වර්තමාන AKD ආණ්ඩුව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය පත් කරපු එකට මම ෆේස් බුක්හි සුභ පැතුවා. මම දැක්කා විරෝධතා කිහිපයක් ඇවිත් තියෙනවා ඒකට. එකක් මේ සභාපතිතුමා ට "විදුලි මාෆියා" කියා බොහෝ අය කියන පෞද්ගලික කම්පනියක් තියෙනවා කියන එක . ඒක හොයන කොට දැනගත් දෙයක් තමා ඔහු විදුලිබල මණ්ඩලයෙන් අයින් වෙලා ඒ සමාගම පිහිට වූ බව. ශ්‍රී ලංකාව සම්පුර්ණ සමාජවාදී රජයක් තිබ්බ රටක් නෙමේ. ඕන කෙනෙකුට පෞද්ගලික කම්පැනියක් පිහිටුවන්න පුලුවන්. නමුත් එම ආයතනයේ වැඩ කරන ගමන් පෞද්ගලික කම්පැනි පිහිටුවනවා නම් ඒක සදාචාර විරෝධියි (unethical). එංගලන්තයේ වුනත් ඒක කරන්න දෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක එකම නම්. ඒක හැබැයි අපි අත්සන් කරන ගිවිසුමේ ම එහෙම සඳහන් කරලා තියෙනවා . ලකේ එහෙම නැතිව ඇති. මොකද ලංකාවේ හුඟක් ඉංජිනේරුවෝ ඒක කරනවා . දොස්තරලා පෞද්ගලික ව බෙහෙත් දෙනවා වගේ . මම හිතනවා නව රජය මේක හොයල බලල පත්වීම දෙන්න ඇති කියල .
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Saturday, 28 September 2024
විදුලිබල සභාපති , ගල් අඟුරු බලාගාර හා පරිසරය රැකීම
වර්තමාන AKD ආණ්ඩුව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය පත් කරපු එකට මම ෆේස් බුක්හි සුභ පැතුවා. මම දැක්කා විරෝධතා කිහිපයක් ඇවිත් තියෙනවා ඒකට. එකක් මේ සභාපතිතුමා ට "විදුලි මාෆියා" කියා බොහෝ අය කියන පෞද්ගලික කම්පනියක් තියෙනවා කියන එක . ඒක හොයන කොට දැනගත් දෙයක් තමා ඔහු විදුලිබල මණ්ඩලයෙන් අයින් වෙලා ඒ සමාගම පිහිට වූ බව. ශ්‍රී ලංකාව සම්පුර්ණ සමාජවාදී රජයක් තිබ්බ රටක් නෙමේ. ඕන කෙනෙකුට පෞද්ගලික කම්පැනියක් පිහිටුවන්න පුලුවන්. නමුත් එම ආයතනයේ වැඩ කරන ගමන් පෞද්ගලික කම්පැනි පිහිටුවනවා නම් ඒක සදාචාර විරෝධියි (unethical). එංගලන්තයේ වුනත් ඒක කරන්න දෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක එකම නම්. ඒක හැබැයි අපි අත්සන් කරන ගිවිසුමේ ම එහෙම සඳහන් කරලා තියෙනවා . ලකේ එහෙම නැතිව ඇති. මොකද ලංකාවේ හුඟක් ඉංජිනේරුවෝ ඒක කරනවා . දොස්තරලා පෞද්ගලික ව බෙහෙත් දෙනවා වගේ . මම හිතනවා නව රජය මේක හොයල බලල පත්වීම දෙන්න ඇති කියල .
Wednesday, 18 September 2024
නොලියා බැරි නිසා ලියමි
Saturday, 14 September 2024
මාක්ස් ගෙන් ආපු තියරි ටික ඉතා කෙටියෙන්
මාක්ස් ගෙන් ආපු තියරි ටික ඉතා කෙටියෙන්-
මේ ලිපිය මම ප්‍රතිචාර වශයෙන් බ්ලොග් ලිපියට දාපු එකක්. බ්ලොග් ලියන පැතුම් හේරත් මල්ලි කිව්වා මේකට පෝස්ට් එකක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මේ බුකියට ගැලපෙන්නෙ හදපු පෝස්ට් එක.
මාක්ස් ගොයියාගේ ප්රාග්ධනය පොතේ සහ ලියපු ලිපි වල උදාහරණ සහිතව සමාජ පරිණාමය දක්වල තියෙන්නේ මෙහෙමයි (ඉතා කෙටියෙන් ) .
ගෝත්‍රික සමාජය (ආදී කොමියුනිස්ට්වාදී සමාජය ) -ගෝත්‍රික යුද්ධ තුලින් , වහල් සමාජය බිහිවීම - ස්පාටකස් ගේ කාලේ වගේ වහල් විප්ලව ඇති වෙනවා.වෙළඳාම වැඩි දියුණු වෙනවා - වැඩ වසම් සමාජය ක් ගොඩ නැගෙනවා. - රජුන් හා රදළයන් පාලනය කරන -වහල් සහ ප්රවේණි දාස ක්‍රම තවම තියෙනවා ලෝකේ. ඊට පස්සේ ශ්රමයට ඇති බාධක මග හරින්න ධනේෂ්වර විප්ලව ඇති වෙනව- වහල් , වැඩ වසම් සේවයන් වලට එරෙහිව ධනවාදය නැගී සිටීම - ධනවාදය බිහි වෙනවා - ධනවාදය විසින් නිර්ධන පන්තිය සූරා කෑම නිසා ඔවුන් විප්ලව කිරීම . - කොමියුනිස්ට් වාදය බිහිවෙනවා. . ඕක තමා මාක්ස් කිව්වේ කෙටියෙන් . පැරිස් කොමියුනය පිලිබන්ඩ්උදාහරණ අරගෙන මාක්ස් කිව ප්රචණ්ඩ විප්ලවයක්, අරගලයක් තුලින් කොමියුනිස්ට් වාදය බිහි වෙනව කියල. එය කරන්නේ නිර්ධන පන්තිය. එහි ගාමක බලවේගය කම්කරු පන්තිය කියල මාක්ස් කිව්වා.
මාක්ස්වාදය කියල කියන්නේ ඒකට. (ඉතා කෙටියෙන්).
නමුත් දියුණු ධනවාදී රටවල විප්ලවය වුනේ නැහැ . ධනවාදය ඊට වැඩිය නුවණැති නිසා . උන් මාක්ස් කියෙව්වා . වෙනස් කරන්නේ කොහොමද කියල හොයා ගත්ත . කම්කරුවන් ට වැඩි පඩි දෙන්න ගත්ත.
ඒකට ලෙනින් අලුත් තියරියක් ගේනවා - ධනවාදය - එහි දියුණුම අවිධිය අධිරජ්‍යවාදය කියල - බ්‍රිතාන්‍ය , රුසියාව, ඔස්ට්‍රො හන්ගේරියාව, , ජර්මනිය (පෘසියානු අධිරාජ්‍යය ) වගේ රටවල් . එයට එරෙහිව සමාජවාදී විප්ලවය සිදු විය යුතුයි. සිදු කරන්න කියල සමාජවාදය පිහිටුවීමට - සමාජවාදය තුලින් කොමියුනිස්ට්වාදයට යන්න පුළුවන් කියල . සමාජවාදය තමයි අතරමැදි අවධිය.
මාක්ස් ලෙනින්වාදය කියන්නේ ඒකට.
