එයා හොඳ ගායිකාවක් මේ තියෙන්නේ එයාගේ සින්දු.
හැබැයි වැඩේ කියන්නේ මගේ දුවයි අයුමිණි දුවයි දෙන්නම අහනව මේව ඉගෙන ගෙන ඇති පලේ මොකක්ද? අපි කවදාවත් යූස් කරනවද මේ ඉගෙන ගන්න ඒවා කියල. මම කීව "ඉගෙන ගන්න ඕන දෙයක ප්‍රයෝජනයක් තියනවා "කියල. මේ කතාව කිව්වේ එයාලට. වුනේ මට.
අවුරුදුම එකොළහකට කලින් දුවල දෙන්න ප්‍රයිමරියේ ඉගෙන ගන්න කාලේ මේක වුනේ. මම උදේට ඒ දෙන්නව ප්‍රාථමිකේට ගිහින් බස්සලා වැඩට යනවා. එතන කෙලින්ම මහා පාරට දාන්න බැහැ . ට්‍රැෆික් වැඩියි . ආ අමතක වුනා කියන්න, ඒ කාලේ මට තිබ්බේ හොන්ඩ සිවික් එකක්. නියම කාරෙක. කිසිම කරදරයක් දුන්නේ නැති වාහනයක්. එන්ෆිල්ඩ් වල ගණකාධිකාරිවරයෙක් වන අජිත් ජයකොඩි අයිය තමා සර්විස් හෙම කලේ. ඒක එයාගේ අතිකාල රැකියාව. එයාගෙන් ඇහුව හැකි ඒ ගැන.
හරස් පාරවල් දෙකකට හැරෙව්වම තමයි මහා පාර වන Hertford පාර ට දාන්න වෙන්නේ. ඉ මොකද පාසැල ළඟ පාරේ වාහන පිරිලා. ස්කෝලේ ළඟින් ඇවිත් හරස් පාරට දාන්න යන කාර් පෝලිමේ ඉන්න වෙන්ව ටික වෙලාවක්. එදා මට ඉස්සරහින් Audi A4 එකක් තිබ්බේ. මම හිටියේ පෝලිමේ දෙවෙනියට. අවුඩි එකට පස්සේ මට පාරට දාන්න පුළුවන්.. මම පිටි පස්සට වෙලා ටිකක් ඈතින් ඉන්නව. අවුඩිය ඉස්සරහට යනවා. පොඩ්ඩක් බ්රේක් කරනවා. ටිකක් පස්සට එන්න බලනවා. ආයෙත් බ්රේක් කරනවා. ආයේ මහා පාරට වමට හරවන්න වගේ ඉඳල යන්නේ නැහැ. එක විකාරයයි. ගෑණු කෙනෙක් හිටියේ වාහනේ. ටික වෙලාවකින් මෙයා යනව වගේ පෙනුන. මම කාරෙක ඉස්සරහට දැම්ම. යන්තන් වැදුන. ටිකක් සද්දෙට හැබැයි. ලොකු ඩැමේජ් එකක් දෙකටම නැහැ. මම එළියට බැහැල කතා කළා. ඉස්සරහ අවුඩි යේ රියදුරු මධ්‍යධරණී පැත්තේ පෙනුමක් තියෙන කාන්තාවක්. බලනකොට ග්‍රීක සයිප්‍රස් එක්කෙනෙක්. මරියා චරලම්බස් නමට. පැද්දී පැද්දී ඇවිල්ල මට කියනවා.
" අනේ මොකද වුනේ ඩාලින් , ඔයා මාව හැප්පුව නේද? අවුලක් නෑ , ගණන් ගන්න එපා , ඔයාට ඉන්ෂුරවන්ස් තියෙනවනේ. NCD (No claims discount ) තියෙනවනේ. (කලින් ක්ලෙම් කරලා නැත්නම් ලැබෙන ඩිස්කවුන්ට් එක) අපි රක්ෂණ කම්පැනි වල නොම්මර හුවමාරු කරගමු.
