Sunday, 11 May 2025

දැරියගේ කතාව , පොඩි ඡන්දය සහ බීච් ක්ලීනින්


දැරියගේ කතාව:
  පහුගිය දවස් වල ආන්දෝලනයක් ඇතිවුනා නේ දැරියක් සියදිවි හානි කර ගැනීම නිසා .  ඒකෙදි මමත් හුඟක් පෝස්ට් ෂෙයාර් කළා ෆේස්බුක් එකේ සහ එංගලන්තයේ මාලිමාවට සහයෝගය දක්වන ලන්ඩන් කණ්ඩායමක් එක්කත් .  මට අවශ්‍ය වුනේ සිද්ධියට අදාළ ගුරුවරයා තවමත් උගන්වන එක වැරදි බව  කියන්න .  දෙවන ගුරුවරයා ළමයා ට ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කිරීම  වැරදි බව කියන්න .  සරෝජා පෝල්රාජ් ඇමතිතුමිය ගේ පෙත්සම් කතාව වැරදියි කියලත් කීව.    ඉන්පසුව ඇත්තටම දැන ගන්න ලැබුන එයා එහෙම කතාවක් කියල නැහැ කියල . එයා ඇත්තටම කියල තියෙන්නේ ඒ වෙලාවේ උද්ඝෝෂණය කරලා පෙත්සමක් භාර දෙන්න යන එක ගැන .  ඒකට එන්න කියල . හැබයි එයා ළමයට මානසික ප්‍රශ්නයක් හෙවත් විශාධියෙන් පෙළුණු බවක් කියල තියෙනවා .  ඒකනම් අනවශ්‍ය ප්‍රකාශයක් .  

 ආයතනයේ හිමිකරු එහෙම දෙයක් කියල නැහැයි කියලත් කියනව .  





මෙතැනදී දෙපිරිසක් හරිම අසාධාරණ විධිහට හැසිරුනා .  පළමුවෙනි  කොටස තමා  විපක්ෂයේ ඇතැම් පක්ෂ , මන්ත්‍රීවරු සහ දෙරණ ඇතුළු රජයට විරුද්ධ ජන මාධ්‍ය .  ඔවුන් පෝල්රාජ් මහත්මියගේ කතාව විකෘති කරලා පල කරලා  මිනිසුන් නොමග යවා තිබෙනවාට අමතරව මේ ගැහැණු ළමයාගේ සිද්ධිය අරගෙන ආණ්ඩුවට ගහන්නත් උත්සාහ කළා .  
ඒකෙන් වුනේ ඒ මියගිය ළමයා තවත් අපයෝජනයට පත් කිරීමක් .  

ඒ නිසාම ඇතැමුන් සාධාරණ  ලෙස අහල තිබුන මුස්ලිම් දේශපාලනඥයෙකු ගේ නිවසේ දී ගිනි තබාගෙන මියගිය දැරිවිය ට සාධාරණයක් ඉටු කලාද කියල .  (මම හිතනවා ළමා ආරක්ෂණ අධිකාරිය ඒ ගැන හොයන්න ඕනේ කියල)   

දෙවන කොටස තමා මාලිමාවට සහයෝගය දක්වන ඇතැමුන් .  අර යුටියුබ් කරුවෙක් දළඳා ප්‍රදර්ශනේ අතරතුර ජනාධිපති සහෝදරයා පිලිබඳ වංශ කුල කතාවක් ඇදල ගත්ත නේද ?  ඒ වගේ මේ මාලිමා ආධාරකරුවන් මේ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කරන අප වගේ අයටත් පහර ගහන්න ගත්ත .  ආණ්ඩුව බේරා ගන්න .  ඒ අයට හිතෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් කළකිරෙන බව . 

කොහොම හරි දැන් තත්වය ආණ්ඩුව නිරවුල් කර ගෙන තිබෙනවා .  අගමැතිනි හරිනි අමරසූරිය සහ පෝල්රාජ් ඇමතිවරිය එකතු වෙලා සිද්ධිය සම්බන්ධ ආයතන තුනම එකා බද්ධ කරල තිබෙනවා .  අධ්‍යාපන අමාත්‍යංශය, ළමා රක්ෂණ අධිකාරිය සහ පොලිසිය .  බ්‍රිතාන්‍යයේ වුනත් මේ ආයතන එකට වැඩ කරන්නේ  නැති වුනහම ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා .  අර ගුරුවරයා මැයි 9 වෙනදා  සිට අනිවාර්ය නිවාඩු යවල තියනව. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි. පෝල්රාජ් ඇමතිතුමිය ඉල්ලා අස්වෙන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ . මේ ගැන පෝස්ට් ෂෙයාර් කරන අය  උද්ඝෝෂණය කරන අයට අවශ්‍ය වුනේ ඇක්ෂන් ගැනීම මිසක් ආණ්ඩුව පෙරලන්න නොවන බව විපක්ෂයේ ඇතැම් හොරගෙඩියන් ටත් මාලිමාවේ ම ඇතැමුන්ටත් තේරිලා නැහැ .  

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉතා වැඩියි කියන එක මේ බ්ලොගයේ මිට කලිනුත් ලියල තියනව .  වසරකට විසිදාහක් පමණ .  සියදිවි හානිකරගත් නිසා මේ දැරිවියගේ කතාව එලියට ආව . නැතිනම් ඒකත් යට යනවා .  අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් වැඩ කරන විධිහ සහ පවත්නා  නීති පිළිබඳවත් ප්‍රශ්න පැන නැගිලා .  රජය ඒ ගැන ක්‍රියා කරන බව පේනවා .  ඒකට ස්තුතියි. 

විරුද්ධ පක්ෂ වලට කියන්න තියෙන්නේ ඔහෙලා බලයේ ඉද්දි මුකුත් කලේ නැහැ, ඒ නිසා සදාචාරාත්මක අයිතියක් වත් නැහැ විවේචනය කරන්න .  මේ 2022 වාර්තාවකින් උපුටා ගත්තක් .  මේකේ යොමුව යට ඇති . 
/Last year (2022), in Sri Lanka, in terms of incidents concerning children and the incidence of grave child abuse, there were cases of abuse (79); deaths (28); negligence (27); physical abuse (25); drug abuse (nine); abduction (seven); disappearance (four); three cases each of attempted murder, and being sold and trafficked; emotional abuse and trauma (two); one case each of an early marriage or forced marriage, and cyber bullying; and five cases of an unknown nature. //

පොඩි ඡන්දය - මේ ඡන්දේ ගැන ෆේස්බුක් එකේ ලිපි දැක්කම  ඇත්තටම හිනා ගියා .  නාමල් ට ලක්ෂ පහක වැඩි චන්දයක් ලැබීම උඩ දාන්නේ හරියට නාමල් මහා වික්‍රමයක් කළා වගේ .  එකම නගර සභාවක් වත්  පොහොට්ටුව  දිනලා නැහැ .  අන්න මාකටින්. සාමාන්‍යයෙන්  යුරෝපයේ වුනත් ඔය වගේ චන්ද වලට සෙනග යනවා අඩුයි .  පවතින ආණ්ඩු දිනන සම්භාවිතාවත් අඩුයි .  නමුත් වර්තමාන ආණ්ඩුව පැරදිලා නැහැ .  වැඩිම නගර සභා සහ ප්‍රාදේශීය සභා  කොට්ටාශ දිනලා තියෙන්නේ ඔවුන් .  ඕවරෝල් දිනා ගන්න බැරි තැන් තිබෙනවා.  ඒ සමහර තැන්වලත් වැඩි සභිකයන් ඉන්නේ ඔවුන්ට .  එනිසා ඒ පත්වුණා අයට ගමට ,  නගරයට සේවය කරල පෙන්වන්න හැකියාව තිබෙනවා .   අනික NPP හෙවත් මාලිමාවේ ප්‍රධාන පක්ෂය ජවිපෙ වුනාට සහයෝගය දෙන අය අතරේ පොහොට්ටුවෙන් ,  ශ්‍රී ලනිපෙන් ,  යූඇන්පියෙන් සහ වෙනත් පාවෙන චන්ද වලින් ආ අයත් ඉන්නව .  එනිසා ඔවුන්ට අනිත් තේරී පත්වුණු අය එක්ක සම්බන්ධ වෙන්න අමාරුවක් නැහැ.

යුඇන්පී එක සහ සජබ නැවත එකතු විය යුතුයි කියන එක නම් මේ චන්දෙ දීත් තහවුරු වුනු දෙයක් .  
පෙරටුගාමී සමාජවාදීන් ගේ දේශපාලන න්‍යාය හා භාවිතාවට මම විරුද්ධ වුනාට ඔවුන් දිනපු එකත් හොඳයි .  අඩු ගානක් වුනත් නගරය හා ගම ගැන හිතන ,  දූෂණ කරන්නේ නැති සෙට් එකක් එන එක හොඳයි . 
  
මට මෙතැන් තැන් දෙකක් ගැන හොඳ හැඟීමක් තියනව .  එකක් ආණ්ඩුවට අඩු වෙච්ච ඡන්ද ප්‍රමාණය .  ඒ ප්‍රමාණය නැවත  දිනා ගන්න ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. ඒ අනතුරු හැඟවීම දුන්න එක හොඳයි .  (එංගලන්තේ කියර් ස්ටර්මර් මත ඊයේ පෙරේද කෑවා කෑමක් පොඩි චන්දෙදි . ) 
දෙවැන්න, ලංකාවේ සාමකාමී මැතිවරණයක් තිබ්බේ .  යුරෝපේ වගේ. ඉස්සර වගේ ගැහැණු නිරුවතින් පාරේ ඇවිද්දන  ඒවා, විරුද්ධ පාක්ෂිකයන්ට වෙඩි තියන ඒවා වුනේ නැහැ. තොණ්ඩා කියන එකාගේ පෙළපාළියක් ගියා .  එපමණයි .  තොණ්ඩ ගෙන් ඒ අහිංසක මිනිස්සු ගලවා ගන්න ඕනේ. 
ඒ නිසා ලංකාවේ ජනතාවට ත් ආණ්ඩුවටත් මෙන්න අත් පොලසනක්. ජනතාව මේරූ මනසකින් කටයුතු කිරීම  දකින්නත් සතුටුයි . 
   
 ඇත්තටම පැරදිලා තියෙන්නේ විපක්ෂය .     

වෙරළ සුද්ධ කිරීම: 
මම වැඩ කරන ආයතනය The Access Group. ඉතින් අපට තියනව අවුරුද්දට එක දවසක් චැරිටි ඩේ කියල .  ඒ කියන්නේ ඒ දවස යොදා ගන්න පුළුවන් මොකක් හරි සහන සේවා සපයන පදනමකට උදව් කරන්න එදා දවස තුල .  ඒකට පඩි සහිත නිවාඩුවක් ලැබෙනවා .   අපේ කට්ටියක් තෝරාගෙන තිබ්බේ සමුද්‍ර සරන්ක්ෂණ පදනම .  (The Marine Conservation Society)  












වෙරළවල් පිරිසිදු කිරීම හේතුවෙන් සමුද්‍ර ජීවින් මෙන්ම වෙරළාසන්න ජීවීන්ද රැකෙනවා .  ඉතින් අපි කණ්ඩායමක්  Worthing වර්තින් වෙරළ සුද්ධ කරන්න ගියා .  ඔය පින්තූර වල තියෙන්නේ ඒ වෙරළ. 

අර ලංකාවේ රිලව් සංගණනය ට සෑහෙන විරෝධයක් ආව වගේම මිනිස්සු හිනා වෙන්න ගත්තනේ .  මම තැනදී ලීව කුරුල්ලන් වැනි සතුන් සංගණන වලට මම එකතු වෙලා තියෙනවා .  ඒවා යුරෝපයේ කරන දේවල් කියල .  නමුත් ඒකටත් සමහරු හිනා වුනා .  ඉතින් කොතරම් දුරට ලංකාවේ කරන්න පුලුවන්ද දන්නේ නැහැ. අපි පස් දෙන වශයෙන් කණ්ඩායම් වලට බෙදිලා සුද්ධ කලේ .  ඒ අතරේ අපට ෆෝම් දුන්න පුරවන්න .  පැන්සලක් එක්ක .  ඒකෙ අහුලන හැම කොලයක් ,  සිගරට් බට් එකක් ,  ලොලි පොප් කොට්ටක් ,  ප්ලාස්ටික් බෝතලයක් ,  චොකලට දවටනයක් ,  ටිෂු එකක් ගානේ ලියන්න ඕනේ .  අන්තිමට එකතු කරලා ටෝටල් එක දානවා .  මේ දත්ත ඉතා වැදගත් .  ඒ ඒ වෙරළ වල මොන කුණුද වැඩිය එකතු වෙන්නේ .  මොන දේවල් ද අයින් කරන්න ඕනේ ,  රජයමොන  ක්‍රියා මාර්ගද ගන්න ඕනේ වගේ දේට මේ දත්ත ඉතා වැදගත් .  ඇමෙරිකාවේ වෙරළවල් වල වැඩියෙන්ම එකතු වෙන්නේ සිගරට් බට් කියල දැන ගන්න ලැබුන . 


මේ දැන ගත්ත තව කරුණු කිහිපයක්.
විසි කරන වීදුරු බෝතලයක් දිරාපත් වෙන්න (decompose) ඒ කියන්නේ නැවත වැලි බවට පත්වෙන්න අවුරුදු මිලියනයක් විතර යනවා .   ප්ලාස්ටික් බෝතලයක්  (primarily made of PET polyethylene terephthalate) අවුරුද 450 යනව .  එතකොට පොලිතීන් බෑග් හරි කඩවල් වල දෙන බෑග් අවුරුද 20 සිට 1000 දක්වා යනව දිරාපත් වෙන්න .  ළදරුවන් ගේ නැපි එකක් දිරාපත් වෙන්න අවුරුදු 300-500 අතර යනවා .  ඇලුමිනියම් කෑන් එකකට අවුරුදු 80-200 තේ අතර කාලයක් .  අඩුම කාලය සිගරට් ෆිල්ටරයක් ,  අවුරුදු දහයක් විතර .  ප්‍රශ්නේ ඒක නෙමේ . අපි එකතු කරන මේ අපද්‍රව්‍ය නිසා මැරෙන මුහුදු ජීවින් ගණන් අති විශාලයි .  ඒ වගේම විශ්වයේ ඇති තරු ගණනට වඩා මුහුදු වල තියෙන ඉතා කුඩා මයික්‍රෝ සහ  නැනෝ ප්ලාස්ටික්  ප්‍රමානය වැඩියි . 

හිතා ගන්න පුලුවන්ද අප කරන විනාශය . 

ඉතින් අපි මිටර 200 ක වපසරියක් සුද්ධ කලේ .  කිලෝ 14 ක අපද්‍රව්‍ය ඒ ටිකේ තිබුන . 

එදා දවස හොඳ  දවසක් .  ලෝකයට සුළුවෙන් හරි යමක් කරන්න පුළුවන්  වෙච්ච එක . 
  

-කොළඹ ගමයා 2025-05-11

Thursday, 1 May 2025

නෝර්ත්වීල්ඩ් කුඩා දුම්රිය මාර්ගයේ මගේ ස්වේච්ඡා සේවය සහ ශ්‍රී ලාංකික සම්බන්ධයක්

 නෝර්ත්වීල්ඩ් කුඩා දුම්රිය මාර්ගයේ මගේ ස්වේච්ඡා සේවය සහ ශ්‍රී ලාංකික සම්බන්ධයක්:



මේ වසරේ, මම මගේ ස්වේච්ඡා සේවය සඳහා යම් කාලයක් කැප කිරීමට තීරණය කළා - එය මා නිතරම කිරීමට උත්සාහ කරන දෙයක්. කාලෙකට ඉහත ළමා කාලයේ ළමා සාහිත්‍ය  හවුල කියා සංවිධානයක හිටිය .  ඉන් පසුවත බාලදක්ෂ ව්‍යාපාරයේත් වෙනත් සමාජීය වැඩ කටයුතු වලත් හිටිය . බ්ලොග් සම්මාන කළා .  විශ්ව විද්‍යාලයේ සමිති සමාගම් කිහිපයක හිටිය .   ළමා පුණ්‍යායතන සඳහා හෝ මගේ බ්ලොග් ලේඛන හරහා වේවා මෙවැනි දේ කිරීමට මම උනන්දුයි .  හාර්ලෝ ගාර්ඩ්න් සෙන්ටර් (Harlow Garden Centre) භූමියේ පිහිටි සැබවින්ම ලස්සන්  ව්‍යාපෘතියක් වන නෝර්ත්වීල්ඩ් සහ දිස්ත්‍රික් කුඩා දුම්රිය මාර්ගය (Northweald & District Miniature Railway) වෙනුවෙන් කාලය  වැය කරන්න හිතුව . 