ලෙනින් ගේ තියරියට අනුව තමා කියන්නේ තවම කොමියුනිස්ට් වාදී සමාජ බිහි වෙලා නැහැ කියල
හැබැයි ලෙනින් ගේ තියරිය සාර්ථක වුනා රටක් බිහි කරන්න .
සෝවියට් දේශයේ සමාජවාදය පිහිටෙව්වේ 1917 නොවැම්බර්. .1917 පෙබරවාරි විප්ලවය තමයි කම්කරුවෝ, සොල්දාදුවෝ, ශිෂ්‍යයෝ සහ ගොවියෝ එකට කරපු විප්ලවය. ඔක්තෝම්බර් මාසේ හෙවත් (නොවැම්බර් 07) ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් ඇතුළු බොල්ෂෙවික් පක්ෂය බලය අල්ල ගත්තා ආයුධ සන්නද්ධ කුමන්ත්‍රණයක් හරහා.
හැබැයි ලෙනින් සහ ට්‍රොට්ස්කිට තේරුනා මාක්ස් කියන විධිහේ ධනවාදී විප්ලව බ්‍රිතාන්‍යය, හංගේරියාව , ජර්මනියේ වෙන්නේ නැහැ කියල. ඉතින් ට්‍රොට්ස්කි හරහා රතු හමුදාව යවල රුසියාව වටේ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු රටවල් නැවත අල්ල ගෙන සෝවියට් රාජ්‍යය පිහිටෙව්වා. ඊට පස්සේ ලෙනින් නව ආර්ථික පිළිවෙත කියල එකක් ගේනවා. (ටිකක් නිදහස් ආර්ථිකය වගේ) මිනිසුන්ට පෞද්ගලික බිස්නස් කරන්න පුළුවන්. ගොවියන්ට තමන්ගේ ඉඩම් තියාගෙන වගා කරන්න පුළුවන්. සෝවියට් රාජ්‍යයේ ආර්ථිකය දියුණු වුනා. මේකට ස්ටාලින් විරුද්ධව හිටියේ.
ඊට පස්සේ ලෙනින් මැරුණා 1924 අග. - ස්ටාලින් අලුත් තියරියක් ගේනවා . තනි රටක සමාජවාදය පිහිටුවන්න පුළුවන් කියල . ට්‍රොට්ස්කි, කාමනෙව් වගේ අය විරුද්ධ වුනා. . ලෝක සමාජවාදී විප්ලවය සිදුවිය යුතුයි. ලෝකයේ හැම තැනම නොනවතින විප්ලවයක් දියත් වෙනවා කියල ට්‍රොට්ස්කි කීව. මාක්ස් කිව්වා වගේ ලෝකයේ දියුණු ධනවාදී රටවල සමාජවාදී විප්ලව සිදුවිය යුතුයි කියල . ඔන්න ඕකට තමා ට්‍රොට්ස්කි වාදය කියල කියන්නේ.
ඒ මාක්ස්-ලෙනින්- ට්‍රොට්ස්කි වාදය.
තනි රටක බලයෙන් සමාජවාදය පිහිටුවීම, බලයෙන් සමුහ ගොවිපල සෑදීම , සියලු ව්‍යාපාර බලෙන් ජනසතු කිරීම වගේ දේ ස්ටාලින් ක්‍රියාත්මක කළා.
ස්ටාලින් තමන්ගේ මතයට විරුද්ධ සියල්ලම මරල දානවා . ට්‍රොට්ස්කි ඇතුළු .. ඔය විරුද්ධ වාදීන් සමග සාකච්ඡා කරල වාද කරල තමන්ගේ පැත්තට හරවා ගන්න ලෙනින් ගේ ක්‍රමය වෙනුවට විරුද්ධවාදීන් භෞතිකව ඉවත් කිරීම හඳුන්වා දුන්නේ ස්ටාලින්.
මේක මාක්ස්-ලෙනින්- ස්ටාලින්වාදය.
ලංකාවේ සමසමාජ පක්ෂය දෙකට බෙදෙනවා ට්‍රොට්ස්කි පිල හා, ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂ - ස්ටාලින් පිල වශයෙන්. ඊට පස්සේ ආපු සෝවියට් පාලනය හිතනවා හැට ගණන්වල සෝවියට් දේශයේදී කොමියුනිස්ට්වාදී සමාජය සාක්ෂාත් වුනා කියල . විජේවීර සහ (දැන් ටිල්වින් අයියා විශ්වාස කරන්නේ ) විශ්වාස කලේ හැටේ සහ හැත්තෑවේ දශකයේ සෝවියට් යුගය තමා ස්වර්ණමය එක කියල.
ෆැසිස්ට් වාදය ආවේ 1934 පස්සේ ජර්මනියේ . ඒකට ජාතික සමාජවාදය කියලත් කියනව . වෙළඳාම් කරන්න පුළුවන් ආණ්ඩුව කියන විධිහට . නාසි පක්ෂයට සල්ලි දුන්නේ නැත්නම් වෙළඳාම් බැහැ. ව්‍යාපාර කොල්ල කාලා පක්ෂේ එවුන්ට දෙනවා රන් කරන්න. හැබැයි රට දියුණුයි , තමන්ගේ ජාතිය උසස් . අනිත් ජාතින් පහත්. යුදෙව්වෝ ඇතුළු අනිත් පහත් ජාතින් ඉවත් කරන්න ඕනේ ලෝකෙන් වගේ කියපු කරපු දර්ශනයක්. රටේම මෝටර් වේ හෙවත් අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේත් ඔවුන්. අන්තිමට සෝවියට් දේශය ඇමෙරිකාව සහ මිත්‍ර ජාතින් ඔවුන් පරාජය කළා .
ඉතින් ඊට පස්සේ එනවා මාඕ ලොක්ක . එයා කියනව නැහැ . වැඩ වසම් සමාජයෙන් කෙලින්ම සමාජවාදයට එන්න පුළුවන් කියල . ඒ කියන්නේ පොර අර එයාගේ මහා චීන පා ගමන එනකොට දකිනවා වැඩ වසම් (පනස් ගණන් වල) චීනය . උන් අර පොඩි ෆාමසි එකකට ගහල කලා දාන්නේ ඒවා ධනවාදී කියල .මාඕ ඊට පස්සේ සංස්කෘතික විප්ලවය ගේනවා. බුද්ධිමතුන්, (ගුරුවරුන්, ශිෂ්‍යයන් , සිවිල් සේවකයන්) ගමට දක්කන,මිලියන් ගාණක් මැරෙනවා.
මේක මාක්ස් - ලෙනින් - මාඕ වාදය.
වැඩවසම්/ධනවාදී සමාජ කෙලින්ම සමාජවාදයට ගන්න පුළුවන් කියන එක. . ඒ තියරියට අනුව තමා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකට බෙදෙන්නේ . විජේවීර යන්නේ මාඕගේ තියරිය පැත්තට . මොකද එයා හිතනව සිරිමවෝ වගේ රදල පවුල් පාලනය කරන්නේ වැඩ වසම් රටක් කියල. ඒ කාලේ ලංකාව අනුව බැලුවහම ලොකු වැරැද්දකුත් නැහැ ඒ අදහසේ. (සිරිමා චන්දෙන් බලයට ආවේ කියන එක අමතක වෙලා හැබැයි ) .