මට එකපාරටම ඇල්ලුවේ නැහැ කතාව. ඉස්සල්ල ඩැමේජ් බලල, ෆොටෝ ටිකක් ගහල හෙම නේ පටන් ගන්න ඕනේ කතාව. මම කීව ඔයාට මුකුත් හානියක් වෙලා නැහැනේ. මම පවුම් 150 ක් දෙන්නම් වැඩේ ක්ලෝස් කරමු කියල. මමනේ පිටි පස්සෙන් ගිහින් හැප්පුවේ . කොහොමත් වරද මගේ වගේනේ. එහෙම හිතල කීවේ.
ගෑනි කියන්න ගත්ත "හප්පෝ මේ වැදිලා මෙහෙන් යට ගිහිල්ල. අරහෙන් ගිහිල්ල." මම කිවා ඕව කලින් වෙලා වගේ පේන්නේ .
මේ මගේ හොන්ඩ සිවික් එකේ ඉස්සරහා පැත්ත
මම කීව මම අඳුරන ගරාජ් එකක් තියෙනවා. ගාන අහල කියන්නම් කියල. එදාම හවස කෝල් කරල කීව පවුම් 400 ට අලුත්ම බෆර් එකක් දාල දෙන්නම් කියල. ගෑණි එපා කිව්වා. මෙන්න සුමානෙකින් ඉන්ෂුරන්ස් එකෙන් කියනව එයාලාට පවුම් 1800 ගෙවන්න වෙනවලු ඇක්සිඩන්ට් එකට. මම කිව්වා මම ඇක්සෙප්ට් කරන්නේ නැහැ ලයබිලිටි එක කියල. උන් කියනවා "ඔයා තමා පිටි පස්සෙන් ගිහින් හප්පලා තියෙන්නේ. ඒ නිසා අපි මේක ගෙවනවා කියල. " මම කීව මගේ විරෝධය මත ගෙවන්නේ කියල ලියා ගන්න කියල.
ඊට මාසෙකට පස්සේ මෙන්න තව ලියමනක් එනවා ගෑණි "ශරීර හානි " සිදුවුනා කියල වන්දි ඉල්ලනවලු රක්ෂණ සමාගමෙන්. මම කීව මම ඒක කන්ටෙස්ට් කරනවා එහෙම වුනේ නැහැ කියල. සාමාන්‍යයෙන් පිටි පස්සෙන් ගිහින් හැපුනම ම "whiplash injury" එකක් වුනා කියල මෙහෙ රක්ෂණ සමාගම් වලින් පවුම් 5000 විතර ගෙවනවා. බෙල්ල හෙලවිලා ආසාදන යක් වුනා කියල. ඕකට යන්තම් හැපුනත් රෝහලට ගිහින් පෙන්නලා දොස්තර ලියමනක් ගත්තම ඇති. එනිසා හැමෝම ඉල්ලන්න ගත්ත. එනිසාම අපේ රක්ෂණ වාරිකත් ඉහල යන්න ගත්ත. මේක ලොකු ප්‍රශ්නයක් නිසා රක්ෂණ සමාගම් සැකයකින් හිටියේ.
නමුත් මගේ විරුද්ධත්වය මත උන් ඒකත් දෙන්න ලැහැස්ති වුණාම උන් තව ලියුමක් එව්වා. ගෑණි ඉල්ලනවලු පවුම් 15000ක්. ඔන්න රක්ෂණ සමාගමට පත්තු වුනා. මගෙන් ඇහුව අපි පරික්ෂ කරන්න ටීම් එකක් එවනව. කැමතිද අහල. මම කිව්වා හා කියල. පරීක්ෂා කරන්න ආපු ඉන්ජිනේරුව පිලි ගත්ත ඩැමේජ් එක minimal. යන්තමට වැදිලා තියෙන්නේ කියල. දැන් ඔන්න නඩුව යනව. මං වෙනුවෙන් ඒ ගොල්ලෝ නොමිලේ පෙනී හිටින්නේ. රක්ෂණ කාරයන්ටත් තේරිලා මෙතැන මොකක්හ රි අවුලක් තියනව කියල. නමුත් උන්ට ඔප්පු කර ගන්න බැහැ.
