Wednesday, 22 September 2021

බ්ලොග් කියන්නේ ..


 
දැන් අපි නැවතත් බ්ලොග්කරණයට යොමු වෙමින් පවතිනවා. ෆේස්බුක් එකේ "යාළුවෝ" වැඩියි. පන්දාහට ලංවුනත් ලියන දෙයක් කී  දෙනෙක් කියවනවද  කියලවත්  හොයා ගන්න බැහැ.  හැමෝම ලයික් දාන්නේ නැහැනේ. නිකන් තියෙන ලයික් දාන්න, ෂෙයාර් කොරාන්න කොමෙන්ට් කොරාන්න කියල අපි උම්මා දෙන්න යන්නේ නැහැනේ. ඒ නිසා මම තවම බ්ලොග් එක ලියාගෙන  යනවා. 😏

අහස්  ගව්ව බ්ලොගය කරන ඒ වගේම රූපන කියන රූපවාහිනි නාලිකාවත්  මෙහෙයවන අනුරුද්ධ වැලිගමගේ සොයුරා  ඇහුවා බ්ලොග් ගැන කතා කරන්න පුළුවන්ද කියල තිලකසිත බ්ලොගය  ලියන තිලකසිරි ඒකනායක සමග. ඒ වැඩ සටහන සෙනසුරාදා ප්‍රචාරය වෙන්න නියමිතයි. මම මේ ලියන්න යන්නේ සාකච්චාවේදී  නොකීව කාරණාවක් ගැන.

මේ ලඟදි දැන ගන්න ලැබුන "මගේ කීචි" බ්ලොගය ලියපු මල්ලි  ලෝකයට සමු දී නික්ම ගිහින් කියල. අමිල ඔබට සුභ ගමන්.  ඔහු වලල්ලාවිට පාසැලට බ්ලොග් මිතුරන් ගෙන්  ආධාර රැගෙන  හරහා විදුලිය දෙන්න කටයුතු කළා.   එවැනි සමාජ සත්කාර  හුඟක් කරපු කෙනෙක්.

ඒ නිසාම ඉහත සාකච්චාවේදී මට අනුරුද්ධට මතක් කරලා දෙන්න බැරිවුණ දෙයක් තමයි අප කළ ඒ සමාජ වැඩ. සුමිත් කලනසිරි, ප්‍රසන්න, දිමුතු  (කටුස්සා ) ආදීන් වතුකරයේ පාසැලකට උදව් කරපු හැටි. ඉන්දික සහ අනෙත් අයගේ දායකත්වයෙන් සුමිත් කලනසිරි ඇතුළු පිරිස මොණරාගල  පාසැලකට වතුර දීපු හැටි. විදානේ, සුරංග ලියනගේ තවත් බ්ලොග් කරුවන් සමග   බදුල්ලේ,   රත්නපුරයේ සහ තවත් පාසැල් කිහිපයකට ම එවැනි උදව් කරපු හැටි. ඒවා කට්ටිය එකතුවෙලා බොහොම කැමැත්තෙන් කරපු වැඩ. මුදලින් දායක වුනු බොහෝ  අය ඉන්නවා. රසික සුරියආරච්චි, ලුඩ් ෆෙර්නාන්දු , ඉවාන් පව්ලුෂා, පැතුම් හේරත්, ඉන්දික , මෙත්මලි, පෙමාස් ගුණසිංහ මහතාගේ බ්ලොගයේ අය , රත්නපුරේ කැටපත් පවුරේ අය සහ   මමත් දායක වුනා,

අපි පෞද්ගලික මුදලින් (කොටින්ම අපේ සාක්කුවෙන්) රුපියල් දහසක මුදලක මාසෙකට වරක් හොඳම බ්ලොගයට දුන්න සම්මානයක්  වශයෙන්.  කැමති දෙයක් ඒකෙන් කරන්න. ඩේටා කාඩ් එක්ක ගන්න. අහේතුවකට  පැමිණි විරෝධයක්  නිසා ඒක නැවතුනා.  අද ආණ්ඩුව කෝවිඩ් ආධාර කියල දෙන්නෙත් රුපියල් දෙදාහක්. මට මතකයි එකට එකතු වෙලා බ්ලොග් එකක් ලියපු  කණ්ඩායමක් ඒ මුදලට තව මුදලක් එකතු කරල උසස්  පෙළ  පොත් කිහිපයක් සිසුවෙකුට අරන් දුන්න. ඉතින් ඒවගේ සොඳුරු වැඩත්අ පි කළා. 

ඒ නිසා ඒ කාලය ගැන  කිසිම දුකක් හිතේ නැහැ. සෑහෙන්න කාලය , ශ්‍රමය , ධනය වැය වුනා තමයි. කණගාටුවක් නැහැ සතුටක් මිසක්. ඉතින් අපි තවම බ්ලොග් ලියමින් සිටිනවා. මම 2013 බ්ලොග් ලියන්න පටන් ගන්නකොට බ්ලොග් කරුවෝ, බ්ලොග් කාරියෝ සහ වෙබ් එකට ලියන අය හුඟක් හිටිය.  කොටස් වශයෙන් පළවෙන  නවකතා ගියා සිංහල වෙබ් අඩවි වල. බෝධිනී සමරතුංග ඒ වල ලීව කෙනෙක්.  මට MSN ගෘප් එකක් තිබුන අනූ ගනන් වල අග භාගයේ ඉඳල. ගූගල් ගෘප් එකක් තිබුණ මම ඇඩ්මින් වෙලා  හිටිය. ඒවල  අපි ලීව . ඒ බ්ලොග් වලට කලින්.  අනිත්කොනේ බෝධිනී , ඇටමැස්සා,  කකා හෙවත් කතන්දර කාරයා (රසික), මාතලන්, අජිත් පැරකුම් ජයසිංහ, අරුණි ශපීරෝ, දිනිති දීපිකා සහ නම් අමතක වුනු බොහෝ අයගේ බ්ලොග් වල මම රසිකයෙක් වෙලා හිටිය.  අජිත් කුමාරගේ බ්ලොග් සින්ඩිය හා අටම්පහුව සින්ඩියත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. මටනම් මම ප්‍රවීණයෙක් කියල හිතෙන්නේ නැහැ. බ්ලොගය ට තවම ගොඩ වැදිලා තියෙන්නේ හාර  ලක්ෂයකට ටිකක් වැඩි වෙන්න පිරිසක්. ඉතින් අපි තවම ලියනවා. ලියන්න තියෙන දේවල් තවම ඉවර නැහැ. ගොඩ වැදිලා යන්න එන්න.  


Sunday, 19 September 2021

මගේ පළමු සහ අන්තිම රොටිය

අද උදේ මට රොටී කෑමේ සිතක් පහල විය. එහෙම අදහස් ඉඳහිට  මේ පිස්සු ඔළුවට එන්නේය. දෙමළ කඩේ frozen (අධි ශීතකරණ කරන ලද) රොටි පහේ පැකට්ටුවේ ගණන  පවුම් 3 සිට හයයි පනහ දක්වා වැඩිවී ඇත. ඒ කියන්නේ එක රොටියක් පවුම් 1.30  හෙවත් ලංකාවේ දැන් රේට් එකට රුපියල්ම 385 කි. ඒ රොටියේ විෂ්කම්භය සෙන්ටි මීටර් ම පහකි.  කවුරුත් නොදන්නවා උනාට අපේ නිවසේ රොටි, තෝසේ , ඉඳි ආප්ප , ආප්ප  මෙන්ම පරිප්පු හදන්නේද අනිකුත් කරි වර්ග හදන්නේද මගේ ජර්මන්  ජාතික බිරිඳ වන ඉනේස්ය.  ඉනෙස්  ඉඳියප්ප හදන්නේ සාමාන්‍ය විධිහට නොවේ. ඉනෙස්  හදන්නේ ඉඳියප්ප කෝච්චිය. ඒ ගැන වෙනම දවසක කිව යුතුය.

ඊයේ පෙරේදා  යමුනා ගේ පනස් වැනි උපන්දිනයේ දී කවිකාර සුරංගගේ පියම්බිකාව  වන රමණි ආප්ප හදද්දී, ඉනේස්ද ආප්ප ආදිය හදන බව කී  විට ඔවුන් එය විශ්වාස කලේ නැත, අන්තිමේදී තමන් ආප්ප හදන්නේ කෙසේද, පරිප්පු හදන්නේ කෙසේද යන්න ගැන ඉනේස්ම විස්තර කළාය.

 රුසියාවේදී මට චිකන් කරිය උයන්නට ඉගැන්වූ ලොකු වඩ්ඩා නමැති සොඳුරු සීනියර් අයියා කී පරිදි අතට අහුවෙන තුනපහ, මිරිස්, කහ, ගම්මිරිස් ආදිය ඔක්කොම එකට දමා ළඟ තියෙන සෝස් ඔක්කොමද දමා හදන කරිය  ඉනෙස් මුලදී කෑවත් අපේ අම්මා ලන්ඩන් පැමිණි වෙලේ උයන දෙස හොඳින් බලා සිටි ඇයට මගේ මෝල් කම අතටම හසුවුනේය. මම හැම කරියටම එකම දේවල් දමන බව කී ඇය සිංහල හෝ දෙමල කෑම උයන්නේ ඒ ලෙස නොවන බව කියා මා කුස්සියෙන් එලෙව්වාය. ඇය පරිප්පු උයන්නට උගත්තේ එහෙමය.
මේ ලඟදි තවත් යහළුවෙකු වන ටෙක්ලා ඉනෙස් ගේ පරිප්පු රස බව කීවාය. තිස්ස ජනනායක අනුගාමිකයෙකු වන ටෙක්ලා ඒ කිව්වේ ඇත්තට ද බොරුවටද කියා මට ෂුවර් නැත. අම්මා  මෙන්ම ඉනේස්ද පරිප්පු වලට තුනපහ දමන්නේ නැත.  මම උයන පරිප්පු කෑවා නම් ටෙක්ලා ලඟත් නොහිට  දුවනු ඇත.  ඒකට චිකන් එකට මෙන් ළඟ තිබෙන අඩුවැඩිය සියල්ල දමා අඩුපාඩුවට කිරිද දමා එන පරිප්පුවට අන්තිමට පෙරී පෙරී සෝස්, චෛනිස් ස්වීට් චිලි සෝස් හා අඳුරු සෝයා සෝස් (dark soya sause හරිය) දමන බැවිනි.

ඉතින් මට රොටී  ඕනේ කිව් නිසා ඉනෙස් නැගිට ගියත් කොහෙන්දෝ පැමිණි කෝල් එකක් නිසා ඇයට පැය භාගයක් පමණ කතා කර රොටිය  අමතක වී ඇය වැඩට ගොස් ඇත. ඒ දවස් වල රොටිය බබා කියා බ්ලොග් එකක් තිබුන බව මතක් වී හොයා බැලුවත් ඒකෙ රොටි ගැන ඇර අනිත් දේවල් ගැන ලියා තිබේ.  ඉනෙස් රොටි හදන්නට පිටි ජාති දෙකක් මැන සලාද බඳුනට දමා ගොස් තිබුනු නිසා මම එයට උණු වතුර ටිකක් දමා බැලුවෙමි. ඉන්පසු අනන විට අතේ ඇලෙන්නට වූ නිසා සෝයා කිරි දැමුවෙමි. හරි ගියේ නැත. ඉන්පසු පිළිවෙලින් ඕට් කිරිද ඉන්පසු නැවතත් උණු කල වතුරද දැමුවෙමි, ඒ ගමන තලප මෙන් පිටි ගුලියක් හදා ගත හැකිවිය. ඒත් හොඳටම  ඇලෙයි. 

අත හෝදාගෙන ඔලිව් තෙල් බෝතලෙයන් හැඳි දෙක තුනක් හලා ඉන්පසු අතේද ඔලිව් තෙල් ගා ගතිමි. 
ඒත් මේ ආච්චිගේ වස්ත්‍රයේ පිටි ගුලිය අතෙහි ඇලෙන්නේමය. කොටින්ම  රොටියක් රවුම් කර හදාගන්නට බැරිය. තෙල් දමා ඒ උඩට පිටි දැම්මත් ගුලිය අතෙහිම ඇලෙයි. අම්මා රොටී හදනවිට බලා නොසිටීමේ පාපය ගෙවන්නේ දැන්ය. 
 
අන්තිමට මම සාමාන්‍යයෙන් දවල් දොළහ  දොළහ වෙනකන් නිදා ගන්න පොඩි දුව ඇහැරුවෙමි. ඇය මව ගෙන් මේවා ඉගෙන ගන්නා බව දන්නා හෙයිනි.  දුව නිදිමතේම පටන් ගත්තේම "ෆොර් ගෝඩ්සේක් ඩෑඩ් " කියාගෙනය, "දෙවියන්ට ඔප්පු වෙච්චාවේ තාත්තේ , පිටි, පිටි, තියෙනවනේ ලෑල්ල උඩට දාන්න " කියා අනිත්  පැත්ත හැරී නිදා ගත්තාය.

මේ මොන මගුලක්ද?  පිටි වලින් හදන රොටි වලට ආයෙත් පිටි දමන්නේ මොකටද කියා කල්පනා කෙරුවෙමි. ඇලෙන්නේ නැති වෙන්න පිටි දැම්මහම ඒකත් රොටියටම නේ යන්නේ. මොන විකාරයක්ද? කොහොමත් පොඩ්ඩි බොරු  කියන්නේ නැත. ට්‍රයි කර බැලිය යුතුය.

  මස් කපන ලෑල්ලට පිටි හලා අත් දෙකේද පිටි හලා ගත්තෙමි. යන්තමින් අතේ ඇලෙන එක නතර වුනේය. අර රොටී  රවුමට හදන්නේ කොහොමද කියා මට නම්  හිතා ගන්නට බැරිය. ඒවා  හැදුනේ විවිධාකාර ලෙසටය.
පළමුවෙනි එක රවුම් කර ගන්නට කොහෙත්ම බැරි විය. ඒක වැරදියට ගහපු චපාතියක් වගේය. නැත්නම් පැතලි වී වැටුණු උල්කාවක් දැයි කියාත් හිතුනි.


සෙන්ටි මීටර් දහයකට වඩා පැත්තක් දිග එකක් හැදුනි. මට ඒක පෙනුනේ ඔස්ට්‍රේලියාව වගේය

ඊළඟ රොටිය හැදුනේ හඳේ හාවා වගේය. හඳේ හාවා රවුම් වුනේම නැත. ඔන්නොහේ  තාච්චියට  දැමුවෙමි. 

ඊළඟ රොටිය ඇමිබාවක් අන්වීක්ෂයෙන් බලන විට වගේය. මේක රවුමට නොව එලිප්සයක් වගේ යයිද සිතු නිසා සමහරවිට ග්‍රහ ලෝකයක බලපෑමක් වෙන්නටද පුලුවුන. ළඟදීම හඳහන බලා ගන්නට හෝඩුවාවක් වත්ද? පෘතුවියේ  එළිප්සයාකර ගමනට සමාන වගේ යයිද සිතුනි.

අන්තිම රොටිය කෙලින්ම සෙනසුරුගේ බැල්ම වැටී රවුම් වෙන්නට ගොස්  එලිප්සයක් විය. අවංකවම කියනවනම් විශ්වයේ cosmic microwave background - CMB  (හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය??) එහෙම නැත්නම් විකිරණ බලය විසිරී  තිබෙන ආකාරය පිලිබඳ ප්ලෑන්ක් චන්ද්‍රිකාවෙන් ගත්ත  පින්තුරයත් මේ වගේමය.

