අර ගංජාසීල වලිමඩුව මහත්තය කියන කතා හරියටම හරි කියල මම මේ කල්පනා කොලේ.
රෑ දහයෙන් පස්සේ මෙසේජ් එවන අය ඕන තරම් ඉන්නවා.
ඔන්න මට දුවරුම දෙන්නෙක් ඉන්නවා. පෙර ආත්ම වල මම තරම් බොරු කියන කෙනෙක් හිටියේ නැති නිසා හම්බවෙච්චි දූවරු., පෙර ආත්මේ ගැන මම දන්නේ කොහොමද කියලා අහන්න එපා. දන්න අය ඉන්නව. ඔය මම ණය දුන්න නෑදෑයෝ මිත්තරයෝ හෙම. ඒ ගොල්ලෝ කියන්නේ ගිය ආත්මේ මම ඒ ගොල්ලන්ට ණය වෙච්චි නිසා මේ ආත්මේ මට එයාලට ණය දෙන්න වෙනවා කියල. ඒ ගොල්ලෝ පන්සලේ හාන්දුරුවන්ගෙන් තමා අහල දැනගෙන තියෙන්නේ. ඉතින් නැහැයි කියන්න පුළුවන්ය.
ඔන්න ඔය දූවරු දෙන්නට කෝල් කලාට මෙසේජ් කලාට පෝං එක ගන්නේ වත් උත්තරයක් දෙන්නේ වත් නැහැ මේ කපේට. ඉතින් මම කරන්නේ, මෙන්න "ඩෑඩ් යනව කේඑෆ්සි හරි, මැක් එකට හරි, පිට්සා හට් හරි" කියල මෙසේජ් එකක් යවනවා. මම යන කේ එෆ් සියක් නෑ. මෙන්න හැරෙන තැපෑලෙන් උත්තර එනව. "මට වින්ග්ස් දහයක් ඕනේ. මට බිග් මැක් එකක් ඕනේ" වගේ කියල. යුනි ගියාට පස්සේ , කොහොමද විභාග කටයුතු කියල හෙම ඇහුවට මෙලෝ උත්තරයක් දෙන්නේ නැහැ. ඒ යුනි වල විභාග නැත්ද කොහෙද? අපි ගිය කාලේ වගේ නෙමේ. හැබැයි මෙන්න "මමී චීස් කේක් එකයි, චොකලට් කප් කේක් එකයි හැදුව " "ඩැඩි හොඳ චිකන් කරි එකක් හැදුව. පව්ලුසා අන්කල් ලෑම්බ් කරි එකක් හදල දීලා ගියා කීවොත්, දෙන්නම එවනවා උත්තර රෑ දොළහට නැත්නම් උදේ තුනට.
"මේ ඩැඩි ඔයා උදේ වැඩ පටන් ගන්න කලින් මාව ගන්න ඉට්ටේසමට ඇවිල්ල. මම එනවා. අර කෑම ඩීප් ෆ්‍රිසර් එකට දැම්මද. කන්න හෙම එපා ඔන්න මම එනකන්" . ඔන්න ඔහොමයි ගංජාසීල මහත්තයෝ.
ඔය මට යෙහෙලියක් ඉන්නව මාතර ගෙවල් තියෙන. අනේ එයත් නිදා ගන්න කෙනෙක් හෙම නෙවේ. ඉස්සර කාලේ පත්තර වලට ලියපු චිර ප්‍රසිද්ධ ලේඛිකාවක් ඈ. ලන්ඩන් වල හවස හයට වැඩ ඉවර වෙච්චි ගමන් වගේ එයා කතා කරනවා. මම ඉතින් රෑ දොළහටත් බ්ලොග් පල් හෑලි කියවා කියව ඉන්න එකෙක් නිසා අවුලක් නැහැ. ලංකාවේ ඉඳන් නිසා හෙන වැදගත් වැඩක් වෙන්න ඇති කියල කෝල් එක ගන්නවා.
"මේ කොහොමද මගේ වොයිස් එක යූටියුබ් දාන්නේ " කියන එක තමා ලොකු ප්‍රශ්නේ. මම ඕව දන්නවා නම් මොකද. මම කිව්වා පින්තුරයක් එක්ක වීඩියෝ එකක් හදන්නකෝ කියල.
"අනේ මේ ඔයාගෙන් කිසිම වැඩක් නැහැ. යාළුවෙක් කියල කීවට" කියල කෝල් එක තියනවා. මෙන්න ලන්ඩන් වල රෑ දොළහට විතර තව කෝල් එකක් එනවා. ඒ කියන්නේ ලංකාවේ වේලාවෙන් උදේ හතරහමාරයි.
