අයිස්ලන්තයේ මුළු ජනගහනය ලක්ෂ හතරක් පමණ වේ. අපේ බසයේ වැඩිපුර සිටියේ ජර්මන් සංචාරකයන් වුවද ඔහු කතා කලේ ඉංග්‍රීසියෙනි. ජර්මන් මග පෙන්වන්නන් ඉතා අඩු බවද ඔහු පැවසීය. ඒ අතරම ඔහු කීවේ අපූරු කතාවකි. අයිස්ලන්තයේ ජනගහනය ඉතා අඩු නිසාත් බොහෝ අය එකිනෙකාට ඥාතීන් වන නිසාත් ඔවුන්ට කසාද බැඳීම මහත් ප්‍රශ්නයකි. තමන් ආදරය කරන තරුණිය හෝ තරුණයා ඥාතියෙක් දැයි දැන ගැනීමට මොබයිල් ෆෝන් ඇප් එකක්ද තිබේ.
දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මන් හමුදා අයිස්ලන්තයට ගොඩ බැස්ස හොත් බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව අතර නාවික ගමනගමනයට බාධා සිදුවිය හැකිව තිබුණි. අයිස්ලන්තය ඇත්තේ නොර්වේ, ග්‍රීන්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර නෝර්වේජියන් මුහුද හා අත්ලාන්තික සාගරය අතරය. මුලින් බ්‍රිතාන්‍ය හමුදා ගොඩ බට අතර ඔවුන්ට පසුව අමෙරිකානු හමුදා ඩිවිෂන් එකක්ද එහි නතර කරන ලදී. අයිස්ලන්තයට පමණක් නොව පියකරු අයිස්ලන්ත වයිකිං තරුණියන්ටද ආරක්ෂාව සැපයීම නිසා යුද්ධය අවසන් වන විට බොහෝ ඇමෙරිකානු භටයන් මේ වයිකින් කෙල්ලන් සමග ඇමෙරිකාව බලා ගියහ. අයිස්ලන්ත පිරිමින් තම තරුණ ගැහැණුන් ඈත ගොවිපල වලට යවමින්, නීති වෙනස් කරමින් මේ සම්බන්ධතා නැවතීමට උත්සහ කලද ඔවුන් අසමත් විය. අයිස්ලන්තයේ කාන්තා ජනගහනය අඩු විය. මේ නිසා 1949 අවුරුද්දේ සිට යුද්ධයෙන් පරාජය වී සිටි ජර්මනියේ තරුණ කාන්තාවන් ට අයිස්ලන්තයට ඒමට අරාධනා කරන ලදී.
බොහෝ ජර්මන් කතුන් පැමිණ අයිස්ලන්තයේ ගොවිපල වල රැකියා කලද ඔවුන්ට අයිස්ලන්ත පිරිමින් සමග විවාහය පවත්වා ගැනීම අසීරු විය. අයිස්ලන්ත පිරිමින්ට අවශ්‍ය වූයේ ඔවුන් ධිවර රැකියාව හෝ වෙනත් සීමිත රැකියා ප්‍රමාණයක් කරණ විට නිවසට වී ළමයි බලාගෙන, උයාගෙන සිටින බිරිඳකි. ජර්මානු කාන්තාවන් බොහොමයක්ජර්මනියේ රැකියා කල පුරුදු අය වීම නිසා ඔවුන් බෝහෝ දෙනෙකු නැවත ආපසු ජර්මනිය බලා ගොස් තිබේ. මේ නිසා වසර ගණනක් යනතුරු අයිස්ලන්ත ජනගහනයේ කිසිම වැඩි වීමක් සිදුව තිබුනේ නැතිලු.
