ක්‍රිස්ටෝපර් නෝලන් ගේ ඔඩිසි සිනමා පටය තවම නැරඹුවේ නැත . එයට හේතුව එය වඩා හොඳින් නැරඹිය හැක්කේ IMAX 70mm පුළුල් තිරයක් මත විමය . සාමාන්‍ය ඩිජිටල් සිනමා තිරයකට වඩා 10 ගුණයකටත් වඩා වැඩි පැහැදිලිතාවක් (Resolution) 70mm ෆිල්ම් පටයක් තුළ අඩංගු වේ. එය ආසන්න වශයෙන් 18K අගයකට සමාන වේ. IMAX කැමරාවලින් රූගත කළ දර්ශන 1.43:1 යන විශාල අනුපාතයෙන් තිරගත වේ. මෙහිදී තිරයේ උඩ සහ යට කළු පටි (Black bars) නැතිව මුළු සිනමා තිරයම දර්ශනයෙන් පිරී යයි. ඩිජිටල් සිනමාවට වඩා ඡායාරූපමය ගුණය , වර්ණවල ස්වාභාවික බව සහ රූපවල තාත්වික බව 70mm ෆිල්ම් මගින් ඉතා ඉහළින් ලබා දෙයි. එවැනි සිනමා ශාලා ලන්ඩනයේම ඇත්තේ දෙකකි . ඒ දෙකෙහිම ඉදිරි මාසය දක්වා ප්‍රවේශ පත්‍ර විකිණී අවසානය . තවත් එකක් මැන්චෙස්ටර් වල ඇත. ඒ නිසා ඉදිරි මාසයේදී නැරඹීමට සිතා සිටිමි . මේ කියන්න යන්නේ වෙන කතාවකි .
ක්‍රිස්ටෝෆර් නෝලන් හෝ වෙනත් නිර්මාණකරුවෙකු පෞරාණික මධ්‍යධරණී/ග්‍රීක පුවත් ආශ්රිත නිර්මාණ සඳහා කළු ජාතික හෝ දුඹුරු පැහැති රංගන ශිල්පීන් (උදාහරණයක් ලෙස ලුපිටා න්යොන්ගෝ වැනි) තෝරා ගැනීම හුදෙක් සිනමාත්මක නිදහසක් පමණක් නොව, එහි සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පදනමක් ද පවතී.
මෙහිදී මට මතකයට නැගෙන්නේ මා ග්‍රීසියේ ජනතාවට හෙලනික් වරු කියා හැඳින්වීමත් ඔවුන් හෙලස් නැමැති ජන කොට්ඨාශයෙන් පැවතෙන බවත් මා කලකට පෙර ලියූ බවයි . මා ඇතන්ස් හි කෞතුකාගාරයක කුරේටර් කෙනෙකු සමග සාකච්ඡාවකදී හෙලස් (Hellas නමැති ප්‍රදේශයේ) ජනයා අතර පැවති සබඳතාව පිලිබඳ කතාව ඉස්මතු විය. පෞරාණික හෙලස් ජනයා සහ ලංකාවේ 'හෙළයන්' හෝ රාවණා පුවත අතර ඇති බැඳීම් වර්තමාන ඓතිහාසික කථිකාවන් තුළ අර්ධ-ප්‍රබන්ධ ලෙස සැලකුවද, පූර්ව-ග්‍රීක ශිෂ්ටාචාරයන්හි ලෝකය පුරා පැතිරුණු සාගරික සබඳතා පැවති බවට මෙය කදිම තර්කයක් බව ඔහු පැවසුවේය . අපි දෙදෙනාම එය ප්‍රබන්ධයක් පමණක් වන බවට වූ අදහස ගැන අවබෝධයෙන් සිටියෙමු .
