වාදනය කිරීමට මම ගාමිණී ගෙන් ඉල්ලා සිටියෙමි. විමුක්ති ගීතයක් ලෙස මා දැන  සිටි ඒ ගීතයට මගේ කැමැත්තක් තිබුණු අතර  ඒ ගීතය ලියුවේ නන්දතිලක අමදෝරු යන අය බව මා දැන  ගත්තේ මේ පොතිනි. (පි. 179) අමදෝරු සිවිල් සර්වන්ට් විභාගය සමත් වුවද රැකියාව ලබා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට ගොස් නැත. කතුවරයාගේ දේශපාලන ගුරුවරයා වූ ඔහු අවසානයේ දිවි පිදුවේය.  

ඔහු සිර දඬුවම් විඳින විට පැන යම් සඳහා ද්‍රවිඩ සිරකරුවන්ගේ උපදෙස් පතයි. ඔවුන් සිංහල දේශපාන සිරකරුවන් සමග කතා නොකිරීම ගාමිණීට ප්‍රශ්නයකි.  දෙගොල්ලන්ම ඉන්දීය ආක්‍රමණය ටද  ජයවර්ධන රජයටද විරුද්ධය. "ඇයි උඹලා  අපට කතා නොකරන්නේ". (පි. 237 කියවන්න) මේ ගාමිණී සහෝදරයාම පසු තැනෙක නන්දන වීරරත්න, සිරිමල් විජේසිංහ හා ලමාහේවා සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයට නන්දන විසින්  මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේ ගුණසිංහ, කිර්ති බාලසුරිය වැන්නවුන් ගෙන්වීම ගැනද  පසුව නන්දන  විකොසට එක්වීම ගැනද කණගාටුව පල කරයි. නිර්මාණ සංවාද කුලකයට සහභාගී වූවෙකු මෙන්ම පසුව සුචරිත ගම්ලත් ගේ දේශනා වලටද සහභාගී වූවෙකු ලෙස මටනම් මෙහි කණගාටුවක් නැත. අප විසින් ජාතිවාදී  දේශපාලනය ඒ කාලයේ සිටම ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් ද මෙහි ඇත.  මේ ගැන හොඳ  විශ්ලේෂණයක්  විදර්ශන කන්නන්ගර සහෝදරයා විසින් ඔහුගේ වීඩියෝ පණිවිඩයේ දී  ඉදිරිපත් කරයි. 

පෙසපය මෙහිදී විවේචනයක් එක් කළද සෝමවංශ -විරවංශ ජාතිවාදී සභාගයට එවකට ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂයේ නායකයකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද සිටීම ගැන ඔවුන් විස්තර කරන්නේ කෙසේද? 

ප්‍රථම වතාවට ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂය හා එහි සංයුතිය ගැනද ලියවෙන්නේ මෙහිය. ඒ ගැන අපි ගාමිණී මුතුකුමාරණ  සහෝදරයාට ස්තුති වන්ත වෙමු.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක්සත් රාජධානියේ ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි  මහතාද කතා කළේය.  ඔහු කතුවරයාට තම හෘදයංගම සුභාශිංසන පිරි නැමුවේ මේ පොත අනාගත පරම්පරාවට අතට පත් කල යුතු මහඟු ග්‍රන්ථයක් හැටියටය. .

ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු වූ සෑම් හෙට්ටිආරච්චි  මහතා ගීතයකින් සභාව පිනවීය.   

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දැක්වූ විවේචන වලට නන්දන වීරරත්න සහෝදරයා මෙන්ම ගාමිණී මුතුකුමාරණ සහෝදරයාද අදහස් දක්වන ලදී.

සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  හිනිදුම සුනිල්  සෙනෙවි මහතා වීඩියෝ පණිවිඩයක් එවා තිබූ  අතර ඔහු විසින්  කතුවරයා නිබයව තම මතය හා අත්දැකීම් හෙළි කිරීම අගය කළේය. ඔහු ගාමිණී සහෝදරයාට මෙවැනි පොතක් පල කිරීමේ වටිනාකම පිළිබඳව මුල සිටම දිරිමත් කල බැවින් ඒ ගැන ඉතා සතුටු වන බවද පැවසිය.  

