ඔන්න ඊට පස්සේ තමයි මෙන්න මේ ශීලා ලිපිය දැක්කේ. ඕවට කියන්නේ ස්ටෙලා කියලද කොහෙද. පුරාණ මිසර අකුරු වගයක් තියෙනව නේද. ඒ අකුරු වලට කියන්නේ හයිරග්ලිෆ්ස් Hieroglyphs වගේ දිව උළුක් වෙන වචනයක්. මේක කියව ගන්න ගූගල් කාරය ගේ උදව්ව ගන්න හිතන කොටම වගේ කවුද ෂේප් එකේ ස්ස් ගෑව පැත්තක ඉඳන්. ඉස්සෙල්ල බලනකොට පාරාවෝ කෙනෙක් ගේ මමියක් පිටි පස්සේ හැංගිලා මෑන් හිටියේ. ඊට පස්සේ නන්දනය එහා මෙහා වෙනකන් ඉඳල ආව මගේ ළඟට. සද්දන්ත මේ මනුස්සය දැකල පුරුදු කෙනෙක් වගේ.
බලනකොට මේ රාවණා නේ වෙස් වළාගෙන.
"දේවයන් වහන්ස මේ මොකෝ මේ කලිසමක් ඇඳලා සන්ග්ලාස් දාල කෝවිඩ් මුකවාඩමකුත් බැඳන්? නොපෙනී ඉන්න පුළුවන් කම තියෙද්දී. කෝ හිස් දහයයි අත් දහයයි " මං ඇහුවා.
"හිස් ටිකයි අත් ටිකයි අර වහපු කෑල්ලේ තියල ආවේ. තමුන්නැහේ අද එනවා කියල මට ඔත්තුවක් ආව . මේ මිනිස්සු ඉන්න තැනක වෙන හම්බවෙන්න විධිහක් වත්නැ හැනේ" රාවණාත් ගානක් නැතිව කීව.
"ඒකනේ හරියට විස්තර කතා කරන්නත් විධිහක් නැහැ තමයි"
"හරි කතා කරන්න පස්සේ හම්බ වෙමු කෝ. ඔය තැනැත්තා අද මේ හරියට එනවා කියල අපට හරියටම ලංකා ඔත්තු සේවයෙන්ම කීව. එනිසා මම ශිලා ලිපිය ගැන කියලා යන්න ආවේ. අපි ඒ කාලේ මිසරයටත් ආව කියල පෙන්නන්න "
"අම්මට සිරි එහෙත් ගියාද , දඬු මොණරෙන් උඩින්ද ගියේ"
"නැතිව වෙන කොහොම යන්නද මනුස්සයෝ? තමන්ගේ ෆීල්ඩ් එකේ නොවෙන දේවල් ගැන කතා කරන්නේ නැතිව ඉන්නවා. ෆේස්බුක් පොලිසියෙන් හිරේ දම්ම ගන්නේ නැතිව. මම ඉතින් ඒ කාලේ ක්ලියෝපැට්ර නංගා බලන්නත් එනවනේ මාර්ක් ඇන්ටනි ට හොරෙන් "
"එහෙමත් සීන් එකක්ද? අපි ඕව දන්නේ නැහැනේ. කොහෙද ඉතිහාස කාරයෝ ඕව ලියන්නේ නැහැනේ. දැන් එතකොට මොකක්ද අර පෙන්වන්න හැදුවේ"
"ඔය තියෙන ශිලා ලිපියේ බලන්න එක්කෙනෙක් නටනවා. එක්කෙනෙක් පෙන්වනවා අතින් ඩ්‍රම් එක. "
"ඉතින්"
"ඕකේ තියෙන්නේ අවුරුදු 2070 කට පස්සේ අපේ ඉතාමත් වංශවත් හඬින් මධුර ගී ගයන රූමත් උමාරියා සිංහවංශ දියණිය අපි දෙන්න අර විල ළඟ මාක් ඇන්ටනියට හොරෙන් දාපු ලව් සීන් එක ගැන "මන්ද පමා" කියල සින්දුවක් කියනවා කියලනේ. ක්ලියෝ මම එනකන් තමයි බලන් හිටියේ."
