ඒ යන අතරමග ඔසාකා වල උසම බිල්ඩින් එකටත් ගියා . අබෙනෝ හරුකස් ඒකෙ නම. මීටර් 300 විතර උසයි . ඒකෙ ඉඳල පහලට බැලුවහම පෙනෙන ට්‍රේන් ලයින් එක ලස්සනයි . මොඩෙල් ට්‍රේන් සෙට් එකක් වගේ පේන්නේ. ඒකෙ වීඩියෝ එකක් තියනව යුටියුබ් එකේ. ලිපියේ යට ලින්ක් එක බලන්න.
ඒ ෂොපින් සෙන්ටර් හරියක තමා අපේ චාරිකාව ඉවර වුනේ. ගඟ මැද්දේ සෙනග පිරුණු පාලමක . ඈතින් කහ පාට 'ෆෙරිස් වීල්' එකක් පෙනුන . ඒක තියෙන්නේ දොන් කිහොතේ කියන සාප්පුවට අල්ලලා. මේ ප්‍රදේශයට කියන්නේ දොටොන්බෝරි. මේ දවල් එකට විතර ඇති එතකොට. පුදුම සෙනග කන්දරාවක්, අපට පැයකට වැඩිය ගියා එතැන ඉඳන් පයින්ම හොටෙල් එකට යන්න. සෙනග නිසා. දුර වැඩි නිසා නෙමේ .
තේකක් කාරිය බීල හවස් වෙනකන් පොඩ්ඩක් නිදහසේ හිටිය .
අපි මතක තියා ගත්ත කන්න යන තැනක් . ඔය කලින් කිවූ බුවල්ලෝ හිස අරගෙන ඒකට වටු කුරුළු බිත්තරයක් ඇතුළු කරලා හදන කෑමක් තියනව ටකෝ ටමාගෝ කියා. තව කෑමක් තියනවා ටකොයාකි කියල . බුවල්ලෝ එක එක විධිහට බැදලා. ඔය ආපනශාලාව ඒව හදන එකක් නිසා අපි ඒකට ගියා . එතකොට රෑ අටයි තිස්පහට විතර ඇති . වේටර් සහ කෝකියා එක අයෙක් වගේ මම දැක්කේ . දෙන්නෙක් ඉන්නව කීවහම එයාල දැන් වහල කීව. මේ ඇරල ඉන්න තැන සුද්දෝ දෙතුන් දෙනෙක් කනවා දැක්කා. (සංචාරකයෝ ) මම උන් පෙන්නා කීව අපි දෙන්නයි ඉන්නේ වැඩිය කන්නේ නැහැ . ටක් ගාල යනව කියල. ඒත් බෑ කිව්වා . අපි දෙන්න එලියට ආවා. ඉනෙස් බෝඩ් එක පෙන්වල කීව අට හමාරට වහනව වගේ නේද ලියල තියෙන්නේ කියල . මම කීව ඒත් අනිත් අය ඉඳගෙන ඉන්නේ. එයාලා තවම කෑම හදනව නේ කියල . මොකද මම කියවල තියනව ජපන් රෙස්ටුරන්ට් වල - ජපන් කතා කරන්නේ නැතිනම් ඇතුළු වෙන්න එපා කියල පොඩියට ලියල තියනවා කියල .
ඉතින් අපි තව ඇවිදින්න ගත්ත . තව ලස්සන පොඩි ආපන ශාලාවක් තිබ්බ. මම 'කොනිචිවා' කියාගෙන ඇතුලට ගියා . ඉනෙස් පිටි පස්සෙන් ඇතුළු වෙනවා . ඇතුලේ හිටිය ජපන් චෙෆ් එයාව දැක්කේ නෑ. මෑන් මට දබර ඇඟිල්ල දික් කලා.
! යූ ඩ්‍රින්ක් ? නෝ ඩ්‍රින්ක් නෝ කම්" .
මම "ඉයස් ඉයස් අයි ඩ්‍රින්ක් ' කියාගෙන ඇතුලට ම ගියා . ඉනෙස් පිටි පස්සෙන් ආවා. චෙෆා
මගෙන් අහනව - "ශි ඩ්‍රින්ක් , නෝ ඩ්‍රින්ක්"?.