ගාමිණී සහෝදරයගේ මිතුරෙකු වන මහින්ද රූබසිංහ ග්‍රන්ථයේ ඇතැම් පිටු ඇසුරින් වැදගත් මතකයන් රැසක් එලි දැක්වුවේය. සුගත් සෙනෙවිරත්න මහතා ඉංග්‍රීසි  භාෂාවෙන් කල  කතාවේදී මේ පොත අප ඉදිරියේදී සාකච්ඡා කල යුතු බවට සනිටුහන් කළේය.  
 
ජවිපෙ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නරෝද්නික්වාදයක් ක්‍රියාත්මක කළා නොව එළඹුණු මර්දනයට පිළිතුරු දුන් බව කතුවරයා සඳහන්  කරයි. එම අප තව දුරටත් සාකච්චා කල යුතු මාතෘකාවකි. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය  මගින් ඝාතනය කල එජාප සහ වාමාංශික දේශපාලකයන් ගැන කතා කර නැත.   නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යපාරය සුදු පාලකයන් විසින්  දැඩි ලෙස මර්දනය කරන ලදී. නමුත් ඔවුන් විසින් මහා ජනයා පෙලනු වෙනුවට තෝරා ගත්තේ මිශ්‍ර  මගකි. ගාමිණී මුතුකුමාරණ ඉතා නිවැරදි ලෙස එම අදහසම ඉදිරිපත් කරයි. සාමාන්‍ය ජනයා  පෙලීම සහ රාජ්‍ය දේපල විනාශය නොකළ යුතුව තිබු දෙයක් ලෙස ඔහු සඳහන් කරයි.

අවසන් වශයෙන්  බෝල්ෂෙවික් පක්ෂයේ ලේකම්   සුමිත් අතුකෝරාල චේ වැනි කෙනෙකු ලෙස කතුවරයා පහදයි. ගාමිණී මුතුකුමාරණ පුර්ණකාලීන  සාමාජිකයා බෝල්ෂෙවික් පක්ෂයට එකතු වන්නේ සුමිත් සමග සම්මුඛ සාකච්ඡාවෙන් පසුවය.  අර්නෙස්ටෝ චේ ගෙවාරා ගරිල්ලා යුද්ධ පිලිබඳ පොතක් 1969 දී ලියා තිබේ. විජේවීරට හෝ සුමිත් ට එය ඇස ගැටෙන්නට නැත. මේ එහි ලිය තිබෙන දෙයකි.

Guerrilla warfare is used by the side which is supported by a majority but which possesses a much smaller number of arms for use in defense against oppression. The guerrilla fighter needs full help from the people of the area. This is an indispensable condition.  ගරිල්ලා යුද්දයක් භාවිතා කරන්නේ බහුතර ජනතාවක් ගේ  සහය ලබන  නමුත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මර්දනයට එරෙහිව ආරක්ෂාව සඳහා ආයුධ ගත් කණ්ඩායමකි. ගරිල්ලා භටයාට පළාතේ ජනතාවගේ සහය අත්‍යවශ්‍යම වේ. මෙය බිඳ හෙළිය නොහැකි අවශ්‍යතාවයකි.  
 
It is important to emphasize that guerrilla warfare is a war of the masses, a war of the people. The guerrilla band is an armed nucleus, the fighting vanguard of the people. It draws its great force from the mass of the people themselves. ඉතා වැදගත් වන්නේ ගරිල්ලා යුද්ධයක් යනු බහුතරයකගේ, ජනතාවක ගේ යුද්ධයකි.  ගරිල්ලා කණ්ඩායම සන්නද්ධ න්‍යෂ්ටියයි. ජනතාවගේ පෙරටුගාමී සටන්කාමී කොටසයි. එයට තමන්ගේ ඇති මහත් බලය උකහා ගන්නේ ජනතාවගෙනි.  