 මගේ කාර්යාලයේ සේවය කරන ස්ටීවන් (Steven)  ඔහුගේ පවුල සතුව කුඩා එන්ජිමක් ඇති බවත් එය කුඩා (සෙල්ලම් )  දුම්රිය මාර්ගයක ධාවනය කරන බවත් ටීම් මිටින් එකකදී කියුව . දුම්රිය නැරඹීමට සහ දුම්රිය ගමන්වල යෙදීමට මා තුළ ඇති දැඩි ඇල්ම ගැන දන්නා ඔහු, ස්වේච්ඡා සේවකයෙකු ලෙස ඔහු හා එක්වන ලෙස මට යෝජනා කළා. 
දුම්රිය ගැන කිව්වහම ඒ දවස් වල කොළඹ සිට වෙරළබඩ මාර්ගයේ නිතර යනවා පවසෙට් වල .  ඒක මරු මුහුදු හුලන් වැඩි වැඩි යන ගමන .  ඊළඟට  බදුල්ලේ ඉන්දන ඔහිය ,  ඇල්ල , බණ්ඩාරවෙල , දෙමෝදර පහු කර එන ගමන .  කොළඹ නුවර ගමන.  ඒවා යේ සුන්දර කම නිසාම මම ලමයිවත් අරන් ගියා ගමනක් දෙකක් .  

මුලදී, මම ගියේ ඔහුට සංඥා මාර්ග කිහිපයක් සකස් කිරීමට උදව් කිරීමට පමණයි. නමුත් එහි ඇති වාතාවරණය සහ කණ්ඩායමේ කැපවීම ට මමත් ආකර්ෂණය වුන . ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාවය දුටු නිස  කැපවීමක් කරන්න තීරණය කළා මේ අවුරුද්දේ. පහල තියෙන්නේ මමයි ස්ටිවනුයි එකතු වෙලා හදපු සිග්නල් වයර් යන කොටස . 



මෙම දුම්රිය මාර්ගය අඟල් 7.25 ක පළලකින් (7.25-inch gauge) යුතු ආකර්ශනීය කුඩා සැකැස්මක්. එය කළමනාකරණය කරනු ලබන්නේ රාජකාරි කළමනාකරු (Duty Manager) වන නේදන් ජෙන්කින්ස් (Nathan Jenkins) සහ ඔහුගේ සීයා විසින් වන අතර, ඔවුන් ධාවන පථයේ ගමන් කරන දුම්රිය එන්ජින් කිහිපයක හිමිකරුවන් ද වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එය සැබෑ ප්‍රජා උත්සාහයක් වීමයි. ස්ටීවන්ගේ පියා වන නිකී (Nick) ඇතුළු බොහෝ ස්වේච්ඡා සේවකයන් සතුව ඔවුන් එහි ධාවනය කරන ඔවුන්ගේම දුම්රිය එන්ජින් තිබෙනවා. කුඩා දුම්රිය මාර්ග කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ඕනෑම කෙනෙකුට එය අපූරු විනෝදාංශයක්! (ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මෙම දුම්රිය මාර්ගයේ පොහොසත් ඉතිහාසය ගැන වැඩිදුර කියවිය හැකිය: දුම්රිය වෙබ් අඩවියට සබැඳිය මෙතැනින්).

සති කිහිපයකට පෙර, මගේ ශ්‍රී ලංකා සම්බන්ධය දන්නා කෙනෙක්, ඔවුන් සතුව "ශ්‍රී ලාංකික" දුම්රිය එන්ජිමක් ඇති බව සඳහන් කළා. මම ඒ අන්වර්ථ නාමය ලැබීමට හේතුව ඇසූ විට, පිළිතුර තරමක් අපැහැදිලි වුණා: "ආහ්, සමහරවිට ඒක පාට පාට නිසා වෙන්න ඇති?". කුතුහලය දනවන සුළු වුවත්, මම ඒ ගැන වැඩිදුර සිතුවේ නැහැ.





ඉන්පසු, සති කිහිපයකට පෙර, මම මාර්ගයේ අනෙක් කෙළවරේ ඇති කරකැවෙන වේදිකාව (turntable) ක්‍රියාත්මක කිරීමට උදව් කරමින් සිටියා. මම එන්ජින් මාරු කිරීම සහ කපලින් සිදු කරනු ලැබුවා .  එදා පුංචි ළමයි එන සහ පවුල් එන දිනයක් . ෆිල් (Phil) ඔහුගේ M7 දුම්රිය එන්ජිම පදවාගෙන එමින් සිටියා. එය ළඟා වෙත්ම, මම ශීලාට (Sheila - ස්ටීවන්ගේ මව) මෙසේ කීවා, "ඒ එන්ජිම ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන සමහර ඩීසල් එන්ජින් වගේමයි".


ඇගේ පිළිතුර මාව මොහොතකට ස්ටම්ප් කළා: "ඕහ්, ඒක තමයි ශ්‍රී ලාංකික එක! M7. මවුන්ට් ලැවීනියා 7 (Mount Lavinia 7)." ඇය කාරුණිකව මට නම උච්චාරණය කර පෙන්වූවා: ලැ-වී-නි-ආ (L-A-V-I-N-I-A).

ඒ කුඩා එන්ජිම මා දෙසට සෙමින් එනවා දැකීම, එහි නාමයේ මූලය දැනගත් පසු, ඇත්තෙන්ම පුදුම සහගත වුණා. මම  ගල්කිස්ස (Mount Lavinia) කියන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ අසල පිහිටි, ඓතිහාසික හෝටලයක  ප්‍රසිද්ධ සුන්දර වෙරළබඩ නගරය කියා ඔවුන්ට කීවා.  මම එම බැඳෙන්නට හේතුව වූ පෘතුගීසි - සිංහල මිශ්‍ර විවාහයකින් ඉපදුනු සුන්දර නර්තන ශිල්පිනියක් වූ ලැවීනියා සහ ඇයට ආදරය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු පිළිබඳ ආදරණීය, ඓතිහාසිකව විවාදාත්මක කතාවද සඳහන් කළා. (පසුව සොයද්දී  ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ 'ලැවීනියාගේ අභිරහස' (The mystery of Lovinia)  නමින් පොතක් පල කර ඇති බව දුටුවා .  එය ලියා ඇත්තේ රොබට් ග්‍රිග්සන් විසින් .  ලොවිනියා නමින් සිංහල පොතක්ද තිබෙනවා. ).

හාර්ලෝහි මගේ ස්වේච්ඡා සේවය සහ මේ  ශ්‍රී ලාංකික උරුමය අතර අනපේක්ෂිත, පෞද්ගලික සම්බන්ධය සොයා ගැනීම, කසියම් වින්දනීය තලයක් එක් කර තිබෙනවා. එය වඩාත්ම අනපේක්ෂිත ස්ථානවලදී පවා සම්බන්ධතා සොයාගත හැකි බවට මතක් කිරීමක්!





පොඩි වීඩියෝව :  

M 7 ගැන විකිපෙඩිය සටහනක් : 
Class M7 is a type of diesel-electric locomotive built for Sri Lanka Railways by Brush Traction, UK, and imported in 1981. This locomotive has the shortest length, least power and least weight compared to other diesel locomotives of Sri Lanka.
Three locomotives (803, 813, 814) were painted in a special color scheme and later was painted in normal livery.

In 1999 M7 locomotive No. 803 met with an accident and was seriously damaged and condemned.
This locomotive was introduced as a shunter by the manufacturer, Brush Traction. In Sri Lanka, these are mostly used in short passenger services. M7s are not permitted on the Main Line because of the low power and lack of dynamic braking but it can be run on all the other of the railway lines in Sri Lanka including the Kelani Valley Line.

මේ තිබෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පලවූ පොත ගැන ලිපියේ අනුවාදයක් : 



වර්ෂය 1805 යි, ලංකා කිරීටයේ යටත් විජිතයේ නව ආණ්ඩුකාරවරයා සිය තනතුර භාර ගැනීම සඳහා රටට පැමිණ ඇත. උඩරට ප්‍රදේශයේ උඩරට යුද්ධය නොනවත්වාම ඇවිලෙමින් පවතින අතර, දේශීය අර්ධ-සිංහල, අර්ධ-පෘතුගීසි සම්භවයක් ඇති රූමතියක වන ලවීනියා (Lovinia), මෙම සිදුවීම් ඇගේ වැඩෙමින් පවතින ජීවිතයට බලපාන ආකාරය අත්විඳියි.

වසර දෙසීයකට පමණ පෙර යටත් විජිත ලංකාවට ඔබව රැගෙන ගොස්, ආදරය, කාමය සහ කුමන්ත්‍රණ මැදින් මඟ පෙන්වන ගමනක් ගැන සිතන්න. කතුවර රොඩ්රික් ග්‍රිග්සන් (Roderic Grigson) ඔහුගේ සිව්වන නවකතාව වන “ආණ්ඩුකාරවරයාගේ පෙම්වතිය” (The Governor’s Lover) තුළ, සිය හැඟීම් දනවන විස්තර මගින් සාක්ෂාත් කරගන්නේ හරියටම එයයි.

ග්‍රිග්සන් මෙහිදී පවසන්නේ, සිය පියාගේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තන ශිල්පිනිය වන ලවීනියා සහ අලුතින් පැමිණි ආණ්ඩුකාර ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (Sir Thomas Maitland) අතර ගොඩනැගෙන සබඳතාව පිළිබඳ කතාවයි. එය ඇගේත්, ඇය බෙහෙවින් ආදරය කරන ඇගේ පියාගේත් පවුලේත් දෛවය වෙනස් කිරීමට බලය ඇති සබඳතාවකි. ඇය එකිනෙකට බෙහෙවින් වෙනස් ජීවිත දෙකක් අතර සිරවී සිටින අතර, ඇගේ හදවතට සවන් දිය යුතුද නැතහොත් බුද්ධියට අනුව ක්‍රියා කළ යුතුද යන්න තෝරාගත යුතුය.

විවිධ සංස්කෘතීන් වර්ධනය වී දියුණු වූ ආකාරය තේරුම් ගැනීමට නම්, ඉතිහාසය විසින් සපයන කතාන්දර ජීවමානව තබාගත යුතුය. ලවීනියාගේත්, ඉතිහාසයේ මෙම කාල වකවානුවේ සහ ස්ථානයේත් අලංකාරය, මායාව සහ අභිරහස තුළ මම ඉක්මනින්ම අතරමං වීමි. පළමු පරිච්ඡේදය අවසන් වන විට, ඇගේ ගුප්ත බවට ආකර්ෂණය වී, ඇගේ කතාව - අතීතය, වර්තමානය සහ අනාගතය - ගැන තවදුරටත් දැන ගැනීමේ ආශාවෙන් ඉතිරි වූ මට, පොත බිම තැබීමට නොහැකි විය.

ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට මෙම කතාව කෙතරම් වැදගත් ද යත්, ඔවුන්ගේ රහස්‍ය සම්බන්ධය පැවති ගල්කිස්ස නගරය, ඇයට ගෞරවයක් ලෙස මවුන්ට් ලැවීනියා (Mount Lavinia) ලෙස නැවත නම් කරන ලදී.

ආණ්ඩුකාරවරයාගේ ගම්බද නිවහන ලෙස ඉදිකරන ලද මන්දිරය, ආසියාවේ පැරණිතම හෝටල්වලින් එකක් වන සුප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හෝටලය (Mount Lavinia Hotel) බවට පත් විය.

කෙසේ වෙතත්, ඉතිහාසය අපට මෙම සිත් ඇදගන්නා මූලික කතාන්දරය ලබා දුන්නද, එය අපට ඉතිරි කරන්නේ ඉතා ස්වල්පයකි. මෙය තවත් එක් ආදර කතාවක්ද, නැතහොත් මෙම කෙටි ප්‍රේම සම්බන්ධයට වඩා බොහෝ දේ මෙහි තිබුණේද?

මනාව පර්යේෂණය කරන ලද මෙම නවකතාව, ඓතිහාසික කරුණු මන්ත්‍රයක් සේ බැඳ තබන ප්‍රබන්ධ සමඟ ඒකාබද්ධ කරන අතර, ඔබට සැබවින්ම පිටුවෙන් පිටුව ගිලගනිමින් කියවිය හැකි කෘතියක් නිර්මාණය කරයි. එය 1800 ගණන්වල මුල් භාගයේ ලංකාවේ ජීවිතය තුළ පාඨකයා ගිල්වන අතර, යුරෝපීය ආක්‍රමණිකයන්ට තම රට අහිමි වූ දේශීය ජනතාව අතර පැවති දරිද්‍රතාවය, කෝපය සහ අමනාපය පසුබිම් කරගනිමින්, පාලක බ්‍රිතාන්‍ය පන්තිය භුක්ති විඳි අතිවිශිෂ්ට යටත් විජිත ජීවන රටාව පිළිබඳ විචිත්‍රවත් චිත්‍රයක් මවයි.

මෙහි අදාළ ප්‍රදේශ කොතරම් මැනවින් ඉදිරිපත් කර ඇත්ද යත්, එමගින් රට දෙස නව ආකාරයකින් බැලීමටත්, මෙම අසල්වැසි ප්‍රදේශවල ඓතිහාසික වැදගත්කම අගය කිරීමටත් පාඨකයාට බල කරයි.

ප්‍රධාන චරිත දෙක වටා සිටින, ඒ හා සමානවම කුතුහලය දනවන, එකිනෙකා කතාවකට වටිනා චරිත සමූහයකි. ඔවුන් ගැඹුර සහ වයනය සැපයීමට උපකාරී වන අතර, එම කාල වකවානුවේ ජීවිතය පිළිබඳ සැබෑ ඇගයීමක් පාඨකයාට ලබා දෙයි. කතුවරයා ලංකාවේ හැදී වැඩුණු අත්දැකීම් සහ රට පිළිබඳ ඔහුගේ දැනුම, කතාවේ සිදුවීම් මැදටම පාඨකයා රැගෙන යාමට ඔහුට ඉඩ සලසා දී ඇත. ඔහුගේ මෙම නවකතාව සහ පෙර සියලුම නවකතා හරහා ගෙන යන, වෙහෙසකින් තොර ලිවීමේ ශෛලිය, එහි අනපේක්ෂිත හැරවුම් සහ පෙරළි තුළින් උද්වේගකර හැඟීමක් ඇති කරයි.

වඩාත් වැදගත් ලෙස, චරිතවල ජීවිත හරහා, පොත අප සැමට හමුවන අභ්‍යන්තර ගැටුම සහ විශ්වාසය ඉදිරිපත් කරන අතර, "හුදෙක් ආදර කතාවක්" තරම් කිසිවක් සරල නොවන බව අපට පෙන්වා දෙයි.

කොළඹ ගමයා 01/05/2025

Friday, 25 April 2025

සත පහකට ගණන් ගන්න එපා

“The desire for more positive experience is itself a negative experience. And, paradoxically, the acceptance of one’s negative experience is itself a positive experience. (p.9)”
― Mark Manson, The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive

මේක තිබ්බේ මම කාලෙකට ඉස්සර කියවපු පොතක .  මුල හරියෙම වගේ නිසා මේ  ක්වෝට් එක මතක හිටිය. මේකේ තේරුම තමා   "වඩා ධනාත්මක අත්දැකීම් ලැබීමේ ආශාව, කියන්නේ සෘණාත්මක අත්දැකීමක්. ඒ වගේම එහි විරුද්ධභ්‍යාසය , තම සෘණාත්මක අත්දැකීම පිළිගැනීමම ධනාත්මක අත්දැකීමක්ය යන්න .  (පිටුව 9) - පොත ලියල තියන්නේ මාක් මැන්සන්   පොතේ නම - බුද්ධිමත් විධිහට ගණන් ගන්නේ නැතිව ඉන්නේ කොහොමද වගේ එකක්. 

දැන් මේකේ තේරුම බලමු ආදී කාලේ අපේ කට්ටිය ගිය සිරීපාදෙ වන්දනාවෙන් .  අපට ඉස්සර කියල දෙනවා බෞද්ධයෝ තම ඉඩ  කඩම්  හෙම ලියල දීල තමා යන්නේ කියල (අන්තිම කැමැත්ත).  හිතා  ගන්න පුළුවන් අර වැටවල් නැති හරියේ පය ලිස්සුවොත් හෙම වෙන දේ .  දැන් මේක සෘණාත්මක අත්දැකීම් සමූහයක් හරහා අන්තිමට උඩට නැගල වැඳලා ,  ඝන්ටාරය ගහල,  ඉර සේවය බලල ධනාත්මක අත්දැකීම් ටිකක් ගන්නවා නේද . ඒකනේ වැදගත්.