‘71 කැරැල්ල මාක්ස් කියපු කම්කරුවෝ කරපු විප්ලවයක් හෝ ජනතා අරගලයක් නෙමේ. ඒක සුළු ධනේශ්වර කියන ශිෂ්‍යයෝ සහ ගොවියෝ ගහපු කැරැල්ලක්.
ඔන්න ඔය අස්සේ පොල්පොට් කියල ප්‍රංශයේ බාගෙට ඉගෙන ගෙන ආපු කාම්බෝජ වෛද්‍ය ශිෂ්‍යයෙකුට හිතෙනවා එයා මාඕ ටත් එහා යනව කියල . මාක්ස් කීවේ මුලික ගෝත්‍රික සමාජය කොමියුනිස්ට් වාදී ලක්ෂණ තිබ්බ කියලනේ . ගෝත්‍රික මූලික කොමියුනිස්ට් සමාජය පිහිටුවලා එතැන ඉඳන් කෙලින්ම සමාජවාදයට යනවා කියල එය ගේනවා තියරියක් . කාම්බෝජයේ 0 වසර පටන් ගන්නේ එහෙම. එයාලා අර උගත්තු, සිසුවෝ , ළමයි නගර වලින් ඔක්කොම ගම් වලට පිටුවහල් කරනවා , ඉස්කෝල තහනම් කරලා, විශ්ව විද්‍යාල වහල , විරෝධය පාන මිනිස්සු මරල හදන්න තැත් කනව හදන්න මුලික කොමියුනිස්ට් සමාජයක් . ඒක පොල්පොට් වාදය.
දැන් මහජන චිනේ තියෙන්නේ ඩෙන් ෂියා ඌ පිං පිහිටවපු කොමියුනිස්ට් පක්ෂය කියන විධිහට වෙළඳම් , ව්‍යාපාර කලේ නැත්නම් කරන්න බැහැ කියන පන්නයේ කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන ධනවාදී ක්‍රමයක්. . හැබැයි චිනේ දියුණුයි . ජාතික සමාජවාදය මතක් වෙනවද / එහනම් ඔයා හරි . නමුත් ඔවුන් අනිත් ජාතින් මරන්නේ නැහැ . අර උර්ගු මුස්ලිම් වරුන්ට කොනහනවා ඇරෙන්න . රුසියාවේ - සමාජවාදය අවසන් වුනේ 1991 . රුසියාව ඔටෝක්‍රටික් හෙවත් තනි පුද්ගලයෙකු පාලනය කරන අර්ධ ධනවාදී රටක් .
උතුරු කොරියාව කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරන මාඕ වාදී ( ඒකාධිපතිවාදී ) රටක්.
එංගලන්තේ මනෝරාජික සමාජවාදීන් මාක්ස් ගේ මුලික තියරිය විශ්වාස කරනවා . ඒ කියන්නේ ආර්ථිකය පරිණාමය වුනු විධිහ . හැබැයි ප්රචණ්ඩ විප්ලවයකින්/අරගලයකින් ධනවාදය වෙනස් කරන්න පුළුවන් කියල විශ්වාස කරන්නේ නැහැ . ධනවාදයේ දියුණුවෙන් ඉබේම කොමියුනිස්ට් වාදී සමාජයක් හැදෙනවා කියල තමා විශ්වාස කරන්නේ . ඒ අතර අතුරු මාර්ගයක් හැටියට සමාජ ප්රජාතන්ත්රවාදී සමාජ (ස්වීඩනයේ වගේ ) බිහි වෙනවා කියල තමා හිතන්නේ .
මම හිතන්නේ ලංකාවේ වගේ රටක ධනවාදය නිවැරදිව පිහිටුවන්න ඕනේ කියල.. නැත්නම් අවම වශයෙන් සමාජ ප්රජාතන්ත්රවාදී රටක් ලෙස දියුණු කල යුතුයි කියල. ඉතින් තේරීම මම හිතන්නේ වඩා හොඳ සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරන්නේ කවුද කියල හොයල බලල එයාට ඡන්දේ දෙන එක.
#පෙරටුගාමී සමාජවාදී ටිපර් පාක් කරන්නට අවසර තිබේ
Tuesday, 10 September 2024
පදක්කම් දෙකක කතාවක්
Tuesday, 27 August 2024
විදේශීය ඇසින් ශ්‍රී ලංකාව - ලී ක්වාන් යූ
මේ ලිපිය පළවී තිබුනේ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද සති සිතුමිණි පොතේය. විදේශීය ඇසින් ශ්‍රී ලංකාව යන මැයෙන් පරිවර්තිත මෙය වර්තමානයට ඇති වැදගත්කම සලකා පල කරමි. පොත මුද්‍රණය කර ඇත්තේ සරසවි ප්‍රකාශකයන්ය. ලී ක්වාන් යූ කියන සැම දෙයටම මමද එකඟ නොවෙමි . ඔහු බොහෝ දුරට ඒකාධිපති පාලකයෙක් විය . නමුත් ඔහු ගේ මේ අදහස් වටනේය. අවි බලයෙන් ජාතික ප්රශ්නය විස්නාදිය නොහැකි යයි ඔහු පවසා තිබේ . ශ්‍රී ලංකාව "ත්‍රස්තවාදී ප්රශ්නය" විසඳන ලදී . ඒ සඳහා ශ්‍රී ලංකාවට බොහෝ සේ ණය වන්නට සිදුවිය. ජාතික ප්රශ්නය විසඳා ඇතිද කියා කිව නොහැකිය .
සති අන්තයේදී සුවිසල් පොතක් කියවන්ට ලැබිණ. එය ඉතා රුචි වඩවයි. ස්වයං ලිඛිත චරිතාපදානයෙකි. කතුවරයා සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ මහතාය. පල කර තිබෙන්නේ දෙදාහක් වර්ෂයේය.
එහි ශ්‍රී ලංකාව ගැන තිබෙන කොටස පහත දක්වමි.
“මා පළමු වරට ශ්‍රී ලංකාවට ගියේ 1956 දීය. ඒ ලන්ඩනයට යන අතර මගය. මා නතර වූයේ ගාලු මුවදොර හෝටලයේය. බ්‍රිතාන්‍ය යුගයෙන් පැවත එන ඔවුන්ගේ ප්රමුඛ හෝටලයයි. එය මුහුදට මුහුණ ලා පිහිටා ඇත. මම කොළඹ නගරය වටා ඇවිද්දෙමි. රජයේ ගොඩනැගිලි සිත් කාවාදී. ඒ බොහෝ ගොඩනැගිලිවල සෙල් මුවා මුහුනත්ය. ඒවාට යුද්ධයෙන් හානි පැමිණ නැත. මවුන්ට් බැටන් සාමී තම අග්නිදිග ආසියා ආඥා ස්ථානය මහනුවර පිහිටුවාගෙන සිටි හෙයින් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවට වඩා සම්පත්ද යටිතල පහසුකම් ද ලැබී තිබිණ.
ඒ අවුරුද්දේම අලුතින් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිවරණයෙන් ජය ලැබ ආගමැති ධුරයට පත්විය.
සිංහලය රාජ්‍ය භාෂාව බවට ද බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද පත් කිරීමට ඔහු පිළිණ දී තිබිණ. ඔහු දුඹුරු පැහැති සමෙන් යුත් හොඳ මහත්මයෙක් විය. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලත් ඔහු උපතින් ක්‍රිස්තියානියෙකි. ජාතිවාදියෙකු වීමට අදිටන් කළ ඔහු බුද්ධාගමට හැරී සිංහල භාෂාව සඳහා උද්ඝෝෂණය කරන වීරයකු බවට පත්ව සිටියේය. ශ්‍රී ලංකාව බිඳ වැටීමේ ආරම්භය එය විය.