මේ තියෙන්නේ ඒ CMB පින්තූරයයි .


පින්තූරය : Planck Maps the Microwave Background


විශ්වයේ විකිරණ බැක්ග්‍රවුන්ඩ් රොටියෙන් පසු මම වැඩේ නතර කෙළෙමි. හුටා ය. ඇඳුම්  පුරාත් මූණෙත් අත් දෙකේත්, බිමත්  හැම තැනම පිටිය. ඒ ටික සුද්ද කල වෙන ඇඳුමක් ද ඇන්ද පසු මට රොටී හදන්නට පැයකටත් වඩා ගතවී ඇත.  ඒ නිසා මේ හදන  අන්තිම රොටී හැදීම යයි මම නාථ දෙවිඳුන්ට අන්තිම විශ්ව රොටිය පුදා  සපථ  කලෙමි.



Saturday, 11 September 2021

නිකොලායි බෞමන් , පක්ෂ අභ්‍යන්තරයේ ලිංගික ප්‍රශ්න හා ඉරාජ් ගේ ගවුම


දීප්ති කුමාර ගුණරත්න ලියූ "ඕපපාතික බුද්ධිමතුන්" නමැති ලිපියේ  සුමිත් චාමින්ද මහතා පිලිබඳ සඳහනකට මම ත්‍රිමාණ වෙබ් අඩවියට ප්‍රතිචාරයක් එක් කෙළෙමි. දීප්ති සහෝදරයා චිසින් මගේ ප්‍රශ්නයට දැන් න්‍යායික පිළිතුරක් දී තිබේ. ඔහු කියන්නේ තමන් සදාචාරවාදියෙකු  හෝ ගතානුගතිකවාදියෙකු නොවන බව මා  දන්නේය යන්නයි.

දීප්ති ගුණරත්න සහෝදරයාගේ පිළිතුර  "ඔබේ ගවුම කුමක්ද " යන ලිපියයි. 

දීප්ති අසන්නේ ‘සුමිත්ගේ ලිංගික ගැටලුව පිළිබඳ දීප්ති ඔයාගේ න්‍යායික අදහස කියන්න’ යනුවෙන් මා නොඇසූ බවයි. හේතුව මගේ ප්‍රතිචාරයේ තිබේ.  මා ලියුවේ  " සුමිත්, වසන්ත සහ වසන්තගේ පෙම්වතිය යන තිදෙනාම වැඩිහිටි අය යි. ගැටලුව ඒ හින්දා සුමිත්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්". මෙහිදී දීප්ති සදාචාරවාදියෙකුද නැත්ද යන ප්‍රශ්නය අදාල නැත. නමුත් දීප්ති ගතානුගතිකවාදී ස්ටලින්වාදියෙකු නම් විය හැකිය. ඒ මෙසේය.

  සෝවියට් දේශයේ මොස්කව් හි මා  උගත් විශ්ව විද්‍යාලය පිහිටි අවියමතෝර්නයා ප්‍රදේශයට යාබදව පිහිටියේ බෞමන්ස්කයා නම් ප්‍රදේශයයි. බෞමන්ස්කයා හි මෙට්‍රෝ උමන් දුම්රිය පලෙහි  නමද   බෞමන්ස්කයාය. එහි සෝවියට් දේශයේ පිහිටි තවත් උසස් විශ්ව විද්‍යාලයක් ද වේ.  එම විශ්ව විද්‍යාලය ලොමොනොසොව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට පසුව පිහිටුවන ලද මොස්කව්හි දෙවන පැරණිතම විශ්ව විද්‍යාලයයි. එය 1763 දී පිහිටුවන ලද්දේ  දෙවන කැතරින් අධිරාජිනිය විසින් මොස්කව් හි  ජර්මන් කොටසේය.  1917 ඔක්තෝබර්  විප්ලවයෙන් පසු එය බෞමන් විශ්ව විද්‍යාලය යනුවෙන් නම් කරන ලද්දේ බොල්ෂෙවික්වි ප්ලවාදියෙකු වන නිකොලායි බෞමන් ට උපහාරයක් වශයෙනි.

මේ විශ්ව විද්‍යාලය ගැන මම "චෙර්නොබිල්" ගැන ලියද්දි ලීවෙමි. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූ  න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් උගත්තේ මෙහිය.  නමුත් මට ලිවීමට අවශ්‍ය නිකොලායි බෞමන් ගැනය. නිකොලයි එර්නේස්ටෝවිච් බෞමන්,  ලෙනින් සමග ස්විට්සර්ලන්තයේ පිටුවහළේ සිටි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පකෂයේ (පසුව බොල්ෂෙවික්  පක්ෂය) සාමාජිකයෙකි. ඔහු ලෙනින් සමග ඉස්ක්‍රා (ගිනි පුපුර) පුවත්පතට සම්බන්ධව වැඩ කටුතු කලේ රුසියනු මාක්ස්වාදයේ පියා  ලෙස සැලකෙන  ප්ලෙහනොව් සමග ජිනීවා නගරයට පිටුවහල් වීමෙනි.

නිකොලායි ඉතා දක්ෂ  පක්ෂ සංවිධායකයෙකු වූ අතර ඉස්ක්‍රා පුවත්පත බෙදා හැරීමෙහි ලා පුරෝගාමියෙකුද විය. පිටුවහලට හේතු  වුයේ සාර් පාලනයට එරෙහිව ශිෂ්‍යයන් හා කම්කරුවන් අතර උද්ඝෝෂණ සංවිධානය කල බැවිනි. ඔහු කිහිප වරක්ම සාර්  ගේ සිරගෙවල් වලද ලැග්ගේද  එම නිසාමය.

පිටුවහල්ව සිටියදී සහෝදර විප්ලවවාදියෙකු ගේ බිරිඳ සමග ඔහු අනිසි සබඳතාවයක් ඇතිකරගත් අතර ඔහු  නිසා ඇය ගැබ් ගත්තාය. ඔහු  එය නොපිළිගත් අතර ඇය හා ඇගේ සැමියා ගැන විකට චිත්‍ර (කන්‍යා මරියා තුමිය  දරුවෙකු වඩා සිටිනා අන්දම ඇඳ)  ඔහු ඇය ව අනුන් ඉදිරියේ නින්දාවට භාජනය කළේය. මේ කාන්තාවද ඉස්ක්‍රා පුවත්පත බෙදා  හැරීමෙහි නියුතුව සිටි විප්ලවවාදී ක්‍රියාකාරිනියකි. ඇය ඉස්ක්‍රා පුවත් පතේ  කතෘ මඩුල්ලට හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මේ ගැන ලියා බෞමන් පක්ෂයෙන් නෙරපා දමන ලෙස ඉල්ලා සිටියාය.   ඉස්ක්‍රා  කතු මඩුල්ලේ මර්ටෝව්, පට්‍රෙසොව් සහ ට්සාසුලිච් අපයෝජනය වූ  කාන්තාවට පක්ෂව කතා කළහ. ප්ලෙහනොව් සහ ට්‍රොට්ස්කිද කතු මඩුල්ලේ සිටියත් ගත්තේ නිහඬව සිටීමේ ස්ථාවරයකි.

ලෙනින්ට තිබුනේ වෙනත් අදහසකි. පක්ෂයට  හොඳ සංවිධායක වරයෙක් අහිමි කර ගැනීමට ලෙනින් සූදානම් වුයේ නැත. ඔහු කිවේ තමන් හා පක්ෂයේ අභිප්‍රාය සාර් පාලනය පෙරළා දැමීම බවයි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමටද   ඔහු පසුබට නොවන බවයි. මර්ටෝව් ට තම මිතුරාගේ තිරණය අදහා ගත නොහැකි එකක් විය. ජනතාවගේ නිදහස සඳහා සටන් කළ පක්ෂයක් අගතියට පත් කාන්තාව ගේ  පැත්ත නොගැනීම ඔහු නිර්දයව විවේචනය කළේය. 
 
ඉස්ක්‍රා කතු මඩුල්ල අවම වශයෙන් බෞමන් කැඳවා නිදහසට කරුණු විමසීමක් වත් නොකළහ. කාන්තාව සිය දිවි නසා ගත්තාය. 

පසු කලෙක මර්ටෝව් පක්ෂයන් ඉවත්වීමත්ටත්  මෙන්ශේවික් හා බෝල්ෂෙවික්  වශයෙන් පක්ෂය දෙකඩ වීමටත් බලපෑ  එක හේතුවක්  වූයේද මේ බෞමන් සිද්ධියයි.  

මේ සිද්ධිය අද වූවානම් meToo වැනි ව්‍යාපාර බලවත් මේ කාලයේ ලෙනින්ට ,නිකොලායි  බෞමන් සමග අකුලාගෙන ගෙදර යන්නට සිදුවනු නොඅනුමානය .

 ශ්‍රී ලංකාවේ බොහෝ වාමාංශික පක්ෂ මාක්ස්/ලෙනින්/ට්‍රොට්ස්කිවාදී හෝ මාක්ස්/ලෙනින්/ස්ටාලින්වාදී හෝ මාක්ස්/ලෙනින්/මාඕ වාදී ඒවාය. දීප්ති කුමාර ගුණරත්න ද ලෙනින්වාදියෙකු බව ඔහුගේ අදහස් වලින් පැහැදිලිය.  මේ අනුව සුමිත් චාමින්දට, දීප්ති සහෝදරයා කරන චෝදනාව නිවැරදිද?

ලෙනින් පවුල පිලිබඳ සංකල්පයට විරුද්ධ නොවූ ෆැමිලි මෑන් කෙනෙකු වූවද ඔහු හැසිරුනේ වඩා නිදහස් ලෙසයි. පවුල, සමාජවාදී සෝවියට් දේශයේ  සාමාජිය වර්ධනයේ මූලික ඒකකයක් (යුනිට්  එකක්) කලේ ස්ටාලින් ය. මම මේ පිළිබඳව මිට පෙර "සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1" නම් ලිපි පෙලේ (1,2,3,4) ලියා තිබේ.  ලෙනින්ට ඉනේස්සා අර්මන්ඩ් ට අමතරව ප්‍රංශ ප්‍රභූ කාන්තවක සමගද සම්බන්ධයක් තිබු බවද (එලිසවෙතා කේ.) හෙළිදරව් වී ඇත. ලෙනින් එම සම්බන්ධයට තිත තිබ්බේ රුසියානු විප්ලවය සම්බන්ධව  ඇගේ සහයෝගයක් නොතිබූ බැවිනි. තම බිරිඳ කෘප්ස්කයා සහ පෙම්වතිය  අර්මන්ඩ් සමග ලෙනින් එකට නිවාඩුවකට ගිය බවද අද නොරහසකි. එහිදී පක්ෂ වැඩ කටයුතු වලද නිරත වෙන්නට ඇත. කොටින්ම රුසියානු විප්ලවය තම ජිවිතයේ එකම අභිප්‍රාය කරගත් ලෙනින්ට පෞද්ගලික ජීවිතයේ කරන දේ  එතරම් අදාල වූයේ නැත.   

ලන්ඩනයේ පිරමීඩ සම්බන්ධ වෙළඳාමකට හවුල් වූ එක්තරා වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු ගැන මට දැන ගන්නට ලැබුණි. පක්ෂ අභ්‍යන්තරයේ එම ප්‍රශ්නය කතාකරගෙන විසඳා ගත් බවටද මට දැන ගන්නට ලැබුණි. තමන්ට භක්තිමත්ව සේවය කරන  හොඳ සාමාජිකයෙකු නැති කරගන්නට පක්ෂයක් අකැමති බවට හොඳ  උදාහරණයකි එය. පක්ෂයට පරිබාහිරව සිටින හිතවතුන්, පුද්ගලයන් මොනවා කීවත් පක්ෂය තම ප්‍රධාන අරමුණට හානි කරගන්නේ නැත. ලෙනින් කලේද එයයි. සමහරවිට ලෙනින් එම පුද්ගලයාට  එමගින් emotional blackmail (සිංහල වචනයක් නොදනිමි - ආවේගී කප්පමක් , බල කිරීමක්) එකක් කරන්නට ඇත. වරදක් කළ නිසා බෞමන්ඒ  පිළිබඳව පසුව පශ්චත්තාප වී පක්ෂයට හොඳින් වැඩ කරන්නට ඇත. නිකොලායි  බෞමන් 1905 දී  රාජාණ්ඩුවාදීන් සමග ගැටුමකදී  මිය ගියේය. විප්ලවයට දිවි දුන්නෙකු ලෙස සලකා ඔහු ගේ නමට ප්‍රදේශයක් හා කීර්තිමත් විශ්ව විද්‍යාලයක් නම් කර  සදාතනික කර ඇත්තේ ඒ නිසාය. 

එසේනම් දීප්ති, චාමින්ද සිද්ධියේදී ක්‍රියාකර ඇත්තේ ස්ටලින්වාදියෙකු ලෙසද? මට හිතෙන්නේ දීප්ති වර්තමානය සමග ජිවත්වන නිසා අනුගත වන්නේ වර්තමාන දියුණු ධනවාදී සමාජයක සාරයට බවයි. දීප්තිට තම පක්ෂය (එක්ස් හෝ පරණ පෙරටුගාමී හෝ සමබිම පක්ෂය)  විප්ලවයක් දක්වා රැගෙන ගොස් රාජ්‍ය බලය ලබා ගැනීමට අදහසක් ඇත්නම් ඔහු ක්‍රියා කල යුතුව තිබුනේ ලෙනින් ක්‍රියා කළ ලෙසටය. නමුත් අද එය වැරදි ක්‍රියාවක් වන්නට හොඳටම ඉඩ තිබේ. මේ නිසා දීප්තිට බලය ලබා ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව  ඉන් අදහස් කළ හැකිය.

ගවුම ගැන කතා කලහොත් ඉරාජ් නැමති ගායකයා ගවුම ඇන්දේ අපහාසයක් ලෙසය. ඔහු ඉන් බොහෝවිට අපහාස කරන්නට අදහස කර  ඇත්තේ මංගලට හා රනිල්ට විය හැකිය. (සමාජයේ එම දේශපාලකයන්  දෙදෙනා  ගැන ඇති මතයට අනුව). එසේම එනයින් ඉරාජ් ගැහැණු වර්ගයා ටද  අපහාසයක් කරයි. ගැහැණු අඳින ඇඳුමක් අපහාසාත්මක සංකේතයක් යොදා ගැනීම නිසාය. 

 දීප්ති "ගවුම " ලිපියෙන් පලකරන න්‍යායාත්මක අදහස් වලින් පැහැදිලි කරන්නේ  අප එම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ වර්තමාන දර්ශනවාදීන් අනුසාරයෙන් බවයි. ඒ අනුව දීප්ති කර ඇත්තේ සදාචාරයට පක්ෂ වීමක් හෝ  ගතානුගතිකත්වයට පත්  වීමක්  නොවුවත් ස්ටාලින්ලිවාදී පවුල් ආකෘතියක් වර්තමාන "ප්‍රගතිශීලි ධනවාදී " සමාජයට ආදේශ කිරීමකි. 

මා දන්නා පරිදි සුමිත්  චාමින්ද ලිංගික අපහාසයක් කර නැත. ලෙනින්ට අනුව දීප්තිට පක්ෂය හෝ (එක්ස් කණ්ඩායම ) බේරාගෙන නිහඬව සිටින්නට හැකියාව තිබුණි.  චාමින්ද ලිංගික අපයෝජනයක් (abuse)  කර තිබුණා නම් වර්තමාන නීතිය  යටතේ හෝ ඔහුට ගැලවීමක් නැත. නමුත් එම චෝදනාව මුලිකව පැමිණිය යුත්තේ වින්දිතයාගේ පාර්ශ්වයෙනි. එවැන්නක්ද  දක්නට නැත. 

