Thursday 15 November 2018

කතානායක කරු ජයසූරිය

ගරු "පත්කළ" අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට  හෝ වෙන අයෙකුට  අගමැති වන ලෙස ආරාධනය කරන්න  ලංකාවේ ජනාධිපතිවරයට ව්‍යවස්ථානුකූලව පුළුවන් බවයි මගේ අදහස.   ඉන් පස්සේ අගමැතිවරයා අතේ තමයි පාර්ලිමේන්තු බහුතරය පෙන්වන කාර්යය තියෙන්නේ. ඒ අනුව අලුත පත්වන අගමැතිවරයා බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වන්න ඕනේ. මෙතැනදී ප්‍රශ්න  දෙකක් වුනා. එකක් හිටපු අගමැතිවරයා ඉල්ලා අස්  නොවීම. ජනාධිපති තුමාට අගමැතිවරයෙකු පත් කරන්න   පුළුවන් වුනාට අගමැති කෙනෙකු අස් කරන්න  ව්‍යවස්ථානුකූලව බලයක් මා දන්නා පරිදි  නැතිකම.
දෙක, බහුතරය පෙන්වන්න නම් නව අගමැතිවරයාට ඒ සඳහා කතානායකවරයා විසින් ඉඩ සලසා දීම. ප්‍රශ්නය වුනේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව කලින්ම විසුරුවා හැරීම සහ එය වැළැක්වීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම. මෙතනින් එහා ඒ ගැන මම ලියන්නේ නැහැ. මොකද නීතිය  ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක් නිසා.

මට ටිකක් කණගාටුයි කරු ජයසුරිය මහත්මය පත්වෙලා ඉන්න තත්වය ගැන. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  චෝදනා කලත් කරු ජයසුරිය මහතා පාක්ෂික (bias) විධිහට  වැඩ කරනවා කියල ඔහුට අමතක වුනාද දන්නේ නැහැ කරු ජයසූරිය සිවිල් යුද්ධය පැවති  සමයේ  එජාප මන්ත්‍රීන් 17 රැගෙන මහින්ද මහතාගේ  සහයෝගයට පැත්ත මාරු කළ බව.  එනිසා මහින්ද මහත්මයට තිබුනා තරුණ මන්ත්‍රී වරුන්ට පහදලා දෙන්න කරුගේ වරදක් නෙමේ ඔතන තියෙන්නේ කියල. කතානායක පත් කලේ යුඇන්පී හා එවකට ඔවුන්ට පක්ෂ අයගේ චන්දෙන්. ඔහු අපක්ෂපාති වෙනවා කියන්නේ  තරමක් දුරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට වැඩ කරනවා කියන එක. ඔහුට අගමැති වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ.

මට කරු ජයසුරිය මහතා හමුවෙනව 2016 දෙසැම්බරයේ. ඒ අකාලයේ ඔවුන් හැරගිය ඔහුගේ බාල දියණියට සමුදෙන්නට ලන්ඩනයට පැමිණි වෙලේ.  එම අවමංගල්‍ය දිනයේ මෙහෙම සටහනක් දැම්ම. එහෙම  කලේ මම කරු ජයසුරිය මහත්මයාගේ දේශපාලනය අනුමත කරන නිසා නොවේ. එවෙලේ ඇතිවුන කණගාටුව සහ ඔහුගේ උපේක්ෂා සම්පන්න බව දැකල.  මට එවෙලේ කොහෙත්ම හිතුනේ නැහැ කරු ජයසූරියට තව දුරටත්  දේශපාලන අපේක්ෂාවන් තිබෙනවා කියල.

එම ලිපියේම විමල් විරවංශ මැතිතුමා පිළිබඳව මෙන්න මෙහම  සටහනක් තිබෙනවා.
//වසර 1997 දී කරු ජයසුරිය කොළඹ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා.  ඒ වසරේදීම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ මහතාත් තේරී පත් වෙනවා. පළමුවැනි  රැස්වීමට එන විමල් විරවංශ මහතා හා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ තවත් තරුණ මන්ත්‍රීවරු පිරිසක් ටයි ගැටය දාගන්න දඟලන අන්දම කරු ගේ දෑසට හසු වෙනවා. කරු එතනට ගිහින් විමල් විරවංශ තරුණ මහතාගේ සහ අනිත් තරුණ මන්ත්‍රීවරුන්ගේ ටයි ගැට දාන්න උදව් වෙනවා.  ඊට පස්සේ එක මේසේ ඒගොල්ල  සාකච්චා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම  කතා කරන්න  බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල "//

