ලෙනින් ලියෝ ටෝල්ස්ටෝයි නමැති මහා ගත්කරුගේ සාහිත්‍යකරණය ගැන වරක් මෙසේ ලියුවේය . "ලියෝ ටොල්ස්ටෝයි යනු රුසියානු විප්ලවයේ කැඩපතයි . " මේ කියන්නේ මොන මගුලක්ද කියා මට බොහෝ කලක් වැටහුනේ නැත . ඔහු ලියුවේ ටොල්ස්ටෝයි ගේ අදහස් සහ මුලධර්ම වල ඇති පරස්තරතාවයන් අහඹු දේවල් නොවන බවත් ඒවායින් පෙන්වන්නේ දහනව වන සියවසේ අග භාගයේ රුසියානු ජිවිතයේ පරස්පර විරෝධී තත්වයන් බවත් ය. නමුත් ටෝල්ස්ටෝයි ගේ කෘති බොහොමයකම මාතෘකාව වූයේ රුසියානු ප්‍රභූ හා රදළ ජිවිත ගැනය. ඇනා කරෙනිනා , යුද්ධය හා සාමය, සැන්දෑ සාදයෙන් පසු, ඉවාන් ඉලිච් ගේ මරණය ආදිය නිදසුන්ය.
එයිටත් එහා ගිය ප්‍රශ්නයක් වූයේ ටෝල්ස්ටෝයි දැඩි ක්‍රිස්තියානු ආගමිකයෙකු මෙන්ම සිටුවරයෙකුද වීමය.
නමුත් අනිත් පසින් ටෝල්ස්ටෝයි යනු රුසියානු ජිවිතයේ අසමසම චිත්‍රයක් මැවූ, සමාජයේ බොරු සහ කුහකකම් වලට අවංකව විරෝධය දැක්වූ, ධනය සහ දරිද්‍රතාවය අතර දැඩි වෙනස විවේචනය කල ප්‍රතිභාපුර්ණ පුද්ගලයෙකි. නමුත් පරස්පර විරෝධී ලෙස ඔහු ඉඩම් හිමියෙකු මෙන්ම ආගම දේශනා කරන්නෙකුද,ලෙනින් ගේ වචනයෙන් උමතු විලාප නගන රුසියානු බුද්ධිමතෙකු ද විය
.
රුසියානු දරිද්‍රතාවයේ ගිලී උන් ගොවි ජනතාවගේ අනිත් විරුද්ධ පාර්ශ්වය ඉඩම් හිමි ධනවතුන් විය. ඔවුන්ගේ ධනවත් එහෙත් නිසරු සහ දියාරු ජීවිත හෙළි දරව් කලේ ටෝල්ස්ටෝයි විසිනි . ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත වූයේ එසේය. මේ පරස්පරතාවය නිසාය .
ශ්‍රී ලංකාවේ නවකතා ගැන කල්පනා කරද්දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවන් මෙන්ම ඔහුගේ බොහොමයක් නවකතා 'ගම ' පාදක කොට ගෙන ලියවුනු ඒවාය. කේ ජයතික ගේ පොත් වල නාගරික ජිවිත ගැන සඳහන් වුවද ඒවා අයත් වන්නේ හැටේ දශකයේ අග භාගයට සහ හැත්තෑවේ දශකයටය . මා පසුගිය කලෙක කියවූ බොහොමයක් කතා ලියවී තිබුනේද ගම පාදක කරගෙනය. තවත් බොහෝ ඒවා අනුරාධපුරය හා පොලොන්නරුවටද , බදුලු ප්‍රදේශය හා දකුණද පාදක කොට ගෙන ලියවුනු ඒවාය. ගුණදාස අමරසේකර මහතාගේ 'යලි උපන්නෙමි ' නවකතාව නාගරික ජීවිතයක් හරහා ගලා ගිය එකක් බව මතකයේ පවතී . නමුත් එය අයත්වන්නේද අතීතයටය . හැත්තෑවේ දශකයේ ප්‍රේම කතා බොහොමයක් ලියවුනේ නාගරික හා ගම්බද ධනවත් මධ්‍යම පන්තික ජිවිත අලලාය. සුමිත්‍රා රාහුබද්ධ ගේ සිට අනුර වික්‍රමසිංහ දක්වා පොත පතද ඒ ආරයටම ලියු ඒවාය. ඒවා කියවීමට ආසා කරන වර්ගයේ ව බව සැබෑය. අසූවේ දශකයෙන් පසු කොළඹ හා අවට තදාසන්න ප්‍රදේශයන් හි ජන ජීවිතය ගැන ලියවුනු පොත් නැති තරම්ය . විශ්ව විද්‍යාල ජිවිත අලලා පොත් කිහිපයක් ලිවී තිබෙන අතර මෑතකදී කියවූ බෝධිනී සමරතුංග ගේ 'මගේ පස්සෙන් එන්න " එවැන්නකි. මෑතකදී කියවූ හොඳ පොතක් වූ උපුල් ශාන්ත සන්නස්ගලගේ "භික්ෂු පරිච්ජ්චේදය" පෞද්ගලික පන්ති උප සංස්කෘතිය අනුසාරයෙන් ලියුවකි .