නඩුව අවුරුද්දක් විතර ඇදෙන කොට නීතිඥවරිය හෙලන් එව්වා නඩුවේ විස්තර.
" අජිත් අපට මේක ගෙවන්න වෙනවා. මරියා ගේ නීතිඥ සමගම විශේෂන්ඥයෝ (එක්ස්පට් expert) කෙනෙක් සහ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු ගෙනුත් වාර්තා අරගෙන" කියල එයා ලිව්වා මට.
එක වෛද්‍ය විශේෂඥයෙක් ඉන්දියන් සම්භවයක් තියෙන කෙනෙක්. අනිත් එක්කෙනා පකිස්ථානු. එක්කෙනෙක් කියනව උකුල පැත්තට ඉන්ජරියක් වෙලාලු. අනික් එක්කෙන කියනවා බෙල්ල හෙල්ලිලා හරි අමාරුයි ලු. බෙහෙතුත් දෙනවලු.
ඊළඟ විශේෂන්ඥ වාර්තාව ඉංජිනේරුවා ගෙන්. එයාට BSc එකක් තියනව සහ මේ වගේ හැල හැප්පීම් කිහිපයකට ගිහින් තියනවා කියලත් ලියල තියනවා. ඊට පස්සේ එයා නිව්ටන් ගේ පළමු නියමය , දෙවන නියමය සහ තුන්වන නියමය පැහැදිලි කරලා, අවුඩි එකේ සහ හොන්ඩ එක බර සඳහන් කරලා මගේ අවසන් වේගය පැයට හැතැප්ම පහක් කියල නිගමනයකුත් අරගෙන. ඒ වැදීමේ වේගය අනුව මරියා ඉස්සරහට විසි වෙලා බෙල්ල හෙලවෙන්න හොන්දටම ඉඩ තියනවා කියලත් ලියල. ඔන්න මම ඒවා ටික දැම්ම යට. ඒ වේගයට අනුව ඉම්පැක්ට් ෆෝර්ස් හෙවත් ඝට්ටනයේ බලය කිලෝ නිව්ටන් 17ක් ලු.
"අජිත් මොකද කරන්නේ අපට මේවා පිලි ගන්න වෙනවා නේද" කියල. මම කිව්වා මට දවසක් දෙන්න. මම ගණනය කරලා කියන්නම් කියල.
නිව්ටන්ගේ නියමයන් නේද මල්ලි , කියල හිත හිත තමා එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ. මම ඉන්ජිනේරුව ලියල තියෙන ඒවා හොඳින් කියෙව්ව. එයා බලය (force) එකේ වටිනාකම ලියල තියෙන විධිහ, අවුඩි එකේ සහ හොන්ඩ එකේ බර. හෑ , අවුඩි එකේ බර වැඩියි නේ .මෙයා කොහොමද මගේ වේගය නිර්ණය කලේ.
මමත් අර විධිහටම ලිව්වා. පටන් ගත්තේ මගේ අධ්‍යපන සුදුකම් වලින්. මේවා මම සීවි එකේ විතරක් ලියන ඒවා වුනත් මෙතනදී ලියන්න එපාය. මට තියෙන උපාධි ටික ලිව්වා. එතකොට ෆෙලොව්ශිප් එකකුත් තියනව කියල දැම්ම. නමේ අගට තියෙන ටයිටල් ටිකත් දැම්මා ඉතින්. ටිකක් බර වෙන්න.