ඒ කාලයේ සිංගප්පූරුවේ අගමැතිලිම් යූ හෝක් f රාත්‍රී බොහෝජනය සඳහා මට ආරාධනා කළේ ය. ඒ එහිදී බණ්ඩාරනායක හමුවීමටය. සුපිළිසන්ව හැඳ පැළඳ සිටි රමණීය බසින් බිණූ සුරු බුහුටි කුඩා කය ඇති බණ්ඩාරනායක ශ්‍රී ලංකාව වඩාත් ජාතිවාදී සමාජයක් බවට පත්කිරීම සඳහා ලත් මැතිවරණ ජන වරමින් උද්දාමයට පත්ව සිටියේය. ඒ වරම ඉංග්‍රීසි උගත් බමුණු කුලයට දැක්වූ ප්‍රතිචාරයක් විය. මේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය බලයට උරුමය ලැබ බ්‍රිතාන්‍යයන් අනුව හැඩ ගැසී සිටියේය. ඔවුන්ගේ ජීවන ක්‍රමය ද ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසීි තිබිණ. බණ්ඩාරනායකට පෙර අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල සැමදා උදයේ අසුන් අරා සංචාරය කළේය.
දැන් සිංහලය රාජ්‍ය භාෂාව වී පැවතියෙන් යාපනයේ දෙමළ ජනයාට හා අන්‍ය සුළු ජාතීන්ට අවාසියක් සිදුවී තිබීම නිසා හෝ ජාතික ආගම ලෙස බුද්ධාගම උසස් තත්ත්වයට පත්වීමෙන් හටගත් හින්දු දෙමළ ජනයාගේ ද මුස්ලිම් මුවර් ජනයාගේද ඕලන්දක්කාරයන්ගෙන් ගෙන් පැවත එන ක්‍රිස්තියානි ලන්සින් ගේද අපහසුතාවය නිසා හෝ බණ්ඩාරනායකට හිත් හමාරුවක් ඇති වී තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. ඔහු ඔක්ස්ෆඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය දරා තිබිණ. ඔහු කතා කළේ තමා තවමත් ඔක්ස්ෆඩ් විවාද සංගමයේ සිටින කලක මෙනි. එයින් තුන් වසරකට පසු බෞද්ධ භික්ෂුවක විසින් ඔහු ඝාතනය කරන විට මම පුදුමයට පත් නොවීමි. බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමෙහිලා රටේ ප්රගතියේ ඉබි ගමනින් අතෘප්තියට පත් භික්ෂුවක එය කිරීම උත්ප්‍රාසයකැයි මම සිතුවෙමි.
ඊට පසුව පැවැත් වූ මැතිවරණයේදී ඔහුගේ වැන්දඹු සිරිමාවෝ බණ්ඩාරනායකානුකම්ප ඡන්දයෙන් අගමැති ධුරයට පත්වූවාය. එතරම් ජීව ශක්තතාවයෙන් අඩු නමුදු ඇය බොහෝ තද සිත් ඇති නායිකාවක බව ඔප්පු විය.එක්දාස් නමසිය හැත්තෑ වේ ලංකාවේදි මට හමුවන විට ඇය නොබැඳි දෘෂ්ටිවාදය ඇදහූ අධිෂ්ඨානශීලී ස්ත්‍රියක් වූවාය. දකුණු වියට්නාමයෙන් ලාඕසයෙන් හා කාම්බෝජයෙන් ඇමෙරිකානු හමුදාව ඉවත් කිරීම ද ඉන්දියානු සාගරය මහ බලගැටුම්වලින් නිදහස් න්‍යෂ්ටික අවිහළ කලාපයක් කිරීමද ශ්‍රී ලංකාවට අභිමත විය.
තරුණයකු වශයෙන් මම මගේ ඊට වෙනස් විදේශ ප්‍රතිපත්ටි අරමුණු ඉවසිලිවන්තව පහදාලීමි. කාම්බෝජයට ලාවෝසයට හා තායිලන්තයට තර්ජනයක් වෙමින් වියට්නාමය කොමිනිස්ට්වරුන් අතට පත් වුවහොත් සිංගප්පූරුවට එය අති දරුණු තර්ජනයක් වනු ඇත. ත්‍රස්තවාදය මැලේසියාවට පැතිරෙනු ඇත. සිංගප්පූරුවට බරපතල ප්‍රතිවිපාක ගෙන දීමට නියමිත හෙයින් අපට මේ උදාර දෘෂ්ටිවාදයට දායක විය නොහැකිය. මේ කලාපයේ අනික් මහා බලවතුන් වූ චීනය හා ජපානය යථාකාලයෙහි තම නාවුක බලය ව්‍යාප්ත කරනු ඇත. එහෙයින් පංච මහා බල ආරක්ෂක ගිවිසුම සමග ඉදිරියට යෑම අවශ්‍ය බව සිංගප්පූරුවට පෙනී ගියේය.
තම බෑනා වූ ෆේලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයා විය. දීප්තිමත් වුවත් කැඹුරක් නැති, තම භූගෝලීය හා ඓතිහාසික වාසනාව නිසා ලංකාවට ආරක්ෂාව නමැති ආශීර්වාදය ලැබී ඇතැයි ඇදහූ ඔහු ඒ නිසා එය ආරක්ෂාවට වියදම් කරන්නේ තම අයවැයෙන් දෙකයි දශම පහක් පමණකැයි කීය. 1980 ගණන්වලදී යාපනයේ දෙමළ කැරැල්ල කුඩු කිරීම සඳහා රටේ අයැවැයෙන් භාගයකටත් වඩා වියදම් කෙරුණු වට ඔහු කුමක් කීවේදැ යි මම නොදනිමි.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ ආදර්ශ පොදු පොදු රාජ්‍ය මණ්ඩලීය රට විය. එය නිදහස සඳහා සැළකිළිවන්තව සූදානම් කොට තිබිණ. යුද්ධයෙන් පසු එය මිලියන දහයකට බොහෝ අඩු ජනගහනයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ රටක් විය. එහි සාපේක්ෂ වශයෙන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් පැවතිණ. එහි ඉංග්‍රීසියෙන් උගන්වන කොළඹ හා මහනුවර විශ්ව විද්‍යාල දෙකකි. බෙහෙවින්ම දේශීය පරිපාලන සේවාවකි. 1930 ගණන්වලදී පළාත් පාලන මැතිවරණවලින් ඇරඹුණු නියෝජිත ආණ්ඩු පාලනයේ අත්දැකීම ය.එක්දාස් නමසිය හතලිස් අටේ දී නිදහස ලබන විට එය නිදහස කරා ආනුක්‍රමික විකාශනයේ සම්භාව්‍ය ආකෘතිය විය.
අහෝ! ඒ සියල්ල වැඩ කර නැත. අවුරුදු ගණනක් තිස්සේ ආ ගිය ගමන්වලදී මා දුටුවේ බලාපොරොත්තු තැබිය හැකි රටක් නාස්තිවී යන සැටිය. එකාට එක චන්දයයි යන මූලික ප්‍රශ්නයක් විසඳුයේ නැත. ඉංග්‍රීසිය හැර පියා සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් අවාසියට ගොදුරු වූ මිලියන දෙකක් වූ යාපනයේ දෙමළුන් නිතරම ඡන්ද බලයෙන් වැඩලීමට මිලියන අටක් වූ සිංහල බහුතරයට ඕනෑම විටක හැකි විය. පෙර රාජ්‍යාගමක් නොවීය. සිංහලයෝ බුද්ධාගම ජාතික ආගම බවට පත් කර ගත්හ.