තමන්ගේ ආරයකට පොත් ලියන තරිඳු හරි ලොකු ගමගේ මට මුලින්ම සම්මුඛ වන්නේ බ්ලොග් හරහාය . ඉන්පසු ඔහුගේ කොමඩි කතාවක් බඳු "ඔයිල් පැල්ලම්" පොතේ කියවා ඉමහත් රසයක් වින්දෙමි . ඒ ගැන මා "ජිවිතයේ ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද" මන් බ්ලොග් ලිපියක් ලීවෙමි . කොමඩියක් සේ ලියවුනද එය සමාජයේ එක්තරා කොටසක් ගැන විග්‍රහ කෙරෙමින් ලියවුන ග්‍රන්ථයක් බව හොඳින් විමසනවිට පෙනී යා හැකිය.
ඉන්පසු මගේ ඇස ගැටුනේ ඔහුගේ රහස් පරීක්ෂක හෝ අපරාධ පන්නයේ නවකතාව වන 'වයර් පොටක සෞන්දර්යය' යි . එය මුල් පොතට සපුරාම වෙනස් පන්නයේ පොතක් විය . එම පොතේද ඔහුගේ උපමා යෙදීම් අඩු නැතිව තිබුණි . "බෝඩිම ප්‍රාග් ඓතිහාසික මහා ගංවතුරකට අහුවූණු ඩයිනෝසර සොහොනක් මෙනි ." යනුවෙන් 23 වන පරිච්චේදයේ ලියා තිබේ . ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ජුරාසික් ලෝකය බලා නැත්නම් එවැන්නක් හිතා ගත නොහැකිය . තරිඳුවා ගේ හිස තුල මයිනටෝර් හිටි ක්‍රිට් දූපතේ වංක ගිරිය මෙන් යයි මට සිතුනි . අපරාධ නවකතා කියවන විට අප කියන්නේ 'ක්‍රිමි' එකක් බලනවා කියාය. මේ පොත හොඳ ක්‍රිමි එකකි . ගමනක් හෝ නිවාඩුවක් යනවිට දවසක් දෙකක් තුල කියවන්නට අනගිය.
"ඇල්බට්වරුද මනුෂ්‍යයෝය" පොත කුමන වර්ගයේ එකක්දැයි මට මුලදී සිතා ගැනීමට නොහැකි විය. එහි ඇති චරිත වර්ගයා අතර පරස්පරතාවයන් බොහෝය . ඉහත ටොල්ස්ටෝයි ගේ කතාව සඳහන් කලේ ඒ නිසාය . නැතිව තරිඳු ලොකු ගමගේ පොත් ටෝල්ස්ටෝයි ගේ පොත් වලට සම කරන්නටම නොවේ. මට මේ පොත කියවන්නට සතියකට වඩා ගියේ එය කියවූයේ එකවිට නොවන නිසාය. උපමාකාරක වැඩි තැන්වලදී පොත පසෙක දමා වෙනත් දෙයක් කලෙමි.
"ලිප්ස්ටික් ඉලුවා වගේ රතු පාටක් තිබ්බ පඩි දෙකක් නැගලා , චොකලට් ඉලුවා වගේ දුඹුරු පාට දොරක් හරහා , මම කිරිපිටි ඉලුව වගේ කහ සුදක් තිබ්බ සෙටියක අනවසරයෙන්ම ඉඳ ගත්තා . ඊට පස්සේ අයිලයිනර් ඉලුව වගේ කළු පාටක් තිබ්බ කොෆි ටේබල් එකක් ..."පිටුව 184.
