Thursday, 28 September 2023

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද

නොනිමි අරගලයක



නොනිමි අරගලයක මතක ගිනි පුපුරු -    වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද 
**********************************************
නිර්පාක්ෂිකයන් කියා අරගලයට සහභාගී වූවන් පසුව කිසියම් පක්ෂ වල සාමාජිකයන් හෝ ආධාරකරුවන් බව පසුගිය කාලයේ කෙරුණු චෝදනාවකි. ලන්ඩන් කම්කරු පක්ෂයේ සාමාජිකයකුව සිට ඉන් ඉවත්වූ නිසා මා මෙහිදී නම් නිර්පාක්ෂිකය. ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් රචිත "නොනිමි අරගලයක මතක ගිනි පුපුරු" ග්‍රන්ථය ලන්ඩනයේ එළි දක්වන දා  සභාව මෙහෙයවන්නට ඔහුගෙන් ලැබුණු ආරාධනාව මට විමතිය දනවන්නක් විය. මා ඔහුගෙන් මේ පිළිබඳව දෙවරක්ම ඇසුවේ ඒ නිසාය. ඔහු පැවැසුවේ  මා නිර්පාක්ෂික එනම් කිසිදු  පාර්ශ්වයකට නොබැඳී අදහස් දැක්වීමට හැකි අයෙකු බව ඔහු දන්නා බවය. මා සිතන්නේ ඔහු අදහස් කලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙසපය ට සම්බන්ධ නොවීම පමණක් බවයි.  එසේම පෞද්ගලිකව එලි දක්වන මේ ග්‍රන්ථය කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් හරහා කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවද පැවසිය. ඔහු විසින් වීඩියෝ කතා කිහිපයක් සුදානම් කර තිබූ අතර ඒ නාමාවලිය බැලීමෙන් ඔහු විසින් කිසියම් අන්දමකට තම අතීතය සමග සාමදාන වී ඇති බවක් මට පෙනුනි. 

ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල, එනම් 1984 සිට 1990 දක්වා කාලය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ලියැවී තිබේ. 'ජවිපෙ දෙවන කැරැල්ල නමින් ධර්මන් වික්‍රමරත්න මහතා ලියන ලද ග්‍රන්ථය ඉන් ප්‍රධාන තැනක් ගනී.  ඔහු එය ලියා ඇත්තේ ගවේෂණශීලි ජන මාධ්‍ය වේදියෙකුගේ භූමිකාවෙන්  බව පෙනී යයි. එහෙත් එසේම ධර්මන් වික්‍රමරත්න මහතා ගේ එජාප විරෝධී ස්ථාවරයක්ද  එම පොතින් ගම්‍ය වේ. ඔහු ලියා ඇත්තේ  අසා දැනගත් සහ සොයා දැනගත් තොරතුරුය. අතරින් පතර ඔහු ඇසූ දුටු දේද තිබේ. "එළියකන්ද වධ කඳවුර" නමැති පොත රෝහිත මුණසිංහ මහතා විසින් ලියා  ඇති අතර එම පොත එළියකන්ද කඳවුර හා එහි සිටි  සිරකරුවන් භාජනය කළ අමානුෂික දෙතිස් වධය ප්‍රධාන කොට ගෙන ලියා ඇත. රෝ. මුණසිංහ  පැරණි ජවිපෙ ස්ථාවරයට බරව අදහස් පල කරමින්  ඔවුන් විසින් ජනතාව ධනවාදයෙන්  බේරා  ගන්නට කළ කැරැල්ලෙන්  ලද අනිසි ප්‍රථිපලයක් වශයෙන් එළියකන්ද සිර දඬුවම  නිශ්චිත කරයි. එම පොත බොහෝ සෙයින් පාක්ෂිකවාදී ස්වරූපයක් දරයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා ගේ 'කේ පොයින්ට්' පොතද  එළියකන්ද කඳවුරේ ඔහු  ලද අත්දැකිම් විස්තර කරන්නකි. ඒ ගැන මා මෙහි ලියා ඇත. (කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 -  කේ පොයින්ට් සහ එළියකන්ද. එම පොත වර්තමානයේ  අජිත් පැරකුම් ගේ ලිබරල් මතවාදී සහ ජවිපෙ විරෝධී මතයට සාපේක්ෂ ලෙස ලියා ඇත. මේ පොත් දෙක පිළිබඳව ඉහත  ලිපියේ සහ පසුව ලියූ විජේවීර සහෝදරයා ගේ ජිවිත කතාව ඇතුළත් චිත්‍රපටිය ගැන ලියූ ලිපියකද මවිසින් සඳහන් කර  ඇත. ( සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද)

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා මම අවුරුදු තිහක පමණ කාලයක සිට දැන සිටි අයෙකි. එසේම  ඔහු ජවිපෙ හි  පැරණි  ක්‍රියාකාරිකයෙක් ලෙසද දැන සිටියෙමි. ඔහු සමග මම වාද දෙකකට පැටලුනේ අගෝරා කණ්ඩායමේ රැස්වීමක දෙකකදීය. ඉහත ලිපි වල ඒ ගැනද  ලියා ඇත. වරෙක ඔහු තමන් සහ ජවිපෙ ජාතිවාදී නොවන බව පුන පුනා කීවේය. ඔහු ජාතිවාදියෙකු නොවන බව මම දනිමි. තව වතාවකදී  නන්දන මාරසිංහ ඝාතනය ඔහු සාධාරණිකරණය කිරීමට මම එරෙහි වුනෙමි.  ඔහු මේ ග්‍රන්ථයේ  ඒ ගැන සවිස්තරව නැවතත් ලියා ඇත. එතැනට අපි පසුව යමු. 

මා නොදැන සිටි කරුණ වූයේ ඔහු, අකාලයේ ඝාතනය නොවුනා නම් දිනෙක  රාජ්‍ය නායකයා විය හැකිව තිබූ  කෙනෙකු  ගේ  කැලෑවේදී කෝකියා ව සිටි බවය. රෝහණ නන්දසිරි විජේවීර සහෝදරයාට  හාල්මැස්සන් කිරට උයා දී තිබෙන්නේද, ඉන් පසුව කිහිප විටක්ම ඔහුගේ බත් පත සකසා දී තිබෙන්නේද  ගාමිණීය. මේ අනුව කතුවරයා  ජවිපෙ පක්ෂ නායකත්වය සමග ඉතා  සංවේදී  හා  සමීප  සම්බන්ධයක් තිබූ තැනැත්තෙකි. මේ පොත ඉහත කී හැම පොතකටම වඩා වැදගත් වන පළමු කරුණ  මෙතැනය. දෙවැන්න නම් ගාමිණී මුතුකුමාරණ, නායක  රෝහණ විජේවීර සමග සැඟවී සිටීම පමණක්ම  නොව දෙවරක්ම හිරගෙදර අසුවී සිටියදී  පලා ගිය අයෙක් වීමය.  තෙවනුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා රාජා මුතුකුමාරණ සහ මෙත්සිරි මුතුකුමාරණ පොලිස් අත් අඩංගුවේ දී අසාධාරණ ලෙස ඝාතනය වීමය.  හතරවෙනුව ඔහු තෙවෙනි පෙළ නායකයෙකු වීමට ඉතා සමීපව සිටි බවට පෙනී යාමය. ඔහු නායකයෙකු නොවුනේ තවමත් ඔහු තුල පවතින ගැමිකම නිසා විය හැකිය. පොත කියවා  අවසන් වූ පසු පාඨකයා ගේ හදවත බර වීමද  හැඟීම් බර වීමද නොවැළක්විය හැකිය.   එසේ නොවන අය වෙනත් පක්ෂ වල සිටිය හැකි බවද පවසමි.

එනිසා මම මේ ග්‍රන්ථය මිට අවුරුදු තිහකට පමණ පෙර කියවූ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" නවකතාවේ සිංහල ඡායානුවාදයක් ලෙස දකිමි. නමුත් ගාමිණී කොර්චාගින් නොවේ. ඔහු විජේවීර හමුවන විට කොලු ගැටයෙකි. ඔහු වාහන වැඩ පලක රැකියාව කර ඇත. ගාමිණී ජර්මනුන් සමග සටන් කලේ නැත. නමුත් ඔහු ශ්‍රී ලංකාවේ 87-91 වසර වල සිවිල් යුද්ධයට සහභාගී වූවෙකි.   ඒ සිවිල් යුද්ධයේ  අනිත් පාර්ශ්වය ජයග්‍රහණය කළා නම් මෙවැනි පොතක් ලබන්නේ "වානේ පන්නරය ..." පොත ලැබූ තැනකි. මා අදහස් කරන්නේ එයයි.  ඔහු වානේ මෙන් තද බවක් ලබා ඇත්තේද ජීවිතය දකින්නේද ඔස්ත්රෝව්ස්කි මෙන් සියල්ල අවසන් වූ තැනක සිටය. ඔස්ත්රෝව්ස්කි ගේ සටන ජයෙන් අවසන් වී ඔහු ආබාධිතයෙකු වීමෙන් අවසන් විය. ගාමිණී මුතුකුමාරණ ගේ සටන පරාජයෙන් අවසන් වුවද ඔහු ආබාධිත හදවතක් සහ මනසක් සමග  ජීවත් වෙයි. එයින් ගැලවී සුවපත් වීමට නම් ඔහු මේ පොත ලිවිය යුතුමය. 

පොතක් ගැන හොඳක් කීම එය විවේචනයට ලක් කිරීමෙන් බැහැරව යාමක් නොවේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කතා කල අප මිතුරු සුදත් සහෝදරයා අප එම රැස්වීමේදී පොතේ වටිනාකම ගැන කතා කළද එහි ඇති සාවද්‍ය හා විවේචනයට භාජනය විය හැකි දේ ගැන කතා  නොකරන බවට චෝදනාවක් කළ බවක් මට හැඟුනි. ඇත්ත වශයෙන් කියනවා නම්  මටද එකඟ විය නොහැකි තැන් කිහිපයක් මෙහි අන්තර්ගතය. එයේ එසේ වුවද ඉන් පොතේ වටිනාකම අඩු වන්නේ නැත. ඒ බව වඩා හොඳින් පොත  දොරට වැඩුමේ දී  පැහැදිලි කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිය. ඔහුගේ පටිගත කළ කතාව මෙහි ඇත. නිර්මාල් දේවසිරි මහතා යනු ස්වාධින ශිෂ්‍ය සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඔහු ගාමිණී සඳහන් කරන ඔප්ස් කොම්බයින් හෙවත් ඒකාබද්ධ හමුදා මුලස්ථානයට ඔත්තු සැපයූවෙක් ද නැත්ද යන්න මම නොදනිමි. 

"සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය" මැයෙන් මම 2017 දී ලියූ ලිපියක  දයා  පතිරණ ඝාතනය ගැන සඳහන්  කළෙමි. ඔහුගේ ඝාතනය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෝ ජවිපෙ කල බරපතල වරදක් බවත් ඉන් ඔවුන් අමතර සතුරන් ප්‍රමාණයක් සාදා ගැනීමට අමතරව පක්ෂය තවත් ජාතිවාදී පසෙකට නැඹුරු වීමේ අඩිතාලමක් දැමුණු බවත් මගේ ද අදහසය. ගාමිණී සහෝදරයා බොහෝ දුරට ඒ ගැන එකඟ වන බව  නිර්මාල් දේවසිරි ට ආරාධනා කල හේතුවෙන් පැහැදිලි වේ.

එදින දොරට වැඩුමේ දී ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු හා ප්‍රකට ග්‍රන්ථ පරිවර්තක  චූලානන්ද සමරනායක සහෝදරයා වීඩියෝ පණිවිඩයේ කතා කලේ  බොහෝ හැඟීම් බරවය.  චූලානන්ද පවසන්නේ හැත්තෑ එකේ අරගලය එක නිශ්චිත අවස්ථාවක ඇරඹි ප්‍රහාර මාලාවකින් පසුව ආණ්ඩු බලය හමුවේ පරාජය කරන ලද අතර ඉන්පසුව පැවති  දීර්ඝ කාලීන අධිකරණමය පටිපාටියක් හරහා පක්ෂයේ විශාල පිරිසකට දඬුවම් පැමිණවීමකින් සහ පුනරුත්ථාපන  ක්‍රියාවලියකින් අවසන් වූ බවය.  එහෙත් ඒ වාසිය අසූනවයේ මර්දනයට මුහුණ දුන් පරම්පරාවට හිමි වූයේ නැත.  හැත්තෑ හතේ නිදහස ලැබීමෙන් පසුව යලි ක්‍රියාකාරී දේශපාලනයට බට විජේවීර ඇතුළු සියලු සගයන්ගේ ධෛර්යයෙන් පණගන්වන ලද ජවිපෙ දෙවන වරට මර්දනයට ලක් කිරීම හැත්තෑ එකේදී පැවති  තත්වය ඉක්මවා ගිය අතිශය සාහසික  සහ තිරශ්චින  ස්වභාවයක් ගත්  අතර ඉන් පක්ෂයට සිදු වූ විනාශය  මිනිය නොහැකි තරම් බරපතලය. (චූලානන්ද සමරනායක -උපුටා ගැනීමකි.)  

ජවිපෙ විසින් දෙවන අරගලයක් ඇති කිරීමට හේතු සාධක බොහොමයක් කතුවරයා විසින් ඉදිරිපත් කරයි.  ජවිපෙ දෙවැනි අරගලයේ නරෝද්නික්වාදී ස්වභාවය පිළිබඳව අපට බරපතල විවේචනයක් තිබුනත් ඒ ක්‍රියාමාර්ග වලට ඔවුන් තල්ලු කරන ලද එවකට පැවති ජේ ආර් ජයවර්ධන රජයේ ඇතැම් ක්‍රියාදාමයන් ගැන එවැනිම බරපතල විවේචනයක් සහ  ඒ ක්‍රියාදාමයන් ගැන විමතියක් ද මට තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමයට 1977 සිටම අවතීර්ණ වුනු පක්ෂයක් 1982 ජනමත විචාරණයෙන් පසු රජයට එරෙහිව නඩුවක් දැමූ පලියට හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එම පක්ෂයේ හිමිකම් උල්ලංඝනය කරමින්  යටිබිම් ගත දේශපාලනයට යොමු කිරීමේ අනීතික වරද බරපතල එකකි. ප්‍රින්ස් ගුණසේකර ගේ පශ්චාත්තාපය කොටසේ කතුවරයා එය පැහැදිලි කරන්නේ මෙසේය. මා එයට එකඟය. 

"ජනමත විචාරණ  නඩුව නිසා රෝහණගේ ජවිතය නැති වුනා. ජවිපෙ විනාශ වුනා. මේ නඩුව මම පැවරුවා නිසා මේ විනාශය වුනා කියලා කල්පනා වුණාම ඒකෙන් මිදෙන්න අමාරුයි." (පි. 116) 
"තවත් දින කිහිපයකින් ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක දේශපාලන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණි. ගරු අධිකරණය  ආණ්ඩුව විභාග කිරීමට අණ  දුන්නේය. මේ 1983 මැයි මාසයයි. කළු ජූලියක ගිනි පුලිඟුවක් වත් තිබුනේ නැත. ඊලම්  සන්නද්ධ අරගලයකට සේනා රැස්ව තිබුනේ නැත. ජවිපෙ සාමාජිකයෝ තුවක්කු තබා පිහි කොටයක් වත් අතට ගෙන නොතිබුනහ. ජයවර්ධන  මහතා දණ්ඩකින් පහර කෑ සර්පයෙක් මෙන් කිපුනේය." 
(පි 119).

1983 ජූලි කලබල වලින් පසු ජයවර්ධන රජය වාමාංශික පක්ෂ තුනක් තහනම් කළේය. ඒවා තහනම් කලේ වරද කාට  හෝ පැටවීමට බව මුලින් පෙනෙන්නට තිබුනද කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂයේ  තහනම  සුළු කාලෙයකින් ඉවත් විය. ඒ ඔවුන්ගේ නායකයින් රජයට භාර වීමත් සමගය.ඒ දිනවල (1983) නසසප නායකයන් (වාසුදේව සහ වික්‍රමබාහු) කොම්පඤඤ විදියේ අමරදිසි හෝටලයේදී මා දුටු නිසා ඒ තහනම විහිළුවක් බව එදා සිටම දැන සිටියෙමි.  

ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවල් දහතුන් දෙනෙකු බිම් බෝම්බ වලින් ඝාතනය කල පසු දෙමළ ජනයා  මරා  දමමින් හා  දේපල වලට පහර දෙමින් ඇතිවුණු කලබල වලට ජාතිවාදී  එජාප කොටස් වල සහය තිබුණු අතර තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප  හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය. නමුත් ඒවා සංවිධානය  වුනේ ජයවර්ධන රජයේ මුල් දින දෙකේ පැවති  අක්‍රිය ස්වභාවය නිසා එම පක්ෂයේ ප්‍රාදේශීය බලවතුන්ගේ ද සහයෙනි.   එම විනාශයෙන් පසු ඇමෙරිකන් හිතවාදී ජේ ආර්පා ලනයට විරුද්ධව ඉන්දියාව එලිපිටම ද්‍රවිඩ සටන්කාමී සංවිධාන වලට  සහය දුනි. රටින් පලාගිය දෙමළ ජාතිකයන් ගෙන් විදේශීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය වන්නට විය. තහනම් වූ ජවිපෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හරහා මෙන්ම ග්‍රාමීය තරුණ කොටස් අතරද රහසිගත ලෙස සංවිධානය වන්නට විය. 
    
 මේ සිදුවීම් වලට පසු, පසුකාලීනව  ලෝකයේ ජනප්‍රිය බවට පත්  වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මුලින්ම දියත් කල ජේ ආර් ජයවර්ධන  රජයට වැරදුනි.  අනිකුත් දේශපාලන පක්ෂ වලටද වැරදුනි. ජවිපෙට වැරදුනි. මුළු මහත් ශ්‍රී   ලංකාවටම වැරදුනි. ඒ සෝචනීය කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් මේ පොතේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා අතින් ලියැවී ඇත.

 සෝවියට් ඔපෙරා හා බැලේ  ප්‍රසංග නිර්මාණ පිලිබඳ උණුසුම් මතකයක් විජේවීරට තිබුන බවක් කතුවරයා 160 වන පිටුවේ සඳහන්  කරයි.  "ඔහු බෝල්ශෝයි රඟහලේ රැඟුම් ගැන කියද්දී අපි මහත් රුචියෙන් අසා  සිටියෙමු. 1917 ඔක්තෝබ විප්ලවයෙන් පසු කම්කරුවන්ටද බොල්ෂෝයි රඟහලේ රැඟුම් නැරඹීමට හැකිවන පරිදි ප්‍රවේශ පත්‍ර  මිල අඩු කිරීම හා ඔහු නරඹා තිබු "හංස විලක්" බැලේ රැඟුම ගැන පවසන විට මමද ඒවා මනසින් නැරඹුවෙමි. "

ගාමිණී අවංකව ලියන බව හැඟෙන මේ ප්‍රකාශයන් තුල ජවිපෙ නායකයා හා අනිකුත් සැඟවුණු ක්‍රියාකාරීන් සමග ඔහු වනාන්තරයේ ගත කල දිවිය පිලිබඳ විස්තර ගැබ් වේ. සෝවියට් දේශයේ උගත්තකු වශයෙන් සෝවියට් ජනයාට මේ කියන සංස්කෘතික ජීවිතය තිබූ බව මම දනිමි. 
"මෙකල රෝහණ ආදරය, ප්‍රේමය, අනුරාගය ගැන අප කණ්ඩායම සමග නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු කොහොමත් අවිවාහක සගයන්ට පෙම්වතියන් ජෝඩු කළේය" පි 161. මේ අපට විමතියක් ඇති කරන කියුමකි. අපි දැන  සිටියේ එදා ජවිපෙ සාමාජිකයන් අතර පෙම් සබඳකම් තහනම් කළ බවකි. ගාමිණී ප්‍රකාශ කරන්නේ එයට වෙනස් අදහසකි. 

පොත දොරට වඩින  දිනයේ "සති පූජා දර සෑයේ" ගීතය වාදනය කිරීමට මම ගාමිණී ගෙන් ඉල්ලා සිටියෙමි. විමුක්ති ගීතයක් ලෙස මා දැන  සිටි ඒ ගීතයට මගේ කැමැත්තක් තිබුණු අතර  ඒ ගීතය ලියුවේ නන්දතිලක අමදෝරු යන අය බව මා දැන  ගත්තේ මේ පොතිනි. (පි. 179) අමදෝරු සිවිල් සර්වන්ට් විභාගය සමත් වුවද රැකියාව ලබා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට ගොස් නැත. කතුවරයාගේ දේශපාලන ගුරුවරයා වූ ඔහු අවසානයේ දිවි පිදුවේය.  

ඔහු සිර දඬුවම් විඳින විට පැන යම් සඳහා ද්‍රවිඩ සිරකරුවන්ගේ උපදෙස් පතයි. ඔවුන් සිංහල දේශපාන සිරකරුවන් සමග කතා නොකිරීම ගාමිණීට ප්‍රශ්නයකි.  දෙගොල්ලන්ම ඉන්දීය ආක්‍රමණය ටද  ජයවර්ධන රජයටද විරුද්ධය. "ඇයි උඹලා  අපට කතා නොකරන්නේ". (පි. 237 කියවන්න) මේ ගාමිණී සහෝදරයාම පසු තැනෙක නන්දන වීරරත්න, සිරිමල් විජේසිංහ හා ලමාහේවා සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයට නන්දන විසින්  මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේ ගුණසිංහ, කිර්ති බාලසුරිය වැන්නවුන් ගෙන්වීම ගැනද  පසුව නන්දන  විකොසට එක්වීම ගැනද කණගාටුව පල කරයි. නිර්මාණ සංවාද කුලකයට සහභාගී වූවෙකු මෙන්ම පසුව සුචරිත ගම්ලත් ගේ දේශනා වලටද සහභාගී වූවෙකු ලෙස මටනම් මෙහි කණගාටුවක් නැත. අප විසින් ජාතිවාදී  දේශපාලනය ඒ කාලයේ සිටම ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් ද මෙහි ඇත.  මේ ගැන හොඳ  විශ්ලේෂණයක්  විදර්ශන කන්නන්ගර සහෝදරයා විසින් ඔහුගේ වීඩියෝ පණිවිඩයේ දී  ඉදිරිපත් කරයි. 

පෙසපය මෙහිදී විවේචනයක් එක් කළද සෝමවංශ -විරවංශ ජාතිවාදී සභාගයට එවකට ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂයේ නායකයකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද සිටීම ගැන ඔවුන් විස්තර කරන්නේ කෙසේද? 

ප්‍රථම වතාවට ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂය හා එහි සංයුතිය ගැනද ලියවෙන්නේ මෙහිය. ඒ ගැන අපි ගාමිණී මුතුකුමාරණ  සහෝදරයාට ස්තුති වන්ත වෙමු.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක්සත් රාජධානියේ ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි  මහතාද කතා කළේය.  ඔහු කතුවරයාට තම හෘදයංගම සුභාශිංසන පිරි නැමුවේ මේ පොත අනාගත පරම්පරාවට අතට පත් කල යුතු මහඟු ග්‍රන්ථයක් හැටියටය. .

ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු වූ සෑම් හෙට්ටිආරච්චි  මහතා ගීතයකින් සභාව පිනවීය.   

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දැක්වූ විවේචන වලට නන්දන වීරරත්න සහෝදරයා මෙන්ම ගාමිණී මුතුකුමාරණ සහෝදරයාද අදහස් දක්වන ලදී.

සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  හිනිදුම සුනිල්  සෙනෙවි මහතා වීඩියෝ පණිවිඩයක් එවා තිබූ  අතර ඔහු විසින්  කතුවරයා නිබයව තම මතය හා අත්දැකීම් හෙළි කිරීම අගය කළේය. ඔහු ගාමිණී සහෝදරයාට මෙවැනි පොතක් පල කිරීමේ වටිනාකම පිළිබඳව මුල සිටම දිරිමත් කල බැවින් ඒ ගැන ඉතා සතුටු වන බවද පැවසිය.  

ගාමිණී සහෝදරයගේ මිතුරෙකු වන මහින්ද රූබසිංහ ග්‍රන්ථයේ ඇතැම් පිටු ඇසුරින් වැදගත් මතකයන් රැසක් එලි දැක්වුවේය. සුගත් සෙනෙවිරත්න මහතා ඉංග්‍රීසි  භාෂාවෙන් කල  කතාවේදී මේ පොත අප ඉදිරියේදී සාකච්ඡා කල යුතු බවට සනිටුහන් කළේය.  
 
ජවිපෙ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නරෝද්නික්වාදයක් ක්‍රියාත්මක කළා නොව එළඹුණු මර්දනයට පිළිතුරු දුන් බව කතුවරයා සඳහන්  කරයි. එම අප තව දුරටත් සාකච්චා කල යුතු මාතෘකාවකි. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය  මගින් ඝාතනය කල එජාප සහ වාමාංශික දේශපාලකයන් ගැන කතා කර නැත.   නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යපාරය සුදු පාලකයන් විසින්  දැඩි ලෙස මර්දනය කරන ලදී. නමුත් ඔවුන් විසින් මහා ජනයා පෙලනු වෙනුවට තෝරා ගත්තේ මිශ්‍ර  මගකි. ගාමිණී මුතුකුමාරණ ඉතා නිවැරදි ලෙස එම අදහසම ඉදිරිපත් කරයි. සාමාන්‍ය ජනයා  පෙලීම සහ රාජ්‍ය දේපල විනාශය නොකළ යුතුව තිබු දෙයක් ලෙස ඔහු සඳහන් කරයි.

අවසන් වශයෙන්  බෝල්ෂෙවික් පක්ෂයේ ලේකම්   සුමිත් අතුකෝරාල චේ වැනි කෙනෙකු ලෙස කතුවරයා පහදයි. ගාමිණී මුතුකුමාරණ පුර්ණකාලීන  සාමාජිකයා බෝල්ෂෙවික් පක්ෂයට එකතු වන්නේ සුමිත් සමග සම්මුඛ සාකච්ඡාවෙන් පසුවය.  අර්නෙස්ටෝ චේ ගෙවාරා ගරිල්ලා යුද්ධ පිලිබඳ පොතක් 1969 දී ලියා තිබේ. විජේවීරට හෝ සුමිත් ට එය ඇස ගැටෙන්නට නැත. මේ එහි ලිය තිබෙන දෙයකි.

Guerrilla warfare is used by the side which is supported by a majority but which possesses a much smaller number of arms for use in defense against oppression. The guerrilla fighter needs full help from the people of the area. This is an indispensable condition.  ගරිල්ලා යුද්දයක් භාවිතා කරන්නේ බහුතර ජනතාවක් ගේ  සහය ලබන  නමුත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මර්දනයට එරෙහිව ආරක්ෂාව සඳහා ආයුධ ගත් කණ්ඩායමකි. ගරිල්ලා භටයාට පළාතේ ජනතාවගේ සහය අත්‍යවශ්‍යම වේ. මෙය බිඳ හෙළිය නොහැකි අවශ්‍යතාවයකි.  
 
It is important to emphasize that guerrilla warfare is a war of the masses, a war of the people. The guerrilla band is an armed nucleus, the fighting vanguard of the people. It draws its great force from the mass of the people themselves. ඉතා වැදගත් වන්නේ ගරිල්ලා යුද්ධයක් යනු බහුතරයකගේ, ජනතාවක ගේ යුද්ධයකි.  ගරිල්ලා කණ්ඩායම සන්නද්ධ න්‍යෂ්ටියයි. ජනතාවගේ පෙරටුගාමී සටන්කාමී කොටසයි. එයට තමන්ගේ ඇති මහත් බලය උකහා ගන්නේ ජනතාවගෙනි.  

සුමිත් අතුකෝරාල සහෝදරයා හෝ ජවිපෙ නායකත්වය මේ ගැන සිතුවාද යන්න අපට ප්‍රශ්නයකි.

මම සභාවේ මුලදීම ගාමිණී මුතුකුමාරණ සහෝදරයා වෙනුවෙන් ගීයක් ඉදිරිපත් කලෙමි. ඒ ග්වන්තන මෙරා නමැති ස්පාඤ්ඤ ගීතයයි. සියෙරා මයෙස්ට්‍රා කඳුකරයේ නිතර වැයුන  ගීතයකි. එය මට කියා දුන්නේ සෝවියට් දේශයේ මා  සමග උගත් ලතින් ඇමෙරිකානු සිසුන්ය. එය අහන්න. 

මා එය තෝරා ගත්තේ ගීතයේ පළමු කොටසේ ඇති මේ වදන් නිසාය.
I plant a snowy rose in January and July,
මම හිම රෝස ගසක් ජනවාරියේ සහ ජූලියේ සිටවූයෙමි 
For the open-hearted friend who puts a helping hand in mine
විවෘත හදවතක් ඇති මිතුරෙකු මට දිගු කළ මිත්‍රත්වයේ දෑත නිසාය 
I am a truthful man; I come from where the palm tree grows,
මම සත්‍යවාදීයෙකු  වෙමි, මම පැමිණියේ තල්  ගස් (හෝ පොල් ගස්) වැවෙන පෙදෙසක සිටය    
I am a truehearted man, who comes from where the palm trees grow,
මම සත්‍ය හදවතක් ඇත්තෙකි පැමිණියේ තල වැවෙන පෙදෙසක  සිට 
Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා ඔහුගේ ආත්ම කථනය, ඔහුගේ අතිමහත් ජිවිත අත්දැකීම ඔහුට දැනෙන ආකාරයට ලියා තිබේ. එය විටෙක බියකරුය. විටෙක සුන්දරය. විටෙක ත්‍රාසජනකය. විටෙක වීර කාව්‍යයක් මෙනි. විටෙක  ස්වයං පාපොච්චාරණ වලින් පිරිලාය. මා  එය කියවුයේ විවෘත මනසකිනි.

මම ඔබටද එය කියවීමට අරාධනා කරමි.

මේ ලිපිය මෙතනින් අවසන් නැත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් ධර්මකීර්ති - 28/09/2023

මුලාශ්‍ර - Guerrilla Warfare - Ernesto (Che) Guevera 

ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිගේ පටිගත කළ කතාව


 



Wednesday, 13 September 2023

යාපනේ සුරුට්ටුව



යාපනේ සුරුට්ටුව 
------------------
යාපනයට ගියෙමි මම 

ඒ ප්‍රසිද්ධ සුරුට්ටුව 

ඔතනා   හැටි බලන්නට


ඔහු සිටියේ කටේ ගසාගෙන 

හැකි හැම පැයකම ඒ සුරුට්ටුව

හන්දියේ යාපනේ කඩෙන් අරගෙන  

පස්සෙ  දවසක ගිනිදැලින්  වෙලී ගිය 


ඉරිමා  උදයේ දිවයින පත 

අතින් ගෙන, දෙකකුල් උඩ දමාගෙන 

කියවන්නේ සුරුට්ටුව හපාගෙන


 යාපනෙන් ගෙනා සුරුට්ටුව 

දැල්වූවා ලන්ඩන් ගෙවුයනේදී 

දැනුනා ඒ සුපුරුදු සුවඳ 

හිත කොනේ  නැගුනු සතුටට 

හිනාවක් ආවා මගේ මුවගට 

තේ කෝප්පයෙන්,

සිලෝන් ටී වලින් හැදූ 

උගුරක් දමා ගත්තා මුවගට 

සුරුට්ටු දුමකුත් සමගම
 
- ajith dharmakeerthi 13/09/2023

මේ අවස්ථාව සැලසුවාට යාපනයේ යෝගරාජා ප්‍රසන්න සොයුරාට ස්තූතියි   







Tuesday, 12 September 2023

කකුළු කරිය

ත්‍රිකුණාමලයේ හිමිදිරිය
'මේ ත්‍රිකුණාමලයේ හිමිදිරිය ඡායාරුපය ගත්තේ මාය'

ලංකාවේ ගත කල කාලය ගැන හොඳ  කතා ටිකක් තිබුනත් ඒවා ලියන්නට වෙන්නේ පසුවය.  මේ පින්තූර පළ කිරීමේ උවමනාවක් නොතිබුණද අපේ  හිතවතිය ධම්මිකා චාන්දනී වැට පැන තිබූ නිසා ලිපියක්ම ලියමි. මම වැඩිය කකුළු ව්‍යංජනය  බුදින  පුද්ගලයෙකු නොවූවත් මගේ දියණියන් දෙදෙනා හා බිරින්දෑද එයට කැමතිය. ත්‍රීකුණාමලයේ සිටිද්දී ඒ සඳහා එක අවස්ථාවක් ලැබුණි.