"මේ ඔයාගෙන් වැඩක් නැහැ. මගේ යාළුවෙක් අර වොයිස් දාන වැඩේ කරා". මම කොන්ෆියුසියස් හොඳ එකෙන්. මේ මනුස්සය රෑට නිදා ගන්නේ නැත්ද? අර මොබයිල් එකේ කොට කොටා උදේ වෙනකන් ඇහැරලද? ඒක ඇහුව ගමන් මේ ඔයාට ඒකෙන් වැඩක් නැහැනේ. යාළුවෙක් උදව්වක් ඉල්ලුවම කරන්න බැරිනම් කියල පෝං එක කට් කරා. මගේ හදවත රනිල් මැති තුමා ශ්‍රී මුඛය ඇරිය ගමන් කොළඹ කොටස් වෙළඳපොලේ අගය බහිනවා වගේ කඩා වැටුනා මිත්රෝවරුනි. ගන්ජසිල මහත්තයට කියන්න ඕනේ තවම කතා කලේ නැති නිසා තරහ වෙලා වෙන්න ඇති කියල.
ආ තව යෙහෙලියක් ඉන්නව. ලංකාවේ හොඳම පශු වෛද්‍ය තුමී. එහෙම තමා එයාගෙන් බෙහෙත් ගත්ත බල්ලෝ පූසෝ හෙම කියන්නේ. නැහැ බලු හාමිලා එයාලගේ හාං පුතාලට කියල තියෙන්නේ. (ඒක ඇත්තම ඇත්ත ඈ). උත්තමාවිත් ඕන වෙලේක බල්ලන්ට පූසන්ට උදව් කරනවා. මම කිව්වේ බෙහෙත් දෙනවා. ඒ මදිවට හයිකුත් ලියනවා. ඔන්න මට ලන්ඩන් රෑ හතට විතර හයිකුවක් එවනවා අදහස කියන්න කියල. ලංකාවේ වෙලාව එකොළහමාරට විතර ඇති. ඉතින් මම මගේ නෙට්ෆ්ලික්ස් ෂෝ එක බලල ඉවරවෙලා උත්තරයක් ලියනවා රෑ දහයට එකොළහට විතර. ලංකාවේ වෙලාව උදේ තුනහමාර නැතිනම් හතරහමාර. එයා උදේට නැගිට්ටහම බලන්නේ නැතැයි කියල දාන්නේ . මෙන්න යකෝ හැරෙන තැපෑලෙන් උත්තර එනවා. අනේ බෝම ස්තූතියි අයියා කියල. අම්මප මේ උන්දලා බුදිය ගන්නේ නැත්ද? බල්ලන්ටයි පුසන්ටයි එකම ඉන්ජෙක්ෂන් එක ගහන නිසා සමහර විට නිදාගන්න ඕනේ නැතිව ඇති. මොකද උන් නඩු යන එකක්ය .ඔන්න ඕව තමා නිදාගන්න යන ගමන් මටත් හිතෙන්නේ.
ගංජාසීල මහත්තයට කියන්න, මට අක්ක කෙනෙක් ඉන්නව. ලන්ඩන් වලට වලට කතා කරනවා උදේට එයාගේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳන්. අවුලක් නැහැ මමත් ගන්නවා. රෑට උයන්න යනව ඒ ගමන් කතා කරන්නේ කියල කියනව. අනේ ඉතින් ඔය තාවකාලිකව වහල උයන්න යනවකෝ කියල මම කියනව අනුකම්පාවට. නැහැ හලෝ එතකොට කවුරුහරි ආවොත් හම හොඳ නැහැනේ එයාලට එහෙම කරන්න කියල කියනවා. ඉතින් මම වැඩ ඉවර වෙලා ලංකාවේ රෑ එකොළහ වගේ වෙලාවට කතා කරනවා,
"කෝ ඔයා උයල , ඉවරද නිදා ගන්න යනවද".
"පිස්සුද මල්ලි හස්බන්ඩ් ආවහම කාලා වීවී බලල මේවා අස් පරස් කරල රෑ එකට විතර තමා නිදා ගන්නේ" කියල කියනව. මෙන්න ලංකාවේ උදේ හතරට විතරට මෙසේජ් එකක් එනවා. ඉතින් මමත් නිදි මරගාතේ අහනව "මේහ් නිදි නැත්ද? " කියල.