බ්‍රිතාන්‍ය වාමාංශික පක්ෂවල සමහර  නායකයන් පසුගිය කාලයේ ඇද වැටුනේ  මේ වැනි චෝදනා පැමිණීම හා ඒ අනුව ක්‍රියා නොකිරීම නිසාය. අද ඒ පක්ෂ වල සාමාජික සංඛ්‍යාව  අතිශයින් සීමිත වී ඇත.  එනිසා ඒ දිනවල දීප්ති කණ්ඩායම බේරා ගැනීම සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්තා නම් එය නිවැරදි විය හැක. මා දීප්තිට  ලෙනින් අනුගමනය කරන්නට කියන්නේ නැත. ලෙනින් ක්‍රියා කළ ආකාරය වර්තමාන තත්වයන්ට කොහෙත්ම ගැලපෙන්නේද  නැත.   නමුත් මගේ අදහස නම් දැන් දීප්ති කුමාර ගුණරත්න  මේ ගවුම බිම තබා පක්ෂය කරට ගතයුතු බවය. 


Monday, 6 September 2021

මංගල සහ සුනිල්



යහළුවෝ දෙතුන් දෙනෙක්ම ඇහුව මොකද මචන් මංගල ගැන මුකුත් නොලියන්නේ කියල.  මං ඒත් ඇහුව මංගල ගැන එයාව  දන්න ගොඩක් අය ලියල  තියෙද්දී මම මොනව ලියන්නද කියල.

මංගල ගැන ලියපු අය දෙවර්ගයක් ඉන්නව. හොඳ  කියපු ගොඩක් අය  අතරේ වැඩිපුර ඉන්නේ මංගල ගෙන් මොකක් හරි සේවයක්, උදව්වක්  ගත්ත අය කියල මට හිතුනේ. එක්කෝ වෙබ් අඩවි වලට දැන්වීම් ලබාගෙන, පත්තර, සඟරා කරන්න උදව් ලබාගෙන, ජන මාධ්‍ය අමාත්යංශය, විදේශ සේවය වගේ මංගල හිටි අමාත්‍යංශ වල රැකියා ගත්ත අය හා වෙනත් උදව් ගත්ත ඔය. මන්ගල හොඳ  මනුස්සයෙක් ඒ පැත්තෙන්. 

මහින්ද  රාජපක්ෂ මහත්මයා ජනාධිපති කමට ඉල්ලන කොට එයාගේ ප්‍රචාරක ලේකම්. ඉතින් මහින්ද මහත්මයා අනිවාර්යයෙන් හොඳ කියල ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ. චන්ද්‍රිකා ගේන්නත් ඉස්සරහින්ම හිටිය මංගල. අනික චන්ද්‍රිකා මංගල කියන්නේ හොඳ යාලුවෝ.

ඇයි විමල්? විමල් ජවිපෙත් එක්කම පරිවාස ආණ්ඩුවට ගේන්න මංගල ලොකු වැඩක් කළා.  ඒ වගේම විමල් සහ තවත් මාතර දේශපාලනඥයෙකු ගේ ඉල්ලීම් වලටත් කන්දීලා මන්ගල මාතර පැත්තේ අයට රැකියා දුන්නලු. ඉතින් ඒ අය හොඳ කියන්න  ඕනෙම   නේ.

මාතර බස් ස්ටෑන්ඩ් එක හොඳටම  හැදුවේ මංගල ගේ ප්ලෑන් වලටලු. සල්ලි වෙන් කලේ එයාලු. විවෘත කලේ වෙන කවුරුවත් ලු. එහෙම දේවල් වෙනවා නේ ලංකාවේ.   

අනිත් පැත්තට - මංගල සුදු නෙලුම හරහා ජාතිවාදයට එරෙහිව වැඩ කළාලු. ඒ එක්කම ඊට  කලින් විමල් එක්ක හිටියේ වෙන පැත්තක. රනිල් වික්‍රමසිංහ, අර කරුණ ගෙනල්ල කොටි සංවිධානය දෙකඩ කරන්න උදව් වෙච්ච රනිල්, කොටිය කළෙත් මංගලම තමා.

 මංගල ජාතිවාදී පිලේ ඉඳන් ඒ දේශපාලනයේම අනිත් පැත්තට ආව කෙනෙක්. සමහර හාමුදුරුවරුන්ට විරුද්ධව ප්‍රකාශ දුන්නත් මංගල බෞද්ධාගමට විරුද්ධ කෙනෙක් කියල මම හිතන්නේ නැහැ. ලංකාවේ සමහර සිවුර පොරවා ගත් අය කරන කියන වැඩ දැක්කහම කතා නොකර බැරි අවස්ථා එනවා. ඒ කෙලින්කමට මම කැමතියි. 

මංගල  චිනේ ගැන කීව  අවංක කතා වලට සමහර වාමාංශික යන්ට රිදෙන්න ඇති. මංගල කීවේ කොමියුනිස්ට් පක්ෂය තිබ්බට චීනේ දියුණු උනේ විවෘත ආර්ථිකය නිසා කියල. විදේශ ආයෝජන ගලාගෙන ආව. චීන කම්කරුවෝ ඉතා අඩු පඩියට ශ්‍රමය වික්කා . හැබැයි චීනේ දියුණුයි දැන්. කොමියුනිස්ට් කියන්නේ මංගල කීව වගේ  බෝඩ් එකක් විතරයි දැනට.   ඇත්තනේ ඉතින්.   වෙනිසියුවෙලාව වගේ රටවල් ගැනත් මංගල විවේචනය කරා ලිබරල්වාදියෙකු වශයෙන්. ගොඩක් අයට මංගල දිරෙව්වෙ නැති තැනක්. 

රමිඳු ලක්ඛිත පෙරේරා  ඒ පැත්තෙනුත් , මංගල ගේ දේශපාලන  ජීවිතය ගැන නන්දන වීරරත්නත්  හොඳ  ලිපි දෙකක් ලියල තියෙනවා . ඒ ගොල්ලන්ගේ ෆේස්බුක් බිත්ති වල ගිහින් බලන්න. රමිඳු ට කියන්න තියෙන්නේ රමින්දු ගේ පටන්  , මංගල ඇතුළු බොහෝ අය වරෙක ප්‍රතිගාමී දේශපාලනයේත් වරෙක ප්‍රගතිශීලි දේශපාලනයේත් යෙදුන කට්ටිය කියල. කෙලින් ඉරක් ඇඳලා වෙන් කරන්න අමාරුයි.  දේශපාලනයේ දී දැනට රාජපක්ෂ කඩේ ෆුල් ටයිම් වැඩ කරන මාතලන් නුත් පක්ෂ භේදයක් නැතිව හොඳ ලිපියක් දාල තිබ්බ.
 

ශ්‍රී ලංකා එකේ ඉඳල යූඇන්පිය ට පැනලා රජුන් තනන්න උදව් වෙලා අන්තිමට  "අනේ මමත් මේකට වග කියන්න ඕනේ නේ " කියල කල කිරිල අයින් වුනා කියල මට හිතෙන්නේ.

මංගල ඒ මොනවා වුනත් ජිවිතේ හරියට විඳි එකෙක්. 

දේශපාලනයේදී  ලංකාවට ගැලපෙන හොඳ ගේම් කාරයෙක්.

ජිප්සීස් සුනිල් පෙරේරාත් ටිකක් මංගල වගේම තමා.  

ඕලෙවල් කරන කාලේ මම ප්‍රබුද්ධ ගොඩේ හිටියට, ඒ ලෙවල් කරන කොට ජෝතිපාල, ජිප්සීස් අහන තැනට පත් වෙලා හිටියේ. මම ඩ්‍රින්ක් දාන වෙලාවට සුරුට්ටුවක් බිල බජව් දාන එකෙක්. ගුණදාස කපුගේ වගේම වික්ටර්නුත්, නන්ද මාලිනි ගේ සින්දුත් නිහාල් නෙල්සන්නුත් ජිප්සීස් නුත් මට අහන්න පුළුවන් භේදයක් නැතිව. කොහොමත් මම වෙන රටවල සින්දුත් අහන කෙනෙක්. ඉංග්‍රීසි, රුසියන්, ස්පැනිෂ්  ඔය ඔක්කොම. මොකටද අපි සීමාවල් තියා ගන්නේ.

අපේ ළමයි උදිත සංජය ගේ  "ආදරේ හිතනවා දැක්කම" රිමික්ස් එකට නටනවා. ඒක මාර සින්දුවක්. මම හිතනවා ඒ අයට පාර හැදුවේ සුනිල් කියල.   මගේ සිංහල නොදන්නා බිරිඳ කියන්නේ "හෙට උදේට කන්නට මට ඉඳියප්පන්  නෝනේ "කියල.  කොච්චර  කීවත් සින්දුවේ කියන්නේ "ඕනේ" කියල එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාගේ කැමතිම ගීයක්. මොකද එයා  ඉඳියාප්ප කන්න කැමතියි. හදන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම ඉඳියාප්ප එකට දාල ඉඳියාප්ප කෝච්චියක් හදන වෙලාවලුත් තියනව. කපල තමයි කන්න ඕනේ එතකොට. කොටින්ම  සුනිල් ගේ සින්දුවෙන් තමයි ඉඳියාප්ප කන්න හදන්න ඕනේ  වුනේ. ඒ වගේ සරල සින්දුවක් කියල දෙන්නත් ලේසියි. හැබැයි කවුද විචාරකයෙක් ලංකාවේ පුරුෂාධිපත්‍ය ට අභියෝග කරපු සින්දුවක් කියල ලියල තිබ්බ. බලාගෙන යනකොට අපි නොදන්නවා  වුනාට සුනිල් ප්‍රබුද්ධ ගී කියල තියනවා.
 
ගෙදර ඔක්කොම අහන අනිත් සුනිල් ගේ සින්දුව තමයි කොත්තමල්ලි.  ඇත්තමයි කියන්නේ අපි පොඩි කාලේ ළමයින්ට කොත්තමල්ලි හදල බොන්න දුන්නට සින්දුවෙන් පස්සේ මේ ගොල්ල ඒක තේ එකක් වගේ බොන්න ගත්ත. දැනුත් හිටපු ගමන් කොත්තමල්ල හදල තේ වෙනුවට බොනවා. උණට නෙමේ. තේ වෙනුවට.  

ඒ ඇරෙන්න අවංකවම කියනව නම් අපි  ජිප්සීස් වැඩිය අහන්නේ නැහැ පාටි  වලදී . සිංහල බයිලා පැත්තෙන් හෙම සුනිල් පෙරේරා පරයන නටන්න හැකි  හොඳ සින්දු සෑහෙන්න තියනව.

සුනිල් පෙරේරා කියන්නේ වෙනසක් කරපු මනුස්සයෙක්. 

බජාර් එකේ බොක්ක හොඳ පොරක්. ලංකාවේ  සංගීත සීන් එකේ හොඳ ගේම් කාරයෙක්. 

මේ දෙන්නම ටිකක් එක වගේද මන්ද? දෙන්නම එකට කතා වෙලා ගියා වත්ද? කොරෝනා ඔයා මාරයි. 

මම මේ දෙන්නටම කැමති තව හේතුවක් තියනව. අර සෙට් එකක් කියනවා නේද බුද්ධාගමට ට කරපු අපහාසෙට මේ දෙන්නට දඬුවම් ලැබිල කියල.  ඒ කියන්නේ උන්ගේ අර හිංගල මොකද්ද  බුද්ධාගමට. අපි අදහන එකට නෙමේ. මේ දෙන්නම ඉන්න කාලේ හොඳින් ජොලියේ හිටියා. චුත වෙලා යන්න ගියා. කර්මය පල දෙනවනම් හොඳ වැඩක් කරලා තියෙන්නේ. ගිය තැනක ඔය දෙන්නම  සොමියේ ඉඳියි බජව්වක් දාගෙන.

දුක් වෙන්න දෙයක් නැහැ. ඔය දෙන්නම හොඳ පණිවුඩ ටිකක් මෑත කාලයේ දීලා යන්න ගියා. 

(ප.ලි. හැබැයි කොවිඩ් හැදිලා සුව වෙලා ඊට පස්සේ හෘදයාබාධ හැදිලා ජීවිතය අවසන් කල නිසා මේ  දෙන්න පොඩි පණිවිඩයකුත් දීලා ගිහින් .   කෝවිඩ්  හැදුනොත් සුව වුනොත් මාස පහ හයක් යනකන් අනතුරුදායකයි. Covid after care හෙවත් ඊට පස්සේ හොඳින් බලා ගණන් ඕනේ.  ඉතාමත් පරිස්සමින් ඉන්න ඕනේ කාලයක්. කෝවිඩ් 19 හැදිලා  සනීප වෙලත් එංගලන්තේ වෛද්‍යවරු අගමැති බොරිස් ජොන්සන් ව තව දවස් පහ හයක් රෝහලේ  තියා  ගත්ත විතරක් නෙමේ. ඊට පස්සෙත් සෑහෙන විමසිල්ලෙන් හිටිය. අනිත් කෝවිඩ් හැදී සුව වුනු  රෝගීන්ටත් එහෙමයි. )

(නැ.ප.ලි. - කෙනෙක් ලියල තිබ්බ සුනිල් පෙරේරා ගුණදාස කපුගේ ගේ මරණය වෙලාවේ සංගීත ෂෝ එකක් කළා කියල. ගෞරවයක් නැතිව. එයාට ඒක කැන්සල් කරන බැරිය කියල. ප්‍රශ්නයක් නැහැනේ. සුනිල් පෙරේරා පස්සේ ජවිපෙ වේදිකාවට නැග්ග. ඒ කියන්නේ ගුණදාස  කපුගේ මැරුනේ නැහැ කියන එක නෙමේද . )

Friday, 3 September 2021

මගේ පළමු ඔරලෝසුව - 2


මේ කතාව ලියන්නේ "නිදහස් සිතුවිලි" බ්ලොගයේ රවි ලීව එකක් මතක් වෙලා.  ඒ ලිපියේ නම මගේ පළමු ඔරලෝසුව. ඉතින් මගේ ලිපියේ මාතෘකාව හැටියට  පළමු ඔර්ලොසුව  -2 කියල දැම්මේ ඒකයි.

මම ඕලෙවල් කරන කාලේ අපට බොහොම අමාරු කාලයක්. කොළඹ ජිවන වියදම වැඩියි. රාජකීය, විශාඛා , සෙන්ට් ඇන්තනිස්, සහ සෙන්ට් මයිකල් ගිය වැඩෙන ළමයි හතර දෙනෙක් ඉන්න පවුලක්. නිදහස් අධ්‍යාපනය කියල කොපමණ කීවත් ඔය පාසල් වලින් එන අමතර වියදම් තියෙනවා. ඉතින් අපට ලැබෙන දෙයින් සතුටු වෙලා ඉගෙන ගන්නවා මිසක් දැන් ළමයින්ට තියෙන පාරිභෝගික  වස්තූන් ගන්න "සිහින" අපට තිබුනේ නැහැ.



