Sunday, 24 August 2025

ඔසාකා සිට කොබේ දක්වා - අරීමා ඔන්සෙන් උණුදිය උල්පත් ගමන



ඔසාකා වල හිටිය ඊලඟ දවස තනිකරම මම සැලසුම් කළේ. ඔසාකා  නගරයෙන් පිට කෝබේ පළාතට යන්න .  හේතු දෙකක් නිසා .   මෙතනින් එහාට ශාක භක්ෂිකයන්ට මේ ලිපිය කියැවීම අපහසු වෙන්න පුළුවන් ඔන්න.
  
කෝබේ හරක් මස් මම මුලින්ම කෑවේ මොස්කව් ගිය වෙලේ  2016 දී . අවියාමතොර්නයා වල අපේ පරණ හොස්ටල් එක ගාව අලුතින් ජපන් අවන්හලක් ඇරලා තිබ්බේ .  වගු ස්ටේක් එකක් තිබිල මම ඇණවුම් කළා .  ස්ටේක් එක රවුමට හදල පිගානේ මැද තියල ආලවට්ටම් දාල ගෙනාවේ . ලන්ඩන් වල ස්ටේක් වලට  වඩා වෙනම රහක් තියනව  කියල චෙෆ් ට කීවහම මිනිහ කීව ඔය කෝබේ බීෆ් කියල.
 
වගු බීෆ් හෙවත් වගු හරක් මස් එක ජපානේ ඕන ප්‍රදේශයක තියනව. වගු කියන්නේ ජපානයේ හරක් මස් කියන එක.   ඒ මසත් ගණන් සාමාන්‍ය ඒවාට වඩා.   මාබලින් කිරීම  (මස් එක ඇතුලේ සුදු පාට මේද ස්තර  මාබල් වගේ වීම),  විශේෂ රසය ,  බටර් වගේ ගතිය සහ ඉතා මෘදු වීම ,  මේ ඔක්කොම වගු හරක් මස් වල තියනව.  ඒ වගේම ඒවා ඇමෙරිකාවේ පවා හදනව .   නමුත් කෝබේ ප්‍රදේශයෙන් එන වගු හෙවත් කෝබේ බිෆ් කියන්නේ කෝබේ කියන ජපානයේ හයුගෝ ෆ්‍රීෆෙක්චර් එකේ විතරක් හදන හරකුන් ගෙන් ගන්න උසස් වර්ගයේ  වගු මස් එකක්.  මේක වෙනම වර්ගයක් ටජිමා කියල    (Kobe is a specific strain, Tajima-Gyu). ඒ කියන්නේ  ඔය ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයට විතරයි ෂැම්පේන් නිපදවන්න පුළුවන් වගේ මේවා කෝබේ වල විතරයි හදන්න පුළුවන්.   

කෝබේ  බීෆ් හැමෝටම හදන්න ලෙහෙසි නැහැ .  ටජිමා ලයිනේජ් එකේ හරක් වෙන්න ඕනේ .  A4/A5 කියල ග්‍රේඩ් එකක් තියනව .  මාබලින් කරන එක හයට වැඩි වෙන්න ඕනේ. ඔය මුකුත් නැත්නම් විකුනණ සහතිකය දෙන්නේ නැහැ. කෝබේ වලටම ගිහින් කෝබේ බීෆ් කන එක ඉතින් වෙනම ලල් එකක් .

දෙවෙනි කාරණේ තමා අරීමා ඔන්සෙන් එකකට  යාම.   ඔන්සෙන් කියල කියන්නේ උණුදිය උල්පත් තියෙන තැන්වල නාන්න හදපු තැන් හෙවත් ස්පා. අරීමා ඔන්සෙන් තියෙන්නේ කිටා කු කියන කෝබේ නගරයේ  වෝඩ් එකක .  අරීමා ඔන්සෙන් එක ගැන සඳහන් වෙනව ක්‍රි ව. 990 රාජකීය වාසල  කාන්තාවක් වන සෙයි ශෝනගොන් ලියපු පොතක ඒකට කියන්නේ පිලෝ බුක් කියල.     ජපානයේ හේයාන් සමයේ සිට  (ක්‍රිව 794 එම්මු අධිරාජයාගේ කාලයේ සිට).  මේ උණුදිය  උල්පත් වලින් ලෙඩ සුව වෙනවා කියලත් කියනවා.  අට වෙනි ශත වර්ෂයේ නිෂෝන් ශෝකී (ජපාන ඉතිහාස ලියවිලි )  වලත් සටහන් වෙලා තිබෙනවා මේ ඔන්සෙන් ගැන. මේකේ වතුර ජාති දෙකක් උනනවා.  කින්සෙන් හෙවත් රත්රන් පාට මඩ වතුර.  වතුර රන් හෝ  දුඹුරු  පාට වෙලා තියෙන්නේ යකඩ මුසු වෙලා නිසා (යපස් ). හම සුමුදු වෙලා සුවපත් වෙනවලු  මේ වතුරෙන් . අනික ජින්සෙන්. මේකේ වතුර රේඩියම් සහ කාබනේට් මුසු වෙච්චි එකක්.  මස් පිඬු රුදාව සහ හන්දිපත් රුදාව සනීප වෙනවලු ඒකෙන් නෑවහම . 
 
 දවස පටන් ගත්තේ ලස්සන දුම්රිය ගමනකින් ඔසාකා ඉඳන්. අංක එකේ සිට හතරට යුටියුබ් වීඩියෝ හතරක්  දැම්ම මේ ගමන ගැන .  මේක අරිමා රේල්වේ සෙනික් රූට් එක .  මවුන්ට් රොක්කෝ කඳු පෙළ පැත්තෙන් යන්නේ . 

මේක සාමාන්‍ය දුම්රියක් නිසා ගමනේදී පළමු මැදිරියේ  ඉදිරි  කොටසේ රියදුරු මහතා පිටුපස හිටගෙන වීඩියෝ කරන්න පුළුවන් වුනා.  මෙතන මගේ ගාව සයිඩ් එකේ හිටගෙන දුම්රිය යුනිෆෝම්  එකක් ඇඳගත් මනුස්සයෙක් හිටිය.  මුහුණේ ඒ කොනේ ඉඳන් අනිත් කොනට ලොකු හිනාවක් දාගෙන. දුම්රිය අන්තිමට නතර වෙන සන්නොමියා -  අරිමගුචි දුම්රිය පලේදී  මට වීඩියෝ කරන්න කීව එයා ගේට්ටුව හරහා සෙනග  යවනකන්.  සංචාරකයෝ දුම්රියට නැග්ගොත් එයාල ගැන හොයල බලන්න ඒ දුම්රිය කම්පැනි එකෙන් දාන කෙනෙක් ලු.  කොහොමද සොයා බැලිල්ල. මේ වීඩියෝ එකේ සෙනග හසුරුවන්නේ ඒ ජපන් දුම්රිය සේවක මහත්මයා . 

   ඒ ගමනට යන අතරමග දුම්රිය පින්තූර ටික බසු ස්ලයිඩ් එකට දැම්ම. අනිත් ලිපි වගේම ජපානයේ ලස්සන දුම්රිය ටිකකුත් තියනවා මෙතන.  ස්ලයිඩ් එකේ දෙවන කොටසේ අරීමා ඔන්සෙන් හෙවත් උණුදිය උල්පත් එකේ ඇතුල බලා ගන්න පුළුවන්. අපි ස්ටේෂන් එකට ගියහම දැක්ක අපි යන ඔන්සෙන් එකෙන් බස් එකක් දාල තියනව එතනට යන්න. මේ ඔන්සෙන් එකේ නම ටයිකෝ නො යු.   සතියේ දවසක් නිසා විශ්‍රාමික මහලු අය වැඩිපුර හිටියේ.  සමහරු මුණුබුරු මිනිබිරියන් එක්ක ඇවිත් හිටිය.  අපි පෝලිමේ ඉන්න කොට ජපන්  කාන්තාවක්  ඉනේස්ට තට්ටුවක් දැම්ම. බලන කොට ඇතුලට යන ටිකට් එක සාමන්‍යයෙන් යෙන් 3500 (£17 වගේ -4000 විතර වෙනවා එක්කෙනෙකුට. මෙයා දුන්න වවුචර් දෙකක් අපි දෙන්නට .  එයාල දෙන්නට වවුචර් දෙකක් තියනව කියල.  ඉතින් අපි දෙන්න ඇතුලට ගියේ භාගයක මුදලට. හැබැයි ගෙවන්න තියෙන්නේ අන්තිමට .      
මුලින්ම ටිකට් අරගෙන ගියහම මැරුන් පාට කිමෝනෝ දෙකක් දෙනවා ඇඳගන්න. දෙන්නට ලොකර් දෙකක් දෙනවා ඇඳුම් ඔක්කොම දාන්න. ඒවා ගන්න පුළුවන් අන්තිමට. ඉතින් අපි මුලින්ම යන්නේ උණුදිය උල්පත් වලින් ස්නානය කරන්න. දැන් ඔන්න නීති දෙකක් තියනව .  එකක් තමා වික්ටෝරියානු සදාචාරය  සුරකින එංගලන්තේ වගේ ඇඳුම් ඇඳගෙන ඒ කියන්නේ බිකිනි, කොට කලිසම් ඇඳගෙන යන්න බැහැ මේක ඇතුළට. ඩෙස්මන් මොරිස් ගේ නිරුවත් වානරයා වගේ යන්න ඕනේ.  අවුලක් නැහැ .රුසියාවේ සහ ජර්මනියේ ඒ වගේ තමා, ගිහිල්ල තියෙනවනේ. ගැහැණු සහ පිරිමි වෙන වෙනම.  ඊළඟ නිතිය ටැටූ බැහැ කොහෙත්ම.  පොඩි එකක්වත් බැහැ . දැක්කොත් එළියට දානවා .  හේතුව තමා මෙහෙ මාෆියාව වන යකුසා එකට සම්බන්ධ වෙන්න නම් ඇඟේ පිටුපස හෝ පපුවේ නයෙක්ගේ ටැටූ  එකක් ගහන්න ඕනේ .  යකුසා එකට විතරක් තහනම් කරන්න බැහැනේ .  එනිසා ටැටූ තියෙන කවුරුත් ගන්නේ නැහැ .     
 