මම ටක් ගාලා "ඉයස්" කීව. "ඕකේ සිට් සිට්" , කියල උස ස්ටූල් දෙකක් පෙන්නුවා . ඒකත් අර කලින් එක වගේ බාර් එකක් ළඟ ස්ටුල්ස් තියල වගේ .
අපිත් ඉතින් වටේ ඉන්න දෙතුන් දෙනා එක්ක හිනා වෙලා ඉඳ ගත්ත .
"ඕකේ යූ ගෝ වෙබ්සයිට් ඕඩර්. වන් ස්ටාටර් , වන් ඩ්‍රින්ක්" . (වෙබ්සයිට් එකට ගිහින් කෑම ඇණවුම් කරන්න . මුල් බයිට් එකක් සහ ඩ්‍රින්ක් එකක් අනිවාර්යයි )
ඉනෙස් කිව්වා එයාට වතුර ඕඩර් කරන්න . වැඩිය කන්නත් බැහැ කියල .
චෙෆ් ට ඇහුනනේ. "නෝ නෝ, නෝ - වෝටර් යූ ගෝ " කියල සැරෙන් කිව්ව. ඒ අතරේ අල්ලපු ස්ටූල් දෙකේ ඉඳගෙන හිටිය ඇමෙරිකන් සංචාරකයා කතා කළා.
"ඔයාල මෙතන බොන්න ඕනේ . බොන්නේ නැති අයට එයා කැමති නැහැ . මම හිතුවේ ඔයා තමා බොන්නේ නැත්තේ කියල" . මෑන් මාව පෙන්නලා එහෙම කිව්වේ .
ඉනෙස් කීව
"එයා නම් ඕන තැනක බොනවා . මට මහන්සි දැනුනම බොන්නේ නැහැ කියල ." ඒ කපල් එක ඇමෙරිකාවේ ටෙක්සාස් දෙන්නෙක් .
මම ඇහුව "ඇයි මම බොන්නේ නැහැ කියල හිතුවේ " කියල . මිනිහ ඇහැක් චෙෆ් දිහාට ගහල කිව්ව. "එයාම කියයි" කියල. ඒ දෙන්න කාපු කෑම ලිස්ට් එකත් අපට දීලා දෙන්න ගියා .
මම ටක් ගාලා සකේ දෙකකුයි ස්ටාටර්ස් දෙකයි ඕඩර් කළා . ඉනෙස් නැගිටලා යයි කියල බයට.
මෙන්න මෙයා නැගිට්ට.
"මට මෙයා උයන දිහා බලන්න ඕනේ කියා". අර ඇමෙරිකන් දෙන්න ඉඳගෙන හිටපු ස්ටූල් එකේ ඉඳ ගත්ත. සාමාන්‍යයෙන් එයා කරන ඕවගේ දේවලට කවුරුත් චැලේන්ජ් කරන්නේ නැහැ .
මෙන්න චෙෆ් කියනවා .
"නෝ සිට් දෙයාර්. නෝ සිට් දෙයාර් .නෝ චේන්ජ් නෝ චේන්ජ්" . මෙයා ඉංග්‍රීසි කතා කරන්නේ ඊයේ පෙරේද එංගලන්තෙට ගොඩ බැහැපු 'කවුද' වගේ .
ඉනෙස් කිව්වා - "මම ඔයා උයනවා බලන්න ඕනේ නිසා එතැනට ගියේ කියල". එතැන ඉඳන් හොඳට පේනවා උයන විධිහ පැත්තෙන් බැලුවහම. චෙෆ් කිව්ව සැරෙන් වගේ "!
නෑ බලන්න ඕනේ නැහැ. හිටිය පුටුවට යන්න. " කියල .
මට දැන් මැරෙන්න හිනා . ඉනෙස් ට ඔහොම කතා කලේ නැහැනේ කවුරුත් . මිනිත්තු දහයකට කලින් මට අනිත් ආපන ශාලාවේ ඉඩ නැහැ කිව්වා. ඔය යන්තන් පේන්නේ චෙෆ් තමා.