යාපනයේ සිටි දින දෙක තුන තුල ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. පළමු දවසේ රයිස් සහ කරි සොයා ඇවිද ගොස්  නැති තැන වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකට ගොස් තෝසේ සහ දෝසයි කෑවෙමු. ඒක පට්ටය.නැවති සිටි  හෝටලයේ (අප සිටි හැම තැනම  මෙය මෙසේ විය ) දෙන්නේ රයිස් හෝ නූඩ්ල්ස් පමණය. මේ රයිස් කියන්නේ  ෆ්‍රයිඩ් රයිස් වලටය.නමේ  ලොජික් එක මම නොදනිමි. මට ඒවාට වැඩි කැමැත්තක් නැත. මම කන්නේ රයිස් ඇන්ඩ් කරි ය. ලංකාවට ඇවිත් ලංකාවේ කෑම මිස චීන හෝ වෙනත් රටක කෑම ගැනීමට අපේ පිරියක් නැත. 

අපි රයිස් සහ කරි කෑමට කැමති බව දැන ගෙන  යාපනයේ  සිටිද්දී අප මිතුරු ප්‍රසන්න යෝගරාජා වෑන් රථයේ රියදුරු මහතාට අපව 'තල් සෙවණට' රැගෙන යන ලෙස උපදෙස්  දුනි. තල්  සෙවනේදී ඇසුනේ සුපුරුදු සින්දුවමය. 'අඥේ ඒවා ඉවරනේ. කලින් එන්න තිබුනේ. දැන් තියෙන්නේ නූඩ්ල්ස් නුයි, මියා ගොරන් විතරයි." අපි එහි යනවිට දවල් දෙකට පමණ ඇත. ඔබලාගේ කකුළු කරිය හා බත් පොඩ්ඩක් පමණක අප දෙදෙනාට  සෑහෙන බව කීවෙමු. අනිත් අය නුඩ්ල්ස් කන්නට කැමතිය. වේටර් මහතා කීවේ  කකුළු කරිය නම්  කොහොමටවත් නැති බවත් බත් පොඩ්ඩක් දෙන්නට විධිහක් නැති බවත්ය.

ඉන්පසු ප්‍රසන්න හෝ තවත් අයෙකු අපව චුන්නාකම්  තින්නයි කාබනික වගා පොළ Thinnai Organic Farmනමැති  තැනට රැගෙන ගියේය. අහෝ ඛේදයකි. ක්‍රැබ් කරි තියා මොනම කරියක් වත් නැත.  කාබනික වගා කතාව සංචාරකයන් ඇද ගන්නට දැමූ නමකි.  අපි මෙනු එකේ තිබු පලතුරු යුෂ වර්ග ඉල්ලුවෙමු. නැත. සලාද වර්ග ඉල්ලුවෙමු. නැත. අන්තිමේදී පොඩි දුව බැදපු චිකන් කෑ අතර (ලන්ඩනයේදී මම නිතර හදන දෙයක් නිසා)  මම කටේ තියන්නට බැරි මාළු සුප් එක්ක යන්තන් බීවෙමි. එහි මාළු තිබුණාද  නැත්ද යන්න නොදනිමි. සොහොයුරා සහ ඔහුගේ  ළමයින් ගත්තේ නාසි ගොරෙන්ය Nasi goreng. මම එය මැලේසියානු ආපන ශාලා  වලින් භෝජනය කර ඇති බැවින් අපට දුන් එක කිසි සේත්ම නාසි ගොරෙන්  නොවන බව දුටුවෙමි.බෙරි  වුනු  සුදු බත් වලට   රතු පාටක් කලවන් කර  බදින ලද මාළු කැබලි හා ඉස්සන්  කිහිපයක් දමා හැදූ තවත් 'රයිස් ' එකකි. යාපනයේදී මලයාන් ආපන ශාලාවෙන් කෑ වෙජිටේරියන් මීල් එක නම් නියමය. 
  


අපිට  ලන්ඩන් එන්නට  තිබුනේ ඉරිදා උදේ පාන්දරය. සෙනසුරාදා (09) ප්‍රා ජේ , ඔහුගේ පිය බිරිඳ චුලානි ද  දියණියද  අප බැලීමට පැමිණියහ. ඔවුන් සමග  පශු වෛද්‍ය  මිතුරියක් වන අතිගරු දම්මිකා චාන්දනී මැතිතුමියද පැමිණියාය. 

ඔයිට කලින් ප්‍රා ජේ මා නතර වී සිටින තැන ඔහුගේ රහස් ඔත්තු සේවයට ඇතුලත් කර ගන්නට තැත් කළද මම කවදාවත් එන්නට කියා කීවේ නැත. ඔහුට ඈත වැඩි නිසා අනුකම්පාවෙන් ය.  අන්තිමේදී මොකද්දෝ පොත් තුනක් දෙන්නට කියා හේතුවක් හදා ගෙනපැමිණියේය.

 ඔන්නොහේ  ආගිය දේවල් බොරුවට කතා කරමින් සිටියදී දියණියට  කකුළු කරිය එක වරක් පමණක් ලැබුණු බවත් ඉන්පසු සොයා ගැනීමට නොහැකි වුනු බවත්  කියැවුණි.  මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් යන්නට යෝජනා වත් පැමිණියත් . කොළඹ යන්නට මගේ එතරම් කැමැත්තක් නැත. දුර වැඩිය. අනික ඔය වැඩි ගණන් පොෂ් තැන්  වලට ගොස් ඉරා ගන්නට ලොකු අවශ්‍ය තාවයක් ද නැත. ප්‍රාජේ කීවේ පානදුර ඒ පැත්තට ළඟ නිසා ඒ පැත්තේ බලන්නටය. චුලානි ආපන ශාලාවක්ද සොයා ගත්තාය. ප්‍රා යෝජනා කලේ 'ඇයි අජිත් ඔයාගේ යාලුව ඉන්නෙත් එහෙනේ කතා කරලා අහන්න " කියාය.
යාළුවා දීප්තිය. හම්බ වෙන්න සිටි නමුත් හැකි වුනේ නැත. දීප්තිට කෝල් එකක් ගත්තෙමි. දීප්ති කීවේ "ඇයි අජිත් අපි ගිය පාර  චිකන් රයිස් කෑව තැන ක්‍රැබ් තියනවනේ" කියාය. දීප්ති ගේ නිවස ආසන්නයේ නව්රෝ කියා සී ෆුඩ්  ආපනශාලාවක් තිබේ. එහි චිකන් රයිස් එක නම්ර හය. එහෙනම් අපි එනවා කියා දීප්තිට කීවෙමි.














ප්‍රා ජේ ගේ විශාල ලිමොසින් රථයේ නැගී   අපි පස් දෙනාම කෙසේ හෝ  එතැනට ගියෙමු.  යන්තන් අපේ වාසනාවට කරිය නැතත් ක්‍රැබ් තිබුණි. බිත්තර හා ගම්මිරිස් දැමූ ක්‍රැබ් සුප් එක නියමය. කෙලින්ම රෙකමන්ඩ් කරමි. ඉන්පසු ක්‍රැබ් හා වෙනත් සී ෆුඩ්  සහිත ග්‍රිල් තුනක්ද ඇණවුම් කළෙමු. ඒවා ද පට්ටය. එකෙන්ම රෙකමන්ඩ් කරමි. 

 ඒ ඇරෙන්නට කිසිම දේශපාලන කතාවක් නොකෙරුණු බව සහතික කර කියමි. දීප්ති වෘත්තිකයන්ට  බදු ගැහීම  ගැන විරුද්ධ බවක් නොපෙනෙන  නමුත් මම විරුද්ධය. මගේ අදහස ගහනවානම් හැමෝටම බදු ගැසිය යුතු බව ය. හැමදාම බදු බරින් පීඩා විදින වෘත්තිකයන් ගේ බදු වැඩි කිරීමට මම විරුද්ධ වන්නේ ගන්නට ලෙහෙසි තැන නිසා ආණ්ඩුව එය කරන හෙයිනි.   දීප්ති කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ගෙන්    60%  පවර්ටි ලයින් එකෙන් යට බවත් ඔවුන් වක්‍රව බොහොමයක් බදු ගෙවන බවත්ය. (දිළිඳු කම පිලිබඳ රේඛාවට යටින්) -The poverty line is the minimum amount of money a person needs to fulfill the basic necessities of life, like shelter and food. When families are below the poverty line, they qualify for help from the government. ඒ කියන්නේ ජනතාව ගෙන් සියට හැටක් නිවස හා ආහාර හරිහැටි  නොලැබී දුක් විඳින බවය. මම මේ ගිය චාරිකාවේ වැඩි පුරම දැක්කේ කන බොන එවුන්ය. ඒ අතරේ දිළිඳු අය සිටි බවද  ඔවුන්ගෙන් සමහරුන්ට මුදල ආධාරද කල බවද සඳහන් කරමි. පොළොන්නරුවේ හමුවූ වයසක අම්මා කෙනෙකුට ඒ දිනවල විෂන් කෙයාර් එකෙන් ගත් උපැස්  යුවලක්ද  පරිත්‍යාග කළෙමු. ලංකාවේ අය  සෑහෙන්න දැන් ලෝකල් චාරිකා යති. මේ ගිය අවන්හලද කටටම පිරිලාය. ඒ නිසා  මේ කතාව ඇත්තද කියා  අහන්න වෙන්නේ අපේ මිතුරු එකොනොමැට්ස් ගෙන්ය.
 
දීප්ති තමන් මේ සීයට හැට වෙනුවෙන් පෙනී සිටින  බව කියයි. එතකොට මම ඇහැව්වේ ඉරාජ් ල හෙම ගෙනාවේ ඒක  අහන්නද?  වැඩේ ටිකක් කොන්ට්‍රොවර්ෂල් නේද?" කියාය.   "ආ එයාලා ගෙනාවේ කොන්ට්‍රොවර්ෂල් වුනහම අපේ එවුන් බලන නිසා " කියා දීප්ති කින්ඩි හිනාවක් දැම්මේය. ඒකත් ඉතින් ඇත්තය. හොඳ මාකටින් නරක මාකටින් කියා දෙයක් නැත. 

අපව නැවත ගම් තුලානට  ගෙනත් බැස්සවීම ගැන ප්‍රා ජේ ටද ලිමොසින් එකටද ස්තුති වන්ත වෙමි. 







Monday, 14 August 2023

පිළිකා කොර්පුසය - සොල්ෂෙනිට්සින් -පරිච්චේදය 1

මෙම  පිළිකා කොර්පුසය පොත  , "පිළිකා වාට්ටුව" නමින් අනුලා ද සිල්වා මහත්මිය පරිවර්තනය කර තිබේ. එය කුඩා පොතකි. මට ඌවේ  එච් බි ගුණරතන මහතා පැවසූ අයුරින් එහි සම්පූර්ණ කතාව නොව ඇත්තේ සංක්ෂිප්තයකි.  එනිසා කිසියම් අවස්ථාවක මේ පරිවර්තනය කල යුතු යයි සිතා සිටියෙමි. මේ එහි අරම්භයයි.   පිලිකා  කොර්පුසය යන වචනයම පිළිකා වාට්ටුව යනුවෙන් වරදවා පරිවර්තනය වී ඇත. කොර්පුසය යන වචනය වාට්ටුව නොවේ.  රෝහල් වාට්ටුව රුසියානු භාෂාවෙන්  බල්නිච්නයා පලාතා යනුවෙන් හැඳින් වේ.  එසේනම් කතුවරයා වන ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් කොර්පුස් යන වචනය භාවිතා කලේ ඇයි? කොර්පුසය යනු නවාතැනක (හොස්ටල්) එක  ගොඩ නැගිල්ලකි.    උදාහරණයක් වශයෙන් ස්තුදෙන්චෙස්කි ඔබ්ස්හෙශිතිය යනු ශිෂ්‍ය නවාතැන ය. එහි කොර්පුස් එක යනු පළමු ගොඩ නැගිල්ලය. කතුවරයා මේ වචනය පොතේ නමට යෙදීමෙන්  අදහස්  කරන්නේ මේ පිලිකා  රෝහලේ බෙහෙත් නොලැබෙන බවය. නවාතැන යනු තවකාලික දෙයකි. ඔබ නවාතැනක සිටින්නේ තාවකාලිකවය. ඒ නිසා මේ පිලිකා  කොර්පුසයේ නවතින දෙනා  එහි නවතින්නට එන්නේ තාවකාලිකවය. එතනින් යන්නේ සදහටම  නැවත නොඑනා තැනකටය. එම නමේ තේරුම එයයි. 

පිළිකා කොර්පුසය 

පරිච්චේදය 1 -කොහෙත්ම පිළිකාවක් නැත 

වෙනත් අංකයන් තිබෙද්දීත්  පිළිකා වාට්ටුවේ  නොම්මරය වූයේ 13 ය. පාවෙල් නිකොලායෙවිච් රසානොව් කවදාවත් මිත්‍යා විශ්වාස ඇදහුවේ හෝ එසේ අදහන්නෙකු වූයේ නැති වුවත් ,   "වාට්ටුව අංක  13 " ලෙස ලියූ   ඇතුළු වන පෝරමය  අතට ලැබුන විට ඔහුගේ හද කඩා වැටුණේය.  අවම වශයෙන් කැඩුණු අවයව වලට කෘතිම ඒවා පාස්සන  වාට්ටුවට හෝ  ප්‍රසව විද්‍යා  වාට්ටුවට හෝ  එම  නොම්මරය  දමන්නට කාටවත් සිහි වූයේ නැත.

කෙසේ හෝ වේවා, මෙම වෛද්‍යායතනය හැරෙන්නට  ජනරජයේ වෙනත් කිසිදු තැනක ඔහුට උදව් කිරීමට තැනක් තිබ්බේ ද නැත.

"කොහොම හරි  මට - --පිළිකාව නැහැ නේද, දොස්තර? මට ..කොහොමටත් ---පිළිකාව --නැහැ හරි? "

පාවෙල්  නිකොලායෙවිච් බලාපොරොත්තු සහගතව ඇසුවේ,  තමන්ගේ ගෙලේ දකුණු පස, තරහකින් මෙන් දවසින් දවස පිම්බී  එන, නමුත් බැලූ බැල්මට කිසිදු වණයක් නොපෙනෙන සුදු සමකින් යුත් පිළිකා  ගෙඩිය සෙමින් අතගාමිනි.

"දෙයියන්ගේ නාමෙට නැහැ , සත්තකින්ම නැහැ" , දහවෙනි වතාවටත් ඔහු සනසවමින් දොස්තර දන්සොවා  තෙපළේ,  පිටු ගණනක් පුරා රෝග ඉතිහාසය  තම අත් අකුරින්ම ලියමිනි.  යමක් ලියන විට ඇය තම හතරැස් එහෙත් අග්ගිස්සෙන් රවුම් වූ  කණ්නාඩි කුට්ටම පැළඳ සිටියත්, ලියා අවසන් කළ වහාම   කණ්නාඩි යුවල ගැලවූවාය. තව දුරටත් තරුණ වියේ නොවූ  ඇයගේ සුදුමැලි වූ මුහුණින් දැඩි  විඩාබර බවක් දිස් විය.

එය සිදුවුනේ මිට දවස් කිහිපයකට පෙර බාහිර රෝගීන් පිලි ගන්නා තැන දින කිහිපයකට ඉහතදීය. පිළිකා වාට්ටුවට  අනුමත කෙරුණු රෝගීන්ට  පමණක් නොව , සමහර විට බාහිර රෝගීන් ලෙසින් සඳහන් කෙරුණු අයටත් , ඊළඟ රැයේ නිදා ගැනීමට හැකි වූයේ නැත. එහෙත්  වෛද්‍ය දන්සොවා ,පාවෙල් නිකොලායෙවිච් ට ක්ෂණයකින්ම ඇඳට යාමට නිර්දේශ කළාය.

