සමහරවිට ලිපියේ මාතෘකාවේ සමග මා කියන්න යන්නේ කුමක්දැයි දැනටමත් වැටහෙන්නට ඇතැයි සිතමි. මේ භූතාත්ම කතාව පිලිබඳ මගේ මුල්ම ලිපි දෙක මෙසේය.
බොහෝ අය මෙවැනි පාරභෞතික කතා කෙළින්ම බැහැරලන අතර තවත් සමහරු විශ්වාස කරති. මා බොහෝ විට සොයන්නේ ඒවාට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළ හැකිද යන්නය. කිසිදු දෙයක් අවඥාවෙන් බැහැර කිරීමට ඒ ගැන සොයා බැලීම මගේ සිරිතය.මා පළමු ලිපියෙන් පැහැදිලි කලේ හැත්තෑව දශකයේ අවසානයේ මේ සිද්ධිය සිදුවූ විට එක පාර්ශවයක් එය කෙලින්ම බොරුවක් යයි විවේචනය කළ අතර යන්තම් තරුණ වියට එළඹෙන ගැහැණු ළමුන් දෙදෙනාට පරිභවද කළ ආකාරයයි. ඔවුන්ගේ කතාව විශ්වාස කළ අය එම කතාව ඔප්පු කිරීමට අනවශ්‍ය පර්යේෂණ කරමින් ළමුන් දෙදෙනාට මෙන්ම පවුලටද කරණ අල්ද්දේ බරපතල හිරිහැරයකි.
දෙවන ලිපියෙන් මා පැහැදිලි කළේ ගැහැණු ළමුන් දෙදෙනා බොරු නොකියන බවත් එම සිද්ධීන් ගෙන් බහුතරයක් සත්‍ය වශයෙන්ම සිදුවූ ඒවා බවට මා සිතන බවයි. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි තිබේ. නමුත් භූතයකු සැබැවින්ම සිටියාද?
පළමුවෙන්ම ඒ දිනවල මනෝ වෛද්‍යවරුන් නොදැන සිටි විද්‍යාවේ දියුණුව නිසා දැන් අපි දන්නා දත්තයක් සලකා බලමු. ඒ රසායන ද්‍රව්‍යයක් / හෝර්මෝනයක් වන ඩොපමයින් ය. ( type of monoamine neurotransmitter) මෙය නිපදවෙන්නේ අපේ ඇඩ්රිනලින් ග්ලෑන්ඩ් එකේය. මේ හෝමෝනය අඩු වැඩි වන තරමට අපේ හැසිරීමද වෙනස් වේ. ඔබල දන්නා හඳුනන වෛද්‍යවරයෙකු ගෙන් විමසා බලන්න. ඒ මේ හෝමෝනය අපේ චලිතයට (Movement.), මතකයට , සතුට දැනවීමට , නින්දට, හැසිරීමට, වටහා ගැනීමට බලපාන නිසාය. අපට සතුට දනවන නිසා එයට “feel-good” hormone කියාද කියති.
මෙය තිබිය යුතු හොඳ හෝමෝනයකි. ඒ අවශ්‍ය ප්‍රමාණයට පමණක් තිබුනොත්ය.
එසේම මම නිතර කකුල් සොලවන අතර එයට හේතුවද මෙම ඩොපමයින් කියා වෛද්‍ය විශේෂන්ඥයන් කියති. .එසේම මේ ඩොපමයින් අස්වාභාවික ලෙස වැඩි අයද සිටිති. ඔවුන්ට ශරීරයේ අනවශ්‍ය ශක්තියක් දැනෙන අතර, නිතර කලකිරුණු ස්වභාවය, නින්ද නොයෑම මෙන්ම, නොයෙකුත් අභව්‍ය දේ පෙනීම (hallucinations) සිදුවේ. දැන් මේ සඳහා ප්‍රතිකාර ඇති මුත් එදා තිබුනේ නැත. ජැනට් ට ඩොපමයින් වැඩිව තිබෙන්නට ඇතැයි මට සිතෙන්නේ ඇගේ සහෝදරයා ADHD (Attention deficit hyperactivity disorder - සිංහල නම නොදනිමි) තිබිම නිසා අනාථ නිවාසයකට රැගෙන යාමෙනි. . ADHD තිබෙන ලමයින්ට ඩොපමයින් වැඩිපුර ඇති බව සොයා ගෙන තිබේ.
ඒ නිසා ජැනට් ගේ ඇතැම් අස්වභාවික හැසිරීම් වලට හේතුව (පවුලේ ළමුන් තිදෙනෙක්ම) එය විය හැකිය. උඩ පැන අහසේ පාවීම, හිටි හැටියේ ඇද වැටීම, නින්ද නොයෑම. කෙස් අල්ලමින් හඬා වැළපීම ආදිය මේ අතර වේ.