ඉතින් මම ඔය පින්තූරේ තියන රේඩියම් සහ කාබනේට් වතුර එකට බැස්ස .  ඒක රස්නෙයි කියන්නේ අංශක හැටක් හැත්තෑවක් විතර ඇති .  ජැප්පෝ හතර පස් දෙනෙක් හිටිය .  ටිකක් වෙලා ඉන්න කොට මාව අමුවෙන්ම තැම්බෙනව කියල තේරිලා මම එලියට ආව. ඊට පස්සේ එතනම තියන ගෝල්ඩන් පාට වතුර එකට බැස්ස .  මගේ අම්මෝ ඒක  අංශක අසූවක් විතර .  පැන්න එළියට. ජැප්පන්ට හිනා. එකෙක්  කීව උඩට යන්න කියල .  එතන එළියේ නිසා වතුර සීතලයි කියල කිව්වා.  

උඩට ගියහම එතන වටේට ලී බාල්දි තියල තියනවා.  එක්කෙනෙකුට බැහැල ඉන්න පුළුවන් සයිස් එකේ .  මැද ටිකක් ලොකු ගල් බැඳපු නාන තටාකයක් තිබුන,  ඒකට බැස්ස. යන්තන්  වතුර අංශක පනහට වගේ .  එළියේ පොඩි හුළඟක් තිබ්බ නිසා අවුලක් නැහැ .  මගේ ළඟ හිටිය ජැප්ප මාත් එක්ක කතා කරන්න ගත්ත. කොහෙන්ද කින්ද මන්ද වගේ  ආගිය තොරතුරු කතා කරා .  බලන කොට මෑන් ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක්.  ඒකත් ලස්සන රූට් එකක.    හන්ෂින් මේන් ලයින් එකේ මුහුද පැත්තටත් යන. රස්සාවෙන් විශ්‍රාම යනවලු  ඒ  මාසේ.  මම කිව්වා 'හොඳයිනේ නිදහසේ ඉන්න පුළුවන් .  ලෝකේ වටේ ඇවිදින්න පුළුවන් නේ කියල . " ජැප්පට හිනා ගියා .  පොරගේ පඩියෙන් නිවාඩුවට බිරින්දෑ අරන් මුළු ඇමෙරිකා මහාද්වීපයේම ,  යුරෝපෙම සහ ඕස්ට්‍රේලියාසියාවේ ගියා කිව්වා.  ඒ ඇතිනේ ඉතින්.  ගෙදර ඉන්න බැහැ ලු .  ඒක වයිෆ් ගේ ඒරියා එකලු. පොඩ්ඩක්  සම්ප්‍රදායික වගේ නේද කියා  මම ඇහුව .  අපේ වයිෆ් ල නම් වැඩ කරනවා කියලත් කීව. "ආ මගේ එක්කෙනා ටීච කෙනෙක්.  පාසැල ගේ ළඟ ලු" .  රස්සාවක් දැනටම හොයා ගත්ත කිව්වා. පොඩි අකවුන්ට් කෝස් එක්ක කරන්න  වුනාලු .  මට මගේ අසල්වැසියා  බ්‍රයන්ව මතක් වුනා. 

ඔන්න තැම්බිලා ඇති වුනහම අලුත් යාළුවට බායි කියල මම පහලට ආව, බිරින්දෑ හොයාගෙන. තව ටුවරිස්ට් කපල් එකක්  හිටිය.  මම එයාලට කිව්වා. ඒෂියන් නොවන කෙනෙක්  ඉන්නවනම් එන්න කියන්න කියල. උන්ට හිනා. ඒ අතරේ   ඔන්න එයා ආව ඇතිවෙලා. ඒ ගමන අපි ගියා සෝනා  රූම් එකට .  (උණුහුම් කාමරය.)  ඒකෙ බිම ඇලවෙලා ගඟ වෙලා ඉන්න පුළුවන්.  ගැහැණු පිරිමි එකට ඒකෙ ඉන්න තියෙන්නේ. එක තැනක ඉඩ තිබුන එක්කෙනෙකුට විතරක් .  ඇතුලේ තව කාමරයක් තිබුන ඒක රස්නේ වැඩියි .  මේ වෙලාවේ අර අපට වචුචර් දෙක දුන්න කපල් එක හිටිය එතන.  එයාලා කීව එයාල ඉවරයි අපට ඉන්න කියල. තව කපල් තුන හතරක් හිටිය .  අපිත් ඔහේ ඇලවෙලා නිදා ගත්ත.  ඇත්තටම අර උණු වතුර උල්පත් වලින් ආවහම නින්ද යනව.
  
ඊට පස්සේ ගියා සම්බාහනය කරන තැනකට .  මෙතනත් ගැහැණු පිරිමි වෙනම .  ආයුර්වේද සම්බාහනයක් වගේ එකක් තමා ඒකත්.

එතන ෂොප් එකකුත් තියනව අවශ්‍ය දේ ගන්න .  අවශ්‍යතාවයක් නැති නිසා අපි දවල්ට  කන්න ගියා.  මෙතැනත්  වැඩිපුරම   වැඩිහිටි අය තමා හිටියේ අපි වගේ . මොකද මේක රැකියාව දවසක් නිසා වෙන්න ඕනේ .  හැබැයි නියම රිලැක්ස් ලයිෆ් එක . 



කෑම වලට කෝබේ බීෆ් එක්ක සුප් සහ බත් කෑම දෙකක් ඇණවුම් කළා .  මේකේ පින්තූර වෙනම  දානවා ස්ලයිඩ් නැතිව පැහැදිලි කරන්න .    ඉස්සෙල්ලම ඉස්සෝ , නූඩ්ල් සැලඩ් , පොඩි න්ගිරි සෙට් එකක් වගේ ගෙනත් දුන්න .  බිත්තරයක් තිබ්බ තම්බපු නැති .  එක්කෝ එහෙම කන්න පුළුවන් .  නැත්නම් සුප් එකට දාන්න පුළුවන් . 

ඊට පස්සේ ඔන්න ගෙනාව කෝබේ බීෆ්. දැන් මේකේ පේනවා ඇති මාබලින් කලහම එන ෆැට් (මේදය )  ලයින් එක මැප් එකක් වගේ. එක පැත්තක හැම හරක් මස්ම  එකම එක වගේලු ලයින් පැටන් එක.  
   

ඕක හදා ගන්න අපටම  දෙනවා පොඩි ලිපක් .  ඒක පත්තු කරලා යකිනිකු හරි මීසෝ පේස්ට් වගේ සෝස් දාපු වතුර එකට ඒක දාල අපට අවශ්‍ය ගානට හැදුනට පස්සේ කන්න පුළුවන් .  කතාව ඇත්ත.  බීෆ් එක නිකන් කටේ දියවෙනවා වගේ මෘදුයි.  මේක තමා ලිප අපට දුන්න .  කොරියන්  අවන්හල් වලත් කාම්බෝජයේත් මේ පිලිවෙලම තියනව හැබැයි .   . 

කාල බිල ඉවර වෙලා ගෙවල හෙම ආපු විධිහටම හෝටලයට ආව ඔසාකා වල . හැබැයි එතනම නිදා ගන්න තිබුන  නම් හොඳයි කියල හිතෙන තරමට නිදි මතක් ආව. පස්සේ දැනගත්ත එතන  හොටෙල් එකක ඉන්න පුළුවන් කියල .  ඒ ඔසාකා බලා එන ගමනත් වීඩියෝ එකට ගත්ත . 

මෙතැනින් ජපන් ගමන ඉවර වෙන්නේ නැහැ .  ඊට පස්සේ අපට තිබ්බ තව ආහාර සංචාරයක් ඒක තමා අන්තිම එක.  දැන්නම් එපා වෙලත් ඇති. එහෙනම් ම් කියවල අදහස කියන්න . 

අජිත් -24/08/2025     


Sunday, 10 August 2025

ඔසාකා නගරය නරඹා මිස්ටර් ජැක් ගේ බත් කඩේ රෑ කෑම


අර ඔසාකා ඇවිත් ආයේ ගිහින් ආයේ ඇවිත් කෑවේ මොනවද කියලවත් මතක නැහැ නින්දට ගියා .  එදා ගත්ත ඔසාකා නගරයේ පින්තුර ටික මේ බසු ස්ලයිඩ් එකේ දාන්නම්. ඔසාකා ස්ටේෂන් එක උඩම වගේ ලොකු ෂොපින් මෝල් එකකුත් තියෙනවා .  අපි නතර වෙලා හිටියේ ගඟ ගාව හොටෙල් එකක. සමහර පින්තුර එතන ගත්ත ඒවා. 
*************************
 
ඔසාකා නගරයේ විශාල ගොඩ නැගිලි ප්‍රමාණයක්  අතරේ පියකරු ගංගාවකුත් ගලාගෙන යනවා. යෝඩෝ ගාවා කියන ගන්වා ඔසාකා බේ  එකට වැටෙන්නේ. මෙහෙ   සමහර ගොඩ නැගිලි නිකන් ගිනි පෙට්ටි හිටවල වගේ .    අපි මැයි 25 උදේ කියල අපේ එදින ටුවර් ගයිඩ් හම්බ වෙන්න. එයා අයිරිෂ් එක්කෙනෙක් .  එහෙම හම්බ වුනු අනිත් අය වගේම ජපන් යුවතියක් බැඳලා ජපානයේම  නතර වෙලා.  හොඳටම වැස්ස නිසා අපි කාසල් පාක් එකේ හිර වුනා . ඒ අතරේ ගයිඩ් මහත්තයා  පරණ කතාවම කියාගෙන ආවා . ජැප්පෝ මැරීගෙන වැඩ කරනවා. මැරෙනවා වගේ කතාවක්. තද නීති වැඩ කරන තැන්වල. අමාරුයි .  ඒ වෙනකොට මම දත්ත හොයාගෙන සිටි නිසා කෙලින්ම කිව්ව ජැප්පෝ දිවි හානි කරගන්නේ වැඩිපුරම තනිකම සහ ජොබ් එකෙන් අයින් කලහම ,  ජොබ් එකක් නැත්නම් කියල.  උන් වැඩ කරන්න කැමතියි . මේ  අයිරිෂ් ගයිඩ් මල්ලිත්  උදේට ටුවර් දෙකක් විතර යනවා .  ඉංග්ලිෂ් ටීචින්  ජොබ් එකෙන් අයින්  වෙලා ජපන් බිරිඳ  හම්බ  කරන දේ කකා ඉන්නව වගේ මම දැක්කේ. දවසේ වැඩි කොටසක් නිකන් .  එංගලන්තේ  නම් සහනාධාර ලැබෙනවනේ.
   
