අප හෙල්සින්කි නගරයට ගියේ සැප්තැම්බර් හය වනදාය . හය වෙනදා සහ හත්වනදා අපි නගරයේ සැරි සැරුවෙමු. මෙවර හෝටලයක නොව Air bnb එකෙන් කුලියට ගත් තට්ටු නිවසක නවාතැන් ගත්තෙමු. එහි බිල්ඩිම පිහිටියේ ගේට්ටුවකින් ඇතුලතය. සුපුරුදු ගතියක් දැනුනු බැවින් ඒ බව ඉනේස්ට හා දියණියට කීවද ඔවුන්ට එය වැටහුනේ නැත . නමුත් අප එලියට පැමිණ අසල සුපර්මාකට් එකට යාමේදී මට පසක් වූයේ ගොඩ නැගිලි හා තට්ටුනිවාස මා සිටි රුසියාවේ මොස්කව් නගරයට හෝ සෙන්ට් පිටර්ස්බර්ග් නගරයට සමාන බවය . එහි පින්තූර පහල ස්ලයිඩ් එකේ තිබේ.
කහ පාට බනිස් එකක් වැනි පින්තුරයේ ඇත්තේ අල වලින් හදන ලද කෑමකි. උදයට හෝ දවල්ට කෑ හැකිය . අප සිටින හරියේ එලියට ඇවිදින විට ෆින්ලන්තයේ අප දුටු පළමු දූපත වෙරලට ඉතා ළඟින් පිහිටා තිබුණි. ෆින්ලන්තය විල් රාජ්‍යයකි. වර්ග මීටර් පන්සීයට වඩා විශාල විල් 187888ක් තිබේ . ඒ හැම එකකම වාගේ දුපතක් ද ඇත . මද දුරක් ඇවිදින විට පරණ කාර් ප්‍රදර්ශනයක් ද නැරඹීමට හැකිවිය . බිරින්දෑ ගේ කණු කුණුව මධ්‍යයේ පින්තූර කිහිපයක් ගතිමි . ලිප්ටන් තේ පැකට් රුසියානු අර්ල් ග්‍රේ කියා විකිනීමට තිබීම කුහුලක් දැනවූයේ රුසියාවේ එවැනි තේ වැවෙන්නේ නැති නිසාය .
.
පහුවදා අපි හෙල්සින්කි නගරය හඳුන්වා දෙන ටුවර් ගයිඩ් කෙනෙකුට එකතු වුනෙමු . ඔහු ගේ මව ස්පාඤ්ඤ හා පියා ෆින්ලන්ත ජාතිකයෙක් බව පැවසිය . ශීත සමයට ඔහු ස්පාඤ්ඤ යට ගොස් වාසය කරයි. ඔහු පැවසූ පරිදි ස්වීඩන පාලනය යටතේ වසර 300කට ආසන්න කාලයක් හෙල්සින්කි තිබුණේ පුංචි ගමක් ලෙසටය . ඔවුන් හෙල්සින්කි වල ගමක් ස්ථාපිත කරන ලද්දේ ඒ අසලින් යන නෞකා , බෝට්ටු ආදියෙන් බදු ගැනීමටය . එය එතරම් සාර්ථක නොවූ නිසා ඔවුන් හෙල්සින්කි හැර දමා තිබුණි . නමුත් 19 වැනි ශතවර්ෂයේදී රුසියානුවන් එය තමන්ගේ පාලනයට නතු කර ගත් පසු සියල්ල වෙනස් වුනි . සාර් ඇලෙක්සැන්ඩර් II, ශාන්ත පීටර්ස්බර්ග්හි ගොඩනැගිලි ඉදි කල ජර්මානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ කාල් ලුඩ්විග් එංගල්ටම, හෙල්සින්කි නගරය සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට උපදෙස් දුන්නේය. පෙරදා ගමක් ව තිබූ හෙල්සින්කිය සෙන්ට් පිටර්ස්බර්ග් මෙන් විශාල නගරයක් වූයේ එලෙසය .
හෙල්සින්කි වැසියන් කෘත ගුණ දැක්වීම සඳහා සාර් රොමානොව් ගේ ප්‍රතිමාවක් නගර මධ්‍යයයේ සාදා තිබේ. මට සිතුනේ මේ දිනවල ඔවුන් ගරු කරන එකම රුසියානුවා ඔහු විය හැකි බවය . නමුත් අපේ ගයිඩ් මහතා අප පුදුමයට පත් කලේ ලෙනින් ගැනද පැවසීමෙනි . ෆින්ලන්තවාසීන් ගරු කරන අනිත් රුසියානුවා වන ලෙනින් 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ගින්ලන්තයට නිදහස ලබා දීමේ ගිවිසුමට අත්සන් කළේය. (ෆින්ලන්තය රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ රටකි . ) සාර් පාලනයෙන් පලා ගිය හැම විටම ලෙනින්ට මුලින්ම රැකවරණය දුන්නේ ෆින්ලන්තයයි . ලෙනින් නතර වී සිටි නිවස තිබෙන්නේ සොර්නන්ස්ටන් රන්ටටි නමැති විදියේය . එසේම ඔහු සහ ට්‍රොට්ස්කි ඔවුලුන්කිලා දිස්ත්‍රික්කයේද සැඟවී සිටි අතර ලෙනින් ඩොක්ටර් ම්යුලර් නම් අන්වර්ථ නාමයක්ද භාවිතා කළේය .