සුමිත් අතුකෝරාල සහෝදරයා හෝ ජවිපෙ නායකත්වය මේ ගැන සිතුවාද යන්න අපට ප්‍රශ්නයකි.

මම සභාවේ මුලදීම ගාමිණී මුතුකුමාරණ සහෝදරයා වෙනුවෙන් ගීයක් ඉදිරිපත් කලෙමි. ඒ ග්වන්තන මෙරා නමැති ස්පාඤ්ඤ ගීතයයි. සියෙරා මයෙස්ට්‍රා කඳුකරයේ නිතර වැයුන  ගීතයකි. එය මට කියා දුන්නේ සෝවියට් දේශයේ මා  සමග උගත් ලතින් ඇමෙරිකානු සිසුන්ය. එය අහන්න. 

මා එය තෝරා ගත්තේ ගීතයේ පළමු කොටසේ ඇති මේ වදන් නිසාය.
I plant a snowy rose in January and July,
මම හිම රෝස ගසක් ජනවාරියේ සහ ජූලියේ සිටවූයෙමි 
For the open-hearted friend who puts a helping hand in mine
විවෘත හදවතක් ඇති මිතුරෙකු මට දිගු කළ මිත්‍රත්වයේ දෑත නිසාය 
I am a truthful man; I come from where the palm tree grows,
මම සත්‍යවාදීයෙකු  වෙමි, මම පැමිණියේ තල්  ගස් (හෝ පොල් ගස්) වැවෙන පෙදෙසක සිටය    
I am a truehearted man, who comes from where the palm trees grow,
මම සත්‍ය හදවතක් ඇත්තෙකි පැමිණියේ තල වැවෙන පෙදෙසක  සිට 
Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා ඔහුගේ ආත්ම කථනය, ඔහුගේ අතිමහත් ජිවිත අත්දැකීම ඔහුට දැනෙන ආකාරයට ලියා තිබේ. එය විටෙක බියකරුය. විටෙක සුන්දරය. විටෙක ත්‍රාසජනකය. විටෙක වීර කාව්‍යයක් මෙනි. විටෙක  ස්වයං පාපොච්චාරණ වලින් පිරිලාය. මා  එය කියවුයේ විවෘත මනසකිනි.

මම ඔබටද එය කියවීමට අරාධනා කරමි.

මේ ලිපිය මෙතනින් අවසන් නැත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් ධර්මකීර්ති - 28/09/2023

මුලාශ්‍ර - Guerrilla Warfare - Ernesto (Che) Guevera 

ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිගේ පටිගත කළ කතාව


 



Wednesday 13 September 2023

යාපනේ සුරුට්ටුව



යාපනේ සුරුට්ටුව 
------------------
යාපනයට ගියෙමි මම 

ඒ ප්‍රසිද්ධ සුරුට්ටුව 

ඔතනා   හැටි බලන්නට


ඔහු සිටියේ කටේ ගසාගෙන 

හැකි හැම පැයකම ඒ සුරුට්ටුව

හන්දියේ යාපනේ කඩෙන් අරගෙන  

පස්සෙ  දවසක ගිනිදැලින්  වෙලී ගිය 


ඉරිමා  උදයේ දිවයින පත 

අතින් ගෙන, දෙකකුල් උඩ දමාගෙන 

කියවන්නේ සුරුට්ටුව හපාගෙන


 යාපනෙන් ගෙනා සුරුට්ටුව 

දැල්වූවා ලන්ඩන් ගෙවුයනේදී 

දැනුනා ඒ සුපුරුදු සුවඳ 

හිත කොනේ  නැගුනු සතුටට 

හිනාවක් ආවා මගේ මුවගට 

තේ කෝප්පයෙන්,

සිලෝන් ටී වලින් හැදූ 

උගුරක් දමා ගත්තා මුවගට 

සුරුට්ටු දුමකුත් සමගම
 
- ajith dharmakeerthi 13/09/2023

මේ අවස්ථාව සැලසුවාට යාපනයේ යෝගරාජා ප්‍රසන්න සොයුරාට ස්තූතියි   







Tuesday 12 September 2023

කකුළු කරිය

ත්‍රිකුණාමලයේ හිමිදිරිය
'මේ ත්‍රිකුණාමලයේ හිමිදිරිය ඡායාරුපය ගත්තේ මාය'