මම ඉල්ලුවේ කියුකම්බර් කපල සලාදයක් . ඒකට මරු සෝස් එකක් ආව . බෝතලෙන් නෙමේ , එයා එවලේම ඒක හදන්නේ . උඩ පින්තුරේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ ඉස්සරහ. යට මගේ කියුකම්බර් එක. ඉනෙස් ගත්තේ අර එඩමමේ කියන සෝයා බෝංචි කරල්ටික . මට ජැප්පෝ කියනව ඇහෙන්නේ "එදා මාමේ" වගේ . 😆.
අනිත් පැත්තේ ඉඳන් හිටියේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තරුණයෙක්. එයාගෙන් මෙනු එක පරිවර්තනය කර ගත්ත. මං ඉල්ලුවේ ටුනා එකක්. මෙහෙ කියන්නේ මගුරෝ කියල ටූන මාළුවට මම ඒ ඩිෂ් එක කලින් කාල තියන නිසා ඒක ඕඩර් කළා . ඉනෙස් ට ගත්තේ ග්යෝසා. චෙෆ් දැන් මාත් එක්ක හෙන ෆිට්. මම සකේ එක ඉවර කරලා ඒ ටිකට . එයාට මිස්ටර් ජැක් කියන්නලු . ඒ වගේ නමක් ලු තියෙන්නේ. ඉනෙස් මාන කොකා වගේ ඔළුව උස්ස උස්ස මෑන් හදන්නේ මොනවාද කියල බලනව . ඔන්න මිස්ටර් ජැක් ට දුක හිතුන.
"ඕකේ, යූ ගෝ දෙයාර්", කිව්වා . ඉනෙස් ට මාරු වෙන්න කීවේ අයිනේ ස්ටූල් එකට. මාත් මාරු වුනා ඒ ලඟට. එතකොට තමා මට තේරුනේ මෙයා එපා කිව්ව හේතුව. අපි ඉඳගන්න තැන නම්බර් එකක් තියනව . අපි ඕඩර් එක වෙබ්සයිට් එකේ කරන කොට එයා ඉඳ ගන්න තැන නම්බර් එක එන්ටර් කරනව එයාගේ අයි පෑඩ් එකේ. පුංචි මොනිටර් එක්ක හයි කරල තියනව උඩක . එයාට ඒකෙන් ඕඩර් එක පේනවා . අන්තිමට බිල ගහන්නේ එහෙම. ලෙහෙසියි පහසුයි. වෙනම වේටර් ල ඕනේ නැහැ . පොඩි ජපන් හෝ තායිවාන් කෙල්ලෙක් තමා අත් උදව්වට හිටියේ, මෙතැන හුඟක් බිසි. උඩ තට්ටුව කස්ටමර් ලාගෙන් පිරිලා කියල එයාම කිව්වා . මෙයා ඒ පැත්තේ ප්‍රසිද්ධයි කියල මට තේරුනා.
පහළ තියෙන මගේ ටූන මාලු දීසියට කියන්නේ ටකාකි . ඒ කියන්නේ මේක සුෂී හෝ සශිමි නෙමේ . (අමුම නැහැ ) ලස්සනට ගානට ඔක්කොම මාළු පෙති වටේ ලස්සනට බදිනවා. මැද පොඩ්ඩක් රෝස පාටට හිටින්න . මීඩියම් රෙයා හා මිඩියම් අතර ස්ටේක් එකක් වගේ. ඒක එක කලාවක් ඇත්තටම. පුරුදු වෙන්නේ නැතිව එපමණ හොඳට ගන්න බැහැ. එයාගෙම සෝස් එකක් දෙනවා ඒක කන්න. තරිඳුව මේක කාලා තියනවද දන්නේ නැහැ.😆😆😎
ග්යෝසා එකට දුන්නේ ටිකක් වෙනස් සෝස් එකක් , ජැක් මේ කෑම වල රහ ගන්නේ එහෙමයි . උයන්නේ හරි සූක්ෂම විධිහට. ඉනෙස් මට පෙන්නුවා එක තැනකදී, එයාට කෑම එකක් වැරදුන. කෙලින්ම කුණු කූඩයට දැම්ම. ඔන්න ඔය වෙලාවේ ස්පැනිෂ් උච්චාරණයක් තියෙන කාන්තාවක් ඔලුව දැම්ම. දෙන්නෙකුට ඇතුළට එන්න. මිස්ටර් ජැක් කිව්වා ඉඩ නැහැ කියල. එයා අපි දෙන්න කලින් ඉඳගෙන හිටි තැන පෙන්නුවා. එතැන සීට් දෙක හිස්. ජැක් ඒත් බැහැ කිව්වා. අර මනුස්සය දැන් බැගෑපත් වෙනවා . ඉනෙස් කතා කරන්න හැදුව. මම එයාව නැවැත්තුව. "මේක එයාගේ රෙස්ටුරන්ට් එක. එයා කැමති අය නේ ගන්නේ. එයාට සමහර විට තේරෙනව ඇති කවුද ඇවිත් කන්නේ බොන්නේ කියල . එයාගේ කෑම අගයන්නේ කවුද කියල". අර දෙන්නව ගත්තෙම නැහැ .