මේ නගර දෙක අතර ඇති සෘජු සම්බන්ධය සහ ශතවර්ෂයක ඉතිහාසය මෙම ගොඩනැගිලිවලින් පිළිබිඹු වන ආකාරය දැකීම ඇත්තටම පුදුම සහගතය. මේ ප්‍රතිමාව ළඟ සිටින්නේ අපේ ගයිඩ් මහතාය. ප්‍රතිමාවේ සටහන් ලියා ඇත්තේ ස්වීඩිෂ් භාෂාවෙනි . එය කතා කරන්නේ 3% පමණ ජනතාවක් වුවද එය රාජ්‍ය භාෂාවක් හෙවත් දෙවැනි භාෂාවයි . එනිසා සෑම පුවරුවක්ම පාහේ ස්වීඩන භාෂාවට පරිවර්තන කර තිබෙනු දැකිය හැකිය .
මාකට් චතුරශ්‍රයේ වැඩිපුර තිබුනේ මාළු බැද විකුණන පොඩි අවන්හල්ය. ඒ අතරේ නොයෙකුත් සුකුරුත්තම් විකුණන කඩ ද තිබුණි . එක තැනක සිටි රුසියානුවෙකු අපි කොහි සිට දැයි ඇසුවේය . බොහෝ තැන්වලදී ලන්ඩන් වලින් යයි කී පසු ඔවුන් මගින් නමුත් ඔබ ඇත්තටම කොහි සිට දැයි අසයි . එංගලන්තයේ එවැනි ප්‍රශ්නයක් ඇසුවොත් එය වර්ණවාදී හෝ ජාතිභේදවාදී ප්‍රශ්නයක් ලෙස සලකති . නමුත් ලෙහෙසියට මම නිතරම මා උපන්නේ ශ්‍රී ලංකාවේ යයි පිළිතුරු දෙමි . මෙහිදී රුසියානුවා කීවේ ඔබේ රටේ කෙනෙකුත් මෙහි සිටිනවා කියා ඒ කඩය පෙන්වීය. ලංකාවෙන් ගෙන්වන, දැවයෙන් සෑදු ළමා සෙල්ලම් බඩු හා අධ්‍යාපන අංග විකුනන එහි කඩ හිමියා ශ්‍රී ලංකාවේ සිට වසර හතළිහකට පමණ පෙර පැමිණියෙකි . අවාසනාවට මට ඔහුගේ නම අමතකය .
එහි ඇති විශාල පුස්තකාලයට සහ රොක් කොන්සර්ට් හලටද ගිය අපි කොෆි බිමට නැවතුනෙමු . ඉතා රහ කේක් ජාති දෙක තුනක් අරගෙන ඒවාට ගෙව්වත් කෝපි හා තේ වලට මුදල් අයකළේ නැත . සොයා බලනවිට ඒවා නොමිලේය. පුස්තකාලයේ හා ඒ අවට පින්තුර දෙවන ස්ලයිඩයේ ඇත . පුස්තකාලයේ සිංහල පොත් නොතිබුනත් රුසියානු සහ වෙනත් භාෂාවල පොත් තිබේ. රුසියානු පොත් ගැන විශේෂයෙන් සඳහන් කලේ පසුගියදා යුක්‍රේනයේ රුසියානු සාහිත්‍ය පොත් බොහොමයක් ගිනිබත් කළ හෙයිනි . මෙහි බොහෝ ෆින්වරු හොඳින් ඉංග්‍රීසි කතා කරන බවද නිරීක්ෂණය කෙරුවෙමු.
සමහර ගොඩනැගිලි හා තට්ටුනිවාස අසල සතෙකුගේ පින්තුරයක් කොටා තිබේ . බොහෝ ෆින්ලන්ත වාසීන්ට අකුරු කියවීමේ හැකියාවක් තිබී නැත . එනිසා ස්වීඩන පාලන කාලයේ ඔවුන් ලිපින හෝ ඉන්න ස්ථානය හඳුනාගෙන ඇත්තේ සතුන්ගේ නම් වලිනි . "අපි ඉන්නේ වලහා ගේ බිල්ඩිම ගාවින් හැරී ගොස් අලියාගේ බිල්ඩිම අසලම තිබෙන ඌරාගේ බිල්ඩිමේ යයි" ඒ දවස් වල සාමාන්‍ය ලිපිනය කීමේ විලාසයකි.
දවස අවසානයේ අපි අවන්හලකට ගියේ රාත්‍රී ආහාරය සඳහාය . එහි රැකියාව කල බොහෝ අය ෆින්ලන්තයේ නොව වෙනත් ජාතිකයන් ය . එහි විශ්ව විද්‍යාලයක උගන්නා සිංහල ශිෂ්‍යවක්ද අපට මුන ගැසුණි . ෆින්ලන්ත වරු තමන්ගේ ගොවිබිම් සහ ට්‍රැක්ටර් වැනි ඒවාට භාවිතා කරන වාහන ගැන ඇති උනන්දුව මහත්ය . මේ "ගොවි ආපන ශාලාවේ " ට්‍රැක්ටර් කිහිපයක් ඇතුලේ තබා තිබුණි . අපි පිසූ විවිධ මාළු සහිත බඳුනක් , බ්ලිනි සහ පිනි මුවන් (reindeer soup) සුප් එකක් ඇණවුම් කළෙමු . ඒවායේ රහ බොහෝ රුසියානු සහ ජර්මන් කෑම වලට සමානය. ජර්මනියේ ශීත සමයට ඉනෙස් ගේ මව ගෝන මස් වලින් හදන සුප් එක ඒ වගේමය . අවසන් පින්තූරයේ ඇති අළු පැහැති නිවස අවුරුදු 250 ක පමණ පැරණි එකකි .
මේ ට්‍රෑම් කාර් වීඩියෝ දෙක සහට්‍රේන් වීඩියෝ අප්ලෝඩ් කරන්න අමතක වුනා .
කොලඹ ගමයා 10/10/2025