1966 දී ලන්ඩනයේ සිට පෙරළා යන ගමන් මම අගමැති ඩඩ්ලි සේනානායක හමුවීමට කොළඹට ගියෙමි.. ඔහු මුදු මොළොක්, එන සැටියක් පිළිගන්නා, ඉරණමට ඉදිරියේ සිටින වැඩිහිටි මිනිසෙක් විය. එකල පැවති කොළඹ රාජකීය ගොල්ෆ් පිටියෙහි අනවසර පැල්පත් ද එළුවන් හා හරකුන් ද ගැන ඔහු සමාව අයැදියේය. ප්රජාතන්ත්රවාදය හා මැතිවරණ නිසා එය නො වැළැක්විය හැකි යැයි ඔහු කීවේය. නගර මධ්‍යයෙහි මේ හරිතබර විවර ඉඩ තබා ගැනීම යුක්ති යුක්ත කිරීමට ඔහුට බැරි විය. ඔහු මා ඔවුන්ගේ සුන්දර කඳුකර නගරය වන නුවරඑළියට දුම්රියෙන් යැවීය. නිදහසින් පසු සිදුව තිබුණු දෑ ගැන එය ඉතාමත් හොඳම පාඩම විය. දුම්රියේ බොජුන් රියේ ආහාර විෂ සහිත විය. කුකුළු මස් දූෂණය වී ගඳ ගසයි. වහාම විවේකාගාරයට ගිය මට කෑ සියල්ල වමනය ගියේය. මේ නිසා මම බේරුණෙමි.
නුවරඑළියේ දී මා නතර වී සිටියේ පෙර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන්ගේ කඳු නිවාසයේය. එය ජරාවාස වී තිබිණ. ඉංග්‍රීසි වන සරණක් මෙන් දිස් වූ උයන අතීතයෙහි සෙව්වන්දි මලින් පුරවා (තවමත් ඒවා ටිකක් තිබිණ) හොඳින් නඩත්තු කරන්න ඇත. මුහුදු මට්ටමෙන් අඩි 5000ක් පමණ උසින් පිහිටි එය පියකරු සිහිලස දනවයි. පෙර කළ සුන්දරව පැවති එම පිහිටියෙහි මම ගෝල්ෆ් කෙළියෙමි. කොළඹ පිටිය මෙන්ම එයද පැල්පත්, එළුවන් හා ගවයන් විසින් ආක්‍රමණය කොට තිබිණ.
රාත්‍රී ආහාර මේසේදී ධනවත් හා දුක්බර පෙනුමක් සහිත වැඩිහිටි සිංහලයෙක් මැතිවරණ පවත්නා හෙයින් සිදුවී තිබුණු දේ අනිවාර්ය බව පහදා දුන්නේය. සිංහලයන්ට අධිපති වර්ගය වීමට වුවමනා විය. තේ හා පොල් වගාවල කළමනාකාර තනතුරු බ්‍රිතාන්‍යයන්ගෙන්ද ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි තනතුරු දෙමළුන්ගෙන්ද තමන්ටම ලබා ගැනීමට සිංහලයන්ට වුවමනා විය. මේ ආදිය නිසා ඔවුන්ට සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ශෝකාන්තය හරහා ගමන් කිරීමට සිදු විය. ඔවුන්ට මේ හේතු කොට බරපතල පාඩු විඳින්නට සිදුවිය. සියල්ලම සිංහලට හා දෙමළට පරිවර්තන කරන්නට සිදුවිය. එය හිමින් සිදු වන, කවරදාවත් ඉවර කළ නොහැකි දෙයක්ය. බහුතරයට සිංහලෙන්ද යාපනයේ දෙමළුන්ට දෙමළෙන් ද ලන්සින්ට ඉංග්‍රීසියෙන්ද වශයෙන් භාෂා තුනකින් ඉගැන්වීමට විශ්ව විද්‍යාල වලට සිදුවිය. මහනුවර විශ්ව විද්‍යාලයේදී වෙනස් භාෂා තුනකින් උගත් ඉංජිනේරුවන් එක් පාලමක් ඉදිකිරීමට සහභාගී වන්නේ කෙසේදැයි මම උපකුලපති ගෙන් ඇසීමි. බර්ගර්ජාතිකයෙකු ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කරපටියක් පැළඳ සිටියේය. ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බව මම එයින් හඳුනාගතිමි. “මහතාණනි, එය ඇමැතිවරුන් පිළිතුරු දිය යුතු දේශපාලන ප්‍රශ්නයක්” ඔහු කීය. පොත්පත් ගැන මම විමසීමි. මූලික පාඨ ග්රන්ථ සිංහලයට හා දෙමළුවට පරිවර්තන කොට ඇති බවත් ඒවා මුද්‍රණය වන විට නිතරම මුල් පොත් වල නව සංස්කරණ තුන හතරක් පළ වී හමාර බවත් කියමින් ඔහු පිළිතුරු දුන්නේය.
තේ වාතු යායවල් ශෝකජනක තත්ත්වයක විය. බ්‍රිතාන්‍යවතු අධිකාරීවරුන් වෙනුවට පත්කොට සිටි දේශීයයෝ බ්‍රිතාන්‍යයන් තරම් හොඳ නොවූහ. තද විනයක් නොවූ හෙයින් තේ දළු නෙලන්නියෝ දළු පමණක් නොව තේ වලට හොඳ නැති මෝරපු කොළද නෙළූහ. පොල් වතු වලටද නරක කාලයක් ලබා තිබිණ. ඒ සියල්ල රට පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සඳහා මිනිසුන්ට ගෙවන්නට සිදුවූ වන්දිය යයි ඒ තලතුනා සිංහලයා කීය. 1978 දී ඔස්ට්‍රේලියාවේ පැවති සමුළුවක දී අලුතින් තේරී පත් වූ අගමැති ජූනියර් රිචඩ්ජයවර්ධන හමුවන තෙක්ම මා අවුරුදු ගණනකින් ලංකාවට ගොස් තිබුණේ නැත. 1972 දී අගමැති සිරිමා බණ්ඩාරනායක රටේ සිලෝන් යන නම ශ්‍රී ලංකා යයි වෙනස්කොට එය ජනරජයක් බවට පත්කොට තිබිණ. මේ වෙනසින් රටේ ධනය නම් වැඩි නොවීය. එහි තේ තාමත් විකුණනු ලබන්නේ “සිලෝන් ටී” යනුවෙනි.