  කාසල් එකේ මාලිගාව ඇත්තටම ලස්සනයි .  ලොකු ගල් පර්වත ගෙනත් බිත්ති හයි කරලා. ලොකු ගල් පැතලි විධිහට කපලා බිත්ති වල හයි කරලා තියෙන්නේ . 1583 හදපු එකක් නිසා එතරම්ම පරණ නැහැ. පොඩි පොකුණක් සහ මල් වවපු ගෙවත්තක් තියනවා ලස්සනට.   කාසල් පාක් එකේ ඉඳන් ගියේ ශින්ටෝ පන්සලකට .  වඳින්නේ ටිකක් අමුතු විධිහකට.  ඉස්සෙල්ල කකුල් අතපය හෝදන්න ඕනේ වතුර බේසමකින්. ටැප් එකක් තිබ්බ වගේ මතකයි .  ඊට පස්සේ කාසි වලින් සල්ලි පූජා කරලා , ඝන්ටාරය ගහන්න ඕනේ .  ඉන් පස්සේ දෙපාරක් ඔලුව නමල , දෙපාරක් අත්පුඩි ගහල අත්  දෙක එකතු කරල යාඥාව කියවන්න ඕනේ . 

ඔසාකා වල තියනව  කොරියන් සෙක්ටර් එකක් ඉකුනෝ කොරියා ටවුන් කියල.  සම්පුර්ණයෙන්ම ගෙටෝ එකක් වගේ .  පුංචි පුංචි ගෙවල් සහ කඩ එකට එකතු කරල  හදල තියෙන්නේ. එක පින්තුරේක බලන්න උඩ වහලේ  කුණු වතුර ගෙනියන බට හෙම තියනවා. උඩින් පාරවල් සහ රේල්ලුවකුත් යනවා.   ඒ යට තමා කඩවල් තියෙන්නේ. මට හිතුනේ ලන්ඩන් වල චයිනා ටවුන් එක මේ කොරියානු ගෙටෝවට වඩා ඉඩ පහසුයි කියල.
කොරියන් විදී කෑම ජාති කන්න නම් එතනට යන එක හොඳයි .   

මේ පින්තූරය වෙනම දානව මොකද මම මාළු ටැංකියේ පීනන මාළු අරන් උයල දෙනවා දැකල තියෙන නිසා .  රුසියාවෙත් මාළු කඩේ පණ පිටින් මාළු විකුණනවා. නමුත් මෙහෙ පණ  පිටින් පුංචි බුවල්ලෝ  විකුනනවා . එවෙල්ම හදලත්  දෙනවා . 

තවත් දැක්ක දෙයක් තමා ගේම් ෂොප් වල ඉන්න සෙනග කන්දරාව .  උදේ ඉඳන් සෙල්ලම් කරනවලු .  මේ සමහර ගේම් සුදූ. ජපානේ සූදු ගහල සල්ලි දිනන්න බැහැ. ඒක තහනම්.  නමුත් මොනවහරි ටෝකන් වගයක්  දිනුව හැකි .  ඉතින් මේ ෂොප් ආසන්නයේ තව ෂොප් දෙකක් තියෙනවා.  අර සූදු ගහල දිනන ටෝකන් දීලා මොකක් හරි භාණ්ඩයක් ගත්ත හැකි. භාණ්ඩය ඕනේ නැත්නං ඊලඟ ෂොප් එකට ගිහින් සල්ලි ගත්ත හැකි ඒක තහනම් නැහැ.
    
ඒ යන අතරමග ඔසාකා වල උසම බිල්ඩින් එකටත් ගියා .  අබෙනෝ හරුකස් ඒකෙ නම. මීටර් 300 විතර උසයි .  ඒකෙ ඉඳල පහලට බැලුවහම පෙනෙන ට්‍රේන් ලයින් එක ලස්සනයි .  මොඩෙල් ට්‍රේන් සෙට් එකක් වගේ පේන්නේ. ඒකෙ වීඩියෝ එකක් තියනව යුටියුබ් එකේ. ලිපියේ යට ලින්ක් එක බලන්න. 

ඒ ෂොපින් සෙන්ටර් හරියක තමා අපේ චාරිකාව ඉවර වුනේ. ගඟ මැද්දේ සෙනග පිරුණු පාලමක .  ඈතින් කහ පාට 'ෆෙරිස් වීල්' එකක් පෙනුන .  ඒක තියෙන්නේ  දොන් කිහොතේ කියන සාප්පුවට අල්ලලා. මේ ප්‍රදේශයට කියන්නේ දොටොන්බෝරි.  මේ දවල් එකට විතර ඇති එතකොට.  පුදුම සෙනග කන්දරාවක්, අපට පැයකට වැඩිය ගියා එතැන ඉඳන් පයින්ම හොටෙල් එකට යන්න.  සෙනග නිසා.  දුර වැඩි නිසා නෙමේ .   
තේකක් කාරිය බීල හවස් වෙනකන් පොඩ්ඩක් නිදහසේ හිටිය . 

අපි මතක තියා ගත්ත කන්න යන තැනක් .  ඔය කලින් කිවූ බුවල්ලෝ හිස අරගෙන ඒකට වටු කුරුළු  බිත්තරයක් ඇතුළු කරලා හදන කෑමක් තියනව ටකෝ ටමාගෝ කියා. තව කෑමක් තියනවා ටකොයාකි කියල .  බුවල්ලෝ එක එක විධිහට බැදලා. ඔය ආපනශාලාව ඒව හදන එකක් නිසා අපි ඒකට ගියා .  එතකොට රෑ අටයි තිස්පහට විතර ඇති .   වේටර් සහ කෝකියා එක අයෙක් වගේ මම දැක්කේ .  දෙන්නෙක් ඉන්නව කීවහම එයාල දැන් වහල කීව.  මේ ඇරල ඉන්න  තැන සුද්දෝ දෙතුන් දෙනෙක් කනවා දැක්කා.  (සංචාරකයෝ ) මම උන් පෙන්නා කීව අපි දෙන්නයි ඉන්නේ වැඩිය කන්නේ නැහැ .  ටක් ගාල යනව කියල. ඒත් බෑ කිව්වා .  අපි දෙන්න එලියට  ආවා. ඉනෙස්  බෝඩ් එක පෙන්වල කීව අට හමාරට වහනව වගේ නේද  ලියල තියෙන්නේ  කියල .  මම කීව ඒත් අනිත් අය ඉඳගෙන ඉන්නේ.  එයාලා තවම  කෑම හදනව නේ කියල .  මොකද මම කියවල තියනව  ජපන් රෙස්ටුරන්ට් වල - ජපන් කතා කරන්නේ නැතිනම් ඇතුළු වෙන්න එපා  කියල පොඩියට ලියල තියනවා කියල . 

ඉතින් අපි තව  ඇවිදින්න ගත්ත .  තව ලස්සන පොඩි ආපන ශාලාවක්  තිබ්බ. මම 'කොනිචිවා' කියාගෙන ඇතුලට ගියා .  ඉනෙස් පිටි පස්සෙන් ඇතුළු වෙනවා .  ඇතුලේ හිටිය ජපන් චෙෆ් එයාව දැක්කේ නෑ.  මෑන් මට දබර ඇඟිල්ල  දික් කලා.

! යූ ඩ්‍රින්ක් ? නෝ ඩ්‍රින්ක් නෝ කම්" .
මම  "ඉයස් ඉයස්  අයි ඩ්‍රින්ක් ' කියාගෙන ඇතුලට ම ගියා .  ඉනෙස් පිටි පස්සෙන් ආවා.  චෙෆා 

මගෙන් අහනව - "ශි ඩ්‍රින්ක් , නෝ ඩ්‍රින්ක්"?.

මම ටක් ගාලා "ඉයස්" කීව. "ඕකේ සිට්  සිට්" , කියල  උස ස්ටූල්  දෙකක් පෙන්නුවා .  ඒකත් අර කලින් එක වගේ බාර් එකක්  ළඟ ස්ටුල්ස් තියල වගේ .  
       
අපිත් ඉතින්  වටේ ඉන්න දෙතුන් දෙනා එක්ක හිනා වෙලා ඉඳ ගත්ත . 
"ඕකේ යූ ගෝ වෙබ්සයිට්  ඕඩර්. වන්  ස්ටාටර් , වන් ඩ්‍රින්ක්" .  (වෙබ්සයිට් එකට ගිහින් කෑම ඇණවුම් කරන්න .  මුල් බයිට් එකක් සහ ඩ්‍රින්ක් එකක් අනිවාර්යයි )

ඉනෙස් කිව්වා එයාට වතුර ඕඩර් කරන්න .  වැඩිය කන්නත් බැහැ කියල .    

චෙෆ් ට ඇහුනනේ. "නෝ නෝ, නෝ - වෝටර් යූ ගෝ " කියල සැරෙන් කිව්ව. ඒ අතරේ අල්ලපු ස්ටූල් දෙකේ ඉඳගෙන හිටිය ඇමෙරිකන් සංචාරකයා කතා කළා.  

"ඔයාල මෙතන බොන්න ඕනේ .  බොන්නේ නැති අයට එයා කැමති නැහැ .  මම හිතුවේ ඔයා තමා බොන්නේ නැත්තේ කියල" . මෑන්  මාව පෙන්නලා එහෙම කිව්වේ .  
ඉනෙස් කීව 
"එයා නම් ඕන තැනක බොනවා .  මට මහන්සි දැනුනම බොන්නේ නැහැ කියල ."  ඒ කපල් එක ඇමෙරිකාවේ ටෙක්සාස් දෙන්නෙක් .  
මම ඇහුව "ඇයි මම බොන්නේ නැහැ කියල හිතුවේ "  කියල . මිනිහ ඇහැක් චෙෆ් දිහාට ගහල කිව්ව.  "එයාම කියයි"  කියල.  ඒ දෙන්න කාපු කෑම ලිස්ට් එකත් අපට දීලා දෙන්න ගියා . 
මම ටක් ගාලා සකේ දෙකකුයි ස්ටාටර්ස් දෙකයි ඕඩර් කළා .  ඉනෙස් නැගිටලා යයි  කියල බයට.
  