 බලාපොරොත්තු නොවූ ලෙස, කිසි  සූදානමක් නොමැතිව, හමාගිය සුළඟක  හඬ මෙන් සති දෙකක්ඇතුළත මේ මිනිසා සිටියේ  කිසිදු බරක් පතලක් නැතිවය. නමුත් මේ රෝගයෙන්ම වධයක් විඳිමින් පාවෙල් නිකලයේවිච්ට රෝහලට ඇතුළු වීමට සිදු වූයේ සාමාන්‍ය  රෝගියෙකු පරිද්දෙන්ය. අවසාන වතාවට ඔහු රජයේ රෝහලක සිටියේ කවදා දැයි ඔහුට මතකයක් තිබ්බේ නැත. බොහෝ කලකට පෙර විය යුතුය.  යෙව්ගිනි සිමිනෝවිච් ට, ශෙන්ද්‍යාපීනු ට, උල්මසබායෙව් ට දුරකතනයෙන් කථා කර තිබූ අතර, ඔවුන්  විසින් තම තමන් දන්නා හඳුනන අයට කතා කරමින් ද  උත්සාහ  ගත්තේ එම රෝහලේ විශේෂ වී අයි පී  වාට්ටුවක් හෝ සමහර විට වෙනම කාමරයක් විශේෂිත එකක් ලෙස සකසා හෝ ලබා ගත හැකිදැයි කියාය. රෝගීන් පිරී සිටි  රෝහලේ එම ප්‍රයත්නයන් පළ දැරුවේ නැත.

ඒ කෙසේ වෙතත් ප්‍රධාන වෛද්‍යවරයා හරහා  කතා බහ කර ලබා ගත හැකිවූ එකම දෙය නම්,  රෝහලට ඇතුළු කර ගන්නා  තුරු නැවතුම් ශාලාවේ හිඳීමට  සිදු නොවීම, ඇඳුම්  මාරු කරගැනීමට සිදු නොවීම හා  පොදු නෑමට සහභාගී වීමෙන් වැළකී සිටීමට ලැබීමත්ය

තමන්ගේ නිල්  පැහැති  මොස්ක්විච් රථයෙන් යූරා,  තම මව හා පියා ව දහතුන්වන වාට්ටුවේ පඩි පෙළ අසලටම ගෙන ආවේය.

අවට අතිශයින්ම ශීතල වුවද, ඒ ගැන මදකුදු නොසලකමින්  කඩදහි මෙන් මැදපු සාත්තු සේවිකා කබා හැඳි ගැහැනුන් දෙදෙනෙකු රෝහලේ ගලින් බැඳි ඉදිරි අංගනයේ සිටගෙන උන්හ.

එම අවලස්සන සාත්තු  සේවිකා කබාය වලින් පටන් ගෙන මෙහි ඇති අනිත්  සියලු දේ පාවෙල් නිකොලායෙවිච් ට  රිසි වූයේ නැත. ඉදිර අංගනයේ සිමෙන්ති පොලොව දහස් ගණන් පාද වලින් ගෙවී ගොස් තිබුණි. කුළුණු මත නැංවුණු  දිරා ගිය සිමෙන්ති වහලද, රෝගීන් නිතර ඇල්ලීම නිසා ගෙවී ගිය  යන ටුලා නගරයේ තනනලද දොරවල  සොයිබද,  තීන්ත ගැලවී ගිය  බිත්ති සහිත පිළි ගැනීමේ අංශයද ,  දුර්වර්ණ ඔලිව් පැහැ  ගත් ඉතා උස බිත්ති ද (ඔලිව් පැහැය කොහොමටත් අපිරිසිදු ලෙස පෙනුනි) සහ බොහෝ රෝගීන්ට ඉඩක් නොතිබුණු  විශාල දිග බංකු ද එහි විය.  ඒවායේ සහ ඒ අසල පොළොවේ වැතිර උන්නේ  ඉතා ඈත පෙදෙස් වලින් පැමිණි රෝගීන්ය.  පුළුන් වැනි දෙයක් ඔබ්බා මහතාට පෙනෙන සේ සකස් කළ  කබා හැඳ   උන්  උස්බෙක් වරු, සුදු දිග පොරෝනා පැළඳ සිටි මහලු උස්බෙක් ගැහැණු සහ රතු සහ කොළ සහ  දම් පැහැති ඇඳුමින් ද සැරසී සිටි තරුණ උස්බෙක් ගැහැණුද එහි වූහ. ඒ සියල්ලෝම වතුර ඇතුලට නොඒමට ගලෝෂි නැමති  උස සපත්තු පැළඳ සිටියහ.

එක් තරුණ රුසියානුවෙක් පමණක් මුළු බංකුවක්ම තම භාවිතයට ගෙන දිග ඇදී සිටියේ බිමටද  ඇදී තිබුණු දිලිසෙන  කබායක් පොරවාගෙන , තමන්ගේ ඉදිමුණු කුස අල්ලාගෙන වේදනාවෙන් මොර දෙමින්ය. පාවෙල් නිකොලාවිච් ගේ කන් අගුලුලමින්  ආ ඒ  වැළපීම ඔහුට දැනුනේ රෝගී තරුණයා වැළපෙන්නේ  ඔහු වෙනුවෙන් නොව රුසානොව් වන තමන් පිළිබඳව බවයි.
 
 සුදුමැලිව ගිය මුහුණින් එතනම නැවතුණු පාවෙල් නිකොලායෙවිච් බිරිඳට කෙඳිරුවේය.

-"කාපා , මම මෙතන මැරෙයි. මෙතැන නවතින්න අවශ්‍ය නැහැ. ආපහු යමු."

ඔහුගේ අත තදින් මිරිකාගත්  කපිතලිනා මත්වෙයේවා පැවසුවේ,

-පාෂේන්කා, කොහෙටද අපි ආපහු යන්නේ?ගිහිල්ල මොනවා කරන්නද ?

-"ම්හ් , සමහර වෙලාවට, මොස්කව් වලදී අපිට හරි ගියොත්."

කපිතලිනා මත්වෙයේව්නා  සැමියා දෙසට හිස හැරවුවාය. ඇගේ විශාල පළල් හිස තවත් පළලට පෙනුනේ දෙපසට විසිරුණු ඝන කෙස් කැරලි නිසාය.

"පාෂෙන්කා ,  අපි මොස්කව් ගියොත්  තව සති දෙකක් වත් ඉන්න වෙයි.  සමහර විට එහෙට  යන්න බැරි වෙන්නත් පුළුවන්. අපි තවත් බලන් ඉන්නේ කොහොමද? හැමදාම උදේට මේක ලොකු වෙනවනේ. "

ඇය  ඔහුගේ අතේ මැණික් ඇටය ප්‍රේමාන්විතව තදින් මිරිකා තම ධෛර්යය ඔහුටද දීමට උත්සාහ කළාය. රාජකාරි කටයුතු වලදී සහ වැසියන් ගේ කටයුතු වලදී පාවෙල් නිකොලායෙවිච් ස්වාධීනව  කෙලින් වැඩ කළ මිනිසෙකි.  ඔහුගේ පවුලේ කටයුතු වඩා සන්සුන් හා සතුට දනවන දෙයක් වූයේ බිරිඳ එය බලා කියාගත් බැවිනි. සෑම  දෙයක් ගැනම  ඉක්මණින් හා නිවැරදිව  තීරණ ගැනීමට ඇයට හැකියාවක්  තිබුණි.

බංකුවේ වැතිරී සිටි තරුණ රුසියානුවා තවමත් අවට දෙදරුම් කවමින්  විලාප දුන්නේය.

"සමහර වෙලාවට වෛද්‍යවරයා එයි අපේ ගෙදර? අපට ගෙවන්න පුළුවන් එයාලට " පාවෙල් නිකොලාවිච් තමන්ටම විශ්වාස නැති ලෙසින් වාද කළේය.

"පාසික්" ඔහු ගේ බිරිඳ තදින් කෑ ගැසුවේ ඇයද ඔහු තරම්ම වේදනා විඳි බැවිනි.
"ඔබ දන්නවා මම තමයි ඉස්සෙල්ලම එකඟ වෙන්නේ එහෙනම්.  දොස්තර කෙනෙක් ගෙන්වන්නයි ගාණක් ගෙවන්නයි ඒකට. නමුත්, අපි මේක ගැන කලින් කතා කළානේ. මේ දොස්තරලා ගෙදරදී වෙදකම් කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මුදල් ගන්නෙත් නැහැ දුන්නත්. ඒ මදිවට ඔවුන්ගේ වෛද්‍ය උපකරණ එක්ක කොහොමත් ඔය දේ කරන්න බැහැ." .

එය කළ නොහැක්කක් බව පාවෙල් නිකොලායෙවිච් හොඳින් දැන සිටියේය. ඔහු එය මතක් කලේ තමන් මොනවා හෝ කිව යුතු යැයි සිතුනු බැවිනි.

ඔන්කොලොජි චිකිත්සාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා සමග කතාබහ කරගත් පරිදි, හරියටම සවස දෙකට සාත්තු සේවා පාලිකාවක (මේට්‍රන්වරිය)  ඔවුන් බලාපොරොත්තුවෙන් කිහුලි කරු දෙකක් වාරුවෙන් රෝගියෙකු හෙමින් හෙමින් බසින පඩිපෙළ පහල සිටිය යුතු විය. එහෙත් මේට්‍රන් කෙනෙකු පෙනෙන්නට  සිටියේ නැති අතර ඇගේ කුඩා කාමරය  ද ඉබ්බෙකු දමා වසා තිබුණි.

"මේ කිසි කෙනෙක් විශ්වාස කරන්න බැහැ " කපිතලිනා මත්වෙයෙව්නා කෝප ගත්තාය.
"ඔවුන්ට ගෙවන්නේ මොනවටද?"
එසේ කියමින්ම රිදීපැහැ  හිවලුන්ගේ  හමින් සාදන ලද අගනා ලොම් වැස්ම  සහිත කබාය පැළඳගෙන සිටි ඈ  කොරිඩෝරය දිගේ ඇවිද ගියේ  "පිටතට පළදින ඇඳුම් වලින්  ඇතුළුවීම තහනම්" යයි දක්වා ඇති දැන්වීම් පුවරුවද පසු කරගෙනය.

පාවෙල් නිකොලායෙවිච් නැවතීමේ කාමරයේ දිගටම සිටගෙන සිටියේය. දිරියක් නැත්තකු විලසින් ඔහු බෙල්ල යන්තමට දකුණට හරවා  අකු ඇටය හා හක්ක අතරින් පැන නැගුනු පිළිකා ගෙඩිය අත ගෑවේය.ඔහුට සිතුනේ පැය භාගයකට පමණ ප්‍රථම අවසන් වතාවට කණ්ණාඩියෙන් බලද්දී පෙනුනාට  වඩා මෆ්ලරයෙන් (හිස වසන සළුව)  වසා ඇති පිලිකා ගෙඩිය තවත් විශාල වී ඇති බවය.  දුබල ගතියක් දැනුණු පාවෙල් නිකොලායෙවිච් ට හිඳ ගැනීමට අවශ්‍ය විය. නමුත් බංකු අපිරිසිදු ලෙස පෙනුණු අතර උරසළුවක්  (ස්කාෆ් ) පොරවාගෙන දෙපා අතර ගෝනි මල්ලක් ද තබාගෙන එහි වාඩිවී සිටි ගෙවිලියට මදක් එහාට වී ඉඩදෙන්නට කිව යුතු විය. කෙසේ හෝ වේවා  ගෝනි මල්ලෙන් නැගුනු දුර්ගන්ධය ඈත සිටම ඔහු ගේ නහයට වදිනු ඔහුට  දැනුනි.

අපේ මිනිස්සු කවදද ඉගෙන ගන්නේ පිරිසිදු, පිළිවෙලකට ඇති සූට්කේස් ගෙනියන්න! (හැබැයි ඉතින්, දැන් ඔහුට මේ පිළිකා ගෙඩිය තියෙන නිසා ඒකෙන් ඇති වැඩකුත් නැහැ .)

තරුණයාගේ ඝෝෂාකාරී  හැඬුමින් සහ ඔහුට ඇස දුටු දෙයින්  සහ නාසයට රින්ගුනු දෙයින්ද  දැඩි ලෙස වද විඳි   රුසානොව් කොට බිත්ති කොටසට ඇලවී සිට ගත්තේය. ගොවියකු කහ පාට ද්‍රවයක් සහිත, ලේබලයක් ගසා ඇති භාග  ලීටරයේ විදුරු බෝතලයක් ඔසවාගෙන පැමිණියේය. බෝතලය සැඟවීමට කිසිදු වෙහෙසක් නොගත් ඔහු එය ජයග්‍රාහී ලෙස ඔසවාගෙන සිටියේ හරියට පෝලිමේ සිට වෙහෙසවී ලබාගත් බියර් ජග්ගුවක්  මෙනි. පාවෙල් නිකොලායෙවිච් ට බියර් ජග්ගුව දෙන්නට මෙන් ඔහු ඉදිරියේ යමක් කියන්නට මෙන් සිටගත් ගොවියා, ඔහුගේ සීල් මත්ස්‍යයන්ගේ හමින් සාදන ලද වටිනා  හිස් වැසුම දැක ඉවතට හැරුණේය. මදක් වටපිට බැලූ ගොවියා කිහිළිකරු මත සිටි රෝගියා ඇමතුවේය.
"මේක මම කාටද දෙන්න ඕනේ, සහෝදරයා? "
දෙපා විරහිත මිනිසා පරීක්ෂණාගාරයේ දොරටුව දෙසට අත දිගු කළේය. පාවෙල් නිකොලායෙවිච් ට වමනය එන සෙයක් දැනුනි.
 
බාහිර දොරටුව නැවත විවෘතව සුදු කබායක් හැඳගත් මේට්‍රන් වරිය ඇතුළට පැමිණියාය. ඉතා දිගටි මුහුණක් ඇති ඇය පියකරු තැනැත්තියක් නුවූවාය.  සැණෙකින්ම පාවෙල් නිකොලායෙවිච් දුටු ඈ , ඔහු කව්දැයි අනුමාන කර ඔහු වෙතටම පැමිණියාය.

"මට සමාවෙන්න " ඈ පැවසුවේ අපහසුවෙන් හුස්ම අල්ලමිනි.  ඇගේ තදියමට කම්මුල දෙතොලේ ලිප්ස්ටික් පැහැයම ගති. "කරුණාකරලා මට සමාවෙන්න. ඔබ හුඟක් වෙලා බලා සිටියාද ? ඔවුන් ඖෂධ වගයක් ගෙනාව නිසා මට එතනට ගිහින් අත්සන් කරලා භාර ගන්න වුනා "

තද පරුෂ ලෙස පිළිතුරු දිය යුතු යයි පැන නැගුනු සිතිවිල්ල  පාවෙල් නිකොලායෙවිච් අපහසුවෙන් යටපත් කර ගත්තේය. කබාය හෝ හිස් වැසුම නැතිව  තමන්ගේ ඇඳුම් කට්ටලය පමණක් ඇඳ සිටි යූරා ඉදිරියට ආවේ සූට්කේසය සහ අවශ්‍ය ද්‍රව්‍ය  අඩංගු මල්ලක්ද සමගිනි. රන්වන් කෙස් රොදක් ඔහුගේ නළලෙහි රැඟුවේය. ඔහු ඉතා සන්සුන්ය.

"මාත් එක්ක එන්න " පැවසූ මේට්‍රන්වරිය පඩිපෙළ යට පිහිටි ගබඩා කාමරයක් වැනි ඇගේ කන්තෝරුවට යාමට පෙරමුණ ගත්තාය.
 "නිසමුට්දින් බහ්රමොවිච් කිව්වා ඔබ ඔබේම යට ඇඳුම් සහ නිදි ඇඳුම් රැගෙන එනවා කියල ඒවා ඇඳපුවා නෙමේ නේද "

"කෙලින්ම සාප්පුවෙන් "

"මේක  තනිකරම අනිවාර්යයි, එහෙම නැත්නම් ඒවා විෂබීජහරණය කරන්න ඕනේ, ඔබට තේරෙනවද? මෙන්න , මෙතැන ඔබට ඇඳුම් මාරු කරගන්න පුළුවන්."
ප්ලයිවුඩ් වලින් තැනුණු දොර විවෘත කළ ඇය විදුලි ලාම්පුව දැල්වූවාය. බෑවුම් ව ගිය සීලිම සහිත ජනේලයක් නැති කුඩා කන්තෝරුවේ බිත්ති පුරා පැන්සලින් ඇඳි රූප සටහන් එල්ලා තිබුණි.