සොලමන් ඩයස් මණ්ඩාරනායක මෙන්ම කිතුනුවකුව උපන් ජයවර්ධන ද ජනතාව සමග අනන්‍ය වීම සඳහා ජාතිවාදය වැළඳ ගත්තෙකි. වර්ෂ සත්තෑවක් වන තම ජීවිත කාලයේ දී ඔහු දේශපාලනය තුළ නැගී ද බැස ද තිබිණ. වැඩිහරියක් බැස තිබිණ. පහත දැමුණු ඉලක්ක පිළිගැනීම මගින් ඔහු ප්‍රඥාවන්ත වී සිටියේය. ඔහුට ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට හේතු වූ සමාජවාදී ප්‍රතිපත්ති වලින් බැහැරවීමට වුවමනා විය. සිඩ්නි නුවරදී මා හමුවිමෙන් පසු ඔහු සිංගප්පුරුවට ආවේය. ඒ ලංකාව දියුණු කිරීමට අප සහභාගි කරවා ගැනීම පිණිස යයි ඔහු කීවේය. ඔහුගේ ප්‍රායෝගික ප්‍රවේශය මගේ සිත් ගත්තේය. එහෙයින් 1978 දී මම ලංකාවට ගොස් ඒමට කැමති වීමි. යාපනයේ දෙමළ ජනයාට ස්වෛරීත්වය දෙමැයි ඔහු කීය. දෙමළ ජනය කෙරෙහි සිංහලයන් පවත්වන පරමාධිපත්‍යය ඉවත් කිරීමට ඔහුට නොහැකි බව මට වටහා ගත නොහැකි විය. මේ පරමාධිපත්‍යය 1983 දී සිවිල් යුද්ධය අවුලවා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු පරම්පරා ගණනාවකට නොවේ නම් බොහෝ වර්ෂ ගණනාවකට වනසා දැම්මේය.
ඔහු තුළ ඇතැම් දුබලතා විය ඔහුට ගුවන් සේවයක් අරඹන්නට උවමනා විය. එය ප්‍රග තියේ සංකේතයක් හෙයිනි. සිංගප්පූරු ගුවන් සේවය හොඳ ශ්‍රී ලාංකික කපිතාන් වරයකු සේවයේ යොදවා තිබිණ. මා ඔහු මුදා හරිත් ඇයි ජයවර්ධන විමසීය. සත්තකින්ම මට එය කළ හැකිය. එහත් ගුවන් සේවා පයිලට්වරයෙක් ගුවන් සේවාවක් පාලනය කිරීමට කෙසේ නම් සමත් වේදැයි මම ඇසීමි. ඔහුට සිංගප්පූරු ගුවන් සේවයේ උදව් අවශ්‍ය විය. අපි උදව් කළෙමු. මම ඔහුට මෙසේ අවවාද කළෙමි. ගුවන් සේවයක් පිහිටවීම ඔබගේ ප්‍රමුඛතාවය නොවිය යුතුය. ගුවනත් කිරීම සඳහා කුසලතා පූර්ණ හා හොඳ පරිපාලකයන් බොහෝ දෙනෙකුගේ සේවය අවශ්‍ය වේ. මේ මොහොතේ ඔබට එවැන්නන් අවශ්‍ය වන්නේ වාරි කර්මාන්තය, කෘෂිකර්මය, නිවාස සැපයුම, කර්මාන්ත සංවර්ධනය හා වෙනත් බොහෝ ව්‍යාපෘති සඳහාය. ගුවන් සේවයක් යනු බොරු අලංකරණයකි. සංවර්ධනය වන ශ්‍රී ලංකාවට එහි දැවැන්ත වටිනාකමක් නැත.
එහෙත් ඔහු තරයේම ඉල්ලා සිටියේය. එහායින් අපි සය මසකින් එය ගුවනත් කිරීමට උදව් කළෙමු; මාස දෙකේ සිට තුන තෙක් කාල පරිච්ඡේද්ය සඳහා සිංගප්පූරු ගුවන් සේවයේ සේවකයන් අසූ දෙනෙකුන් මුදාහළෙමු; ලොව පුරා සිටින අපේ වෙළඳ නියෝජිතයන මගින් උදව් කළෙමු.විදේශ වල කාර්යාල පිහිටුවා දුනිමු; පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කර දුනිමු. මේ ආදී නොයෙක් දෑ කර දුනිමු. එහෙත් මනා සිහි බුද්ධියෙන් යුතු මුඳුන් කළමනාකරණයක් නොවීය. මේ නව ගුවන් සේවයේ සභාපති බවට පත් වූ යට කී පයිලට් තැන අපගේ උපදෙස් නොතකා පාවිච්චි කළ පරණ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට තීරණය කළ කල්හි තවදුරටත් උපකාර නොකිරීමට තීරණය කළෙමු .තම ධාරිතාව පස් ගුණයකින් ව්‍යාප්ත කිරීම, සෘණාත්මක මුදල් ගලනය, පුහුණු සේවක මණ්ඩල ඌනතාව, විශ්වාසය තැබිය නොහැකි ගුවන් ගමන්, අඩුකම යන මේ ගැටලු වලට මුහුණපා සිටි මේ ගුවන් සේවය අසාර්ථක වීමටම නියමිත විය. එසේම එය අසාර්ථක විය.
ශ්‍රී ලංකා පාලකයන් තම රට සිංගප්පූරුව අනුව සකසා ගනිම්හ යි කියනු ඇසීම අපට බොරු වර්ණාවක් විය. සිංගප්පූරු ආකාරයේ ප්‍රදේශ බලපත්‍ර ක්‍රමයක් සකසම්හ යි ඔවුහු කීහ. කොළඹ නගරයට එන වාහන අඩු කිරීමට. එහත් එය කෙරුනේ නැත. එක්දාස් නමසිය අසූ දෙකේ දී ඔවුහු අපේ ක්‍රමය අනුව නිවාස සැපයීම් ක්‍රමයක් ඇරඹූහ. එහත් ඊට ඇති තරම් මුදල් නොයොදවන ලදී. සිංගප්පූරුවට වඩා යන්තම් කුඩා නිදහස් වෙළද කලාපයක් පිහිටවූහ. දෙමළ කොටින් නොවුහූ නම් එය වැඩ කරන්ට ඉඩ තිබිණි. ඔවුන්ගේ ත්‍රස්තවාදී උපක්‍රමවලින් බියපත් වූ ආයෝජකයෝ ගියහා; නො ආහ.
ජයවර්ධන කළ ලොකුම වරද නම් වියළි කලාපයේ සකස් කළ ඉඩම් බෙදා දුන් ආකාරයයි. විදේශ ආධාර ලැබ ඔහු වැව් පදනම් කොට ගත් කඳුවල තෙත් පෙදෙසින් ගෙන ආ ජලය රැඳවිය හැකි පැරණි ජල සම්පාදන ක්‍රමයක් යළි පණ ගැන්වීය. අවාසනාවට ඔහු එසේ සකස් කළ ඉඩම් සිංහලයන්ට දුන්නේය. ඓතිහාසිකව මේ වියළි කලාපයේ ගොවියන්ව සිටි දෙමළුන්ට නොදුන්නේය. අත්හැර දමන ලැබ මිරිකී ගිය ඔවූහු දෙමළ කොටි ව්‍යාපාරය ශක්තිමත් කළහ. ජයවර්ධනගේ පෞද්ගලික ලේකම් තනතුර දැරූ දෙමළ ජාතිකයා ජයවර්ධන කළ දේ තීරණාත්මක වැරැද්දක් බව මට කීවේය. ඉන්පසු වූ ඇති වූ සිවිල් යුද්ධය පනස් දහසක් මරා දැමීය. ඊටත් වඩා හදිසි අනතුරු ඇති කළේය. බොහෝ නායකයන් ඝාතනය කළේය. පසළොස් වසකටද වඩා ගත වී ඇත. එය අඩුවන බවක් දක්නට නැත.