මෙන්න මෙයා නැගිට්ට.  
"මට මෙයා උයන දිහා බලන්න ඕනේ කියා". අර ඇමෙරිකන් දෙන්න ඉඳගෙන හිටපු ස්ටූල් එකේ ඉඳ ගත්ත.  සාමාන්‍යයෙන් එයා  කරන ඕවගේ දේවලට  කවුරුත් චැලේන්ජ් කරන්නේ නැහැ . 
මෙන්න චෙෆ් කියනවා .  
"නෝ සිට් දෙයාර්. නෝ  සිට් දෙයාර් .නෝ  චේන්ජ් නෝ චේන්ජ්" . මෙයා ඉංග්‍රීසි කතා කරන්නේ ඊයේ පෙරේද එංගලන්තෙට ගොඩ බැහැපු 'කවුද' වගේ . 

 ඉනෙස් කිව්වා - "මම  ඔයා උයනවා බලන්න ඕනේ නිසා එතැනට ගියේ කියල".  එතැන ඉඳන් හොඳට පේනවා උයන විධිහ පැත්තෙන් බැලුවහම.  චෙෆ් කිව්ව සැරෙන් වගේ  "!
නෑ බලන්න ඕනේ නැහැ. හිටිය පුටුවට යන්න. " කියල .  



මට දැන් මැරෙන්න හිනා .  ඉනෙස් ට ඔහොම කතා කලේ නැහැනේ කවුරුත් .  මිනිත්තු දහයකට කලින් මට අනිත් ආපන ශාලාවේ ඉඩ නැහැ කිව්වා.  ඔය යන්තන් පේන්නේ චෙෆ් තමා. 


මම ඉල්ලුවේ කියුකම්බර් කපල සලාදයක් .  ඒකට මරු සෝස් එකක් ආව .  බෝතලෙන් නෙමේ ,  එයා එවලේම ඒක හදන්නේ .  උඩ පින්තුරේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ ඉස්සරහ.  යට මගේ කියුකම්බර් එක.  ඉනෙස් ගත්තේ අර එඩමමේ කියන සෝයා බෝංචි කරල්ටික .  මට ජැප්පෝ කියනව  ඇහෙන්නේ "එදා මාමේ" වගේ . 😆.
 
අනිත් පැත්තේ ඉඳන් හිටියේ ඉංග්‍රීසි  කතා කරන්න  පුළුවන් තරුණයෙක්. එයාගෙන් මෙනු එක පරිවර්තනය කර ගත්ත.   මං  ඉල්ලුවේ ටුනා එකක්. මෙහෙ කියන්නේ මගුරෝ කියල ටූන මාළුවට  මම ඒ ඩිෂ්  එක කලින් කාල තියන නිසා ඒක ඕඩර් කළා .  ඉනෙස් ට ගත්තේ ග්යෝසා.  චෙෆ් දැන් මාත් එක්ක හෙන ෆිට්.  මම සකේ එක ඉවර කරලා ඒ ටිකට .  එයාට මිස්ටර් ජැක් කියන්නලු .  ඒ වගේ නමක් ලු තියෙන්නේ. ඉනෙස් මාන කොකා වගේ ඔළුව උස්ස උස්ස මෑන් හදන්නේ මොනවාද   කියල  බලනව .  ඔන්න මිස්ටර් ජැක් ට දුක හිතුන.
  
"ඕකේ, යූ ගෝ දෙයාර්", කිව්වා .  ඉනෙස් ට මාරු වෙන්න කීවේ අයිනේ ස්ටූල් එකට.  මාත් මාරු වුනා ඒ ලඟට.  එතකොට තමා මට තේරුනේ මෙයා එපා කිව්ව හේතුව. අපි ඉඳගන්න තැන නම්බර් එකක් තියනව .  අපි ඕඩර් එක වෙබ්සයිට් එකේ කරන කොට එයා ඉඳ ගන්න තැන නම්බර් එක එන්ටර් කරනව එයාගේ අයි පෑඩ් එකේ. පුංචි මොනිටර් එක්ක හයි කරල තියනව උඩක .  එයාට ඒකෙන් ඕඩර් එක පේනවා . අන්තිමට බිල ගහන්නේ එහෙම.  ලෙහෙසියි පහසුයි.  වෙනම වේටර් ල ඕනේ නැහැ .  පොඩි ජපන් හෝ තායිවාන් කෙල්ලෙක් තමා අත් උදව්වට හිටියේ,  මෙතැන හුඟක් බිසි.  උඩ තට්ටුව කස්ටමර් ලාගෙන්  පිරිලා කියල එයාම කිව්වා .  මෙයා ඒ පැත්තේ ප්‍රසිද්ධයි කියල මට තේරුනා. 
 පහළ තියෙන මගේ ටූන මාලු  දීසියට  කියන්නේ ටකාකි . ඒ කියන්නේ මේක සුෂී හෝ සශිමි නෙමේ .  (අමුම නැහැ ) ලස්සනට ගානට ඔක්කොම මාළු පෙති වටේ ලස්සනට බදිනවා.  මැද පොඩ්ඩක් රෝස පාටට හිටින්න . මීඩියම් රෙයා හා මිඩියම් අතර  ස්ටේක් එකක් වගේ.   ඒක එක කලාවක් ඇත්තටම.  පුරුදු වෙන්නේ නැතිව එපමණ හොඳට ගන්න බැහැ. එයාගෙම සෝස් එකක් දෙනවා ඒක කන්න. තරිඳුව මේක කාලා තියනවද දන්නේ නැහැ.😆😆😎    


ග්යෝසා එකට දුන්නේ ටිකක් වෙනස් සෝස් එකක් ,  ජැක් මේ කෑම වල රහ ගන්නේ එහෙමයි .  උයන්නේ හරි සූක්ෂම විධිහට.  ඉනෙස් මට පෙන්නුවා එක තැනකදී, එයාට කෑම එකක් වැරදුන.  කෙලින්ම කුණු කූඩයට දැම්ම. 
ඔන්න ඔය වෙලාවේ ස්පැනිෂ් උච්චාරණයක් තියෙන කාන්තාවක් ඔලුව දැම්ම.  දෙන්නෙකුට ඇතුළට එන්න.  මිස්ටර් ජැක් කිව්වා ඉඩ නැහැ කියල.  එයා අපි දෙන්න කලින් ඉඳගෙන හිටි තැන පෙන්නුවා. එතැන සීට් දෙක හිස්.  ජැක් ඒත් බැහැ කිව්වා.  අර මනුස්සය දැන් බැගෑපත් වෙනවා .  ඉනෙස් කතා කරන්න හැදුව.  මම එයාව  නැවැත්තුව. "මේක එයාගේ රෙස්ටුරන්ට් එක.  එයා කැමති අය නේ  ගන්නේ.  එයාට සමහර විට තේරෙනව ඇති කවුද ඇවිත් කන්නේ බොන්නේ කියල .  එයාගේ කෑම අගයන්නේ කවුද කියල". අර දෙන්නව ගත්තෙම නැහැ . 

ඔන්න ටිකකින් තව ඉටිකිරිස් චීන වගේ පේන කෙල්ලෝ දෙන්නෙක් ආව. ඉඩ තියෙනවද කියල ඇහුව හිනා වේගෙන.  ගත්ත කෙලින්ම ඇතුළට. මම බිරින්දෑ ට  කිව්වා .  "මෙයා වර්නවාදී  කෙනෙක් නෙමේ.  නමුත් බොනවාදී අමුතු චරිතයක් කියල"
 අපි ගාව ඉඳ ගත්තේ චීන කෙල්ලෝ දෙන්නෙක් තමා.  උන් ජේ පොප් සංගීත ප්‍රසංගයක් බලන්න ඇවිල්ල.  එක කෙල්ලෙක් මෙහෙ ඉගෙන ගන්නවා.  අනික් එක්කෙනා  චීනේ ඉඳන් ඇවිත් බලල යන්න.  උන් අර ජර්මන් සයිස් එකේ ලොකු බියර්  දෙකක් ඉල්ලුම් කලා . කෙලින්ම ලොකු මේන් කෝස් එකක් ගත්ත .  අපි කන්නේ මොනවාද මේවනෙ කෑම. අර චීන කෙල්ලන්ගේ ඉන්ස්ට, ටික් ටොක් වීඩියෝ තියනව නේද කාගෙන කාගෙන යන.  ඒවා බොරුවට කරන ඒවා කියල මම හිතන් හිටියේ .  මොන පිස්සුද, මේ දෙන්න ඒ වගේමයි. 

මම නෝටිස් කරපු දෙයක් තමා චීන්නු ගොඩක් ජපානේ සංචාරයට එනවා .  ඉගෙන ගන්න වගේම. වියදම් කරන්නත් රුසියෝ. තායිවාන් ,  තායිලන්තය , පිලිපීනය වගේ රටවලින් වැඩ කරන්න එන්නේ කියල.    

චීන කෙල්ලෝ මේන් ඒවා ඇනවුම්  කලහම මිස්ටර් ජැක්  මට කියනව   
 "කෝ ඔයාල මේන් මීල් එකක් ගත්තේ නැහැනේ කියල ".
 අපි බැලුව ඒ මොනවාද කියල .  ලොකු රාමෙන් සුප් වගේ ඒවා ,  ලොකු රයිස් දීසි කන්න අපට අමාරුයි .  මම කිව්වා චීන කෙල්ලන් ගෙත් උදව්ව්වෙන් ජැක්ට, 
"අපි රෑට කෑම කන්නේ අඩුවෙන් බව".  ජැක්  "මම දන්නවනම් මම උඹට  එන්නේ දෙන්නේ නැහැ කියල" බක බක ගාල හිනා වුනා . හැබැයි මිනිහ අපට කැමතියි කියල තේරුනා.
 
ඊට පස්සේ කිව්වා මගෙන් බොනවද කියල ඇහුව හේතුව.  "අපි වගේ ඉන්දියන් කට්ටිය ඇවිල්ල වතුරලු ඉල්ලන්නේ "  මට හිනා .  
"ඉනෙස් කියනව "මෙයාට  කියන්න ඕනේ නැහැලු බොන්න" .  
මම කිව්වා "මම ලංකාවේ උපන්නේ.  ඉන්න ලන්ඩන් වල.  ලංකාවේ හුඟක් අය පොඩ්ඩක් ගන්නවා කෑමට බෙහෙතක් වශයෙන් .  ඒ නිසා බය නැතිව ඇතුලට ගන්න කියලා".  ඉනෙස් ඒ ගමන සන්ටෝරි බියර් එකක් ගත්ත .  දැන් ජැක් ගේ හිනාව කටේ පුරවල . 