මම අපොස සාමාන්‍ය පෙළ ව්භාගය සමත් වුනේ විශිෂ්ඨ සම්මාන හයයි සම්මාන දෙකක් එක්ක.  ඉතින් අම්ම මට අරන් දුන්න ඔරලෝසුවක්. ඒක තමයි මගේ පළමු ඔරලෝසුව. ඒක මොන්ඩියා එකක්. ඉතින් ඒ දවස් වල රියල්
මොන්ඩියා ගන්න අපට සල්ලි නැති නිසා මම හිතන්නේ ඕක කොපියක්. හැබැයි හැබෑ මොන්ඩියා එකේ වගේ ක්වාර්ට්ස් වගේ ගල් ජාතියක්  අල්ලල තිබෙනවා ලස්සනට ඩයලය වටේට.  මමත්  ඕක බොහොම උජාරුවෙන් දාගෙන එහෙ මෙහෙ ගියේ.

 අපේ ඒ ලෙවල් පන්ති වල බංකු මේස තියෙන්නේ පේලියට උඩට යන්න. ඔය  උඩ පේලියක ඉන්න පන්තියේ බ්‍රයිටෙක් ගෙන් යමක් අහගන්න මම උඩ පේලියට ගියා. එයා ගාව ඉඳගන්න එක ඩයල් එකක්  මම දන්න විධිහට අමාත්‍යංශ ලේකම් කෙනෙක් ගේ පුතෙක්. ප්‍රශ්නේ අහලා යනකොට මෑන්ස්  මගේ ඔරලෝසුව දැකලා  ඒක ඉල්ලාගත්ත බලන්න.  පොර කියනවා දැන්.

"ශා මේක මර ඔරලෝසුවක් නේ. මොන්ඩියා නේද? ක්වාර්ට්ස් ද ඩයමන්ඩ් ද  ඔබ්බලා  තියෙන්නේ? "

දැන් මට අවුල්. මට හොඳටම ෂුවර් මූ මට හිනා වෙනවා කියල.  

මම කිව්වා "නෑ නිකන් වීදුරු ගල් වෙන්න ඕනේ ." කියල.

දැන් මෙයා ඔරලෝසුව අල්ලනවා ඉර එළියට.
"පිස්සුද මේ ඉර එළියට දිළිසෙන්නේ. මාර ගානක් ඇති නේද මේක. කොහෙන්ද  ගත්තේ"  දැන් මට මාර ජුවල්. මට දාන සවුත්තුවට.

"මම දන්නේ නැහැ . අපේ අම්ම ගෙනත් දුන්නේ "

මට යන්තමට වගේ මතකයි  මෑන්ස් ඇහුවා කියල. "අම්ම ස්විට්සර්ලන්තේ ගියාද කියලත්." 

මම මුකුත් නොකියා ඔරලෝසුවත් අරගෙන පල්ලන් බැස්ස මගේ පේළියට.
ඊට පසේ මම ඔය ඔරලෝසුව පන්තියේ වැඩිය පෙන්නන්න ගියේ නැහැ. එක්කෝ සාක්කුවේ. නැත්නම් අතින් වහ ගන්නවා. 

හැබැයි මට දැන් ෂුවර් නැත්තේ මේ මනුස්සයා මට ඔලොක්කුවට කීවද ඇත්තටම විශ්වාස කලාද කියල මේක රියල් මොන්ඩියා එකක් කියල.

සෝවියට් දේශයේදී නම් මම මේ ඔරලෝසුව පැළඳගෙන හිටිය. රුස්සන්ට ඒ කාලේ වෙනසක් තේරෙන්නේ විධිහක් නැහැනේ.
පස්සේ ඉතින් ලන්ඩන් ගිය ගිය වෙලාවට කැසියෝ ආදී ඒ කාලෙට ජනප්‍රිය වෙන  ඔරලෝසු එක එක ජාතියේ ඒවා ගත්ත. සමහර ඒවා රුස්සෝ ඉල්ලන කොට වික්ක. ඒවල එච්චර වටිනාකමක් මට තිබ්බේ නැහැ අර අම්ම දීපු ඔරලෝසුවට  වඩා ගණන් වැඩි වුනත්.


ඊට පස්සේ කාලෙක මම යාළු  වෙලා හිටිය රුසියානු පෙම්වතිය අරන් දුන්න ඔය පල්යොට් කියන ඔරලෝසුව. ඒ කාලේ හැටියට ලොකු ගාණක්. එයා වැඩ කරලා හොයපු සල්ලි වලින්.     ඒකත් දැන් රුස්සෝම ඉල්ලනවා ලොකු ගණන් වළට. පවුම් 200ට එහා . සෝවියට් දේශයේ ගහපු හොඳම ඔරලෝසු වලින් එකක් කියල. වෙනම ඇන්ටික් වටිනාකමක් තියෙනවලු. දැන් ඔය වෙන පටියක් දාල තියෙන්නේ. ඔරිජිනල් එක කැඩුන මගේ අතින්.
 
 ඔරලෝසු දෙකම දැන් හැඟීම්බර වෙන වස්තූන් දෙකක්. සෙන්ටිමෙන්ටල් අයිටම්ස්.

පලවෙනි ඔරලෝසුව ගිය සැරේ ලංකාවට ආපු වෙලේ මල්ලිගේ ලාච්චුවේ තිබිල ඉස්සුවා. 

"අඩෝ මේක මගේ ඩෝ" කියල. ඒ මනුස්සය ඒක මෙපමණ  කල් තියන් හිටිය එකටවත් ස්තුති කළේවත්  නැහැ.

දෙවෙනි එක දුන් කෙනා ජිවතුන් අතර නැහැ කියල තමා දන්නේ.
 

 

Thursday, 2 September 2021

සමන් අමරසිංහ සර්


අද වේදනාත්මක පුවතක් ආරංචි වුනා පිටරට වෙසෙන ආදී රාජකීයයන් සඳහා වූ වට්ස්අප්‍ කණ්ඩායමක් හරහා. ඒ සමන් අමරසිංහ ගුරුතුමා කොවිඩ් 19 වැළඳී අසාධ්‍ය වීමෙන් පසු මෙලොව හැර ගිය වග. ඔහු අසනීප වී සිටි බව දැන  සිටියත් එතුමාට  මෙතරම් අසාධ්‍ය වේ යයි මා සිතුවේ නැහැ. ජීවිතය කියන්නේ තණ අග පිණි බින්දුවක් කියන්නේ ඇත්තක්.

මේ ලිපිය ලියන්න මම උදේම ඇහැරුණා. දැන් වෙලාව උදේ හයයි. කවදාවත් ඔය වෙලාවට නැගිටින කෙනෙක් නෙමේ මම. 

සමන් අමරසිංහ රාජකීය විද්‍යාලයේ ඉගැන්වූ ගුරු මහතෙක්. ඔහු ප්‍රාථමික විදුහලින් පැමිණියකු  නිසා රාජකීය විදුහලේදී ඔහු මට වැඩිපුර සම්මුඛ වූයේ නැහැ දෙතුන් වරකට  වඩා. නමුත් ඔහු මට වෙනත් තැනකදී හමුවෙලා මම ඔහුගෙන් ඉගෙන ගෙන තියනවා. ඒ ඡායාරූපකරණය පිළිබඳව.  
සමන් අමරසිංහ රාජකීය විදුහලේම ඉගෙන එහි ශිෂ්‍ය නායකයෙකුද වී පසුව ගුරුවරයකුද වුනා. අප සිටිය කාලයේ අන්තර්වි දුහල් ක්‍රිකට් ශුරතාවයන් සඳහා වූ සංවිධානයක  නිලතල දැරූ ඔහු පසුව ශ්‍රී ලංකා  ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයක සභාපති පදවියක් ද දරුවා.

ඒ කාලයේ නැවතී තිබු රාජකීය ආනන්ද අන්තර් පාසැල් ක්‍රිකට්  තරඟයද නැවත පටන් ගන්නට ඔහු හා රන්ජන් මඩුගල්ල මුල්වූ බවක් මා අසා තිබෙනවා. 

එසේම සභාපති, ජනාධිපති ක්‍රීඩා සම්මාන , හිටපු ප්‍රධාන ලේකම් ,ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසැල් පැසිපන්දු සම්මේලනය යන තනතුරුත් දරා තිබෙනවා. ඔහුගේ වර්ණවත් ජීවිතය එවැනි සංගම් රාශියක නිලතල දරා රටවල් ගණනාවක සංචාරය කළ අයෙක්.

රාජකීය විද්‍යාලයේම උගැන්වූ ගුරුතුමියක් හා විවාහ වී සිටි ඔහුට දියණියක් හා පුතෙකු සිටිනවා. දරු දෙදෙනාගේ ජයග්‍රහණ ගැන ප්‍රීතියට පත්ව ඔහු ෆේස්බුක් සමාජ ජාලය හරහා අප සමග කිහිප වරක්ම ඒවා බෙදා හදාගෙන තිබුනා.

පාසල් වලින් සංවිධානය කෙරෙන එඩින්බරෝ ආදිපාදවරයාගේ පාගමන් සම්මාන සඳහා වූ අවස්ථාවකට ලන්ඩනයට පැමිණි ඔහු නැසීගිය එම ආදිපාදවරයාද හමුවී තිබුනා. මේ සියලු තනතුරු මැදත් ඔහු නිහතමානී අයෙක්. මා රාජකීය විද්‍යාලයේ උගත් බව දැනගෙන ෆේස්බුක් සමාජ ජාලයෙන් හමුවූ මොහොතක ඔහුගේ ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගී වූ බව මම ඔහුට පැවසුවා. ඔහු ඉන් ඉතා ප්‍රීතියට පත්වූ බව මතකයි.

මට මතක විධිහට අසූව දශකයේ මුල මම උසස් පෙළ කරන කාලයේ ජාතික තරුණ සේවා සභාව (national youth council) මගින් පැවැත්වූ ජායාරූපකරණය පිලිබඳ පාඨමාලාවකට සහභාගී වුනා. ඒ මම අයත්ව සිටි බාලදක්ෂ කණ්ඩායම හරහා. එය බම්බලපිටියේ පිහිටි එම මූලස්ථානයක පැවතුන එකක්. ප්‍රධාන දේශකයා වූයේ සමන් සර්. ඔහු හැමවිටම සිනාමුසු මුහුණින් ඉගැන්වූ අයෙක්. පාඨමාලාවට මා රැගෙන ගියේ පරණ පෙට්ටි කැමරාවක් (box camera). එය මගේ මහප්පා දුන් එකක්. අසූව දශකයේ මුල හොඳ කැමරාවල මිල ඉතා අධිකයි. රට විවෘත ආර්ථිකයට යොමු කළ අලුත. ඒත් පාඨමාලාවට පැමිණි සමහරු හොඳ SLR කැමරා රැගෙන පැමිණි බව මතකයි. ඉතින් මට පරණ බොක්ස් කැමරාව පෙන්වීමට ලැජ්ජාවෙන් එය බෑගය තුල සඟවාගෙන සිටියේ. සමන් සර් ට මෙය තේරුනා විය හැකියි. ඔහු වරක් මා අමතා කීවේ ඔහුද එවැනි පෙට්ටි කැමරාවකින් මුල් කාලයේ ඡායාරූප ගත් බවයි. ඉන් මගේ ලැජ්ජාව මග හැරුනා.

ඔහු අපව මීගමුවේ වෙරළට ඡායාරුප ගැනීම සඳහා වරක් රැගෙන ගියා. එසේම ශ්‍රී ලංකා පොලිසියේ ඡායාරුප ශිල්පියෙකුද ප්‍රසිද්ධ කවියෙකුද වූ විල්සන් හෑගොඩ මහතාණන් ගේ නිවසටද රැගෙන ගොස් එතුමා (විල්සන් හෑගොඩ) ගත් සම්මාන දිනූ ඡායාරූප රාශියක් පෙන්වමින් ඒවා ගැන ඉගැන්වූ බවත් මතකයි.

එම පාඨමාලාවේ මුස්ලිම් සම්භවයක් ඇති ගැසෙලා නමින් යුවතියක් සිටියා. ඇය මගේ උස පමණ වූ සුන්දර කෙල්ලක්. මා ඇය දෙස නිතර නෙත් යොමනවා සමන් සර් දකින්න ඇති. ගුරුවරුන්ට ඒවා දේශනා වලදී පෙනෙනවා ඇති නේ. සමන් සර් වරෙක හිමින් සීරුවේ සිනාමුසුව උරහිසට අත තබා කීවේ ඒ ළමයාට යහළුවෙකු සිටින බවයි. ඒ ගැහැණු ළමයා පසුව මගේ සමරු පොතේ (ඒ දවස් වල ඒවත් තිබුනා) සටහනක් දැම්මා. සමන් සර් ගේත් අත්සනක් එහි තිබුනා. හැබැයි ඒ පොත් නම් දැන් නැහැ.
ඔහු ගුරුවරයකු නොව වැඩිමහල් යහළුවෙකු ලෙස පාඨමාලාව තුල හැසිරුනේ. තරුණ තරුණියන් එක්ව කරන කතා බස් වලට ඔහු තහංචි දමන්න ගියෙත් නැහැ. ඔහුත් තරුණ වියේ සිටි නිසා වෙන්න පුළුවන්. එසේම රාජකීය විදුහලේ දී උනත් ඔහු කිසියම් සිසුවෙකුට තර්ජනය කරනවා හෝ පහර දී තිබුනා කියා කවදාවත් අසා නැහැ. ඔහු එතරම්ම ප්‍රියමනාප ගුරුවරයෙක්.

පාඨමාලාව අවසානයේ සහතික දෙන්නට විභාගයක් පැවැත්වුනා. ලියන කොටසක් සහ ප්‍රයෝගික පරීක්ෂණයක් පැවැත්වුණා. මම ලියන විභාගයට ලකුණු සීයට අනූවකට වඩා ගෙන තිබුණත් ප්‍රයෝගික පරීක්ෂණයේදී අකරතැබ්බයක් සිදුවුනා. පරණ පෙට්ටි කැමරාව තුල ෆිල්ම් රෝල හිරවී අඳුරු කාමරය තුලදී එලියට ආවේ නැහැ. එනිසා කාමරයේ එය ඇතුලට දමා රෝල එලියට ගන්නට තිබෙන අඳුරු කළ පෙට්ටියෙන් ද ඉවතට රැගෙන විවෘත කල නිසා බොහෝ ඡායාරුප වැඩි එළියට නිරාවරණය (over exposed ) වී තිබුණා. ඉතින් පින්තූර හරියට ආවේ නැහැ.
මම ලෝකයම එපාවී පැත්තකට වී ඉඳගෙන හිටින විට සමන් සර් මගේ ළඟට පැමිණියා. "ගණන් ගන්න එපා. ප්‍රයෝගික පරීක්ෂණය හරියට කළ හුඟක් අය කලින් අත්දැකීම් තිබෙන අය. ඔයාගේ පළමුවෙනි වතාව නේ . ඔයා හරියට ෆිල්ම් රෝල සාන්ද්‍රණ වලට දැමු බව මම දන්නවා. එස්එල්ආර් කැමරාවක් ගත් දවසක ඔය ප්‍රශ්නය එන එකක් නැහැ." ඔහු මා විභාගයෙන් සමත් කර තිබුනා.
ඉන් පසු සෝවියට් දේශයට ඉගෙනීමට ගිය මම සෙනිත් කැමරාවක් මුලින්ම ගත්තේ. ඊට පස්සේ ජර්මන් ප්‍රැක්ටීකා එකක්. අවුරුදු විස්සක් පරණ ඒ 35mm කැමරාව නම් තවම නිවෙසේ තිබෙනවා. තවමත් පින්තූර ගනිද්දී සර් කියා දුන් සමහර දේවල් මතකයි. සමහර දර්ශන ගනිද්දී අපගන්නා වස්තුව (focusing object) හැම වෙලේම පින්තුරයේ මැද තබන්න එපා කියා ඔහු උපදෙසක් දුන්න වරක්. පින්තූර ගැනීම මගේ විනෝදාංශයක්. දැන් තිබෙන්නේ නිකොන් කැමරාවක්. ෆේස්බුක් එකේ මා දමන සමහර පින්තූර වලට සර්ගෙන් ප්‍රතිචාර ලැබි තිබුන මෑත කාලයේදීත්.