ලංකාවේ ගත කල කාලය ගැන හොඳ  කතා ටිකක් තිබුනත් ඒවා ලියන්නට වෙන්නේ පසුවය.  මේ පින්තූර පළ කිරීමේ උවමනාවක් නොතිබුණද අපේ  හිතවතිය ධම්මිකා චාන්දනී වැට පැන තිබූ නිසා ලිපියක්ම ලියමි. මම වැඩිය කකුළු ව්‍යංජනය  බුදින  පුද්ගලයෙකු නොවූවත් මගේ දියණියන් දෙදෙනා හා බිරින්දෑද එයට කැමතිය. ත්‍රීකුණාමලයේ සිටිද්දී ඒ සඳහා එක අවස්ථාවක් ලැබුණි.

යාපනයේ සිටි දින දෙක තුන තුල ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. පළමු දවසේ රයිස් සහ කරි සොයා ඇවිද ගොස්  නැති තැන වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකට ගොස් තෝසේ සහ දෝසයි කෑවෙමු. ඒක පට්ටය.නැවති සිටි  හෝටලයේ (අප සිටි හැම තැනම  මෙය මෙසේ විය ) දෙන්නේ රයිස් හෝ නූඩ්ල්ස් පමණය. මේ රයිස් කියන්නේ  ෆ්‍රයිඩ් රයිස් වලටය.නමේ  ලොජික් එක මම නොදනිමි. මට ඒවාට වැඩි කැමැත්තක් නැත. මම කන්නේ රයිස් ඇන්ඩ් කරි ය. ලංකාවට ඇවිත් ලංකාවේ කෑම මිස චීන හෝ වෙනත් රටක කෑම ගැනීමට අපේ පිරියක් නැත. 

අපි රයිස් සහ කරි කෑමට කැමති බව දැන ගෙන  යාපනයේ  සිටිද්දී අප මිතුරු ප්‍රසන්න යෝගරාජා වෑන් රථයේ රියදුරු මහතාට අපව 'තල් සෙවණට' රැගෙන යන ලෙස උපදෙස්  දුනි. තල්  සෙවනේදී ඇසුනේ සුපුරුදු සින්දුවමය. 'අඥේ ඒවා ඉවරනේ. කලින් එන්න තිබුනේ. දැන් තියෙන්නේ නූඩ්ල්ස් නුයි, මියා ගොරන් විතරයි." අපි එහි යනවිට දවල් දෙකට පමණ ඇත. ඔබලාගේ කකුළු කරිය හා බත් පොඩ්ඩක් පමණක අප දෙදෙනාට  සෑහෙන බව කීවෙමු. අනිත් අය නුඩ්ල්ස් කන්නට කැමතිය. වේටර් මහතා කීවේ  කකුළු කරිය නම්  කොහොමටවත් නැති බවත් බත් පොඩ්ඩක් දෙන්නට විධිහක් නැති බවත්ය.