මම ජැක් ට කීව , ඔබ ඇත්තටම කෝකියෙක් ට වඩා ආටිස්ට් කෙනෙක් කියල . මෑන් කියනව -" නෝ නෝ මී නෝ  ආටිස්ට් . අයි ඇම් කුක් ඇන්ඩ්  ඔව්නර්" ලු. මම තව සකේ එකක් එක්ක ඉස්සෝ දෙන්නෙක් ඉල්ලුව .  කරුමා එබි කියන මේවා අර ටයිගර් ප්‍රෝන් වගේ ලොකුයි. නෙලුම් අල කකෑලි  දෙකක් ලස්සනට සයිඩ් එකේ  තියල තමා දුන්නේ ඒක.

  අපට ඇත්තටම හිතුන කෑවේ නැතත් ලොකු මීල් දෙකක් ගන්න තිබ්බ කියල. හැබැයි ජැකාට ගානක් නැහැ.  එයා උයන දේවල් ගැන රනින් කමෙන්ට් එකකුත් දෙනවා අපට.  ඉනෙස් ලියා ගත්ත.  කොහෙද දන්නේ නැහැ ඒ ලියපුව.  මම ඩෙසට් එකට කියල තල බෝල දීසියක් ගත්ත.  අපේ තලබෝල වගේද කියල බලන්නත් එක්ක .  ඇතුළට බත් දාල, මොකක් හරි බෙරි ජාතියකින් හදපු  ජෑම් වර්ගයක් එක්ක. ලංකාවෙත් ලෙහෙසියෙන් හදන්න පුළුවන් කෑමක්. හරිම රසයි.  තල වල කිරි රසයි,  බතුයි,  ජෑම් නුයි එකතු වුනහම.   ඒක ඇත්තටම උදේට කන්න හොඳයි .  අනික මේවා කෑවහම බඩ ටක් ගාල පිරෙනවා .      


 අපි දෙන්න බිල ගෙවල එලියට ආවේ හරිම සතුටෙන්.  ජැක් ස්තුති කළා . අත වැනුවා එයාගේ වැඩේට ගියා. ඉනෙස් කියනවා හෙන අමාරුකාරයෙක්. ඒ වුනාට එයා කැමතියි කියල. මම කිව්වා කෙලින් කතා කරලා එහෙම කියන මිනිසුන්ට මම කැමතියි .  තේරුම් ගන්න ලෙහෙසියි කියල. අනික ජපන්නු එතරම් වර්ණවාදී නැහැ කියන අදහස තදින් මුල් බැස ගත්ත මේ වෙලේ. ඔවුන්ගේ හැසිරෙන විධියක් තියනව .  ඒක තේරුම් ගන්න ඕනේ. තව ලිපි දෙකක් ලියැවෙනවා. ඉන් එකක් මේ ගැන තව දුරටත් ලියන්න ඕනේ .  ඒ වගේම කලින් ලිපියක කමෙන්ටුවක සඳහන් කරලා තිබුන මගේ ජර්මන් ජාතික බිරිඳ  ඉනෙස් සිටි නිසා මට  එපමණ දැනෙන්නේ නැති වෙන්න ඇති වර්ණවාදී  කම  කියල .  හැබැයි ඒකට පිළිතුරත් මේකෙම තියනව .  එහෙම එකක් නැහැ .  ජැප්ප මූනට කියනවා කියන දේ කියල මට හිතුනේ.

ඔසාකා වීඩියෝ බිල්ඩිමේ උඩ  සිට : 


'ණ' මහතා අසන නිසා ටකෝ ටමාගෝ (වටු කුරුලු බිත්තර  හා බූවල්ලා) පින්තුරයක් දැම්ම . 



මේ මගේ මුලින්ම හමුවුන ජෙප්ප ගැන රුසියාවේදී .  කියවල බලන්න . 
          
     
අජිත් - 10/08/2025
  

Monday, 28 July 2025

කියෝතෝවෙන් බුලට් එකේ ඔසාකා ගිහින් නැවත කියෝතෝ වට සංචාරක දුම්රියෙන්


අර රේල්වේ මියුසියම් ගිය කතාවේ අනික් කොටස තමා මේ .  අපි නැවතිලා හිටි හෝටලයේ ඉනෙස් හිටි කාමරයට අමතරව මම තව කාමරයක් අරගත්තා .  ඒ කාමරයෙන් එළියේ තිබ්බේ  නගරාන්තර දුම්රිය යන පාරක්.  ඒකෙ වීඩියෝ මගේ යූ ටියුබ් චැනලයේ තිබෙනවා.  
මේ තියෙන්නේ ඒකෙ යුටියුබ් වීඩියෝ  එක . 


අපිට ඔසාකා යන්න තිබ්බේ බුලට් ට්‍රෙන් එකෙන්.  පැයට  හැතැප්ම දෙසිය අසූ පහක වේගයෙන්  විනාඩි පහළවකින් යනවා.  ඇති වැඩක් නැහැ .  අපි දැක්ක විශේෂ සංචාරක  ස්ලෝ කොච්ච්චියක් යනවා එදාම .  ජපානයේ එහෙම දුම්රිය තියනවා .  වටපිට  බලන් යන්න ලස්සන දුම්රිය සේවා තියනවා .  ඒවා හිමින් යන්නේ, සංචාරකයන් වෙනුවෙන්. ලොකු ගානකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ටිකට් එකේ ගාණටම.   සංචාරකයන් කියන්නේ විදේශිකයන්ම නෙමේ .  ජපන්නුත් එහෙම දුම්රිය ගමන් යනවා හරියට .  ට්‍රැවල් ඒජන්ට් ට කතා කළා .  අපට  ශින්කන්සෙන් බුලට් ට්‍රේන්  ටිකට් දෙක ලොස් වෙනවා කිව්වා .  පස්සේ ඉතින් මට තියෙන කෝච්චි  පිස්සුව නිසාම ඉනෙස් කැමති වුනා ඔසාකා ගිහින් අර දුම්රියේ ආපහු කියෝටෝ ඇවිත් යන්න .  ඉතින් ඒක තමා කළේ. ඔසාක ගිය  ගමන් හෝටලයේ බෑග් දෙක දාල අනිත්  පැත්තට ඔසාකා උමේඩා කියන සාමාන්‍ය දුම්රිය යන ස්ටේෂන් එකට ආව.  
ඔය කියන දුම්රිය වේදිකාවට එන හැටි වීඩියෝ එකට ගත්ත .  කියෝටෝ වලට යන මාර්ගය පළමුවන මැදිරියේ ඉඳගෙන වීඩියෝ කළා .  ඒවා ඔක්කොම කැමති අයට යුටියුබ් චැනලයේ බලන්න පුළුවන් .  එකක් විතරක් දාන්නම්  මෙතන . 


ඔසාකා සිට කියෝතෝ දක්වාත් කියෝටෝ සිට ඔසාකා දක්වාත්  මුළු ගමනම වගේ වීඩියෝ කළා පළමුවන මැදිරියේ ඉඳගෙන.  යන ගමන ගියේ වැස්සේ.  මේවා ඉලෙක්ට්‍රික් ට්‍රේන්. මේ වගේම ඒවා රුසියාවේ තිබුන ඉලෙක්ට්‍රිච්කා කියල කිව්වේ. 
මේ ට්‍රේන් වල ඇතුලේ මල් පැල තියල, නිවසක වගේ ලස්සන පින්තූර එල්ලලා  එක එක සැරසිලි හදල තියෙන්නේ .  මට අර සැරසිලි දාපු ලංකාවේ බස් ගැන මතක් වුනා .  මිනිසුන්ට අවහිර නොකෙරෙන්න සහ ජිවිත හානියක් නොවෙන්න ඒවා කරනවානම් අවුලක් නැහැ නේද කියලත් හිතුන .  හැබැයි මේ දුම්රිය වල මැදිරි අලංකාර කරලා තියෙන්නේ ටිකක් පිළිවෙලකට.    පින්තුරවලින් ඒක පැහැදිලි වේවි .    මේ තියෙන්නේ ස්ලයිඩ් ෂෝ එක . 
****************************************************
ජපන්නු වර්ණවාදී ද කියන සැකය ආවේ මිනිස්සු මං ගාව ඉඳගන්න එන්නේ නැති නිසා . අපි සීට් බුක් නොකරපු  බුලට් ට්‍රෙන් වල බෑග් තියල තියෙන සීට් වල බලෙන් වගේ ගිහින් ඉඳ ගත්ත .  ඒ ගොල්ලෝ බෑග් අරන් ඉඩ දුන්න.  හැබැයි හුගක් අය සීට් තුනේ  මැද සීට් එක හිස් කරගෙන යනව ,  අනිකා ගේ ස්පේස් එකට ගරු කරනවා.   හැබැයි මේ දුම්රියේදී මට පැහැදිලි වුනා තමන්ට අවශ්‍ය  නම් සීට් හරවා ගන්න පුළුවන් කියල .  නිදහසේ පාඩුවේ යන්න .  අනික නිහඬත්වය හොඳට තේරෙනවා.  කවුරුත් මොබයික් වලින් කෑ ගහන්නේ නැහැ .  කෝල් ගන්නේ නැහැ .  දුම්රියේ පොතක් කියවගෙන හීන් හඬින්  කතා කර කර නැත්නම් එළිය බලාගෙන ගිය හැකි . ඒක මේ මිනිස්සු අගය කරනවා .  අපට ගුරුවරියක් හම්බ වුනා .  එයා නම් තරමක් විශාල නිවසක නගරයෙන් පිට ඉන්න කෙනෙක් .  එයා කියනවා හුඟක් අය එහෙම නිවෙස් අත හැරලා රැකියා තියෙන ස්ථාන  වලට යනව කියල. 
අන්තිම පින්තුරේ තියෙන්නේ දවල්ට කන්න ගිය තැන .  බෑග් බිම තියන්න ඕනේ නැහැ .  වේවැල් බාස්කට් තියනව ඒවා තියන්න .  කන ඒවල  පින්තූර නම් ගත්තේ නැහැ. බැදපු චිකන් , පොඩි පොඩි සැලඩ් ජාති. බඩ ගින්නට කාගෙන ගියා .  