යූරි නිහඬවම සූට්කේසය ඇතුළට ගෙනවිත් කාමරයෙන් ඉන්පසු ඉවතට ගියේය. පාවෙල් නිකොලායෙවිච් ඇතුලට පැමිණියේ  ඇඳුම් මාරු කර ගැනීමටය. ඒ අතරේ මෙට්‍රන්වරිය එතනින් කොහේදෝ පැන යන්නට ලැහැස්ති වුනත් කපිතලිනා මත්වෙයෙව්නා ඇය හසු කර ගත්තාය.
"නර්ස්, ඔබ හදිසියකින් වගේ " ඇය කීවාය.
"ඔව් ඇත්තෙන්ම "
  "ඔබේ නම මොකක්ද "
"මීතා"
"ඒක අමුතු නමක්. ඔබ රුසියානු නොවේ නේද? "
"නැහැ, ජර්මන්..."
"ඔබ එනතුරු අපට බොහෝ වෙලාවක් බලා සිටින්නට වුනා "
  "ඔව්, මට සමාවන්න , මට අත්සන් කරන්න වුනා මේ ...."
"මේ අහන්න මීතා. ඔබ කිසියම් දෙයක් දැනගත යුතුයි. මගේ ස්වාමිපුරුෂයා  ඉතා වැදගත් පුද්ගලයෙක් වගේම ඔහු අතිශයින්ම වටිනා රාජකාරියක් කරන කෙනෙක්. ඔහුගේ නම් පාවෙල් නිකොලායෙවිච්"
" මට තේරෙනවා. පාවෙල් නිකොලායෙවිච් නේද  , මට මතක් වෙයි නම "
"ඔහු හොඳින් රැක බලා ගත්  අයෙක්. නමුත් දැන් ඔහු අතිශයින් අසාධ්‍ය තත්වයක ඉන්නේ.  ඔහු සඳහාම පමණක්  නිත්‍ය හෙදියක් යොදන්න බැරිද'"

මිතා ගේ කරදරකාරී පෙනුමක් ගත් මුහුණ තවත් කලබල වූ බව පෙනුණි. ඇය හිස වැනුවාය.
"ශල්‍යාගාරයේ සේවයේ නියුතු හෙදියන් තිදෙනා ඇරුනහම අපටද දිවා කාලයේ දී  රෝගීන් හැටක් බලා ගන්න  හෙදියන් තිදෙනෙකුත් රාත්‍රී මුරයට හෙදියන් දෙදෙනෙකුත් පමණයි සිටින්නේ."

"ඔබට  තේරෙනවද! මිනිහෙක් මිය යන ගමන් තමන්ගේ හිස පුපුරුවා යන තරමට කෑ ගැහුවත් කවුරුත්  එන එකක නැහැ බලන්න."

"ඔබ එහෙම හිතන්නේ ඇයි? හැමෝටම අප එකවගේ  අවධනය යොමු කරනවා "
('හැමෝටම' -ඇයට මොනවා කියන්නද ඇය "හැමෝම" ගැන නම් කතා කරන්නේ) 

"හෙදියන් වැඩ කරන්නේ මුරයටද?"

"ඔව්, ඒක හරි. ඔවුන් සෑම පැය දොළහකට වරක් වෙනස් කරනවා."

"මේක හරිම අමානුෂික සැළකීමක්. හරිම දරුණුයි.මගේ  දියණියයි මමයි මාරුවෙන් මාරුවට එයා   ගාව ඉන්නම්. එහම් නැත්නම් නිත්‍ය හෙදියක් එයා ගාව  තියන්න, මම ගෙවන්නම් මගේම මුදල් වලින්. නමුත් එයාල කියනවා  ඒකට අවසර දෙන්න බැහැ කියල. "

"ඇත්තටම බැහැ. එහෙම  දෙයක් මීට කලින් කරලත්  නැහැ.  අනිත් එක වාට්ටුවේ කිසිම තැනක පුටුවක් තියන්න ඉඩක් නම්  නැහැ. 

"දෙයියනේ , මට හිතා ගන්න පුළුවන් මේ වාට්ටුව මොන වගේද කියල.! මම ගිහිල්ල හොඳට හොයල බලන්න ඕනේ. ඇඳන් කීයක් තියෙනවද?"

"නමයයි. ඔබේ ස්වාමිපුරුෂය හුඟක් වාසනාවන්තයි මේ වාට්ටුවට කෙලින්ම එන්නට ඉඩ ලැබීමෙන්ම.  අලුතින් ආපු සමහරු ලෙඩ්ඩු වැටිලා ඉන්නේ පඩිපෙළ දිගෙයි , කොරිඩෝවෙයි."

"මම ඔබෙන් ඉල්ලා සිටින්නේ පාවෙල් නිකොලායෙවිච් ව බලා ගන්න නිත්‍ය හෙදියක් හරි සාත්තු සේවකයෙක් හරි යොදවන්න කියල. ඔබ මෙහෙ සිටින අය අඳුරන නිසා ඔබට එය සංවිධානය කරන එක පහසුයි." ඇය විශාල කළු පැහැ අත්බෑගය විවෘත කර රූබල් පහනහේ නෝට්ටු තුනක් අතට ගනිමින්ම  පැවසුවාය.

අසල සිටගෙන සිටි ඇගේ පුතණ්ඩියා ඔලුව හෙමි සීරුවේ පැත්තකට හරවා ගත්තේය.

මීතා ඇගේ දෙඅතම පිටුපසට කර ගත්තාය.

"එපා, එපා ,  මට අයිතියක් නැහැ ගන්න "

"මම මේවා ඔබට නොවේ දෙන්නේ. " කපිතලිනා මත්වෙයෙව්නා මුදල් නෝට්ටු ප්‍රධාන මේට්‍රන්වරියගේ ඒප්‍රනයේ සාක්කුවට ඔබමින් කීවාය. මට මේක නිත්‍යානුකුලව හෝ උඩින් එන අණක් හරහා කරන්න බැරිනම් ..... මම කරන එකම දේ මේ ලැබෙන සේවයට මුදලක් ගෙවීම පමණයි. මම ඔබෙන් ඉල්ලන එකම දේ මේ මුදල් නිවැරදි පුදගලයන්ට ලබා දෙන්න කියල විතරයි."

"එපා , එපා " මේට්‍රන් වරියගේ සිරුර  පුරා සීතලක් හඹා යනු ඇයටම දැනුනි. "ඒ  වගේ දේවල් අපි මෙහෙ කරන්නේ නැහැ".

කිරීස් ගා ශබ්දයක් නගමින් පාවෙල් නිකොලායෙවිච් ප්‍රධාන සාත්තු සේවිකාවගේ ගුහාවක් වැනි  කාමරයෙන්  පිටතට පැමිණියේ  ඔහුගේ නවතම  කොළ සහ දුඹුරු පිජාමය හැඳ, උණුසුම් සත්ව ලොම් වලින් නිමැවුණු  නිදන කාමර වලට  හරියන පාවහන් දෙකක් ද පැළඳ ගෙනය.   සෑහෙන දුරට තට්ටය පෑදුනු හිස මත ඔහු උස්බෙක් වරුන් අඳින පැතලි හිස් වැස්මක් පැළඳ සිටියේය. ඔහු තම ශීත කබාය මෙන්ම හිස වසාගෙන සිටි මෆ්ලරයද ඉවත් කර සිටි නිසා, මිටි කරගත් හස්තයක පමණට වූ ඔහුගේ පිළිකා ගෙඩිය පෙනුනේ අවාසනාවන්ත ලකුණක් මෙනි.    ඔහුට තව දුරටත් හිස කෙළින් තබා ගැනීමට නොහැකි  වූ නිසා, ඔහු සිටියේ  හිස මදක්  ඇලයට හරවාගෙනය. කාමරයට ගිය ඔහුගේ පුතා පියා ඉවත ලත් ඇඳුම් ටික ගුලි කර සූට්කේසයට දැම්මේය. කපිතලීනා මත්වෙයේව්නා මුදල් නැවතත් ඇගේ අත් බෑගය තුලට රුවා ගත්තාය. ඇය ඇගේ සැමියා දෙස බැලුවේ කණස්සල්ලෙනි. 
"ඔයා ශීතලෙන් ගල් වෙන්නේ නැත්ද ඔහොම?   නිවසට අඳින හොඳ උණුසුම් ලෝගුවක්  අරන් එන්න තිබුණනේ ඔයාට. මම අරන් එන්නම් ආයේ එනකොට"

"මෙන්න, ගෙල  වහන්න සළුවක්" ඇය ස්කාෆ් එකක් කබායේ සාක්කුවෙන් ගත්තාය. "මේක ඔයාගේ උගුර වටේ ඔතා ගන්න. ඔයාට හෙම්බිරිස්සාව හැදෙන්නේ නැති වෙන්න" රිදී පැහැ  හිවල් සමින් ගෙල වැසුනු විශාල ලෝම කබායක් හැඳ සිටි ඇය සැමියාට වඩා තුන් ගුණයක් ශක්තිමත්ව පෙනුනි. 
"දැන් යන්න වාට්ටුවට, ගිහිල්ල තැන හදා ගන්න. ඔයාගේ කෑම ටික අඩුක් කරගෙන හිතන්න තව මොනවාද ඕනෙ කියල. මම මෙතන ඉඳගෙන ඉන්නවා. ඔයා හොඳට බලල ඇවිත් මට කියන්න , මම හවසට එනකොට අරන් එන්නම්. "
   
ඇය කවදාවත් ඔළුව  වරද්දා ගත්තේ නැත. ඊළඟ පියවරට කරන්නේ කුමක්ද යන්න ඇය හොඳින් දැන සිටියාය. ඔවුන් එක්ව ගතකල ජීවිතයේ තම සැමියාගේ සත්‍ය ගමන් සගයා වූයේ ඇයයි. පාවෙල් නිකොලායෙවිච් ඇයට සංග්‍රහ කළේ  ස්තූතිය හා ශෝකය එකවර පළ කරන්නාවූ බල්මකිනි.  ඔහු පුතු දෙස බැලුවේය.
"එහෙනම්, ඔබ යනවා, යූරි "
"මම හවස කෝච්චිය ගන්නවා තාත්තේ" ඔහු ඔවුන් ඉදිරියට පැමිණියේය.  ඔහු සැම වීමට සිය පියා ඉදිරියේ හැසිරුනේ ගෞරව සම්ප්‍රයුක්තවය. ඔහු ස්වභාවයෙන්ම හැඟුම්බර මිනිසකු නොවූ අතර පියා සමග ඔහුගේ සමු ගැන්මද හැඟීම් විරහිත එකක් විය. ජීවිතය පිලිබඳ ඔහුගේ ප්‍රතික්‍රියාවන් අඩු වෝල්ටියතාවයෙන් යුත් එකක් විය. 

"ඒක හරි, පුතා. මේක ඔබගේ ප්‍රථම වැදගත් නිල චාරිකාව. විශ්වාසවන්ත බව සහ මුල ඉඳන්ම නිවැරදි මගක් ගන්න එක තමා කළ යුත්තේ. ඔබේ මුදු බව ඔබේ පරිහානියට හේතු වෙන්න පුළුවන්. හැම වෙලේම  මතක තබා ගන්න ඔබ යූරි රුසානොව් නොවේ , ඔබේ පෞද්ගලික මිනිසකු නොවේ. ඔබ නීතියේ නියෝජිතයෙක්, ඔබට වටහුනාද?"

යූරිට එය වැටහුනා ද නැත්ද යන්න නොව පාවෙල් නිකොලායෙවිච් ට එම අවස්ථාවට උචිත වදන් සොයා ගැනීම ඉමහත් අසීරු එකක් විය.  මීතා  සිටියේ අවුල සහගතව එතැනින් මිදී යාමේ තදියමිනි. 

"මම අම්ම එක්ක නැවතී සිටින්නම්. " යූරි මද සිනාවක් මුවේ රඳවා ගත්තේය. "සමු ගන්න ඕනේ නැහැ තාත්තේ , යන්න "

"ඔබට තනියම පුලුවන්ද " මිතා  ඇසුවාය. "ඔබලාට පෙනෙන්නේ නැත්ද මේ මනුස්සයට නැගිට ගන්නවත් බැහැ කියල. අඩුම ගානේ ඔහු වෙනුවෙන් බෑග් එකවත් උස්සන් ගිහින්, මෙයාව ඇඳට ගිහින් දාන්නවත් බැරිද?"

අනාථ වූවෙකු මෙන් සිය පවුල දෙස බැලූ පාවෙල් නිකොලායෙවිච්, මීතා  උදව්වට දිගු කළ අත ද නොසලකා හරිමින්, පියගැට පෙලේ බැනිස්ටරය තදින් අල්ලාගෙන, පඩිපෙළ නැංගේය. ඔහුගේ හදවත තදින් ගැහුනේ පඩිපෙළ නැගීමෙන්ම නොවේ. ඔහු පඩිපෙළ දිගේ ඉහළට ගියේ  - කුමක්ද ඒ වචනය - මිනිසුන් හිස ගසා දමන්නට තිබෙන කොටය කරා ගෙනයන්නාක් මෙනි. 

ඔහුගේ බෑගය ද රැගෙන පියගැට පෙළ උඩටම දිවගිය මේට්‍රන්වරිය , උඩ සිටම මරියා නමැති යමෙකුට කෑ ගෑවාය.පවෙල් නිකොලායෙවිච් උඩටම නගින්නට පෙරම පියගැට පෙලේ අනිත් පැත්තෙන් පහලට බැසගෙන පැමිණි ඇය ගොඩනැගිල්ලෙන් පිටතට දිව ගියේ ඇගේ සැමියාට මේ ස්ථානයේ ලැබෙන්නට යන්න කුමන වර්ගයේ සැළකිල්ලක් ද යන්න විදහා දක්වමිනි. සෙමින් පඩිය නැග  පාවෙල් නිකොලායෙවිච් පැමිණියේ මෙවැනි පැරණි ගොඩනැගිලි වල ඇති විශාල පඩිපෙළවල් අවසන් වන තැන ඇති විශාල ශාලාවක් වන තැනකටය. මේ කොටසේ හරි මද අවට ඇවිදගෙන යන්නන්ට අපහසු නොවන ලෙසට, ඇඳ අසල තබන රාත්‍රී මේස සමග තිබූ  ඇඳන් දෙකේ රෝගීන් දෙදෙනෙකු සිටියහ.  ඉන් එක අයෙකු සිරියෙ දැඩි අමාරුවකිනි. ඇඟ දියව ගිය ඔහු සිටියේ ඔක්සිජන් බැලූනයක ආධාරයෙන්  අපහසුවෙන් හුස්ම ගනිමිනි.

  අවාසනාවන්ත මිනිසාගේ මුහුණ දෙස නොබලන්නට යත්න දරමින්  රුසානොව් වේදිකාවෙන් හැරී උඩ  බලාගෙනම පඩි නැංගේය. ඔහුට  උනන්දු වන්නට කිසිවක්  දෙවන තරප්පු පේලිය අවසානයේ තිබුනේද නැත. කිසිදු සිනාවක් කතාවක් නැතිව ඉටි රූපයක් පරිද්දෙන් හෙදිය, මරියා එතැන සිටගෙන සිටියාය. උස, පැතලි පපුවක් ඇති ඈ    ඔහු එනතුරු බලා සිටියේ දැඩි මුරකාරියක  ලෙසිනි. ඔහු උඩට පය තැබූ වහාම ඇය උඩ තට්ටුවේ ශාලාව දිගේ ගියේ ඔහු යායුතු තැන පෙන්වීමටය.   ශාලාවේ දෙපස දොරවල් කිහිපයක්ද වම්පස ඉඩෙහි රෝගීන් සහිත  තවත් ඇඳන්ද විය. ජනෙල් කවුළුවක් නැති ගුහාවක් වැනි කොනක කවදාවත් නොනිවන මේස ලාම්පුවක් හා හෙදියන්ගේ ලියන මේසය හා ප්‍රතිකාර සයනය විය. එතනම් උඩ එල්ල තිබුනේ රතු කුරුස ධජය සහිත වීදුරු කබඩයකි.  එතැනද තවත් ඇඳක් ද පසුකර ගිය පසු මරියා ඇගේ තුනී අත දික් කරාය. 
"ජනේලයේ සිට දෙක"
  
ඇය හනිකට යාමට සූදානම්ව සිටියාය. සියලුම රජයේ රෝහල්වල තිබෙන අවලස්සනම  දෙය නම් ඔබට වචන කිහිපයක් කතා කරන්නට කිසිවකු තත්පරයකට හෝ නොනැවතීමයි.  
වාට්ටුවට ඇතුළුවීමට ඇති දොරවල නිතරම පාහේ සම්පුර්ණයෙන්ම ඇර තිබුනත් එය තුලට පය තබන මොහොතේම පාවෙල් නිකොලායෙවිච් ට තෙත ගතිය මුසු බෙහෙත් ගඳ දැනුනි. ඔහු වැනි ගඳ සුවඳට ඉතා සංවේදී මිනිසෙකුට  එය දරුණු වධයක් විය.  