සමන් අමරසිංහ සර්, ඔබට පැතූ නිවනක් අත්වේවා.

ඔබට සුභ ගමන්.

Tuesday, 24 August 2021

කළු රන්ජිත් සුදු බවට පත්වූ අරුමැසිය


මෙයට කලින් දිනයෙක උපහාසාත්මක රචනයක් ලියා තිබුනා මතකද? "අරක්කු බෝතලයෙන් ශේප් වුනු කළු රන්ජි ගේ සුදු පොත" නම්වූ  ඒ ලිපිය අවශ්‍ය නම් ඉහත යොමුවෙන් කියැවිය  හැකියි.  සෑහෙන පාඨකයන් ප්‍රමාණයක්  ලිපිය කියවා  තිබුණු බව නම් දුටුවෙමි.   උපහාස රචනයක් යනු කුමක්දැයි නොතේරෙන අයද සිටින බව මම එම ලිපිය නිසාම දැන  ගත්තෙමි. ඇත්තම මට ඒ පොතේ මාතෘකාව ගැන ප්‍රශ්නයක් නැත.  රචකයා හෝ ප්‍රකාශකයා  නම දමා ඇත්තේ ශ්‍රී ලංකාව යන රටේ ඇති යථාර්තය පිලි ගෙනය. එය ඇත්තක්  නොවේද? දැන් අසිරිමත් ලංකාවේඉන්නා  බයියන්, ටොයියන් ,  ජෙප්පන්, පෙරෙට්ටන්  , දාර්ශනිකයන්  ආදී මෙකි නොකී අය   පිටරට ඉන්නා උන් එහෙ නිදි වදින්නේ නැතිව අප හදන්නට එන්නේ යයි වැළපෙනු නිසැකය. ලංකාවේ වැඩි හරියක් සිතන්නේ එසේ නම් පොතකට එවැනි නමක් දැමීමේ වරදක් ඇත්ද? සුදු යන්නෙන් ලංකාවේ  බොහෝ විට අදහස් කරන්නේ හොඳ යන අරුතිනි? ලංකාවේ ඉන්නේ සුදු පුතා , සුදු දුව, සුදු පැටියා, සුදු මහත්තයා , සුදු අම්මි ආදීන්ය. තමන්ගේ එවුන්ට එසේ කියන ගමන් අර සුද්ද , අර සුද්දී යනුවෙන් පහත ආකාරයෙන් බැන වදින්නෝ ද සිටිති. තමන්ගේ ළමයාට සුදු මහත්තයා යයි  කියන ගමන් සුදු අධිරාජ්‍යවාදීන්ට බනින උන්ද සිටිති. එනිසා මේ පොතේ නම ඉතාමත් ගැලපේ.  

ලන්ඩනයේ  සිටින සහෘදයකු වන සරද සමරසිංහ ලියු නවතම කෙටිකථා  පොත වන "සුදු පාටේ සුරතාන්තය" පොතේ "කළු සුදු කර ගැනීමේ " ප්‍රවණතාවය   ගැන අපූරු  කෙටි කතාවක්  කියෙව්වෙමි. 

 කළු යනු ගතිගුණින් නරක හා සුදු යනු ගතිගුණින් හොඳ අය නිසා හමින් කළු වුනත් රන්ජි හදින් සුදු මිනිහෙකි. ඒ නිසා පොත ලියා  ඇත්තේ  මේ අපූරු ජනතාවට  ගැලපෙන භාෂාවෙනි. 

ඉතින් මම ලියු පොතට සුදු රුසියන් කෙල්ලෙකුගේ මුහුණක් දැම්මාට කම් නැත. තරුණ  කෙල්ලන්ගේ මුහුණු පොත් වල දමා ලියන පෙම්කතා බොහෝවිට විකිණෙන බව මම දැනගත්තේ 2019 දී ලංකාවේ දීය. මමත් ඒ කාලයේ මගේ සොයුරියන් කියවන නිසා හෝ කුමාරි පත්තරේ කියැවූ කෙනෙකි. ඒ "කුමරි" පන්නයේ පෙම්කතා කොපමණ දුක් කම්කටොලු තිබුනද අවසානයේ දී "සැබෑ පෙම " ජය ගන්නා ඒවාය.  ඒවායේ වැඩි  හරියක සුදු උස කොණ්ඩය දිගැති උගත්,  සමහර විට ඉංග්‍රීසි කතා කළ හැකි, කෙල්ල, සමහර විට විශ්ව විද්‍යාලයට යන ඩෙනිම් අඳින නංගි  , පෙමින් වෙලෙන්නේ තරුණ පොලිස් පරීක්ෂකවරයෙකු, වෛද්‍යවරයෙකු, රණවිරු හමුදාවේ කැප්ටන් කෙනෙකු, ගුවන් හමුදා ගෘප් කැප්ටන් කෙනෙකු,   අමෙරිකාවෙන් හදිසියේ පැමිණෙන පොහොසත් එහෙත්  හරිම නිහතමානි විද්‍යාඥයෙකු හෝ  ඉඳහිට ඉංජිනේරුවෙකු ආදී වශයෙනි.  එවැනි පොත් මිලදී ගන්නා පාඨක ප්‍රජාවක් සිටිති.

මම ප්‍රකාශක මහතා සමග කතා කල පසු පොතේ පළමු පිටුව ඇඳ දුන්  දියණියද අමනාප කරගෙන ගත් තීරණය වූයේ "සම්භාව්‍ය පොත්" කියවන්නාට  නොව , ඔවුන්ට කොහොමත් සම්භාව්‍ය ග්‍රන්ථ  ලියන කතුවරුන් සිටින නිසා , මේ අලුතින්  හඳුනාගත් ජන කොටස  මගේ පොත කියවිය යුතු බවටය. මා සිතූ පරිදිම පොත මිලදී ගත් සමහරුන් "පෙම්වතුන්" ගේ පෙම අවසානයේ ජය නොගත් බවට ප්‍රකාශක  තුමාට මැසිවිලි නගා තිබුණි.   

"මම ඔයාට කීවේ මේ වගේ පිටකවර  තියෙන පොත් කියවන කට්ටියට අවසානය හොඳ වෙන්න ඕනේ කියලා" ඔහු මට කීවේ ලංකාවේ දීමය. නමුත් පොතේ පිටපත් හත්සීයක් පමණ විකිණී ඇති බව දැනගතිමි. ඒ කියන්නේ අඩුම ගණනේ ඉංජිනේරුවෙකු හා රුසියානු දත් දොස්තරවරියක ගේ නොදිනූ  පෙම ගැන ඔවුන් කියවා ඇත. 

ජයසිරි අලවත්ත ගේ "කළු රන්ජිත් සුදු මිනිහෙකි" පොත ගැන මම බලන්නේ ඒ දෘෂ්ටි කෝණයෙනි. කළු රන්ජිත් "පළමු වරට " හමුවුනා යයි මා සිතුවේ මගේ පළමු පොත "පොල්කට්ටෙන් එපිටට " ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ත්‍රිකොන් හිදී එලි දැක්වූ දවසේය. එහිදී "හිතුවක්කාරී" නමැති පොත රැගෙන එලියට එන අයට බෙදමින් සිටියේ ඔහු බව පසුව දැන ගතිමි.  මා පොතට මුදල් දෙන්නට හැදුවද ඔහු එය භාර ගත්තේ නැත. ඔහු මටද එදා උදව්වක් හෝ දෙකක් කළේය. 1975 ලුණුගලින් ආ පසු එහි නැවත  නොගියද  " හිතුවක්කාරී" පොතේ තිබූ ලිපිනයකින් ගුණරත්න නමැති කතුවරයා නැවත හඳුනා ගන්නට ලැබීමයි. එක පරිච්චේදයක ලුණුගලද සම්බන්ධ  ඔය ඉහත ලියන ලද "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කතාව ලියන්නට සිතට අදහසක් ආවේද ලුණුගල මතක් වීමෙනි.  එනිසා රන්ජි මට නොදැනුවත්වම උදව් දෙකක් කර ඇත. මංජුල වෙඩිවර්ධන කියන්නාක් මෙන් "නොදැනුවත්ව" උදව් කළ හැක්කේ ශාන්තුවරයෙකුට පමණක් විය හැකිය.   

ඉන්පසු මට "කළු රන්ජි" හමු වුනේ පොත් ප්‍රදර්ශනයක දී විය යුතුය. එහිදී මගේ පොත්  කිහිපයක් ඔහුට දුන් බවට මතකයක් තිබේ.  
ජයසිරි අලවත්තගේ පොත  කියවද්දී මට මතකයට ආවේ මා ඊට කලින්ද කළු රන්ජි හමුවී ඇති බවය. එවකට සෝවියට් දේශයේ ශිෂ්‍යයෙකු වූ මා කොල්ලුපිටියේ හෝ කොටුවේ  පිහිටි  ඔහුගේ "ඩියුටි ෆ්‍රී එකෙන් භාණ්ඩ රැගෙන විකුණන " ව්‍යාපාරික ස්ථානයට මගේ ගමන් බලපත්‍රයේ අවසරය විකිණූ බව මතක් වීමෙනි.

මේ පොතේ මට ඉතාමත් වැදගත්ම කොටස් වන්නේ නන්දන මාරසිංග ගැන ලියා ඇති  කොටසයි. (පිටුව 183)  මීට කලින් නන්දන මාරසිංහ ගේ මරණය  මැයින් මා ලිපියක් ලියා තිබේ.   ඒ  චරිතය මා  බලවත් උනන්දුවක් දැක්වූ  එකක් වන්නේ ඉදිරියේදී ලියවෙන ලිපි කිහිපයක් සඳහාද එය වැදගත් නිසාය.  ඒ ගැන මතක් කර ලියූ තවත් ලිපියක මා  මෙසේ සඳහන් කර තිබුණි..

//මේ කාලයේ  සිදුවූ එවැනි තවත් ඝාතනයක් නම්  නන්දන මාරසිංහය. (යොමුව)මේ ඒ ගැන මා ලියු ලිපියකිනි.  "කාලයේ රාවය " ගීත සමුච්චය කළ නන්දන ජවිපෙ බැංකු කොල්ලයක් කළ අය  ගැන පොලිසියට දැනුම් දුන්නා යයි චෝදනාවක් කැන්ගරූ උසාවියක ඉදිරිපත්  කර මරා දැමුණි. (පොලිස් ඔත්තු කරුවෙකු ලෙස නම් කර ) එම ඝාතනයට දෙදිනකට පෙර ඔහු සමග සිටි, එසේම ඝාතන තර්ජනයකට ලක්ව සිටි සුනිලා  අබේසේකර මහත්මිය සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නන්දන ගෙන් ඉල්ලා සිට ඇත්තේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවෙන ලෙසයි. නමුත් විජේවීර බේරා ගැනීමට යාපනය සිර ගෙයට පවා ගිය නන්දන, විජේවීර එවැන්නකට නියෝග කරනු ඇතැයි නොසිතන්නට ඇත// (උපුටා ගැනීම අවසන්)

ඒ ගැන නැවතත් මා ලීයූ තවත්  ලිපියක් වන  "සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද නම් ලිපියේ  හි පෙසප හා ජවිපෙ සාමාජිකයන් නන්දන මාරසිංහ ඝාතනය පිලිබඳව තවමත්  දරන්නේ පරණ ජවිපෙ නිදොස් කීරීමේ ක්‍රියා පිලිවතක් බව පැවසුවෙමි.  රෝහණ විජේවීර තරම් ප්‍රබල ස්ටාලින්වාදියෙක් හැත්තෑව  අසූව දශකයේ සිටියේ නැත. මේ ඝාතන දෙස බැලිය යුත්තේ එම දෘෂ්ටි කෝණයෙනි. එබැවින් මේවා  සියල්ල දේශපාලන මරණ වේ.  ඒවා සාධාරණීකරණය කළ හැක්කේ ස්ටලින්වාදී න්‍යායයෙන් වාම දේශපාලනයේ නිරත වෙන අයට  පමණකි. නන්දන මාරසිංහ විමුක්ති ගී ප්‍රසංගය හා "කාලයේ රාවය" ප්‍රසංගයන් සඳහා කළ කැපවීම් ගැනද පොතේ සටහනක් තිබේ. එසේම ඔහු පක්ෂයෙන් ඉවත් කළ දිනයේ හඬා වැළපුන බව මෙන්ම ඔහු ගේ ඉවත් කිරීමට  නියම හේතුව සහෝදර නමින් පෙනී සිටි  ඊර්ෂ්‍යා කාරයන් බවට නගන චෝදනාවට මමද  එකඟ වෙමි.  

ස්ටලින්වාදී  ක්‍රම පිළිවෙත් අනුගමනය කළද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,  ට්‍රොට්ස්කි පිලේ ලංකා සමසමාජ පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කළා විනා මරා දමන්නට ගියේ නැත. ඒ එවකට සෝවියට් දේශයේ (නිකිතා කෘෂෙව් ගෙන් පසු) නායකත්වයේ ආශීර්වාදය හිමි වූයේද එවැනි සහයෝගිතා  ප්‍රතිපත්තියකට හා සභාග ආණ්ඩුවලට  බැවිනි. සෝවියට් දේශය ඒ වනවිට  ප්‍රචණ්ඩකාරී ස්ටලින්වාදයෙන් ඉවත්ව න්‍යායික කොටස පමණක් අනුගමනය කරන ලද රටකි. අසූ අට - අසූ නමය කාලයේ රන්ජිත් ව ඉවත් කිරීමට  ජවිපෙ නායකත්වය අණක් දුන්නාය  යන්න මම විශ්වාස කරන්නේද එබැවිනි. පක්ෂයේ පැරණි  සාමාජිකයන් සතුරන් ලෙස සැළකීම ස්ටලින්වාදය තුල කිඳා බැස ඇති ප්‍රතිපත්තියකි. මාඕ සේතුං මෙන්ම  පොල්පොට් ද එය එලෙසම ක්‍රියාත්මක කරන ලදී.   

ඒ අනුව කළු රන්ජිත්  හා ජයසිරි අලවත්ත, නන්දන මාරසිංහ මරණය ගැන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ට පසුව වඩාත් හොඳින් පැහැදිලි කළ දෙදෙනාය. ඒ මේ පොත හරහාය.  ඒ මරණයත් ඒ හා සම්බන්ධ  සිද්ධි මාලාවත් පිළිබඳ  වඩා නිවැරදි සත්‍ය විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන ඔවුන් දෙදෙනාට අප උදක්ම ස්තුතිවන්ත විය යුතුය.

පොත හරිහැටි ඇරඹෙන්නේ දෙවෙනි කැරැල්ල කොටසිනි. කළු රන්ජිත්ට  ජවිපෙට  සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මෙන්ම ආරක්ෂක අංශ වලින්ද  තර්ජන එල්ල වූ  සමය ගැන ඇති ලියවිල්ලෙනි.  එසේම ඔහුගේ උතුම්ම ගුණය ලෙස මා  දකින්නේ තමන්ගේ ව්‍යාපාරයට  රාජ්‍ය මර්දන කණ්ඩායම් රැගෙන පැමිණ හතර දෙනෙකුට මරු කැඳවූ හිටපු  ජවිපෙ සාමාජිකයාට සමාව දීමෙනි. 