අපි ඔසාකා ගිය දෙවෙනි දවසේ ටුවර් එකකට ගියා .  ඒකෙ මේ භාණ්ඩ වල ගණන් ඉතාමත් වැඩි නිසා ඒ ගැන පින්තුර ටිකක් දාල විස්තරයක් කියන්න හිතුන .  
ඇපල් ෆෝන් එකේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් දන්නවනේ. එයා ජපානයට එන හැම වතාවෙම විශේෂ පුද්ගලයෙක් මුණ ගැහෙන්න යනව. ස්ටීව් ජොබ්ස් ජපානයට හුඟක් කැමැති පුද්ගලයෙක් .  ඇපල් අයිෆෝන් එක හදන්න පටන් ගන්න කොට හුඟක් ජපන් නිෂ්පාදන ක්‍රම උපයෝගී කරගෙන තියනවා. 

ජපානේ කිසියම් නිෂ්පාදන කාර්යයකට සුවිසේෂි දක්ෂතා තියන අය ඉංජිනේරුවෝ ,  නිර්මාණකරුවෝ හෙම  හඳුන්වන්නේ  ටකුමි කියල . මේ අයට ඉංග්‍රීසියේ ආර්ටිසන් එහෙම නැත්නම් ශිල්පීන් කියල කියන්න පුළුවන් .  නමුත් ඒ වචනය් ඇත්තටම මදි .  මොකද සමහර විට ඒ දක්ෂතාවය දැඩි කැපවීමකින් එන දෙයක්. තැටි  වාදනය කරන්න පුළුවන් ටර්න් ටේබල් ඉඳිකටු හදන්නේ ජපානයේ විතරයි .  ඒ මැෂින් නිවැරදිව ක්‍රියා කරන්න දන්නා අය දැනට එහෙ විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
 
ස්ටීව් ජොබ්ස් යුකියෝ සකුනගා හම්බ වෙන්න අනිවාර්යයෙන්  යනවා .  ඔහු තරම් හොඳ ජපන් පෝසිලෙන් වලං සෙට් හදන වෙන කෙනෙක් නැහැ කියල ජොබ්ස් හිතුවලු එයාගේ ප්‍රදස්ර්ශ්නයකට ගිහින් .   ඒවා ඒ තරමටම ලස්සනයි. අති විශිෂ්ට නිමැවුම් .  ඔහු හැම වෙලේම  මොකක් හරි ජග් එකක් ,  පිඟානක් , පීරිසි කුට්ටමක්, වළන් දෙක තුනක්  මිලදී ගන්නවලු .  ඒ අතරේම පෞද්ගලිකව යුකියෝ හමුවෙලා මේ පෝසිලෙන් හොයාගන්නේ කොහොමද ,  හදන කොට අනුගමනය කරන විධි  ගැන හෙම පැය  ගණන් සාකච්ච්ච කරලා තියනව.  ඉතින් ජොබ්ස් ට තමන්ගේ නිර්මානයත් ඒ වගේ අඩුපාඩු හැකි තරම් අඩු විශිෂ්ට එකක් කරන්නැයි  ඕන වෙලා තියෙන්නේ .     


මේවා සාමාන්‍යයෙන් ටිකක්  ගණන්  කියල පේනවනේ.  මෙතනින් මම එන්නේ අපි ඊළඟ දවසේ ඔසාකා ෂොපින් සෙන්ටර් එකට ගිය වෙලේ දැක්ක දෙයක් නිසා .  මේ වගේ දුර්ලභ විධිහට හදන පළතුරු , සකේ ,  බීම හෙම විකුණන්න වෙනම ෂොප් තියනව .  ඒවා සෑහෙන්න ගණන් .  නමුත් මේවා හදන්නේ ඒවාට විශේෂයෙන් පුහුණු වෙච්චි අර වගේ ටකුමිලා .  ඒ වගේ ගණන් දෙයක් අරන් උපන් දිනයකට ,  වැඩ කරන තැන බොසා ට ,  දෙමව්පියන්ගේ විශේෂ දවසකට හෙම තෑගී දෙන එක ජැප්පන්ගේ සිරිතක්ලු .  මෙතන කොමඩු ගෙඩි දෙකක් තියනවා පවුම් 160 විතර වෙන.  රුපියල් හැට දහසක් වගේ .  ඒවා වෙනම වැලකින් බොහොම සැලකිල්ලෙන් හදපු ඒවලු . රස වෙනස් ලු .  හැබැයි ඉතින් ජැප්පන්ටම හොඳයි. අර විස්කි නම් ගත්ත පුංචි  බෝතල් සෙට් එකක්.  මොකද එකක් පවුම් 100 සිට ඉහලට, දාගෙන එන්න ඉඩත් නැහැ ගත්තත් . යමසකි අවුරුදු 18 පරණ එක පවුම් 600 විතර වෙනවා .  අවුරුදු 12 පරණ එක 150 ට තියනව. ඒක ටිකක් තද රසයක් තියෙන්නේ .  අනිත් ඒවා හරිම මෘදුයි.   


ඊළඟ ලිපියෙන් ඔසාකා හි ඉතිරි දවස් දෙකේ කෑම ගැන තමා කියන්න තියෙන්නේ .  මොකද ඔසාකා නගරය තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක්. අන්තිම පින්තුරයක් තියනවා හෝටල් කාමරේ සිට ගත්ත .  14වෙනි තට්ටුවේ හිටියේ .  
බොරුනම් බලන්න ෆොටෝ ටික . 

කොළඹ ගමයා 28/07/2025


ස්ටීව් ජොබ්ස් ගේ කතාව උපුටා ගත්තේ හෙක්ටර්  ගාෂියා ගේ 'ඉකිගායි' පොතෙන් . 

Monday, 14 July 2025

කෝච්චි පිස්සෙකුගේ සවාරියේ හොඳම දවස


මේකත් සිදුවුනේ ක්යෝටෝවේ ගත කළ අන්තිම දවසෙම තමයි ඒ කියන්නේ 2025 මැයි  23 .  අර කෑම ගන්න යන්න කලින් ලැබුණු පැය කිහිපය .  නාරා වල මුවන් හෙම බලල දුම්රියෙන් අපි ආපහු හෝටලයට ආව.  මොකද ටුවර් බස් එක ගියා දවල් කෑම (බුෆේ ක්‍රමයට ) ගන්න සහ ජපන් හරිත තේ හදනවා පෙන්වන්න.  අපි ඒ කෑල්ල හැලුව. බස් එක අපිව ක්යෝටෝ යන්න දුම්රිය ස්ථානයකට ගෙනත් ඇරලුවා. ඒ  දුම්රිය ගමන යුටියුබ් එකට දැම්ම, බලන්න  .   
ක්යෝටෝ ආවහම ඉනෙස් කීව  ඔයාව සප්‍රයිස්  කරන්න යන්නේ කියල. මම හිතුව කෑම කන්න යනවා කියල .  හැබැයි දැන් විනාඩි දහයක් පහලවක් ඇවිදිනවා,  නගරය මැදින්, කොහේ යනවද කියල කියන්නෙත් නැහැ. මම දැක්ක දෙයක් තමයි නගරය සම්පුර්ණයෙන්ම වගේ හිස් කියල .  මිනිස්සු වැඩ. පාරවල සෙනග නැහැ .  ළමයි සෙල්ලම් කරනවා දැක්කා උද්‍යාන දෙකක තුනක .   ඊට පස්සේ තවත් උද්‍යානයකට ආව. ඒකෙ යනකොට පොඩි පොඩි සංඥා දැක්ක .  මේ පින්තුරේ එකක්. නිතර දුම්රිය යන දුම්රිය මාර්ග කිහිපයක් අයිනේ තමා උද්‍යානය තියෙන්නේ. මේකේ  තැන තැන සිමෙන්ති හෝ යම් පාෂානයකින්  හදපු පොඩි දුම්රිය එන්ජින් තියෙනවා මේස වල .  මම ඇහුවා පරණ කෝච්චියක් පෙන්වන්නද යන්නේ කියල .  

ඔන්න සප්‍රයිස් එක .  ක්යෝටෝවේ දුම්රිය කෞතුකාගාරය. ඉනෙස් ට්‍රැවල් ඒජන්ට් එක්ක කතා කරල හවස ෆ්‍රී කරගෙන. ඔන්න ඕකයි ආදරේ කියන්නේ ඈ. හස්බන්ඩ් කැමති දේ හොයල හරි එක්කන් යනවා පෙන්වන්න .  
මෙතැන් ඉඳන් ස්ලයිඩ් ශෝ එක .  වීඩියෝ කිහිපයක්ම යුටියුබ් එකට දැම්ම.  
*************************************** 

මම එන්ජින් වර්ග වලට කැමැති ඒවායේ නිර්මාණශිලිත්වය සහ විවිධත්වය නිසා කියල මම හිතන්නේ. විනෝදාංශ  වශයෙන් මම ගොඩක් දේවල් කළා.  සංචාරයට යන විවිධ  නගරවලින් රිදී හැඳි එකතු කළා කාලයක්. ඊට පස්සේ ෂොට් ග්ලාස් එකතු කළා.  කාසි එකතු කළා.  පරණ කාර් මොඩල්  එකතු කළා .  ළමයි දෙන්නා ප්‍රයිමරි කාලේ පාෂාණ වර්ග එකතු කලා එයාලට කියා දෙන්න.  තාරකා විද්‍යා ඩිග්‍රිය කරන කොට ටෙලස්කෝප් එකක් ගත්ත.  තරු බැලුව.  ඕන වෙලාවක ආපහු යන්න පුළුවන් විනෝදාංශ වැඩ .  හැබැයි මොඩෙල් ට්‍රේන් සෙට් එකක් හදන එක හිත අස්සේ හැංගිලා තිබ්බ.  මොකද ඒවා  ගණන් නිසා . ඒ වෙනුවට රේල් ජර්නි ඇති තරම් කළා .  මාමණ්ඩිය ළඟ හොඳ ගණන් වැඩි  ජර්මන් මොඩල් ට්‍රේන් සෙට් එකක් තියනවා .  ඒක බිත්තිය උඩ ගහල තියෙන්නේ. තිබ්බට වැඩක් නෑ.  ජපානේ මේවා සාපේක්ෂව ලාභයි අනිත් හැම රටකටම වැඩිය.  ඉතින් ජපන් සෙට් එකක් තමා ගත්තේ .  මේ දිනවල ඒකෙ වැඩ . 

ස්ලයිඩ් වල දහතුන් වෙනි එකේ බලන්න දුම්රිය පෙට්ටියක් යටට ගිහින් බලන්න පුළුවන් විධිහට හදල තියනවා. සමහර පින්තූර වල ශින්කන්සෙන් බුලට් ට්‍රේන් එක විකාශනය වුන හැටි බලන්න පුළුවන් . 