ඇඳන් තබා තිබුනේ, ඒවායේ හිස පැත්ත බිත්තියට ලං කර ඇඳන් දෙකක් අතර කුඩා රෝහල් මේසයට ඉඩක් පමණක් තබමින්, එක දිගටය. වාට්ටුව මැද ඇති මගෙහි දෙදෙනෙකුට යන්තම් මාරු වෙන්නට ඉඩක් තබා තිබුණි.  

මේ ඇඳන් දෙපස මැද  මාර්ගයේ රෝස පාට ඉරි සහිත පිජාමාවක් ඇඳගත් , උරහිස් පළල් රෝගියෙකු සිටගෙන සිටියේය. ඔහුගේ ගෙල පෙදෙස බැන්ඩේජ් වලින් බැඳ තිබුනේ කන් වල යට කොටස දක්වා වැහෙන ලෙසය. සුදුපාට හිර බැන්ඩේජ් රවුම නිසා, නරින්ගේ දුඹුරු පාටින් යුත් හිසකේ මුඩ්ඩක් එලියට පැනුණු හිස,  ඔහුට හැරවීමට වත් නොහැකිය. 

රෝගියා අනිත් රෝගීන්ට යටි උගුරෙන් කැඩුණු ශබ්දයක් පිට කරමින් කතා කරමින් සිටියේය. ඔවුහු තමන්ගේ ඇඳවල් වල ඇලවීගෙන  ඔහුට සවන් යොමු කළහ. රුසානොව් ඇතුලට පිවිසි වහාම ඔහු සම්පුර්ණ සිරුරම  රුසානොව් දෙසට හැරෙව්වේ හිසද එයටම වැල්ඩින් කර තිබු පරිද්දෙනි. කිසිම අනුකම්පාවක් නොදක්වාම කීවේ " ඔහෝ, අපට  මොනවාද මෙතන තියෙන්නේ, තව පොඩි පිළිකාවක් වගේ 

පාවෙල් නිකොලායෙවිච් එවැනි සුපුරුදු වදන්  වලට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.  මුළු කාමරයම ඔහු දෙස බලන බව වැටහුනත්, ඔහුට ඔවුන්ව විමසා බලන්නට හෝ ඔවුන්ට ආයුබෝවන් කියන්නට පිරියක් තිබුනේ නැත. සිටගෙන සිටි රෝගියා ඔහුට යන්නට ඉඩ දුන් අතර නැවතත් හිස ඔබ්බවා  ඇති මුළු ශරිරයම හරවා ඔහු යන අයුරු බලා සිටියේය.     

" මේ, යාලුවා , ඔහෙට මොන පිළිකාවද තියෙන්නේ ", ඔහු උගුර පාදමින් ඇසුවේය . 

පවෙල් නිකොලායෙවිච් තමන්ගේ ඇඳ වෙත ළඟාවී සිටියේය. ඔහුට දැනුනේ එම ප්‍රශ්නය ඔහුගේ සම සීරු ලෙසිනි. ඔහු තම දෑස්   ඔසවා මේ මුඩුම රෝගියා දෙස බැලුවේ තරහ වළකා ගනිමිනි. ඔහුගේ උරහිස් සොලවමින් ගම්බිරව පිළිතුරු දුන්නේය.
 " මට පිළිකාවක් කියල එක්ක නැහැ. මට කොහෙත්ම පිළිකාවක් නැහැ ".

නරි හිසකේ ඇති රෝගියා නහයෙන් පිම්බේය. ඉන්පසු මුළු වාට්ටුවටම ඇසෙන ලෙසට තමන්ගේ තීන්දුව ප්‍රකශ කළේය.
  "ගොන් මෝඩයා, පිළිකාවක් නෙමේනම් ඒ ගොල්ලෝ  තමුසෙව මේකට දැම්මේ මොකට කියලද හිතන්නේ "

- පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 14/08/2023

Thursday, 10 August 2023

මාධ්‍යවේදියා හා උඩුවා


පහුගිය කාලේ මම ලියපු  පොතක් එලි දක්වන එකකට එංගලන්තයේ වැඩ කරන විශේෂන්ඥ වෛද්‍යවරයෙකු වන අතුල රත්නායක ට කතා කලා. අපි දෙන්න කතා කරන අතරේ එයා කිව්වා මොකක් හරි රූපවාහිනි සමාගමක රැකියාවක් තිබෙනවා කියල. මම එතකොට කීව මට අවශ්‍යතාවයක් නැහැ. මම පරිගණක මෘදුකාංග පැත්තට සම්බන්ධ  රැකියාවක් කරනවා කියල. ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් එකෙත්  රැකියාව කරන තැන දාලනේ තියෙන්නේ. එතකොට එයා කීව  "සොරි මචන් මම හිතන් හිටියේ බ්ලොග් එහෙම ලියන නිසා එහෙම රැකියාවක් (මාධ්‍ය අංශයක) කරනවා ඇති කියල". 

ඊට පස්සේ දවසක ලංකාවට ආපු වෙලේ රාජකීය විද්‍යාලයේ එකට ඉගෙන ගත්, පසුව  නීතිඥවරයෙක් ලෙස රැකියාව කළ මහේෂ ත්‍රිමාන්න මුණ ගැහුණා. මොකක්ද කතාවකදී  මහේෂ ඇහුව දැන් මිඩියා පැත්තේ නේද,කොහේද වැඩ  කියල. මම කීව , නැහැ මම එහෙම වැඩක් කරලා නැහැ. මම සොෆ්ට්වෙයාර් පැත්තේ  බ්ලා බ්ලා විස්තරේ කිව්වා.  මහේෂ් කිව්වා , සොරි මචං මම හිතුවේ ලියන නිසා උඹ මීඩියා කියල.

තවත් කිහිප වතාවකම ලංකාවේ ඉඳන් කිහිප දෙනෙක් කතා කළා හෝ ඊමේල් එව්වා මාධ්‍ය අංශයෙන් තියෙන කිසියම් උත්සවදෙක තුනක්  කවර්  කරන්න  සහභාගී වෙන්න කියල. 

දැන් ඇත්තටම අපි බ්ලොග් ලියන්නේ විනෝදාංශයක් වශයෙන් නේ. ලෝකේ වෙනස් කරන්න, ආණ්ඩු මාරු කරන්න, ලංකාවට උපදෙස් දෙන්න, ඔය මොන මගුලකටවත් නෙමෙයි. නමුත් අපිව (මාව ) ජනමාධ්‍ය වේදියෙක් වශයෙන් නිතර වරදවා වටහාගන්න බව පේනවා. දන්නේ නැහැ ඇයි කියල. 

තව දෙතුන් දෙනෙක් එයාල ලියපු පොත් ගැන කතා කරන්න කෝල් කරන්න කියල එවල තිබ්බ.  ඒකනම් මට ගෞරවයක් කියල හිතනවා. හොඳ විචාරයක් දෙකක් ලිය වෙන්න ඇති. ඒත් ඉතින් මම ලියන්නේ මම  කියවපු පොත් ගැන විතරයි . 

පළමු බ්ලොග් සම්මාන උළෙලේදී යුවලක් ආව මම ගාවට. 
"අයියේ මම තරිඳු උඩුවරගෙදර, මේ රේඛා  " කියල හඳුන්වල දුන්න. එකපාරටම මට මීටර් වුනේ නැහැ. පස්සේ කිව්වා උඩුවා කියල බ්ලොග් එක ලියන්නේ එයා කියල. උඩුවගේ  බ්ලොගයට සම්මානයක් නිර්දේශ කරලා තිබුන. මුල්ම උළෙලේ සුමිත් යාපා බණ්ඩාර සහ මම තමා  විනිශ්චය වැඩේ  කලේ.  හැබැයි උඩුවා මට කතා කරපු  විධිහෙන් තේරුනේ එයා හිතන් ඉන්නවා මම එයාව දන්නවා කියල. මමත් දන්න විධිහට රඟ පෑව.

උඩුව මුලදී අපට ෆිට් වෙලා හිටියට ඉතා ඉක්මනින් තේරුම් ගත්ත අපිව එයාට වැඩක්  නැහැ කියල. අපි ජන මාධ්‍ය වේදියෝ නෙමෙයි . අපේ පිටිපස්සේ වැඩ සංවිධානය කරපු වෙබ් අඩවිය සහ එහි පාලන අංශයත් සමග  එතනින් එහාටත් උඩුව ඉතා ඉක්මනින් සම්බන්ධකම්  හදා  ගත්ත. මුලදී මගේ ෆේස්බුක් යහළුවෙක් වෙලා හිටියත් දැන් නැහැ. ඒක හොඳයි. ඒකෙ වරදක් නැහැ. 

උඩුව  ගැන සජිත් නලින්ද හෙවත් සජ්ජ හෙවත් ගස්  ලබ්බ යමක් ලියල තිබ්බ මම සන්චාහාරයක ඉන්න කොට  දැක්ක.. ඒක මට ආයෙත් හොයාගන්න අමාරුයි. නමුත් ලියල තිබ්බ  දේවල් සෑහෙන දුරට හරි කියල හිතනවා. 
උඩුව වගේ හැසිරෙන මාධ්‍යවේදීන් මම බ්‍රිතාන්‍යයේ දැක තිබෙනවා. හුඟක් වෙලාවට තමන් සම්බන්ධ වැදගත් දේශපාලන , සාමාජිය  හෝ වෙනත් ව්‍යාපාරයක්  වෙනුවෙන් ආවේගී ලෙස කරුණු දක්වන  sensationalist journalism, නාට්‍යනුරූපී වෙන මාධ්‍යවේදියෝ  , (dramatise කරන අය) ඉන්නව.  ඒවා වරදවල් හැටියට වර්තමානයේ ගණන් ගැනෙන්නේ නැහැ.

ඒ අතරේදී මම දැක්ක ආචාර්ය මහේෂ් හපුගොඩ ඉඟියක් දක්වල තියනවා උඩුව ගේ නාට්‍යානුරූපී හැසිරීම දේශපාලන රැකවරණ ඉල්ලීමේ උත්සහයක් ද දන්නේ නැහැ වගේ කියල. ඔය මහේෂ් හපුගොඩ ගේ ලිපියකට මම පොඩි විවේචනයක් දාල එයාට හුඟක් තරහ ගිහින් ලියල තිබ්බ පිටරට ඉන්න අය මේකෙම ඇඟිලි ගහන්න එන්නේ මොකද? එහෙ දේවල් කර ගෙන ඉන්නේ නැතිව කියල.
//මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්න ය//--හපුගොඩ /

 මම ඒ බයි කතාවට පිළිතුරක් හැටියට ලීවා   මෙහෙම: මාක්ස් ලන්ඩන් ඉන්න කාලේ ඔයාගේ තර්කයට අනුව පැරිස් කොමියුනය ගැන හොයන්නේ නැතිව ලන්ඩන් වල දේශපාලනය කරන්න තිබ්බ නේද? ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ ඉන්න කොට මෙක්සිකෝවේ මිසක් සෝවියට් රුසියාවේ දේශපාලනය හොයන්නේ නැතිව මෙක්සිකෝවේ එකට සම්බන්ධ වෙන්න තිබ්බ නේද? ස්ටාලින් ගෙන් මැරුම් නොකා ඉන්නත් තිබුන. ආ එතකොට ලෙනින් – ස්විට්සර්ලන්තේ අරගලයට ඒකාත්මික වෙන්නේ නැතිව මොන බම්බුවක් කලාද රුසියාවේ  දේශපාලනයට  ඇඟිලි ගගහ ? ලිපිය මෙතන. ලංකාවේ ජවිපෙ සහෝලා  අපි විවේචනයක් කලොත් බනින්නෙත් ඔය විධිහට. ලංකාවේ ඉන්න පෙරටුගාමී සහොල බනින්නෙත්   ඔය විධිහට. ඒ දවස් වල බයියොත් එහෙමයි. 'ස' ගේ කොවිඩ් සටන ගැන ලීවොත් පිටරට ඉන්න අපගේ කලිසම්  ගලවල උලුවෙන් ගන්නවා කියලත් සමහර බයියෝ ලීවා. හැබැයි එයාලට සහයෝගයට ලියන ඕන කෙනෙක් පිටරට හිටියට කමක් නැහැ. ඩයස් මිලා වගේ.  
 ඊට පස්සේ ආචාර්ය හප්පා මෙහෙමත් ලියල තිබ්බ. 

 "ගමෙන්  කොළඹට පැමිණි මට නුඹ සිනහසෙන්නේද අජිත් මිතුර ". අපි හුඟක්  අය ගමෙන් තමා ආවේ. කොළඹ හිටියත් ලන්ඩන් හිටියත් සමහර දේවල් වෙනස් වෙන්නේ නැහැ. 
උඩුවා සිද්ධියේදී මට කියන්න තියෙන්නෙත් දේශපාලනික වශයෙන් මම උඩුවා ගේ පැත්තේ හිටියත් නැතත් ඒ නාටකයක් නම් ඒ රඟ පෑමේ අයිතිය උඩුවට තියනව කියල. අපට වෙන රටක ඉඳන් වෙන ඕන රටක් ගැන හෝ ප්‍රජාවක් ගැන ලියන්න අයිතියක් තියෙනවා වගේ තමයි.

හැබැයි කීයෙන් කී  දෙනාද අවධානය  දුන්නේ උඩුවරගෙදර මතුකළ කාරණාව ට. අර්ථසාධක අරමුදලක ප්‍රශ්නයක් ගැන. ඒ පැත්තෙන් ගත්තොත් උඩුව ෆේල් මෙතැන .ප්‍රසිද්ධිය ආවේ  එයාට මිස එයා එතන විරෝධය පළ කළ සන්සිද්ධියට නෙමෙයි.

උඩුව ඇතුළු ගොඩක් මාධ්‍යවේදීන්, කලාකරුවන්  හිතන් ඉන්නව හුඟක් අය ඒ ගොල්ලන්ව දන්නවා කියල. ඇත්තටම ගත්තොත් ඒක එහෙම නැහැ. මේ ළඟදී මගේ ෆේස්බුක් මෙසේන්ජර් එකට පණිවිඩයක් එවපු මහත්මයෙක් ඔහුගේ වාර්තා චිත්‍රපට නිෂ්පාදනයකට මුදල් යොදවන්න  හෝ යොදවන කෙනෙක් හොයා දෙන්න කියල ඉල්ලීමක් කරලා තිබුන. මම කීව මම ඔයාව දන්නෙත් නැහැ. කරන්න යන වාර්තා චිත්‍රපටය මොකද්ද දන්නෙත් නැහැ කියල.  අවංකවම මම ඔහු කවුද  කියල දන්නේ නැහැ. 