ඉන්පසු ප්‍රසන්න හෝ තවත් අයෙකු අපව චුන්නාකම්  තින්නයි කාබනික වගා පොළ Thinnai Organic Farmනමැති  තැනට රැගෙන ගියේය. අහෝ ඛේදයකි. ක්‍රැබ් කරි තියා මොනම කරියක් වත් නැත.  කාබනික වගා කතාව සංචාරකයන් ඇද ගන්නට දැමූ නමකි.  අපි මෙනු එකේ තිබු පලතුරු යුෂ වර්ග ඉල්ලුවෙමු. නැත. සලාද වර්ග ඉල්ලුවෙමු. නැත. අන්තිමේදී පොඩි දුව බැදපු චිකන් කෑ අතර (ලන්ඩනයේදී මම නිතර හදන දෙයක් නිසා)  මම කටේ තියන්නට බැරි මාළු සුප් එක්ක යන්තන් බීවෙමි. එහි මාළු තිබුණාද  නැත්ද යන්න නොදනිමි. සොහොයුරා සහ ඔහුගේ  ළමයින් ගත්තේ නාසි ගොරෙන්ය Nasi goreng. මම එය මැලේසියානු ආපන ශාලා  වලින් භෝජනය කර ඇති බැවින් අපට දුන් එක කිසි සේත්ම නාසි ගොරෙන්  නොවන බව දුටුවෙමි.බෙරි  වුනු  සුදු බත් වලට   රතු පාටක් කලවන් කර  බදින ලද මාළු කැබලි හා ඉස්සන්  කිහිපයක් දමා හැදූ තවත් 'රයිස් ' එකකි. යාපනයේදී මලයාන් ආපන ශාලාවෙන් කෑ වෙජිටේරියන් මීල් එක නම් නියමය. 
  


අපිට  ලන්ඩන් එන්නට  තිබුනේ ඉරිදා උදේ පාන්දරය. සෙනසුරාදා (09) ප්‍රා ජේ , ඔහුගේ පිය බිරිඳ චුලානි ද  දියණියද  අප බැලීමට පැමිණියහ. ඔවුන් සමග  පශු වෛද්‍ය  මිතුරියක් වන අතිගරු දම්මිකා චාන්දනී මැතිතුමියද පැමිණියාය. 

ඔයිට කලින් ප්‍රා ජේ මා නතර වී සිටින තැන ඔහුගේ රහස් ඔත්තු සේවයට ඇතුලත් කර ගන්නට තැත් කළද මම කවදාවත් එන්නට කියා කීවේ නැත. ඔහුට ඈත වැඩි නිසා අනුකම්පාවෙන් ය.  අන්තිමේදී මොකද්දෝ පොත් තුනක් දෙන්නට කියා හේතුවක් හදා ගෙනපැමිණියේය.

 ඔන්නොහේ  ආගිය දේවල් බොරුවට කතා කරමින් සිටියදී දියණියට  කකුළු කරිය එක වරක් පමණක් ලැබුණු බවත් ඉන්පසු සොයා ගැනීමට නොහැකි වුනු බවත්  කියැවුණි.  මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් යන්නට යෝජනා වත් පැමිණියත් . කොළඹ යන්නට මගේ එතරම් කැමැත්තක් නැත. දුර වැඩිය. අනික ඔය වැඩි ගණන් පොෂ් තැන්  වලට ගොස් ඉරා ගන්නට ලොකු අවශ්‍ය තාවයක් ද නැත. ප්‍රාජේ කීවේ පානදුර ඒ පැත්තට ළඟ නිසා ඒ පැත්තේ බලන්නටය. චුලානි ආපන ශාලාවක්ද සොයා ගත්තාය. ප්‍රා යෝජනා කලේ 'ඇයි අජිත් ඔයාගේ යාලුව ඉන්නෙත් එහෙනේ කතා කරලා අහන්න " කියාය.
යාළුවා දීප්තිය. හම්බ වෙන්න සිටි නමුත් හැකි වුනේ නැත. දීප්තිට කෝල් එකක් ගත්තෙමි. දීප්ති කීවේ "ඇයි අජිත් අපි ගිය පාර  චිකන් රයිස් කෑව තැන ක්‍රැබ් තියනවනේ" කියාය. දීප්ති ගේ නිවස ආසන්නයේ නව්රෝ කියා සී ෆුඩ්  ආපනශාලාවක් තිබේ. එහි චිකන් රයිස් එක නම්ර හය. එහෙනම් අපි එනවා කියා දීප්තිට කීවෙමි.