දැන් ඇගේ උගුර යටින් භූතයෙකු මෙන් කතා කිරීම ගැන සළකා බලමු. කටේ වතුර පිරවූ විටද ඇයට යටි උගුරෙන් කතා කළ හැකි බව ඔප්පු කර තිබුණි. (දෙවෙන ලිපිය බලන්න) මෙය සාමාන්‍යයෙන් කල නොහැකි දෙයකි. මම ඉහත පින්තූරයේ දක්වා ඇති ඩෙත් මෙටල් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ඇලිස්සා ගී ගයන අයුරු බලන්න. ඇයද මේ භූත කතා වලට ආශක්ත වූ එකියක නිසා සින්දු කියන්නේද එලෙසම උගුර යටින්ය. මේ විශාල කැප කිරීමකින් හා පුහුණුවකින් පසුවය.
මෙටල් ගෘප් වල සින්දු වලට මමත් ඉනෙස් (මගේ බිරිඳ) කැමති නිසා අප ඉඳහිට ඒවා අසන්නෙමු. එනිසා මට මතක් වුනේ ඇලිස් ගේ ගීත ගායනා කරන ආකාරයය.
ඇය ARCH ENEMY සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවයි. ඇය අපේ ජනට් ගේ භූතයා කතා කරන ලෙසටම ගීත ගයන්නේ යටි උගුරෙනි. මේ නිසා මා උපකල්පනය කරන්නේ ජැනට් කිසියම් ආකාරයකට මෙලෙස කතා කිරීමට පුහුණු වෙන්නට ඇත කියාය. එසේ නැතිනම් ස්වභාවයෙන් ම ලැබුණු හැකියාවක් විය හැකිය.
එසේනම් ඇය බිල් විල්කින්ස් ගැන දැන ගත්තේ කෙසේද?මෙය මට විසඳා ගත නොහැකි වූ දෙයකි. එසේම ඇය හරියටම මැරුණු ආකාරය බිල් ගේ කටහඬින් (මම එසේ උපකල්පනය කරන්නේ පර්යේෂකයන් ගේ ශබ්ද ටේප් පටි අනුවය) කියන්නේ කෙසේද?
මම පසුගිය මාසයේ ෆේස්බුක් එකේ පින්තුර වගයක් පල කලෙමි. ඒ අපි සාමාන්‍යයෙන් නත්තල් කාලයට යන සම්ප්‍රදායික නාට්‍ය ගමන ගැනය. මෙවර අපි ගියේ මගේ ඉල්ලීම පරිදි ඩෙරෙන් බ්‍රව්න් ගේ මැජික් ෂෝ එකටය. ඔහු ඉන්ද්රජාලිකයකි . නිකම් ඉන්ද්‍රජාලිකයෙක් නොව ඉතා සූක්ෂම ලෙස ඇස්බැන්දුම් පෙන්වන අයෙකි. ඒවා මැජික් මද කියා ඇතැම් විට සිතා ගත නොහැකිය. ඔහු මෙහිදී අපට අදාල වන්නේ "මියගිය ප්රාණකාරයන්" වේදිකාවට ගෙනැවිත් ඔවුන්ගෙන් ප්‍රශ්න අසා අහඹු ලෙස තෝරා ගත් ප්‍රේක්ෂකයෙකු ගේ ජීවිතය ගැන කියන නිසාය.
ඔහු එසේ කියන්නේ ඇත්ත වශයෙන්ම එසේ මිය ගිය අයෙකු ගෙන්වන නිසා නොවේ. ප්‍රේක්ෂකයෙකු ඔහුගේ ෂෝ එක නැරඹීමට එන ගමනේදී ඔහු තබන ඇතැම් සලකුණු නිසාය. එනිස අහඹු ලෙස තෝරාගත්තද එවැන්නෙකු තේරෙන බව ඔහු කළින්ම දනී.
මේ ඔහු එවැන්නක් කරන හැටිය.
මා මෙහිදී ජැනට් මෙවැනි දේවල් කළා යයි කියන්නේ නැත. නමුත් මිනිසුන් මෝහනයට ඉබේ පත්වීමක් විය හැකිය. ඇගේ දෙමව්පියන් කතා කරන අවස්ථාවක බිල් විල්කින්ස් නමැති මිය ගිය තැනත්තා ගැන කල කතාබහ ජනට් ගේ මනසේ නිදන් වී තිබෙන්නට ඇත. ඩොපමයින් වල ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක ඒ මතකය මනසේ අවිඥාණක කොටසින් එළියට එන්නට ඉඩ ඇත.