මීට අවුරදු ගණනකට  කලින් මම ලංකාවට යන්න හීත්‍රෝ ගුවන් තොටුපලේ හිටිය. ඔක්කොම චෙකින් ඉවර වෙලා ඇතුලට යන ලෝන්ජ් එකේ ඉන්දෙද්දී  මා ළඟින්ම වගේ හිටපු  කවුද ලංකාවේ වගේ පෙනෙන කෙනෙකුට  ගොඩක් අය  ඇවිත් අතට අත දීල කතා කරනවා  දැක්ක. මම මගේ පාඩුවේ පොතක් බලන නිසා එතැනින් නැගිටලා ගියා වෙන තැනකට. එදාම ලංකාවට යන මම අඳුරන  කෙනෙකුත්  අර තැනැත්තා ට කතා කරලා මාව දැකලද කොහේද මං  ගාවට ඇවිත් කතා කළා.  මිනිහ මට කියනව අර තැනැත්තා කීවලු මම මහා ආඩම්බර කාරයෙක්. කතා නොකර  නැගිටලා ගියා කියල. මිනිහෙක්ට ආචාර කරන්න දන්නේ නැති ගම් වලින් ලන්ඩන් ආපු එවුන් කියලත් කීවලු.   මට හිනා ගියා ඒ කතාවට. මම කීව මම මොකටද කතා කරන්නේ මම  දන්නා කෙනෙක් නෙමේනේ කියල. යාලුව කියනව. ඇයි මචං ඒ අර අහවල් ප්‍රසිද්ධ බයිලා ගායකයා නේ.  යුරෝපයේ ටුවර් එකක් ඉවර වෙලා ලංකාවට යනවා.   එයාගේ සින්දුවක් දෙකකුත් මතක් කළා. සින්දු දැනගෙන හිටියට අපට කියන හැමෝම මතක හිටින්නේ නැහැනේ. ඒ කාලේ   මම දන්නේ  නිහාල් නෙල්සන් ගේ මුණයි සුනිල් පෙරේරා ගේ  මුහුණයි  විතරයි බයිලා කියන අයගෙන්.  අනික එහෙම වුනාය කියල ළඟට ගිහින් කතා කරන්න අවශ්‍යත් නැහැනේ. 

මම මාධ්‍යවේදියෙක් නෙමේ. අසරණ අහිංසක බැනුම් අහන බ්ලොග්  ලියන්නෙක් පමණයි.  

-ඡායාරුපය අන්තර්ජාලයෙන් 



Saturday, 5 August 2023

ඩැනියෙල් ෂ්ටයින් ගේ පරිවර්තනය -2

පළමු කොටස ; ඩැනියෙල් ෂ්ටයින් ගේ පරිවර්තනය -1- (ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)

2.

දුරුතු මස, 1986 , බොස්ටන් හිදී  

එස්තර් ගන්මාන් 

මගේ වයසත් සමග අලුතින් කිසිවෙකු මගේ ජිවිතයට එක්වීමට කිසි ඉඩක් ඇතැයි නොසිතුවෙමි. පළමුවෙන්ම කිව යුත්තේ මගේ හදවතේ ඉඩක් වෙන්කර  තිබූ සියල්ලන්ම මියගොස්ය. දෙවැන්නට කිව යුත්තේ කොතරම් වැදගත් පුදහලයන් ඇමෙරිකාවේ සිටියත් ඔවුන්ගේ ජිවන අත්දැකීම් ඉතා සීමා සහිත වීමයි. ඒ නිසාම ඔවුන් හැඟීම් විරහිත කාඩ්බෝඩ් බඳු මිනිසුන් ලෙස මට දැනුනි. ඒ හැර මට දැනුනේ වයසට යාමත් සමග අප වටා කවචයක් සෑදෙන බවත්, අප බොහෝ විට හැඟීම් වලට ඉඩ දීම අඩුවන බවත්ය. ඉසාක් ගේ මරණය මට පැහැදිලි කළේ මා  කෙතරම් ඔහු මත යැපුනේද යන්නය. මම තනිකමින් පීඩා වින්දේ නැති නමුත් එය මා වටා මීදුමක් මෙන් පැටලී තිබුණි.   මේ ශෝකදායි මොහොතවල් අතරේ ඒවා හදිසියේම ප්‍රාදුර්භූත වූවාය. අගේ පැමිණීමේ කිසියම් දෛවෝපගත යමක් තිබෙන බව මට දැනුනි. මේ තරුණ ගැහැණිය, මගේ  දියණිය විය හැකිව තිබුණි. ඉසාක් සමග ඒ ගැන කතා කරන්නට තිබුනා නම් හොඳය. අපි දෙදෙනාගේ සම්පූර්ණ එකඟතාවය තුලදී වුවත් ඉසාක්ට  යමක් ග්‍රහණය කර ගන්නට, වැදගත් අදහසක් පවසන්නට හැකිවිය. ඔහු මේ කෙල්ල ගැන කුමක් කියන්නට තිබුනේද?  අපි දෙදෙනාගේ හමුවිමම අසාමාන්‍ය එකකි.  ඊටත් වඩා පුදුමය නම් අප චෝර්නය පුෂා ගැන කතා කිරීමය.     ඇගේ මව, ඒ කොවෂ් නම් කාන්තාව සැබවින්ම රාක්ෂනියකි. ඉසාක් සිතුවේ ඇය සෝවියට් ඔත්තුකාරියක බවයි.  ඉසාක් හැමවිටම කීවේ යුදෙව්වන් යනු එල්ලයක් කරා යන බලාපොරොත්තු සහගත ජනතාවක් බවයි.  ඔහු, යුදෙව් අන්තවාදී නිකායන් විශේෂයෙන්, පැච් දැමූ මේස් සමග දිග විකාර සහගත කෆ්තාන ඇඳුම් අඳින,   සිල්ක් හිස්වැසුම් පළදින හසිඩ් වරුන්ද , යුදෙව් කොමිසාර් වරුන්ද , කොමියුනිස්ට් වාදීන් ද , චෙකා රහස් පොලිසියද ඔහු එකම මානසික මට්ටමක උන් ලෙසට සැලකුවේය.

අප දෙවන වර හමුවූ අවස්ථාවේ ඒවා ඇගේ මව ගැනද එවැනිම දෙයක් වෙනත් ආකාරයකට පැවසුවාය. මහත් පුදුමය නම් කිසිදු හරවත් අධ්‍යාපනයක් නැතිව, නුවණැති බවක් නොමැතිව ඇය ඒ බව නිරීක්ෂණය කිරීමයි.  

 ඇය බලවත් අධිෂ්ඨානයකින් යුත් ස්වභාවයෙන්ම අවංක එකියක වූ  ඇය සැමවිමට සත්‍යය සෙවීමටත් තමන්ට තමන්  සත්‍ය වීමටත් උත්සුක   වූවාය. වරක ඇය අලුයම දෙක වනතුරු මා සමග සිටිද්දී ඇගේ සැමියා ඇය කිසියම් අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන යයි  සැක  කළේය.   ඇගේ තෙවන විවාහයයේ සැමියා රුසියානු සංක්‍රමණිකයකු වූ අතර ඇයට වඩා දස  වසරකින් බාල විය. ඔහු ප්‍රසිද්ධ ගණිතන්ඥයකු බව ඇය පැවසුවාය.

 අපේ සාකච්ඡා වලදී එවැනි මාතෘකා ඉතා වැදගත් සහ කතාවට වඩාත් අනුකූල බවට ඉසාක් සැලකුවේය. ඔහු බොහෝ අවස්ථාවල විසුළු සහගත ලෙස ඔහු තරම් දෙවියන් ගැන සිතන්නෙක් ටැල්මුඩිස්ට් (යුදෙව් දහමේ  න්‍යායධාරීන් විශේෂයක්) ල අතරවත් නැති පැවසීය. මගේ ඉෂාක් අදේවවාදී භෞතිකවාදියෙක් විය.

 ඇගේ වයසින් ඇය අපේ දියණියක් විය හැකිව තිබුණි. අප ඒ කැළයේ වාසය කලද ඇය උපත ලද්දේ අපට දාව නොව වෙනත් දෙමාපිය යුවලකටය.   විසිවන ශත වර්ෂයේදී යුදෙව්වන්ට දරුවන් රහිත වීම අතීතයේදී  දරුවන් බොහොමයක් සිටීම තරම්ම දෙවියන්ගේ ආශීර්වාදයක් යයි ඉසාක් නිතර කීවේය. ඔහුට කිසිදාක දරුවන් අවශ්‍ය වූයේ නැත. අපට දරුවන් නොලැබුණේ ඒ නිසා වත්ද? මගේ තරුණ වියේදී දරුපල නැතිවීම ගැන මා නිතර කඳුළු සැලුවද ඔහු මා අස් වැසුවේ අප ප්‍රභූ විශේෂයක් බව පවසමිනි. ස්වභාව ධර්මය  දරුවන් හැදීමේ වහල්භාවයෙන් අප මුදවන ලද්දේ යයි ඔහු පැවසුවේය. ඔහු කිසියම්ම හෝ හේතුවකින් අපට අනාගතයේ වන දේ පුරෝකථනය කළේය.  

 අප ගෙටෝවෙන් චෝර්නොයි පුෂ් වලට පැමිණි වේලේ " එස්තර්, ඔයාට හිතෙනවද අපට මේ වෙලේ ළමයි තුන් දෙනෙක් හිටිය නම් කියල. "   යයි විමසුවේය. මා අවංකවම පිළිතුරු දුන්නේ නැත කියාය. නියුරම්බර්ග්  නඩු විභාගය  අවසන් වූ වහාම අපි යුරෝපයෙන් පිට වුනෙමු. ඉසාක්  විශේෂ වෛද්‍ය  සාක්ෂිකරුවෙක්  ලෙසත්. ගෙටෝවේ සිර කරුවෙකු ලෙසත් දේශප්‍රේමී සටන්කාමියෙකු එහි පෙනී සිටියේය.   නඩුවට අවශ්‍ය ක්‍රියාදාමයන්හි පෙනී සිටීමෙන් පසු අපට පලස්තීනයට යාමට අවසර ලැබුණි.ඒ  ඊශ්‍රායලයේ උත්පත්තියට වසරකට පෙරය.  

ඒවා ප්‍රශ්න  බොහොමයක්ම අසන නිසා මා කලේ ඒ දිනවල ඉසාක් ලියූ සටහන් නැවත පෙරලා බැලීමය.  සැබෑව නම් ඔහු පටන්ගත්තේ පොතක් ලිවීමට මුත් , සමහර තැනකින් හිටි අඩියේ පටන් ගැන ලිවූ සටහන් නිසා ඔහු ඒවා එකතු කිරීම කල් දමමින් සිටියේය. ශක්තිමත් බලවත් මිනිසෙකු වූ  ඔහු තම නින්දේදී මා හැර ගියේ වයස හැත්තෑ නමයේදී නියම වයස්ගත භාවයට එළඹීමට පෙරය.   ග්‍රන්ථය  නිමා  වූයේ නැත.

ඒවා තමන්ගේ පියා බෞහ් ගැන මගෙන් ප්‍රශ්න කලාය. "සමහරවිට මගේ පියා ගැන ඔබේ සැමියා මොනවහරි ලියලා ඇති? මට සහෝදර සහෝදරියෝ ඉන්නවා නම්. එස්තර් ඔබ දන්නවනේ  මම අනාථ නිවාසෙක ළමයෙක් කියල. මගේ මුළු ජීවිතය   පුරාම මම පවුලක් ගැන හිතුවේ."

ඉසාක් ගේ හැම ලිපියක්ම අවුරුද්ද හා දින සඳහන්  කර ඉතා මැනවින් අකාරාදිගත කොට තිබුණි. මට ඒවා ඇල්ලීමට ද බියක් විය.  ඒවා,  උදව්වක් වශයෙන් ලිපි වාර්තාගත කිරීමට හා පරීක්ෂා ග්වර්දියා කිරීමට කැමති වුවාය. දෙවන ලෝක යුද්ධයෙන් පසු පෝලන්ත භාෂාවෙන් ලියූ ලිපි පනස් ගණන්වලදී ඉංග්‍රීසියට මාරු වී තිබුණි. මා එය ප්‍රතික්ෂේප කලේ වෙනකෙකුගේ අතට ලිපි පත්  කිරීමට අකැමැති වූ බැවිනි. කෙසේ වුවද එකදාස් නවසිය හතලිස් ගණන්වල සිදුවූ සියලුම සිද්ධීන් වාර්තා ගත  කර තිබුනේ වසර ගණනක්ම පසුවීය.  ඊශ්‍රායලයේදීද නොව ඔහු 1956 දී ඇමෙරිකා  එක්සත් ජනපදයට රැකියාවට ආරාධනා කළාටත් පසුවය. 

කථා කරගෙන යද්දී තවත් එක කරුණක් ඒවා හෙළි කලාය. ඇය තෙමස් වියැති බිලිඳියකව සිටියදී සහෝදරයා සමග අනාථ නිවසකට භාර දී තිබුණි.  ඔවුන්ගේ මව ග්වර්දියා ලුදෝවා *(ලුදොවා කණ්ඩායම) සමග ජර්මනුන්ට   එරෙහිව සටන් කලාය. ඉන්පසු ස්ටාලින්ගේ ගුලාගයක (බර වැඩ සහිත කම්කරු සිර  කඳවුරු )  සිරගතව සිටි ඇය 1954 දී නිදහස් කරන විට ඒවාට වසර එකොළහක් දොළහක් වන්නට ඇත . ඇගේ සොහොයුරා ,විතෙක් මව එනතුරු ජිවත්ව සිටියේ නැත. ඒ වනවිට ඒවා රෝමානු කතෝලික දැරිවියක්ව සිටියාය.

ඇය ඉතා පියකරුය.එළිපිටට පෙනෙන්නේ ඇය ශෙපදික්**  කුලයේ දිග කළු කොණ්ඩයක් හා සරල මුහුණක් ඇත්තියක ලෙසය. පෙරදිගට අයත් ඇගේ දෙනෙත් වෙහෙසකර නොවූ ඉසාක් ගේ මෙන් අග්නිමය දීප්තිමත් ඒවා විය.       

* ග්වර්දියා ලුදෝවා කණ්ඩායම යනු රහසිගත කොමියුනිස්ට් සන්නද්ධ කණ්ඩායමකි.කොමියුනිස්ට්වාදී  පෝලන්ත කම්කරු පක්ෂයට අනුබද්ධ ජර්මනුන්ට යටත් පෝලන්තයේ සටන් කල එයට මුදල් ලැබුනේ සෝවියට් සංගමයෙනි. 1942 දී පිහිටුවන ලද එ ඒ දිනවල තිබු ජර්මනුන්ට විරුද්ධව සටන් කල විශාලතම දේශප්‍රේමී ගරිල්ලා කණ්ඩායම විය. පරිවර්තක   

**ශෙපදික් කුලයේ යුදෙව්වන් ලයිබිරියානු ප්‍රදේශයෙන් (වර්තමාන ස්පාඤඤයෙන්) පැමිනියවුන්ය. -පරිවර්තක 

- Ajith Dharmakeerthi 05/08/2023

 (ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)

Wednesday, 12 July 2023

කටු ඔටුන්නට සටන් වැද - අංක දෙක - ප්‍රිගොෂින්

මේකේ පළමු කොටස තේරුනේ නැහැ කියන පාඨකයන්ට කියන්න තියෙන්නේ වහාම ගිහිල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව බලන්න කියල. නැත්නම්  "සිහසුනට සටන් වැද" කියල බුරතිනෝ ලියපු, තව කවුද උස්සපු පොත බලන්න කියල.  

ස්ටාර්ක් කියල කියන්නේ වින්ටර්ෆෙල් පාලනය කරපු කට්ටිය. එයාලට කලින් ඒ වගේ ඒකාධිපති ලේකම් ලා සෙට් එකක්ම හිටිය. අවුරුදු හැත්තෑවක් විතර. ඊට පස්සේ වෙස්ටෙරෝස් වලින් ගේම දීල හවුස් ඔෆ් ස්ටාක් එක කඩන්  වැටුන.  දැන් දශක දෙකක්ම ඉන්න එක්කෙනා  අකුරු තුනේ සංවිධානෙන් ආපු කෙනෙක්. 

පළමු කොටස කියවන්න මේ යොමුවට යන්න:කටු ඔටුන්නට සටන් වැද -  අංක එක 

 පිරිගොෂින්යා  හිටපු ගමන් කාට හරි කෑ ගහන බව  කියල වින්ටර්ෆෙල් වල කවුරුත් දන්නව. පූ-ස්ටාක්- ටින්  ටත් බැන වැදුන එක පාරක්. ඒ මිනිහ හිරේ හිටිය නිසා කියලා සමහරු කියනවා. කොහොමහරි හැමෝටම පෙනුනේ මිනිහ රතු ලයින් එක පැන්න කියල මොක්බා වලට තමන්ගේ කුලී හමුදාවේ විස්සක් විතර අරන්  යන්න ගිය වෙලේ.  ගොඩක් විශ්ලේෂකයෝත් ඒකම කීව. ඒත් මගේ  බ්ලොග් එකට ලැබුණු විශේෂ ආරංචිය තමයි මිනිහ නාඩගමක් නටනවා කියල.  ඒක මම ෆේස්බුක්  එකේ ලිවම  සමහර අය එය විශ්වාස කළේ නැහැ. දැන් අලුතින් ලැබෙන ආරංචි අනුව ඒක ඇත්ත බව පෙනුනනේ. වෙස්ටරොස් වල මාධ්‍ය තමා ඉල්ලන් කෑවේ . ඒ ගොල්ලෝ ලැජ්ජාව යන්න තව තව විශ්ලේෂණ ලියනවා. 