අප වැන්නන්  අය මාක්ස් අසාධාරණ ලෙස නම්කරන ලද යුතෝපියානු හෙවත් මනෝරාජික සමාජවාදීන් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රමයකින් බලය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරති. එසේම ධනවාදය එහි  ඉහලම දියුණුවක්  තවමත් ලබා  නැති බවත්,  ලෙනින් ලියන ලද  "අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස්ම අවධිය නමැති පොතේ න්‍යායාත්මක වැරැද්දක් ඇති බවත්" විශ්වාස කරන්නෙමු. . (Imperialism, the Highest Stage of Capitalism (1917), by Vladimir Lenin -  අධිරාජ්‍යවාදය මගීන් මූල්‍ය ධනවාදය වැඩිම ලාභයක් ඉපයීම ධනවාදයේ උසස්ම අවධිය බව ලෙනින් මෙහි කියා ඇත) . 

 එනිසා "කළු රන්ජි  මහා  සමාජ ව්‍යාපාරයක් තරම් බර මිනිසෙකිය" කියා වෙඩිවර්ධන සහෝදරයා කියන විට මට හිතෙන්නේ  ප්‍රචණ්ඩ ක්‍රමයකින් තොරව සමාජ සාධාරණත්වය ඉටු කිරීමට  නම් කළු රන්ජිලා වැඩි වැඩියෙන් සිටිය යුතු බවය. නොපෙරෙලෙන ධනවාදය රූපාන්තරණය කිරමට සමහරවිට අනාගතයේදී  අවශ්‍ය වන්නේ එවැන්නන් විය හැකිය. නමුත් දේශපාලන පක්ෂයකින් හෝ ව්‍යාපාරයකින් තොරව එවැන්නක් කළ හැකිද යන්න තදබල න්‍යායාත්මක ප්‍රශ්නයකි.

කළු රන්ජි   නොදැනුවත්ව හෝ මිනිසුන්ට උපකාර කිරීමට පෙළඹෙන්නේ හැත්තෑ එක කැරැල්ලේ  අසාර්ථකත්වය නිසා විය හැකිය. නමුත් ආදරය තුලින් මිනිසුන් දිනීමට ඔහු උත්සාහ  කරන්නේද ඒ නිසා විය හැකිය. තමන්ගේ වැඩ පසෙක ලා අනුන්ගේ වැඩට දිවයන්නේ ද එබැවින් විය හැකිය. මා "විය හැකිය" යන වදන් නැවත නැවත භාවිතා කරන්නේ මෙහි ඇත්තේ සම්භාවිතාවක් පමණක් බැවිනි. හැත්තෑ එක කැරැල්ලෙන් පසු  අපට හමුවන පියසිරි කුලරත්න  ගේ චරිතය කැරළි ගැසීමේ මගින් ඉවත්ව යෝගී මගක් ගැනීමත් එක්තරා විධිකට මේ හා සමාන නොවේද? අජිත් පැරකුම් ජයසිංහ අසූ අටේ භීෂණයට හසුව එළියකන්ද වධ කඳවුරේ සිටි වින්දිතයෙකි. එලියට පැමිණි ඔහු ලිවූ "ශාස්තෘ" නමැති පොත මම කියවා ඇත්තෙමි. ඒ පොතේ චරිතයද ඉහත  දෙදෙනාට සමාන එහෙත් වෙනත් දාර්ශනික පසුතලයක සිටින අයෙක් ගැන ලියවුණකි. 

 අපි හැමෝමත්  බොහෝවිට "මේ අනුනට උදව් කිරීම්" කර ඇත්තෙමු. බොහෝවිට ඒ සඳහා  අපි කිසිවක් බලාපොරොත්තු වන්නේද නැත. ඒ ගැන කියන්නට අවශ්‍ය වන්නේද නැත. නමුත් මා ද ඇතුළුව අප බොහෝ  දෙනෙක්  තමන්ට පාඩු සිදු කරගෙන හැම විටම උදව් කරන්න යන්නේද නැත. මම වැය  කරන්නේ මට උපරිමයෙන් වැය කළ හැකි කාලයත්, ශ්‍රමයත්  මගේ පසුම්බියට සරිලන පරිදි ආධාරත් පමණකි. කළු රන්ජිත් අපෙන් වෙනස් වන්නේ එතැනදීය.

නමුත් කතුවරයා හෝ කළු රන්ජිත්  ඇතැම් තැන්වලදී  මේ ක්‍රියාවන් වාමාංශික  දේශපාලනයට ආදේශකයක් ලෙස කරන බවට පෙන්වීමට තැත් කරන බවක් මට පෙනේ. සාමූහික දේශපාලන ක්‍රියාදාමයකින් තොරව  තනි මිනිසුන්ගේ පුණ්‍ය ක්‍රියාවලින් සමාජයට  ලොකු බලපෑමක් ලැබෙන්නේ යයි මට සිතෙන්නේ නැත.

 එනිසා මේ පොත ලිවීමේ අදහස කළු රන්ජිගෙන්ම පැන නැගුනා නම් ඒ සඳහා  ප්‍රබල දේශපාලනමය හේතුවක් හෝ සමාජ ප්‍රගමනයට බලපාන හේතුවක්  දැක්වීමට ඔහු අපොහොසත් වී ඇත. කතුවරයා කියන අන්දමට ප්‍රකාශිකාව හා රන්ජිගේ උදව් උපකාර ලැබූ සගයන්ට එය අවශ්‍ය වී නම් ඔවුන්ගේ වදනින් කළු රන්ජිගේ ක්‍රියාවන් පිළීබඳව කියා පාන්නට ඉඩ තිබුණි. එසේනම් පුණ්‍යක්‍රියාවක් හෝ උදව්වක් ඇගැයීමට ලිවූ පොතක් වශයෙන් අපට එය සැලකිය හැකිය. එසේ නැතිව අපේ සමාජයේ කරන ලද උදව්  ගැන කියවීම එක්තරා අන්දමකින් නොකරන දෙයකි. මගේ පෞද්ගලික මතය නම් එය උදව්ව කරන්නා හා ලබන්නා අතර ඇති සම්බන්ධයකි. සමහර අවස්ථාවල ඒ ගැන ඇගැයීමක් ලැබෙන්නේ නැත්නම් අපට උදව් කරන්නට නොසිතෙන්නට පුළුවන. බ්‍රිතාන්‍යය වැනි රටවල පුණ්‍යායතන තමන්ට ආධාර කරන අයට විශේෂ සැලකිල්ලක් දක්වයි. ඔවුන්ගේ කැමැත්තද ඇති ,  උපකාර ලබා ගත්බවට සමරු පොත්වල සටහන් කෙරෙයි. එනිසා මේ  පොත ඒ අනුසාරයෙන් ලීවුවක් යයි සිතිය හැකිය.

එසේම   ජයසිරි අලවත්ත කතුවරයා මේ පොත දඩිබිඩියේ ලියූවක් බවටනම් මට හැඟීමක් ඇතිවී තිබේ.ඒ ජයසිරි අලවත්ත අප කවුරුත් දන්නා පරිදි සිහල බස පිලිබඳ සුවිශේෂ හැකියාවක් ඇත්තෙකු නිසාය. ඔහුගේ සිහල බස  හැසිරවීම  "සාහිත්‍ය ශානර විමංසා" වැනි පොත් වලින්  හා ඔහුගේ  කාව්‍ය විචාර ආදියෙන් පෙනේ. ඔහු තමන්ගේ ඒ සුවිශේෂී හැකියාව මේ පොත සඳහා උපයෝගී කරගත් බවක් මට නොපෙනේ. 

නමුත් පොත කියවා  අවසන් වූ පසු "කළු රන්ජි " යනු සැබෑ මානව හිතවාදියෙකු බව මගේ හිතේ සටහන් වී ඇත.  මේ කෝවිඩ් සමයේ රජය රුපියල් 2000 අඩු ආදායම් ලාභීන්ට දීමට තැත්  කරයි. මේ මුදල ඉතාමත් අඩු බව ඔබත් මමත් දනිමු. රැකියා අහිමි වී සිටින අඩු අදායම් ලාභීන්,  දෙමාපියන් කොවිඩ් රෝගයෙන් මියගොස් අනාථ වෙන දරුවන් ඉදිරියේදී හමුවිය හැකිය.පාසැල් සිසුන්ට හැකි අන්දමින් මොබයිල් දුරකථන රැගෙන දීමේ පුණ්‍ය ව්‍යාපාරයක් මේ දිනවල ෆේස්බුක් මගින් ප්‍රචාරය වෙනු දැකිය හැකිය. කළු රන්ජි වැනි සහෝදරයනට මේ අසරණ වෙන මිනිසුන් සඳහා විශාල සමාජ සුභ සාධන ව්‍යාපාරයක දේශපාලනයෙන් තොරව සංවිධානය  කළ හැකි යයි ද සිතමි. සමහරවිට මේ එවැන්නක්ද  අවශ්‍යම මොහොතකි.  පසු කලෙක  රාජ්‍යයන්  , පාලන ක්‍රම වෙනස් කරන දේශපාලන ව්‍යාපාර වන්නේද මේවාය. 

  
පරණ ලිපි:






Sunday, 8 August 2021

ජිජැක් ලංකාවේ නොකී කතාවක්



ජිජැක් ලංකාවේ නොකී  කතාවක් 
---------------------------------
ගුරුතුමියක කිරි කෝපි  එකක් බොන්නට කෝපි කඩේකට ගියාය.  කඩේ හිමියා කීවේ " නෝනා කිරි කෝපි  නම් නැහැ නිකන් කෝපි  එකක් දෙත  හැකි. කිරි පිටි ඉවරයි. "

"මම ගෙනත් දෙන්නම්. කොහෙද කිරි පිටි විකුණන්නේ " ගුරුතුමිය ඇසුවාය.

"අර ඉස්සරහ කඩේ කිරිපිටි විකුණනවා . ඒත් ඒකෙ කිරිපිටි නැහැ" කෝපි කඩකාරයා කීවේය.

"මම ටීචර කෙනෙක්. උදේ ඉඳන් ළමයින්ට උගන්වලම නිදිමතයි. මහන්සියි.  මට එහනම් නිකන් කෝපි එකක් හරි  දෙන්න. මට ගෑස් එකක් ගන්න තැනක් කියනවද " ගුරුතුමී ඇසුවාය.

"ඉස්සරහ කිරිපිටි කඩේට අල්ලපු කඩේ  ගෑස්  විකුණනවා. ඒත් එයාල ගුරුතුමියන්ට විකුණන එකක් නැහැ "

"ඒ මොකෝ ඒක හරි වැඩක් නේ " ගුරුතුමිය ඇසුවාය.

"එයාලගේ ගෑස් ඉවරයි" කෝපි කඩකාරයා පිළිතුරු දුන්නේය. 

ගුරුතුමිය කෝපි එක බොන  තුරු කල්මරමින් සිටි ගුරුතුමෙකු වන අනියම් හස්බන්ඩා ගුරුවරිය කැටුව  ලැගුම් හලකට ගියේය.

පිළිගැනීමේ නිලධාරිනිය කීවේ ඇමැති ආරක්ෂක අංශයෙන් වටලා ඇති නිසා කාමර නැති බවයි.

"ඒ මොකෝ " ඔවුන් දෙදෙනාම එකවර ඇසුහ.

"රහැළිය කෙඹුක්වැල්ල කොටුවක් පනිනවා " පිළිගැනීමේ නිලධාරිනිය කීවාය. 

එය අසා සිටි ටී ෂර්ට් හැඳගත් නිලදරුවන් දෙදෙනෙක් වහා පැමිණ , රාජ්‍ය රහසක් හෙළිදරව් කිරීමේ වරදට පිළිගැනීමේ නිලධාරිනිය අත් අඩංගුවට ගෙන ත්‍රීවිල් එකක පටවාගෙන රැගෙන ගියහ.

ජිජැක් වෙනුවට ලීවේ  අජිත් 
 
 
-ජිජැක් ගේ ඔරිජිනල් කතාවේ තියෙන්නේ මගියෙකු බැරිස්ටා ගෙන් ක්‍රීම් දැමු කෝපි එකක් ඉල්ලීමයි. (කැපුචිනෝ එකක් වැනි) . බැරිස්ටා කියන්නේ (කළු කොපි එකක් දෙනවා වෙනුවට ක්‍රීම් නැති කෝපි එකක් දීමට හැකි බවයි.  කෝපි කඩේ ක්‍රීම් නැත. ජිජක් කියන්නේ ක්‍රිම් නැති කෝපි එක හා කළු කෝපි යනු එකක් නොව දෙකක් බවයි. එනම් මෙහි identity crisis එකක් තිබේ. (ඇමෙරිකානෝ කෝපි එකද කළු කෝපි එකක් නොවේ.) දෙවෙනි කතාව සෝවියට් ජෝක් එකකි. 
මස් ගන්නට කඩයකට යන පාරිභෝගිකයාට කඩයේ වැඩ කරන තරුණිය කියන්නේ අපි ළඟ මාළු නැහැ. මස් නැති කඩේ පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. මේ විහිලුව් තව බොහෝ ආකාරයට ලියැවී/කියවී තිබේ.

A man walks into a shop. He asks the clerk, “You don’t have any meat?” The clerk says, “No, here we don’t have any fish. The shop that doesn’t have any meat is across the street.”



Tuesday, 27 July 2021

රන් කහවණු සොයන්නියෝ


අලුත්ම රුසියානු රුපවාහිනී කතා මාලාවක් නැරඹුවෙමි. එය පෙන්වුයේ 
බ්‍රිතාන්‍ය රුපවාහිනියේය. මුළු කතා මාලාව පුරා  ප්‍රසිද්ධ  සුරූපී රුසියානු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායකත්වය දෙන අතර රුසියානු භාෂාවෙන් නිමකළ කතා මාලාවක් වුවද   ඉංග්‍රීසි හා ජර්මන් භාෂා  උප සිරැසි සමග නැරඹිය හැකිය.  මොස්කව්  නුවර  ධනවත්  ඉහළ පෙලන්තිය සම්බන්ධ කතා  පුවතක් වන මෙහි ඒ පෙලන්තිය බටහිර ධනවාදයේ ජිවන ක්‍රමය එලෙසින්ම අනුගමනය කරන බවද පෙන්වයි. 




කතාවේ තේමාව අනුව සෝවියට් සමයේ  සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ හා ගැස්ප්‍රොම් ගෑස් සමාගම  වැනි සමාගම් වල ඉහල අධ්‍යක්ෂකවරුන්ගේ ජිවන රටාවම වෙනසක් නැතිව වර්තමාන  රුසියානු ධනපතියන් අනුගමනය  කරන බවක් පෙනේ.  කොමියුනිස්ට් පක්ෂ නිලධරයන්  බිරිඳන් සමග  හොඳ තට්ටු නිවාස වල සිටිමින් අනියම් පෙම්වතියන්ට කුඩා තට්ටු නිවාස මොස්කව්  අසබඩ නගරවල ලබාදී තිබුණි. එසේම අනියම් පෙම්වතියන් රැගෙන දාචා හෙවත් ගිම්හාන නිවෙස් වලට සති අන්තයට යාමේ පුරුද්දක්ද ඔවුන්ට විය. 