ඉස්සර යුරෝපයේ ආගමික ස්ථාන  වලට යන පිල්ග්‍රිමේජ් හෙවත් වන්දනා ගමනුත් ඒ වගේම  අමාරු ,  සමහර විට බිහිසුණු ඒවා .  නමුත් මිනිස්සු ගණන් ගත්තේ ඒ දෙඅල් .  මක්කමට හජි වන්දනාවේ  යන නඩ  වල කවුරුහරි හැම  අවුරුද්දෙම වගේ තෙරපීම නිසා, අධික රස්නය නිසා  මැරෙනවා .  ගිය අවුරුද්දේ නමසීයකට  වැඩිය පිරිසක්  මැරිලා තිබෙනවා.      ඒ සෘණාත්මක අත්දැකීම් තියෙද්දී හැම අවුරුද්දෙම බැතිමතුන් යනවා වන්දනාවේ.  අවසානයේ මක්කම වැඳලා ලැබෙන ධනාත්මක අත්දැකීම් වඩා හොඳ  යයි බැතිමතුන් කල්පනා කරන නිසා.

අපි 2023 ලංකාවට ආපු වෙලේ නුවර පෙරහැර බලන්න ගියා .  දුවල දෙන්නට ඒ අත්දැකීම දෙන්න ඕනේ නිසා .  මුලින් හොයල බැලුවහම කඩ,  සාප්පු  ඉස්සරහ පුටු දාල විකුණනවා එකක් රුපියල් 15000ක්. අම්මටයි ,  බිරිඳටයි දුවල දෙන්නටයි බලන්න කීවට එයාල කැමති නැහැ මම නැතිව . ඒ වගේම  වැසිකිළි පහසුකම් වලට හෙම ඈතට යන්න ඕනේ .  අනික ඒවා පිරිසිදුයි කියල කියන්නත් අමාරුයි.  හොඳම හෝටලයක ඉඩ තිබුන පුටුවක් රුපියල්  20000 ගානේ .  හැබැයි අවස්ථා දෙකේදීම පෙරහැර පටන් ගන්න පැය දෙකකට කලින්වත් ඉන්න ඕනේ .  තැන දාල ගියොත් වෙන කෙනෙක් ඉඳගන්න ඉඩ තියනවා .  (ඩබල් බුකින් ) . ඔය සෘණාත්මක අත්දැකීම් වලට මම කැමති නැහැ .  අනික මගේ වයසක අම්මත් ඉන්නව .  යාළුවෙක් හොඳ  ඔත්තුවක් දුන්න  පෙරහැර යන පාරේම සංචාරක  හෝටලයක උඩ  රෙටුරන්ට් එකේ ඉඳන්  බලන්න  පුළුවන්.  මැනේජර් මම ලන්ඩන් ඉඳන් කියල දැනගෙන පහල තට්ටුවේ පාර පැත්තේ කාමර දෙකක් වැඩි ගානට ඔෆර් එකක් දුන්න .  මම කාමර තුනක්ම  ගත්ත .  ගාණ අහන්න එපා .   තුන් ගුණයක් විතර වැඩියි .  ඒක සෘණාත්මක වුනාට පෙරහැර නිදහසේ ඔක්කොටම  බලන්න පුළුවන් ධනාත්මක  අත්දැකීමක් නේ ලැබෙන්නේ.  ඉතින් බැලුව හොඳට කකා බිබී.  හැමෝම සතුටින් .  වහින්න ගත්ත .  දැන් අම්මට , බිරිඳට හෙම  දුකයි .  පල්ලහ මිනිස්සු තෙමෙනවා .  ඒක සෘණාත්මක අත්දැකීමක් වුනාට එයාලට ,  මටනම් තේරුනේ ජනතාව වැස්ස බලාපොරොත්තුවෙන් ඇවිත් තියෙන වග.  ටිකක්  රෑ වෙනකොට  ළමයි හෝටලෙන් එලියට ඇවිත් පාරේම ඉඳන් බැලුව මොකද වැස්සට ගොඩක් අය එහෙ මෙහෙ වෙච්චි නිසා. 



මම අහල බැලුව ජනතාවට තිබෙන වැසිකිලි පහසුකම්  ගැන හෙම. ඔය දැන් යන කතාවම තමයි. ජංගම ඒවා තිබ්බට මදි .  ඒවා ඈතින් ඈතට තියෙන්නේ. පිරිමි නම් බිත්ති අයිනට යනවා .  සමහරු  කඩ පිටිපස්සේ ,  බෑග් වල . සමහර වෙලාවට කඩවල් වල අපිරිසිදු වැසිකිලි උතුරා යන වෙලාවලුත් තිබෙනවා .  නමුත් මෙතන ගෙවපු සෙට් එකක් ඉන්න නිසා, තමන්ගේ කඩ පිල ඉස්සරහ තැන විකුණන්න පුළුවන් නිසා  කවුරුත් වැඩි  සද්දයක් කරන්නේ නැහැ. ලාභයක් තියෙනව නේ.  උදේ අපි දැක්ක හැම තැනම කුණු .  නගර සභාවෙන් ඇවිත් පිරිසිදු කරනවාත් දැක්ක. සුළු ප්‍රශ්න   වගයක් ආව , හෝටලෙන් බෑග් අරන එනකොට පුටු සහ පදික වේදිකාව විකුණන චණ්ඩින් ගෙන් සහ වෑන් එක නවතන්න දුන්නේ නැති පොලිසියෙන් .  සත පහකට ගණන් ගත්තේ නැහැ දෙගොල්ලවම. අපේ වැඩේ අපි කළා.  මොකද අපිට හොඳ ධනාත්මක අත්දැකීමක් ලැබිල තිබ්බේ . 

ඔය ඉන්දියාවේ යනකොට බිහාර් ප්‍රාන්තයට බස් එකෙන් යන හරියක්  තියනව. පැය ගාණක් .  අතරමග නවත්වනවා පොඩි ගමක. වැසිකිලි හෙම නැහැ. ඒ මිනිස්සුත් කුඹුරට තමා යන්නේ .  අහල පහල  කැලේට යන්න කියනව බවලත්තු වෙනම .  පිරිමි වෙනම.  ඔය සීන් එක අපට මුලින්ම කියල තිබ්බ නිසා එදා උදේට යන්තන් කාල ,  දවල්ට  අපි නොකා හිටිය .  අම්මයි මමයි ගමන් ගියේ . දවල්   කෑම දෙක  නවත්වපු තැන හිඟන්නන්ට දුන්න .  සීන් එක නොදැන හිටි අය බැන බැන වතුර බෝතල් අරන් දොට්ට පිලට ගියා. අපි හෝටලේට යනකන් අල්ලන් හිටිය . වන්දනා ගමන් යනකොට පරිස්සමින් යන්න ඕනේ .    

මම තරමක් නිරගාමික අයෙක් නිසා දළඳා වන්දනාවක් ගැන ලොකු භක්තියක් නැහැ .  නමුත් රජයක් පත්වෙන්නේ කොටසකට පමණක් නෙමෙයි  නේ .  මඩු  වන්දනාව ,  කතරගම වන්දනාව, නල්ලුර් කෝවිල් වන්දනාව වගේ ඒකත් එකක්. රටේ බහුතරයක් ජනතාව තමන් හඳුන්වා ගන්නේ බෞද්ධ කියල .  ඒකට ඉඩ ප්‍රස්ථාවක් සලසන එක ගැන වැරැද්දක් කියන්න බැහැ. වෙනත් විවේචනත් තියනව .  බට් හූ ගිව්ස් අ එෆ්***.   

දැන් බෞද්ධයෝ එන්නේ ලොකු භක්තියකින් ශ්‍රී දළඳාව වැඳ පුදා ගන්න සහ ඒ ලැබෙන පින  කියන ධනාත්මක අත්දැකීමත් ලබා ගන්න .  නමුත් ඒක ලබාගන්න  තිබෙන ආශාව නිසා  කරන්න ඕන දේ  ඇත්තටම සෘණාත්මක අත්දැකීම් නේ .  මිනිස්සු ඒක දැනගෙන නේ එන්නේ .  පොඩි බලාපොරොත්තුවක් තියෙන්න ඇති ආණ්ඩුව අලුත් නිසා හොඳින් බලාගනී කියල .  නමුත් එහෙම හිතපු අය හිතුවට වඩා වැඩි වීමෙන් හැමෝටම සෘණාත්මක බලාපොරොත්තු ලැබුනේ , ලැබෙන්නේ .  

හැබැයි අවුරුදු දෙක තුනක් කතා කරන්න අත්දැකීම් ටිකක් ලැබිල තියෙනවා .  ඔය සෘණාත්මක අත්දැකීම් විඳගෙන ,  බුදු දහමේ කියනව වගේ දුක්ඛ කියන එක හොඳට විඳගෙන අන්තිමට දළඳාව වැඳලා ධනාත්මක  අත්දැකීමක් ලබා ගන්නවා .  
අර කලින් ගත්ත සෘණාත්මක අත්දැකීම් ටිකම ධනාත්මක වෙනවා නේද . 

මමනම් කියන්නේ ෆේස්බුක් බබාල මොන විවේචනේ කලත් පැමිණෙන දුක පැණි රසයි කියල ඕන මගුලක් කර ගන්න .  යන්න ඕනේ නම් යන්න නුවර උන්ට බම්බු ගහ ගන්න කියල .  උන් ඕනෙනම් ටිකක් අඬයි.  ඔය නෙගටිව් අත්දැකීම් ඒ ගොල්ලන්ට  වගේම ඕගොල්ලන්ටත් අමතක වෙයි කාලයක් යනකොට . 

අනික ආණ්ඩුවට බනින්න විධිහක් නැතිව හිටි අපේ යාළුවන්ට ආණ්ඩුව පතුරු ගහන්න හම්බවෙච්ච අවස්ථාවත් 
හොඳ ධනාත්මක අත්දැකීමක් නේ එයාලට .  අඬ අඬා නේ හිටියේ .  ආණ්ඩුවට උනත් අවුලක් නැහැ .  මොන කරදරේ උනත් අර 'අනුර ,  අනුර ' කියා කියා වට කරගෙන කෑ  ගහන්නේ උපාසක උපාසිකා නඩයම. අනුරත් ගොඩ . 
මේ  සිරි දළඳා වන්දනාව ට විරුද්ධව , පක්ෂව  සවුන්ඩ් බයිට්  දෙන දේශපාලකයොත් ගොඩ .  ෆේස්බුක් හෑලි ලියන සෙට් එකත් ගොඩ.  මේ හෑල්ල  ලියන මාත් ගොඩ. ධනාත්මක අත්දැකීම් ගොඩක් තියෙන එකේ ....     

සත පහකට ගණන් ගන්න එපා ඔය කිසි දෙයක් . 

කොළඹ ගමයා - 26/04/2025

Tuesday, 15 April 2025

හැටට කවියක්





ඇත්තෙන්ම අද අසාමාන්‍ය ලෙස නිහඬ, 
වැසි සහිත දවසක් එන්ෆීල්ඩ් වල 
ලොක්කි  උදේම වැඩට ගිහින් 
බාලයා තවමත් නිදි 
බිරිඳ සුබ උපන්දිනයක් කියල 
උඩ තට්ටුවට ගියා   වැඩ කරන්න , 
රිමෝට් වර්කින් 
ඔෆිස්  එක ගෙදර, ගෙදර ඔෆිස් එක 

මේ  දැනෙන මෙලන්කොලිය මොකක්ද 
මගේ තාත්තා නැතිවෙද්දී   
එයාට හැට දෙකයි  මට තිස් තුනයි  
එයා ඉක්මනටම ගියා  
එච්චර 'තරුණ' වයසකදී යන්න 
පනස් ගණනක  "තරුණ" බිරිඳක් දාල 
ඒ දවස් වල මට හිතුනේ නැහැ 

මළ කෙලියයි. මට හැටයි 😀

වයසක හෝ තරුණ බවක් දැනෙන්නේ නැහැ
මගේ බකට් ලිස්ට් එකේ 
එච්චර  දෙයක් ඉතුරුත් නැහැ 
බොරු කියන්නේ මොකටද 
බකට් ලිස්ට් එකක් තිබ්බෙත් නැහැ ,
ඔය ට්‍රැවල් කරන එක 
පොඩි දේවල්වලින් සතුටක් ලබන එක
බ්ලොග් ලියන එක , වාද කරන එක 

හැබැයි ඊට වඩා ගොඩක් වටිනවා  
අන්තිමට බැලුවහම, 
ළඟම ඉන්නේ  පවුලේ අය 
සහ යාළුවො තමයි 
ඒක  දන්නවා වුනත් 
ඒත්, සමහර වෙලාවට දැනෙන හුදකලා බව

මම රෑට දුරේක්ෂයෙන් තරු බලන එක 
නැවැත්තුවා නොවැ, සමහර විට අපි මේ විශ්වයේ 
තනිවෙලා වගේ නැත්ද මේ තරු ගොඩේ 
ඒවා තියෙන්නෙත් හෙන ඈතින් නේ 

සමාජ මාධ්‍ය නැත්නම් ඊටත් වඩා නරක්  වෙයිද මන්ද 
සමහරු බැන්නට ඔයා ෆෙස්බුකේ එකේමයි 
නැත්නම් ෆෝන් එකේ එල්ලිලා කියල කාට හරි
 
මම නම් එහෙමත්ම නැති වුනත්  
අද ඉඳන් නම්  සෙමින් යන්න ඕනේ 
හොඳම ක්‍රමය ඒක තමා 
 
ඇත්තටම වෙන  මොකුත් නෙවෙයි,
කිසිම දෙයක් නෑ  මගේ හිතේ 
කිසි දෙයක් 

අන්න  වැස්ස නැවතුණා !!!!!!!!!!!!!

කොළඹ ගමයා - 2025/04/15 උදෑසන දීය. පින්තූරය: හිතන්නවත් බැරි තැනක, මල් පිපුණු පැළයක් - අයිස්ලන්තයේ වික් නගරය, ගිනිකඳු අළු අසල. (අපි 2023 දී අයිස්ලන්ත සංචාරයේ ගිය වෙලාවේ මම ඒක ගත්තේ)

මගේ අදහසක් තියනවා අද ඉඳන් මේ බ්ලොග් එකේ දේශපාලනය නොලියන්න .  තව හැට  හුටහමාරක් හදපු බ්ලොග් වගයක් තියනව .  එකක් අළු දූලි පිහිදල ර ගන්නවා දේශපාලන කතා ලියන්න .  මේක - විද්‍යාවයි , බ්‍රයන් ගේ  කතාවටයි විතරක් .  





Thursday, 10 April 2025

රාණි නොවන රාණි සමග





'රාණි' චිත්‍රපටය නැරැඹීමට ගියේ ඒ කාලයේ යූඇන්පී පවුලක හැදී වැඩුණු පසුව ම දන්නා ප්‍රගතිශීලී ලෙස සිතන පතන කෙනෙකු සමගය .  චිත්‍රපටය නරඹා එද්දී ඒ ගැන අදහස විමසුවෙමි .  "ඇත්තටම හොඳයි. මම නොදැන හිටිය දෙයක් " . මට දැනුනේ ඉතා කලාත්මක චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඇතිවන  හෘදයංගම හැඟීමකි .  මම ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ඉන්පසු හඬා වැළපෙන්නට නොවේ .  නමුත් මට පෙනුනේ බොහෝ අය චිත්‍රපටය නරඹා ඇත්තේ පූර්ව විනිශ්චයකින් බවය.  