සමහර පින්තූර වල තියෙන්නේ පරණ  රේල් එන්ජින් සහ මැදිරි,  පරණ රේල්වේ සිස්ටම් වල යොදවපු  සිග්නල් බොක්ස් රූම් එක, පරණ පරිගණක , පරණ ටිකට් මැෂින්,  ඉලෙක්ට්‍රික් ටට්‍රේන් වල  උඩ විදුලි රැහැනට සම්බන්ධ කරන පැන්ටෝග්‍රාප් එක .  ඒකෙ වීඩියෝ දෙකක්  ගත්ත යුටියුබ් එකට. 

   පින්තූර හුඟක් තියෙන නිසා තව ස්ලයිඩ් ෂෝ දෙකක් දාන්න වෙනවා.  මේ දෙවෙනි එකේ ටිකට් මැෂින් වලට අමතරව ජපන් රේල් කම්පැනි වල නම් දාල තියනවා .  ජපානේ තමා මම හරියටම දැක්කේ පුද්ගලික කම්පැනි අතර තරඟකාරීත්වය මහජනයාගේ (පාරිභෝගිකයාගේ)  යහපතට හේතු වෙලා තියනව .  මොකද එංගලන්තේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් ජලය,  දුම්රිය,  විදුලිය, ගෑස් ඔක්කොම පෞද්ගලිකරණය කළානේ. අපි වැඩිපුර ගෙව්වට වතුර  අපතේ යනවා ඝන මීටර් මිලියන් ගණන් .  ෆැට් කැට් ඩිරෙක්ට ලා ලාභ ගන්නවා, අපි ගෙවනවා .  ගෑස් සහ විදුලියත් එහෙමයි සෑහෙන කාලයක ඉඳන් .  දැන් ටිකක් තරඟය නිසා මිල වැඩිවෙනවා අඩු වුනත් යුද්ධේ නිසා ආයෙත් අවුල් .  දුම්රිය සේවය තමයි කාලම දැම්මේ.  දුම්රිය කම්පැනි ලාභ ගත්තට දුම්රිය අලුත් වැඩියා කළේ නැහැ.  ට්‍රැක් පරණයි. යුරෝපිය සංචාරකයෝ හිනා වෙනවා දැක්කම.   ටිකට් වල ගාන මුළු යුරෝපෙම වැඩිම .  ඔහොම ඉඳල අන්තිමට කෝබින් හෙමත් ඒ කාලේ  තර්ජනය කළා ආපහු  ගන්නවා කියා බලයට ආවොත්. එතකොට බයට ආයෝජන කරන්න ගත්ත. දැන්නම් හොඳ අලුත් දුම්රිය එන්ජින් සහ රෝලින් ස්ටොක් තියනව.   කෝබින් පැරදුනහම ආයෙත් පරණ ලෙවල් එකට ගියා ටිකක්. අගමැති  කියර් ස්ටර්මර් ගේ කම්කරු රජය පහුගියදා  සවුත් වෙස්ටන් රේල්වේ එක රජයට පවරා ගත්ත,  නව ග්‍රේට්  බ්‍රිටිෂ් රේල්වේ කියන  රජය සතු සමාගමට.

ජපානේ එක එක ලයින් වෙන් වෙනම රේල් කම්පැනි අතරේ රන් වෙන්න .  සමහර වෙලාවට තැනකට යන්න රේල් කම්පැනි දෙකක හෝ තුනක දුම්රිය  තියනව .  අපට වැරදුනා  දෙතුන් පාරක් .  නමුත් ඉතා හොඳ සේවයක් වැඩ කරන අය ලබා දෙන නිසා  ප්‍රශ්නයක් වුනේ නැහැ ,  සමහර තැන් වල ටිකට් කවුළුවෙන්  එලියට ඇවිත් ප්ලට්ෆොර්ම් එකට  යන විධිහ කියල දෙනවා. එක්කෝ එක්කගෙනම යනවා .  වෙන කම්පැනි එකකින් නම් ටිකට් ගන්න තියෙන්නේ ඒ විස්තරත් දෙනවා .  තමන්ගේ කම්පැනි එක වෙනුවෙන් පුදුම කැපවීමකින් වැඩ කරනවා .  මට එතන පෙනුනේ නැහැ බලෙන් වැඩ ගන්නවා කියල සමහරු කියනව වගේ.  එසේම එක  කම්පැනි අනිකට වඩා හොඳ වෙන්නේ ජරා වැඩ කරලා ,  යටි කුට්ටු වැඩ කරලා නෙමේ කියලයි මට පෙනුනේ .   පාරිභෝගිකයාට හොඳට සලකල තමා එයාල දියුණු වෙන්න බලන්න .  මේ මම දැකපු විධිහ. 

මේ ස්ලයිඩ් වල තවත් දෙයක් තිබෙනවා .  මේ මියුසියම් එකේ නොයෙක් වාෂ්ප එන්ජින් වල හරිම රෙප්ලිකා තනා තිබෙනවා .  ගන්න පුළුවන් තරමක් පින්තූර ගත්ත .  ඒවා සමහරක් මේ ස්ලයිඩ් එකේ බලන්න පුළුවන් .  

***********************************************
 

එසේම මේ කෞතුකාගාරයේ තියනවා මොඩෙල් ට්‍රේන් නගර දෙකක් .  එකක් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ක්‍රියාත්මක කරවන්න්පුළුවන් බුලට් ට්‍රෙන් එකක් සහ නගරාන්තර දුම්රියක් .  පළමුවැනි  එකේ  වීඩියෝ එක මෙතන . 


මෙතන වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරල තියෙන්නේ.  දෙකම බලන්න . 

මේ වීඩියෝ එකත් හුඟක් ලස්සනයි .  මේ මොඩෙල් විලේජ් එක හෝ නගරයක දුම්රිය ධාවනය .  ඒකෙ ප්ලෑන් එක තමයි මේ පින්තුරේ තිබෙන්නේ .  මුළු වීඩියෝ එකම බැලුවොත් රාත්‍රියට පුංචි මොඩෙල් ට්‍රෙන් වල ලයිට් දාගෙන යනව බලන්න  ලස්සනයි . 

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක . මේක මිනිත්තු පහක් විතර යනවා . 

ඊළඟට තියෙන වීඩියෝ දෙක ලෙහෙසියෙන් හම්බ වෙන්නේ නැති අවස්ථාවක් .  වාෂ්ප එන්ජිමකට ගල් අඟුරු පුරවනවා බලන්න පුළුවන් එක වීඩියෝ එකකින් . 



ඊළඟ වීඩියෝ එකේ පෙන්වන්නේ ඒ එන්ජිම ෂන්ටින් කරන හැටි සහ ගාල් කරන හැටි .  මේක ඉතා දුර්ලභයි මට නම් .  මම අන්තිම සැරේට එහෙම දැක්කේ පොල්ගහවෙල දී  සහ බදුල්ලේදී හැත්තෑ ගණන් වල.
  





තව වීඩියෝ කිහිපයක්ම එතන අප්ලෝඩ් කළා . හැකිනම් බලන්න .  මේ බ්ලොග් ලිපිය මෙපමණ පමා වුනේ ස්ලයිඩ්  හදන්න සහ වීඩියෝ අප්ලෝඩ් කරන්න කාලය ගතවුණු නිසා . 
හැබැයි ඉතින් දුම්රිය හා ඒ සම්බන්ධ දේ ගැන කැමති අය  වඩා එන්ජෝයි කරයි ලිපිය.

ප . ලි :  බසු මෙතඩ් එකට පින්තුර 4 ක් දාල ට්‍රයි එකක් දුන්න .  ඒකට ප්‍රතිචාරයක් දෙන්න , හොඳ මොකක්ද කියල .  
දැන් බලන්න ඕනේ ස්ලයිඩ් එක වෙනස් කලොත් HTML එක අප්ඩේට් කරන්න ඕනෙමද කියල .  
 
ප. ලි . - මෙන්න හදාගෙන යන එක දැනට .  මේක n -gauge කියන පොඩිම ට්‍රැක් සයිස් එක . 


 
කොළඹ ගමයා - 15/07/2025  

Friday, 4 July 2025

කියෝතෝ වේ අන්තිම දවස - නාරාවේ මුවන්


කියෝතෝ  වල හිටපු අන්තිම දවස මැයි විසිහතර  .  ඒකට මේ ලිපිය නෙමේ වෙන ලිපියක් ලියන්නම වෙනවා .  මැයි විසි තුන දා උදේම අයෙත් අර පරණ  ටුවර් බස් එකටම නැග්ගා. මෙදාපාර  ගියේ නාරා කියන නගරයට .  මේක තියෙන්නේ කියෝටෝ සහ ඔසාකා අතර .   

මුලින්ම අපි ගියේ නාරා පාක් එක හරහා කසුග - ටයිශා  ශින්ටෝ සිද්ධස්ථානය බලන්න .  ඒ අතරේ තිබ්බ පොඩි ජලාශයක පින්තුර සහ ශින්ටෝ පන්සලේ බකට් එල්ල තියෙනව බැලුව හැකි මේ ස්ලයිඩ් ශෝ එකේ .  මේ ස්ලයිඩ් දැමීමේ අදහසේ සහ අවවාද මාලාවේ  පුර්ණ ගෞරවය හිමි වන්නේ ටොරොන්ටෝ හංදියේ දොරකඩ ගහේ තැන්පත් මූකලන් බස්සා මැතිසඳට .   (යොමුවද තිබේ ) 

මේ පන්සල නාරා වල වැදගත්ම පන්සලක් .  හදල තිබෙන්නේ ක්‍රි . ව 768 විතර .  ෆුජිවරා කියන නෝබල් පවුල ඉතා  බලවත් .  ඔවුන්ගේ පෞද්ගලික සිද්ධස්ථානයත් හැටියට මුලින්ම නිර්මාණය කරලා තිබෙන්නේ . මේ පන්සලේ තඹ  ලන්තෑරුම් හුඟක් එල්ලලා  තිබෙනවා පන්සලට පූජා කරපුව. ඒකත් ලස්සන දර්ශනයක් . අර ලෑලි කෑලි එල්ලල තියෙන්නේ ලංකාවේ බෝධි වල එල්ලනවා වගේ සුභ ප්‍රර්ථනා ලියල හෝ මිය ගිය ඥාතීන් සිහි පත් කිරීම් . 