රසික සුරියආරච්චි මේ පිළිබඳව උපහාසාත්මක සඳහනක් කර තිබූ බව මට මතක් විය . නමුත් ඔහු ඇතැන්ස් හි ගතකළ දින තුනක කෙටි සංචාරය තුළින් පෞරාණික මධ්‍යධරණී ඉතිහාසයේ ගැඹුර සොයා ගැනීමට නොහැකි වීම සාධාරණ ය. ඇතැන්ස් හි නතර නොවී අක්‍රෝටිරි (Akrotiri) සහ හෙරක්ලියොන් වැනි මිනෝඅන් ශිෂ්ටාචාරයේ මූලබීජ පැවැති ස්ථානවල සංචාරය කිරීමේදී නිරීක්ෂණය වන ප්‍රධාන කරුණක් වන්නේ, එහි ජීවත් වූ පැරණි වැසියන් සාම්ප්‍රදායිකව හොලිවුඩයේ පෙන්වන සුදු ජාතිකයන්ට වඩා දුඹුරු පැහැති (දැඩි දුඹුරු පති හෝ ඔලිව් පැහැති) සමක් සහිත මිනිසුන් බවයි. ඒ ගැන ළඟකදී කල කැණීම් වලින් මතුවූ චිත්‍ර සමග මම ග්‍රීක සංචාරය පිළිබඳ ලිපියකින් පැහැදිලි කලෙමි . -ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය
අප්‍රිකානු මහාද්වීපය සමඟ පැවැති සමීප සාගරික වෙළඳ සබඳතා නිසා උතුරු අප්‍රිකානු ජනගහනයන් ද මෙහි මුසු වී සිටියහ. උපහාසාත්මක සටහන් දුටුවද මා නිහඬව සිටියේ, මිනෝඅන් ශිෂ්ටාචාරයේ අතීත සාක්ෂි ඊට වඩා සංකීර්ණ බැවිනි. මාලන් රොෂාන් ඔහුගේ ෆේස්බුක් සටහන් වල පෙන්වා දෙන පරිදි, පූර්ව-ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබූ මෙම "හිස්තැන" සහ වර්ණ විවිධත්වය නෝලන් වැනි අධ්‍යක්ෂවරයෙකු නිවැරදිව දැකීම අගය කළ යුතුය.
ක්‍රිස්ටෝෆර් නෝලන් ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ පැරණි ග්‍රීක සහ මධ්‍යධරණී ආශ්රිත ඉතිහාසය හෝ සාහිත්‍ය නිර්මාණ (උදාහරණයක් ලෙස ද ඔඩිසි ) ප්‍රතිනිර්මාණය කිරීමේදී ප්‍රධාන චරිත සඳහා කළු ජාතික රංගන ශිල්පීන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ හැකි තීරණයකි. මධ්‍යධරණී කලාපයේ පැරණි ශිෂ්ටාචාරයන්හි හිස්තැන් සහ මිනෝඅන් (Minoan) යුගයේ නටබුන් දෙස බලන විට, මෙම තීරණය පිටුපස සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පදනමක් ඇති බව පැහැදිලි වේ.
මිනෝඅන් ශිෂ්ටාචාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ සැන්ටොරිනි හි අක්‍රෝටිරි හි සොයාගත් පුරාවිද්‍යාත්මක බිත්ති සිතුවම් (Frescoes) පරීක්ෂා කිරීමේදී, එහි ජීවත් වූ පැරණි වැසියන් පැහැපත් යුරෝපීයයන්ට වඩා දුඹුරු පැහැති සමක් සහිත මිනිසුන් බව පෙනී යයි. එමෙන්ම, අප්‍රිකානු මහාද්වීපය සමග පැවති සමීප සාගරික වෙළඳ සබඳතා නිසා උතුරු අප්‍රිකානු ජනගහනයන් මධ්‍යධරණී ප්‍රදේශයන්හි බහුලව මුසු වී සිටියහ. නෝලන් මෙහිදී සිදුකර ඇත්තේ සාම්ප්‍රදායික හෝලිවුඩ් "යුරෝපීයකරණය" වෙනුවට, එම ආදී ශිෂ්ටාචාරවල තිබූ සැබෑ විවිධත්වය සහ වර්ණපාලනය තිරයට නැඟීමයි.
පැරණි සිංහල සෙල්ලිපි අතර කුඩා අකුරින් පසුකාලීනව ලියන ලද බව පැවසෙන අන්තරේඛීය අක්ෂර සහිත සෙල්ලිපි පදනම් කරගෙන පරණවිතාන මහතා ලංකාව සහ ග්‍රීකයන් (යවනයන්) අතර සබඳතා විස්තර කළේය.
බුද්ධප්පිය හිමියන්ට අයත් යැයි සඳහන් පාඨයක් මගින් අනුරාධපුරයේ බටහිර දොරටුව ආසන්නයේ පැවති යවන ජනපදය (යෝනවිසාහ) සහ පණ්ඩුකාභය රජ සමයේ සිට පැවති ග්‍රීක සබඳතා දක්වා -ක්‍රි.පූ. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 5 වන සියවස දක්වා ලංකාව හා ග්‍රීසිය අතර පැවති සබඳතා පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.