නවකතාවක් කියවන විටදී අපි බොහෝවිට චිත්‍රයක් හිතේ මවා ගනිමු . ඒ නවකතාවේ එන ප්‍රාදේශීය විස්තර , ස්ථානයේ විස්තර, ගෘහයේ විස්තර හෝ පාත්‍ර වර්ගයාගේ සිරුරේ විස්තර වලිනි . තරිඳු ඒවා ඉතා හොඳට ලියුවද - ලිපිස්ටික් සිතේ මවාගෙන, ඉන්පසු චොකලට් ද , කිරිපිටිද , අයිලයිනර් ද සිතේ මවා ගන්නාවිට තාරකා විද්‍යාව සම්බන්ධ පොතක් කියෙව්වාක් මෙන් හිතට මහන්සියක් දැනේ.
ඇල්බට්ලාගේ පොත් දෙවන වරට කියවිය යුතු යයි මට සිතුනේ මේ අවස්ථාවේය . "මනුස්ස ශිෂ්ටාචාරේ කියන්නේ කිරි ඉල්ලා හඬන දරුවෝ වගේ ආදරේ ඉඋල්ල විලාප ගහන ජීවින් පොදියක් " යෙදුම මට ඇස ගැසුනේ එවිටය .
චුට්ටා , පංකජ හා ගුත්තිල ඇල්බට් ගේ චරිත දෙස වඩා සීරු මාරුවෙන් බැලීමේදී කතුවරයා මිනිස් ස්වභාවයේ ඉතා සුක්ෂම තැන ග්‍රහණය කර ගන්නා බව පෙනීයයි
"කැම්පස් නං මචන් වෙන්නයි , කැම්පස් නෙමෙයි නං ඔයා වෙන්නයි හෙතුය්ව මොකද්ද?.
උප සංස්කෘතිය"
පාඨකයා තැනින් තැන නොදැනීම සිනා ගැස්සීම කතුවරයා කරන්නේ ආයාසයකින් තොරවය . එසේම කිසිම ආයාසයකින් තොරව චුට්ටා ගේ හා කුෂී ගේ ලෙසබියානු ආදර අන්දරය පොතේ පසුබිමින් ගලා යන්නට සලස්වයි. ඉනසු සීමා ඇල්බට් , දින දෙකකට පෙර ටිලිනි ටාරුකා රතු පාට මල් වැටුණු දනිස්ස්ට දිග ගවුමක් ඇඳ නෙටමොල්ට් පැකට්ටුවක් අතින් ගෙන පද්දමින් ගිය දසුන් පෙළ සිහිපත් කරමින් ස්වයං වින්දනයේ යෙදුනේය, යනුවෙන් ලියා පාඨක මනසට හීනි ෂොක් එකක් දෙයි. ඒ ෂොක ඉන්පසු කිහිප ගුණයකින් මල්ටිපල් වී ලැබෙන්නේ සීමා ඇල්බට් , නිරුක්ෂණ සමග රහස් පරීක්ෂක වැඩකට ගොස් මලී කොල්ලාගෙන් කට පුරා අසා ගන්නා අන්දම කියවන විටය .
කතුවරයාගේ නම් තැබීම ඔහුට ආවේණික ඒවාම නොවේ . කොළඹ හා තදාසන්න පෙදෙස්වල ජිවත් වූ අයෙකුට , පලක්කුවා , බීරළු ඩගියා, සීමා ඇල්බට් , ටික්කයියා, වලිනි ටාලුකා වැනි නම් සුලබ ලෙස අසන්නට ලැබේ . බජාර් එකේ ඇස ගැටෙන ඕනෑම අයෙකුට අන්වර්ථ නම් පටබැඳෙන එක අරුමයක් නොවේ . ඔහු ඒවා පොතේ පාත්‍ර වර්ගයා හැඳින්වීමට දක්ෂ ලෙස යොදා ගැනීම මනරම්ය .