"සීරියස්ලි, එතකොට අර පිටිපස්සේ ඉන්නේ කවුද "
"ඒ අර සුප්‍රසිද්ධ භාතිය ජයකොඩි ළමයනේ "
"හරි හරි ඒ දෙන්නනේ සින්දුවට සම්බන්ධ නේද, "
මට ඒ වුනාට අවුරුදු ගණන් පොඩ්ඩක් අවුල් වගේ.
එනිසා පොඩ්ඩක් බයෙන් බයෙන් ඇහැව්වා "දේවයන් වහන්ස අපේ ඉතිහාස කට්ටිය කියන්නේ ඔබතුමා රජකලේ අවුරුදු පන්දහකට විතර කලින් කියලනේ. වයස බැලුවහම හරියට ගැලපෙන්නේ නැහැ වගේ. අනික දැන් මේ පහළ තියන විස්තරයේ තියෙන්නේ හොරයි, චූටියි ගේ සොහොනින් ආපු එකක් කියල. ඒ ගොල්ලා තමයි අමුන් මහා දෙවොලේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පීන්"
"ඔය ළමයට මම කිව්වා නේද ෆීල්ඩ් එකට අදාල නැති දේ ගැන කතා කරන්න එපා කියල. ඕව ඔය අධිරාජ්‍යවාදීන් හොරෙන් ගෙනල්ල ඉතිහාසය විකෘති කරලා ලියපුව. ඔය දෙවොල හැදුවෙත් අපි තමයි. ලංකා පුරයෙන් තමයි ශිල්පීන් අරන් ගියේ. ඔය යට මොකද්ද ලජබටකිව් කියල ගහල තියෙන්නේ. මේකට කිසිම සම්බන්ධයක් නැහැනේ."
"හරි මට තේරුණා. තව මුකුත් ලියල නැත්ද මේකෙ දේවයන් වහන්ස . මේ දවස් වල කෝවිඩ් නිසා ලංකාවට පොඩි තර්ජනයක් තියනවා. විදේශීය සංචිත අඩු නිසා පිටරටින් මුකුත් ගෙන්වන්නේ නැතිව වවාගෙන කන්න හදන්නේ"
"ලංකාවේ නායකයෝ කොහොමත් වවාගෙන කන්න දක්ෂයි නේද? විභිෂණය මට කළෙත් ඕකනේ. සහෝදරයෝ කොච්චර ලං වුනත් පරිස්සමින් ඉන්න ඕනේ. නැතිනම් දඬු මොණරෙට ගහන තෙල් ටිකට හරි කෙළියි. මොන දේ වුනත් දඬු මොනර ප්‍රමාණයක් ණයකට හරි අරගෙන මගේ යක් ජනතාව රැක බලා ගන්න රාජ්‍ය සභාවේ එවුන් ටික රැක ගන්න ඕනේ. "
රාවණා දිව දෙකින් කතාකරන්නේ දැයි මට සැකයක් ඇතිවුණි.
" එකනම්දැ වෙන්නේ නැහැ දේවයන්න් වහන්ස. මේ දවස් වල ගංවතුර නිසා සරොම් කැහිපොට ගහගෙන තල රාත්තල ගානේ නෑ යකුන්ට බෙදන් යනවා සභාවේ සමහරු. මුකුත් උපදෙසක් වත් දෙන්න බැරිද දේවයන් වහන්ස මොකද කරන්නේ කියල "
"මම මොකටද ඒක කරන්නේ අර වාරකන් කාලේ මැරෙන මාළු කන එගොඩහේවා යකයි, සර්ව ලෝක විශාරද දේපැණියා යකයි ඒවා කරනවනේ. ඔහොම ගිහිල්ල ඕක ගිලා බැස්සහම චීන මස්සිනාලට කියල වැලි වලින් තව එකක් ගොඩ දාල දෙන්නම් "
"මේ මේ දේවයන් වහන්ස "
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
රාවණා නරිදු පහල පින්තූරයේ තියෙන පූජකවරයෙක් ගේ විශාල මමියක් අස්සෙන් නොපෙනී ගියේය.
"මොකද බං කෞතුකාගාරේ අස්සේ කෑ ගහන්නේ "
නන්දනයාගේ හඬින් යන්තම් සමාන්තර විශ්වයෙන් මේ පැත්තට පැන ගතිමි.