දැන් මොකද වෙන්නේ කියලා ලියන්න කලින් ස්විට්සර්ලන්තේ ගැන කියන්න හිතුන. මොකද ස්විට්සර්ලන්තේ පැත්තෙන් දර්ශනවාදී ප්‍රහාරයක් ඇවිල්ල තිබ්බ පූ-ස්ටාර්ක්ටි-න් ටයි වින්ටර්-රුස්-ෆෙල් වලටයි. මාෆියා රටක්ය, ඒකාධිපතියෙක්, සල්ලි මංකොල්ල කාපු එවුන්ය වගේ කතා. ඔක්කොම ඇත්ත. සල්ලි හම්බ  කරන්න  දුන්නේ රටේ ධනපතියන්ට. තමන්ට පක්ෂ අයට.  උන් ඒවා පිටරට හංගන කොට ආපහු  තමන්ගේ රටට සල්ලි ඇදල මිනිහ රජ වුනා. ඒකත් ඇත්ත. නමුත් මෑන්  පෙන්ෂන් දෙන්න ගත්ත. රස්සා දෙන්න ගත්ත. නැත්නම් ඉතින් මිනිස්සු කැරලි ගහයි නේ. රටත්  දියුණු වුනා. මේක ලියන මම 2016 දී ගිහින් ඇත්තට දැක්ක දියුණු වෙලා තියෙන තරම.  එසේම  සල්ලි ඔක්කොම තමන්ගේ රටේ හම්බ  කරපුව. තමන්ගේ තෙල්,  තමන්ගේ ගෑස් . තමන්ගේ දියමන්ති.  මයි කාර් මයි පෙට්රෝල්.
නමුත්   ස්විට්සාර්ලන්තේ බලමු. පිට රටවල මිනිස්සුන්ගේ ලේ , කඳුළු , දහදිය වලින් උපදවපු සල්ලි නැත්නම් ස්වීට්ර්සර්ලන්තේ   එවුන් අර හයිඩි කියන පුංචි දැරිවි ගැන තියන  කතා පොතේ වගේ පාන් ගෙඩියක් පුච්චලා, චීස්   කෑල්ලක් කාලා,  බැටළු කිරි බීල පිදුරු උඩ බුදියන්නේ. 

මුන් කළේ මොකක්ද? අපේ රටට ඔයාලගේ සල්ලි ගෙනල්ල දාන්න  අපි මුකුත් අහන්නේ නැහැ. අපි හොයන්නේ නැහැ කියල කීව. කාටද කීවේ. ලෝකෙම ඉන්න හොර සල්ලි කාරයන්ට, ඒකාධිපතියන්ට, දූෂිත ජනාධිපති ලට, ඇමතිවරුන්ට. ලංකාව කියන රටේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ සල්ලි පවා තිබෙනවා මුන්ගේ බැංකු වල.  මොන ඒකාධිපතියන්ගේ සල්ලි ද තියෙන්නේ මුන්ගේ ස්විස්  බැංකු වල කියල බලන්න මෙතන - ලිස්ට් එක දිගයි
පිලිපිනේ මාකෝස් , හයිටියේ බේබි ඩොක්, කොන්ගෝ වල මොබුටුවා,   නයිජීරියාවේ සනි අබචා , ඊජිප්තුවේ මුබාරක්, වෙස්ටරෝස් වල හිටපු යනුකොවිච් ඔන්න ඔය වගේ උන්ගේ. ලොකු ලිස්ට් එකක්. එතකොට ස්විස් ඉන්න ඉතාලි කට්ටිය හරහා මිලාන් පැත්තේ  කැලබ්‍රියන් වගේ මාෆියා සංවිධාන වල සල්ලි නතර වුනෙත් ස්විස් බැංකු වල. 
 ඊට අමතරව නාසීන් යුදෙව්වෝ හඹා යනකොට ස්විස් වලට ආපු යුදෙව් සරණාගතයන්ට  එන්න දුන්නේ නැහැ හතලිස් එකේදී, අපේ බෝට්ටුව පිරිලා කීව. හැබැයි සල්ලි තියෙන යුදෙව්  මිලියනපතින් ටික දෙනෙක්  ගත්ත. දෙමළ  සහ තවත් සරණාගතයන්ට පහුෆිය කාලේ හෙම එන්න  ඉඩ දුන් නිසා, කැන්ටන් ක්‍රමය නිසා ලෝකෙට හොඳ මූණ  පෙන්වාගෙන ඉන්නව. හැබැයි ඒකෙන් අර ලේ සල්ලි වල,  කුණු වෙච්චි බැංකු බිස්නස් එක මැකෙන්නේ නැහැ, ඒ නිසා ස්විට්සර්ලන්තේ ඉඳන් වින්ටර්ෆෙල් නායකයා ගේ සල්ලි හා මාෆියා  පාලනය ගැන විවේචනය කිරීම  වීදුරු ගේක ඉඳන් ගල් ගහනව වගේ වැඩක් තමයි.

රයිට් දැන් ප්‍රිගොෂින් කාරයාගේ ගේම. ඔය නාඩගම යන අස්සේ එයාගේ හමුදාවේ  බොහෝ පිරිසක් සහ අවි ආයුධ  සුදු රුසියාව (බේලෝ කියන්නේ රුස් බාසාවෙන් සුදු කියන එක ) පැත්තට  මාරු කළා. නැට්ටෝ සංවිධානයේ ලොක්කන්ට  සැටලයිට් වලින් ඒවා පෙනෙන්න ඇති. නමුත් එයාල නිහඬයි. මේ යුද්ධෙදි  පරණ ආයුධ  ටික නියමට ටෙස්ට් වෙන එකේ සහ මිලිටරි  කොම්ප්ලෙක්ස් එකේ නිෂ්පාදන නියමෙට නැගල යන එකේ ඕව මොකට කියනවද කියල හිතන්න ඇති. දැන් මේ යුධ පෙරමුණ කිලෝ මීටර දාහකටත්  වඩා දිගයි. පටන් ගත්තේ කුරුමියා ප්‍රාන්තයේ පැත්තෙන් නේ. මැප් එකේ අනිත් පැත්තට යන්න. චෙර්නිසොව්  පැත්තට උඩහට.  ඒ පැත්තෙන් ආයිත් සටන් පටන් ගත්තොත් බහ්මුට් වගේ මොකද වෙන්නේ.

වෙස්ටරෝස් හමුදා අලුත් ආයුධ සහ ටැංකි එක්ක සඵරෝෂියා  විදුලි බලාගාරය පැත්තෙන් කිලෝ මීටර දෙක තුනක් ඇතුලට ගිහින්. එතකොට ඉන් දකුණට වෙන්න   තව තැන් දෙකකින් ඇතුලට ගිහින් තියෙන්නේ.  ක්‍රම්ටෝව්ස්ක්ඒ වගේ පැති වල.  සමහර පැතිවල වින්ටෆෙල් හමුදා ඕන කමින් ඇතුලට පසු බැහැල ගිහින් කියලත් කියනව.  තව ඇතුළට  යන්න ඉඩ  තියනවා. වෙස්ටරෝස් හමුදාව ත්‍රිකෝණයක් වගේ තමා ඉදිරියට යැවෙන්නේ. 

හරි දැන් එතකොට වින්ටර්-රුස්-ෆෙල් හමුදා    ප්රිගොෂින් කාරයා ගේ වැගන් - ආර් හමුදාව එක්ක උඩහින් පෙරමුණක් ඇරියොත්, පහලින් පෙරමුණේ කෙලවරින් ඉදිරි වළල්ල කඩාගෙන තවත්  ආක්‍රමණයක් පටන් ගතහොත් මොකද වෙන්නේ.  



පින්සර්  මුව්මන්ට් කියන එක අහල තියෙනවද?  ඒ කියන්නේ  හමුදාවකට ඉස්සරහට යන්න  දීල දෙපැත්තෙන් පහර දීල ඒ හමුදාව වට කිරීමට. සුන් ට්සු තමන්ගේ "ආර්ට් ඔෆ් වෝ " පොතේ මේ ගැන කියල තියනව. හැබැයි අර දෙපැත්තෙන් ගහල වට කරන්න කලින් ඉදිරියට යන ප්‍රති විරුද්ධ හමුදාවට   දිනන්න  පුළුවන් කියන සැකය පහල කරනවා.
නමුත් ඉතිහාසයේ සටහන් වී ඇති  යුද්ධ   ගත්තොත්,  විකිපෙඩිය එකේ  බලන්න මේවා. මැරතන් සඳහා වන යුද්ධයේදී ඇතිනියන් ජෙනරල් මිල්ටීයදෙස් මේ ක්‍රමය භාවිතා කරල දිනලා  තියනව පර්සියන් වරුන්ට විරුද්ධව. එතකොට වඩා ප්‍රසිද්ධ  යුද්ධයක් වන හැනිබල් ගේ හමුදා සහ රෝමන් හමුදා අතර කැනේ වල ක්‍රිස්තු පූර්ව  216 වුන සටනත් ඒ වගේ. ඒකෙදි රෝමන් ජෙනරල් පවුලස් ගේ  හමුදා වලට දෙපැත්තෙන් සහ පිටුපසින්  පහර දීලා සමූල ඝාතනය කළා.  මේක ජෙන්ගිස් ඛාන්  පවා භාවිතා කල යුධ උපක්‍රමයක්. ඉතාමත් මෑත ඉතිහාසයේ  හිට්ලර් ගේ නාසි හමුදා කීව් නගරය එක්දාස් නවසිය හතලිස් එකේදී අල්ල ගත්තේ ඔය විධිහටලු. 

කොහොමත් වෙස්ටෙරොස් හමුදාව නැට්ටෝ ආයුධ සහ ටැංකි භාවිතා කරමින් ඉදිරියට යන බවක් පෙනෙනවා, නමුත් වින්ටර්ෆෙල් හමුදා කලබල වෙලා නැහැ. ඒක නිසාත් ලැබෙන ප්‍රවෘත්ති අනුවත් මෙවැනි පින්සර් ප්‍රහාරයක් දීමට සැරසෙන බවයි පෙන්නේ.

යුධ ප්‍රචාර පැත්තේ වෙස්ටරෝස් පැත්ත ඇත්තටම දිනුම්. හැමවෙලේම වින්ටර්ෆෙල් ගහන ඒවලින්  ළමයි තුවාල වෙන සහ මැරෙන ඒවා පළවෙනවා  ලේඛිකාවෝ මැරෙනවා. ඉතින්  වින්ටර්ෆෙල් දැන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුණු සතුරෝ.   ඇත්තට ම යුද්ධයක් කියන්නේ දරුණුයි තමා. නමුත් අනිත් පැත්තේ අයත් ඒ වගේම මැරෙනවා. ලේඛකයෙක් මැරුණා බෝම්බයක් ගහල. වෙස්ටරොස්වේ පත්තර කීවේ  දරුණු  බොරු ලියන්නෙක් කියල ඒ මැරුනේ. ඒ කියන්නේ මැරුවට කමක් නැහැ වගේ අදහසක් දෙන්නේ.  ඒ වගේම ඒ පැත්තේ ළමයි මැරුණා  පහුගිය වසර නවය  තුලම. වැඩි ප්‍රචාරයක් ලැබුනේ නැහැ. ලංකාවේ යුද්ධෙදි සියදිවි නසා ගන්න බෝම්බ  වලින් මැරුණු අය ගැන දකුණ දැනගත්තට උතුරේ ගම්  පිටින් බෝම්බ දැමීම නිසා මැරෙන  ඒවා ගැන දැන ගත්තේ නැහැ. උතුරේ තත්වෙත්  ඒ වගේමයි වුනේ . යුද්ධයකදී සත්‍යය හුඟක් වෙලාවට කැශුවල්ටි එකක් කියල  කියනවනේ.

ඉතින් මගේ අදහස තමා ඔය. ලැබුණු දත්ත මත පදනම්ව  කරන ලද නිගමනයක්. අර මම කලින් කිවා වගේ නැට්ටෝ වල දක්ෂ ජෙනරල් ල වුනත් ඕක දන්නවා ඇති. ඔවුන්ටම ආවේණික  හේතුවකට නිහඬව ඉන්නව කියලයි හිතෙන්නේ.

අවසානයට මට ලැබුන ස්ක්‍රීන් ෂොට් එකක්. මේ වින්ටර්ෆෙල් වලට විරුද්ධව යන සම්බාධක ගැන. ඕගොල්ලෝ හිනා වෙන්න  එපා. 



~~~~~~~~~~~~~~~~
මේක මම කියවපු එකක් පූ-ස්ටාක් -ටින් ගේ කතාවක. පූ ස්ටාක් ඒ දවස් වල වෙස්ටෙරොස් ඔක්කොමලගේ සුරතලා නේ. ගෑස් අඩුවෙන් දෙනවා, තෙල් දෙනවා, යෙල්ට්සි අන්කල් වගේම බටහිර කම්පැනි වලට වැඩ කරන්න, ලාභය උපයන්න  දෙනවා. මට මතකයි රැජින එක්කත් අස්ස කරත්තේ ගියා මලිගවාට. ඔය කාලේ තමා මේ සාකච්චාව ගියේ. එතකොට ඔය ඒකාධිපති ක්ලේප්ටෝක්‍රසිය ගැන කතා නැහැ. 

පූටින් යුරෝපා සංගමේ ට එන්න  ඇහුවම තුර්කියට පස්සේ එන්න කිවලු. තුර්කිය ඉතින් මේ කපේට එන්නේ නැහැ කියන එක දන්නා නිසා  තමන්ටත්    එන්න බැහැ කියන එක පූ-ස්ටාක්-ටින්  තේරුම් ගත්තලු.

ඉතින් ක්ලින්ට ගෙන් ඇහුවම අපට නැට්ටෝ එකට එන්න බැරිද කියල? ක්ලින්ට කින්ඩියට හිනා වෙලා  කීවාලු ඔයා ඇප්ලිකේෂන් එකක් දාන්න , 2055 විතර හරියයි කියල. පූට කියල තියනව, "අපි තමයි වෝර්සෝ බ්ලොක් එකේ හෙඩ් වෙලා හිටියේ. මෙච්චර අච්චර ආයුධ තියෙනවා න්‍යෂ්ටික ආයුධ එක්ක. අපට සමාන පාට්නර් කෙනෙක් හැටියට ඉන්වයිට් එකක් දීපන් . අප එන්නම්. ලෝකේ වඩා සාමකාමී එකක් කරමු  වගේ බයිලා එකක්". එතකොට ක්ලින්ට කියල තියෙනවා. "අපට එතකොට හතුර වෙන්නේ චීනේ විතරයි නේ. කිමාව (උතුරු කොරියාව) කවුරුත් ගණන් ගන්නේ නැහැ. අපේ සපොර්ටස් ලා ඒකට කැමති වෙන එකක්  නැහැ කියල  ". ඩිමොක්‍රටික් පක්ෂේ සපොර්ටස් ල කියන්නේ ඉතින් මිලිටරි කොම්ප්ලේක්ස් එක හැන්ඩ්ල් කරන ලොකු කම්පැනි සහ ඒවායේ අයිතිකාරයෝ නේ. දැන් බයිඩ ට වෙලා තියෙන්නේ. ඉතින් ඒක වුනේ නැහැ. 
රෙස්ට් ඉස්  හිස්ටරි. 
 



  (මෙය ලියා ඇත්තේ යුධ වදින ආක්‍රමණිකයා  හෝ ප්‍රතිප්‍රහාර දෙන්නා අතර යුද්ධය සාධාරණිකරණය කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න -සිද්ධීන් වෙත හෙලන විමර්ශනාත්මක බැල්මක් පමණි)