වෙහෙස පත් වූවකු ලෙස ජයවර්ධන 1988 දී විශ්‍රාම ගියේය. ඔහුට කිසිම විසඳුමක් නොවීය. ඔහුගේ අනු ප්‍රාප්තික රණසිංහ ප්‍රේමදාස සිංහලෝත්තමවාදියෙක් විය. ඉන්දීය හමුදා පිටත් කිරීමට ඔහුට උවමනා විය.එය බුද්ධිමත් නොවිය. ඔවුහු ශ්‍රී ලංකාව සඳහා ජුගුප්සාජනක කටයුත්තක් කර දෙමින් සිටියෝය. ඉන්දියානු හමුදා පිටත්ව ගිය කල්හි ඔහු වඩාත් නරක තත්ත්වයකට පත් විය. ඔහු දෙමළ කොටින් සමඟ සාකච්ඡා කිරීමට තැත් කළේය. එය අසාර්ථක විය. ඔහු ඔවුන්ට ප්‍රමාණවත් ඉඩක් දීමට කැමති නොවීය. ජනාධිපති වීමෙන් පසුව ඔහු කීප වරක් සිංගප්පූරුවේදී හමුවීමි. යුද්ධයා අවි බලයෙන් නැවැත්විය නොහැකි බව ඔහුට ඔප්පු කිරීමට මම තැත් කළෙමි. යාපනයේ දෙමළුන්ටත් අවශ්‍ය ලෝකයාටත් යහපත් වන්නේ දේශපාලන විසඳුමකි. . එවිට දෙමළ නිදහස් ව්‍යාපාරයේ මධ්‍යස්ථ ව්‍යවස්ථාවාදී න් කොටසට එය ප්‍රතික්ෂේප කල නොහැකිය. ඔහුගේ අරමුණ විය යුත්තේ මැතිවරණ මගින් තමන්ව පාලනය කර ගැනීමට දෙමළුන්ට නිදහස දීම මගින් ත්‍රරස්තවාදීන්ට මහජන සහයෝගය අහිමි කිරීම යයි මම තර්ක කළෙමි. තමාට ඔවුන් වනසාලිය හැකි යැයි ඔහු විශ්වාස කළේය. 1991 හා 1992 ඔහු දෙමළුන්ට එරෙහි ප්‍රධාන සටන් සඳහා ශ්‍රී ලංකා හමුදාව යැවීය.ඔවුහු සාර්ථක නොවූහා. 1993 මැයි දින පෙළපාලියකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වීදි පෙළපාළියක් මගින් ඔහුට කිට්ටු කළේය. ඔහු හා තවත් බොහෝ දෙනා මියගියහ.
ඔහුගේ අනු ප්‍රාප්තික චන්ද්‍රිකා කුමාරතුංග සාකච්ඡාව හා යුද්ධය යන දෙකම කළාය. ඇය යාපන අර්ධද්වීපය යළි අල්ල ගත් නමුත් දෙමළ කොටින් නොවැනසුවාය. සටන් කෙරීගෙන යයි. ඉංග්‍රීසි භාෂාවට “Serendipity සෙරෙන්ඩිපිටි - ස්වර්ණදීපිකත්වය” යන පදය ගෙන දුන් “Serendip සෙරෙන්ඩිප් - ස්වර්ණදීපය” යන පැරැණි නමින් යුතු රට දැන් යුද්ධයේ, දුක් විඳීමේ, ශෝකයේ හා බලාපොරොත්තු රහිත බවේ සංකේතයක් වී තිබීම ශෝක ජනකය.
ලී ක්වාන් යූ මහතා කියන සැම දෙයටම මම එකඟ නොවෙමි. එහෙත් ඔහු කියන දැයින් එකක් පැහැදිලිය. කොම්ප්රදෝරු ධනපති පංතීන්ට පසුගාමී රටවල ධනේශ්වර ප්රජාතන්ත්රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකිය.
Friday, 23 August 2024
අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද
ලෙනින්, සාර් ගෙන් කුමන පීඩනය එල්ල වුවද එවැනි මගක් ගත්තේ නැත. ඒ වෙනුවට 1905 සිටම ගත්තේ අරගලයේ මග පමණි .
එසේම ප්‍රේමදාස රජය එකට දහයක් වශයෙන් මරා දමමින් දරුණු භිෂණයක් දියත් කළ බවද සැබෑය. රජය, තරුණයන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට අතුරුදහන් කිරීම තෝරා ගත්හ .
මාලිමා කථිකයන් බොහෝ තැන වලදී 88-89 ගැන කතා නොකරන මෙන් ඉල්ලා සිටීම මට තේරුම් ගත හැකිය . නමුත් ප්රශ්නය වන්නේ එසේ කියන ඔවුන්ම ඒ ගැන කතා කිරීමය . ලඟදි මම ෆේස්බුක් ජලයේ වික්‍රමබාහු කරුණාරත්න මහතා වෙනුවෙන් කුඩා සටහනක් ලියා ඔහුගේ මරණය වෙනුවෙන් පල කළෙමි. ඔහු සැඟවී සිටියදී මගේ එදවස මිතුරු විතානගේ සමග කොම්පඤ්ඤ විදියේ අමරදිසි හෝටලයේ සිටියදී ඔහුව දුටුවෙමි . මා ගරු කරන වාමාංශික නායකයෙක් වන ඔහු පිළිබඳව මාලිමාවට සහයෝගය දෙන මහත්මයෙකු ලියා තිබුනේ වික්‍රමබාහු ආයුධ රැගෙන 88-89 මර්දනයට සහභාගී වූ අයෙකු ලෙසිනි .
මේ නරෝද්නික පොල්පොට් වාදයට තවමත් සහය දක්වන්නන් අතර පෙරටුගාමී සමාජවාදී ආධාරකරුවන් සිටින බව ලන්ඩනයේ දී සිදුවූ එක්තරා හමුවකදී මට පැහැදිලි වුනි . ඒ අසූව දශකයේදී , දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙනත් තැනක නායකයෙකු තවත් දිස්ත්‍රික්කයට එවන පණිවුඩයකින් කිසියම් පක්ෂ විරෝධියෙකු හෝ පොලිස් ඔත්තුකරුවෙක් යයි සැක කරන අයකු මරා දමන බවත් ඒ මරා දමන තැනැත්තා හා මරා දැමීමට එන තැනැත්තා එකිනෙකා නොහඳුනන බවත් කියා පෑමයි . ඒ පිලිබඳව කිසියම් තර්ජනාත්මක බවක් පෙනෙන හැඟීමක් තවමත් ඔවුන් තුල තිබේ. ලන්ඩනය වැනි බොහෝ ප්රජාතන්ත්රවාදී සමාජයක වුව ඒ අදහස් නොනැසී පැවතීම කණගාටුදායකය. එනිසා ලංකාවේ අය ගැන කියනුම කවරේද?
මෙහිදී ප්රශ්නය වන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, උපුල් සන්නස්ගල වැනි දැන් මාලිමාවට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන අයද ඔය බෝට්ටුවේ සිටියා නොවේද යන්නය. ජවිපෙ පොඩියන් ලාට මෙන්ම නලින් වැනි ලොකු තැන්වලටද මාලිමාව යන්නේ වෙනස් මගක බව තවමත් පැහැදිලි වී නැත . අනුර - හරිනි ගේ මාලිමාවට විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් මෙන්ම ගුරු භවතුන් , හෙදියන් , වෙදැදුරන් වැනි බොහෝ දෙනා එක්වී තිබේ . මම එය ලන්ඩනයේදී හොඳින් දුටුවෙමි . ඒ අතරින් බොහෝ අය 88-89 දී ජවිපෙට විරුද්ධව සිටින්නට ඇත. නමුත් ඔබට ලක්ෂ හැත්තෑවක ඡන්දය අවශ්‍ය නම් නම්‍යශීලී විය යුත්තේ ඔබය .