කොටස් අටකින් සමන්විත කතා මාලාවේ ඉංග්‍රීසි නම "රන් කහවණු සොයන්නියන්" යන අදහස දෙන්නකි. නමුත් රුසියානු භාෂාවෙන්  සදෙර්ශංකා (содершанка)" රඳවාගන්නීය" යන අදහස ගෙන දෙයි. ජර්මන් භාෂාවෙන් කතා මාලාව හඳුන්වන්නේ "රුසියානු සම්බන්ධතා" යනුවෙනි. 

දැන් වෙනස් වී ඇත්තේ මෙසේය . පසුගිය වසර විසිපහ තුල ඇතිවූ නව ධනවත් රුසියානු ඉහල පෙළන්තිය ඉතා දැකුම්කළු නිවාස  මොස්කව් නගරාසන්නයේ  ගොඩ නගාගෙන  තිබේ . කලින් දාචා හෙවත් ගිම්හාන නිවෙස් තිබූ  පැතිවල පවා මෙම දර්ශනීය විශාල  නිවෙස් ගොඩ නැගී ඇත. මොස්කව් නගරය තුල මේව අයත්  ධනපති පිරිමින් ගේ අනියම් පෙම්වතියන් පියකරු අපාට්මන්ට් බ්ලොක් වල (තට්ටු නිවාස)  ජිවත් වෙති.  මේ ධනපති පිරිමින්ට හෝ මාෆියා බොස්ලාට හා  කළු සල්ලි සුදු කරන පදනම් පිහිටුවා ගෙන සිටින්නන්ට කෙනෙකු මරා දමා නීතියෙන් ගැලවී සිටින්නටද හැකියාව තිබේ. ඒ රුසියානු අපරාධ පරීක්ෂණ කොමිටියේ පරීක්ෂකයන් ඔවුන්ගේ සාක්කුවේ බැවිනි.

වසර 2019 දී ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" නමින් මම ලිපියක් ලීවෙමි. මෙය ත්‍රිමාණ සනගරවෙහි පළවිය.  (මෙහි පෙරටුගාමින් යනුවෙන් සඳහන් කරන ලද්දේ වර්තමාන "සමබි"ම පක්ෂයයි) . සෝවියට්  නංගිලා ගෙන් ඇතැම් කොටසක් කටයුතු කළ ආකාරය ගැන එම ලිපියේ සංවාදයට බඳුන් විය. 

මේ අනියම් බිරින්දන් ගේ අභිලාශය  තම ධනවත් පිරිමියා විසින් තමන්ට ජිවත්වීමට හොඳ   තට්ටු නිවසක් ලබා ගැනීම, වියදමට මුදල් හා හොඳ  ඇඳුම්  පැළඳුම් පමණි. මෙම ඉතා සුරූපී කාන්තාවන් බොහෝ විට පැමිණෙන්නේ මොස්කව් අසබඩ නගර වලින් හෝ ගම්වලිනි.  මේ පිරිමින් ගේ නිත්‍යානුකුල බිරින්දන්ද ප්‍රංශ සමාජය අනුගමනය කරමින් තමන්ට අනියම් පෙම්වතුන් ප්‍රමාණයක් නඩත්තු කරති.  මේ ක්‍රමයට ලෝකයට පෙනෙන්නට තමන්ගේ විවාහයද රැක  ගනිති. අර අනියම් පෙම්වතියන් රඳවා ගන්නියන් වන්නේ එබැවිනි. 

නමුත් මේ කතාවේ මේ සාමකාමී සහජීවනය බිඳීයන සිදුවීමක් වේ . ඒ මරීනා නමැති එවන්  අනියම් පෙම්වතියක්  ඝාතනය වීමෙනි.  කතාව අපරාධයක් පිලිබඳ  රහස් පරීක්ෂක කතාවක් බවට පත්වේ. 

මෙහි අධ්‍යක්ෂණය, පිටපත් රචකයා සහ සියලු නළු නිලියන් රුසියානුන් වන අතර එය නිමවා ඇත්තේද මොස්කව් නගරයේය. රුසියානු ජනාධිපති   පූටින් මෙවැනි කතාවක් නිදහසේ පෙන්වීමට ඉඩ දී ඇත්තේ කෙසේද? රුසියානු නව ධනපති පන්තිය ගොඩ නැංවූ ඔහුම එහි සදාචාරමය පරිහානිය පෙන්වන කතා මාලාවක් පිළිබඳ ව නොදත්තේද ? මට නම් හිතෙන්නේ එම කතා මාලාව  ඔහු මිට දශකයකට ප්‍රථම කළාක් මෙන් ධනපති පන්තියේ මාෆියා ආකාරයට කටයුතු කරන ඇතැමුන් ට දුන් අනතුරු  ඇඟවීමක් කියාය. මොස්කව් හා රුසියානු වාසීන්ගේ පිළිකුල එල්ලවන ක්‍රියා කිරීමෙන් වැලකි සිටීමට බල කරන  හිටි හැටියේ එන පිරිසිදු කිරීමකට (cleaning operation ) ඔහු සැරසෙනවා විය හැකිය. 

අවවාදයයි: ගෙදර ළමුන් සමග එකට නැරඹිය හැකි කතා මාලාවක් නොවේ. 

Gold Diggers 

Saturday, 24 July 2021

නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම

ජුලි 12 ලිව්ව බ්ලොග් ලිපියේ මේ ප්‍රශ්න ටික මම අහල තිබ්බ. ප්‍රශ්න ටික ඇහුවේ සෝවියට් දේශයේ උගත් මගේ මිතුරියක් වන වෛද්‍යවරියක් කොතලාවල  පනතට විරුද්ධව  ප්‍රොෆයිල් එක වෙනස් කරගෙන හිටි නිසා. පස්සේ දැක්ක මගේ යහළුවෝ හරියටම දෙපැත්තට බෙදිලා වග. කට්ටියක් පක්ෂයි. කට්ටියක් විරුද්ධයි. යහපාලනය මේ හා සමාන පනතක් ගේන කොට බයියන් නමින් හඳුන්වන පොහොට්ටු කට්ටිය විරුද්ධ වුනා. "නිදහස් අධ්‍යාපනය" බේරා ගන්න සටන් වැදුන.  දැන් පොහොට්ටු කට්ටිය පනත ගේනවා. ටොයියන්  නමින් හඳුන්වන රනිල් සජිත්  දෙපිලේ රැඩිකල් කියල හිතන් ඉන්න සෙට් එක සටනට බැහැල "නිදහස් අධ්‍යාපනය බේරා ගන්න " සමහරු කියනවා අපි පෞද්ගලික එකට විරුද්ධ වුනත් මේ මිලිටරිකරණයට විරුද්ධයි ලු.  ඒ කියන්නේ මේ දෙගොල්ල නිදහස් අධ්‍යාපනය බේරා  ගන්න සටන් කරන්නේ තමන් විපක්ෂයේ ඉන්න කොට. 

මේ දෙගොල්ල  රට බේරා  ගන්න ජාතිවාදය ගෙනාවෙත් එහෙමයි. දෙමල ප්‍රශ්නය ඔපමණ  දුර දිග ගියෙත් මේ අමන දෙපිටකාට්ටු  වැඩේ නිසා. 

 අපරාදේ කියන්න බැහැ පරණ ජවිපෙ, අලුත් ජවිපෙ සහ  පෙසප පක්ෂ සහ  ආධාරකරුවන් හැමදාම හිටියේ එකතැන. එකම ප්‍රතිපත්තිය.පෞද්ගලික  වෛද්‍ය විද්‍යාල පිහිටෙව්වොත් නිදහස් අධ්‍යාපනයට කෙල වෙනවා කියන එක. දිවි පුදලා හරි ඒක නවත්වන්න ඕනේ කියන එක තමයි තර්කය.  දැන් ඒකට කොතලාවල මිලිටරිකරණයත් අදාල කරගෙන. ඒ විශ්ව විද්‍යාලය  කොහොමත් තිබ්බේ එහමම තමයි. රැල්ල යන පැත්තට ආණ්ඩුවට කොහොමත් බහුතර ජනතාවක්  දැන් විරුද්ධ නිසා හා හරිහැටි ඇමතිකම් නොලැබුන නිසා ශ්‍රීලනිප කට්ටියත් දැන් විරුද්ධයි ලු. 

ඔය අතරේ ජවිපෙ පෙසප සහෝලගේ ළමයි හෝ නෑදෑ ළමයි පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන සාධාරණ චෝදනාවත්  තියනවා. මේ පෞද්ගලික විශ්ව විද්‍යාල  චෙක් රටේ, රුසියාවේ, ඉන්දියාවේ, මැලේසියාවේ , උක්රයිනයේ වගේ රටවල තියෙන්නේ. ඉතා විශාල ලාංකික සිසුන් ප්‍රමානයක් ඉන්නව ඒ රටවල.
පරණ සෝවියට් දේශයේ , කොරියාවේ , කියුබාවේ, චීනයේ විශ්ව විද්‍යාල සිසුන්ට අරගල කරන්න බැහැ. ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. එක්තර ක්‍රමයක මිලිටරි පන්නයේ පාලනයක් තිබ්බේ. හමුදා පුහුණුවටත් යන්න ඕනේ. ජවිපෙ/පෙසපේ පාලනයක් ආවොත් ඒක අනුගමනය අක්රන්නේ නැත්ද?  
 
ආ ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වැනි  විෂයයන්ට පෞද්ගලිකව ගෙවල  ඉගෙන ගන්න පහසුකම් තියනවා.  

කවුද අයියා පොරක්  ඒ අතර ගුරුවරුන්ට "කාලකන්නි " කිව්වලු. කට්ටියක් ඒක සාධාරණී කරණය කරනවා.  කිව්ව එකා කොහොමත් ඉගෙන ගත්තේ එකෙක් වෙන්න බැහැ. දුර හරියට හිතා  ගන්න බැරුව පැනල කකුල කඩා ගත්ත නිසා.  

අම්මලා තාත්තල ශිෂ්‍යත්වේ ට අවුරුදු දෙක තුනකට කලින් ටියුෂන් යවන ළමයින් ගේ ටියුෂන් නවත්වන්නේ ඒ ලෙවල් වලින් පස්සේ.  අපිත් ළමයි යැව්වා එන්ගලන්තේ ඉන්නවා වෙලත්. හේතුව තරඟය  මෙහෙට ඇවිල්ල තියෙන්නේ. සුද්දන් ගෙන් නෙමෙයි. අපේම දකුණු ආසියා සබ් කොන්ටිනන්ට්  එකෙන් සහ චීන දෙමපියන් ගෙන්. මමත් ටියුෂන් දුන්න ළමයි කිහිප දෙනෙකුට.  

ආ අමතක වුනා චීනය  1994 ඉඳන් පෞද්ගලික පාසැල් ඇති කරන්න  අවසර දීලා තියෙන්නේ. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 700 ට වැඩියි. චීන ළමයි බටහිට යුරෝපයේ, එංගලන්තයේ අති  විශාල මුදලක් ගෙවල ඉගෙන ගන්නව.  චීන වාමාංශිකයන්  ඒවා කියන්නේ නැති නිසා ලිව්වේ. කියුබාවේ හා කොරියාවේ විතරයි තවම නැත්තේ සීන් එක. 

ඒ වගේම ගුරුවරු ඉන්නව පාසල් ඉවර වෙලා ඒ පන්තියේම ළමයින ටියුෂන් දෙන. ඒපාඩමට ආවේ  නැතිනම් පලි ගන්න, ආඩපාලි කියන  ගුරුවරුත් හිටියලු. අත්දැකීමක් දෙකක් මටත්  කියල තියෙනවා. 

තනිකරම අච්චාරුවක්. මම දෙයියන්ට කියා කියා හිටියේ අනේ ත්‍රිමා විතානයි අපේ විදුහලේ ඉගෙන ගත් වෙනුරයි ගේන්න එපා මෙතනට කියල. බලනකොට සිසිර යාපා සහෝදරයා ඒකත් මතක් කරලා ලියල. අසූ නමයේ තිබුනට වඩා ප්‍රශ්නය වෙනස්  සහෝ. යුද්ධය ඉවරයි.  

ගොඩක්  මිනිසුන් ගේ ප්‍රධාන ප්‍රශ්නය වෛද්‍ය වෘත්තීය හෝ කොතලාවල විෂව  විද්‍යාලය බේරා ගන්න එක නෙමේ. ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එක පැත්තකින් කොරෝනා මාරයා  , අනිත් පැත්තෙන් රස්සාව කරන එක. පොඩි ව්‍යාපාර ගැට ගහ ගන්නේ කොහොමද කියන එක. සමහරුන්ට ඉතාම සරලව බඩගින්න. 

මෙන්න අර ප්‍රශ්න ටික නැවතත්.


Wednesday, 14 July 2021

ජිවිතයේ ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද


ඔයිල් පැල්ලම් ගැන ලිවීමට පටන් ගන්නේ කොතැනින් දැයි මාසයක්ම කල්පනා කළෙමි. අවසන සිතුනේ පොතකට කළහැකි හොඳම උපහාරය වන්නේ මගේ ජිවිතයේ ඔයිල් පැල්ලම් වලින්ම පටන් ගැනීමෙන් කියාය. වසර විස්සකට මත්තෙන් මගේත්  වෙන්ඩ බිරින්දෑ ගේත් සංචාර සඳහා ප්‍රියතම ක්‍රමයක වූයේ දුම්රියයි.  දුම්රිය කාල වේලාවට යන නිසාත් අපි නිතරම අන්තිම මොහොතේ දුව පැමිණ එල්ලෙන නිසාත් ඉන්පසු ගමන් යාමට බොහෝ  විට නිසාන් මයික්‍රා කාරයක් කුලියට ගතිමු. අප මිලයට ගත් පළමු කාරය වූයේ  මිනි කූපරයකි. ඉන්  අපි දීර්ඝ සංචාර  හතර පහක් ගිය මුත් එය  නිතර අතර මග නවතින්නට විය. ඒ බැටරිය බැසීම නිසාය. අලුත් බැටරි දැම්මද එය ට්‍රැෆික් ලයිට් ළඟ නැවැත්වුව හොත්  නැවත පණ ගැන්වීම අසීරු විය. වාහන හදන දෙතුන් දෙනෙකු ගෙන් විමසුවත් ඔවුන්ට ප්‍රශ්නය සොයා ගත නොහැකි විය. අන්තිමේදී දී එය අප සිටි නිවස ඉදිරිපිට  ගාල් කර තැබුවෙමු. දවසක ගරාජ් හිමියකු පැමිණ එය   පවුම් 25 කට එනම්  දැන් කාලයේ මුදලින් රුපියල්  පන්දාහකට පමණ රැගෙන ගියේය.

මාස දෙක තුනකින් පමණ ලන්ඩනයේ ටල්ස් හිල් පෙදෙසේ ඔහුගේ ගරාජය අසලින් යන විට එය අලුත්වැඩියා කර පවුම් 1800 කට විකිණීමට තබා තිබෙනු දුටුවෙමු. (රු ලක්ෂ පහකට පමණ). මේ අවුරුදු  25 කට පමණ පෙරය. මම ගරාජ හිමියාගෙන් කාරයේ තිබූ වැරැද්ද කුමක් දැයි විමසුවෙමි. මිනි කූපරයේ බොඩිය හරහා  විදුලි පරිපථය සම්බන්ධ වන බවත් එක තැනකින් එම බිඳුණු පරිපථය වෙල්ඩින් කල පසු ප්‍රශ්නයක් ඇති නොවූ බවත්ය. ඔහු කීවේ ඇත්තද බොරුද යන්න අදටත් නොදනිමි. විදුලි පරිපථ  සටහන් වල එවැන්නක්  නොදුටුවෙමි.