 පන්සලේ ශින්ටෝ දෙවියන්ට පණිවිඩ ගෙනියන්නේ ගෝන්නු  සහ මුවන්.  ගෝනෙක් ගේ ප්‍රතිමාවක් තියෙන්නෙත්  ඒ නිසා .  මේ නිසා අපි ඊළඟට ගියේ නාරා වල මුවන් ගේ උද්‍යානය බලන්න .   ශින්ටෝ කසුග ටයිෂා පන්සල වැඳලා හැමෝම මෙතනට එන්නේ මුවන්ට කෑම දෙන්න. පොඩි විස්කෝතු වගයක් තියනවා යෙන් කිහිපයක් දීල ගන්න පුළුවන් . කන්න දෙන එකත්  හිනායන දර්ශනයක් තමා .  ගැහැණු කට්ටිය කෑම අරන් දුවනව, කීං කෑං  ගගා.  මුවෝ පස්සෙන් පන්නනවා.  කොච්චර කීවත්  අහන්නේ නැහැ එක තැන ඉඳන් කෑම විසි කරන්න කියල .  අපිත් එක්ක බස් එකේ ගිය දකුණු අප්‍රිකානු කාන්තාවක් තමා ඔය ඉන්නේ .  



හැබැයි ඉතින් සමහර අය මුවන්ට ආචාර කරලා කෑම දුන්න කිසි ප්‍රශ්නයක් නැතිව .  ඉස්සෙල්ලම මුවාට ඔලුව නවන්න ඕනේ ජපන්නු වගේ .  ඊට පස්සේ මුවත් ඔලුව නවනවා . ඉන්  පස්සේ විස්කෝතුව  පිටි පස්සේ හංග ගන්න ඕනේ .  එතකොට මුවා ආයෙත් ඔලුව නවනවා .  එතකොට දෙන්න ඕනේ කන්න . මගේ යුටියුබ්  එකේ බලන්න පුළුවන් .  කැමතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අළුත් ආකර්ශනිය දර්ශනීය වීඩියෝ සඳහා .  😀😁



අපි අවුරුදු දෙකකට කලින් ලංකාවට ගිය වෙලේ සංචාරකයෝ වගයක් ඉසුරුමුණි විහාරය ඇතුලේ  ෆොටෝ ගන්නවා .  බුදු පිළිමයට පිටුපස හරවල වගේ හිටියේ ,  බුදු පිළිමයත් එක්ක පින්තුරය ගන්න ඕනේ නිසා .   ටුවරිස්ට් ගයිඩ් අය්යාර්  කෙනෙක් එකපාරටම  හෙන  හයියෙන් කෑ ගහල  බනින්න ගත්ත. ඒ  සංචාරකයන්ට සහ ඒ අය එක්කරන් ආව ගයිඩ් ට .  රටේ නීතියට ගරු කරන්නේ නැහැ .  ආගමට ගරු කරන්නේ නැහැ කියල .  මම ඉනෙස් එක්ක ඒ ළඟම හිටි නිසා මටත් එක්ක   බනින්න ගත්තේ ඒ සංචාරකයෝ මගේ අය  කියල හිතා ගෙන .  අපි පොළොන්නරුවෙන් වෙනම  ටුවර් ගයිඩ් කෙනෙක් අරන් ගියේ .  එයා  කීව "නෑ මේ මහත්තයල මමත්  එක්ක ආවේ කියල" ඒ ගමන මෑන් අපි එක්ක එකතු වෙලා අර මිනිසුන්ට බනින්න ගත්ත.  අර සංචාරකයන් ගේ ගයිඩ් පස්සේ ඇවිත් එයාගේ සංචාරකයෝ අරන් ගියා. 

මම මේ ජපන් සංචාරයේදී දැක්කේ  එක  තැනකදී ඇරෙන්න (දහසක් බෝධිසත්ව පිළිම එකේ පින්තුරැ ගන්න  දෙන්නේ නැහැ ඒවා විනාශ වෙයි කියල ) සංචාරකයෝ තමන්ට  ඕන විධිහට පින්තුර ගන්නවා .  කොට කලිසම් ,  දිග කලිසම් ඕන එකක් ඇඳලා බොහොම නිදහසේ, ජැප්පෝ ඇවිත් කෑ ගහන්නේ නැහැ අපේ ආගමට නිගරු කරනවා කියල . මමත් බුදු පිලිමයට පිටුපස හරවල ගත්තේ පින්තූර. ස්ලයිඩ් එක බලන්නකෝ . 

ටොඩයි ජී පන්සල බෞද්ධ එකක් .  මේක තමා අන්තිම යුනෙස්කෝ සයිට් එක අපි බලන්න ගිය .  විශාල  ලෝකඩ බුද්ධ ප්‍රතිමා  වහන්සේ කෙනෙක්වැඩ සිටිනවා ශාලාවේ - බුද්ධා මහාවයිරෝචන, ජපන් භාෂාවෙන් දයිනිචි නියෝරයි.  මේ බුදු හාමුදුරුවෝ මුළු විශ්වයේම ප්‍රතිමුර්තිය හැටියට සලකනවා .   පන්සල් ගොඩනැගිල්ල අවුරුදු 1200 කට කලින් හදල තියෙන්නේ ලීයෙන්.  පන්සලේ වැදගත්කම, මේක  තමා  චීන බෞද්ධ නිකායක් වන Huayan school විසින් ගොඩ නංවන ලද ප්‍රථම ජපන් පන්සල.
 

මේ ඇවිල්ල බෞද්ධ රහතන් වහන්සේ කෙනෙක් ගේ ප්‍රතිමාවක් .  මෙයාව ඇල්ලුවොත්  ඇඟේ ලෙඩ සුව වෙනවලු. තමන්ගේ ඇඟේ ලෙඩ තියන  හරිය ,  ඒ කියන්නේ දණහිස නම් නම්  මෙයාගේ ඇඟේ ඒ අවශ්‍ය තැන- දණහිස අත ගාන්න ඕනේ .  අනේ ඉතින් උන් වහන්සේ ගේ කකුල් ,  පය හෙම හොඳට මැදිල දිලිහෙනව .  ඔලුව නම්  යන්තම් බේරිලා , මොකද ඉනිමගක් ඕනේ වෙන නිසා. මාරු වැඩේ කියන්නේ වැඩිපුරම බටහිර සංචාරකයෝ සහ ආසියානු සංචාරකයෝ රහතන්ව  අල්ලන්නේ .  


අපි එදා දවාලේ  කන්න ගිය තැන ගැන  ඒ වෙනුවට ලියනව  දන්නවනේ අපි සාමාන්‍ය  ජපන්නු කන තැන්  හොයාගෙන යන්නේ කියල .  ඇවිදින කොට හම්බ වුනා සුද්දෙක් ඉඳගෙන ඉන්නව ආපන ශාලාවක් ඉස්සරහ .  ඇහුවා මොකෝ මේ කියල . අරිනකන් ඉන්නවලු කන්න .  බලනකොට මෑන් ජර්මන් .  ඉතින් ඉනෙස් සට සට ගාලා ජර්මන් වලින් කතා කළා.   ජර්මන් කාරයත්  වෙළඳ වැඩකට ආව ගමන් මුළු මාසෙම කෑවේ එතැනින් ලු. මරු කෑම ලු . 
 
අපිත් ගියා ඇතුලට . කෑම වල විස්තර නම්  මතක නැහැ. පින්තුර තමා තියෙන්නේ .  ඉනෙස් කෑවේ රාමේන් එකක්. රහයි කීව.  මම ඔය බත් එකට මස් කෑලි දාල , ළුණු කොළ එහෙම  ඉහල තියෙන එක.  දැල්ලෝ බැදපුවත් ගත්ත සකේ දෙකක් එක්ක . මෙහෙ මේ ආපන ශාලා පොඩියි .  එතනම උයල දෙනවා .  කෑම රහයි .  ඉක්මන් .  අපි කාල එලියට එනකොට මිනිස්සු පෝලිමේ ඉන්නව ඇතුළට එන්න . 









ජපානේ වැඩි හරියක් ගෙවල් එංගලන්තෙටත් වඩා පොඩියි . ලංකාවේ දොස්තරල, මහාචාර්ය වරු ඇතුළු  ඇතුළු මධ්‍යයම  පන්තියට හරියන රටක් නෙමේ ඒ නිසා .  ඒ වගේම  පොඩි කාර් වැඩියි .  ඔය ලංකාවේ තියෙන වැගන් ආර් වගේ ඒවා .  


මේ කාරෙක පදින එකක් වෙන්න බැහැ.



මේක ඇවිල්ල රාස්සියෙකුගේ (witch )  කඩයක්. බලනකොට පිරිමි කෙනෙක් හිටියේ ගැහැණු වේෂයකින් .  එයා ඒ දවස් වල ගායකයෙක් ලු .  අමුතු චරිතයක් .  පරණ ලට්ට ලොට්ට ගොඩ ගහගෙන ඉන්නව .  මම මොනවද  කරන්නේ කියල අහල ,  එයාගේ වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නේ නැති එකට හේතුවක් කියන්න කීව.  මම හේතු ගොඩක් කීව . කියල ඇහුව අන්තිමට ඕක පබ්ලිෂ් කලාද කියල .  එහෙම දන්නේ නැහැලු .  පබ්ලිෂ් කරන්න ඇතිලු දුන්න එකා. එනම් ඉතින්   ඉස්සෙල්ල ඌට කෝල් එක්ක දෙන්න එපැයි ඉස්සෙල්ලම. අනේ මන්ද මේ ජැප්පෝ. 





   හොටෙල් එක ගාව බයිසිකල් ගාල . 
හොටෙල් එකේ මගේ කාමරෙන් එහා පැත්තේ දුම්රිය ස්ථානයක් .  මොනවාද ඉතින් කැමරාව අටවන් වීඩියෝ කරන එක තමා කලේ.  

ක්යෝටෝ සිට ෆුකුකුසා යන දුම්රිය මාර්ගය මගදී හම්බ වුනා . ඉතින් රේල් ගේට්ටුව ගාව මේ කෝච්චි පිස්සා ඒවා රෙකොර්ඩ් කළා .
ඒවා මෙන්න මෙතන .
  තව එක ඉතා වැදගත් ලිපියක් තියනවා කියෝටෝ ගැන. කියෝටෝවේ අන්තිම පැය කිහිපය .    ඒකෙන් පස්සේ ඔසාකා . 

එහෙනම් සුභ සැන්දෑවක් .  
කොළඹ ගමයා 04/07/2025