ඔන්න ටිකකින් තව ඉටිකිරිස් චීන වගේ පේන කෙල්ලෝ දෙන්නෙක් ආව. ඉඩ තියෙනවද කියල ඇහුව හිනා වේගෙන. ගත්ත කෙලින්ම ඇතුළට. මම බිරින්දෑ ට කිව්වා . "මෙයා වර්නවාදී කෙනෙක් නෙමේ. නමුත් බොනවාදී අමුතු චරිතයක් කියල"
අපි ගාව ඉඳ ගත්තේ චීන කෙල්ලෝ දෙන්නෙක් තමා. උන් ජේ පොප් සංගීත ප්‍රසංගයක් බලන්න ඇවිල්ල. එක කෙල්ලෙක් මෙහෙ ඉගෙන ගන්නවා. අනික් එක්කෙනා චීනේ ඉඳන් ඇවිත් බලල යන්න. උන් අර ජර්මන් සයිස් එකේ ලොකු බියර් දෙකක් ඉල්ලුම් කලා . කෙලින්ම ලොකු මේන් කෝස් එකක් ගත්ත . අපි කන්නේ මොනවාද මේවනෙ කෑම. අර චීන කෙල්ලන්ගේ ඉන්ස්ට, ටික් ටොක් වීඩියෝ තියනව නේද කාගෙන කාගෙන යන. ඒවා බොරුවට කරන ඒවා කියල මම හිතන් හිටියේ . මොන පිස්සුද, මේ දෙන්න ඒ වගේමයි.
මම නෝටිස් කරපු දෙයක් තමා චීන්නු ගොඩක් ජපානේ සංචාරයට එනවා . ඉගෙන ගන්න වගේම. වියදම් කරන්නත් රුසියෝ. තායිවාන් , තායිලන්තය , පිලිපීනය වගේ රටවලින් වැඩ කරන්න එන්නේ කියල.
චීන කෙල්ලෝ මේන් ඒවා ඇනවුම් කලහම මිස්ටර් ජැක් මට කියනව
"කෝ ඔයාල මේන් මීල් එකක් ගත්තේ නැහැනේ කියල ".
අපි බැලුව ඒ මොනවාද කියල . ලොකු රාමෙන් සුප් වගේ ඒවා , ලොකු රයිස් දීසි කන්න අපට අමාරුයි . මම කිව්වා චීන කෙල්ලන් ගෙත් උදව්ව්වෙන් ජැක්ට,
"අපි රෑට කෑම කන්නේ අඩුවෙන් බව". ජැක් "මම දන්නවනම් මම උඹට එන්නේ දෙන්නේ නැහැ කියල" බක බක ගාල හිනා වුනා . හැබැයි මිනිහ අපට කැමතියි කියල තේරුනා.
ඊට පස්සේ කිව්වා මගෙන් බොනවද කියල ඇහුව හේතුව. "අපි වගේ ඉන්දියන් කට්ටිය ඇවිල්ල වතුරලු ඉල්ලන්නේ " මට හිනා .
"ඉනෙස් කියනව "මෙයාට කියන්න ඕනේ නැහැලු බොන්න" .