මහාචාර්ය ඒ.ඩබ්ලිව්.පී. ගුරුගේ සහ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල වැනි පසුකාලීන විද්වතුන් මෙම අන්තරේඛීය සෙල්ලිපි පරණවිතාන මහතාගේ පෞද්ගලික නිගමන ලෙස විවේචනය කළ ද, පැරණි ලෝකයේ පැවති නාවික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ කථිකාව මෙයින් නතර වන්නේ නැත.
පරණවිතාන මහතාගේ මතයට අනුව මෙවැනි කාල පරාසයක ලංකාව හා ග්‍රීසිය අතර සබඳතා පවතී බව සඳහන් වේ .
- ක්‍රි.පූ. 4 වන සිට 3 වන සියවස දක්වා: අනුරාධපුර රාජධානියේ ආරම්භක යුගයේ (පණ්ඩුකාභය රජ සමයේ) සහ චන්ද්‍රගුප්ත හා අශෝක අධිරාජ්‍යයන්ගේ මෞර්ය යුගයේ සිදු වූ මුල්කාලීන සබඳතා.
- ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 1 වන සියවස දක්වා: වයඹදිග ඉන්දියාවේ පැවති ඉන්දු-ග්‍රීක රාජ්‍යයන්ගේ ස්වර්ණමය යුගයේ සහ මධ්‍යධරණී සාගරික වෙළඳ සබඳතා පැවති සමයේ සිදු වූ ගනුදෙනු.
- ක්‍රි.ව. 5 වන සියවස: මෝරිය වංශික පාලන සමයේ (උදාහරණයක් ලෙස ධාතුසේන රජ සමයේ) සිදු වූ පසුකාලීන සබඳතා.
කෙසේ වෙතත්, ඉතිහාසය යනු ස්ථීර ලෙස එක තැන පවතින ලියවිල්ලක් නොවේ. පරණවිතාන සූරීන්ගේ මතයන්හි පවතින විවාදශීලී බව මෙන්ම, මධ්‍යධරණී මිනෝඅන් ශිෂ්ටාචාරයේ අප්‍රිකානු හා ආසියානු මුසු වීම් ද පෙන්නුම් කරන්නේ පූර්ව-සමාජයන්හි පැවති සංකීර්ණ සබඳතාවල හිස්තැන් ය.
ලූපිටා න්යොන්ගෝ වැනි පෞරුෂයකින් හෙලන්ගේ හෝ මධ්‍යධරණී චරිතයක් නිරූපණය කිරීමට නෝලන් ගත් තීරණය, හුදෙක් සිනමාත්මක නිදහසක් නොවේ; එය අතීත ශිෂ්ටාචාරවල පැවති මෙම අප්‍රකට, අඳුරු පැහැති සම ඇති මිනිසුන්ගේ ශිෂ්ටාචාර විසින් තැබූ නියම අතීත සටහන් වල හිස්තැන් පුරවාලීමට තැබූ සාර්ථක පියවරකි.
අක්රොපොලිස් , පාතිනොන් සහ ග්‍රීක අගෝරාව - ග්‍රීසියේ සංචාරය 1
ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල් පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව 4000-3500 තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද මෙම පාෂාණය ආභරණ සැදීමට, මාළිගාවල සහ ආරාම වල විසිතුරු කිරිමට භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත් ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත කී පුරා විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන් ආවේ ගියේ එහෙයිනි.
ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ යෙලේනා පෙට්රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසැල් පිහිටුවිමටද පුරෝගාමී වූවාය. බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය. බ්ලවැට්ස්කි ගැන ලියුවේ මම අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා ලංකාවට ගිය බව දැන ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි.
***********************************************************************
යෝන කියන්නේ සෝන
ReplyDeleteඒ කියන්නේ මහසෝනට
හරි මචන්
Deleteමධ්‍යධරණී ඔලිව් පාට හෝ ඊට වඩා දුඹුරු වුනාට කවුරුවත් මොනවත් කියන්නෙ නෑ. උතුරු අප්‍රිකානු පාට වුනත් කමක් නෑ.