මට පැහැදිලි කිරීමට නොමැති අවසන් ප්‍රහේලිකාව වන්නේ බිත්ති වලට තට්ටු කිරීමය. ජැනට් ඇඳේ හිටියදි, ,මුළු පවුලම කාමරයේ සිටියදී බිත්තියට තට්ටු කිරීම් සිදුවීමය. ඇපල් ටෙලිවිශනයේ වාර්තා චිත්‍රපටයේ මියගිය විල්කින්ස් ගේ පුතා කියන්නේ ඒ පියාත් යහළුවනුත් දෙවන ලෝක යුද්ධයේ බෝම්බ වැටීමට කලින් බිම් ගෙවල් වලට දිව යාමට කලින් දෙන පණිවිඩයක් හැටියටය.
ජැනට් ගේ පවුලේ හා පර්යේෂකයන් ගේ උද්වේගකර හැසිරීම මත ඔවුන්ට එය ඇසුනාද ? නැත්නම් අහල පහල ගෙයක අය හොර රහසේ එවැන්නක් කලාද? මේ ගෙවල් වල බිත්ති වල ගඩොල් හිඩැස් තිබේ. (මේවාට කියන්නේ කැවිටි වෝල් කියායcavity wall ) අපේ නිවස මිලයට ගත් පසු අපි ඒවායේ හිඩැස් සිමෙන්ති වලින් පිරවූයේ ශීතල වාතය ඇතුළට නොඒමටය. මේ වාතය කම්පනය වන නිසා වෙනත් තැනක කරන තට්ටු කිරීම් ජැනට් ගේ කාමරයට ඇසෙන්නට ඉඩක් නැතිද? මේ ප්‍රශ්න නිසා ජැනට් ඇතුළු ළමයි පාසැලේ ළමයි අතින් හිංසාවට උසුළු විසුළු කිරීම් වලට භාජනය වී තිබුණි. එවැනි ළමයෙකු මෙවැනි තට්ටු කිරීම් කළා වෙන්නට් බැරිද?
නමුත් මට මෙයට හරි පිළිතුරක් නොමැත. එසේම බිල් ගේ පියාගේ කටහඬ (ජැනට් ගේ යටි උගුරෙන් එන හඬ) හඳුනා ගැනීමද ප්රහේළිකාවකි. මට හිතෙන්නේ ඔහු එය චිත්‍රපටයෙන් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා කියුවක් හැටියටය.
විශේෂයෙන් දැන් අපට මෙවැනි කතා අසන්නට ලැබෙන්නේ නැත්තේ ඇයි? බොහෝවිට යුරෝපයේ, බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ මෙවැනි සිදුවීමකදී අවශ්‍ය කරන සහයෝගය, එනම් මානසික වෛද්‍යවරුන්ගෙන් , පාසැලෙන් , නගර සභාව වැනි ආයතනවලින් ලැබේ. ඒ කාලයේ නොතිබූ ආරක්ෂාවක් දැන් තිබේ. ඒ කාලයේ නොතිබූ දැනුමක් දැන් තිබේ. එනිසා භූත කතාවලට ප්‍රථම නිසි අවධනය හා ප්‍රතිකාර ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.
එනිස ගේ නිගමනය නම් (80%) බිල් කියා භූතාත්මයක් නොතිබු බවය. සිඉයට විස්සක් ඉඩ තබන්නේ මට විසඳා ගත නොහැකි අවසන් ප්‍රශ්න දෙකටය.
එසේනම් මම ක්වන්ටම් භෞතිකයේ සොයා ගැනීම් හා බහුමාන විශ්වය ගැන කලින් ලිපි වල කතා කලේ ඇයි? බහුමාන විශ්ව ගැන අදහස අපට දැනට ඇති පරමාණුක අංශුන් හා විශ්වය ගැන කල සොයාගැනීම් පදනම්ව කර ඇති උපකල්පනයකි. අපට තවත් දත්ත බොහොමයක් අවශ්‍යය. ඉලෙක්ට්‍රෝනය ට අංශුවක් මෙන්ම තරංගයක් වශයෙන්ද එකවර පැවතීමට ඇති හැකියාව අපි පර්යේෂණ මගින් තහවුරු කරගෙන සිටිමු. එසේම අපි නිරීක්ෂණය කරන විට අංශුව එය "දැනගෙන" භෞතික තත්වයේ වෙනසක් කරගන්නා බවද දන්නෙමු. එනිසා "හොල්මන්" පෙනෙන්නේ අපි "නිරීක්ෂණය" කරන විට පමනද? මේවා තනිකරම ඩෙරෙන් බ්‍රව්න් කියන්නාක් මෙන් අපි අපිටම කරගන්නා ඇස් බැන්දුම් ද?
ඩෙරන් ඔහුගේ දර්ශනයන් අවසානයේ ඔහුගේ පියා කියූ වැකියක් සඳහන් කරයි. ඒ මෙසේය.
Don't sleepwalk through life. Or you'll miss what's important. ජීවිතය තුලින් නින්දෙන් ඇවිදින්නට නොයන්න. ඔබට වටිනා දේ මග හැරෙනු ඇත.
2024-01-13 - අජිත් ධර්මකීර්ති

