ඉන්පසු වෙන්ඩ බිරින්දෑ ඒ දිනවල රැකියාව  කල ඩෙල්ටා ගුවන් සේවයේ ජර්මන් ජාතිකයෙකු ජර්මනියේ දී  සම්පූර්ණයෙන් ම වගේ නිමවන  ලද වමෙන් පදවන ෆෝඩ් ෆියෙස්ටා එකක් අඩුවට විකුණා ගියේය.  ෆියෙස්ටා එකට මම බොහෝ සේ ඇළුම් කලෙමි. එහි එන්ජම ඉතා සරල එහෙත් හොඳින් වැඩ කළ එකකි. පස් දෙනෙකුට යා හැකි  එම කුඩා කාරය අප දෙදෙනා බොහෝ තැන්වල විශ්වාසනීය ලෙස රැගෙන ගියේය. මගේ මලයා  බෙල්ජියමේ සිටින විට ඔහු බැලීමට බෙල්ජියමටද  ඔහු සමග ප්‍රංශයටද  ගිය ගමන එයින් ගිය දිගම ගමනයි. 

එහි තෙර්මොස්ටාටය වැඩ නොකර එන්ජිමේ උණුසුම වැඩි වුනු විට එය ගලවා අලුත් එකක් සවි කිරීමට  මෙන්ම කාරයේ  ඔයිල් මාරු කිරීම, ස්පාක්  ෆ්ලග් මාරු කිරීම ඇතුළු සර්විස් එකකදී කරන වැඩද මට කළ හැකි විය. 
කළු පැහැ පරණ ෆෝඩ්  ෆියෙස්ටා එකේ පින්තූරය පහල තිබේ. 


වරෙක සති අන්තයේ හෙඩ් ගෑස්කට් එක ගලවා අලුත් එකක් සවි කරන විට අසල නිවසක චීන කාන්තාවක් පැමිණ ඇගේ කාරයේ ප්‍රශ්නයක් පවසා  හදා දෙන්නට කීවාය. මම වාහන රෙපයාර් කරන්නේ නැති බවත් මගේ කාරයේ  පමණක් ආසාවට වැඩ කරන බවත් මගේ ළඟ තිබූ මැනුවල් පෙන්වා කීවෙමි. ඒ දවස් වල යූ බටය තිබුනේද නැත.  "උඹ  රන්වන් හිස කේ තියෙන සුදු ගැහැණුන් ගේ කාර් පමණක් හදන වර්ණවාදියෙකු බව" පවසා ඇය ඉවත ගියාය. මේ මොන කුණුහරපයක් දැයි කල්පනා කරන විට මට මතක් වුනේ ඇය, මා  වෙන්ඩ බිරින්දෑ සමග කාරයේ  යනවා දකින්නට ඇති බවයි.  ඒ දවස් පරණ මළකඩ කෑ එහෙත්  ක්ලැසික් බෙන්ස් එකක්  භාවිතා කල  මිනි කූපරය මට තල්ලු කළ මගේ මිතුරකු  නිතර කීවේ දකුණෙන් පදවන  හොඳ කාරයක් ගන්නා  ලෙසය. මට මේ කියමන තේරුනේ නැත්තේ ෆියෙස්ටා එකේ වරදක් මා නොදුටු බැවිනි.  මේ පරණ කාරය පසුව තුර්කි ජාතිකයෙකුට ගත් ගණනටම  වාගේ  විකුණා දැමුවෙමි. අවුරුදු 20කට පසු  එය තවමත් තුර්කියේ නෑදෑයෙක් භාවිතා කරන බව ඔහු පැවසුවේය.   ඉන්පසු වොක්සොල් ඇස්ට්‍රා (ඕපල්) එකක් , හා ෆෝර්ඩ් එස්කෝට් කාර්  දෙකක් ද අප සතුව විය. එස්කෝට් එක කාරයක් වුවද ලොරියක් මෙන් බර අදින වාහනයකි.  අප වරක නිවසකින් නිවසකට  බඩු ඇද්දේද ඒවායිනි. 

 ඉන්පසු වඩාත් සුවපහසු කාරයක් වන එන්ගලන්තයේම  බොඩිය ගැසූ රෝවර් 416  SLI වාහනයක් ගතිමු. මෙහි සුවිශේෂත්වය වූයේ එහි තිබුනේ හොන්ඩා ස්පෝර්ට් එන්ජිමක් වීමයි.  ඒ කියන්නේ ට්‍රැෆික් ලයිට් එකක නැවැත්වූ පසු ඇදලා යා හැකි කවදාවත් කැඩුනේ නැති වාහනයකි. එනිසාම මේ පරණ කාරයට තවමත් එංගලන්තයේ ඉල්ලුමක් තිබේ.  මේ නිසාම මගේ ඊළඟ කාරය වූයේ හොන්ඩා සිවික් එස්ටේට් එකකි.  මේ කාලය වන විට මා ළඟ තිබූ  තරු බලන දුරේක්ෂය මෙන්ම දරු දෙදෙනෙකු සිටින නිසා සංචාරයන් හි යනවිට ගෙනයන  බඩු  බාහිරාදිය වැඩි වීමද එස්ටේට් එකක් ගැනීමට හේතුවක් විය.  මේ වනවිට බිරිඳ බවට පත්වී  උන් වෙන්ඩ  බිරින්දෑ  දරු දෙදෙනා ද සිටි නිසා වෙනම කාරයක්  භාවිතා කල අතර ෆෝඩ් එස්කෝට්  එකෙන් පසු ඇය දිගටම  ගත්තේ ජර්මනියේ නිෂ්පාදිත  වොක්ස්වැගන් ගොල්ෆ් කාර්ය.  හොන්ඩා එකෙන් පසු BMW 320 ටර්බෝ ඩීසල් එස්ටේට් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කර බෙන්ස් C180 කොම්ප්‍රෙසර්  එස්ටේට් කාරයක් ගත්තෙමි.  එයද ට්‍රැෆික් කණුවක අසල  නැවත්වූ පසු ඉක්මනින් රේස් කර යා හැකි එකකි. වොක්සෝල් එකෙන් පසු මම කාර් හදන්නට නොගියෙමි. ඒවා වඩා සංකීර්ණ වූ අතර වෙලාවක ද ඉතා සීමිත වීමද හේතුවකි. මට පුළුවන් වූයේ හදිසියේ කැඩුණු ලයිට් එකක් මාරු කිරීම පමණය.

හැබැයි මම පරණ කාර් වල කුඩා ආකෘති එකතු කිරීම  නම් දිගටම කරගෙන යමි. 
 
එන්ෆිල්ඩ් නගරයේ එන්ෆිල්ඩ් අජිත් නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ පුද්ගලයෙක් වාසය කරයි. වෘත්තියෙන් ගණකාධිවරයෙක් වන ඔහු විනෝදයට කරන්නේ ගෙය පිටුපස ඇති ගරාජයක කාර් හැදීමය. ඒවායින් ලැබෙන අතිරේක මුදලින් ඔහු ලොව වටා සංචාරය කරයි.  අපේ කාර් වල සර්විස්  එකේ සිට ඕනෑම වැඩක් කර දෙන්නේ මේ කාර් හදන්නට ලෙජෙන්ඩ් එකක්වූ අජිත් ජ.  අයියාය. "කොල්ලන්" කියන්නේ වාහනයක් ඔහුගේ ගරාජය පැත්තට එනවිට ඔහුට සද්දෙන් වාහනයේ වර්ගය කියත හැකි බවයි. මම එය ඔහුගෙන් කවදාවත් අසා නැත.

මගේ  ඔයිල් පැල්ලම් කතාව ඉතා කෙටියෙන් ඕකය. තව රස කතා තිබුනත් ලිපිය දිග වැඩි වනු ඇත.  තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගේ "ජිවිතයේ ඔයිල් පැල්ලම් " මම කලකින් කියවූ වෙනස්ම අන්දමේ කුතුහලය, හාස්‍ය රසය, දුක සතුට දනවන හඟවන ලියැවිල්ලකි. 

තරිඳු ශ්‍රී ලොකුගමගේ මා  හඳුනන්නේ බ්ලොග්කරුවෙකු ලෙසය. ඔහුගේ කාර් පිස්සුව බ්ලොගය නිසා  රසවත් ලිපි ලියන්නෙකු බව මෙන්ම තරිඳුවා යනු  හොස්ස ළඟින් මැස්සා ගියොත් බොනට්ටුව නැතිව ගෙදර යවන ජාතියේ එකෙකු බවද දැන ගතිමි. ඒ කාලයේ දරුවන් ගැන කතා කළොත් තරිඳු ඉන්නේ වැරදි පැත්තේ බව ඉක්මණින්ම අවබෝධ වුවත් ප්‍රග්යාන් ගේ ආගමනයෙන් පසු ඒ සුන්දර කොලු පැටියා නැති ෆේස්බුක් පොස්ට් එකක් හොයා ගැනීමට අමාරු තරමට තරිඳු ශ්‍රී ලොකු ගමගේ දැන් පරණ බෙලෙක්කයක් මෙන් මෙළෙක්  වෙලාය.

පොත එක හුස්මට කියැවිය හැකි විටෙක රහස් පරීක්ෂක නවකතාවක මෙන් ත්‍රාසය දනවන එකකි. කතුවරයා ශ්‍රී  ලංකාවේ  පැවති  දේශපාලන ප්‍රචණ්ඩ අවධිය මෙන්ම බොහෝ විට අප අසා ඇති වාහන සම්බන්ධ අපරාධ සිද්ධීන් ද කාටත් නොදැනෙන්නට කතාවේ ගලායාමට ස්පාක් ප්ලග් මෙන් අටවන්නේය.
  
මේ නවකතාවේ මා දුටු විශේෂිතම ලක්ෂණය නම් කතුවරයාගේ උපමා භාවිතයයි. මේ තරම්ම උපමාවන්  හාස්‍ය රසය දනවමින් භාවිතා කල පොතක් මා කවදාවත්කි යවා  නැත. අන්තිමේදී මට සිතුනේ මෙහි හොඳම උපමාව හා නරකම උපමාව සොයා ගැනීමට පාඨක තරඟයක් පැවැත්විය යුතු බවයි. තේරුමක් නැතිම  උපමාව ලෙස මට හිතෙන්නේ  "ඩෙංගු හැදෙන්නට කලින් වේලිච්ච බුලත් අතක් මෙන් සිටි කපිලයා දැන් වේලිච්ච දුන්කොල නැට්ටක් මෙනි." (පි. 160)  බුලත් කන්නේ නැති මට ඔය දෙකේ වෙනස් තේරුම් ගැනීමටද බැරිය. හැබැයි මේ උපමා වලින් අවස්ථාව පහදා  දෙන්නට කතුවරයා දරන වෑයම ඉතා සාර්ථකය. අපට සිද්ධිය  මැවී පෙනෙන්නට ඒවා ප්‍රමාණවත්ය.

"කපිලයා  දොර පැත්තට හැරුනේ විද්‍යා ප්‍රබන්ධ ජාතියේ චිත්‍රපටි වල රහස් ගබඩා දොරවල් ඇරෙන තරමට සෙමිනි" (පි 163) මේ උපමා දීමේ උත්කර්ශවත් තැනක් නම් තරිඳු ඔස්ටින් ඇට්ලන්ටික් කාරය  හඳුන්වා දෙන අන්දමය. එය කියවාම  බැලිය යුතුය. මම එය මෙහි උපුටා නොදක්වමි. 
ඔස්ටින් අට්ලන්ටික් A 90


මට අල්ලන්නෙම නැති උපමාව "ගස්ලබු ගෙඩියකට දිවුල් ගෙඩියක් මුහු කළා වගේ බැන්දට මුහුවෙන හෙඩ් ලයිට් දෙක" යන යෙදුමය. කොහොම බැලුවත් ඔස්ටින් ඇට්ලන්ටික් A නයින්ටියේ එහෙම  දෙයක් පේන්නේ නැත. (උඩ පින්තූරය) මේ කාර් පිස්සුව හොඳටම මෝරා ගොස් අවුල්  වූ මොහොතක ලියුවක් විය යුතුය.
 
කෙසේ වුවත්  මට සැබෑවටම හොඳම උපමාව හොයා ගත නොහැකිය. "පන්තියේ කෙල්ලෙකුගේ හෙයා බෑන්ඩ් එක කඩා මට්ටු වූ කොල්ලෙකු ටීචර් දෙස බලන්නාක් වැනි බැල්මක්" (පි 153) යෙදුම නම් අත්දැකීමෙන් ම කියවන්නාගේ ඔළුවට රින්ගනු ඇත.  "අට ලෝ දහමට ඔරොත්තු දෙන්නට කාර් හදන්නට දැනගෙන හිටි ලෝකයක් ලෝකයක්, වතුර බින්දුවක් ගිය විට උස්ස ගෙන ගොස් ස්කෑන් කරන තැන හොයන්නට වෙන වාහන හදන මට්ටමකට වැටුනේ කෙසේද " යන ප්‍රශ්නයට අන්තරේ එකෙක් උත්තර දී තිබුනේ ධනවාදය කියාය. මට නම් උත්තරය හැටියට දෙන්න වෙන්නේ  වර්ගයාගේ දියුණුව කියාය. සමාජවාදී ලෝකයේ සිටි සමයේ වොල්ගා කාරය හෝ ලාඩා වක්  දැඩි ශීතයට හසුව හිම අයිස් වී  ගල් මෙන් බොනට්ටුවේ මිදී තිබියදී කාරයේ එන්ජිම යට ගිනි මැලයක් ගසා එන්ජිම රත් කර  ස්ටාට් කරන රුස්සන් දැක ඇති මට මේ ප්‍රශ්නය නම් තේරුම් ගත හැකිය. 

ඇන්ටනි අයියා දවසක හමුවීමට ඇත්නම් හොඳ  යයි මටත් සිතේ. කොපමණ ඇන්ටනි අයියලා  අපේ ජිවිතයේ හමු වන්නට ඇත්ද? එහෙත් හැමටම  එවැනි අපුර්ව චරිත වදන් වලට පෙරලා සිත්  සතන් වල ජීවමාන කිරීමට නොහැකිය. 

මේ පොත ඔබේ සුපුරුදු වට්ටෝරුවේ පොත ක් නොවේ. එනිසාම හා තරිඳු ශ්‍රී ලොකු ගමගේ යනු පොත් සම්මාන දෙන කුලක වල නැති කතුවරයෙක් නිසා මේ පොතට සම්මානයක් නම් සමහර විට ලැබෙන්නේ නැති වනු ඇත. ලැබෙන්නේ නම් වඩාත් සතුටු වන්නේ මමය. එසේ  කුලකයකට අයත්  නැති පිටින් ඉන්න ග්‍රන්ථ කතුවරයන් මම හඳුන්වන්නේ වෙඩිවර්ධන කුලකයට අයත් අය  කියාය.   ඉතින් සමහර විට හිටි හැටියේ සම්මාන උත්සව කරන්නට ගොස් ඇණගත් ලැජ්ජා නැති එකෙකු නිසා මම  ගමයා පොත් සම්මාන යනුවෙන් විකල්ප  උළෙලක් පටන් ගත්තොත් හොඳම විකල්ප නවකතාවට හිමි සම්මානය  පිදෙන්නේ තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගේ "ජිවිතයේ ඔයිල් පැල්ලම් " පොතටය.

තරිඳු  ශ්‍රී ලොකු ගමගේ වෙනුවෙන් ඔස්ටින් හීලියක පින්තුරයක් සමග මේ ලිපිය අවසන් කරමි.