 පසුගිය වසරේ දිනෙක මම ගාමිණී මුතුකුමාරණ සොයුරාගේ ඇරයුමින් වාර්තා චිත්‍රපටයක් නැරඹීමට ගියෙමි .  එය අධ්‍යක්ෂණය කර තිබුනේ ආචාර්ය උදාන් ප්‍රනාන්දුය .  නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් මිදීමේ නිදහස් සටන වෙනුවෙන් කරන ලද ඒ වාර්තා චිත්‍රපටය නැරඹීමට ඒ රටේ ඇමති කෙනෙකු හෝ  හමුදා ලොක්කෙකු පැමිණි අතර එය පෙන්වා  අවසානයේ  ෆ්‍රෙඩි ගමගේ සහෝදරයා ට,  නැගෙනහිර ටිමෝරයේ නිදහස උදෙසා වෙහෙසෙමින්,   ශ්‍රී ලංකාව තුලද  බොහෝ උද්ඝෝෂණ ව්‍යාපාර  මෙහෙයවීම වෙනුවෙන් සම්මානයක්ද  පිරී නමන  ලදී. චිත්‍රපටයේ ඇත්තේ උදාන් විසින් නැගෙනහිර ටිමෝරයේ පදිංචි  නොයෙකුත්  ශ්‍රී ලාංකිකයන් / සිංහලයන් සමග සම්මුඛ සාකච්චා කරන අයුරු සහ පොදුවේ ඔවුන්ගේ එහි ජීවිතය ගැන කරන කථනයකි.   ඔවුන් සියල්ලෝම පාහේ එහි පැමිණ ඇත්තේ "නිකන්" ජොලියටය. ඔවුන් කියූ පරිදි, ඔවුන්ට  ලංකාවේ කිසිම  ප්‍රශ්නයක් නැතිව හොඳින් දිවි ගෙවන්නට පුළුවන්කම තිබියදීත්,   ගරිල්ලා යුද්ධයක් තිබෙන ආර්ථිකය ගාටමින් ඇදෙන ටිමෝරයට පැමිණ  පදිංචි වී බිස්නස්  එකක් කරගෙන ආවාහ විවාහ  වී ජීවත් වෙති . 

මේ මොන විකාර චිත්‍රපටයක් දැයි මම ගාමිණී ට කීවෙමි.  නමුත් එක ප්‍රේක්ෂිකාවක් චිත්‍රපටය අවසානයේ පැවසුවේ "කවුරු මොනවා කීවත් අපේ රාජපක්ෂ ජනාධිපති තුමා යුද්ධය අවසන් කර රටට සාමය ගෙනා බවකි".  ඇය එසේ කීවේ  ඇයිදැයි මම කල්පනා කෙරුවෙමි. චිත්‍රපටයේ කිසිවෙකු එවැන්නක් ගැන , ලංකාවේ ජන වාර්ගික යුද්ධයක් තිබූ බවක් වත් සඳහන් කරනු මට මතක නැත.
    
පසුගිය දවසක ජනාධිපතිවරණයට පෙර  මට හදිසියේම ආචාර්ය උදාන් ප්‍රනාන්දු හා මහාචාර්ය නිර්මාල් දේවසිරි අතර පොඩි ෆේස්බුක් සංවාදයක්  දුටුවෙමි.  උදාන් ප්‍රනාන්දු, නිර්මාල්  දේවසිරි ජාතික ජන බලවේගයට සහය දීම ගැන ප්‍රශ්නකරන්නේ  ජවිපෙ එම යුදයට මුලිකව රාජපක්ෂලාට දුන් සහයෝගය සිහිපත්  කරමිනි.  හදිසියේම මට වැටහුනේ උදාන් චිත්‍රපටියේ කලේ අලියා කාමරයේ සිටිද්දී  බිත්ති ගැන කතා කල බවය.  එයින් ඔහු සිංහලයන්ගේ දෙබිඩි පිළිවෙත උලුප්පා පෙන්වුයේය. අර කාන්තාව අරවැනි ප්‍රශ්නයක් ඇසුවේද එහෙයිනි. මට මුලින් ඇතිවූ කෝපය වෙනුවට උදාන් ගේ තර්කොව්ස්කි නිමේෂය ගැන පැහැදීමක් ඇතිවිය.  

රාණි චිත්‍රපටය පිලිබඳ විචාර හා විවේචන බොහොමයක් කියවූයෙමි. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් Stalker පිළිබඳ අමුතුම අන්දමේ විකාර විචාරයක් කල මලින්ත විතානගේ ගේ සිට (එයට පිළිතුරක් මේ බ්ලොග් ලිපියේ ලියා ඇත තර්කොව්ස්කි ගේ ස්ටෝකර් ) ලංකා ඊනිව්ස් සිනමා විචාරක අජිත් ගලප්පත්ති දක්වා අමුතුම අන්දමේ පුරුෂෝත්තම වාදී සිනමා විචාරයන් කර ඇත .  

ගලප්පත්ති හඳගම ගැන  ලියන්නේ මෙසේය .  -  " ලයනල් වෙන්ඩ්ට් හෙළුවැල්ලෙන් වැල්ලේ දුවවන ඔහු පැබ්ලෝ නෙරුදා ස්ත්‍රී දූෂකයකු ලෙස දක්වමින් සක්කිලි ගැහැණියක හඹා දුවවා සිය පරාම විකාරය ප්‍රදර්ශනය කළේය.ඒ සඳහා එම චරිතයට වඩා යෝධ චරිත, ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු, මංගල, මහින්ද වැනි ඇමතිවරු, රිචඩ් වැනි ලෝප්‍රකට මාධ්‍යවේදීන්, ප්‍රේමකීර්ති වැනි කවීන්, නිර්මලා වැනි බිරින්දෑවරු, රොනී වැනි පොලිස් ලොක්කන් තුට්ටු දෙකට දමා අපහාසාත්මකව නිරූපනය කරන්නට සිනමාකරුවකුට සිදුවිය හැක. -ලංකා ඊ  නිව්ස් " පැබ්ලෝ නෙරුදා විප්ලවවාදී කවියෙකු ලෙස අප ඔහුට කැමති බව සැබෑය . නමුත් නෙරුදා තමන් විසින්ම පිළිගත් දුෂණය ගැන හඳගම වැරදි කරුවෙකු වන්නේ කෙසේද ?  මෙහිදී ගලප්පත්ති ගේ පුරුෂෝත්තම වාදය මැනවින් ප්‍රදර්ශනය වේ .  

එසේම පොෂ්  අක්කලා හඬන විට ගලප්පත්ති ලේන්සුව දෙයි .  "ඇය නළලත මත තැබුවේ ස්වර්ණා තබන ස්ටිකර් පොට්ටු නොව පව්ඩර් පොට්ටුය. ඇය තම නිවසෙහි මත්පැන් තබාගෙන සිටියේ නැත. ඇය සිය මෙහෙකරුවන්ද සමග මත්පැන් පානය කළ බේබදු කාන්තාවක නොවේ."  ඒ ලියූ කාන්තාව මනෝරාණි දැන  සිටියේ එසේ විය හැකිය .  නමුත් පුතා පැහැර  ගත් රාණි නමැති මව කෙසේ ක්‍රියා කරන්නේ දැයි ඒ ලියන කාන්තාව හෝ ගලප්පත්ති දන්නේ කෙසේද?
  
මෙහි පුරුෂෝත්තමවාදී කතාව නම් විස්කි උගුරක් බොන ගැහැණිය හෝ සිගරට්ටුවක් උරණ ගැහැණිය අවඥාවේ හෙලා කතා කිරීමයි .  ඇය පටන් ගනිද්දී යල් පැන ගිය කාන්තාවක් වන්නට ඇත .  එහෙත් මව්වරුන්ගේ පෙරමුණකට නායකත්වය දුන්  කාන්තාවක් ඊට වඩා දැඩි අයෙකි .  ගලප්පත්තිට  මෙන්ම අනෙකුත් විචාරකයන්ට අවශ්‍ය වී ඇත්තේ  සියුමැලි ,  සුකොමල ,  ලාලිනියක වූ මනෝරාණිය.තම පුත්‍රයා රාජ්‍යයට සම්බන්ධ වුවන්  විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද්දාවූ   රාණි නොවේ .  

ලංකාවේදී මට ආචාර්ය සිසිර කුමාර බණ්ඩාරගම විසින් පරිවර්තනය කරන ලද අන්ද්‍රෙයි තර්කොව්ස්කි නම් විශිෂ්ට සිනමාකරුගේ දේශන අඩංගු පොතක් හමුවුණි .  සතුටට කරුණ නම් එහි පුර්විකාව ලියා ඇත්තේ හඳගම වීමය .  තර්කොව්ස්කි ගේ ඔහු වඩාත්ම කැමති චිත්‍රපටය "කැඩපත" බව  (රුසියන්  සෙර්කලා) කියා මෙසේ ලියයි. 
"චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙකුට, හඳුනා ගන්න ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂනයක් විය හැක්කේ ඒ රූප  රාමු එකක් පසු පස එකක් ගලාගෙන යන රිද්මය.  එය සංගීතානුකූල ගලා යමක් . " (පිටුව 15)
තවදුරටත් හඳගම මෙසේ ලියයි . "ඔහුගේ (තර්කොව්ස්කි)  චිත්‍රපට, මා කලින් සඳහන් කලාක් මෙන් එක් එක් නරඹන්නා තුල තම තමන්ගේ අත්දැකීම් හා කියවීම් වලට සාපේක්ෂව ස්වාධීනව අරුත් හා හැඟීම් මවන්නට සමත් ඒවා .  තමන් තුලම පවා ඒවා නරඹන වාරයක් පාසා වෙනත් හැඟීම් දැන්විය හැකි කෘතීන් .  චිත්‍රපට මෙන්ම චිත්‍රපට පිලිබඳ  කෙනෙකුගේ එක මොහොතක කියවීම පවා චලිතයක් . " හඳගම - පි .  16 

මා පොත  කියවූවේ ලංකාවේදී "රාණි"  බැලීමෙන් පසුවය. මට සිතෙන්නේ රාණි නිර්මාණය කරන ලද්දේද මෙලෙසම බවයි .  උදාන් ප්‍රනාන්දු ගේ වාර්තා චිත්‍රපටය මෙන්ම මෙහිද වඩාත් ඉස්මතුව පෙනෙන "කාමරයේ අලියා " හෙවත් රිචඩ් ගැන වැඩිපුර කතා කරන්නේ නැත .  සුමනා  විජේරත්න මෙන්ම තවත් එක අයෙකු ද රාණි ගේ චිත්‍රපටයේ  ඇය විස්කි බීම ගැනත්,  රාණි තවත්  කෙනෙකු සමග නාට්‍ය කළ හැටි ගැනත් ලියා තිබුණි .  ඒවා ලිවිම හොඳය .  ගලපත්ති ගේ  හා මලින්ත ගේ ප්‍රහාරද හොඳය .  ඉන් චිත්‍රපටයේ කතාව සම්පූර්ණ වෙයි . 

ඔවුන් දන්නා රාණි මෙහෙකරුවෙකුට විස්කි දී නැත .  ඒ ලියපු අයගේ උසස් සමාජ තත්වය පෙන්නුම් කරන්නට "මෙහෙකරුවා" යන්න උලුප්පා දක්වයි .  මෙහෙකරුවා  යන්න වර්තමාන සමාජයේ අනවශ්‍ය  ලෙස   කෙනෙකු පහත්  කරන්නට හා තමන් උසස් කරන්නට කරන යෙදුමකි . රාණි ගැන නොදන්නා වුවද ඈ ගැන කියවීමෙන් පසු  මට හැඟෙන්නේ රාණි යනු තමන්ට වැඩ කරන්නන් ට පහත් කර සලකන අයෙකු විය නොහැකි බවයි .  ඒ අනුව අත් උදව් කරු ,  තමන්ගේ "බට්ලර්" ට  විස්කි ටිකක් දෙන උසස්, කරුණාවන්ත කාන්තාවක් මගේ මනසේ සංකේතවත් වේ.   

    "කලාකරු යනු කව්ද යන්න පිලිබඳ තර්කොව්ස්කි වරක් මෙලෙස ප්‍රකාශ කළේය .  
-කලාකරු කියන්නේ ණය කාරයෙක්.  ඔහු නිතර උත්සාහ කරනවා තමාට ලැබී ඇති මේ දායාදය වෙනුවෙන් ඔහු විසින් ගෙවිය යුතු ණය ගෙවා දමන්න.  ඔහු දන්නවා - තමාට ලැබී තිබෙන මේ විශ්මයජනක දායාදය ලෝකයට, ලෝක වාසීන්ට දීමෙන් පමණයි ඔහුට මේ ණය ගෙවා නිම කළ හැක්කේ කියා.  ඒ නිසා,  කලාකරුවෙකුගේ විශිෂ්ඨත්වය මිනිය හැකි වන්නේ ඔහුගේ නිර්මාණ තුලින් නොවෙයි.  ඔහු ඒ නිර්මාණ එලි දැක්වීම සඳහා ගන්න උත්සාහය/වෑයම තුලින්.  ඒ නිසා කලාකරුවෙකු ගේ උසස් බව මනින මිනුම් දණ්ඩ විය යුත්තේ ඔහු කලාව නම් වූ උන්මාදයට කල කැප කිරීමයි. " පිටුව 40.  -අන්ද්‍රේයි තර්කොව්ස්කි - සිනමා දේශනා - පරිවර්තක -සිසිර කුමාර බණ්ඩාරගම  

තර්කොව්ස්කි තවත්  දේශනයක මෙසේ කියයි . "උසස් ගණයේ කල කෘතියක් කිසිවිටෙක තම ප්‍රේක්ෂකයා තුල කුමන ආකාරයක  ප්‍රතිචාරයක් ඇති කරනවාද යන්න පිළිබඳව සැළකිලිමත් වන්නේ නැහැ .  සමහර විචාරකයන් සිනමා නිර්මාණ ගැන කියන අභූත කතාමා  මවිතයට පත් කරනවා. මේ චිත්‍රපටය ජිවිතයට කිසිම සම්බන්ධයක් නැහැ .  චිත්‍රපටයේ කියන කතාව තේරුම් ගැනීමට අමාරුයි." 

කලකට ඉහත  මිය ගිය තර්කොව්ස්කි රාණි චිත්‍රපටය පිලිබඳ සමහර විචාරකයන් ගේ විචාර  ගැන අනාවැකි කියා ඇත . 

"කලා  නිර්මාණයක් තුලින් ඒ නිර්මාණයේ 'පරමාර්ථය '  නැතිනම් 'අර්ථය '  එළිදරව් නොවිය යුතුයි.  කලා  නිර්මාණයෙන්  නිර්මාණකරු අපේක්ෂා කලේ කුමක්ද යන්න ඉවත් විය යුතුයි.  වෙනත් වචන වලින් කියනවා නම් කලා නිර්මාණයේ පියවි සිහිය /ප්‍රකෘතිය ඒ නිර්මාණයෙන් ඉවත් වූ විට පමණයි, ඒ නිර්මාණයේ නියම ජිවය උපදින්නේ . " හෙලිදරව්  නොවන අර්ථය ගැන එසේ කියන  තර්කොව්ස්කි මෙසේද පවසයි.
 
"හොඳ කලා නිර්මාණයක් තුල ඇත්තේ තර්කානුකුල බව නොවෙයි .  එක එල්ලේ හඳුනා ගත නොහැකි,  අවබෝධ කර ගත නොහැකි හැඟීම් සමුදායක්.  කලාව යනු පියවිය හා මනස්කල්පිතය අතර සමතුලිතතාව සෙවීමේ ප්‍රයත්නයක් . " පිටු 68-69

මටනම් හඳගම "රාණි "  තුලින් ඒ සමතුලිතතාව හඳුනාගෙන ඇත.  ගලප්පත්ති කියන්නේ හඳගමට තමාගේ නිර්මාණය ගැන කතා කල නොහැකි බවයි .  නිර්මාණය කල පසු එය තමන්ට අයත් නොවන නිසාලු .  නිර්මාණය ඉදිරිපත් කල පසු එය අයිති ලෝකයට බව  සැබවිය . එහෙත් නිර්මාණකරුට ඒ ගැන කතා කරන්නට නොහැකිය කීම මුග්ධ කතාවකි.  තමන්ගේම නිර්මාණ විවෙච්නය කරන ග්‍රන්ථ හා නාට්‍යකරුවන් ඕනෑ තරම් සිටිති.  තර්කොව්ස්කිම තමන්ගේ චිත්‍රපට දේශනා වලදී උදාහරණයට ගනී . 
 
"සිනමාකරු ප්‍රේක්ෂකයාට වැටහෙන ආකාරයට කතා කියන්න උත්සහ කරනවා යනු ඔහු ප්‍රේක්ෂකයාගේ වුවමනා එපාකම්  සපුරාලන්න උත්සාහ කිරීමයි. ප්‍රේක්ෂකයා සතුටු කිරීමට උත්සහ කිරීමයි .  මෙය කලාකරුවෙකුගේ හෝ  කලා  නිර්මාණයක කාර්යයක් කියා මා  කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ .  එසේ සිතීම ලොකු රැවටිල්ලක් . " තර්කොව්ස්කි -  පි . 78 

 හඳගම ගේ ප්‍රශ්නය වී  ඇත්තේද මෙයයි .  ඔහු අතිශයින් කලාත්මක නිර්මාණයක් ඉදිරිපත් කල අතර ස්වර්ණා  මල්ලවාරච්චි සහ සෙසු නළු නිලියන් හැකි හැම පමණින් එයට දායක වී ඇත .  එය සකල දේශපාලන ප්‍රේක්ෂක සමුහයා සතුටු කරන්නට කල කළා නිර්මාණයක් නොවන බව විචාර හා සමාජ ජාල වැළපීම් මගින් පෙනී යයි . 

"ඉනි අවන්" ගැන විචාරයක් ලියන දීප්ති ගුණරත්න මෙසේ කියයි . 

"නමුත් 'අක්ෂරයට' පසු අශෝක හඳගම විසින්  තමන් එතෙක් සිනමාව තුල මහා අනෙකා වෙනුවෙන් රංග දක්වන ලද ආශාවේ මානය විපරිත ස්ථාවරයේ  සිට හිස්ටරික  ස්ථාවරයක් දක්වා විස්ථාපනය කරන  ලදී. මෙම විස්ථාපනය ආත්මීය කරුණකි .  එනිසාම එම හැරවුම මගින් ඔහු ආචාරාත්මක ක්‍රියාවක් කරයි.  එනම් විපරිත ආත්මමූලිකත්වයක සිට (විනෝදය  අනෙකට දීම )  හිස්ටෙරික ආත්මමුලිකත්වය කර විතැන් වීමයි .  මේ සඳහා ඉදිරිපත් කල හැකි බාහිර සියලු හේතුන් පසු ආවර්තිත  බව සිහි තබා ගත යුතුය .  මෙම ෆැන්ටසිකරණය නිසා අශෝක හඳගමගේ දේශපාලන ප්‍රේක්ෂක කැළ ඔහුට හිමි විය. ඔවුන්ගේ මුඛ්‍ය චෝදනාව වන්නේ ඔවුන්ගේ ෆැන්ටසි යථාර්තය හඳගම විසින් නොපෙන්වන බවයි .  එය ද්‍රෝහී ක්‍රියාවකි . " පිටුව 26  - 'මා  අබියස ඔබ නෙළුම නොවේ.  - දීප්ති කුමාර ගුණරත්න

එසේනම් සිදුවී ඇත්තේ හරිම අවාසනාවකි .  "රාණි චිත්‍රපටයෙන් ඉතිරිව සිටි දේශපාලන ප්‍රේක්ෂක කැලද හඳගමට එසේනම් අහිමි වී ඇත. ඔහු ද්‍රෝහියෙකු ලෙස සලකා  විචාර ලියවෙන්නේද , පවුලේ ය රිචඩ් ව තව  වරක් මැරූ ලෙස වැලපෙන්නේද එබැවිනි .  චිත්‍රපටය කලාත්මක නිර්මාණයක් මිස රිචඩ් ද සොයිස ගේ මරණය ගැන නන්දන විරරත්න ලියන ගවේෂණාත්මක ලිපියක් නොවේ .  මේ දේශපාලන ප්‍රේක්ෂක රැලට හසුව නොමැති යථාර්තය මෙයයි .  ඔවුන්  චිත්‍රපටය නරඹන්නට ගොස් ඇත්තේ පූර්ව  විනිශ්චයකිනි . ඇතැමෙක් ගොස්  ඇත්තේ එහි රිචඩ් හා තමන් කල නාට්‍ය ගැන ඇතැයි සිතාය .  ඇතැමෙක් සිතා  ඇත්තේ ඇය තමන්ට කල වෙද කමක් ගැන එහි ඇති කියාය .   ඇතැමෙක් දේවතාවියක ගේ කතාවක් බලාපොරොත්තු වී තිබේ .  ඉන්දියාවේ කාට හරි කීවා නම් එවැනි චිත්‍රපටයක් සාදා දෙනු ඇත .  ඇතැමෙකු බලාපොරොත්තු වී ඇත්තේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් කරනු ඇතැයි කියාය .  

මා මිත්‍ර හිටපු මහාචාර්ය ප්‍රදීප්  ජෙගනාදන් මුහුණු පොතේ මට ලින්කුවක් දමා තිබුණි. ඒ ඔහු හා මා මිත්‍ර නන්දන වීරරත්න රාණි චිත්‍රපටය ගැන කළ කතා ගැනය .   මා ජෙගනාදන් දන්නේ රාජකීය විද්‍යාලයේ මට කලින් වසරේ  සිටි උගත් දක්ෂ සිසුවෙකු ලෙසය .  ඔහු හා මම සාමාන්‍ය  දැනීමේ තරඟ  කණ්ඩායමකට අයත්ව  සිටියෙමු .  සන්සුන් ජෙගනාදන් ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකා  ගියේය. දුප්පත් මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගියෙමි.  ඇමෙරිකාවේදී ජෙගනාදන් බොන්නට ඇතැයි මට නොසිතේ .  රුසියාවේදී මට  නොබී බැරිවිය .  ඒ ගැන කවුරුත් දනිති.    නමුත් චිත්‍රපටයේ බොන බවක් නොපෙනුන විනීතව මෙන් හැසිරුණ (මටනම් එසේ නොපෙනුණි )  කණ්ඩායමක්  රිචඩ් පැහැර ගන්නට පැමිණි  බව ජෙගනාදන් කියයි .  එම කණ්ඩායම ඉන්පසු පෙන්වන්නේ ජීප් රථයේ හොඳට බොන බවත් ඉන්පසු ඔවුන්ම තීරණය කර රිචඩ් පැහැර ගැනීමට යන බවත් ජෙගනාදන් නිරික්ෂනය කරයි .  ඔහුට අනුව මෙහි ඇත්තේ පරස්පර විරෝධතාවයකි .  විනීත පැහැරගන්නන් හා බීමත් කණ්ඩායම.
  
ජෙගනාදන් මිතුර, ඔබ හොඳට   බිව් අයෙකු ලෙස මට නොපෙනුණි .  එනිසා මට එය වැටහේ .  අදටද  වොඩ්කා හෝ විස්කි බෝතලයකින් බාගයක් බී මට තවම කෙලින් සිට ගන්නට පුළුවන්ය .  එසේම එසේ බී  වාහන පදවන අයද මම දනිමි .  මා එයට සහමුලින්ම විරුද්ද නිසා එසේ නොකරමි.  ඔබට කලින් කතාව කල නන්දන වීරරත්න  ගෙන් ඇසුවා නම් කියා දෙනු ඇත .  ආරක්ෂක අංශයේ අය බීවාට ඒ ගැන සඟවමින් ඔවුන් ක්‍රියා කරන බවට බොහෝ අය සාක්ෂි දෙනු ඇත .  ඔවුන් සරම් උස්සාගෙන හොරු අල්ලන්න යන්නේ නැත .  බීමත්ව නම් යති .  එනිසා ඔබේ තර්කය බොල් පදනමක් නැති එකකි.
 
ලන්ඩනයේදී අප බියර් එකක් බොන්නට හමුවූ අවස්ථාවක මහාචාර්ය ජෙගනාදන් ඔහු පලකල පර්යේෂණ පත්‍රිකාවක්  ගැන කීවා මතකය .  බෞද්ධාගම අවිහිංසක  ආගමක් නොවන බවය ඒ .  ඒ ගැන ලියන්නට සිතා  සිටි මුත් මට එය අතපසු වුනි .  ඔබ තර්ක කලේ ගලබොඩ අත්තේ ඥානසාර දබර ඇඟිල්ල  දිගු කර තර්ජනය කරන බවත් බුදුන් වහන්සේද එසේ ඇඟිල්ල ඉදිරියට දිගු කල බවත්ය .  බුදුන් වහන්සේ ගේ හස්ත මුද්‍රා හැර වෙනත් තනි ඇඟිල්ලකින් කරන තර්ජනයක් මම නොදනිමි .  එසේම බුදුන් වහන්සේ යක්ෂයන්  දමනය කිරීම ප්‍රචණ්ඩත්වයක් (violence) ලෙස ඔහු දකී. බුදුන් ලංකාවට වැඩියාද කිය  නොදන්නා නිසා මා ඒ ගැන ප්‍රශ්න නොකරමි.
 බෞද්ධාගම ප්‍රචණ්ඩ නොවූ නිසා  බංගලි දේශය , පකිස්ථානය ,  මැලේසියාව,  ඇෆ්ගනිස්ථානය ,  ඉන්දුනීසියාව අද බෞද්ධ රටවල් නොවේ යයි තර්කයක් ද ඇත .    එහෙත් මානව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස එවැනි පත්‍රිකාවක් ඔහුට එවැනි අදහසක් ගොනු කිරීමට හා පල කිරීමට  පූර්ණ නිදහසක් ඇත .  හඳගමට තමන්ට අවශ්‍ය ආකාරයට "රාණි " නිර්මාණය  කරගන්නා සේය.

ජෙගනාදන් ගේ මෙන්ම බොහෝ අයගේ තවත් තර්කයක් නම් චිත්‍රපටයේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් නොකරන බවයි .  එසේම පොලිස් කණ්ඩායම ජීප් රථයේ  බොන අතරේ එම තීරණය කණ්ඩායම  ගත් බවයි .  ජෙගනාදන් ,  ඔබ හොඳ  මාෆියා චිත්‍රපටයක්  නරඹන්න.  මාරියෝ ෆුසෝ ගේ "ගෝඩ් ෆාදර්", ඩොනි බ්රැස්කෝ  මෙන්ම  නෙට් ෆ්ලික්ස් හි ඕනා තරම් මාෆියා චිත්‍රපට  ඇත .  කිසිම මාෆියා බොස් කෙනෙකු හෝ දේශපාලකයෙකු කෙනෙකු මරන්නට කෙලින් අණ  දෙන්නේ නැත .  ඒ වෙනුවට "අරයා මා දිහා අමුතු විධිහට  බැලුව . ""දැක්කද  අරූ හැසිරිච්ච විධිහ "  "අරූ අපට උගන්වන්න එන්නේ " "අපිව  නැති කරන්න  කලින් නැති වෙන්න ඕනේ අය ඉන්නව "  වගේ හැඟවුමක් දෙනු මිස කෙලින් කියා තමන්ව කොටු වෙන්නට ඉඩ හරින්නේ නැත.  ඇමෙරිකානු එෆ් බී අයි ආයතනයට ඇමෙරිකාවේ ඉතාලියානු මාෆියාවේ බොස් ලා හරි හැටි කොටු කරගන්නට අවුරුදු දහයකට වඩා ගියේ එබැවිනි .  මෑත කාලයේ එක්තර දේශපාලකයෙකු " ගහලා දාන්න " කියනු යයි මා අසා තිබේ.  

"ලොක්ක අරූ ට කැමති නැහැ නේද " කියා චිත්‍රපටයේ කියනවා  ඇසුනේ නැත්ද?  ඒ ඔවුන්ට දී තිබූ අණයි. පාතාලයන් සේ, ඝාතන  කණ්ඩායම් සේ වැඩ කල අයට ඒ හොඳටම  ඇතිය . 

එසේම රිචඩ් ද සොයිසා  ගේ ඝාතනයට වග කියන කවුරුන්  හෝ  නීති මාර්ගයෙන් සොයා නැති තත්වයක් තුල චිත්‍රපටයට ඇඟිල්ල දිගු කළ නොහැකිය .  නන්දන වීරරත්න ටතම කතාවේදී පවසන්නේ රිචඩ් ගැන සොයන්නට හා කියන්නට අවශ්‍ය නම් වෙනත් චිත්‍රපටයක් අකරණ ලෙසය .  ඒ කතාව වඩාත් සාධාරණ එකකි . 

රඟපෑම් ගැන කියනවානම් ස්වර්ණා මල්ලව "රාණි" ගැන  නොදැන සිටියා නම් වඩා හොඳය .  සිනමා නිර්මාණයේ තම නිර්මාණය කරන චරිතයේ සියලු තොරතුරු නළුවා හෝ නිළිය දනී  නම් ඇයට ඒ චරිතය නිසි ආකාරයට ගොඩනැඟිය නොහැකි යයි  තර්කොව්ස්කි පවසයි.    බොහෝ විචාර වලට අනුව ස්වර්ණා "රාණි " ගැන දන්නේ නැත .  එහෙනම් ඒ හොඳය .  ඇගෙන් චිත්‍රපටයට සාධාරණය ඉටුවී ඇත .  එම චිත්‍රපටයේ මැවෙන්නේ ඔබ දන්නා රාණි නොව මව්වරුන්ගේ පෙරමුණේ රාණිය. තම දරුවා බලෙන් පැහැරගෙන ගිය,  දවා  හලුවී තැන නොදන්නා දහසකුත් එකක්,  සිංහල , දෙමළ ,  මුස්ලිම් මව්වරුන්ගේ එකියකි . 

එසේම කිසියම් පිටපතක් ලියන සැමියකු පැහැර ගැනීමක් පෙන්වයි .  ඔහුගේ බිරිඳ රාණි හමුවීමට පැමිණ ඇය හා පෙරමුණටද එක්වෙයි /  මේ කියවෙන්නේ ලක්ෂමන් පෙරේරා ගැනද ?  අහවල් නාට්‍යය ගැනද?

හඳගම චිත්‍රපටයේ අසල්වැසියන් එන වෙලාව මතකද .  "රාණි " ඔවුන ගේ  සහය ප්‍රතික්ෂේප කරන්නේ "රිචඩ්   පැහැරගත් වෙලාවේ ඔබල කොහෙද හිටියේ " යයි අසමිනි .  රිචඩ් ගේ දැන් කෑ ගසන නෑදෑ පරම්පරාවද එසේ සිටින්නට ඇත .  තනිව සිටි ඇයට අරමුණක් දුන්නේ මංගල හා මහින්දය. ඒ වංචාකාරී ලෙස ඇයව යොදාගෙන චන්ද්‍රිකා රජ කරන්නටය .  ඒ ගැන පෙන්වීම වරදක්ද?  සිදු වුනේ එය නොවේද? "රාණි" හි   පෙන්වන්නේ මව්වරුන්ගේ පෙරමුණේ සටන් වැදුණු මව්වරුන්ගෙන් එකියක් මිස පොෂ්  පන්තයේ වෛද්‍යවරියක් ගැන නොවේ . 

හඳගමගේ මේ විශිෂ්ට කලාත්මක නිර්මාණය දෙවන වර නරඹන්නට  ලන්ඩනයට ගෙන එනු ඇතැයි  සිතමි .  ස්තුතියි අශෝක හඳගම . 

- කොළඹ ගමයා -10/04/2025
තර්කොව්ස්කි ගේ කැඩපත 



වධහිංසා කිරීමේ කලාව ! | ප්‍රදීප් ජෙගනාදන් දේශනය - යූටියුබ් 


සිනමාවක් නොවන විචාරයක්. - නන්දන වීරරත්න 




මුලාශ්‍ර -අන්ද්‍රේයි තර්කොව්ස්කි සිනමා දේශනා - පරිවර්තනය - සිසිර කුමාර බණ්ඩාරගම 
මා අබියස ඔබ නෙළුම නොවේ - ඉනි අවන් -  දීප්ති කුමාර ගුණරත්න 
ජලයෙන් යටවූ ලින්ච් ගේ ලෝකය - පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ 

මගේ අනෙකුත් චිත්‍රපට විචාර ලිපි:





Friday, 21 March 2025

මැයි මාර විකාරයේ ඉන්නේ හීන දකින්නෙක් ද පීපින් ටොම් ද


අපේ ප්‍රසිද්ධ හිටපු බ්ලොග්කරුවෙක් හෙම ෆේස්බුක් එකේ විකාර සහගත කතාවක් ලියල තිබුන නිසා මේ පාර  ලංකාවේ ඉන්දෙද්දී 'මැයි  මාර ප්‍රසංගය ' කියන පොත  ගත්ත සරසවි එකෙන් .  මුද්‍රණ වාර දාහතරක් ම ප්‍රකාශ වුනු ස්වර්ණ පුස්තක සම්මානයේ මුල් කෘති පහට තේරිලා තියනවා කියන්නේ ඉතින් පට්ටම පට්ට පොතක් කියල හිතුනා.  බලනකොට පොඩි පොතක්. පිටු 108 යි , රුපියල් හත්සියයි .  ලන්ඩන් එන අතරවාරයේ ෆ්ලයිට් එකේදිම කියවල ඉවර කළා .  

දෙයියන්ට  ඔප්පු වෙච්චාවේ  (ඉන්නවනං බුවාලා)   , ලංකාවට වෙලා තියෙන සන්තෑසිය ට එක හේතුවක්  මෙන්න මේ  වගේ පොත් සහ කලා  කෘති වලින්  ඉදිරිපත් කරන ආලය /ආදරය පිලිබඳ දෘෂ්ටිවාදය කියාල  හිතුන .  දැන් සිනමාවටත් අරගෙන කියල ආරන්චියි .  මම  මේ කල්පනා කරේ මොන  කතාව ද  සිනමාවට නගන්න  කියල. හොරෙන් බලන එකද නෙල්ලි උයන එකද?

ආදී කාලයේ ඩබ්ලිව් ඒ සිල්වා ගේ ලක්ෂ්මි වගේ කතා .  ඊට පස්සේ වික්‍රමසිංහ ගේ විරාගය , ගම්  පෙරලිය වගේ පොත් ,  ජයලත් ගේ ගොළු හදවත වගේම බ්‍රොන්ටේ ල ගේ වදරින් හයිට්ස් , එතකොට ජේන් අයර් , ටෝල්ස්ටෝයි ගේ ඇනා  කරේනිනා  වගේ පොත් කියවපු අපට සීයට  පනහේ ලව් එකක් තියන කතාවක් ශ්‍රේෂ්ඨයි කියල ස්වර්ණ  පුස්තක විනිශ්චයකාර සෙට් එක කියනවා .  ඒ ගොල්ලගෙ හිස් ගෙඩි ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්න   හිතෙන්නේ නැත්ද 

කතාව කියවනකොට ඉස්සෙල්ලම මතක් වුනේ වර්ණපාල මෙතඩ් එක .  අර පේරා වලද කොහෙද විශ්ව විද්‍යාල සිසුවෙක් හිත ගත්ත සිසුවියක් යාලු කර ගන්න දැම්ම උප්පරවැට්ටිය .  හැංගිලා ඉඳන් කියනවලු "ආ වර්ණපාල කොහොමද? " අන්න වර්ණපාල ගේ කෙල්ල යනවා. වර්ණපාල හරිම වාසනාවන්තයි " කෙල්ලත් අන්තිමට හොයල බලල කවුද මේ  වර්ණපාල කියල. අන්තිමට කෙල්ල  යාලු වුනාලු .  ඇත්ත කතාවක් ලු .  හැබැයි ඒ වර්ණපාල ට ගටක් තිබ්බ එහෙම කරලා  හරි කෙල්ල යාළු කර ගන්න .  මැයි මාර විකාරයේ සමිධ කියන්නේ එහෙම ගටක් වත් නැති  සීයට  පනහේ  ක ආදරවන්තයෙක් .  ආදරවන්තයෙක් නෙමේ මේක එක්තරා විධිහක මානසික ලෙඩක් නෙමෙයිද?

සමිධුකියන චරිතය අර කිසිත් නොදන්නා ගැහැණු ළමයා දිහා බලල නිකන් ඉන්නේ නැහැනේ .  එයාට  ආදරය කරනවා .   සීයට  පනහේ ආදරේ .  අවුලක් නැහැ .  අවුල තියෙන්නේ හැමදාම නොකිය එයා දිහා බලන් ඉන්න එකත් නොවේ ,  හැංගිලා බලන් ඉන්න එක .  පීපින්  ටොම් කියන්නේ ඔන්න  ඔය වගේ කට්ටියට .  එක වෙලාවක පියාගේ සොහොන ගාව  ඉඳන් බලන් ඉන්නවා .  තව වෙලාවක තව තැනක .  කෙල්ල මැයි  මාර  මල් වලට ආසයිද  කියල බලන්න මල් ඔක්කොම කඩන් ඇවිල්ල , ගහේ  කඩදාසි මල් එල්ලනවා .   අර කෙල්ලට මාර මානසික වධයක්  දෙන්නේ .   එසේ මෙසේ මානසික ව්‍යාධියක් නෙමේ තිබිල තියෙන්නේ .  ඒ වුනාට පොතේ කතුවරයාට ඒ වැඩේ හෙන ශ්රුන්ගරාත්මක ආදර  සංධ්වනියක් .   එයාට  පේන්නේ  නැහැ මෙතන අවුල .  
අර unrequited  love  කියල එකක් තියෙනවා තමයි .  අනිත් කෙනා දන්නේ නැතිව වුනත් හදවතින් ආදරේ කරන .  ඒකෙ  අවුලක් නැහැ තමුන්  ස්ටෝකර් කෙනෙක් හෙවත් පස්සෙන් යන්නෙක් හෝ හොරෙන් බලන්නෙක් නොවී .  

දැන් ගැහැණු කෙනෙක්ට කවුරුහරි එයාලා  දිහා බලන් හිටියොත් තේරෙනවා , හැඟෙනවා නේද?  සමහර විට අපිටත් එහෙම දැනෙන වෙලාවල් තියනවා කවුරු හරි බලන් ඉන්නවනම් .   නමුත් කාන්තාවන්ට ඒක  වැඩියි .  අර ගැහැණු ළමයා කොපමණ  බයෙන්ද  අර ඔෆිස් එකට එන ගමන එන්නේ ඇත්තේ .  අදත්  අර යකා උලමා වගේ බලාගෙන ඇති කියල හිත හිත බයෙන් ගැහි ගැහී .  ඒ මනුස්සයාට මල් ගහක් දිහා , ගඟක්, දොළක්,  ගහක් කොළක්  දිහා බලන් ඉන්න විධිහක් නැහැ නිදහසේ .  සොහොන් පිට්ටනියේ හැංගිලා පවා බලන් ඉඳල කියන්නේ ඉතින් .  හොඳ වෙලාවට ඔෆිස් එක වැහුවේ .  එයා නතර වුනා වුනාමයි ආයි  මේ මානසික ව්‍යාධි කාරයෝ දෙන්න ඉන්න පැත්ත පළාතේ ඇවිත් නැහැ .  ජිවිතේ බේරුනා කියල හිතන්න ඇති .  

ගැහැණු කෙනෙකුට එහෙම තේරෙන බව කතුවරයා 94 වෙනි පිටුවේ සඳහන් කරනවා .  හිතුනේ නැත්ද එක පාරක් දෙපාරක් බලන කොට , හැංගිලා ඉඳන් බලන කොට එයාලට තේරෙන බවත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම කෙල්ල ඉදිරිපිටට ගිහින් අහන්න ඕනේ බවත් .  තුන් සැරයකට  වඩා ඒක  ඉදිරියට ගියොත් එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් .  මේ මිනිහා අහන් ගටක් නැති කෙනෙක් කියල හිතයි .  එහෙම නැත්නම් මනෝ කාරයෙක් කියල හිතයි .  ඕන තරම් ඒ වගේ කතා අහල තියෙනවා .  යෙහෙලියන්ම කියල .  

අර මතකද විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත්ත පෙම්වතියට සබඳතාවයෙන් අයින් වුනා කියල පිහියෙන් ඇන්න  පරණ පෙම්වතා .  අන්න මේ වගේ අය . මොකද අයින් වුනහම වුනත් තමා ගේ පනහේ  ආදරේ හොඳටම ඇති කියල හිතන කට්ටිය. තව අර බස් එක ගන්න එනකොට බෙල්ල කපල මරපු හිටපු පෙම්වතිය .  මේ ලිපිය ලියන අතරේම ඊයේ තව මිනී  මැරුමක් වෙලා .  පෙම්වතිය පොඩි කෙල්ලෙක් .  වයස විසි එකද කොහෙද , පාසැල්  කාලේ  අවුරුදු පහක ප්‍රේම සම්බන්ධයක් ලු .  ඒ කියන්නේ අවුරුද 16 දී. අම්මා  කීව  නිසා ටිකක් ඉඳල බලමු කියපු ටිකට .  ඒ කියන්නේ ඒ ආදරෙත් වැඩියෙන්ම ඒක  පාර්ශ්වීය .  ඒ කෙල්ලත් ඊයේ පිහියෙන් ඇනල . මේ ඒක  පාර්ශවිය  ආදරය උස්සල ප්‍රේමනීය කරන එක විපාකේ  තමයි ඔය . 

අර වෛද්‍යවරියට හදි  කල කෙනා මොන වගේද දන්නේ නැහැ .  පන්සලක හිටියනම් මොනවට මුහුණ දුන්නද දන්නේ නැහැ .  හමුදාවේ හිටිය එක නිසා ඇතිවුණු මානසික ප්‍රශ්නත් තියෙන්න ඇති .  ඒක  පාර්ශ්විකව ආදරයක් ඔහොම අයට  තියෙන්න ඉඩ කඩ වැඩියි . 

ගාමන්ට් යන තරුණිය ට හදි කරලා ඝාතනය කළ  වෛද්‍යවරයටත් ඔය ප්‍රශ්නෙම තියෙන්න ඇති .  ආදරය කරන කෙනෙකුට කියන්න බැරි කම .  ඒ නිසාම අර වගේ අපරාධ කරන්න යොමු වෙන්න ඇත .  

ඒ මදිවට සමහරු කියනවලු කොටට  ඇඳගෙන යන්න ඇති ඒ වෛද්‍යවරිය .   බැඳලා නැත්තේ ඇයි  වගේ කතා .  ඒ වගේ ලියන උන්ටත් තියෙන්නේ මානසික ව්‍යාධි .  අවංකවම  කියනවනම් ලංකාවේ  මනෝ චිකිත්සක වරු අඩු ඇති .  ලංකාවේ පුවත්පත් වල පවා මේ ඒක  පාර්ශ්වීය සබඳතා, දෙන්නම එකතුවෙලා අරන් ගිය සබඳතා වගේ සලකල ලියන්නේ .  කාන්තාවෝ ඒකට  කැමති වුනාද නැත්ද කියන එක අදාල නැහැ පත්තරවලටත් .  
 
අර හදපු මල් ගහේ එල්ලපු වෙලාවේ සමිධ හොරෙන් බලන් ඉඳල "මං  පහුවද උදේම ගිගිල්ල සොහොන ළඟ බලාගෙන හිටියා .  එයා ආවා. එයා දැක්ක ගහේ  මල පිපිලා තියෙනවා .එයාගේ මූණේ  ඇති වෙච්ච් සතුට ...."කෙල්ලගේ මුහුණ කොහොම වෙතත් අර වගේ මානසික ප්‍රශ්නයක් තිබෙන කෙනෙකුට තමන්ගේ පැත්තට බයස් ව තමයි හිතෙන්නේ . 

 අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තිබුන හෝ තියෙන්නේ ඇති පාසැල්  යන කාලේ . අටේ නමයේ පන්තියේ ඉඳන් උසස් පෙළ වෙනකන් .  ඒ තිබුණු සංස්කෘතික සමාජය තුල . ඒකෙ  අවුලක් නැහැ .  ටියුෂන් යන කාලේ  කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එක ,  පස්සෙන් යන එක තියෙන්න ඇති හැමෝටම වගේ.    දැන්නම් කාමර වලටත් යනවා ඇති .  ප්‍රශ්නේ ඒක  නෙමේ .  වැඩිහිටියෙක් ඒක  කරන එක .  ඊට පස්සේ ඒක  උතුම් ප්‍රේමයක් කියල ටැග්  කරල පොතකුත් ලියල. අවුලක්  නේ .  මයිකල් ජැක්සන් පොඩි කොල්ල  කාලේ  හෝ ගැටවර වියේ (ටීනේජර් ), පිරිමි ළමයෙක් එක්ක කාමරේ නිදා ගන්න එක ප්‍රශ්නයක් නෙමේ .  නමුත් වැඩිහිටියෙක්  වශයෙන්  පොඩි පිරිමි ළමයෙක් (අනුන්ගේ ළමයෙක් )  එක්ක නිදා ගන්න එක ප්‍රශ්නයක් .   

කතුවරයාට තිබ්බේ දේවල් දෙකයි කරන්න .  හොඳ යහළුවෙක් වශයෙන්  විකාර කරන්න නොදී අර මනුස්සයාව  ඇදන්  ගිහින් කෙල්ලව මුලිච්චි කරවලා කෙළින්ම  කියන්න ඒ ලස්සන තරුණියට .  එහෙම නැත්නම් ,  එයා  එන්නේ නැතිනම් මනෝ වෛද්‍යවරයෙකුට ගිහින් පෙන්වන්න .  ඒ මනුස්සයා සුවපත් වුනානම් සතුටෙන් වෙන කසාදයක් කරගෙන හෝ නොගෙන ජිවත් වෙයි ඉතිරි කාලය .  එච්චරයි නේ අවශ්‍ය .  

කොළඹ ගමයා - 21//03/2025




Sunday, 9 March 2025

ට්‍රම්පච්චි, සෙලෙන්ස්කි මලයා සමග පූටින් බ්‍රදර්

ට්‍රම්පච්චි,  සෙලෙන්ස්කි මලයා  සමග පූටින් බ්‍රදර්  -------------------------------------------------------------------------------
මම අවුරුදු එකහමාරකට කලින් ලිපියක් ලීව  රුසියන් යුක්රේනියන් යුද්ධේ ගැන .  ඒ මේක . 
මතකද දන්නේ නැහැ මම එකෙ  ලිව්වා , ඩී ජී එම්  බසුතුමා මොනවා කීවත් සෙලෙන්ස්කි බ්ලාස්ට් වෙන්න නියමිතයි කියල .  රනිල් 2020 කියන්න කලින් අපි ලීවේ හරිද , ඊටත් කලින්😆 .   මම ඔය රුසියානු ඉතිහාසයත් එක්ක යුද්ධය ලියන්න පටන් ගනිද්දී , ෆේස්බුක් ඔස්තාර් ල විවේචනය කළානේ , ඒ ගොල්ලන්ගේ ප්‍රධාන තර්කය වුනේ "ඉතිහාසය වැඩක් නැහැ, පූටින් කියන ඒකාධිපතිය නිදහස් රටක් ආක්‍රමණය කළා. ඒකට  විරුද්ධ වෙන්න ඔය කියන ඉතිහාසය  අවශ්‍ය නැහැ , කියන එක ." තවමත් ඒ ගොල්ලෝ වැරදියි කියන එක ඒ ගොල්ලන්ට පිලි ගන්න බැරි වෙලා .  


උක්රයිනයේ මිනිස්සු හැම වෙලේම නිදහසක් වෙනුවෙන් සටන් කළා .  නමුත් ඒ බටහිර උක්රයිනයේ . පළමුවන ලෝක යුද්ධය අවසන්  වෙනකොට  තමා සෝවියට් දේශය පිහිටවුණේ .  සෝවියට් බලයට එරෙහිව  සටන් කරපු තවත් සමාජවාදී කණ්ඩයක් හිටිය දැන් යුක්‍රේනය කියන   පෙදෙසේ. කළු හමුදාව කියල .  බටහිර යුක්රේන මහජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව කියල එකක් ඒගොල්ලෝ පිහිටුවාගෙන  අවුරුද්දක් විතර අරන් ගියා ,  පසුව ඔවුන් රතු හමුදාවට යටත් වුනා. නමුත් ඔවුන් අසීමිතව  නිදහසට කැමතියි .  යුරෝපයේ පොඩි රටවල් ගොඩක් තියනවා නේද ? ඔස්ට්‍රේලියාව තරම් ලොකු නැති වුනත් .  ඒ නිදහසට කැමති නිසා .  අනික යුක්රේනයේ බටහිර පැත්තේ ඉවාන  ෆ්රන්කොව්ස්ක් වගේපැති වල ඉන්න මිනිස්සු වයිකින් වරුන්ගෙන් පැවත එන්නේ .  ඔවුන් නැගෙනහිර කොටසේ ඉන්න රුසියානුන්  හෝ බෙලොරුසියානුන්  වගේ ස්ලාව්  ජාතිකයෝ නෙමේ .  ඔවුන් කලින් යටත් වෙලා හිටියේ පෝලන්ත ලිතුවේනියානු අධිරාජ්‍යයට සහ ඔස්ට්‍රෝ  හංගේරියානු අධිරාජ්‍යයට .  ඒ කියන්නේ මේ කොටස නිදහස් රටක් වශයෙන්  කවදාවත් තිබ්බේ නැහැ .   එතකොට කවුද යුක්‍රේනය  කියන රට හැදුවේ.  ලෙනින් ට්‍රොට්ස්කි  ලා සෙට් එක සෝවියට් දේශය කියන  රට හදන කොට යුක්‍රේන  සමාජවාදී සමුහාණ්ඩුව කියල එකක් හැදුව. ඕක තමා ඔය දැන් තියෙන යුක්‍රේනය .

ඔතන තියෙන ල්වොව් කියන නගරය යුක්රේනයට මුලදී අයත් නැහැ .  දෙවන ලෝක යුද්ධයේ රතු හමුදා පෝලන්තය මුදා ගන්න කොට මුදා ගත්ත නගරයක් ස්ටාලින් යුක්රේනයට දුන්නේ .  

එතකොට ක්‍රිමියාව , ඒක  රුසියාවේ කොටසක් එක්දාස් හත්සිය ගණන් වල ඉඳල . තුර්කියට අයත් නිසා බහුතර ජනතාව ටටාර් ජාතිකයන් ඒ කාලේ . නමුත් ප්‍රදේශය දියුණු කරන්න, ස්ටාලින් ටටාර් ජාතිකයන් බලෙන් පන්නලා රුසියානුවෝ පදිංචි කෙරෙව්වා. (ලංකාවේ ගල් ඔය ව්‍යාපෘතිය වගේ)   පොහොසත් රුස්සෝ ඒ කාලෙත්,  කොමියුනිස්ට් පක්ෂේ උසස් නිලධාරීන් පසුවත්  ග්‍රීෂ්ම නිවාඩුව ගත කලේ එහෙ කළු මුහුදේ .  බී ගත්ත වෙලාවක සෝවියට් දේශයේ හිටිය  යුක්‍රේන  ජාතික ජනාධිපති කෘෂෙව් තමා ක්‍රිමියාව යුක්රේනයට ලියල දුන්නේ .  ඒ ලියවිල්ල නිත්‍යානුකුල නොවන එකක් .  නමුත් 1991 සෝවියට් දේශය කැඩුනම ජනාධිපති යෙල්ට්සින්,  ක්‍රිමියාව යුක්රේනයටම දෙන්න කැමති වුනා කොන්දේසි දෙකක් මත .  රුසියානු බ්ලැක් සී  ෆ්ලිට් එක (රුසියානු නාවික හමුදාව )  සහ සෙවස්තෝපල්  වරාය  රුසියාව තියා ගන්නවා කියල .  ඒකට  වසරකට ඩොලර් මිලියන් පනහක් දෙනවා කියලත් යුක්රේනයට කුලිය් වශයෙන් (ගාණ   මතක විධිහට ලිව්වේ ) . 

යුක්රේනයට සෝවියට් කාලේදී ලොකු අසාධාරණයක් උනා .  ස්ටාලින් කියන සෝවියට් නායකයා බලෙන් සමූහ  ගොවිපල හදන්න ගිහින් මිලියනයක විතර ගොවියන් ඝාතනය වුනා හෝ බඩගින්නේ මිය ගියා .  ඒ නිසා ඇතිවුණු සාගතයෙන් තව මිලියනයක් විතර මලා . මේක ඕනෑකමින් කලාද නැත්ඩ් අකියන් එක තවමත් ප්‍රශ්නයක් .  මේ සිද්ධියට කියන්නේ හොලොදොමෝර් Holodomor කියල .    ඒ හේතුවම උනත් ඇති ඔවුන්ට  නිදහස ඉල්ලා සටන් කරන්න .  

නේටෝව ගත්තොත් මම ලඟදි ඉංග්‍රීසියෙන් පොඩි සටහනක් ලිව්වා ඒ ගැන .  1946 දී රටවල් දහයයි තිබ්බේ නේටෝවට . බටහිර යුරෝපයේ රටවල් ,  ඇමෙරිකාව සහ කැනඩාව .  මූලිකව  සෝවියට් දේශයට හා කොමියුනිස්ට්වාදය පැතිරීමට විරුද්ධව තමා ඒක  හැදුවේ .  1991 බටහිර  ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය එක්කහු කරන්න ගොර්බචෝව් අවසර දෙනකොට නේටෝව සෝවියට් දේශය අසලට ගේන්නේ නැහැ කියල ගොර්බචෝව් ඉල්ලලා තියෙනවලු .  නේටෝව කියන්නේ එහෙම පොරොන්දුවක් දුන්නේ නැහැ කියල  .  දුන්නත් වැඩක් නැහැ ඊට පස්සේ සෝවියට් දේශය බිඳී විසිර ගිය නිසා කියල .  නමුත් ගොර්බචොව් ඕකට අප්‍රසාදය පල කරලා පස්සේ  දේශන කිහිපයක් කළා .  යෙල්ට්සින් බලය ගන්න කොට රුසියාව හොඳටම වැටිලා දණ  ගහනවා,  එපමණ තෙල් ගෑස් ආදී සම්පත් බහුල රටක් වෙලත් .  ඇමෙරිකන් ,  බ්‍රිතාන්‍ය හා යුරෝපිය කම්පැනි රුසියාවේ පිනුම් ගහන්න ගත්ත .  හැමෝම පොහොසත් වුනා .  යෙල්ට්සින් අයින් කරල පුටීන්  බලයට පැමිණියා  2000 දී .  නේටෝව 2004 දී තවත් රටවල් 15 එකතු කරගෙන විශාල වුනා .  ඒ රටවල් ඔක්කොම වගේ පරණ සෝවියට් දේශය කාලේ තිබ්බ සමාජවාදී රටවල් සමූහය . මින් එස්ටෝනියාව හා ලැට්වියාවට  රුසියාව සමග දේශ සීමාව තියනවා .  ඒ කියන්නේ නේටෝ හමුදා වලට කෙලින්ම රුසියාවට ඇතුළු වෙන්න පුළුවන් එතනින් .  එතකන් රුසියාව සහ අනිත් නේටෝ රටවල් අතර බෆර් සෝන් කියල හඳුන්වන වෙන රටවල් තිබ්බ.  මේ අවස්ථාවේදී තමා දැන් ප්‍රසිද්ධ කතාව වන පූටින්  ඉල්ලන්නේ - එයාලවත් නේටෝ එකට ගන්න  කියල .  මුලදී කැමති වෙලා පස්සේ ක්ලින්ටන් හිනා වෙලා කියල තියනවලු (පොතක තියනවා මේ ගැන  )  - "එතකොට අපේ හතුරා  කවුද ? කාට  විරුද්ධවද ආයුධ  නිෂ්පාදනය කරන්නේ කියල" .  අමතක නොකළ යුතු දේ තමා ක්ලින්ටන් ගේ සිට බයිඩන් දක්වා අයට  ඇමෙරිකන් ආයුධ  කම්පැනි සල්ලි දෙනවා කියල ජනාධිපතිවරණයේ ප්‍රචාරක මුදල් සඳහා .  

දැන් ඔය පසුබිම යටතේ තව කතාවක් එනවා රුසියාව ක්‍රිමියාව  ආක්‍රමණය කරපු එක .  මතකනේ මම ලිව්වා රුසියාව පූටින්  යටතේත් බ්ලැක් සී  ෆ්ලිට් එක තියන් ඉන්න සල්ලි ගෙව්වා කියාල .  අර යනුකොවිච් කියන රුසියාවට හිතැති එකා දිනලා යුක්රේනය යුරෝපා සංගමයට යන්නේ නැහැ කියල කීව  මතකද .  ඊට පස්සේ මයිඩන්  කියල අරගලයක් ආවා  මතකද .  යනුකොවිච් කියන්නත් හොඳ එකෙක් නෙමේ .  ටිකක් කළු චරිතයක්.  දූෂණ  චෝදනා තියෙන .  කොහොම  හරි පොර එළවලා ආපු එක්කෙනා ඇමෙරිකාවට පොරොන්දු වුනා සෙවස්තෝපල්  වරායට  සහ කළු මුහුදට එන්න ඉඩ දෙනවා කියල ඇමෙරිකානු යුධ නැව්  වලට,  මුදලට .  ඔන්න ඕක පූටින්  තමන්ගේ ඔත්තු සේවා හරහා දැන  ගත්ත .  දේශ ද්‍රෝහී ඇමෙරිකන් කාරයෝ ඉන්නවනේ .  පූටින්  ඇමෙරිකාව එන්න කලින් ක්‍රිමියාවට  ගහල අල්ල ගත්ත .  ඊට පස්සේ එක එක කතා කියන්න ගත්ත ඒක  සාධාරණිකරණය කරන්න. 
  
හරි ඕක තමයි බැක් ඩ්‍රොප් එක .  

රුසියානුන්ට  සලකන්නේ නැහැ ,  භාෂාවට සම තැන දෙන්නේ නැහැ .  වගේ කතා කියල ඊට පස්සේ රුසියාව  යුක්‍රේනයේ  රුසියාවට ආසන්න  කොටස ආක්‍රමණය කළා .  ඇත්ත හේතු නම් ධනවාදයේ පැවැත්ම කියන එක.  මේ  දොන්බාස් පෙදෙස වටිනා ඛනිජ  වලට සහ  ගෑස් වලට, ගල් අඟුරු වලට   ප්‍රසිද්ධයි.  ක්‍රිමියාවට පාණිය ජලය නැහැ  වතුර ලබා ගන්න මාර්ගයක් නිදහස් කර ගන්න  ඕනේ.  පූටින් යුක්රේනය ට ස්පෙෂල් ඔපරේෂන් කියල යුද්ධයක් ගෙනාවේ ඒකට. නේටෝව ත් ප්‍රශ්නයක් තමා .  ඒ බෆර් සෝන් එකත් හදන්න ඕනේ.  එතකොට යුරෝපිය රටවල් සහ ඇමෙරිකාව මේ ආක්‍රමණයට විරුද්ධව යුක්රේනයට සහය දුන්න .  මුලින් නිවැරදියි වගේ පෙනුනත් ඇතුලෙන් බැලුවහම මේ රටවල් වල ආයුධ  කම්පැනි තමා දිනුවේ කියන  එක හොඳින් පේනවා .  ඒවායේ කොටස් මිල  ගණන් ඉහල ගියා .  කෝවිඩ්  වලින් වැටිලා තිබ්බ මේ රටවල ආර්ථිකය යුක්‍රේනය  ට පින් සිද්ධ වෙන්න ටිකක් ගොඩ ගියා .  

දැන් ඇමෙරිකාවට ඒ ඇති .  යුද්ධේ නවත්වලා වෙන විධිහකින් මුලද්‍රව්‍ය ,  ධනය ,  මිනරල් බෙදා ගන්න ඕනේ .  නැත්නම් කොල්ල කන්න ඕනේ .  නිකන් ගෑස් තෙල් අදිය  පිරිලා තියෙන ග්‍රීන් ලන්තය ඕනේ කියල ඉල්ලන්නේ ඒකයි . මේ තමයි සිපිරිසිදු ධනවාද .  ඒක  ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි .  ඒකට  එතික්ස් මුකුත් නැහැ .  
ඩිල්  එකක් එනවා ගිය අවුරුද්දේ අග .  මෙච්චර කල් ආයුධ  බලයෙන් සිරියාව අල්ලාගෙන හිටි අසාද් සහ රුසියන් හමුදා පැය  24 ඇතුලත ගහල අල්ල ගන්නවා  මුස්ලිම් ගරිල්ලා කණ්ඩායමක් .  පුදුමයි නේද .  සමහර ෆේස්බුක් උන්දලා රුසියාවට හෙම හිනා වෙනවා දැක්ක .  කොහොමද දුන්න  ගේම   කියල .  බම්බුව තමා .  උන් (රුසියානුන් )  ගැහුවේ නැහැ . ගැහුවේ නැත්තේ ඩිල් එක නිසා .  ඊශ්‍රායලය ට තිබ්බ ලොකුම අභියෝග තමා ඉරාකයේ සදාම් ,  ලිබියාවේ ගඩාෆි ,  සිරියාවේ අසාද් ,  ඉරානයේ අයටොල්ල .  තුනක් ඉවරයි .  පූටින්  ට සිරියාව වැඩක් නැහැ යුක්‍රේනයේ අල්ල ගත්ත කෑල්ල තියෙනවනම් .  ඒක  තමා ඩිල්  එක .  සිරියව දුන්නා .  අසාඩ් රුසියාවේ හොඳින්  .  අන්න ඉරාකේ වගේ මරා ගන්නවා සිරියාවේ .  ඒවා එහෙමයි වෙන්නේ.

එතකොට නේටෝව රුසියාව වට කරන්නේ ඇත්තටම රුසියාව ගහයි කියල බයටද ?  රුසියාව ඔය ජෝර්ජියාව වගේ පොඩි රටවලට තග දැම්මට නේටෝ රටවලට ගහන්න එන්නේ නැහැ කීයටවත්. එතකොඅට් ඇයි මේ .  රුසියාව කියන්නේ ධන ආකාරයක් .  ලෝකේ දකුණු අප්‍රිකාවට පස්සේ හොඳම දියමන්ති තොගේ ,  වටින ඛනිජ ද්‍රව්‍ය , තවම හරා නොගෙන ඇති තෙල් සහ ගෑස් නිධි , මේ වගේ ධන ආකාරයක් .  ලෝකේ ලොකු රටවල් ඒ විධිහට හැමදාම තියෙන්නේ නැහැ ,  ඒ රටවල් ළඟ හමුදාව තියන් ඉන්න රටවල් තමා ඉස්සෙල්ලම රිංගල ධනය බෙදා ගන්නේ .  ඉතිහාසය බලන්න .  

දැන් සෙලෙන්ස්කි මොන මගුල කීවත් යුක්‍රේන  කෑල්ල  ඇමෙරිකාව දීල ඉවරයි .  ඉස්සරහට පූටින්  හුඟක් වෙලාවට කැමති වෙයි යුරෝපීය  ආමි  එකක් එනවට යුක්රේනයට . තමන්ට   අවශ්‍ය කෑල්ල අරන් තියෙන්නේ .  ජෝර්ජියාව හා මල්දෝවා  රටවල් දෙකත්,  දෙකට කඩලා තියෙන්නේ. ධනවාදය හුඟක් වෙලාවට අනුකම්පා විරහිතයි .  මෙතැන උනේ  ඒක . ග්‍රීන්ලන්තය පවා ඇමෙරිකාවට දෙන්න වෙනවා .  
තුන්වන  ලෝක යුද්ධය වැලකිලා තියෙන්නේ දැනට .  

යුක්‍රේනයේ ඇත්ත තත්වය තමා සටන් අක්රනන් සොල්දාදුවෝ නැහැ .  ආණ්ඩුව බලෙන් පාටි වලට ,  ගෙවල් වලට පැනලා යුද්ධ අක්රනන් පුළුවන් පිරිමි අල්ලලා ගෙනියනවා .  රුසියාවට මුලදී බාන්නට දැන් යුක්රේනයත් සිරකරුවන් ට සමාව දීලා යුධ පෙරමුණට යවනව .  යුධ පෙරමුණෙන් සෑහෙන ප්‍රමානයක් පැනලා යනවා .  කොටින්ම යුරෝපීය හමුදාවක් වත් ගියේ නැත්නම් තත්වය අන්තිමයි . 

මෙතන  හරි කවුද කියන්න මම දන්නේ නැහැ .  සෙලෙන්ස්කිත් හරියට ගොර්බචෝව් වගේ .  ලෝකය ගොර්බට හෙන  ආදරෙයි .  ජර්මනිය එකතු කරපු නිසා ජර්මන් අය  විශේෂයෙන් .  රුසියානුන් ට  ගොර්බව පෙන්නන්න බැහැ . සෙලෙන්ස්කිට ලෝකයා ආදරෙයි .  යුක්‍රේන  මිනිසුන්ට එයාව පෙන්නන්න බැහැ . 








පස්සේ එකතු කරප කොටස :  
මොකද්ද බොරිස් ජොන්සන් (හිටපු බ්‍රිතාන්‍ය අගමැති )  ගේ ගේම් එක .  එයා තමා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අයින්  කරන්න මූලික වුනු කෙනා. ඒකෙන් දෙපැ ත්තම දුර්වල වුනා .   ඒ දවස් වල හෙන බොරු තොගයක් කිව්වා .  ගොවීන්ට වැඩිපුර සල්ලි දෙනවා .  NHS එකට සල්ලි දෙනවා වගේ කතා .  සුද්දා සහ මේ රටේ ඉන්න  එත්නික් ජනතාව (ඊඉයං ,  ශ්‍රී ලන්කන් ,  කළු ජාතිකයන් ආදීන්)  චන්දෙ දුන්න .  මිනිහගේ සහ එයට බැක් කරන කොන්සවේටිව් සෙට් එකේ  මූලික අභිප්‍රාය යුරෝපා සංගමය බිඳින එක. සෙලෙන්ස්කි පූටින් එක්ක ගහන්න ගිය සාම ගිවිසුම නැවැත්තුවේ  එයා .  එතකොට දැන් සෙලෙන්ස්කි අයින් කරලා ට්‍රම්ප් වැඩේ සෙට්ල් කරන කොට යුරෝපා සංගමයට කෙල වෙනව.  ඊට කලින් ජර්මනිය  සහ රුසියාව අතර දාපු ඩොලර් මිලියන් නමයක  තෙල් සහ ගෑස් නලය  යුක්රේන් ජාතිවාදීන් පුපුරා හැරි නිසා හා ලාභ රුසියන් තෙල් සහ ගෑස් නැති නිසා ජර්මනිය ආර්ථික වශයෙන්  වැටිලා ඉන්නේ .  ප්‍රංශය උනත් අසාධ්‍ය තත්වයක ඉන්නේ. යුරෝපා සංගමයම ට කෙලවල  දාන්න මේක තමා  හොඳම වෙලාව. ඊට පස්සේ වේදේ දෙන්නේ චීනයට .  හැබැයි ඉතින් .............  

කොළඹ ගමයා - 09/03/2025 

පරණ ලිපි :



 .  








Thursday, 20 February 2025

දෙර්ෂින්ස්කි හමුව




දෙර්ෂින්ස්කි  කියන්නේ කවුද කියල හුඟක් අය  දන්නේ නැතිව ඇති .  ප්‍රතිවිප්ලවයෙන් ළඳරු සෝවියට් රාජ්‍ය බලය රැක  ගන්න හැදුව කණ්ඩායම තමා චෙකා කියන කාර්යාංශය .  පක්ෂයේ හොඳම කේඩරයන්  ගෙන් සමන්විත මේකේ නායකයා හැටියට දැම්මේ ෆෙලික්ස් දෙර්ශින්ස්කිව. පෝලන්ත ජාතිකයෙක් වෙච්චි දෙර්ෂින්ස්කි තමා සෝවියට් රාජ්‍යය බේරා ගන්න චෙකා නෙට්වර්ක් එක හැදුවේ .  එය ඒක  හොඳටම  කළා 1926 දී මැරෙන තුරු .  
ඊට පස්සේ එන්කවද , කේජිබි  කියල නම දෙපාරක් වෙනස් වුනෙත් ස්ටාලින් විසින් බලය රැක  ගැනීමට අපහරණය කලෙත් ඒ සංවිධානයම තමා .  


ටිල්වින් සහෝදරයාව මම හඳුන්වන්නේ දෙර්ෂින්ස්කි  කියල .  ඒකට  නම් එයාට  පොඩි හිනාවක් ගියා .  ජවිපෙ සදාකාලික තරුණයා වන ටිල්වින් සහෝදරයා, ලොකු අයියා  කියල තමයි පැලවත්තේ ඉන්න තරුණ සහෝදර සහෝදරියෝ හඳුන්වන්නේ .  පක්ෂයේ වගේම දැන් රාජ්‍ය බලය හසුරුවන කණ්ඩායමත් එකට එක්කහු කරලා ශක්තිමත්ව තබාගන්න හුය තමා ටිල්වින් අයියා . ඒ වගේම පක්ෂයට සහ රජයට බාහිරින් එන තර්ජන පිළිබඳවත් ඔහු සෑහෙන  අවබෝධයකින් ඉන්නේ .  ඉතින් දෙර්ෂින්ස්කි  කියන නම ගැලපෙනවා .  




එයා නම් කියන්නේ තරුණ තරුණියෝ එක්ක නිතර කතා බහ කරමින් ඒ ජවයෙන්ම වැඩ කරන නිසා වයස ගැන හිතන්නේ නැහැ කියල .  ටිල්වින් සහෝදරයගේ  උපන් දිනේ යෙදිලා තියෙන්නේ පෙබරවාරි 26 දා .  මට දවස හොඳට මතකයි .  මගේ පියාගේ උපන්දිනය පෙබරවාරි 25 දා නිසා.  නමුත් මට මුකුත්ම ගේන්න  එපා කිව්  නිසා කේක්  එකත් ගෙදර  තියල ගියා .  කොහොමත් දිනයට කලින් කේක්  කපන්නේ නැහැනේ .  හොඳ වෙලාවට මම ලියපු 'පොල් කට්ටෙන් එපිටට ' සහ සියාමා  පොත් තිබිල ඒ දෙක දුන්න .  වැඩ තිබුනත් පොත් නම් කියවනවා කීව .

බොත්තම ගැනත් කතා කළා .  සුළු අතපසුවීම් හදා  ගන්න ඕනේ .  අපි ඔක්කොම මනුෂ්‍යයෝනේ කියල එයා කීව . මට තිබුනේ වෙනත් අදහසක් .  මම රාජකීය විද්‍යාලයට ගිය  අළුත  කොළඹ පොෂ් ගෙදරකට ගියා .  ඈතින් නෑ  වෙනවද කොහෙද .  ගෙදර හාම්පුතයි බෑනයි ඉංග්‍රීසියෙන් කතා කලේ .  රෝයල් ගිය ගමන් ඉංග්‍රීසි පුළුවන් වෙන්න නම් ඉතින් ගෙදර කතා කරන්න ඕනේ.  අපි ගමෙන් ගිය එවුන්නේ .  මට කැපිල්ල තේරුණා ඒ වෙලාවෙත් .  
හැබැයි මට හීනමානයක් තිබුනේ නැහැ .  අනුර සහෝදරයාටත් එහෙම එකක් නැහැ .  අරක හදා ගත්ත එච්චරයි . අර දහම් සිරිසේන (මම කැමති බුවෙක් නෙමේ ) රෝයල් තෝමියන් මැච් එක ඉවර වෙලා රනිල් වේදිකාවේ ඉන්න කොට බලෙන් නැග්ග මතකද ?  ඒකට  පොෂ් සෙට් එක හිනා වුනත් එක්ක නේහ් . ඒවා එහෙමයි ලංකාවේ .  

විදේශ ඇමැති  විජිත හේරත් සහෝදරයා හමු වුන වෙලාවේ දාපු ප්‍රශ්නයක් දෙකක් ඇහුවා  ටිල්වින් සහෝදරයා ගෙනුත් .  ආධාරකරුවන් ප්‍රශ්න කරනවා නේද පරණ අයම  තියන් ඉන්නවට අමාත්‍යංශ වල .  සංස්ථා දෙපාර්තමේන්තු වල කියල .  විජිත සහෝදරයා වගේම ටිල්වින් සහෝදරයාගේ පිළිතුර වුනෙත් අපට ජවිපෙ අය  විතරක් නෙමේ ඡන්දේ දුන්නේ .  යුඇන්පී, පොහොට්ටු සහ ශ්‍රීලනිප සහ පාවෙන ඡන්දත් ලැබුන .  ඒ එකක් .  අනික විරුද්ධව ඡන්දේ දුන්නත් , ආධාරකරුවෝ නොවුනත් සාධාරණ හේතු නැතිව ,  වරදක් නැතිව අස්  කරන්න බැහැ කිසි කෙනෙක්ව කියල .  
අනික පක්ෂයේ කෙනෙක් දැම්මොත් මොකද වෙන්න .  එතනදී එය lackey කෙනෙක් හෙවත් එහෙයියෙක් විතරක් වුනොත් වැඩක් තියනවද? අපට අවශ්‍ය අවංකව , රජයේ ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් .  දේශපාලන පක්ෂපාති කම් නැතිව ස්වාධීනව වැඩ කරන්න ඔවුන් ඉගෙන ගන්න ඕනේ .  මම හිතනවා ඒ පිළිතුර සාධාරණ එකක් කියල . 

පොල් ප්‍රශ්නේ ගැනත් කතා කළා .  රජයට හොඳ අවබෝධයක් ඒ ගැන තියනවා .  ඒ ගැන වෙනම ලිපියක් ලියන්න ඕනේ .   මොකද ඇත්ත ප්‍රශ්න රිලව් කතාවකින් වැහිලා ගිහින් .  කැනඩාවේ ඉන්න හේෂාන් මල්ලිගේ ප්‍රශ්නේ ආගමන විගමන එකේ ලොකු බැක්ලොග් එකක් තියනවා කියල  ද්විත්ව පුරවැසි භාවය ගන්න .  රටට එක අයෙකු ගෙන් ඩොලර් 2500 විතර ලැබෙන ක්‍රමයක් වුනත් ඉතා මන්දගාමී විධිහටයි වැඩ කෙරෙන්නේ . ගිය පාර  ලිපියේ ෆොටෝ එකකුත් දැම්මේ එතැන තමා. ඒ වගේ දේවල් පොඩි  අවධානයක් දීල අවශ්‍ය තැනට කතා කරල දෙන්නම් කියල කීව .  තව බොහෝ දේ කතා කලත් ලිපිය දිග වැඩි වෙන නිසා පස්සේ දවසක තමා  ලියන්න  වෙන්නේ .  

ලන්ඩන් ගෘප් එකක මෙසේජ් එකක් වැටිලා තිබුන ,  ජනාධිපති ගේ සෝෂල් මීඩියා එකවුන්ට් දාල  තියෙන එයාගේ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ගූගල්  එකෙන් කෙලින්ම අරගෙන .  ඒකෙ  වැරදි ගොඩක් තියනවා .  මම ඒක  ටිල්වින් සහෝදරයට එවෙලම පෙන්නුවා .  එයා  ඒක  කතා කරලා හදන්න කීව  ඒ වෙලාවෙම .  ඔය වගේ නොපෙනන අතපසුවීම් තිබෙනවා .  ඒ වැරැද්ද පෙන්වා දීම අගය කල යුතු දෙයක් .  
 දවල් කෑම  වෙලාව ලං වෙලා තිබුන .  ටිල්වින් සහෝදරයට රූපවාහිනියේ  සාකච්ඡාවක් තිබුන දෙකට විතර .  පද්මිණී  කිව්වා , අජිත් කන්න කැමති ලංකාවේ කෑම  විතරයි කියල .  ගමේ කෑම. මම කිව්වා යුරෝපියන් කෑම  ලංකාවට ඇවිත් කන්න ඕනේ නැහැනේ කියල .  ටිල්වින් අයිය කීව  හොඳ තැනක් තියනවා එතනට යමු කියල .  එයත් එක පාරක් ගිහින් තිබෙනවා කියල . 
එයා තමයි මාර්ගෝපදේශකයා වුනේ .  'ගම්මානය ' කියල තැනක් .  පැලවත්තේ කාර්යාලයේ ඉඳල   මාකුඹුර කියන හරියට යන්න ඕනේ. පෝලිමේ ඉඳල කෑම  ටික තෝරන් යන්න ඕනේ කැෂියර්   ගාවට . සරල තැනක් .  මම රතු බත් එක්ක මාළු ,  කරවිල ,  පොලොස් ,  කන්කුන් බැදල ,  බෝංචි තෙල් දාල , බැදපු මාළු සහ දෙල් ගත්ත .  ටිල්වින් අයියටත් ඒ  චොයිස් එකම ගත්ත .  එතැන කෑම  නම් සුපිරි ,  රයිස් ඇන්ඩ්  කරි  වලට කැමති අයට .  




එකම ප්‍රශ්නේ එච්චර බත් ගොඩක් දෙන්නේ මොකද කියල .  තනි කෙනෙක් එපමණ බත් ගොඩක් කනවද කියල මට හිතුන .  අපි ගිය  හතර දෙනාම බත් ඉතිරි කරලා තිබුන .  ඔයිට කලින් නන්දන වීරරත්න එක්ක මොන්ගෝලියන් ෆුල් රයිස් එකක් දින දෙකකට කලින් ගත්තම.  දෙන්නටම කා ගන්න බැරිව මම ඒක  පහුවදත් කෑව  තව කෙනෙකුටත් දීලා . මම අහලා  තියනවා ජපානයේ ඉස්සර ඔහොමයි කියල .   පස්සේ රජයෙන් ඒ ගැන හොයල , මිනිසුන්ට පීරිසි  දෙකක ප්‍රමාණයක් කෑවම  ඇති කියල තියනවා .  මමත් වැඩිපුර  එළවලු කාල බත් අඩුවෙන් කන කෙනෙක් .  අපි ඇමෙරිකාවේ ජනතාව විවේචනය කලාට ඒ වගේ පිෂ්ට   ප්‍රමාණයක් බඩට දා ගන්න අයත් ඇති . 

දැන් ඉතින් කියන්න එපා මම කන බත් එක සීමා  කරන්න හදානවා කියල .  

අපි ටිල්වින් සහෝදරයාව පැලවත්ත කාර්යාලයෙන් බස්සල ආවා . මේ හමුවීම සංවිධානය කලාට මගේ මිතුරිය පද්මිණි මාතරගේ  ට ඇත්තටම ස්තුතියි .  පද්මිණි ඉස්සර වැඩ කලේ ලක්බිමේ .  එයා මගේ මිතුරියක් වෙලා හිටපු විපුලි ගේ හොඳම  යෙහෙලියක්.  පද්මිණි තමා  කම්කරු ඇමති තුමා ගේ  මාධ්‍ය ලේකම් .  

ස්තුතියි . 
කොළඹ ගමයා -20-02-2025

Thursday, 6 February 2025

විජිත හේරත් මහතා හමුවීම සහ මේ දවස් වල දැවෙන මාතෘකාව


මේ දවස් වල නීතිපති  හා ලසන්ත වික්‍රමතුංග නඩුව ගැනත් කතා වෙන නිසා මේකත් මතක් වුනා .  
මහදේවන් සතාසිවම් කියන්නේ හිටපු ක්‍රිකටර් කෙනෙක්   .  එයා බැඳලා හිටියේ හිටිය ආනන්දී සතාසිවම්. මහදේවන් ඉවෝන් කියල ඕලන්ද කෙල්ලෙක් එක්කත් යාලු වෙලා හිටිය .  මිසිස් සතාසිවම් දික්කසාදේ  ෆයිල් කරලා තිබ්බේ .  එයාව මැරුව  කවුරුහරි .  අල්ලාගත්තේ කුස්සියේ වැඩකරපු කොල්ලව .  මහා දේවන් ට alibi එකක් තිබුන .  නීතිපති නඩුව ගෙනිච්ච . ප්‍රබල වමෙකු වූ  කොල්වින් ආර් ද සිල්වා මහතා ඩිෆෙන්ස් එකට පෙනී හිටියේ .  නඩුව දිනලා දුන්න . මේක වුනේ 1951 විතර .  (මම ඉපදිලා නැහැ හොඳද .  ඕකයි ගොයම් කොලේ කතාවකුයි තාත්ත කියල තියනවා .  )   සතාසිවම් v ක්වීන්  නඩුව ගැන පොතකුත් තියනවා මම හිතන්නේ .  ඔය මගේ පළමුවෙනි සහ දෙවෙනි කමෙන්ට් වල  ලින්ක් දෙකක් තියනවා .  එකක් සතාසිවම් නඩුව .  දෙවෙනි එක එංගලන්තේ  (මෙහෙ නීතිපති දෙපාර්තමේන්තුව වගේ )  අතරමග නතරවුණු නඩු .  (collapsed  cases ). පොලිසියේ , සහ දෙපාර්තමේන්තුවේ සාක්ෂි හෙවීමේ ,  ඉදිරිපත් කිරීමේ ,  සැඟවීමේ වැරදි නිසා .  නීතිපති කෙනෙක් හෝ CPS  එක නඩු දාන්නේ  තමන්ට 90% වක් වත් ශුවර්  නම් තමයි .  ඒක  හැඟීම් වලින් ගන්න තීරණ නෙමේ . තර්ක කරලා ලොජිකලි ගන්න තීරණ . මොකද හොඳ defence attorney  කෙනෙක් මාට්ටු වුනොත් ඉතින් කේස්  එක පරාදයි . මම නීතිඥයෙක් නෙමේ .  නීති ක්‍ෂේත්‍රයේ  මෘදුකාංග පැත්තේ ඉන්න කෙනෙක් .  මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ප්‍රසිද්ධ හොඳ නීතිඥ මහත්වරු ඉන්නවා .  මම කියන්නේ බොරුවක් නම් කියන්න . සමහර වෙලාවට අපේ හැඟීම් වලට අනුව හරි දේ වුනත් නීතියට අනුව එහෙම නොවෙන්න පුළුවන් .