ලියන්නට අමතක වුනු තව කරුණු කිහිපයක් තිබේ . එකක් නම් ලංකාවේ දැනට පවතින ප්‍රශ්න වලට මුලික හේතුවක් වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ඇති ජාතිවාදය බවය . එයට ආගම එකතුවූ කල තවත් භයානක විය. සිංහලය යනු අති උසස් භාෂාවක් බව මම අද දනිමි. එහෙත් සිංහලය එකම භාෂාව කිරීම බරපතල ඛේදවාචකයක් වුනු බවද මම අද දනිමි. අද අනුර දිසානායකට සහයෝගය දෙන්නන් අතර එක තර්කයක් වනුයේ ඉංග්‍රීසි කතා කරන පෙලන්තියට එරෙහිව තම බස කතා කරන අයෙකු එන බවය . ඒ ඇත්තය . එහෙත් අනුර හා හරිනි යනු එතරම් පටු දැක්මක් ඇති අය නොවන බවද මාලිමාවට පිට රටින් එකතු වෙන ඇත්තන් ඊට වඩා මුහුකුරා ගිය අය බවද සිතීමට මම කැමතිය. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක නොබෙල් සම ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ ජාජබේ බලශක්තිය පිලිබඳ ප්‍රතිපත්තියේ නියමුවා ලෙස පසුගියදා හඳුන්වා දෙන ලදී. ඔහු 1982-1987 ජේ ආර් ජයවර්ධන රජයේ බලශක්තිය පිලිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකයෙකුව සිටි බව බොහෝ ජවිපෙ පාක්ෂිකයන් දැන සිටින්නේද යන්න සැක සහිතය.
ඒ අතරේ සුළං බලයෙන් ගිගා බයිට් හැට පහක (ගිගා වොට් නොවේ ) විදුලිය නිපදවන බවද සුළං බලාගාර හතරක් මුහුදේ පිහිටුවා තව හයක් පිහිටෙව්වොත් ඉන්දියාවට හා ඩුබායි වලට විදුලිය අපනයනය කළ හැකි බවද කියන සජබේ දේශපාලකයකු දුටිමු . ඔහුට සාවධානව සවන් දෙන ජනතාවක් ද දුටිමි . මහාචාර්ය මොහාන් මුණසිංහ මාලිමාවට එකතු වූයේ මෙවැනි අය නිසා විය හැකිය .
අනුර කුමාර දිසානායකට බොහෝ විට උතුරේ වැඩි ඡන්ද නොලැබෙනු ඇත . ජවිපෙ සහ සජබේ පාඨලීලා රාජපක්ෂ සමග එකතුව යුද්ධයේ ප්‍රධාන කාර්යයක් කල ඔවුන් දන්නා හෙයිනි. නමුත් අනුර කුමාර දිසානායක පිළිබඳව පැහැදීමක් දෙමළ ජනයා අතර ඇති වෙමින් පවතින බවද දුටුවෙමි. මුස්ලිම් ජනතාව අතරද මාලිමාවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී . මේවා සම්ප්‍රදායික සජබ / යූඇන්පී ඡන්දය. මුස්ලිම් ජනතාව ,මාලිමාව වෙළඳාම ට දැන් හිතවත් බවට විශ්වාස කරතියි මුස්ලිම් මිතුරකු මා සමග පැවසීය.
පසුගියදා, යුධ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුධ ආරක්ෂක මණ්ඩලයට උපදෙස් සැපයූ, ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබටික්ස් සහ කෘත්‍රිම බුද්ධිය පිලිබඳ මහාචාර්ය මා මිතුරු ත්‍රිශාන්ත නානායක්කාර මහතාද මාලිමාවට සහයෝගය දෙන ප්‍රකාශයක් ෆේස්බුක් හි කර තිබුණි . ත්‍රිශාන්ත ලංකාව ගැන ඉමහත් කැක්කුමකින් කතා කරන අයෙකි. මාලිමාවට සහයෝගය දීම විනා වෙන විසඳුමක් අද නැති බව ඔහුගේ අදහසයි.
නමුත් ලන්ඩනයේදී මට හමුවුණු ලංකාවේ මාධ්‍යවේදියෙකු සමග කතාවේදී ඔහුත් බිරිඳත් දෙදෙනාම 71-77 සිරිමාවෝ අවදිය ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කළහ. ඔවුන් ගේ සහයද මාලිමාවටය . ඒ කාලයේ පැවති වානේ කම්හල, ටයර් කම්හල, පේෂ කර්මාන්ත ශාලාව ආදිය ගැන ඔවුන් භක්තිමත් ලෙස කතා කළහ . ඒවා දුන්නේ සෝවියට් දේශයෙන් බව අඔවුන් දන්නේ නැත. ඔවුන් ඒ කාලයේ ඉපදී සිටියා දැයි මම ඇසීමි . ඔවුන් ඉපදී තිබුනේ ඊට පසුය. මම ඒ කාලයේ කුඩා ළමයෙකු ලෙසින් පාන් පෝලිමේ සිටි බව කීවෙමි. හැත්තෑ හතේදී ජේ ආර් ට හයෙන් පහක බලයක් ලැබුනේද ඒ නිසා බව කීවෙමි . නමුත් ඒ කාලයට යාමට සිහින දකින පිරිසක්ද සිටිති.
මේ තිබෙන්නේ මා මිත්‍ර සරෝජ් පතිරණ බීබීසී සංදේශය සඳහා අනුර කුමාර දිසානායක සමග කළ සකච්චාවයි. ඔහු තම පක්ෂයේ වැරදි වලට සමාව අයදින අතරම ඒ පිළිබඳව ජනතා අධිකරණයක් පත් කරන බව කියයි .
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ දකුණු අප්‍රිකාවේ මෙන් සංහිඳියා කොමිසමකි .
මෙහිදී තවත් අයෙකු තම භක්තිය හා සම්බන්ධ කරුණක් නිසා සමරිසි පනතට විරුද්ධය. ඔහුගේ අදහසේ සමහර කොටස් මම ඉවත් කලෙමි . මාලිමා නායකයන් ඒ ගැන කතා නොකලද කිසියම් ප්‍රමාණයකට ඔවුන් ගේ මතවාදය වඩා ලිබරල් බව පෙනේ. එසේ වෙද්දී සාමාජිකත්වය යන්නේ වෙනත් මගකය .
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන් සමග ඡන්දයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ විට විරුද්ධ නොවූ කුමාර් ගුණරත්නම් මහතා තමා කලින් සිටි පක්ෂයේ පැරණි සගයකුට විරුද්ධව නුවන් බෝපගේ ඉදිරිපත් කලේ මන්දැයි යන්න තවත් ගැටලුවකි . එය ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒවා ක්‍රියාත්මක වූ වකවානුවේ ඔහුද එම පක්ෂය තුල සිටිය බැවිනි. ඔවුන්ගේ බලපෑම නිසා කිසියම් ඡන්ද ප්‍රමාණයක් ගිලිහෙයි නම් එහි වාසිය යන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය .