මගේ ජර්මන් බිරිඳ සහ සිංහල කතා කල නොහැකි දියණිය ගේද අදහස වූයේ ඉංග්‍රීසි උප සිරැසි ප්‍රමාණවත් බවත් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය ගැන ඔවුන් වැඩිදුර නොදන්නා මුත් චිත්‍රපටයේ කලාත්මක ගලා යාමද, චිත්‍රපටයේ ඉස්මතු කරන නොයෙකුත් තේමාවන් ද ඔවුන්ට බොහෝ සෙයින් වැටහුණු බවය. ඔවුන් ලෝකයේ දැනට පවතින යුදමය ප්‍රශ්න පවා චිත්‍රපටය ඇසුරින් විග්‍රහ කලහ. එනිසා ජාත්‍යන්තරය ජය ගැනීමේ ප්‍රශ්නයක් අධ්‍යක්ෂක ජගත් මනුවර්ණට නැතැයි සිතමි.
චිත්‍රපටයේ අවසානයේ සඳුන් ප්‍රියංකර සහ අනුෂා ශිවලිංගම් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ සිට විචාරයන් ඉදිරිපත් කළහ. සඳුන් චිත්‍රපටය බොලිවියාවේ, නිකරගුවාවේ හෝ වෙන ඕනෑම තැනක සිදුවිය හැකි දේ වුවත් චිත්‍රපටය ලංකාවේ 88-89 සිද්ධීන් අළලා කල එකක් බව පැහැදිලිව පෙනෙන බවත් පැවසිය. හාමුදුරුවන්ගේ ඇඟේ සිමෙන්ති වැටීම වැනි කලාත්මක කෝණයන් ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය. අනුෂා ශිවලිංගම් කිවේ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් මලගිය අයට පාංශ කුළය දෙන ගමන් පිඩකයන් අතරද සිට ගන්නා බවය. එසේම චිත්‍රපටය 1971 කැරැල්ල, 1983 කෝළාහල , 88-89, 2009 අවසන්වූ වර්ගවාදී යුද්ධය ආදී මේ සියල්ලටම අදාල වන බවය. පසන් එය ප්‍රභු පන්තියට එරෙහි අරගලයක් ස්මරණය කරන බවද තව දුරටත් පැවසිය. ඔවුන් දෙදෙනාම චිත්‍රපටය උසස් නිර්මාණයක් ලෙසට හැඳින්වූහ.
චිත්‍රපටය කලකින් මා දුටු උසස්ම ගණයේ සිනමා කෘතියක්ය යන්නට මටද එකඟ විය හැකිය. ඒ සහමුලින්ම වෙනත් කාරණා කිහිපයක් නිසාය. පළමුවෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නොමැති වුවද පැහැර ගන්නා කණ්ඩායමේ දෙවැනි නායකයා ගේ චරිතය වඩාත් ඉස්මතුව පෙනේ. මියගිය තරුණ තරුණියන්ය මල සිරුරු සමග සොරාගත් සිසිල් ෆ්‍රිජ් එක සහ භාණ්ඩ ඔහුගේ නිවසට ගෙන යාමට දරන "අහිංසක උත්සාහය" කෙළවර වන්නේ ඔහුගේ ම සගයෙකු ඔහුව මරා දැමීම තුලිනි. එම භාණ්ඩද සමග ඔහුගේ සිරුර මග දමා සගයන් යති. අන්තිමේදී එම භාණ්ඩ උස්සන්නේ පරණ බඩු වෙළෙන්දන්ය.
චිත්‍රපටය පුරා ඉස්මතු වන්නේ පරිභෝජනවාදය නිසා සිත්පිත් නැති කරවූ අසංවේදී වූ සමාජයක් හැසිරෙන ආකාරයය. චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ උසස් රංගන විලාශය මත ඉස්මථූ වෙන කරුණ නම් ඔහු තමන් ගොඩ නගන තට්ටු තුනේ ආවාසයට ආශාක්ත වෙන ගමන්ම මරා දැමූ වුන්ට පාංශු කූලය දෙමින් පිඩකයා සමගද ගනුදෙනු කිරීමයි. එහෙත් විශ්ව විද්‍යාලයේ උගන්නා තමන්ගේ භික්ෂු සිසුන් ගැන ඔහු යම් තරමකට වද වෙයි,
මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පන්සලේ දැව ගිනි තියමින් හැසිරෙන මහලු භික්ෂූන් වහන්සේට මනසේ විකාරයක් කියා පරිභව කළද සැබෑ බෞද්ධ භික්ෂුව වන්නේ ඒ මහලු වහන්සේය.
මට මේ චිත්‍රපටය මතක් කරන්නේ මා සෝවියට් දේශයේ සිටියදී නැරැඹු ඔලිවර් ස්ටෝන් ගේ "සැල්වදෝර්" නමැති සිනමා කෘතියයි. කතෝලික පල්ලියේ කොටසක් දක්ෂිණාංශික මිලිටරිය සමග ගනුදෙනු කරද්දී ආච් බිෂොප් රොමෙරෝ සමග විමුක්ති දේව ධර්මවාදී පියතුමන් ලා කැරලිකරුවන් හා සාමාන්‍ය ජනතාව අතර සිට ගනිති. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල උගත් භික්ෂූන් කණ්ඩායම් කරදරයට පත් වුවද ඉහල භික්ෂු සංස්ථාවට හානියක් සිදු වූයේ නැත.
චිත්‍රපටයේ විදහා දක්වන තවත් වැදගත් තේමාවක් නම් පීඩක භට කණඩායමේ හැසිරීමය. ජගත් මනුවර්ණ හා තිර රචකයා බොහෝ වගකීමකින් යුක්තව පිඩක කණ්ඩායම වන්නේ අප අතරම සිටින සාමාන්‍ය මිනිසුන් බව පෙන්වා දෙයි. රජයේ නියෝගය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටිති. ඔවුන් එකිනෙකා ට පහර දී ගනිද්දී මගේ ඉදිරි පෙලේ සිටි ප්‍රේක්ෂකයන් කොක් හඬලා සිනා සුනද අපට සිනහ ගියේ නැත. ඒ භටයන් ගේ විශාදි තත්වය (PTSD) මා බොහෝ තැන්වල දුටු දෙයකි. මේ මිනි මැරීම් තුලින් සමාජයට පිවිසෙන ආරක්ෂක කණ්ඩායම් ද මනස තුවාල වූවන්ය. ඔවුන් සිටින්නේද ජිවත් වන්නේද අප අතරය. එක භටයෙකු වින්දිතයා ට පලා යාමටද සලස්වයි. ඔහුම අවසානයේ තමන්ගේ දෙවෙනි නායකයාට පිහියෙන් අනියි. බෙදී වෙන්වී මරා ගන්නේ එකම සමාජයක එක ළඟ ජිවත් වන්නන්ය. මට මෙන්ම තවත් සමහරුන්ටද මේ ඝාතකයන් ගැනද සමාජය ගැනද මතුවන්නේ වෛරයක් නොව කම්පාවකි. ඔවුන්ගේ කම්පා විරහිත කම පරිභෝජනය ප්‍රකට කොට ගත් මේ අනුකම්පා විරහිත වූ සමාජයේම දිගුවක් බව වැටහෙන බැවිනි.
බුදුන් වහන්සේ මෙන්ම යේසු වහන්සේද නගර ශෝභිනියන් කෙරෙහි අනුකම්පාව පහල කල සේක. තමන්ට ඇති තර්ජනය නොතකා පැනගිය වින්දිත තරුණයාට ප්‍රතිකාර කරන්නේ නගර ශෝභිනියකි. අන්තිමේදී ඔවුහු ඇයවද කුදලාගෙන යති. මේ දර්ශනයන් ඉතා ප්‍රබල ලෙස ප්‍රේක්ෂක මනසසංවේදී කරයි.
විජිත ගුණරත්න ගේ "වලා පටල" චිත්‍රපටය ගැන සංවාදයේදී (2016) නන්දන වීරරත්න සහෝදරයා ගේ ප්‍රධාන චෝදනාවක් වුයේ එහි සෞන්දර්යාත්මක පැත්ත නොසළකා හැර ඇති බවයි. නමුත් එහි බෙර්ට්‍රෝල්ඩ් බ්‍රෙෂ්ට් ගේ එපික් තියටර් ක්‍රමය එලෙසම කාවද්දා ඇත. " එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට, නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක් ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය."
මට සිතෙන්නේ "රහස් කියන කඳු" චිත්‍රපටය මේ ක්‍රමයට අනුගත වෙන ගමන්ම සෞන්දර්යාත්මක ලෙස ප්‍රේක්ෂකයා සමග සම්බන්ධ වෙමින් සිනමාවක් නොවන සිනමාවක් නිර්මාණය කර ඇති බවය. ප්‍රධාන චරිතයක් නැති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ආරුඪ කර ගන්නේ ප්‍රේක්ෂකයාය. සමහර ප්‍රේක්ෂකයන්ට එය හුරුවීමට මදක් ප්‍රමාද වුවද බ්‍රෙෂ්ට් ට එරෙහිව චිත්‍රපටය සමග භාවාත්මක බැඳීමක් ඇති කරගැනීමටද බහුතරයක් සමත්වේ. එය ත්‍රාසය මෙන්ම කුතුහලයද සපිරි අපරාධ (crime) වර්ගයේ රහස් පරීක්ෂක චිත්‍රපටයක් නොවූ එහෙත් එසේ යයි හැඟෙන චිත්‍රපටයකි. එහි සංකේතාත්මක හැඟවීම් බොහෝය. බෙර වයන්නා හා වැලේ වනා ඇති ඔහුගේ පුතාගේ ඩෙනිම් කලිසම හා කමිසයද එවැනි හැඟවුම්කාරකයන්ය .
(Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). හෙයිඩගර් කියනුයේ නියම කලා කෘතියක් සෞන්දර්යය නිසා අඳුරු වන බවය (eclipsed). නමුත් ඒ හෛඩගර් නැවතත් පවසන්නේ එසේ නොමැති වීමත් ප්‍රශ්නයක් බවය. (oxymoron) චිත්‍රපටය මේ දෙපැත්තම ඉතා හොඳින් සමබර කරගෙන ඇති බවක් වැටහේ.
මා මව රැගෙන ඉන්දියා වන්දනාවේ ගිය විටදී මගේ අහිංසක මව රෙදි කෑලි වල නම් ලියා පවුලේ අයට සුභ පතමින් එල්ලුවේ මගේ උසුලු විසුළු මැදය. නමුත් මගේ අහිංසක අම්මා ඒ විහිළු මැද වුවත් බුද්ධගයා බෝධියේ ඒවා එල්ලුවාය. ඒ ඇගේ භක්තියයි. නමුත් තමන්ගේ නැති වුනු පුතු සොයන ලෙස කන්නලව් කර බෝ ගහේ රෙදි එල්ලන මාතාව ගැන සිනා වෙන්නට අද මට සිත දුන්නේ නැත. ඒ අහිංසකයන්ට භික්ෂුන් ගේද ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු රජයේද පිහිටක් නැති කළ බෝ ගස් හා නොපෙනෙන දෙවියන් හැර වෙනත් සරණක් නැත.
මෙතැනදී අප ආතර් ශෝපන්හවර් දෙසට හැරුන හොත් ඔහු ලියන්නේ මෙසේය. "කලාකරුවා අපට ඔහුගේ දෙනෙත් තුලින් ලෝකය බලන්නට ඉඩ දෙයි. සෑම සම්බන්ධයකම එපිටින් ඇති අත්‍යවශ්‍යම දේ ගැන ඔහු දන්නා බැවින් ඔහුට ඇති මේ දෙනෙතින්, අපට බලන්නට ඉඩ දීම, මේ අත්පත් කර ගැනීම කලාවේ තාක්ෂණික පැත්තය."- The World as Will and Representation.
ඔහු මෙය හඳුන්වන්නේ mimicry යන නමිනි. ඒ කියන්නේ හොඳින් අනුකරණය කිරීමෙන් විනෝදය හෝ උපහාසය සැපයීමය. ශෝපන්හවර් ට අනුව කලාකරුවෙකු මූලිකව ඉස්මතුවන්නේ ඔහු හෝ ඇය අති දක්ෂයෙකු ( genius) වීම නිසා නිමවන කලාවකින් නොව ඇය හෝ ඔහු ලෝකයේ සාරය (essence) ග්‍රහණය කර ගන්නා නිසාය. යථාර්තවාදී සිනමාවක් යනු ප්‍රබන්ධයකි. ඕනෑම සිදුවීමක් ලිවූ වහාම හෝ නාට්‍යක, චිත්‍රපටයක රඟපෑ වහාම එය ප්‍රබන්ධයක් බවට පත්වෙයි. නමුත් ප්‍රේක්ෂකයාගේ ක්ෂිතිමය අත්දැකීම තුල එය ඇයගේ මනසේ යලි යථාර්තයක් වෙයි.
ජගත් මනුවර්ණ ගේ කුළුඳුල් සිනමා කෘතිය විසින් ප්‍රේක්ෂකයාගේ මනසේ වැඩෙන යථාර්තය වනාහි ඔහු හෝ ඇය නිතිපතා අත් දකිනා දේය . ප්‍රවෘති හෝ සමාජ ජාලා හා අනෙක විධ මාධ්‍ය හරහා රැගෙන එන දේය. එනිසා මේ කෘතිය ශ්‍රී ලංකාවේ එක්තරා කාලයකට සීමා වුවක් නොවන බවට ජගත් මනුවර්ණ ඉදිරිපත් කල මතයට එකඟවෙමි. එය ඊට වඩා උසස් ගෝලීය සත්‍යයක් කර නරඹන්නා රැගෙන යයි.
ඔහුගේ කුළුඳුල් කෘතිය මෙතරම් සාර්ථක අත්දැකීමක් කිරීම ගැන කෘතඥ වෙමි.
- අජිත් ධර්ම 18/02/2024 .