"ආ නෑ, මේ ඇහැරිලා හස්බන්ඩ් ට උයනව කෑම ගෙනියන්න."
වැඩේ කියන්නේ ඊට පැයකට පස්සේ කතා කලොත් ඒත් නිදි නැහැ . "ආ, මං මේ පුතාට කෑම උයනව ගෙනියන්න. "
"ඇයි වදේ උදේ ඉව්වේ හස්බන්ඩට "
"හරි ඒ වුනාට පුතා අරයට උයන ඒවා කන්නේ නැහැ. එයට වෙනම උයන්න ඕනේ" ලංකාවේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න බලන්න අපේ ගන්ජසිලා සද්ධා හිතවතුනි.
තව අක්ක කෙනෙක් ඉන්නව. හරිම අහිංසකයි. මේ කපේට කෝල් කරාට ගන්නේ නැහැ ෆෝන් එක. දූවරු තුන් දෙනාටත් කන්න දීල , වැඩටත් ගිහිල්ල, තුන් වේලෙටම උයනවද දන්නේ නැහැ. ඉස්සර නම් ඉව්ව. ඊට පස්සේ ගංජා සීල මහත්තය කියනව වගේ දහයෙන් පස්සේ කෝල් කරනවා. නැත්නම් මෙසේජ් එකක් දානවා හාව හඳ දකිනවා වගේ.
ඉතින් රෑ දහයෙන් පස්සේ කෝල් කරන , මෙසේජ් දාන කාන්තාරත්නයන් ටික ඔක්කොම කොණ්ඩවලු වලින් අල්ලලා සෙක්කුවක ගැට ගහල වටේ යවන්නද කියන්නේ ගන්ජාසිල මහත්තයෝ?
ඉතින් අපේ ගන්ජසිල මගමෙව්නාව , වැරදුනා වලිමඩුව මහතා ඔය දිරන, කුණු කයක් ඇති කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ අපි වගේ පහත් මනුෂ්‍ය කුලේ ඉපදුන කෙනෙක් නම් වෙන්න බැහැ . එතුමාණෝ ශුද්ධවූ පාරිලෙය්‍ය වනයේ බුදුන් වහන්සේ දුටු ඇත් රජාගේ පරම්පරාවෙන් පැවත එන අලි උන්නාන්සේ කෙනෙක්, හිමාලය වනයට ගිය වෙලේ දාපු ශුද්ධවූ ගොම වලට වැටුණු අඹ පලයක්, පස්සේ ශුද්ධ වූ අඹ ගහක් වෙලා ඒකෙ අඹ පලයක් කන්න ආපු වඳුරෙක් , ඒක තපස් රකින ශාස්තෘන් කෙනෙකුට වළඳන්න දීල, ඒ පිනෙන් ශුද්ධ වූ පිරිමි කුමාරයෙක් හැටියට ඕපපාතිකව ඉපදිලා, පස්සේ කොක් වහන්සේ කෙනක් ඒ ඕපපාතික පුත්‍ර රත්නය හොටින් උස්සාගෙන දුරු කතර, මහා මුහුද සිසාරා පියඹා ඇවිත් මගමෙව්නාවේ ශුද්ධවූ වනාන්තරයේ බොහොම පරිස්සමින් තියල ගිහින්. ඊට පස්සේ හදා වඩාගෙන තියෙන්නේ ඒ ඇත්තෝ. ඉතින් ඔය අමනුෂ්‍ය ගැහැණු පුළුටක් වත් ගෑවිලා නැති නිසා ඉරිසියාවට කියන කතා නෙමේ ඔය.
ඔන්න ඕකයි කතා වස්තුව
-- ගමයා ලීවේ බුකියට 20/02/2024
ප.ලි.
මේ අහිංසකය ගැනත් වචනයක් ලියන්න ඕනේ. කතරගම වඳින්න පයින් යනවා නම්, මඩු පල්ලි වඳින්න පයින් යනව නම්, කැන්ටබරි , හේඩ්රියන් වෝල් වඳින්න පයින් යනවා නම් ඇයි ශ්‍රී පාදේ යන්න බැරි. මට නම් කිසි ප්‍රශ්නයක් පේන්නේ නැහැ මෙතන. ආධාර එකතු කිරීමේ ප්‍රශ්නයකුත් නැහැ දෙන්න කැමති අය ඉන්නවනම් මුදල් විශුද්ධිකරණයක් නෙමෙයි නම් ඔය ලොකු පන්සල් පල්ලිවලට දෙන ආධාර වගේ .