දෙසිය හැත්තෑ එක්වෙනි පිටුවේ සිට "ඔයිල් පැල්ලම් " පොතෙන් කාර් පිස්සුව කෑල්ලක් ඇතුළත් කලේ මන්ද යයි තේරුම් ගන්නට මට සෑහෙන වෙලාවක් ගත වුනි . පිටුව 288 සිට ආපහු චුට්ටා කනට කිස් එකක් ලැබී තෙත් වෙන හරිය කියවගේන යනවිට මම මදක් යථා තත්වයට පත් වුනෙමි . එතැනින් එහාට නිර්භයව ලියවෙන එරෝටික් පරිච්ඡේදයක් පිටු තුන්සිය තිස් ගණන් වලදී හමුවෙන විට මේ කතාව චුට්ටා ගේ කතාව බවක් හැඟී යයි. නමුත් පොතේ ප්‍රධාන චරිත වන පංකජ , ගුත්තිල ඇල්බට් හා චුට්ටා නිතර අපට මුණ ගැසෙන අතර සෙසු චරිත සූක්ෂම ලෙස මෙහෙයවින් ගොඩ නගාගත් විශිෂ්ට නවකතාවක් කතුවරයා ගොඩ නගා ඇති බව මේ කියැවීමේදී මට පසක් වුනි .
කතුවරයා ඒ ඒ චරිත සියුම්ව ග්‍රහණය කරමින්, මානෝ විශ්ලේෂණයක් කරන්නෙකු භූමිකාවක් ද රඟ සක්වන්නේ යයි සිතෙයි . ඒ තරමට පත්‍ර වර්ගයා එකිනෙකා අතර රිදුම් දෙන ලෙස පිරිද්දයි . වඩේ කිරි බී නැති නිසා ඒ ගැන කිව නොහැකි මුත් වඩේ කා හොඳ සැර කිරි තේ එකක් බීමට මම කැමතිය . අපි හැමෝගෙම රස වින්දනයන් එකිනෙකට වෙනස්ය . හැමෝටම හරියන පොත් කියා දෙයක් නැත .
ජම්පටා වීදියේ ඇල්බට් කෙනෙකු සිටි අතර ඔහු වයර් පොටකින් මැරුම් කෑවේ නැත . මේ පොතේ නැත්තේ ජම්පටා වීදිය ගැන පමණකි. පොත අත්‍යන්තයෙන්ම පරස්පර විරෝධී චරිත එක මිටට ගනිමින් කුඩා ජන කණ්ඩායම් ගොහොරුවක ගිලි ඇති නාගරික සමාජයේ පැති කඩක් අපට විදහා පෙන්වයි .
සෝලිස්ට් රියලිස්ම් හෙවත් සමාජ සත්තා යථාර්ථවාදය අනුව ලියුවුනු පශ්චාත් සෝවියට් නවකතා බොහොමයක් අසාර්ථක වූයේ ඒවා රජයේ හොරනෑ බවට පත්වීම නිසා යයි මම මින් ඉහත ලිපියක ලියුවෙමි . නමුත් යථාර්තවාදය පිළිඹිබු කෙරෙන ප්‍රබන්ධාත්මක නවකතා බොහොමයක් පළවී ඇති අතර ඒවායේ නිරූපණය වන්නේ සාමාජීය යථාර්තයයි. නගරාශ්‍රිත ජනයාගේ ජිවිත අරගලය ඉතා තාත්වික ලෙස හැඟෙන පරිදි යථාර්තවාදී සීමාවෙන් පිට නොපැන , කුමන්ත්‍රණ , අපරාධ හා කාමයෙන් පිරි විෂම හා සම ලිංගික සම්බන්ධකම් ඒ ආකාරයෙන්ම හුවා දක්වමින් ලියන ලද සාර්ථක වියමනාකි "ඇල්බට්වරුද මනුෂ්‍යයෝය" ග්‍රන්ථය .
තරිඳු ශ්‍රී ලොකු ගමගේට , කේ ජි කරුණාතිලක ගේ බස් වහර හෝ මනුතාපයේ බස් වහර හෝ මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ බස් වහර ඖගමනය කර පොතක් ලියන්නට මම කියන්නේ නැත . නමුත් මෙවැනි පොත් පරිවර්තනය කරන්නට ඇතිවන අවුල මම සිතා බැලුවෙමි . සමහර උපමා පොහොසත් සිංහලයටම පමණක් වැටහෙන ඒවාය. ඒ නිසා බස් වහර වෙනස් කර සුන්දර සාහිත හෙළ බසින් නැවුම් කතාවක් කතුවරයා ලීවොත් කෙසේ විය හැකිදැයි සිතමි.
ඒ කෙසේ වෙතත් ඔහුගේ තුන්වන පොතත් මා අමන්දානන්දයට පත් කළ එකක් බැවින් කතුවරයාට තව තවත් අනගි නිර්මාණ කරන්නට සුභ පතමි .
කොළඹ ගමයා 24/09/2025