මම කිව්වා "මම ලංකාවේ උපන්නේ. ඉන්න ලන්ඩන් වල. ලංකාවේ හුඟක් අය පොඩ්ඩක් ගන්නවා කෑමට බෙහෙතක් වශයෙන් . ඒ නිසා බය නැතිව ඇතුලට ගන්න කියලා". ඉනෙස් ඒ ගමන සන්ටෝරි බියර් එකක් ගත්ත . දැන් ජැක් ගේ හිනාව කටේ පුරවල .
මම ජැක් ට කීව , ඔබ ඇත්තටම කෝකියෙක් ට වඩා ආටිස්ට් කෙනෙක් කියල . මෑන් කියනව -" නෝ නෝ මී නෝ ආටිස්ට් . අයි ඇම් කුක් ඇන්ඩ් ඔව්නර්" ලු. මම තව සකේ එකක් එක්ක ඉස්සෝ දෙන්නෙක් ඉල්ලුව . කරුමා එබි කියන මේවා අර ටයිගර් ප්‍රෝන් වගේ ලොකුයි. නෙලුම් අල කකෑලි දෙකක් ලස්සනට සයිඩ් එකේ තියල තමා දුන්නේ ඒක.
අපට ඇත්තටම හිතුන කෑවේ නැතත් ලොකු මීල් දෙකක් ගන්න තිබ්බ කියල. හැබැයි ජැකාට ගානක් නැහැ. එයා උයන දේවල් ගැන රනින් කමෙන්ට් එකකුත් දෙනවා අපට. ඉනෙස් ලියා ගත්ත. කොහෙද දන්නේ නැහැ ඒ ලියපුව. මම ඩෙසට් එකට කියල තල බෝල දීසියක් ගත්ත. අපේ තලබෝල වගේද කියල බලන්නත් එක්ක . ඇතුළට බත් දාල, මොකක් හරි බෙරි ජාතියකින් හදපු ජෑම් වර්ගයක් එක්ක. ලංකාවෙත් ලෙහෙසියෙන් හදන්න පුළුවන් කෑමක්. හරිම රසයි. තල වල කිරි රසයි, බතුයි, ජෑම් නුයි එකතු වුනහම. ඒක ඇත්තටම උදේට කන්න හොඳයි . අනික මේවා කෑවහම බඩ ටක් ගාල පිරෙනවා .

අපි දෙන්න බිල ගෙවල එලියට ආවේ හරිම සතුටෙන්. ජැක් ස්තුති කළා . අත වැනුවා එයාගේ වැඩේට ගියා. ඉනෙස් කියනවා හෙන අමාරුකාරයෙක්. ඒ වුනාට එයා කැමතියි කියල. මම කිව්වා කෙලින් කතා කරලා එහෙම කියන මිනිසුන්ට මම කැමතියි . තේරුම් ගන්න ලෙහෙසියි කියල. අනික ජපන්නු එතරම් වර්ණවාදී නැහැ කියන අදහස තදින් මුල් බැස ගත්ත මේ වෙලේ. ඔවුන්ගේ හැසිරෙන විධියක් තියනව . ඒක තේරුම් ගන්න ඕනේ. තව ලිපි දෙකක් ලියැවෙනවා. ඉන් එකක් මේ ගැන තව දුරටත් ලියන්න ඕනේ . ඒ වගේම කලින් ලිපියක කමෙන්ටුවක සඳහන් කරලා තිබුන මගේ ජර්මන් ජාතික බිරිඳ ඉනෙස් සිටි නිසා මට එපමණ දැනෙන්නේ නැති වෙන්න ඇති වර්ණවාදී කම කියල . හැබැයි ඒකට පිළිතුරත් මේකෙම තියනව . එහෙම එකක් නැහැ . ජැප්ප මූනට කියනවා කියන දේ කියල මට හිතුනේ.
ඔසාකා වීඩියෝ බිල්ඩිමේ උඩ සිට :
'ණ' මහතා අසන නිසා ටකෝ ටමාගෝ (වටු කුරුලු බිත්තර හා බූවල්ලා) පින්තුරයක් දැම්ම .
මේ මගේ මුලින්ම හමුවුන ජෙප්ප ගැන රුසියාවේදී . කියවල බලන්න .