මට දැන් හිතෙන දෙයක් තමයි ගරු ජනාධිපතිතුමා අකැමති වුනත් කරු ජයසූරිය මහත්මය අගමැති පදවිය භාර අරගෙන භාරකාර ආණ්ඩුවක් 2020 දක්වා ගෙනියන්න ඕනේ කියන එක. මේ අදහස අජිත් පැරකුම් ජයසිංහ මහත්මයත් ඉදිරිපත් කරලා තියනවා මම දැක්කා.

එහෙම  නැත්නම් 2020 ජනාධිපතිවරණට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න  ඕන කියල.  මොකද ඔහුට වැඩි බලාපොරොත්තු නැති, ඕනෑවට වඩා අපේක්ෂා නැති තව දුරටත් මුදල් පොදි  ගහගන්න අවශ්‍යතා නැති,පවුලේ  නොයෙකුත් ප්‍රශ්න ඇතිකරන, ඔටුන්න භාර දෙන්න වෙන  තරුණ දරුවෝ නැති කෙනෙක් නිසා.  එසේම එම අවුරුද්දෙන් පස්සේ කොහොමත් විධායක බලය ලැබෙන්නේ මන්ත්‍රී චන්දයෙන් පත්වන අගමැතිවරයාට බ්‍රිතාන්‍ය ක්‍රමයට.
එනිසා ඔහු එවැනි පොදු අපේක්ෂකයෙක් වීමේ අවුලක් නැහැ.
මේක   අද   සිදුවූ අප්‍රසන්න සිදුවීම් දැකල    හිතට ආපු අදහසක් විතරයි.

මුල් සටහන

මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ

4 comments:

  1. මම හිතන්නේ එ.ජා.පෙ නායකත්වයට ගැලපෙනම මිනිහා කරු ජයසුරිය.රනිල්ගේ පස්සේ සජිත් නායකයා වෙනවාට වඩා කරු නායකයා උනොත් රටටත්,පක්ෂයටත් එක හොඳයි කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. කරු සංක්‍රාන්තික (වචනේ හරිද මන්ද) interim නායකයෙක් හැටියට පත් කලා නම් හරි

      Delete
  2. මෙම පොස්ටුවේ හැටියට නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර තැන්පත් ශ්‍රීමත් දේශබන්දු කරු ජයසූරිය මහතා අජිත් ධර්ම මහතාගේ හිතවතෙකු වගේය. කතානායකතුමාගේ පෞද්ගලික අභිලාශ පවා අජිත් ධර්ම මහතා දන්නේ එම නිසාම විය හැක.

    එම නිසා අජිත් ධර්ම මහතාගේ මෙම බ්ලොග් අඩවිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර තැන්පත් ශ්‍රීමත් දේශබන්දු කරු ජයසූරිය මහතා නොවරදවාම බලනවා ඇතැයි කියා අප සිතමු.

    ඒ අනුව අප කියා සිටින්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර තැන්පත් ශ්‍රීමත් දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහී බවයි. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ ප්‍රකාශ කර සිටිමු. අජිත් ධර්ම මහතාට අපගේ බරපතල අමනාපය මෙසේ දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. එහෙම ලොකු හිතවත්කමක් නැහැ ඇනෝ . අර ඔයාලා බනින සම්මාන උළෙලට ආපු වෙලාවේ කතා කරලා දන්නවා විතරයි. මට පෙනුනේ එතුමාට ඔය ලොකු ඇම්බිශන්ස් නැහැ කියල. එතකොට එන ඝට්ටන අඩුයිනේ. ඒකයි මෙහෙම යෝජනාවක් ගෙනාවේ. කථානායක පක්ෂපාති නම් කරන්න ඕනේ විශ්වාස භංගයක් ගෙනල්ල කථානායක අයින්කරලා වෙන කෙනෙක් පත් කරන එකනේ. ඔතනට කැලෑ නීතිය ගෙනත් ගහන්න යන එකේ නෙවෙයිනේ නේද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .