මම මානසික උපදේශන සම්බන්ධ පොත් කියවල තිබුනත් ඒ හා සම්බන්ධ ආදර කතාවක් අළලා ලියූ පොතක් කියවල නැහැ. මේ ලඟදි ෆ්‍රොයිඩ් ගේ ජිවිත කතාව අනුසාරයෙන් කරපු ප්‍රබන්ධාත්මක රුපවාහිනී කථා මාලාවක් බැලුවා. ෆ්‍රොයිඩ් අපරාධ පරීක්ෂකයෙක් වන මේ කතා මාලාවේ ඔහු ගේ ආදර කතාව හරහා මනෝ විශ්ලේෂණයන් ඉදිරිපත් කිරීමක් ඒකෙ තිබුනේ. තනිකරම ඓතිහාසික ප්‍රබන්ධයක්, හැබැයි මනෝ විශ්ලේෂණය ට අදාළ කරුණු නොදැනෙන්න සාකච්ඡා වෙනවා.
සාමාන්‍යයෙන් "මං එරන්දී" වශයෙන් අපි හැමෝම දන්න බුද්ධිකා එරන්දි ජයසිංහ ලිව්ව "ඇතීනා " පොත මම දැක්කේ ඒ විධිහට. ඒක ලියල තියෙන්නේ ප්‍රබන්ධයක් වගේ. හැබැයි පොත ගැන වන ෆේස්බුක් සාකච්ඡා වලදී වගේම හඳුන්වාදීම කරපු සැන්දෑවේ දීත් බුද්ධිකා එරන්දි කිව්වේ ඒක සැබෑ කතාවක් කියල. එයා සැබවින්ම මනෝ උපදේශන සායනයක් කරපු යුවලක් ගැන. තේරෙන භාෂාවෙන් කියනවනම් "කපල් තෙරපි" එකක් ගැන.
දැන් පොත කියවනකොට අපට හිතෙන දේ තමයි ඇත්තටම මොකක්ද මේ රූබි සහ ඇතීනා ට තිබුන ප්‍රශ්නේ බුද්ධිකා එරන්දි මනෝ වෛද්‍ය උපදේශිකාව හමුවන්න. මේ දෙන්නම දෙන්නට දෙන්නා හුඟක් ආදරෙන් ඉන්න යුවලක් නේ මේ පොතේ හැටියට. පොතේ තියන විධිහට රෝමියෝ ජූලියට් , සාලිය අසෝකමාලා, මුම්ටාස් ශා ජෙහාන් සාගා වලටත් එහා ගිය එකක් වගේ දැනුනේ. එතකොට පැන නගින ප්රශ්නය තමයි මෙහෙම "සුවපත් වීමේ " උපදේශන ගන්න අවශ්‍යතාවයක් ඇත්තටම තිබුනද?
එරන්දී තිස් පස් වන පිටුවේ කියනවා මෙහෙම.
"පිරිමි නොයෙකුත් චර්යාවන්ට හුරු වෙනවා. " ටිඅක් දුරින් ගිහින් කියනවා බාධාකාරී නින්ද ගැන. මමත් වැඩිය නින්ද යන්නේ නැති කෙනෙක්. පොඩි ශබ්දයකට වුනත් ඇහැරෙනවා. එරන්දි කියනව
" මෙන්න මේ වගේ කරන වලදී තමයි සොබාදහම ගැන පුදුමයක් දැනෙන්නේ. මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ නින්දේදී තව කෙනෙකුගේ උනුහුමින් උණුසුම් වෙන්න."
සමහාර විට මුල් අවධියේදී ගෑස්, තෙල්, විදුලිය භාවිතා කරලා නිවෙස් උණුසුම් කර ගැනීම බැරි කාලවල ඔක්කොම එකට ගුලි වෙලා ඉන්න ඇති. පස්සේ ඒක පරිණාමය වෙන්න ඇති අපට එකිනෙකාගේ උණුසුම අවශ්‍ය වෙන. හැබැයි එරන්දි කතා කරන්නේ ප්‍රේමය දනවන රසායනිකය හවත් හෝමෝනය ගැන. අර කියපු නින්ද නොයන ප්රශ්නය මටත් තිබ්බට රූබිට සහ ඇතීනට ඒකත් නැහැ.
රූබි එයාගේ ඇතීනට කවි නිසඳැස් පවා ලියනවා. (පි. 36, 41)
ඇතීනා එක්ක එරන්දි කතා කරද්දී වුනත් එයා රූබි ගේ කිසිම වැරැද්දක් කියන්නේ නැහැ. වැරැද්දක් නැති හබියෙක් එක්ක එරන්දි ගාවට ආවේ ඇයි කියන එක මගේ හිතට වද දෙන්න ගත්ත.
පොත දෙවන වර බලාගෙන යද්දී තමා මට "යුරේකා" මොහොත ආවේ. හතලිස් දෙවන පිටුවේ රූබි කියනවා මෙහෙම.
"එයාගේ රැකියාව විශේෂ එකක්. හරිම වෙහෙසකර එකක්. (එයා වෛද්‍යවරියක් කන්සල්ටන්ට්ද කෙනෙක්ද ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එකක් කරන?) ඒත් එයා නවතින්න ලෑස්ති නැහැ. මට එයාව නවත්වන්න ඕනෙත් නැහැ. එයා ඒ තරමටම එයාගේ ජොබ් එකට ආදරෙයි" ඔය තියෙන්නේ හේතුව.
මගේ බිරිඳට කෝවිඩ් හැදුනේ මුල් කාලෙම වගේ. ලොකු දුව යාලුවෙක් ගේ ගෙදර නැවතුනා එයාගේ වැඩ පාළුවෙන නිසා. මම කීව පොඩි දුවට ඔයා කාමරේට වෙලා පාඩම් කරන්න මම අම්මාව බලා ගන්නම් කියල. ඉතින් මම බලා ගත්ත. දන්නා විධිහට ඉව්ව. ගේ අස් කළා. එයා වැඩියෙන්ම ඉල්ලුවේ සුප්. ඉඟුරු , දෙහි දාපු තේ, නැත්නම් කොත්තමල්ලි. ඒවත් හදල කාමරේ දොර ගාවින් තියල ආව.
මට කෝවිඩ් හැදුන නම් මම එයාගෙන් ඒ සැලකිළිම බලා පොරොත්තු වෙනවද? එහෙම සැලකුවේ නැත්නම් මගේ හිත රිදෙයිද? මම දන්නවා හැබැයි එයා එහෙම කරන එකක් නැහැ කියල.
මට හිතන්නේ එරන්දි ලියපු කතාවේ තියෙන විධිහට රූබි ඇතීන ට කෝවිඩ් හැදුනු වෙලේ ඉතාමත් ආදරයෙන් රැක බලාගෙන තියනවා. ඒක ඇතීනත් කියනවා. හැබැයි ඒක අනිත පැත්තට වෙලා නැහැ කියන අදහස මට ආව.
එරන්දි බොහොම පරිස්සමින් මෙහෙම ලියනවා (පි.48)
//"මැණික ..අපි එරන්දී එක්ක කතා කරමුද?"
පුදුමයක්! අඳුරු වලාවන් පහවෙලා ඇය ඔහුට අවනත වෙනවා. නිහඬවම ඇය කෝවිඩ් නිසා තම පවුලට සිදුවූ රිදුම් දරා ගනිමින් සිටින ලකුණු ඇගේ හැසිරීමෙන් ප්‍රකට වුණා. //
දැන් මෙතන තත්වය පැහැදිලියි. රූබි ඉතාමත් ආදරෙන් ඇතීන රැක බලා ගත්ත. නමුත් ඇතීන කළේ මොකද්ද? ළමයි දෙන්නව තමන්ගේ අම්මල ගාවට ගිහින් දැම්ම. රූබි ට කීව "ඔයාට තනියම ඉන්න පුළුවන්නේ" කියල එයාගේ "ඉතාම වැදගත් " රස්සාවට ගියා. රූබි කියනවනම් ඒ රස්සාව එපමණ වැදගත් කියල යන්නම වෙනවා. හැබැයි එහෙම රස්සා තිබෙන්නේ ඉතින් එක්කෝ රෝහල් වල. නැතිනම් රාජ්‍ය ආරක්ෂක අංශ වල. වෙන තැනක් ගැන මට හිතන්න අමාරුයි. එහෙම තැනකදී රැකියාවට යන්න වෙනවම තමයි. අත්‍යවශ්‍ය සේවා වල ඉන්නවනම් ඒත් එහෙමයි. නමුත් අපි දන්නා විධිහට ගෙදර කෙනෙකුට කෝවිඩ් හැදුනොත් මුළු නිවසම නිරෝධායනය කළා ඒ දිනවල. එහෙමනම් ඇතීන ඒක පාවිච්චි කරලා රූබි බලා ගන්න නිවසේ නවතින්න තිබ්බ නේද?
එයා කළේ වෙන දෙයක් ළමයි අම්මලාගේ ගෙදර දාල එයා අර "වටිනා " රැකියාවට ගියා. රූබි කෝවිඩ් හදාගෙන තනියම ගෙදර. මට මෙහෙම වුනානම් මම ටිකක් අප්සෙට් වෙයි. ඇයි මම මගේ බිරිඳව බලා ගත්තනම් කෝවිඩ් හැදිලා ඉන්දෙද්දී එයාට බැරි මොකද ඒ කැපවීමම මට කරන්න. අපි අනිත් අයට උදව් කරනකොට මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමයි. සැමියා, සහ බිරිඳ පැත්තෙන් ගත්තත් සැබෑ ආදරය තියෙනවනම් එහෙම බලා පොරොත්තු වෙන එක වැරදියි කියමු. ඒත් ඇත්තටම ඒක එහෙමද? මම නම්,එයා මාව පොඩ්ඩක් බලා ගනීවි කියල බලා පොරොත්තු වෙනවා.
ඉතින් මට හිතෙන විධිහට පවුලේ අවුල පටන් ගන්න ඇත්තේ මෙතන. ඇතීනා කෘර විධිහට රූබි තනි කරලා එයාගේ රස්සාවට ගියා. අර කොවිඩ් හැදුනු මනුස්සයව. එයාට කොපමණ අමාරු වුනාද කියල එරන්දි ඉඟියක් දෙන්නේ නැහැ.
වෙනත් රටක ඉන්න මගේ ඥාති දියණියකට පහුගිය දවසක කෝවිඩ් හැදිලා හොඳටම අසනීප වුනා. මම එයාට හැම වෙලේම පණිවිඩ දුරකතනයට යව යව හොයල බැලුව. ඒ දරුවා ඉගෙන ගන්න ගිය කෙනෙක්.අම්ම තාත්ත ළඟ නැතිව අසරණ වුන වෙලාවක්. වෙලාවකට නැගිටලා වතුර කෝප්පයක් බොන්න තරම් ශක්තියක් නැති තත්වෙට එයා පත්වෙලා හිටිය. ඒ වෙලාවට කවුරුහරි ළඟින් හිටියනම් කියල එයාට හිතිච්ච වාර අනන්තයි කියල මට කීව. ආදරණිය කවුරුත් නොදැකම මැරෙන්න වෙයි කියලත් බය වුණාලු. මම එයාට තව අමාරු වුනොත් එයා බලන්න යනව කියල හිතන් හිටියේ. ඈත රටක වුනත්. කොහොම හරි එයාට හොඳ වුනා. ඉතින් මේ කෝවිඩ් හැදුන වෙලාවෙත් ඊට පසුවත් එන මානසික තත්වයන් ටිකක් හොඳ නැහැ. ආතතිය වගේ තත්වයකුත් ඇති වෙනවා.
අනිත් පැත්තට රූබි කියන්නෙත් තමන් ගැන ටිකක් පොරත්වයෙන් ඉහලට දාල හිතන් ඉන්න කෙනෙක් වගේ . එයා හිතන්නේ මෙහෙම. (පි. 85)
"බිරිඳක් හැටියට එයා සාර්ථකයි. වගේම අදටත් හැමදාටත් එයා මගේ පෙම්වතිය. පිරිමියෙකුගේ හිත දිනාගන්න එක ලේසි වැඩක් නවෙයි." - හපොයි.
ඒත් එයාට ඇතිවුණු පාළුව ලස්සනට අකුරු කරලා තිබෙනවා.
"මොහොතකුත් අත නොහැර
වහ වහා පැමිණෙන්න
පමාවත් දරුණු විඳ වීමක්ය
දුරස් වී ගෙවන නුඹ අතැර
සීතලයි පාළුයි හවස
ඊයේ වගේමයි අදත්" ....(පි. 126)..
ඉතින් මම වගේ කෙනෙක් හිටියනම් ඔතන රූබියි , ඇතීනයි දෙන්න මෙලහට දික්කසාද වෙලා. හොඳ වෙලාවට කාගේවත් වරදක් නොදකින , හැමෝටම හුරතලේට හෙමින් ඇදල කතා කරන බුද්ධිකා එරන්දි හිටියේ. බුද්ධිකා ගෙන් කවදාවත් විවේචනයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද? (යහළු යෙහෙලියන් කියන්න බලන්න.)
එයාලට සායනයක් අනිවාර්යයෙන්ම ඕන වෙලා වෙන්න ඕන , බුද්ධිකා ගාවට ආවේ.
පොත පුරාවට තියෙන්නේ බුද්ධිකා එරන්දි ඒ දෙන්නාට ඒ දෙන්නව අගය කරන්න මිසක් දෙන්නට දෙන්නගේ වැරදි කියන්න ඉඩ නොදෙනවා වගේ දෙයක්. මේක බුද්ධිකාම හොයා ගත්ත සායනික ක්‍රමයක් වෙන්න ඕනේ.