ප්‍රා ජේ ගේ විශාල ලිමොසින් රථයේ නැගී   අපි පස් දෙනාම කෙසේ හෝ  එතැනට ගියෙමු.  යන්තන් අපේ වාසනාවට කරිය නැතත් ක්‍රැබ් තිබුණි. බිත්තර හා ගම්මිරිස් දැමූ ක්‍රැබ් සුප් එක නියමය. කෙලින්ම රෙකමන්ඩ් කරමි. ඉන්පසු ක්‍රැබ් හා වෙනත් සී ෆුඩ්  සහිත ග්‍රිල් තුනක්ද ඇණවුම් කළෙමු. ඒවා ද පට්ටය. එකෙන්ම රෙකමන්ඩ් කරමි. 

 ඒ ඇරෙන්නට කිසිම දේශපාලන කතාවක් නොකෙරුණු බව සහතික කර කියමි. දීප්ති වෘත්තිකයන්ට  බදු ගැහීම  ගැන විරුද්ධ බවක් නොපෙනෙන  නමුත් මම විරුද්ධය. මගේ අදහස ගහනවානම් හැමෝටම බදු ගැසිය යුතු බව ය. හැමදාම බදු බරින් පීඩා විදින වෘත්තිකයන් ගේ බදු වැඩි කිරීමට මම විරුද්ධ වන්නේ ගන්නට ලෙහෙසි තැන නිසා ආණ්ඩුව එය කරන හෙයිනි.   දීප්ති කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ගෙන්    60%  පවර්ටි ලයින් එකෙන් යට බවත් ඔවුන් වක්‍රව බොහොමයක් බදු ගෙවන බවත්ය. (දිළිඳු කම පිලිබඳ රේඛාවට යටින්) -The poverty line is the minimum amount of money a person needs to fulfill the basic necessities of life, like shelter and food. When families are below the poverty line, they qualify for help from the government. ඒ කියන්නේ ජනතාව ගෙන් සියට හැටක් නිවස හා ආහාර හරිහැටි  නොලැබී දුක් විඳින බවය. මම මේ ගිය චාරිකාවේ වැඩි පුරම දැක්කේ කන බොන එවුන්ය. ඒ අතරේ දිළිඳු අය සිටි බවද  ඔවුන්ගෙන් සමහරුන්ට මුදල ආධාරද කල බවද සඳහන් කරමි. පොළොන්නරුවේ හමුවූ වයසක අම්මා කෙනෙකුට ඒ දිනවල විෂන් කෙයාර් එකෙන් ගත් උපැස්  යුවලක්ද  පරිත්‍යාග කළෙමු. ලංකාවේ අය  සෑහෙන්න දැන් ලෝකල් චාරිකා යති. මේ ගිය අවන්හලද කටටම පිරිලාය. ඒ නිසා  මේ කතාව ඇත්තද කියා  අහන්න වෙන්නේ අපේ මිතුරු එකොනොමැට්ස් ගෙන්ය.
 
දීප්ති තමන් මේ සීයට හැට වෙනුවෙන් පෙනී සිටින  බව කියයි. එතකොට මම ඇහැව්වේ ඉරාජ් ල හෙම ගෙනාවේ ඒක  අහන්නද?  වැඩේ ටිකක් කොන්ට්‍රොවර්ෂල් නේද?" කියාය.   "ආ එයාලා ගෙනාවේ කොන්ට්‍රොවර්ෂල් වුනහම අපේ එවුන් බලන නිසා " කියා දීප්ති කින්ඩි හිනාවක් දැම්මේය. ඒකත් ඉතින් ඇත්තය. හොඳ මාකටින් නරක මාකටින් කියා දෙයක් නැත. 

අපව නැවත ගම් තුලානට  ගෙනත් බැස්සවීම ගැන ප්‍රා ජේ ටද ලිමොසින් එකටද ස්තුති වන්ත වෙමි.