මම ඇහුව, මම කැමතියි දැන ගන්න මේ පර්යේෂක තැන ඉම්පැක්ට් ෆෝර්ස් එක (කාර් එක වැදුණු බලය) කිලෝ නිව්ටන් ම 12.7 ක් වෙන්න ගණනය කලේ කොහොමද කියල. කරුණාකරලා එයාගේ ගණනය කිරීම් එවන්න කියලත් ඉල්ලුව.
මොකද මමත් ගණනය කළා.
චලිතය පිළිබඳ නිව්ට ගේ දෙවන නියමයට අනුව බලය F = m (ස්කන්ධය) X a (ත්වරණය) ඒ කියන්නේ වස්තුවක ත්වරණය එයට යොදන බලයට සමානුපාතිකව වැඩිවෙනවා කියන එක. එතකොට මොමෙන්ටම් කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය.( m x v)
එතකොට ත්වරණය a (Acceleration) කියන්නේ අවසන් ප්‍රවේගය අඩු කිරීම මුලික ප්‍රවේගය වැයවුණු කාලයෙන් බෙදීමට (V2-V1)/t
ඉම්පැක්ට් ෆෝර්ස් එක එතකොට වෙන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයේ ඇතිවූ වෙනස බෙදීම එයට ගතවුණු කාලය. F=m x (V2-V1)/t
මූලික ප්‍රවේගය එයා කියන විධිහට පැයට හැතැප්ම තුන නම් ඒ කියන්නේ තත්පරයට මීටර් 1.33 ක්
-->3* 1.6 = 4.8 Km per hour = 4.8*1000/3600 = 1.33
meters per second (ms-1)
මෙතැන් 1.6 කියන්නේ හැතප්මකට කිලෝ මීටර් ගාන , දාහෙන් වැඩි කලේ මීටර් වෙන්නේ. 3600 කියන්නේ පැයට තත්පර ගණන.
දෙවෙනි ප්‍රවේගය පැයට හැතැප්ම පහ නම් අර විධිහටම හෙව්වම ඒක වෙන්නේ 2,22
5*1.6 =8 kmph = 8*1000/3600 = 2.22 ms-1
එයා කියන්නේ හැප්පුනේ මිනිත්තු එකත් දෙකත් අතර කියල, අපි ගමු වැඩි අගය වන මිනිත්තු දෙක. එතකොට acceleration හෙවත් ත්වරණය වෙන්නේ 0.0074 (තත්පර වර්ගයට මීටර්)
a = (V2 - V1) / t = 2.22-1.33/120 = 0.0074 ms-2
දැන් ගණනය කරමු බලය.
හොන්ඩ එකේ බර කිලෝ ග්‍රෑම් 1100
F= ma= 1190*0.0074 = 8.8478 N (newton) =0.0088KN කිලෝ නිව්ටන් වලින් 0.001 වගේ වෙන්නේ.
එතකොටගනිමු ඉම්පැක්ට් ටයිම් එක මිනිත්තුවයි කියල.
ත්වරණය a = (V2 - V1) / t = 2.22-1.33/60 = 0.0148 ms-2
බලය F= ma = 1190*0.0148=17.65 Newton.=0.017KN
හොන්ඩ එකට කීයටවත් කිලෝ නිව්ටන් 17 ක බලයක් යොයොදන්න බැහැ
මේ ත්වරණයම සලකල බැලුවොත් අවුඩි එකට බර 1640 kg නිසා එනවා නිව්ටන් 12 ක බලයක්. කෙටියෙන් කියනවනම් අවුඩි එකේ බරින් යොදන ප්‍රතිවිරුද්ධ බලය වැඩියි. මම තර්ක කළා හොන්ඩ එකේ ඉම්පැක්ට් එක අවුඩි එක තුල දිය වෙලා ගිහින් ඩ්‍රයිවර් ගාවට එනකොට මිනිමල් කියල. අඩුම වෙලා. ඒ කියන්නේ එයාගේ බෙල්ල ඔය විධිහට හෙල්ලෙන්න වත් උකුලපෙරලෙන්න විධිහකුත් නැහැ කියල. හරිනම් මමයි ඉස්සරහට විසි වෙලා බෙල්ල නැමෙන්න ඕනේ. මට එහෙම වුනේ නැත්නම් එයාට වෙන්න විධිහක් නැහැ කියල.
ඒ නිසා ඩිෆෙන්ස් (මම) එකෙන් ඉල්ලුව මරිය ගේ පරණ වෛද්‍ය වාර්තා දෙන්න. එයාට තියෙන ලෙඩ මොනවාද මිට කලින් ඇක්සිඩන්ට් වෙලා තියෙනවද , මිට කලින් වෙන ක්ලේම් (රක්ෂණ මුදල් ඉල්ලීම්) තියනවද කියල.
නීතිඥ හෙලන්ට අනිත් සමාගම එක්ක සාකච්චාවක් තිබ්බ. ඒකෙදි ඒ ගොල්ල කිව්වා අර පර්යේෂක ඉංජිනේරු මහතා එයාගේ වාර්තාව ඉල්ලා අස් කර ගත්ත කියල. සුමානෙකින් දැන ගන්න ලැබුන විශේෂන්ඥ වෛද්‍යවරු දෙන්නත් එයාලගේ පිටු දහයේ වාර්තා ඉල්ලා අස් කර ගත්ත කියල. නඩුව කොලැප්ස්ඩ්.
ඒ වෙනකොට විශේෂන්ඥ දොස්තර හබිස් ගැන මම වෙන දෙයක් හොයාගෙන තිබ්බ. එයා ගැහැණු ළමයෙකුට කනට ගහල GMC (බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව) එයාව සස්පෙන්ඩ් කරලා තිබ්බේ. මිනිහ ලියල තිබ්බෙත් හොර නමක්. හොසම් කියන නම H Sam හැටියට. එතකොට එයාගේ වාර්තාව කොහොමත් වැලිඩ් නැහැ. එතනට යන්න වුනේ නැහැ ඉතින්.
දුවලට භෞතික විද්‍යාවේ ඉගෙන ගන්න දේ ප්‍රයෝජනයක් තියනවා " කියල දුන් උපදෙස මේ ආකාරයට ඔප්පු කිරීමට හැකිවීම ජයක්.
මගේ ලොකු දුවයි අයුමිණි දුවයි විද්‍යා විෂයන් ඉහලින්ම සමත් වුනා හිතවතුනි.
තව එක කතාවක් මේ යටතේ තියනවා. ඒක පසුවට.
(තට්ටයාගේ කොළම සංවිධානය කරන ශනිදා බ්ලොග් ලිවීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ කොළඹ ගමයා විසින් ශනිදා සිට පැය 84 කට පසු ලියා පළ කරන ලදී.)
- අජිත් ධර්මකීර්ති 2023-12-20
ප.ලි: පස්සේ කාලෙක ඔය නැගෙනහිර යුරෝපීය සෙට් එක ගලන්න ගත්ත නේ එංගලන්තෙට. කාර් මහා පාරේ නවත්තල හප්පගෙන පවුම් 5000 ක්ලේම් කරනවා. ඒ මදිවට දෙතුන් දෙනෙක් දාගෙන ගිහින් හප්පලා අර තමන්ගේ කාරෙකේ හිටි එවුන්ට whiplash ඉන්ජරි සල්ලි ඉල්ලනවා. ආණ්ඩුව අන්තිමට රක්ෂණ සමාගම් වලට කීව අර අපි අහපු ප්‍රශ්න වගේ ඒවා අහල පිළිතුරු දෙන්න බැරිනම් පොලිසියට භාර දෙන්න කියලා. දැන් ටිකක් අඩුයි.