මොකද අපිත් දෙපාරක් විතර මේ රටේ කවුන්සලින් කියල හඳුන්වන සායන දෙකකට ගිහින් තියනවා. ඒ දෙකම එක වාරයෙන් අවසන් වුනා. දෙතැනදීම අපි දෙදෙනාගේ වැරදි එකිනෙකාට කියා ගත්ත එකයි කළේ. අපි දෙන්නටම තේරුම් ගියා ඒවා එපමණ වැදගත් නැහැ බිග් ස්කීම් එක ගත්තම. ඒ කියන්නේ ජිවිතේ සම්පුර්ණයෙන්ම ගත්තම පොඩි දේවල් මකා ගන්න පුළුවන් කියන එක. අපට මේ දෙවරේදීම සායනය කරපු උපදේශිකාව සහ උපදේශක තැන කීවේ අපට අපේ දේවල් බේරා ගන්න පුළුවන් කියල. තව දුරටත් සායනයන්ට ඒම අනවශ්‍යයි. කැමතිනම් විතරක් එන්න කියල.
බුද්ධිකා අනුගමනය කරන්නේ: අඹුසැමි දෙන්නටම අනිත් කෙනාගේ අගය, කෙනෙක් අනික් සහකරුට සහකාරියට කොපමණ ආදරය කරනවද , සලකනවද වගේ දේ, ගෞරව කරනවද වගේ දේ ගැන කතා කරන්න අනුබල දෙන එක. මට හිතුනේ එහෙමයි. දෙන්නට දෙන්නගේ වටිනාකම ඉබේම දැන ගැනීමට සැලැස්වීම වගේ දෙයක්. මේ අවස්ථාවේදී ඒ සායනික ක්‍රමය සාර්ථක වෙලා තියෙනවා.
මම ඔෆිස් එකට අරන් ගිහිල්ල ලන්ච් වෙලාවේදී පොත නැවතත් කියවන්න ගත්ත. පොතේ හුඟක් තැන්වල ඉංග්‍රීසි වචන භාවිතා වෙනවා. සමහර තැන්වල පරිවර්තනය එක්ක. සාමාන්‍යයෙන් ලංකාවේ උගත්, ඉදිරි පෙළක රැකියා කරන බහුතරයකගේ කතා විලාසිතාව ඒක කියල මම දැකල තියෙනවා. නමුත් ඒකම පොතකට ආදේශ කරන එක අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. අතරින් පතර අමාරු සිංහල වචනයකට ඉංග්‍රීසි වචනයත් භාවිතා කරන එක සිරිතක්. හැබැයි මේ පොතේ ඒක ටිකාක් වෙන්න වැඩියි වගේ ගතියක් දැනුන. මේ ලිපිය ලියද්දිත් පොත අනුකරණය කරලා සමහර තැන්වල මම ඉංග්‍රීසි වචන දැම්ම.
එක කවියක් තියෙනවා තේරෙන්නෙම නැති .
"හිම අත්ලක් ඝනකර
, කළු කෝපි මුහු කර
, මධු විතින් නාවා
හතරකොන් ගිනි ලා
හැදූ නිමැයුම
ඇතීනා --"
හරි හිම ටික අතට ගොනු කර ගත්ත.කළු කෝපි දැම්ම , ඇල්කොහොල් වත් කරා, ගිනි තිබ්බ - එතකොට පට පට ගාලා ගිනි ගන්නවා. ඒ ඇතීනාලු . ඒ කියන්නේ එළියෙන් පිපිරුවට ඇතුල සීතලෙන් ගල් වෙච්ච ගැහැනියක්?? එහෙම නැත්නම් එළියෙන් ගිනි ගන්නව වගේ පෙනුන්නට ඇතුළෙන් සීතල නිවිච්ච කෙනෙක්. - මම අත ඇරලා දැම්ම ඒක විසංයෝජනය කරගන්න එක.
අඹුසැමි ප්‍රශ්න ඇතිවන නිවසක මේ වගේ පොතක් අරන් කියවන එක හොඳයි. මොකද යුගල සායනික ක්‍රමයක් (Couple therapy) ගැන කීවත් ඒක හුගක් සරල විධිහට හොඳ උපමාවකින් පැහැදිලි කරලා දෙන නිසා. අනික මේ වගේ ක්‍රමයක් තමා CBT (Cognitive behavioral therapy ) කියන්නෙත්. ඒ ක්‍රමයේදී වැඩි අවධානයක් දෙන්නේ හිතන විධිහෙන් හැසිරීමට මොන වගේ බලපෑමක් දෙනවද කියන එක ගැන. ඉතින් අපි සහකරු හෝ සහකාරිය ගැන ආදරයෙන් හිතෙනවා නම් , ආදරයෙන් රැක බලා ගන්නවා නම් එතනම සිතයි ගතයි සුවපත් වෙන්න මාර්ගය හැදෙනවා නේ. මම හිතන්නේ මට තේරුනා.
බුද්ධිකා එරන්දිගේ කුළුඳුල් පොතට හද පිරි සුභ පැතුම්.