ReplyDeleteඒත් නැගෙනහිර අප්‍රිකානු, ලුවෝ ගෝත්‍රික, කෙන්යන් ජාතික ලුපිටා වගේ නිලියක් හෙලන්ට ගත්තාම ඔබ්වියස්ලි නොගැලපෙන ගතියක් තියනවනෙ.
ඉලියඩ් එකේ වීරයෙක්වෙන කලු අප්‍රිකානු මෙම්නන් ඉන්නව. ඒත් ස්පාටා/ Lacedaemon වල හෙලන් එහෙම වෙනවයි කිව්වාම හුඟක් odd.
ඔලිව්, දුඹුරු, මිල්ක් කොෆී, චායි, තද දුඹුරු (මිල්ක් චොක්ලට් වුනත්) තනි කලු චාර්කෝල්වලට වඩා වෙනස්නෙ.
නෝලන්ට රියල් අයිතිහාසික වෙන්න ඕනෙ වුනානම් හොඳයි හැබැයි හැම මගුලම Woke වෙන එක හොලිවුඩ්වල කරන්ට් වසංගතයක් නෙ.
inclusion හොඳයි but the current reverse-discriminatory, woke, PCnessනරකයි.
මම වගේ නියුට්‍රල්, ඉතිහාසය, mythology හා සාහිත්‍යය රසවිඳින, කතාව, රඟපෑම සහ ස්මූත් ලෙස යන චිත්‍රපටි නරඹන, චිත්‍රපටිවලින් පණිවුඩ ලැබීමට අකමැති අයට වෝක් jarring.
වර්තමාන සමාජ දේශපාලන ට්‍රෙන්ඩ්ස් ආදේශය හෝ පෙර වැරදි දැන් හරිගැස්සීම හොලිවුඩ්වල නිශ්පාදන විසින් කිරීම ගැන නරඹන මගේ කැමැත්තක් නෑ (මට ඕනෙ විදිහට චිත්‍රපටි හැදෙන්නේ නෑ, ඒත් මම ඒ ලඟින් යන ඒවට කැමතියි නේ)
( නොමිලේ ඇති සයිට් නිසා සතියකට හොලිවුඩ්, නෙට්ෆ්ලික්ස්, බිබීසී, ඩිස්නි, ඇමසෝන් ප්‍රයිම්, ඇපල්, හුලු ආදීන්ගේ චිත්‍රපටි හා සීරීස් එපිසෝඩ්ස් 10කට වඩා නරඹන මට වෝක් විකාර නිසා ආ frustration එක මගින් ආ පුද්ගලික අදහසකි. සමාවෙන්න. )
Btw, නෝලන් රූපට් ග්රින්ට්ව දාල බ්ලැක් පැන්තර් හදයිද? :-D
මේක වෝක් වැඩක්ම කියල කියන්නේ කොහොමද ? මම ඔය චිත්රවල දාල තියෙන්නේ කළු අප්‍රිකානු රටක් එක්ක යුද්ධයක් තිබ්බ වගේ කියල . ඒවා යුරූපිය රටවල් නෙමේ . අප්‍රිකානු ගැහැනියක් ඕන තරම් රජාට ඉන්න පුළුවන් . ග්‍රීසියට ගැහැණු ලංකාවෙනුත් ගෙනිහින් තියනව .
Deleteනෝලන් රූපට් ග්රින්ට්ව දාල බ්ලැක් පැන්තර් හදයිද? - දන්නේ නැහැ . පැන්තර් කියන්නේ කළු සතෙක් නේ . අර ප්‍රබන්ධයේ හෙලන් ඕන කෙනෙක් වෙන්න පුඋවන් . සුදු බ්ලොන්ඩ් වෙන්න අවශ්‍ය නැහැ
Deleteහැබැයි ෆවුන්ඩේෂන් සිරිස් එක - ඇසිමෝව් ගේ - ඒකට වෝක් විකාරයක් කරල් තියෙනවා . ඒ නිසා ඒ පොත් කියවපු කෙනෙක් හැටියට ඒක ටිකක් අවුල් . සම්පුර්ණයෙන්ම ගේ සමාජයට හදල තියෙන්නේ වගේ පේනව
Deleteකොපමණ ඇසුවත් මට නං ඇති නොවෙන
ReplyDeleteගතියක් තිබෙයි මේ තොරතුරුවල වටින
හොයන තරමටම කුතුහලයත් වැඩෙන
අරුමෙකි! ලැබේවා ‘ඔඩිසි’ය බලන පින!