මේ තත්වය හදිසියේම වෙනස් වුනේ අනු ගණන්වල අග භාගයේ සමාජවාදී ලෝකයේ බිඳ වැටීමත් සමගය. රැකියා සොයා නැගෙනහිර යුරෝපීය රටවලින් බොහෝ කාන්තාවන් බටහිරට පැමිණි අතර අයිස්ලන්තයටද එවැනි කතුන් පැමිණියහ. අපි එහි සිටින විටද රුසියානු , යුක්රේන , පෝලන්ත භාෂාවලින් කතා කරන්නේ සංචාරක කාන්තාවන් යයි කියා මා සිතුවද ඔහුගේ පැහැදිලි කරීම අනුව ඒ බොහෝ කාන්තාවන් අයිස්ලන්ත ජාතිකයන් සමග විවාහ වී එහි නතර වී සිටින අය වෙති. මේ අනුව අයිස්ලන්තය යන්තම් පරපුර රැකගෙන ඇත. 😆
අපේ ක්‍රොෂියානු සංචාරක මග පෙන්වන්නා ගේ නම යෝසිෆ්ය. යෝසිෆ් ගමනේ යන ගමන් කතාවේදී යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපතිවරයා වන ටිටෝ ව කිහිප වරක්ම මතක් කළේය. ටිටෝ ගේ මුල් නම්ද යෝසිෆ් ය. අප කෑමට බසයෙන් බැස යද්දී මම ජනාධිපති ටිටෝ දුටු බව ඔහුට කීවෙමි. ඔහුට එය අදහාගත නොහැකි විය. ඔහු සමග තවත් ක්‍රොශියානුවන් කිහිප දෙනෙක් සිටි අතර ඔවුන් යුගෝස්ලාවියාව ගැන අප සමග කතා කළහ. මා ටිටෝ දුටුවේ 1976 නොබැඳි සමුළුවට පැමිණි අවස්ථාවේය. දැන් තිබෙන සිනමන් රිසොර්ට් හෝටලය ඉදිරියේ සෙපෙට්කෝ නමැති (ඒ කාලයේ ලංකා පෙට්රෝල්) පෙට්රෝල් ෂෙඩ් එක ළඟ බෝගසක් තිබේ. ඊට පිටුපස තිබුනේ දැන් හෝටලය තිබෙන තැන තිබුනේ පාපන්දු පිට්ටනයකි. ඊට ඉදිරියේ ඇත්තේ කොම්පඤ්ඤ විදිය පොලිසියයි. ටිටෝ ගේ රථ පෙළපාලිය ගියේ එතැනිනි. මා සිටියේ බෝගස අසලය.
මා 2014 දී "යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්" යනුවෙන් ලිපියක් ලීවෙමි. ("පොල්කට්ටෙන් එලියට" පොතේ මේ ලිපිය තිබේ) ඒ ලිපිය ඒ දිනවල දේශපාලන අනාථයන් වශයෙන් සිටි සේම එසමයේ ජාතිවාදී යුද්ධයකින් පිඩා විඳින රටවල් තුනක් වූ සර්බියන්, ක්‍රොශියන් සහ බොස්නියන් කෙල්ලන් තිදෙනෙකු ගේ සමගිය ගැනය. යුගෝස්ලාවියාවේ මාෂල් යෝසිෆ් බ්‍රොස් ටිටෝ ක්‍රොශියානු සුළු ජාතියේ වුවද එහි සමාජවාදී රාජ්‍යයේ දිගු කාලීන ජනාධිපති විය. අවුරුදු තිස් තුනකට පසුවත් තවමත් යුගෝස්ලාවියා වට ආදරය කරන මිනිසුන් හමුවීම පුදුමයක් නොවේද? යෝසිෆ් එතරම් වයසක අයෙකු නොවේ. ඔවුන් තරුණ වියේ අයයි. නමුත් ඔවුන්ද ටිටෝට හා යුගෝස්ලාවියාව ට ආදරය කරති. බසයට නැග්ග වහාම යෝසිෆ් මා ගැන බසයේ සියල්ලන්ටම පැවසුවේය. ටිටෝ දුටු ශ්‍රී ලංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ වෙසෙන්නෙකු හමුවීම පුදුමයක් බව ඔහු කිවේය.
අපි මුලින්ම ගියේ කෙරිත් නමැති ගිනි කන්දක් පුපුරා යෑමෙන් හැදුනු ආවාටය බලන්නටය. ඉතා පියකරු තැනක් වූ එහි වැහි වතුර එකතුවී සෑදුනු ස්වභාවික විල ඉතා නිල් පැහැයෙන් බැබලුනි. මේ පින්තූර ගත්තේ එහිදීය. එහි ජලය පානය කළ හැකි තරම් පිරිසිදුය. මෙහිදී ඉතාමත් වැදගත් දැන්වීමක්ද දුටුවෙමි. කිසිවෙකුට එහි ඇති තණකොළ හෝ කිසිම පැළෑටියක් පෑගීම තහනම් ය. එය පවුම් සීයක් පමණ දඩයක් වදින වරදකි. ඔවුන් රටේ ගහකොළ වලට එපමණ ආදරයක් දක්වති. ගහකොළ වල වටිනාකම දැනෙන්නේ ඒවා නැති රටක වැසියන්ටය.
- අජිත් ධර්ම. 2024-02-04