සෑම දිනකම කුඩා කුහුඹිය තම කාර්යාලයට (හෝ වැඩපළට ) හිමිදිරියේම පැමිණ එසැණින්ම වැඩ පටන් ගත්තාය. සෑම දිනකම නිෂ්පාදන බොහෝමයක් කළ ඇය ඒ ගැන ඉතා සතුටු වූවාය. ඇගේ බොසා හෙවත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තැන වන සිංහයා කුහුඹිය කිසිදු සුපවයිසර් කෙනෙකු නොමැතිව, කාගේවත් සොයා බැලීමකින් තොරව වැඩ කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කළේය. ඔහුට හදිසි යුරේකා මොහොතක් පහල වුනේ එවිටය. මැනේජර් කෙනෙකුගේ, සුපවයිසර් කෙනෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇය මෙතරම් නිෂ්පාදනය කරනවා නම් සුපර්වයිසර් කෙනෙකු යටතේ ඇය වඩා පලදායී ලෙස නිෂ්පාදනයේ යෙදෙනු ඇතැයි සිංහයාට සිතුනි.
සිංහයා කලේ ඉතා හොඳ වාර්තා (රිපෝට්) ලිවීමේ කෙළ පැමිණියෙකු වූද සුපවයිසර් කෙනෙක් ලෙස ඉතා දීර්ඝ පළපුරුද්දක් ඇත්තා වූද කැරපොත්තා, කුහුඹිය ගේ සුපර්වයිසර් හැටියට බඳවා ගැනීමයි. කැරපොත්තා මහතාගේ මුල්ම කාර්යය වූයේ පැමිණීමේ ලේඛනයක් හා පමාවී පැමිණීම් සලකුණු කිරීමට රතු පෑනක් ද ලස්ස්ති කිරීමයි. කුහුඹිය හැමදාම වැඩට පැමිණෙන්නේ කාටත් කලින් වුවද ඔහු එය ගණන් ගත්තේ නැත. ඔහු පෑන ද කොම්පැනි වියදම් හැටියට ඇතුළත් කළේය. එසේම ඉදිරි පියවර ලෙස පන්ච් කාඩ් සිස්ටම් එකක්ද ඊටත් පසුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට යාමටද ඔහු කල්පනාකාරී ලෙස සැලසුම් කළේය.
එසේම මේ සියල්ල පිලිබඳ වාර්තා ලිවිම සඳහා ලේකම්වරියක ගේ (සෙක්‍රටරි ගේ ) අවශ්‍යතාවය ඔහුට හොඳින් දැනුනි. කැරපොත්තා ෆයිල් ගොනු කිරීමට සහ සියලුම දුරකථන ඇමතුම් නිරීක්ෂණයට සුරූපී මකුළු ළඳක බඳවා ගත්තේය.
සිංහයා , කැරපොත්තා ගෙන් ලැබෙන වාර්තා වලින් ඉතා සතුටට පත්විය. කුහුඹිය කවදාවත් නොකැඳවුණු, සිංහයාගේ මහේශාක්‍ය ඔෆිස් ලෙනට කැරපොත්තා කැඳවූ සිංහයා වාර්තා ඉදිරිපත් කිරීමේදී ප්‍රස්තාර ආදිය උපයෝගී කර නිෂ්පාදන අනුපාත මෙන්ම ප්රවණතාවයන් විශ්ලේෂණය කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. එසේම එවැනි ප්‍රස්ථාර සහිත වාර්තාවක් සිංහයාට අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් වලට පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක සමග ඉදිරිපත් කිරීමට හැකි බවද පැවසීය. මෙවැනි සුපිරි වාර්තා වලින් බෝඩ් මිටින් වලදී සිංහයා වැඩයා වන බවද සිංහයාට දැනුනේය.
එවැනි සුපිරි වාර්තා හැදීමට නව කොම්පියුටර දෙකක් තමන්ට සහ මකුළුවාට අවශ්‍ය බවද නිවසේදී හෝ ගමනේදී වැඩ කිරීමට ලැප්ටොප් එකක් ද හොඳ ලේසර් ප්‍රින්ටරයක්ද අවශ්‍ය බවද කැරපොත්තා දැන්වීය. මේ නිසාම තොරතුරු තාක්ෂණ (IT) දෙපාර්තමේන්තුවක් ද පිහිටවූ ඔහු එහි කළමනාකරු වශයෙන් බුරා නම් පළතුරු මැස්සා පත් කළේය.
මෙතුවක් කල් ඉතා සැහැල්ලුවෙන් තම නිෂ්පාදන ධාරිතාව ඉක්මවමින් වැඩ කළ කුහුඹිය මේ අතිමහත් ලිපිගොනු පිරුණු අමතර වැඩ වලින්ද කැරපොත්තා, මකුළුවා මෙන්ම මැස්සා විසින් සංවිධානය කරන, ඇගේ කාලය වැයවන මීටින් වලින්ද ශාරීරිකව මෙන්ම මානසිකවද වෙහෙසට පත් වූවාය.
සිංහයාට කල්පනා වුනේ කුහුඹිය වැඩ කරන දෙපාර්තමේන්තුවට ඔෆිසර් ඉන් චාර්ජ් කෙනෙකු හෙවත් ලොක්කෙකු නොපමාව පත් කල යුතු බවට කාලය එළඹ ඇති බවය. ඔහු මේ සඳහා හොඳ සැර බලු නාම්බෙකු වූ ටොමියා පත් කළේය. ටොමියා ගේ ප්‍රථම වැදගත් තීරණය වූයේ ඔහුගේ ඔෆිස් කාමරයේ පරණ බුමුතුරුණ ඉවත් කර පර්සියාවෙන් විශේෂයෙන් ගෙන්වූ බුමුතුරුණක් මිලදී ගැනීමය. එසේම සෞඛ්‍ය සම්පන්න ලෙස විද්‍යානුකුලව හිඳ ගැනීමට හොඳ ලෙදර් වලින් නිමැවූ පුටුවක් ද ෆිනෑන්ස් දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කර ලබා ගත්තේය. නව දෙපාර්තමේන්තු අධිපති ටොමියාට ද පරිගණයක්, ලැප්ටොප් එකක් සහ පෞද්ගලික සහකාරවරයෙකුද වහාම අවශ්‍ය විය. ඔහු තමන්ගේ කලින් දෙපාර්තමේන්තුවේ සිටි සුරූපී ටොමියානි ගෙන්වා ගත්තේ, ඔහුගේ අයවැය වියදම් සීමා කිරීමේ උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීමේ කාර්යයට සහය ගැනීමටය. එයට අනිවාර්යයයෙන්ම රාත්‍රී වනතුරු කාර්යාලයේ වැඩ කළ යුතු නිසා විස්කි ඩිකන්ටරයක් ද ටොමියානි ට ෂැම්පේන් සහ වයින් බෝතල් කිහිපයක්ද මිලට ගත්තේ කාර්යාල ක්‍රෙඩිට් කාඩ් පතිනි.
කුහුඹිය රැකියාව කළ දෙපාර්තමේන්තුව දැන් අඳුරු ගුහාවක් වැනිය. කවුරුත් සිටින්නේ අසහනයකිනි. එහි වෙනදා සිනහවෙන් විහිළු තහළුවෙන් වැඩ කරන අය නැත. මුළු ගැන්වුණු මළානික කුහුඹු කුහුඹියන් වෙලාව අවසන් වී අළුතින් පිහිටවූ පන්ච් කාඩ් මැෂිමේ කාඩ් එක ගසා ගෙදර දුවන තෙක් ඔරලෝසුව වෙත හොරෙන් බැල්ම හෙළති.
හරියටම මෙන්න මේ අවස්ථාවේ දී ටොමියා සිංහ බොස්ට පැවසුවේ කාර්යාල පරිසරය හා වාතාවරණය පිලිබඳව ප්‍රාමාණික වියතුන් යොදවා කාර්යාල-කාළගුණික අධ්‍යනයයක් කළ යුතු බවය. ටොමියාගේ ද සහය ඇතිව මුළු දෙපාර්තමේන්තුවම දැඩි විමර්ශනයකට බඳුන් කළ සිංහයා ට පැහැදිලි වූයේ නිෂ්පාදන ධාරිතාවයන් පෙරට වඩා බොහෝ සෙයින් අඩු වී ඇති බවය.
කැරපොත්තා, ටොමියා ඇතුළු සියළු නුවණැති සේවක නයුවන්ගේ අදහස වූයේ ප්‍රධාන පෙලේ උපදේශන සමාගමක් හොබවන බකමූණා ගේ සේවාවන් මිල අධික වුවත් ලබාගෙන විගණනයක් කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න ලෙසටය. සිංහයාගේ කොලේජ් එකේ උගත් හොඳ පවුලකින් පැවත එන බස්සා ප්රමුඛ උපදේශන සමාගම පුරා තෙමසක් වැය කොට වෙළුම් කිහිපයකින් සමන්විත වාර්තාවක් අධක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
ඔවුන්ගේ අතිශයින් වැදගත්, උගත්, වියත් වාර්තාවේ සඳහන් වුයේ දෙපාර්තමේන්තුවේ සේවක ප්‍රමාණය අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
සිංහයා පළමුවෙන්ම රැකියා විරහිත කළේ කවුරුන්දැයි ඔබ සිතන්නේද?
ඔබ සිතුවා හරිය. කුහුඹිය ට රැකියාව අහිමි විය.
කුහුඹිය ගේ වැඩ අවසන් කරන ලිපියේ මෙසේ සඳහන්ව තිබුණි.
"කුහුඹිය කාර්යාලයේ දියුණුව උදෙසා කරන සෑම ක්‍රියාවක් දෙසම සෘණාත්මකව බලන අතර රැකියාව කෙරෙහි කිසිදු උද්යෝගයක් පෙන්නුම් නොකරයි. "
නරක ක්‍රමයක් හොඳ පුද්ගලයෙකු සැම විටම පරාජය කරයි. - එඩ්වර්ඩ් ඩෙමින් (ඇමෙරිකන් ඉංජිනේරුවකු හා කළමනාකරණය පිලිබඳ උපදේශකවරයෙකි)
A bad system will beat a good person every time.' - W. Edwards Deming
අනුවර්තනය - අජිත් ධර්මකීර්ති
ප.ලි
වසරක ඇවෑමෙන් යොහානි නමැති ප්‍රසිද්ධ ගායිකාවකගේ තනුවකට ඉන්දියාවේ විදී කොනක නටමින් මුදල් යදින සිංහයෙකු සිටින බව බීබීසී පුවතක සඳහන් ව තිබුණි.